Saturday, May 13, 2023

හිතුවක්කාර සිතුවිලි ..



පොඩි පුතා... නැගිටිනවා... දැන් දවල් වෙලා...


ඒ අම්මා මාව ඇහැරවන හඬ... අම්මගේ කටහඬට ඇහැරුනත් මම නිදි වගේම ඉඳගෙන කල්පනා කරේ අද දවස කවදද කියල... අද ඔෆිස් යන දවසක්ද? මට එලාර්ම් එකට ඇහැරුනේ නැද්ද?  ඒ එක්කම මට මතක්වුනා  අද ඉරිදා නේද කියල...


පොඩි පුතා... නැගිටින්නකෝ... බලන්න හතත් වෙලා වෙලාව...


නිදාගන්න දෙන්නකෝ අම්මා... අද ඉරිදනේ... මම එහෙම කියාගෙන අනෙක් පැත්ත හැරුන..


ඉරිදා තමයි ළමයෝ... අද අර මිස්ටර් වනිගසේකරලාගේ ගෙදර එනවා කිව්වනේ අපි දහය වෙද්දී...


කව්ද අම්මා වනිගසේකර කියන්නේ... මම එහෙම කෙනෙක් දන්නේ නෑ... මට නිදාගන්න දෙන්නකෝ ගෙදර ඉන්න දවසෙවත් ...


ඔන්න පොඩි පුතා මගේ කේන්ති අවුස්සගන්න එපා ඉතිං ... තාත්තත් ලැස්ති වෙලා ඉන්නේ... ඇයි මතක නැද්ද ඊයේ රෑ මම කිව්වා ... වරුසවිතාන කපු උන්නැහේ හොයාගෙන ආපු ගෑනු ළමයා බලන්න අපි අද යන්න ඕන කියල...


යන්නම ඕනෙද අම්මා... අම්මට ඉතින් තඩි වරුසවිතානයා කිව්වොත් ඕනෑම දෙයක් විශ්වාසයි...


මිනිස්සුන්ගෙ ඇඟේ පතේ ප්‍රමාණය අල්ලලා විහිළු කරන්න එපා පොඩි පුතා.... අපි ඒ මිනිස්සුන්ට කිව්වා අද එනවා කියලා... 


මොන මල කරදරයක්ද අම්මා මේ...  ඉපදුන පලියට කසාද බඳින්නම ඕනෙද ? අම්මපා මට ඔය තඩි වරුසවිතානයා අහුවුනොත් අනිනවා හොම්බට හැටක්...


ආයේ ආයේ ඕක කතා කරලා වැඩක් නෑනේ පොඩි පුතා... අපිට ඔයාගේ බරෙන් නිදහස් වෙන්න ඕන... දැන් ඔයාට වයස තිස් තුනක්... ආයෙම මම මුල ඉඳන්ම ඔයාට ඕක පැහැදිලි කරන්න ඕන නෑනේ... අපි ලැස්තිවෙලා ඉන්නේ... ඉක්මනට නැගිටලා  ගිහින් ලැස්ති වෙලා එන්න.. අයියත් උදේම කෝල් කරලා ඇහුව අද යනවා නේද කියල...


මොන මල වදයක්ද  මන්දා අප්පා... මං වගේ කැත එකෙකුට කෙල්ලෝ කැමති වෙනවද... අනික මට බඳින්න ඕනෑකමකුත් නැතුව... අර අපේ අයිය කියන බුරුවා කරුමෙකට කර ගැහුවා මදිවට මාවත් ඒ වලටම ඇදලා දාන්න ගන්න මහන්සියක්... 


මම එහෙම කියාගෙන ඇඳෙන් බැහැල කෙලින්ම ගියේ බාත්රූම් එකට... අම්මා හැඬුම් ස්වරයෙන් මොනවාදෝ දිග හෑල්ලක් කියවනවා ඇහුනට මං ඒකට කන් දුන්නේ නෑ... අයියට බනිනකොට අම්ම කොහොමත් පොඩ්ඩක් ඉමෝෂනල් වෙන එක සාමාන්‍ය දෙයක්...


 ඉරිදා දවසෙත් ෆුල් සූට් එකක් ඇඳගෙන ගෙවල්ගානේ යන එක මල වදයක්.. ඔසරියක් ඇඳගෙන බුලත් හෙප්පුවක් අරගෙන එන ගෑනු ළමයෙකුගෙන් හෙප්පුව අරගෙන කොෆී ටේබල් එක උඩින් තියලා ඒ ළමයාගේ මුණ බලලා පොඩි හිනාවක් දාන එක පට්ට බෝරින් වැඩක් ... බුලත් හෙප්පුවක් ඇල්ලුවට මං බුලත් කන්නෙත් නෑ... ජීවිතේට බුලත් කාලත් නෑ... කසාද බඳින්න මට ඕනෑකමකුත් නෑ... අම්මගේ තාත්තගේ උවමනාව වෙනුවෙන් එව්වයේ නොගිහිනුත් බෑ... අතට අහුවුන ඇඳුමක් දාගෙන මම කරේ ගමන යන්න ලෑස්තිවුන එක... 


ඒක අපේ ගෙදර ඉඳන් පැය එකහමාරක විතර ගමනක්.. යනකල්ම අම්මගෙයි තාත්තගෙයි කතාබහ උනේ මේ බලන්න යන ගෑනු ළමයාගේ වගතුග.. ඒ ළමයාගේ උගත්කම, රස්සාව, හැඩහුරුකම, දෙමාපියන්ගේ උගත්කම්, වත්පොහොසත්කම්, නෑ පරපුර, වගේ මට මෙලෝ වැඩකට නැති මගුල්.. මං ඉතින් බකුසු ස්වරයෙන් හ්ම් හ්ම් ගාගෙන කතාවට ඇහුම්කන් දෙනවා වගේ ගියාට මම ඇත්තටම කරේ මගේ දකුණු කනේ ගහලා තියෙන බ්ලූටූත් එකෙන් සිංදුවක් අහගෙන වාහනේ ඩ්‍රයිව් කරපු එක.. මට කසාද බඳින්න ඕනෑකමකුත් නෑ... මේ බලන්න යන ගෑනු ළමයා බැලුවා කියලා මට එහෙම ඕනෑකමක් ඇතිවෙන්නෙත් නෑ... ඉතිං මට ඔය කියන ළමයාගේ වගතුග ඇති  වැඩකටත්  නෑ... ඊට වඩා රහයි දකුණු කනට ඇහෙන සිංදුව... මම ඇහුම්කන් දෙන්නේ දකුණු කනෙන් ඇහෙන සිංදුවට මිසක් අම්මගේ අනාගත ලේලිගේ පුරාජේරුවට නෙවෙයි කියලා අම්ම දන්නවනම් මගේ වම් කනත් කුඩු... අම්ම ඉන්නේ වාහනේ පිටිපස්සේ සීට් එකේ වම් පැත්තෙ ... තාත්ත ඉස්සරහ පැසෙන්ජර්  සීට් එකේ... දකුණු කනේ බ්ලූටූත් එක දෙන්නටම පේන්නේ නෑ... ඒකෙ  වාසිය මට...


අපි එහේට යද්දී උදේ දහයට කාලක් වගේ ඇති.. වාහනෙන් බහිද්දිම මගේ ඔලුවට ආවේ ඉක්මනට මෙතැනින් පැනගන්න ඕන කියන සිතුවිල්ල.. ගෙදර ඇතුලට අඩිය තිබ්බ වෙලාවේ ඉඳන් එතනින් පිට වෙනකල් කරන්න ඕන සියලුම චාරිත්‍ර ටික එකක් නෑර මතකයි... අම්මගේ වදේටම විසි තිස් වතාවක් ඔය බුලත් හෙප්පුව පිළිගන්න උනා මිසක් ඒ එක වතාවක්වත් මං ඒ ගෙවල්වලට ගියේ කැමැත්තෙන් නෙවෙයි... ඒ බලන්න ගිය ගෑනු ළමයි බොහොමයක්ම මට කැමති උනත් ඒ ළමයින්ට මම කැමති නෑ කියලා ශේප් වෙන්න මට සිද්දවුනා... ඇත්තටම මට ඒ ගෑනු ළමයි ගැන දුකයි... ඒ එක්කම අනුකම්පාවයි... ඇත්තම කියනවනම්,  මම ඒ ගෑනු ළමයින්ට කැමතිද කියලවත් හිතන්න මට ඕනවෙලා නෑ... මේ ලෝකේ උපන්නා කියලා කසාද බඳින්නම ඕනෙද...


 ජීවිතේම කසාද නොබැඳ ඉන්නවද එහෙම නැතිනම්  දැන්ම බඳින්නේ නැද්ද කියල මම තීරණයක් අරගෙන නෑ... ඒත් මාව කසාද බැන්දවීමේ අධික උවමනාව තියෙන්නේ අපේ අම්මට සහ අයියට... තාත්තටත් ඉතිං උවමනාව නැත්තේම නෑ... ඒත් එයා ඔය සම්භන්ධව මට ලොකුවට බලපෑමක් කරේ නෑ... හුඟක් වෙලාවට සිද්දවුනේ කොහේ හරි ඉන්න කපුවෙක් ගේන යෝජනාවක් එක්ක සමථයකට ඇවිල්ලා ඉරිදා දවසක මාව හයර් එකට අරගෙන අම්මයි තාත්තයි ලේලිලා බලන්න යනවා වගේ එකක්... මටත් ඉතින් තිබුනේ අතට අහුවුන එකක් ඇඳගෙන වාහනේ ඩ්‍රයිව් කරගෙන ගිහිං බුලත් හෙප්පුව අරගෙන කොෆී ටේබල් එක උඩින් තියලා විරිත්තලා බොහොම විනීතව හැසිරිලා පහුවදාට " මං ඒ ළමයට කැමති නෑ අම්මා " කියලා කියන එක විතරයි... ඊට පස්සේ සතියක් දෙකක් අම්ම කියන අවලාද අහගෙන ඉන්න එක මගේ ජීවිතේ කොටසක්...  


එදත් ඉතින් සුපුරුදු වැඩේ... අම්මලා එයාලගේ පුරාජේරුව කියවනවා... අපි ගියපු ගෙදර වැඩිහිටියන් එයාලගේ පුරාජේරුව කියවනවා... මං ඉතිං දෙපැත්තට විරිත්තමින් විනීතව වාඩි වෙලා ඉන්නව...  කෑ ගහලා කියන්න බැරි නිසා කටවහගෙන ඉන්නවා මිසක් " ඔය බුලත් හෙප්පුව අරගෙන ඉක්මනට වරෙන්කෝ මට ඉක්මනට මෙතැනින් මාරු වෙන්න " කියලා කියන්නමයි හිත... ඒත් ඊට කලින් තේ පැන් සංග්‍රහය... හැමතැනම එකම රෙසිපිය.. චොක්ලට් කේක් හෝ බටර් කේක් ... කෙසෙල් ගෙඩි... කිරිටෝපි... කලාතුරකින් දොදොල් මස්කට්... ඊට පස්සේ නිවිච්ච කිරි තේ... මාසය අප්‍රියෙල් මාසය උනානම්, කැවුම්, කොකිස්, අතිරසත් ඔතනට එකතු වෙනව... එකම ඒකාකාරී රටාව... මටනම් එව්වා දකිද්දීත් පිස්සු වගේ... 


වරුසවිතානයා අපි යද්දිත් එහේට ඇවිත්.. උන්දෑ කරේ දෙපැත්තේ පුරාජේරුව දෙපැත්තට කියන ගමන් කොෆී ටේබල් එක උඩ තිබ්බ ට්‍රේ එකේ කෑම ජාති එකින් එක ගිල දාපු එක... 


ත්‍රී ක්වාටර් එකකට ටී ෂර්ට් එකක් ඇඳපු ප්‍රියමනාප ගෑණු ළමයෙක් මං ඉන්න තැනට ඇවිල්ල මට ආයුබෝවන් කිව්වම තමයි මම මගේ සිතුවිලි දැහැනෙන් මිදෙන්නේ... මමත් නැගිටලා ආයුබෝවන් කිව්වට ඒ ආපු ගෑනු ළමයා සහ ඒ ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක එක්ක මම ටිකක් විතර පැටලුනා කිව්වොත් තමා ඉතිං හරි... මම බලාගෙන හිටියේ සුපුරුදු ප්රොටෝකෝල් එක... ඔසරිය ... කලාතුරකින් සාරිය... දේව රූපෙකට අන්දලා වගේ රත්තරන් පාට ආභරණ... මූන පුරා පියරු... රතු කරපු තොල්... පිත්තල බුලත් හෙප්පුව... ඒත් මේක වෙනස්... ත්‍රී ක්වාටර් එකක්... ටී ෂර්ට් එකක්... පියරු නෑ... තොල් පාට කරලා නෑ...  ආවා ආයුබෝවන් කිව්වා.. හිනාවුනා... ලඟම තිබ්බ කාමරේ දොර රෙද්දෙන් නොපෙනී ගියා... සියල්ලම තත්පර කීපයයි... ඒ තත්පර කීපයට මගේ හිත ටිකක් විතර හෙලවුනා කිව්වොත් ඒක බොරු නෙවෙයි.... එතන වාඩිවෙලා හිටපු ඊළඟ විනාඩි කීපයේම මම උත්සහ කරේ ඒ මුහුණ මොනවගේද කියලා මවාගන්න... ඒක තත්පර කීපයක දර්ශනණයක්.  හරියටම දර්ශණය කරගන්න බැරිවුණ රූපයක්, කොහොම නැවත ස්මරණය කරගන්නද...  ටිකක් අමාරු වැඩක්... 


ඊළඟට තියෙන්නේ තනියම කතාකරන්න වැඩිහිටියන් විසින් සලසා දෙන අවසථාව නිසා මම ඉවසිල්ලෙ හිටියේ ආයෙම ගැහැණු ළමයා කව්ද කියලා හරියටම බලාගන්න.... ඊට කලින් සෑම අවස්ථාවකම ඒ අවස්ථාව මට මල වදයක්.. මේක එහෙම නෙවෙයි... කියන්න බැරි මොකක්දෝ ආශ්වාදයක්... ඒක විස්තර කරන්න බෑ... වචනයෙන් කියන්න බෑ... 


දුව.... එන්න මේ අයිය එක්ක ටිකක් එලියට ගිහින් කතා කරන්න...


මම ඉතින් පුරුද්දට වගේ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා එලියට ගිහිං ගාර්ඩ්න් එකේ තිබ්බ කොන්ක්‍රීට් බංකුව උඩින් වාඩි උනා... කලබල උනා වැඩිදත් මන්දා... වෙනදට වැඩිය කොල්ලා උනන්දුයි කියල අම්මට තේරුනාවත්ද ... වස ලැජ්ජාව.... ත්‍රී ක්වාටර් එක මං  ඉන්න දිහාවට ඇවිදන් එනවා දැකලා මම නොදැක්ක ගානට ෆෝන් එක දිහාම බලාගෙන උන්න... එයා ඇවිත් කොන්ක්‍රීට් බංකුවේ ඈතින් වාඩි උනා... ලේඩීස්  ෆස්ට් උනාට කතාව පටන් ගන්න ඕන මම...  ඒක ඉතින් වඩා පහසුයි...


හායි ... කොහොමද ඉතිං ...


වරදක් නෑ ... ඉන්නවා ඉතිං ...


ඉතිං මං ඔයාගේ නමවත් දන්නේ නෑනේ....


මගේ නමවත් නොදැනද ඉතිං මේ ගමන ආවේ...  එයා කිව්වේ අහක බලාගෙන නෝන්ඩියට  වගේ හිනාවෙන ගමන් ...


සොරි ඉතිං ... ඇත්තම කියනවනම් මම ඔයාගෙ නම දන්නේ නෑ තමා...


මම අහස්‍යා ... 


ලස්සන නමක්.... 


නම විතරද එතකොට... මම ලස්සන නැද්ද?


ඔයා ලස්සනද නැද්ද කියන්න මට තේරෙන්නේ නෑ... ඔයා හරි ප්‍රියමනාපයි...  දැක්කාම ආයෙම බලන්න හිතෙන පෙනුමක් ඔයාට තියෙනවා.. ඒකට කියන්නේ ලස්සන කියලාද  කියන්න මම දන්නේ නෑ...


ඒක මාර උත්තරයක්නේ...


මනුස්සයෙක් ලස්සනද කැතද කියල වෙන් කරන්න මට තේරෙන්නේ නෑ... සමහරවිට මගේ මොලේ අඩුපාඩුවක් වෙන්න ඇති...


මොලේනම් අඩුපාඩුවක් තියෙනවා කියලා තේරෙනවා... එහෙම නැත්තං නමවත් දන්නේ නැතුව මනමාලියෝ බලන්න ඒවිද ....


එකටනම් කියන්න මට උත්තරයක් හදාගන්න බැරිවුණා... එකට දෙන්න මම උත්තරයක් හොයවා කියලා දැනිලාද කොහේ එයා ආයෙම හඬ අවදි කළා..


උත්තර හොයන්න මහන්සි වෙන්න එපා හලෝ... ජස්ට් ටේක්  ඉට් ඊසි... එයා එහෙම කිව්වේ ලස්සනට හිනාවෙන ගමන්... 


මිට කලින් මනමාලියෝ බලන්න ගිය එක වතාවක්වත් නැති විදිහට මගේ ස්නායු පද්ධතිය කලබල වෙලා කියලා මට දැනුන.. අතේ පයේ වෙනදාට නැති හිරියක් තිබ්බා වගේම වෙනදා නැති මොකක්දෝ ආගන්තුක ගතියකුත් දැනෙමින් තිබුන... මම උත්සහ කළා පුළුවන් උපරිමයෙන් සාමාන්‍ය විදිහට හැසිරෙන්න... අවුරුදු තිස් තුනටම ගෑනු ළමයෙක් ළඟ හෙලවිලා නැති හිත අහස්‍යා ළඟ පොඩ්ඩක් විතර හෙලවුනාදෝත් මන්දා... ඒත් අහස්‍යා කියන ඒ අපූරු ගැහැණු ළමයා මං දිහාවට විවෘත නෑ කියන දැනීමත් ටිකක් විතර දැනුන.. වෙනදට මනමාලියෝ බලන්න ගියාම මට ගතකරගන්න අමාරුම කාල පරාසය උනේ තනියම කතා කරන කොටස... ඒක සෑහෙන බොරින් ඩිස්කෂන් එකක්... අද එහෙම නෑ... මම ඒ ඇසුරට යම්තාක්දුරට ප්‍රියකලා කිව්වොත් තමයි නිවැරදි... කතා බහ ලොකු දුරක ඇදිලා ගියේ නැත්තේ හැම දෙබසක්ම නැවත දෙබසකට අවස්තාවක් නැති වෙන විදිහට අහස්‍යා අවසන් කරපු නිසා... එල්ලී එල්ලීම යන්න බැරි නිසා මමත් අහස්‍යාව මහන්සි කරන්න ගියේ නෑ... එහෙම කරන එක ඩීසන්ට්  නෑ ...


විනාඩි විස්සකට තිහකට විතර පස්සේ "අපි  එහෙනම් යමු නේද පුතා" කියාගෙන තාත්තා අහස්‍යාගේ ගෙදරින් එලියට බැස්ස නිසා ඒ ප්‍රයිවට් ඩිස්කෂන් එක එතැනින් ඉවරවුනා ... තාත්තා එලියට බහින්න ඇත්තෙ මම ලොකුවට ඔය වැඩේට ඉන්ට්‍රෙස්ට් නෑ කියලා දන්න නිසා වෙන්න ඇති... කොන්ක්‍රීට් බංකුව උඩ වාඩිවෙලා හිටියට අන්තිම වෙද්දී අපි දෙන්නම හිටියේ අපි දෙන්නගේ ෆෝන් දෙක දිහා බලාගෙන... අහස්‍යා එක්ක කතා කරන්න ආසාව තිබ්බත් ඒ කතාව දිගටම කරගෙන යන්න අහස්‍යාගෙන් ලොකු උනන්දුවක් තිබ්බේ නෑ... බහුතරයක්  ගෑණු ළමයි අහපු ප්‍රශ්ණ එකක්වත් අහස්‍යා මගෙන් ඇහුවෙත් නෑ... ඉගෙනගත්තු ඉස්කෝලේ, ඉගෙනගත්තු කැම්පස් එක, වැඩකර තැන, අධ්‍යාපන සුදුසුකම්, රැකියාවේ අනාගත බලාපොරොත්තු, ජීවිතේ අනාගත බලාපොරොත්තු,  පිස්සු ප්‍රශ්ණ එකක්වත් අහස්‍යා මගෙන් ඇහුවේ නෑ... අහන්න ඕනෑකමක් තිබුනා කියලා මම හිතුවෙත් නෑ...


 එතනින් එහා ගෙදර එනකල්ම අම්මගෙයි තාත්තගෙයි සාකච්චාව උනේ අහස්‍යාගේ සහ එයාගේ පවුලේ විස්තර... ඕනෑකමක් නෑ වගේ පෙන්නුවට මං හිටියේ සියල්ලම හොඳින් ඇහුම්කන් දෙන ගමන්... වෙනදට එන ගමනේත් දකුණු කනේ බ්ලූටූත් එක ගහගෙන සිංදු ඇහුවට මේ වතාවේ සිංදු ඇහුනේ නෑ... 


---------------------------------------------------


මං හිටියේ ඔෆිස් එකේ වැඩ ගොඩක හිරවෙලා... හෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා බැලින්නම් කෝල් එක ගෙදරින්...


හෙලෝ ...


ආ පුතා... ඔයා බිසීද ?


බිසීනම් තමා අම්මා... කියන්න.. හදිසි පණිවිඩයක්ද...


ඔව් පුතා.... අර මිසිස් වනිගසේකර කෝල් කරා... 


වනිගසේකර කිව්වේ ?  මං එහෙම කිව්වේ උනන්දුවක් නෑ වගේ අම්මට පෙන්නන්න.. මිසිස් වනිගසේකර කිව්වම ඒ අහස්‍යා වනිගසේකරගේ අම්ම වෙන්න ඕන කියලා මට අමුතුවෙන් කියන්න ඕන නෑ...


ඇයි ළමයෝ අපි ඊයේ ගිය ගෙදර මිසිස් වනිගසේකර මතක නැද්ද...


ආ ඉතිං ... මොකද කීවේ ... මට වැඩ තියෙනවා අම්ම... මම එහෙම කිව්වේ ලොකු උනන්දුවක් නැති විදිහට...


කොහෙද ඉතිං අපි ඊයේ දවසෙම ඔයාගෙන් අහලත් ඔයාගෙන් උත්තරයක් ගන්න බැරිවුනානේ... අන්න... ඒ දරුවා ඔයාට කමතියිලු... අද හවස තුනට විතර එයාගේ ඔෆිස් එකට එන්න කිව්වලු එයාව හම්බවෙන්න...


මට ඕවට වෙලාවක් නෑ අම්මා...


එහෙම කියන එක හරි නෑනේ පුතා... ඔය කැමති උනා නොවුනා ගිහිං එන්න... අන්න මම ඒ දරුවාගේ ඔෆිස් එකේ එඩ්රස් එක  ඔයාගේ වට්ස්ඇප් එකට එව්වා... මට ඒක එවලා තිබුනේ මිසිස් වනිගසේකර...


බලමු අම්මා... බොහෝදුරට මට යන්න වෙන එකක් නෑ... තියන්නම් ... බායි අම්මා...


අම්මා ආයෙම දිගටම ෆෝන් එකේ එලිලා ඉන්න හැදුවත් මම ෆෝන් එක කට්  කරා... බිත්ති ඔරලෝසුව දිහා බැලුවාම වෙලාව දවල් එකයි තිහයි... මම ඊළඟට කරේ අම්මා එවපු වට්ස්ඇප් මැසේජ් එකෙන් අහස්‍යාගේ ඔෆිස් එකේ එඩ්රස් එක අරගෙන එතනට යන්න කොච්චර වෙලාවක් යනවද කියල බලපු එක... ට්‍රැෆික් එකත් එක්ක එතනට යන්න විනාඩි හතලිස් පහක් ඉල්ලනවා... තුනට එතනට යන්නනම් මම ඔෆිස් එකෙන් දෙකටවත් පිටත් වෙන්න ඕන... කරමින් හිටපු සියලූම වැඩ නවත්තලා දාපු මම කරේ රාජකාරී පරිඝණකට නිෂ්ක්‍රීය කරලා දාලා හෆ්ඩේ ෆෝම් එකක් පුරවන්න පටන් ගතපු එක... පුදුම උනන්දුවක්... ඒ ප්‍රියමනාප  මූන, ඒ ප්‍රියමනාප හිනාව, දකින්න යන්න නොහිතෙන්නේ කාටද ඉතිං ...

-----------------------------------------------------------------------------------


මම අහස්‍යාගේ ඔෆිස් එකට යද්දී තුනට දහයයි... මම කෙලින්ම ගියේ රිසෙප්ෂන් එකට...


ගුඩ් ආෆ්ටර්නූන්   ස... හවූ මේ අයි හෙල්ප් යූ...


ගුඩ් ඇෆ්ටර්නූන්...

 අයි ඇම් හියර් ටු සී මිස් අහස්‍යා වනිගසේකර... 


මේ අයි නෝ යුවර් නේම් ප්ලීස් ?


අයි ඇම් කවීෂ ...


රිසෙප්ෂන් එකේ හිටපු ගැහැණු ළමයා ඉන්ටර්කොම් හරහා අහස්‍යා අමතන හඬ ඇහෙන අතරේ මම හිටියේ  අහස්‍යාගේ කාර්‍යාලය ඔබ මොබ ඇහැ යවන ගමන්...


ස... අහස්‍යා මැඩම් කියනවා එයා කවීෂ කියලා කෙනෙක් දන්නේ නෑ කියලා... මොකක් සම්භන්ධවද අහනවා මුණගැහෙන්න ආවේ...


 රිසෙප්ෂන් එකේ ගැහැණු ළමයාගේ උත්තරයෙන් මම නිරුත්තර උනා කිව්වොත් තමයි හරි... මම මොහොතකට නැවතිලා හිතුවා ඊළඟට මම කවුරු කියල හඳුන්වනවද කියල... යාලුවෙක්.. බෝයි ෆ්‍රෙන්ඩ්... වෙන්ඩ  හස්බන්ඩ්... ඥාති කෙනෙක්.... ම්හ්... එකකවත් ගැලපෙන්නේ නෑ.... ඔලුවට  හරිහමන් උත්තරයක් එන්නෙත්  නෑ..


මිස් මේ මගේ බිස්නස් කාර්ඩ් එක... ඔයාට පුලුවනිද මේ කාර්ඩ් එක මිස් අහස්‍යාට පාස් කරන්න... එතකොට එයාට මතක් වෙයි... මම එහෙම කිව්වේ මගේ බිස්නස් කාර්ඩ් එක රිසෙප්ෂන් කවුන්ටර් එක උඩින් තියන ගමන්...


ස ටිකක් වාඩිවෙලා ඉන්න.. මම මිස් අහස්‍යාට කාර්ඩ් එක දෙන්නම්...


මම රිසෙප්ෂන් ඒරියා එකේ තිබ්බ සැප පුටුවකට බරවුනා... මගේ ඇස් දෙක බලන් හිටියේ අහස්‍යා දැන් එයි දැන් එයි කියල...


ඔයා මොකද මෙහෙ කරන්නේ...


ඒ සද්දෙට මම ගැස්සුනත් එක්ක... අහස්‍යා ඇවිත් තිබුනේ  මම වාඩිවෙලා හිටපු තැනට පිටිපස්සෙන් තිබ්බ දොරකින්...  එයා හිටියේ පුදුම වෙච්ච බැල්මකින් මා දිහා බලාගෙන ..   මමත්  ප්‍රශ්නාර්ථ සහිත බැල්මකින් අහස්‍යා දිහා බලන් හිටිය... ජිවිතේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක් ඉස්සරහ ලැජ්ජා සහගත හැඟීමක් මට දැනුන...


ඔයා මොකද මෙහෙ කරන්නේ ? නැවතත් අහස්‍යාගෙන් එමම ප්‍රශ්ණය ... මම එවර පිළිතුරු දිය යුතුමයි...


ඇයි ඔයානේ මට එන්න කියල තිබ්බේ...


මම ? අහස්‍යා මං දිහා බලාගෙන හිටියේ පුදුම වෙච්ච බැල්මකින්...


ඔව්නේ.. ඔයාගේ අම්මා අපේ අම්මට කෝල් කරලා තමයි කියලා තිබුනේ...


කම් ඔන් මාම්.... හව් ඩිඩ් යූ ඩු දිස් ටු මී ...


 අහස්‍යා එහෙම කියාගත්තේ කේන්තියෙන්  පුපුරන ගමන් එයාටම...


සොරි කවීෂ... මට විනාඩි පහක් දෙන්න... මම ෂෝර්ට් ලීව් එකක් දාලා එන්නම්...


ඉට්ස් ඕකේ අහස්‍යා... ඔයා මට එන්න කිව්වේ නැත්තම් මම යන්නම්.. මයි මාම් මයිඩ් බී කොන්ෆියුස් විත් ද මෙසේජ් අයි ගෙස්..... ඔයාට ඩිස්ටර්බ් කරාට සමාවෙන්න... 


මම ජිවිතේ කවදාවත් එහෙම ලජ්ජාවකට පත්වෙලා නෑ... ඒත් අහස්‍යා ඉස්සරහ මගේ කඩා වැටීම නොපෙන්වා ඉන්න මම උපරීම උත්සහ කළා...


නෑ කවීෂ ... ඉන්න... මම ෂෝර්ට් ලීව් එකක් දාලා එන්නම්... ඔයා මෙතනට ආපු එකට මම ඔයාගෙ කාලයට ගරු කරන්න ඕන අම්මලා මොන පිස්සුව කරත්...  එයාලටනම් ඇත්තටම පිස්සු ... 


එහෙම කියාගෙන අහස්‍යා කේන්තියෙන් පුපුරමින් ආපු දොරෙන්ම නොපෙනී ගියා.. මම  ආයෙම මෝඩයෙක් වගේ ඔහේ බලන් හිටිය... ඈත වීදුරුවකින් පේන මගේම ප්‍රතිබිම්බය දිහා බලාගෙන මම මමම ගැන අනුකම්පා හිතුව... කොහොම හිටපු කොල්ලෙක්ද මේ ... ඇයි මම මේ ගමන ආවේ? මම ඇතුලේ අහස්‍යාට ලෝභකමක් කැමැත්තක් ඇති වෙලාද? අහස්‍යා මට එන්න කියලා නැත්තම් ඇයි මම තවත් මෙතන ඉන්නේ ? හිතේ සිතුවිලි විශ්ලේෂණය කර කරා ඉන්නේ නැතුව අහස්‍යා එන්න කලින් මෙතැනින් පිටව යා යුතුයි... එහෙම හිතලා ඒ තීරණයක් අරගෙන මම වාඩිවෙලා උන්නු තැනින් නැගිට්ටේ එතනින් පිටවෙන්න...


යමු කවීෂ...


මට ඕනවුනේ තවත් අහස්‍යාට කරදරයක් නොවී එතනින් පිටවෙලා යන්න.. ඒත් ඒ වෙද්දී අහස්‍යා හෑන්ඩ් බෑග් එකත් කරේ එල්ලගෙන ආපහු ඇවිත්.... අහස්‍යාත් මට සමාන්තරව මම යන දිහාවට ඇවිදන් ආව... අහස්‍යා හිටියෙත් කේන්තියෙන් කියලා මට දැනුනා.. ඒත් මම හිටියෙත් ඊට වඩා පැටලිලා... මගේ අම්ම මාව රැවටුවාද, අහස්‍යාගේ අම්මා අපි හැමදෙනාම රැවටුවාද ? එහෙමත් නැතිනම් මට එන්න කියලා පසුව අහස්‍යාගේ හිත වෙනස් වුනාද කියන ප්‍රශ්ණ තුන ඇතුලේ මම හිටියේ අතරමන් වෙලා... ඒ ගැන හිත හිතා කාර් එක නවත්තලා තිබබ තැනට ඇවිදන් ආවට කොහේ යන්නද, මොකක් කරන්නද කියල පැහැදිලි අදහසක් මා ළඟ තිබුනේ නෑ... 


කාර් එක ළඟ නතරවුණ මට අදහසක් තිබුනේ නෑ ඊළඟට කරන්න ඕන දේ ගැන.. අනාරාධිතව අහස්‍යාට කාර් එකේ දොර අරිනවාද ... එහෙම කරන එක හරිද... දොර ඇරලා කාර් එකට නගින්න කිව්වොත් අහස්‍යා මම ගැන මොනවා හිතාවිද ... අහස්‍යා කාර් එකට නැග්ගොත් ඊළඟට මම එයාව එක්ක යන්නේ කොහෙටද ... කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහින් මොනවහරි බොන ගමන් කතා කරනවද... කිසිසේත්ම පැමිණීම බලාපොරොත්තු නොවුන, කිසිසේත්ම හමුවීමට බලාපොරොත්තු නොවුන කෙනෙකුගේ ආරාධනාවක් අහස්‍යා කොහොම භාර ගනීවිද ... අහස්‍යාට වාහනයට ගොඩවීමට ආරාධනා කිරීම කොයිතරම් ආචාරශීලීද ... එයා ඒක කොයි විදිහට භාර ගනීවිද ... ඔලුව ඇතුලේ ප්‍රශ්ණ ගොඩක්... එකකටවත් පැහැදිලි උත්තර නෑ... අවුරුදු තිස් තුනක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කොල්ලෙක්... ගෑණු ළමයෙක් ඉස්සරහා අසරණ වෙලා ඉන්න තරම්... 


දැන් මම වාහනේට නගින්න එපාද මෝඩයෝ...


ඒ වෙද්දී තමයි මට තේරුනේ මම වාහනේ ළඟ විනාඩියක් විතර මනෝ පාරක් ගහලා කියල..


සොරි අහස්‍යා... 


මම රිමොර්ට් එකෙන් වාහනේ අන්ලොක් කරා... අහස්‍යා වාහනේට ගොඩවෙනකල් හිටපු මම කාර් එක වටෙන් දුවල ගිහින් ඩ්‍රයිවින් සීට් එකට ගොඩවෙලා කාර් එක ස්ටාර්ට් කරා..... 


සිත් දැහැනේ වෙලී තිබුනු

නෙත් දැහැනේ ගලා හැලුණු

මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ

ඔබ රහසේ කියා දුන්නු ආදරයද මේ


වාහනේ ස්ටාර්ට් වුන සැනෙන්ම ප්ලේ වෙන්න ගත්තේ මම එද්දී අහමින් ආපු අමරදේව මාස්ටර්ගේ "ගිමන් හරින දියඹ දිගේ " ගීතයේ ඉතුරු ටික.. මම හනික කරේ වාහනේ සීඩී ප්ලේයර් එක අක්‍රීය කරලා දාපු එක...


කොල්ලගේ මියුසික් ටේස්ට් එකනම් නරක නෑ... අහස්‍යා එහෙම කිව්වේ එයාටම කියාගන්න විදිහට... මට ඉතින් කිසිවකට උත්තර නෑ... මම හිටියේ නැට්ට ළඟටම පැටලිලා...


අයි ඇම් රියලි සොරි අහස්‍යා... මට තේරෙන්නේ නෑ ඔයාගේ අම්ම දුන්නු මෙසේජ් එකක් අපේ අම්මා වැරදියට ගත්තද එහෙම නැතිනම් දෙන්නගෙන් එක්කෙනෙක් ඕනෑකමින් මේක කරාද කියල...


ඉට්ස් ඔකේ කවීෂ ... ඔයා සොරි කියන්න ඕන නෑ... දෙන්නගෙන් කවුරු උනත් කරේ ලොකු වරදක්...


ඔයාට තිබ්බේ මට ආපු අතක් බලාගෙන යන්න කියලා මේක අමතක කරලා දාන්න... ඔයාගේ රෙස්පොන්ස් එකෙන්ම මට තේරෙනවනේ මේ හමුවීම අපි දෙන්නටම තේරුමක් නැති එකක් කියල...


ඔනස්ලි කවීෂ, මට මගේ අම්මව සැකයි මේ වැඩේට... ඒකයි මම ෂෝර්ට් ලීව් දාලා ආවෙ ඔයාට ගරු කිරීමක් විදිහට... මම මේකට කැමති උනත් අකමැති උනත් මට බෑ මගේ ඔෆිස් එකට මාව හොයාගෙන ආපු මනුස්සයෙක්ව බල්ලෙක් වගේ එළවලා දාන්න... මම හිතනවා ඔයත් යමක් කතා කරලා විසඳගන්න පුළුවන් බුද්ධි මට්ටමේ මනුස්සයෙක් කියල...


හරි... දැන් මම මොකද කරන්න ඕන... ඇත්තටම මට අදහසක් නෑ මම ඔයාව කාර් එකේ දාගෙන කොහේ යන්නද කියල...


අයි රියලි ඇප්රිශියෙට් යුවර් ඔනස්ටි කවීෂ... ඔයාට පුලුවනිද මාව හෝමාගමින් බස්සගෙන යන්න... ඒත් ඔයා ආපහු ඔෆිස් එකට යන්නේ නැතිනම් විතරයි...


අයියෝ සිම්පල්නේ... මං හාෆ්ඩේ දාල ආවෙ අහස්‍යා... මම ඉතිං කොහොමත්  යන්නෙ හෝමාගම පහුකරගෙන... හැබැයි ඉතිං ට්‍රැෆික් එකනම් කන්න වෙනවා... 


ඒ දුක ඉතිං ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියත් විඳින්න වෙනවනේ කවීෂ.... අපේ අම්මා කරත් ඔයාගේ අම්මා කරත් අපි දෙන්නගෙම කාලය අපරාදේ මේ මගුල් නිසා...


මට ඉතිං සොරි කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ අහස්‍යා... 


ජනාකීර්ණ වීදියේ මගේ වාහනේ අඩියෙන් අඩිය ඉස්සරහට ඇදෙද්දී අපි අතර ඇතිවුනේ දැඩි නිහඬ භාවයක්... මොලේ ගැටගහලා කල්පනා කරත් අහස්‍යා එක්ක කතාකරන්න පුළුවන් අපි දෙන්නටම පොදු වෙච්ච මාතෘකාවක් සොයා ගන්න මට බැරිවුනා... නිහඬ භාවය දරාගන්න බැරිම තැනදෝ කොහේ අහස්‍යා හඬ අවධි කළා...


කවීෂ ඊයේ අපේ ගෙදර ආවේ ඇත්තටම කැමැත්තෙන්ද අම්මලාගේ බල කිරීමටද ? කමක් නෑ නේද මං එහෙම ඇහුවට...


ඇත්තම කියනවනම් අහස්‍යා ඒ ගමන සීයට සීයක්ම අපේ අම්මගේ අවශ්‍යතාවයක්... සොරි ඉතිං එහෙම කියන්න උනාට... ඒත්...


ඒත් කිව්වේ...


නෑ...  ඒක  දැන් වැඩක් නෑ...


අහස්‍යාට මැරී කරන්න ඕනෑකමක් තියනවා කියලා මම හිතන්නෙත් නෑ... මම හරි නේද..


අහස්‍යා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පොඩි වෙලාවක් ගත්ත... මුහුණෙන් කියැවෙන දේ කියවගන්න මට ඕනෑකම තිබුනත් ආගන්තුක ගැහැණු ළමයෙකුගේ මුහුණට එබිලා ඒ මුහුණෙන් කියැවෙන දේ කියවන එක ආචාරශීලී නෑ...


ඇත්තම කියනවනම් කවීෂ... මට මැරි කරන්න ඕනෑකම තිබුන... ඒත් දැන් ඒ ඕනෑකම නෑ...


අයි ගොට් ඉට් .... මම වගේ කැත එකෙකුට අහස්‍යා වගේ කෙනෙක් කැමති වෙන්නේ නෑ....


අනේ නෑ කවීෂ ... එහෙම එකක් නෙවෙයි... 


යූ ඩෝන්ට් හැව් ටු එක්ස්ප්ලේන් යුවර්සෙල්ෆ් .... 


නෑ කවීෂ... එහෙම එකක් නෙවෙයි... ඇත්තම කියනවනම් මම ඉන්නේ එෆෙයාර් එකක් බ්‍රේක් වෙලා තාම සිහි එලවගන්න බැරුව...  ඉතිං මම ඔයාට අමුතුවෙන් එක්ස්ප්ලේන් කරන්න ඕන නෑනේ මේ විවාහ යෝජනා එක්ක මගේ තියෙන කැමැත්ත... ඒක ඔයාගේ පෙනුමේ වරදක්වත් , ඔයාගේ වරදක්වත් නෙවෙයි...


අයි ඇම් සොරි අහස්‍යා... එක්ස්ට්‍රීම්ලි සොරි... යූ හැඩ් ටු ටෙල් මී යෙස්ටර්ඩේ ... 


ඉට්ස් ඔකේ කවීෂ.... ජස්ට් ෆොර්ගෙට් අබවුට් ඉට්... ඒක නෙවෙයි... ඉතිං කියන්නකෝ... ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් විතර ඉඳලා තියෙනවද ?


ආර් යූ කිඩින්... යූ වෝන්ට් බිලීව් මයි අන්සර්...


ඕකේ .. ලේට් මී ගෙස්...  ටෙන්... ට්වෙල්... ෆිෆ්ටීන්...


ද රියල් අන්සර් ඉස් සීරෝ...


ඔන්න ඔන්න ඉතිං කොල්ලා බොරු කියනව... හැන්ඩ්සම් කොල්ලෙකුට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ නෑ කිව්වම විශ්වාස කරන්න පුලුවනිද ... ඕක කිව්වා කියලා ප්‍රශ්නයක් නෑ මෝඩයෝ... මම ඕක පත්තරේ දාන්නේ නෑ....


ඇත්තමයි අහස්‍යා... මට කවදාවත් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉඳලා නෑ...


සීරියස්ලි... ඔයා ඒ තරම් බෝරින්ග් කැරැක්ටර් එකක්ද.... ඕර් යූ ආර්  ඉන්ට්‍රෙස්ටින්  සම්තින්ග් එල්ස් ... අයි මීන්.... 

අහස්‍යා එහෙම කියලා අත් දෙකෙන් මූන වහගත්ත...


ඩෝන්ට් මිස් ඉන්ටර්ප්‍රිට් ප්ලීස්... අයි ඇම් අ හෙල්දි ස්ට්‍රේට් ගයි .. මට ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඕන කියලා දැනීලා නෑ මේ  වෙනකල්... මේත් මේ අම්මලාගේ ඕනෑකමට මිසක්, මම කසාද බඳිනවද, දැම්ම බඳින්නේ නැද්ද, එහෙමත් නැතිනම් ජීවිත කාලයටම බඳින්නේ නැද්ද කියල මම තීරණය කරලා නෑ... මම හිතන්නෙ වයස තිස් තුනක් කියන්නේ බඳින්න වයසක් නෙවෙයි කියලයි...


ඇයි එහෙම කියන්නේ...


මිනිස්සු කසාද බඳින්න ඕන ඒ කොමිට්මන්ට් එකට තමුන් දැන් සුදුසුයි කියලා තමුන්ට කොන්වින්ස් උනාම... එහෙම නේද...


පැහැදිලි මදියි කවීෂ ..


 මිනිස්සු කසාද බඳින්න ඕන දැන් තනිකඩ ලයිෆ් එක එන්ජෝයි කරා ඇති මට දැන් පාට්නර් කෙනෙක් එක්ක සෙට්ල් වෙන්න ඕන කියල දැනුනාම... මිනිස්සු කසාද බඳින්න ඕන මට දැන් දරුවෙකුගේ හුරතලයක් බලන්න ඕන කියලා දැනුනාම... වෙනත් විදිහකින් කියනවනම්, මිනිස්සු කසාද බඳින්න ඕන, මම දැන් ආතල් ගත්තා ඇති, දැන් මට එක තැනකට වෙලා පාට්නර් කෙනෙක් එක්ක මැරේජ් ලයිෆ් එකක් එන්ජෝයි කරන්න ඕන කියල දැනුනාම... එහෙම නැතුව දෙමාපියන් කියන නිසාවත්, වයස කියන ඉලක්කම් නිසාවත් , රටේ ලෝකේ මිනිස්සු සතුටු කරන්නවත්, සංස්කෘතිය සදාචාරය ආරක්ෂා කරන්නවත් නෙවෙයි...


ඔයා මාර දාර්ශනිකයිනේ බැලුවාම... සොරි ඉතින් මම කලින් ඔයාට මෝඩයා කිව්වට...


හූ කෙයාර්ස්... හඃ හඃ හා...


දැන් මේ ඔයා මහා විසාලෙට විස්තර කරපු දර්ශණයයි , තව එකම එක කාරණයකුයි එකිනෙකට ගැලපෙන්නේ නෑනේ කවීෂ...


අයි ඩෝන්ට් ගෙට් ඉට්...


මෙහෙමනේ... දැන් ඔයාම කියනවා ඊයේ ඔයා අපේ ගෙදර ආවේ අම්මලාගේ බලකිරීමට කියල... හරි... අපි හිතමුකෝ ඒක ඇත්ත කියලා... දැන් එතකොට ඔයා අද මගේ ඔෆිස් එකට ආවේත්, අම්ම කිව්වද නොගියොත් රෑට ගෙදරින් ඩිනර් නෑ කියල... 


අහස්‍යා ඒ ප්‍රශ්නේ අහලා හිනා මුහුණක් මවාගෙන මං දිහා බලාන හිටිය... උත්තර දීලත් බැරි නොදීත් බැරි ප්‍රශ්ණයක්... උත්තර දුන්නත් ප්‍රයෝජනයක් නැති ප්‍රශ්ණයක්... ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ හිත හිතා මම හෙමි හෙමිහිට ට්‍රැෆික් එකේ ඉස්සරහට වාහනය ධාවනය කළා...

ඉට්ස් ඔකේ කවීෂ... යූ ඩෝන්ට් හැව් ටු ආන්සර්.... 


නෑ අහස්‍යා... අම්මා ඔයාගේ ඔෆිස් එකට යන්න කිව්වා කියලා කිව්වා තමයි... ඒත් මම ඒ ගමන ආවේ මගේ කැමැත්තෙන්...


එතකොට... මීට කලින්.... ම් ම් ම් ම් .... එක්කෝ ඕන නෑ.... අයි ශුඩ්න්ට් ආස්ක්  ක්වෙක්ෂන්ස් ...


ඉට්ස් ඕකේ අහස්‍යා... ජස්ට් ආස්ක්  වට් එවර් යූ වෝන්ට්...


එතකොට මීට කලින් ඔයා ඊයේ වගේ ප්රෝපෝසලස් බලන්න ගිහිං නැද්ද ?


අපෝ ගිහිං තියෙනවා... විස්සක් තිහක් විතර බලන්න ගිහිං ඇති.. මම ඉතිං කවුන්ට් කරලා නෑ...


එතකොට කවීෂ.... ඔයා ඒ හැම එක්කෙනාගේම ඔෆිස් එකට ගිහිං තියෙනවද අද වගේ... 


යූ වෝන්ට් බිලීව් ඉට්... දිස් ඉස් ද ෆස්ට් ටයිම් අයි එවර් ඩිඩ් දිස් කයින්ඩ් ඔෆ් ක්‍රේසි තින්ග්...


ඒ උත්තරෙන් අහස්‍යා මදකට නිහඬ වුනා... අපි අතර ඇහුනේ වාහනේ ඒසී එකේ ෆෑන් එකේ සද්දේ විතරයි... මටත් ඒ නිහඬ බව බිඳින්න ඕනෑකමක් තිබුනේ නෑ... වෙනත් විදිහකින් කියනවනම් මට එතනින් එහා කතා කරන්න ඕන මොනවද කියල තේරුනේ නෑ...  මම අඩියෙන් අඩිය වාහනේ ඉදිරියට අරගෙන ගියා... 


සොරි කවීෂ... මම මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නෑ... මොනවා උනත් අපේ අම්මා කරපු දේ හරිම වැරදියි..


ඉට්ස් ඕකේ අහස්‍යා... වුඩ් යූ මයින්ඩ් ඉෆ් අයි ආසක් සම්තින්ග්...


ෂුවර්...


වට් හැපන්ඩ් ටු යුවර් එෆෙයාර්... 

අයි නෝ... ඉට්ස් හයිලි පර්සනල්.... 

යූ ඩෝන්ට් හැව් ටු ආන්සර් ඉට් ඉෆ් යූ ඩෝන්ට් වෝන්ට් ටු ෂෙයාර් ... 


නෑ කවීෂ කමක් නෑ... ඒක අවුරුදු අටක එෆෙයාර් එකක්...  ඇත්තම කිව්වොත් එයාලගේ ගෙදරින් මට අකමැතිවුනා ... අපි සාමාන්‍ය මධ්‍යම පාංතික මිනිස්සු... එයාලා වලව්කාරයෝ...  දැන් අවුරුද්දකට වැඩියි අපි බ්‍රේකප් වෙලා... එයාට හයියක් තිබ්බේ නෑ ගෙදරට පිටුපාන්න... 


සොරිටු හියර් දැට් අහස්‍යා... ඔය ගැන මගේ කොමෙන්ට් එකට දුන්නොත් ඔයා එකට කැමති වෙන එකක් නෑ...


අනේ නෑ... දැන් ඒක ඉතිහාසය විතරයි... මට තාම මගේ හිත එකතැනකට පිහිටුවාගන්න බැරිකම මිසක්, මම දැන් ඒ ගැන හිතන්නෙ නෑ...


පංති බේදය කියන්නේ මේ ලෝකේ තියන අවලස්සනම කතාවක් අහස්‍යා... අපි ඔක්කොම මිනිස්සු... ගැලපෙන්න ඕන පන්තිය නෙවෙයි මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්... මිනිස්සුන්ගෙ පන්තිය තීරණය වෙන්නේ මිනිස්සු හිතන පතන කරන කියන විදිහ අනුව මිසක් ඉන්න ගෙදරවත්, පාවිච්චි කරන වාහනයවත් , තියෙන මිල මුදල් ඉඩකඩම් අනුවවත් නෙවෙයි... බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනුස්සයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපතින් කුලයෙන් නෙවෙයි ක්‍රියාවෙන් කියලයි... 


ඔයා දන්නා දේවල් කවීෂ... බණ දහමුත් දන්නවා එහෙනම්...


උපත, මිල මුදල්, උගත්මක්, රැකියා තානාන්තර වගේ දේවල් වලින් මිනිස්සුනේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ නෑ අහස්‍යා.... ඒක  තීරණය වෙන්නේ මිනිස්සුන්ගෙ ජීවිතවලට එකතුවෙලා තියෙන ගුණධර්ම මත.... බුඩිස්ට් ෆිලොසොෆි එක හරියට ෆලෝ කරොත් මිනිස්සුන්ට එයාලගේ ජීවිතවලට එකතුකරගන්න ගොඩාක් ගුණධර්ම තියෙනවා... වැඩේ කියන්නේ මිනිස්සු උප්පැන්නෙට බෞද්ධ උනාට බුඩිසම් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ... ප්‍රැක්ටිස් කරන්නෙත් නෑ...


අහස්‍යා හිටියේ පුදුම වෙච්ච බැල්මකින් මා දිහා බලාගෙන... මම ඒ ටික කිව්වේ ඉස්සරහ නිමක් නැතුව පේන ට්‍රැෆික් එක දිහා බලාගෙන උනාට මගේ ස්ටේට්මන්ට් එක ටිකක් විතර සීරියස් වැඩි උනාද කියලත් මට හිතුන..


සොරි... ඇඩ්වාන්ස් වැඩිද මන්දා....


නෑ කවීෂ... ඔයා හරියටම හරි... ඇත්තම කියනවනම් මාව තෝරාගන්න බැරි තරම් ආදරයක් නැති මනුස්සයෙක්ව නැතිවුනා කියලා දුකක් නෑ ... ඒත් අවුරුදු අටක් තිස්සේ ගොඩ ගහපු බලාපොරොත්තු සුන්වුණ නිසා මම ඉන්නේ හිත හදාගන්න බැරුව..


අවුරුදු අටක් කියන්නේ සෙල්ලම් කාලයක් නෙවෙයිනේ අහස්‍යා... ඔයාලා අතර කොයිතරම්නම් දේවල් සිද්ද වෙන්න ඇතිද... ඔයාලා කොයිතරම්නම් දවල් කතා කරන්න ඇතිද... මම ලව් කරලා නෑ තමයි... ඒත් ඔයාගේ මානසික මට්ටම මට තේරුම් ගන්න පුළුවනි... 


වරදවා වටහාගන්න එපා කවීෂ... වෙන කෙනෙක්ව මැරී කරලා සාම්ප්‍රධායික මනමාලියෙක් විදිහට හනිමූන් යන්න බැරි තරම් දෙයක් අපි අතර සිද්දවෙලා නෑ...


හඃ හඃ හා... මගේ භාෂාවෙන් මම ඔව්වට කියන්නේ බුල්ශිට් කියල  ... අපේ මේ සංස්කෘතික සමාජ රාමුව පට්ට ගෝත්‍රිකයි අහස්‍යා... පිරිමි හොයන්නේ තමුන් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න පාට්නර් කෙනෙක් නෙවෙයි... උන් හොයන්නේ ලව්, කෙයාරින්, රෝමෑන්ස්  නෙවෙයි... උන් හොයන්නේ බඳින කෙල්ලගේ වර්ජිනිටි එක... මටනම් ඔව්වා මහා විහිළු අහස්‍යා... කසාද බඳින්න ඕනෙනම්, අයිති කරගන්න ලෝභ හිතෙන තරම් ආදරයක් තියෙනවනම්, ජීවිතේම එකට ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවනම්, මොකටද අප්පේ ඒ ගෑණු මනුස්සයාගේ  වර්ජිනිටි එක හොයන්නේ... හනිමූන් එකෙන් පස්සේ අර මනුස්සයා වර්ජින් නෙවෙයි කියලා දැනගත්තොත් , අර කලින් තිබ්බ ලව්, රෝමෑන්ස්, කෙයාරින් නැති වෙනවද... එහෙම නැති වෙනවනම් එතන කොහෙද අහස්‍යා කසාද බැඳලා අයිතිය තහවුරු කරගන්න තරම් ෆීලින්ග් එකක් තිබිලා තියෙන්නේ... එහෙම තත්වයක් උඩ, ඒ වගේ ඩිස්පෝසබල් තැනක ගත කරන කසාද ජීවිතේ හදිසියෙවත් මනුස්සයා අකාලේ මළොත්, අර ගෑණු මනුස්සයා ජීවිත කාලෙම තනිකඩව ඉන්න ඕන කියලත් අපේ ගෝත්‍රික පිරිමි බලාපොරොත්තු වෙනවා... අපේ රටේ මිනිස්සු  රිලේෂන්ශිප්ස් කියන එව්වා අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින් කියලයි මගේ පුද්ගලික අදහස... 


අහස්‍යා මං දිහා බලන් හිටියේ ආර් යූ සීරියස් කියන වගේ බැල්මකින්... මම මදකට ඇස්දෙක පාරෙන් ඉවතට අරගෙන අහස්‍යා දිහා හොඳින් බැලුව... අහස්‍යා හිටියේ නිරුත්තර වෙලා... එතන තිබ්බේ පුදුම වෙච්ච ස්භාවයේ බැල්මක්...


මම හෙන පණ්ඩිතයි නේද... හඃ හඃ හා....


අයි ඇම් ස්පීච්ලස් කවීෂ... යූ ආර් ඇන්  ඉන්ට්‍රෙස්ටින් කැරැක්ටර්... දැට්ස් වට් අයි හැව් ලර්න්ඩ්...


ඇම් අයි ?  හඃ... ඔයා මාව මුරුංග ඇත්තෙ තියනවා නේ... 


නෑ කවීෂ... මම පිරිමියෙකුගේ කටින් ඔය ටික අහපු පලවෙනි වතාව මේක...


ඩෝන්ට් ටේක් ඉට් සීරියස් අහස්‍යා.... මම ඉතිං නිකමට කිව්වේ...


අහස්‍යා මද  වෙලාවකට කල්පනාවකට වැටුන.. ට්‍රැෆික් එක පොඩ්ඩක් තුරුල් වෙලා තිබ්බ නිසා වාහනේ වේගය මදක් වැඩිවෙලා තිබ්බේ.. පාරට දෙන අවධානයත් එක්ක මගේ අවධානය අහස්‍යාගෙන් මිදුන... යාලුවෙකුත් නොවෙන, සහෝදරියකුත් නොවෙන, ඥාතියෙකුත් නොවෙන, ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නොවෙන, අසල්වැසියෙකුත් නොවෙන , දන්නා කෙනෙකුත් නොවෙන, නොදන්නා කෙනෙකුත් නොවෙන, ගැහැණු ළමයෙක් මගේ වාහනේ ඉස්සරහ සීට් එකට ගොඩ වෙච්ච පලවෙනි අවස්ථාව. ඉස්සරින්දා අහස්‍යාව බලන්න ගිය වෙලාවේ ඉඳන් හිතටත් මොකදෝ අමුත්තක් වෙලා කියලා දැනෙනවා උනත් ඒ මොකක්ද කියල තෝරලා බේරලා ලිහලා ගන්න තරම් පැහැදිලි අවබෝධයක් මට තිබ්බේ නෑ... ඒත් එක මීට කලින් කවදාවත් විඳලා නැති ෆීලින්ග් එකක් කියලා නම් වටහාගන්න මගේ බුද්ධිය ප්‍රමාණවත්... කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ඒ ෆීලින්ග් එක ගෙනාපු ගැහැණු ළමයා ආයේ හමු නොවෙන්නම වෙන් මගෙන් වෙන් වෙන්න තව තිබ්බේ බොහොම ටික වෙලාවයි... ඒ වෙද්දී අපි හිටියේ හෝමාගමට කිට්ටු කරල ...


එනිවේ... ඩෝන්ට් ටේක් ඉට් සීරියස්... මටත් සමහර වෙලාවට කතා කරගෙන යද්දී කියන්න ඕන එකයි එපා එකයි දෙකම අමතක වෙනව... සොරි ඉතින් මම කියපු දේවල්වල කොතන හරි ඔයාට හිත රිදෙන දෙයක් කියවුනානම්...


අනේ නෑ කවීෂ... මම මේ හිතුවේ ඔයා කියපු දීවල් ගැන...


එනිවේ... මම ඔයාව ගෙදරින්ම බස්සන්නද ... එහෙමත් නැත්තම්.... ම් ම් ම් ම්....


නෑ කවීෂ... මාව හයිලෙවල් එකෙන් බස්සන්න... මම ට්‍රයිෂෝ එකක් අරගෙන ඉතුරු ටික යන්නම්...


ඔයාගේ කැමැත්තක් ඉතිං... 


මම එහෙම කිව්වට ඔයා අමනාප නෑ නේද...


පිස්සුද අහස්‍යා... මට තේරෙනව... මම ඔයාව දාන්න ඔයාගේ ගෙදරට ගියොත් ඔයාගේ අම්ම තව තවත් මේ ගැන ඔයාට ෆෝස් කරනවා... ඔයා අකමැති දෙයක් වෙනුවෙන් ඔයාව අපහසුතාවයට පත්කරන්න මට උවමනා නෑ ... අනික ඔයා කියනවනම් ඔයාව මගින් දාලා යන්න කියලා ... මම කොහොමද ඔයාව බලෙන් මේ කාර් එකේ දාගෙන යන්නේ එතනින් එහාට...


තෑන්ක්ස්  කවීෂ මාව තේරුම් ගත්තට...


යූ ආර් වෙල්කම් අහස්‍යා... ඔන්න එහෙනම් ඔයා බහින්න ඕන තැන ලඟයි... ඔයාලගේ ගෙවල් පැත්තට හැරෙන තැනින් දැම්මාම ඇති නේද...


ඇති කවීෂ... ඉට්ස් මෝර්දෑන් ඉනෆ්...


මම වාහනේ හයිලෙවල් එකේ අයින් කරලා නැවැත්තුව... ගතවෙච්ච අවුරුදු තිස් තුනටම ඒ තරම් හිස් හැඟීමක් මට දැනිලා තිබුනේ නෑ... අයිති කරගන්න තිබුන යමක් ඊළඟ තත්පරේ සදහටම අහිමි වෙනවා කියන දැනීමක් දැනෙනවා උනාට මම ඒක අහස්‍යාට පෙන්නන්න ගියේ නෑ... වෙනදට  වාහනේට නැගපු වෙලාවේ ඉඳන් ට්‍රැෆික් එකට වෛර කරන මට ඒ මොහොතේ  දැනුනේ අනේ තව ටිකක් ට්‍රැෆික් තිබුනානම් කියලා වගේ හැඟීමක්... පැයක් හමාරක් හිත පුරා විඳගනිපු ඒ ආශ්වාදශීලී හමුවීමේ අන්තිම තත්පර කීපය ගතවෙමින් තිබුන... 


එහෙනම් කවීෂ... මම බහින්නම්.... 


අහස්‍යා පලවෙනි වතාවට මගේ ඇස් දෙක දිහා බලලා කියද්දී මට දැනුනේ කියාගන්න බැරි හිතේ අමාරුවක්... අමතකවෙයි කියලා භයටදෝ මන්දා ඒ මුණ දිහා, ඒ ඇස්  දෙක දිහා, මම ලොකු ලෝභකමින් බලාගෙන හිටිය... 


මම අපේ අම්මට කියන්නම් මම ඔයාට කැමති නෑ කියල... ඊට පස්සේ ඔයාට මේ සම්භන්ධයෙන් ඔයාගේ ගෙදරින් කරදරයක් වෙන එකක් නෑ.... එහෙම හොඳයි නේද අහස්‍යා... 


අහස්‍යා මුකුත්ම නොකියා මං දිහා බලන් හිටිය... ඇත්තම කියනවනම් මට ඒ වෙද්දී අහස්‍යා වෙනුවෙන් කරන්න තිබ්බේ එච්චරයි... කලින් වතාවල උනා වගේ අම්මගෙන් සතියක් දෙකක් බැනුම් අහන එක මට සිම්පල් දෙයක්... 


එහෙනම් කවීෂ මම යන්නම්... 


මම කවදාවත් ගැහැණු ළමයෙකුගේ ඔලුව අතගාල තිබ්බේ නෑ...  මම මගේ වම් අත අහස්‍යාගේ හිස් මුදුනෙන් තිබ්බේ ඕනකමින්මද එහෙමත් නැත්තම් ඒක සිද්දවුනේ අනිච්චානුගතවද කියල මට පැහැදිලි නෑ... 


හා එහෙනම්... පරෙස්සමෙන් යන්න... තෙරුවන් සරණයි...


අහස්‍යා තවත් තත්පර කීපයක් මං දිහා බලන් ඉඳල මුකුත්ම නොකියා කාර් එකෙන් බැහැල ගිහින් අයිනේ නවත්තල තිබ්බ ත්‍රී වීල් එකට ගොඩවුනා... ත්‍රී වීල් එක අතුරු පාරට හැරෙන්න ඇරලා මම වාහනේ පාරට අරගෙන ඉදිරියට ධාවනය කලේ ඕනෑවට එපාවට වගේ...  


නිල් කටරොඩු නිල නැහැවුනු  

මල්බර මුදු සුව රැඳවුනු  

තොල් පෙති කන් පළඳාලන  ආදරයද මේ

නුඹ රහසේ කියදුන්නු ආදරයද මේ 


අමරදේව මාස්ටර්ගේ සිංදුවේ ඉතිරි ටික වාදනය වෙද්දි මම හිස්ම හිස් වෙච්ච මනසකින් හයිලෙවල් පාර දිගේ වාහනේ පැදෙව්ව... හිතේ ඉතුරු වෙලා තිබ්බේ දුකක්ද, කලකිරීමක්ද, එහෙමත් නැතිනම් ඒ දෙකමද කියලා තෝරාබේර ගන්න මානසික තත්වයක් මට ඉතුරු වෙලා තිබ්බේ නෑ... ඒත් ඒ වගේ මානසික තත්වයක් මම ඊට කලින් කවදාවත් අත්දැකලා තිබුනේ නෑ...

-----------------------------------------------------------------------------------

බලන්න ගිය මනමාලියෙකුට අකමැතියි කිව්වයින් පස්සේ අම්මගේ ප්‍රතිචාරය සතියක් දෙකක් යනකල් අවලාද කියන එක සහ එයාගේ දුක කියන එක... වෙනදට මම අම්ම එක්ක ඒ සම්භන්ධව එකට එක කියෙව්වට අද මම අම්මට ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ... මොකද කියනවනම්, ජීවිතේ පලවෙනි වතාවට බැඳීමකට තියෙන ලෝභකම මම පැය කිහිපයකට කලින් අත්විදපු නිසා... අම්මගේ චෝදනා වේදනා සියල්ලම උත්තර නොදී අහගෙන ඉඳලා මම ඇඳට වැටෙද්දී රෑ නමයයි තිහ වගේ වෙන්න ඇති... සාලේ ඔරලෝසුවේ රෑ එක වදිද්දිත් මම හිටියේ ඇහැරිලා... ඒ වෙද්දීත් නින්ද මගේ  අහලකවත් තිබ්බේ නෑ... කල්පනා කරේ මොනවද නොකරේ මොනවද කියල පැහැදිලිතාවයක් නැතත් මම හිටියේ ලොකු මනෝ පාරක... 

මගේ මනොපාර බිඳෙන්නේ හදිසියේම සෙල් ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගතපු නිසා... මම ෆෝන් එක අතට ගත්තේ රෑ එකහමාරට කෝල් කරන්නේ කව්ද කියන කුතුහලය නිසා මිසක් දවල්  වෙලාවක උනානම් මම හිටියේ ෆෝන් එක අන්සර් කරන්න පුළුවන් තරමේ මනෝභාවයක  නෙවෙයි... ඒක නොදන්නා අංකයක්... 

හෙලෝ...

හෙලෝ... 

එහා පැත්තෙන් ඇහෙන්නේ ගැහැණු කටහඬක්... 

කවීෂ...

ඔව්... කතා කරනවා..

කටහඬ අඳුරන්න පුලුවනිද ...

අහස්‍යා... ඔයා ... මේ වෙලාවේ ...

හ්ම්... හිතන්නේ නැති වෙලාවට හිතන්නෙ නැති මිනිස්සු අපේ ජීවිත ඇතුලට එනවා කවීෂ... සමහර වෙලාවට එයාලට යන්න දෙන්න අපිට ලෝභ හිතෙනවා... මේ විශ්වයේ සියලූම බැඳීම් අනිත්‍යයි තමයි... ඒත් ඒ වග දැන දැනත් අපි සමහර බැඳීම්වලට නැවත නැවතත් බැඳෙනවා... 

මට දෙන්න උත්තරයක් හොයාගන්න බැරිවුණා... වෙන්න යන්නේ මොකක්ද කියලා අදහසක් නෑ... මේක නින්දත් නොනින්දත් අතර පේන මනෝ විකාරයක්ද එහෙමත් නැතිනම් හැබෑවක්මද කියලා තහවුරු කරගන්න බැරුව මම හිටියේ ලොකු පැටලිල්ලක..

හෙටත් එනවද මාව ගන්න ඔෆිස් එක ගාවින්... ෂෝර්ට් ලිව් නම් නෑ... ඔෆ් වෙන්න වෙන්නේ හතරහමාරට... අපි කතා කරමු... 

පපුව වේගෙන් ගැහෙනවා වගේ කියලා මට දැනුන...  මම පපුව අතගාලා බැලුවෙ හර්දය වස්තුව ගැහෙන්නේ පපුව ඇතුළෙද එලියෙද කියල තහවුරු කරගන්න ඕන නිසා... 


ගිමන් හරින දියඹ දිගේ

සුසුම් හෙලන වෙරළ ඉමේ

බැස යන හිරු අඩසි සඳට

රහස් කියනවා

සඳ ආදරයෙන් අහස පුරා

ර‍ටා මවනවා


-----නිමි----


Sunday, April 9, 2023

රවීයාගේ ලියතඹරා මල...

 




අපේ රවියා ගැන කාලෙකින් මුකුත්ම ලියන්න බැරිවුණා. උන්නැහේ ගැන ලිව්වේ නැති නිසා  රවියා මා එක්ක තරහ වෙලත් ඇති කියලා හිතුනත් එක්ක.. රවියා කියන්නේ ලියලා ඉවරකරන්න බැරි තරම් තොරතුරු ගොඩාරියක් තියෙන සුන්දර පොරක්. යාලු මිත්‍ර සෙට් එකේ කාටවත් නැති අරුම පුදුම ආකර්ෂණයක් තිබ්බ පොරක් නිසා රවියාට හැමදාම ලැබුනේ අනික් උන්ට නොලැබුණු වෙල්කම් එකක්.. ගිය ගිය තැන රවියා වනාහි ලොකුම විශ්වාසවන්තයා වෙන නිසා අපිට උනත් රවියා ඉන්න තැන්වල අපේම ගෙවල්වලින් හිමිවුණේ දෙවැනි ස්ථානය..

2001 අවුරුද්ද වගේ කාලේ රවියා වැඩි හරියක් වැඩ වාසය කලේ ගොඩයාගේ වාස භවනේ කිව්වොත් තමා හරි... ගොඩයාගේ කාමරේ ඇඳන් දෙකක් තිබ්බ නිසා එකක් ස්ථීරවම රවීගේ උනා.. මේ යෝදයා කොයිතරම් ගෙදර සාමාජිකත්වය ගත්තාද කියනවන්නම්, ගොඩයාගේ  සිරියහන් ගබඩාවේ ගොඩයාට ඕනා විදිහට ඉන්නත් බැරි තැනට කටයුතු යෙදීගෙනයි ආවෙ.. රවියා කොයිතරම් ගොඩයාගේ ගෙදර වැඩ රාජකාරීවලට ඉන්වෝල් උනාද කියනවනම්, හිටිගමන් කුස්සියේ තියන වලන් පිඟන් හෝදන වැඩ වගේ එව්වත් කරන්න පටන් ගත්තා කියහන්කෝ.. නිවාඩු දවසට ගොඩයා එහෙම ටික දවල් වෙනකල් නිදාගන්න ට්‍රයි එකක් දුන්නට රවියා එහෙම නෑ.. උදේම නැගිටලා මිදුලත් අතුගාන තැනට මේ යකා ගොඩගේ ගෙදර සාමාජිකයෙක්ම උනා.. ගොඩයත් ඉතින් ගෙදරට ෆ්‍රී ඔෆ් චාර්ජ් වැඩකාර කොල්ලෙක් ගෙනැල්ලා දීපු ගානට ටිකක් විතර ගැම්මෙන් ඉන්න ට්‍රයි කරත් ගෙදර පරිපාලනය ගොඩයාව තඹේකට ගණන් ගත්තේ නෑ ... රවියට හෙන ප්ලේස්... කොටින්ම කියනවනම් ගොඩයා නිකං රවියගේ  සික්කා ගානට වැටුනා... ගොඩයා මලාට ගෙදර වලන් පිඟන් හෝදන වැඩ, ගේදොර මිදුල් අතුගාන වැඩ වගේ එව්වට වොලන්ටියර්ලි  සයිනප් (Sign up) කරපු සත්වයෙක් නෙවෙයි ඉතිං... ගොඩයාගේ ගෙදර පරිපාලනය ඉඩකඩම්වල වැඩ කටයුතු ගැන පවා රවියා එක්ක සාකච්චා කරන තැනට කටයුතු යෙදුනාම ඉතින් ගොඩයාට වෙලාවකට හිතුනේ මේ ගෙදර පුතා තමුන්ද එහෙමත් නැත්තන් රවියාද කියලමයි... ගොඩයත් ඉතින් ඌටම පුතා වෙන්න ඇරලා උගේ සික්කා ගානට කාලය ගත කරගෙන ගියා..


ඒ කාලේ රවියා කරේ ටුවරිසම්... කලින් රවියා ගැන ලියවිච්ච පොස්ට් ඇතුලේ කියවුන විස්තරවල උන්නැහේගේ ව්‍යාපාර ගැන ලියවිලා ඇති කියලයි ගොඩයාගේ මතකය. ටුවර් එකක් සෙට් උනාම ගිහින් දවස් හතරෙන් පහෙන් සතියෙන් දෙකෙන් රවියා එන්නේ ගොඩයාගේ ගෙදර.. හිටිගමන් ගෙදර ගිහින් එන්න ගියාට රවියා වැඩිය උන්දෑගේ ගෙදර නයිට් පාරක් නැවතුනේ නෑ... ටුවරිසම් කරාට රවියට ඒ කාලේ එයිගේම වාහනයක් තිබ්බේ නෑ.. රවීගේ අයියගේ වාහන තමා දිව්වේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන්.. පසු කාලෙක රවියා එයිගේම කියලා නිසාන් එෆ් බී 15 කාර් එකක් ගත්තා උනාට ඒ කොයි වකවානුවේද කියලා හරිහැටි ගොඩයාට මතක නෑ... ඒත් ලාවට වගේ ගොඩයට මතක තියෙනවා 2004 අවුරුද්දේ සුනාමි ආපු දවස්වල රවීගේ කාර් එකෙන් ගොඩයා නාගොඩ ඉස්පිරිතාලෙට ඇවිත් ගිය සින්කොන් එකක්.. 

ගොඩයාගේ ඥාති වෙන අයියා කෙනෙකුගේ බිරින්දෑ මොකක්දෝ නැන්දම්මා ලේලි වලියක් හේතුවෙන් මොනවාදෝ පෙති වගයක් ගිලලා සිය දිවි නසාගන්න ට්‍රයි කරලා කියහන්කෝ... සුනාමි ඇවිල්ලා සතියකින් වගේ වෙන්න ඕන මේ කියන කාලය.. ලෙඩා බලපිටියේ රෝහලට භාරගත්තේ නෑ මොකක් හෝ හේතුවක් උඩ.. ගොඩයාගේ කාර් එකේ පැට්‍රොල් ටැංකියේ ඒ වෙද්දී තිබ්බේ ලාම්පු තෙල්... පෙට්‍රල් තිබ්බේ නැති නිසා ගොඩයා ඒ දවස් ටික දිව්වේ ලාම්පුතෙල් වලින්.. ලාම්පුතෙල් ගැහුවාම වාහන පෙට්‍රල් වගේ පිකප් නෑ.. ලෙඩෙක් අරගෙන යන්න තරම් ෂුවර් එකක් නෑ එහෙම තත්වෙකින්.. රවීයගේ කාර් එකත් සුනාමි දවස්වල නැට්ට කැඩෙන්න දිව්වා යාලු මිත්‍රයන්ගේ ගෙවල්වල මියගිය අයගේ කටයුතු වෙනුවෙන්..  වාහනේ පෙට්‍රල් තිබ්බ නිසා  වහ බීපු නෑනන්ඩි බලපිටියෙන් නාගොඩ යැව්වයින් පස්සේ සාමසාධක ඥාති පරපුර අරගෙන ගොඩයා  නාගොඩ ගියේ රවීගේ කාර් එකේ  කියලයි  ගොඩයාගේ මතකය... සුනාමි ඇවිල්ල දාස් ගානක් මැරිලා ඉන්න වෙලාවේ පෙති වගයක් ගහලා ජීවිතේ නැති කරගන්න හදපු අපේ නෑනා කාරයාවනම් බලපිටිය ඉස්පිරිතාලෙන් පිළිගත්තේ තොරන්  ගහලා පාවාඩ දාලා කියහන්කෝ.... බලපිටියෙන් නෑනව කෙලින්ම නාගොඩට ට්‍රාන්සර්...  නෑනා පොඩ්ඩ එයයිගේ මරණයට හේතුව ඩයරියක ලියලා තබාලා පෙති වගයක් බීලා අහවර වෙලා ඉස්පිරිතාලෙට ගෙනියන්න ගොඩයාගේ වාහනේට දාගන්නකොට සිහියක් පතක් තිබ්බේ නෑ ... ඒත් ඒ උන්දෑ වාහනේට දාගනිද්දී ඩයරිය අරන් වාහනේට නැගපු කතාවක් සහ නැනගේ ඩේඩ් බොඩිය බලපිටියේ ඉස්පිරිතාලේ  බාද්දී ඩයරිය මිසින් වෙලා කියන කතාවක් ඇදුනා අන්තිමේ .. වහ බීපු නෑනා ගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියලා ඒ තොරණේ විස්තරේ වෙනම ලියමු... නෑනා තාම ජිවතුන් අතර නිසා ඔව්ව ලියන එකත් ඒ තරම් ඇඟට ගුණ නෑ... එදා නෑනා කාරයා මලානම් ඩයරි වාසනාව ඇදීලා පොලිසි උසාවි ගානේ යන්න වෙන්නේ ඉස්පිරිතාලේ අරං ගිය අවංක අයින්සක ගොඩයාට. රවී ගැන ලියාන අපු කතන්දරේ කැලේ පැන්න වහ බීපු නෑන නිසා..


ඔන්න ඔය වගේ වාතාවරණයක තමා රවියා ගොඩයාගේ ගෙදර සාමාජිකයා උනේ.. ලියන්න ගිය කටයුත්ත සිද්දවුනේ සෙනසුරාදා දවසක...රවියට ඕනවුනා දවසක් කොළඹ යන්න.. යන්න ප්ලෑන් එක ගොඩයාගේ වෑන් එකේ.. ගමනට සහභාගී වෙන්නේ තුන්දෙනයි.. රවියා , ගොඩයා සහ බතලයා... කොළඹ ගියේ ඇයිද කියන්න ගොඩයාට ලොකු මතකයක් නෑ.. ගොඩයාගේ වෑන් කොටේ ඒ කාලේ රවියාගේ වගේ තමා.. ඌට ඕන තැන ඌ යනවා.. ගොඩයාත් ඉතින් නිවාඩු දවසක්නම් එල්ලිලා යනවා... කෑමබීම , ඉඳුම් හිටුම්, තේ පැන් , සැර බීම ඔක්කොම රවියාගේ පොකට් එකෙන්... සුපුරුදු පරිදි පිටිපස්සේ සීට් එකට ඇතිවෙන තියුණු තරඟයකින් අනතුරුව, බතලයා පිටිපස්සේ සීට් එකේ... රවියා පැසෙන්ජර් සීට් එකේ... අයින්සක ගොඩයා ඩ්‍රයිවින් සීට් එකේ.. මැරෙන්න කලින් කවදාහරි පැසෙන්ජර් සීට් එකක වාඩිවෙලා ඩ්‍රයිව් එකක් එන්ජෝයි කරන්න කවදාහරි වාසනාව ලැබේවි කියල ගොඩයා ඉතින් හිතාගෙන ඉන්නවා උනාට  තාම ඒ වාසනාව උදාවුනේ නෑ.. එකදාස් නවසිය අනූ නවයේ ඉඳන් අද දක්වාම, වෘත්තීයෙන් රියදුරෙක් නොවුනත්, ගොඩයා ඩ්‍රයිවින් සීට් එකේ... කරුමේ තමා ඉතීම්...


ඒ කලේ ගොඩයා ළඟ තිබ්බේ නිසාන් වැනට් එකක්.. එකේ හයිකරලා තිබ්බේ සෝනි සීඩී ප්ලේයර් එකක්.. ඒ කාලේ සීඩී එකක මිල රුපියල් හත්සිය පනහක් කියහන්කෝ.. රජයේ සේවකයෙක් වෙච්ච ගොඩයට කොයින්ද සීඩී ගන්න හත්සිය පනහේ එව්වා... ගොඩයා ඉතින් ඔකේ වැඩිමනක් ඇහුවේම රේඩියෝ එක... ගොඩයා ඉතින් එදත් අදත් රේඩියෝ ලවර් නිසා ඕකෙ ලොකු අවුලක් ගොඩයාට නෑ... 


මොනාද බං මේ අහන සිංදු ... දාපන් සීඩී එකක්... 

එහෙම කියන්නේ බතලයා...


මුගේ මේ මගුලේ සීඩී ප්ලේයර් එකක් තිබ්බට මූ ළඟ සීඩී නෑ.... හාහ් හාහ් හා...

කක්කුසියට යන්නත් ගොඩයාගේ වෑන් කොටේ අරගෙන යන රවියෝත්තම තමා එහෙම උත්තර දෙන්නේ...


මට උඹලාට සීඩී අස්සවන්න වත්කමක් නෑ... මේ තියන සිංදු උඹලාට අහගෙන යන්න බැරිනම් විසඳුම් දෙකයි.. එකක් වාහනෙන් බැහැලා බස් එකේ යාම... දෙවැනි එක ඉස්සරහ රෙකෝර්ඩ්බාර් එක ළඟ නවත්තලා කැමති සීඩී එකක් ගැනීම... කොකටද කැමති කියලා කියහල්ල...


බොට සීඩී අරං දෙන්න අපි? 


ඇයි අරං දුන්නම උඹට මක් වෙනවද.. උඹල තමා මේ වාහනේ මට වඩා පාවිච්චි කරන්නේ...

----------------------------------------------------------------------------------

ගොඩයා සහ බතලයාගේ  උදෑසන ආහාරය රවියාගේ අනුග්‍රහයෙන් වූ අතර කළුතර පාලම අසල පිහිටි කඩයෙන් වළඳා වාහනයට නැගී රවියාගේ මුදල් පසුම්බිය වාහනයේ ගියරය අසල දිලිසි දිලිසී තිබෙනවාය...  මොනර කොළ කිහිපයක අග්ගිස්සද පසුම්බියෙන් එලියට පැන ඇත වනනා ආකාරයක් ගොඩයාට පෙනෙනවාය.. ගොඩයාට ගණදෙවි නුවන පහල වන්නට ඒ දර්ශනය හොදටෝම ප්‍රමාණවත්ය... වෑන් කොටේ මැද තිබෙනා කන්නාඩියෙන් ගොඩයාට පසුපස ආසනයේ වැඩ වාසය කරනා බතලයාගේ මුසල මුනත්තහඩුව පෙනෙනාවය... රවියා උන්දෑගේ මොටරෝලාවෙන් කාටදෝ දොඩවනා අල්ලපනල්ලේ ගොඩයා මැද කන්නාඩිය මාර්ගයෙන් බතලයාට ඇහෙන් රවියාගේ පසුම්බිය පෙන්වනවාය.. හද්දා මෝඩ බතලයාට ඒ ගැන හාන්කවිසියක ගානක් නැත... ගොනා සේ ඉන්නවාය.. 


උඹට මේ කන්නාඩියෙන් මගේ මුණ පේනවද ?


මුනම පේන්නේ නෑ... ඇස්දෙක විතරක් පේනවා... ඇයි ?


එහෙමද... මේ කන්නාඩිය අලුතන් දැම්මේ බං... මට නිකං පිටිපස්ස පේන්නේ ඇදවෙලා වගේ...  ගොඩයා එහෙම කියනා අල්ලපනල්ලේ බතලයාට ඇසක් ගසා ඇහෙන් පෙන්වන්නේ රවියාගේ මොනරකොල පසුම්බියය... බතලයාට වයර්ය ... ගොඩයා පෙන්වන දේ වටහාගන්න තරම් බතලයාට අලයක් තරම්වත් මොලයක් නැත්තේය... ඒ වෙද්දී වෑන් කොටේ එගොඩ උයන පසුකරමින් මොරටුව දිහාවට ඇදෙනාවය... ගොඩයාගේ පණිවුඩය බතලයාට දන්වන්නට රවියා අහක බලන අසිල්ලේ පොකට්ටුවට ඇඟිල්ල තබා පෙන්වන්නට ගොඩයාට සිද්ද වෙනවාය... 


ඈ බං බතලයා.. මොරටුවේ රෙකෝර්ඩ් බාර් තියෙනවද පාර අයිනේ...


 ඇති බං... බස් හෝල්ට් එක ලඟම එකක් තිබ්බ වගේ මතකයි...


මැද කන්නාඩියෙන් සිද්දවෙනා මන්ත්‍රණය රවියා දන්නේ නැත.. බතලයා සහ ගොඩයා සැලසුම ඇඳ අවසානය.. සැලසුමට අනුව ගොඩයා මොරටුව ලං වෙද්දී රථය හෙමීට ස්ලෝව් කරනවාය.... රවියාට වැඩේ අවුල්ය..


මොකෝ බං ස්ලෝ කරන්නේ...


වාහනේ කර ගඳක් එනවා වගේ නේද බං...


නෑ... මටනම් එන්නේ නෑ...


මට පොඩි ගඳක් එනවා බං... කෝකටත් නවත්තල බලමු... වයර් එකක්වත් උනුවෙලාද දන්නේ නෑ...


ගොඩයා මොරටුව බස්නැවතුමට මදක් මෙහාට වන්නට  වෑන් කොටේ නවත්වන්නේ බතලයා සමග ගැසූ සැලසුම ක්‍රියා කරවනුවස් වුවද බතලයා වැඩේට එන්ටර් වෙන්නේ එක්ස්පෙන්ඩබල් ලෙවල් එකෙන්ය.. ගොඩයාගේ සැලසුම වුයේ වෑන් කොටේ නවත්වා එන්ජිම ඇර බලන අල්ල පනල්ලේ බතලයා රවියාගේ පොකට්ටුවෙන් මොනර කොලයක් පික් පොකට් ගසා සීඩී එකක් ගැනීමටය... ඒත් අවාසනාවට ඇත්ත කතාවක් ලෙසින් ගොන් බතලයා වාහනය නැවැත්වූ වහා රවියාගේ මුදල් පසුම්බිය ගෙන රථයෙන් පැන  දුවනවාය.. 


----------------------------------------------------------------------------


ඉතින් කියහකෝ වැඩක් කරන්නේ කොහොමද කියලා මේ වගේ ගොන් යක්කු එක්ක.. හීනියට දාහක් උස්සලා සීඩී එකක් ගෙනැල්ලා තැන්කූ මතන් මේන් ඉතුරු හල්ලි කියලා දෙන්න තිබ්බ වැඩේ එක්ස්පෙන්ඩබල් ලෙවල් එකෙන් කරන්නේ අහවල් එකටද .. තමුන්ගේ පොකට් එක අරං බතලයා පැනලා දුහද්දී ඉතිං රවියා නිකං ඉඳියිද? නෑනේ.. නෑනේ... ඌත් ඉතිං වාහනෙන් පැනලා බතලයා පස්සේ ඔරේ රන් කියහන්කෝ... ගොඩයට ඉතිං දුහන්න අහක් නෑ... රේස් එක බලන් ඉන්නවා ඇරෙන්න ගොඩයාට වෙන විකල්පයක් නෑ...


රවියා බතලයාගේ උසෙන් භාගයක් උනාට රවියත් ගේම අතෑරියේ නෑ.. නිකමට හිතාගන්නකෝ උසේන් බෝල්ට් පස්සෙන් සුසන්තිකා දුහනවා වගේ සීන් එකක්.. වෙනස රවියා සුසන්තිකාට වඩා ගොඩාක් සුදුයි.. දුහලා බේරෙන්න බෑ කියලා දැනගත්තු ගමන් තමා බතලයා උන්දෑගේ ගොන් මොලෙන් වැඩක් ගන්න හිතන්නෙ.. ගේම් එකකදී හයිය කොච්චර තිබ්බත් ටැක්ටික්ස් නැතුව ගේම් එකක් දිනන්න බෑ.. ආන් ඒ නිසා තමා බතලයා දුහන ගමන්ම රවීගේ පොකැට් එකෙන් දාහේ කොලයක් එලියට ඇදලා අරගෙන පොකැට් එක බීම අතාරින්නෙ... එව්වා ඉතින් වෘත්තීය මට්ටමේ පොකැට් කාරයන්ගේ ටැක්ටික්ස්... බතලයා ඒ කාලේ කොළඹ ප්‍රසිද්ධ සමාගමක රස්සාවක් කරා කිව්වට ඇත්තටම කරේ පොකැට් ගහපු එකද කියලත් හිතෙනවා දැන් ඒ ගැන නැවත හැරිලා බැලුවාම.. ( අනිවා ටිපර් වෙනවා මේක කියෙව්වම.. හැක්.. )


රවියට වෙන විකල්පයක් නෑ... බතලයා ගත්තු දාහට වඩා  පොකැට් එකේ තියන දාහේ කොළ මිටිය වටිනා නිසා පොකැට් එක අහුලගන්න නවතිනවා ඇරෙන්න වෙන චොයිස් එකක් නෑ... රවියා නැවතිලා පොකැට් එක අරගෙන නැවත තරඟයට අවතීරණ වෙන්න බලද්දී බතලයා මොරටුවේ බස් හෝල්ට් එක ළඟ තිබ්බ කඩ පේලිය අස්සෙන් මිසින් වෙලා අහවරයි.. 


ඕන් ඔය රේස් එකේ ප්‍රතිපලයක් විදිහට තමයි චන්දන ලියනාරච්චිගේ "ලියතඹරා මල " සීඩී එක ගොඩයාගේ වෑන් එක ඇතුලට එන්නේ... එතනින් එහා කොළඹට යනකලුත් එනකලුත් රවියා හත්සිය පනහ ගැන නාහෙන් අඬනවා උනාට ගොඩයාටත් බතලයාටත් ඒ ගැන වගක්වත් නෑ... ගොඩයාගේ වෑන් එක පසුකාලීනව විකුනලා ඊට පස්සේ ගතපු කාර් එකෙත් "ලියතඹරා මල " ඇහුනා නිතර නිතර... "ලියතඹරා මල " සීඩී එකේ තිබ්බ සිංදු ඔක්කොම අදටත්  ගොඩයට කට පාඩම්.,.. ඒ සිංදු කොතන ඇහුනත් ගොඩයට මතක් වෙන්නෙම අපේ හිතාදර මිත්‍ර රවියා... අදත් අහම්බෙන් "ඔබ කුමුදිනියක් වී හිනැහෙ නම්" සිංදුව ඇහිලා ගොඩයට රවියව මතක් වුනා.. එකයි මේ පොස්ට් එකේ ප්‍රස්තුතය..


අද වෙද්දී සියල්ල වෙනස් වෙලා.. රවියා කාලයක් ජපානේ ගිහින් හිටිය.. ලංකාවට ඇවිත් ව්‍යාපාර කීපයක් පටන් ගත්ත.. මේ වෙද්දී රවියා දෙදරු පියෙක්... රටට උදාවුණ අයහපත් ආර්ථීක වටපිටාව එක්ක රවිගේ වෙඩින් හෝල් එකයි, වාහන සර්විස් එකයි දෙකම නැවත පන  දීගන්න බැරි තැනටම වැටුන... රවියා විසිට් එකක් ගහගෙන ඩුබායි ගිහින් දැනට මාස තුනක්.. දක්ෂ ජැපනීස් ෆූඩ් කෝකියෙක් වෙච්ච රවියට තාම ජොබ් එකක් නෑ... ඒ ගැන හිතද්දී ගොඩයට පට්ට දුකයි... යාලු මිත්‍රයෝ පුළුවන් උදව් හැම එකම කරලත් රවියට ජොබ් එකක් හොයල දෙන්න තාම කාටවත් බැරිවුණා... අතේ මිටේ තිබ්බ කාලේ ලොස් නැතුව යාලු මිත්‍රයන්ට ඇති තරම් කන්න බොන්න වියදම් කරපු සුන්දර මිත්‍රයා අද අසරණ වෙලා... වක්‍රාකාරයෙන් කරන උදව්වක් ඇරුනාම රවියාට ඩුබායිවලින් ජොබ් එකක් හොයල දෙන්න ගොඩයාට හැකියාවක් නෑ... ඒ නිසා රවියාට ජොබ් එකක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඇරුනාම ගොඩයාට රවියා වෙනුවෙන් කළහැකි කිසිවක් නෑ... ඒ ගැන ගොඩයාට දැනෙන්නේ දුකක් සහ තමුන් ගැනම දැනෙන කලකිරීමක්...


රවියා ගැන ලියවිච්ච අනික් පෝස්ට් 


රවීගේ පැරිෂුට් පිම්ම

තඩියාගේ නුවරඑලිය සංචාරය... 1

තඩියාගේ නුවරඑළි සංචාරය ... 2

ගිය නොගිය ට්‍රිප් එක ................

තකුමා ගල් කල සංස්ථා ගල්..

වීරයාගේ කතා වස්තුව

රවියයි සීයයි...


Saturday, March 11, 2023

ස්වීට් නටාලියා..

 





නටාලියා ගොඩයාට හම්බෙන්නෙ 2014 අවුරුද්දෙ එක්තරා දවසක. දවස කවදාද කියලා ගොඩයාට හරිහැටි මතකයේ නැති උනාට කාල වකවානුව ගත්තාම අවුරුද්ද 2014 තමා... නටාලියා රුසියානු (වගේ ) පෙනුමක් තියෙන වයස අවුරුදු විසි පහක තිහක වගේ ගෑල්ලමයෙක්. එයයි වැඩ කරේ ගොඩයා රස්සාව කරන්න යන තවත් එක අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක ෆ්‍රන්ට් ඩෙස්ක් පර්සන් විදිහට... 

ගොඩයා ඔය කියන තැන්වලට් යන්නෙ එයැයිලගෙ ජිම් එකේ තියෙන යන්ත්‍ර සූත්තර අලුත්වැඩියා කරන්න. .. ඔය රාජකාරියේදි ගොඩයලා ගනුදෙනුව වැඩිමනක් කරන්නෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එකත් එක්ක තමා.. මොකද කියනවානම් කොමර්ශල් ජිම් එකක නොවෙනතාක් ගොඩයලාට ජිම් එකක් ඇක්සස් කරන්න දොර යතුරු නෑ.. ඒ යතුරු හෝ කී ෆෝබ් ගොඩයලා ඉල්ල ගන්නෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එකෙන්... ඒක ගනුදෙනුවක්... යතුර හෝ කී ෆෝබ් එක ලැබෙන්නනම් ඒ යතුර ගන්න කොන්ත්‍රාත්කරුගේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීම තමා සිරිත... නීතියක් නොවුනාට යතුර ගන්න එකා ඒ යතුර ආපහු භාර නොදෙන්න තියෙන සම්භාවිතාවය තමා වැඩි.  රියදුරු බලපත්‍රය තියාගත්තාම ඉතිං යතුර ආපහු ලැබෙන සම්භාවිතාවය ලොකු අගයක්...


දැං කියන්නෙ ඔය සිද්දියට සම්භන්ධ අතුරු විස්තරයක්... ඔය කියන කාලෙ ගොඩයාට රාජකාරිය වෙනුවෙන් ආයතනයෙන් ලබාලා දීලා තිබුනේ වෑන් රථයක්... වෑන් රථයට තෙල් ගහන්න වෙනම ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් ඔෆිශියල් වාහනේ වෙනුවෙන් ලැබෙන එක සාමාන්‍ය දෙයක්. ගොඩයාගෙ රැකියාවේ ස්භාවය අනුව අවුරුද්දකට වතාවක් දෙකක් ඇරුනාම ඔෆිස් එකට යැවෙන්නෙම නෑ. අවශ්‍යවෙන අමතර කොටස් ඇතුලු සියලූම දෑ ජංගම රථයක් විසින් ලඟටම ගෙනැත්දෙන නිසා ඇනුවල් මීටින් එකට හෝ ට්‍රේනින් එකකට ඇරුනාම ඔෆිස් එකට යන්න යන්න වෙන්නේ බොහෝම කතාතුරකින්..... රැකියාවේ ස්භාවය අනුව උදේට පැය භාගයක් වෙනම වැටුපට එකතු වෙනවා පලවෙනි ජොබ් සයිට් එකට යන්න. හවසට ඕෆ් වෙලා ගෙදර එන්නත් පැය භාගයක් හිමියි. වෙනත් විදිහකට කියනවානම් දවසේ වැඩකරන පැය ගානට තවත් අමතර පැයක් හිමිවෙනවා යෑමට සහ ඒමට. ගොඩයා උපන්දා හිටන්ම  හද්දා කම්මැලියා කියලා කිව්වොත් ඉතිං එව්වා බොරු නෙවෙයි.. දැං උනත් රැකියාවේ ශෝර්ට් කට් ගැන ඇහුවොත් ගොඩයා ඒ කලාවේ පිකාසෝ... කම්මැලියෝ තමා ශෝර්ට්කට් සෙවීමේ කලාවේ උපන් හපන්. ගොඩයා කම්මැලියා නිසා රස්සාවෙන් හිමිවෙන අමතර පැයත් ගෙදර ඉඳලාම ගන්න තමා ගොඩයගෙ උත්සාහය. දවසට පැය හතක් කාට හෝ බිල් කරලානම් ඉතුරු පැය ගැන ලොක්කන්ට ගැටලුවක් නෑ... ගොඩයාගේ ක්‍රමවේදය තමා පලමු ජොබ් එකට ආසන්නයේම ජොබ් සයිට් එකක් දමා ගැනීම සහ  අවසාන ජොබ් එකත් නිවස ආසන්නයේම දමාගැනීම. එතකොට ගෙදර එන්න සහ වැඩට යන්න විනාඩි දහයේ කෑලි දෙකක් වැය කලත් විනාඩි හතලිහක් ගොඩයට ලාභයි. කෑම් බීම්, වාහනේට තෙල් ගැහිලි වගේ එව්වා සියල්ලම සිද්ද වෙන්නෙ පලමු ජොබ් එක සහ අවසාන ජොබ් එක අතර කාලයේ කිව්වොත් තමයි හරි. හවස ගෙදර එද්දි වාහනේ තෙල් ලයිට් එක පත්තු උනත්, උදේ වැඩට යද්දි තෙල් ලයිට් එක පත්තු උනත් ගොඩයා තෙල් ගහන්නෙ පලමු ජොබ් එකෙන් පස්සෙයි. 

ගොඩයගෙ වාහනේ තෙල් ලයිට් එක පත්තු උනේ මේ කියන දවසට කලින්දා ගෙදර යද්දි. සමාන්‍යෙන් ඒ වාහනේ ලයිට් එක පත්තු උනාට පස්සෙත් කිලෝමීටර අසූවක් දුවන්න පුලුවන් කියලා තමයි වාහනේ මීටරයෙන් පෙන්නුම් කරන්න…. ඉතිං මක්කෙටෙයි අප්පේ මේ වාහනේක විස්තරයක් ලියන්නෙ කියලා හිතන්න එපා... ඒ කෑල්ල මේ ලියාගෙන යන සිද්දියට අදාලයි...


මේ කියන දවස අගෝස්තු මාසෙ දවසක් කියලා ගොඩයාට හොඳටෝම මතක, ඒ දවස් සෙල්සියස් පනහට ආසන්න රස්නයක් තිබ්බ දවසක් නිසා... කාලගුණයා පෙන්නන්නේ සෙල්සියස් හතලිස් පහ උනාට ඌම යටින් හීනියට ලියනවා ෆීල්ස් ලයික් ෆිෆ්ටි කියල... ඒ හරුපේ එහෙම වෙන්නේ පරිසරයේ ආර්ද්‍රතාවය සහ අනෙකුත් සාධක නිසා කියල ගොඩයා ලාවට දන්නවා උනාට ගොඩයට වැදගත් ෆීල්ස් ලයික් කීයද කියන කෑල්ල විතරයි.. 


ගොඩයා නටාලියා ඉන්න ගොඩනැගිල්ලට යන්නෙ ජොබ්ස් තුනකට... වෙනත් විදිහකට කියනවානම්, චීනෙන් ගෙනාපු ලදරම් තුනක් ගොඩ දාන්න... ෆිට්නස් ඉක්වික්මන්ට්ස් කියන්නෙ අද වෙද්දි වෙනම ඉන්ඩස්‍රි එකක්... ජිම් එකට එන හැම එකාම එන්නෙ එක්සසයිස් කරන්නම නෙවෙයි කියලා ගොඩයා දන්නවා, දැං ගොඩයා අවුරුදු දහයක් ඔව්වා ඇතුලේ කෙරෙන ආටක නාටක සියල්ලම දැකලා තියෙන නිසා... සමහර සීන් කෝන් හරිම රෝමාන්තිකයි... සමහර එව්වා ත්‍රාසජනකයි... සමහර එව්වා වැඩිහිටියන්ට පමණයි සහ අසභ්‍යයි.... සමහර එව්වා ජුගුප්සාජනකයි... 

කාර්ඩියෝ එක්සසයිස් කරන මැශින් එකක් කිව්වම මේ වෙද්දි එව්වා එන්ටටේන්මන්ට් සාගරයයි... නෙට්ෆ්ලික්ස්ද, ෆේස්බුක්ද, යූටියුබ්ද., ලයිව් ටීවීද ඇතුලු නොයේක් මාකටින් උගුල් දැං එව්වයෙ අන්තර්ගතයි... එව්වා මොනවා තිබ්බත් චීන මරාල ලෙඩ ගොඩවල්... ලාභෙට ෆුල් ඔප්ශන් එක්ක ලැබෙන නිසා ඔව්වා මිනිස්සු ගත්තට උපතින්ම ලෙඩ ගොඩවල් කියලා දන්නේ එව්වා රෙපෙයාර් කරන උදවිය පමණයි.... ගොඩයා නටාලියා ඉන්න ගොඩනැගිල්ලට යන්නෙ කාර්ඩියෝ මැශින් තුනක් හදන්න. බ්‍රෑන්ඩ් නිව් ගත්තු මැශින් තුනම එක පාරට චකබ්ලාස් වෙනවා කිව්වම ඉතිං කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේහ්... එකක ඩ්‍රයිව් මෝටරේ ඩන්... තව එකක ඩ්‍රයිව් මෝටරේ ප්ලස් ඉන්ක්ලයින් මෝටරේ ඩන්... අනික් එකේ ටීවී ටියුනර් බෝර්ඩ් එක ඩන්... චයිනීස් වැල ගෙඩි එලියෙන් පෙනුම සුපිරි උනාට ගැලෙව්වාම ඇතුල තොටලඟ තොරනේ පිටිපස්ස පරාදයි.... මරුවැල් අදින්නැහේ වයර් ඇදලා ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකක් මැදට ඔබලා චීන්නු ගහන මැශින් ඉතිං හද්දා මරාල... වොරන්ටි ඉවරවුනාම ගන්න එවුන්ට අබසරණ තමා ඉතිං... 


ඉලෙක්ට්‍රොනික් කෑලි හදන එකත් අවුලක් නෑ  කියමුකෝ... මිකැනිකල් කෑලි ටිකත් අවුලක් නෑ කියමුකෝ... සොෆ්ට්වෙයාර් පැත්තත් අවුලක් නෑ කියමුකෝ... ලොකුම අමාරුම වැඩේ තමා ගලවපු ප්ලාස්ටික් කෑලි ටික කටට කට තියලා ඉස්කුරුප්පු ඇන ටික දාගන්න එක... ආන් එතකොට තමා ගොඩයට  චීනගේ මවු දෙමාපියෝ සිහිවෙන්නේ... ඉලෙක්ට්‍රික් ස්ක්රු ඩ්‍රයිවර්ද , ඉම්පැක්ට් ඩ්‍රයිවර්ද , ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් ද කියන සියලූම නවීන උපකරණ තිබ්බට චීන මරාල එක්ක වැඩ කරද්දී ඉතින් ප්‍රොටොටයිප් තමා ජොබ් එක.. සියල්ල අතින්.. මොකද කියනවනම්, ඇනයක්, නට් එකක්  වට කාලක් වැඩිපුර කරකුනත් පොට යන්නේ එහෙනං කොල්ලෝ අපි ගියා කියාගෙන... චීන මරාල එක්ක ඉතින් දෑතේ සවිය පමණයි... ඉතිං චිනගේ දෙමාපියන්ට පිං දීලා විතරක් ඇද්ද... ප්‍රධානපෙලේ හොඳ යන්ත්‍රයක් එක්ක විනාඩි දහයෙන් කරන රෙපෙයාර් එක චිනගේ මරාල එක්ක කරද්දී පැයක් හමාරක් ශුවර්ම පරිප්පු... 

ටිකක් කැලේ  පැන්නා  නේහ් .. ආයෙම මාර්තෘකාවට...


ගොඩයා උදේම ගිහිං වැඩ පටන් ගනිද්දි උදේ 9 වගේ වෙන්න ඇති... පැය දෙකෙන් තුනම ගොඩ දාන්න පුලුවන් වැඩක් උනාට කොම්පැනිය ගොඩයව නටාලියාගෙ මැනේජර්ට විකුනන්නෙ පැය පහකට... මැෂින් තුන ඩයග්නෝස් කරපු දවසේ  ගොඩයා රෙපෙයාර් එකට කෝටේෂන් දුන්නේ පැය පහකට.. චීන මරාල නොවුනානම් පැය තුනයි උපරිම ඔය කිව්ව රෙපෙයාර් ටිකට. කිව්ව කාලෙට වැඩේ ගොඩ දාගන්න බැරුව පස්සේ ආයේ නාහෙන් අඬල බිල් කරනවට වඩා ලේසියි සුදානම් සරීරෙන් මරාල වලට පැයක්  දෙකක් වැඩිපුර කෝට් කිරීම ..  ජොබ් එක පැය දෙකෙන් ගොඩ දැම්මත් වැඩේ අවසාන උනාම ගොඩයා නටාලියාට බිල දාන්නෙ පැය පහකට... ඒ නිසා ලොකු හදිසියක් නෑ.. ඒත් පැය පහේ වැඩේ පැය තුනෙන්ම  ගොඩ දාලා ඉතිරි පැය දෙක වාහනේට වෙලා අන්තර්ජාලයේ රස්තියාදුවක් ගහන්න තමා ඉතිං ගොඩයාගෙ මනාපය... 


මෝටර් තුනම මාරු කරලා ටියුනර් බෝර්ඩ් එකත් රිප්ලේස් කරලා සොෆ්ට්වෙයාර් එකත් අප්ඩේට් කරලා අලුතෙන් ඇප්ලිකේශන් ටිකත් සෙටප් කරලා ටීවී චැනල් ටිකත් හදලා දුන්නම ගොඩයාගෙ වැඩ අවසානයි...


අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස්වලට එන ලොකුම තරහකාරයා තමා කොන්ත්‍රාත් කරුවා.. මොකද කියනවානම් එයාලා යන්නෙ දාස් ගානක බිලක් දාලා නිසා... කොන්ත්‍රාත් කරුවන් එන්නෙ එයාලට බිලක් දාලා යන්න නිසා අපාර්ට්මන්ට් මැනේජ්මන්ට් වලින් කොන්ත්‍රාත් කරුවන්ට දාහක් නීති රෙගුලාසි... වාහනය නවත්තගන්න වෙනම තැනක් කලින් වෙන්කරගැනීමේ හිටං දාහක් දේවල් එයාලගෙ නීති රීති අතරේ ඇතුලත්. ඒ එක්කම ජිම් එකේ යතුර ගන්න ඩ්‍රයිවින් ලයිසන් එක ඇපයට තබන්නට සිදුවීමත් ඒ නීතිවල කොටසක්... ගොඩයා ඔය කිව්ව ජොබ් එක කරන්න ජිම් එකේ යතුර ගන්නෙත් නටාලියාට ඩ්‍රයිවින් ලයිසම දීලයි...


ඕං පැය තුනක් ආසන්න වෙද්දි ගොඩයගෙ රාජකාරිය අවසානයි... ගොඩයා තමුන්නැහේගෙ ටූල්ස් ටිකත් වාහනේට පටෝලා යනවා නටාලියා හොයාගෙන යතුර දීලා ලයිසම ආපහු ඉල්ලගන්න... බිල යන්නෙ සිස්ටම් එකෙන් නිසා පැය පහ වෙන්න කලින් ගොඩයා බිල හදලා ඉල්ලගෙන කන්නෙ නෑ... කොයිතරම් කාලයක් කලින් ජොබ් එක ඉවර කරත් ගොඩයා බිල හදන්නෙ කොටේශන් එකේ දීපු වෙලාව අවසන් උනායින් පස්සෙයි.. නටාලියා ඉතිං කවදාවත් හිනාවකින්වත් සලකන්න දන්නෙ නැති ආඩම්බර එකී නිසා ගොඩයාත් එව්වට පදිරි වෙන්නෙ නෑ... අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඔය කියන බිල්ඩිමට ගොඩයා යනවා එනවා උනාට නටාලියා නෙවෙයි එක දවසක්වත් ගොඩයාට හිනාවකින්වත් සංග්‍රහ කරේ... ගොඩයත් ඉතිං නටාලියාට බෙදුවෙත් එම හැන්දෙන්ම තමා... ආයෙ මක්කටෙයි  අපි උන්ට සෙකන්ඩ් වෙන්නෙ... හිර ගන්න ගිහිල්ලවත් ණය ගන්න ගිහිල්ලවත් නෙවෙයිනේ ආයුබෝවන්ඩ ..


ඕං ගොඩයා යතුර අරගෙ ගිහිං නටාලියාගෙ කවුන්ටරේ උඩිං තියනව... නටාලියා ඒ වෙලාවට ඉන්නෙ පාරාවෝ පිලිමෙ වගේ අංශක අනූවට අහක බලාගෙන.. වෙනත් විදිහකට කියනවන්නම්, නටාලියා ඉන්නෙ ගොඩයාගෙන් බූට් එකක් කාපු ගානට... කවුදෑ දන්නෙ නටාලියා පහුගිය ආත්මෙක ගොඩයාගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්දවත්ද කියලා... මූන කට හැඩට තිබ්බට ඒ වගේ පාරාවෝ පිලිමනම් ජාති ජාතිත් එපා...

ගොඩයාට ඉතිං අංශක අනූවට අහක බලලා බෙල්ලෙ පොට යවාගන්න ඕන නැති නිසා ගොඩයා ඉන්නෙ සිවිලිමේ සිරි නරඹන ගමන්... ගනුදෙනුව හරි සරලයි... ගොඩයා යතුර කවුන්ටය උඩින් තිබ්බාම නටාලියා ගොඩයාගෙ ලැයිසම කවුන්ටරය උඩින් තියනව... නෝ කතා නෝ සිනා... ඒ ගනුදෙනුව අහවර වෙලා ගොඩයා මගක් එමින් ලැයිසම දිහා එබීලා බැලුවාම මේං බොලේ ඒකෙ ඉන්නෙ වෙන එකෙක්... නටාලියාට දෙකක් අමතන්න ලැබෙන චෑන්ස් එක ගොඩයා අතාරියිද ඉතිං... එහෙම අතාරින්න බෑනෙ නේහ්... 

කොන්වසේශන් එක මෙතැන ලියන්න බෑ..  ගොඩයට මහන්සියි.. සමරිය මෙහෙමයි..... නටාලියා ගොඩයගෙ ලැයිසම ලිෆ්ට් එක හදන්න ආපු එකාට දීල... ලිෆ්ට් එක හදන්න ආපු එකාගෙ ලැයිසම ගොඩයට දීල... ගොඩයා නටාලියාට අමතනවා ඇහිලා නටාලියාගෙ මැනේජර් තැන ඇවිදිල්ලා මැදිහත් නොවෙන්න එතැන ගොඩයා සහ නටාලියා වලිය හැම චැනල් එකකම බ්‍රේකින් නිව්ස් එකෙත් යන්න ඉඩ තිබ්බ...


ඇයි හත් ඉලව්වෙ නටාලියා කියන අසාධාරණ කතාව අහස පොලොව උහුලන්නෙ නෑ කියාංකො.. නටාලියා ගොඩයාට කියනවා ලිෆ්ට් එක හදන්න ආපු එකාගෙ නොම්බරය දෙන්නම්ය උන්නැහේ ඉන්න තැනක් හොයාගෙන ගිහිං  ලැයිසමේ මාරු ඇරගන්න කියල... ඉතිං කියාංකො මේ ගොන් නෑම්බිව කාලත් හිත් වදිනවද  කියල... ලැයිසම අතේ තියාගෙන අපූරුවට වාහනේ එලෝගෙන ආපු එකාට  ලැයිසම නැතුව වාහනේ එලෝගෙන ගිහිං ලයිසමේ මාරු ඇරගන්න කියන එක මොලයක් ඇති එකෙකුට කියන කතාවක්ද ආයුබෝවන්ඩ. ලැයිසම නැතුව යද්දි නිකමට හරි පොලිස් රාලාමි කෙනෙක් ගොඩයව නැවැත්තුවොත් ඒ ටොපියත් ගොඩයට නෙව...

ප්‍රශ්ණය මැන්ටල් නටාලියා සහ එයැයිගේ මැනේජර් එක්ක විසඳගන්න ගියොත් නටාලියාටයි එයැයිගෙ මැනේජර්ටයි බත් කන්න වෙන්නෙ එදා හිටං දත් නැතුව වීමත්, ගොඩයාට මාස හයක් අවුරුද්දක් බත්කන්න වෙන්නෙ හිර ගෙදරින් වීමත් නිසා ගොඩයා තීරණය කරනවා ලැයිසමේ අවුල ගොඩයාගෙ ප්‍රධාන කාර්‍යාලයට දන්වන්න...

එවකට ගොඩයගෙ බොසා මයික්... ගොඩයා මයික් අමතලා තොරණේ විස්තරය කිව්වයින් පස්සෙ මයික් නටාලියාගෙ මැනේජරයාව අමතලා ලැයිසමේ අවුල ලිහන්න බැලුවට ඒ මෝඩ බාන අදින්නෙම මඩට... මයික් මැදිහත්වෙලා ලිෆ්ට් හදන කොම්පැණියට කෝල් කරලා ලිෆ්ට් එක හදන්න ආපු හාදයාව හොයා ගනිද්දිත් පැයක් හමාරක් අහවරයි... ඒ වෙද්දි ලිෆ්ට් හදන හාදයා වෙන බිල්ඩිමක ලිෆ්ට් එකක් ගලෝගෙන... ඒ යෝදයත් අරං ඇවිල්ලා තියෙන්නෙ වෙන එකෙකුගේ ලැයිසමක් කියලා දන්නෙ අපේ මයිකා කෝල් කරායින් පස්සෙලු... ඉතිං කියහංකෝ ඒ වගේ සිහි කල්පනාව නැති එවුන් හදන ලිෆ්ට්වල නැගලා තට්ටු පනහ සීය උඩ පහල  යන්න පුලුවනිද විස්සාසෙකින්...

සියලු දුරකථන සංවාද අවසානයේ මයික් විසින් දෙන අවසාන තීන්දුව උනේ, ලිෆ්ට් හදන හාදයා එයැයි දෑං කරමින් ඉන්න වැඩේ අහවර වෙලා ආපහු ගොඩයා ඉන්න තැනට ඇවිල්ලා ලැයිසමේ මාරු ඇරගන්නකල් ඔතැනම හිටපන් සහ ඉන්න අන්තිම විනාඩිය දක්වා නටාලියාගේ බොසාට  බිල් කරපන් කියලයි... ගොඩයාට ඉතිං පස්ට හැපී... වෙන මොකක්වත් නිසා නෙවෙයි... නටාලියා සහ එයැයිගෙ මුග්ද මැනේජර්ට සුපිරි ගානක බිලක් දාගන්න ලැබෙන සන්තෝසයට... අසාධාරණයක් කරලා තවත් කයිය ගහන්න එනවට රිටර්න් එකක් දෙන්න ලැබීම ඉතිං වෙනම ආතල් එකක් නෙව...ඒ කාලෙ ගොඩයගෙ කොම්පැණිය ගොඩයව වික්කෙ පැයට ඩොලර් වලින් ගත්තොත් එකසිය පහකට... පැය පහක් බිල්වෙලා තියෙද්දි ඉතිරි කාලෙට බිල දාන්න ගොඩයා දත කට මැදගෙන සන්තෝසෙන් බලන් ඉන්නවා ලිෆ්ට් හදන යෝදයා එනකල්...


ගොඩයාගෙ සන්තෝසෙ වැඩි වෙලා තිබ්බෙ නෑ කියාංකො... වෑන් කොටේ ටැංකියේ තෙල් නෑ තෙල් නෑ කියන ලාම්පුව පත්තුවුනේ ගොඩයා ඉස්සරින්දා ගෙදර යද්දී... කම්මැලිකමක මහත තමා ඉතීම්..  ගොඩයා ඒ ලයිට් එක එහෙමම තියෙද්දී උදේ වැඩට ආවේ පලවෙනි වැඩේ අහවරවෙලා තෙල් ගහන බලාපොරොත්තුවෙන්.. පරිසර උශ්නත්වය සෙල්සියස් හතලිස් පහට වැඩි මිසක් අඩුවක් නෑ... ඒසී දාගෙන ස්ටාර්ට් එකේ තියාගෙන ඉන්න විදිහකුත් නෑ නැවතුනොත් ගොඩයාට අබ සරණයි.. එලියට ගිහිං තෙල් ගහගෙන එන්න ක්‍රමේකුත් නෑ අර යෝදයා ලැයිසම අරං ආවොත් සහ පාර්කින් ස්පොට් එක නැතිවුනොත් ආයෙ පාර්ක් කිරිලි බොරු...ඉදින් වෙන විකල්ප කොයින්ද මිතුර වෑන් එකට වෙලා කරෝල වේලනවා ඇරෙන්න...


නටාලියාගෙ ෆ්‍රන්ට් ඩෙස්ක් එක ගොඩයාට පේන දුරින්... නටාලියා ගොඩයා දිහා බලනවා ගස්සලා අහක බලනවා... යකඩෝ ගොඩයා නටාලියාගෙ ලැයිසම අරගෙන ආපහු නොදුන්න ගානට තමා හැසිරීම... ගොඩයා හරිම ආඩම්බරකාරයි... දවසකටවත් නටාලියාට සෙකන්ඩ් වෙයිද ගොඩයා... ගොඩයා ඉන්නෙ වෑන් එකට වෙලා ඒසී එකේ ශපාන් එකට ඉන්න ගානට... නටාලියාට පේන්නෙ ගොඩයාගෙ ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොර නිසා ඒ පැත්තෙ වීදුරුව සම්පූර්ණ වසා ඇත... අනෙක්පස වීදිරුව සම්පූර්ණයෙන් ඇර ඇත... ගොඩයලාගෙ වෑන්වල පිටිපස්සෙ වීදුරු නෑ... තනිකර තහඩු... පාං පුච්චන්න කේක් පුච්චන්න ඇති පදමට පංකාදු රස්නෙ පොඩ්ඩ... නටාලියාට පේන්න ලොකුකමට ශපාන් එකේ ඉන්නවා වගේ හිටියට ගොඩයා ඉන්නෙ පස්ට අමාරුවෙන්... සෙල්සියස් හතලිස් පහක කාලගුණයක් තියෙන දවසක ගිනි කාස්ටක අව්වෙ ඒසීත් නැතුව නවත්තලා තියන තහඩු ගොඩක් ඇතුලෙ ඉන්නවා කියන එකේ සැප කියන්න ලියන්න වචන නෑ... නටාලියාව රෝස් කරලා කන්න තරම් හිතේ කේන්තියක් තිබ්බට ඇත්තම තත්වෙ වෙන එකක්... ලුණු ගම්මිරිස් ටිකක් ඉගගත්තනම් නටාලියාට පුලුවනි ගොඩයාව කන්න... 

සියල්ල අවසානයේ ලිෆ්ට් එක හදන හාදයා ලැයිසම අරං එද්දි හවස පහමාරයි... හතරහමාර වගේ වෙද්දි නටාලියාත් ඕෆ්වෙලා එයායිගෙ කාර් එකේ නැගලා යන්න ගියා... නටාලියා ගොඩයාගෙ වාහනේ පහුකරන් යද්දි ගියේ පාරාවෝ පිලිමෙ වගේ අංශන අනූවට අහක බලාගෙන උනාට පාරාවො පිලිමෙ කින්ඩියට හිනාවෙනවා කියලත් ගොඩයා දැක්ක... ඒ වෙද්දි ගොඩයට පාං කියාගන්න පණ නෑ.... වාහනේ ඇතුලෙ වතුර බෝතල් කේස් එකක්ම තිබ්බා උනාට එව්වත් ඉතිං ලෝදිය ගානට රස්නෙ ටික පංකාදු පහයි... ඉස්සරින්දා හවස පත්තු උන තෙල් ලයිට් එකට උදෙත් තෙල් නොගහපු ගොං කමට පිං සිද්දවෙන්න ගොඩයා ගෙදර එද්දි ගොඩයා බොම්බෙලි කරවලයා ගානට වේලිලා... පැය අටහමාරකට බිලයි ට්‍රැවල් එකට බිලයි එක්ක ඔක්කොම එකතුව ඩොලර් වලින් ගත්තොත් නවසිය ගානක බිලක් ඊමේල් කරා උනාට එදා ගොඩයා නටාලියාට පරාදයි... 

ඒ සා මෝඩ එවුන් ඉන්න තැනක වැඩ කරන එක අන්තරාදායක නිසාත්, පරණ ඇරියස් එක්ක වෙන මොකක් හරි මරාලයක් පටලන්න තියෙන ඉඩකඩ නිසාත් ගොඩයාගෙ ක්ලන්ට් ලිස්ට් එකෙන් නටාලියා ඉන්න බිල්ඩිම අයින් කරන්න කියලා ගොඩයා ඉල්ලා හිටි නිසා මයික් ආයෙම ගොඩයාට  එතැන ජොබ්ස් දැම්මෙ නෑ.... ඒ නිසා ස්වීට් නටාලියා ඊට පස්සෙ ගොඩයාට කවදාවත් හමුවුනේ නෑ... ලංකාවෙ උනානම් ඉතිං නටාලියා ගොඩයාගෙන් කනවා කියන එක ඉර හඳ වගේ ශුවර් උනත් ලංකාවෙ දාන සෙල්ලම් පිටරටවල දාලා හිරේ තපින්න බැරි නිසා අදත් ගොඩයා ස්වීට් නටාලියාට පරාදයි...


මේ සේරෝම විස්තරේ ලියල නැවත කියවගෙන යද්දී ගොඩයට මේ දැන් හිතෙනවා නටාලියා ලයිසං දෙක මාරුකරේ ඕනකමින්මද මන්දා කියලා... අවුරුදු දෙකක් මාසෙකට සැරයක් දෙකක් ඔය චීන මරාල ටික හදන්න යද්දී නටාලියාගේ ඇම්බැක්කේ කැටයම් තඹේකට මායිම් නොකර උන්නට නටාලියා එයයිගේ ක්‍රමේට ගොඩයට සූටි පරිප්පුවක් දුන්නා වෙන්න බැරිත් නෑ ... කමක් නෑ නටාලියා... ඔයා ඒ කැත වැඩේ කරේ සිරිලංකාවේ අම්බලන්ගොඩ නගරයේ ඉපදුන හිත හොඳ අයින්සක හැන්ඩ්සම් කොල්ලෙකුට...  ඒ අයින්සක කොල්ලව පැය හතරක් පහක් ගිනි කාස්ටක අව්වේ වේලපු කර්මයෙන් ඉතිං ඔයයිට බේරෙන්න බෑ ... ඊළඟ ආත්මේ ඔයා ඉපදෙන්නේ සහරා කාන්තාරේ මැද්දේ ඔටිච්චියෙක් වෙලා....