Sunday, September 22, 2024

චන්දරේ බාප්පෙ.. මම ඔට්ටුව පරාදයි..

 


     කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු කතාවක් ලියා පලකරන්න හොඳම සහ සුදුසුම දවස අද කියලා හිතුන නිසා සියලූම වැඩ කටයුතු පැත්තක දාල මේක ලියන්න පටන් ගත්තෙ.. 

චන්දරේ බාප්ප මට ඥාති වෙන්නෙ සෑහෙන්න දුරින්.. ඒක ලියන්න ගියොත් A4 පිටු දෙකක් විතර ලියන්න වෙනව ඒ නෑකම පහදන්න.. නෑකම ගැන කෙටියෙන් කියනවනම් චන්දරේ බප්පා කියන්නෙ මගේ තාත්තගෙ, නැසීගිය ලොකු අයියගෙ, වයිෆ්ගෙ, අම්මගෙ,  සහෝදරියකගෙ,  පුතෙක් කියලා තමයි මගේ වැටහීම..  සමහර විට ඔය මම ලියපු නෑකමේ අන්තිම පුරුක් දෙක පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුලුවනි මට ඒ ගැන ලොකු අවභෝධයක් නැති නිසා.. මගේ තාත්තගෙ අයියගෙ පුතාලට චන්දරේ බාප්පා මගේ වැටහීමේ හැටියටනම් විය යුත්තේ මාමා කියන නෑකම උනාට අපේ ලොකු තාත්තගෙ දරුවො උන්ගෙ චන්දරේ මාමාව චන්දරේ බාප්පා කියලා හැඳින්වූයේ ඇයි කියලා මම අදටත් නොදන්න දෙයක්.. අපේ ලොකු තාත්තගෙ දරුවන්ගේ ආමන්ත්‍රනයෙන්ම අපිටත් ඉතිං චන්දරේ බාප්ප හරිම ලඟ ආදරණීය චරිතයක්..

අපි පුංචි කාලෙ අපේ බාප්පලා අපිව සති අන්තයට මුහුදෙ නාන්න එක්කන් යද්දි චන්දරේ බාප්පත් අපි එක්ක මුහුදෙ නාන්න යන්න සෙට් උනා.. මම මේ කියන කාලය් 1985 සහ 1990 අතර කාලය කියලයි මට ලාවට මතක.. චන්දරේ බාප්පා හයේ හතරෙ උස මහත උත්තුංග දේහදාරී මනුස්සයා.. මූන පුරා රැවුලක් වවාගෙන කොයිවෙලාවෙත් හිනාවෙලා හිටපු මනුස්සයෙක් විදිහට චන්දරේ බාප්පා බොහොම ආදරණීය මනුස්සයෙක්.. පෙනුමෙන් බොහොම සැර පරුශ තද පෙනුමක් තිබුනට කතා බහේදි කිසීම සැරපරුශ ගතියක් නැති සුන්දර මනුස්සයෙක්.. චන්දරේ බාප්පා පාසල් ගුරුවරයෙක්.. මට පලමු වරට චන්දරේ බාප්පා මගේ ඇස්මානයට එන කාලය වෙද්දි චන්දරේ බාප්පා පාවිච්චි කරේ Honda DB 250 N වර්ගයේ තඩි මෝටර් සයිකලයක්.. මමත් හීං එකා සංදියේ හිටංම රථගාය තිබ්බ එකා නිසා චන්දරේ බාප්පගෙ CB 250 එකේ සද්දෙ මට ඈත හිටංම අඳුරගන්න පුලුවන් සද්දයක් ඒ කාලෙ.. අපේ ගමේ තිබුන ඒ ජාතියේ මෝටර් බයිසිකල් දෙකෙන් එකක් තමයි චන්දරේ බාප්පගෙ මෝටර් බයිසිකලේ.. 88/89 කාලෙ කලබල වලින් පස්සෙ චන්දරේ බාප්පා අපේ දර්ශනපථයෙන් නොපෙනී ගිහිං මට ආයෙම චන්දරේ බාප්පා සම්මුඛ වෙන්නෙ 2001-2005 කාලෙ මරදානෙ ඉඳන් මාතර යන රුහුණු කුමාරී දුම්රියේදි..

ඒ වෙද්දි චන්දරේ බාප්පා ඉගැන්නුවේ කොලඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ කියලයි මට මතක.. සතියට වරක් දෙවරක් මටත් රුහුනු කුමාරියේ ගෙදර යන්න චාන්ස් එක හම්බෙන වෙලාවට ඒ කෝච්චියේම දෙවැනි පංතියේ සීට් එකක චන්දරේ බාප්පත් ඉන්නව මම දකිනව.. සමහර වෙලාවට අපි දෙන්නම එක ලඟ සීට් එකේ වාඩිවෙලා එනව.. දෙන්නටම ඉතිං මරදානෙන්ම නින්ද යන නිසාත් ආයෙම ඇහැරෙන්නෙ අම්බලන්ගොඩ ලංවෙලා නිසාත් අපිට ඉතිං නෑකම පොලිශ් කරගන්න ලොකු වෙලාවක් නෑ.. ඒත් ඉතිං කතා කරන්න කියලා අපිට සුවිසේශී තොරතුරු තිබුනෙත් නෑ.. ආන්ඩුවෙන් ලැබෙන දෙවැනි පංතියේ සීසන් එකෙන් අපි දෙන්නම රුහුනු කුමාරියේ පැලෙන්න නිදා ගන්නව.. 1.30 ට ඉස්කෝලෙ ඇරිලා චන්දරේ බාප්පාට 3.50 ට මරදානෙන් රුහුනු කුමාරියේ නගින්නෙ නැතුව 2 ට කොටුවෙන් පිටත්වෙන ගාලු කුමාරියේ ගෙදර නොගියේ ඇයි කියලා මම චන්දරේ බාප්පගෙන් අහලා නෑ කවදාවත්.. 

 චන්දරේ බාප්පා ජවිපෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරලා නගර සභාවෙ සභිකයෙක් විදිහට තේරී පත්වුනේ කොයි අදුරුද්දෙද කියල මට හරිහැටි මතක නෑ.. රුහුනු කුමාරියේ හමුවෙනවට අමතරව මට ආයෙම චන්දරේ බාප්පව සමීපව ඇසුරු කරන්න ලැබෙන්නෙ අපේ කඩේදි.. 

මම කොමියුනිකේශන් එක පටන් ගන්නෙ 2001 අවුරුද්දෙ.. හවස වැඩට ගිහුං ආපු වෙලාවෙ ඉඳන් රෑ 10 වෙනකල් මම හිටියෙ කඩේ වැඩ එක්ක.. දවල් දවසේ වැඩට ඉන්න ලමයි දෙන්නට කරලා ඉවර කරගන්න බැරිවුන ටයිප් සෙටින්, ෆොටෝ කොපි, සියල්ලම අවසන් කරන්න වෙන්නෙ මට.. මැතිවරණ කාලවල චන්දරේ බාප්පලාගෙ බොහෝමයක් දේශපාලන කටයුතුවලට අදාල ෆොටෝ කොපි ගැහුවෙ අපේ කඩෙන්.. අනෙක් පක්ශ ක්‍රියාකාරීනුත් ෆොටෝකොපි ගැහුවෙ අපේ කඩෙන්.. චන්ද කාලෙට අපේ ෆොටෝකොපි බිස්නස් එක වෙනදට වඩා සරුයි..  කොපි ගහන වැඩ තියෙනකොට චන්දරේ බාප්ප කලින්ම මට කියනව පුතා අපිට කොපි ටිකක් ගහගන්න ඕන රෑ වෙලා එන්නම් කියල.. ලොකු ඕඩර් එකක් එක දිගට කොපි ගහනකොට කඩේට එන අනික් ගනුදෙනු කරුවන්ට රස්තියාදු වෙන්න වෙන නිසා මමත් කැමතිවුනේ චන්දරේ බාප්පලා කඩේ වහන්න ලංවෙලා එනවනම්..

සමහර දවස්වලට ඒ ෆොටෝකොපි ගැහිල්ල රෑ දොලහ පහුවෙනකලුත් ඇදෙන තරම් ලොකු වැඩ.. මමත් අපේ මුලු පවුලමත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ශයට යාවජීවව සහය දෙන සහ කතිරය ගහපු මිනිස්සු.. ඒක චන්දරේ බාප්පත් ඉතාමත් හොඳින්ම දැනගෙන හිටපු කාරනාවක්.. හැබැයි එහෙම කියලා අපිට චන්දෙ දෙන්න කියලා චන්දරේ බාප්පා කවදාවත් අපිට බලපෑමක් තියා ඉල්ලීමක්වත් කරලා නෑ.. ගහන්න ඕන ෆොටෝ කොපි මිටිය අරගෙන දෙතුන් දෙනෙක් එක්ක කඩේට එන චන්දරේ බාප්පා ඇතුලු කිහිපදෙනා සිගරට් එකක් තියා ප්ලේන්ටියක්වත් නොබී මම ෆොටෝකොපි ටික ගහල දෙනකම් පැය ගනන් කඩේ ඇතුලෙ හිටහෙන හිටිය.. වෙනත් දේශපාලන පක්ශවලට සම්භන්ධ උදවිය ෆොටෝ කොපි ගහල ලියපු නැති බිලක් ඉල්ලගෙන යද්දි චන්දරේ බාප්පලා කවදාවත් රුපියලක්වත් වැඩිපුර දාපු බිලක් ඉල්ලුවේ නෑ..

ඔය ෆොටෝ කොපි ගහන කාලය අතරතුරේ අපි විවිධ දේවල් කතා කරා.. හැබැයි කවදාවත් මගේ දේශපාලන මතය වෙනස් කරන්න චන්දරේ බාප්පා උත්සහ කරේ නෑ... මට තිබ්බෙ ජවිපෙ ගැන වෙනමම විවේචනයක්.. ජවිපෙ කවදාවත් බලයට එන්නෙ නෑ කියන කොන්ක්‍රීට් මතයක මම ඒ වෙද්දි හිටියෙ.

චන්දරේ බාප්පෙ.. දැං අවුරුදු ගානක් ට්‍රයි කරා තාම බලයක් ලැබුනෙ නෑනෙ ඔයාලට..

එහෙම කියලා අපි සැලෙන්නෙ නෑ පුතා.. අපි දිගටම ට්‍රයි කරනව..

ඔයාලා ඔය කියන මාක්ස්වාදී සමාජවාදී දේශපාලනය අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ චන්දරේ බාප්පෙ.. දැං ඕක ඇතෑරල ප්‍රධාන පක්ශෙකට ගිහිං රටට වැඩක් කරන්න.. අපරාදෙනේ මහන්සිය ඔයාලගෙ..
 
අපේ ප්‍රතිපත්ති එක්ක ප්‍රධාන පක්ශවල ප්‍රතිපත්ති එකට යන්නෙ නෑ පුතා.. ඒ නිසා අපි යන්නෙ අපේ පාරෙම තමයි..

ඉතිං බාප්පෙ මිනිස්සු ඔයාල කියන කතාව අහන්නෙ නෑනෙ.. ඔය සුලුතර චන්ද ටිකකින් ඔයාලට කවදාවත් රටේ බලයක් ලැබෙන්නෙ නෑ..

එහෙම වෙන්නෙ නෑ පුතා.. කවදාහරි මිනිස්සු අපි කියනදේ පිලිගන්නව..

මේ කපේනම් බාප්පෙ ඕක වෙන්නෙ නෑ..

ඒක වෙන්න පුලුවන් පුතා.. කාලය කොයි කාලෙද කියලා අපි දන්නෙ නෑ.. ඒත් කවදහරි අපි බලයට එනවාමයි..

ඒකනම් වෙන්නෙ නෑ බාප්පෙ.. මම ඕනෑම ඔට්ටුවක් අල්ලනව.. ජවිපෙට කවදාවත් රටේ පාලනයට එන්න වෙන්නෙ නෑ..

ඔට්ටු ඕන නෑ පුතා.. සමහරවිට අපි ජීවත්ව නැති වෙයි.. ඒත් කවදාහරි මේ රටේ මිනිස්සු අපි කියන කතාව පිලිගන්නව.. මිනිස්සු අපිට කවදාහරි ආන්ඩු බලයක් දෙනව පුතා..

මොනවද ඔට්ටු.. කවදාවත් නෑ..

ඔට්ටු ඕන නෑ පුතා.. මේ ක්‍රමය අසාධාරනයි කියලා අපි ආයෙ ආයෙම මිනිස්සුන්ට කියනව.. මිනිස්සු අපිට ඇහුමකන් දෙන දවසක් එනකම් අපි ඒක මිනිසුන්ට කියනව..

ඉතිං බාප්පෙ ඔයාලට ඕන මිනිස්සුන්ට සාධාරනයක් කරන්නනම් ඔයාලට බැරි ඇයි ප්‍රධාන පක්ශෙකට එකතුවෙලා චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යන්න.. ඒක ලේසියිනේ..

ඒක එහෙම වෙන්නෙ නෑ පුතා.. අපි වෙන පක්ශයක් එක්ක එකතුවෙලා යද්දි අපිට වැඩකරන්න වෙන්නෙ එයාලගෙ ඇජෙන්ඩා එකට.. එතනදි අපිට අපේ ප්‍රතිපත්ති පාවලා දෙන්න වෙනව.. අපිට එහෙම කරන්න බෑ පුතා..

මම ඕනම ඔට්ටුවක් අල්ලනව.. ඔයාලට කවදාවත් පාලන බලයක් ලැබෙන්නෙ නෑ..

ඔට්ටු ඕන නෑ පුතා.. සමහරවිට ඔයාට ඔයාගෙ ජීවිත කාලෙ ඇතුලතම ඒක දැකගන්න පුලුවන් වෙයි..

එතැනින් එහා මම ඒ සංවාදය ඉදිරියට අරන් ගියේ නෑ.. මට ඒ  වෙලාවෙ චන්දරේ බාප්පගෙ ප්‍රකාශය නිකම් විහිලුවක් වගේ උනා.. මම එයාලගෙ දේශපාලනය විවේචනය කරා කියලා චන්දරේ බාප්පට කවදාවත් මං එක්ක කේන්ති ගියේ නෑ.. ෆොටෝකොපි ටික ගහලා දෙනකල් එලිවෙනකල් හරි කඩේට වෙලා හිටගෙන ඉන්නවා වතුර එකක්වත් ඉල්ලන්නෙ නෑ..



කාලය ඒ විදිහට ගෙවී ගිහින් 2009 චන්දෙ කාලෙ (මතක විදිහට) එක්තරා රාත්‍රියකදී චන්දරේ බාප්පට දේශපාලන එදිරිවාදීන් පිරිසක් විසින් මහමගදී පහර දෙනව.. ඒ වෙද්දි චන්දරේ බාප්පා අම්බන්ගොඩ නගර සභාවෙ මන්ත්‍රී කෙනෙක් කියලයි මගේ මතකය.. ඒ පහරදීමෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කෙරෙන චන්දරේ බාප්පා ඒ පහරදීම් හේතුවෙන්ම රෝහලේදී මියයනව.. හෙවනැල්ලටවත් වරදක් නොකරපු, මහ පොලොවට කවදාවත් බරක් නොවුන, කවදාවත් කාටවත් හිත රිදෙන්න වචනයක් නොකියපු ඒ අහිංසක මනුස්සයාට එහෙම අපරාදයක් කරේ කොහොමද කියලා මට අදටත් අදහාගන්න බෑ.. ඒ ගැන මතක් වෙද්දි අදත් චන්දරේ බාප්පා කියන්නෙ මට වේදනාත්මක මතකයක්..

අද අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති විදිහට දිවුරුම් දෙනව.. අනුර කුමාර ජනාධිපති කියලා කියනකොට මට ඉස්සෙල්ලම ඔලුවට එන්නෙ චන්දරේ බාප්පව.  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය දිනුම් කියලා ඇහෙනකොටම මට මේ දැං කීව්වා වගේ චන්දරේ බාප්පගෙ කටහඬ මනසට එනව..

"ඔට්ටු ඕන නෑ.. සමහරවිට අපි ජීවත්ව නැති වෙයි.. ඒත් කවදාහරි මේ රටේ මිනිස්සු අපි කියන කතාව පිලිගන්නව.. මිනිස්සු අපිට කවදාහරි ආන්ඩු බලයක් දෙනව පුතා.."

එදා ඔයා මං එක්ක ඔට්ටුව ඇල්ලුවේ නැති උනාට අද මම ඒ ඔට්ටුව පරාදයි චන්දරේ බාප්පෙ.. ඔයාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

Friday, September 20, 2024

සැප්තැම්බරයේ බලාපොරොත්තුව

 


ඒක 1994 දවසක්.. හරියටම දවස මතක නැති උනාට ගූගල්ගෙන් අහලා බැලුවාම දවස 1994 නොවැම්බර් 9. එදා තමයි මගේ ජීවිතේ පලවෙනි වතාවට චන්දෙ දාපු දවස.. අවුරුදු 17 ක කෲර පාලනයක් සහ ඇතිවෙන්න ලේ හැලුන කාල වකවානුවක් ඉවර වෙලා අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් ගෙනාපු දවස.. වෙනත් විදිහකින් කියනවනම් ඒක ගිනිගත් දේශයක නොවැම්බර්  බලාපොරොත්තුව.. එවකට වයස යාන්තමට දහ අටක් වෙච්ව ඇටෙන් පොත්තෙන් එන වයසෙ එවුන් විදිහට චන්දයක් කියන්නෙ අපිට වෙනමම අලුත්ම අත්දැකීමක්..


ජීවිතේ පලවෙනි වතාවට චන්දය දානවා කිව්වම ඒක අලුත්ම අලුත් ඇත්දැකීමක්.. උදේ පාන්දරම චන්දපොලට ගෙහුං රටේම අලුත් බලාපොරොත්තුව වෙච්චි සැටලයිට් එකට කතිරෙ ගහල ආවෙ හෙන වීරකමක් කරපු ගානට..
 අම්බලංගොඩ වටේම යාලු මිත්‍රයෝ හිටියට චන්දෙ දවසෙ රෑට සෙට් වෙන්නෙ වෙනමම සෙට් එකක්.. ඒ කාලෙ චන්දෙ දවසෙ රෑට අනිවාර්‍යෙන්ම ඇඳිරි නීතිය වැටෙන නිසා දුරවල්වල ඉන්න යාලු මිත්‍රයෝ එක්ක සෙට් වෙන්න යන්න විදිහක් නෑ.. එදාට ඉතිං එකම පිහිට ගමේ අහල පහල සෙට් එක විතරයි..

එදාට තමයි අපේ මංගලයයි මමයි ගජරාමෙට සෙට් වෙන දවස.. මංගලයි මමයි අසල් වැසියන්.. ඒ එක්කම එක ඉස්කෝලෙ එක පෙලේ.. එවකට අපි ඒ ලෙවල්.. මංගලයා රෑ වෙද්දි රතිඥ්ඥා පෙට්ටි දෙක තුනක් එහෙමත් සෙට් කරගෙන ලක ලෑස්ති වෙන්නෙ ගජරාමෙට චන්දෙ අහන්න.. අපේ ගෙදර ටීවී එකේ භාගයයි මංගලලාගෙ ගෙදර ටීවී එකේ භාගයයි.. ඔය අතරෙ මංගලයයි මමයි ගෙවල් දෙකෙන්ම අතුරුදහන්වෙන වෙලාවල් එමටයි..

සැටලයිට් ඇන්ටිට වාසිවෙන චන්ද ප්‍රථිපලයක් යද්දි සැටලයිට් එකට විරුද්ධ පිලේ ගෙදරක
මිදුලට රතිඥ්ඥා කරලක් පත්තු කරලා දාලා කරුවලේ පඳුරක් අස්සට වෙලා බලාගෙන ඉඳලා ගන්න සොමිය සල්ලිවලට ගන්න බෑ.. ගජරාමෙට බෝතල් පාර්ටිය දාගෙන චන්දෙ අහන ගෙවල්වල ඇරලා තියන ජනේලයකින් ගේ ඇතුලට රතිඤ්ඤාවක් දාලා පැනල දුහන එකට අපේ මංගලයා කප් ගහපු පොරක්.. මම ඉතිං ලොකු දිවිලි කාරයෙක් නෙවෙයි නිසා මම ඈතට වෙලා බලාගෙන ඉන්නව.. රතිඤ්ඤාව පත්තු උනාම බෝතල් පෙරලගෙන දුවන චන්ද දායකයන්, බීමතේ කියන සුන්දර වචන ඉතිං මෙලෝ වසනා එකෙකුට අහං ඉන්න පුලුවං එව්ව නෙවෙයි.. ඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාව නිසා පාරේ ගමන අවධානම්.. ඒ නිසා කොල්ලො කුරුට්ටො සියල්ලෝම එදා දවසට ගමන් පහසුව සලසා ගන්නෙ වැට මායිම් හරහා තමයි.. රටේ චන්දයක් තිබුනේ නැති ගානට සියලූම ලැයිට් නිවලා මසුරං පහට නිදාගන්න ගෙවල්වලටත් ඉතිං රතිඤ්ඤා ප්‍රහාරයෙන් ගැලවෙන්න බෑ..

රටේම අවුරුදු ගානක් තිස්සෙ බුර බුරා නැගුන ගිනි ජාලාවන් නිවෙන දවස එදා වෙච්චි රට පුරා මිනිස්සු චන්දය සැමරුවේ කාලෙකින් ආපු සිංහල අවුරුද්දක් විදිහට.. මංගලයයි මමයි ගමේ අනික් කොල්ලො කුරුට්ටො සෙට් එකයි රෑ දොගොඩ හරියෙ ගමේ ගෙයක් ගෙයක් ගානේ වැටවල් වලින් පැන පැන හීනියට රතිඤ්ඤා ආතල් එක ගන්නව.. සමහර ගෙවල්වල අඳුරු මිදුල් කොන්වල හීනියට සෙට්වෙන බෝතල් පාර්ටි දිහාවට අහස් කූරක් එහෙම යැව්වාම එතන ආතල් කෝටියයි.. අපේ ගෙවල්වල ඉන්න මවු දෙමවුපියන්ගෙ කෑලි නෑ.. දෙන දෙන චන්ද ප්‍රථිපල සැටලයිට් එක දිනුම් කියද්දි අපිටත් ඉතින් ෆුල් ආතල්.. කොහොමින් කොහොමහරි එලිවෙන්න තුන හතර වගේ වෙද්දි කොල්ලො කුරුට්ටො සෙට් එක කලුවඩුමුල්ල පිට්ටනිය දිහාවට ගාටනව.. පිට්ටනිය මැද්දෙ කව්දෝ එකෙක් තඩි ටයර් සෑයක් පත්තු කරලා අඩි පනහකට වැඩි මිසක් අඩු නැති උසට මහා විසාල ගිනිමැලයක් දැල්වෙනවා කියහංකෝ.. ඇයි එහෙම ගිනිමැලයක්ප ත්තු කරේ, කව්ද ඒක පත්තු කරේ කියලා කවුරුවත් දන්නෙ නැති උනාට ඒ අවට ගෙවල්වල අවදිවෙලා ඉන්න පිරිස පිට්ටනිය වටේ ඈතින්  වටවෙලා ගිනිමැලය දිහා බලන් ඉන්නව..  අවුරුදු කීපයකට කලියෙන් පාරවල් අයිනෙ ටයර් උඩ මල මිනී පිච්චෙනව දැකපු අපිට මහා විසාල ටයර් සෑයක් කියන්නෙ භය සංත්‍රාසය පිරුන දර්ශනයක්.. මමයි මංගලයයිත් පිට්ටනියෙ උඩහට වෙලා ගිනි මැලය දිහා බලන් ඉන්න අල්ල පනල්ලෙ මේං බොලේ එක පාරටම පොලිස් ජීප් එකක් මතුවුනා කියහංකෝ ග්‍රාමිණී විද්‍යාලය පැත්තෙන්.. ටයර් සෑයයි පොලිස් ජීප් එකයි කියන්නෙම මොලේ දිව්වෙ නැතත් ඇඟ දාලා කකුල් දෙක විතරක් හරි පැනලා දුවන සීන් එකක් නිසා මම මංගලයටවත් මංගලයා මටවත් කියලා ස්ථීර කරන්න කලින් අපි දෙන්නා එතැනින් පැනලා දුවන්න ගත්තා කියමුකෝ.. පිට්ටනිය වටේ වටවෙලා හිටපු පිරිසත් හිස් ලූලූ අත දුවන්න ගතපි..  ඇඳිරි නීතිය වෙලාවෙ පොලිස් ජීප් එකක් එක්ක පාර දිගේ රේස් දුවන එක වෙඩි කන්න වෙන වැඩක් නිසා මංගලයා සුපුරුදු ආකාරයෙන් වැට කඩොලු කඩාගෙන වතු උඩින් දුවන්න ගතපි.. මමත් ඉතිං පසු නොබලා මංගලයා පස්සෙන් ඔරේ රන්.. 

කලුවඩුමුල්ල පිට්ටනිය ලඟ තිබ්බ ඒ කාලෙ පරන තාලෙ ගෙදරක්.. ඒ ගෙදර මැද මිදුලක් එහෙම තිබ්බ ගම් උලු සෙවිලි කරපු පරන ඇන්ටික් මොඩල් එකේ ගෙදරක්.. දැං ඒ ගෙදර එතන තියනවද නැද්ද කියලා මම දන්නෙ නෑ අවුරුදු ගානකින් ඒ පැත්තට නොගිය නිසා.. පොලිස් ජීප් එක දැකපු මංගලයා  කොයිතරම් භය උනාද කියනවනම් පිට්ටනියට එද්දි ඒ වත්තෙ මායිමෙන් පැනලා ගේ අයිනෙන් ආපු එකා මේං අර ගේ මැද්දෙන් ගේ හරහා දිව්වා කියහංකො.. ඒ ගෙදර මිනිස්සුත් වටේටම ලයිට් දාගෙන දොරවල් එහෙමත් ඇරගෙන චන්ද ප්‍රථිපල බල බලා හිටියෙ.. එකපාරටම රෝඩ් රනර් ශෝ එකේ කුරුල්ලා ගේ මැද්දෙන් දිව්ව වගේ මංගලයා සිං ගාලා ගේ මැද්දෙන් ඇරපු ඇරිල්ලට ගෙදර මිනිස්සු මොකාද යකෝ ඒ කියන්නැහේ මංගලයා දිහා බලනකොටම මේ තව එකෙක් ඒ වේගෙන්ම ගේ මැද්දෙන් ඔරේ රන්.. මමත් ඒ හරියෙ වතුපිටි ගැන වැඩිමනක් දන්නෙ නෑ.. පොලිස් ජීප් එක ආපු නිසා පාරෙන් දුවන්නත් බෑ.. මංගලයා පස්සෙන් ඌ දුවන පාරෙ දුවනවා ඇරෙන්න මටත් වෙන විකල්පයක් නෑ.. මම හිතන්නෙ නෑ අපි දෙන්නම ඇරපු ඇරිල්ලට ඒ ගෙදර මිනිස්සුන්ට දිව්වෙ කව්ද කියලා අඳුරගන්න වෙලාවක් තිබුනා කියලා.. 

මැතිවර්ණයක්, අඳුරු රාත්‍රියක්, අඩි පනහක් විතර උසට ඇවිලෙන ටයර් සෑයක්, පොලිස් ජීප් එකක් කියන්නේ ඕනෑම අමු සොහොනක් මැද්දෙන් දෙපාරක් හිතන්නෙ නැතුව භය නැතුව පැනලා දුවන්න පුලුවන් වෙන පට්ට රෙසිපියක්.. ඒ තමයි 1994 වෙද්දි අපි අත්දැකලා තිබ්බ දේශපාලන වාතාවරණය.. ඒ නිසා තමයි 1994 ජනාධිපතිවරණය අපිට සෝමාලියාවට දාපු පාන් කෑල්ලක් ගානට සෙට් වෙන්නෙ..  හැබැයි අපේ ඒ බලාපොරොත්තු එදා පත්වුන සට්ලැයිට් ඇන්ටි ඉශ්ඨ කරේ නෑ.. අපි ඒ ගොඩගහපු බලාපොරොත්තු කිසිදු වටිනාකමක් නොලබාම කාලයාගෙ ඇවෑමෙන් නොසලකා හැරුන. වෙනත් විදිහකින් කියනවනම් නොවැම්බරයේ බලාපොරොත්තුව කූඨප්‍රාප්තියක් නොලබාම මියෑදුනා..

අදත් ඒ වගේම දවසක්.. 2024 සැප්තැම්බර් 21 කියන්නෙත් අපි බලාපොරොත්තු කප්පරක් ගොඩ ගහන දවසක්..  අපේ බලාපොරොත්තු ඉටු වේවිද නැද්ද කියලා හෙට දවසේ පත්වෙන ජනාධිපතිවරයා තීරණය කරාවි.. අපේ රටේ දෙකෝටි විසි ලක්ශයක කුඩු සංසාර වෙච්ච ජීවිතවල තිඹිරි ගෙයිම මැරිලා ගිය බලාපොරොත්තු , ඉශ්ඨ සිද්ද කරගන්න මාලිමාව අපිට හරි පාර පෙන්නාවිද? රටට ලෝකෙට ණය නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන අභිමානවත් රටවැසියන් වෙන්න අනුර කුමාර අපේ මිනිස්සුන්ට අවස්ථාවක් හදලා දේවිද? 
 තැන තැන විසිරිච්ච ජීවිත එකලාසයක් කරගෙන සතුටින් ජීවත්වෙලා කාටවත් බරක් නොවී මැරීලා යන්න අනුර කුමාර අපිට අලුත් ජීවිතයක් හදලා දේවිද? අපි බලාගෙන ඉමු.. හරියටම අපි 1994 බලාගෙන උන්නා වගේම.. මේ තමයි අපේ පරම්පරාව අභිමානවත් ජීවිතයක් ගැන කප්පරක් බලාපොරොත්තු ගොඩ ගහන අවසාන අවස්ථාව.. ආයෙ අපේ ජීවිත කාලය ඇතුලත මේ අවස්ථාව උදා වෙන්නෙ නෑ.. අපි බලාගෙන ඉමු.. සැප්තැම්බරයේ ඔටුනු පලඳින අලුත්ම අලුත් බලාපොරොත්තුව දිහා සීරුවෙන්..  ❤️❤️❤️

Saturday, June 29, 2024

ආදර ගුණේ ..

      


                ගුණේ කිව්වම ලංකාවේ ප්‍රසිද්ධම ගුණේ හිටියෙ ලලයි ලිලයි ලයි ටෙලියෙ.. ඕක ඉතිං ටෙලිය නොබලන අය දන්නෙ නැති නිසා ඒ ගුණේ ගැන විසේසයෙන් යමක් කියනවනං, ගුණේ කියන්නෙ බල්ලෙක්.. වෙනත් විදිහකින් කියනවනං, ලලයි ලිලයි ලයි කියන ටෙලියේ චරිතයක් වෙන උදාර පෙලපතකින් පැවත එන පිස්සු ධනුශ්කයාගෙ බල්ලා තමයි ගුණේ.. ඊයෙ වෙනකල් ගුණේ ගැන මට විශේශයක් නොතිබුනේ මං ඉතිං බල්ලන්ට ලොකුවට නෙවෙයි කිසිසේත්ම ප්‍රිය නොකරන චරිතයක් නිසා.. ඒ ඉතිං වෙන විශේශ හේතුවක් හින්දා නෙවෙයි බල්ලන් දෙන්නෙක් විසින්  මගේ දකුනු කකුලෙත් පස්චාත් භාගයේ තැන් දෙකකුත් ලේ පනින්නම සපා කාලා තියන නිසා.. ඒත් ඊයෙ වෙද්දී  ලලයි ලිලයි ගුණේ මියගියා කියන ප්‍රවෘත්තිය රන්දික ගුනතිලකගේ ෆේස්බුක් පේජ් එකෙනුත් උමා අසේනිගේ ෆේස්බුක් පේජ් එකෙනුත් ශෙයාර් වෙච්ච පෝස්ට්  දෙකකම දැක්ක.. ඒක කියවන් යද්දි තමයි මට අපේ ගුණේව මතක්වුනේ..


මේ කියන කාලෙ මගේ වයස අවුරුදු හතක් හෝ අටක්. අපේ ගුණේ අපි අතරට එන්නෙ 1984 අවුරුද්දෙ කියලයි මගේ අප්සැට් මතකය කියන්නෙ.. එවකට අපේ තාත්තගෙ ලොකු මලයා පිටරටක රැකියාවක් කරලා ලංකාවට වැකේශන් ඇවිත් හිටපු කාලයක්.. අපි එයාට කිව්වෙ සුදු බාප්පා  කියල.. තාත්තා ඇතුලු අපේ තාත්තගෙ සහෝදර සහෝදරියන් පුංචි කාලේ ඉඳලම එයාව සුද්දා නමින් හඳුන්වපු නිසා අපිට එයා සුදු බාප්පා උනා... සුදු බාප්පගේ හමේ පාට දිහා බැලුවාම මට දැං හිතෙනව අපේ තාත්තගෙ පවුලෙ අය වර්ණ අන්දතාවයෙන් පෙලුනාවත්ද කියලත්..

 ඔය කියන කාලෙට සාපේක්ශව අපේ තාත්තගෙ පවුලේ බාලයා හෙවත් පුංචි බාප්ප ලඟ තිබ්බ මොරිස් මයිනර් එකක්.. එවකට අපේ තාත්තගෙ බාල මල්ලිලා දෙන්නමත්, ඒ කියන්නෙ සුදු බාප්පත්, පුංචි බාප්පත්, තාත්තගෙ බාල නංගිත් කියන තුන්දෙනාම තනිකඩයි.. සුදු බාප්පා එවකට විදේශ ශ්‍රමිකයෙක්.. පුංචි බාප්පා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ශකවරයෙක්.. නැන්දා රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියක්.. සුදු බාප්පට ඒ වෙද්දිත් වෙනමම ගෙයක් තිබ්බට එයත් ඇතුලු සේරෝම පදිංචිව හිටියෙ අපේ ආච්චිත් එක්කම මහ ගෙදර.. 

බොහොමයක් දවස්වලට උදේ පාන්දර හොඳින් ඇඳපැලඳගෙන පුංචි බාප්පගෙ මොරිස් මයිනර් එකේ නගින අපේ සුදු බාප්පා ආයෙම ගෙදර ආවෙ හවස් වෙලා.. රට රස්සාවල් කරලා ලංකාවට වැකේශන් යන දැං එවුන් වගේම ඒ කාලෙ එවුනුත් වැකේශන් එකේ වැඩිහරියක් කරේ යාලු මිත්‍රයෝ එක්ක රවුං ගහපු එක තමා.. සතිය පුරාම මට බප්පලා නැන්දලා ඇසුරේ ඉන්න අවසර නැත්ත සති අන්තෙට වගේ මටත් තාත්තගෙ මහ ගෙදර නයිටක් ගහන්න අවස්ථාවක් ලැබෙනව.. ඒ ඉතින් අපේ තාත්තගේ කැමැත්තෙන් නෙවෙයි.. සති අන්තේ දවසක උනත් මම මහගෙදර ගිහින් රස්තියාදු ගහනවට කැලේ කොලේ පනිනවට අපේ තාත්තා ලොකුවට කැමැත්තක් නෑ.. එකේ ප්‍රතිපලයක් විදිහට අදටත් තාත්තගේ ගමේ පාරවල් තොටවල් ගැන  මිනිස්සු ගැන තාත්තට වඩා යමක් මම දන්නවා..

 සිකුරාදා හවස් වෙද්දී බාප්පලා දෙන්නේගෙන් එක්කෙනෙක් හරි ලොකු තාත්තගේ පුතා රවී අයියා හරි ඇවිත් මාව මහගෙදර එක්ක යනවා උනාට  තාත්ත ඒ ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ..  ඉස්කෝලෙ නිවාඩු කාලෙට ඉතිං සතියක් හමාරක්  එක දිගට මහගෙදර බෝර්ඩ් වෙන්න චාන්ස් එක වදිනව.. තනිකඩ බාප්පලා දෙන්නෙකුයි තනිකඩ නැන්දා කෙනෙකුයි සහ තාත්තගෙ අනික් සහෝදරයන්ගෙ දරුවො ටිකයි රෑට මහ ගෙදරට සෙට් උනාම ඒක තනිකරම මගුල් සක්වලක්.. මහගෙදර ස්ථීර සාමාජිකයන් ගනන හතරදෙනෙක් උනාට සති අන්තෙ සිකුරාදා රෑ සෙනසුරාදා රෑ වෙද්දි මහගෙදර හෙඩ් කවුන්ට් එක අඩුම විස්සක් විසි පහක්වත් වෙනව.. චූටි නැන්දා ප්‍රමුඛ ඤාති අක්කලා එකතුවෙලා රෑට හදන රාත්‍රී ආහාරය හැමෝම එක්ක  එකට එකතුවෙලා කනකොට තියෙන්න දිව්‍යලෝක රසයක්.. ඒ කාලෙ ටීවී චැනලුත් තිබ්බෙ දෙකයි නිසා ටීවී එකේ පෙන්නන චිත්‍රපටියක් බලලා හෝ සුදු බාප්ප රටින් ගෙනාපු වීඩියෝ ඩෙක් එකෙන් හිංදි පිචැර් එකක් බලලා රෑ දෙගොඩ හරියක් වෙනකල් කයියක්  ගගහ ඉන්න එක වෙනමම ආතල් එකක්.. රෑ කයිවාරුව  අතරට චූටි නැන්දගෙන් රසකැවිල්ලක්, බැදපු රටකජු ටිකක්  සහ තේ කෝපි කවදාවත් වැරදුනේ නෑ..

ඔය වගේ ගතවෙච්ච කාලෙක අපේ සුදු බාප්පා  මොරිස් මයිනර් එකේ නැගලා කොහේදෝ හිතවතෙක් හමුවෙන්න ගිය අතර වාරෙක තමයි එයාට ගුණේ මුනගැහෙන්නෙ.. ගුනේගෙ අම්ම සුදු බාප්ප හමුවෙන්න ගිය මනුස්සයාගෙ ගෙදරට ඇවිත් තිබ්බෙ ගුනේවයි ගුනේගෙ මල්ලිවයි එක්ක.. ගුනේට එවකට අවුරුදු හතරයි.. ගුනේගෙ මල්ලිට අවුරුදු එකහමාරක් දෙකක් වෙන්න ඇති කියලයි අනුමානය.. 

ගුණේ කියන්නෙ අවුරුදු හතරක පුංචි හුරුබුහුටි කොලු ගැටයෙක් කිව්වම මේක කියවන අය දැං පොඩ්ඩක් විතර පැටලෙයි මේක පටන් ගත්තේ බල්ලෙක් උක්ත කරගෙන නිසා.. ගුණේගේ අම්ම ගුණේට දාල තිබ්බ නමට  "ගුණේ" කෑල්ලක් තිබ්බ නිසා මුළු නම වෙනුවට අපි ගුණේ කියන අකුරු දෙක පාවිච්චි කරා.. ගුණේගෙ අම්ම ඒ ගෙදරට ඇවිත් තිබුනෙ උදලු තලයක් විකුනගන්න.. ඒ වෙන මොකකටවත් නෙවෙයි දරුවො දෙන්නට කන්න යමක් අරගෙන දෙන්න.. එතැනදි ඇතිවෙච්ච කතාබහකින් අනතුරුව ගුණේගෙ අම්ම අපේ බාප්පට කියනවා ගුණේව එක්ක ගිහිං හදාගන්න කියල.. ගුණේව දැක්කම දැනිච්ව හිතේ අමාරුවටම අපේ බාප්ප හිටපු ඇඳුම පිටින්ම ගුණේව මයිනර් එකේ වාඩි කරගෙන ගෙදර අරං එනව..

සුදු බාප්ප කොහෙන්දෝ කොල්ලෙක් අරං හදාගන්න ගෙනැල්ලා කියන ආරංචිය අපේ ගෙදරටත් එනව.. එවකට හතර මායිමේ එකෙකුටවත් ටෙලිෆෝන් තිබ්බෙ නැති නිසා කවුරුහරි ඇවිත් කියනකල් හෝ ටෙලිග්‍රෑම් එකක් එවනකල් ඉතිං පනිවුඩයක් එන්න ක්‍රමයක් සාමාන්‍ය ජනසමාජයට තිබ්බෙ නෑ.. ඒත් වැදගත් ආරංචි, ඕපාදුපයක් තකහනියේ හරි ඇවිල්ලා කියන කකුල් දෙකෙන් ඇවිදින සමාජ මාධ්‍ය ඒ කාලෙත් තිබ්බ නිසා හැතැක්මක් දෙකක් දුරට ආරංචියක් එන්න ලොකු කාලයක් යන්නෙත් නෑ..

ගුණේ අපූරු කොලු පැටියෙක්.. කකුල් දෙක ටිකක් බකලයි.. ඔලුවෙ හැමතැනම හොරි දද කුෂ්ඨ වගේ තුවාල.. ඇඳන් හිටියෙ ඉරුන කිලිටි ඇඳුම්.. ගුණේගෙ තිබ්බ ගති ලක්ශන වලින් මම කැමතිම එක උනේ ගුනේගෙ මුඛරිකම.. කතාවට කිසීම ලැජ්ජාවක් භයක් නැති ගුණේ ඕනෑම කෙනෙක් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙද්දි ෆිල්ටර් නෑ බ්‍රේක් නෑ.. ගුණේ දවසෙන් දෙකෙන් කොයිතරම් ප්‍රසිද්ධ උනාද කියනවනං, 2019 චන්දෙට කලින් කැලණියේ නයා බලන්න ආපු සෙනග වගේ සෙනගක් අහල පහලින් අපේ තාත්තගෙ මහ ගෙදරට එන්න පටන් ගත්ත.. එයින් භාගයක් ආවෙ ගුනේව බලලා යන්න.. තව පිරිසක් ආවෙ ආරංචිය ඇත්තද කියලා බලන්න.. මට අද හිතෙනවා ඒ ආපු සමහරු ආවෙ ගුණේට අපේ ඤාති වරිගයා කාගෙම හරි මුහුනුවර තියෙනවද බලන්න කියලාත්.. ඒ කලේ ඩී එන් ඒ ටේස්ට් තිබ්බනම් ඉතිං අපිට සිද්දවෙනවා ගුණේ අපේ කාගෙවත් දරුවෙක් නෙවෙයි කියලා ඕපදූප කාරයින්ට ඔප්පු කරන්න..😂😂😂 

ගුණේ අපේ තාත්තගෙ මහගෙදරට ඇවිත් දෙවැනි දවස වෙද්දි අපේ බාප්පලා නැන්දලා එකතු වෙලා ඉස්සෙල්ලම කරේ ගුණේව ගෲම් කරනන පටන් ගත්තු එක.. පලමුව ගුනේගෙ හොරි පිරුන ඔලුව තට්ටෙටම කෙස් බෑවුනා.. ඊට පස්සෙ නාවලා පිරිසිදු කරලා  තුවාලවලට බෙහෙත් එහෙමත් ගල්වලා අලුත් ඇඳුම් එහෙමත් අන්දලා ගත්තාම මේං යකෝ ගුණේ නිකම් හින්දි නලුවෙක් ගානට හැඩයි කියහංකො.. 

ඇඳන් හිටපු ඇඳුම පිටිං අරං ආපු ගුණේ සති දෙක යද්දි අපේ තාත්තගෙ මහගෙදර ස්ථීර සාමාජිකයෙක් උනා.. අරං එද්දි උප්පැනයක්වත් නොතිබුන ගුණේ පසුව ළඟ තිබ්බ  මොන්ටිසෝරියකට ඇතුලත්වුනා.. ඊට පස්සෙ ගමේ ඉස්කෝලෙ හෝඩියට ඇතුලත්වුනා.. ගුණේගෙ බකල කකුල් දෙක කෙලින් කරන්න අපේ ආච්චි කොයිතරම්නම් තෙල් ගාලා අතගාන්න ඇතිද.. අවුරුදු දෙකක් යද්දි ගුණේ සැපට හැදෙන අපූරු කොලු පැංචෙක්.. ගුණේ අපි කාටවත් පිටස්තරයෙක් උනේ නෑ.. සිංහල අවුරුද්දට අපිට අලුත් ඇඳුම් ලැබෙද්දි ගුනේටත් ඒ හා වටින මුදලටම අලුත් ඇඳුම් ලැබුන.. පිටින් ගෙනාපු කොල්ලෙක් කියන හැඟීම ගුණේට අතිවෙන්න කිසීම කෙනෙක් ඉඩ දුන්නෙ නෑ.. ගුනේට කොයිතරම් තැනක් අපේ පවුල ඇතුලේ ලැබුනාද කියනවනම්, අපේ බාප්පලා දෙන්නගෙම වෙඩින් වලදී  ගුනේටත් වෙඩින් හොම්කමින් වෙනුවෙන් වෙන වෙනමම අලුත් ඇඳුම් මැස්සුනා..  සුදු බාප්පා අරං ආපු දවසේ, සරොං කොටයක් ඇඳගෙන ඩෙඟ ඩෙඟ පරි රඹට කැකිරි කියලා උඩ පැනලා නටපු ගුණේ ටික කාලයක් යද්දී  අපේ මහගෙදර ආදරය රැකවරණය ඇතුලෙ අයි ඇම් අ ඩිස්කෝ ඩාන්සර් කියන තැනට පර්සනලි ඩිවලොප් උනා.. ඒත් ගුණේට පරවේණියෙන් ගෙනාපු එකම එක දෙයක් විතරක් අතෑරගන්න බැරිවුනා.. ඒ තමයි ඉඳහිට හැදෙන මීමැස්මොර රෝගය.. පුලුවන් හැම විදිහකටම ප්‍රතිකාර කරලත් ගුණේගේ අසනීපය සුව කරගන්න නැන්දලා බාප්පලාට බැරිවුනා.. ඉඳ හිටලා අසනීප වෙන එක ඇරුනාම ගුණේ ගතකරේ පට්ට සැපවත් සුපිරි ජීවිතයක්.. 

එහෙම අවුරුදු කීපයක් යද්දි තමයි ගුනේගෙ අම්ම ආයෙම ගුණේ හොයාගෙන මහගෙදරට පැමිනෙන්නෙ.. ඒ තමා ගුනේගෙ ජීවිතේ ටර්නිං පොයින්ට් එක.. ගුණේගෙ අම්මගෙ ඉල්ලීම උනේ ගුණේව ආපහු එයාට ඕන කියන එක.. ඒත් ඒ තරමට ආදරෙන් හදාගත්තු ගුණේව ලේසියෙන් අම්මට අතාරින්න අපේ නැන්දයි ආච්චියි බාප්පලා දෙන්නයි කැමති උනේ නෑ.. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි.. ඒ අම්මගෙ රැකවරණය යටතේ ගුණේට සුභ අනාගතයක් ලැබෙන්නෙ නෑ කියලා ඉන්තේරුවෙන්ම දන්න නිසා.. ඒත් ගුණේගෙ අම්මත් ඒ අම්මව එතනට පොලඹවපු ගැහැනු කෙනාත් ගුණේව අතාරින්න සූදානම් උනේ නෑ.. අවසානයේ ප්‍රශ්ණය පොලිසිය දක්වා දුර ගියා.. ඒක පොලිසියටත් විසඳන්න පුලුවන් පරිමාවේ ප්‍රශ්නයක් නොවුන නිසා ගුණේව අයිතිකරගැනීමේ ප්‍රශ්ණය උසාවිය දක්වාත් දුර ගියා.. 

නඩු වාර කීපයක් අවසානයේ සියලු සාක්ශි විමසපු නඩුකාරතුමා අවසානයේ ගුණේවත් විත්ති කූඩුවට නග්ගනව.. එතුමා ගුණේගෙන් අහනවා ඔයා ඉන්න කැමති අම්ම ලඟද අම්බලංගොඩ ආච්චි ලඟද කියලා.. ගුණේ එක පයින් උත්තර දෙනවා ආච්චි ලඟ කියලා.. ඒත් නීතියේදි හැඟීම් වලට වඩා මුල්තැන ලැබෙන්නෙ නීතියට නිසා  දරුවාගෙ අයිතිය අම්මට දිය යුතුයි කියලා උසාවියෙන් තීන්දුව ලැබෙනවා .. යන්න බෑ කියලා කෑ මොර දෙද්දි ඒ අම්ම ගුනේව බලහත්කාරයෙන් බස් එකක දාගෙන අරගෙන යනව.. එතැනින් එහා අපේ තාත්තගෙ මහ ගෙදර සතියක් හමාරක් බත් ඉදෙන්නෙ නෑ.. ගුණේව අහිමිවීමේ වේදනාව ඤ්ති හැමදෙනාත්, මහගෙදරත්, අසල්වැසියනුත් අමාරුවෙන් විඳගන්නව.. අවුරුදු කීපයක් අපි එක්ක කැලේ කොලේ දුව පැන ඇවිදපු, එකට ක්‍රිකට් ගහපු, එකට සාලෙ වාඩිවෙලා ටීවී බලපු, එකට කාපු බීපු ගුණේ පරිච්චේදය එතැනින් අවසන් වෙනව.. ඒක අදත් අපිට බොහොම වේදනාකාරී මතකයක්..🥲

කාලය ගත වෙනවා.. බප්පලා නැන්දලා හැමෝම විවාපත් වෙනව.. ආච්චිත් හෙමින් හෙමින් වියපත් වෙනව.. මහගෙදර ආච්චි විතරක් ඉතුරු වෙනව.. කාලයක් ගත වෙද්දි  ගුණේ කියන්නෙ අපෙන් වෙන්වෙලා ගිය පවුලේ සාමාජිකයෙක් ගානට සුන්දර සහ දුක්බර මතකයක් පමණක්ම වෙනව..  ඒ විදිහට අවුරුදු අටක් දහයක් වගේ කාලයක් ගත වෙනව.. ඕං ඔය අතර තමයි ඊලඟ වැදගත් සිදුවීම සිද්දවෙන්නෙ.. 

එදා  මහ ගෙදරට කව්දෝ අමුත්තෙක් ඇවිත් .. ඒ වෙද්දි මහගෙදරට ටෙලිෆෝන් අරගෙන.. අහලපහලත්, අපේ ගෙවල්වලත් ඒ වෙද්දි ටෙලිෆෝන් තියෙනව.. ආච්චිගෙ ඉල්ලීමකින් ඥාති වරිගයාගෙ හැම ගෙදරටම එන ටෙලිෆෝන් කෝල් එකකින් කියැවෙන්නෙ ඒ ආපු අමුත්තා ගැන.. තමයි අපේ ගුණේ.. කෑ ගහලා අඬද්දි අම්මා බස් එකක දාගෙන අරං ගිය අපේ පුංචි ගුණේ.. පරන මතකයෙන් අහම්බෙන් දැකපු මං සලකුනක් ඔස්සේ ගුනේ මහගෙදර හොයාගෙන ඇවිත්.. අපෙ අප්පේ එදා අපේ අච්චිට තිබ්බ සන්තෝසෙ.. එයා ගුනේව අතගානවා ඉවරයක් නෑ... එදාත් මහගෙදරට සුවිසේශී දවසක්.. ඥාති වරිගයාද, අහල පහල උදවිය පෝලිමේ එනවා ගුණේව බලන්න..  එදත් ගුණේ පලවෙනි වතාවෙ අරං ආපු දවසේ වගේමයි.. ගුණේගෙන් දාහක් ප්‍රශ්ණ අහනවා .. අතගානවා ඉවරයක් නෑ.. වෙනත් විදිහකින් කියනවනම් ගුණේ වටේ ආදරේ දෝරෙ ගලනව.. ගුනේට එවකට වයස දහ අටක් විස්සක් වගේ වෙන්න ඇති.. ඒත් ඉතිං තොල් කලුවෙලා.. ඇඳුම් අබලන් වෙලා.. බැලූ බැල්මටම ගුණේ ඒ වෙද්දි නාස්ති වෙච්ව කොල්ලෙක්.. ආයෙත් ගොඩ දාන්න පුලුවන් වෙනවට වඩා නොවෙනවට කැට තියලා කියන්න පුලුවන් පෙනුම ඒ වෙද්දි ගුණේට තිබ්බ..

උණු නිසා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක හිටපු ගුනේව බාප්පගෙ මැදිහත්වීමෙන් බාප්පගෙම ආයතනයේ තාවකාලික කම්කරු රැකියාවකට දාගන්න බාප්පට පුලුවන් වෙනව.. ඒත් ඒ වෙද්දිත්  ගුණේ ගැන විශ්වාසයක් තියන්න බෑ කියන ගති පුරුදු ගුණේ විසින් පෙන්නමින් ඉන්නව.. එක තැනක් අවංක කමෙන් රස්සාවක් කරගෙන ජීවිතේ ගොඩදාගන්න උවමනාවක් තිබ්බෙ නැති ගුණේ ටික දවසක් යද්දි  කරගෙන හිටපු රැකියාවෙන් පැදුරටත් හොරෙන් මාරුවෙනව.. ඒ පුංචි කාලය ඇතුලතත් ගුණේ වංචා සහ හොරකම් කීපයක සැකකරුවෙක්..

තැන තැන අහුවෙන රැකියාවක් කුලී වැඩ කරපු ගුනේ පස්සෙත් ඉඳ හිටෙක ආච්චි බලන්න මහගෙදරට එනව.. ගුණේ එන්නෙ ආච්චිගෙන් සල්ලි කොල  කීපයක් උන්ඩි කරගෙන යන්න කියලා ආචිත් දන්නවා උනාට අපේ ආච්චිත් ගුනේ ආපු හැම වෙලාවෙම ගුණේව හිස් අතින් යැව්වෙ නෑ.. ඒත් පස්සෙන් පහු ගුණේ ගැන ආරංචියක්වත් නැතුව යනව.. මීමැස්මොර රෝගය හැදීලා ලිඳක වැටිලා ගුණේ මියගියා කියන දූසමාන ආරංචියක් කොහෙන්දෝ  මගේ කනට වැටිලා තියෙනවා උනාට කවුරුවත් ඒක තහවුරු කරලාම කියපු එකක් නෙවෙයි.. ගුණේ අද ජීවත්ව ඉන්නවද නැද්ද කියලා අපි කවුරුත්ම දන්නෙ නෑ.. ඒත් ගුණේ ගැන මතක්වෙන හැම වෙලාවෙම අපි කාටත් තියෙන්නෙ වේදනාව පසුතැවීම ප්‍රමුඛ හැඟීමක්.. ගුණේට එයාගෙ ජීවිතේ හොඳ තැනකට ගෙනියන්න දෛවයෙන් අවස්ථාවක් ලැබුන.. ඒත් මොකක්දෝ කරුමයකට ගුණේට ඒ අවස්තාව හදලා දීපු එයාගේ අම්මම ඒකට හරස්වුනා.. එහෙම නොවුනානම් ගුණේ අද වෙද්දි හැකි උපරිමයෙන් අධ්‍යාපණය හදාරලා හොඳ රස්සාවක් කරගෙන පවුලක් පන්සලක් වෙච්ච ලොකු මහත්තයෙක්.. අපේ නැන්දා අදත් කියන්නේ ගුණේට තිබ්බ මතක ශක්තිය එක්ක ගුණේ දිගටම ඉස්කෝලේ ගියානම් ගුණේ හොඳ තැනකට යනවා කියලමයි..

අවුල් වෙච්ච ජීවිත සුභ දිශාවන්ට පැදගෙන යන්න මිනිස්සුන්ට කලාතුරකින් අවස්ථාවන් ලැබෙනව.. අවාසනාවන්ත විදිහට ගුණේට පලවෙනි අවස්ථාව ලැබිලත් අහිමි වෙනවා ගුණේ බාලවයස්කරුවෙක් නිසා.. සමහර අවස්ථාවන් ජීවිතේට දෙපාරක් එන්නෙ නෑ.. ඒත් ගුණේට ඒ විරල චාන්ස් එක දෙපාරක් ආවා උනාට පලවෙනි අවස්ථාව මගහැරුන වරදේම දිගුවක් විදිහට දෙවැනි අවස්ථාවත් ගුනේට මග හැරෙනව..  අද වෙද්දි ගුණේ ජීවත්ව ඉන්නවද එහෙම නැතිනම් මියගිහිංද කියලා අපි කවුරුත්ම හරිහැටි දන්නෙ නෑ..

ගුණේ, 
 පුංචි බාප්පගෙ වෙඩින් වීඩියෝ එකේ උඹ සුදු  ජාතික ඇඳුමක් ඇඳලා රට සෙරෙප්පු දෙකක් දාලා අදත් එදා වගේම ඉන්නව ඇති.. පවුලේ වෙඩින් වීඩියෝවල විනාඩි දෙක තුනකට වරක් කැමරාව ඉස්සරහින් ගිය චරිත තුන අතරේ උඹ එක්කෙනෙක්.. ඒක මතක් වෙද්දීනම් මට අදත් උඹ ගැන හිනා යනවා.. උඹ පුංචි එකා උනාට ඒ කාලෙත් කැමරාවෙන් පේන්න උඹ හරිම ආසයි .. මම උඹට කැට තියලා කියනවා, උබේ අම්ම එදා උඹව අපෙන් උදුරාගෙන අරං නොගියානම් උඹ අද ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක්.. ඒක එහෙම උනේ උඹේම අවසනාවට වෙන්න ඇති කියල මම හිතනවා.  ඉන්න තැනක හෝ ඉන්න ලෝකෙක හොඳින් හිටපං ගුණේ.. උඹ එක්ක තියන මතකයන් අපේ හිත්වල එදා වගේම අදත් ආදරනීයයි අමරණීයයි.. 🥲🥲🥲



 

Saturday, June 15, 2024

යූ කම් ටු මයි රූම් ටුනයිට් ?

                                 ඒ මීට අවුරුදු දහයකට දොලහකට කලින් කාලෙ.. මම වැඩ කරේ තඩි හෝල්සේල් ෆ්‍රෝසන් ෆූඩ් ෆැක්ටරි එකක.. ඒක ඉතාලි කෑම හදපු ෆූඩ් ෆැක්ටරි එකක්..  24/7 ප්‍රඩක්ශන් එක ඔරේ රන්..  මගේ ශිෆ්ට් එක හවස දෙකේ ඉඳන් රෑ දහය.. හවස දෙකේ ඉඳං රෑ දහය වෙනකල් මගේ රස්සාව ෆැක්ටරියෙ තියන යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන එක.. දවසට කොන්ටේනර් කීපයක ප්‍රඩක්ශන් එකක් එලියට යන ෆැක්ටරියක තියෙන අටෝරාසියක් යන්ත්‍ර සූත්‍ර අතරෙ නොකැඩුන යන්ත්‍රයක් තිබ්බනම් ඉතිං ඒ බොහෝම කලාතුරකින්.. අලියෙක් උනත් නාවන්න තරම් සයිස් පිටි අනන මැශින්, මීටර් පනහක් හැටක් දිග පැස්ටරයිසර්, එව්වට නන්ස්ටොප් වාශ්ප සපයන බොයිලර්ස්, වාශ්ප ෆැක්ටරිය පුරා ගෙනියන තඩි සයිස් බ්ලෝවර්ස්, අහාර ද්‍රව්‍ය වේලන ඩ්‍රයර්,  පැය 24 ම රන්වුන කිචන් එකේ තිබ්බ යන්ත්‍ර සූත්‍ර, ප්‍රඩක්ශන් එක පැය 24 තිස්සෙම පැක් වෙන ෆුලී ඔටෝමේටඩ් පැකින් මැශින් කීපය ඇතුලු මෙකී නොකී සියලූම යන්ත්‍ර සූත්‍ර අතරින් භාගෙට භාගයක් හැමදාමත් තිබ්බෙ කැඩිල.. ෆැක්ටරිය නන්ස්ටොප් රන් වෙන්න ඕන නිසා අපේ බොසා එක මැශිමකින් අවම දෙකකට වඩා ස්ටෑන්ඩ්බයි තියෙන විදිහට ෆැක්ටරිය මේන්ටේන් කරා.. ඒ අතරේ ඔක්ශන් වලින් අඩුවට සෙට්වෙන ලෝක යුද්ද කාලෙ යන්ත්‍ර සූත්‍රත් අපේ ලොක්කා ෆක්ටරියෙ වෙයාර් හවුස් එකේ ගෙනැත් බාගත්ත.. සමහර එව්ව අපි ලව්වා හදලා ෆැක්ටරියෙ පාවිච්චියට ගත්ත.. සමහර එව්ව ආයෙම ඩබල් ප්‍රයිස් කරලා වික්ක.. ඒ නිසා මගේ ශිෆ්ට් එක තනි ටෙක් කෙනෙක් විදිහට මට හම්බානෙකට වැඩ.. වැඩ කිව්වට ඉතිං මේන් ටාස්ක් එක ප්‍රඩක්ශන් එක නන්ස්ටොප් රන් කිරීම.. මගේ වගකීම වෙන්නෙ ස්පෙයාර් පාර්ට්ස් තිබ්බා නැතා හරකෙක් බැඳලා හරි ප්‍රඩක්ශන් එක නවතින්න නොදී දුවවන එක.. ඒකට පිං සිද්දවෙන්න රෑ දහයට ගෙදර යන්න වැඩට එන මම සමහර දවස්වලට ගෙදර එන්න උදේ ශිෆ්ට් එකේ ටෙක් උදේ පහට වැඩට ආවාම..  

ටික කාලයක් වැඩ කරද්දි මගේ ශිෆ්ට් එකත් හවස දෙක රෑ දෙක තැනට ඇජස් උනා ඉබේම.. හවස දෙකේ ඉඳන් රෑ දහය වෙනක්ල් ඕවරෝල් යුනිෆෝම් එකෙන් ඉන්න මම බහුතරයක් දවස්වලට රෑ දහයෙ වගේ ඉඳන් ඕෆ් වෙනකල් හිටියෙ චෙෆ් යුනිෆෝම් එකෙන්.. එකට හේතුව රෑ ශිෆ්ට් එක දුවන්න කිචන් ස්ටාෆ් මදි වෙන එක.. රෑ ශිෆ්ට් එක දිවවීමේ වගකීම පැවරුනේ මටයි ඔස්කා කියන තවත් එක හාදයෙකුටයි.. උදේ වෙද්දී එලියට යවන්න තියන ප්‍රොඩක්ෂන් එක යවන්නනම් කිචන් එක සහ පැකින් එක  රන් වීම අනිවාර්යයි..  බොහොමයක් දවස්වලට සිද්දවුනේ කිචන් එක රන් කරන්න මම ස්වේච්චාවෙන් කිචන් එකට අනුයුක්තවීම සහ පැකින් එක රන් කරන්න ඔස්කා ස්වේච්චාවෙන් පැකින් එකට අනුයුක්ත වීම.. 

 ෆූඩ් ෆ්‍රොසෙසින් ප්ලාන්ට් එකක කුකින් කියන්නෙ ලාර්ජ් ස්කේල් වැඩක්.. අවම පෝශන් එක උයන්න තියෙන්නෙ කිලෝ 50 වගේ කොන්ටිටීස්.. කුකින් කියන්නෙත් මම ආස කරන සබ්ජෙක්ට් එකක් නිසා කිචන් එකේ වැඩ කරන එක  ඉතින් මටත් ලොකු මහන්සියක් නෑ.. දවසෙම යන්ත්‍ර සූත්‍ර එක්ක කරන ඒකාකාරී ජීවිතේ මදකට වෙනස් වෙනවා කුකින් වැඩේ නිසා.. කිලෝ 50 ක් වගේ පෝෂන් එකක් එක පාරට උයනවා කියන එක ඉතින් වෙනම එක්ස්පිරියන්ස් එකක්.. සියලුම එළවලු වර්ග ෆැක්ටරියට එන්නේ කපපුවා නිසා කපන්න කොටන්න දෙයක් නෑ... කිචන් එකේ තියන පරිඝනකයට අපිට අවශ්‍ය නිමි ද්‍රව්‍ය ප්‍රමාණය ඇතුල් කරාම රෙසිපියට අවශ්‍ය සියලූම ද්‍රව්‍යවල බර ප්‍රමාණය පරිඝනකය විසින් ලබා දෙනවා.. කුක්ට තියෙන්නේ ඒ ඒ අවශ්‍ය ද්‍රවය කිරලා මැනල අරගෙන අවශ්‍ය ප්‍රමාණයට පිසගැනීම පමණයි.. කිලෝ 50 කොන්ටිටීස් ඊළඟට යන්නේ මික්සර් එකට.. මික්සර් එකේ වැඩ කරන කෙනා කරන්නේ කුක් උයලා දෙන ආහාරයට රෙසිපියේ ප්‍රමාණයට සාමන්යෙන් කිලෝ දහයක් පහළොවක් වගේ චීස් එකතු කීරීම.. ඒකත් පිටි අනන තඩි මැෂිමක්.. එකෙ වැඩ කරන කෙනා අවශ්‍ය කරන චීස් ප්‍රමාණය මිශ්‍ර කරලා අඹරලා ගත්තම ඒක ඊළඟට යන්නේ රැවිඔලි හදන ඩිපාර්ට්මන්ට් එකට.. රැවිඔලි (Ravioli) කියන්නේ පැටිස් එකක් වගේ ජාතියක් .. කිචන් එකෙන් හදලා දෙන ෆිලින් එක රැවිඔලි මැෂින් එක ඇතුලට දැම්මම ඒකෙන් එලියට එන්නේ මැෂින් එකෙන් රෝලර් එකෙන් කැපිලා සීල් වෙලා එන රැවිඔලි.. ඒක ඊළඟට යන්නේ වාෂ්ප යන්ත්‍රයට.. වාෂ්ප යන්ත්‍රය ඇතුලෙන් මීටර්  පනහක් ගිහින් අනික් පැත්තෙන් එලියට එන්නේ හොඳින් තැම්බූන රැවිඔලි.. ඊළඟට ඒ රැවිඔලි බෙල්ට් එක දිගේ යන්නේ වේලන යන්ත්‍රයට.. ඒක ඇතුලෙන් ගිහිං කරෝල කුරියා ගානට වේලිලා එලියට එන රැවිඔලි ඊළඟට තමයි පැකින් එකට යන්නේ.. ඔය ක්‍රියාන්විතය ඇතුලේ කොතන හරි එක වරදක් හෝ දෝෂයක් සිද්දවුනොත් ඒක නිවැරදි කරනකල් ප්‍රොඩක්ෂන් එක හබක්.. ඒ ඒ අවශ්‍ය තැන්වලට  මිනිස් ශ්‍රමය තියෙනකල් ඔස්කට ඔලුවේ කැක්කුමක් නෑ...  ඔය ප්‍රොඩක්ෂන් ලයින් එකේ තියන යන්ත්‍රවලින් එකක්වත්  හබක් නොවෙනකල් මටත් විශේෂ ඔලුවේ කැක්කුමක්  නෑ.. ඔස්කට පඩිය කීයක් ලැබුනද කියලා මම දන්නේ නෑ.. මට පැය අටේ ඉඳන් ඕෆ් වෙනකල් අතිකාල ලැබෙන නිසා මගෙත් ඉතින් ලොකු අවුලක් නෑ..


ෆැක්ටරියෙ තිබ්බ ලොකුම අවුල තමා ෆුල් ස්ටාෆ් ස්පාඥ්ඥ භාශාව කතාකරන ස්ටාෆ් එකක් වීම.. ෆැක්ටරියෙ ප්‍රොඩක්ශන් ලයින් එක ඉතාලි කෑම ජාති නිසා ඒ කෑම ගැන අවභෝධයක් තියෙන රටවල මිනිස්සුන්ට ඒ ෆැක්ටරියෙ ප්‍රමුඛතාවය ලැබුන නිසා මුලු ස්ටාෆ් එකම කතා කරේ ස්පැනිශ්.. ෆැක්ටරියෙ ඕනර් ඇරුනාම ඉංග්‍රීසි කතාකරපු උදවිය හිටියනම් ඒ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක්.. ඒ විදිහ භාශා අවුලක් එක්ක පැය 12 හෝ ඊට වැඩි ශිෆ්ට් එකක් වැඩ කරලා ගෙදර ආවාම වැඩිම මහන්සිය තියෙන්නෙ වැඩ කරපුවට නෙවෙයි අදහස් හුවමාරු කරගන්න වෙච්ච මහන්සියට.. උන්ට සිංහල බෑ... මට ස්පාඤ්ඤ බෑ.. ඒ මදිවට උන් එකෙකුටවත් ඉංග්‍රීසි බෑ.. ඉතිං කියහංකො කොහොමද කියලා අදහස් හුවමාරු කරගන්නේ කියල.. ඕනෑම භාෂාවකට මහා පොදු සාධකය විදිහට ස්පැනිශ් භාෂාවේ තියන  සියලුම අසභ්‍ය වචන ටිකනම් දෙයියනේ කියල සතියෙන් ඉගෙනගත්ත.. එතන අවුරුදු දෙකක් වැඩ කරපු නිසා ලාවට ලාවට වචන අර්ථ තේරෙනව උනාට වාක්‍යක් තේරුම්ගන්න තරම් මට ස්පැනිශ් දැනුමක් නෑ... ඒ වෙනුවට උනේ ඉංග්‍රීසි මෙලෝ මලදානයක් බැරි එවුන් එක්ක ඉංග්‍රීසි කතා කරන්න ගිහින් තිබ්බ ඉංග්‍රීසි ටිකත් සෙත්තපෝච්චි වෙච්චි එක.. උන්ට ඉංග්‍රීසි තේරුම් කරන්නනම් ව්‍යාකරණ අමතක කරන්නම වෙනවා අකමැත්තෙන් උනත් ..

රෑ ශිෆ්ට් එකේ තිබ්බ විශේෂිත තාවය තමයි ශිෆ්ට් එක ඕෆ් වෙලා යද්දී වාහන නැති කවුරුවත්ම මහමග දමා නොයෑම.. රෑ දහයාමාරෙන් පස්සේ ඒ පැත්තට පබ්ලික් ට්‍රාන්ස්පොටේෂන් සහ ශටල් සේවා නෑ.. ඒක ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක් නිසා එතනින් කිලෝමීටර් තුනක් එහායින් තියන ප්‍රධාන පාරට යනකල් යන්න වෙන්නේ පයින්.. නීතියට අනුවනම් ආයතනය විසින් ප්‍රවාහනය සැපයිය යුතු උනත් සේවකයන් සහයෝගයෙන් වැඩේ ගොඩ දාගන්න නිසා ආයතන පරිපාලනය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නෑ.. ආයතනය විසින් අපිට පැවරුවේ නැතත් අපි කවුරුත් කාවවත් රෑට මහමග දාල ගියේ නෑ.. එක එක වාහනේ යන වෙනම සෙට් එකක් හිටිය.. කාන්තා පිරිමි කියලා භේදයක් තිබ්බේ නෑ.. මම හිටියේ වැඩි දුරක නෙවෙයි නිසා මගේ වාහනේට සෙට් උනේ බොහෝවිට එක්කෙනයි.. උගේ නම මිගෙල්.. අපි ඌට  නැති තැන කිව්වේ මිකී කියල.. මිගේල්ට මිකී කියන්න විශේෂත්වය උනේ මිකී මවුස්ට වගේ පැත්තකට ඇද වෙච්ච ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඔලුවක් පිහිටීම.. මිකී කියන වචනේ ඇහුනානම් මිගෙල් ස්පැනිශ්  භාෂාවේ තියන සියලූම වචන වලින් බැන වදින එක සාමාන්‍ය දෙයක්..

වල්දිනා එවකට වයස තිහක වගේ එක්දරු මවක්.. වැඩ කලේ පැකින් එකේ.. හැමදාම රෑට වල්දිනා අරගෙන යන්න එයාගේ හස්බන්ඩ් ෆැක්ටරියට ආව රෑ දෙක වෙද්දී.. ඒ නිසා අපි කාටවත් වල්දිනා රෑට ගෙදර ඇරලවන්න ඕනෑවුනේ නෑ.. ෆැක්ටරියේ බහුතරය වගේම වල්දිනටත් ඉංග්‍රීසි අකුරක් බෑ.. මොකක් නමුත් වැඩක් කරවගන්න ඉතින් භාෂා පරිවර්තකයෙකු අත්‍යවශ්‍යයි.. ඕන් දවසක් ෆැක්ටරිය වහන්න පැය භාගයක් විතර තියෙන්නේ වල්දිනා එනවා පැද්දි පැද්දී කිචන් එක දිහාවට.. කිචන් එක මං විතරයි..

හලෝ සර්.. කොමෝ එස් තස්.. ( හෙලෝ සර්, හවූ ආර් යූ ?)

එකට ස්පැනිශ් වලින් උත්තර දෙන්න මම යන්තමට දන්නවා..

බියෙන් (අයි  ඇම් ෆයින් ) වල්දිනා.. වට් ඩු යූ වෝන්ට් ? 

මාත් ඉතින් දන්නා ස්පැනිශ් ටිකත් පාවිච්චි කරලා වල්දිනා අමතලා එයාගේ අවශ්‍යතාවය අහනවා.. පැකින් එකේ එකෙක් මාව හොයාගෙන කිචන් එකට එන්නේ හේතු තුනකට.. පලවෙනි එක කෑමට යමක් උවමනා වීම.. දෙවැනි එක  ගෙදර ගෙනියන්න පැස්ට ටිකක් රවිඔලි ටිකක් උවමනා වීම.. ඒක විසඳන එක සුළු දෙයක්.. තුන්වෙනි හේතුව ඉතාමත් භායනක එකක්.. ඒ තමයි ප්‍රොඩක්ෂන් ලයින් එකේ යන්ත්‍රයක් අවසන් ගමන් යාම.. 

යූ  කම් ටු මයි රූම් ටුනයිට්  ?

මගේ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා කියමුකෝ.. හැමදාම රෑට හන්බන්ඩා එක්ක ගෙදර යන එක්දරු මවක් මගෙන් අහනව රෑට කාමරේට එනවද කියල..  ගෑනියෙක් මිනිහෙකුගෙන් අහන ප්‍රශ්නයක්ද කියහන්කෝ ඒක ..  

අයි ඩෝන්ට් ආණ්ඩස්ටෑන්ඩ් වල්දිනා...

ප්ලීස් සර්.. කාර් යූ  කම් ටු මයි රූම් ටුනයිට් ... 

ඒ කාලේ ගුගල් ට්‍රාන්ස්ලේට් තිබ්බෙත් නැති නිසා වල්දිනා අහන දේ තේරුම් කරගන්න විදිහක් තිබ්බෙත් නෑ.. ඔස්කා හොයාගෙන යන එක ඇරුනාම වෙන විකල්පයකුත් නැති උනාට වල්දිනා අහන ප්‍රශ්ණය දරුණු ගනයේ එකක් නිසා මනුස්සයෙකුට කටක් ඇරලා කියන්නත් බෑ... ඒත් ඉතින් හත් ඉලව්වේ මේකත් පැද්දි මම උත්තරයක් දෙනකල් බලන් ඉන්න නිසා මම හනික ෆෝන් කොටේ අතට අරගෙන ඔස්කට කෝල් එකක් ගැහුවා ඉන්න තැනකින් හැකි ඉක්මනින් කිචන් එකට වර කියල.. ෆැක්ටරිය වහන්න ඔන්න මෙන්න තියාගෙන මගෙන් හදිසි ඇමතුමක් එනවා කියන්නෙත් ඔස්කගේත් ඇඟේ මයිල් කෙලින් වෙන සිද්දියක්.. මොකද කියනවනම් මොකක් නමුත් යන්ත්‍රයක් සෙත්තපෝච්චි වෙලානම් මම යන්ත්‍රය ගොඩ දානකල්   මගේ තනියට ඉන්න ඔස්කට සිද්දවෙනවා.. ඒ නිසා ඔස්කත් ඩබල් එකේ කිචන් එකට වාර්තා කළා...

ඕන් ඊට පස්සේ තමයි වල්දීනට ඕනවෙලා තිබ්බේ රෑට ගෙදර යන්න රයිඩ් එකක් කියලා පැහැදිලිවම දැනගත්තේ... වල්දිනා එයා දන්නා ඉංග්‍රීසියෙන් මගෙන් අහලා තිබ්බේ ඕෆ් උනාම එයාවත් මගේ කාර් එකෙන් ගෙදරට දාගෙන යන්න පුලුවනිද කියල.. ගණදෙවි නුවණ පහලවෙලා ඔස්කව ගෙන්නලා ප්‍රශ්ණය පැහැදිලි කර නොගෙන වල්දිනගේ රූම් එකට එහෙම යන්න හිතක් පහලවුනානම් වල්දිනගේ හයේ හතරේ මනුස්සයගෙන් මම මැරුම් කාලා දැන් අවුරුදු දහයකට වැඩියි.. මම ඉතින් පිළිවෙලකට හැදුන කුලවත් ගුණවත් උදාර කොල්ලෙක් නිසා යන්තම් පන ටික බේරුනා...

Friday, May 31, 2024

තඩියාගේ නුවරඑලිය සංචාරය 3



එදා නුවරඑලියෙන් පිටත් වෙද්දිම හවස තුන පහුවෙලා.. නුවරඑලියෙ අලුතෙන් හදන ගේ වැඩ බලන්න කියලා ගෙදරින් පැනගත්තෙ පස්ට අමාරුවෙන්.. මාසෙකට සැරයක් නුවරඑලි යන්න තරං ලොකු වැඩක් දැං අලුත් ගෙදර ඉතුරු වෙලා නෑ.. නිස්කාන්සුවේ ඇදවෙන්න අඩියක් ගහලා බඩ පැලෙන්න කාලා හිතුන වෙලාවක නිදාගෙන හිතුන වෙලාවක ඇහැරෙන්න චාන්ස් එකක් නෑ ගෙදර ඉන්නකොට.. ගල් භාගයක් ඉනේ ගහගෙන බයිට් එකකුයි රෑට කන්න කෑම එකකුයි අරගෙන හවස් වෙද්දි නුවරඑලියෙ ගෙදරට යනවා කියන්නෙ වෙනම ෆීලින් එකක්.. ඈතිං පේන කඳු පංතිය පිසගෙන එන සීතල මීදුමත් එක්ක එන ආතල් සීතල පොඩ්ඩ විඳගෙන ගල් භාගෙ අවසන් ගමන් යද්දි කඳු පංතියට උඩින් පේන ලයිංවල ලයිට් පේන්නෙ ලාවට බොඳ වෙලා.. මදියි මදියි වගේ දැනුනට ආයෙ ගේන්න යන්න මං එච්චර උනන්දුවක් කරන්නෙ නැත්තෙ වැහි පින්නෙ රෑපානෙ බාර් ගානෙ රිංගලා එද්දි පොලිස් කාරයෙකුටවත් මාට්ටු උනොත් උසාවි නොගිහිං බේරෙන එක ලේසි පාසු නැති නිසා..
නුවරඑලි යද්දි මෝටර් බයික් එකට වඩා කාර් කටුව පහසු උනාට මම ඒකෙ නොයන්නෙ ඒකෙ ජීපීඑස් ට්රැකර් එකක් හයිකරල තියන නිසා.. යන එන ගමනේ ඒක නවත්තන තැන් අපේ මායියටත් පේන නිසාත් එව්වට පසුව උත්තර දෙන්න වෙන නිසාත් මට කාර් එකට වඩා මෝටර් සයිකලේ දාහකින් සැපයි.. උදේ පාන්දර ගෙදරින් පිටත්වුනාම මායියගෙ ප්රශ්නවලට ඉතිං මම දෙන උත්තරයක් භාරගන්න මායියට සිද්දවෙනව මෝටර් සයිකලේට ජීපීඑස් ට්රැකර් එකක් නැති නිසා.. එතකොට ඉතිං ගහක් මුල සූ දාන්න නැවැත්තුවත් , කාලක් භාගයක් ගන්න බාර් එකේ නැවැත්තුවත් , ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න සුදු චූටිගෙ කඩේ නැවැත්තුවත් මායියට උත්තර දෙන්න වෙන්නෙ නෑ.. නුවරඑලියෙ ආතල් රාත්රියක් ගතකරලා ආපහු ගෙදර බලා පල්ලං බහිද්දි ඉතිං හිත හුලං ගිය බැලුම වගේ.. ඒක ඉතිං ආයෙම පොඩ්ඩක් හුලං පිරීලා හිතේ තියන අවුල් ටික මදකට අමතක වෙන්නෙ කිතුල්ගල සුදු චූටිගෙ ආප්ප කඩේ ලං වෙද්දි..
සුදු චූටිගෙ කඩේ තියෙන්නෙ ප්රධාන පාර අයිනෙ උනාට ඒක තියෙන්නෙ ප්රධාන පාරට චුට්ටක් විතර පහලින්.. පඩි විදිහට ගත්තොත් පාරෙන් පහලට පඩි හත අටක් බහින්න ඕන සුදු චූටිගෙ ආප්ප කඩේට.. බඩගින්නක් තිබ්බා නැතා ඉතිම් සුදු චූටිගෙ මල් මල් හිනාව බලාගෙන ආප්ප දෙක තුනක් කෑවත් ආප්ප සීයක් කාපු ගානට හිත පිරෙනව..
සුදු චූටිගෙ ආප්ප කඩේ මට සෙට් වෙන්නෙ පින්නදූවෙ ජෝන් සීනා මුදලාලිගෙ ඩිමෝ බට්ටා අරගෙන නුවර එලි ආපු දවසක. ජෝනගෙ ඩිමෝ බට්ටාගෙ එන්ජිම හීට්වෙලා කන්ද මැද හිට්ටා කියහංකෝ.. අලුතෙන් හදන ගෙදරට උලුවහු ජනෙල් අරගෙන යනගමන් තමා සිද්දිය සිද්දවුනේ.. ජෝන් සීනගෙ බට්ටා එතන තියලා තව ලොරියක් හයර් එකට ගෙන්නගෙන ලීබඩු ටික පටවනකල් සුදු චූටිගෙ ආප්ප කඩේ තමා වෙහෙස නිවාගන්න ප්ලේන්ටියක් ගහන්නවත් ඒ අහල පහල තිබ්බෙ.. ඉතිං ඒ සා පිහිටක් වෙච්ච තැනකට ගෞරවයක් විදිහට නුවරඑලි ගියත්, ආවත් සුදු චූටිගෙන් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බීලා යන්න මම අමතක කරන්නෙ නෑ.. සුදු චූටිත් ඉතිං මාත් එක්ක හරිම ලෙංගතු නිසා ආප්ප කෑවා නොකෑවා බඩගිනි උනා නොවුනා එතැන නවත්තලා සුදු චූටි එක්ක විනාඩි දහයක් පහලොවක් චැට් එකක් දාගෙන ඉඳලා යන එක වෙනමම ආතල් එකක්.. ආප්පයි ලුනු මිරිසුයි ප්ලේන්ටියි වගේම සුදු චූටිගෙ ආශ්රවයත් ඉතිං හරිම රහයි..
එදා හීනියට වැස්සත් තිබ්බ නිසා කිතුල්ගලට එද්දි මම හිටියෙ ටිකක් විතර තෙතබරිත වෙලා.. වැස්ස ටිකක් තුරුල් කරනකල් සුදු චූටි එක්ක චැටක් දාගෙන ඉඳලා යනවා කියලා හිතාගෙන මම මෝටර් බයික් එක පාර අයිනෙ නවත්තලා සුදු චූටිගෙ කඩේ දිහාවට පල්ලම් බැස්ස..
ආ මේ අයියනේ.. ගෙදර යන ගමන්ද අයියෙ..
ඔව් නංගි.. අදනම් ටිකක් රෑවුනා.. වැස්ස නිසා ඉතිං ගමන ටිකක් ප්රමාදයි..
ඉතිං අයියෙ.. ගිය වැඩ ටික කරගත්තද.. දැං ගෙයි වැඩ ඉවර වෙන්න ලඟ ඇති නේද..
ඔව් නංගි.. ගිය වැඩ ටික හොඳින් කෙරුනා.. දැං සීයට අනූ නමයක් වැඩ ඉවරයි..
මොනවද අයියෙ කන්නෙ.. වෙනදා වගේම ආප්පයි ප්ලේන්ටියි නේද..
නැතුව නැතුව.. ඔයාගෙ ආප්ප ප්ලේන්ටි කොහොම අමතක කරන්නද නංගි..
අනේ බොරු චාටු කතා නොකිය ඉන්න අයියෙ...
චාටු කතා නෙවෙයි නංගි.. ඔයාගෙ ආප්ප තරං රස ආප්පයක් ප්ලේන්ටියක් මම උපන්තේකට කාලා බීලා නෑ...
අනේ යන්න පිස්සො යන්න..
එහෙම කියාගෙන සුදු චූටි ආප්ප කීපයකුයි ලුනු මිරිස් පීරිසියකුයි මම වාඩිවෙලා හිටපු ලී බංකුව උඩින් ගෙනැත් තිබ්බ.. ඕං ඔය අතරේ තමයි සුදු චූටිගෙ ආප්ප කඩේ පියස්සෙ පොල් අතු රීප්ප කඩාගෙන මොකක්දෝ මහා තඩි වස්තුවක් මහා සද්දෙකින් කඩේ ඇතුලට පතබෑවෙන්නෙ.. වන්දෙත් ලඟ නිසා චිචීය යවපු රොකට් එකවත් සුදු චූටිගෙ ආප්ප කඩේ උඩට ලෑන්ඩ් කරාදෝ කියලා හිතුනත් වැඩිමනක් හිත හිතා ඉන්නෙ නැතුව මමත් ඉතිං කකුල් දෙකට වාරු අරගෙන කඩේ මැද්දෙන් අගුව දිහාවට ඉගිලුනා.. සුදු චූටිත් කලබල වෙච්චිපාර ආප්ප තට්ටුවත් පෙරලගෙන මං ඉන්න දිහාවටම දුවගෙන ආව.. වැහිබීරුමයි හැන්දෑවෙ අඳුරයි එක්ක උනේ මොකක්ද කියලා පැහැදිලි අදහසක් නැති උනාට මොකක් නමුත් වහල කඩාගෙන කඩේ ඇතුලට පත්බෑවුනා කියලා පැහැදිලියි..
අනේ සුදු අයියෙ.. මොකක්ද ඒ උනේ.. අනේ මගේ දුප්පත් කඩේ...
කලබල වෙන්න එපා සුදු චූටි නංගි.. මං ඉන්නවනේ.. ඔයාට මුකුත් තුවාලයක් නෑ නේද..
නෑ අයියෙ... අනේ තුවාල ගැන හොයන්න කලින් පොඩ්ඩක් බලන්නකෝ මොකක්ද උනේ කියලා..
එතැන හිටපු එකම සහ අවසන් පිරිමියා විදිහට මට ඉතිං අහක බලන්න බෑනෙ.. මොන මරාලයක්ද කියලා ශුවර් නැති උනත් සුදු චූටි ඉස්සරහ මගේ පිරිමිකම හෑල්ලු කරන්න බැරි නිසා මම බිම වැටුන පියස්සෙ පොල් අතු ටික ඈත් මෑත් කරගෙන කඩෙන් එලියට ආව... මොකක් නමුත් මේ විදිහට මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ මොකාද කියලා බලාගන්නත් පොඩි කුතුහලයක් වගේ එකක් හිතේ තිබ්බ... මොකා නමුත් කනට දෙකක් ගහලා අමතන්න බලාගෙන පියස්ස ඈත් මෑත් කරගෙන එලියට ඇවිත් බලුවාම තමා මට නිකම් කලන්ත වෙන්න වෙන්න වගේ ෆීලින් එකක් දැනෙන්න ගත්තෙ..
මෙගා නාට්ටියකනම් මෙතැනින් මේ කොටස ඉවරයි..උනේ මොකක්ද කියලා දැනගන්න වෙන්නෙ තව කොටස් සීයක් විතර අවසානයේ.. ඒත් මේක මෙගා නාට්ටියක් නෙවෙයිනේ..
ඇත්තම කියනවනං පිංවතුනි, මගේ මොටර් සයිකල් රාජයා ස්ටෑන්ඩ් එකෙන් පැනලා පෙරලිලා සුදු චූටිගෙ කඩේ පියස්ස උඩට පතබෑවිලා කියහංකෝ.. දැක්කම හරිම ආශ්වාදජනකයි, කඩේ පියස්ස වගේම මෝටර් සයිකලෙත් භාගෙට බාගයක් කුඩේ කුඩු කියහංකො.. හෙඩ් ලයිට්, සිග්නල් ලයිට්, සයිඩ් කන්නාඩි, හැන්ඩල් එක ඇතුලු එකී මෙකී නොකී කෑලි බෑලි සමහරක් එල්ලා වැටෙනව, සමහරක් කෑලිවලට කැඩිලා හතර අතේ විසික් වෙලා.. සුදු චූටිගෙ කඩේ පියස්සත් පොල් අතු රීප්ප පරාල සීසීකඩ කියහංකො..බයිසිකලෙන් බැහැලා එද්දි වැස්ස තිබ්බ හේතුවෙන් හෙල්මට් එක දාගෙන කඩේ ඇතුලට ආපු නිසා යාන්තම් හෙල්මට් එක එකට අනතුරක් නෑ.. සුදු චූටිත් පොල් අතු ඈත් මෑත් කරගෙන එලියට ඇවිත් ඉනට අත් දෙක තියාගෙන කන්න වගේ මං දිහා බලන් ඉන්න අල්ලපනල්ලෙ මං ඉතිං කල්පනා කරේ පාඩු දෙක පියවගන්නෙ කොහොමද කියලා විතරමයි..
සුදු චූටිගෙ පියස්ස හදලා දෙන පොරොන්දුව පිට යාන්තමට සුදු චූටිව ශේප් කරගන්න පුලුහං උනේ සෑහෙන්න පිංසෙන්ඩුවෙලා.. අහල පහල සහ පාරෙ ගිය කීපදෙනෙක් අල්ලගෙන මගේ මෝටර් සයිකල් කෑල්ල ආයෙම පාර උඩට උස්සලා ගන්න සෑහෙන කට්ටක් කන්න උනා.. ගැලවෙච්ච කෑලි බෑලි ටික සිලි කවරෙක දාගෙන, එල්ලෙන කෑලි බෑලි කම්බි පොටවල් කීපයකින් ලාවට ලයින් කරගෙ අවසන් වෙද්දි හොඳටෝම කලුවර වැටීල.. සුංබුන් අතරින් හොයලා ඇහිඳ ගතපු හෙඩ් ලයිට් එක යාන්තමට ඉස්සරහින් තියලා කම්බි කෑලකින් අමුනගන්න ටිකක් කට්ටක් කන්නවුනා ලයිට් නැතුව එච්වර දුරක් එන්න බැරි නිසා..
ගෙදර ඇවිල්ලා දැං දවස් දෙක තුනක් උනත් තාම කෙලින් බලන්න තරම් බෙල්ල කෙලින් කරන්න බෑ.. කිතුල්ගල ඉඳන් ගෙදරට එනකල්ම බයිසිකලේ හෙඩ් ලයිට් එක වැදුනෙ පාරට නෙවෙයි වම් පැත්තෙ තිබ්බ වැටවල් තාප්ප වලට උඩින් තිබ්බ පොල් ගස්වලට.. හැන්ඩල් එකත් තිබ්බෙ වමට හැරිලා නිසා වමපැත්ත කාගෙන ඇවිල්ල තාම සරීර කූඩුවයි බෙල්ලයි එලයින්මන්ට් අවුල්.. හැන්ඩල් එකයි ලයිට් එකයි දෙකම වමට හැරිලා තියෙද්දි කිලෝමීටර් සීයක් හමාරක් ඉස්සරහට පැදන් යනවා කියන්නෙ සරීර කූඩුවේම පොට යන සීන් එකක්.. ඇඟේ අමාරුවනම් ටික දවසකින් ඇරිලා යයි.. ඒත් ප්රශ්න දෙකක් ඉතුරුයි.. එකක් බයිසිකලේ ඒ තටමට ඩැමේජ් වෙලත් අතක පයක හීරීමක්වත් නැතුව බේරුනේ කොහොමද කියලා මායිය නිතර අහන ප්රශ්නෙට දෙන්න සාධාරන උත්තරයක් නැතිවීම.. දෙවැනි ප්රශ්ණෙ තමා සුදු චූටිගෙ වහල හදලා දෙන්න කියලා සුදු චූටිගෙන් වැල නොකැඩී එන කෝල් ටික.. ආයෙ නුවර එලි යන්න කලින් ඔය ප්රශ්ණ දෙකම විසඳගන්න වෙනව..
ජනෙල් උලුවහු ටික අරං යද්දි ජෝන් සීනගෙ ඩිමෝ බට්ටා ඉල්ලගෙන යන්නෙ නැතුව හයර් එකට ලොරියක් අරගෙන ගියානම් අද මේ මරාල එකක්වත් නෑ නේද දෙයියෝ කියලා මතක් වෙද්දි ජෝනාව උයලා කෑවත් හිතට මදියි..
(ඊයේ පෙරේදාක යාලුවෙකුට වෙච්චි සිද්දියක් ඉතිං උත්තම පුරුශෙන්ම ලියලා දැම්ම.. ටැග් කරලා unfriend වෙන්න අවධානමක් ගන්න බෑ..
😜
)

තඩියාගේ නුවරඑලිය සංචාරය 1

Sunday, May 19, 2024

Unfriend සුද්දා ජාතක කතා වස්තුව


කතාවට උක්ත අපේ මිත්‍රතුමා මං මෙතැං හිටං හඳුන්වන්නෙ " unfriend සුද්දා" යන ආදර නාමයෙන්.. සුද්දා ආසන්නයෙන් යන කෑල්ලක් මුන්නැහේගෙ නමට තියන නිසයි මං ඉතිං ආදරේට සුද්දා කියලා කියන්නෙ. සුද්දා විතරක් කිව්වොත් ඒක හෙන ඩොටේ ගතියක් තියන නිසා ඉතිං මං සුද්දගෙ පෙට් නේම් එක ලස්සන කරන්නත් එක්ක unfriend සුද්දා කියලම ආමන්ත්‍රණය කරනව. 

Unfriend සුද්දා  එක්ක මගේ මිත්‍රකම පැවත එන්නෙ තුන හතර වසරේ හිටං කිව්වොත් තමයි හරි.. ඒකට පලවෙනි හේතුව වෙන්නෙ මගේ මුවුයි අපේ උක්ත  Unfriend සුද්දාගෙ මවුයි දෙන්නම එකම ඔෆීසියේ රැකියාව කරපු එක.. ඉස්කෝලෙ ඉවරවෙලා සමහර දවස්වලට මංතුමා හවස් වරුව ගතකරේ මවුගෙ ඔෆීසියේ.. අපේ මිත්‍ර Unfriend සුද්දත්
ඉතිං එහෙව්ම තමා.. ඉතිං කියනවනං අපේ මවුලාගෙ යාලු මිත්‍රකමට පිං සිද්දවෙන්න අපි දෙන්නටම සිද්දවුනා එකම ඔෆීසියෙත් එකම ටියුශන් පංතිවලත් පස්ට දුකක් විඳින්න.. එහෙව් ආකාරයෙං කැරකිලා ඇවිල්ලා මායි අපේ unfriend සුද්දයි පහ වසරෙන් ධර්මාශෙකට ඇවිත් වැටුනේ එකම පංතියට කියහංකො.. පහ වසර ඒ පංතියේ අවුරුද්දක් හිටපු අපි දෙන්න හය වසරෙන් ඔෆීශියලි ක්ලාස්මේට් තනතුරෙන් වෙන්වුනා ආයෙ කවදාවත් ක්ලාස්මේට් නොවෙන්නම.. 

ඒත් එහෙමයි කියලා අපිට ලොකුවටම වෙන් වෙන්න දෛවය ඉඩ දුන්නෙ නෑ.. මොකද කියනවනම් අපේ මවුලාගෙ යාලු මිත්‍රකම නිසා අපිට සිද්දවුනා සාපෙල ඉවර වෙනකල්ම එකම ටියුශන් පංතිවල සිප් සතර හදාරන්න.. ඒකෙ තිබ්බ ලොකුම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ඌටයි මටයි කවදාවත් ටියුශන් ක්ලාස් එකක් කට් කරන්න බැරිවුන එක.. ඒකට හේතුව ඌ ක්ලාස් කට් කරොත් මම සහ මගේ මවු හරහා උගේ මවු දැනගැනීමත් මම ක්ලාස් කට් කරොත් unfriend සුද්දා සහ උගේ මවු හරහා මගේ මවු දැනගැනීමත් නෙවෙයි.  unfriend සුද්දත් මමත් කවදාවත් අපි දෙන්නගෙ කේලම් අපි දෙන්නගෙ අම්මලා එක්ක කියැව්වෙ නෑ.. Unfriend සුද්දා ඉතිං විහිලුවට වගේ කේලමක් දෙකක් උගේ මවුට කීවාද නැද්ද කියලා මං දන්නෙ නෑ.. හැබැයි unfriend සුද්දා කවදාවත් මට ගෙදරින් සබ්බුව හම්බෙන වර්ගයේ කේලං එකක්වත් උගේ මවුට කීව කියලා මට දැනීලා නෑ..  අපි දෙන්නටම ක්ලාස් එකක් කට් කරගන්න බැරිවුන එකම අවසන් හේතුව උනේ තවත් සම වයසේ එකියකගේ මවු හරහා අපි දෙන්නගේම මවුලා දැනගැනීම. ඒක අපි දෙන්නටම පූරුවේ කරපු පාපයක් උනා.. එකම වයසේ දරුවන් තුන්දෙනෙකුගේ මවුලා එකම කාර්‍යාලයේ රැකියාව කිරීමත් ඒ දරුවන් තුන්දෙනාගෙන් දෙන්නෙක් නාහෙට නාහන අන්ඩ කශ්ටයන් දෙදෙනෙකු වීමත්, අනික් එකිය පොතේ පතේ ඇලුනාවූද මවු කුසයේ හිටං වෛද්‍ය පීඨය ඉලක්ක කරගෙන ඉපදුනාවූ එකියක් වීමත් unfriend සුද්දාටත් මටත් සසර කල කරුමයක් උනා.. සාපෙල කරපු කාලෙ අපිට ඉස්කෝලෙ කට් කරන්න තරං ගටක් තිබ්බෙ නෑ.. ඒත් උනාට ටියුශන් කට් කරන්නනම් ඕනෑතරම් හෙතු තිබුනා උනත්, මවුලාගෙ ඉන්ටර්නල් එෆෙයාර්ස් නිසා අපි දෙන්නම කවදාවත් ඒ තරං රිස්ක් එකක් ගත්තෙ නෑ.. ටියුශන් තිබ්බ හැම දවසකම අපි දෙන්නටම සිද්දවුනා අමාරුවෙන්, අකමැත්තෙන් උනත් ටියුශන් එකට බයිසිකල් පාගන්න.. Unfriend සුද්දා උගේ කාලෙ බයිසිකලෙන්ද මංතුමා මගේ සයිකල් කටුවෙන්ද සතියට දවස් තුනක් හතරක් ටියුශන් පෑගුව..

ඕං ඔය ආකාරයෙං  ඇවෑමෙන් අපි වයසට ගියා... Unfriend සුද්දා කසාද බැඳලා ඉල්ලංකාවෙන් නැගෙනහිර පැත්තෙ තියන රටක පදිංචියට ගියා.. මමත් කාලයක් ආන්ඩුවේ රස්සාවක් කබල් ගාලා විදේශ රටකට සේන්දුවුනා... ඕං ඒ අල්ලපනල්ලේ තමයි සකර් බර්ගර් පේස්බුකිය හොයාගන්නෙ.. ඒකට පිං සිද්දවෙන්න ලෝකෙ වටේ විසිරිලා හිටපු ගෝත කරුම ටික ආයෙම එක තැනකට සැට් වෙන්න ලොකු කාලයක් ගියේ නෑ.. එතැං පටං ඉතිං පරන පුරුදු අඩු මාසෙන් ඉපැදුන ගති ලක්ශණ ටික කොන්ටිනිව් කරන්න සමවයස් එවුන්ට බුකිය වෙස්වලාගත්තු ආශිර්වාදයක් උනා.. යාලුවෙකුගෙ පෝස්ට් එකක් යටින් කුප්ප කොමෙන්ටු  අලවලා ආතල් එකක් ගන්න කාගෙන්වත් අවසර කුමටද ඉතිම් සකර් බර්ගර්ගෙ නීති රාමුව ඇතුලේ ඉන්නවනම්.. 
හැමදාමත් ලිඳේ එබුන එවුන් අතරේ unfriend සුද්දා කියන්නෙ ඉදිරිපෙල ක්‍රීඩකයෙක්.. අනික් එවුන්ව ලිඳේ ඔබනවාට සාපේක්ශව unfrind සුද්දාවත් ඉතිං දෙයියනේ කියලා නිරන්තරයෙං දිඳේ එබුනා හුදීජන පහන් සංවේගය පිණිසම.. Unfriend සුද්දා කියන්නෙත් ඉතිං ලිඳේ එබීමේ කලාවේ සුද්ද සුපිරිදු චරිතයක් නෙවෙයි ඉතිං.. ඕනෑම තැනක, ඕනෑම සිද්දියක හිලේරියස්ම කෑල්ල අල්ලගන්න unfriend සුද්දටත් තිබ්බා විශ්මජනක හැකියාවක්.. Unfriend සුද්දත් යාලු මිත්‍රයෙකුගේ බුකි පෝස්ටුවක් යටින් සීරියස් කොමෙන්ට් එකක් ලියැව්වානම් ඒ ඉතිං බොහෝම කලාතුරකිං.. මංතුමත් ඉතිං ඊට සුට්ටක්වත් දෙවැනි නෑ.. එකතුවෙලා ලිඳේ එබීම සහ අහුවුන එකා ලිඳේ එබීම පිකාසෝ ලෙවල් එකට ප්‍රගුණ කරපු සැට් එකක් විදිහට ඔය ලිඳේ එබිලි පුද්ගලිකව එකෙක්වත් සීරියස් ගත්තෙ නෑ.. ඕං ඔය අතරේ තමා දෙදාස් පහලොවේ වගේ කාලෙක මට දැනෙන්නෙ unfriend සුද්දගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් මංතුමා මිසින් කියල.. ඊට දවස් කීපයකට කලින් මං තුමා බුකියට පොඩි ක්ලීනින් පාරක් දාපු නිසා මං අතිං Unfriend සුද්දව unfriend වෙලා කියලා හිතිලා මං ඉතිං හනික නැවත රික්වෙස්ට් එකක් යැව්ව.. වැඩ වගයක් එක්ක මං බිසීවුන නිසා එලවලා හොයන්න වෙලාවක් නැතිවුනත් මාසෙකට දෙකකට පස්සෙ ආයෙම unfriend සුද්දා මගේ friend list එකට එකතුවුනා... ඒ වගේම සුද්දව ලිඳේ එබිල්ලත් අවස්ථාව දුටුකල කවුරුත් කරගෙන ගියා... 

ඔය සිද්දියත් 2022 ත් අතර මං තුමාව ආයෙමත් unfriend සුද්දගෙ බුකියෙන් වීසික් උනා.. ඒත් ඒ සිද්දි දාමය මගේ ඇප්සැට් මෙමරියේ නෑ.. Unfriend සුද්දා මා වෙත රික්වෙස්ට් එකක් එවීමත් මා විසින් ඇක්සෙප්ට් කිරීමත් නැවත සිද්දවුන නිසා ආයෙම සුද්දයි මමත් බුකි මිත්‍රයන් උනා.. 

ඕං ඔය ආකාරයෙන්  2022 අවුරුද්දෙ ආයෙමත්  අපේ හිතමිත්‍ර unfriend සුද්දගෙ friend list එකෙන් මං තුමාව ඉවත් වෙනව.. ඒ වග දැනගත්තු වහාම මම කරන්නෙ සුද්දට මැසෙන්ජර් හරහා මැසේජ් එකක් දාලා මොකෑ බං කියලා අහන එක.. එකිනෙකාට විහිලු කරගැනීමේ කලාවේ පිකාසෝ ලෙවල් එකේ ඉන්න unfriend සුද්දා බුකියේ ලිඳේ එබිල්ලක් හේතුවෙන් යාලුවන්ව බුකියෙන් ගලවන්න තරම් මන්ද මානසිකයෙක් නෙවෙයි කියලා මංතුමා පුද්ගලිකව දන්නව.. පවුල් පන්සල් උනාම ඉතිං සමහරුන්ගේ බුකි අයිතිවාසිකම් එයැයිලාගෙ better halfලා බලහත්කාරයෙන් භුක්ති විඳින වග පුද්ගලිකවත් අනුමානයෙනුත් දන්නා නිසා මංතුමාව unfriend සුද්දාගෙ ෆ්‍රෙන්ඩ් list එකෙන් ගැලවීම සම්භන්ධයෙන් අවස්ථා සම්භන්ධය ඉතිං මෙතැන අමුතුවෙන් ලියන්න ඕන කියලා මම හිතන්නෙ නෑ..  හබැයි ඉතිං ආයෙ ආයෙම unfriend සුද්දා පස්සෙන් ගිහිං බුකියේ යාලුකම ඉල්ලන්න මට ඕනෑකමක් නොතිබුන නිසා මංනැහෙත් ඉතිං පාඩුවේ පැත්තකට වෙලා උන්නා.. එහෙමයි කියලා unfriend සුද්දාව බුකියේ කොතැනහරි දැක්කාම සුට්ටක් ලිඳ පැත්තෙ එක්කං යන්න කිසිම විදිහකින් දෙපාරක් හිතුවෙ නෑ.. එහෙම කලා කියලා unfriend සුද්දත් එතැනට තවත් කුප්ප කතාවක් ලීවා මිසක් කවදාවත් අමනාපයක් කියලා නාමයක් තිබ්බෙ නෑ.. ඕං ඊට පස්සෙ ආයෙම unfriend සුද්දා නැවත මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවනව.. මංතුමා ඉතිං ලොක්කගෙ ප්‍රශ්ණය අනුමාන කරන නිසා ඔං ඕක ඇක්සෙප්ට් කරන්න ගියේ නෑ.. අපේ යාලුකම්වල ස්භාවය better halfලාට අවභෝධ කරගන්න නොහැකිවීම ඒ ඒ පුද්ගලයන්ට සුව්සේශී තත්වයන් නිසා ඒ ගැන ඉතිං මං තුමාට ලොකු විවේචනයක් නෑ.. තත්වය එසේ තිබියදී අපේ unfriend සුද්දාගේ බලවත් පෙරැත්තය මත මංතුමා ඉතිං ආයෙම unfriend සුද්දගෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනව.. මං ඉතිං එහෙම කරන්නෙ උන්නැහේගෙම ගෘහස්ථ සාමය ගැන හිතලා මිසක් මා ලඟ unfriend සුද්දා ගැන මෙලෝ හිත් අමනාපයක් තිබුන නිසා නෙවෙයි.. සුද්දා විසින් කිහිප වතාවක් කෝල් කරලා ඉල්ලීම් කිරීමත්, මැසේජ් මගින් ඉල්ලීම කිරීමත්  හේතුවක් උනා ඉතිං... හැබැයි ඉතිං unfriend සුද්දට ඒ වතාවෙනම් මංතුමා පැහැදිලිවම කියා හිටිනවා ආයෙ යාලු උනාට රජෝ වැඩි කාලයක් අපිට අපේ අකලංක මිත්‍රකම බුකිය හරහා පවත්වන්න ලැබෙන්නෙ නෑ කියල.. Unfrind සුද්දත් ඉතිං දස අතේ දිවුරා කියා හිටිනව ආනේ මචං ආයෙනං කීයටවත් එහෙම වෙන්නෙ නෑ කියල..

ඕං ඉතිං අපේ බුකි මිත්‍රකම Facebook Friend 4.0 ලෙවල් එකේදි ඊයෙ පෙරේදාවක unfriend සුද්දා ආයෙමත්  මාව යාලුකමෙන් ගලවල කියහංකෝ.. වටේපිටේ ආරංචි කරලා බැලුවාම unfriend සුද්දාව ලිඳේ ඔබන සෙට් එකේ කීපදෙනෙකුවම යාලුකමෙන් ගලෝලා කියලත් ගෲප් එකක කතා උනා.. වීලුවට කියලා ගොම ගොඩක් ඔලුවෙ නැමුවත් ඒක විහිලුවෙන්ම බාරගෙන ඒ ජාතියේම ගොම ගොඩක් ගෙනැල්ලා අනික් එකාගෙ ඔලුවෙ නමන ජාතියේ එකෙක් වෙච්චි unfriend සුද්දා කියන්නෙ, බුකි කොමෙන්ට් ඒ තරං සීරියස් ගන්න පොරක් නෙවෙයි.. මොහිදීන් බෙග් මාස්ටර් කියන්නැහේ " එකට එක්වී එකට කා බී එකට සැතපීලා" ජාතියේ එකෙක් වෙච්චි unfriend සුද්දා බුකි කොමෙන්ට් එකකට යාලුකම් අමතක කරන ජාතියේ එකෙක් නෙවෙයි.. ඒත් ඉතිං සකර් බර්ගර් විසින් නීත්‍යාණුකූලව අනුයුක්ත නොකලත් සමහරුන්ගෙ බුකිවල ඇඩ්මින් වැඩේට බලෙන් මැද්දට පනින අයවලුන් තීන්දු තීරන ගනිද්දි unfriend සුද්දලා වගේ මිනිස්සු කියන්නෙ කුරා කුහුඹි මිනිසුන් කියන එකනම් ඉතිං මංතුමාට සකල සහසුද්දෙන් පැහැදිලියි.. කපුගේ මාස්ටරුත් කියලා තියෙනවා " කුරා කුහුඹි මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ" කියල.. ඒ වග හොඳින්ම තේරෙන්න ඕනෑතරං කරුණු කාරනා තියෙන නිසා මංතුමා ඔව්වා ලොකුවට සීරියස් ගන්න යන්නෙ නෑ.. 

ඒත් ඉතිං ගෙවල්වල ගෘහස්ථ හිංසනයෙන් තුන්සිය හැටපස් දවසෙම බැට කන කුරා කුහුඹි මිනිස්සුන්ටත් සමහර වෙලාවලට පුරුස දහිර්‍ය කියන එක කලාතුරකින් ඔලුවට ආරූඩ වෙනව.. ආං ඒ වෙලාවට කලින් වගේම ආයෙමත් unfriend සුද්දගෙන් මංතුමාට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එනවා කියන එක හෙට ඉර පායනවා වගේම මම දන්නව.. ඒක ඇක්සෙප්ට් නොකරාම ආයෙම unfriend සුද්දගෙන් වැල නොකැඩී කෝල් එනවා කියන එකත් ඒ වගේම ස්ථීරයි.. ටික දවසක් වේටිං තියලා මං තුමා ඒ ෆේන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා කියලත් ස්ථීරයි... ඒ වගේම එතැන් පටන් ආයෙම unfriend සුද්දව ටැග් කරලා ලිඳේ ඔබනවා කියන එකත් ස්ථීරයි... ඒත් ඉතිං මට තියන එකම අනියත භයනම්, කවදාක හරි unfriend සුද්දා ඉන්න රටට ගියත් ( එහෙම යන්නත් බලාපොරොත්තුවක් තියෙනව ලඟදිම) උන්නැහේගේ ගෙදරට ගොඩවෙන්න හිතේ මොකක්දෝ බයක් සැකක් තියෙනව.. මොකද කියනවනම් තුන් හතර වතාවක්ම වෛරයට පාත්‍රවෙච්චි මනුස්ස පරානයක් විදිහට unfriend සුද්දගෙ බුකියෙ ඇඩ්මින් කුමනාකරයේ රිටර්න් එකක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද කියලා කව්දෝ අප්පේ දන්නේ.. බෙග් මස්ටර් කියලා තියෙනවා මේං මේ විදිහට..

උගුල අටවයි විපත පටලයි.. මුරුග ගති පාලා.. මුරුග ගති පාලා...
ලෝකයේ මර විසක්‌ නැත වෙන මිනිස්‌ විස වාගේ..

සිනහවෙන්‌ හෝ කතාවෙන්‌ බෑ මනින්නට මිනිසා.. 


මං ඉතිං අන්තිමට මෙහිලා ලියන්නෙ අපි කන්ඩායමක් විදිහට ලෝක මට්ටමෙන් පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකින්න ඕන කියලයි.. 

පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු..     පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු..    පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු..


ජයවේවා...❤️❤️❤️



Sunday, January 14, 2024

අපිත් ගියා නිරීක්ශණ චාරිකාවක්..

         ඊයෙ පෙරේදාවක අපේ හිටපු ජනාප්පතිතුමා මයින්ද මහත්තයයි ගෝලයෝ රොත්තයි නැවක පාර්ටියක් දාන්න ගිහිල්ලා අතේ මාට්ටු වෙලා මීඩියා ඉස්සරහ සර්වලොක බේගල් වගයක් ඇදබානවා ගෝලයෝ සැට් එක.. එයයිලා පස්චාත් භාගය පොලේ ගහලා කියන්නෙම එයාලා ගියේ නිරීක්ශණ චාරිකාවක් කියලාමයි.. එකෙක් කියනවා නිරීක්ශණ චාරිකාවක්ලු.. තව එකෙක් කියනවා අජ්ජහපන චාරිකාවක්ලු..  මට නම් ඉතිං ඔය කෝක උනත් අවුලක් නෑ තමුන්ගෙ පුද්ගලික හල්ලි වලින් ගියානම්.. තමුන් මාන්සියෙන් උපයන සොච්චමෙන් ඉඳලා හිටලා ආතල්ලෙකක් ගන්න කාටත් තහනමක් නෑනෙ.. වැඩේ කියන්නෙ රටේ එවුන්ට තමුන් මාන්සියෙන් උපයන මුදලින් තුන්වේලවත් කන්න බැරි තැනට පත් කරලා උන්නැන්හේලා නැව්වල නැගලා ආතල් ගන්න එක සදාචාරාත්මක නෑ.. ඒත් ඉතිං පක්ශ භේදයක් නැතුවම ඔය පාල්ලිමේන්තුවේ ඉන්න උන්නැහේලාට සදාචාරයක් කියලා එකක් නෑ. ඒ නිසා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක හරි නෑ.. ඕං ඔය ආකාරයේ දේවල් අටෝරාසියක් හිත හිතා ඉද්දි මටත් මතක්වුනා අපිත් එක පාරක් මේ වගේ නිරීක්ශණ චාරිකාවක් ගියා නේද කියල.. මාත් ඉතිං ඇරියෙ නෑ.. ඒ වගේ නිරීක්ශණ චාරිකාවල් යන්නෙ මයින්ද මාත්තයලා විතරක් නෙවෙයි කියලා රට්ටු දැනගන ඕන.  මයින්ද මාත්තයලා ගිය නිරීක්ශණ චාරිකාවට රටම එකතුවෙලා වටකරන් නෙලන අල්ලපනල්ලේ මයින්ද මාත්තයාටයි  ගෝලයෝ සැට් එකටයි සපෝර්ට් එකක් පිණිස මමත් අපේ නිරීක්ශණ චාරිකාව විස්තරේ ලියන්න තීරණය කරා.. 


අපි ඔය කියන චාරිකාව යන්නෙ මගේ මතකයේ විදිහට එකදාස් නවසිය අනූ හය වගේ කාලෙක. ඕය චාරිකාව යන්න දින වකවානු දාගත්තම ඉස්සෙල්ලම කරන්න ඕන ඒකට අවශ්‍යවෙන නාවුක යාත්‍රාවක් හොයාගන්න එක. ඒක ටිකක් අමාරු වැඩක්. ට්‍රිප් එකක් යන්න වෑන් එකක් බස් එකක් හොයාගන්න තරම් ඒ වැඩේ ලේසි නෑ. ඒ ජාතියේ නිරීක්ශණ චාරිකාවල් යන්න පුලුවන් නාවුක යාත්‍රා ගමටම තිබ්බෙ දෙකයි.. දෙකේම අයිතිකාරයා එක්කෙනෙක්. ඒ නිසා ඔය කියන යාත්‍රාවලට ඉල්ලුම ටිකක් වැඩියි.. අපේ තඩියා නොහොත් චමිලයා ඔය කියන යාත්‍රාවේ අයිති එක්කෙනා හෙවත් සුද්දා මාමා අඳුරන නිසා යාත්‍රාව ලබාගැනීම ඒ තරම් අපහසුවක් නෑ. හැබැයි කලින් වෙන්කර තබාගැනීම අනිවාර්යයි. කොච්ව්හර දන්න අඳුනනවා උනත් වෙනත් කෙනෙක් බුක් කරලා නම් ඒ බුකින් කැන්සල් කිරිලි සුම්ම..

සුද්දා මාමා ලඟ රෙන්ට් එකට දෙන වෝටර් ලිමෝසින් දෙකක් තිබ්බ. එකක් පොඩි එකක්. දෙවැනි එක ලොකු එකක්. අපේ නිරීක්ශණ චාරිකාවට පොඩි ලිමෝ එක පොඩි වැඩියි. ඒ නිසා අපි තෝරාගන්නෙ ලොකු ලිමෝසීන් එක. මොකද කියනවනම්, මයින්ද මාත්තයලාගෙ නිරීක්ශණ චාරිකාවෙ ගියේ පනස් පස්දෙනෙක් උනාට ඒක තඩි නැවක් නිසා ඒකෙ ඉඩ පහසුකම් ගොඩයි.. අපේ චාරිකාවෙ පිරිස දහයක් පහලොවක් නිසා අපේ වැඩේට සුද්ද මාමගෙ වෝටර් ලිමෝව පොඩි වැඩියි.. අපිට කොයින්ද ඉතිං මයින්ද මාත්තලයට වගේ ආන්ඩුවේ නැව්..

කියවන කට්ටිය කොන්ෆියුස් වීම වලක්වන්න ඕං මම අපේ සුද්දා මාමිගෙ වෝටර් ලිමෝසීන් එකේ ෆොටෝ එකක් මෙතන දානව.. අපේ තඩියා නොහොත් චමිලයා තමයි ෆොටෝ එක ඔන්ලයින් හොයලා දුන්නෙ.. කාගෙන් උස්සපු එකක්ද දන්නෙ නෑ ෆොටෝ එකනම්.. 






ඔය ෆොටෝ එකේ තියෙන්නෙ සුද්ද මාමගෙ වෝටර් ලිමෝසීන් එක.. ඕක එන්ජින් හතරක් සහිත සුපිරි භාන්ඩයක්.. එන්ජින් හතරම එකපාරට වැඩ කරොත් ලොකු වේගයක් ලබාගන්න පුලුවනි.. රෙන්ට් එක වරුවට රුපියල් තුන්සීයයි දවසටම ගත්තොත් පන්සීයයි..   ඕක රෙන්ට් කරද්දි ඕකෙ යතුර සහ එන්ජින් හතර අරගෙන එන්න ඕන සුද්දා මාමගෙ ගෙදරින්.. යතුර කිව්වට ඒක එන්ජිම ස්ටාර්ට් කරන යතුරක් නෙවෙයි.. වෝටර් ලිමෝව ගඟේ අයිනෙ තියන ගහකට ලං කරලා දාල තිය හීනි දම්වැලේ ඉබ්බගෙ යතුර.. එන්ජින් හතර ඉතිං සුද්දා මාමගෙ ගෙදර ඉඳලා තොටුපොලට උස්සං එන එක තාමා ටිකක් ලොකු වැඩකට තිබ්බෙ.. ඒකත් ඉතිං ලොකු බරක් නෑ.. හබල් හතර එක්කෙනෙකුට උනත් ෆුට් සයිකලේක තියලා පැදන් ආවහැකි තොටුපොලට..

ඊට පස්සෙ තියෙන්නෙ වෝටර් ලිමෝසීන් එක හෙවත් සුද්දා මාමගෙ අඟුල ඒ තොටුපොලෙන් අපේ තඩියලාගෙ තුඩුවමුල්ල තොටුපොලට යාත්‍රා කරවන එක..  එන්ජින් හතරක් තිබ්බට ඕකෙ ස්ටියරින් එක අරං යන වැඩේ හැමෝටම කරන්න බෑ.. අපේ තඩියා තමා ඒකෙ කප්පිත්තා. පිටිපස්සෙ වම් පැත්තෙ කොනේ තඩියා වාඩි උනාම ලිමෝවෙ ඌ ඉන්න කොන ගිලෙන්න ඔන්න මෙන්න තරං යට යනවා උනත් ඊට විරුද්ද කෙලවරේ එන්ජින් ඔපරේටර් වාඩි උනාම තඩියගෙ පැත්ත ටිකාක් විතර උඩට එනව.. ඉස්සරහ දෙකයි පස්සෙ දෙකයි එන්ජින් හතරකින් හබල් ගෑවට ඕක වමට දකුනට හරවන වැඩේ කරන්න පුලුවන් තඩියාට විතරයි..  ඒක වෙනම ස්කිල් එකක්.. එක වතාවක් මං සිංගල් එන්ජින් එකක් මාදු ගඟේ පදින්න ගිහිං එක තැන රවුම් ගහලා ගහලා අන්තිමේ රිවස් එකේ තමා ගොඩට ආවෙ.. ලේසියි වගේ පෙනුනට එව්වා යාත්‍රා කරවන එක ලේසි පාසු වැඩ නෙවෙයි.. ගොඩ දුවන වාහනවල ස්ටියරින් එක තියෙන්නෙ ඉස්සරහ උනාට වතුරෙ දුවන වාහනවල ස්ටියරින් එක තියෙන්නෙ පිටිපස්සෙ කියලා මමත් ඉස්සෙල්ලම දැනගත්තෙ සුද්ද මාමගෙ වෝටර් ලිමෝසීන් එක පැදිල්ලෙන් තමයි..

නිරීක්ශණ චාරිකාවට ඕන කරන සියලූම දෑ ලිමෝවට පැටවෙන්නෙ තඩියලාගෙ තුඩුවමුල්ල තොටුපොලෙන්.. ගෙවල්වලට මාට්ටු නොවෙන්න අහල පහල පදුරු අස්සෙ සීරුවට හංගලා තියන බෝතල් ටිකයි, බයිට් වර්ගයි, ඒවාට ඕන කරන අනුපානයි, දුම් ජාතියි, සංගීත භාන්ඩයි සියල්ලම යාත්‍රාවට පැටෙව්වාම නිරීක්ශණ චාරිකාවට සියල්ල සූදානම්. ඊලඟට තියෙන්නෙ යාත්‍රාවේ අදාල තැන්වලින් සාමාජිකයක් වාඩිකරවීම සහ එන්ජින් තුනක් වෙනුවෙන් ටර්බෝ පවර් තියන තුන්දෙනෙක් අනුයුක්ත කිරීම.. සුක්කානම හසුරුවන්නේ තඩියා නිසා ඉතුරු තුන හිමිවෙන්නෙ අනුපිලිවෙලින් හයිය හත්තිය තියෙන එවුන්ට.. ඕං ඊට පස්සෙ තමයි නමෝ විත්තියෙන් ගමන පිටත් වෙන්නෙ. අපිට ඉතිං මයින්ද මාත්තයලාට වගේ ආන්ඩුවෙන් දීපු සැප නැව් නැති නිසා අපේ නිරීක්ශණ චාරිකාව ගිහිං එනකල්ම අපිම හබල් ගෑ යුතුයි.. ඒ කාලෙ කැමරා ෆෝන් තියා මෙලෝ හෑන්ඩ් ෆෝන් එකක් කියලා එකක් තිබ්බෙ නැති නිසා මාධ්‍ය ආවරණයකුත් නෑ ඉතිම්..

මේ කියන නිරීක්ශණ චාරිකාව යන්න අපි පිටත් වෙන්නෙ ඔය කිව්ව අවුරුද්දෙ අන්තිම දවසෙ හෙවත් දෙසැම්බර් තිස් එක හවස පහට විතර. අම්බලන්ගොඩින් මුහුදට වැටෙන මාදු ගඟේ අතු ගංගාවක් දිගේ අපි යන්නෙ ගඟ උඩහට. යන්නෙ කොහේද මල්ලෙ පොල් මට වැඩක් නැති නිසා යාත්‍රාව යන ගමනාන්තයක් වෙත යනකල් හීනියට සිංදුවක් කියාගෙන ආතල් එකක් ගැනීම මගේ අයිතිය.. පන්දම් පත්තු කරගෙන සිංදු කියාගෙන යාත්‍රා කරන සෙට් එක දැක්කාම ගං ඉවුරුවල ඉන්න උදවියටත් ඉතිං පස්ට ඉරිසියාවයි කිව්වොත් තමා හරි.. එව්වට ඉතිම් අපිට කරන්න දෙයක් නෑ.. ආතල් එකක් ගැනීම අපි හැමදෙනාගෙම අයිතිය.. ඒක ඉතිම් මයින්ද මාත්තයටයි ගෝලයෝ ටිකටයි කියලා වෙනසකුත් නෑ..

නිරීක්ශණ චාරිකාව යන්න සෙට් එක කොයි තරම් උනන්දුද කියනවනම් ඒජින් හතරම ෆුල් ප්‍රොෆෝමන්ස් පෙන්නනවා උපරීම වේගයෙන් යාත්‍රා කරන්න.. පැයක් දෙකක් ගඟ උඩහට ගියාම තමා අපේ නිරීක්ශණ චාරිකාවේ ගමනාන්තය සෙට් වෙන්නෙ.. එතන තමයි තැන.. ගඟ ඉහත්තාවෙ තියන මුඩු බිමක හදපු ඇනිකට් එකක් ලඟ තියන තැනිතලා බිම් කොටස තමා අපේ පාර්ටි ග්‍රවුන්ඩ් එක.. සුද්දා මාමගෙ ලිමෝ එක අයිනට කරලා පාර්ක් කරාම අපිට තියෙන්නෙ අඩුම කුඩුම ටික තැන් තැන්වලින් තියලා මැදින් ලොකු ගිනි මැලයක් එහෙම පත්තු කරගෙන සාදය පටන් ගන්න.. ආං පාර්ටි.. බොන එවුන් බොනවා.. සිංදු කියන එවුන් සිංදු කියනවා.. ගිනි මැලය එක දිගට පත්තු කරන්න දර හොයන දර පාර්ටියේ එවුන් කැලෑව පීරගෙන දර හොයනවා.. මාලු අල්ලන එවුන් මාලු අල්ලනවා.. රොකට්වල නැගලා යන එවුන් රොකට් එකේ නැගලා අඟහරු බලන්න යනවා.. ආතල් ලෝකයයි.. හැබැයි ඕක මයින්ද මාත්තයලා ගිය නිරීක්ශණ චාරිකාවෙන් වෙනස් වෙන්නෙ කාරනා දෙකකින්.. පලවෙනි එක තමයි ෆොටෝ වීඩියෝ ලීක් වෙන්නෙ නෑ.. දෙවැනි එක තමයි මයින්ද මාත්තයලාට මදුරුවෝ තලන්න වෙන්නෙ නෑ.. අපිට එහෙම නෑ.. මදුරුවෝ තැලිල්ල Mandatory..


හවස පහට පටන් ගැනෙන නිරීක්ශ චාරිකාව කූටප්‍රාප්තිය සිද්දවෙන්නෙ රෑ දොලහට අලුත් අවුරුද්ද උදාවෙද්දි.. කලින් ගෙනැල්ලා සූදානම් කරගෙන තියෙන රතිඤ්ඤා ටිකයි අහස් කූරු ටිකයි පත්තු වෙනකොට අහල පහල පදුරු අස්සෙ නයිට් පාර්ක් කරගෙන ඉන්න සත්තුයි අහල පහල ගස්වල නයිට් පාර්ක් කරපු කුරුල්ලොයි පණ එපා කියාගෙන මාරුවෙනව.. ඊට පස්සෙ ඉතිං ගෙනාපු දේවල් අහවර වෙනකල් නීරීක්ශණ චාරිකාවේ ඉතිරි කෑල්ල ඇදෙනව.. වැඩේ ඉවර වෙන්නෙ වටින් ගොඩින් එලිය වැටීගෙන එද්දි තමයි.. 

නිරීක්ශණ චාරිකාව එන්න තියන උනන්දුව යද්දි බොහෝමයකට නෑ.. ඒකට පලවෙනි සහ අවසාන හේතුව වෙන්නෙ බහුතරයකට සිහියක් පතක් නැතිවීම.. ලාහෙට ගෙම්බො අල්ලන න්‍යායෙන් එකා එකා උස්සලා සුද්දා මාමගෙ ලිමෝසීන් එකේ මැදින් නිදි කරවාගත්තාම අවදියෙන් ඉන්නෙ තඩියයි මමයි අපේ උදයයි විතරයි.. අපි කාටවත් ඉතිං ආපහු එන්න හදිසියක් නැති උනාට තඩියට ගමේ එන්න පට්ට හදිසියි.. ඒකට හේතුව තමයි සුද්දා මාමගෙ වෝටර් ලිමෝසීන් එක උදේ අට වෙද්දි රිටර්න් කරන්න ඕන නිසා.. පරක්කු උනොත් සුද්දා මාමගෙ ඊලඟ හයර් එක කැන්සල් වෙන නිසාත් පරක්කු වීමෙන් තව වරුවකට රුපියල් තුන්සීයක් දෙන්න වෙන නිසාත් තඩියා ගමට එන්න සෑහෙන හදිසියි.. ලොකුම  ප්‍රශ්ණය වෙන්නෙ ඔය එකක්වත් නෙවෙයි.. වෝටර් ලිමෝසීන් එක පදවපු එන්ජින් සියල්ලම කුදාර් වෙලා කට් වෙලා ඉන්න නිසා ගමට එන්න තියෙන්නෙ තඩියගෙ ස්ටියරින් එන්ජිම විතරයි.. උදයා ඔරුවකට බෝට්ටුවකට නැගපු වෙලාවේ ඉඳන්ම බහින වෙලාව වෙනකල්ම කරන්නෙ යාත්‍රාව ඇතුලෙ අඩියෙ තියන වතුර අයින් කරන එක නිසා උදයා හබල් ගෑමට යොදාගන්න බෑ.. උදයා බෝට්ටුවට නගින්නෙම පොල් කටුවක් වගේ මොකක්ම හරි භාජනයක් හොයාගෙන.. එහෙම එකක් හොයාගන්න නැතිනම් අරක්කු මූඩියකින් හරි වතුර ඉහින වැඩේ ඌ අතාරින්නෙ නෑ..

තඩියා වෙරි මතේ තනියම හබල් ගාද්දි මටත් ඉතිං බලන් ඉන්න බැරි නිසා මාත් හබලකුත් අතට අරගෙන ලිමෝ එකේ ඉස්සරහ කොනෙන් වාඩිවෙලා හබල් ගහන්න පටන් ගන්නව.. ඒත් ඒ වැඩේ අහවර වෙන්නෙ තඩියා අමු සිංහලෙන් මාව අමතලා හබල උඩට ගනින් කියලා කිව්වාම.. මාත් ඉතිං කරන්නෙ හබල් ගහනවට වඩා හබල වතුරට දාගෙන වෙරි මතේ නිදි කිරා වැටෙන එක නිසා තමයි තඩියා සිංහලෙන් මාව අමතන්නෙ.. තඩියා තනියම පිටිපස්සෙ එන්ජිමෙන් විතරක් වොටර් ලිමෝසීන් එක පදවද්දි තව එකෙක් ඉස්සරහින් හබලක් වතුරට දාගෙන ඉන්න එකෙන් වෙන්නෙ ලිමෝව තවත් මන්දගාමී වෙන එක.. කටගොන්නක් බීලා හම්බානෙකට වෙරි මතේ තනියම ලිමෝව පදින තඩියට ආං ඒ වෙලාවට තමයි නීරීක්ශණ චාරිකාව අදෝමයි කියලා  හිතෙන්නෙ.. ඒ එක්කම සුද්දා මාමවයි එක්ස්ට්‍රා චාර්ජස් රුපියල් තුන්සීයයි මතක් වෙනකොට තඩියට කාපුබීපුවයි වෙරිමතයි ඉස්පොල්ලෙ යනව ඉතිම්... 

උදේ හත හතාමාර වගේ වෙද්දි තඩියා අමාරුවෙන් ඩ්‍රැයිවින් කරගෙන එන සුද්දා මාමගෙ වෝටර් ලිමෝසීන් එක තුඩුවමුල්ල තොටුපොලට සේන්දු වෙනව.. එතැනින් එහා තියෙන්නෙ කුදාර් වෙලා කට් වෙලා ඉන්න උදවිය නාන තොටුපොලේ ඇඳුම් මාරුකරන කෑල්ල ඇතුලෙන් සත්ප්පවලා සුද්දා මාමගෙ වෝටර් ලිමෝසීන් එක රිටර්න් කරන්න යන්න.. ඒකට යන්නෙත් තඩියයි මමයි.. උදයා තියනවා නිරීක්ශණ චාරිකාව ගිය උදවියගේ මුරට.. වෝටර් ලිමෝසීන් එක රිටර්න් කරලා යතුරයි එන්ජින් හතරයි සුද්දා මාමිට භාරදුන්නාම නිරීක්ශණ චාරිකාවේ කරයුතු කම්මුතුයි..  එතැනින් එහා අපේ චාරිකාවයි මයින්ද මාත්තයලාගේ චාරිකාවයි වෙනස්වෙන තවත් තැනක් තියෙනව.. ඒ තමයි අපේ චාරිකාවේ බීලා කුදාර් වෙලා පීචං වෙලා කට් වෙච්ච එවුන් කාපු බීපුවා ගෙවල්වලට මාට්ටු වෙන්න නොදෙන්න අපි තදින්ම වගබලාගන්නව.. උන් බීපුවයේ වෙරි හිඳෙනකල් අපි උන්ව නාන තොටුපොලේ හංගලා තියාගෙන ඉන්නව.. තුඩුවමුල්ල සියලූම ටීවී චැනල්වල මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය වේදිනියන් ගම පුරා තොරතුරු හෙව්වත් බීපු එවුන් ගැන තඹේක තොරතුරක් එලියට එන්නෙ නෑ.. ඒකට අපේ මයින්ද මාත්තයලාගෙ නිරීක්ශණ චාරිකාව..  ගිහිං දවසක් දෙකක් යද්දි වීඩියෝ ‍යනවා කියහංකෝ සෝසල් මීඩියාවල.. 



(මේ තියෙන්නේ තුඩුවමුල්ල තොටුපොල.. හැමදාම හවසට කොල්ල විස්සක් තිහක් ලකේට ගඟේ පැනපු තැනට දැන් වෙලා තියනදේ.. ඔය දකුණු පැත්තේ තියන පුංචි කාමරේ තමා කට්ටියව වෙරි හිඳෙනකල් හංගලා තියන්නේ..)


මයින්ද මාත්තයලා ගියපු නිරීක්ශණ චාරිකාවෙ ගිය පනස් පස්දෙනෙකුට කන්න දෙන්න වියදම්වුනේ දාහතරදාහයි කියලා ඇමටිතුමා කීවා කියලා එස් එල් ව්ලොග් හසලකයා කියනවා මට ඇහුනා.. මම මේ කල්පනා කරන්නෙ අපි ඔය නිරීක්ශණ චාරිකාව ගිය 1996 අවුරුද්දෙත් පහලොවක විතර කන්ඩායමකට කන්න බොන්න ඔය ආසන්න වියදමක් ගිය එකේ, බඩු මිල අහස උසට ගිය කාලෙක පනස් පස්දෙනෙකුට දාහතර දාහකින් කන්න බොන්න දීපු කේටරින් එක තියෙන තැන හොයාගත්තොත් ඉතිං සෑහෙන්න අඩු ගානකට තුන්වේල කන්න පුලුවන් වෙයි රටේ එවුන්ට .. 

තනියම කල්බැපනා කරලා බැලුවාම මයින්ද මාත්තයලාගෙ නිරීක්ශණ චාරිකාවට වඩා අපි සෑහෙන සාර්ථකයි... මම එහෙම කියන්නෙ ඇයිද දන්නවද..  තඹේක ආදායමක් නැති අපි ඒ ලෙවල් කරපු කාලෙ, එකා එකා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන, සුද්දා මාමිගේ වෝටර් ලිමෝසීන් එකත් රෙන්ට් කරගෙන, බයිට් හදාගෙන, කෑම හදාගෙන, ගඟ දිගේ හැතැක්ම දෙක තුනකුත් ගිහිං,  රෑ එලිවෙනකල් කුදාර් වෙනකල් බීලා, සිංදු කියලා, රොකට් එකක නැගලා අඟහරු ලෝකේ පැත්තෙත් ගිහිං ආතල් එකකුත් අරගෙන, ගමේ ගොඩේ එකාලට තියා , දෙමාපියන්ටත් නොදැනෙන්න  ගෙවල්වලට ගිය අපි මයින්ද මාත්තයලාට වඩා දක්ශ නැද්ද මම අහන්නෙ... අද මේක ලියනකල්, අපි  ගිය නිරීක්ශණ චාරිකාව ගැන ගෙවල්වල එවුන් තියා ගමේ ගොඩේ බල්ලෙක් පූසෙක්වත් දන්නෙ නෑ...