Sunday, January 7, 2018

එහා ගෙදර ඩයින කොටේ 1





ගොඩයා ගිය අවුරුද්දට බස් ගැන පොස්ට් දෙකක්දෝ කොහේ  ලිව්වා උනත් බස් කියන්නේ ලියලා ඉවර කරන්න බැරි කතාන්දර ගොඩාරියක් තියෙන සබ්ජෙක්ට් එකක්. ගොඩයා ලියන බස් පොස්ට් එකක් කියවලා " බස් කතා ගානක් මතක් උනා මචං අද හෙටම ලියන්න ඕන " කියලා කියන බ්ලොග් පාඨකයින් අතරේ අංක එක ස්ථානයේ ඉන්නේ අපේ "කල්‍යානමිත්‍ර" බ්ලොග් අඩවිය ලියන කමියා තමයි.  ඒ උනාට උන්දෑ ආන් අරෙහෙ බුකියට වෙලා විරහ ගී කෑලි බුකියේ බිත්තියේ ලිය ලියා ඉන්නවා ඇරෙන්න බ්ලොග් පෝස්ට් එකක් ගැනනම් මෙලෝ උනන්දුවක් නෑ. ඒ හින්ද පුල පුලා බලා සිටියට කමියාගේ බස් කතා කියවන්න වෙන්නේ ඉතින් ඊළඟ කල්පයේ තමා. ඒ උනාට කමියාගේ මතකයේ හුඟක් බස් රසකතා තියෙන්න ඕන කියලා ගොඩයා උපකල්පනය කරන්නේ එක්තරා හේතුවක් නිසා. ඒ තමා කමියාගේ රස්සාව, පරස්තාව, පදිංචිය තිබිලා තියෙන්නේ " දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ, රාල මීගමුවේ, මුවෙක් විද්දයි සබරගමුවේ" කියන  තියරියට නිසා. ඔය ආකාරයෙන් උතුර දකුණ මධ්‍යම කඳුකරය යාකරපු කරාපු කමියා  සෑහෙන්න බස්වල කට්ට කාපු එකෙක් වෙන්න ඕන කියල ගොඩයා හිතන  නිසා කමියගේ  මෙමරියේ  බස් කතා  ගානක් ඇති කියලයි ගොඩයාගේ උපකල්පනය. කමියා ගැන ඕනවට වඩා ආලවට්ටම් ලියන්න ගිහින් කමියා උදහස් උනොත් කියලා හිතෙන නිසා කමියා ගැන එච්චරයි. බලමුකෝ මේක දැක්කාමවත් කමියා බස් කතා ලියාවිද කියල.

ගොඩයාට බස් හීනයක් තිබ්බේ අද ඊයෙක හිටං නෙවෙයි. ඒක ඇවිල්ලා චිරාත් කාලයක් තිස්සේ ගොඩයාගේ හදවතේ කැකෑරිච්චි ආසාවක්. එත් දැන් වෙද්දීනම් ඒ බස් සිහිනය සැබෑ කරන්න බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ මොකද කියනවනම් දැන් ගොඩයා සිරිලංකාවේ ව්‍යාපාර කරන අදහසින් බැහැර වෙලා ඉන්න නිසා. ඒත් මීට අවුරුදු දහයකට දොළහකට කලින් නම් ගොඩයාගේ බස් උණ තිබ්බේ උණසන්නිපාතය වෙන්න ඔන්න මෙන්න. ඒ වෙද්දීත් රැකියාවටත්, කරගෙන ගිය ව්‍යාපාරයටත් අමතරව, ට්‍රාන්සපෝර්ට් ව්‍යාපාරයකුත් සුළුවෙන් කරගෙන ගිය නිසා ගොඩයාගේ සිහිනය උනේ බස් ව්‍යාපාරයට අතගහන්න. 

ඔන්න ඔය විදිහට බස් ගැන වටේම ඉවකරමින් ඉන්නා අතරේ තමයි ගොඩයාට ආරංචියක් එන්නේ දන්නා කියන මුදලාලි කෙනෙකුගේ බස් පර්මිට් එකක් විකුනනවා කියන කාරණය. මුදලාලිගේ බස් එකක වැඩකරපු ගොඩයාගේ අසල්වැසි මිත්‍රයෙකුගෙන් තමයි ගොඩයාට පණිවුඩය ලබෙන්නෙ. ඔය කියන මුදලාලි ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙක් වගේම ගොඩයා පුද්ගලිකව දන්නා කෙනෙක් කියමුකෝ. ඒක එහෙම වෙන්න පලවෙනි හේතුව තමා මුදලාලිගේ එක් ව්‍යාපාර අංශයකට අදාළ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව සඳහා ලංකාවේ සිටින විදෙස්  පුහුණුවලත් කාර්මිකයින් කිහිපදෙනාගෙන් ගොඩයා එකෙක් වීම නිසා.

මුදලාලිගේ ව්‍යාපාරයේ තිබ්බ යන්ත්‍ර සූත්‍ර මාස දෙක තුනකට සැරයක් රෝගාතුර උනාම මුදලාලි කුකුලා මල්ලේ දමාගෙන දුවගෙන එන්නේ ගොඩයාව හොයාගෙන. මුදලාලි එන්නෙත් පොලී මුදලාලි ණයකාරයා  අල්ලන්න එන තියරියම අනුගමනය කරගෙන නිසා ගොඩයාට බොරුවක් කියලා මාරුවෙන්න හෝ හැංගෙන්න තියෙන චෑන්ස් එක අඩුයි. දැන් මේක කියවන උදවියට නැගෙන ප්‍රශ්නයක් තමයි ඇයි මුදලාලි එද්දී ගොඩයා හැංගෙන්න උත්සහ කරන්නේ කියන එක. ඒකට පලවෙනි සහ අවසාන හේතුව සරලවම කියනවනම් ඔය කියන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරද්දී දාන අමතර කොටස් මුදලාලි මලාට අලුතෙන් නොදාන නිසා. අවශ්‍ය අමතර කොටස් නොදා කොහොමද  හත් ඉලව්වේ කැඩිච්ච යන්ත්‍රයක් හදන්නේ කියන කාරනාව මුදලාලිට තේරුම් කරන භාෂාව ගොඩයා ඉගෙනගෙන තිබ්බේ නෑ. ඒත් මුදලාලිගේ ආයාචනය වෙන්නෙම අලුත් එකක් ලබන සතියේ ගන්න ඉන්න හින්දා මේක සතියකට ගොඩ දාල දීපන් රත්තරනේ කියන වගේ එකක්. ගොඩයා ඔව්ව හදන්න දන්නවා උනාට ඔය මුදලාලිගේ අවශ්‍යතාවය අනුව සතියකට, දවස් දෙකකට හදන සාස්තරයක් ගොඩයා ඉගෙනගෙන නෑ. මුදලාලි අත්දැකීමෙන් දන්නවා ගොඩයා වදෙන් පොරෙන් ඇදෙන ගිහිං හැදෙව්වොත් ආයේ යන්තරේ මාස හයක් දුවාගන්න පුළුවන් කියන කාරණය. මුදලාලි ගෙවීම් පැහැරහරින පුද්ගලයෙක් නොවුනට ගොඩයා ඔයාකාරයේ යන්තම් සන්තම් අටවන වැඩ වලට කැමැත්තක් නැති නිසා මුදලාලි කෝල් කරාට ගොඩයා නෙවෙයි එව්වට ආන්සර් කරන්නේ. ආන්න ඒ විදිහට කෝල් සීයක් දෙසීයක් දීලා බැරිම තැන තමයි මුදලාලි හොලා වගේ සෙනසුරාදා ඉරිදා වගේ සති අන්ත දවසක උදේ කුකුලා මල්ලේ දාගෙන ගොඩයාගේ නිවසේ ප්‍රධාන දොර ඉදිරියේ ප්‍රාදූර්භූත වෙන්නේ. එහෙම එන්නෙත් සෙල්ලම් වෙලාවල් වලට නෙවේ.. උදේ හයට, පහයි හතලිස් පහට වගේ සුපිරිම වෙලාවල් වලට. ඒ වෙලාවට ගෙදර දොරේ සීනුව ඇහිලා දොර අරින්නේ ගොඩයාගේ මව හෝ පියා නිසා මුදලාලි ඒ දුර්වලකමෙන් උපරීම ප්‍රයෝජනයක් ගත්ත. ඒකට පලවෙනි හේතුව තමා ගොඩයා ගෙදර නෑ කියන බොරුව කියන්න ගොඩයා ගේ වැඩිහිටියන් හතරවෙනි සිල්පදේ නොකඩන බව මුදලාලි හොඳින්ම දන්නා නිසා. ඒ වගේම දෙවැනි හේතුව තමයි ඒ වෙලාව  ගොඩයා මුදලාලි එනවා දැකලා ගෙදර පිටිපස්සේ දොරෙන් පැනලා දුවන්නේ නැති, ගොඩයා සැපෙන් නිදාගන්නා වෙලාව නිසා. තුන්වෙනි හේතුව තමයි ගොඩයා නිවසේ සැපෙන් නිදි වග මිදුලේ නවතා තිබෙන ගොඩයාගේ රථය එක් සාක්ෂියක් නිසා.

ඔන්න ඔය වගේ කසිප්පු පොලට පොලිසියෙන් පනින සැම්පලේට මුදලාලි ගොඩයාගේ නිවසට පැනලා ගොඩයාව අල්ලාගන්නා නිසා ගොඩයාට සිද්ද වෙනවා දවස ඇතුලත ගිහින් මුදලාලිගේ යන්තරේ ගොඩදාල දෙන්න. ගොඩයා එහෙම කරන්නේ හේතු තුනක්  නිසා. පළවෙනිම හේතුව එදා දවස ඇතුලත නොගියොත් පහුවදා උදේ නින්දත් මුදලාලි විසින් කුඩේ කුඩු කරලා දාන වග ටක්කෙටම දන්නා නිසා. දෙවැනි හේතුව ගෙදරටම හොයාගෙන ආපු මනුස්සයට බෑ කියන්න බැරි කමට. තුන්වෙනි හේතුව  තමයි  ව්‍යාපාරිකයෙක් විදිහට මුදල් අරපිරිමැස්ම සඳහා අමතරකොටස් වියදම අවම කලාට මුදලාලි හිත හොඳ මනුස්සයා නිසා. ඔන්න ඔය හේතුන් නිසා ගොඩයා ගෙදර තියෙන පරණ ඉවත්කළ යන්ත්‍ර සුන්බුන් අවුස්සලා අවශ්‍ය කරන වැඩක් ගන්න පුළුවන් පරණ කෑලි දෙකතුනකුත් හොයාගෙන  දවල් වෙලා ගිහින් මුදලාලිගේ යන්තරේ ගොඩ  දානවා.  ඒ වෙනකම් මුදලාලිගේ හිතේ තියෙන " ලබන සතියේ අලුත් එකක් ගන්නවා " කියන සිතුවිල්ල මුදලාලිට දවසින් දෙකෙන්ම අමතක වෙනවා ආයේ යන්තරේ ලෙඩක් දෙනකල්ම.

මුදලාලි ගැන හැඳින්වීම ගොඩක් දීර්ඝ උනාට  කොට කරලා ලියන්න යාමෙන් ගොඩයට අවශ්‍ය ආකාරයේ බ්ලොග් පොස්ටුව ලියවෙන්නේ නෑ. ඒ හින්ද ගොඩයාගේ සිරිත තමා කියවන්නාගේ හිතේ ප්‍රශ්නාර්ථ ඇති නොවෙනා ආකාරයෙන් වටපිටාව විස්තර කිරීම. 

ඔන්න ගොඩයා ගොඩයාගේ පාසල් මිත්‍ර අඹ යාලුවෙක් වෙන, සහ   බස් කිහිපයක හිමිකාර ව්‍යාපාරිකයෙක් හමුවෙලා ඔය කියන රූට් එක ගැනත් ආදායම ගැනත් අහනවා ගොඩයා බස් කර්මාන්තය ගැන පරතෙරටම නොදන්නා නිසා.  ඊළඟට ගොඩයා යනවා  යනවා මුදලාලි හම්බෙන්න රූට් පර්මිට් එක ගන්න හිතාගෙන, මුදලාලිගේ සහ ගොඩයාගේ සහසම්භන්ධය යන්ත්‍ර සූත්‍ර හරහා ඉතිහාසයට දිවගියාවූ එකක් නිසා මුදලාලි එකෙන්ම කැමති වෙනවා ගොඩයාට රූට් පර්මිට් එක දෙන්න. ඕන් එදාම තමා ගොඩයාට මේ පණිවුඩය ලබාදුන් අසල්වැසි මිත්‍රයා  ගොඩයාව හොයාගෙන නිවසට පැමිණෙන්නේ. ඔය කියන මිත්‍රයා තමා  මුදලාලිගේ ඔය රූට් එකේ දුවපු බස් එකේ කොන්දොස්තර. ගොඩයා එක්ක වැලි කෙලියේ හිටං එකට හිටපු ගමේ මිත්‍රයෙක් කිව්වොත් තමා නිවැරදි. ඔන්න ඊළඟ දෙබස මෙහෙමයි..

 උඹ ගියාද XXXX මුදලාලිව හම්බෙන්න..

ඔව් ගියා.. ඇයි මොකෝ කේස් එක..

උඹ විකුනපු බස් එකේ රූට් පර්මිට් එක ගන්නද හදන්නේ..

එහෙම තමයි බන් හිතන් ඉන්නේ... උඹ එනවනේ වැඩ කරන්න ?

මේ.........මං ......මේ.....

මොනවද මනුස්සයෝ ගොත ගහන්නේ... කියනදේ කියහන් කෙලින්..

මුදලාලි බස් එක විකුනන්න කලින් ඕකේ වැඩකරේ මමනේ බන්..

ඔව් ඉතින් උඹ කාලයක් ඉඳන් මුදලාලිගේ බස් එකේ වැඩ කරානේ..

මේ... මේ......

මොනාද බන් ගොත ගහන්නේ.. මං  ගත්තාම උඹ වැඩකරහන් ..  මං ඉතින් උඹට කියලා තියෙනවනේ මං බස්  ගෙනාවොත් උඹට වැඩ කරන්න දෙනවා කියල..

ඔව් බන් ඔව්... දැන් මේ....මේ....

උඹ මගෙන් දෙකක් අහන්නේ නැතුව හිතේ තියෙන දේ කෙලින් කියහන්..

නෑ බන්.. මමත් මේ කල්පනා කරේ පොඩි ණයක් එහෙමත් අරගෙන මුදලාලිගෙන් පර්මිට් එක අරගෙන බස් එකක් ගෙනැත් දුවන්න කියල....

ඉතින් බන් ඕක කියන්න ඔච්චර තටමන්න ඕනෙද..

නෑ බන් මම මුදලාලිගෙන් ඉල්ලුව.. මුදලාලි කිව්වා පර්මිට් එක උඹ ඉල්ලුව කියල.. කොහොමත් මුදලාලි පර්මිට් එක දෙනවනම් දෙන්නේ අපි දෙන්නේගෙන් කෙනෙකුට විතරයි කිව්වා.. එත් උඹ කලින් ඉල්ලපු නිසා උඹට දෙන්න  වෙනව කිව්වා..

ඕක අරන් දුවහන් එහෙනං ..මම මුදලාලිට කියන්නං උඹට දෙන්න කියල.. 

ෂුවර්?

අනිවාර්යෙන්... මං මුදලාලිට කෝල් එකක් දෙන්නං .. උඹ ගිහින් පර්මිට් එක අරං බස් එකක් අරන් දාපං .. හැබැයි පුතෝ උඹ මේක කරන්න ගිහිං පර්මිට් එක උඹටයි මටයි දෙන්නටම නැති කරන්න එපා..

එවකටත් රජයේ රැකියාවක සහ ව්‍යාපාරයක හිමිකරුවෙකු වශයෙන්,  අනෙකා ගැන නොසිතා මස් රාත්තලම ඉල්ලාසිටීම  ආචාරධර්ම වලට පටහැනි ක්‍රියාවක් නිසා,  අමාරුවෙන් නැගී හිටින්න වෙර දරන තරුණයෙකුට, උගේ රැකියා ක්ෂේත්‍රයේ ඉහලට යන්න තියෙන විරල අවස්තාවක් අහුරන එක සාධාරණ නැහැ කියන එක ගොඩයා දන්නවා. බස් රථය පාරට දැම්මානම් අපේක්ෂිත ආදායම සැලකියයුතු මුදලක් උනාට දරිද්‍රතාවයෙන් මිදෙන්න ක්‍රමයක් හොයන දුප්පත් කොල්ලෙකුගේ අවස්ථාව පැහැරගැනීම සාධාරණ නැහැ කියන මතයේ පිහිටා හිටං ගොඩයා පැහැදුණු හිතින් රූට් පර්මිට් එක ගමේ මිත්‍රයාට දෙන්න කියන පණිවුඩය මුදලාලි වෙත ලබා දෙනවා. ඒ සංවාදය මෙහෙමයි.. ඔන්න බලමුකෝ අඹ යාලුවන්ගේ හැටි..අඹ යාලුවා කිව්වේ ගොඩයාට නෙවෙයි.. පහල සංවාදය කියෙව්වම වැටහෙයි..


මුදලාලි මම  

හරි පුතා... මොකෝ වෙන්න ඕන... කවද්ද ගනුදෙනුව කෙරෙන්නේ..

මුදලාලි ඔය බස් එකේ වැඩකරපු කොන්දොස්තර පර්මිට් එක ඉල්ලුවද?

ඔව් මේ අද ඇවිත් ඉල්ලුව.. ඒත් ඉතින් ඔයානේ කලින් ඉල්ලුවේ..

ඔව් මුදලාලි.. ඔය කොල්ලා අපේ ගෙවල් ගාවනේ පදිංචිය.. පුංචි කාලෙ ඉඳන්ම යාළුවො.. ඉතින් මං කල්පනා කරේ ඕක එයාට දීලා දාන්න කියල.. ඌත් අමාරුවෙන් ඔලුව උස්සන එකානේ මුදලාලි..

ඔයා කියනවනම් මම මේක එයාට දෙන්නම්.. මේක මම කොහොමත් දෙනවනම් දෙන්නේ ඔය දෙන්නගෙන් කෙනෙකුට විතරයි.. 

බොහොම ස්තුතියි මුදලාලි එහෙම කියනවට..

ඒ උනාට පුතා ඔයාගේ යාළුවො නම් ඔයාගේ අහලකින්වත් තියන්න බෑ .. 

කොයි යාලුවා ගැනද මුදලාලි මේ කියන්නේ?

මම දන්නවා xxxx ඔයාගේ හොඳම යාලුවෙක් කියල..

ඉතිං ..

ඔයා මේ පර්මිට් එක ගැන මොනවහරි ඇහුවද එයාගෙන් ?


ඔව් මුදලාලි මම එයාගෙන් රූට් එක ගැන විස්තර ටිකක් ඇහුව තමයි..


මේ පර්මිට් එක විකුනනවා කියල දන්නේ ඔයයි ඔය බස් එකේ වැඩ කරපු ගෝලයයි විතරයි පුතා.. ඊයේ හවස ඔයාගේ යාලුවා xxxx ඇවිත් වැඩිපුර හැත්තෑපන්දාහක් දෙන්නං කියල පර්මිට් එක ඉල්ලුව.. මං කිව්වා දෙන්නේ දෙනවනම් ඔයාට විතරයි කියල.. මං හිතනවා එයා ඕක විකුනනවා කියලා දන්නේ ඔයාගෙන් ආරංචි වෙලා කියල...ඔන්න බලනවා ඔයාල බඩ බැඳගෙන ආස්සරේ කරන මිනිස්සුන්ගේ හැටි..

ඔව්ව ඔහොම තමයි මුදලාලි.. 

හා හා... මං  එහෙනම් මේක අපේ කොන්දොස්තර ගෝලයාටම දෙනවා එහෙනං ..


හා මුදලාලි.. 

ඔන්න මුදලාලිගේ සාදර අනුග්‍රහයෙන් අපේ ගමේ මිත්‍රයා ගෙනාව බස් රථයක්. මුදලාලිට ඔය විකුනපු පර්මිට් එක සල්ලි කාරයෙකුට වැඩි මිලට විකුනන්න පුළුවන්කම තියෙද්දිත් මුදලාලි පර්මිට් එක බොහොම අඩු මුදලකට තමුන්ගේම කොන්දොස්තරට දුන්න, යමක්කමක් උපයාගෙන හැදියන් කියන ප්‍රාර්ථනයෙන්. එහෙම මිනිස්සු අද සමාජයේ විරල නැද්ද හා.. එහෙම මිනිස්සුන්ට හොඳක්ම වෙන්න ඕන කියන එකයි ගොඩයාගේ ප්‍රාර්ථනය.

අපේ මිත්‍රයා ඉන් සති කීපයකට පස්සේ බස් රථයක් ගෙනාවට ඕක දකින්න වෙලාවක් කලාවක් ගොඩයාට ලැබුනේ නෑ. වැඩේ කියන්නේ ඒ වෙද්දී අපේ කොන්දොස්තර මිත්‍රයාට ෆුටාර් එකක් ඇරෙන්න එන්ජිමකින් ස්ටාර්ට් කරන රෝද හතරේ තියා දෙකේ එකක්වත් එහාට මෙහාට කරන්න දැනුමක් නෑ . කොටින්ම කියනවානම් ස්කූටර් එකක්වත් පදින්නේ කොහොමද කියලා ඌ දන්නේ නෑ..

 ඔන්න ඒ අතරේ සති අන්තයේ දවසක ගොඩයා ඇලට් එකක් දාගෙන ඉද්දි කව්දෝ ගෑනු පරානයක් ගොඩයාගේ නම කියලා මරහඬ දෙනවා ගොඩයාගේ ගේට්ටුව ගාව. ගොඩයා ගිහින් බැලුවා මොකාද බොල මේ කියල.. බැලින්නම් සතියකට වගේ කලින් බස් හිමියෙක් වෙච්ච අපේ කොන්දොස්තර මිත්‍රයාගේ අක්කණ්ඩි. ඔය කියන අක්කණ්ඩිත් ගොඩයාගේ මොන්ටිසෝරි ක්ලාස්මේට් කෙනෙක් කියමුකෝ.

මොකෝ..

අනේ  xxx  අන්න අරූ අර බස් මගුල පාරට අරං ඇවිත් අන්න අරෙහෙ ලයිට් කණුවයි තාප්පෙයි පෙරලන්න හදනවා.. අනේ පුලුවන්නම් බස් එක ගෙදරට රිවස් කරලා දෙන්නකෝ..


ඔන්න ගොඩයා ගේට්ටුවෙන් පාරට එබිලා බැලින්නං  ටොයෝටා ඩයිනා ක්ලිපර් බස් කොටයක් අතුරු පාරෙන් ප්‍රධාන පාරට දාන්න ගිහිං එලොවටත් මෙලොවටත් දෙකටම නැතුව හිරවෙලා කියහන්කෝ.. කොන්දොස්තර මිත්‍රයා රියදුරු අසුනට වෙලා විරිත්තගෙන ඉන්නවා ගලේ පහරපු බළලෙක් වගේ කර කියාගන්න දෙයක් නැතුව. ඒ අතරේ එංජිම රේස් කරන රේස් කිරිල්ලට මේ දැන් තාප්ප ලයිට් කණු පෙරලගෙන බස් කොටේ ඉගිලෙයිද කියලා හිතෙන තරම්. ඒ මදිවට අපේ කොන්දොස්තර මිත්‍රයාගේ ගෙදර සාමාජිකයින් බස් එක වටේ වටවෙලා භයෙන් භිරාන්ත වෙලා කෑ ගහනවා අරූට කන්වල ඇඟිලි ගහගන්න තරම් සද්දෙන්. අරුත් අරින්නේ නෑ.. ඒ කියන දේවල් බල්ලෙකුට අහගෙන ඉන්න බැරි එව්වා නිසා එව්වා ඌට නෑහෙන ගානට ඌ බස් එකේ එන්ජිමෙන් ගෙදර එවුන්ට සද්දේ දානව.


 බස් කොටේ හිරවෙලා තියන විදිහට රියදුරාගේ දොර අරින්න විදිහකුත් නෑ. ඔන්න ගොඩයා යනවා බස් කොටේ ගාවට. එහෙම වාහනයක් එලොවටත් මෙලොවටත් නැතුව හිර කරන්න සෑහෙන්න හැකියාවක් තියෙන්න ඕන නිසා ගොඩයා තීරණය කරනවා මූ එසේ මෙසේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි කියල. මොකද කියනවනම් ඩයිනා කොටේ එලියට ගන්න ක්‍රේන් එකක් ගේන්න ඕන සයිස් වැඩක්. දකුණු ඉස්සරහ මුල්ල තාප්පෙකට අඟලයි, දකුණු පිටිපස්සේ මුල්ල තුන්මං හන්දියේ පාරෙන් එහා පැත්තේ ගෙදර ගේට්ටුවට අඟල් හයයි, බස් එකේ දකුණු බඳ ලයිට් කණුවට අඟලයි කියමුකෝ. උස්සන් ගිහින් තිබ්බ වගේ ආයේ හෙලෙව්වොත් තාප්පේ, ගේට්ටුව හෝ ලයිට් කණුව බිමට පෙරලෙන සීන් එකක්. අපේ කොන්දොස්තර මිත්‍රයාගේ අක්කණ්ඩි බනිනවා අරූට බැනිල්ලක් ආයේ බල්ලෙකුට අහං ඉන්න බෑ. 

ඔන්න ගොඩයා ගිහින් බස් එකට ගොඩ වෙන්න කලින් බස් එක වටේ පොඩ්ඩක් ගිහින් විපරම් කළා. මොකද මිත්‍රයා බස් එකක් ගෙනාවා කිව්වට මේ බස් එක මොකක්ද කියල ගොඩයා දැක්කේ නෑ. හිටපු ගමන් උදේ පාන්දර ගල්මෝලක් ස්ටාර්ට් කරනවා වගේ සද්දේ ඇහුනට ගොඩයා හිතුවේ නෑ ඒ බස්කොන්දොස්තර මිත්‍රයා ගෙනාපු අලුත් බස් එකේ සද්දේ කියල. මිත්‍රයා අලුතෙන් ගෙනාපු ඩයිනකොටේ දැක්කාම ගොඩයාට දුකේ බෑ කියමුකෝ.. කොටින්ම කියනවනම් බස් එක ගහේ ඉදිලා වැටිච්ච වැල ගෙඩියක් වගේ යකඩෝ. වැඩි විස්තර කියනවනම් බොඩිය වටෙන්ම කෑලි එලියට පැනපු උගේ මුත්තාගේ මුත්තාටත් වඩා වයස හැඩයක් නැති ඩක්කුවක් වගේ වෙච්ච බස් කොටේ පාරේ දුවන්න තියා යකඩ වලටවත් විකුනන්න බැරි තරම් එකක්. කොටින්ම කියනවනම්  ඇස් නොපෙනෙන මනුස්සයෙක්වත් ඕක අතගාලා බැලුවොත් ගන්නේ නෑ මොකද ඌටත් අතට දැනෙනවා මේකනම් බස් නෙවෙයි හුඹස් එකක් කියන එක. එළියෙන් බැලුවාම හොඳයි කියලා කියන්න එක කෑල්ලක්වත් නෑ. ටයර් හයම රීබිල්ට් එව්වත් කට්ටයක් හොයාගන්න බැරි තරම් ගෙවිල කියහන්කෝ. ඉස්සරහ හෙඩ් ලයිට් දෙක හොඳා රෑට පොල් කඩන්න යන්න.. මොකද කියනවනම් ලයිට් දෙකම ඒම් වෙලා තියෙන්නේ හඳට. ඉස්සරහ සිග්නල් ලයිට් වලින් බල්බ් එලියට එල්ලෙනව. පිටිපස්සේ ලයිට්වල කවර තියා බල්බ්වත් නෑ. ඒ කියන්නේ සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට්, රිවස් ලයිට් මොකක්වත් නෑ. සයිඩ් කන්නාඩි දෙක වෙනුවට මෝටර් සයිකල් සයිඩ් කන්නාඩි දෙකක්දෝ කොහේ අමාරුවෙන් එල්ලලා එව්වයේ ජාතකේ හොයන්නම නෑ. එංජිමේ සද්දේ ගල්මෝලකට වඩා ටිකක් සද්දෙයි වගේම එන්ජිමෙන් පිටවෙන දුම් ඔක්කොම සයිලන්සරේ කෙලවරට එන්න කලින් මග තියන හිල් වලින් එලියට එන හින්දදෝ කොහේ අරූ එක පාරක් රේස් කරාම සුදු දුම් වලාවකින් බස් එක නොපෙනී ගිහින් ටික වෙලාවකින් ආයේ මතු වෙනව. සුදු දුම් වලාකුලට වැහිච්ච ඩයිනකොටේ යාන්තමට දුම් වලාව ඇතුලෙන් මතුවෙනකොට පෙන්නේ හරියට දිව්‍ය විමානෙකින් බස් රාජයෙක් මහපොළොවට වැඩලා වගේ. 

ඔන්න ගොඩයා බස් එකට ගොඩ වෙලා අරුන්දව රියදුරු අසුනෙන් එලියට ඇදලා දාල වාඩිවුනා කියමුකෝ රියදුරු ආසනේ. අප්පට් සිරි වැඩේ එලියට වඩා ඇතුල දුක්ඛිතයි. බස් එකේ වාඩි වුනාම දැනෙන පලවෙනි භය තමයි බස් එක දෙදරන දෙදරිල්ලට කට ඇතුලේ අගේට තියන දත් තිස්දෙක ගැලවිලා බිම වැටෙයිදෝ කියන හැඟීම. සීට් ඔක්කොමත් ඉදිලා බිම වැටිච්ච වැල ගෙඩිය වගේම තමා. ඩෑෂ් බෝර්ඩ් එක බල්ලො කාල වගේ කෑලි නෑ. ඩෑෂ් එකේ ඉන්ඩිකේටර් එකක්වත් වැඩ නෑ. ඩීසල්, හීට්, ඇම්පියර් මීටර් වැඩ කරන්න විදිහක් ඇත්තෙම නෑ මොකද එව්වයෙ කටු ආගිය අතක් නෑ. ඩ්‍රයිවින් සීට් එක ගැන කියනවනං වෙනම චේදයක් ලියන්න වටිනා ඩ්‍රයිවින් සීට් එකක්. බස් සීට් එක වෙනුවට එතන තියෙන්නේ කාර් සීට් එකක් කියහන්කෝ. ඉතින් කියහන්කෝ කාර් එකේ වාඩිවෙලා ඉන්නවා වගේ සැපට ඇලවෙලා ඉඳගෙන බස් එකක් එලවන්නේ කොහොමද කියල. ඊටත් බස් එකක් කිව්වට ඒ වගේ හුඹසක් ?

ඔන්න ගොඩයා පැය භාගයක් විතර ඉස්සරහට පස්සට අරං ඩයිනාකොටේ හිරවෙලා තිබ්බ තැනින් එලියට අරගෙන ආපහු රිවස් කරගෙන ගිහින් මිත්‍රයාගේ ගෙදර මිදුලට දැම්ම. බස් කොටේ උන්දැගෙ මිදුලට තල්ලු කරලා එද්දී ගොඩයා කෝකටත් සිංහලෙන්ම කිව්වා "බුදු මහත්තයෝ ආයෙනම් උඹ මේක එලවන්න දඟලලා අහල පහල තාප්ප පෙරලන්න නම් එපා" කියල. ඒ කියල ගොඩයා ගෙදර එන්න හැරෙද්දී අපේ කොන්දොස්තර මිත්‍රයාගේ අක්ක ඇවිත් අරූගෙන් බස් එකේ යතුර උදුරාගෙන සිංහලෙන් කිව්ව " උඹ ආයේ මේක ස්ටාර්ට් කරොත් උඹේ අඬු කඩනවා මං " කියල. ඩයිනකොටේ රිවස් කරලා දීල ගෙදර එද්දී ගොඩයගේ අතපය හතර ගල් මෝලක වැඩකරා වගේ කියහන්කෝ. පවර් ස්ටියරින් නැති බස් කොටේ ඌ හිරකරලා තිබ්බ තැනින් එලියට ගන්න දඟලපු දැඟලිල්ලට කාලක් ගහලා වරුවක් නිදාගන්න තරම් ගොඩයාට අමාරුයි. පවර් ස්ටියරින් නැති බස් එකක් එක තැන හරවන්න තියෙන අමාරුව ගැන ඉතින් දන්නේ පවර් ස්ටියරින් නැති තඩි වාහන එලවපු එවුන්ම තමා. 

ඩයින කොටේ යාළුවගේ මිදුලට රිවස් කරලා දාල ගෙදර  එද්දී ආයෙත් පස්ස හැරීලා බස් කොටේ දිහා බලාපු ගොඩයාට හිතුනේ මේක හඳට යන්න හදපු බස් එකක්වත්දෝ කියල. මොකද එකේ මූනේ හයිකරලා තියෙන ලයිට්, ෂෙල්, බෆර් ඇතුළු සියලූම කෑලි බෑලි ඔක්කොම ඉන්නේ උඩ බලාගෙන. 

පොස්ට් එක ලියන්න ගියේ ඔය ඩයිනකොටේ  ගෙනාවයින් පස්සේ වෙච්ච සිද්දියක් ගැන උනත් ඩයිනකොටේ එතනට අවේ කොහොමද කියලා ලියාගෙන යද්දී පොස්ට් එක සෑහෙන්න දිග එකක් වෙලා නිසා අදාළ කතාව ඊළඟ කොටසෙන් කියනවා ඒත් එක්කම ඩයිනා කොටේ පෆෝමන්ස් ගැන සවිස්තරාත්මකව ලියවෙනවා ඊළඟ කොටසෙන්. ඊළඟ පොස්ට් එක සුවිශේෂී එකක්. ඒක ඊළඟ පෝස්ට් එකෙන් තමයි දැනගන්න වෙන්නේ. ඊළඟ පොස්ට් එකෙන් පස්සේ තමයි ඩයිනකොටේ ඉතුර කෑල්ල ලියවෙන්නේ.

එහා ගෙදර ඩයින කොටේ 2

http://ambalangodakatha.blogspot.com/2018/04/2.html

62 comments:

  1. /"දුන්න දුනුගමුවේ, ඊතල කිතලගමුවේ, රාල මීගමුවේ, මුවෙක් විද්දයි සබරගමුවේ"/

    "මුවෙක් ඇඬුවයි සබරගමුවේ" නේද?

    ReplyDelete
    Replies
    1. ඕක ඔය හැම විදිහටම කියනව නේද.. මුවෙක් විද්දයි සපරගමුවේ කියලත් කියනවා..

      Delete
  2. //සුදු දුම් වලාකුලට වැහිච්ච ඩයිනකොටේ යාන්තමට දුම් වලාව ඇතුලෙන් මතුවෙනකොට පෙන්නේ හරියට දිව්‍ය විමානෙකින් බස් රාජයෙක් මහපොළොවට වැඩලා වගේ. //

    :D

    ReplyDelete
  3. අමිමෝ....බස් එකේ විස්තරේ යාලුවා දැක්කොත් අමිබලන්ගෙඩ අයියා සොයා එනවා සිකුරැයි...

    ReplyDelete
    Replies
    1. කීයටවත් ඌ මේක දකින්නේ නෑ.. ඒ ගැනනම් සියයට දාහක් ෂුවර්..

      Delete
  4. /* අපේ "කල්‍යානමිත්‍ර" බ්ලොග් අඩවිය ලියන කමියා */

    කමියා ළඟදී මුණ ගැසුනා. නමුත් විනාඩි දෙක තුනකට පමණයි!
    https://www.facebook.com/photo.php?fbid=10156102040168793&set=p.10156102040168793&type=3

    ReplyDelete
    Replies
    1. කෝ ලින්ක් එක වැඩ කරන්නේ නෑ..

      Delete
  5. මං පුරුදු උනේ Toyota Dyna ඩබල් වීල් ලොරි කොටේකින්. ඒක නං කාරෙකක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නේ අනූ ගණන්වල නිෂ්පාදනය කරපු ඩයිනා ගැන .. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ මගේ අනුමානයේ හැටියට අසූව දශකයේ මුල් භාගයේ..

      Delete
  6. මරු. බස් එක මැවිල පේනවා.

    ReplyDelete
    Replies
    1. පොර මේ මෑතක එක විකුනලා ලේලන්ඩ් කොටයක් ගෙනාව.. තිබ්බනම් පිංතූරයක් දාන්න තිබ්බ..

      Delete
  7. හැක්.. එහෙනං ඔය බස් කොටේ පාරට දාල එලෝපු හැටි ගැන දැනගන්න ඊගාව පෝස්ට් එක ඉනකල් ඉන්න වෙනවයි කියහංකො.

    අපි ලර්නස් එකේදි බරවාහන පුරුදු වෙච්ච බස් එකත් ඔය වගේ තමයි. එකෙනං මොඩල් එකවත් හොයාගන්න බෑ. කනු තියෙන්නෙ ලී වලින්. ගියර් දාන්න ගියාම අත උළුක් වෙනව. ඒ මදිවට ඒක පවර් ස්ටියරින් කරල පොඩ්ඩක් තදිං ස්ටියරින් එක ඇල්ලුවොත් එහෙම වාහනේ යන්නෙ අපිට ඕන දිහාවට නෙමෙයි. අයිතිකාරයට මිසක් අපිටනං මලාට ඒකෙ ෆස්ට් එකට දාන්න බෑ. ඇඹිලිපිටිය ටවුන් එ‍ක මැද ඕක එලෝල තමයි මගේ පාරක වාහනයක් එලවං යන්න තිබ්බ බය නැති උනේ.

    ReplyDelete
    Replies
    1. මේකත් ඔයිට වැඩිය වෙනසක් නැහැ බන්.. ඊළඟ කොටසින් එව්වයේ විස්තර ලියන්නම්කො.. මං හිතන්නේ උඹලාගේ ඔය ලර්නර්ස් එකේ බස් එක මීට වඩා හොඳයි ඔය කියන විස්තර වලට අනුව..

      Delete
  8. ඊලග කෑල්ල මිට වඩා රසවත් , එක මට ෂුවර් !

    නියමයි!

    ReplyDelete
    Replies
    1. ඊළඟ එක කියවලම ඒක තීරණය කරන්නකෝ එහෙනම්..

      Delete
  9. //" බස් කතා ගානක් මතක් උනා මචං අද හෙටම ලියන්න ඕන "// පොඩ්ඩක් හිටාන් තාම පෝස්ටෙක කියෙව්වෙත් නෑ.. මේකට උත්තර දීල ඉන්න එපැයි.. ඇත්තටම කියන්න මම දැන් දැන් ඔහොම කොමෙන්ට් දාන එක පුළුවන් තරං අඩු කල්ල තියෙන්නේ.. කොටිම්ම මට කොච්චරවත් හිතුන උඹේ ඉස්සෙල්ල පෝස්ට් එකට 'ඉස්කෝල කතා බර ගාණක් මතක් උනා අද හෙටම මාත් ලියන්න ඕනි' කියල කොමෙන්ටෙකක් දාන්න හදලත් නිකං හිටිය.. ඇත්තටම කියුවොත් සමහරවිට අපි ඉපදෙච්චි කාලේ දීපේ දේසේ වැරද්දක්ද මංදා මේ අවුරුදු හතලිස් දෙකට අසූ හතරක අත්දැකීම් ලබන්න වෙලා තියෙනවා.. ඉතීම් මොකා බස් කතාවක් කියුවත්, කොච්චි කතාවක් කියුවත්, ඉස්කෝල කතාවක් කියුවත්, හමුදා කතාවක් කියුවත්, රැගින් කතාවක් කියුවත්, ලවු ඉලව් නෙවෙයි පන්සල් පල්ලියක කතාවක් කියුවත් ඒ ලඟින් යන අත්දැකීමක් මටත් තියෙනවා.. ඉතින් ඒවා මතක්වෙන එකවත් ලියන්න හිතෙන එකවත් වලක්කන්න බෑ.. වැඩේ කියන්නේ එහෙම හිතුන පලියට ලියන්න වෙන්නේ නැති නිසා දැන් ඕක කියනඑක නවත්තන්න වෙලා තියෙන්නේ..
    උඹ කියුව වගේ මම ඉපදුනේ මඩකලපුවේ.. ඉස්කෝලේ ගියේ හැදුනේ වැඩුණේ අවුරුදු විස්සක් වෙනකං බදුල්ලේ.. ඊට පස්සේ තව අවුරදු ගාණක් ට්‍රින්කෝ/ යාපනේ/ කොළඹ/ ගාල්ල වගේ තැන්වල වැඩකරේ.. දැන් ආයෙම කොළඹ වැඩ.. පවුල ගාල්ලේ.. ඒ කාලේ අපේ උන්දා එක්ක යාළුවෙලා ඉන්නකොට මම නිවාඩු එන්න කලින් දවසේ හවස යාපනේ.. රෑ මුලතිව් මුහුදේ.. පහුවෙනිදා උදේ ට්‍රින්කෝ.. දවල් කොළඹ.. හවස ගාල්ලේ.. පහුවෙනිදා දවල් මාතර (කෙල්ලත් එක්ක) හවස ආයෙම ගාල්ලේ (කෙල්ලව ගෙදර ඇරලන්න).. එතනින් ආයෙම මාතර.. මාතරින් මොනරාගල/ අම්පාර බස් එකක නැගල ගිහින් රෑ වෙලා වැල්ලවායෙන් බහිනවා.. වැල්ලවායේ පොලිසිය ඉස්සරහ චෙක් පොයින්ට් එක ගාව පැයක් හමාරක් ඉද්දි එන එළවලු ලොරියක හරි මොකක හරි නැගලා කුඹල්වෙල (බණ්ඩාරවෙල- බදුල්ල පාරේ) බහිනකොට පාන්දර දෙක තුන වෙලා.. එතනින් නගිනවා කොළඹ ඉඳන් එන බදුල්ල බස් එහෙක.. එහෙම ගිහින් තුන්වෙනි දවසේ පාන්දර 5-6 වෙනකොට තමයි ගෙදර යන්නේ.. ආපහු එනකොටත් ඔහොමම තමයි.. ඉතීම් බලපන්.. හෙහ්..

    දීර්ඝ විස්තරේට තැන්කියු ඈ! මේක ගැන සලකලාවත් කතාවක් දෙකක් ලියන්නම හිතෙනවා.. හැක්.

    ReplyDelete
    Replies
    1. මාතර ජෝඩුවකට කතා කරන්න තැනක් තියනවද අප්ප?
      මම මේ ලඟදි පත්තරෙන් දැක්ක ජෝඩු වගයක් පොලිසියෙන් අල්ලන් ගිහින් කියල.

      Delete
    2. මාතර බීච් එක තමයි.. 2002 අවුරුද්දේ එහෙම භිෂණයක් තිබ්බේ නෑ.. අපි නිදහසේ ගිහින් ඉඳල එනවා.. දැන් නම් නොදනී.. :/

      Delete
    3. ඈ බං උඹ කියන විදිහට උඹේ නිවාඩුව ඉවර වෙලා තියෙන්නේ මහමගටමනේ.. බැලුවාම ප්ලේන්ස්, ට්‍රෙන්ස් , ශිප්ස්, ඔටෝමොබයිල්ස්, කතා සෑහෙන්න ඇති උඹ ගාව.. උඹ නිවාඩු අරං පරංගියා කෝට්ටේ ගියාට හපන් විදිහට තමා ගෙදර ගිහින් තියෙන්නේ..

      Delete
    4. කාමියා බීච් එකම අල්ලන්නේ පිචර් එකක් හෙම බලන්න ගියොත් සාක්කුවට තට්ටුවෙන හින්ද කියල මංනම් හිතන්නේ.. අනික ඉතින් පොලිසියෙන් ආවත් ෆෝසස් අයිඩී එකක් එක්ක කමියව පොලිසියට කුදලාගෙන යන්නේ නෑ එතන ඉන්න අනික් එවුන් අරං ගියත්.

      Delete
    5. පිචර් හෝල් නම් මට දිරවන්නෙම නෑ.. අදටත් වේදිකා නාට්‍යයක් බැලුවත් හෝල් වලනම් පික්චැර් බලන්නේ නෑ.. (ඉස්කෝලේ කාලේ නම් බැලුව ජොලියට..) රූම් වලට යන්න ඕනි කමකුත් ආවේ නෑ මොකෝ ඉතින් ලිහල බලන්න තියෙන මල්ලනේ මොකටයි ඔබල බලන්නේ කියල.. ෆෝසස් අයිඩෙන්ටියත් තිබ්බ නම් තමයි.. ඒත් කවදාවත් ඕනේ උනේ නම් නෑ.. ආ.. නිවාඩු ඒ දවස්වල ඕසෙට.. මාසයක් හිටියම දවස් දහයක නිවාඩුවක් එන්නේ දෙපැත්තට ට්‍රැවලින් ඩේට් දෙකකුත් එක්ක.. ඉතීම් ගානක් නෑ.. ගෙදර ඉන්න දවස් හය හතෙත් ඇවිදින එකමනේ කරන්නේ..

      Delete
    6. යකඩෝ බැලුවාම උඹ ඉඳලා තියෙන්නේ වැඩි හරියක් නිවාඩුනේ.. පිචර් හෝල් වල ඒ කාලේ දැන් තරම්වත් බලන්න පුළුවන් පිචර් එකක් පෙන්නුවේ නැහැනේ බන්. දැන් නම් ඔන්න ලංකාවේ සිනමාව පොඩ්ඩක් විතර ඔලුව උස්සලා තියෙන ගතියක් දැනෙනවා. ඒ කාලේ නම් ඉතින් හින්දි කොපියක් උනත් හරියට කොපි කරේ නැහැනේ අපේ නිෂ්පාදකවරු. බොරුවට බන්දුවයි, ටෙනියයි පොඩ්ඩක් එහාට මෙහාට නටවලා පිචර් එකක් හැදුවා කියනවා. ඇත්තම කියනවනම් එව්වා බලන්න හාමිනේව එක්කන් ගියානම් ඔය කසාදෙ කෙරෙන්නේ නෑ මොකද හාමිනේ උඹට බූට් එක තියෙනවා උඹේ රසවින්දනය ගැන කලකිරෙන නිසා...හෙහ්..

      Delete
    7. කමියගෙ ට්‍රැවලින් කියවල ඇඬුන තනි ඇහැට ... යකඩෝ මං හිතන්නේ නෑ හාව හොයාගෙන හඳට ගිය අත හයිය නීල් අයියවත් මූ තරම් දුර ඇවිදලා ඇති කියල :)

      කෙල්ලත් එක්ක පික්චර් හෝල් වලට යන්නෙ ෆිල්ම් බලන්නද බං, සිරාවටම උඹ කිව්වමයි දන්නෙ ? හෙක් ... හෙක් ...

      Delete
  10. හෙහ්.. හෙහ්.. පවර් ඉස්ටියරින් නැති වාහන නම් වාසනාවන්.. :) ඉතුරු කොටහත් ඉක්කනට ලියමු. :)

    ReplyDelete
    Replies
    1. පවර් ස්ටියරින් නැති වාහනයක් එලෙව්වාම ඉතින් දවසක් අත්තමට දර පැලුවා හා සමානයි බන්. එක වතාවක් මගේ වෑන් එකේ පවර් ස්ටියරින් පම්ප් එක හිරවුනා ට්‍රින්කෝ වලදී. ඒක නැතුව වාහනේ දුවන්න බෑ වෝටර් ෆෑන් එකකත් දුවන්නේ පවර් ස්ටියරින් බෙල්ට් එකෙන්මයි. මා ගාව ටූල්ස් තිබ්බ නිසා මම කරුමාන්තේ දන්නා නිසා රෑම ගලවලා පවර් ස්ටියරින් පම්ප් එකේ ඇතුලේ කෑලි අයින් කරලා එළියේ පුලිය විතරක් හයි කරගෙන ගෙදර ආව. ගෙදර එද්දී හොඳ ගණන් පවර් ස්ටියරින් තියෙන වාහනේ පවර් ස්ටියරින් නැතුව එලවනකොට හෙන අමාරුයි.

      Delete
  11. හෝම්ස් මොකද..... අර xxx 😎🤔

    ReplyDelete
    Replies
    1. එව්වා පුද්ගලිකයි රහසිගතයි.. නම් ගම් කියලා මොකටද බන් මිනිස්සුන්ගේ හිත් නරක් කරන්නේ..

      Delete
  12. අම්මෝ බස් එක බං 🙈 මැවිලා පේනව බං. ඔය 2000 අන්තිම ඉඳල 2002 මුල වෙනකං කොළඹ ගොළුබෙල් ආයතනයේ ෆුල් ටයිම් විදිහටත් ඒදවස්වල ප්‍රසිද්දම අන්තර් ජංජාල ආයතනයක පාර්ට් ටයිම් නයිට් රස්සාවකුත් සති අන්තයේ උපාදියකුත් කරනව. ගොඩක් වෙලාවට වීක්එන්ඩ් නිවාඩුවක් සෙට් උනොත් උදේ තුනට විතර කොල්ලුපිටියෙන් ගාලු යන්න බස් එක ගන්න එනව. හැබැයි පුතෝ හැමදාම ගාලු යන්න මාතර හරි කතරගම හරි බස් එකක නැග්ගොත් අනිවා බහින්නෙ අඩුම මිරිස්ස පහුවෙලා. එක දවසක් නැගිට්ටෙ ජයග්‍රාහී මාතරටම ගිහිල්ල. කොහොමද මගේ නිදිමත 😜? තව දවසක් ෆුල් නිදිමතේ බම්බා වලින් නැගල සීට් එක හම්බුනේ ජනේලේ වහන කොක්ක තියෙන තැන. ලක්සිරියෙ සීතලටත් මගේ නිදිමත නිසාත් කනමදය වගේ නින්ද ගියා. පස්සෙ ගෙදර ඇවිත් අම්ම දොර අරිනකොටම අහනව “තෝ කාත් එක්ක මරාගෙනද යකෝ ගෙදර ආවේ? තෝ දැන් මිනිස්සු එක්ක ගහගන්නත් පටන්ගත්තද? ගුටි කාල ඔලු පලාගෙන තව ගෙදරත් එනව“ කියල.

    දැන් මට මේ අන්ඩරදෙමලෙ ෆුල් අංජබජල්. අම්ම මේ මොනා කියනවද කියල අහද්දි අම්ම කියනව “බලපිය තොගෙ ඔලුව පැලිල උබෙ සුදු ෂර්ට් එකේ උරහිසේ ළේ එකයි” කියල.
    අම්මටහුඩු!! පස්සෙ තමයි මගේ ටිකි මොලටය තේරුනේ බස් එකේ සීතලටත් දරුණු නිදිමත නිසාත් බස් එකේදි මම නොමිලේ ම නිර්වින්දනය වෙලා ඔළු ගෙඩිය ජනෙල් කොක්කෙ පැය ගානක්ම වැදිල වැදිල තුවාල වෙලා කියල. මම ඕක කොච්චර කිව්වත් අම්ම නෙමේ විස්වාස කලේ. අම්ම කියන්නෙ “යකෝ මිනිහෙක්ට ඔලුව පැලිල ලේ ගලනකන් නින්ද යන්න තෝ බස් එකට නගින්නෙ කුඩු ගහලද? දෙයිහාමුදුරුවනේ තෝ කවද ඉඳලද ඔය දහජරාව බොන්න පටන් ගත්තෙ? තොට ඕන ඕන ඉල්ලන හැමදේම දීලත් තෝ අපේ මුනෙ දැලි ගානව.. හිටපිය මම තාත්තට කියල තොගෙ හම අරිනව. දැන් ඔහොම්මම යමං සෙන්ට්‍රල් එකට බෙහෙත් දාගන්න කියල. මට අම්බානක ට්‍රයි කරන්න උනා හරියට මේ සීන් එක අම්මට තේරුම් කරන්න. බලහං බං මේ ඔක්කොම මටම වෙන හැටි??? 🤣🙃😂😜

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොනව බීලද බං බස් එකට නැග්ගෙ

      Delete
    2. කිව්වම දෙයක් තේරුම් ගන්නකෝ අප්පා.. සත්තලන් අටමෝ.. මම 100% අමුවෙන් බං හිටියේ...

      Delete
    3. මෙතනදි කෙලින්ම ටික්කගෙ පැත්තට සාක්කි දෙන්න පුළුවන්. වෙන තරම්ක් කුණ්ඩවාලු කේස් වෙන්නෙම අමුවෙන් ඉන්නකොට. මොනම විදිහකට හරි මත් වෙලා ඉන්න වෙලාවල් වල බොහොම සනීපෙට බේරිලා ඉන්නවා.

      Delete
    4. මම්ම මීය ලබ්බ බ්‍රදර්.! මසුරං කතාව. මගෙ ග්‍රහය නං පට්ට නීචයි. කොච්චර නීච ද කියනවනං කහ ඉරෙන් පාර පැන්නත් රොන් සයිඩ් එකෙන් වාහනයක් ඇවිල්ල හරි මාව හැප්පනවා. ඉතිං හිතාගනින්කො.. 🙉

      Delete
    5. මොකක්? යකෝ පාර අයිනෙන් හෙමිහිට ඉස්කූටරේ යනකොට අහක හිටපු හරකෙක් පැනලා හැප්පිලා දෙරි ගැහිලා තාම මේ අතක් බැන්ඩේජ්.. ටික්කයි මායි එක ලඟ හිටියොත් විසෙන් විස නැසිල වත් ගොඩ යයිද මන්දා.. මේකට විශේශ දුම් පූජාවක් වත් තියන්න ඕනෙ දවසක හොඳේ.. නැද්ද අටං අයිය

      Delete
    6. අඩේ ලබ්බ බ්‍රදර්. සිරාවටම? අම්මටහුඩු බන්? උබට දැන් කොහොමෙයි? ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කොරනව. අපි නිකමට මෙහෙම හිතමු. කවදාහරි දවසක උබ මම අටම ගොඩය සෙට් වෙනව.හැබැයි ඔතනට අනිවා මාතලන් කල්‍යාණ ඉන්නම ඕන. ඕකට හේතුවක් තියෙනව. මම එලියට යද්දි හටීම් කියන සුඩාන් යාලුව ඉන්නවනම් විතරයි නයිට් අවුට් යන්නෙ. උබට කියන්න මට ඉන්නව සුද්දො සුද්දියො සෙට් එකක් අම්මෝ.. ආතල් ගන්නකොට ආතල් කියන්නෙ බුදු අම්මෝ. හටීම් තමයි ඔක්කොම බැලන්ස් කරගෙන අපි උගේම 7 seater වාහනෙන් ගෙදරට බස්සල නිදි කරවල යන්නෙ. නිදි කරවනව කියන්නෙ ඩුවට් පොරවල මේස් සපත්තු ගලවල නිදි කරවල යන්නෙ. උදේට නැගිට්ටහම මුලින්ම හටීම් ට කෝල් කරල මම අහන්නෙ "මම ඊයේ රෑ අවුලක් උනේ නැහැනේ". එතකොට හටීම් කියන්නෙ "අවුලක් වෙන්න කලින් මම බලාගත්ත." කියල. ඔය හටීම් කියන්නෙ මගේ බොස් කෙනෙක්. කලක් බ්‍රිටිෂ් මිලිටරි ඉඳල එලියට ආව අවුරුදු 45ක විතර රියල් මිනිහෙක්. මම මගේ ජිවිතේ 100% කියන්න බැරි උනත් 99% ජෙනුයින් මිනිහෙක් විදිහට දැක්ක එකම මනුස්සය. අනික ෆැමිලි ලයිෆ් එකක් 100% හරියට ගෙනියන ජිවිතේ දැක්ක එකම එකාත් ඌම තමයි.

      Delete
    7. ඇත්තටම ටික්කො උඹ එදා ගෙදර ගියේ මොනවා නමුත් පාවිච්චි කරලා නේද.. අපේ සිරා මේ ඊයේ පෙරේදාවක අබිං වගයක් කාලා අන්න අරෙහෙ හෙන යුද්දේ.. ඌත් ආතල් ගන්නකොට ඕනෑම වසක් විසක් සරීරගතකරගන්නවා ආයේ හෙට මලත්.

      ඇත්තටම මිනිස්සුන්ට ඔහොම නින්ද යනවද බන්. මත්වෙන්න මොනවහරි ගත්තාම නම් ඔන්න ඔලුව බෙල්ල ගාවින් කපලා අයින් කරත් දන්නේ නැති වෙන්න පුළුවනි. හැබැයි ඉතින් මචං අපේ බුද්ධික එක්ක ඒ කාලේ බයිසිකලේ නැගල රවුමක් ගිහින් දෙතුන් පොළද දරි ගහල ගෙදර ඇවිත් බැලුවාම සමහර දවස්වලට කලිසම ඉරෙන්නේ නැතුව දණහිස තුවාල වෙලා. එව්වා විස්තර කරන්න ඉතින් විද්‍යාත්මක මුලධර්ම හොයාගන්න බැහැ බන්.

      උඹේ ඔය හටීම්ගේ චරිතය තමයි මම ලංකාවේ ඉන්නකම්ම නිරූපණය කරේ. අපේ එවුන් එක්ක ගිහින් බීලා කාල රෑ දෙගොඩ හරියේ ගෙදර එද්දී කාගේ වාහනේ ගියත් කට්ටියව ගෙදර අරං එන්නේ මං තමයි. සමහරක් උන් බාගයක් ඇහැරෙන්නේ උන්ගේ ගෙදර ගේට්ටුව ගාවදි. තවත් සමහරක් එවුන් ඇහැරෙන්නේ පහුවදා උදේට. උන් දන්නේ නෑ ගෙදර ආවේ කොහොමද කියලවත්. ගෙවල් වල යවන්නම බැරි එවුන් එක්ක වාහනේට වෙලා මදුරුවෝ තලපු වෙලාවල් එහෙමත් නැත්තේ නෑ. ඔලුව සාක්කුවට වැටෙන්න වගේ තිබ්බත් පොලිසියට බ්‍රදර් නොවී කොහෙවත් හප්පගන්නේ නැතුව ගෙදර එන කලාව වැඩියෙන්ම ප්‍රගුණ කරලා තිබ්බේ මං තමා. එක වතාවක් කුරුඳුවත්තේ පොලිසිය ඉස්සරහම රෑ දෙකට විතර නැවැත්තුවා කියහන්කෝ.. මං වැඩි පරෙස්සම වෙනුවෙන් බුලත් විටක් හපාගෙන ආවේ. මොකද රෑ එකොළහ දොළහ පැනල කොළඹ අවට අනිවා චෙක් වෙනවාමයි. කාර් වලට පොඩි චාන්ස් එකක් තිබ්බට ඒ කාලේ වෑන් වලට චාන්ස් එකක් ලැබෙන්නේ නෑ රෑට. පොලිස් රාලහාමි ඇහුව බීලද ඉන්නේ කියල.. මං කිව්වා නෑ සාරවිටක් හැපුවා හෙන සැරයි ඉන්න බෑ කියල. ඒ ගමන ඇහුව කොහේ ඉඳන්ද එන්නේ කොහෙටද යන්නේ කියල. මං කිව්වා එයාර්පෝර්ට් හයර් එකක් ගියේ යන්නේ අම්බලන්ගොඩට කියල. අපේ එවුන් ඒ වගේ වෙලාවට මීක් නොකිය නිදි සේ ඉන්න එක සෑහෙන්න වාසියි හැබැයි. පොලිස් රාලහාමි ලයිසන් එක බලල යන්න කීව. එදානම් අනූ නමෙන් බේරුනේ. අපි එන්නේ පාර්ක් වීව් එකේ ඉඳල කිව්වනම් එදා රෑ කුරුඳුවත්ත පොලිසියේ.. පහුවදා උසාවියේ..

      Delete
    8. මට මතකයි එක පාරක් හල්වතුරෙ රෑ එලිවෙනකන් පහන් කරා කාට හරි ගෙදර යන්න බැරි නිසා.හොදට ගහල හිටියෙ අපි.එලිවෙනකන් මදුරුවො තල තල උන්න මතකයි ඒත් සීන් එක මීටර් නෑ

      Delete
    9. සිරාවටම බං මම 100% අමුවෙන් හිටියෙ. මම විස්කි එකකින් පිට කිසිම දෙයක් උගුරෙන් පහලට තියා නහයෙන් උඩට අදින්නෙත් නැහැ. අඩුම ජොයින්ට් එකක් ගහන තැනකවත් ඉන්නෙ නැහැ. අදටත් ඔය නිදිමත කියන එක දරුණුවටම තියෙනව බං. ඉස්සර මෙහේ කැම්පස් යද්දි හවස 5 ඉඳල 9 වෙනකං එක රස්සාවක් කළා. ආයෙ රෑ 11 ඉඳල උදේ 6.30 වෙනකං කැසිනෝ එකක වැඩ කළා. ආයෙ උදේ 8.30 ඉඳල 3.30 වෙනකං කැම්පස්. වීක්එන්ඩ් උදේ වැඩ රෑට කැසිනෝ එකේ. කැම්පස් සල්ලි ගෙවන්න විඳින දුක දැක්ක ඉන්දියානු සම්බවයක් තියෙන කෙල්ලෙක් මාව වැඩට යන්නයි ගෙදරටම ඇරලවන්නයි පුරුද්දක් කරගෙන හිටිය. දවසක් සිකුරාද අපි දෙන්න වැඩ කරන තැන පාර්ටි එකකට ගිහිං මාව ගෙදරින් බස්සල කිව්වෙ හෙට මට කෝල් එකක් ගහපං මොකද මට කන්න බොන්න බඩු ටික ගෙනියන්න උදව් කරන්න. මම කිව්ව නැගිටින එකනම් ෂුවර් නැහැ කියල. හරියටම කියනවනම් මම සිකුරාද මහ රෑ නිදාගත්ත එක නැගිට්ටෙ සඳුද උදේ. අර කෙල්ල කොච්චර බය වෙලාද කියනවනං මම මැරිල කියල හිතල දොරකඩන් ඇතුලට යන්න පොලීසියට යන ගමන් නිකමට වගේ ගෙදරට ඇවිත් දොර ගලවන්න හදනකොට තමයි ඇහැරුනේ. තව පොඩ්ඩෙන් ඒ කෙල්ල මාව එවෙලේම මරනව ඒකිට තිබ්බ මලේ හැටියට. 😂😂😂😂

      Delete
    10. ටික්කො ඉස්සර කොළඹ රස්සාව කරන කාලෙ හිටපු ගමන් දවසක් දෙකක් නයිට ගහල එනකොට කොච්චර සීට් තිබ්බත් හොම්ම්බට දෙකක් ඇනල වාඩි කෙරෙව්වත් මම නෙමෙයි වාඩි වෙලා යන්නෙ. හේතුව කොට්ටාවෙන් බහින්න ඕන මං ඉක්මනට යන්න ඕන කමට බදුල්ල, අවිස්සාවේල්ල බස් වල නගින නිසා.

      එකම එක පාරක් ටවුන් හෝල් එකෙන් නැගල වාඩි වෙච්චි ගමන කොන්දොස්තර අවිස්සාවේල්ලේදී විනාඩි පහක විතර පිටට තට්ටු කරල කම්මුලටත් එක්කක් ගැහුවමලු ඇහැරුණේ. එදා ත්‍රීවිල් එකක එන්නවත් සල්ලි තිබ්බේ නැති දවසක් බං බස් හෝල්ට් එකේ එළිවෙනකන් ඉඳල පහුවෙනිදා පාන්දර පළමුවෙනි බස් එකේ ආපහු කොට්ටාවට ආව :-D

      Delete
  13. //සතියකට, දවස් දෙකකට හදන සාස්තරයක් ගොඩයා ඉගෙනගෙන නෑ.//

    මටත් ඕක තාම ඉගන ගන්ඩ බැරි උනා

    ReplyDelete
    Replies
    1. ඉගෙනගත්තොත් මටත් කියහන්.. දැන් නම් ඉතින් හැදිල්ලක් නෑ බන්.. කෑලි මාරුකරනවා විතරයි..

      Delete
  14. වාහනයක් ගන්න කියල අදහසක් එනකොටම ඔලුව බය වෙන්නෙ මේ වගේ මරණ වලට කරගහන්න වෙයිද කියලා... ඉතිං හැමදා සිහින සිහිනමයි..
    බලමු අර යකා මක්කද කරන්නෙ කියලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැම වාහනෙම එහෙම නෑ බන්. වාහන ගැන දන්නා කියන හිතවතෙක් හොයාගෙන හොඳ වාහනයක් හොයල ගනින්. උඹ මොකක් හරි ගන්න යනවනං වාහනේ විස්තරේ කියල එවහන්කෝ.. දන්නා විදිහට සපෝර්ට් එකක් දෙන්නම්.

      Delete
    2. හැම වාහනෙම එහෙම නෑ බන්. වාහන ගැන දන්නා කියන හිතවතෙක් හොයාගෙන වැඩේට බැහැපන්. වාහනයක් ගන්න යනවනම් ගන්න වාහනේ ගැන විස්තරේ එවපන්කෝ.. දන්න විදිහට උපදෙසක් දෙන්නම්..

      Delete
  15. බස් කතාව කියවනකොට මතක් උනේ.උබට මතකද උබේ අයිය කෙනෙක් පවර්ස්ට්‍රීන් නැති වාන් තඩියක් එලවන්න ගිහිල්ල වෙච්ච් වැඩේ.මතක හැටියට ප්‍රියන්තයලාගෙ ගේ ලග පල්ලමේ වාහනේ එහෙට කපනව මෙහෙට කපනව.අන්තිමට උබටම ගන්න උනා
    තව සීන් එකක් මතක් උනා අපේ ගෙදරට ආපු කැබ් එකක් අපේ පොඩි මාම ගත්ත ලොක්ක වගේ එලවන්න.මමත් නැග්ග වාහනේට මානිම්මුල්ලට හැරෙන තුම්මන් හන්දියෙන් පොඩි මාම දැම්ම මානිම්මුල්ල පැත්තට දැන් ඔන්න රිවස් කරනව.එතන පල්ලමනෙ බං කොහොමහරි පොඩීට ක්ලච් බැලන්ස් නෑ....වාහනේ ටික ටික පස්සටමයි යන්නෙ.මාර කේස් එක.දැන් ඔන්න සදර්න් රෙකෝර්ඩ් බාර් එකේ අයියගෙ තාප්පෙ ඉබින්න ඔන්න මෙන්න.දනි පනි ගාල මම වාහනෙන් එලියට පැනල පිටිපස්සට ගිහින් අල්ලගෙන හිටිය 1ස්ට් එකට දාල ක්ලච් එක දෙනකන්.ඕං ලයිසනුත් තියෙන අපෙ පොඩීට උනදේ....

    ReplyDelete
    Replies
    1. මට ඔය සිද්දිය මතක නැහැ බන්. පොඩි මාමගේ ජාතියේ ලයිසන් දෙකක් අපේ ගෙදරත් තියෙනව බන්. එව්වයින් වාහන එලවන්නේ නැති එකම තමයි හොඳ.. ක්ලච් බැලන්ස් නැති එකෙක් එක්ක ලෝකාන්තේ ගිය සිද්දියක් මතක් උනා.. අයියෝ සන්සාරේ නුවර එළියේ ඉඳන් ලෝකාන්තෙට යනකොට තියෙන කඳු වැඩි හරියක් ගියේ පයින්.. පසුව ඒ කතාව ලියමු..

      Delete
  16. ඒක මරු ඉක්මන්ට අනිත් ටිකත් ලිිිියමු.

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්කො.

      Delete
  17. යකූ ඒ බස් එක...
    ඉක්මණට ඉතිරි ටික දාහන්...

    ReplyDelete
    Replies
    1. එව්වත් ලංකාවේ මගී ප්‍රවාහනයේ යෙදුනා බං.. වැඩි විස්තර ඊළඟ කොටසින්..

      Delete
  18. හම්මේ ඒ dyna එක...😂😂 දැන් නම් ලේලන්ඩ් කොටයක් තියෙන්නේ කොල්ලා ලග😊😊

    ReplyDelete
  19. හම්මේ ඒ dyna එක...😂😂 දැන් නම් ලේලන්ඩ් කොටයක් තියෙන්නේ කොල්ලා ලග😊😊

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ අසල්වැසියෙක් සාක්ෂියට ඉදිරිපත් වෙලා.. බොහොම ස්තුතියි කමෙන්ට් එකට.. දැන් කොල්ල ලේලන්ඩ් එකෙන් යාපනෙත් යනවලු..

      Delete
    2. ආයේ .. ඩයිනා එකෙන් කතරගමත්ගිහින් තිබ්බා දවස් 2 3 ක්..

      Delete
    3. ඔව් ඔව් මං දන්නව.. ඒ කතා අහද්දී බඩ පැලෙන්න හිනා ඉතින්..

      Delete
  20. මාත් එළවන්නේ පවර් ස්ටියරිං නැති පරණ කාරෙකක්... එච්චර අවුලක් නෑ හැබැයි. ලොකු වාහනයක් නම් එළවලා නෑ

    ReplyDelete
    Replies
    1. වාහනේ පිලිබඳ විග්‍රහය දැක්කම බලන්න තිබුනානම් හොඳයි කියල හිතුනා. අපි පාසල් යනකොටත් ඔය වගේ රෝස බස් එකක් තිබුණා. අපි ඒකට කෙවෙ මලකඩේ කියලා. රසවත් පොස්ට් එකක්. ඒක තීව්‍ර වෙන්නේ ඔබේ ලිවීමේ කලාව නිසා . ඊළඟ පොස්ට් එකෙන් හමුවෙමු
      විචාරක දියණිය

      Delete
    2. අප් ඉස්කොලේ යන කාලේත් ඔය වගේ බස්හකක් තිබ්බා ගොඩයො අළුත්ගම ඩිපෝ එකේ. ඒක නම් මළක්ඩ කැවේ නැහැ. ඇළුමිනියම් නේ.

      Delete
    3. ඕකෙ මලකඩ එලිය එන්නේ නෑ බන්. ඇතුලේ කණු තමයි දිරන්නේ. එව්වා යකඩ.

      Delete
  21. ඊලග කෑල්ල තවත් රසවත්

    ReplyDelete
  22. ඉතුරු කොටහ කියවලම කමෙන්ට් එකක් දාන්නං

    ReplyDelete
  23. මට නම් මේ කතාව කියවද්දී මතක් උනෙ අපේ පුබුදුපුර අනුරාධපුර බස්. ඔය කියන හැම දෙයක්ම ටක්කෙටම ගැලපෙනවා ඒවාට. එඋන්ට පිටගැස්මට විදාගන එන්නේ ඕනේ නගින්න කලින්.

    ReplyDelete