Sunday, January 14, 2024

අපිත් ගියා නිරීක්ශණ චාරිකාවක්..

         ඊයෙ පෙරේදාවක අපේ හිටපු ජනාප්පතිතුමා මයින්ද මහත්තයයි ගෝලයෝ රොත්තයි නැවක පාර්ටියක් දාන්න ගිහිල්ලා අතේ මාට්ටු වෙලා මීඩියා ඉස්සරහ සර්වලොක බේගල් වගයක් ඇදබානවා ගෝලයෝ සැට් එක.. එයයිලා පස්චාත් භාගය පොලේ ගහලා කියන්නෙම එයාලා ගියේ නිරීක්ශණ චාරිකාවක් කියලාමයි.. එකෙක් කියනවා නිරීක්ශණ චාරිකාවක්ලු.. තව එකෙක් කියනවා අජ්ජහපන චාරිකාවක්ලු..  මට නම් ඉතිං ඔය කෝක උනත් අවුලක් නෑ තමුන්ගෙ පුද්ගලික හල්ලි වලින් ගියානම්.. තමුන් මාන්සියෙන් උපයන සොච්චමෙන් ඉඳලා හිටලා ආතල්ලෙකක් ගන්න කාටත් තහනමක් නෑනෙ.. වැඩේ කියන්නෙ රටේ එවුන්ට තමුන් මාන්සියෙන් උපයන මුදලින් තුන්වේලවත් කන්න බැරි තැනට පත් කරලා උන්නැන්හේලා නැව්වල නැගලා ආතල් ගන්න එක සදාචාරාත්මක නෑ.. ඒත් ඉතිං පක්ශ භේදයක් නැතුවම ඔය පාල්ලිමේන්තුවේ ඉන්න උන්නැහේලාට සදාචාරයක් කියලා එකක් නෑ. ඒ නිසා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක හරි නෑ.. ඕං ඔය ආකාරයේ දේවල් අටෝරාසියක් හිත හිතා ඉද්දි මටත් මතක්වුනා අපිත් එක පාරක් මේ වගේ නිරීක්ශණ චාරිකාවක් ගියා නේද කියල.. මාත් ඉතිං ඇරියෙ නෑ.. ඒ වගේ නිරීක්ශණ චාරිකාවල් යන්නෙ මයින්ද මාත්තයලා විතරක් නෙවෙයි කියලා රට්ටු දැනගන ඕන.  මයින්ද මාත්තයලා ගිය නිරීක්ශණ චාරිකාවට රටම එකතුවෙලා වටකරන් නෙලන අල්ලපනල්ලේ මයින්ද මාත්තයාටයි  ගෝලයෝ සැට් එකටයි සපෝර්ට් එකක් පිණිස මමත් අපේ නිරීක්ශණ චාරිකාව විස්තරේ ලියන්න තීරණය කරා.. 


අපි ඔය කියන චාරිකාව යන්නෙ මගේ මතකයේ විදිහට එකදාස් නවසිය අනූ හය වගේ කාලෙක. ඕය චාරිකාව යන්න දින වකවානු දාගත්තම ඉස්සෙල්ලම කරන්න ඕන ඒකට අවශ්‍යවෙන නාවුක යාත්‍රාවක් හොයාගන්න එක. ඒක ටිකක් අමාරු වැඩක්. ට්‍රිප් එකක් යන්න වෑන් එකක් බස් එකක් හොයාගන්න තරම් ඒ වැඩේ ලේසි නෑ. ඒ ජාතියේ නිරීක්ශණ චාරිකාවල් යන්න පුලුවන් නාවුක යාත්‍රා ගමටම තිබ්බෙ දෙකයි.. දෙකේම අයිතිකාරයා එක්කෙනෙක්. ඒ නිසා ඔය කියන යාත්‍රාවලට ඉල්ලුම ටිකක් වැඩියි.. අපේ තඩියා නොහොත් චමිලයා ඔය කියන යාත්‍රාවේ අයිති එක්කෙනා හෙවත් සුද්දා මාමා අඳුරන නිසා යාත්‍රාව ලබාගැනීම ඒ තරම් අපහසුවක් නෑ. හැබැයි කලින් වෙන්කර තබාගැනීම අනිවාර්යයි. කොච්ව්හර දන්න අඳුනනවා උනත් වෙනත් කෙනෙක් බුක් කරලා නම් ඒ බුකින් කැන්සල් කිරිලි සුම්ම..

සුද්දා මාමා ලඟ රෙන්ට් එකට දෙන වෝටර් ලිමෝසින් දෙකක් තිබ්බ. එකක් පොඩි එකක්. දෙවැනි එක ලොකු එකක්. අපේ නිරීක්ශණ චාරිකාවට පොඩි ලිමෝ එක පොඩි වැඩියි. ඒ නිසා අපි තෝරාගන්නෙ ලොකු ලිමෝසීන් එක. මොකද කියනවනම්, මයින්ද මාත්තයලාගෙ නිරීක්ශණ චාරිකාවෙ ගියේ පනස් පස්දෙනෙක් උනාට ඒක තඩි නැවක් නිසා ඒකෙ ඉඩ පහසුකම් ගොඩයි.. අපේ චාරිකාවෙ පිරිස දහයක් පහලොවක් නිසා අපේ වැඩේට සුද්ද මාමගෙ වෝටර් ලිමෝව පොඩි වැඩියි.. අපිට කොයින්ද ඉතිං මයින්ද මාත්තලයට වගේ ආන්ඩුවේ නැව්..

කියවන කට්ටිය කොන්ෆියුස් වීම වලක්වන්න ඕං මම අපේ සුද්දා මාමිගෙ වෝටර් ලිමෝසීන් එකේ ෆොටෝ එකක් මෙතන දානව.. අපේ තඩියා නොහොත් චමිලයා තමයි ෆොටෝ එක ඔන්ලයින් හොයලා දුන්නෙ.. කාගෙන් උස්සපු එකක්ද දන්නෙ නෑ ෆොටෝ එකනම්.. 






ඔය ෆොටෝ එකේ තියෙන්නෙ සුද්ද මාමගෙ වෝටර් ලිමෝසීන් එක.. ඕක එන්ජින් හතරක් සහිත සුපිරි භාන්ඩයක්.. එන්ජින් හතරම එකපාරට වැඩ කරොත් ලොකු වේගයක් ලබාගන්න පුලුවනි.. රෙන්ට් එක වරුවට රුපියල් තුන්සීයයි දවසටම ගත්තොත් පන්සීයයි..   ඕක රෙන්ට් කරද්දි ඕකෙ යතුර සහ එන්ජින් හතර අරගෙන එන්න ඕන සුද්දා මාමගෙ ගෙදරින්.. යතුර කිව්වට ඒක එන්ජිම ස්ටාර්ට් කරන යතුරක් නෙවෙයි.. වෝටර් ලිමෝව ගඟේ අයිනෙ තියන ගහකට ලං කරලා දාල තිය හීනි දම්වැලේ ඉබ්බගෙ යතුර.. එන්ජින් හතර ඉතිං සුද්දා මාමගෙ ගෙදර ඉඳලා තොටුපොලට උස්සං එන එක තාමා ටිකක් ලොකු වැඩකට තිබ්බෙ.. ඒකත් ඉතිං ලොකු බරක් නෑ.. හබල් හතර එක්කෙනෙකුට උනත් ෆුට් සයිකලේක තියලා පැදන් ආවහැකි තොටුපොලට..

ඊට පස්සෙ තියෙන්නෙ වෝටර් ලිමෝසීන් එක හෙවත් සුද්දා මාමගෙ අඟුල ඒ තොටුපොලෙන් අපේ තඩියලාගෙ තුඩුවමුල්ල තොටුපොලට යාත්‍රා කරවන එක..  එන්ජින් හතරක් තිබ්බට ඕකෙ ස්ටියරින් එක අරං යන වැඩේ හැමෝටම කරන්න බෑ.. අපේ තඩියා තමා ඒකෙ කප්පිත්තා. පිටිපස්සෙ වම් පැත්තෙ කොනේ තඩියා වාඩි උනාම ලිමෝවෙ ඌ ඉන්න කොන ගිලෙන්න ඔන්න මෙන්න තරං යට යනවා උනත් ඊට විරුද්ද කෙලවරේ එන්ජින් ඔපරේටර් වාඩි උනාම තඩියගෙ පැත්ත ටිකාක් විතර උඩට එනව.. ඉස්සරහ දෙකයි පස්සෙ දෙකයි එන්ජින් හතරකින් හබල් ගෑවට ඕක වමට දකුනට හරවන වැඩේ කරන්න පුලුවන් තඩියාට විතරයි..  ඒක වෙනම ස්කිල් එකක්.. එක වතාවක් මං සිංගල් එන්ජින් එකක් මාදු ගඟේ පදින්න ගිහිං එක තැන රවුම් ගහලා ගහලා අන්තිමේ රිවස් එකේ තමා ගොඩට ආවෙ.. ලේසියි වගේ පෙනුනට එව්වා යාත්‍රා කරවන එක ලේසි පාසු වැඩ නෙවෙයි.. ගොඩ දුවන වාහනවල ස්ටියරින් එක තියෙන්නෙ ඉස්සරහ උනාට වතුරෙ දුවන වාහනවල ස්ටියරින් එක තියෙන්නෙ පිටිපස්සෙ කියලා මමත් ඉස්සෙල්ලම දැනගත්තෙ සුද්ද මාමගෙ වෝටර් ලිමෝසීන් එක පැදිල්ලෙන් තමයි..

නිරීක්ශණ චාරිකාවට ඕන කරන සියලූම දෑ ලිමෝවට පැටවෙන්නෙ තඩියලාගෙ තුඩුවමුල්ල තොටුපොලෙන්.. ගෙවල්වලට මාට්ටු නොවෙන්න අහල පහල පදුරු අස්සෙ සීරුවට හංගලා තියන බෝතල් ටිකයි, බයිට් වර්ගයි, ඒවාට ඕන කරන අනුපානයි, දුම් ජාතියි, සංගීත භාන්ඩයි සියල්ලම යාත්‍රාවට පැටෙව්වාම නිරීක්ශණ චාරිකාවට සියල්ල සූදානම්. ඊලඟට තියෙන්නෙ යාත්‍රාවේ අදාල තැන්වලින් සාමාජිකයක් වාඩිකරවීම සහ එන්ජින් තුනක් වෙනුවෙන් ටර්බෝ පවර් තියන තුන්දෙනෙක් අනුයුක්ත කිරීම.. සුක්කානම හසුරුවන්නේ තඩියා නිසා ඉතුරු තුන හිමිවෙන්නෙ අනුපිලිවෙලින් හයිය හත්තිය තියෙන එවුන්ට.. ඕං ඊට පස්සෙ තමයි නමෝ විත්තියෙන් ගමන පිටත් වෙන්නෙ. අපිට ඉතිං මයින්ද මාත්තයලාට වගේ ආන්ඩුවෙන් දීපු සැප නැව් නැති නිසා අපේ නිරීක්ශණ චාරිකාව ගිහිං එනකල්ම අපිම හබල් ගෑ යුතුයි.. ඒ කාලෙ කැමරා ෆෝන් තියා මෙලෝ හෑන්ඩ් ෆෝන් එකක් කියලා එකක් තිබ්බෙ නැති නිසා මාධ්‍ය ආවරණයකුත් නෑ ඉතිම්..

මේ කියන නිරීක්ශණ චාරිකාව යන්න අපි පිටත් වෙන්නෙ ඔය කිව්ව අවුරුද්දෙ අන්තිම දවසෙ හෙවත් දෙසැම්බර් තිස් එක හවස පහට විතර. අම්බලන්ගොඩින් මුහුදට වැටෙන මාදු ගඟේ අතු ගංගාවක් දිගේ අපි යන්නෙ ගඟ උඩහට. යන්නෙ කොහේද මල්ලෙ පොල් මට වැඩක් නැති නිසා යාත්‍රාව යන ගමනාන්තයක් වෙත යනකල් හීනියට සිංදුවක් කියාගෙන ආතල් එකක් ගැනීම මගේ අයිතිය.. පන්දම් පත්තු කරගෙන සිංදු කියාගෙන යාත්‍රා කරන සෙට් එක දැක්කාම ගං ඉවුරුවල ඉන්න උදවියටත් ඉතිං පස්ට ඉරිසියාවයි කිව්වොත් තමා හරි.. එව්වට ඉතිම් අපිට කරන්න දෙයක් නෑ.. ආතල් එකක් ගැනීම අපි හැමදෙනාගෙම අයිතිය.. ඒක ඉතිම් මයින්ද මාත්තයටයි ගෝලයෝ ටිකටයි කියලා වෙනසකුත් නෑ..

නිරීක්ශණ චාරිකාව යන්න සෙට් එක කොයි තරම් උනන්දුද කියනවනම් ඒජින් හතරම ෆුල් ප්‍රොෆෝමන්ස් පෙන්නනවා උපරීම වේගයෙන් යාත්‍රා කරන්න.. පැයක් දෙකක් ගඟ උඩහට ගියාම තමා අපේ නිරීක්ශණ චාරිකාවේ ගමනාන්තය සෙට් වෙන්නෙ.. එතන තමයි තැන.. ගඟ ඉහත්තාවෙ තියන මුඩු බිමක හදපු ඇනිකට් එකක් ලඟ තියන තැනිතලා බිම් කොටස තමා අපේ පාර්ටි ග්‍රවුන්ඩ් එක.. සුද්දා මාමගෙ ලිමෝ එක අයිනට කරලා පාර්ක් කරාම අපිට තියෙන්නෙ අඩුම කුඩුම ටික තැන් තැන්වලින් තියලා මැදින් ලොකු ගිනි මැලයක් එහෙම පත්තු කරගෙන සාදය පටන් ගන්න.. ආං පාර්ටි.. බොන එවුන් බොනවා.. සිංදු කියන එවුන් සිංදු කියනවා.. ගිනි මැලය එක දිගට පත්තු කරන්න දර හොයන දර පාර්ටියේ එවුන් කැලෑව පීරගෙන දර හොයනවා.. මාලු අල්ලන එවුන් මාලු අල්ලනවා.. රොකට්වල නැගලා යන එවුන් රොකට් එකේ නැගලා අඟහරු බලන්න යනවා.. ආතල් ලෝකයයි.. හැබැයි ඕක මයින්ද මාත්තයලා ගිය නිරීක්ශණ චාරිකාවෙන් වෙනස් වෙන්නෙ කාරනා දෙකකින්.. පලවෙනි එක තමයි ෆොටෝ වීඩියෝ ලීක් වෙන්නෙ නෑ.. දෙවැනි එක තමයි මයින්ද මාත්තයලාට මදුරුවෝ තලන්න වෙන්නෙ නෑ.. අපිට එහෙම නෑ.. මදුරුවෝ තැලිල්ල Mandatory..


හවස පහට පටන් ගැනෙන නිරීක්ශ චාරිකාව කූටප්‍රාප්තිය සිද්දවෙන්නෙ රෑ දොලහට අලුත් අවුරුද්ද උදාවෙද්දි.. කලින් ගෙනැල්ලා සූදානම් කරගෙන තියෙන රතිඤ්ඤා ටිකයි අහස් කූරු ටිකයි පත්තු වෙනකොට අහල පහල පදුරු අස්සෙ නයිට් පාර්ක් කරගෙන ඉන්න සත්තුයි අහල පහල ගස්වල නයිට් පාර්ක් කරපු කුරුල්ලොයි පණ එපා කියාගෙන මාරුවෙනව.. ඊට පස්සෙ ඉතිං ගෙනාපු දේවල් අහවර වෙනකල් නීරීක්ශණ චාරිකාවේ ඉතිරි කෑල්ල ඇදෙනව.. වැඩේ ඉවර වෙන්නෙ වටින් ගොඩින් එලිය වැටීගෙන එද්දි තමයි.. 

නිරීක්ශණ චාරිකාව එන්න තියන උනන්දුව යද්දි බොහෝමයකට නෑ.. ඒකට පලවෙනි සහ අවසාන හේතුව වෙන්නෙ බහුතරයකට සිහියක් පතක් නැතිවීම.. ලාහෙට ගෙම්බො අල්ලන න්‍යායෙන් එකා එකා උස්සලා සුද්දා මාමගෙ ලිමෝසීන් එකේ මැදින් නිදි කරවාගත්තාම අවදියෙන් ඉන්නෙ තඩියයි මමයි අපේ උදයයි විතරයි.. අපි කාටවත් ඉතිං ආපහු එන්න හදිසියක් නැති උනාට තඩියට ගමේ එන්න පට්ට හදිසියි.. ඒකට හේතුව තමයි සුද්දා මාමගෙ වෝටර් ලිමෝසීන් එක උදේ අට වෙද්දි රිටර්න් කරන්න ඕන නිසා.. පරක්කු උනොත් සුද්දා මාමගෙ ඊලඟ හයර් එක කැන්සල් වෙන නිසාත් පරක්කු වීමෙන් තව වරුවකට රුපියල් තුන්සීයක් දෙන්න වෙන නිසාත් තඩියා ගමට එන්න සෑහෙන හදිසියි.. ලොකුම  ප්‍රශ්ණය වෙන්නෙ ඔය එකක්වත් නෙවෙයි.. වෝටර් ලිමෝසීන් එක පදවපු එන්ජින් සියල්ලම කුදාර් වෙලා කට් වෙලා ඉන්න නිසා ගමට එන්න තියෙන්නෙ තඩියගෙ ස්ටියරින් එන්ජිම විතරයි.. උදයා ඔරුවකට බෝට්ටුවකට නැගපු වෙලාවේ ඉඳන්ම බහින වෙලාව වෙනකල්ම කරන්නෙ යාත්‍රාව ඇතුලෙ අඩියෙ තියන වතුර අයින් කරන එක නිසා උදයා හබල් ගෑමට යොදාගන්න බෑ.. උදයා බෝට්ටුවට නගින්නෙම පොල් කටුවක් වගේ මොකක්ම හරි භාජනයක් හොයාගෙන.. එහෙම එකක් හොයාගන්න නැතිනම් අරක්කු මූඩියකින් හරි වතුර ඉහින වැඩේ ඌ අතාරින්නෙ නෑ..

තඩියා වෙරි මතේ තනියම හබල් ගාද්දි මටත් ඉතිං බලන් ඉන්න බැරි නිසා මාත් හබලකුත් අතට අරගෙන ලිමෝ එකේ ඉස්සරහ කොනෙන් වාඩිවෙලා හබල් ගහන්න පටන් ගන්නව.. ඒත් ඒ වැඩේ අහවර වෙන්නෙ තඩියා අමු සිංහලෙන් මාව අමතලා හබල උඩට ගනින් කියලා කිව්වාම.. මාත් ඉතිං කරන්නෙ හබල් ගහනවට වඩා හබල වතුරට දාගෙන වෙරි මතේ නිදි කිරා වැටෙන එක නිසා තමයි තඩියා සිංහලෙන් මාව අමතන්නෙ.. තඩියා තනියම පිටිපස්සෙ එන්ජිමෙන් විතරක් වොටර් ලිමෝසීන් එක පදවද්දි තව එකෙක් ඉස්සරහින් හබලක් වතුරට දාගෙන ඉන්න එකෙන් වෙන්නෙ ලිමෝව තවත් මන්දගාමී වෙන එක.. කටගොන්නක් බීලා හම්බානෙකට වෙරි මතේ තනියම ලිමෝව පදින තඩියට ආං ඒ වෙලාවට තමයි නීරීක්ශණ චාරිකාව අදෝමයි කියලා  හිතෙන්නෙ.. ඒ එක්කම සුද්දා මාමවයි එක්ස්ට්‍රා චාර්ජස් රුපියල් තුන්සීයයි මතක් වෙනකොට තඩියට කාපුබීපුවයි වෙරිමතයි ඉස්පොල්ලෙ යනව ඉතිම්... 

උදේ හත හතාමාර වගේ වෙද්දි තඩියා අමාරුවෙන් ඩ්‍රැයිවින් කරගෙන එන සුද්දා මාමගෙ වෝටර් ලිමෝසීන් එක තුඩුවමුල්ල තොටුපොලට සේන්දු වෙනව.. එතැනින් එහා තියෙන්නෙ කුදාර් වෙලා කට් වෙලා ඉන්න උදවිය නාන තොටුපොලේ ඇඳුම් මාරුකරන කෑල්ල ඇතුලෙන් සත්ප්පවලා සුද්දා මාමගෙ වෝටර් ලිමෝසීන් එක රිටර්න් කරන්න යන්න.. ඒකට යන්නෙත් තඩියයි මමයි.. උදයා තියනවා නිරීක්ශණ චාරිකාව ගිය උදවියගේ මුරට.. වෝටර් ලිමෝසීන් එක රිටර්න් කරලා යතුරයි එන්ජින් හතරයි සුද්දා මාමිට භාරදුන්නාම නිරීක්ශණ චාරිකාවේ කරයුතු කම්මුතුයි..  එතැනින් එහා අපේ චාරිකාවයි මයින්ද මාත්තයලාගේ චාරිකාවයි වෙනස්වෙන තවත් තැනක් තියෙනව.. ඒ තමයි අපේ චාරිකාවේ බීලා කුදාර් වෙලා පීචං වෙලා කට් වෙච්ච එවුන් කාපු බීපුවා ගෙවල්වලට මාට්ටු වෙන්න නොදෙන්න අපි තදින්ම වගබලාගන්නව.. උන් බීපුවයේ වෙරි හිඳෙනකල් අපි උන්ව නාන තොටුපොලේ හංගලා තියාගෙන ඉන්නව.. තුඩුවමුල්ල සියලූම ටීවී චැනල්වල මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය වේදිනියන් ගම පුරා තොරතුරු හෙව්වත් බීපු එවුන් ගැන තඹේක තොරතුරක් එලියට එන්නෙ නෑ.. ඒකට අපේ මයින්ද මාත්තයලාගෙ නිරීක්ශණ චාරිකාව..  ගිහිං දවසක් දෙකක් යද්දි වීඩියෝ ‍යනවා කියහංකෝ සෝසල් මීඩියාවල.. 



(මේ තියෙන්නේ තුඩුවමුල්ල තොටුපොල.. හැමදාම හවසට කොල්ල විස්සක් තිහක් ලකේට ගඟේ පැනපු තැනට දැන් වෙලා තියනදේ.. ඔය දකුණු පැත්තේ තියන පුංචි කාමරේ තමා කට්ටියව වෙරි හිඳෙනකල් හංගලා තියන්නේ..)


මයින්ද මාත්තයලා ගියපු නිරීක්ශණ චාරිකාවෙ ගිය පනස් පස්දෙනෙකුට කන්න දෙන්න වියදම්වුනේ දාහතරදාහයි කියලා ඇමටිතුමා කීවා කියලා එස් එල් ව්ලොග් හසලකයා කියනවා මට ඇහුනා.. මම මේ කල්පනා කරන්නෙ අපි ඔය නිරීක්ශණ චාරිකාව ගිය 1996 අවුරුද්දෙත් පහලොවක විතර කන්ඩායමකට කන්න බොන්න ඔය ආසන්න වියදමක් ගිය එකේ, බඩු මිල අහස උසට ගිය කාලෙක පනස් පස්දෙනෙකුට දාහතර දාහකින් කන්න බොන්න දීපු කේටරින් එක තියෙන තැන හොයාගත්තොත් ඉතිං සෑහෙන්න අඩු ගානකට තුන්වේල කන්න පුලුවන් වෙයි රටේ එවුන්ට .. 

තනියම කල්බැපනා කරලා බැලුවාම මයින්ද මාත්තයලාගෙ නිරීක්ශණ චාරිකාවට වඩා අපි සෑහෙන සාර්ථකයි... මම එහෙම කියන්නෙ ඇයිද දන්නවද..  තඹේක ආදායමක් නැති අපි ඒ ලෙවල් කරපු කාලෙ, එකා එකා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන, සුද්දා මාමිගේ වෝටර් ලිමෝසීන් එකත් රෙන්ට් කරගෙන, බයිට් හදාගෙන, කෑම හදාගෙන, ගඟ දිගේ හැතැක්ම දෙක තුනකුත් ගිහිං,  රෑ එලිවෙනකල් කුදාර් වෙනකල් බීලා, සිංදු කියලා, රොකට් එකක නැගලා අඟහරු ලෝකේ පැත්තෙත් ගිහිං ආතල් එකකුත් අරගෙන, ගමේ ගොඩේ එකාලට තියා , දෙමාපියන්ටත් නොදැනෙන්න  ගෙවල්වලට ගිය අපි මයින්ද මාත්තයලාට වඩා දක්ශ නැද්ද මම අහන්නෙ... අද මේක ලියනකල්, අපි  ගිය නිරීක්ශණ චාරිකාව ගැන ගෙවල්වල එවුන් තියා ගමේ ගොඩේ බල්ලෙක් පූසෙක්වත් දන්නෙ නෑ...   


15 comments:

  1. "සුද්දා මාමිගේ වෝටර් ලිමෝසීන් එක"
    හැක් හැක්......

    ReplyDelete
  2. ඔව්, මේ නිරීක්ෂණ චාරිකාව මරු.

    ReplyDelete


  3. සුද්ද මාමගෙ අගුල දැන් එතන නැහැ බං.අන්තිමට දැක්කෙ කෑලි වලට ගලවල ගෙදර පාර්ක් කර තියෙනව.ආයෙම යන්න පුදුම ආසාවක් තියෙන්නෙ.ඊලග වැකේශන් එකේ ඒක ඉටු කරගමු 👍
    ඔය කියන නිරීක්ශ්න චාරිකාව අපි ගියේ තුන්වෙනි බන්ට් එකට.පාර්ටියක් දාන්න එතන තරම් නිදහස් තැනක් ලොවෙත් නෑ.සබ්‍ය අසබ්‍ය වචන,ඕන තරම් හයියෙන් සිංදු කියන්න පුලුවන් තැනක්.අහල පහල පේන මානෙක මිනිස් වාසයක් නෑ.ආන්න ආතල් ගන්න තැන්.
    ටයර් දෙක තුනක් දාගෙන ගියා නම් රෑ එළිවෙනකන් ගිණි මැලය පත්තු වෙනව.කොච්චර ආතල් උනත් මට ඕකෙ එපාවෙන හරිය තමයි අන්තිම.කාලකන්නි අපතයො ටික නිදා ගන්නව මම අගුල තනියෙම පැදගෙන එන්න ඕන කිලෝමීටර් තුනක් විතර.😤😤😤එක බල්ලෙක් නැගිටල සපෝර්ට් එක දෙන්නෙ නෑ.උබගෙ උදයගෙ සපෝර්ට් එක ගැන ලියල තියෙන නිසා මම ඒ ගැන මොකුත් කියන්නෙ නෑ.අඩුම තරමෙ උබල දෙන්න නැගිටල වත් ඉන්නව.අනිත් උන් නම් තුක් නොදකිං.ඒ කොහොම වෙතත් බොහෝම සුන්දර අතීතයක්....මයින්ද මාතියලට හෙන ඉල්ලුවට මේවට නම් ඉතිං නෝ හෙන.ආතල්ම විතරයි.😍😍😍

    ReplyDelete
  4. වොටර් ලිමොසින් එකේ අධ්‍යාපන චාරිකාවේ අරමුණ ගඟමැද ඉදන් රොකට් යවන එක වෙන්නැති නේ....


    බදු ගැහිල්ලේ එක හොදක් තියෙනේ ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ආණ්ඩුව මොකක්ද කරන්නේ කියන එක ගැන හැමෝම අවධානෙන් ඉන්නේ...ඉස්සර සල්ලි අච්චු ගහලා මහින්ද ලොක්කා පාටි දාන කාලේ හැමෝම සද්ද වහගෙන හිටියේ....සල්ලි අච්චු ගහලා පාටි දාන කාලේ ඉපදෙන්න ඉන්න ලමයින්ගේ අනාගතේ උකස් කරලනේ පාර්ටි දැම්මේ...

    ReplyDelete
  5. කාලෙකින් මේ පැත්තේ ආවේ.. අම්බලන්ගොඩයට ජයවේවා..

    ReplyDelete
  6. Waren tho mepara gedara..... (by dada)

    ReplyDelete
  7. ඒක මරු , ගිනි මලේ පත්තු කරන කොට සාමාන්‍යයෙන් මදුරුවෝ එන්නේ නැහැ නේද

    ReplyDelete
  8. හරි දැං උඹල මොකක් නිරීක්සනේ කරන්නද ගියේ.

    ReplyDelete
  9. එතකොට අම්බලන්ගොඩ අයිය්ලා කිවුවේ මගේ පොඩි යාලුද...🤭🤭

    ReplyDelete
  10. අපිට ඔහොම චාරිකා එක්කං යන්ඩ යාලුවො නෑනෙ දැං. පොඩි කාලෙනං ඔන්න අතේ සතේ නැත්ත ඔය වගේ චාරිකා එමට 😢

    ReplyDelete
  11. Thank you for fostering a sense of community among your readers. It's a wonderful space.

    ReplyDelete