Friday, September 20, 2024

සැප්තැම්බරයේ බලාපොරොත්තුව

 ඒක 1994 දවසක්.. හරියටම දවස මතක නැති උනාට ගූගල්ගෙන් අහලා බැලුවාම දවස 1994 නොවැම්බර් 9. එදා තමයි මගේ ජීවිතේ පලවෙනි වතාවට චන්දෙ දාපු දවස.. අවුරුදු 17 ක කෲර පාලනයක් සහ ඇතිවෙන්න ලේ හැලුන කාල වකවානුවක් ඉවර වෙලා අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් ගෙනාපු දවස.. වෙනත් විදිහකින් කියනවනම් ඒක ගිනිගත් දේශයක නොවැම්බර්  බලාපොරොත්තුව.. එවකට වයස යාන්තමට දහ අටක් වෙච්ව ඇටෙන් පොත්තෙන් එන වයසෙ එවුන් විදිහට චන්දයක් කියන්නෙ අපිට වෙනමම අලුත්ම අත්දැකීමක්..


ජීවිතේ පලවෙනි වතාවට චන්දය දානවා කිව්වම ඒක අලුත්ම අලුත් ඇත්දැකීමක්.. උදේ පාන්දරම චන්දපොලට ගෙහුං රටේම අලුත් බලාපොරොත්තුව වෙච්චි සැටලයිට් එකට කතිරෙ ගහල ආවෙ හෙන වීරකමක් කරපු ගානට..
 අම්බලංගොඩ වටේම යාලු මිත්‍රයෝ හිටියට චන්දෙ දවසෙ රෑට සෙට් වෙන්නෙ වෙනමම සෙට් එකක්.. ඒ කාලෙ චන්දෙ දවසෙ රෑට අනිවාර්‍යෙන්ම ඇඳිරි නීතිය වැටෙන නිසා දුරවල්වල ඉන්න යාලු මිත්‍රයෝ එක්ක සෙට් වෙන්න යන්න විදිහක් නෑ.. එදාට ඉතිං එකම පිහිට ගමේ අහල පහල සෙට් එක විතරයි..

එදාට තමයි අපේ මංගලයයි මමයි ගජරාමෙට සෙට් වෙන දවස.. මංගලයි මමයි අසල් වැසියන්.. ඒ එක්කම එක ඉස්කෝලෙ එක පෙලේ.. එවකට අපි ඒ ලෙවල්.. මංගලයා රෑ වෙද්දි රතිඥ්ඥා පෙට්ටි දෙක තුනක් එහෙමත් සෙට් කරගෙන ලක ලෑස්ති වෙන්නෙ ගජරාමෙට චන්දෙ අහන්න.. අපේ ගෙදර ටීවී එකේ භාගයයි මංගලලාගෙ ගෙදර ටීවී එකේ භාගයයි.. ඔය අතරෙ මංගලයයි මමයි ගෙවල් දෙකෙන්ම අතුරුදහන්වෙන වෙලාවල් එමටයි..

සැටලයිට් ඇන්ටිට වාසිවෙන චන්ද ප්‍රථිපලයක් යද්දි සැටලයිට් එකට විරුද්ධ පිලේ ගෙදරක
මිදුලට රතිඥ්ඥා කරලක් පත්තු කරලා දාලා කරුවලේ පඳුරක් අස්සට වෙලා බලාගෙන ඉඳලා ගන්න සොමිය සල්ලිවලට ගන්න බෑ.. ගජරාමෙට බෝතල් පාර්ටිය දාගෙන චන්දෙ අහන ගෙවල්වල ඇරලා තියන ජනේලයකින් ගේ ඇතුලට රතිඤ්ඤාවක් දාලා පැනල දුහන එකට අපේ මංගලයා කප් ගහපු පොරක්.. මම ඉතිං ලොකු දිවිලි කාරයෙක් නෙවෙයි නිසා මම ඈතට වෙලා බලාගෙන ඉන්නව.. රතිඤ්ඤාව පත්තු උනාම බෝතල් පෙරලගෙන දුවන චන්ද දායකයන්, බීමතේ කියන සුන්දර වචන ඉතිං මෙලෝ වසනා එකෙකුට අහං ඉන්න පුලුවං එව්ව නෙවෙයි.. ඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාව නිසා පාරේ ගමන අවධානම්.. ඒ නිසා කොල්ලො කුරුට්ටො සියල්ලෝම එදා දවසට ගමන් පහසුව සලසා ගන්නෙ වැට මායිම් හරහා තමයි.. රටේ චන්දයක් තිබුනේ නැති ගානට සියලූම ලැයිට් නිවලා මසුරං පහට නිදාගන්න ගෙවල්වලටත් ඉතිං රතිඤ්ඤා ප්‍රහාරයෙන් ගැලවෙන්න බෑ..

රටේම අවුරුදු ගානක් තිස්සෙ බුර බුරා නැගුන ගිනි ජාලාවන් නිවෙන දවස එදා වෙච්චි රට පුරා මිනිස්සු චන්දය සැමරුවේ කාලෙකින් ආපු සිංහල අවුරුද්දක් විදිහට.. මංගලයයි මමයි ගමේ අනික් කොල්ලො කුරුට්ටො සෙට් එකයි රෑ දොගොඩ හරියෙ ගමේ ගෙයක් ගෙයක් ගානේ වැටවල් වලින් පැන පැන හීනියට රතිඤ්ඤා ආතල් එක ගන්නව.. සමහර ගෙවල්වල අඳුරු මිදුල් කොන්වල හීනියට සෙට්වෙන බෝතල් පාර්ටි දිහාවට අහස් කූරක් එහෙම යැව්වාම එතන ආතල් කෝටියයි.. අපේ ගෙවල්වල ඉන්න මවු දෙමවුපියන්ගෙ කෑලි නෑ.. දෙන දෙන චන්ද ප්‍රථිපල සැටලයිට් එක දිනුම් කියද්දි අපිටත් ඉතින් ෆුල් ආතල්.. කොහොමින් කොහොමහරි එලිවෙන්න තුන හතර වගේ වෙද්දි කොල්ලො කුරුට්ටො සෙට් එක කලුවඩුමුල්ල පිට්ටනිය දිහාවට ගාටනව.. පිට්ටනිය මැද්දෙ කව්දෝ එකෙක් තඩි ටයර් සෑයක් පත්තු කරලා අඩි පනහකට වැඩි මිසක් අඩු නැති උසට මහා විසාල ගිනිමැලයක් දැල්වෙනවා කියහංකෝ.. ඇයි එහෙම ගිනිමැලයක්ප ත්තු කරේ, කව්ද ඒක පත්තු කරේ කියලා කවුරුවත් දන්නෙ නැති උනාට ඒ අවට ගෙවල්වල අවදිවෙලා ඉන්න පිරිස පිට්ටනිය වටේ ඈතින්  වටවෙලා ගිනිමැලය දිහා බලන් ඉන්නව..  අවුරුදු කීපයකට කලියෙන් පාරවල් අයිනෙ ටයර් උඩ මල මිනී පිච්චෙනව දැකපු අපිට මහා විසාල ටයර් සෑයක් කියන්නෙ භය සංත්‍රාසය පිරුන දර්ශනයක්.. මමයි මංගලයයිත් පිට්ටනියෙ උඩහට වෙලා ගිනි මැලය දිහා බලන් ඉන්න අල්ල පනල්ලෙ මේං බොලේ එක පාරටම පොලිස් ජීප් එකක් මතුවුනා කියහංකෝ ග්‍රාමිණී විද්‍යාලය පැත්තෙන්.. ටයර් සෑයයි පොලිස් ජීප් එකයි කියන්නෙම මොලේ දිව්වෙ නැතත් ඇඟ දාලා කකුල් දෙක විතරක් හරි පැනලා දුවන සීන් එකක් නිසා මම මංගලයටවත් මංගලයා මටවත් කියලා ස්ථීර කරන්න කලින් අපි දෙන්නා එතැනින් පැනලා දුවන්න ගත්තා කියමුකෝ.. පිට්ටනිය වටේ වටවෙලා හිටපු පිරිසත් හිස් ලූලූ අත දුවන්න ගතපි..  ඇඳිරි නීතිය වෙලාවෙ පොලිස් ජීප් එකක් එක්ක පාර දිගේ රේස් දුවන එක වෙඩි කන්න වෙන වැඩක් නිසා මංගලයා සුපුරුදු ආකාරයෙන් වැට කඩොලු කඩාගෙන වතු උඩින් දුවන්න ගතපි.. මමත් ඉතිං පසු නොබලා මංගලයා පස්සෙන් ඔරේ රන්.. 

කලුවඩුමුල්ල පිට්ටනිය ලඟ තිබ්බ ඒ කාලෙ පරන තාලෙ ගෙදරක්.. ඒ ගෙදර මැද මිදුලක් එහෙම තිබ්බ ගම් උලු සෙවිලි කරපු පරන ඇන්ටික් මොඩල් එකේ ගෙදරක්.. දැං ඒ ගෙදර එතන තියනවද නැද්ද කියලා මම දන්නෙ නෑ අවුරුදු ගානකින් ඒ පැත්තට නොගිය නිසා.. පොලිස් ජීප් එක දැකපු මංගලයා  කොයිතරම් භය උනාද කියනවනම් පිට්ටනියට එද්දි ඒ වත්තෙ මායිමෙන් පැනලා ගේ අයිනෙන් ආපු එකා මේං අර ගේ මැද්දෙන් ගේ හරහා දිව්වා කියහංකො.. ඒ ගෙදර මිනිස්සුත් වටේටම ලයිට් දාගෙන දොරවල් එහෙමත් ඇරගෙන චන්ද ප්‍රථිපල බල බලා හිටියෙ.. එකපාරටම රෝඩ් රනර් ශෝ එකේ කුරුල්ලා ගේ මැද්දෙන් දිව්ව වගේ මංගලයා සිං ගාලා ගේ මැද්දෙන් ඇරපු ඇරිල්ලට ගෙදර මිනිස්සු මොකාද යකෝ ඒ කියන්නැහේ මංගලයා දිහා බලනකොටම මේ තව එකෙක් ඒ වේගෙන්ම ගේ මැද්දෙන් ඔරේ රන්.. මමත් ඒ හරියෙ වතුපිටි ගැන වැඩිමනක් දන්නෙ නෑ.. පොලිස් ජීප් එක ආපු නිසා පාරෙන් දුවන්නත් බෑ.. මංගලයා පස්සෙන් ඌ දුවන පාරෙ දුවනවා ඇරෙන්න මටත් වෙන විකල්පයක් නෑ.. මම හිතන්නෙ නෑ අපි දෙන්නම ඇරපු ඇරිල්ලට ඒ ගෙදර මිනිස්සුන්ට දිව්වෙ කව්ද කියලා අඳුරගන්න වෙලාවක් තිබුනා කියලා.. 

මැතිවර්ණයක්, අඳුරු රාත්‍රියක්, අඩි පනහක් විතර උසට ඇවිලෙන ටයර් සෑයක්, පොලිස් ජීප් එකක් කියන්නේ ඕනෑම අමු සොහොනක් මැද්දෙන් දෙපාරක් හිතන්නෙ නැතුව භය නැතුව පැනලා දුවන්න පුලුවන් වෙන පට්ට රෙසිපියක්.. ඒ තමයි 1994 වෙද්දි අපි අත්දැකලා තිබ්බ දේශපාලන වාතාවරණය.. ඒ නිසා තමයි 1994 ජනාධිපතිවරණය අපිට සෝමාලියාවට දාපු පාන් කෑල්ලක් ගානට සෙට් වෙන්නෙ..  හැබැයි අපේ ඒ බලාපොරොත්තු එදා පත්වුන සට්ලැයිට් ඇන්ටි ඉශ්ඨ කරේ නෑ.. අපි ඒ ගොඩගහපු බලාපොරොත්තු කිසිදු වටිනාකමක් නොලබාම කාලයාගෙ ඇවෑමෙන් නොසලකා හැරුන. වෙනත් විදිහකින් කියනවනම් නොවැම්බරයේ බලාපොරොත්තුව කූඨප්‍රාප්තියක් නොලබාම මියෑදුනා..

අදත් ඒ වගේම දවසක්.. 2024 සැප්තැම්බර් 21 කියන්නෙත් අපි බලාපොරොත්තු කප්පරක් ගොඩ ගහන දවසක්..  අපේ බලාපොරොත්තු ඉටු වේවිද නැද්ද කියලා හෙට දවසේ පත්වෙන ජනාධිපතිවරයා තීරණය කරාවි.. අපේ රටේ දෙකෝටි විසි ලක්ශයක කුඩු සංසාර වෙච්ච ජීවිතවල තිඹිරි ගෙයිම මැරිලා ගිය බලාපොරොත්තු , ඉශ්ඨ සිද්ද කරගන්න මාලිමාව අපිට හරි පාර පෙන්නාවිද? රටට ලෝකෙට ණය නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන අභිමානවත් රටවැසියන් වෙන්න අනුර කුමාර අපේ මිනිස්සුන්ට අවස්ථාවක් හදලා දේවිද? 
 තැන තැන විසිරිච්ච ජීවිත එකලාසයක් කරගෙන සතුටින් ජීවත්වෙලා කාටවත් බරක් නොවී මැරීලා යන්න අනුර කුමාර අපිට අලුත් ජීවිතයක් හදලා දේවිද? අපි බලාගෙන ඉමු.. හරියටම අපි 1994 බලාගෙන උන්නා වගේම.. මේ තමයි අපේ පරම්පරාව අභිමානවත් ජීවිතයක් ගැන කප්පරක් බලාපොරොත්තු ගොඩ ගහන අවසාන අවස්ථාව.. ආයෙ අපේ ජීවිත කාලය ඇතුලත මේ අවස්ථාව උදා වෙන්නෙ නෑ.. අපි බලාගෙන ඉමු.. සැප්තැම්බරයේ ඔටුනු පලඳින අලුත්ම අලුත් බලාපොරොත්තුව දිහා සීරුවෙන්..  ❤️❤️❤️

No comments:

Post a Comment