සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..
මං ඉතිං අන්තිමට මෙහිලා ලියන්නෙ අපි කන්ඩායමක් විදිහට ලෝක මට්ටමෙන් පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකින්න ඕන කියලයි..
පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු.. පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු.. පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු..



සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා..
මං ඉතිං අන්තිමට මෙහිලා ලියන්නෙ අපි කන්ඩායමක් විදිහට ලෝක මට්ටමෙන් පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකින්න ඕන කියලයි..
පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු.. පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු.. පුරුශ ගෘහස්ථ හිංසනය පිටු දකිමු..



ඊයෙ පෙරේදාවක අපේ හිටපු ජනාප්පතිතුමා මයින්ද මහත්තයයි ගෝලයෝ රොත්තයි නැවක පාර්ටියක් දාන්න ගිහිල්ලා අතේ මාට්ටු වෙලා මීඩියා ඉස්සරහ සර්වලොක බේගල් වගයක් ඇදබානවා ගෝලයෝ සැට් එක.. එයයිලා පස්චාත් භාගය පොලේ ගහලා කියන්නෙම එයාලා ගියේ නිරීක්ශණ චාරිකාවක් කියලාමයි.. එකෙක් කියනවා නිරීක්ශණ චාරිකාවක්ලු.. තව එකෙක් කියනවා අජ්ජහපන චාරිකාවක්ලු.. මට නම් ඉතිං ඔය කෝක උනත් අවුලක් නෑ තමුන්ගෙ පුද්ගලික හල්ලි වලින් ගියානම්.. තමුන් මාන්සියෙන් උපයන සොච්චමෙන් ඉඳලා හිටලා ආතල්ලෙකක් ගන්න කාටත් තහනමක් නෑනෙ.. වැඩේ කියන්නෙ රටේ එවුන්ට තමුන් මාන්සියෙන් උපයන මුදලින් තුන්වේලවත් කන්න බැරි තැනට පත් කරලා උන්නැන්හේලා නැව්වල නැගලා ආතල් ගන්න එක සදාචාරාත්මක නෑ.. ඒත් ඉතිං පක්ශ භේදයක් නැතුවම ඔය පාල්ලිමේන්තුවේ ඉන්න උන්නැහේලාට සදාචාරයක් කියලා එකක් නෑ. ඒ නිසා ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන එක හරි නෑ.. ඕං ඔය ආකාරයේ දේවල් අටෝරාසියක් හිත හිතා ඉද්දි මටත් මතක්වුනා අපිත් එක පාරක් මේ වගේ නිරීක්ශණ චාරිකාවක් ගියා නේද කියල.. මාත් ඉතිං ඇරියෙ නෑ.. ඒ වගේ නිරීක්ශණ චාරිකාවල් යන්නෙ මයින්ද මාත්තයලා විතරක් නෙවෙයි කියලා රට්ටු දැනගන ඕන. මයින්ද මාත්තයලා ගිය නිරීක්ශණ චාරිකාවට රටම එකතුවෙලා වටකරන් නෙලන අල්ලපනල්ලේ මයින්ද මාත්තයාටයි ගෝලයෝ සැට් එකටයි සපෝර්ට් එකක් පිණිස මමත් අපේ නිරීක්ශණ චාරිකාව විස්තරේ ලියන්න තීරණය කරා..
ධර්මසිරි මට හම්බවෙන්නෙ 1999 අවුරුද්දෙ මුල කාර්තුවේ කියලයි මට ලාවට මතක. එවකට මගේ රැකියාව වෛද්‍ය උපකරණ ආණයනය කරන ආයතනයක field service technician. ඒක ලංකාව වටේම ඇවිදින්න දීපු වැටුප් සහිත වරමක් වගේ කිව්වොත් තමයි හරි. ඇවිදින්න කිව්වොත් දවසේ පැය විසි හතරම, සතියේ දින හතම, මාසයේ දවස් තිහම, අවුරුද්දේ දවස් තුන්සිය හැට පහම උනත් මම එකෙන්ම ලෑස්තියි. උපන් නැකතේ හොඳකටද නරකකටද මන්දා මට ඇවිදින එක සොමි සාගරයක්. නිකම්ම නිකම් ගෙදර ඉන්නවට වඩා අදත් මම කැමති වාහනේ නැගලා ඔලුව හැරුන අතේ ඩ්‍රයිව් කරන්න. එහෙව් ඇවිදිල්ලට ඇබ්බැහි මට field service tech ජොබ් එක කියන්නෙම වෙස්වලාගත්තු ආශිර්වාදයක්.
ඒ කාලෙ සඳුදට ගෙදරින් ගියාම ආයෙම ගෙදර එන්නෙ සිකුරාදට. දවස් පහේම වැඩ දවස් තුනෙන් හතරෙන් කරලා බ්‍රහස්පතින්දා රෑට ගෙදර ඇවිත් සිකුරාදට යාලු මිත්‍රයන් එක්ක කොම්පැනි වෑන් එකෙන් පික්නික් එකක් යනවා වගේ වැඩත් කෙරුනා ඉතිං ඉඳලා හිටල. ඒ කාලෙ කොම්පැණි වාහනවලට GPS පහසුකම් තිබුනෙ නෑ. ස්මාර්ට් ෆෝන් තියා හෑන්ඩ් ෆෝන් එකක්වත් තිබ්බෙ නෑ. දැං ගෙදර ඉඳන්ම ගමනාන්තය දක්වාම පාර හොයාගන්න ස්මාර්ට් ෆෝන් එකේ පහසුකම් තිබ්බට ඒ කාලෙ ඉතිං පාරෙ ඉන්න කාගෙන් හරි අහගෙන තමා අපි ලංකාව වටේම ඩ්‍රයිව් කරේ.
මාව රැකිවට බඳවාගත්තු වැටුප බොහොම පොඩි වැටුපක්. ඒත් night out + allowances එකතු උනාම මගේ පඩිය මැනේජර්ගෙ පඩිය වගේ දෙගුණයකටත් වඩා වැඩි හැම මාසෙම. කොමිෂන් , අලවන්සස් ලැබෙන රස්සාවල්වල මූලික වැටුප අඩු කරලා දෙන්නේ කොම්පැනිවල වාසියට. ETF, EPF කැපෙන්නේ මූලික වැටුපට නිසා මූලික වැටුප අඩු කරලා දීමනා එල්ලුවාම ඒකෙන් කොම්පැනිවලට ගොඩක් වාසියි. අපේ මැනේජර් මහත්තයා බොහොම හිත හොඳ මනුස්සයා උනාට මගේ පඩිය එතුමාගෙ පඩිය පරයා ඉහල යන එක ගැන එතුමා හිටියෙ ලොකු මනාපයකින් නෙවෙයි කියලා මට තේරුනේ මුල්ම පඩිය අතට ගනිද්දි. මෑන්ස් ටිකක් අවුල් වගේ දැනුන නිසා දෙවැනි මාසෙ ඉඳන්ම සඳුදා උදේට කෑශ් ඇඩ්වාන්ස් ගන්න මම පුරුදුවුනා. මම එහෙම කරේ මට සතිය මුල සල්ලි ඕනවට නෙවෙයි. පඩි දවස වෙද්දි මගේ පඩිය මැනේජර්ගෙ පඩියට අඩු ගානකට මේන්ටේන් කරගන්න මට වෙන විකල්පයක් තිබුනෙ නැති නිසා. කොම්පැණියට හිටපු එකම certified technician විදිහට මට සතිය පුරාම රට වටේම ජොබ්ස් වැටෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම ජොබ්ස් වැටුනාම මගේ වැටුප ලොකු වෙන එක වලක්වන්න බෑ.. මම එහෙම කියන්නෙ ලොකුකමකට නෙවෙයි. අදටත් ලංකාවෙ Biomedical Engineering පැත්තෙ ඉන්න මිනිස්සු ප්‍රමාණය බොහොම අඩුයි. ඒ නිසා ඒක ටික හොඳින් මුදල් උපයන්න පුලුවන් ජොබ් එකක්. ලංකාව වගේ පොඩි රටක Biomedical Engineering පැත්තෙ රැකියා ප්‍රමාණය අඩු උනාට දියුණු රටවල ඒකට ලොකු ඉල්ලුමක් තියෙන රැකියාවක්.
මට ගෙවන වැටුප සාපේක්ශව ලොකු එකක් වීම ටික කලක් යද්දි අපේ මැනේජර් මහත්තයටත්, කොම්පැණිය අයිතිකාර මහත්තයාටත් මහ විසාල කරදරයක් වෙන්න ලොකු කාලයක් ගියේ නෑ කියමුකෝ.. ඒකට විකල්පයක් විදිහට අපේ කොම්පැණිය අයිතිකාර මහත්තයා තව field service technician කෙනෙක්ව බඳවාගන්න තීරණය කරා.. ඒ තමයි ධර්මසිරි..
ධර්මසිරි වෘත්තිකයෙක් විදිහට ගත්තොත් කොලඹ අවට පදිංචි එවකට වයස හතලිහක විතර විදුලි කාර්මිකයෙක්. ධර්මසිරිට තිබ්බ විදුලි කාර්මික දැනුම කොයිතරම් විදිමත් එකක්ද කියලා මට අවභෝදයක් නෑ.. හැබැයි ධර්මෙ කිසිම භයක් නැතුව එලෝන් මස්ක්ගෙ රොකට් එකක් උනත් " සිම්පල්නෙ.. හදලා දෙන්නම් " කියලා භාරගන්න තරම් කයිවාරුවෙක්.. ධර්මෙ ගෙන්නලා තිබුනෙම මට පයින් අනින්න කියලා මට තේරුනේ ධර්මෙ මට නිරන්තරයෙන් පෙන්නපු ලොකු සීන් නිසා.. ධර්මෙ හැසිරුනේ කොම්පැණි අයිති මහත්තයගෙ දකුණු අත ලෙවල් එකේ.. මං ඉතිං මොකාට උනත් කඩේ ගිහිං රැකියාවෙ රැඳෙන්න උත්සහ නොකරන ඩෑල් එකක් නිසා මට ධර්මෙ එක්ක තරඟයක් තිබුනෙ නෑ.. වැඩ සහ දැනුම එක්ක ගත්තාම ධර්මෙ ලොකු දැනුමක් නැති මනුස්සයෙක් කියලා මං දැනගත්තෙ ධර්මේ නිරන්තරයෙන් අනාගන්න වැඩ ගොඩ දාන්න මට යන්න සිද්දවුන නිසා..
වයරින් බාස් කෙනෙක් වෙච්චි ධර්මෙ ඉලෙක්ට්‍රොනික් තියා මල්ටිමීටරයක්වත් පාවිච්චි කරන්න නොදන්න කයිවාරුවෙක්.. මිකැනිකල් පැත්ත ගත්තාම ඇණයක් තදකරන්න බුරුල් කරන්න ඇරුනාම ධර්මයා මෙලෝ මිකැනිකල් දැනුමක් නැති මෙලෝ තර්කානුකූල චින්තනයක් නැති මනුස්සයෙක්. කටින් කයිවාරු ගැහිල්ල ඇරුනාම ධර්මෙට වාහනයක් එලවගන්නවත් බැරි පොරක් නිසා ධර්මෙ රැකියාවට ලංකාව පුරා ගියේ බස් එකේ.. ටූල් සෙට් එකත් කර තියාගෙන අමතර කොටස් බෑග් එකකුත් කර තියාගෙන ඇඳුම් බෑග් එකකුත් කර තියාගෙන බස් එකේ ලංකාව වටේ යනවා කියන්නේ ග්‍රහ අපලයක් වගේ එකක් .. මොකක්දෝ කරුමෙකට ධර්මසිරි ඒ අපලේ ගෙවන්න කැමැත්තෙන්ම එකඟ වීම මට අනුවනම් අංක එකේ හරක් වැඩක්.. ධර්මසිරිගේ මෝඩ වැඩ නිසා ටිකෙන් ටික මටත් අවාසි වීගෙන එන්න පටන් ගත්තෙ ධර්මෙ බස් එකේ යනවානම් මට විතරක් වාහයක් දෙන්නෙ ඇයි කියන, එයාලාට වාසි සහගත ප්‍රශ්ණය කොම්පැණි අයිතිකාර මහත්තයා මැනේජර්ගෙ මේසය උඩට ගෙනාපු නිසා..
ධර්මෙ නා ගත්තු තැන්වල, ධර්මෙ වයරින් තියරියෙන් වයර් මාට්ටු කරලා පුච්චලා දාන සර්කිට් බෝර්ඩ් වගේ එව්වා මම ගිහිං කොම්පැණියට හොරෙන් ගොඩ දාලා දුන්නට ධර්මෙ ලද හැම අවස්තාවකම මට බැස්ටිය දෙන්න අමතක කරේ නෑ.. ටික කලක් යද්දි කොම්පැනියෙ අයිතිකාර මහත්තයට ධර්මෙට වඩා ලොකු වැඩකාරයෙක් මේ තුන් ලෝකෙම හිටියෙ නෑ.. ධර්මෙ ටූල්ස්, පාර්ට්ස් කර තියාගෙන ලංකාව වටේ බස්වල කෝච්චිවල ගෑටුව.. මම සුපුරුදු විදිහට මගේ ලෙවල් එකෙන් මගේ රස්සාව කරගෙන ගියා.. මට වයස එවකට විසි තුනක් වීමත් ධර්මසිරි වයස හතලිහක හතලිස් පහක පැහුනු මිනිසෙකු වීමත් නිසා ධර්මසිරි නිතර හැසිරුනේ ධර්මෙ මගේ ගුරා ලෙවල් එකෙන්.. පුහ්.. ධර්මෙව පරාද කරලා මට ලබාගන්න දෙයක් නැති නිසා මමත් ඔන්න ඔහේ ධර්මෙට ධර්මෙගෙ ආතල් එක ගන්න ඉඩ දීලා මගේ වැඩක් බලාගෙන පාඩුවේ හිටිය..
එක්තරා සඳුදා දවසක රත්නපුර දිස්ත්‍රික්කයේ ඉස්පිතාලෙක ඩෙන්ටල් යුනිට් එක සෙත්තපෝච්චි වෙලා ඒක රෙපෙයාර් කෝල් කරලා තිබ්බ කියමුකෝ.. මම ඒ සතිය වැඩ දාගෙන තිබ්බෙ අනුරාධපුර දිස්ත්‍රික්කය අවට. ඒත් සඳුදා උදේ මැනේජර් හදිසි වැඩ ගැන කියද්දි ඔය කියන රෙපෙයාර් එක ගැන මටත් කිව්ව..
අහවල් හොස්පිටල් එකේ ඩෙන්ටල් චෙයාර් එක ඉස්සෙනෙ නෑලු.. ඒක වොරන්ටි එකේ තියෙන්නෙ . අද දවස ඇතුලත හදන්න ඕන..
මම යන්නද ස..
එපා.. ඔයා අනුරාධපුර යන්න.. මම ධර්මසිරි යවන්නම් ඒකට..
ඕකේ සර්.. මම යන්නම්.. ( එහෙම කියන්නෙ ධර්මසිරි)
ස.. ඕක ධර්මසිරිට හදන්න බෑ.. ඕය රෙපෙයාර් එකට special training එකක් ඕන..
පිස්සුද සර්.. මට ඔව්ව සිම්පල්... මෙයා මේ කිව්වට ඔව්ව මහ ලොකු වැඩ නෙවෙයි.. ඔව්වද මම ගොඩදාල තියෙන්නෙ..
ඒකනේ අයිසෙ.. තමුසෙ යනව.. ගිහිං ඒක හදලා දානව..
ස.. ඕකට ධර්මසිරි යවන්න එපා.. ධර්මසිරි ඕක කරන්න ගියොත් තුවාල කරගන්නව.. ඕක ගොඩක් dangerous රෙපෙයාර් එකක්.. ස ට මාව අද අනුරාධපුර යවන්නම ඕනෙනම් මම ඉස්සෙල්ල රත්නපුර ගිහිං ඒක කරලා එහෙම්ම අනුරාධපුර යන්නම්..
පිස්සුද සර්.. බොරුවට ඩීසල් පුච්චන්න ඕන නෑනෙ.. මෙයාට අනුරාධපුර යන්න කියන්න.. මම පැයෙන් ඕක හදලා දෙක තුන වෙද්දි ආයෙම කොලඹ එන්නම්.. ඔව්වත් වැඩද මට.. ධර්මසිරි එහෙම කියලා ලොකු මිනිහ උනා...
එතැනින් එහා මං ඉතිං නිහඬවුනා.. ලොකු එවුනුත් පොඩි එවුනුත් දෙගොල්ලන්ම ඉල්ලගෙන කන්න යනවනම් කුරා කුහුඹි මම ඉතිං මක් කරන්නද කියලා වාහනේ අරගෙන අනුරාධපුර යන්න පිටත්වුනා.. මට සතියම කරන්න වැඩ තිබ්බෙ අනුරාධපුර අවට.
සාමාන්යෙන් ඒ කාලෙ කොලඹ ඉඳලා කුරුනෑගල පාරෙ අනුරාධපුරයට යන්න පැය හතරක් වගේ යනව. උදේ නවයයි තිහට වගේ කොලඹින් පිටත්වුනාම මම එකහමාර දෙක වගේ වෙද්දි මගේ පලවෙනි ජොබ් ලොකේශන් එකේ.. මම එතැනට යද්දිම අපේ මැනේජර් මහත්තයා ඒ අදාල දොස්තර මහත්තයට කෝල් එකක් දීලා කියලා තියෙනවා මම ආපු ගමන් ඔෆිස් එකට කෝල් එකක් දෙන්න කියල.. මමත් ඉතිං ආ පයින්ම කොලඹට කෝල් එක ගත්තෙ දොස්තර මහත්තයගෙ ලෑන්ඩ් ෆෝන් එකෙන්..
ස මම අහවලා.. මට කෝල් එකක් දෙන්න කියලා පනිවිඩයක් තියලා තිබුන..
ඔව්නෙ අයිසෙ.. මාර ප්‍රශ්ණයක්නෙ..
මොකද ස..
බලන්න මේ ධර්මසිරි අර යුනිට් එක හදන්න ගිහිං ඔලුව පලාගෙනනෙ..
මම කිව්වනේ ස.. මම කිව්වනේ ඔය මනුස්සයා ඔය වැඩේට යවන්න එපා කියල..
මට ඔයා කියපු එක අහන්න තුබුන.. චැහ්.. දැං ඉතිං කරන්න දෙයක් නෑ...
දැං මොකද ස ධර්මසිරිට...
ආං නලලෙ මැහුම් හයක් දාලා දැං ඒ ඉස්පිරිතාලෙම වෝර්ඩ් එකට ඇඩ්මිට් කරල..
ඔය පම්ප් එක මාරාන්තික එකක් ස.. ඕකෙ ගලවන්න කලින් මුලු යුනිට් එකම ගලවලා බර අඩු කරලා hydraulic ප්‍රෙශර් එක රිලීස් කරලයි ගලවන්න ඕන.. ඒ වගේම හයි කරන්නත් training එකක් ඕන.. නොදන්න කෙනෙක් ගැලෙව්වොත් එක්කො ඔලුව පැලෙනව.. නැත්තං දත් කඩාගන්නව.. ට්‍රේනින් එකක් නැති කෙනෙක් ඕක හයි කරන්න ගියත් ඒ වගේම අවධානම් වැඩක්. වෙලාවට පම්ප් එකේ පිස්ටන් එක නලලෙ වැදුනෙ.. ඇහේ එහෙම වැදුනනම් ආයෙ ඇහැක් දාන්න වෙනව අලුතෙන්..
බලනවකෝ අයිසෙ.. අපේ කොම්පැනියෙ නමටනේ හොඳනැත්තෙ මෙව්ව.. හදන්න යවපු එකා ඒකෙන්ම තුවාල කරගෙන එතැනම ලේ පෙරාගෙන වැටුනාම ආයෙ අපිට බිස්නස් එකක් එයිද..
එව්ව මම දන්නෙ නෑ ස.. මගෙන් දැං මොකද වෙන්න ඕන..
හෙට වැඩ ටික කැන්සල් කරලා හෙට වෙද්දි රත්නපුර ගිහිං ඒක හදලා දන්න පුලුවනිද..
හරි ස.. මම හෙට උදෙන්ම පිටත්වෙන්නම්..
පහුවදා මම ඒ අදාල ඉස්පිරිතාලෙට යද්දි ධර්මයා බලන්ම ටිකට් කපාගෙන කොලඹ ඇවිත්.. මම යුනිට් එක හදලා දාලා ආයෙම අනුරාධපුර ගියා..
එතැනින් එහා ධර්මෙ පොඩ්ඩක් විතර බල්ල මාර්ක් ගානට වැටුනට ධර්මෙ කොයිවෙලාවෙත් ට්‍රයි කරේ නැවත පෙර තිබුන ලකුණු මට්ටමට එන්න.. මට ඉතිං තරඟයක් නැති නිසා මම සුපුරුදු විදිහටම රස්සාව කරගෙන ගියා.. එතැන් පටන් ධර්මසිරි පොඩි පොඩි ඇන මුරිච්චි තද කරන වගේ වැඩවලට පමණක් අනුයුක්ත වුනා.. වැඩකට යැව්වත් ඒක ධර්මසිරිට කරන්න පුලුවන් වැඩක්ද බැරි වැඩක්ද කියලා මගෙන් විමසලයි ධර්මෙව වැඩ වලට පිටත් කරේ..
කැලෑවයි සත්තු ටිකයි අඳුරගත්තයින් පස්සෙ ජීවිතේ බේරගෙන ඉන්න පහසුයු.. කොයිතරම් පුරුදු පුහුණු කරත් බල්ලො කවදත් මුත්‍රා කරද්දි කකුල උස්සන එක උස්සනවාම නිසා මමත් රස්සාව කරගෙන ගියේ ලොකු කාලයක් එතැන රැඳෙන බලාපොරොත්තුවෙන් නෙවෙයි.. ඒ වගේ වාතාවරණයක් තියෙද්දි තමයි මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහලක යන්ත්‍රයක් අලුවැඩියා කරන්න කැඳවීමක් ලැබෙන්නෙ.. ඒ කිව්ව ජොබ් එක සාමාන්‍ය ජොබ් එකක් උනාට ඒ කිව්ව රෝහල තිබ්බෙ කොටි කටක කිව්වොත් තමයි හරි.. සඳුදා උදේක මඩකලපුව යන්න හිතාගෙන මම ඔෆිස් එකට යන්නෙ වෙනදා වගේම සතියකට ඇඳුම් පැක් කරගෙන..
Good morning Sir.. අද මම මඩකලපු යනව එහෙනම්..
යන්නනම් ඕන තමයි.. හැබැයි යන්න වෙන්නෙ බස් එකේ..
මොකක්..
ඔව් අයිසෙ.. ලොක්ක කියනව වාහනේ යවන්න එපා කියල කොටි ප්‍රශ්ණ තියන නිසා..
එහෙනම් ලොක්කට කියන්න මම බස් එකේ යන්න බෑ කිව්ව කියල..
මට ඔය පනිවුඩ දෙපැත්තට කියන්න බෑ... ආං ගෙදර ඉන්නව.. ගිහිං ප්‍රශ්ණෙ විසගන්න.. මට කිව්වෙ වාහනේ දෙන්න එපා කියල...
ඔකේ ස... මම ගිහිං කතාකරන්නම්..
අසූ හාරදාහට මලපැනපු මම මීටර් සීයක් දෙසීයක් එහායින් තිබ්බ ලොක්කගෙ ගෙදරට යන්නෙ ප්‍රශ්ණය විසඳගන්න... මම යද්දි ලොක්ක ඉන්නව සාලෙ ටීපෝව උඩ ෆයිල් වගයක් දිගෑරගෙන.. තනියට වගේ ධර්මයත් ඇහැට පේන නොපෙනෙන දුරින් ඉන්නව.. ධර්මයා වැඩිය හිටියෙ ලොක්කගෙ ගෙදර නිසා මට ඒක ඒ තරම් පුදුමයක් නෙවෙයි..
ස.. මඩකලපුව වැඩේට යන්න වාහනේ දෙන්න බෑ කියලා මැනේජර් කියනව..
ආ ඔව්... ඒ පැත්තෙ කොටි කලබල වැඩියි.. ඒ නිසා බස් එකේ යන්න..
බස් එකේ යන්න බෑ ස... පොඩි දුරක් නෙවෙයිනෙ..
බෑ කියලා බෑනෙ.. ඔයාට බස් එකේ යන්නම වෙනව..
සොරි ස.. මට බස් එකේ යන්න බෑ..
මෙයා බෑ කියනවනම් මම බස් එකේ යන්නම් ස... ඔව්ව සිම්පල් වැඩනේ.. එහෙම කියාගෙන කතාව මැදට පනින්නෙ වෙන කවුරුත් නෙවෙයි අපේ ධර්මසිරි..
අන්න බලන්න.. ධර්මසිරි බස් එකේ යන්න පුලුවන් කියනවනම් ඔයාට බැරි වෙන්නෙ කොහොමද..
ඇයි ස වාහනේ දෙන්න බෑ කියන්නෙ.. මොකක්ද හේතුව...
වාහනේ කොටි අරං ගියොත් කව්ද පාඩුව ගන්නෙ..
එතකොට ස මාව කොටි අරං ගියොත්?
ඔයාට බස් එකේ යන්න බැරිනම් මට යවන්න මිනිස්සු ඉන්නව.. මේ ධර්මසිරි කියන සුනංගුවෙන් බස් එකේ යන්න ලෑස්තියි .. ඔයාට යන්න බැරිනම් ඔයා ඔය රස්සාවෙන් අයින් වෙන්න...
ඕකේ ස... තෑන්ක්ස් මට මේ කොම්පැණියට වැඩකරන්න අවස්ථාව දූන්නට..
ලොක්ක මුකුත්ම කිව්වෙ නෑ.. එයා ස්ටූල් එක උඩ තියෙන ෆයිල් එකක් දිහා බලාගෙන හිටිය.. මම පඩිපෙල බැහැලා එද්දි මට ඇහුනා ධර්මසිරි ලොක්කගෙන් අහනවා " මම දැම්මම පිටත් වෙන්නද ස " කියල.. ලොක්කා ඒකට දීපු උත්තරේ මට පැහැදිලිව ඇහුනෙ නෑ.. මගේ inventory එකේ තිබ්බ spair parts ටික මැනේජර් මහත්තයට බාරදීලා මම එදාම ගෙදර ආව... ඒ තමයි මගේ පලවෙනි රස්සාවෙ අන්තිම දවස..
ධර්මසිරි පසුකාලෙක මට අම්බලන්ගොඩදි හමුවුනා.. ඒ මැනේජර් මහත්තයි , සේල්ස් රෙප් කෙනෙකුයි එක්ක මාතර ගිහිං එන ගමනේ අම්බලන්ගොඩ කෑමට නවත්තපු වෙලාවක.. මැනේජර් මහත්තයා රෙස්ටුරන්ට් එකේ ෆෝන් එකෙන් අපේ ගෙදරට කෝල් කරපු නිසා මමත් වාහනේ නැගලා එතැනට ගියා අපේ මැනේජර් මහත්තයව බැහැදැකලා එන්න.. මාව දැක්ක්ම ධර්මයා භයෙන් බිරාන්ත වෙලා හිටියා කියහංකො... ධර්මෙ එදා හිතුවෙ මම අම්බලන්ගොඩ සැට් එකක් ගෙන්නලා ධර්මෙට ඇට කැඩෙන්න නෙලාවි කියලාමයි.. ඒත් එහෙම කරන්න තරම් ක්රෝදයක් වෛරයක් මට ධර්මෙ එක්ක තිබුනෙ නෑ..
වේලක් සරි කරගන්න රස්සාවක් කරන්න ඇවිත් එතන ස්ථාවර වෙන්න දාහක් කුජීත වැඩ කරන මිනිස්සු ලංකාවෙ රැකියා ස්ථානවල බොහෝමයි.. එයාලට අනුකම්පා කරනවා හැර ක්රෝද කිරීමෙන් අපිට ප්‍රථිපලයක් නෑ.. ධර්මසිරි ගැන අදටත් මට තියෙන්නෙ අනුකම්පා සහගත හැඟීමක්.. මම අයින් වෙලා මාසෙකට විතර පස්සෙ සේල්ස් රෙප් කෙනෙකුට අර වගේම කකුල් මාට්ටුවක් දාන්න ගිහිං රෙපා ධර්මෙට නෙලලා තිබ්බා අතට අහුවෙච්ච යකඩෙකින් ආයෙම නලල පැලෙන්න..
අවුරුදු විසි හතරක් ගෙවීලා ගිහිල්ලත් මට ධර්මසිරිට ස්තූති කරන්න අවස්ථාවක් ලැබුනෙ නෑ.. ධර්මසිරි නොවෙන්න සමහරවිට මගේ ගමනාන්තය වෙනස් වෙන්න බොහෝදුරට ඉඩ තිබ්බ.. ජීවිතේ දුර එද්දි ගමනාන්තය වෙනස්කරන මිනිස්සු බොහොමයක් අපිට හමුවෙනව.. සමහරු අපිට සතුටින් තල්ලුවක් දීලා අපිව යම් පාරකට හරවනව.. සමහරි අපිට ද්වේශයෙන් ක්රෝදයෙන් කකුල් මාට්ටු දාලා අපිව යම් පාරකට තල්ලු කරනව..
තෑම්ක්ස් ධර්මෙ.. කොහේ හිටියත් හොඳින් හිටපං.. උඹ නොහිටින්න ලොක්කට එදා වාහනේ දීලා මාව මඩකලපු යවන්න වෙනවාමයි.. එහෙම උනානම්
මම ලොකු කාලයක් නැතත් තව ටික කාලයක් හරි එතැන රස්සාව කරනව.. ඒත් තව මාස තුනක් එතන රස්සාව කරානම් අද මම මේ ඉන්න තැන නෑ... මේ සටහන උඹ වෙනුවෙන්මයි ධර්මෙ... ආදරෙයි පැලෙන්න..❤️❤️❤️
ප්‍රියන්ත ප්‍රසාද් මට පලමු සහ අවසන් වතාවට හමුවෙන්නෙ 2002 අවුරුද්දෙ වගේ කියලයි මගේ මතකය.. මම මෙතැනදි ප්‍රියන්ත ප්‍රසාද්ගෙ වාසගම ඕනෑකමින්ම නොලියා ඉන්නව.. එහෙම ලියන එක එයාගේ සහ පවුලේ අනන්‍යතාවයට හරි නෑ.. එයා ඒ පලාතේ ප්‍රසිද්ධ මනුස්සයෙක්..
ප්‍රියන්ත ප්‍රසාද් මට හඳුන්වලා දෙන්නෙ මගේ එවකට කාර්යාල මිත්‍රයෙක්.. උක්ත පුද්ගලයා කරලියට එන්නෙ අපි කට්ටිය හවසට තේ බොන්න සෙට්වෙන ටී ක්ලබ් එකේදි.. ඒකට හේතුව වෙන්නෙ ප්‍රියන්ත ප්‍රසාද් සහ ඔහු සම්භන්ධ විවාහ යෝජනාවක්.. වෙනත් විදිහකට කියනවනම් ඒ වෙද්දි ප්‍රියන්ත ප්‍රසාද්ගෙ බිරිඳ මියගිහින්.. උක්ත වෙච්ච විවාහ යෝජනාව කෙරීලා තිබුනෙ අනුරාධපුර පැත්තෙන්.. මගේ කාර්යාල මිත්‍රයා කියපු විදිහට ඒ විවාහ යෝජනාව තනිකරම ප්‍රියන්ත ප්‍රසාද්ගෙ දේපල ටික අයිතිකරගන්න ගෙනාපු විවාහ යෝජනාවක්.. ඒක එහෙම වෙන්න පුලුවන් කියලා අපිටත් සැක හිතෙන්න බොහෝමයක් කරුණු කාරනා යෙදීලා තිබුනා ඒ විවාහ යෝජනාව සම්භන්ධයෙන්.. ප්‍රියන්ත ප්‍රසාද් ඉඩම් හිමියෙක් වීමත්, බිරිඳ මියගිය නිසාවෙන් තනිව ජීවත්වෙන්නෙකු වීමත්, එවකටත් ප්‍රියන්ත ප්‍රසාද්ට සැලකියයුතු ආදායමක් හිමි වෘත්තීයක නියැලීමත්, එවන් විවාහ යෝජනාවක් ලැබීමට ලොකු හේතුවක්.. යෝජිත තරුණිය වයස තිහ සීමාවේ තරුණියක් වීම ලොකු හේතුවක් වෙන්න ඇති ප්‍රියන්ත ප්‍රසාද්ගෙ හිත තදින් මේ කියන විවාහ යෝජනාව පස්සෙන් බැඳෙන්න.. අපේ මිත්‍රයා කියපු විදිහට විවාහය කෙරෙන්න ඔන්න මෙන්න තිබීමත්, ඒත් ප්‍රියන්ත ප්‍රසාද්ගේ යෝජිත වෙන්ඩ බිරිඳ හෝ ඤාතියෙක්, දෙමාපියෙක් එතෙක් ඇහැට නොදැකීමත් ප්‍රියන්ත ප්‍රසාද්ගෙ එකම ඤාතියා වෙච්ච මගේ මිත්‍රයාට සාධාරණ සැකයක් ගෙන එන්නක් වුනා.. හේතුව බොහොම සාධාරණ නිසා ටී ක්ලබ් එකේ හැමෝම කේස් එකට සෑහෙන උනන්දුවෙන් මැදිහත්වුනා...
අපිට පැවරුන රාජකාරියවුනේ ප්‍රියන්ත ප්‍රසාද්ට දුරකථනයෙන් අමතලා අනුරාධපුර අලුත් ඤාතීන් වේශයෙන් පෙනී හිටලා තොරණේ විස්තරය සහසුද්දෙන් දැනගැනීම.. අපේ මිත්‍රයාටත් ඕනවුනේ තමුන්ගේ ඤාතියා වෙච්ච ප්‍රියන්ත ප්‍රසාද් කාගේ හෝ උගුලකට හසුවෙන එකෙන් වලක්වා ගැනීමේ සුපිරිසිදු අවංක චේතනාවම විතරයි.. එවකට හවසට ටී ක්ලබ් එකට සෙට් වෙන කාර්යාල සගයන්ගෙන් ජංගම දුරකථනයක් තිබ්බෙ මට විතරක් නිසා අනුරාධපුර කෝල් එක ගැනුනෙම මගේ ෆෝන් එකෙන්.. දවසක් දෙකක් ප්‍රියන්ත ප්‍රසාද්ට දුරකථනයෙන් අමතද්දි මටම තේරුනා ගොයියාව කවුරු හරි අන්දමින් ඉන්නවා කියන කාරණය.. හැමදාම හවස තුන වෙද්දි මම හෝ අපේ තවත් තෝරාගත්තු එකෙක් ප්‍රියන්ත ප්‍රසාද් එක්ක වෙඩිමේ සංවිධාන කටයුතු ගැන කතා කරා.. කාලයක් යද්දි අපේ කට්ටියටත් ප්‍රියන්ත ප්‍රසාද් ටී ක්ලබ් එකේ සාමාජිකයෙක් ගානටම සෙට් වුනා.. හැබැයි කතා කරන්න නෙවෙයි.. වෙඩිම සිද්දවෙන ආකාරය ගැන වෙන කතාව අහගෙන ඉන්න.. ඒක වෙනම රස සාගරයක්.. ඇන්දීමේ කලාව වෘත්තියක් විදිහට නොකරාට අන්දලා ආතල් එකක් ගන්න එක කලාවක්නම් මටත් ඒකෙ මාස්ටර්ට්ස් ඩිග්රි එක කිට්ටුවටම යන්න පුලුවන් තත්ත්වයේ හැකියාවක් ඒ කාලෙ තිබ්බ.. ඒ කාලෙ තිබ්බා කියලා කියන්නෙ දැන් නෑ කියන එක නෙවෙයි.. දැං ඒ වගේ මජර වැඩ කරන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදිහට..😜
ප්‍රියන්ත ප්‍රසාද්ට නැවත් විවාහ වෙන්න කොයිතරම් උවමනාවක් තිබුනද කියනවනම් අපි දවසගානෙ හවසට කෝල් එක ගන්නකම් ප්‍රියන්ත ප්‍රසාද් බලාගෙනම හිටිය.. ඒ කාලෙ incoming call එකකටත් රුපියල් හයක් කැපෙන කාලෙ.. Out going රුපියල් දොලහයි විනාඩියට.. මට අතින් කාර්ඩ් දාලා හැමදාම ප්‍රියන්ත ප්‍රසාද් සහ ඕඩියන්ස් එක චූන් කරන්න බැරි නිසා ටී ක්ලබ් එකේ කට්ටික කලෙක්ශන් එකක් දාලා ෆෝන් කාර්ඩ් දාලත් වැඩේ ඇදගෙන ගියා.. ප්‍රියන්ත ප්‍රසාද්ගෙන් අපි කොච්චර ආතල් එකක් ගත්තද කියනවනම් ඒක රස සාගරයක්.. කාර්යාලයේම ගෑනු චරිතයක් දාලා ප්‍රියන්ත ප්‍රසාද්ව next level එකට අන්දන්න අපි උත්සහ කරත් අපේ ඔෆිස් එකේ හිටපු නෑම්බියෝ එකෙක්වත් වැඩේට කැමති කරගන්න අපිට බැරිවුනා... හවස තුනට සෙට් වෙන ටී ක්ලබ් එක විසිරුනේ අඩුම තරමේ පැය භාගයක්වත් ප්‍රියන්ත ප්‍රසාද්ගෙන් ආතල් එකක් අරගෙන...
මගේ මිත්‍රයාගෙ ගෙදරට අහම්බෙන් ගොඩවෙච්ච අවස්ථාවක මට හැබැහින්ම ප්‍රියන්ත ප්‍රසාද්ව දැකගන්නත් ලැබිලා කතාබහ කරන්නත් ලැබීලා තියෙනව.. ටෙලිෆෝන් එකෙන් කතාකරන වෙන්ඩ මනමාලිගෙ මාමා මූ කියලා කටහඬෙන්වත් අඳුරගන්න ප්‍රියන්ත ප්‍රසාද්ට බැරිවුනා කියහංකෝ.. පසු කාලීනව ප්‍රියන්ත ප්‍රසාද් අන්දන වැඩේ නැවතුනේ කොහොමද කියලා මගේ අප්සැට් මෙමරියේ සටහන් වෙලා නැති නිසා අවසානයේ මොකදවුනේ කියලා කියන්න මට මතක නෑ.. ඒත් අපේ කෝල් නිසා ප්‍රියන්ත ප්‍රසාද්ව කසාදයකින් අන්දන්න උත්සහ කරපු සෙට් එක මිසින්වුනා කියලයි මගේ මිත්‍රයා කීවෙ..
" සුසුම් රස්තියාදුව" අලුතෙන් යන ටෙලියක්.. ඒකෙ ඊයෙ කොටස බලාගෙන ඉද්දි මට අපි කරපු පවුකාර වැඩේ ගැන ලොකු පසුතැවීමක් ඇතිවුනා.. මිනිස්සු තමුන්ගේ පාලුව තනිකම නැතිකරගන්න ගන්න උත්සාහයේදී වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.. වයස කීය වුනත් මිනිස්සු කැමතියි තමුන් ආදරය කරන, තමුන් හිතෙන් බැඳුන තැන්වල ගැවසෙන්න. එහෙම තැනක් නැත්තම් මිනිස්සු කැමතිම නැවත නැවතත් බැඳීම් ඇතිකරගෙන හරි තමුන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ ගතකරන්න.. ප්‍රියන්ත ප්‍රසාදුත් ඒ වගේම තමුන්ගේ පාළුව තනිකම නැති කරගන්න ගතපු උත්සාහයක් අපි ආතල් එකට ගත්තා නේද කියන පසුතැවීම සදාකල්ම මගේ හිතේ ඉතුරුයි.. අපි කෝල් දීලා ප්‍රියන්ත ප්‍රසාද්ගෙ හිතේ ගොඩගහපු බලාපොරොත්තු එක්ක ඒ මනුස්සයා කොයිතරම්නම් හීනයක් මවන්න ඇතිද.. අපේ කෝල් නැවතුනාම ප්‍රියන්ත ප්‍රසාද් අපි ආයෙම කෝල් කරනකම් කොයිතරම් කාලයක් බලන් ඉන්න ඇතිද.. ඒ ගැන හිතද්දි කරපු පාපකර්මය ගැන හිතේ ඇතිවෙන පශ්චත්තාපය සෑහෙන ලොකු එකක්...
කරපු වැඩේ කැතයි තමයි.. ඒත් මේ ඉතුරු චේදජ කියවද්දි මේක කියවන උදවිය මාව ඒ පාපෙන් ටිකක් විතර නිදහස් කරාවි කියලා මම හිතනව.. කරපු පව සාධාරණීකරණය කරන්න මටත් ඉතුරු මේ පහල ලියැවෙන කෑල්ල විතරයි..
ප්‍රියන්ත ප්‍රසාද්ගෙ වයස එවකට ( 2002 අවුරුද්ද වෙද්දි ) අවුරුදු 83 ක්. දල වශයෙන් ප්‍රියන්ත ප්‍රසාද් ඉපදිලා තියෙන්නෙ 1919 වගේ වෙන්න ඕන.. කොටින්ම කියනවනම් 2002 වෙද්දී ප්‍රියන්ත ප්‍රසාද්ගේ කටේ ඉතුරුවෙලා තිබුනේ හක්කෙ දත් එකක් දෙකක් විතරයි.. වෙනත් විදිහකින් කියනවනම් ප්‍රියන්ත ප්‍රසාද් කියන්නේ හද්දා නාකියෙක්.. එතකොට කොහොමද 1919 ඉපදුන හද්දා නාකියෙකුගෙ නම ප්‍රියන්ත ප්‍රසාද් වෙන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙමයි.. ප්‍රියන්ත ප්‍රසාද්ගෙ ඤාති පුත්‍රයෙක් වෙන මගේ කාර්යාල මිත්‍රයා අහම්බෙන් දකිනවා පත්තරේ තියන නම් වෙනස් කිරීමක්.. කියවලා බැලුවාම අපේ එකාගෙ ඤාති මුත්තා උන්නැහේගෙ නම වෙනස් කරලා ප්‍රියන්ත ප්‍රසාද් + වාසගම විදිහට.. කේස් එකේ සුලමුල හොයාගෙන යද්දි තමයි අපේ එකා හොයාගන්නෙ අනුරාධපුර කියාගන්න fake පවුලක් කෙල්ලෙක්ව පෙන්නලා මුත්තව අන්දගෙන දේපල ටිකට විදින්න හදනවා කියලා.. ආච්චිත් මැරිලා කාලයක් නිසාත් , තනියම ඉන්න නිසාත් කවූරු හරි අලුගුත්තේරු සෙට් එකකට මුත්තව ටාර්ගට් වෙලා තියෙනව.. ඒකෙ ප්‍රථිපලයක් විදිහට තමයි ඒ ප්ලෑන් එකෙ ගහපු සෙට් එකේ ඉල්ලීම පිට වයස තිහක ගෑනු ලමයෙකුට ගැලපෙන්න මුත්තා තමුන්ගෙ නම වෙනස් කරගන්නේ. අපේ මිත්‍රයා කොනෙන් කොනෙන් හාරගෙන ගිහිල්ලා අගක් මුලක් හොයාගන්න බැරි නිසා තමයි ටී ක්ලබ් එකට වැඩේ බාරදෙන්නෙ... කොහොමෙන් කොහොමහරි බොරු කසාදය බන්දන්න ආපු එවුන් ඇඩ්රස් නැතිවෙන්න මාරුවෙලා තිබුනා යෝජිත මනමාලියගේ තව ඤාති මාමලා සෙට් එකක් අනුරාධපුරෙන් කෝල් කරන්න පටන්ගතපු නිසා.. කෙල්ලගෙ ලොකු මාමාට හඬ කවපු මටනම් ඉතිං ප්‍රියන්ත ප්‍රසාද් මුත්තගෙන් ගතපු ආතල් එක ජීවිතේ අන්දලා ගතපු ආතල්වලින් හොඳම එක තමා... ස්කන්දය දිරනවා.. ගතපු ආතල් එක නම් ඉතිං තාමත් හිතේ කොනක බුබුලු දානව😂😂😂😂...
සුසුම් රස්තියාදුව ටෙලිය බැලුවොත් තේරෙයි ආතල් එකේ ජීවත්වෙන්න ඕන කියලා හිතුනාම වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... ජීවිතේ විඳින්න ඕන වෙලාවෙ වින්ඳේ නැති උනාම වයසට යද්දි ආතල් ඇරියස් වෙන්න ඉඩ තියෙනව... ඒත් ජීවිතේ විඳින්න ඕන කියලා හිතුනාම වයස කියන්නේ ඉලක්කමක් විතරයි.. ලංකාවෙ ලෝකයා, සම්මතයි කියලා හදාගත්තු සාම්ප්‍රදායික රාමුව ඇතුලේ වයසට ගිය මිනිස්සුන්ට ඉතුරු මුනුපුරන් බැලිල්ලයි පිනයි දහමයි විතරයි. ඒත් තමුන්ගේ සතුට හොයාගන්න ඕනවුනාම, උත්සාහය සහ උනන්දුව තියෙනවනම් නැවතත් කියනවා, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි..
ප්‍රියන්ත ප්රසාද්නම් මියගිහිං දැං අවුරුදු පහලොවකට ආසන්න ඇති.. මරණ දැන්වීමේ ගැහුවේ උප්පැන්නෙ නමද එහෙම නැත්තං පසුව නීත්‍යානුකූලව වෙනස් කරපු ප්‍රියන්ත ප්‍රසාද් කියන නමද කියලා මම හරියටම දන්නෙ නෑ... අපි නොකඩවා කෝල් දීලා ප්‍රියන්ත ප්‍රසාද්ගෙ ආතල් එක කඩන්නෙ නැතුවම දේපල ටික බේරලා දුන්නු නිසා මට ලොකුවට පවක් සිද්දවෙන එකක් නෑ කියලා හිතෙනවා නෙවෙයි එහෙම හිතලා හිත හදාගන්නව.. වයස අසූ තුනක් වෙලත් ප්‍රියන්ත ප්‍රසාද් තමුන්ගෙ ආතල් එක ගන්න උත්සාහය ඇතෑරියේ නෑ... එහෙම බැලුවාම අදනම් මට ප්‍රියන්ත ප්‍රසාද් කියන්නෙ අවුරුදු අසූ තුනක වීරයෙක්...
ආණ්ඩුවේ ඔෆිස් එකක කිසිම ආතල් එකක් නැතුව උදේ අටේ හිටං හතරහමාර වෙනකල් වේලි වේලි ඉන්න සෙට් එකකට නොමිලේම ආතල් එකක් දීපු පින නිසා ප්‍රියන්ත ප්‍රසාද් අනිවාර්යයෙන්ම දිව්යලෝකෙක ඉපදෙන්න ඇති... නිකම්ම නෙවෙයි ඉතිං... පොර දිව්‍යාංගනාවන් පිරිවරාගෙන පට්ට ආතල් එකේ ඇති ... ඒත් ඉතින් කව්රුහරි මේ පොස්ට් එක දිව්‍ය ලෝකෙට ඊමේල් කරලා ප්‍රියන්ත ප්‍රසාද්ට පෙන්නුවොත්, ප්‍රියන්ත ප්‍රසාද් හීනෙන් ඇවිත් මට මැද ඇඟිල්ල පෙන්නනවා අනිවා...