Tuesday, September 1, 2015

පනහ සීය කිරීම සහ සීය දෙසීය කිරීමේ කලාව..





මේ කියන්න යන කලාව මේ ලෝකෙට හොයාගත්තේ අපි නිසා මේකේ පේටන්ට් එක අනිවාර්යෙන් තියෙන්න  1992 අවුරුද්දේ ධම්සෝවේ 10 වසර G පන්තියේ උන්නු අපේ සෙට් එකට.. මේ කලාව ගැන රිසර්ච් එක කරන්න සාදර අනුග්‍රහය දක්වන්න අපේ තඩියා නොහොත්, ජයම්පත් නොහොත් තුසිතයා තමයි ඉදිරිපත් උනේ.. මේ භයානක කටයුත්ත පරීක්ෂණ අවස්ථාවේ ඉඳන් සාර්ථකව කාලයක් කරගෙන එන්න ඉදිරිපත් උන ටීම් එකේ නම් ගම් මේකේ ලිව්වොත් වැදගත් රස්සාවල් කරන කීප පොලකගේ රෙදි ගැලවෙන නිසා නම් ගම ලිවීම කරන්නේ විදිහක් නැහැ.. එහෙම නම් ගම් මේකේ දාල මේ කලාවන් ප්‍රසිද්ධ කරොත් දෙයියනේ කියල නිවාඩුවට ලංකාවට ගියාම මටත් බඩ පුරා කන්න වෙයිද කියන බයත් නැත්තේම නැහැ..

ඉස්සෙල්ලම තුසිතයාව හඳුන්වල දීම වැදගත්.. මේ කටයුත්තට සාදර සමාදර දායකත්වය දක්වපු තුසිත ධම්සෝවට  ආවේ 1991 අවුරුද්දේ හෙවත් අපි 9 වසරේ ඉගෙනගනිද්දී .. රත්නපුර පළාතේ ප්‍රසිද්ද ව්‍යාපාරික පවුලක මද්දුමයා වෙච්චි අපේ  තුසිතයා ධම්සෝවට  ගෙනත් දැම්මේ රත්නපුරේ තියාගෙන හදන්න බැරි නිසාලු.. ඒ වෙද්දීත් තුසිතයා ශරීර ප්‍රමාණයෙන් මයික් ටයිසන් තරම් වෙච්චි නිසා ඕනෑම වලියකදී අමාරුවෙන් තල්ලු කරලා  ඉස්සරහට දැම්මාම කිසිම චන්ඩියෙක් අපේ අහලකටවත් ආවේ  නැහැ.. කාටවත් හිංසාවක් නොකරන, වංචාවක් නොකරන, නිය පිටින් මනුස්සයෙකුට තියා කුරා කුම්බියෙකුටවත් ගහන්නේ නැති තුසිතයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාන මිත්‍රයෙක්.. එත් අවංක අහිංසක තුසිතයාව අපේ එවුන් මුළු ඉස්කෝලෙටම  පෙන්නුවේ මයික් ටයිසන් තරම් දරුණු ප්‍රහාරාත්මක නාහෙට අහන්නේ නැති පොරක් විදිහට.. ඒකට තුසිතයාට තිබ්බ සුදුසුකම් උනේ ඌ මයික් ටයිසන් තරම් සද්දන්ත ශරීරයක් හිමිවීම සහ අම්බලන්ගොඩ පොලිසියේ ලොකුම ලොකු නිලධාරියෙක්  තුසිතයාගේ භාරකරු වීම හෙවත් පොලිසියේ ලොක්කා තුසිතයාගේ අන්කල් වීම.. ධම්සොවේ අද්‍යාපනය හදාරනකම් තුසිතයාගේ නවාතැන පොලිස් ලොක්කගේ නිල නිවාසය. රත්නපුර පැත්තේ යහමින් මුදල් හදල්  තිබිච්ච ව්‍යාපාරික පවුලක දරුවෙක් වෙච්චි තුසිතයාගේ පොකට් එකේ තිබ්බ මුදල් ප්‍රමාණය සමාන කරන්න මුළු පන්තියේම එවුන්ගේ සාක්කු වල තියන පහේ කාසි, දෙකේ කාසි , රුපියලේ කාසි එකතු කරත් බැරි උනා.. ඉස්කෝලේ  දල ඇත්තු කොයිතරම් හිටියත් ධනය, බලය සහ සද්දන්ත කම කියන තුන් පැත්තෙන්ම ඉදිරියෙන් හිටියේ අපේ තුසිතයා කිව්වොත් තමයි නිවැරදි.. එහෙම එකෙක් අපේ පන්තියේ ඉන්න එක ගැන හැම එකාම උන්නේ හරිම ආඩම්බරෙන්.. 


ඊළඟට හඳුන්වල දෙන්නේ මේ කලාව ප්‍රගුණ කරන්න දායක වෙච්ච කැන්ටිම.. කාලෙකින් ඉස්කෝලේ ඇතුලට ගියේ නැති නිසා දැන් කැන්ටිම කොහේ තියෙනවද කියල දන්නේ නැත.. ඒත් ඒ කාලේ කැන්ටිම තිබ්බේ 9 වසර පන්ති තිබ්බ බිම්  කොටසේ.. ඒ කාලේ ඒ කෑල්ල හැඳින්නුවේ "කොරියාව" කියන අනවරත නාමයෙන්.. මේ කියන බිම් කොටසට කොරියාවේ කියල නම දැම්මේ කවද, ඒ ඇයි කියලනම් අදටත් මම දන්නේ නැහැ.. 

විනය භාර ආචාර්යවරු කොයිතරම් සැර පරුෂද කියනවනම් ඉන්ටවල් එක ඇරුනාම අනෙකුත් වේලාවන් වලදී කැන්ටිම දිහා බලන්නත් ළමයි බයයි.. කැන්ටිම කරපු මාමිලා සහ නැන්දිලා පාසල් නීති රීති වලට පටහැනිව විවේක කාලයෙන් පිට සීනිබෝලයක්වත් මලාට ළමයෙකුට වික්කේ  නැහැ.. එත් ආණ්ඩුවෙන් ළමයින්ට දෙන දිවා ආහාර මුද්දරය නම් 20% කොමිස් එකක් කපාගෙන මුදල් කර ගන්න කැන්ටිමේ මාමිලා දුන්නු සහයෝගය නම් අනර්ගයි.. ආහාර මුද්දරය ගැන හොයන්නේ බලන්නේ නැති දෙමව්පියන් ඉන්න සිසු පරපුර ආහාර මුද්දරේ කැන්ටිමේ මාමිට දීල සල්ලි කරගැනීම සාමාන්‍ය දෙයක්.. හැබැයි කැන්ටිමේ මාමිලා එක කරේ කුඩු ගංජා විකුණන තරම් භයෙන්.. මොකද ආහාර මුද්දර බිස්නස් එක ඉස්කෝලෙට නිල වශයෙන් මාට්ටු  උනොත් කැන්ටිම කපෝති වෙන නිසා වෙන්න ඇති..

කැන්ටිමේ සැලැස්ම



කැන්ටිමේ ළමයින්ට ආහාර නිකුත් කරන්න තිබ්බේ කව්ළු 3යි.. එයින් අංක 1 සහ 2 විවේක කාලයේදී කූඹි ගුල වගේ කොල්ලන්ගෙන්  පිරිලා ඉතිරිලා යනවා.. කව්ළු අංක 1 සහ 2 පාවිච්චි කරන සිසුන් කොරියාවේ තාප්පෙට හේත්තු වෙලා කෑම ගැනීම සාමාන්‍ය සිරිතයි..කව්ළු අංක 3 වැඩිය බිසී නොවෙන්නේ එම කව්ලුවෙන් කෑම අරගෙන හේත්තු වෙලා කන්න තාප්ප කොටයක්වත් ඒ පැත්තේ නැති නිසා.. ඒ හින්ද  කව්ළු අංක 3 ඒ තරම් ජනප්‍රිය කව්ලුවක් නෙවෙයි.. ඒ කව්ළුව පාවිච්චි කරේ ගැහැණු ළමයින් සහ take away ක්‍රමයට හෙවත් to go ක්‍රමයට කෑම මිලදී ගැනීම් වෙනුවෙන්.. තේ කව්ළු දෙකේ  කොයි වෙලෙත් හිටියේ අසූ හාරදාහට මල පැනපු එවුන්.. හේතුව කැන්ටිමේ පාලනාධිකාරිය හෙවත් කැන්ටිමේ මාමා තේ කව්ළු දෙක සඳහා ස්ථිර සේවකයින් හෙවත් කැන්ටිමේ මාමාගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු අනුයුක්ත නොකිරීම.. ඒ හින්ද තේ නිකුත් කිරීම සිද්ද උනේ බොහොම ඕනෑවට එපාවට.. කෑම කව්ලුවකින් බනිසක්, මාළු පාන් එකක්, බිත්තර රෝල්ස් එකක් මිලට ගන්නා සිසුවෙකුට තේ කෝප්පයක් මිලට ගැනීමට ටික වෙලාවක් බලා සිටීමට සිදු උනා..

කැන්ටිමේ කෑම නිකුත් කරන කව්ළු අංක 1 සහ 2 හි සේවයේ නියුතු  මාමිලා හෝ නැන්දිලා   දෙන්නම සියලු මුදල් එකතු කරේ කව්ළු අංක 1 සහ 2 අතරේ තියන මුදල් වට්ටියට.. කව්ළු අංක 3 සඳහා වෙනම මුදල් වට්ටියක්ද, තේ සඳහා වෙනම මුදල් අයකිරීමක්ද සිදු උනා.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවේක කාලය කියන මේ  විනාඩි 15  කැන්ටිම යුද  පිටියක් වගේ කිව්වොත් නිවැරදියි..එවකටත් තුන්දහසකට අධික සිසු සිසුවියන් පිරිසක් අධ්‍යාපනය ලද පාසලක විනාඩි පහළොවක් වගේ කෙටි කාලයකදී හාරපන්සීයකට කෑම් දීම තනිකර යුද්දයක් වෙන්න ඇති..  සියලුම කව්ළු වලින් ඇතුලට දමාගත් අත් විසිපහක්, තිහක් තමුන්ගේ ආහාරය ඉක්මනින්  මිලදී ගැනීම සඳහා විශාල සටනක නිරත උනා.. කැන්ටිමේ සේවකයින් කොයිතරම් කාර්යක්ෂමද කියනවනම් ළමයින්ගේ අත්වල තිබෙන මුදල් ක්ෂණිකව ගෙන වට්ටියක විසික් කරමින් අදාළ ආහාර වර්ගය (පිටි ගුලිය ) සහ ඉතුරු මුදල් (බස් කොන්දොස්තර න්‍යාය හෙවත් ඉල්ලුවොත්  විතරක් ඉතුරු දීම  ) ක්ෂණිකවම ළමයින් වෙත දමා ගැසුවා.. මේ සංග්‍රාමය ජයගෙන අදාළ බනිස මිලට ගෙන ළමයි රොත්තෙන් එලියට එන්නේ එතනට ගිය සිසුවා නොවේ..කදිමට හිස  පීරා , ස්තිරික්ක කරන ලද කමීසය කලිමට යටකොට හැන්ඩි ලීලාවෙන්  ආහාර මිලදී ගැනීමට ගිය සිසුන් එලියට ආවේ කමිස පොඩිපට්ටම් වී, කොණ්ඩය සී සී කඩ අවුල්වී , කලිසම ඇඹරුන යකෙක් වගේ විලාසයකින් ..

කැන්ටිමේ මාමිලා සහ නැන්දිලා  සිල්ලර කාසි වලට වඩා සල්ලි කොළ උදුරාගැනීමට වැඩි නැඹුරුවක් දැක්වුවේ ඇතුලට දික් උන අත් වලින් සල්ලි කොළ කැපී පෙනෙන නිසා වෙන්න ඇති.. ඒ සල්ලි කොළ වලිනුත් වැඩි ඉල්ලුම තිබ්බේ අගය වැඩි කොලේ ඉඳන් අගය අඩු කොලය දක්වා පිළිවෙලට.. සීයේ කොලයක්, පනහේ කොලයක් දික් වෙන වෙලාවට ඒ සීයේ කොලය හෝ පනහේ කොලය අයිති අතට ඉක්මනින් කෑම ලැබුන.. ඒ කාලෙත් සිල්ලර කාසි අරන් ගිය එවුන්ට අද කාලේ වගේම කෑම ලැබුනේ අන්තිමට.. සීය, පනහක් ඇතුලට දික් වෙන හැම වෙලාවේම පිලිහුඩුවෙක් මාලුවෙක් ඩෑහැගන්නා ආකාරයෙන් ක්ෂණිකවම සීයේ කොලය හෝ පනහේ කොලය මුදල් වට්ටියට විසික් උනා.. ඔන්න  කැන්ටිමේ හැඳින්වීම අවසන්..

දැන් තමයි විජ්ජාව ගැන ලියවෙන කොටස ... විවේකයේදී මොනවා හෝ බඩට දමාගන්න මටනම් ගෙදරින් ලැබුනේ රුපියල් පහයි.. ඒකත් අම්මා  දෙන නිසා.. තාත්තා  සල්ලි දෙන දවසට ලැබුනේ රුපියල් තුනක් වගේ.. ඒ තාත්තාගේ ලෝබකමට නෙවෙයි.. උපන්තේකට කඩේකින් කන්න අකමැති අපේ තාත්තා  කඩ කෑමවල මිල දන්නෙම නැති තරම්.. අම්මනම් එදත් අදත් ඉල්ලුවොත් තාත්තට හොරෙන් හරි අනිවාර්යෙන්ම අවශ්‍ය මුදල අතේ තියනවාමයි .. මට වගේම බහුතරයක් එවුන්ට ගෙදරින් ලැබුනේ දිනකට රුපියල් පහක් .. වැඩිම උනොත් හෝ දහයක්.. මේ කියන කාලේ බිත්තර රෝල්ස් එකක මිල රුපියල් තුනයි විසි පහක්.. අපි ඒක හැඳින්නුවේ " තුනයි  විසිපහේ එකක් " කියලයි.. මොකද එක ඇතුලේ බිත්තර හොයන්න නම් වෙනම ගෙදරින් බිත්තරයක් ගෙනල්ල ඒක ඇතුලට දාන්න වෙන නිසා.. ප්ලේන්ටියක් රුපියලයි.. රුපියලයි කිව්වට සත හැත්තෑපහයි .. ඉතුරු සත විසිපහ මලාට ඉතුරු දෙන්නේ නැහැ.. දවසේ වියදම හතරයි විසිපහක් .. මාළුපාන්, බනිස් , කිඹුලා බනිස් වගේ එව්වා තිබ්බත් ටිකක් හරි කටේ තියන්න පුළුවන් කම තිබ්බේ ඔය කියන "තුනයි විසිපහේ එක " විතරමයි.. ඒ හින්ද වැඩියෙන් ඉල්ලුම තිබ්බේ " තුනයි විසිපහේ " එකට.. 

තුසිතයාගේ අතේ  යහමින් සල්ලි ගැවසුන නිසා හැමදාකම වගේ අපේ එවුන් දෙතුන්දෙනෙකුට ඉන්ටවල් එකේදී ස්පොන්සර් කිරීම සාමාන්‍ය දෙයක්.. තුසිතයාගේ පොකට් එකෙන් නිතරම එලියට ඇදුනේ පනහේ කොලයක් හෝ සීයේ කොලයක්.. මේ පනහේ කොලේ හෝ සීයේ කොලේ අරන් කැන්ටිමෙන් කෑම මිලදී ගන්න අපේ එවුන් සමහර දවසට පොරේ.. ඉන්ටවල් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී ඒ කියන්නේ හතරවෙනි කාල පරිච්චේදයේදී ගුරුතුමා හෝ ගුරුතුමිය උගන්වද්දී ගුරුතුමාට හොරෙන් අපේ එවුන් ඩෙස් යටින් අත් දාගෙන මේ පනහට, සීයට පොරකෑම සාමාන්‍ය සිරිතක්.. මෙහෙම අතින් අත උදුරාගන්නා පනහේ කොලයක් එක දවසක් අපේ  එවුන්  දෙන්නෙක්  අතින් දෙකට ඉරිච්චි..

දෙකට වෙන් වෙච්ච පනහේ කොලේ අලවන්නත් ක්‍රමයක් නැති නිසා අපේ එවුන් දැන් දහ අතේ කල්පනා කරන්නේ දැන් තුසිතයගේ පනහේ කොලේ නැවත වලංගු මුදලක් කරන්නයි.. අපේ තුසිතයාද ඉරුණ පනහේ කොලය වෙනුවට වෙනත් නෝට්ටුවක් දීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඉරපු එවුන්ගෙන් ඉල්ලා  සිටින්නේ ඉන්ටවල් එකට කන්න යමක් ගෙනත්දෙන ලෙසයි..

කැන්ටිමේ සිරිත් විරිත් දන්නා අපේ එකෙකු දෙකට මැදින් ඉරිච්ච පනහේ කොලය කෑම බවට පත්කිරීමට ඉදිරිපත් වෙන්නේ මේ අතරයි.. නම් ගම් සඳහන් නොකරන කොන්දේසිය පිට ලියනා වූ ලිපියක් බැවින් ඒ එඩිතර ශිෂ්‍යයින්ගේ නම් ගම් මෙහි සඳහන් කිරීම නොවටී .. සැලසුමට අනුව විවේකයේදී කැන්ටිමේ කවුළු අංක එක වෙත ඉදිරිපත් වූ පනහේ කොලයේ කැබලි දෙක කිසිදු භාධාවක් නොමැතිව කෑම බවට පත්වූ බැවින් පනහ ඉරූ එවුන් දෙදෙනා තුසිතයාගේ යෝද  අතකින් පිට මැද්දෑවට එල්ලවන මයික් ටයිසන් ප්‍රහාරයෙන් අනූ නවයෙන් ගැලවුනි ..

පාසලින් ලැබුණු සියලුම දේවල් බොහොම නිර්මානාත්මක ලෙස ජීවිතයට එකතු කරගත් අපේ එවුන් ඉරිච්ච පනහේ කොලයේ පාඩම වෙනත් ආකාරයකින් ජීවිතයට එකතු කර ගත්තේ කැන්ටිමේ මාමාගේ අවාසනාවටම වන්නට ඇත.. වාසනාව කියනා අකුරු හතර නිසා අදටත් යහතින් ජීවත් වෙන අපේ එවුන් දෙදෙනෙකු මේ අවදානම් කාර්යට අත ගසන්නේ ජීවිතයේ " භය " " අවදානම " "ලැජ්ජාව " වැනි දෑ  එතෙක් මෙතෙක් කිසිදු දිනෙක මොලයට නොවැටහුණ  නිසා වන්නට ඇත.. මේ කියනා සගයන් දෙදෙනා ඕනෑම අවදානම් කාර්යයකට අත  ගසන්නට දශමයකුදු නොසිතන අයවලුන්ය.. ගසකට නැග්ගද  අත්ත අග තිබෙනා ගෙඩිය කඩා ගැනීමට එම අත්තේ  දල්ලටම බඩ ගෑමට මුන් දෙදෙනාම භය නැත.. ගුටි කන බව දැන දැනම උවත් ඕනෑම සේනාවකට එරෙහිව යුද්දය ප්‍රකාශ කිරීමට මුන් දෙදෙනා භය නැත.. එදත් අදත් මුන් දෙදෙනාගේම "භය " නහරය ශරීරය තුල නැත්තේය.. ලජ්ජා නහරයද ශරීරයේ වයරින් වී නොමැත.. ඔවුන් දෙදෙනා විසින් සොයා ගන්නා ලද අලුත්ම විජ්ජාවනම් තුසිතයාගේ මුදල් නෝට්ටුව දෙකට ඉරා කැන්ටිමෙන් කෑම මිලදී ගැනීමයි.. මෙය කියවන පාඨකයින් දැන් සිතනවා ඇත්තේ දෙකට ඉරනා මුදල් නෝට්ටුව එකම කව්ලුවකින් කැන්ටිමාට දී ආහාර මිලදී ගන්නවා කියලා වන්නට ඇත.. එහෙත් ක්‍රමවේදය එය නොවේ.. මුන් දෙදෙනා නෝට්ටුවේ කොටස් දෙක දෙන්නේ කැන්ටිමේ කව්ළු අංක එක සහ දෙක වෙතයි..

කව්ළු අංක එක වෙතින් සිල්ලර කාසි , පහේ කාසි, දහයේ කොළ දික්වෙන අත් අතරින් පනහේ හෝ සීයේ නෝට්ටු කොනක් දුටු පමනුන් ඩෑහැගැනෙන පනහේ හෝ සීයේ නෝට්ටු භාගය මුදල් දමනා වට්ටියට විසික් වෙන අතර ඉල්ලනා කෑම ක්ෂණිකවම ලබාදෙනු ලබයි.. ඊට සමගාමීව කව්ළු අංක දෙක තුලින්ද එම ආකාරයටම දෙකට ඉරූ මුදල් නෝට්ටුවේ අනෙක් භාගයෙන් කෑම මිලදී ගැනෙයි.. කව්ළු අංක එක හා දෙක තුලින් උපයන සෑම මුදලක්ම එකතුවන්නේ මැද තිබෙනා වූ මුදල් වට්ටියට බැවින් දෙකට ඉරූ මුදල් නෝට්ටුවේ කොටස් දෙකම ඉතා සාර්ථක ලෙස එකම මුදල් වට්ටියට එකතු වේ.. මෙම මැජික් ක්‍රීඩාව ඉතාමත් සාර්ථක ලෙස කාලාන්තරයක් සිදු කිරීමට අපේ " ලැජජාව සහ භය " නහරය නැති එවුන් දෙදෙනා වගබලාගත් අතර කිසිදු ආකාරයෙන් මේ ගැන තුසිතයාගේ නම් දශමයකුදු කැමැත්තක් තිබුනෙම නැත..  මෙම ක්‍රියාව දිනපතාම සිදු නොවූ අතර මසකට කීප  වතාවක් අනිවාර්යෙන්  සිදුවිණි.. විවේකය පටන් ගන්නා විගස මුදල් නෝට්ටුව දෙකට ඉරාගන්නා   රයිගම සහ ගම්පොල දෙදෙනා ඉතා සාර්ථක අයුරින් කෑම මිලදී ගැනීම , සිද්දිය දන්නා අපි කීප දෙනෙකු බලා සිටින්නේ ඇඟේ ලේ නැතිවය.. එහෙත් අපේ ලජ්ජා භය නැති රයිගම ගම්පොල දෙදෙනා මෙම රොබරියේ යෙදුනාවූ සෑම  දිනෙකම අති  සාර්ථකව වැඩේ කරගෙන ගියෝය.. ඉරුණ නෝට්ටුවේ කොටස් දෙකම එකම මුදල් වට්ටියේ තිබී හමුවන බැවින් එම මුදල කැන්ටිමේ මාමා ගණන් කරන්නේ ඉරුණ මුදල් නෝට්ටුවක් වශයෙන් වන්නට ඇත.. එම නෝට්ටුවේ වටිනාකම මෙන් දෙගුණයක් කෑම නිකුත්වී ඇතිබව හෝ වටිනාකමට සමාන ඉතුරු මුදල් නිකුත් වී ඇති බව කැන්ටිමේ මාම කවදාවත් දැන  සිටියේ නැත... නිල නොවන මට්ටමින් සීය දෙසීය  කරනා කලාව සහ පනහ සීය කරනා කලාව  සොයාගත් අපේ වීරයින් දෙදෙනා  ලොව නිර්මානත්මකම හොරුන් දෙදෙනා ලෙසින් ඉතිහාසගත විය යුතුය.. 

දශක දෙකකුත් මදක් කාලය කෙමෙන් ගෙවී ගිහින් අප වියපත් වුවද  ඒ කළා වූ අසික්කිත අසමජ්ජාති කටයුත්ත කොයිතරම් පහත ඝනයේ වැඩක්ද යන්න වැටහෙන්නේ වයසින් වියපත් වෙද්දීය.. කරන්නට යෙදුනා වූ පවුකාර ක්‍රියාව කල එවුන් සහ ත්‍රාසයෙන් බලාසිටි අපි නවීන පන්නයේ වාහන පදිදිද්දී කැන්ටිමේ මාමා අදත් ෆුට් බයිසිකලය පැදගෙන යනු දුටුවනම මතකය වසර විසි හතරක් ඈතට දිවයන්නේ ලැජ්ජාවක් සහ පසුතැවීමක් ඉතුරු කරමින්ය.. එදා වීරකම් ලෙසින් පෙනුනා වූ අසික්කිත දේවල් අද දැනෙන්නේ කොයිතරම් ලජ්ජාසහගත දේවල් ලෙසින්ද.. මේ අසික්කිත ක්‍රියාවට මුදල් නෝට්ටුව පුද දුන් තුසිතයාටනම් දශමයකවත් පවක් සිද්ද නොවන්නේ  සෑම දිනෙකම අකමැත්තෙන් මුදල් සැපයු බැවින් සහ වචනයකින් වත් එම පවුකාර ක්‍රියාවට දායක නොවූ බැවින්ය..

අවුරුදු තුනක් අම්ම කෙනෙක් වගේ උන්නු පන්තිභාර ටීචර් දැනගත්තොත්  මේ වගේ කම්බා හොරුන්ට උගන්නපු බව එතුමියට මොනවා හිතෙයිද.. අහෝ අපි වගේ පව්කාරයින්.. 





        

16 comments:

  1. අනේ හැබෑටම මුන්ටත් මේ ලෝකේ ඉර හඳ පායනව නේද? පව් අර කැන්ටින් මාමා.

    ඔය වගේ අසමජජාති වැඩ කරන්න ඔය කාලෙට අපේ කොල්ලො හරිම දක්ශයිනෙ. එල කතාව.

    ReplyDelete
    Replies
    1. කර්මය කාටත් පොදු නිසා අපිටත් කළකම් පලදෙයි කවදාහරි..

      Delete
  2. ඕවා අවුලක් නෑ බං ඒ ඒ කාලේට ඒ ඒ දේවල්.. මුදලාලි තාම බයිසිකලේ යන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඒ කියන්නේ මොළයක් නැති කම හින්දා..

    ReplyDelete
  3. ඔය කාලෙ හරි වැරද්ද ගැන හිතෙන්නෙ නෑ කොලු කමට. ඔන්න අවුරුදු 25 විතර පනිද්දි තමයි මතක් වෙන්නෙ කරපුවා මොන තරම් වැරදිද කියලා. ඔන්න ඔහෙ කමක් නෑ. මොකද කැන්ටිමේ උනුත් හොරුනෙ. බාල කෑම විකුනන නිසා කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. කොලුකමට කරපු දේවල් උනාට පාරේ හමු උනාම මුණ බලන්න ලැජ්ජයි දැන්..

      Delete
  4. Replies
    1. ස්කුබී දුවපා ....න් ඩ්‍රැකීයුලා ඇවිල්ලා.....

      වීලුව්ට හොඳේ..ස්තුතියි ඩ්‍රැකී මේ පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් දැම්මට..

      Delete
    2. බුදු අම්මෝ... ස්කූබියා....!!!!!

      Delete
  5. ඔන්න ඉතින් අපේ පාසල් කාලෙත් අම්බලන් ගොඩයා මතක් කොරා....ෆලෝ පාරකුත් දැම්මා එහෙනම්.....

    ReplyDelete
  6. Replies
    1. මේ ඉන්නේ අපේ ප්‍රධාන අනුග්‍රාහකයා ... ස්තුතියි මේ කරපු හපන් කම් වලට කමෙන්ට් එකක් දැම්මට. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු..

      Delete
  7. හැක්... මොනව කොරන්නද බං කොලු කාලෙට ඔහොම ඒව තමයි ඉතිං වැඩි හරියක් වෙන්නෙ.
    අර දේශයකා කියල තියෙන විදියට උඹල වගේ කැන්ටිමාත් මොලේ පාවිච්චි කළානං අද මිනිහ යන්නෙ මොන්ටෙරෝ එකකනෙ.

    ReplyDelete
    Replies
    1. කැන්ටින් කරලා මොන්ටෙරෝ පදින තත්වෙට ආපු එවුන් ඉන්නවා බන් ඕනෑතරම්. එත් අපේ කැන්ටින් එකේ මාමිටනම් එහෙම කරගන්න බැරි උනා.

      Delete
  8. Maru kathawa...apith me wage weda karala thiyenawa. ..thama mathakai canteen eken kema ganna porakana heti api..oya kiyana thena hondata hurui apita..

    ReplyDelete