Sunday, January 19, 2020

අරා, පැස්බරා සහ අනිල් අයියා..








ඕං ගොඩයා පෝස්ට් එකක් ලියන්නයි කියලා ලැහැස්ති උන හැම වතාවෙම පටන් ගැනීමේ අටුවා ටිකා ටිප්පනි ලියලා ඉවර වෙනකොටම ලියාගෙන යාමේ කම්මැලිකම හැදෙනව මේ දවස්වල. එහෙම ලියන්න පටාන් ගතපු පෝස්ට් අටෝරාසියක් බ්ලොග් කොටේ හැමතැනම උනාට ගොඩයාට එව්වා ගැන වගක්වත් නෑ. ඒ නිසා ගොඩයා ආයෙ වටේ යන්නෙ නැතුවම ලියන්න ආපු සිතුවිල්ල අකුරු කරලා දානවා එහෙනං අමුවෙංම.

ඕං අරා පැස්බරා කිව්වාම ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම රේඩියෝ අහපු ඔනෑම කෙනෙක් දන්නවා ඇතිනේ. ඒ නිසා ගොඩයා ඒඋං දෙන්නා ගැන වැඩි යමක් කියන්න ලියන්න යන්නෙ නෑ. මොකද කියනවනං උං දෙන්නා කලින් හිටපු රේඩියෝවෙං පැනලා ගිහින් ආං දැං වෙන එෆ්.එම් එකක ගජරාමෙට වැඩ. ඒ නිසා දැන් උං දෙන්නා උං දෙන්නගෙ කලින් කසාදෙ නං ගං වෙනස් කරලා උප්පැන්නෙ තියෙන නමිං වැඩ. ඒ නිසා ආයෙම ඉතිං කියන්න දෙයක් නෑ අරවින්දයි ආශ්චර්යායි කිව්වම උදේට සියත එෆ් එම් අහන හැමෝම දන්නවා ඇති. ඕන් ඉතිං දැන් ගොඩයා ඒඋං දෙන්නයි උංගෙ එෆ්.එම් එක ගැනයි ලිව්වා කියලා ගොඩයාව සල්ලි වලට කුලියට ලියන එකෙක් ගානට දාගන්නවා  එහෙම නෙවෙයි.

රෙඩියෝව කිව්වම ගොඩයාට සෑහෙන සමීප මිත්‍රයෙකුටත් වඩා පවුලේ කෙනෙක් විදිහට තමා හඳුන්වන්න වෙන්නෙ. එහෙම කිව්වම සමහරු හිතයි ගොඩයා මොකක් හරි රේඩියෝ චැනල් එකකට කඩේ යනවාදෝ කියලත්. රේඩියෝව ගොඩයාට සමීප පවුලේ සාමාජිකයෙක් වෙන්නෙ ගොඩයාට වයස අවුරුදු පහලොවේ දහසයේ කාලෙ හිටං. වෙනම විදිහකට කිව්වොත් ඒ කාලෙ ගොඩයලාගෙ ගෙදර පවුල් දෙකක් වාසය කරා කියමුකෝ.. එකක් තමා ගොඩයාගෙ ඩඩා, මමා සහ සහෝදරියන් දෙදෙනාගෙ පවුල. අනෙක තමා ගොඩයා සහ රේඩියෝව. ගොඩයා සතියකට වරක් දෙවරක් කරනා අවර ගනයේ මොකක් හෝ අසමජ්ජාති අමන වැඩක් නිසා ඩඩාගේ උදහසට ලක්වීම අනිවාර්ය අංගයක්. ඒ නිසා ඔය රුපියල් අස්සෙ අලුක්කාල් ගහන වැඩේ ගැලපෙන්නෙ නැති නිසා බත් පිඟාන කොටාබාන්න, ටීවී බලන්න වගේ වැඩක් ඇරුනාම ගොඩයා ගොඩයාගෙ රේඩියෝ පවුල එක්ක නිදියහන් ගබඩාවේ තමා වැඩි කාලයක් ගත කලේ. ගොඩයා මුල් කාලෙ ඇහුවෙ සිටි එෆ් එම්. ඒ කාලෙ එෆ් එම් චැනල් එකකට තිබ්බෙ සිටි එෆ් එම් විතරයි කියහංකො . ඒක අල්ලගන්නෙත් රේඩියෝවෙ ඒරියල් එක ගලෝලා මුදුං වහලෙ ගහලා තමා. ඕන් අනූ ගනන්වල මුල් කාලෙ තමයි මොකක්දෝ අද්භූත රේඩියෝ චැනල් එකක් එම් එම් හරහා කරලියට එන්නෙ. ආයෙ නිවේදකයෝ නෑ උදේ හිටං රෑ වෙනකල්ම සිංදුම විතරයි ආයුබෝවන්ඩ. දවසින් දෙකෙන් රට පුරා ජනප්‍රිය වෙච්චි ඔය කියන අද්භූත රේඩියෝ චැනල් එක ටික කාලෙකින් සිරස එම් එම් කියලා නමක් එහෙම දාගෙන කරලියට එනව. ඕං ඕහොම තමා අද වෙද්දි එෆ් එම් තරංග ඔස්සෙ ගිරව් වගේ කටමැත දොඩවන රාලහාමිලාගෙ උප්පත්තිය සිද්ද වෙන්නෙ. ආන් ඒ එෆ් එම් චැනල් ආගමනයෙන් පසුව ගොඩයා ප්‍රයිමරි ෆැමිලි එක එක්ක ගතකරන කාලය තව තවත් අඩු උනා දවසින් දවස. එතැන් පටන් ගොඩයාගෙ කාමරේ රේඩියෝව නැවතුනානම් ඒ ලයිට් ගිය වෙලාවකදී පමනයි. කොටිංම කියනවානං ගොඩයා සාමාන්‍යපෙළ සමත් වීම අරහයා මවුතුමියගෙන් අරං ඉල්ලපු තෑග්ග උනෙත් රේඩියෝවක්. එතෙක් කල් එහෙං මෙහෙං වයර් ගැටගහලා අටෝගෙන හිටපු රේඩියෝව අලුත්ම අලුත් සෝනි රේඩියෝවක් බවට පත් උනා ගොඩයා සාමාන්‍යපෙල සමත්වීමත් සමගම. වෙනම බෆල් පෙට්ටි දෙකක් සමග කැසට් ධාවන යන්ත්‍රයක් එහෙමත් තිබ්බ රෙඩියෝව ගොඩයාට රටක් රාජ්ජයක් ලැබුනා වගේ. පරන රේඩියෝවෙ තිබ්බ ස්පීකර් එක ගලෝලා අරගෙන ඒක සබ් වූෆර් එකක් බවට පත්කරගන්න ගොඩයාට ගියේ විනාඩි දහයයි. එතෙක් කල් හදිසියකට වතුර එකතු කරගන්න වගේම ටැප් ලයින් එකේ වතුර නැති වෙලාවට ලිඳෙන් වතුර එකක් ගේන්න ගොඩයාගෙ මමා පාවිච්චි කරපු ඇලුමීනියම් කලගෙඩිය ගොඩයාගෙ පොත් මේසෙ යට ස්ථානගත උනා. පරණ රේඩියෝවේ ස්පීකරය කලගෙඩියේ කට උඩින් ඇතුලට හිටින්න තිබ්බාම දැං කාලෙ සබ්වූෆර් කැලේ. එතෙක් කල් සාමාන්‍ය ආකාරයෙන් ගොඩයා සහ රෙඩියෝව අතර තිබ්බ ගනුදෙනුව සංකීර්ණ සවුන්ඩ් සෙටප් එකක් උනේ අන්න එහෙම. හැබැයි ඉතිං එහෙව් ශබ්ද පහසුකම් තිබුනා කියලා ගොඩයාගෙ ප්‍රයිමරි ෆමිලි එකට කරදරයක් වෙන්න රේඩියෝව දාන සිරිතක් ගොඩයා ලඟ තිබ්බෙ නෑ. සියලුම සෙල්ලම් කාමරේ සීමාව ඇතුලට ඇහෙන ප්‍රමානයට පමනයි. ඒකට හේතු දෙකයි. පලමු හේතුව ගොඩයා කැමති නෑ ගොඩයාගෙ ආතල් නිසා වටේපිටේ ඉන්න උදවිය අපහසුතාවයට පත් වෙනවාට. දෙවැනි හේතුව තමා ඕක වැඩි සද්දෙට දාලා මධ්‍යම රජයට කරදර උනොත් රේඩියෝවයි ගොඩයාවයි දෙන්නාම ගෙදරින් එලියට විසික් වෙන නිසා.

ඔය ආකාරයෙන් රේඩියෝ ගනුදෙනුව ලියාගෙන ගියොත් ගොඩයාගේ රේඩියෝ පිස්සුවට එදා හිටං අහපු හැම චැනල් එකකම හැම නිවේදකයෙක් ගානෙම ලියන්න දේවල් බොහොමයි. ඒ නිසා ඒ සම්භන්ධ දේවල් ඔය ඇති. ගොඩයාගෙ රේඩියෝ පිස්සුව කොයිතරංද කියලා කියනවානං, අර්ධ කාලීනව රේඩියෝ නිවේදකයෙක් වෙන්න හිතාගෙන ගොඩයා රේඩියෝ චැනල් එකක ඉන්ටව් එකකටත් ගියා කිහන්කො. ඒ නං හැබයි ගොඩයාගෙ රේඩියෝ පිස්සුව ඉවෙන් වගේ වටහාගත්තු කෙනෙක් ගොඩයා වෙනුවෙන් ඇප්ලිකේශන් එකක් නිසා. නිවේදක සහ හඬ කැවීම් වලින් එකක් තෝරගන්න කිව්වාම ගොඩයා තෝරාගත්තෙ හැඬ කැවීම් පැත්ත. ඉන්ටව් එකට ඇවිත් හිටපු සීයක් විතර සෙනගින් අනූවක් විතර නිවේදක තෝරාගනිද්දි ගොඩයා ඇතුලු කීපදෙනෙක් හැඬ කැවීම් පැත්තට ගියා.. හඬත් කැව්වා.. ඒත් අද වෙනකල් ඒ හඬ පරීක්ශනයට මොකෑ උනේ කියලා ගොඩයා දන්නෙ නෑ. සමහරවිට පිටසක්වල ජීවියෙකුගේ චරිතයක් රේඩියෝ නාට්‍යවල නැති නිසා ගොඩයාව කැඳවන්නෙ නැතුව ඇති.

ලංකාවෙන් එලියෙ හිටියා කියලා නෑ ගොඩයාගෙ රේඩියෝ ඇහිල්ල එහෙමමයි. වැඩ කරන අතරයි, වාහනේ එලවන අතරයි ගොඩයා ලංකාවෙ රේඩියෝ අහන්න දෙපාරක් හිතන්නෙ නෑ. හැබැයි කියන්න කනගාටුයි, ලාංකීය එෆ් එම් කලාවට වයස වසර විසිපහක් වෙද්දි ඒ කලාව අන්තෙටම පිරිහිලා ඉවරයි. නිවේදකයෝ කිව්වට වැඩි හරියක් වාචාල යක්කු. ඔහේ කටට එන දේවල් කියවනවා විතරයි මෙලෝ හරයක් නෑ. උං කියන්නෙ මොනවද කියලා බොහොමයක් වෙලාවට උංවත් දන්නෙ නෑ. ඊට හපං සිංදු. හයියෝ එව්ව ඇහුවාම හයිවේ එකේ යූ ටර්න් එකක් ගහන්න හිතෙනව මේ මොන අඬෝවැඩියාවක්ද කියලා හිතෙන නිසා. ගොඩයාට වැඩි හරියක් ඔය රේඩියෝ අහන වැඩේ සෙට් වෙන්නෙ ලංකාවෙ යක්කු ගස් යන වෙලාවට. ඒත් අම්මපල්ලා වෙලාවකට ගොඩයා ඔරලෝසුව දිහා බලනවා ඇත්තටම වෙලාව වැරදිලාද කියලා හිතෙන නිසා. ඇයි හත් ඉලව්වෙ දවල් දොලහට දාන්න ඕන වේග රිද්ම මේන් මුං යක්කු ගස් යන වෙලාවටත් දානවා කියහංකො.

ඕං ගොඩයා චැනල් එකෙන් චැනල් එකට මාරු වෙලා දැන් සියත එෆ් එම් ලඟ නැවතිලා ටික කාලයක්. මොකද කියනවානං අනික් චැනල්වල වගේ මෙලෝ රහක් නැතුව හරයක් නැතුව කියවන ගිරව් ඒකෙ අඩුයි. ගීත තේරීමත් ටිකාක් විතර පරන රේඩියෝ කලාවට බරයි. ඒ නිසා ගොඩයාගෙ කනේ තියන බ්ලූටූත් කෑල්ලෙන් නිතර සියත එෆ් එම් ඇහෙනවා දවල් දවස පුරා. ඒ කියන්නෙ ලංකාවෙ රෑ හතෙන් අටෙන් පස්සෙ වගේ.

ඕං ඊලඟට අනිල් අයියා කොහොමද මේ රේඩියෝ සීන් එකට සම්භන්ධ වෙන්නෙ කියමුකෝ. අනිල් අය්යා ගොඩයාව පුද්ගලිකව දන්නෙ නෑ. ඒ කාලෙ ගොඩයා රස්සාවට ගිය එක ඒසී බස් එකක රියදුරා තමා අනිල් අයියා කියන්නෙ. ඔය කියන ඒසී බස් එක අම්බලන්ගොඩින් පිටත් වෙන්නෙ උදේ පහයි හතලිහට. බස් එකේ අයිතිකාරයාගෙ මල්ලි හෙවත් සඳුන් තමයි කොන්දොස්තර . අනිල් අයියා සුපිරි ඩ්‍රයිවර්. ආයෙ දෙකක් නෑ කිසිම අතුරු උපද්‍රවයක් නැතුව ගමනාන්තයට ගෙනියනවා ගෙනියනවාම තමයි. ටොයෝටා කෝස්ටර් එකේ ආසනයේ හරිබරි ගැහිලා වාඩි වෙලා නින්දට වටුනාම අනිල් අයියා නෙවෙයි එකෙකුගෙවත් නින්ද කැඩුවෙ. කොටින්ම කිව්වොත් අම්බලන්ගොඩින් පිටත් වෙන්නෙත් ෆ්ලයිට් එක රනවේ එකට ගන්න වගේ බොහොම පරෙස්සමෙන්. වේගය වැඩි කරන්නෙත් පරෙස්සමෙන්. බ්‍රේක් ගහන්නෙ ඊටත් වඩා සෑහෙන පරෙස්සමෙන්. හැටට අසූවට විතර යද්දි මගියෙක් පාරෙ ඉඳලා අත දැම්මොත් අනිල් අයියා කවදාවත් බස් එකේ හොම්බ බිම ඇනෙන්න බ්‍රේක් ගහන්නෙ නෑ. පස්වෙනි ගියර් එකෙන් හතරට මාරු කරලා ක්ලච් එක අතෑරලා ආයෙම හතරෙන් තුනට මාරු කරලා ක්ලච් එක අතෑලරා ආයෙම තුනෙන් දෙවැනි ගියර් එකට මාරු කරලා ක්ලච් එක අතෑරලා තමයි අනිල් අයියා බස් එක නවත්තන්න බ්‍රේක් පැඩල් එකට කකුල තියන්නෙ. ආං ඒ වෙද්දි මගියා පහුවෙලා බස් කොටේ කිලෝමීටර භාගයක් විතර ඉස්සරහට ගිහිං. ඕං එතකොට කොන්දොස්තර සඳුනා කෝස්ටරේ දොර ඇරලා මගියා දිහාවට ඔලුව දැම්මාම සඳුනාට පේන්නෙ මගියා අතපය විසික් කරලා බොඩි ලැන්වේජ් එකෙන් කියන්න උත්සහා කරන අසභ්‍ය  කතාන්දර තේරුම් ගන්න සඳුනාට වැඩි අමාරුවක් නෑ. . මොකද කියනවානම් අනිල් අයියාගෙ නැවත්වීමෙ කලාවට පිං සිද්දවෙන්න මගියා ඉන්න දුර වැඩි නිසා මගියා කියනදේ සඳුනාට ඇහෙන්නෙ නෑ. කලාතුරකින් දවසක රිවස් එකේ ටිකක් දුර ගිහින් මගියාව දාගන්නත් අනිල් අයියා නොහිතන්නෙත් නෑ. ඉතිං ආයුබෝවන්ඩ අනිල් අයියා එක්ක ගිහින් කවදා  රස්සවට  යන්න කියලද. පානදුර කලුතර දුවන සෙක්ශන් බසුත් අනිල් අයියට ඉස්සර කරනව කියහංකො සමහරක් දවසට. ඉතිං ගාල්ලෙන් මාතරිං එන ඒසී, නෝර්මල්, සෙමි ලක්සරි ගැන කුමන කතාද. උං යන්නෙ කනට ගහගෙන යන්න වගේ. අනිල් අයිය නෙවේ එව්වයින් සැලෙන්නෙ. මෑන්ස් යන්නෙ මෑන්ස්ගෙ ගමනේම තමා.  වේගය හැටක් වගේ ඇති උපරිමයෙන්ම.

ඕං වන්දනා නඩයක් අටමස්ථානෙ එක්ක යන ගානට කොලඹ යන අනිල් අයියා දෙහිවල පහු කරද්දි අනිවා හත පනිනවා දෙකක් නෑ. අන්න ඒ වෙද්දි ගොඩයා ඉන්නෙ අනිල් අයියව බාබිකිව් දාගෙන කන මූඩ් එකේ. මොකද කියනවනං ගොඩයාගෙ ලොක්කා උදේ අට වෙනකං රතු පෑන අතේ තියාගෙන බලාන ඉන්නෙ මෑන්ගෙ ආසම රාජකාරිය වෙන ඉර ගැසීමේ රාජකාරිය කරලා ඒ ලැබෙන වින්දනය පපුව පුරා විඳගන්න. ඉතිං කියහංකෝ අනිල් අයියා එක්ක ගිහින් රස්සාව කරන්න පුලුවනිද?

ඕං ඒ අතරේ තමයි අරයි පැස්බරායි ඉන්න චැනල් එකේ රේඩියෝ ශෝ එක පටන් ගන්නෙ. ඕන් නින්දෙ ඉන්න එවුනුත් නින්දෙන්න හිනාවෙන තරමට වැඩේ නැගලා යනව. අනිල් අයියත් මොරටුව පිටකොටුව සෙක්ශන් බස් එකක් පස්සෙන් හීන් සීරුවට අඩියෙන් අඩිය ඉස්සරහට යනව. ගොඩයාත් ඉතිං රේඩියෝ පිස්සා නිසා ලොක්කගෙ රතු ඉර මොහොතකට අමතක වෙන්නෙ ඕං ඔය රේඩියෝ ඩබල නිසා. ඔය ඩබල ශෝ එක කරන අස්සෙ පත්තර මල්ලිත් ඇවිත් පත්තරේ විස්තරේ කියල යනව. මුලු බස් එකම ඇස් පියාගෙන රේඩියෝව අහන් ඉන්නව. අනිල් අයියා වැඩි කලබලයක් නෑ. හීන් සීරුවට ක්ලච් එකේම ඉදිරියට ගාටනව. අවසානයේ මගීන් එක එකා බැහැලා යනව. ගොඩයාත් බම්බලපිටියෙන් බැහැගන්නව. ඕන් ඊට පස්සෙ තමා ගොඩයාට දැනෙන්නෙ අනිල් අයියා මගීන්ට රේඩියෝව අහෙන්න සලස්වලා මගීන්ගෙන් බැනුම් අහන එකෙන් බේරුනා නේදෝ කියලා. එතැන් පටන් රතු ඉරෙන් බේරෙන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් එව්ව සුම්ම. අනිල් අය්ය එක්ක එන හැම දවසකම ගොඩයා ශෝර්ට් ලීව්.. ඒ දෙක ඉවරවුනාම හාෆ් ඩේ. අනික් ඩිපාර්ට්මන්ට්වල ලොක්කන් නං ප්‍රමාද වෙලා ආපු අයට හවසට කවර් කරන්න වගේ චාන්ස් දුන්න. ඒ වගේම අකුරට උදේ අටට ඉර ගැහුවෙත් නෑ. ඒකට මූ.. අමු තිරිසන් සතා.. මනුස්සකම ගෑවිලාවත් නෑ.. ඉතිං කියහංකෝ අනිල් අයියව බාබිකිව් දාලත් හිත් වදිනවද කියලා. වැඩිපුර ගෙවලා ඒසී එකක එන්නෙ වෙලාවට වැඩට එන්න ඕන නිසානේ යකඩෝ. අනිල් අයියට නිකමට එහෙම හිතෙන්නෙ නැත්තෙ ඇයිද කියල ගොඩයා අදටත් දන්නෙ නෑ. 

නිස්කාරනේ නිවාඩු ටික ඉවරකරගන්න බැරි නිසා ගොඩයා තව පැය භාගයක් කලින් නැගිටලා උදේ පහයි විස්සෙ ඒසී එකට සැට් වෙනව. ඒකෙනං රේඩියෝ මගඩි නෑ. වෙලාවට වැඩට ගියෑකි. ඒත් ඉතිං තව විනාඩි දහයක් පහලොවක් කලින් නැගිට්ටාම ආන්ඩුවේ සීසන් එකෙංම කෝච්චියේ යන්න පුලුවනි නිසා ගොඩයා උදෑසන තැපැල් දුම්රියම යන්න හිත හදාගන්නව. අර කිව්ව ලොකු එකා.. ඒ කිව්වෙ අපේ ලොක්කා පැය භාගයක් ඉර ගැහිල්ල පරක්කු කරානං ගොඩයාට තව පැය දෙකක් සනීපෙට නිදාගන්න තිබ්බ. ඒත් ඉතිං උන්දෑට එහෙම මනුස්සකමක් තිබ්බෙ නෑ. එහෙම උනානම් සනීපෙට සමුද්‍රදේවියේ රස්සාවට යන්ට තිබ්බ. උදේ හතරයි හතලිහට තැපෑලෙ නගිනවා කියන්නෙ අමු පාපයක් ආයුබෝවන්ඩ. සමහරක් වෙලාවට ගොඩයාට හිතෙනව මේ මොන පාපයක්ද යකෝ කියල. අන්න ඒ වෙලාවට ගොඩයාට දෙන්නෙක් මතක් වෙනව. එකෙක් ගොඩයාගෙ ලොක්ක. දෙවැනි එකා බස් එකේ අනිල් අයියා.. ලොක්කා ඉර ගැහිල්ල විනාඩි තිහක් ප්‍රමාද කරානං ගොඩයා ඒ සා දුක් විඳින්නෙ නෑ. ඒ වගේම අනිල් අයියා තව අඟල් කාලක් බස් එකේ අක්සිලේටර් එක පෑගුවානම් පැය දෙකෙන් බස් කොටේ බම්බලපිටියෙනේ..     ඒත් උං දෙන්නම ඒක කරේ නෑ. 

ගොඩයා 2005 අවුරුද්දෙ ස්ථානමාරුවීමක් අරං ඒ සාපෙන් බේරුනාට අදටත් ලොක්කා ගැන තියෙන්නෙ අපුල සහගත හැඟීමක්. රටම දන්න අරා පැස්බරා රේඩියෝ ඩබල හැමදාමත් අනිල් අයියාව බේරගත්තු නිසා අනිල් අයියා ගැන එහෙම කුජීත හැඟීමක් නෑ. හැබැයි ඔය කියන රේඩියෝ ඩබල අදටත් දන්නෙ නැතුව ඇති අනිල් අයියා මිනිස්සුන්ගෙන් ගුටි නොකා අවුරුදු ගානක් දෙවැනි ටර්න් එක දිව්වෙ රේඩියෝ ඩබලට පිං සිද්ද වෙන්න කියල. ඔය ඩබල නැත්තං, උදේ පහයි හතලිහට අම්බලන්ගොඩින් පිටත්වෙන අනිල් අයියා ආයෙම බස් එක එලවගෙන අම්බලන්ගොඩ යන්නෙ නෑ. එහෙනං උන්දෑ කෙලිංම නවතින්නෙ මහ ඉස්පිරිතාලෙ ඇක්සිඩන්ට් වෝර්ඩ් එකේ. ඇයි යකෝ රස්සාවට යන එවුන් වන්දනාවේ යන ගානට කොලඹ ගෙනාවම මිනිස්සු නොගහ ඉඳියිද.. ඔය කියන රේඩියෝ ඩබල දන්නවනං අනිල් අයියා උං දෙන්නව අවභාවිතා කරා කියලා අනිවා ඕකුන් දෙන්නා අනිල් අයියට නඩු දානව.  

අවුරුදු දහ අටකට පස්සෙ අද වෙද්දි අනිල් අයියා තාමත් බස් එලවනවද කියලා ගොඩයා දන්නෙ නෑ.. ලොක්කනං පෙන්ශන් ගිහිල්ලත් සල්ලි පෙරේතකමට ආයෙත් කොන්ත්‍රාත් ක්‍රමයට පවු දෙන්න එනවා කියලයි හිත මිත්‍රයෝ කියන්නෙ . රේඩියෝ ඩබලනං තාමත් සුපුරුදු විදිහට සතියේ දවස් පහේ උදේ හතට සියත එෆ් එම් එකේ වැඩ .
 කියන්න කනගාටුයි රේඩියෝ කලාවනං බහුතරයක්  චැනල් වල මෙලෝ සත්වයෙකුට අහං ඉන්න පුලුවන් තත්ත්වයක නෑ.

27 comments:

  1. හම්මේ ඉතිං පොසන්නයයි,තරිදුවයි,නෙතුවයි තාම නෑ

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ..මේ ඉන්නේ නෙතුවා.. ඔබතුමාට අපිව මතක් උනා එහෙනං නෙහ්..ඒත් තඩි අයියා දන්නෑනේ මං කව්ද කියල නෙහ්..ගොඩය්යනං දන්නෝ..හික් හී...

      Delete
    2. ඔබතුමී කවුරු උනත් ඉතිං මට අදාල නෑහ්.ගොඩයගෙ බ්ලොග් කෙරුවාවෙන් හම්බුන තරිදු,පොසන්නය,ඔබතුමී අමතක නෑ.මට ඉන්නව පාස්පෝර්ට් යාලුවෝ,කපුට යාලුවෝ ඔබතුමී බ්ලොග් යාලුවෙක්.ඒ ඔක්කෝටම වඩා මට ඉන්නව බොක්කෙ යාලුවෝ එයින් එකෙක් තමා උඩ රේඩියෝ ගැන ලියපු එකා 👍

      Delete
    3. මේ ගනුදෙනුව ඔයාල දෙන්නම විසඳගන්න එක හොඳයිනේ.. ඒ නිසා මං මෙව්වට මුකුත් ලියන්නෙ කියන්නෙ නෑ ඕං. නෙතූ දන්නෙ නෑ අපි ශර්ලොක් හෝම්ස් පරපුරේ එවුන් කියලා.. හොයන්න ඕනෙනම් ඔයැයි කව්ද කියලා හොයාගන සෑස්තරේ අපි ප්‍රගුන කරේ සෑහෙන්න කාලෙකට උඩදි නේහ් බං චමිලයෝ.. හොයාගන්න ඕන උන දවසට අපේ චමිලයා ඇවිත් ඔයයිලාගෙ ගෙදර දොරට තට්ටු කරොත් ඕං මන් නං වගකියන්නෙ නෑ යාලු හොඳේ ..

      Delete
  2. අපේ ගෙදර රේඩියෝ ටිවි නැත්තේ හොද වෙලාවට නෙද බන්?
    රෙඩියෝ අහන්න මිනිස්සු පුරුදු කරපු එකේ වැඩි බරක් සිරසටයි කින්සිලිටයි නෙද

    ReplyDelete
    Replies
    1. එෆ් එම් අහන්න කලින් මිනිස්සු රේඩියෝ ඇහුවා මෙන්ඩා.. වැඩිහරියක් විදුලිය නැති පලාත්වල හැම ගෙදරකම රේඩියෝ ඇහුනා.. මං පුංචිකාලෙ නිවාඩුවට ලොකු අම්මලාගෙ ගෙදර ගිය හැම වතාවකම රේඩියෝ ඇහුවා දවස පුරාම. රෑ බදුල්ලොන්ගෙ, රැහැයියන්ගේ සද්දෙත් එක්ක රැයේ නිහඬතාවය බින්ඳෙ රේඩියෝව විතරයි. මමත් ඒ කාලෙ මුවන්පැලැස්ස අහලා තියෙනවා ඒ වගේ නිවාඩු කාලෙට ලොකු අම්මලාගෙ ගෙදර ගියාම. ඒක බොහොම නිසල ජීවන රටාවල් තිබ්බ කාලයක්.

      විදුලිබලය තිබ්බ රූපවාහිනියක් තිබ්බ ගෙවල්වල මිනිස්සු රේඩියෝ අහන්න පුරුදු කරපු එකේ ගෞරවය හිමිවෙන්නෙ සිරසට තමයි. ඒකෙත් වැඩි ගෞරවය නිමල් ලක්ශපතිආරච්චි කියන මනුස්සයාට හිමිවෙන්න ඕන. කින්ග්ස්ලි රත්නායක, සුරංගී ද අල්විස් , තමාලි පීරිස්, කැලුම් ශ්‍රීමාල්, රොශාන්, ප්‍රියන්ත විජේසිංහ, වගේ නිවේදකයින් ඒ එෆ් එම් කලාව බොහොම පරෙස්සමට පරිහරනය කරගෙන පරෙස්සමෙන් අසන්නන් අතරට අරගෙන ගියා..

      Delete
  3. මමත් හරිම ආසයි තනියම ඉදගෙන රේඩියෝවෙන් සිංදු අහන්න..ඒකේ තියෙනවා මාරම රහක්....

    ReplyDelete
    Replies
    1. දැන්නං රේඩියෝවෙ යන සිංදු අහන්න කලින් වහ කුප්පියකුත් ලඟින් තියාගන්න ඕන නෙතූ.. එව්ව වැඩිහරියක් ඇහෙනකොට මරෙන්න හිතෙනවා අයියෝ මෙව්ව අහන්නත් අපි ජීවතුන් අතර උන්නනේ කියලා..

      Delete
  4. දැන් නම් මම රේඩියෝව අහන්නෙ අරවින්දයි,ආශ්චයයි නිසාම විතරයි.උදේ කොහේහරි යනවනම් අනිව සියත කරකවල ඇති.උන් දෙන්න මොනදේ කිව්වත් සමාජයට යමක් දෙන්න උත්සහ කරනව.විශේශයෙන්ම අරවින්ද.සියත් ගොඩගියෙත් හිරුට කෙල උනෙත් උන් දෙන්න නිසා.මේ දෙන්න ඇරුනාම මං ආසම වැඩසටහන් කරපු ඩබලක් තමයි රස රිසි ගී කරපු නාරදයි තනූජයි.මේ වෙලාවෙ උන් දෙන්නවත් මතක් කරන්න ඕනි හාද

    ReplyDelete
    Replies
    1. අරවින්ද ආස්චර්‍යා ගැන යම් ඇගයීමක් තියෙන නිසා තමා මේක ලිව්වෙත්. සිරසේ නාරද නම් ඉඳලා හිටලා එහෙන් මෙනෙහ් දකිනවා.. තනුජානම් ඇහිච්ච දැකපු කාලයක් මතක නෑ.. ලංකාවෙ ටීවී නම් බැලෙන්නෙම නෑනෙ බං.

      Delete
  5. ඉන්න මම අනිල් අය්යට නඩුවක් දාන්නං. ස්ට්ජුට්ජ්‍...ස්තුතියි කියල ලියන්න ගිහින් ලියවෙච්ච විදිහ තමයි මුලිංම ට්ජියෙන්නෙ..
    -අරා-

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තටම අරා නම්, ස්තුතියි කමෙන්ට් එකට...

      Delete
  6. මං සිරසෙ අහපු එකම එක, "අරේ මරේ ලයිට් එනකං" විතරයි. ඊට පස්සෙ උන් ටික "අහං ඉන්න" කියලත් එකක් කළා කියල මතකයි

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ඔහොම එකක් ගියා.. ටාසන් බාප්පාගෙ ආගමනය තමා එෆ් එම් රේඩියෝ කලාවේ අවසාන ගමනේ ආරම්භය කියලයි මගේ අදහස..

      Delete
  7. ගොඩයො, යල මහ දෙකන්නෙට අමතරව අතර මැදි කන්න කියලාත් අපේ ගොවි මහත්තුරු වගා කරනවා.ඒ නිසා මේකත් යලට මහට විතරක් නැතිව අතර මැදි කන්නෙටත් ලියපං පුතේ.පාලුවෙ බෑ උඹේ කතාවක් කියවන්න නැතිව.දැං FM වලට එමු.රන් FM එකේ අපේ කාලෙ අපිට හරියන 70,80,වෙ සිංදු යනවා.ඒක විතරයි මට නම් පිරියකින් අහගෙන ඉන්න පුලුවන්.සිටිFM පටන්ගත්තු කාලෙ මතකද විනාඩි 15න් 15ට සිංහල ,දෙමළ,ඉංග්‍රීසි මාරුවෙන් මාරුවට යන්නේ.'90 දී මා රාජකාරි කල උඩවලවේ උක් පර්යේෂණ ආයතනයේ අනුග්‍රහයෙන් German tec එකේ සති අන්ත electronics පාඨමාලාවක් හැදෑරුවා.සති හතර යනකොට වැඩ පටන්ගත්තා. පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ ඇවිදලා කෑලි හොයාගෙන ඉරිදා උදේ 11 වෙනකොට උඩවලවේ.හැදුවා ඇම්ප් එකක් ට්‍රාන්සිස්ටර්.සද්දෙ විතරයි කොලිටි නෑ.යාලුවො ගහපි කාඩ් එකක්."ඩෝං සවුන්ඩ්".මම සැලුනාද නෑෑෑ.මාස තුන යනකොට හැදුවා LM1035 IC ප්‍රී ඇම්ප් එකයි STK 4141 IC පවර් ඇම්ප් එකයි චැනල් 10 ග්‍රැපික් ඊක්වලයිසර්එකයි දාලා නියම භාන්ඩයක්.අදටත් වැඩ.වොලියුම් කොන්ට්‍රෝල් එක විතරක් පොඩ්ඩක් චරචර ගානවා.දැං ඒක කෟතුකාගාර භාන්ඩයක්.Criative සබ්වූෆර් එකත් එක්ක අතේ තියෙන සුහුරු බනුව ගත්තාම ලෝකෙ තියෙන ඕනෙ මඟුලක් අහන්න පුලුවං.(මල්ලී ලංකාවට ආපු වෙලාවක හම්බුවෙන්න කැමතියි.)

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔබතුමා රස්සාව කරද්දි අපි සපෙල කරන ලාචොරොස් ගැටව් කියන එක නේහ්.. ඔය කියල STK IC එක මට මතකයි. ඒ කාලෙ ඈම්ප් පිස්සුව හුඟක් අයට තිබුනට මටනම් ඒ තරම් සද්ද පිස්සුවක් තිබ්බෙ නෑ. අඟල් අටේ ඕම්ස් අට ස්පීකර් එක ඇලුමීනියම් කලගෙඩිය උඩින් තියලා ටියුටර් දෙකකට කොන්ඩෙන්සර් දෙකක් පාස්සලා ගත්තම මගේ අවශ්‍යතාවය සම්පූර්නයි. මගේ රේඩියෝ කැසට් ප්ලේයර් එකේ වැඩිපුරම ප්ලේ උන කැසට් එක තමයි අසංග ප්‍රියමන්තගේ පලවෙනි කැසට් පටිය. කැසට් පටි ගන්න ඒ කාලෙ ප්‍රතිපාදන වෙන් උනේ නෑ. ඒ කාලෙ රෙකෝර්ඩ්බාර් එකකින් කැසට් එකක් රෙකෝර්ඩ් කරන්න එක සිංදුවකට අය කරේ රුපියල් තුනයි. සිංදු ලිස්ට් එකක් ලියාගෙන ඉඳලා හිටලා කැසට් පීස් එකක් දෙකකුත් රෙකෝර්ඩ් කරගත්තා උනාට කාමරේට පනින අපේ යාලු කැල දුටු තැන කැසට් පීස් ඉනේ ගහගෙන යන නිසා එව්වට වැඩි ආයුශ නෑ...

      ලංකාවට එන්න අදහසක් තියෙනව. ඒත් ලබිලා තියෙන නිවාඩු ප්‍රමානය සහ අවශ්‍ය නිවාඩු ප්‍රමානය අතර වෙනස සෑහෙන්න ලොකුයි. ඒ නිසා තවමත් එන දවසක් ගැන විශ්වාසයක් නෑ..

      Delete
  8. ස්තුතී , රසබර අතීතය නැවත මතක් කරාට

    ReplyDelete
  9. මං දාපු කොමෙන්ට් එක නෑ.
    ඒක කෑවෙ මක්කද?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙං ක්මෙන්ට් එකක් තිබ්බෙ නෑ ශ්‍රංගයෝ... වැරදිලා වෙනත් බ්ලොග් එකක දැම්මද දන්නෙ නෑ..

      Delete
  10. එකල්හි මා ගාවත් Palito වර්ගයේ පෑන් රේඩිවේකක් තිබුනේය. ඒකට දැම්මේ පැන්සල් සයිස් බැට්ටිකෑලි දෙකක් වෙමු. ඒක අහන්නට කං යොමු දෙකක්ද වූහ. ඒකට දාන පැන්සල් බැට්ටි ගනං බැවින් ඒ වෙනුවට ගනං අඩු පෙන්ටෝච් බැට්ටිකෑලි කඩදහියක ඔතා ඒකටම තබා, අම්මාගේ සායකිං ගත් ඉලාස්ටික් පට්ටයකින් බැඳ හදාගන්නා ලද්දෝහ.

    ReplyDelete
    Replies
    1. යකෝ බැලුවාම උඹලා ඒ කාලේ අපිට වඩා දියුණුයිනේ.. අපිට ඒ කාලේ කන් යොමු තිබ්බේ නෑ නෙව...

      Delete
  11. කෝ යකෝ අසහාය බ්ලොග් විචාරකපොසන්නයයි තරිදුවයි.මුන් ගැන හොයන්න කමිටුවක් පත්කරන්න වෙයි වගේ.හැක්

    ReplyDelete
  12. amboo hinawa nawaththa ganna ba appaa

    ReplyDelete
  13. අන්න අන්න චමිල අයියට විතරයි අපිව මතක් වෙලා තියෙන්නේ...

    හිත හැදෙන්න කියලා කවුරැ හරි fm එකක් ඇහුවොත් අනිවා ඌ බෙල්ලේ වැල දාගන්නවා සත්තයි..

    ReplyDelete