Sunday, September 2, 2018

පුංචි අලි පැටියා..






අවුරුද්ද එක්දහස් නවසිය අනූ එක වෙද්දී ගොඩයා හිටියේ නවය වසරේ. එදා ගොඩයලාට උදේ ඇසෙම්බ්ලි තිබ්බ දවසක් කියමුකෝ. ඇසෙම්බ්ලි තියෙනවා කියන්නේ ඉතින් ඇස්ට්‍රා මාගරින් ලොරියක තියෙන විටමින් ඩී විදුහල්පති තුමා ගානේ මුළු ඉස්කෝලෙටම  බෙදාදෙන දවසක්. ආයේ ඉතින් දෙකක් නෑ උදේ හතහමාරේ හිටං නවය නවයහමාර විතර වෙනකල් බාස්කට් බෝල් පිටියේ ගිනියම් වෙන තාර පොලොව උඩ කරවීමට නියමිතයි.  එතන හිටගෙන උදෑසන අවුවේ තියෙනවාය කියන විටමින් ඩී ස්නානය කරද්දී දැනෙන සනීපෙ ඉතින් වචන වලින් විස්තර කරන්න බෑ. පුංචි කාලේ අපි අහල තියෙන තේරවිල්ලක් තියෙන්නේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්ද සුදයි කියල.. බාස්කට් බෝල් පිටිය උඩ අසෙම්බ්ලිය ඉතින් අන්න ඒ හා සමානයි.. මැද්ද ඉතින් සුදට තිබ්බට හරිම කලබලයි.. ඒ වගේම නොසන්සුන්..

ඇසෙම්බ්ලි එක තියන්නේ කුමක් සඳහාද? ඒ කතා පවත්වන ගුරු භවතුන් ලවුඩ්ස්පීකර් කටින් කියන්නේ මොනවාද? ඒ කරුණු කාරනා අධ්‍යාපනය සඳහා කොතරම් දුරට අදාළ වෙනවාද වැනි කිසිම දෙයක් ගැන අල්පමාත්‍රයක්වත් නිනව්වක් බහුතරයක් එවුන්ට නෑ.. කොල්ලන්ගේ ඝෝෂාවට ඉහලින් ලවුඩ්ස් ස්පීකර් සද්දේ ඇහුනට වැඩිමනක් එවුන් දන්නේ කතාකරන්නේ ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක විතරයි. ඉඳලා හිටලා ගෑල්ලමයි අත්පුඩි තලන්න පටාන් ගත්තාම කොල්ලොත් අත්පුඩි තලන්න පටාන් ගන්නවා විනා අත්පුඩි තලන්නේ කුමන කාරණයක් අරභයාද කියනේක කොල්ලො බහුතරයක් එවුන් දන්නේ නෑ. ඉඳලා හිටලා ශිෂ්‍ය නායකවරු ළමයි අතරට ඇවිදින් භීෂණය පැතිරුවත් කොල්ලන් දාහක් විතර තැන තැන රංචු ගැහිලා නටන පිස්සු නවත්වන්න උන්දැලාගේ ශිෂ්‍ය නායක පට්ටම් වල බල පරාක්‍රම මදියි. ඒ අතරේ කසිප්පු පොලට පොලිසියෙන් පනින සැම්පලේට ළමයි අතරට කඩන් පනින විනය භාර ආචාර්යවරු අතට අහුවෙන දෙතුන් දෙනෙකුටත් නෙලලා තවත් හත් අට දෙනෙක් කන් කෙටියෙන් ඇදගෙන ගිහින් කුලරත්න සෙවන ගොඩනැගිල්ලේ කොරිඩෝවේ දන ගස්සවන්නේ පස්ස පැත්ත හරහට වේවැල් පාරවල් හත අටකුත් දීලයි. රැස්වීම මැදට විනය භාර ආචාර්යවරුන්ගේ ආගමනයත් එක්කම එතකම් දඟල දඟල හිටපු එවුන් හතර පෝයට සිල් ගන්න උපාසක ලෙවල් එකටම සීරුවෙන් ඉන්නේ හෙන සිරාවට කථිකයාගෙ කතාවට සවන් දෙන ආකාරයට. කඩි ගුලක් ආකාරයෙන් තිබිච රැස්වීම  ආචාර පෙළපාලියකට සූදානම් කරපු හමුදා ඛණ්ඩයක් ගානට නොසැලී ඉන්නේ උපරීම විනාඩි දහයක් වගේ කෙටි කාලයක් තමයි. ආයෙත් ඉතින් රැස්වීම මැද කඩි ගුලක් හා සමානයි. ඒ අතරේ නසරානිම එකෙක් දෙන්නෙක් කලින්ම හොයාගෙන ඇවිත් සාක්කුවේ දාගෙන ඉන්න කහඹිලියා කොළ මිටියක් හේතුවෙන් එහෙන් මෙහෙන් එවුන් අම්මමෝ නැතුව කසන්න පටන් ගන්නවා. ඒ කාලේ එකොළහ වසරේ හිටං පහලට පිරිමි ළමයි ඇන්දේ නිල් කොට කලිසම නිසා කකුලක කහඹිලියා උලන එක සිම්පල් වැඩක්. දණහිස ගාවින් කකුල නැමෙන තැන පිටිපස්සේ කහඹිලියා ඉලුවාම දැනෙන සනීපෙ ඉතින් ලියලා කියලා නිම කරන්න බෑ. එව්වා ඉතින් විඳලාම බැලියයුතු අත්දැකීම්.

විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය වැඩ සිටින්නේ තෝමස් ද සිලවා සෙවනේ සන්සේඩ් එක යට නිසා එයාලට උදෑසන හිරු එළියේ තියනවාය කියන විටමින් ඩී ලැබෙන්නේ නෑ. එහම බැලුවාම ඉතින් ඒකත් අසාධාරණයි. සමහරවිට වයසින් වැඩි උදවියට විටමින් ඩී අගුණ වෙන්ටෑ. ඒ නිසාම එයාලට, ළමයි නොමිලයේම ලබන විටමින් ඩී සත්කාරයේ දිග පළල තේරුම් ගන්න කොහෙත්ම වාසනාවක් නෑ. රැස්වීමෙන් පැනල යන්නම විදිහක් නැතත්, ඒත් අවුවේ හිටගෙන ඉඳලා ඉවරයකුත් නැති කරුමෙන් බේරෙන්න පිලියමක් වශයෙන් තාවකාලිකව කලාන්ත වෙලා බිම වැටෙන කට්ට කපටි කෛරාටික එවුනුත් ඉතින් නැත්තේම නෑ. එකෙක් කලාන්ත වෙලා බිම පතබෑවුනාම තවත් හතර පස්දෙනෙකුට බෝනස් තෑග්ග ඇදෙන්නේ වැටිච්ච එකා කර තියාගෙන පන්ති කාමරයකට උස්සගෙන යන්න ඕන නිසා. ඒ වගේ වෙලාවට නම් ඉතින් ක්ලාන්ත වෙලා බිම වැටිච්ච එකා උස්සගෙන යන්න යාලු මිත්‍රයෝ ඇති පදං. ඒ අරං ගිහින් පන්තියක ඩෙස් බංකු දෙක තුනක් උඩ දිගා කරලා කමීසයේ බොත්තම් ගලවලා පවන් ගහන්නද, මූණට වතුර ගහන්නද යාලු මිත්‍රයෝ පෝලිමේ. ඒත් ඉතින් බොරුවට ක්ලාන්ත වෙච්ච එකා ඇස් පියාන උන්නට ඌ ඉන්නේ සෑහෙන කල්පනාවෙන්. රැස්වීමෙන් එලියට පැනගන්න තමුන්ව උස්සගෙන ආවට තමුන්වටේ වටවෙලා ඉන්නේ  ඇඳගෙන ඉන්න කලිසමත් ගලෝගෙන දුවන්න පුළුවන් ඇම්ඩන්ලා කියල මතක් වෙද්දී ඇත්තටම ක්ලාන්ත උනත් ලෙඩාට සිහිය එනවා විනාඩියෙන්. රැස්වීම ඉවර වෙද්දී කොරිඩෝවේ දනගහගෙන ඉන්න එවුන්ට මදක් පමාවෙන්ට වෙනවා පන්ති වලට යෑමට අදාළ අවසරය ලැබෙනකල්. ඒ අවසරය සමග බෝනස් ලකුණු විදිහට පස්සපැත්ත හරහා වේවැල් පාරක් දෙකක් වගේ සැනසිලි තෑග්ගකුත් කෝසල සර්ගෙන් බොහෝ වෙලාවට ලැබෙනවා. කෝසල සර් ගැනත් පොස්ටුවක් ලියන්න නියමිත නිසා කෝසල සර් ගැන වැඩි විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ.

මෙච්චරකල් වටේ ගියාට ලියන්න ගියේ අපේ පන්තියට අලියෙක් ආපු කතාවක් ගැන. මේ කියල අලියා එන්න කලින් අපේ බැච් එකටම හිටියේ අලි වගේ තඩි එවුන් එක්කෙනයි. ඒ තමා අපේ තඩියා. තඩියා අපිට තඩියට පෙනුනට අලියා ආවයින් පස්සේ තඩියට තිබ්බ ප්ලේස් එක ඉබේම නැතුව ගියා. තඩියා මේ ලියන වෙලාවේ ඉන්නේ කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ. තඩියාට පොඩි පහේ හර්දයාභාදයක් ඇවිත් ඊයේ ඇඩ්මිට් වෙන්න උනා වැඩිදුර ප්‍රතිකාර සඳහා. තඩියාගේ තත්වය දැනට කියන්න තරම් අයහපත් නෑ. ඒත් තඩියා ගණන් නොගෙන හිටියට තඩියාගේ ජීවිතේ බේරිලා තියෙන්නේ අනූ නවයෙන් කියලයි ගොඩයාට හිතෙන්නේ. තඩියාට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා තඩියාගේ බිරින්දෑ සමග පැවසූ තොරතුරු වලට අනුව අපේ තඩියාගේ හදවතේ ධමනියක් සියයට අනූ හතරක් බ්ලොක් වෙලා තිබිල කියල තඩියාගේ බිරින්දෑට දුරකතනයෙන් ඇමතූ වෙලේ ගොඩයා සමග කීව. ප්‍රතිකාරයෙන් පසුව මේ ලියන මොහොත වෙනතෙක් තඩියා සමග කතා කරන්න ගොඩයාට හැකිවුණේ නෑ. 

හදවත පුරා ලේ ගමන් කරන නහරයක් සියයට අනූ හතරක් බ්ලොක් වෙන්න අපේ තඩියා කාපු කෑම ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ෂුගර්, ප්‍රෙෂර්, කොලස්ටරෝල් තුනම අඩු නැතුව තියෙන අපේ තඩියා දැන් ඉන්නේ ෆුල් ඔප්ෂන් තත්වයේ කිව්වොත් තමයි නිවැරදි. වෛද්‍ය උපදෙස් අනුව තඩියා දිනකට පැයක් ඇවිදීමට නියමිත උනාට තඩියා පැයක් ඇවිදිනවද එහෙමත් නැත්තම් ඇවිදින්න කියල ගෙදරින් මාරුවෙලා ගිහින් කොහෙට හරි කඩේකට ගොඩවෙලා බඩපුරා කාබීලා හොලා වගේ ගෙදර එනවද කියන එක දන්නේ දෙයියෝ තමා. 

අලියා ගැන ලියන්න ගිය බ්ලොග් පොස්ට් එක තඩියා ගැන ලියවෙන්න යන නිසා තඩියා ගැන එච්චරයි.. ඊළඟට නැවතත් ඇසෙම්බ්ලියෙන් පටන් ගතපු පුංචි අලි පැටියාගේ  ආගමනය..

කලින් කිව්ව ආකාරයෙන් හරක් පට්ටියක් ආම්බාන් කරනවාට වඩා අමාරුවෙන් කොල්ලෝ දාහකට වඩා වැඩි ප්‍රමාණයක් පැය දෙක තුනක් තිස්සේ අමාරුවෙන් තියාගෙන ඉඳලා ඔන්න යාන්තමට ඇසෙම්බ්ලිය ඉවර වෙනවා. ඒ වෙනකොට බොරුවට ක්ලාන්ත වෙච්චි උන් සියල්ලම කලින් හිටියට වඩා හොඳට පනගහලා අවදිවෙලා ඉන්නේ බොහෝමයක් දවස්වලට ඊළඟට ලැබෙන්නේ විවේක කාලය බව අත්දැකීමෙන්ම දන්නා නිසා. ඇසෙම්බ්ලියට පස්සේ තව කාල පරිච්චේද එකක් හෝ දෙකක් ඉතුරුවෙලා තියෙනවාද නැද්ද කියල ඉර දිහා බලලා තීරණය කරන තාක්ෂනය ක්ලාන්ත වෙච්චි උදවියටත් සාත්තුවට ඉන්න උදවියටත් උපතින්ම හිමිවෙලා තියෙනවා. වැරදිලාවත් ඇසෙම්බ්ලිය ඉවර වෙද්දී විවේකයට තවත් කාල පරිච්චේදයක්වත් ඉතුරුවෙලා තියෙනවනම් ක්ලාන්ත රංගනය දිගටම කොන්ටිනිව් කරන්න රංගන ශිල්පීන් දෙපාරක් හිතන්නෙ නෑ. ක්ලාන්ත වෙච්චි උදවිය වාහනේක පටවලා ඉස්පිරිතාලේ යවන්න විදුහල් පරිපාලනය වැඩිය උත්සහ කරන්නේ නැත්තේ මැරෙන්න වැටිලා හිටියත් විවේක කාලය වෙද්දී මුන්ට හිටියට වඩා හොඳට සිහිය එන වග විදුහල් පරිපාලනය දන්නා නිසා. ඒ වගේම ක්ලාන්ත වෙන උදවිය රෝහල්ගතකරනා ක්‍රමවේදයක් පටන් ගත්තොත් ක්ලාන්ත වෙලා වැටෙන එවුන් ඉස්පිරිතාලේ යවන්න ආසන හැටේ බස් එකකුත් මදිවෙන වගත් එයාල දන්නවා. වැරදිලාවත් ඔය කිව්ව ක්‍රමේට ක්ලාන්ත වෙන උදවිය රෝහල්ගතකරනා ක්‍රමවේදයක් පටන් ගත්තනම් ඇසෙම්බ්ලිය ඉවර වෙද්දී ඉස්කෝලෙ කොල්ලන්ගෙන් භාගයක් නවතින්නේ පොල්වත්තේ හෝ බලපිටියේ රෝහලේ කියන එක ගැන තර්කයක් නෑ. එහෙම ක්‍රමයක් තිබ්බනම් විදුහල්පතිතුමාට සිද්ද වෙනවා අසෙම්බ්ලිය තියෙන දවසට ඉස්සරින්දා කොල්ලන්ට කියන්න බොලා සේරෝම උදේම බලපිටියේ හෝ පොල්වත්තේ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙයල්ලා   මං ගුරුවරු ටිකයි ගෑල්ලමයි ටිකයිත් අරං ඉස්පිරිතාලේටම ඇවිල්ලා අසේමබ්ලිය තියන්නම් කියන්න. 


ගොඩ්වින් සර් හෙවත් අපේ විදුහල්පතිතුමා විදුහල්පති සේවයේ හසල අත්දැකීම් තිබුනාවූ පුද්ගලයකු නිසාත්, විනය භාර ආචාර්යවරු අම්බලන්ගොඩ ධම්සෝවේ කොල්ලන්ගේ නාඩි වැටෙන රිද්මය ගැන හසල අත්දැකීම් තිබුනාවූ අයවලුන් නිසාත්, ක්ලාන්ත වෙන රෝගීන්ට සිහිය එන හෝරාව එයාල  දන්නව ඉස්පිරිතාලේ ඩී. ඇම්. ඕ මහත්තයාටත් වඩා හොඳින්. ඒ හින්ද පාසල් පරිපාලනය ඔව්ව ගැන වැඩිය වදවුනේ නෑ. ඒ කාලෙ විදුහල්පතිතුමාලා එහෙම උනාට දැන් කාලේ උදවිය  නම් ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් මතුවුනොත් පාසලේ දරුවන් රෝහල්ගත කරන්න ගිලන්රථයක්  ජපානයෙන් ආනයනය කරන්න මුදල් හොයන්න සංගීත සංදර්ශනයක් වගේ වැඩක් සංවිධානය කරන්න දෙපාරක් හිතන්නේ නෑ. එහෙම බැලුවාම අපේ කාලේ විදුහල්පති තුමාලට වඩා දැන් කාලේ තුමාලා පට්ට කාර්යක්ෂමයි නැද්ද හා...


ඔන්න ඔය ආකාරයේ වාතාවරණයක් ඇතුලේ කැශුවලිටීස් දහයක් පහොලොවක් වාර්තා කරගෙන ඇසෙම්බ්ලිය අවසාන වෙනව. ඔන්න අපිත් ගාල කඩාගත්තු හරක් රැලක් වගේ පංති හොයාගෙන දුවනව. විවේකයට කාලපරිච්චේද කිහිපයක් තියෙනවනම් කැන්ටිමේ මාමි කීයටවත් කෑම ඉශූ කරන්නේ නැති වග දනිතත් කිහිප  වාරයක් කැන්ටිමේ මාමිගේ ගෑස් බලන්නත් කැන්ටින් කන්නෝ අමතක කරන්නේ නෑ. ඒ අතරේ මූත්‍රා බොක්ක පුපුරන්න තරමට ටැංකිය පිරිච්ච එවුන් සුසන්තිකාටත් වඩා වේගෙන් වැසිකිලිය දිහාවට දුවන්නත් අමතක කරන්නේ නෑ. ඔය වැනි සකලවිධ රංගන සියල්ලක්ම සමගින් අපේ සෙට් එක හෙවත් නවය වසර ජී සෙට් එක පංතිය දිහාවට දුවන්නේ විවේකයට කලින් ඉතිරිවෙලා තියන කාලපරිච්චේදය අපතේ යාම වැලැක්වීම උදෙසා පන්තිභාර ගුරුතුමිය හෙවත්  නෙලුම් රානී ටීචර්  ළඟ ලඟම එන විත්තිය සහසුද්දෙන්ම දන්නා නිසා. නෙලුම්රානි ටීචර් ගැන වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්න නිසා ටීචර් ගැන වැඩිමනක් මෙහිලා ලියවෙන්නේ නෑ.  ඒත්  වාක්‍ය කිහිපයකින්  ටීචර්ව හඳුන්වනවානම් නෙලූම්රානි ටීචර් යනු, පන්තියේ හිටපු කොල්ලන් විසිපස්දෙනා ගැනම වෙන වෙනම තමුන්ගේ ඔලුව ඇතුලේ ෆයිල් ඕපන් කරගෙන වෙන වෙනම කොල්ලන්ව අධීක්ෂණය කරපු අම්ම කෙනෙක් කිව්වොත් තමයි නිවැරදි. වේවැලක් අතේ තියාගෙන අණ්ඩුමට්ටු කරනා වර්ගයේ ගුරුවරියක් නොවුනත් එක වාරයක් ඔරෝලා බලපු ගමන් කොල්ලන්ට මූත්‍රා බර වෙනවා කිව්වොත් තමයි හරි.  හැබැයි කවදාවත් කාටවත් නියපිටින් පාරක් ගහල නෑ. ගුරුවෘත්තියෙන් එහාට ගියාවූ පුද්ගලික මට්ටමේ කැක්කුමක් ටීචර්ට ළමයි ගැන තිබ්බ නිසා එකෙකුටවත් නෙලුම්රානි ටීචර්ගේ කනෙන් රිංගන්න අවස්තාවක් ලැබුනේම නැහැ. එහෙම රිංගන්න ගිය හැම වතාවකම අපේ එවුන් ටීචර්ගේ අධීක්ෂණය කිරීම්, ප්‍රශ්න කිරීම් ඉදිරියේ හත්පොලේ උලාගත්ත. 

ගොඩයලා හිටියේ උඩ තට්ටුවේ නිසා විටමින් ඩී සත්කාරය ඇතිවෙන්න ලැබුණු හැමදෙනාම එක පොදියට උඩට දුවනවා. උඩ තට්ටුවේ තියන පංති කිහිපයෙන් ගොඩයලා හිටියේ මැදට වෙන්න. ඒත් කොල්ලෝ උඩට දිවිල්ල වෙනද වගේ නෙවෙයි කියහන්කෝ. කලින් කිව්වා වගේ අපේ තඩියාගේ සියයට අනූ හතරක් බ්ලොක් වෙච්ච නහරයේ තිබ්බ බ්ලොක් එක අතරින් අමාරුවෙන් ලේ ගමන් කරනවා  වගේ එක තැනකින් කොල්ලෝ හිරවෙලා. වෙනදට එක දිගට බඩ  යන්න වගේ ෆලෝ වෙන කොල්ලන්ගේ දිවිල්ල එක තැනකින් බ්ලොක් වෙලා තමයි මූව් වෙනනේ. ගොඩයා ඉතින් කෙට්ටු කැහැටු එකා නිසා කඳ බඩ මහත එවුන්ගේ වැදී වැදී වටේටම විසික් වෙන ගමන් ඔන්න හෙමි හෙමිහිට ලං වෙනවා පන්තියට ඇතුල්වෙන දොරටුවට.. මෙන්න බොලේ එතන ඉන්නවා කවදාවත් දැකල නැති ඩයල් එකක්. 

මෑන්ස් බැලූ බැල්මට  සුවිසේශී පොරක් නිසා එතනින් එහාට දුවන කොල්ලෝ හැමදෙනාම ගොඩයලාගේ පන්තිය ළඟ මදක් නැවතිලා දුහන නිසා තමා එතන පට්ට ට්‍රැෆික්.  
නිකමට හිතමුකෝ පාරක් අයිනේ අලියෙක් බැඳලා ඉන්න සීන් එකක්. නිරන්තරයෙන් වාහන යන පාරක අයිනක අලියෙක් බැඳලා ඉන්නකොට පාරේ යන වාහන පොඩ්ඩක් ස්ලෝ කරලා අලියව නරඹනවනේ. මින්ස්සුන්ට කොච්චර දැක්කත් නැවතත් බලන ස්වල්ප වස්තුන් අතරේ අලියා සුවිශේෂයිනේ. වාහනේ දරු මල්ලෝ එහෙම ඉන්නවනම් වාහනේ හුඟක්ම ස්ලෝ කරලා අන්න පුටේ අලියා කියල දරුවන්ටත් පෙන්නලා පිටිපස්සේ වාහනේ රියදුරා මුගේ මෑණියන්ට කියල හොර්න් එක ගැහුවාම හෙමීට ඉස්සරහට අද්දන විදිහක් නිකමට හිතන්නකෝ.. සීන් කෝන් එක අන්න ඒ වගේ..

බැලූ බැල්මට මෑන්ස් ඉන්නේ ගොඩයලාගේ පන්තියට ඇතුල්වෙන කොට බිත්තියට හේත්තුවක් දාගෙන නිසා සාස්තර කියන්න දන්නේ නැතත් ඕනෑම කුඩා එකෙකුට හිතෙනවනෙ මූ පන්තියට අලුතෙන් ආපු ජීවියෙක් වෙන්ටෑ කියල. ඇඟේ සයිස් එක කියනවනම් එවකට යෝදම එකා වෙච්චි තඩියා වගේ හතරගුනයක් විතර ඇති. කොණ්ඩය මනාව ඉහලට පීරා ඇත. ඇහැට පේන ආකාරයෙන් සරීර කූඩුවේ බර දල වශයෙන් කිලෝ හාරපන්සියක් තියෙන පාටයි. බැලූ බැල්මට ටක්කෙටම කියන්න පුළුවන් ඊළඟ සෑස්තරේ තමයි මූ අලියෙක් හා සයිස් උනාට හොඳ හැටි හැම් බේකන් චීස් පුඩින් ඇඟට වැටිච්ච එකෙක් කියන එක. උසත් ගත්තාම අඩි හයක් විතර සද්දන්තයි කියමුකෝ. ඇඟේ වට ප්‍රමාණය දල වශයෙන් කිව්වොත් පුංචි අලි පැටියාගේ ඇඟ වටේ රවුමක් යන්න බීඩි සුරුට්ටු මිටියක්වත් බොන්න යන කාලයට වැඩි මිසක් අඩු නෑ.  ඒසා උස මහත සරීරෙකට නිල් කොට කලිසමක් අන්දලා ගත්තාම ඉතිං පිචර් එකක පහ වසරේ ළමයෙකුගේ චරිතයකට පුත්තලම් බූරුවෙකුගේ වයස වෙන නළුවෙක් අන්දලා ගත්තා වගේ. කලිසං කොටේ නැත්තං පොර හැන්ඩියා කිව්වොත් තමයි නිවැරදි. දැක්ක ගමන් ගොඩයාට හිතුනේ ඇසෙම්බ්ලිය අස්සේ ඉස්කෝලෙ පියන් කාරයා මූව වැරදි කැලෑසියක් ගාවින් ඉන්දලාදෝ කියන සිතුවිල්ල. සුදු දිග කලිසමක් අන්දලා ගත්තොත් කැත නැතුව දහතුන  වසරෙන් වාඩි කරවන්න පුළුවන් පෙනුමක්. ඒ වගේම සරමක් අන්දලා බඩ මැදින් පටියක් බන්දලා ගත්තනම් තාත්ත එක්ක එන්න කිව්ව දවසට ඉස්කෝලේ එක්කයන්න පුළුවනි කිසිම සැකයක් නැතුව. හොඳින් බැලුවාම ගොඩයාට ආයෙමත් හිතුනේ පියන්ට වැරදිලා වැරදි කැලෑසියකින් ඉඳලාද ? මූ වැරදිලා සුදු දිග කලිසම වෙනුවට නිල් කොට කලිසමක් ඇඳන් ආපු පුත්තලම් බූරුවෙක්ද?  එහෙමත්  නැත්තම් පොඩි කාලේ පරක්කු වෙලා උප්පැන්නේ රෙජිස්ටර් කරපු එකෙක්වත්ද කියල. ඊළඟට හිතුනේ මූ හිටපු ඉස්කෙලෙ අට වසරෙන් විසි තිස් වතාවක් පේල් වෙලා නවය වසරට උසස් කරගන්න බැරිම තැන ඒ ඉස්කෝලෙන් අයින් කරගෙන ඇවිත් අපේ ගොඩයලාගේ ඉස්කෝලෙට තල්ලු කරාද කියන එක.  ඒ සියලු සැක සංකා තියෙද්දී කොරිඩෝව දිගේ පන්තිවලට දුහන කොල්ලො කුරුට්ටෝ හැම එකාම පුංචි අලි පැටියා ළඟ මදක් නැවතිලා මදක් නරඹලා යන්න අමතක කලේ නෑ. ඇයි යකඩෝ උපන්තේකට දැකපු නැති ජීවියෙක් නිසාත්, අලියෙක් තරං සරීර කූඩුවක් තියෙන නිසාත්, ගමේ රටේ නොවෙන හෙන ගොන් විලෝපික ස්භාවයක් තියෙන නිසාත් හැමෝටම වැඩේ ටිකක් ඔඩ්.

ඕන් කොල්ලො කෙල්ලෝ ඔක්කෝලම පංතියට ගිහින් පිළිවෙලට අඩුක් උනා කියමුකෝ.. ඒත් ඉතින් පුංචි අලි පැටියා අර හිටපු ආකාරයෙන්ම කොට බිත්තියට හේත්තු වෙලා අහස දිහා බලාන ඉන්නවා. නවය වසර ජී පන්තියේ හිටපු ගැහැණු පිරිමි මල් පලතුරු, හතලිස් හතරදෙනෙක් වෙන සේරෝම කට අරගෙන පුංචි අලි පැටියා දිහා බලාන ඉන්නවා. අලි පැටියා ෂෝරූම් එකේ දැම්මා හා සමානයි. අල්ලපු පන්ති දෙකේ ඉන්න එවුනුත් බිත්ති කොන් වලින් එබීගෙන අලි පැටියා දිහා බැල්ම දානව. එහෙම කරලා මිනිස්සු අපහසුතාවයට පත්කරන එක හොඳ නැති උනත් අපේ එවුන්ට ඒසා විනයක් තිබ්බේ නෑ. මිනිස්සු අපහසුතාවයට පත්කිරීම කලාවක්නම් අපේ එවුන් ඒකෙ පිකාසෝ මට්ටමත් පහුකරගෙන  වෘත්තීය මට්ටමත් පහුකරගෙන ගිහින් තිබ්බ කොල්ලො සෙට් එකක්.  ඔය වගේ වාතාවරණයක් ඇතුලේ තමයි අපේ පන්තිභාර ටීචර් පන්තියට වාර්තා කරන්නේ..

ඕන් එතැනින් පස්සෙන්පහු තමයි ඒ වාසනාවන්ත අනර්ඝ අවස්තාව හෙවත්, පුංචි අලි පැටියා නවය වසර ජී පන්තියේ සාඩම්බර සාමාජිකත්වය ලබන්නේ. ටීචර් ප්‍රසිද්දියේ අහපු ප්‍රශ්න කීපයකට අනුව පුංචි අලි පැටියා පැමිණ සිටින්නේ මැණික්පුරයෙන්. කලින් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ මැණික්පුරයේම තමයි. ගොඩයාට හිතිච්ච ආකාරයෙන් මූ ෆේල් වෙච්චි කතාවක් ආරංචියක් නෑ.. පුංචි අලි පැටියාගෙන් කියවෙන විස්තර වලට අනුව දෙමාපියන් කෝටිපති ව්‍යාපාරිකයන්. එව්වා ඇහෙද්දී ඉතින් අපේ එවුන්ට දැනෙන්නේ කණට මීපැණි වත්කරනා ආකාරයක්. ඒ වගේම පුංචි අලි පැටියා නොකිව්වත් මැණික් පුරයෙන් අම්බලන්ගොඩට ඩිපෝර්ට් කරපු ආකාරයක් තමයි පෙන්නුම් කරේ. අපේ කට්ටියට වඩාත්ම සිත්ගන්නාසුළු ආරංචිය නම් පුංචි අලි පැටියාගේ අම්බලන්ගොඩ භාරකාරත්වය දරන්නේ පොලිසියේ ඉහලම ඉහල තනතුරක් දරනා නිලධාරියෙක්. ඒ කියන්නේ අපේ එවුන්ගේ පාසල් පරිභාහිර නසරානි වැඩ වලට පුංචි පහේ ආරක්ෂාවකුත් අරගෙන තමයි පුංචි අලි පැටියා පැමිණ තිබෙන්නේ. රාජ්‍ය ආරක්ෂාවකුත් සමගින් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍ර රත්නයක් පන්තියට වැඩමකළා  කියන්නේ ඉතින් පුදුම පහනත් සාක්කුවේ දාගෙන ඇලඩින්  පංතියට ආව වගේ සීන්කෝන් එකක්. අලි සරීර කූඩුවක් එක්ක තඩි අතපය හතරක් පන්තියේ ඉදිරිපෙළ සටන් කරුවන් අතරට එකතුවුනා කියන්නේ පන්තියේ ස්වාධිපත්‍යය බිඳින්න ප්‍රහාර එල්ලකරන විජාතික බලවේග වලට ලොකු අභියෝගයක්. ඒ වගේ ඉදිරිපෙළ ආරක්ෂකයෙක් පොලිස් බලතල සමග පැමිණීමත් අදහන්න බැරි ආශ්චර්යක්. ඉතින් ඒ වගේ පුද්ගලයෙකුට කොහොම වෙල්කම් එකක් පන්තියෙන් ලැබෙන්න ඇතිද කියල නිකමට හිතන්නකෝ.  

ඔය කිව්ව ආකාරයෙන් පුංචි අලි පැටියා පන්තියේ ප්‍රභල සාමාජිකයෙක් වෙන්න වැඩිකල් ගියේ නෑ. හැබැයි ඉතින් අලියෙක් වගේ සරීර කූඩුවක් තිබ්බට මෑන්ස් කූඹියෙක් ගානට අහිංසකයි. ඒ වගේම අවිහිංසාවාදීයි. කාටවත්ම හිරිහැරයක් කරන්නෙම නැති තරම්. ඒ කිව්වේ තරහකාරයෙකුටවත් නියපිටින් පාරක් ගහන්න ඉදිරිපත් වෙන්නේ නැති තරම්.  මෑන්ස්ට ඉන්නම නොදී වදදෙන එකෙකුට දෙන්නෙකුට ඉඳලා හිටලා අත ගුලි කරලා පිට මැද්දෑවට ගුටියක් දෙකක් ඇන්නට එව්වා ඉතින් ගුටි ගණයට දාන්න බෑ. මොකද එව්වා හෙන ගෑනු ෂොට්. හැබැයි ඉතින් එව්වායෙ බර රාත්තල් වලින් ගත්තොත් දෙතුන්සීයක බර ෂොට්. එව්වා වැඩි හරියක්ම ලැබෙන්නේ අපේ හික්කඩුවේ මිත්‍රයාට සහ බූලාට නිසා වැඩි ගානක් නෑ. ඔය කිව්ව ඩබලටම ගුටි කෑම යනු බත් කෑමට තරම්වත් ගානක් තිබ්බේ නෑ. මොකද උන්ට ගහලා රිද්දන්න බෑ.. කොච්චර ගැහුවත් පිඹුරාට තලන්නැහේ තමයි.. මෙලෝ ගානක් නෑ.. ඔය කිව්ව දෙන්න අලියාගෙන් කාපු පොල් අඩි ගොඩයා වගේ කැහැටු එකෙක් කෑවනම් අද වෙද්දී ගොඩයා වලේ අලියා හිරේ..

පුංචි අලි පැටියා එහෙම අහිංසක එකෙක් උනාට අපේ එවුන් නොමිලේ ලැබිච්ච සෝසස් ප්‍රයෝජනයක් නැතුව අපතේ යවන එවුන් නෙවෙයි. ඒ නිසා වලියක් ඇතිනම් පුංචි අලි පැටියා බලෙන් තල්ලු කරගෙන යාම අනිවාර්යයි. ඒත් ඉතින් අලියා නෙවෙයි කාටවත් අතක් ඉස්සුවේ. ගැහුවේ නැතුවට කමක් නෑ රජෝ ටිකක් කේන්ති ගිය ස්භාවයෙන් හිටපං රත්තරන් කියල කිව්වාම ඔන්න පොඩ්ඩක් ඔරෝගෙන හිටියට ඒ ඔරෝගෙන ඉන්න එකත් විනාඩියකට දෙකකට වඩා නෑ. ඒත් ඉතින් ප්‍රතිවාදීන් මුගේ සරීර කූඩුවේ පරිමාව දැක්කාම වැඩිය ලංවෙන්නේ නෑ.. ඕනෑම මොලේ නැති එකෙකුට තේරෙනවා ඒ සා සරීර කූඩුවක් තියෙන පුද්ගලයෙක් ගාවට ලංවීම අනතුරු සහිතයි කියන එක . එකෙකුට දෙන්නෙකුට නෙලපන් සාමි කියල කොච්චර කිව්වත් අලියා ලව්වා කිසිම ප්‍රතිවාදියෙකුට නෙලවන්න අපේ එවුන්ට අවුරුදු තුනක් ට්‍රයි කරලත් බැරිවුනා. වැඩිම උනොත් ඉතින් මොහොමඩ් අලි බොක්සිං වළල්ල ඇතුලේ බොක්සිං ගහන්න කලින් උඩ පනින්නැහේ දෙතුන් වතාවක් අත් දෙක ගුලි කරගෙන උඩ පනියි. නිකමට හිතිං මවාගන්නකෝ අලියෙක් උඩ පනින සීන් එකක්.. අන්න ඒ වගේ තමයි.. කැතේ බෑ.. හැබැයි කොච්චර උඩ පැන්නත් ඉතින් මලාට කාටවත් නියපිටින් පාරක් ගහන්නේ නෑ. ඒත් ඉතින් අර සා විසාල අතකින් පාරක් කෑවොත් හත් අවුරුද්දක් ඉස්පිරිතාලේ ලගින්න වෙනවා කියලා ඉවෙන්ම දන්නා ප්‍රතිවාදීන් කව්රුත් අලියා පහුකරන් ගොඩයලාගේ පන්තියේ සෙට් එක ගාවට කිට්ටු කරේ නෑ. බිල්ලෝ පෙන්නලා පොඩි එවුන්ට බත් කවනවා වගේ පුංචි අලි පැටියා පෙන්නලා ගොඩ දාගත්තු වලිබලි අපමණයි අපේ එවුන්. අලියාටත් වටවෙලා නෙලලා දල කපාගෙන යන්න පුළුවන් තරම් එවුන් ගේම ඉල්ලගෙන හිටියත් අලියාට තිබ්බ පොලිස් ආරක්ෂාව ඒ සියල්ලම පරාද කරා. සරීර කූඩුව නිසාත්, ගමට පිටින් පැමිණි ඩයල් එක නිසාත්, පොලිස් සම්භන්ධය නිසාත් අලියා ඉස්කෝලේ ඇතුලේ ප්‍රසිද්ධ වෙන්න ගියේ සති කීපයයි. රැලේ මුලට අලියා තිබ්බාම පස්සෙන් ඉන්න කැනහිල්ලුන්ට නොමිලේම ආරක්ෂාව හිමිවෙච්ච නිසා අපේ කට්ටිය ඕනෑම චන්ඩියෙකුට ගේම ඉල්ලන්න දෙපාරක් හිතුවේ නෑ. ඒත් ඉතින් අහිංසක පුංචි අලි පැටියා පන්තියේ එකෙකුට දෙන්නෙකුට බැරිම තැන තඩි බෑවා මිසක් පිට එකෙකුට නම් කවදාවත් අතක් ඉස්සුවේ නෑ. 

අලියාගේ ආගමනයට කලින් පන්තියේ කොල්ලන් අතේ ගැවසුන රුපියල් පහේ කොළ දහයේ කොළ, සිල්ලර කාසි වෙනුවට අලියා හරහා සීයේ කොළ, පන්සීයේ කොළ, දාහේ කොළ එහෙමත් පන්තියට ආව. අලියා පැවත එන්නේ කෝටිපති ව්‍යාපාරික පවුලකින් නිසා සල්ලි සබන් ගානට වැටුන අපේ එවුන්ට. හැබැයි ඉතින් කපටිකම අන්තිම දශමෙට ප්‍රයෝජනයට ගත්තු අපේ එවුන් අලියාගේ සීයේ කොළ කවදාවත් කැන්ටිමාට සම්පූර්ණ එක පිටින් පූජා කරේ නෑ. එව්වා ඉතින් කන්ටිමාගේ සල්ලි වට්ටියට ගියේ දෙකට ඉරීල විතරමයි. ඒ විස්තර සීය දෙසීය කිරීම කලාව පොස්ට් එකේ සවිස්තරව ලියවිලා තියෙන නිසා මෙහිලා ආයේ ලියවෙන්නේ නෑ.

පස්සේ දැනගත්තු විදිහට අලියා මැණික් පුරයෙන් අම්බලංගොඩට ඩිපෝර්ට් කරලා තියෙන්නේ එහෙ තියාගෙන හදන්න බැරි නිසාලු. එහෙම බැලුවාම අලියා කොයිතරම් පින් කරලා ඇත්ද ඒ වගේ සුවච කීකරු විනයගරුක මිත්‍ර පිරිසකගේ ඇසුර ලබන්න. කොටින්ම කියනවනම් සත්තිගුන්භ ජාතක කතා වස්තුවේ තාපසාරාමෙට වැටුණු ගිරා පැටියා වගේ තමා. ඒත් ඉතින් වසර තුනක අවෑමෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තු ස්භාවය අලියාගේ දෙමවුපියන්ට වැටහුණු නිසාදෝ සාපෙළ අවසානයේ අලියාට  නැවතත් මැණික් පුරයේ පුරවැසිභාවය ලැබුන. දැන් වෙද්දී අලියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ ඇරුනාම දෙදරු පියෙක්. තාමත් ඉස්සර වගේම අහිංසකයි රටක් වටියි. ගොඩයා නම් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේත් අලියා බලන්න ගිහින් ආව. ඒ වගේම අලියාගේ නගරය පහුකරන් යන අපේ එවුන් ඕනෑම එකෙක් අලියා බලන්න නවතින්න අදත් අමතක කරන්නේ නෑ. ඒ වෙලාවට අලියා අපේ එවුන්ට ඇතිවෙන්න සත්කාර කරන්නත් අමතක කරන්නෙ නෑ. දැන් ඉතින් අලියා මේක කියවලා ගොඩයාට ගේම ඉල්ලුවොත් කියලා හිතෙන නිසා අලියගේ ප්‍රේම වෘතාන්තයන් වගේ ලජ්ජා හිතෙන කෑලි බෑලි මේකේ ලිව්වේ නෑ.. එව්වා ඉතින් ගොඩගේ ආරක්ෂාවට පසුව භාවිතා කිරීම පිණිස ඉතිරි කළා. අලියාගේ වෙඩිමේ විස්තරත්, ඒ ගිහින් එද්දී ගොඩයා මැණික් පුරයේ හිටං අම්බලන්ගොඩට එනකල්ම විඳපු දුක් වේදනා ගැනත් පීටර් ගැන ලියවෙන පොස්ට් එකේදී ලියවේවි. මේ පෝස්ට් එක අලියා වෙනුවෙන්ම නිසා පෝස්ට් එක මෙතකින් නිමයි. ඒත් ඉතින් නැට්ට පිටින් අම්බලන්ගොඩ ආපු අලියා නැට්ට කපලා මොඩ් කරලා අහවර වෙලා කාටවත් අහු නොවී ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්න කලාව උගන්නපු ගෞරවේ 1993 අවුරුද්දේ සාමාන්‍යපෙළ කරපු "ජී" පන්තියේ සෙට් එකට හිමිවිය යුතුයි. දෛවය විසින් අලියා 1991 අවුරුද්දේ අම්බලන්ගොඩ එව්වේ නැත්තම් ඉතින් අදත් අලියාගේ නැට්ටේ ඉඳන් ගොම....

45 comments:

  1. ඕන් මම අද එක.කස්ටියට සිදෙයි ආ...

    ReplyDelete
    Replies
    1. ඕහේ දන්නවැයි පාං රුපියල් පහකිං ගණං වැඩි වෙලා. ඉතිං අපට පාංයැ.

      Delete
    2. දොස්තර මහත්තය පාං කන එක තහනම් කරා බං.ඉතිං මටත් පාංද 😂

      Delete
  2. නෙද්දකිං මේකෙ පෙරවදන විතරයිනෙ බොල තියෙන්නෙ. ගැහුවෙ නැති උනත් ඕවගේ සයිස් එකෙක් ඉස්සරහට දැම්මම ආරක්ෂාව ගැන බය වෙන්න ඕන වෙන්නෑ.

    ReplyDelete
  3. තඩියාට ඉක්මන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොසන්නයෝ.මම සුවෙන් 🙂

      Delete
  4. අහ් මෙ තඩි අයියා ඇවිල්ලා තියෙන්නේ.. ඔයාට ඉක්මන් සුවය පතනවා...ගොඩය්යෙ මමත් ඔය ඇසේම්බ්ලියෙ බොරු කලන්ත දාපු කෙල්ලක් තමා...නෙළුම් රාණි මිස් වගෙ ගුරුවරුන්ට තමා ගුරු දෙවිවරු කියන්නේ...

    ReplyDelete
  5. තඩිය,අලිය පරදා බඩ තඩියා ඉදිරියටම ගොහින් නෙව දැන්.කාලෙකින් දැක්කෙ නෑ මමනම් උබ දැක්කනෙ නිවාඩුවේදි.අපි දෙන්නම ඌට පරාදයි නේද සොදුර

    ReplyDelete
  6. ගොඩයාගේ අලුත් පොස්ටුව ගැන සහ නැවත ලිවීම ගැන ආටියා ට ඇත්තේ බලවත් සතුටක්ය . ආටියා ලියු අන්තිම පොස්ටුවේ ද ගොඩයා මතක් තිබුනේ කාලයක් යනතුරු නොලියපු නිසාය .

    ඔය කියන විදියට තඩියා බයිපාස් සැත්කමක් කර තිබෙනට ඇති ය . ආටියා ද තඩියාට ඉක්මන් සුවය පතන්නෙමි . අලිපැටියාට අම්බලන්ගොඩදී ලෝකය පෙන්නන්නට එහි සිටි සෙට්එක කටයුතු කර ඇති බව නම් විශ්වාසය .

    කෙසේවෙතත් ඇස්ට්‍රා මාගරින් ලොරියක තියෙන විටමින් ඩී නොමිලේ ම ලබාදෙන උදේ රැස්වීම් නම් මතු බවයකවත් එපා ය .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන මම සුවෙන් 👍

      Delete
  7. තඩියා ට ඉක්මන් සුවය පතනවා. හෙමි හෙමින් හරි ඇවිදින්න, හොර කරන්නෙ නැතුව. :)

    අපේ ඉස්කෝලෙත් තිබුණා ඔහොම ඇසෙම්බ්ලි එකක්. පුදුම කරුමයක් ඒක නම්. ගෑණු ළමයි විතරයි ඉතින් වැඩිය කෑ ගහන්නෙත් නෑ, දඟලන්නෙත් නෑ. කලන්තේ දාල නම් වැටෙනවා ඕසෙට, බොරුවටත් නෙවෙයි හැබැයි ඇත්තටම. ඒ ළමයින් ව ඇසෙම්බ්ලි එක ලඟම තියන පන්ති පේලියේ වාඩි කරලා තියනවා, වාඩි වෙලා ඉඳන් මේ කියන දේවල් අහන් ඉඳපන් කියල. ඒ නිසා බොරුවට කලන්තෙ දැම්මත් වැඩි සෙතක් නෑ.

    ReplyDelete
  8. Hammoh thoge boru.... e unata ubata garu karanawa ara katha tika liwwe nathi ekata....

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ ආපු අලියා නැට්ට කපලා 🤣🤣🤣😂

      Delete
    2. පුන්චි අලි පැටියෝ ගොඩය බොරු කියන්නැ සත්තයි 😝😝😝 නුවනෝ අලි පැටියගෙ නැට්ට කැපුවෙ උබද? 😂😂😂

      Delete
  9. මේකෙ තියන ගොඩක් ඒවා කලින් කියෙව්වා වගේ මතකයි
    ජයවේවා

    ReplyDelete
  10. Thadiya ayyata Ikman suwaya labewa..
    Godaya ayyata ikmanin post ekak dameemata labewa

    ReplyDelete
  11. ආයෙ මොනාද අප්ප. ගොඩය උබ නං ඉස්තරන්.
    1994 දි වගේ රිච්මන්ඩ් එකේ බාලදක්ෂ ජම්බෝරියක් තිබ්බ. අපි ඒ දවස්වල පෝතක බාලදක්ෂ. අපි කුඩාරම් ගහගෙන ඉන්නකොට මානවක බාලදක්ෂ අයිය කෙනෙක් ඇවිත් කිව්ව, ටිලාන් මල්ලි සංගමිත්තෙන් ප්‍රථමාධාර කණ්ඩායමෙන් ආව ලස්සන අක්ක කෙනෙක් ඉන්නව. මට එයා එක්ක කතාකරන්න ඕන. උබ බොරු කළන්තයක් හදාගනින්. අපි උබව එක්කරගෙන ගෙන යන්නං. එතකොට එයා එක්ක මට කතා කරන්න පුළුවන් කියල. මම හම්මෝ බොරු කලන්තයක් හදන් වැටුන. ප්‍රථමාධාර අංශයට අරං ගියා. එතකොට එතන හිටියෙ මගේම අක්ක. මේ යකා සීන් එක දාල තියෙන්නෙ මගේ එකකුස උපන් අක්කට. වැඩේ ඔකොම මාට්ටු. ජම්බෝරිය ඉවරවෙලා ගෙදර ගිය ගමන් ජම්බෝරියට හරියන්න ගුටි සම්බෝලයක් මට හම්බ උනා..

    ඊට අවුරුදු කිහිපයකට පස්සෙ කොහෙද එකෙක් අපේ ඒරියා එකට පහත්වෙලා අපේ ඒරියා එකට අපේ ගෙවල් පැත්තෙ ඉන්න උන්ට අම්බ වාතයක් උනා. අක්කල තියා අම්මලටවත් පාරේ බැහැල යන්න බැරි උනා. ඒ දවස්වල මම O/L කරන හුජ්ජ කොල්ල. හැබැයි චීන කොරටුව අයිස් මෝල එක්ක කන්ටැක්ට් තියාගන්න ගත්ත දවස්. මම බැරිම තැන xxx කිව්ව xxx අයියෙ පොඩි අවුලක් කියල. උගේම ට්‍රේල් බයික් එකෙන් එක්කරගෙන ගිහිල් ගෙදරින් බස්සල මට කිව්ව ගිහිල්ල කතා කරපං කියල. බුවා එලියට ආව. මට කිව්ව ටික්ක මල්ලි ගහපං ඕකට කන පැලෙන්න කියල. හනේ මන්ද මම ගැහුව මගේ උපරිමයෙන්ම මුණ පුරවල. දැන් නම් බුවා යහපාලනයේ ඇමතිවරයෙක්. ඒ වගේම ලෝයර් කෙනෙක්. කොහොමද ඒක..!!

    හොඳම සීන් එක කියන්නෙ 2007 දී මම ලංකාවේ අන්තර්ජාතික බැංකුවක ලීගල් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට මම වැඩ කරනකොට මට ඔය කියන ඒ දවස්වල නියෝජ්‍ය ඇමතිතුමා අලුත්කඩේ උසාවියේදී හම්බ උනා. මම ටක් ගාල ටයි එකයි නේම් බැජ් එක සාක්කුවට දාගෙන බුවා ලඟට ගියා. අර ගාල්ලේ සීන් එකේ මගේ සර් හම්බුනා වගේ මු මගෙන් ඇහුව මොකද අළුත් කඩේ කියල. මම කිව්ව අනේ සර් අත් බෝම්බ දෙකකුයි තුවක්කු දෙකකුත් එක්ක මම අහු උනා සර් ට පුලුවන්නං මට ඇප අරං දෙන්න කියල. එතකොටම අපේ බැංකුවේ සීනියර් ලෝයර් ආව... "ආ.. ටිලාන් මහත්තය. මහත්තයගෙ බැංකුවෙ නඩු ඔක්කොම අද ඉවරනෙ. මොකද අද ගෙදරින් කෑම ගෙනාවේ නැද්ද? කමක් නැහැ අපි එක්ක කෑම කමු" කියල. අරූට උතුර දකුණ මාරු උනා කියහන්කෝ.

    මට අදටත් මතකයි ඌ මගේ පස්සෙ ආව හැටි.. "මල්ලි උබ කවුද? උබ ජනාදිපති ලෝයර් කෙනෙක් ද මල්ලි? අනේ මල්ලි උබ මේ මට කියන දේවල් තේරෙන්නේ නැහැ,," කිය කිය..


    -----------------------

    මම හෙන බිසී බන් අම්බලන්ගොඩයෝ... දැන් මම දෙන්නෙක්..

    සමාවෙයන්... මේ සිංහල බ්ලොග් එක දැන් වේස ගෑනියෙක් වෙලා බං.. මම උබ, අටම, මාතලන්, කල්‍යාණ, යාන්, කන්ඩ , ලබ්බ එකී මෙකී සමහර දෙනාට (සම-හරක්ට)නෙමෙයි. පට්ට ලව්..

    ReplyDelete
    Replies
    1. ටික්කාතුමා ව දැක්කේ හුග කාලෙකින් .

      Delete
    2. ආ... ටික්ක බොස්. ඔහේ කොහොමෙයි දෙන්නෙක් උනේ. හැක්..

      Delete
    3. කලණ මචෝ.. මම බ්ලොග් එක අත ඇරිය මචං. බොහොම දුකයි මට. ඉස්සරනං වරද දැක්ක තැන මරාගත්ත. දැන් මම නෙල්සල් මැන්ඩෙලා වෙන්න යන්නෙ නැහැ අනික මගේ ආදරණිය ප්‍රියම්භිකාව ගෙදර ඉන්නව. ලබන අවුරුද්දෙ ලංකාවට ඇවිල්ල ලොකුවට උත්සවේ ගන්නයි ඉන්නෙ. බලමුකෝ..

      @ Praසන්ன හා හා.. පෙරේදා ගෙදර එද්දි අල්ලපු ගෙදර සුද්දි සුද්දට කියල උබට වැඩිය හොඳයි අල්ලපු ගෙදර ඉන්න ශ්‍රී ලංකන් කොල්ල කියල බලෙන්ම ඇවිල්ල මගේ කාමරේ පදිංචි උනා කියහන්කෝ... :D

      උබලටත් මගුල කියන්නන්කෝ හොඳේ... මම එහෙමයි..

      තව අවුරුද්දකින් හමු වෙමු..

      Delete
    4. ඒකත් ජයසිරි මංගලං කියුවලු , හේහ හෙහ් බොට වෙන දේවල් ...........

      Delete
    5. /// පෙරේදා ගෙදර එද්දි අල්ලපු ගෙදර සුද්දි සුද්දට කියල උබට වැඩිය හොඳයි අල්ලපු ගෙදර ඉන්න ශ්‍රී ලංකන් කොල්ල කියල බලෙන්ම ඇවිල්ල මගේ කාමරේ පදිංචි උනා කියහන්කෝ... :D ///

      වෙන්න තියෙන දෙයක් වළක්වන්න බැහැ කියල කියන්නේ නිකමටද මචං... ;)

      Delete
    6. ඩබල් උනා කියල ලිවිල්ල නවතන්න එයා බොල .
      ඔන්න ට්‍රිිපල් වෙච්ච කාලකෙ නවතත්පන්

      Delete
    7. අම්මේ උඹ මැරිලා නෑ නේද ? දාපු මැසේජ් එකකටවත් උත්තර නැති උනහම බැලුව මොකෝ කියල, බලනකොට කොල්ලගේ නාහේ විදලා නාස් ලණුව දාන්න :)

      //... දැන් මම දෙන්නෙක්.. // වාසනාවන්, ජයෙන් ජයම වේවා !!!

      Delete
    8. @ටික්කා - නියමයි මචං ...... එහෙනම් සිරිසුබ මංගලම් කියල අපිත් හදවතින් ප්‍රාර්තනා කරනවා . සුද්දියක් බැන්ද එක හොදයි ... හේ හේ හේ .

      දුක කියන්නේ .... බ්ලොග් එක අත ඇරිය කතාවට මචෝ . කොහොම හරි මසකට වරක් වත් ලියන්න කියා මම ආරාධනා කරනවා එහෙනම් .

      Delete
  12. මෙි ලියලා තියන ගොඩක් දේවල් කියවලා තියනවා වගේ මතකයි නේ...
    කමක් නැ කමක් නැ අමිබලන්ගෙඩ අයියා ලියාපු එකම මැදැ.....හිත හදා ගන්න...

    ReplyDelete
  13. තඩියා උඩ කමෙන්ට් දාල තියෙන්නේ ඒකට දැන් හොඳද...
    ඉක්මන් සුව තඩියා මහතා...

    අපෙත් හිටියා ඔය වගේ විසාල ශරීර කුඩුවක් තියෙන ඩයල් එකක්...
    ආතල්ම වැඩේ කියන්නේ ඌ එක්ක හැමතිස්සෙම වලියට යන්නේ ඒ පන්තියේ හිටපු පොඩිම එකා...
    හැබැයි එක දවසක් අරූට මළ පැනලා දෙකක් දීලා, අන්තිමට අපි බලද්දී අර හැමදාම ගේම ඉල්ලන එකා පැත්තකට වෙලා අඬනවා...

    ReplyDelete
    Replies
    1. සුවෙන් සිටිනව ලොකූ...👍 අවුරුදු 15ක රට ජීවිතේ සල්ලි වලට අමතරව කාපු බීපුවගෙන් ඇගට හම්බකරපුව තමයි පොලියත් එක්ක හම්බුනේ.දැන් ඉතිං දැහැමි ජීවිතයක් ගතකරනව.මං පව් නෙහ් 😭

      Delete
  14. කොහොමද බං කහඹිලියා මිටියක් සාකුවේ දාගෙන ඉන්නෙ ? ඒ කෑල්ල කෙබරයක් නේද ?

    ReplyDelete
  15. තඩියා සුවෙන් කියලා ඌම කියලා තියෙන නිසා අවුලක් නෑ.... කොයි එකටත් දැං පරිස්සමින් මචං... ශරීර සෞඛ්‍ය ගැන මීට වඩා උනන්දු වෙයන්...
    හම්මේ අපිත් අසෙම්බ්ලි එකේ ක්ලාන්ත වෙලා හොස්ටල් එකේ පඩිපෙළේ වාඩි වෙලා ඉඳලා තියෙනවා හැක්

    ReplyDelete
  16. කෝ මේ ඇම්බැලැන්ගොඩය.

    ReplyDelete
  17. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
  18. කියවලා ටික දවසක් වුණත්, කමෙන්ට් කරන්න පරක්කු වුණා. එහෙමට මෙහෙට දුවන ගමන් තමයි බලන්නෙත්.

    ReplyDelete
  19. අම්බලන්ගොඩය ගැන කියන්න එකෙක් නෑවෙ අාසාවට....චැහ්

    ReplyDelete
  20. තිඩියා මහතා හෝ අමිබලන්ගෙඩයා ගැන සොයා බලා කරැනු විමසා නොලිවිම ගැන වාර්තා කරනු........

    ReplyDelete