Tuesday, December 12, 2017

අසාධාරණ ලංකාගමනය





ඔන්න අම්බලන්ගොඩයා කාලෙකින් ලංකාවට මන්ගච්චන්න කියල ලෑස්තිවුනා කියමුකෝ පහුගිය සැප්තැම්බරයේ අග භාගයේ. තමුන්ගේ රටින් පිට ඉන්න ඕනෑම කෙනෙක් තමුන්ගේ රටට එන්න කොයිතරම්නම් ආසයිද කියන එක පිටරට ඉන්න අයවලුන්ට නම් ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ වතාවේ අම්බලන්ගොඩයා තකහනියේ ලංකාවට දුවගෙන එන්න මුලාශ්‍ර වුනේ හදිසියේම කථින පිංකම අම්බලන්ගොඩයාගේ පවුලේ උදවියට ලැබීම නිමිතිකොටගෙන සිදුකලා වූ ඒ මහා පුණ්‍යකර්මයට සහභාගිවෙන අරමුණෙන්.  කථින පිංකමකට එහෙම සහභාගිවෙන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නිසා ගොඩයා එකෙන්ම ලංකාවට මන්ගච්චන්න දෙපාරක් හිතුවේ නැහැ. වෙනද ගොඩයා ලංකාවට එද්දී අතින් කටින් උස්සන් එන තෑගී බෝග නම් මේ වතාවේ ම්හ්.. වෙනදට හිතමිත්‍රාදීන්ට දෙන්න කියලා ගේන මධ්‍යසාර බෝතල් කිහිපයත් මේ වතාවේ ලිස්ට් එකෙන් කැපුනා හේතුව කියනවනම් යන්නේ උතුම් පුණ්‍ය කටයුත්තකට නිසා.. එහෙම කියන එක සාධාරණ නිදහසට කරුණක් නෙවෙයිද කියල කාට හරි තර්ක කරන්න පුළුවනි උනාට පුණ්‍ය කටයුත්තකට යන ගමනේ රහ මේර උස්සන් නොයා යුතුයි කියන තද ප්‍රතිපත්තියක අම්බලන්ගොඩයා පිහිටලා හිටියේ තනිකරම පොකැට් එකේ වාසියට. ආයි මොකටෝ බොරු බේගල් කියන්නේ ඉතින්.

අවුරුදු ගණනාවක් ඔය ලංකාගමනය සිද්දවුනත් ඒ හැම ලංකාගමනයක් එක්කම විස්කි බ්‍රැන්ඩි ගොඩයා සමග ලංකාවට ගොඩ බැස්සත් ඔව්වයින් ගොඩයා කවදාවත් හොඳක් අහල නම් නෑ කියමුකෝ. හත් ඉලව්වේ කිලෝ දෙතුන්සීයක බෑග් උස්සන් යන්න ඒරොප් ප්ලේන් එක ගොඩයාගේ අප්පොච්චිගේ එකක් නෙවෙයි හින්ද ඔය ගෙනියන එකම එක බෑග් එකේ එපැයි ඔය බෝතල ටිකත් අරන් යන්න. ඉතින් ඔය කිලෝ 23 ඇතුලේ තඩි බෝතල් හතර පහක් දාගත්තාම ගොඩයාගේ රෙදි කඩමාලු ටික ගෙනියන්නේ අහවල් එකේ දාගෙනද කියන එක ගොඩයාගේ මිත්‍රයින් කවදාවත් හොයල බලන්නේ නැහැ. ඉතින් ඔය හැම ප්‍රශ්නෙකටම විසඳුමක් විදිහට ගොඩයා විසින් සොයාගන්නා ලද විකල්පය වෙන්නේ ප්ලාස්ටික් බෝතලේ එන විස්කි බෝතල් ටිකක් ගන්න එකයි. ඇයි හත් ඉලව්වේ බීල විසික් කරන බෝතලේ ප්ලාස්ටික් උනාම මොකෝ වීදුරු උනාම මොකෝ. ඔය වීදුරු බෝතල් වල බර අඩුවුනාම දෙයියනේ කියල ලීටර එකයි තුන්කාලේ විස්කි බෝතල හතරක් පහක් ශේප් එකේ ලංකාවට ගොඩයා හැමදාම අරන් ගියා මේ වතාවේ ඇරෙන්න.

ඒ අරන් ගිහිනුත් ඉතින් උන්ගේ කුණු කතා අහන එකේ සීමාවක් නෑ කියමුකෝ. ඔය ගිහිපු හැම වතාවේම ඔය බෝතලේ බොන ගමන්ම ඔය සාදයේ ඉන්න එවුන් ගොඩයාව ලිඳේ දැම්මේ ගොඩයා ලාභෙට බාල විස්කි ගේනවා කියලයි. එව්වා බාල නිසාලු ප්ලාස්ටික් බෝතලේ එන්නෙ. ඔන්න ඔහොමයි චෝදනාව. ගෙනවානම් අඩුම තරමේ ඩබල් කලුපාට ලේබලේ තියෙන බෝතල් ගෙන්න ඕනෙලු. එයාල නිතරම බොන්නේ ඔය කලුපාට ඩබල් එව්වාලු. එහෙම නැත්තම් ඊට වඩා හොඳ එව්වලු. ප්ලාස්ටික් බෝතලේ විස්කි බාල නිසා වෙරි වෙන්නේ නැහැලු. ඉතින් හත් ඉලව්වේ ගොඩයා ඔව්ව ගන්නේ දන්කොටුවෙන් නෙවෙයිනේ. ගොඩයා ඉන්න රටේ තියන අක්කරයක් විතර විසාල ලිකර් කඩවලින් තමයි ඔව්ව ගන්නේ. ඒත් ඉතින් එච්චර දුරක් උස්සන් ගිහිල්ලත් මුන්ගේ කුණු කතා වල නිමක් නැහැ කියමුකෝ. ඔය කුණු කතා වලට ගොඩයාගේ සාධාරණ තර්කය නම්, යාලුවෙකුට යමක් පිටරටකින් ගෙනත් දෙනවනම් ගෙනත් දෙන්න ඕන ඒ රටට ආවේනික දෙයක්නේ. නැද්ද හා.. ඉතින් ගොඩයා කොයි වෙලාවෙත් ඔය විස්කි තෝරද්දී බලන්නේ එව්වා ගොඩයා ඉන්න රටේ නිෂ්පාදනය කරපු අනන්‍යතාවයක් තියන එව්වද කියන එකයි. එහෙම එව්වට තමයි ගොඩයාගේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ. ඊළඟට ප්‍රමුකත්වය ලැබෙන්නේ බෝතලේ ප්ලාස්ටික්ද කියන එකයි. ඔය ප්ලාස්ටික් බෝතලේ කොයිතරම් ආරක්ෂා සහිතද කියනවනම් අහස්යාත්තරාව බිමට කඩන් වැටුනත් කවදාවත් ගමන් මල්ල ඇතුලේ බිඳෙන්නේ නැති වීමත් ඔය ප්ලාස්ටික් බෝතලේම තෝරාගන්න තවත් එක හේතුවක්.

ගොඩයා ඔය බොන ජාති බොහොමයක් ඇති පදමට බීල තියෙනවා වුනත් ඔව්වයේ රහක් ගුණක් ගැනනම් වැඩි යමක් කියන්න දන්නේ නැහැ. මොකද කොයි තරම් ඉස්තරම් බීමක් වුනත් ගොඩයාගේ උගුරෙන් පහලට යන්නේ හරීම අමාරුවෙන්. එව්වයෙ ගුණාගුණ ගොඩයා දැනගන්නවානම් දැනගන්නේ බීම අතීසාර වෙලා කබරගොයා දාන්න වුනොත් තමයි. අන්න එතකොට ඉස්සරින්ද බීපු බීමේ හොඳ නරක ගොඩයාට තේරෙනවා. ඒ නිසා කොයිම වෙලාවෙවත් ගොඩයා ලංකාවේ ගල් අරක්කු , නිල් ලේබල්, ගැලරි කියල තියෙන අසික්කිත ජාතිය කටේ තියන්නේ නැහැ. මොකද ඔය ජාති තුනේ ආදීනව ගොඩයා හොඳින් ලංකාවේදී අත්දැකලා තියෙන නිසා. ඒ ජාති තුන ඇරුනාම දහසක් විස්කි, බ්‍රැන්ඩි, ජින්,රම්, බකාඩි, වගේ හැම ජාතියේම ගුණාගුණ කියන්න ගොඩයා දන්නේ නැහැ. ගොඩයා ඉන්න රටේ බියර් ජාතිත් තියෙනව අසූ හාරදාහක් විතර. ඔය බොහොම කලාතුරකින් ඔව්ව බිව්වත් එව්වනම් ඉතින් ඇල්වතුර වගේ ගොඩයාට නම්. ඒත් මේ මෑතක ගොඩයා එක්ක වැඩකරපු හාදයෙක් කියපු ආරංචියකට අලුත් බියර් එකක් රහ බැලුවා කියමුකෝ. අප්පද බොල ඒකෙ නම "ඉගිලෙන බල්ලා " කියන එකයි. ඇල්කොහොල් ප්‍රතිශතය 11.5ක් . වැඩේනම් නරක නෑ එක බියර් එකෙන් ගොඩයා ගුඩ් නයිට්. ඒත් වැඩේ කියන්නේ බොනකොට දැනෙන රස නම් කුජීතයි. ගොඩයා ඉන්න රටේ බියර් ගන්න තියෙන්නේ හුඟක් වෙලාවට අවම වශයෙන් කේස් එකේ බෝතල් හෝ කෑන් හයක් විදිහටයි. ඉතින් එකක් ඕන වෙලා කඩේකට ගොඩ උනාම පහක් බෝනස් හම්බෙන එකත් මල වදයක්. ඒ වගේ ගෙනාපු පියාඹන බල්ලෝ සෙට් එකේ ඉතිරි කීප දෙනෙක් තාම ගොඩයාගේ ඇස් මානයේ ඉන්නවා පියාඹමුද මචං කියන්නහේ.

මධ්‍යසාර වර්ණනාව සැහෙන්න දුර ගියා වුනත් ගොඩයාට කියන්න ඕන වුනේ ලංකාවේ ඉන්න යාලු මිත්‍රයින්ට මෙහෙන් ගේන විස්කි බෝතල බාල එව්වා නෙවෙයි කියල කියන එකයි. මොකද මෙහේ දේශීය  නිෂ්පාදන එන්නේ හුඟක් වෙලාවට ප්ලාස්ට්ක් බෝතලේ තමයි. ඉතින් එව්වයේ මිල අඩු උනා කියන එක ගොඩයාගේ වරදක් නෙවෙයිනේ හත් ඉලව්වේ. ඔය ප්ලාස්ටික් බෝතලේ අවුරුදු ගානක් විවේචනය කරන ගොඩයාගේ ළඟ...ම ළඟ මිත්‍රයෙක් ඔන්න මේ ඊයේ රාත්‍රියේ ඒ උන්දෑ ඉන්න රටේ යාලු මිත්‍රයින් එක්ක සෙට් වෙලා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ රටේ මධ්‍යසාර බීම සපුරා තහනම් රටක්. අපේ කට්ටිය ඔන්න ඊයේ ගොඩයාට පිංතූරයක් එවනවා අපි බොනවා කියල. ඔන්න ඔය පහලින් තියන පින්තූරේ තමයි එවල තිබ්බේ. 



ඔය තියෙන්නේ වොඩ්කා බෝතලයක් උනාට ඔකේ තියෙන්නේ තනිකරම දේශීය අමුද්‍රව්‍ය වලින් හදපු දේශීය මධ්‍යසාර වර්ගයක්. වැඩේ කියන්නේ එහෙට වෙලා වොඩ්කා බෝතලේ දාගෙන දේශීය තහනම් නිෂ්පාදන බොන අපේ එවුන් ලංකාවට ආවාම රටින් ගේන විස්කි බෝතලේ වටවෙලා විවේචනය කරනවා බෝතලේ ප්ලාස්ටික් නිසා. ඔන්න ඕකයි මිනිස්සුන්ගේ තත්වේ. ඇසුරුම අනුව තමයි හිතේ තියන පිළිගැනීම තීරණය වෙන්නේ. ඕක බොන ගමන් වටවෙලා ප්ලාස්ටික් බෝතලේ විවේචනය කරන එවුන් දන්නේ නෑ ගොඩයා ඔය බෝතල් ටික බෑග් එකේ දාගෙන අහස් යාත්තරාවෙන් බැහැල එද්දී ගුවන් තොටුපොළේ ගේට්ටුව ගාවදි දැනෙන හැඟීම. එව්වා ඉතින් කවදාවත් අගය කරන්නේ නෑ අපේ එවුන්. බොනකොට විවේචනය කරන්න විතරයි දන්නේ. ඕක බොනකම් මෙව්වා ප්ලාස්ටික් බෝතල්, මෙව්වා අඩු ගණන්වල බෝතල්, මෙව්වා වදින්නේ නෑ වගේ කුජීත කතා කිය කියා ගොඩයාව ලිඳේ දැම්මට ඔය බොන පාර්ටිය ඉවර වෙලා ගෙවල් වල යද්දී ඉතුරු වෙන කොට නම් එකක්වත් ආයේ මලාට ගොඩයාට ඉතුරු කරලා ගියේ නෑ ඔය අවුරුදු ගානටම. ඕන ඕකයි ඇත්ත තත්වය.

ඉතින් ගොඩයා ලංකාවට ආවා සනීපෙට. හත් ඉලව්වේ තවත් මල කරුමයක් ගොඩයා සමගම ලංකාවට ගොඩ බැහැලා කියමුකෝ. ඒ තමා අර බාල පෙට්‍රෝල් අරං ආපු තෙල් නැව. අනේ සාදු රටේ ජනතාවගේ වාහන වලට තියන ආදරේටමද මන්ද ආණ්ඩුව එක හරෝලා යැව්වා යැව්වමයි ගොඩයාගේ වැකේෂන් එක කුඩු . පැට්‍රෝල් නැතුව කොහොමද හත් ඉලව්වේ ගමනක් බිමනක් යන්නේ. ඔන්න ඉතින් ගොඩයාත් පැට්‍රෝල් පෝලිමේ. දවස් ගාන ගැන ලංකාවේ උදවියට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

කොහෙන් හරි එන බොරු ආරංචි වලට දුර බැහැර පැට්‍රෝල් හොයාන ගිහිල්ලම ගොඩයාගේ කාර් කටුවේ තිබ්බ පැස්ටෝල් ටික අවසන් බින්දුවටම හිඳුනා කියමුකෝ.  යාලුවෙක් හමුවෙන්න රත්නපුර යන්න තිබ්බ ගමනකුත් යාගන්නම බැරුව අලවුනා දවසින් දවස. පැට්‍රෝල් තිබ්බ නැතා ගොඩයා යනු විකල්ප ගැන නිතර හිතනා සත්වයා නිසා භූමිතෙල් ගැන යටි හිත ඉව කරමින් ඉන්නා අල්ලපනල්ලේ ඔන්න එක්තරා රාත්‍රියක ගොඩයාට කෝල් එකක් ආවා ගෝනාපීණුවල පැත්තේ ෂෙඩ් එකක පැට්‍රෝල් තියෙන ආරංචිය. රෑ දවල් මාරුවෙච්චි ගොඩයා මුළු රාත්‍රී කාලයම ඉන්නේ අවදියෙන් නිසා තිබ්බ අවසාන පැස්ටෝල් ටිකෙන් යාන්තම් සන්තං ගෝනාපීණුවලට යාගන්න ඇහැකි කියමුකෝ. ඔය කියන ෂෙඩ් එකේ පැට්‍රෝල් නැතිවුනොත් ගොඩයාට සිද්ද වෙනවා ආයේ ඊළඟ තෙල් නැව එනකල්ම ගෝනාපීණුවල මහපාරේ තපින්න. කෝකටත් පනින්න පෙර හත් අටවරක් හිතන ගොඩයා වටේ ආරංචි කරලා බැලුවාම ඔය කියන ෂෙඩ් එකේ ඥාතියෙක් තමා ගොඩයාගේ නැන්දාගේ පුතාගේ බිරින්දෑ. ඔන්න ඒ මාර්ගෙන් පැස්ටෝල් ආරංචිය තහවුරු කරගෙන ගොඩයා පිටත්වුනා පැස්ටෝල් ගහන් එන්න. ඥාතියා හරහා ෂෙඩ් එකට ඇමතුමක් එහෙමත් දීල යන ගමන නිසා ගොඩයාගේ ට්‍රයි එක ටැංකිය පිරෙන්න තෙල් ටිකක් ගහගෙන පහුවදා රත්නපුරේ යන්න. කොහොමෙන් කොහොම හරි ගොඩයා ෂෙඩ් එක ගාවට ගියා කියමුකෝ.. අප්පද බොල ලංකාවේ තියන සේරොක්කෝම පැට්‍රෝල් වාහන  එතන පෝලිමේ. 

ඔන්න ගොඩයාත් ගියා පැට්‍රෝල් ගහන ටර්න් එකට. බැලුවාම රුපියල් දාහයි එක වාහනේකට ගහන්නේ. ඔන්න ගොඩයා රත්නපුරේ යන සිහිනය බොඳවුනා. ඒත් ලේසියට ගොඩයා එහෙම අතාරින පොරක් නෙවෙයිනේ. පැට්‍රෝල් ගහන කොලුවගෙන් ඇහුවාම කියපි තෙල්නම් ඕනෑතරම් තියෙනවාය ඒත් දාහකට වඩා ගහන්න බැරිය කියන කාරණේ. ගොඩයා ඔය ෂෙඩ් එකට යනවා කිව්වාම අපේ නෑනන්ඩි කිව්වා ෆුල් ටෑන්ක් ගහල දෙන්න කියන්නම් එතනට ගිහින් කෝල් එකක් දෙන්න කියලා උනාට ඒ ඉන්න සෙනග පෝලිමේ හැටියට දාහක් උපරිම ගහන පෝලිමේ ගොඩයාගේ රථයට පමණක් ෆුල් ටෑන්ක් ගැසීම යනු ගොඩයාටත් , පැට්‍රෝල් ගසන කොලුවාටත් එතනම අමා මහ නිවන් දකින්න වෙන සීන් කෝන් එකක්. ගොඩයා කොහොම හත්පොලේ ගාගන්න වැඩ කරන්නේ නැති නිසා ගොඩයා ශේප් එකේ දාහක තෙල් ගහගෙන කාර් කටුව අරං ඉගිල්ලුනා. හැබැයි ඉතින් ගෙදර නෙවෙයි හත් ඉලව්වේ හැතක්මක් විතර දිගට තියෙන පෝලිමේ කොනට. මොකෝ රෑ දවල් මාරුවෙලා ඉන්න ගොඩයා ගෙදර ගියා කියල සනීපේට නිදාගන්නවා නෙමෙයිනේ. ඔහේ ලැප්ටොප් එක දිගැරගෙන ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා විතරනේ එළිවෙන්න හතර පහ වෙනකල්. ඔන්න ඔය වෙලාවට නිකමට හරි වත්තට හොරෙක් පැන්නොත් ඌට මාතර කට්ටඩියෙක් ගෙන්නලා මහසෝන් සමයම නටවන්න වෙනවා වෙනවාමයි. මොකද නිතර දෙවේලේ ඒ ගෙදර දකින්න නැති එකෙක් කට්ට කළුවරේ ඉස්තෝප්පුවේ පුටුවකට වෙලා ලැප්ටොප් එක දිගෑරන් ඉන්නකොට ලැප්ටොප් එකෙන් එලිය වෙන්නේ ගොඩයාගේ පපුවෙන් උඩ කෑල්ලයි මුනත් තහඩුවයි විතරනේ. මල රෑ යක්කු ගස් යන වෙලාවට එහෙම දර්ශනයක් දකින හොරෙක් ආයේ දෙකක් නෑ මුත්‍රා යන්නම භය වෙනවා වෙනවාමයි.

ඔන්න ඔය කිව්ව විදිහට පෝලිමේ හතර වතාවක් මන්ගච්චලා ගොඩයා ජයග්‍රාහී ලෙසටම ෆුල් ටෑන්ක් ගහගෙන ගෙදර ආව එලි වෙන්න කිට්ටුව. ඒ උනාට හතරවෙනි වතාවෙනම් තෙල් පොම්පේ හිටිය කොලුවා ටිකක් අදිමදි කළා තෙල් ගහන්න. අන්තිම වතාවේ ඇඳුනුම්කම කීවාම කොලුවා නැවත තෙල් බටේ ටැංකියට එබුව. ඒ ඔබල ඌ අහනවා කලින් කියන්න එපැයි මහත්තයෝ කියල.. ඉතිං ගොඩයා කිව්වා මේ දෙනෝදාහක් මිනිස්සු මැද්දේ වැඩිපුර තෙල් ගහන්න ගිහින් උඹයි මායි දෙන්නම එලොව යවයි මිනිස්සු ඒ හින්ද මේ විදිහ හොඳයි බාන් කියල.

 ඒ ඇවිත් මුණ කට හෝදගෙන ගොඩයා රත්නපුර යන්න පිටත් වුනා. කෝකටත් කියලා ලීටර් විස්සේ හිස් ගැලුමක් ඩිකියේ දාගෙන ගියේ රත්නපුර ගිහිං ආයේ කොළඹට ඇවිත් ගම්පහටත් ගිහින් ආයේ අම්බලන්ගොඩ යන්න ඔය ෆුල් ටෑන්ක් එක මදි වෙන්න ඉඩ තියෙන නිසා. මෙන්න බොලේ උදේ හයට විතර ඉංගිරියේ ෂෙඩ් එකක තෙල් ගහනවා. මෙලෝ පෝලිමක් නෑ. ගොඩයා හනික යූ ටර්න් එකක් ගහගෙන ගිහින් ටැංකියේ අඩු තෙල් ටිකත් ගහගෙන තෙල් ගහන කොලුවට නොවඳිනා වැඳුම් වැඳලා ලීටර් විස්සේ ගැලුමත් ෆුල් කරගත්තාම තමයි ඔන්න හිතට සැනසීමක් දැනුනේ. 

ඔන්න රත්නපුරේ ගමන ගිහින් ආව කියමුකෝ. ඒ ඇවිත් අර කියපු ලීටර් විස්සත් අහවර වෙලා ආයේ ගොඩයා පෙට්‍රෝල් නැතුව හාමතේ. ඔන්න ආයෙත් ගොඩයාට ආරංචියක් එනවා බටපොල ෂෙඩ් එකේ ගජරාමෙට පැස්ටෝල් ගහනවා කියල. පැස්ටෝල් කිව්වමත් යකඩෙට ඇදෙන කාන්දම වගේ ගොඩයා යනවා දිලන්ත මාලගමුව රේස් පදිනවටත් වඩා වේගෙන් ඔය කීව ෂෙඩ් එක හොයාගෙන. බැලින්නම් කතාව ඇත්ත. ඒත් පෝලිම පොසොන් කාලෙට අනුරාධපුරේ දන්සැල් පෝලිමට එහා. ගොඩයත් කලබලයක් නැතුව පෝලිමේ එහා කොනට එකතු වෙලා පැයකට වඩා කාලයක් පෝලිමේ ඉඳලා ආව කියමුකෝ තෙල් පොම්පේ ගාවට. එතැන වෙනම නීතියක් බැලින්නම්. රෝද හතරට දෙදාහයි, රෝද තුනට දාහයි , රෝද දෙකට පන්සීයයිලු තෙල් දෙන්නේ. ගොඩයා ඒ ගමන හිතාගත්ත හරි ඉතින් දෙදාහ දෙපාරක් ගැහුවාම ෆුල්නේ ඉතින් කලින් අත්හදාබලපු සාර්ථක ක්‍රමවේදය අනුගමනය කරනවා කියල. මෙන්න බොලේ දෙනෝදාහක් පෝලිමේ ඉද්දි දෙනෝදාහක් බලන් ඉද්දි තෙල් ගහන කොලුවා ගොඩයාට ඉස්සරහින් තිබ්බ වාහනේට ෆුල් ටෑන්ක් ගැහුවා කියහන්කෝ. අසාධාරණේ කියන්නේ ගොඩයාට පෙන්නනම බැරි දෙයක්. ගොඩයා කාර් එකෙන් බැහැලා ෂෙඩ් එකේ තෙල් ගහන කෙනාට ඉදිරිපත් කරා  එයාට ෆුල් ගැහුවනම් මටත් ෆුල් ගහන්න ඕන කියන සාධාරණ ඉල්ලීම. 

මෙන්න බොලේ ෂෙඩ් එකේ ඉන්න වයසක කෙනෙක් කියනව ඒ අයිතිකාරයාගේ වාහනේලු.. අයිතිකාරයාට තෙල් ටිකක් ගහගන්න බැරිනම් මෙව්වා කරලා වැඩක් නැහැල්ලු.. හෙන තඩි සයිස් ටෝක්.. ඒ අස්සේ ෂෙඩ් එකේ වයසක උන්දෑ ගොඩයාට සෙලියුලර් දුරකතනයකුත් ගෙනත් දෙනවා මෙන්න අයිතිකාරයා ගොඩයාට කතා කරන්න ඕන කියනවලු.. බටපොල ජනතාව දෙතුන් සීයක් මෝටර් සයිකල් ත්‍රී වීලර් තියාගෙන පෝලිමේ හිටියට කව්රුත් මීක් නෑ කියමුකෝ. කොහොමින් කොහොම හරි ෂෙඩ් එකේ හිටපු වයසක උන්දෑ ගොඩයාට ෆුල් ටෑන්ක් ගැසීම ප්‍රතික්ෂේප කරා. ඒත් හැබැයි දෙනෝදාහක් ඉදිරියේ ගොඩයාට ඉස්සරහින් තිබ්බ වාහනේට ෆුල් ටෑන්ක් ගහල දීල ඉවර වෙලයි එහෙම කරේ. ගොඩයා දන්නවා ෂෙඩ් එකේ අයිතිකාරයා කව්ද කියන එක. ඒ ගමන ගොඩයා කියා හිටියා ඒ වාහනේ අයිතිකාරයාගේ වාහනය නොවෙන වග දන්නා විත්තිය. ඒ ගමන නාකි උන්දෑ කියනවා ඒ වාහනේ අයිතිකාරයාගේ හිතවතෙකුගේ එකක්ලුය, එහෙම බැරිනම වැඩක් නැතිලුය කියල වගේ වගක් නැති අසාධාරණ කතා දාහක්. නාකි හුටන්ගේ සද්දේ ගමටම ඇහෙන්න දාන්න ඇත්තේ ඒක ඒ උන්දැගේ ගම නිසා වෙන්ටෑ.

සති දෙකකට තුනකට ලංකාවට ගිහින් පැට්‍රෝල් ටැංකියක් නිසා කොහෙවත් යන නාකියෙක් එක්ක මරාගැනීම තේරුමක් නැති නිසාත්, ෂෙඩ් එකේ අයිතිකරු කව්ද කියන එක දන්නා නිසාත් ගොඩයා කාර් එක හරවාගෙන එනවා ආයෙත් ටික වෙලාවලින් පෝලිමේ කොනට එන්න හිතාගෙන. මෙන්න බොලේ බටපොල තියන අනික් ෂෙඩ් එකෙත් තෙල් තියෙනව හැබැයි මෙලෝ පෝලිමක් නෑ. ගොඩයා වහාම එතනින් තෙල් ඉල්ලුවාම   වාහනේට ෆුල් ටෑන්ක් එකකුයි ඩිකියේ තිබ්බ ලීටර් විස්සේ ගැලුමට සම්පූර්ණ එකකුයි තෙල් ගහල දෙන්න ඒ ෂෙඩ් එකේ සේවක මහතුන් කාරුණික වෙනවා කිසිම ආඩම්බරයක් නැතුව. ඒක ගොඩයාට විතරක් විශේෂිත එකක් නෙවෙයි. එයාල හැමෝටම ෆුල් ටෑන්ක් දුන්න ආයේ හිතේ ගින්දර නැතුව ගමන ගිහින් එන්න.

ගොඩයා ඔය කලින් ෂෙඩ් එකේ පැට්‍රෝල් සීන් කෝන් එක සියල්ලම ජංගම දුරකතනයේ වීඩියෝ කරගත්තත් ඒ සම්භන්ධයෙන් කිසිවක් කරන්න හිතාගෙන උන්නේ නැහැ. ඒත් අපේ හිතාදර මිත්‍ර රවී ඔය සීන් කෝන් එක ෂෙඩ් එකේ අයිතිකාර තුමාට කියල මගදී හමුවෙච්ච වෙලාවක එතුමා වෙච්ච සිද්දිය පිලිඹදව  එතුමාගේ බලවත් කනගාටුව ගොඩයා හමුවේ ප්‍රකාශ කරා. එතුමාගේ ආචාරශීලී භාවය ගැන වෙනම අගයන්න ඕන සේවක මහතුන්ගේ හැසිරීම ගැන පසුව හිතන්න තියල. ඒ වගේම අර ෂෙඩ් එකේ ඉන්න නාකි හුටං නිසා ඔතන කොයි වෙලේ හරි ගුටි කෙලියක් යන්න ඉඩ තියෙනව රජෝ කියල ෂෙඩ් එකේ අයිතිකරතුමාට කියන්න ඕනෑවුනත් ගොඩයා ඔන්න ඔහේ නිකම් හිටියා ඒක එතුමාගේ තේරීම නිසා. 

ඒත් ඉතින් අච්චර ප්‍රසිද්දියේ අසාධාරණේ පෙනී පෙනීත් බටපොල පැට්‍රෝල් පාරිභෝගිකයින් මීක් නොකිය හිටපු හැටියට ගොඩයාට නම් හිතෙන්නේ ඒ මිනිස්සු ඉවසීම කියන ගුණාංගය තදින් පුරුදු පුහුණු කරපු ජනතාවක්ද ? එහෙමත් නැත්තම් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අපේ රටේ බහුතර ජනතාව වගේම  නිවට නියාලු මිනිස් කොට්ඨාශයක්දෝ කියන කාරණය.

ඔය බාල පැට්‍රෝල් නැවට පින්සිද්ද වෙන්න ගොඩයාගේ නිවාඩුවේ වැඩ ඔක්කෝම අවුල් වුනා. ගොඩයා අවසානයේ ඊළඟ පැට්‍රෝල් නැව ආවයින් පස්සේ කතරගම දෙයිහාමුදුරුවෝ බැහැ දකින්නනම් ගිහින් ආව. ඒ ගිය වෙලාවේ එතැනත් හෙන අසාධාරණයක් සිද්දවුනා ගොඩයාට.

ඔය කතරගම කිරිවෙහෙර ගාව තියන වීදුරු වලින් වටකරපු පහන් වැටේ පහන් පත්තු කරන්න ඒක කිරිවෙහෙරෙන් සල්ලි දීල ගන්න ඕනෙලු. කතරගම අවුරුදු ගානක් රස්සාව කරපු ගොඩයා ඔය වගක් දැනගෙන හිටියේ නැහැ ඒ කාලේ නම්. ඔය පහන් වැට ඔතන ගොඩ නැගුවේ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ දායක දායිකාවන් කියලයි ගොඩයාට මතක. 

කිරි වෙහෙරට මල් පූජා කරලා පහන් පත්තු කරන්න පහලට බැහැගෙන ඇවිත් ගොඩයා යනවා ඔන්න ඔය කියන පහන් වැට තියන ඉසව්වට. ඔන්න ගොඩයා පහන් වැට ඇතුලට ගියා කියමුකෝ. ඒ පහන් වැට තියෙන්නේ සම්පූර්ණයෙන් වීදුරු වලින් වට කරලා උඩින් වහලක් එහෙමත් ගහලයි. මෙන්න යකඩෝ කව්දෝ නාකි පොරක් ගොඩයාට කියනවා අපි අද විශේෂ පහන් පූජාවක් ඒ නිසා කරුණාකරලා එලියට යන්න කියල. බැලූ බැල්මට ගොඩයා හිතුවෙම මන්ද මානසික පොරක් වෙන්ටෑ කියලයි. ඉතින් ගොඩයා තමුන් ගෙනාපු පහන් වැටියක් එහෙම පහනකට දාන්න ලැස්ති උනාම මෙන්න තව ගෑනු කෙනෙක් කියනව මේ පහන් වැට එයාල ගත්තේ කිරි වෙහෙරේ හාමුදුරුවන්ට මුදල් ගෙවලලුය, ඉතින් එකේ අයිතිය එදා දවසේ එයාලට විතරලුය, කරුණාකරලා එලියට යන්නලුය වගේ අසූ හාරදාහට මල පනින කතාන්දරයක්. ගොඩයාගේ කරුමයට ගොඩයාගේ මෑණියනුත් ඔතන ගොඩයා පස්සෙන් හිටිය. ආයෙත් වතාවක් ඔන්න ගොඩයාට අසාධාරණේට එරෙහිව මල අසූ හාරදාහටම පැන්න. ඉතින් ගොඩයා කියා හිටියා අපි පහන් පත්තු කරලා යන්නම්ය ඔබ තුමන්ලා ඒ පහන් නිවා දමා නැවත පත්තු කර ඔබලාගේ විශේෂ පහන් පූජාව කරගන්නය කියන කාරණාව. මොන.. උන් අහයි එව්වා.. උන් එන්නෙම යුද්දෙට.. ඒ මදිවට ගොඩයාගේ මෑණියන් දන්නා කියන ශිල්ප ක්‍රම සියල්ලම දාගෙන ගොඩයාගේ ඇඟේ එල්ලිලා ගොඩයාව එලියට අදිනවා අපි යමු පුතේ අපි යමු කියාගෙන. 

මෑණියන්ගේ බලවත් ඉල්ලීම නිසා ගොඩයා ගේම අතෑරලා පහන් වැටෙන් එලියට ආව උන්දැලා කිරිවෙහෙරේ හාමුදුරුවන්ට සල්ලි දීල ගතපු පහන් වටේ පහන් පත්තු කරගත්තාවේ කියල හිතින් හිතාගෙන. ඒත් එද්දී ගොඩයා නාකි උන්දැට කීව " මේ හලෝ අංකල් ඕක මහ ගොන් ශ්‍රද්ධාවක් මනුස්සයෝ" කියල. ඒත් උන්දැගේ කටේ සවුදමේ නම් අඩුවක් තිබ්බේ නැහැ. එතැනත් ඒ අසාධාරණේ සිද්දවුනේ ගොඩයාලාට විතරක් නෙවෙයි. ඒ වෙලාවේ ඒ පහන් වැටේ පහන් පත්තු කරන්න ගිය හැමෝටම ඒ මෝඩ පවුල ඔය විදිහටම  අවමන් කළා. ගොඩයා ලේසියෙන් අතහැරලා එන්නේ නැති පුතක් නොවෙන බව ගොඩයාගේ මෑණියන් දන්නා නිසා කිරි වෙහෙරෙන් දේවාලෙට ඇවිත් ආයේ ගෙදර එන්න පිටත් වෙනකල්ම ගොඩයාට ඇස ගැටෙනා මානයෙන් ඉවතට යන්න අවසරයක් ලැබුනේ නැහැ. මෝඩ උනත් උනුත් කරන්නේ පිංකමක් කියල හිත හදාගෙන ගොඩයා ගෙදර එන්න ආවත් ගොඩයා ඇතුලේ ඉන්න "වෝල්ටර් වයිට් "චරිතය ( වෝල්ටර් වයිට් කව්ද කියල දන්නේ නැති අය බ්‍රේකින් බෑඩ් රූපවාහිනී කතා මාලාව නරඹන්න ) ඔය මෝඩ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න ගේමක් ප්ලෑන් කරේ පහන් වැටෙන් එලියට එද්දීමයි. 

ඔය කියන පහන් වැට තියෙන්නේ වටේම උසට වීදුරු වලින් වට කරලයි. උඩින් අමානෝ තහඩු වහලය. ඔය පහන් වැට ඇතුලට යන්න තියෙන්නේ දොරටු තුනයි හෝ දෙකයි. ඒ දෙක තුනම හොඳ යකඩ බම්බු වලින් හදපු ගේට්ටු වලින් සමන්විතයි. හාඩ්වෙයාර් එකකින් ඉබ්බෝ තුන්දෙනෙක් ගෙනල්ල ඔය ගේට්ටු තුනට එළියෙන් දාල ලොක් කරානම් දෙයියනේ කියල විශේෂ පහන් පූජාව හවස් වෙනකල්ම කරගන්න තිබ්බ එළියෙන් කව්රුහරි ඉබ්බෝ කඩල එලියට ගන්නා තුරුම. ගොඩයා ඉතින් හිතේ දඟලන ඒ අසාවට පිටුපාල ගෙදර එන්න ආව මෝඩ උනත් උනුත් කරන්නේ කුසලයක්නේ හත් ඉලව්වේ කියල හිතින් හිතාගෙන අමාරුවෙන් හිත හදාගෙන. කුසලයක් කරද්දී පුළුවන් තරම් පිරිස සහභාගී කරගෙන කිරීමෙන් ලැබෙන ආනිසංස වැඩියි කියන කාරනාව ඒ ගොන් මෝඩ මිනිස්සු නොදැන ඉන්න ඇතිද එහෙමත් නැතිනම් කිරිවෙහෙරේ හාමුදුරුවන්ට මුදල් ගෙවලා ගත්තා කියන කාරනාව ඇතුලේ තිබ්බ මෝඩ උද්දච්චකමද කියන එක දන්නේ ඉතින් උන්දැලාම තමා.

ඒ දෙකෙන් කොයික උනත් ගොඩයාගේ මෑණියන් නොහිටින්න උන්දැලාට පහන් පූජාව නම් සෑහෙන්න වෙලාවක් ඇතුලෙම ඉඳන් පාඩුවේ කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න තිබ්බ නේද දෙයියෝ  කියල දැනෙද්දී දැන්නම් ගොඩයාට දැනෙන්නෙම මහම මහ ලෝභ කමක්. මොකද කාලෙකින් ආතෙල් එකක් ගන්න අතටම ලැබිච්ච ෆ්‍රී  චෑන්ස් එක මගහැරුනු නිසා.

පොස්ට් එක සෑහෙන්න දිගවුනාද මන්ද. ඔන්න ඔහොමයි ගොඩයාගේ ලංකාගමනය අසාධාරණයෙන් අලවුනේ.

ගොඩයා ලංකාවේ ඉඳලා ආපහු එනකොට ගොඩයා එක්ක එකට වැඩ කරන ස්පාඥ්ඥ ජාතිකයෝ දෙන්නෙකුට හැම වතාවෙම ගේනවා ශ්‍රී ලංකා සංස්ථා ගල් අරක්කු බෝතලයක්. උන් දෙන්නනම් බෝතලේ ෂොට් දෙකට බීල කිසිම කතාවක් බහක් නැතුව තමුන්ගේ රස්සාව කරගෙන යනවා. . අර ස්පාඥ්ඥ ජාතිකයෝ දෙන්න ඔය ගල් බෝතලේ හරියට සම සමව දෙකට බෙදලා වීදුරු දෙකකට වක්කරගෙන එක හුස්මට බීල දාල වචන දෙකයි කියන්නේ.. ග්‍රාසියාස් අමීගෝ... එතනින් එහා උන් වැඩ.. කිලෝමීටර දාහතරදහස් තුන්සීයක් උස්සගෙන ගිහින් දීලත් විස්කි බීල කවදාවත් ආසාවටවත් ගොඩයාගේ යාළුවො තැන්කිව් කිව්වද??? ම්හ් .. අසාධාරණ නැද්ද හා..


77 comments:

  1. අසාධාරණයි නේන්නං.. :) සෙහ්.. ආව බවක් දන්නවනම් පැට්‍රොල් නැතුව හරි ඇවිත් බත් කටක්වත් කාල යන්න අඬ ගහනවනේ.. අමබලන්ගොඩ මොකෑ.. රජ්ගම මොකෑ..

    ReplyDelete
    Replies
    1. පැස්ටෝල් ඉවරයි කිවු දවසේ හිටයේ වතුගෙදර. උඹ මෙහේ කියලා දන්නේ නැහැනේ. ආවේ පොඩි එකිත් එක්ක බයසිමොටෝ එකේ.බලපියයේ නම් පැස්ටෝල තිබුනානේ . එහේ පැත්තේ බැලුවේ නැතැ. මු දැන් රජ්ගම බිනන් බැහැලාද? වරෙන්කේ අපේ පැත්තේ.

      Delete
    2. බිරින්දෑ රජ්ගම කියල දානවා.. ඒත් හත් ඉලව්වේ ඔබතුමා රජ්ගම පදිංචියි කියල දන්නේ නැහැනේ. මං හිතාන උන්නේ පදිංචිය බදුල්ලේ කියලනේ.. අපරාදේ ඉති රජ්ගම පහුකරගෙන නම් කී වතාවක් ගාලු ගියා කියලද.

      Delete
    3. ඔය පැස්ටෝල් තියෙනවයි කිව්ව ෂෙඩ් වලට පැස්ටෝල් හොයන්න ගිහින්ම තමා ටැංකියේ තිබ්බ ටිකත් ඉවරවුනේ උදාරයෝ.බලපිටිය, අහුන්ගල්ල, අම්බලන්ගොඩ හික්කඩුව අතර ගාලු පාරේ තිබ්බ ෂෙඩ් සියල්ලටම එකහා සමානවම තෙල් පිච්චුව බොරු ආරංචි පස්සේ ගිහින්. වැඩේ කියන්නේ එව්වා බොරු ආරන්චිමත් නෙවෙයි.. ඒ ආරංචි එන්නේ තටු ලැබිලා පැය ගානකට පස්සෙනේ. ඉතින් ඒ වෙද්දී ෂෙඩ් එකේ තෙල් ඉවරයි.

      Delete
    4. ඔය ගෝනපිනුවල අලුත් ෂෙඩ් එකේ අන්තිම වෙනකං තෙල් තිබ්බ.. ආපහු එනකොටත් මුලින්ම එතනට ආව.. මම කොළඹ එනකොට පොඩි වෙලාවක් පෝලිමේ ඉඳල ෆුල් ටෑන්ක් කරගෙන ආව.. සතියක් කොළඹ පැදලා ආපහු යන ගමන් එතනිම්ම ෆුල් ටෑන්ක් කරගත්ත.. ඒ වෙනකොට තෙල් ආපහු ඇවිත්. ඒක නිසා තෙල් අවුල මට දැනුනේ නෑ ඒ හැටි.. යකඩෝ මම පහුගිය දෙසැම්බරේ ඉඳල ගාල්ලේ ඉස්තිර පදිංචියට ආවනේ.. සති අන්තෙට ගෙදර.. ආයි ආ දවසක වරෙල්ල. ඔය උදාරයා දන්නවා කියල මගේ හිතේ.. තිස්සෙම මැසෙන්ජර් එකේ කතා කරන එකා.. හපොයි.

      Delete
    5. ආයේ ආවාම එන්නම්කෝ. ලංකාවේ ඉන්නකම් මම පාවිච්චි කරේ ඩීසල් වාහන කමියෝ.. දැන් ලංකාවේ නැති නිසා නිතර දිවෙන්නේ නැති නිසයි ඔය පෙට්‍රල් එකක් අරං දාල තියෙන්නේ. ඕන් බලහන් අපි වැලක් හෑරුවොත් ගෙම්බෙක් කියන්නේ ඕකටනේ.. ඩීසල් එකක් තිබ්බනම් පාරේ තොටේ නිදහසේ ගමනක් ගිහින් එන්න තිබ්බ අපූරු දවස් ටික බන්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එක වෙන්න හිතන් ආවෙ.. කොහෙද මේ කමී අය්ය ඇවිත්නෙ...
      ලංකාවට ඇවිත් නොකියම ගිය එක නම් අන්තිම වැරදී... ඒත් එක්තරා අසාදාරණයක්...

      Delete
    2. අද කමිය පැනල උදෙන්ම නිර්මාණි.

      Delete
    3. එක වෙන්න.. හුහ්.. ඒවා කොහෙද අපිත් එක්ක.. මේ දෙසැම්බර් නිවාඩුවේ.. හෙහ් හෙහ්..

      Delete
  3. උඹ නොදන්නවට අර ස්පාඥ්ඥ ජාතිකයෝ දන්නව විස්කි වලට වඩා ගල් හොදයි කියල හෙග් ..
    ගම්පහටත් ඇවිත් ගියා කියල තියෙන්නෙ.. යකෝ ..අපිට විස්කි නැතිවට කමක් නෑ අඩුම තරමෙ අපි ටැංකියට පැස්ටෝල් ටිකක් වත් හොයල දෙනව.

    ReplyDelete
    Replies
    1. ස්පාඥ්ඥ ජාතිකයින්ට බීම කියන්නේ වතුර වගේ බන්. මම එහන රැකියාව කරන්නේ පැය හතරයි. ඔය පැය හතරට උන් දෙන්න කිසිම ගානක් නැතුව බකාඩි බෝතල් දෙකක් බොනවා මුකුත්ම කවලම් කරන්නේ නැතුව. උන් දෙන්න එව්වා බොන ගමන් බොන බියර් කෑන් ගණන ගණන් කරන්න බැරි තරම්.

      ගම්පහට ආවේ ගෙනියන්න තියෙන පාර්සල් එකක් ගන්න බන් කම්මලේ. කඩවත ඉඳන් යක්කල හන්දියට එනකං තිබ්බ ට්‍රැෆික් එකේ ඇවිත් සෑහෙන්න තෙල් ප්‍රමාණයක් අහිමිවුණා එදා. රත්නපුරේ ඉඳන් කඩවතට එන වේලාවෙන් භාගයකට වඩා ගියා කඩවත ඉඳන් යක්කල හන්දියට යන්න. ඒක එදා විතරක් තිබ්බ ට්‍රැෆික් එකක්ද මන්ද.

      Delete
    2. හනේ... ආයි කඩවත පැත්තෙ ආවොත් මට කෝල් එකක් දියං. මං පෙන්නන්නං පාර යක්කලට යන්ඩ ට්‍රැෆික් නැතුව. ප්ලස් ආගන්තුක සත්කාර...

      Delete
    3. අපේ අප්පෝ ඕන නෑ.. උඹ මාව රවටගෙන කොහේ හරි අයිනකට අරං ගිහින් ලේ ටික බිව්වොත් කාට කියන්නද හත්වලාමේ.. හක් හක් හා...

      Delete
  4. සද්ද නැතුව ඇවිත් සද්ද නැතුව ඉඳලා සද්ද නැතුව ගිහින් හරි කමක් නෑ දැන් හරි සද්දෙ දාන එක වැදගත්.. නැද්ද මං කියන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. තිබ්බ සද්දෙත් වැහුනා බන් පැස්ටෝල් ප්‍රශ්නේ නිසා.. කීකරු බලු පැටියෙක් වගේ ගෙදරට වෙලා හිටිය කිව්වොත් තමා හරි..

      Delete
  5. ‍යකෝ ස්පාඤ්ඤෙ එවුවන්ටත් වටින ගල් වලටනෙ මූ මෙහෙම අවකැපෙන කතා කියන්නෙ.

    ඉතිං බොලාට ඔය ලබ්බෙ පාං වැටේම තිරේ දාන්න ඕන උනාද. ඔතන වෙන පාං තිබු‍නෙ නැද්ද? උඹට බයින්න ඇත්තෙ පානේ භූතයා වෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. //ලබ්බෙ පාං // අඩේ මේ මක්කෙයි මේ??

      Delete
    2. ඇයි බං උං නායකයගෙන් ඒක ගත්තනං උන්ටම ඒක පත්තුකරගන්න දීල මූට තිබුණෙ වෙන කොහේ හරි තියෙන පානක් පත්තු කරන්නනෙ.

      Delete
    3. උන් ගල් බෝතලේ එක හුස්මට බොනවා දැක්කම ගොඩයට වෙරි කියහන්කෝ. එතන තව ලංකාවේ කෙනෙක් වැඩ කරනවා. ඒ අන්කලුත් ගල් බෝතලේ බොනවා බලන්න විශේෂයෙන් ඔතනට එනවා. අපි දෙන්නටම වෙරි ඒ බීම දැක්කම. අපිට වතුර බොන්නත් බෑ එච්චර ලේසියෙන්.

      Delete
    4. යකඩෝ සන්තෝසෙට කාරණේ නම් බුදුරජානන් වහන්සේට ආමිස පූජාව වෙනුවෙන් දල්වන්න තියෙන පහන් වැටත් මුදලට බදු දෙන තැනට වැටුන රටක ජනතාව බුදු දහම ආරක්ෂා කරන්න අන්‍යාගමිකයින් එක්ක මරාගන්න යාන එකයි. බුදුරජානන් වහන්සේ දේශනා කරේ මාගේ ශාසනය විනාස කරන්නේ ඇතුළෙන්ම බිහිවන පිරිසක්ය කියන දේශනාව සත්‍යයි කියල තේරෙන්නේ නැද්ද. අපි ඕක සුද්ද කරනවානම් සුද්ද කරන්න ඕන ඇතුලේ ඉඳන් පිටට මිසක් පිට ඉඳන් ඇතුලට නෙවෙයි.

      Delete
    5. ඕකට බුදුහාමුදුරුවෝ දේශණා කරේ අකාරවති ශ්‍රද්ධාව කියලා. බලන් ගියාම ඔක්කොටම එහානේ හාමුදුරුවෝ. හාමුදුරුවො.ත් සයිඩ් බිස්නස් එකක් පටන් අරන් වගේ හිමීට 😂🔫

      Delete
    6. නියම ශ්‍රද්ධාව සහ කුසලය මොකක්ද කියල මිනිස්සු දන්නේ නැහැ නිපුන්. වැඩේ කියන්නේ මිනිස්සුන්ට එව්වා කියල දෙන්න වගකිවයුත්තන්ට උවමනාවකුත් නැහැ. සංඝරත්නයේ දොස් ගැන කතා කරන එක අපිට විෂය නෙවෙයි. එයාල කරගන්න පාපයක් එයාල කරගනියි. පන්සලේ ඉන්න දුසිල්වත්ම භික්ෂුව උනත් ගිහියෙකුට වඩා ගුණ දහයක් තියෙන නිසා වඳින්න සුදුසුයි කියලයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

      Delete
  6. කොහමද මෙි පාර නිවාඩුව අයියේ. පාරේ නේ....හි.හි..හික්...

    යාලුවො ගැන කියනවනමි ඔකුන්ට වෙඩි තියන්න ඔිනි. අපි මොන හොදක් කලත් වැඩක් නැනේ ඔිකුන්ට.

    පවි සැදැහැවත් උපාසකයෝ...පුහ්....

    ReplyDelete
    Replies
    1. නිවාඩුව නම් අල ගෝනියක් උනා ඉතින්.. යාලුවොන්ට එහෙම කියන්න එපා බන්. කල්‍යාන මිත්‍රයින් ඉන්නවා ඔය අතරේ කලාතුරකින් හමුවෙන. මටාම් එහෙම උදවිය කීප දෙනෙක් ඉන්නවා. ඔය උඩ තියන වොඩ්කා බෝතලේ පින්තූරේ එවපු එකත් එයින් එකෙක්ම තමයි.

      Delete
  7. අම්ම මො ගොඩයෝ..!! ඔහේ තුමා ගොඩක් ආගම දහමට ලැදි ඩයල් එකක් වගේ? ඒ වගේම උබට ගල් ඇලජික් උනාට ගාල්ලෙ අපේ සෙට් එකට ගල් කියන්නෙ ඉතිං. එක්කො ඕන නැහැ. මමනං දැන් අවුරුදු හතරකට කලින් වගේ පියතුමාට විස්කි යැව්වත් දැන් එතුමා අමද්‍යප නිසා මොන විස්කි එකක්ද එවන්න ඕන කියල ඇහුවහම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරල උබට ඕන නං බීපන් කියනව. අනික ඉතිං මගේ යාළුවන් නං කවදාවත් බලාගෙන ඉන්නෙනම් නැහැ. හිස් අතින් කොළඹ ඉඳල කතරගමට යනකං කොහෙන් බැස්සත් දෙයියනේ කියල සතපහක් වියදං කොරන්ට දෙන්නෙ නැතිව ෆුල් බෝර්ඩ් ඉන්න පුළුවන්. අනික ඉතිං DC කියන මගේ අතිජාත මිත්‍රය හැරෙන්න යහළුවන් කියල කිසි කෙනෙක් එක්ක ආශ්‍රයකුත් නැහැ. මොකද බන් දැන් අපි 20-25 ඇවුන් නෙමෙයිනෙ. මටනම් 2020 වගේ තමයි ලංකාවට යැවෙන්නෙ. ඒකත් ඉතිං සදාකාලික බන්ධනාගත වීමක් සඳහා ය. මොකද මේ දවස්වල සහෝදරි තුමිය ඇතුළු පිරිස කෙටි නිවාඩුවකට ලංකාවට සම්ප්‍රාප්ත වෙලා තියෙනව නැවතත් දෙමාපියන් සමගම ඇමෙරිකාවට යන්න නිසා 2020 වෙනකං ෆන් සුවයෙන් ජිවිතේ ගත කිරීමට තීරණය කළා බං 🙈🙉🔨

    ReplyDelete
    Replies
    1. දහ අට සන්නියම නටලා අවසානයේ මම උගෙනගත්තු අන්තිම දේනම් මේ කරන සියල්ලම තාවකාලික දේවල් කියලා විතරයි ටික්කා. මේ සංසාර ගමන බොහොම දුක එකක්. අපි මේ ගෙවන්නේ පෙර සංසාරයේ කරපු පින් සහ පවු. අපි මේ ආත්ම භාවය ගෙවලා අවසානයේ මැරිලා ගිහින් ආයේ කොහෙහරි උපදින්න ඕන බන්. ඒ උපදින්නේ කොහෙද කියල අපි දන්නේ නැහැ. සමහරවිය තිරිසන් සතෙකුගේ කුසේ වෙන්න පුළුවනි. මම දන්නේ නැහැ උඹ අපාය දිව්‍ය ලෝකය ගැන විශ්වාස කරනවාද කියල. ඒත් කොතන උපන්නත් මේ උ=ඉපදීම දුකක් බන්. ආයෙම මිනිස් ආත්මයක් ලැබුනත් උපන් තැන ඉඳන්ම තියෙන්නේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමක්. ඉතින් ඒ සියල්ලටම විසඳුම ඉපදීමෙන් නිදහස් වීම පමණයි. මම ආගමට දහමට ලැදිද නැද්ද කියලානම් මම දන්නේ නැහැ. කොයිතරම් මුදල් හම්බු කරත්, කොයිතරම් සැප වින්දත්, ලෝකේ කොයි රටේ හිටියත් මේ විඳින්නේ සැපක් නෙවෙයි දුකක්. එකට හේතුව සියලු දේවල් අනිත්‍ය නිසා. ඉතින් පිනක් දහමක් කරගෙන ඉපදීමෙන් මිදෙන්න උත්සහා කරනවා ඇරෙන්න මේ දුකෙන් මිදෙන්න වෙනයම් විකල්පයක් නැහැ.

      උඹ 2020 ලංකාවට යන්නේ ජානාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න නෙවෙයි නේද.. මේ යන විදිහට 2020 වෙද්දී ලංකාව සිතියමේ ඉතුරුවෙයිද මන්ද..

      Delete
  8. මං මේ බැලුවෙ මේවට උත්තර කොහොම පටන් ගන්නද කියලයි.ටික්ක කියපු ටිකත් ලියන්නමයි හිතෙන්නෙ මට.නොලියුවොත් ඌත් තරහ වෙනව.ලියුවොත් උබේ සායම් යනව.අනේ මංද....
    කොහොම උනත් ප්ලාස්ටික් බෝතලේකින් වරක් මමත් සප්පායම් උන නිසා ඒ ගැන මටනම් කියන්න තියෙන්නෙ හොදට වෙරිවෙන්න බීල බීල මදි උනොත් බොන්න කියල ගෙනාපු බෝතලෙත් යටි මඩි ගහගෙන ගිහිං පහුවෙනිද කියනව ගොඩය ගෙනල්ල තියෙන්න් ප්ලාස්ටික් බෝතල් වගයක් බං මෙලෝ රහක් නෑ කියල.ඔහොම තමයි හුගදෙනෙක් මිත්‍රයා.හැබැයි උබ මටත් පැත්තකින් ගැහුව නොදැනෙන්නම.ඒක තේරුනේ දෙවෙනි පාර කියවනකොට.ප්ලාස්ටික් බෝතලේ ගැන මොනාහරි කිව්වනම් ඒ හුදෙක්ම විනෝදයට මිස හිතේ කහටක් ඇතුවනම් නෙවෙයි.අර උඩ තියෙන බෝතලේට දේශීය දේවල් දාගෙන බොන අපිවගේ උන්ට ප්ලාස්ටික් උනාම මොකද බං.කෝකෙත් වෙන්නෙ වෙරිවෙන එකනෙහ්.🍺උබත් දන්න රටේ ප්‍රසිද්ද ක්‍රීඩකයෙක් ඉන්නව රෙඩ් ලේබල් බෝතලේට අතිය බෝතලේ දාගෙන ගහන.සල්ලි නැති නිසා නෙවෙයි ඒ මිනිහගෙ කැමැත්ත.ඉතිං අපි මොක්කුන්ද බං.🔫
    මගේ කොමන්ට් එක දිග වැඩි උනා.අන්තිමට කියන්න තියෙන්නෙ කාපු බීපුවට ස්තූතියි කරන සිරිතක් අපේ හත්මුතු පරම්පරාවටම නෑ.ඒත් උබ මේක කියල අඩන නිසා මං ප්‍රසිද්දියෙ උබට ස්තූතියි කරනව බොන්න දුන්නට.ගොඩයො යොබට ශතුටුයිද දැන්....😝

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලිවිල්ල කරන්නේ හුදෙක් විනෝදය සඳහාම පමණක් වෙන නිසා උඹ මේ ලියන එව්වා කියවලා හිත් අමාරු ගන්න කාරී නැහැ.
      හත් ඉලව්වේ දැන් මම කීවද බොන්න දුන්නට මට ස්තුති කරපන් කියල. මොකෝ උඹ ඇතුළු අපේ යාලු සෙට් එකේ එකෙක් වත් නැහැ බොන්න ඕන උනාම මුදල් හිඟ පාඩු තියෙන. මම කිව්වේ ඒ තරම් දුර හිටන් ප්ලාස්ටික් බෝතලේ හරි උස්සන් එනවට ස්තුතිවන්ත වෙන්න ඕන කියලනේ. මොකෝ ඔය ඩියුටි ෆ්‍රී එකේ තියන මිලිලීටර 750 එව්වා දෙකක් ගෙනල්ල අපේ කට්ටියගේ හිත් සනසවන්න පුලුවනිද හැබෑටම. අඩුමතරමේ ලීටර් 1.75 එව්වා තුනක් තියෙන්නම ඕන. දැන් හෙට අනිද්දා ඔයා තුමත් ලංකාවට යනවනේ.. ලීටර් 1.75 බෝතල් හතරක් අරන් තරාදියක දාල කිරල බලහන්කො බර කොහොමද කියල. අන්න ඒකයි ඔය චේද ගණනාවකින් පැහැදිලි කරේ. මලක් ලාමක හිත් පොජ්ජ සිදුනානම් ශොලි හොඳේ..

      Delete
    2. මම ඉන්න රටේ ඉතිං උබලට වගේ ඩියුටිෆ්‍රී නැති නිසා මම ගන්නෙ ලංකාවෙන්නෙ බං.ඒක බරක් වෙන්නෙ වාහනේට නගිනකන් විතරයිනෙ බං.අනික උබ ලියන එව්වට හිත් පොජ්ජ රිදවගන්න ගියානම් ඉතිං මෙලහකටත් උබෙයි මගෙයි යාලුකම නැවතීමේ ලකුණ තියල හුගක් කල් නෙව 😝

      Delete
  9. පැස්ටෝල් පෝලිම් කුජීත සිද්දිය මතක් කරනවාටත් අකමැතිය. අප ගම් ප්‍රදේශයේද වසර දෙකකට කලින් දැමූ සෙඩ් එකකි. අප ගම්පලාතද ගොඩයියාගේ කලින් කතාවල සඳහන් වූ රජ්ගම ග්‍රාමයට දෙවෙනි නොවන ඒ හා සමාන ඌ ග්‍රාමයකි. ගම් 7කි හතේම එකම ජන කොට්ටාසයකි. ගම් හතම නෑදෑයෝ වෙති. එවන් වූ කාරණා මැද්දේ සෙඩ් එකේ හිමිකරු ගමේ එකෙකුවත් සෙඩ් එකේ සේවයට ගත්තේ නැතිය. හේතුව වන්නට ඇත්තේ සද්දයක් දැමුවොත් අයිතිකරු උවද සත 5ට ගණන් නොගෙන ගුටි ලොරියක් දෙන්නට අප ගමේ එකාලා දෙපාරක් නොසිතනා නිසා වන්නට ඇතිය. එහෙව් වාතාවරණයක් යටතේ සේවයන් ලෙස ගනු ලැබුවේ හද්ද වන්නියේ සිට පැමිනි උන්වය. උන් ආ මුල් කල හොදින් සිටියේය. සෙමින් සෙමින් කල් ගත වෙද්දී ගමේ ඌශ්ණය උන්ටද බෝවෙලාය. හැසිරෙන්නෙ ලෝඩ් පකීර්ලා සේය. මෙසේ දින කිහිපයක් ගත උනාලු :-D
    අප අතිගරු හිටං තුමන් (ටොයියන් සිටීනම් සමාවන සේක්වා! :-D ) ගොඩයියා පැවසූ පරිදි ශ්‍රී ලාංකීය ජනතාවගේ සුඛ විහරණය පිණිස බාල තෙල් නැව හරවා යැවීය. ඉන්පසු රටේ ජනතාව තෙල් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කරන මහා මෙහෙයුම දියත් කරන ලද්දේය. හදිසියකට භාවිතා කිරීමට ලීටර 15ක කෑන් එකක් පැස්ටෝල් වලින් පුරාවගෙන සූජානමේ සිටි නිසා මා එම මෙහෙයුමෙන් දින දෙකක් පමණ ඈත්ව සිටියේලු. පැස්ටොල් කෑනයේ අවසන් බිදුවත් වාශ්ප වූ පසු මා හට තරු පෙනෙන්නට පටන් ගත්තා යයි කීවොත් එය ඇත්තකි. අහලක ඇති සෙඩ් එකක තෙල් නැත. තිබුනත් පෝලිම වෙසක් පොසොන් මාස වල ඇති ප්‍රයිඩ් රයිස් දන්සල් වලට ඇති පෝලිමට සමාණය. මේ අල්ලපනල්ලේ මිතුරෙක් මා අමතා කිව්වේ කනට මී පැණි වක්කරන්නා සේ කතාවකි. "මචං *****වෙ සෙඩ් එකේ තෙල් ගහනවා බං. බයික් වලට ෆුල් ටෑන්ක් ගහලා දෙනවා. මාත් මේ දැන් ගිහින් තෙල් ගහගෙන ආවේ. එච්චර පෝලිමක් නෑ. පෝලිම වැඩි වෙන්න කලින් ගිහින් තෙල් ගහන් වරෙන්" යනුවෙන්ය. ආරංචියනම් අගනා ආරංචියකි. මා වරෙන් ක්‍රියාත්මක විය. රිසව් වලින් යන්තමින් දුවා ගත හැකි මාගේ බයික්කේ පණ නංවාගෙන හැකි විගසින් සෙඩ් එක වෙත ගියෙමි. අහෝ අනිච්චේ දුඛ්ඛේ පෝලිමේ කෙලවරක් පෙනෙන්නේ නැත. කෙසේ හො සිත හදාගෙන මා කොනක් නොපෙනනා ඒ පෝලිමේ කොන සොයා ගෙන ගියෙමු...
    කෙසේ හෝ පැයක් පමණ පෝලිමේ සිට මාගේ වාරය එලෙබුනේය.
    කෝ ගන්නවා තමුසෙගේ බයික් එක මෙහාට පේන්නැත්ද පෝලිම? පැස්ටෝල් ගසනා එකා මට සද්දයක් දමයි. මාගේ සසීර කූඩුවෙ ප්‍රමාණයත් උගේ සසීර කූඩුවේ ප්‍රමාණයත් හැටියට මට ඌව කිහිල්ලෙ ගසාගෙන කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ කර හැකි උවද පැස්ටෝල් පිපාසයෙන් පෙලෙන මාගේ බයික් රාජයා ගැන සිහි ඌ නිසාවෙන් මා ඉවසාගෙන බයික්කෙය පැස්ටෝල් ගහන එකා ලගට ගෙනියනවාය. "අරිනවා ඔය ටැංකිය" මූ නැවතත් මට සද්දය දමයි. ඌ හිතන් ඉන්නට ඇත්තේ ඌ කනිජ තෙල් සංස්තාවේ සභාපති කියා වන්නට ඇතිය. මා ඉවසුවෙමි. "කොච්චර ගහන්න ඕනෙද?" ෆුල් ටැන්ක් අල්ලන්නයි මම කිව්වෙමි. තෙල් ගැසූ පසු මා උගෙන් ගාන කියක්දැයි ඇසු විට ඌ කියන්නෙ 1800ක් බවය. මා හට තරු පෙනුනෙ මාගෙ බයික් රාජයා හට උපරිම ගිල දැමිය හැක්කේ රු.1400ක තෙල් පමණක් බව මා සහසුද්දයෙන් දන්නා නිසාය. නමුත් පැස්ටොල් මැසින් මීටරය රු.1800ක් පෙන්නනවාලුය. මා ඔහුට මාගෙ බයික්කෙට රු.1400කට වඩ තෙල් නොඅල්ලන බව පැහැදිලි කලේය. ටැංකියේ දාරිතාව ලිටර් 12කි. ෆුල් ටෑන්ක් ගැසූ විට කිසිදා මගෙන් 1400කට වඩා වැඩිපුර සතයක්වත් වෙනත් සෙඩ් වලින් අරගෙන නැත. මුගේ සද්දය වැඩිය. රු.1800ක් බවම පවසයි. මම නැවතත් ඉවසීමෙන් කීවේ නැවත පරීක්ශා කර බලන ලෙසය. එවිට මූ මා හට රු.1800ක් නොදුනහොත් මගේ අත පය හතර කඩා මා හන්දියේ එල්ලන බවට තර්ජනය කරන්නට විය. මගේ ඉවසුම් නැති විය. බයික්කෙන් බැස්ස මා ඒ කුඩා ප්‍රාණ ජීවියාට ගැසූ පහරින් ඌ මහ පොලෝ මාතාව සිප ගන්නට විය. එකෙනෙහිම සෙඩ් එකේ උන් අනිකුත් උන් මා වට කර ගන්නට විය. ත්‍ර්ල් ගසා ගැනීමට මා මෙන් ගමේ කොල්ලන් කිහිප දෙනෙක්ද පැමිණ සිටියේලු. හන්දියේද රෝද තුනේ පාක් එකේ උන් ගමේ උන්ලුය. උන් සියල්ලො එකතු වී අම්අම්මෝ නැති වෙන්න සෙඩ් එකේ උන්ට නෙලනවාය. සෙඩ් එක දැන් යුධ පිටියකි. ගමේ එකාලා සෙඩ් එකේ වැඩ කරන එකාලට මව් පෙවූ කිරි සිහිවන්නට නෙලනවාය. ඒ අල්ලපනල්ලේ සෙඩ් එකට පැමිනෙන්නේ සුදු පැහැති පෙජරෝ රථයකි. ඒ වෙනකෙකු නොව ඉන්ධන පිරවුම් හලේ හිමිකරුය. ඔහු මාගේ ලඟම ඤාතියෙකි. ඔහු පැමිනි විට ගමේ එකාලා සෙඩ් එකේ එකාලට අමඅම්මො වෙන්නට නෙලා අවසන්ය. මා ඔහුට සිද්ධිය පැහැදිලි කරන්නට විය. ඔහුට අසූ හාරදාහට මල පැන්නේය. ඔහු කියන්නෙ ඔහුට මේ ගැන විටින් විට ආරංචි උවද ප්‍රමාණවත් සාක්ශි නොතිබූ බැවින් ඉවසූ බවය. සෙඩ් එකේ හොරුන් සියල්ලම සේවයෙන් පහ කරණ බවත් ඔහු පැවසුවේය. මා ඔහුගේ ඤති පුත්තරයෙකු වූ බැවින් ඔහු පොලිසියට පැමිනිලි කරේද නැතිය. CCTV දර්ශණද ඔහු මකා දැමුවේය. පුද්ගලික දොස්තරවරයෙකු ලවා තුවාලයට පත් සියල්ලන්ටම බෙහෙත් දැමූ ඔහු ඔහුගේ අනෙක් ඉන්ධන පිරහුම් හල එදා වසා තිබූ බැවින් එහි සේවකයන් තාවකාලිකව මෙම පිරවුම් හලේ සේවයට යෙදවීය. පසුදා හොරුන් ලෙඩ චෝදන

    ReplyDelete
  10. ලැබුවන්ගේ වේතනය ලබා දී ඔහු විසින් ඔවුන් සේවයෙන් පහ කරනු ලැබුවාලු. මාද එදා දවල් එහි ගියේ පෙරදා මා පැස්ටෝල් ගසා මුදල් නොදුන් බැවින් එම මුදල් දීමටය. මුදල් දුන්නේ එදින පැස්ටෝල් ගසනා කෙනා වෙතටය. ඔහු මෙම පිරවුම් හලේම අනෙක් ශාඛව වූ නගරයේ පිහිටි පිරවුම් හලෙහි සේවකයෙකි. ඔහු මා හොදින් හදුනයි. ඔහු මට කීවේ "මහත්තයා ඕකාට ගහපු එක හොදයි. ඌ කීප දෙනෙක්ගෙන්ම වැඩිපුර සල්ලි අරන් තියනවා.මහත්තයගෙ බයික් එකට ෆුල් ටෑන්ක් වදින්නේ රු.1400ක. ඌ කරන වැඩ වලින් වෙන්නේ ලොකු මහත්තයගේ නම කැත වෙන එක. ලොකු මහත්තයා ගොඩක් තරහින් ඉන්නේ. ඌ එක්ක එකතු වෙලා සල්ලි ගසාගෙන කාපු උන් සේරම ලොකු මහත්තයා අද ගෙදර ඇරියා" යනුවෙනි. මා ඔහුට මුදල් දී ආපසු හැරී ගෙදර ආවෙමි. දැන් සෙඩ් එක සාමකාමීය. අලුත් සේවකයන් එහි වැඩ කරති. ඔවුන් කලින් උන් මෙන් නොවේය. උන් ඉතා අවංකය. උනුත් කලින් උන් මෙන් වෙනස් වේදැයි අප දන්නේ නැත. ගොඩයියාගේ තෙල් කතාන්දරය නිසා මා හට මතක් වූ මාගේ තෙල් කතාන්තරයද මෙසේ දිග හැරියෙමු. ලිව්වේ ලිඛිත භාෂාවෙනි. ඒ එසේ ලිවීම උචිත යැයි මා හට සිතුනු නිසාවෙනි. වරදක් වූයේනම් සමාව අයදිමි තිතක්.

    ReplyDelete
    Replies
    1. තඩි අයියා කොයි වෙලාවෙත් ඔන්ලයින්නේ හෆ්ෆා 😛 මටත් මගේ තෙල් කතාව ලියන්න හිතුනා හිටං 😆😆

      Delete
    2. අඩේ නිපුන් බ්ලොග් එකක් පටන් ගත්තොත් නරකද හැබෑටම..මේක තනිකර බ්ලොග් පෝස්ට් එකක් වගේ. මම සහ තඩියා අපේ ගමේ දන්නා කියන ෂෙඩ් වල තෙල්ගහන උදවිය හැමෝම ඔය රැකියාවෙන් හොඳට උපයපු උදවිය. මම කියන්නේ නැහැ එයාල හැමෝම ඔය කියපු එකා වගේ වැඩියෙන් සල්ලි ගත්ත කියල. ඒත් ඔය පෙට්‍රෝල් ගහන පොම්පෙට උදේට වැඳලා තමා එයාල රස්සාව පටන් ගන්නේ. මොකද ඔය පැට්‍රෝල් පොම්පේ කියන්නේ සිතු පැතු සම්පත් ලබාදෙන කප්රුකක් කියලයි දන්නා උදවිය කියන්නේ. එයාල ඔය රැකියාව පටන් ගද්දි හිටපු තැනුයි වසර දහයක් අවසානයේ ඉන්න තැනයි බැලුවාම ඔය රැකියාව එසේ මෙසේ එකක් නොවෙයි. ඕකට සම කළහැකි රැකියාවක් තියෙනවනම් මේ ලෝකේ ඒ එකයි ඒ තමයි බස් කොන්දොස්තර රැකියාව. හැබැයි ඔය දෙකම හර්ද සාක්ෂියක් තියන එකෙකුට කරන්න අමාරුයි. ඒ වගේම මිනිස්සුන්ගෙන් බැනුම් ඇහිල්ලේ ඉවරයක් නෑ.. උඹ ඔය හාදයාට දෙකක් ඇනපු එකනම් බොහොම සාධාරණයි ඉතින්. කොච්චර සිල් රැක්කත් ලංකාවේ පාරට බැස්සාම සීලේ රැකගෙන ගමනක් ගිහින් එන්න හරි අමාරුයි නිපුන් මිනිස්සු වැඩිපුර බර අසාධාරනේටම තමයි. ඔයාගේ දිගම දිග කොමෙන්ට් එකට ස්තුතියි.

      Delete
    3. තඩියා කරන්නේ හෙන ෆ්‍රී ජොබක්නේ නිපුන්.. ඒ හින්ද ගෙදර නිදාගන්න වෙලාව ඇරුනාම අනික් සියලුම වේලාවන් තඩියා ඔන්ලයින්..අන්න වාසනාවන්ත ජොබ්.. කොහෙද මු ඒකත් එපා කියල ඔන්න ලංකාවට යන්නයි හදන්නේ..

      Delete
    4. නිපුනා බ්ලොගයක් අටවාගත්තොත් අගනේ ය.

      Delete
    5. තඩි අයියාට එපානම් මට ඒ ජොබ් එක දෙන්න කියන්නකෝ 😂 එහෙම ජොබ් එකක් ලංකාවේ හොයනවා කියන්නේ නිකම් කලුනික හොයනවා වගේ නොවැ. සේවකයගේ ශ්‍රමය හූරං කාලා කාලා සොච්චම් පඩියක් දෙන තැන් එමටයි හොද තැනුත් නැතුවාම නොවෙයි. ඒත් එහෙම තැන් අපිට සෙට් වෙන්නැති එකනේ හිතට දුක 😐
      ගොඩයියයි ප්‍රසන්න අයියයි කියනවා වගේ බ්ලොග් එකක් පටන් ගන්න ආසාව තිබුනට මට ලියන්න කතා නෑ නොවැ😔 මගේ ජීවිත කතාවේ ගොඩයියලා වගේ රසවත් සිදුවිම් ගොඩක් අඩුයි. ඒ නිසා තමයි ටිකක් පස්ස ගහලා ඉන්නේ. බ්ලොගයක් අටවාගත්තේනම් හොදය නමුත් ලියන්නට ඇති කතා අඩුය 😔

      Delete
    6. නිපුන මගේ රස්සාව කොරන්න සත් සමුදුර තරනය කරලම එන්න වෙනව.ලියන්න කතා නැත්නම් ගොඩයගෙ ඒව remake කරල ලියපං.අද කාලෙ හුගක් සිංදු එහෙම කරනවනෙ :-D

      Delete
    7. නිපුන්,, බ්ලොග් ලියන්න කතා ඕන නෑ බන්.. බ්ලොග් ලියන්න ඕන කරන්නේ අකුරු ලියන්න පුළුවන් කරන හැකියාව විතරයි. ඕනෑම සිදුවීමක් ඇතුලේ කතාවක් බහක් නිර්මාණය කරන්න පුළුවනි. ඒ නිර්මානාත්මක හැකියාව ඔයාට තියෙනවා කියල මම හිතනවා. ඒ නිසා බ්ලොගයක් පටන් ගන්න. වැඩේ නැගල යාවි..

      Delete
    8. ආසයි බයයි ඉතිම් 😐😐

      Delete
    9. චමිල අයියා සත් සමුදුර තරණය කරලා ගිහින් ජොබ් එක කරන්නේ දූපතකද හැබෑටම ? නැත්නම් යස අගේට යන්න තිබුනා නොවැ ආහස්යාත්‍රාවක 😐😐

      Delete
  11. ගොඩයියාට වගේම මටත් ඔය මල ජරා ගල් අරක්කුව පෙන්නන්න බෑ :-D බීලා පහු වෙනිදට ඔලුව උස්සගන්න එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් :-D:-D
    ඊටත් හපන් ඇගේ පතේ රිදිල්ල. බ්‍රැන්ඩිනම් ඉතින් අවුලක් නැ. ඔය ඔක්කොටම වඩා හොදයි රා ටිකක් බිව්වනම්. බොන්න බොන්න ආසයි <3 ඇගටත් ගුණයි.
    මේ වගෙ ලග ලග පෝස්ට් වැටෙද්දිනම් ආසාවේ බැරුවා ගොඩයියේ. නියමයි! දිගටම මේ ගැම්මෙන්ම යමු.
    ඔබට ජය!
    තෙරුවන් සරණයි!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ගල් බිව්වාම මල ගන්දස්සාරේ බෑ බන්. රා නම් බීපු කාලයක් මතක නැහැ නිපුන්. ඒත් ඉතින් රා හොයාගන්නත් හරි අමාරුයිනේ නේද. ඔන්න අපේ යාන්හෑල්ල ලියන සුරන්ගයා නම් රුපියල් 80 රා බෝතලයක් ගැන කියෝනවා නිතරෝම. මේ වතාවේ මම බාර් එකකිනුත් අහලා බැලුව එහෙම එකක් හම්බුනේ නෑ. ඒත් ඉතින් පොල් රා නම් බීල පලක් නැහැ නිකම් හම්බුනත්.

      Delete
    2. ගල් වලට පරිභව කිරීමලා හෙලා දකිමු.

      ඔවු.. එක්සත් ගල් බලකායෙ එකෙක් තමයි.

      Delete
    3. මමත් විරුද්දයි ගල් වලට බනිනවට.සල්ලි හිගාකාල බීපු කාලෙ ගල් බෝතලේ අපිට කොච්චර උදව් කරල තියනවද.අපි කල ගුණ දන්න කොල්ලො හරිය

      Delete
    4. බොලා ඔව්ව මොන රහකට බොනවද මන්ද.

      Delete
  12. සැක් ඉබ්බො තුන්දෙනෙක් දාන්න තිබ්බෙ ශ්‍රද්ධාව ඉහින් කනින් වෑහෙන්න 😌😌

    ReplyDelete
    Replies
    1. ඉබ්බෝ දාන්නේ කොහද බන් අපේ මවුතුමිය මගේ පස්සෙන්ම වැටිලා හිටියනේ. මොකද එයා දන්නවා පුතණ්ඩියාගේ නොම්බරේ ඒ තරම් හොඳ නැහැ කියල ඔය වගේ අවස්ථා වලදී. නැත්තම් ඉතින් කතරගම අවුරුදු ගානක් රස්සාව කරපු මට ඔය වැඩේ බොහොම සිම්පල් වැඩක්. අතේ මජන් ගාගන්නේ නැතුව වැඩේ ඊසි කරන්න තිබ්බ කව්රුහරි දම්මල.. ඒත් ඉතින් අම්ම ඔතන නොහිටියානම් කොහොමත් මම එතන පහන් දල්වලා තමයි එලියට එන්නේ. ඉබ්බෝ තුන්දෙනා දාගත්තනම් ඉතින් දෙහිවල සත්තු වත්තේ වඳුරු කූඩුවක් කිරිවෙහෙර ගාවින් ගෙනත් තිබ්බ වගේ තියෙන්න තිබ්බ බන්..

      Delete
  13. පහන් වැට බදු දෙන එකක් නම් මේ ඇහුවා මයි. කවුරුහරි දායකයෙක් නිකම් හදල දීපු පහන් වැටෙනුත් හරි හම්බ කරන හාමුදුරුවරු ඉතින් හරි යන්නෙ, පහන් තමන්ම පත්තු කරන තරමට පින් වැඩියි කියල හිතන උපාසකයොන්ටම තමයි. මොකද ඕකේ අනිත් අයටත් පත්තු කරන්න දුන්න කියල පින් අඩු වෙනවද? ලොජික්!!

    රට ඉඳන් යනකොට, රට එනකොට, බර අඩු කරන් බඩු ගෙනියන්න දඟලන තරම දන්නෙ ඉතින් ඒක කරන මනුස්සය ම තමයි. ඕක වෙන කාටවත් තේරෙන්නේ නැහැ.

    මම නම් අමධ්‍යපයි. ඒත් වීදුරු බෝතල් ගැන කියවද්දී මතක් උනේ, ලඟදි කොහේද මන්ද කියෙව්ව, පරණ කරනවා නම් ඇල්කොහොල් දාල තියන්න ඕන ලී බඳුන් වල මිසක් වීදුරු වල කල් තියාගත්තට වැඩක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. පහන් වට මුදලට බදු දෙනවා කියන එක මං ප්‍රසිද්දියේ කියන්නේ ඒ පහන් පූජාව කරපු පවුල විසින් එහෙම දෙයක් කිව්ව නිසයි. ඒත් ඊට සාක්ෂි වශයෙන් ඒ පහන් වැටේ වීදුරුවේ දැන්වීමක් අලවලා තිබුනා "විශේහ පහන් පූජා සඳහා වෙන්කර ඇත " කියල. බෞද්ධයෝ හරි බුදුබණ නොදැනීම තමයි බෞද්ධකම පිරිහීමට මුල.

      රට ඉඳන් එනකොට ඔය ගමන් මල්ල කිලෝ ගානට් බැලන්ස් කරගන්න තියන අමාරුව දන්නේ ඉතින් ඔය කට්ට කන එවුන්ම තමයි ඉතින්. මධ්‍යසාර පරණ කරන්න ලී බඳුන්වල දාල තියන්න ඕන කියන කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් ඉතින් අපේ එවුනේක්ක ඔව්ව පරණ කරන්න නම් පොළොවේ වලක් කපලා වලලන්න තමයි වෙන්නේ.

      Delete
  14. ගොඩයො තැන්කිව් වේවා.දිග කොමෙන්ටුවක් පස්සෙ දාන්නම්.

    ReplyDelete
    Replies
    1. හා හා මම බලාන ඉන්නවා ඒ දිග කොමෙන්ට් එක දානකම් හොඳේ..

      Delete
  15. ගොඩයට ලංකාවත් එපාම වෙලා අයෙත් රට ගියාද දැන්? වෙලාවකට ඔක්කොම අත් ඇරලා වනගත වෙන්න හිතෙනවා ලංකාවේ තියෙන ගොන් ආතල් දැක්කම. එත් පිටරටක මාසයක් ඉන්නකොට ලංකාවේ අගය නම් හොඳින්ම දැනෙන්න ගන්නවා. Home sick ද මන්දා අප්පා.

    ReplyDelete
    Replies
    1. ආයෙම ගියා නේන්නම්.. දැන් ඉතින් තව ටික කාලයක් යද්දී වනගත වෙන්නත් පිටරටකට යන්න වෙයි ඔය වනන්තරේ කපනවා කියන කැපිල්ලට. ලංකාවේ අගේ නම් ඉතිං දැනෙනවා තමා නිතරම. ඒත් ලංකාවේ දේශපාලනේ විසින් ලංකාව සහ ලංකාවේ මිනිස්සු විනාස කරලා හමාරයි. ඒ ගැන නම් හරිම හිතට අමාරුයි. මිනිස්සු බහුතරයක් දන්නේ නැහැ එයාලා එකී මෙකී නොකී සියලුම දේශපාලන පක්ෂ වලට රැවටෙමින් සිටින විත්තිය.

      Delete
  16. අඩෝ රත්නපුරේටත් ඇවිත් ගියාද , අපරාදෙ

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹ රත්නපුරේ නෙවෙයිනේ ඉන්නේ.. හැබෑටම පදිංචිය මාරුකරාද..මොකෝ කොළඹ රස්නේ වැඩියිද ???

      Delete
  17. අම්මෝ ,, ලංකාව එච්චරටම පහත් වෙලාද අප්ප දැන් .
    ඉස්සරනම් පිරිකර පුජ කරන්න ඉස්සර හැමෝටම අතගහල පින්කමට අවුල් කරගන්නවා නේ .
    ඔය පහන පත්තු කරා කියන්නේ පිංකම ට දායක කරගත්ත කියන එක නේ . නාකි අංකල් ගේ නුගත් කම මිසක් වෙන එකක් නෙවෙයි .

    ඔය කියන විදියට හාමුදුරුවෝ පහන් වැටත් රෙන්ට් කරනවා නම් , ඉස්සරහට මුළු කිරිවෙහෙරම රෙන්ට් කරන්නත් බැරි ණෑ .

    හැමදාම වගේ අම්බලංගොඩ කතා කියවල හිනා උනාට මේක කියෙව්වට පස්සේ නම් හෙන කාලකන්නි හැගීමක් ආව අපේ රට ගැන සහ සමහර මෝඩ මිනිස්සු ගැන . මේක ලිව්ව එක හොදයි .

    ReplyDelete
    Replies
    1. මට දැන් හිතෙනවා මම ඒ පහන් වැටේ සිද්දිය ලිව්වේ අපරාදේ කියල කලණ. මේක කියවලා කලකිරීමක් ඇතිකරගන්න එපා. බුද්ධ සාසනේ පවතින්නේ වසර පන්දහස් පන්සීයයි. ඉතින් ඒ 5500 න් පස්සේ බුද්ධ කියන වචනයක්වත් දන්නා කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා සාසනේ පිරිහීම දිනෙන් දින සිද්ද වෙන එක අපිට වලක්වන්න බැහැ. භික්ෂුන්ගේ සිල්වත් දුසිල්වත් භාවය ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නැහැ. අපිට තියෙන්නේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නිර්වාන මාර්ගයේ ගමන් කරන්නයි. බුදුරජානන් වහන්සේ දේශනා කරේ ධර්මය හරි තැනින් අල්ලගන්න කියලයි. ඒකට උදාහරණයට ගත්තේ සර්පයෙක් අල්ලනකොට ඔලුවෙන් අල්ලගන්නේ නැතුව වලිගෙන් අල්ලගත්තොත් සර්පයා අපිට දෂ්ඨ කරනවා කියන කාරනාව.

      අසාධාරණේ දැක්කාම ඒ වෙලාවේ කේන්ති ගියාට දැන් නම් ඒ මිනිස්සු ගැන දැනෙන්නේ අනුකම්පාවක්. මොකද එයාලා හරි තැනින් ධර්මය අල්ලාගෙන නැහැ. ඉතින් අනුකම්පා කලයුතුයි නේද..

      Delete
    2. අනිවාර්ර්යයෙන්ම අපි අනුකම්පා කරන්න ඕනේ මේ විදිය මානසිකත්වයන් ට (අංකල් ට) .

      නෑ ලිව්ව එක ගැන පශ්චාත්තාපයට පත් වෙන්න කොහොමත් උවමණා නෑ . මේක වැදගත් දෙයක් බුධාගමේ මිනිස්සු විදියට අපි හැමෝටම . කියවල කලකිරීමක් ඇතිකරගත්තේ නෑ කොහෙත්ම .

      අපේ ගොඩක් අය බණ පද , ඉපදෙන දවසේ ඉදං මැරෙනකම් ඇහුවට නිවන් මග යන්න හිතන්නේ නැති එකනේ දුක නේද ?

      අසාධාරණේ දැක්කාම ඒ වෙලාවේ කේන්ති ගියාට වැදගත් විදියට සහ අම්මගේ කීමට ගරු කරලා ආපු එක නම් ගොඩක් අගය කරන්න ඕනේ .
      තෙරුවන් සරණයි අම්බලංගොඩ !

      Delete
  18. ගොඩයට ලෙහෙසි වැඩක් තියනවා කරනවා නම් ප්ලාස්ටික් බොතල් උස්සගෙන යනවට වඩා, හැබැයි ගොයියෝ සාක්කුවට නම් ඒකෙන් කිසිම වාසියක් නැහැ පාඩුවක් මිසක්.

    මම ලංකාවට එනකොට හෑන්ඩ් ලගේජ් අරගෙන එන්නෙ නැහැ ඩුබායි ඩියුටි ෆ්‍රී එකේදි ඇවිදින ජොනී මහත්තයගෙ කලුපාට එව්වයෙන් තුනක් හරි රත්තරං දෙකක් හරි අර ගත්තහම හෑන්ඩ් ලගේජ් සයිස් එකේ බෑග් එකක් හම්බ වෙනව.

    එතකොට හමිනේටයි මටයි 3 x 2 එක්ක බෝතල් 6ක් ගොඩ හෑන්ඩ් ලගේජ් බෑග් දෙකකුත් එක්කම. බෝතල් මට බෑග් හාමිනේට, එහෙම තමයි ඩීල් එක ගහන්නෙ. මොකද මොනවා නැතත් ඒ පැත්තත් ශේප් එකේ තියා ගන්න එපාය :)

    ඒ එක්කම මදි පාඩුවට කටුනායක ඩියුටි ෆ්‍රී එකෙන් තවත් 2 x 2 = 4 ක් දා ගන්නව. ඉතින් කරදරයක් නැතිව බෝතල් දහයක් ගෙන්න පුළුවන් ධනපාල අවුල් නැතිනම් :-D

    අනික ඔය විදිහට කරානම් පැට්‍රල් නැතත් විස්කි වලින් හරි වාහනේ දුවන්න බැරිය .. නැද්ද මං අහන්නෙ !

    ගොඩයෝ තව පොඩ්ඩෙන් මග ඇරෙනවා නැටුම් තෙල් හින්ද අමතක වෙච්චි අර පන්සලේ කටිනෙ ගැනත් ටිකක කියපන් වෙලා වක් හම්බ උනහම හැක ... හැක .. !

    හැබෑටම පන්සල් යන්නේ නැති හින්ද ඔය පන්සලේ සිද්ධිය වගේ හිපාටු වැඩ වෙන්නේ නැහැ මට, නමුත් උනා නම් උන්ගෙ මෑණියන්ට පින් අනුමෝදන් කරලා ඉබ්බා දාලම එනව, පව්නෙ නැතිනම් !

    ReplyDelete
    Replies
    1. මම ඉතින් තනියම එන නිසා මට ගෙනවානම් ගෙන්න වෙන්නේ ඔයින් භාගයිනේ නේද. මටත් ට්‍රාන්සිට් එක සෙට් වෙන්නේ මිඩ්ල් ඊස්ට් තමයි. ඒත් ඉතින් මම ඔය ට්‍රාන්සිට් එකට එන්නේ පැය 13 ක ෆ්ලයිට් එකකින් බැහැල නිසා ජීවිතේ එපා වෙලා තමයි ඉන්නේ ඉතුරු පැය පහේ ෆ්ලයිට් එකෙන් බැහැල ගමන ඉවර කරන්න. ඊට අමතරව ට්‍රාන්සිට් එකෙන් ඊළඟ ෆ්ලයිට් එකට තියෙන්නේ පැයයි විනාඩි විස්සයි.ඒ නිසා ඔය ඩියුටි ෆ්‍රී වන්දනාව කෙරෙන්නේ නැහැ බන්.

      ෆ්ලයිට් දෙකක එන නිසා මට කිලෝ පනහක අලවුන්ස් එකක් තියෙනව. ඒක සෙට් වෙන්නේ 23 X 2 + hand luggage විදිහට. ඉතින් ලොකු සයිස් බැගේජ් දෙකක් අරං එන්න අමාරුයි බන්. ඔය බෑග් දෙකයි, හෑන්ඩ් ලගේජ් එකයි,ගිටාර් එකයි හතරම එක්ක එද්දී ලංකාවේ කස්ටම් එකෙන් අනිවාර්යෙන් ඕක ඇරලා බලලා විස්කි බෝතල් ටිකට ලෙඩේ අදිනවා. මේ වතාවේ පලවෙනි වතාවට මගේ බෑග් එක ස්කෑන් කරා. වෙලාවට බෝතල් තිබ්බේ නැහැ. ඒත් ඔය දන්නා කියන එවුන්ට දෙන්න කියල ගෙනාපු සිගරට් කාර්ටුන් එකක් තිබ්බ ඒත් ඒක අවුලක් උනේ නැහැ. මට පස්සෙන් ආපු එකාගේ බෑග් එකේ බෝතල් තියනව කරුණාකරලා බෑග් එක අරින්න කියල කියනවා මම අහගෙන. මට ඒ වෙලාවේ හිතුන බෝතල් ගෙනාවේ නැති එක හොඳයි කියල.

      පන්සලේ නම් ඒ වෙලාවේ ඉබ්බා නොදා ආවේ අම්ම හිටපු නිසාමයි. නැත්තම් අනිවාර්යෙන්ම මගේ ශ්‍රද්ධාව පෙන්නනවා ඒ වෙලාවේ තිබ්බ කේන්තියෙ හැටියට. දැන් නම් ඉතින් හිතෙන්නේ ඒ මිනිස්සු පවු කියලයි. මෝඩකමේ උපරිමේටම ගිහින් පින්කම් කරන මිනිස්සු.

      Delete
  19. කටින පින්කමට බෝතලුත් අරන් යනවද> :)
    //මේ වතාවේ අම්බලන්ගොඩයා තකහනියේ ලංකාවට දුවගෙන එන්න මුලාශ්‍ර වුනේ හදිසියේම කථින පිංකම අම්බලන්ගොඩයාගේ පවුලේ උදවියට ලැබීම නිමිතිකොටගෙන සිදුකලා වූ ඒ මහා පුණ්‍යකර්මයට සහභාගිවෙන අරමුණෙන්.// කටින පින්කමකට සහභාගී වෙන්නම වෙන රටක් ඉඳන් එනවා කියල ඇහුවමයි

    ReplyDelete
    Replies
    1. කථින පිංකමක කථින සිවුර පූජාකරන ප්‍රධාන ධයක කම ගන්න හරිම අමාරුයි අජිත් අය්යේ. ඒකට වේටින් ලිස්ට් එකේ ඉන්න ඕන. මේ අවුරුද්දේ අයදුම් කරොත් ඕක ලැබෙන්නේ 2025 විතර. අපේ අවට පන්සල් කීපයේම කථින පිංකම ගන්නවානම් ගන්න වෙන්නේ 2023න් පස්සේ. ඊට කලින් ඔක්කොම බුක්. මේ වතාවේ අපිට චාන්ස් එකක් ලැබුන කථින පිංකම කරන්න. අපේ තාත්තගේ ගමේ පන්සලේ කථින පිංකම මේ වතාවේ කරන්න හිටපු අයට මොකක් නමුත් හදිසියක් වෙලා ඒක අපිට ලැබුන. ඉතින් ඒ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. සමහරවිට ජීවිතේ පලවෙනි සහ අන්තිම එක වෙන්නත් පුළුවනි. ඉතින් ඒ අවස්ථාව මගහැරගන්න එක ලොකුම ලොකු අපරාදයක්. කථින චීවර පූජාව කියන්නේ බුද්ධ සාසනයක කරන්න පුළුවන් ඉහලම කුසලයක්. ඒ අවස්තාව ලැබෙන්නේත් අවුරුද්දකට එක අයදුම්කරුවෙකුට පමණයි.

      Delete
  20. මට මතක් උනේ ජේසු දවසක් ජෙරුසෙලමෙ දේවස්ථානයට ගිහිං ඒකෙ හිටපු පරයි වෙළෙන්දොයි, සල්ලි මාරු කරන අයයි එළවල දාපු හැටි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාන්දරේ මම දන්නේ නැහැනේ.. කියහන්කෝ සම්පූර්ණ කතාව..

      Delete
    2. ආයි මොකටද මං ලියන්නෙ? ඕං බෛබලේ තියෙන විදිහ...

      දේව මාලිගාව පවිත්‍ර කිරීම

      15 ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 16 දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක. 17 උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, ” ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක.



      (මාක් 11:15-17)

      12 ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 13 ” ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහය කැ යි කියනු ලබන්නේ ය’යි ලියා ඇත. එහෙත්, ඔබ එය සොරුන්ගේ ගුහාවක් කරන්නහු ය”යි ඔවුන්ට වදාළ සේක.

      මතෙව් 21: 12-13

      Delete
  21. අනේ බොහොම දකි ඔබ තුමාගේ නිවාඩුවට වෙලා තියන අපරාදේ දැක්කම. වාහනේ පෙට්‍රෝල් වලින් නැතුව අර අනිත් ජාතිවලින් දිවුවනම් ගොඩයන්න තිබුණා එකෙන්ම
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මොනවා කරනද ඉතින් කරුමේ තමයි..

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. Aiya Inna rate oya wage patrol prasha ne ne?mokakda aiye Ara yaluwo denna kiyapu wachane teruma

    ReplyDelete
  24. මේ රටවල්වල ඔය වගේ ප්‍රශ්න නැහැ චරිත්.. සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත්කලා කියන්නේ අදාළ නිලධාරියාට ගෙදර යන්න වෙනවා එකෙන්ම.

    ReplyDelete