Sunday, August 3, 2025

බිලිංලංකාරය

           බිලිං අච්චාරු කියන්නෙ අම්බලන්ංගොඩ අපිට කෑමක් නෙවෙයි ආගමක්.. සිංහල අවුරුදු කාලෙට අමතරව අම්බලන්ගොඩ ගෙවල්වල කොහේහරි අස්සක මුල්ලක හෝ ෆ්රිජ් එකක බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. බිලිං කියන්නෙ පලතුරක්ද එලවලුවක්ද කියලා මම දන්නෙ නෑ.. බිලිං ගහේ උපත කොහේද ? කොයි රටකින් ලංකාවට ආවද? එහෙමත් නැත්තං බිලිං ගස ලංකාවට ආවේනික ශාකයක්ද ? ලංකාවට ආවේනිකනම් ඒක අම්බලන්ගොඩට ආවේනික ශාකයක්වත්ද කියලා කියන්න මම ඕකෙ උපත විපත දන්නෙ නෑ... අච්චාරු හැදිල්ල ඇරුනාම බිලිං වලින් හදන්න පුලුවන් වෙනත් කෑමක් ගැන මම උපන්තේකට අහලාත් නෑ.. එහෙම තිබ්බනම් බිලිං අච්චාරුවලට ඔයතරම් ඒකාධිකාරයක් ගොඩනැගෙන්න විදිහක් නෑ.. එක අතකට කල්පනා කරලා බැලුවාම බිලිං තරම් ඒකධිකාරයක් ගොඩනගාගත්තු ශාඛයක් මේ තුන්ලෝකෙම නැතුව ඇති.. ඇයි යකෝ ඒකෙ හැදෙන ගෙඩි වලින් හදන්න පුලුවන් එකම එක කෑමක් විතරනේ.. ඒ කෑමටත් ආදේශක නෑ.. පාරිභෝගික සේවා අධිකාරිය එහෙම දැනගත්ටතොත් බිලිං ගස අනිවා උසාවි..


රට ඉන්න අපිට ලංකාවෙන් පිටත්වෙන දවස් ලං වෙද්දි ගෙනියන්න ලැබෙන කෑම අතරේ බිලිං අච්චාරු විශේශයි.. අනික් පලාත්වල අයට මම දන්නෙ නෑ අම්බලන්ගොඩ අපිටනම් රට යන ළැගේජ් එකේ බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. මට බිලිං අච්චාරුවලට කොයි තරං ලැබිල්ලක් තියෙනවද කියනවනම් බිලිං බෝතල් කීපයක්ම ලැබෙනවා ලංකාවෙන් එන්න පිටත් වෙන දවස ලං වෙද්දි.. තුන්වේලටම බිලිං අච්චාරු වලඳලා ගිනියම පිටකරගන්න ගඟේ පනින්න වෙන නිසා මමත් ඉතිං රස වැඩිම බිලිං බෝතලේ විතරක් බෑග් එකේ දාගෙන ඉතුරුවා ශේප් එකේ ගෙදර තියලා එනව.. ඔය හැටි බිලිං අච්චාරු ඉතිං කොහේට කන්න කියලද.. හැමෝටම කටපුරා ස්තූතියි කියලා භාරගත්තට ඒක රට ගෙනාවෙ නෑ කියලා කියන්නෙ නෑ ඉතිං හිත් රිදෙන නිසා.. ඔය බිලිං බෝතල් තරඟයෙන් රට යන්න වීසා ලැබෙන්නෙ කොයි බෝතලේටද කියලා තීරණය වෙන්නෙ ඒ වෙලාවට තියන රස අනුව නිසා මේ පෝස්ට් එකෙන් ජයග්රාහකයින් හෙලි කරන්නෙ නෑ.. ඒ අනාගතයේ බිලිං අච්චාරු බෝතල් බොලැබී යාමේ අවධානම ගන්න බැරි නිසා..

රට එවුන් බොහොමයක් කන්න උයන්නෙ සතියට ඇති වෙන්න. දවසගානෙ කුස්සිවල රිංගගෙන උයන එක කාලය නාස්තියක්.. උයලා අහවරවෙද්දි සීතල වෙන නිසා කවදා ඉව්වත් කන්න වෙන්නෙ මයික්රෝවේව් පිහිටෙන්.. ඒ නිසා දවස ගානෙ උයන එක තේරුමක් නෑ.. ෆ්රිජ් එකේ තිබ්බ සියලූම ඉතුරු මිතුරු කාලා ඉවර නිසා ගිය ඉරිදා මම උයන්න තීරණය කරා.. කැරට්, බෝංචි තෙලට.. හතු කිරට, පරිප්පු තෙම්පරාදු, ප්රෝටීන් ටිකකුත් ඕන නිසා මේ සතියෙ සතියටම ඇතිවෙන්න ඉස්සො ටිකක් ඉව්වා.. ඕං ඕක තමයි මේ සතියෙම මෙනූ එක.. ගිය සතියෙ උයපු මිරිස් මාලු හොද්දකුත් ෆ්රිජ් එකේ තිබ්බට මිරිස් මාලු කියන්නෙ මට දවසකට දෙකකට වඩා එක දිගට කන්න බැරි කෑමක්.. මෙනූ එක ලිව්වාම උඹලා හිතන්න එපා යකෝ මූ කන්නම ඉපදිච්ව එකෙක් කියලා.. ඔය මෙනූ එකෙන් කැවෙන්නෙ දවසට එක වේලයි.. උදේට කන දෙයක් බොහෝදුරට එලියෙන්.. ඊලඟ වේල හවස පහට පහමාරට.. ඒ තමයි ඩිනර් එක.. උදේ කෑවම ලන්ච් එකක අවශ්යතාවයක් දැනෙන්නෙ නෑ.. වේල් දෙකක් කාලත් කිලෝ පහලොවක් ඕවර් වේට් වෙච්චි තුනක් කෑවොත් කොහොම හිටීද.. දවසට ජොබ් සයිට් තුනක් හතරක් විසිට් කරන නිසා බඩ පැලෙන්න කාලා ඩ්රයිව් කරන්නත් බෑ.. එහෙම උනොත් වෙන්නෙ ගහක් යට පාර්ක් කරලා ඇලර්ට් එකක් දාන්න..

ඕං අද හවස ගෙදර ඇවිත් ඩිනර් මෙනූ එක කල්පනා කරද්දි කොච්වරවත් උයපුවා මැච් වෙන්නෙම නෑ.. එලියෙන් මොනාහරි ගෙනැල්ලා කන්න කියලා කල්පනා කරත් ඒත් කන්න යමක් ඔලුවට සෙට් උනේම නෑ.. ඔන්නොහේ තියන දෙයක් කනවා කියලා හිතාගෙන කැරටුයි, බොංචියි, ඉස්සොයි, හතු මාලුවෙන් සුට්ටකුයි බෙදාගෙන ටීවී එක ඉස්සරහ වාඩිවුනා.. ඒත් ඉතිං කන්න කියලා ලොකු ලල් එකක් නෑ.. බඩගිනි නිසා නොකාත් බෑ ඒත් හිත ඉල්ලන රස එතන නෑ කියලා හිතෙන නිසා කන්න පිරියකුත් තිබ්බෙ නෑ.. ඕං ඔහොම දෙකට දෙවාරමේ ඉද්දි තමයි බිලිං අච්චාරු බෝතලේ මතක්වුනේ.. හනික ෆ්රිජ් එක ඇරලා බිලිං බෝතලේ අරගෙන මයික්රෝවේව් දාලා ඒකෙන් හැඳි දෙක තුනක් දාගත්තාම ඕං මෙනූ එක සෙට්.. ඉස්සො කරියයි බිලිං අච්චාරුවයි තකට තක.. අනික් එලවලු ඉතිං පිඟානේ පාලුවට වගේ කියහංකො.. යූ බටේ දාගත්තු සිරිලංකා නාට්ටි පොජ්ජ ඉවර වෙද්දි බත් පිඟාන වාශ්පයි.. බෙදාගත්තු ප්රමාණය ඉතුරු නොකර කාපං කියලයි පුරාණේ වැඩිහිටියන් අපිට උගන්නලා තියෙන්නෙ..

රෑට කෑවෙ හවස පහමාරට විතර.. අටහමාර වගේ වෙද්දි මෙතන දාර වලියක්.. මෙතන කිව්වෙ කොතැනද දන්නවද.. මගේ බඩ ඇතුලෙ බිලිං අච්චාරුයි ඉස්සොයි පොරේට මරාගන්නව.. මම මේ නිකමට කියන්නෙ.. ඔයාලත් මේකෙන් ආදර්සෙට ගන්න.. ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කන්න එපා..
මාත් ඉතිං මේ අටහමාරෙ ඉඳං කොමඩ් එක උඩ වාඩි වෙලා බලං ඉන්නව ඉස්සෙල්ල එන්නෙ ඉස්සොද බිලිං අච්චාරුද කියලා හිතාගන්න බැරුව.. කොච්චර අමාරු උනත් ඉස්සෙල්ල බිලිං අච්චාරු එලියට එනවට මම කැමතියි. බිලිං අච්චාරුවලට තියෙන ඒකාධිකාරය සූපිං ඉස්සො කීපදෙනෙකුට පරදිනවට මම කැමති නෑ.. ඉස්සෙල්ල බිලිං අච්චාරු ආවොත් මට බිලිං අච්චාරු බෝතලේ දීපු නැන්දට උනත් කට ඇරලා කියන්න පුලුවනි නැන්දගෙ බිලිං අච්චාරු ඒ තරඟෙනුත් දිනුම් කියල..

ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කෑවම කොයිතරම් සනීපයක් දැනෙනවද කියනවනම් ජෝන් සීනයි මයික් ටයිසනුයි බඩ ඇතුලේ මරාගන්නවා ගානට අමාරුයි.. උසේන් බෝල්ට් ගානට බඩ අල්ලගෙන නේබර්හුඩ් එක වටේ දුවන්න හිතෙනවා උනාට එහෙම කරන්න බෑ අම්බලන්ගොඩ වගේ මුහුදු වෙරලක්වත් අහලපහලක නැති නිසා.

18 comments:

  1. දැං ඉතිං මොනවැයි ඔය දෙකෙන් කලින් ආවෙ.

    ReplyDelete
    Replies
    1. කොයි එක කියලද උම්බැහේ හිතන්නේ .

      Delete
  2. මේක නියමයි. ගම්වල මහිතේ බිලිං මාළුවක් උයනවද කොහෙද? අපේ ගම් පලාතෙ, බිලින් ලුනු දාලා වේලලා තියාගෙන, අනිත් වෑංජන වලට දානව.

    ReplyDelete
    Replies
    1. බස්සා- අපි (කළුතර දිස්ත්‍රික්කේ) බත් එක්ක කන අනිත් දේවල් වලට කියන්නේ වෑංජන කියලා. ඉස්සර ඉස්කෝලේ කෙල්ලෝ මට විහිලු කරනවා එහෙම කියනවා කියලා. ඒත් ඒවාට පොදුවේ හොදි/මාළු කියනවා කියලා මම දන්නේ එයාලා කියද්දියි! :D

      Delete
    2. අපිත් කළුතර දිස්ත්‍රික්කේ තමා, ඒත් දෙකොනක වෙන්න ඇති. ඒත් අම්බලංගොඩ පැත්තෙ වහර එක්ක බලනකොට නතිං.😋

      Delete
    3. බස්සා .. බිලිං වේලලා තමයි අච්චාරු හදන්නේ . . ඒකට අටෝරාසියක් දේවල් දානවා එත් මම දන්නේ හාල්මැස්සෝ කරවල ගැන විතරයි . . රෙසිපිය කුස්සියෙන් කුස්සියට වෙනස් මට හිතෙන්නේ . .

      Delete
  3. බිලිං ගෙඩියක් ලුනු කැටයක් එක්ක කෑවට බිලිං අච්චාරු නම් මට අරහං.. ඒ ටෙස්ට් එක අල්ලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. දූරියන් ගඳයි කියන අයත් ඉන්නවනේ බං .. මටනම් දුරියන් කියන්නේ දිව්‍යලෝක රහක් තියන කෑමක් . . බිලිං අච්චාරුත් ඉතින් එහෙම තමයි .

      Delete
  4. සී ලන්කන් වෙලාත් කිසිම අච්චාරුවක් නොකන මම! මට ඔය විනාකිරි + ඇඹුල් රහ අල්ලන්නෙම නැහැ. හැබැයි බිලිං ගස් වල ගෙඩි ඕසේට හැදෙන නිසාත් අත පාතම තියෙන නිසාත් ඒවා වෙන විදිහකට කන්න බැරි එක නම් අපරාදයක් නේද?

    ReplyDelete
    Replies
    1. බිලිං අච්චාරු ඇරුනාම, බිලිං චට්නි, බිලිං තෙම්පරාදුව, කට ගැස්මට බිලිං බැදුම, බිලිං මාළුව එහෙමත් හදනවා.

      Delete
    2. මලී . . මම හිතන්නේ බිලින් අච්චාරුවට විනාකිරි දාන්නේ නෑ .. හැබැයි ඉතින් ඇඹුල් රහනම් තියනවා . . බිලිං වලින් කොමර්ෂල් ප්‍රොඩක්ට් මුකුත්ම හදන්නේ නෑ මම හිතන්නේ . . ලංකාවේ ඇරුනාම බිලිං ආහාරයට ගන්න රටවල් ගැන ආරංචියක් නෑ නේද .

      Delete
  5. ලුනු කැටයක් එක්ක කන එක තරම් ටේස්ට් එකක් ලොවෙත් නෑ..🤭🤭

    ReplyDelete
    Replies
    1. කද්දී සා මාරු උනාට කාල ඉවර වුනාම ඉතින් මොකට කෑවද කියලා හිතෙනවා බං

      Delete
  6. හපොයි , හුගක් ඉස්සර කාල තියනව .

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් කෑවොත් ශරීරයට දරාගන්න බැරිවෙයි . . ලංකාවේ ඉද්දි මටත් බිලින් වගේ දේවල් ලොකුවට ආපත්තියක් තිබ්බේ නෑ .. ඒත් දැන් ඒවා ඒ වගේ කන්න බොන්න බෑ

      Delete
  7. සෙල්ලන් කරන කාලේ අනුන්ගේ වතුවල තිබ්බ බිලිං කඩං කකා දිව්වා මිසක් කවදාවත් අච්චාරු නම් කාල නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. අච්චාරු කනවනම් ගාල්ල අම්බලන්ගොඩ පැත්තෙන් හදවාගෙන කාලා බලන්න.. කඩේ බෝතල් කරලා තියෙන එව්වනම් ඉතින් රියල් බිලින් අච්චාරු නෙවෙයි .

      Delete