Wednesday, October 5, 2016

වාදී ස්වර සංධ්‍වනි 2




පළමු කොටස 



ඔබ සිතන පතන රන් යුගය ඔබට අද අදම ලඟා වේවා..
දුක විපත නොවී සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා 
එන්න එන්න දැන් සුභ පතන්න අපි හැමදෙන එකතු වෙලා
සුභ උපන්දිනක් වේවා.. 
ජීවිතයම සරු වේවා..
දෙවියන් ඔබ රැකදේවා..
සුභ උපන්දිනක් සුභ උපන්දිනක් සුභ උපන්දිනක් වේවා...
සුභ උපන්දිනක් සුභ උපන්දිනක් සුභ උපන්දිනක් වේවා...

විසල් විසින් තම තනි තීරණයට ගැයූ ගීතයෙන් විස්මයටත් කෙන්තියටත් පත් ඇන්තනි එලියට පනින්නට ඔන්න මෙන්න තිබෙන කේන්තිය ආයාසයෙන් සඟවාගෙන නැවතත් අනන්‍යාට උපන්දින සුභපැතුමක් ගීතයෙන්ම එකතු කරන්නට වුනේ විසල් ගැයූ ගීතයෙන් නටමින් උන් පිරිස සමහරක් විමතියට පත්වූ බව ඇන්තනිට දැනුනාවූ නිසා.. ඇන්තනි පසුවූයේ අධික කේන්තියෙන් වුවත් විසල් වෙත තම කේන්තිය විදහා පෑමට එය සුදුසු ස්ථානය නොවන වග ඇන්තනි දන්නා නිසා එය පසුවට කල්තබා සාදය ගීතයෙන් වර්ණවත් කරන්නට වුවත්,  සංගීත කණ්ඩායමේ සැමටම  ඊළඟට වන්නට යන්නේ කුමක්දැයි යන්න අරුමයක් නොවුයේ කේන්තිය අන්තනිව හසුරුවන ආකාරය ඔවුන් කලින් ඇතිතරම් අත්දැක තිබෙන නිසා.



සාදය අවසානයේ මදක් වෙරිවූ පිරිස නටා ගයා අවසන්ව හති හරිමින් සිටිද්දී අධිකව වෙරි වූ පිරිස වැටුණු තැන්වල නිදි කිරා වැටෙන්නට වුනා.. සුළුවට මත්පැන් තොලගෑ පිරිස සහ මත්පැන් නොබී උන් පිරිස ඇන්තනිව වටකොට සුහද කතාවේ යෙදෙනා  අතරතුරේ විසල් ඇතුළු පිරිස සාර්තකව නිමා වූ තවත් එක් සාදයක් අවසන තම තමුන්ගේ සංගීත භාණ්ඩ හකුලන්නට වුයේ හැකි විගසින් තම තමුන්ගේ නිවෙස් වෙත යාමේ අභිලාෂයෙන්. තම ගිටාරය ආවරණය තුලට දමා එය එළියේ තිබෙනා පුටුවක් උඩතැබූ විසල් සංගීත බඩු ලොරිය වෙත පටවනා පිරිස වෙත හැකි පමණින් සහය වන්නට වුනේ ලොරිය වෙත පැටවෙන සංගීත උපකරණ පටවා අවසන් වූ වහා හැමදෙනාටම එතනින් පිටව යා හැකි නිසා.

මොකෝ බන් විසල් උඹට උනේ..

මොකක්ද..

ඇයි බන් වෙනදට බලෙන් සින්දු කියවන උඹ අද ඇන්තනි අයියව පෙරලගෙන මැදින් පැනල සිංදුවක් කිව්වේ..

න්..න්..නෑ බන් මට හිතුන මම කිව්වා.. ඇයි වෙනද මම සින්දු කියන්නේ නැද්ද..

හරි හරි බන්.. උඹ කියනවා තමා.. ඒත් ඉතිං මේක කවදාවත් වෙච්චි නැති වැඩක්නේ බන්..අනික ඉතිං උඹට කියල සිංදුවක් කියවන්න හෙන අමාරුයිනේ බං..

උඹලාට ඉතින් කොයිකත් වරදියටනේ බන් පේන්නේ..

ඇයි බන්.. ඇන්තනි සින්දු කියන්න ගත්තයින් පස්සේ අපි කව්රුත් සිංදු කියන්නේ නෑනේ බන්.. ලාස්ට් ෂෙශන් එක හැමදාමත් වන් මෑන් ෂෝ එකනේ බන් යන්නේ..

මචං  ඉවෝන්.. උඹට දැන් මම සින්දුවක් කිව්වම අවුල් වගේද..

අනේ නෑ මචෝ.. මම නිකමට කිව්වේ. . ඒක ඇන්තනි අයියගේ ෂෙශන් එකනේ මචං .. ඒකයි ..

දැන් උඹට ඇන්තනි කිව්වද මම ඒ සින්දුව කිව්වේ ඇයි කියල අහගන්න කියල

ඕකනේ බං කියන්නේ උඹල රෝං යනවා කියල. මම නිකං කිව්වේ බං ..

හරි හරි දැන් ඕක නවත්තගනිල්ලා බං ..

නෑ  බන් සහන් මම මේ කිව්වේ....

හරි හරි දැන් ඕක නවත්තගනින්.. ඌට සින්දුවක් කියන්න හිතුන ඌ කිව්වා.. දැන් ඒක බොට ප්‍රශ්නයක්ද .. උඹ ඕනෙනම් ඇන්තනිට ගිහින් කියහන් සහන් එහෙම කිව්ව කියල..

අනේ පලයන් බන් යන්න.. උඹල හිතන් ඉන්නේ මම හැමදේම ඇන්තනිට කියනවා කියලනේ..

කියනවා තමා බන්.. ඇන්තනියි උඹයි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්.. විසල් කතා කරපංකෝ.. බොරුද මම කියන්නේ..

ඇති බන් සහන් .. මුන් හැදෙන එවුන් නෙවෙයි.. ඇන්තනිගේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරනවා කියල මු හිතන් ඉන්නේ මු හෙන ප්‍රසිද්ද පොරක් කියල.. මුන්ට තේරෙන්නේ නෑ ඇන්තනි මුව කඩේ යවනවා කියල.. මුන් වගේ මී හරක් ඇන්තනිට වාසනාවන් බන්.. සවුන්ඩ් අදින , ඩ්‍රම්ස් ගහන , ලොරි එලවන , කඩේ යන මු වගේ මල්ටි ටැලන්ට් පොරවල් ලේසියෙන් අහුවෙනවද බන්.. හක්‌ ..හක්‌ ..හා......

අනේ පලයන් බන් යන්න..ඇන්තනි කියන්නේ දක්ෂයෙක් බන්.. ඒ වගේ එකෙක්ගේ බෑන්ඩ් එකක් ප්ලේ කරන්න ලැබුනට පින් දියන් විසල්..

අනේ පලයන් ගස් ගෝනෝ යන්න.. කොයි බෑන්ඩ් එකෙත් ගහන්නේ මේ ස්වර හතම තමා බන්.. ටිං බෙලෙක්ක අටෝගෙන බෑන්ඩ් ගහන පොඩි එවුනුත් ගහන්නේ මේ ස්වර හතම තමයි බන්.  ඒ හින්ද මටනම් ඇන්තනි කියල ලොකුත්  නෑ පොඩිත් නෑ .. හෙට ඇන්තනිට මාව එපානම් මං  ගියා බායි කියල.. උඹ වගේ නගුට පස්සපත්තේ ගහගෙන දාසකම් කරන්නේ නෑ බං .. මේ හම්බෙන රුපියල් ටික ගන්න උඹ කී දේකට කඩේ යනවා කියලද.. අන්තිමේ උඹට හම්බෙන්නෙත් අපිට හම්බෙන ගානම තමයි.. මට ෂුවර් නෑ උඹට ඇන්තනි සල්ලි දෙනවද කියලවත්..

අනේ පලයන් බන් යන්න..උඹල කොහොම හිතුවත් ඇන්තනි අයියගේ බෑන්ඩ් එකේ ප්ලේ කරන එක ගැන මටනම් හෙන ආඩම්බරයි බන්. ඒ විදිහ පොරක් ගාව ඉන්න ලැබුන එකත් පිනක්..

පිනක් පිනක්....හැබැයි බොලා වගේ ගොන්නුන්ට..

ෂ්ෂ් ෂ් .........ෂ් ෂ් ........ ඇන්තනි අයිය එනව ..


මදක් බමන මතින් සිවිසල් මන්දිරයෙන් එලියට පැමිණි ඇන්තනි වැනෙමින් පියවර මැන්නේ ලොරිය වෙත සංගීත උපකරණ පටවමින් සිටි පිරිස දිහාවට..

කෝ විසල්..

හිටිය ඇන්තනි අයිය..

ඉවෝන්.. එන්න කියහන් ඌට..

බීමත් ඇන්තනි විසල් විමසනවා ඇසුණු විසල් මද අඳුරක් පැවතනු අලංකාර උද්‍යානය හරහා ඇන්තනි වෙත පිමන්න්නට වුනේ විසල් එම ඇමතුම බලාපොරොත්තුවෙන් සිටි එකක් නිසා..

ඇයි ඇන්තනි අයිය..

හා මේ ඉන්නේ අලුත් බෑන්ඩ් ලීඩර්.. උඹ කාගේ හයියක් අරන්ද මිනිහෝ මගේ සෙෂන් එක මැදින් සින්දුවක් කිව්වේ..

විසල් කිසිවක් කතා නොකොට ඇන්තනි දිහා බලා සිටින්නට වුනා..

කතා කරපන් මිනිහෝ.. උඹ හිතන් ඉන්නේ උඹ කව්රු කියලද.. කතා කරපං ..

විසල් කිසිවකුත් කතා නොකරම ඇන්තනි දිහා හිස්ම හිස් බැල්මකින් බලා සිටින්නට වුනා..

උඹ හිතන්න එපා උඹ මහා ලොකු ගිටාරිස්ට් කෙනෙක් කියල.. යකෝ.. මේ ඇන්තනිට ගිටාරිස්ට් කෙනෙක් ගන්න එක සිම්පල් වැඩක් දැනගනින්.. උඹල හිතන් ඉන්නේ උඹල මහා ලොකු මිනිස්සු කියල නේ..

ඇන්තනි අයිය.. සවුන්ඩ් පටවල ඉවරයි.. බුෆේ එකේ අපිට කන්න දෙයක් නැතුව ඇති නෙහ්..

කෑම කෑම කෑම.. යකෝ එකදවසක් බඩගින්නේ හිටියාම මක් වෙනවද.. යනගමන් නයිට් කඩේකින් කොත්තුවක් කාපන්...ඉඳා... මේ සල්ලි ටික කොල්ලන්ට බේරපන් .. අද විසල්ට පේමන්ට් නෑ .. උඹ කරපු වැඩෙන් මගේ නමට ලොකු හානියක් උනා..ඒ හින්ද අද උඹට දඬුවමක් විදිහට පේමන්ට් නෑ .. ඊට අමතරව උඹට සවුන්ඩ් වාහනේ ට්‍රාන්ස්පෝර්ට් නෑ ...මේක මම උඹට දෙන දඬුවමක්..

ඉවෝන්.. ස්ටාර්ට් කරපං  ලොරිය.. අද විසල් යන්නේ පයින්.. නිකං නෙවෙයි.. ගිටාර් එකත් කරේ එල්ලගෙන..මේ ඇන්තනිට කොකා පෙන්නන්න එන එවුන්ට දඬුවම් දෙද්දී රෑ දවල් අදාළ නෑ ..

ඒයි සහන්  නැගපන් යන්න..

අනේ පලයන් ඉවෝන් යන්න.. මම විසල් දාල වාහනේ යන්නේ නෑ .. මම විසල් එක්ක පයින් යන්නං.. උඹල ඉතින් ලොකු මිනිස්සුනේ.. උඹල පලයල්ලා.. අපිට පයින් ගමන හුරුයි බං ..

මචං සහන්  උඹ මම නිසා පරිප්පු කන්න ඕන නැ බන්.. උඹ ලොරියෙ  නැගහන් ..

අනේ උඹ මගෙන් මුකුත් නාහ හිටහන් විසල්.. එක බෝඩිමේ එක බත් එක කන උඹව මේ රෑ දෙකට මහ මග තනියම  දාල මම යනවද බන් අරුගේ ලොරියේ..

කට කට බන් සහන් .. උඹ දන්නවනේ ඇන්තනිට ඇහුනොත්.. මෙන්න උඹේ පේමන්ට් එක..

ඉවෝන්.. මම බොට වඳින්නම්.. අරූ කුම්මහිකමෙන් දෙන සල්ලි ටිකත් උඹේම සාක්කුවේ දාගෙන ඔය ලොරි කටුව අරගෙන මෙතනින් මාරු වෙයන් බන්.. සින්දුවක් කිව්ව කියල විසල්ගේ සල්ලි නොදී ඉන්න එකාගේ සල්ලි මටත් ඕන නෑ.. බොලාට සල්ලි ලොකු උනාට අපිට සල්ලි ලොකු නෑ බං..

අනේ මන්ද.. උඹේ කැමැත්තක්.. ඔන්න අපි ගියා..

පරෙස්සමෙන් පලයන්.. ඇන්තනිගේ වාහනේට ටිකක් දුරින් ඩ්‍රයිව් කරහන්..

ඒ මොකෝ..

නෑ .. ඇන්තනිට හෙන ගැහුවොත් බොටත් වදින්න ඉඩ තියෙන නිසා..

තූ... කට.. ඔන්න අපි ගියා.. උඹල දෙන්න මා එක්කනම් තරහ වෙනවා නෙවෙයි ඔන්න.. මේවා ඉතින් ඇන්තනිගේ තීරණ මචන්.. මට කරන්න දෙයක් නෑ .. අනිද්දා රෑ නිගම්බු වැඩක් තියෙනවා වෙලාවට වරෙන් ඈ ...

ඇයි බන් දැන් ඇන්තනිට ඕනෑතරම් ප්ලේයර්සලා ඉන්නව කිව්වේ...

කාපු බීපු වෙලාවට කියන ඒවා ගණන් ගන්න එපා බන්.. අනිද්දට වෙලාවට වරෙල්ල.. මම ගියා..

සංගීත උපකරණ පැටවූ ලොරිය දුම් වලාවක් පිටකරමින් සාදය පැවති නිවසින් නික්මගියායින් අනතුරුව පවතී නිහඩතාවය බින්දේ විසල්..

අපරාදේ බන් සහන උඹට යන්න තිබ්බ උන් එක්ක

අනේ මේ මගෙන් මුකුත් අහන්නේ නැතුව ගිටාර් එක අරන් වරෙන් ගෙදර යන්න..

අනේ මන්ද බන්.. උඹ සල්ලි එපා කිව්වේ ඇයි බන්..

මේ මීමෝ.. මේක ඒවා කතා කරන තැනක් නෙවෙයිනේ..  මොකෝ මේක උඹේ අප්පච්චිගේ මාලිගාවද .. ඉක්මනට ගිහින් ගිටාර් එක අරන් වරෙන් මේකේ සිකුරිටිලා ඇවිත් අපේ බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න කලින්..

හිටහන් මම ගිටාර් එක අරන් එන්නම්..

මාලිගාවක් බඳු නිවසේ ගේට්ටුව අසල සිටි විසල් ආපසු හැරී ආලින්දය  වෙත පියමැන්නේ කලින් පුටුවක් උඩ තබා ආ  ගිටාරය රැගෙන එනු සඳහායි..

ඒයි විසලෝ... අර සින්දුව ඉල්ලලා කොළ කෑල්ල එවපු මැඩම් හිටියොත් කියහන් එයාගේ රසඥතාවය නිසා අපිට පයින් යන්න උනා  කියලා...යන ගමන් කන්න පාන් වාටියක්වත් ඉල්ලන් වරෙන් ඈ..

මොන සිංදුවද බන්..

අනේ මේ උඹ ඉවොන්ට ඇන්තනිට පොඩි කරන සුදු ළූණු මට පොඩි කරන්න එන්න එපා බන්..

අනේ පල යන්න..

මම දැන් කිව්වනේ.. ගිහින් ගිටාර් එක අරන් වරෙන්.. මේ තඩි යකඩ ගේට්ටුව ඔටෝ වැහෙන එකක්ද දන්නේ නෑ බූරුවෝ.. මේක  වැහෙන්න කලින් ගිටාර් එක අරන් වරෙන් නැත්තම් මේ ගේට්ටු රාජයා තරණය කරගෙන තමයි පාද යාත්‍රාව යන්න වෙන්නේ

විසල් හදිසි ගමනින් නිවසේ  පැමිණ පුටුවක් උඩ තබා තිබු ගිටාරය කරේ එල්ලාගත්තේ හැකි ඉක්මනින් නිවසට යන  අදහසින්. එහෙත් ගේට්ටුව අසල සිදුවූ  සියලු දෑ උඩුමහලේ සිට තවත් කෙනෙකු බලා සිටිනු  බවක්කි විසල් සහ සහන් දැන සිටියේ නැහැ.

ආ..ආ..... බර්ත්ඩේ ගර්ල්.. කොහෙද බන් අන්තරස්දාන .වෙලා හිටියේ... ආ ආ  රාජීව් එක්ක කොහෙහරි මිසින් උනා නෙහ් ..

කට කට .මාධවී... උඹට හොඳටෝම වැඩියි  අද...

කියහන.. ක්.. කෝ... උඹේ හැන්ඩ්සම්  බ්...බෝයි...

අනේ මේ මගෙන් මුකුත් නාහ හිටපං මාධවී.. අන්න රාජීව් ඉන්නවා පඩිපෙළ ගාව සොපාවේ .. ඕනනම් ගිහිං  නලවහන්.. හැබැයි සිහිය නම් නෑ ..

අනේ අපිට මොකටද අනුන්ගේ කොල්ලෝ..

උඹට ඕනෙනම් ඔනවෙලාවක අරන් පලය.. මගේ කිසීම ප්‍රශ්නයක් නෑ... ඒක නෙවේ මාධවී.. උඹේ වාහනේ කෝ..

ඇයි උඹ අදත් ය..ය..යතුර ගන්නද..

නෑ  බන් නෑ .. කියහන් කෝ උඹේ වාහනේ..

ඔය ප්පා....රේ අයිනේ ඇති බන්..  අද මම ගෙදර යන්නේ නෑ  සුදෝ... බය නැතුව හි..හි...හිටපන්..  අපි තාම මේ වැඩේ ඉවර නැහැනේ..

හරි බන් මාධවී.. උඹ එළිවෙනකල් බිව්වත් මට කමක් නෑ .. ඉක්මනට මට වාහනේ යතුර දීපං ..

ඔන්න ඔන්න සුදු නංගි ඌ....ඌ.. උඹ නෝටි වෙන්න හදනවා.. මම යන්නේ නෑ කිව්වනේ.. ප්‍රොමිස්..

කිව්වම අහල යතුර දියන්කෝ..

බෑ ..බෑ ..බෑ ..

එහෙනම් ඉක්මනට වරෙන් පොඩි ගමනක් යන්න..

මොකක්... අඩෝ අනන්‍යා.. මට වැඩි නෑ හරිද.. උඹ මට වී...විහිළු කරනවා නේද..

විහිළු නෙවෙයි බන්.. ඉක්මනට වරෙන්කො..

කොහේ යන්නද බන් මේ රෑ ..

යන තැන මම දන්නේ නෑ .. ඉක්මනට වරෙන්කො කෑ නොගහ....කෙල්ලනේ.. අපි පොඩී හදිසියකට එලියට ගිහින් එන්නම්.. උඹල වැඩේ කරගෙන යමල්ල.. මොනවහරි අඩුපාඩුවක් තියෙනවනම් ,සුමනදාස අංකල්ගෙන් ඉල්ලගනිල්ලා. මාධවී.. ඉක්මනට යමන්.....කෝ දීපං යතුර.. මම ඩ්‍රයිව් කරන්නං..

ඈ..ඈ..අයි බොට මාව ශූ ශූ.. වර් නැද්ද..

මෙන්න මෙහෙ දීපන් ඕක..

මාධවීගෙන් යතුර උදුරා රියදුරු අසුනට ගොඩවූ අනන්‍යා හැකි උපරිම වේගයෙන් සැර දමා ඉගිලෙන්නේ කුමක් අරමුනෙන්ද යන්න මධවීට වැටහීමක් තිබුනේ නැහැ.  බමන මතින් උන් මාධවීට මේ කොහේ යනවද විමසන්නට අවශ්‍යතාවයක් ඇතිවුනේද නැහැ. කුමන හේතුවක් නිසාවත් වයින් වීදුරුවක්වත් තොල නොගාන අනන්‍යා යන්නේ අනතුරුදායක ගමනක් නොවන වග පමණක් මාධවී දැන සිටියා.

කොහෙද බන් අ...අ...අපි මේ යන්නේ..

වැරද්දක් හදන්න..

වෑ....වැරද්දක් හදන්න.. මේ ර්ර්ර්ර්ර්රෑ.. .. අනේ මන්ද.. උඹේ ප්‍රංශ මට නොතේරේ..

ප්‍රංශ නෙවෙයි මම කිව්වේ හොඳ සිංහලෙන්.. සීට් බෙල්ට් එක දාගෙන කට වහගෙන හිටහන්..

හ්ම්.. උඹ කියන නිසා ඔන්න මම ක්කට වහගත්ත..

පසුපසින් පැමිණි වාහනයක් එක්වරම තමුන් අසල නැවතුනායින් තැතිගනීමට පත් විසල් සහ සහන් වාහනය දෙස බලා උන්නේ විමතියෙන්.. අඳුරු පැහැ වීදුරු අතරින් වාහනය ඇතුලත කිසිවක්  විසල්ටවත් සහන්ටවත් පෙනුනේ නැහැ.

මොකද බන් විසල්  මේ වෙන්න යන්නේ.. පරිප්පුවක්වත්ද..

අනේ මන්ද බන්.. ඇතුලේ ඉන්නේ කව්ද කියලනම් පෙන්නේ නැහැ..

කෝකටත් ලැස්ති පිට හිටහන්.. මේ වෙලාව හොඳ වෙලාවක් නෙවෙයි..

හ්ම්..

රථයේ රියදුරු  අසුනේ වීදුරුව විවුර්තකල  පසු දුටු දෙයින් විසල් සහ සහන් මුහුණට මුහුණ බලාගත්තේ එය විශ්වාස කල නොහැකි දර්ශනයක් නිසා..

නගින්න...

විසල් සහ සහන් එකිනෙකාගේ මුහුණට මුහුණ බලන්නට වුයේ දෙදෙනාටම පිළිතුරක් නොවූ නිසා..

නගින්න ළමයෝ..

න් ....න් ...නෑ  මැඩම්  අපි පයින් යන්නං ...

අයියෝ.... ස්ටේජ් එකේදී වීරයෝ වගේ හිටියට මෙයා හා....රි බ්බ....යගුල්ලෙක්නේ..

මාධවී... කට කට..

ඕ .....සොරි ..සොරී...

නගින්න ළමයෝ...


සහන් විසින් තල්ලු කර ඉදිරියට යවනු ලැබූ විසල් රථයට ගොඩවුනේ  අනන්‍යා විසින් කිහිපවාරයක් කල ආරාධනාව ප්‍රතික්ෂේප කල නොහැකි නිසා.. පළමුව විසල්  සහ ඉන් අනතුරුව සහන් රථයට ගොඩවූ පසු අනන්‍යා කිසිදු කලබලයක් නොමැතිව රථය ඉදිරියට ධාවනය කරන්නට වුනා..

 ම...ම....ගේ අ..අ...අම්මේ මෙච්චර වෙලා මෙයාට තිබ්බ හ..දිසිය දැන් නැහැනේ..

මාධවී......

හරි හරි බන්.. මම මේ කිව්වේ දැන් මෙච්චර වෙලා ඉ.....ගිල්ලුන  කාර් එක දැන් ය......න්නේ ඉබි ගමනෙනේ බන්.. ඒ...කයි මම මේ කිව්වේ..

මාධවී... කට වහන් හිටහන්කෝ..

සොරි.. ඔයාල කොහෙටද යන්නේ..

විසලුත් සහනුත් නැවතත් මුහුණට මුහුණ බලන්නට වුනා..

අයියෝ.... නිකම් ගමෙන් ආපු ගෑ.....ගෑනු ළමයි දෙන්නෙක් වගේනේ මෙයාල දෙන්න.. නැද්ද බන් අනන්‍යා...

මාධවී.. මාධවී... මම  උඹට දැන් ....

උඹේ භාෂාව මුන් දෙන්නට තේරෙන්නේ නෑ බන්.. හී....හිටහන්කෝ පොඩ්ඩක්...

අඩෝ කොල්ලෝ දෙන්න.. බොලා දෙන්න ගිටාර් දෙකක් කා....රේ එල්ලගෙන දිල්තෝ පාගල් එකේ මන්ගච්චන්නේ කොහෙටද කියපල්ලා මේ මාධව්වේගේ යකා අවුස්සන්නේ නැතුව..මී....යුසික් ක්...කාරයෝ කී යන්නේ කෙල්ලෝ දාහකට ටෝක් කරන්න දේ..දෙපාරක් හිතන්නනේ නෑ..ති එවුන්නේ..

මාධවී... මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින්.. සොරි අනේ.. මෙයාට ටිකක් වැඩි.. ගණන් ගන්න එපා.. ඔයාල දෙන්නව කොහෙටද බස්සන්න ඕන..

මැඩම් යන පාරෙන් කොහේ හරි කොට්ටාව පැත්තට යන්න බස් එකක් ගන්න පුළුවන් තැනකින් දාන්නකෝ....

මේ රෑ කොහෙද අනේ බස්.. කියන්නකෝ කොහෙටද ඔයාල දාන්න ඕන.. මම හිතන්නේ ඔයාල දෙන්නම දන්නවා මම කව්ද කියල..

ඔ...ඔ..ඔව්  මැඩම් ..

ඔන්න ඉතින්.. කොහෙවත් නැති මැඩම් කෑල්ලක් කියවන්න තියාගත්තා...

ඕ....ඔව් ඔව්.. මේ......මෙයා මැඩම් කියනවට හරි අ ..අකමැතියි.. මෙයාගේ නම අනන්‍යා... මෙයා රටේ ප්‍රසිද්ද කෝටිපතියෙකුගේ එකම දුව.. මෙයා ඉතින් සුරංගනාවියක් වගේ සැපෙන් ඉන්න කෙනෙක්. මෙයාට මෙයාගේ අය්යා මෙයාට කියන්නේ සුදු නංගි කියලා....තව මෙයා ගැන කී... කියනවනං...

මාදවී.....වහපන් කිව්වා කට..

සොරි අනේ.. මෙයාගේ කටට බ්රේක් නෑ.. ..

තිබ්බ චූ...ට්ටත් දෙකක් දා..ගත්තම නෑ මචංලා...

මාධවී...කිව්වම අහල හරියට කතා කරපංකෝ...

අනන්‍යා.. ඩාර්ලින්.. උම්බට අ..මතක වුනාට මුන් දෙන්නා ලොකු බෑන්ඩ් එකක ප්ලේයර්සලා දේ..න්නෙක්.. මුන්ට කේ..කෙල්ලන්ගෙන් රයිඩ් හම්බෙන්නේ අද විතරක් නෙවී බන්..

මාධවී..  අද වෙනකම් මමත් හිතන් හිටියේ එහෙම තමයි.. එත් අද මම ඇස් දෙකට දැක්ක.. කන් දෙකට ඇහුනා.. ඒ නිසයි මම මේ රෑ දෙකට උඹව දාගෙන මේ ගමන ආවේ.. සොරි අනේ.. මෙයා කියන ඒවා ගණන් ගන්න එපා.. මම දන්නවා ඔයාල කාල නෑ කියල.. සමාවෙන්න මගේ බර්ත්ඩේ පාර්ටියට ඇවිත් බඩගින්නේ යන්න උනාට..

අනේ නෑ මැඩම්.. අපි ඉතිං ආවේ අපේ රස්සාවටනේ..

හෝව්..හෝව්..ඔක්කොටම ක්..කලින් කියහල්ල උඹල දෙන්නගේ නම් මොනාද කියල.. මම ටිකක් බීල ඉන්න මාධවී.. 

ම ..ම..මම සහන්...

ආන්න..ආන්න.. ආන්න... සහන්.. උඹ පැනල දෙනවනේ.. මේ මාධවී කෙලින් කතාව හරිද.. මේ වෙලාවේ මට උඹේ නම වැදගත් නෑ.. කියමු බලන්න අපේ ගායකයාගේ නම මොකක්ද කියල.. මං..මේ අහන්නේ මට දැනගන්න මිසක් අපේ අනන්‍යා හෙවත් සුදු නංගිට දැනගන්න ඕන හින්ද නෙවෙයි හරිද.. හී...හී....

මාධවී.... මම උඹට..

සොරි මැඩම්.. මෙයා විසල්...

විසල්.. ෂාහ්.. ලස්සන නමක්නේ.. නේහ්.. ඔව් කියහන්කෝ අනන්‍යා..

මාධවී... උඹ ගානට වැඩියි..

සොරි විසල්.. මෙයා කියන ඒවා ගණන් ගන්න එපා.. මට කියන්න ඔයාලව බස්සන්න ඕන කොතනටද කියල..

මැඩම් කරදර වෙන්න එපා මැඩම්.. අපි පයින් යන්නං.. අපිව හයිලෙවල් පාරෙන් බස්සන්නකෝ..

ඇයි බොලා දෙන්න පදිංචි වෙලා ඉන්නේ හයිලෙවල් පාරේද.. මේ.. ටිකක් බීල ඉන්න මාධවීගේ කේන්ති අවුස්සන්නේ නැතුව කියහන් කොහෙද විසල් ඉන්නේ කියල.. සොරි සහනෝ.. උඹටත් අද විසල් ඉන්න තැනටම ට්‍රාන්ස්පෝර්ට් ලැබෙනවා.. ඊට මෙහා උඹට මේකෙන් බහිනවා බොරු..හී..හී..

කමක් නෑ මඩම්.. අපි දෙන්නම ඉන්නේ එකම බෝඩිමේ තමයි..

මාධවී.. මේ ළමයි දෙන්නව බයිට් නොකර හිටහන්කෝ..

උඹට පී...සසු..අනන්‍යා.. මුන් මියුසික් කාරයෝ.. මුන්ව බයිට් කරන්න සෙල්ලමට බෑ බන්..

මිනිස්සුන්ට ඔහොම කතා කරන්න එපා බන් මාධවී.. ප්ලීස් ටිකක් කට වහන් හිටහන්කෝ..

හරි.. ඔන්න මම කටවහගත්ත..

විසල් මට කියන්න බෝඩිමට යන පාර..

හා මැඩම්.. ඔහොම ඉස්සරහට ගිහින් ඔරලෝසු කනුව ගාවින් වමට..

හ්ම්.. විසල් අද වෙච්ච දේට සොරි කිව්වට වැඩක් නෑ කියල මම දන්නවා.. මට හරි කනගාටුයි වෙච්චි දේ ගැන.. 

මැඩම් මේ කියන්නේ මොකක් ගැනද..

ඉස්සෙල්ලම මම විසල්ට කියන්නං.. මට මැඩම් කියන්න එපා.. මට අනන්‍යා කියන්න.. මීට පස්සේ මැඩම් කතා බෑ හරිද..

 හා මැඩම්...

ඔය ඔය ඉතින්.. මොකද සහන් කතා නැත්තේ.. සමහරවිට සහන් මා එක්ක කේන්තියෙන් ඉන්නවා ඇත්තේ නේද..

ඒ කියන්නේ දැන් අපේ අනන්‍යා බේබිට කතා කරන්න ඕන සහන් එක්කද නැත්තම්.....

මාධවී.... ප්ලීස්...


අනේ නෑ මැඩම්.. මට තේරෙන්නේ නෑ මැඩම් මේ කියන්නේ මොකක් ගැනද කියල..


සහන් මට මැඩම් කියන්න එපා.. ගේට්ටුව ලඟදි ඇන්තනි කරපු කියපු දේවල් ඔක්කොම මම දැක්ක සහන්.. අපරාදේ.. මම මිල්ටන්ගේ සින්දුවක් කියන්න කියල කියල එව්වේ නැත්තම් විසල් ඇන්තනිගෙන් බැනුම් අහන්නේ නැහැනේ.. පේමන්ට් එක නැති වෙන්නෙත් නැහැ.. මමයි ඒ වරද කරේ.. මට සමාවෙන්න..

හෝ..හෝ... මට දැනුයි මේකේ අග මුල තේරෙන්නේ... අනන්‍යා... මාධවී ඉන්නේ ටිකක් බීල උනාට හොඳ සිහියෙන් හරිද.. මම ඒත් බැලුව අපි ඩාන්ස් කර කර ඉද්දි මේ බූරුවා එකපාරට මිල්ටන්ගේ සින්දුවක් කියන්න තියාගත්තේ මොකද කියල..

මාධවී..ඇයි බන් මිනිස්සුන්ට ඔහොම කතා කරන්නේ..

හරි හරි බං.. ෆිට් එකට ෆිට් එකට.. මේ රෑ දෙකට උඹ මුන් දෙන්නව ඇරලවන්න ගෙදරින් හොරාට පැනලා ආවේ පොඩි හිතවත් කමකට වෙන්න බෑනේ.. 

අනේ දෙයියනේ.. කට වහන් හිටහන්කෝ..

මැඩම් ඒ ගැන හිතන්න එපා .. අපි ආවේ මැඩම්ගේ බර්ත්ඩේ පාර්ටිය ප්ලේ කරන්න.. ඔක්කොටම වඩා ලොකුයි බර්ත්ඩේ ගර්ල්ගේ රික්වෙස්ට් එක..

ඒ වුනාට විසල් ඒ වෙනුවෙන් බැනුම් ඇහුවනේ.. ඒ මදිවට ලැබෙන්න තිබ්බ සල්ලිත් නැතිවුනා..

ඒ ගැන හිතන්න එපා මැඩම්..

ඔන්න ඉතින් ආයෙත් මැඩම්.. දැන් මෙතනින් කොහාටද..

ඔතනින් දකුණට හරවල තියන දෙවැනි ගේ මැඩම්..

හ්ම්.. ආයෙත් මැඩම්..

සොරි..

එහෙනම් මැඩම් අපි බහින්නං..

අනේ මට සමාවෙන්න ඉතින් අද වෙච්ච දේට.. මම ඔය දෙන්නගේ පේමන්ට් එක ලැබෙන්න සලස්වන්නම් හොඳේ..

අයියෝ එපා මැඩම්.. අපි එක ඇන්තනි එක්ක බේරගන්නම්..

ලොකු නමක් තිබ්බට ඒ මනුස්සයා මොනවගේ කෙනෙක්ද කියල අද මම දැක්ක සහන්.. මට හරි කලකිරීමක් ඇතිවුනා ජනප්‍රිය ගායකයෙක් ඒ වගේ හැසිරෙනවා දැක්කාම..

ඔව්ව ඔහොම තමයි මැඩම්..

එහෙනම් විසල් අපි ගිහින් එන්නම්ද..

හා මැඩම්.. එහෙනම් පරෙස්සමෙන් යන්න..

හෝව්..හෝව්..හෝව්.. දැන් උඹ මේ ගිහින් එන්නම්ද කියල ඇහුවේ ආයේ එන්න අදහසක් තියෙන හින්දද නැත්තම් කටට ආවටද..

මාධවී...කට කට.. මෙයාට පිස්සු අනේ..

එහෙනම් සහන් අපි ගිහින් එන්නං..

පරිසරයේ පවතී අඳුර දුරු කරමින් තිබෙනාවූ පහන් කණුවේ ආලෝකයෙන් විසල් දිහා විසල් බැල්මක් හෙලු අනන්‍යා රථය ඉදිරියට පදවාගෙන ගියේ "යන්නම් විසල් " කියා වචනයෙන් කියනවාට වඩා බොහොමත්ම අරුත්බර බැල්මකින් අනතුරුව. ඒ බැල්මේ තිබෙන්නේ කුමන පණිවිඩයක්ද යන්න විශ්ලේෂණය කරන්නට විසල්ට උවමනාවක් තිබුනේ නැහැ.

ඈ බං විසලෝ..මොකද බං මේ වෙන්න යන්නේ..

මුකුත් නෑ බං..

වෙන්න බෑ.. 

වෙන්න බෑ නෙවෙයි බං.. මුකුත් නෑ..

හෝව්..හෝව්..හෝව්... නවත්තපන්... 

මොකෝ බන්.. 

නවත්තපන්කෝ... රිවස් කරපන්...

මොකටද කියල කියන්න රිවස් කරපංකෝ..

විසල් නැවතත් සහන් දිහා බැලුවේ එක්වරම නැවතුනු අනන්‍යාගේ රථය නැවතත් පසුපසට ධාවනය වන්නට වූ නිසා.. පසුපසට පැමිණි රථය නැවතත් විසල් ළඟ නතරවුනා..

ඒයි විසල්.. උඹට මොකක්හරි අමතක උනාද..

නෑ මාධවී මැඩම්..

වෙන්න බෑ..

නෑ මැඩම්.. ගිටාර් එක ගත්ත...

අනේ විසලෝ.. මේ සුරංගනාවියක් වගේ ඉන්න අනන්‍යා ගෙදරට හොරෙන් මගේ කාර් එකත් අරන් ආවේ උඹ පයින් යන හින්ද කියල උඹට අමතක උනා නෙහ්..

මාධවී.. උඹ මොනාද මේ කියවන්නේ..

අනන්‍යා.. මේක මගේ වාරේ.. හිටහන් මේක කියන්න දීල.. ඉතිං විසල් කෝ උඹ සුදු නංගිට විශ් කරේ නැහැනේ..

අනේ සොරි මඩම්.. විශ් යු වෙරි හැපී බර්ත්ඩේ...

මක්.. කිව්වා.. මැඩම්.. එහෙම බෑ.. එක්කෝ නම කියල විශ් කරහන්.. නැත්තම් සුදු නංගි කියල විශ් කරහන්..

සොරි මාධවී මඩම්...

අනන්‍යා බලා උන්නේ විසල් දිහා.. විසල් එක්වරම බැලුවේ අනන්‍යා දිහා.. එක්වරම ඒකාත්මික වුනු ඒ  නෙත් හතර තත්පරයකට දෙකකට ඒ දෙනෙත් ඇතුලේ මොනවදෝ සොයනවා නොවේදැයි දෙදෙනාම දැන උන්නේ නැහැ.. ඒත් ඉන් පෙර කිසිම දවසක හමුවී නොතිබුණු ඔවුනොවුන් කාලාන්තරයක් දන්නා හඳුනන අය මෙන්  තත්පර කිහිපයක් දෙනෙතින් දොඩමලු වූ වග දැන උන්නේ අනන්‍යා සහ විසල් පමණයි..

හැපී බර්ත්ඩේ සුදු නංගි.. ඔයාට තෙරුවන් සරණයි..


*************


සඳට සදහට සෙනේ පෑමුත්..
උදුල තරු කැටයම්..
හිරුට පෙම් බැඳී එකද තරුවක්.. 
සිටිය නොහැකිද යම්..
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය.. 
ඒ වගෙයි මනරම්..
පුදුම වෙයි නුඹ නම්..

ගහක මල් පිපිලා පිපෙන්නේ..
ඇයිද නොදන්නෙමි..
හිතක මල් පිපිලා පිපෙන්නේ..
ඇයිද නොදන්නෙමි..
නුඹට සිත බඳුනේ කිමැයි මා ..
තවම නොදන්නෙමී..
නුඹට සිත බැඳී කාරණේ මා.. 
තවම සොයන්නෙමි..

***********
තුන්වෙනි කොටස
http://ambalangodakatha.blogspot.com/2016/10/3.html

56 comments:

  1. harima lassanai....

    ReplyDelete
  2. ambalangoda ayye dannawada man kauda kiyala?

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැනේ කව්ද කියල.. Anonymous ආවත් සාදරයෙන් පිලිගන්නවා ඔන්න..

      Delete
    2. apinan itin ayyawa iskole yana kale idanma dannawa..kohoma unath oya lassanata liyanawa..suba pathanawa oyata...digatama liyanna..

      Delete
    3. දැන් කියමුකො බලන්න මේ කව්ද Anonymous කියල.😈ඉස්කොලෙනම් ඉතින් අපිව නොදන්නෙ කවුද නේද බන් අම්බලන්ගොඩයො.මට පේන්නෙ නම නොකියන්නෙ බයට.මොකද නම දැනගත්තොත් ඉතින් සදා සොත්ති තමයි අම්බලන්ගොඩයගෙන් පොස්ටුවක් ශුවර්😉😉😉

      Delete
    4. ස්තුතියි සුභපැතුමට.. ඒත් නරකද අපේ චමිල කියනවා වගේ ඔබතුමා හෝ ඔබතුමිය කව්ද කියල කිව්වනම්.. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දන්නා කෙනෙක්නම් ඉතින් අපේ ඉස්කෝලෙම කෙනෙක් වෙන්ට ඇති නෙහ්..

      Delete
    5. Apoi mokada mama nodanne oya dennawama..oya dennath mawa hodatama dannawa..eth nama kiyanna mama kamathi natho..puluwannam hoyaganna..you both can guess i think..

      Delete
    6. apoi ambalama ma gana post liyala thiyenawoooo.....mage ammooo....nama kiyanne natho.....

      Delete
    7. අකමැතිනම් නොකිය ඉන්න.අපෙ මොකෝ.නම් නොකියන උන් ගැන හොයනවට වඩා මටනම් වැඩ තියෙනවෝ.😛

      Delete
  3. ලස්සන කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදේනි..

      Delete
  4. මරුයකෝ මල් පත්තරේ කට විකුනහං

    ReplyDelete
    Replies
    1. මොකටද බං මල්, පත්තරේකට විකුණන්නෙ. පත්තරේක ඔතල ඇදහංකො.

      Delete
    2. මල් පත්තර තාම ලංකාවේ තියනවද බන්..

      Delete
    3. පෙසන්නය කියන විදිහනම් ඉතින් නරකම නෑ.. මල් මල් මල්.. තණමල්විල මල්..

      Delete
  5. කෑමක් හදන හැටි නැත්නම් නයිට් කඩේකට ගිහින් ඒකෙ කෑම ගැන වර්ණාවකුත් ලිවුවනම් උඹ සුජීව ප්‍රසන්නාරච්චි වගේමයි කියන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හයියෝ කම්මලේ.. බොලා මෙහෙම කියනකොට නම් ලිඳේ පනින්න හිතෙනවා අම්මපල්ල..

      Delete
    2. වීළු...වීළු ගනන් ගන්න එපා.

      Delete
  6. අපේ නව යොවුන්වියේ සදාදරණීය ප්‍රේමකථාවක් වූ ජනක රත්නායකගේ "සුසීමා" චිත්‍රකථාව මතකයට නැඟුනි. ඒකේත් ඉන්නෙ කෝටිපති කෙල්ලෙකුයි දුප්පත් සංගීත කාරයෙකුයි. කොල්ලගෙ නම රංග.

    පෙසන්නය මොන ඇට්ටිම්බෙක්ද? මූනෙව පොර....:)

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ පෙසන්නයාලට බනින එකා. හැක්..

      Delete
    2. ජැක්සන් ඇන්තනි නේද සුසීමා නාට්යේ රංග කියන චරිතය නිරූපණය කරේ.. ජනක රත්නායකගේ කතා කියවන්න මම අදත් ආසයි රවී.. ලිවිල්ල වගේම තමා චිත්‍රත්.. සුසීමා වගේම "කුමාරයාණෙනි" කියන කතාවත් නැගල ගියා වගේ මතකයි..

      Delete
    3. ගණන් ගන්න එපා බන් පෙසන්න.. උඹම පෙසන්න කියල කියාගත්තයින් පස්සේ ආයේ ඔන්න ප්‍රසන්න කියල ලියෙවෙන එකක් නෑ අපිටනම්.. පස්සෙන් පහු දොස් කියනවා එහෙම නෙවෙයි..

      Delete
  7. කියවල පුරුදු ගතියක් දැනුනට බැලුවෙ. කලින් කොටසකුත් තියෙනවා නෙ. කතාව රහයි ඈ.

    ReplyDelete
    Replies
    1. ඔහෙගෙ කතා කියවනකොට අපිටත් එහෙම තමයි දැනෙන්නෙ.

      Delete
    2. ස්තුතියි හැලප අයියේ..

      Delete
  8. හප්පේ... යංතං මුල හරිය අමතක වීගෙන එනකොට ඔය දාල තියෙන්නෙ දෙවෙනි කොටහ.

    ඔය සම හරක් ගායකයො ඔය වගේ තමයි බං. උං හිතාගෙන ඉන්නෙ හැමදාම උංට පොරවල් වගේ ඉන්න පුලුවන් වෙයි කියල.

    මොනව උනත් ශිවන්‍යා.. සොරි අනන්තා... සොරි (යකෝ මේ නයි මනෙ මතක් වෙන්න‍ෙ)

    අනන්‍යා බැල්මට් එක විතරක් දාල නිකං ඉඳී ද නැත්තං අනා-විසා ආදර අන්දරය දිගටම ඇදී යාවිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නයත් හොරාට හොරාට ශිවන්ය බලනවද කොහෙද😯 අනන්යත් ඉස්සරහට ශිවන්ය වගේ වේවිද දන් නෑ නේද බන්☺

      Delete
    2. සුප්‍රසිද්ධ චරිත දිහා ලං වෙලා බැලුවාම චී කියල හිතෙන වාර අනන්තයි ප්‍රසන්න..මිනිස්සු නිර්මාණ වලට ආදරේ කරාට ඒ නිර්මාණ බිහිකරන බහුතරයක් නිර්මාණ කරුවන් ඇතුලේ නිර්මාණයේ ගති ලක්ෂණ හරිම අල්පයි බං.. එහෙම නොවෙන මනුස්සයෙකුට මම දැකපු එක නිර්මාණ කරුවෙක් තමයි ගුණදාස කපුගේ කියන මනුස්සය.. ඒ නිර්මාණ ඇතුලේ තිබ්බ හැමදේම ගුණදාස කපුගේ ඇතුලේ තිබ්බ..

      ඉදිරියට බලමුකෝ විසල්ට මොකක් වෙයිද කියල..

      Delete
    3. ඉන්දියාවේ විගඩම් ගෙනල්ල ලංකාවේ අනවශ්‍ය ප්‍රසිද්දියක් ලබාදුන්නාම ඕනෑම හැපින්නක් රෝසමලක් කරලා බාරගන්න අපේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ ලෑස්තියි බන්.. එහෙව් එකේ ශිවන්‍යා ඔයතරම් ජනප්‍රිය වෙන එක ගැන අරුමයක් නැහැ.. ඇත්තම කියනවනම් එහෙන් මෙහෙන් අහුලගත්තු තොරතුරු වලින් ශිවන්යා කියන්නේ කව්ද කියල හොයාගත්තට මොකද මම නම් ඔය මල මගුල් බලන්නේ නැතෝ..

      Delete
    4. මම ඔය ලබ්බ බලන්නෑ බොල. ඒ ටයිම් එකට මම ඉන්නෙ ෂොප් එකේ. මාත් ඔය එහෙං මෙහෙං ඕක ගැන අහපු එ්ව තමයි තියෙන්නෙ.

      Delete
  9. වැඩේ කැතයි බං.
    උඹට තිබුණ අනන්‍ය ලව්ව අරුං දෙන්නට හොඳ ෆයිව්ස්ටාර් හෝටලේකිං ඩිනර් එක අරං දීල, පේමන්ට් එකත් ඩබල් කරල ගෙවවන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ කියන විදිහට ලිව්වොත් අර කිව්වා මල් කතාවම ඒ ආරෙන්ම ලියවෙනවනේ බන්.. මේක සුරංගනා ලෝකෙන් මහපොළොවට මිසක් මහා පොළොවෙන් සුරංගනා ලෝකයට යන එකක් වෙන එකක් නැහැ බන්..

      Delete
  10. ඇති යන්තන් මෙ කතවෙ කොටසක් ලියන්න හිතුන.මන් කීපරක් කියුවද.උබව වර්නනා කරල වැඩක් නෑ.ලියාගෙන පලයන්.මේක ඉවරවෙලා පටන් ගනින් මගේ කතාව ලියන්න.උදව්වක් විදියට කතාවෙ නම දෙන්නම් ගිනි අවි සහ ගිනි කෙලි එහෙම නැත්නම් ලව් ඉලව් වගේ මොකඛරි දාමු 😨

    ReplyDelete
    Replies
    1. මේක ලියාගත්තෙත් ඩ්‍රයිවින් සීට් එකේ ඉඳන් බං..ඒකත් විනාඩි පහ දහය කෑලි කෑලි ලියල තමා සම්පුර්ණ කොටසක් ලීවේ.. අපිට වෙච්චි අලකලංචි ලියනවට වඩා අමාරුයි බන් ප්‍රභන්ධයක් ලියන එක..මේ කොටස ලියන්න ගනිද්දී හිතේ තිබ්බේ ඔය අන්තිමට ලියල තියෙන සුභ උපන්දිනයක් කියන කොටස විතරයි..සෑහෙන්න කට්ටක් කාල තමා එතෙන්ට කරකවාගෙන ආවේ ඉතින්..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේක පුද්ගලික අත්දැකීමක්ද?. තාත්විකවම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ නෑමල් මල්ලි.. මේක තනිකරම ප්‍රභන්ධයක්..එත් ඉතින් සමහර දේවල්අ ත්දැකීම් ඇතුලෙන් ලියවුනා කිව්වත් ඉතින් වැරදි නැහැ.. එත් සිදුවීම් තනිකරම ප්‍රභන්ධයක්..

      Delete
  13. අයියෙ අයියෙ ඊළඟට ඔය කෙල්ලගෙ තාත්ත ලව්වා දෙවෝපං කෙල්ලගෙ හොස්ස කට රොසැල්වෙලා නෙක්ටො බිව්ව වගේ රතු වෙන්න. ඉං පස්සෙ සද්දෙ
    "ආයි තෝ ගෙං එළියට අඩියක් තිබ්බොත් බලාගෙන. නැගපං එක්ටැම්ගෙට. මං හොයල දෙන පෝරිසාදයම බැඳපං."

    එතකොට කෙල්ල දිගම දිග ගවුමක් ඇඳලා අඬනව

    "මේ නහී ශාදී කරෝගී.. මෑ මැරිජාවුංගේ. මේ ප්‍රේම් නාම්කේ පණ පලෙයං "

    ReplyDelete
    Replies
    1. දැන් බොට සහලෝල උන කියල සකර්බර්ග් කාරයාගේ කැලෑ පත්තරේ වැටිලා තිබ්බනේ බන්.. මෙන් බැලුවාම මු මෙහෙ.. දැන් කාලේ වයිබර්, ඉමෝ, වට්ස් ඇප් වගේ දේවල් තියෙද්දේ එක්ටම් ගෙවල්වල දාල කෙල්ලෝ හිර කරනවා බොරු බන්.. අද කාලේ කොල්ලෝ dron එකෙන් ඇවිත් කෙල්ලව අරන් යන්නේ අප්පොච්චිට වලිගෙවත් හොයාගන්න බැරිවෙන්න. හැබැයි ඉතින් ඔය උඹ අන්තිමට ලියල තියන "මෑ මැරිජාවුංගේ" කියන කෑල්ල කියන්නේ කොල්ල.. හැබැයි කෙල්ලව අරන් ගිහින් මාස තුනකට විතර පස්සේ..හේ හේ..

      Delete
    2. ඔය ඉන්නෙ සිවන්‍යා බලන එකෙක් තමයි.

      Delete
  14. මරු. රහට ලියනවා.සතුටුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධම්සෝ පුතා..

      Delete
  15. Ithaama rasawath wagema siduweem api langama siduwuna wage danuna

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ.. මේ වෙන ඇනෝ කෙනෙක් වෙන්න ඇති නේද..කෙසේවෙතත් කියවල කමෙන්ට් එකක් දාපු එකට හදවතින්ම ස්තුතියි..

      Delete
  16. පලවෙනි කොටස බැලුවෙත් අද, කතාව මරු මචං...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා

      Delete
  17. ඇත්තටම නිර්මාණ කරන කලාකරුවන් ඒ නිර්මාණ තරන්ම සොඳුරු නම්.. මීවිතෙන් ඈත් වෙලා තමන්ගේ නිර්මාණ වල තියන ඉල්ලන චරිත තමන් ඇතුලෙම ගොඩනඟනවා නම් කියලා හිතෙනවා අම්බලන්ගොඩ..

    ReplyDelete
    Replies
    1. සංගීතය බිස්නස් එකක් කරගත්තු සුළුතරයක් සංගීතයෙන් ගොඩ ගියා.. සංගීතයට පන වගේ ආදරේ කරපු සමහර ප්‍රවීන මිනිස්සු " සුරාව , සංගීතය සහ ගැහැණිය " කියන සංකල්පය ඇතුලෙම හිරවුනා.. ඒත් නිර්මාණය සහ නිර්මාණය කල පුද්ගලයා අතර වෙනස අහසට පොලොව තරම්. සමහර සුප්‍රසිද්ද චරිතවල ඇතුලාන්තය දැක්කාම ඈයියා කියල හිතෙනව.. ඒ තරම් කුහකයි, කුරිරුයි, ආත්මාර්ථකාමියි..

      Delete
  18. නියමයි.ජයින් ජයම වීවා..අසංක ප්‍රියමන්තගේ විදියට කිව්වා ඔන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන්.. අපූරුවට කතාකරන්න භාෂාව තියෙද්දී නිකං පිස්සු කියවනවා එයත් දැන් දැන්..

      Delete
  19. එකදිගටම කියෝගෙන යන ගමන්..
    ජයවේවා..!!

    ReplyDelete