ඉබ්බා කියන්නෙ මගේ නැන්දගෙ දෙවැනි පුතන්ඩියා.. මට වඩා අවුරුදු හයකින් තමයි වැඩිමහල්... ඉබ්බලාට තිබ්බ විශේශත්වය තමයි ඒ කාලෙ සිල්ලර කඩයක් තිබ්බ එක.. හිච්චි එකා සන්දියේ නැන්දලහ ගියාම ඉබ්බ මාව ඔය කඩේට එක්කසු කරන් ගිහිං චොකලට් පාට සීනි බෝලයක් එහෙමත් දෙනව බෝතලෙන් අරන්.. අපේ මාමා කාරයා තමයි ඔය කඩේ කරේ.. මාමා ඉතිං අපි සීනි බෝලයක් කෑව කියලා මුකුත් කියන්නෙ නෑ.. ඉබ්බ ඉතිං අයිතිකාරයාගෙ පුතා වෙච්චි, ටොපි , බිස්කට්, සීනිබෝල දාල තිබුන තඩි වීදුරු බෝතල් ඔක්කොම උගේ බූදලේ වෙච්චි, ඌට මොන තහනමක්ද ඉතිං සීනි බෝලයක් කන්න..
ඉබ්බා රට යන්නෙ මට මතක විදිහට එකදහස් නවසිය අනූ එකේ වගේ කාලෙ.. ඒ ඉතිං වෙන මොකවත් නිසා නෙවෙයි ලංකාවෙ තියාගෙන මේච්චල් කරන්න බෑ කියලා වැඩිහිටි පාර්ශවය තේරුම් ගතපු නිසා.. රට නොගියත් ඉතිං කඩේ දියුණු කරලා ගත්තත් මේ වෙද්දි ඉබ්බ දැං ඉන්නවට වඩා හොඳ තැනක කියලයි මගේ අනුමානය..
අපේ පවුල ගත්තාම අපේ පරම්පරාවෙන් ඉස්සෙල්ලම රට ගියේ ඉබ්බ නෙවෙයි.. රට ගිය එවුන්ගෙන් ඉබ්බා දෙවැනියා.. ඊට කලින් ගියේ අපේ මහප්පගෙ ලොකු එකා.. ඒකත් ඉතිං රට යෑමකට වඩා රටින් පැන ජීවිතේ බේරාගැනීමක් විදිහට තමයි කියන්න වෙන්නෙ.. එවකට රාජ්‍ය ආයතනයක කොන්ත්‍රාත් පදනමේ සේවය කරමින් හිටපු ඒකා හදිසියේම රටින් පනින්නෙ එවකට බලයේ හිටපු ආන්ඩුවේ උවමනවට ඌව පාර අයිනෙ බාබිකිව් දාන්න හොයන්න ගතපු නිසා.. ජීවත් වෙන්න වාසනාව තිබ්බ නිසා බේරුනා උනත් උන්දෑ ලංකාවෙන් ගිහිල්ලා අවුරුදු අටකින් තමයි ජීවතුන් අතර ඉන්නවා කියලා උගෙන් ලියුමක් හරි එන්නෙ.. එතකම් ඌත් ඉතිං මැරුනා හා සමානයි ඉන්න වගක් කියලා ලියුමක්වත් එව්වෙන් නැති නිසා... උන්දෑ නම් දැං යුරෝපෙ රටක පුරවැසියෙක්ව ශපාන් එකේ දරුමල්ලො එක්ක ජීවිතේ ගෙවනව..
ඉබ්බා ඉතිං රට යනවා නෙවෙයි යවනවා කියලා ලිව්වනේ.. ලංකාවෙ තියාගෙන ඉබ්බගෙ මරාල බේරගන්න බැරි නිසා තමයි අපේ දුරින් ඥාතිවෙන සහෝදරයෙක් ඉබ්බව එයැයි වැඩ කරපු හෝටලේම පේස්ට්‍රි කුක් කෙනෙක් විදිහට සවුදියට ගෙන්නගන්නෙ.. ඕං ඉබ්බා රට යන දවස ඉතිං විශේශයි.. ඒ කාලෙ ගමේ එකෙක් රට යනවා කියන්නෙ ඉතිං ගමම එයාර්පෝර්ට් යන හෙන මංගල කටයුත්තක් කියහංකෝ.. අපේ ඩඩා ඉතිං මාව ඔව්වට සහභාගී කරවන්න කිසිසේත්ම කැමැත්තක් නැතත් නැන්දලාගේ විධායක බලතල උඩ ඩඩාගෙ විරෝධය නිශ්ප්‍රභා කෙරීලා එයාර්පෝර්ට් යන ගමනට මාවත් එක්කාසු වෙනව..
ඕං ඉතිං අපි එයාර්පෝර්ට් යන්නෙ හයර් එකට ගත්තු වෑන් එකක.. ඒක ටොයෝටා සුපර් ජී ඇල් වෑන් එකක්.. ඉස්සර එව්වට කිව්වෙ ටී මොඩල් හයි ඒස් කියල.. ඩුවෙල් ඒසී තියන, දහ අටක් විතර යන්න පුලුහං වෑන් එකේ ඕං ඉතිං අපි තිස් පහක් විතර ගාල් වෙලා එදා රෑ හතට විතර එයාර්පෝර්ට් යන්න පිටත් වෙනව.. දහ අටේ වෑන් එකේ තිස් පහක් විතර වෙන්නෙ, ඉබ්බලාගෙ ගමේ කොල්ලො කුරුට්ටෝ සේරෝම ඉතිං එයාර්පෝර්ට් යන්න එන නිසා. වෑන් එකත් ඉතිං දුරින් ඥාතිවෙන කෙනෙකුගේ නිසා ඔලු ගානෙ ගැටලුවක් නෑ ඇතුලට වෙලා දොර වහගන්න පුලුවන්තාක්..
ඔය එයාපෝර්ට් ගමන් යද්දි කොලඹ හරියෙ රේස් බුකිවල තිබ්බ අස්සයා දුහන ලයිට් බෝර්ඩ් ටිකට ඒ කාලෙ මං හෙන ආසයි.. කොලඹ කියන්නෙ රෑට සැනකෙලියක් ගානට මට ඒ කාලෙ පෙනුනෙ.. දැන්නම් රෑ කොලඹ මට කලබලකාරී ඝෝශාවක් පමණයි.. ඔය එයාර්පෝර්ට් යෑමේ ලැජ්ජාම හිතෙන කාරනය කියන්නෙ අප්පා.. ජා ඇල පනිද්දි කවුරුහරි දැනමුත්තෙක් පෙන්නන රුක්මණී දේවි හැප්පිලා මැරුන තැන තියන පිලිමෙ මං අද වෙනකනුත් දැකලා නෑ කියහංකෝ.. මම වාහනයක් අරන් තනියම මගේම කියලා වාහන එලවන්න පටන් ගත්තෙ එකදහස් නවසිය අනූ අටේ.. එදා හිටං දෙදාස් දහයෙ ලංකාවෙන් එනකල් අඩුම තරමේ සිය දෙසීය වාරයක්වත් මම එයාපෝර්ට් ඇවිල්ලා ඇති නෑයෝ යාලුවෝ ඇරලවන්න සහ බස්සන්න..
ඒත් කියහංකෝ මම තාමත් ඔය රුක්මණී දේවිගෙ පිලිමෙ දැකලා නෑ...
ඕං ඉතිං ඉබ්බා එකක අපි එයාපෝර්ට් ආවා කියමුකෝ.. ඉබ්බට ප්ලේන් එක තිබ්බෙ එලිවෙන්න තුනට වගේ මයෙ හිතේ.. මං ඉතිං හිච්චි එකා උනාට මට ඔය රට යන එකාගෙ ඇඟේ එල්ලිලා යන්න එපා දෙයියෝ කියාගෙන දොඩන තැන්වල ඉන්න එක ටිකක් විතර ඒ කාලෙත් අමාරුයි.. ඒ නිසාම මම පාර්කින් එකට වෙලා වෑන් එකේ ඉන්නවා.. ඉබ්බා සහ අටෝරාසියක් පිරිවර ඉබ්බව ගුවන් තොටුපොලේ ගේට්ටුවෙන් එපිටට ඇරලන්න ඇතුලට යනව..
ලෝකෙ කොහේ හරි අධික දුකත් අධික සතුටත් එකම තැනක බලාගන්න ඕනෙනම් ඒකට හොඳම තැන කටුනායක ගුවන්තොටුපල පර්යන්තය කියලයි මම කියන්නෙ.. පිටත්වීමේ දොරටුවේ දරු මල්ලෝ අම්මලා තාත්තලා අඬනවා තමුන්ගේ එකාගෙ සමුගැනීම දරාගන්න බැරුව.. ඊට මීටර් පනහක් එහාපැත්තෙ සතුටෙන් උද්දාමයට පත්වෙලා උඩ පනිනවා කාලෙකින් ලංකාවට එන තමුන්ගෙ එකාව බදාගෙන දරාගන්න බැරි සන්තෝසයෙන්.. මීටර් පනහක් ඇතුලත දුක සතුට දෙක දෙකෙලවරේ තියන තැනක් ඒක..
පිටත්වීමේ දොරටුවෙන් ගෘහ සේවය වෙනුවෙන් රට යන අම්මලා තමුන්ගේ කිරි සප්පයෝ අතෑරලා දාලා යන්න බැරුව අඬන ඇඬිලි දැක්කාම, ඒ කිරි සප්පයෝ අම්මට යන්න එපා කියලා අඬල ඇඬිලි මතක් වෙනකොට, මට මේ දැනුත් ඇහැට කඳුලු එනව.. එව්ව දැක්කාමනම් හිතෙනවා අවුරුදු හැත්තෑ හයක් සහ ඊට පසු අවුරුදු දෙකක් රට කරවපු සහ කරවන එක බල්ලෙකුට චන්දය දියයුතු නෑ කියල.. අම්ම කෙනෙකුට තම පවුලේ ආර්ථිකය හදන්න තමුන් වදාපු කිරි සප්පයා කාගෙහරි ලඟ දාලා පිටරටක වැඩකාරකමකට යන්න සිද්දවෙන තැනකනම් රටේ ආර්ථිකය තියෙන්නෙ, ඒ රට කරවපු සහ කරවන එවුන් ඒ තැන්වල සිටියයුතු නෑ කියලයි මගේ අදහස.. කටුනායක පිටත්වීමේ පර්යන්තය කියන්නෙ අදටත් මම බිම බලාගෙන ඇතුලට එන තැනක්.. එතන දකින සමහර දේවල් පපුව වාවන්නෙ නෑ..
ඉබ්බගෙ කතාව කැලේ පැන්නා වැල් වටාරම් නිසා.. ඕං ඉතිං ඉබ්බා යනව.. මමයි ඩ්‍රවර් උන්නැහේයි වෑන් එකට වෙලා හොඳට දිගෑදිලා නිදාගන්නව.. කොහොමෙන් කොහොම හරි ඉබ්බව ඇරලවන්න රෑ එකොලහට වගේ ඇතුලට ගිය එවුන් එලියට එද්දි පහුවදාට උදේ හත වගේ කියහංකෝ.. අපෙ අප්පෝ අපේ නැන්දලාගෙ මූනවල් බලන්න දුකේ බෑ.. ඉබ්බගෙ අක්කලාගෙ සහ අනෙකුත් ඟාති සහෝදරියන් කියලත් ඉතිං වෙනසක් නෑ.. සමහරුන්ගෙ එවකටත් කඳුලු බේරෙනව..
ඒ හැටි පරක්කු වෙන්න හේතුව වෙලා තියෙන්නෙ ඉබ්බගෙ ප්ලේන් එක ටිකක් විතර ප්‍රමාද වීමත්, මුන් සැට් එකම ඉබ්බ ප්ලේන් එකට නගිනවා බලන්න පැවිලියන් එකට ගොහින් තිබීමත් තමයි..
ඉස්සර ලංකාවෙ එයාපෝර්ට් එකේ කෙලින්ම ෆ්ලයිට් එකට නගින පහසුකම් තිබ්බෙ නෑ.. ගේට් එකෙන් බස් එකකට නග්ගගෙන ඈත නවත්තලා තියන ප්ලේන් එක ලඟට අරං ගිහිං තමයි ප්ලේන් එකට නග්ගන්නෙ.. කොටිංම මම එකදහස් නවසිය අනූ හතේ ඉන්දියාවෙ යද්දිත් ගියේ ගේට් එක ලඟ ඉඳන් බස් එකේ.. ඔය පැවිලියන් එක කියන එක තිබ්බෙ පිටත්වීමේ පර්යන්තයෙන් පොඩ්ඩක් මෙහාට වෙන්න.. ඒකට යන්න ටිකට් එකක් ගන්න ඕන.. දැන්නම් ඒක තියෙනවද කියලා මම දන්නෙ නෑ.. මමත් ඔය ෆැවිලියන් එකට එක වතාවක් ගිහිං තියෙනව අපේ බාප්ප රට යද්දි.. බස් එකෙන් බැහැලා පෝලිමේ ප්ලේන් එක දිහාට පයින් යන අය පැවිලියන් එක දිහාවට අත වනනව.. පැවිලියන් එකේ ඉන්න අයත් ඉතිං අත වනනවා කෑ ගහනවා, ඒක ඉතිං වෙනමම සංස්කෘතියක්.. ඔය ප්ලේන් එකයි පැවිලියන් එකයි අතර දුර මට මතක විදිහට අඩුම තරමේ කිලෝමීටර් භාගයක්වත් ඇති.. ඉතිං අර ප්ලේන් එකට නගින්න යන අයව පේන්නෙ කූඹි ගානට පුංචියට.. තමුන්ගේ ඥාතියා හොයාගන්න එකම හෙන ගේමක් ඒ සා දුරක ඉඳන්.. මිනිස්සු ඉතිං හැඩහුරුකම් වලින්, ඇඳන් ගිය ඇඳුමෙන්, අතේ අරන් ගිය බෑග් එකෙන් වගේ තමයි තමුන්ගේ ඥාතියාව අඳුරගන්නෙ..
ඕං ඉතිං පැවිලියන් එකටත් ගිහිං ආපු අපේ නැන්දලා අක්කලා හෙන දුක්ගැනිවිලි..
අනේ ඉතිං කොල්ලා ප්ලේන් එකට නගිද්දිනම් මූන එච්චර සන්තෝසයක් තිබ්බෙ නෑ.. එහෙම කියන්නෙ අපේ ලොකු නැන්ද..
මාව දැකලා අඳුරගෙන ඉබ්බ අත වැනුව මට.. එහෙම කියන්නෙ අපේ මාමා..
පැවිලියන් ගිය හැම එකාම ඉතිං ඉබ්බා ප්ලේන් එකට නගිද්දි වෙච්ච හැම එකම කෙස් ගහේ ඉඳන් කියනව.. සැට් එකම පාර්කින් එකට ඇවිල්ල තියෙන්නෙ ඉබ්බගෙ ප්ලේන් එක ගුවන්ගතවෙන එකත් බලල..
අපිත් ඉතිං තවත් එතන ඉඳලා වැඩක් නැති නිසා ආපහු ගමරට බලා එන්න පිටත් වෙනව.. එනකොට තිබ්බ සන්තෝසෙ එකෙකුගෙවත් නෑ මම හැර.. මොකද කියනවනම් හැම එකාම ඉන්නෙ පැවිලියන් එකට වෙලා එලිවෙන්කල් නිදිමරාගෙන ප්ලේන් දිහා බලන් ඉඳල.. මමනම් ඉතිං ඉන්නෙ මුලු රෑම සැපට වෑන් එකට වෙලා නිදාගෙන.. එදා රෑ සුපිරි වැස්සකුත් වැටුනා කියහංකෝ.. අදටත් මට ලාමක ආසාවක් තියෙනවා සුපිරියට වහින වෙලාවට වාහනේ නවත්තලා සැප නින්දක් දාන්න.. හයියෙන් වහින වෙලාවට වාහනේ ඇතුලෙ යන නින්දේ සැප දන්නෝ දනිත්..
ඕං අපි ගෙදර එන්න පිටත්වෙලා එයාපෝර්ට් පාරෙන් ඇවිත් මිගමු පාරට වමට දානකොටම.....
මෙන්න යකෝ අයිනෙ තිබ්බ බස් හෝල්ට් එකක ඉඳන් ඉබ්බා වාහනේට පැන්නා කියහංකෝ.. නෑ නෑ කකුල් හතරෙ ඉබ්බෙක් නෙවෙයි.. ඒ අපේ ඉබ්බා.. නෑ නෑ දොරට දාන ඉබ්බෙක් නෙවෙයි... මේ පොඩ්ඩකට කලින් ප්ලේන් එකේ නැගලා රට ගියා අපේ නැන්දගෙ පුතා ඉබ්බා...
මල හුට්ටප්පරයයි කියහංකෝ.. වැන් එකේ ඩ්‍රැයිවර් ඔස්මන් අයියා වෑන් එක ඉස්සරහට යන ගමන්ම අයිනට කරලා නවත්තනව.. ඉබ්බා වෙන්ව ගිය ශෝකය දරාගත නොහැකිව භාගෙට නිදි කිරමින් හිටපු අපේ නැන්දලා ටික සුපිරියට කලබල වෙනවා කියහංකෝ.. සමහරු විශ්වාස කරන්නෙත් නෑ ඒ ඉබ්බා කියල.. සමහරු පොලොවෙ හැපිලා කියනවා ඉබ්බා ප්ලේන් එකේ නගිනවා දැක්කාම කියලා.. පිටිපස්සෙම සීට් එකේ ඉන්න මට පස්ස බැලුවාම ඕං පේනව ඉබ්බා රට යන්න ආපු ඇඳුම පිටින්ම වෑන් එක දිහාවට දුවගෙන එනව..
අන්තිමේ බැලින්නම් ඒ අපේ ඉබ්බාම තමයි.. බැලින්නම් වෙලා තියෙන්නෙ සුපිරි වැඩක්.. එයාර් ලයින් කවුන්ටරේන් ගේට් එක ලඟට ගිය ගමන්ම ඉබ්බගෙ ප්ලේන් එක කැන්සල් වෙලා.. එයාර්ලයින් එකෙන් ඉබ්බා ඇතුලු සියලූම මගීන් ටික බස් එකක පටෝගෙන ඇවිත් එයාපෝර්ට් ගාර්ඩන් හෝටලේට ගාල් කරලා පහුවදා ප්ලේන් එකේ යවනකල්.. හත් ඉලව්වේ ප්ලේන් එක කැන්සල්වුනා මාව හෝටලේකට ගෙනැත් දැම්මා කියලා කියන්න ඒ කාලෙ හෑන්ඩ් ෆෝන් තිබ්බ එකක්යෑ.. ඇරලවන්න ආපු එවුන් ආපහු යන්න එයාපෝර්ට් එකේ ඉඳන් මීගමු පාරට එන්නෙ ඔතන හන්දියෙන්ම නිසා ඉබ්බා එලිවෙන්න එකේ දෙකේ ඉඳන් එතන තිබ්බ බස් හෝල්ට් එකට වෙලා එයාපෝර්ට් පාර දිහා බලන් ඉඳල... බැලින්නම් අපේ නෑ සනුහරේ සහ ඉබ්බගෙ ගමේ මිතුරුකැල පැවිලියන් එකේ හිටං අත වනලා ෆ්ලයින් කිස් දීලා අඬලා වැලපිලා සමු දීලා තියෙන්නෙ වෙන කොහේදෝ යන ප්ලේන් එකකට..
No comments:
Post a Comment