Thursday, September 10, 2015

මිනිස්සු සහ නොමිනිස්සු ..



2004 වර්ෂයේ දෙසැම්බර විසි හය දින සුනාමි ව්‍යසනය ගැන මෙමෙ ලිපියෙන් නැවතත් ලියා තැබීම අනවශ්‍ය කරුණක් බැවින් 2004 සුනාමිය ගැන මෙහිදී සඳහන් නොකරමි. 2004 වර්ෂයේ සුනාමියෙන් අනතුරුව පිහිටවූ සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයේ පිහිටෙන් සුනාමියක් ගොඩබිමට පැමිණෙන්නට පැය කිහිපයකට කලින් අනතුරුදායක කලාපයේ සිටිනා පදිංචිකරුවන්ට එම කලාපයෙන් ඉවත් වීමට දැනුම්දෙනු ලැබෙයි..මෙම සිදුවීමද එවන් අනතුරු ඇඟවීමක් ලැබුණු දිනයක රාත්‍රියක සිදුවූ අභාග්‍යමත් සිදුවීමකි..

එදිනද රාත්‍රී දහය පසුවී නින්දට යාමට සුදානම් වූ මට නුපුරුදු ශබ්දයක් ඇසෙන්නට වූ නිසාවෙන් එන ශබ්දයට විමසිලිමත්ව සවන් දෙන්නට උත්සහ කරන්නට වීමි..ඉතාමත් ඈතින් ඇසෙන්නාවූ  ආගන්තුක ශබ්දයට  විනාඩියක් කිහිපයක්  සවන් යොමා සිටිනා  විට එක්වරම මතකයට ආවේ මේ ඇසෙන්නේ සුනාමි අනතුරු ඇඟවීමේ සඥඥාව නොවේද යන්නයි.. දනිපනි ගා ඇඳෙන් බිමට පැන්න මා හනික රූපවාහිනිය ක්‍රියාත්මක කරේ වෙන්නට යන්නාවූ ව්‍යසනය සත්‍යයක්ද නැතිද කියා විමසා බැලීමටයි.. එම අවස්ථාවේ බ්‍රේකින් නිව්ස් වලින් කියවුනේ ඉදිරි පැය  දෙක ඇතුලත දකුණු වෙරල තීරයට සුනාමියක් පැමිණීමට බොහෝදුරට  ඉඩ ඇති බව සහ හැකි ඉක්මනින් එම ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසයි..

වෙරළාසන්නයේ පදිංචිව සිටිනා හිත මිතුරන්ට හැකි විගසින් පණිවිඩය දීමට සැනෙකින් උත්සහ කලත් ඒ වනවිටද සියලු ජංගම සහ ස්ථාවර දුරකතනද කාර්යබහුල තත්වයක තිබුනේ දුරකථන ඇමතුමක් ගැනීමට නොහැකිවන පරිද්දෙන්ය.. 2004 සුනාමි අවස්ථාවේදීත්  කිසිදු අවහිරතාවයක් නොමැතිව නොකඩවා ක්‍රියාත්මක වූ මාගේ වෙළඳ ස්ථානයේ CDMA දුරකථනය සැනෙකින් මතක්වු බැවින් මමද වහාම කමීසයක් ඇඟලාගෙන වෙළඳ ස්ථානය  වෙත ඉගිල්ලුනෙමි..

පෙර පරිදිම CDMA දුරකථනය කිසිදු අපහසුතාවයක් නොමැතිව ක්‍රියාත්මක වූ අතර අවශ්‍ය සියලුම දුරකථන ඇමතුම් ලබාගෙන හිතමිතුරන් සියලුදෙනාම ආරක්ශාසහිතව වෙරලාසන්නයෙන් ඉවත්වෙමින් සිටිනා බව තහවුරු කරගත් මා මද වෙලාවක් වෙළඳ සැලෙ රැඳී සිටින්නට වුනෙමි.. එනම් දුරකථන කාර්ඩ්පත් සහ ඇමතුම් ගැනීමට කරදරයට පත්වූ පිරිස වෙළඳ ස්ථානය වෙත දුව ආ බැවිනි..තවද 2004 සුනාමි අවස්තාවෙදීත් දින දෙකක් පුරා කරදරයට පත් උදවියට  නොමිලේ ඇමතුම් ලබාදුන් පළපුරුද්දෙන් සුනාමි අවස්තාවකදී කාර්යබහුල වන දුරකථන ජාල අතරේ මරණ බියෙන් සිටිනා මිනිසෙකුට තමුන්ගේ ඥාතීන් සුරක්ෂිතද යන්න දැනගැනීමට දුරකථන ඇමතුමක අවශ්‍යතාවය කොතරම්ද යන්න දැන  උන් නිසාවෙනි..

මධ්‍යම රාත්‍රියේ පාලු මංමාවත්  හදිසියේ ජනාකීර්ණ කරමින් කලබල ස්භාවයෙන් ගොඩබිම දෙසට වේගයෙන් ධාවනය වන්නාවූ වාහන, මෝටර් සයිකල් , ත්‍රිරෝද රථ ,පාපැදි නරඹන්නට පාර දෙපස පදිංචි බහුතරයක් උදවිය තමුන්ගේ වත්තේ ගේට්ටුව ආසන්නයට පැමිණීම මෙවන් අවස්තාවකදී සාමාන්‍ය දෙයකි. තමුන් සතු එකම මෝටර් සයිකලය හෝ ත්‍රිරෝද රථය පාවිච්චි කරමින් කිහිප වතාවකට හෝ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් වෙරලාසන්නයෙන් ඉවතට රැගෙන යාමට සියලුම දෙනා තමුන් සතු උපරිම වෙර වීරිය යුදුහ.. තුන් දෙනෙක්, හතරදෙනෙක් සහිතව වේගයෙන් බටපොල පාරේ බටපොල  දෙසට ඇදෙනා මෝටර්  සයිකල් නැවතත් විනාඩියෙන් දෙකෙන් වෙරල දිශාවට ධාවනය වුයේ විදුලි වේගයෙනි.. පාර එකම කාලගෝට්ටියක් බැවින් අනතුරු වීමේ අවදානමද වැඩි වුවත් අනතුරු නොසලකු සියලුම රියදුරෝ  හැකි උපරිම වේගයෙන් රථ ධාවනය කලෝය.සියල්ල මෙසේ සිදුවෙද්දී සුනාමි අනතුරු ඇඟවීමේ නාදයද නොනැවතී ක්‍රියාත්මක  වීය.. සියලු කලබල අතරේ  මාගේ වෙළඳ ස්ථානය ඉදිරියේ නිවසේ වෙසෙන්නාවූ කාන්තාවත් එම කුඩා දරුවන් දෙදෙනාත් ඔවුන්ගේ  වත්තට  ඇතුල්වන ස්ථානයේ සිට මෙම ව්‍යසනය නරඹමින් සිටියායාහුය..

වේගයෙන් ධාවනය වෙන රථ වාහන අතරේ සෙනග සීයක් පමණ පටවාගත් අත්ට්‍රැක්ටරයක් උපරිම වේගයෙන් කළුවරේ ඈතින් එනු මා දුටුවත් එය එතරම් විශේෂ දර්ශනයක් නොවුයේ අත්ට්‍රැක්ටර්ද මෙවන් අවස්තාවලදී කරදරයට පත් පිරිසට මහඟු සේවාවක් සැපයු බැවිනි..සෙනග පුරවාගෙන ටවුම  දිශාවෙන්  වේගයෙන් ආ අත්ට්‍රැක්ටර්ය පොල්වත්ත හන්දියෙන් වමට නොහොත් රෝහල දිශාවට හැරවුවත්  වේගය පාලනය කරගත නොහැකි වූ රියදුරා අසල වූ වෙළඳ ස්ථානයේ දොරද කඩාගෙන මා පෙර සඳහන් කරන ලද කාන්තාව සහ කුඩා දරුවන් දෙදෙනාද පෙරලාගෙන ගොස් මර හඬ දෙමින් පෙරළිණි.. විශාල ශබ්දයක් නගමින් සෙනග සමගින් පෙරලුන අත්ට්‍රැක්ටරය අසලට රොක් වූ හන්දියේ උන් පිරිස සහ අත්ට්‍රැක්ටරයේ ආ පිරිස  වහාම අත්ට්‍රැක්ටරය කෙලින් කොට එයට යටවී උන් කුඩා දරුවා එලියට ගත්තද ඒ වනවිටද එම දරුවාගේ එක් කකුලක්  කලව දෙසින් දෙකට  කැඩී තිබුණි.. ජරමර අස්සේ බරකරත්ත කියන්නාක් සේ සිදුවෙන්නට යන්නාවූ සුනාමි ව්‍යසනයට අමතරව මේ සිදුවූ ව්‍යසනයෙන් තුවාල ලැබුයේ අසල සිටි දරුවායි.. අත්ට්‍රැක්ටරයේ රියදුරාට සුළු තුවාල සිදුවී තිබු අතර මගීන්ට සැලකිය යුතු මට්ටමේ කරදරයක් නොවුයෙන් හැකි ඉක්මනින් තුවාල කරුවන් රෝහල්ගත කරන්නට අපි කටයුතු කළෙමු.. ආසන්නම ශික්ෂණ රෝහල බලපිටිය රෝහල වුවත් සුනාමියක් පැමිණෙන්නට නියමිත බැවින් බළපිටි යාම නුවනට හුරු නොවන කාරණයක් හෙයින් පොල්වත්ත රෝහල හෙවත් අම්බලන්ගොඩ දිස්ත්‍රික් රෝහල වෙත තුවාල කරුවන් ඇතුලත් කිරීමට අපි උත්සුක වීමු.. 

රෝහලට රැගෙන ගිය වහාම කලවය ලඟින් කකුල දෙකට කැඩී අනතුරට පත්වූ දරුවා කරාපිටි යැවීමට වෛද්‍ය වරුන් තීරණය කලේ ලෙඩා දුටු සැනින්මය .. රෝහලේ ගිලන් රථයද ගමනට සුදානම් වූ නමුත් වෙරල  කලාපය මගහැර බටපොල, බද්දේගම හරහා කරාපිටි යාමට තරම් ප්‍රමාණවත් වූ ඉන්දන ගිලන්රථයේ  නොමැත බව රියදුරා දන්වා සිටියේ මේ අවස්ථාවේය.. කකුලක්ද කැඩී තවත් තුවාල සහිතව සිටිනා දරුවා හැකි විගසින් කරාපිටිය රෝහල වෙත යැවීමට අවශ්‍යබව වෛද්‍යවරු කියා සිටියත් සියල්ල හරහට ඉන්දන ප්‍රශ්නය මුලිකවී තිබුණි.. සිදුවන්නට යන්නාවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් හැකි සියලු දෙනා හැකි ඉක්මනින්  රථවලට ඉන්දන පුරවාගන්න නිසා ඒ වනවිටද අම්බලන්ගොඩ ඉන්දනහල්  දෙකේම ඉන්දන අවසන්ව තිබිණි.. සාමාන්‍ය වාහන වලට ඉන්දන නිකුත් නොකලද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්දන ඉතුරුකරගන්නා  නිසා ගිලන් රථය වෙත ඉන්දන ලබාගැනීම අපහසු නොවනු ඇති යන සිතුවිල්ල එතෙක් අප තුල තිබුනද එය එසේ නොවන බව තේරුම් යන්නට වැඩි වෙලාවක් ගත නොවුයේ ගිලන් රථයට අන්දන සැපයීමට ඉන්දනහල් දෙකෙන්ම තරයේ ප්‍රතික්ෂේප කල බැවින්ය.. 

අම්බලන්ගොඩ එක් ඉන්දනහලක් පුද්ගලික එකක් වූ අතර ඔවුන් කියා සිටියේ ඉන්දන සියල්ලම අවසන් බවයි..අනෙක් ඉන්දනහල සමුපකාරය සතුවූ අතර එම සේවකයින් කියා සිටියේ ඔවුන් සතු අවසන් ඉන්දන ප්‍රමාණය තිබෙන්නේ පොලිසියට සැපයීමට පමණක් නිසා ගිලන් රථයට ඉන්දන සැපයීමට නොහැකි බවයි..අසාද්‍ය තත්වයේ සිටිනා රෝගියකු රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය ඉන්දන අත්පිට මුදලටවත් නිකුත් නොකරන්නට තරම් එම සේවකයින් අමානුෂීය වුයේ ඇයිද යන්න සිතද්දී එම මිනිසුන් ගැන ඇතිවන කලකිරීම මෙතෙක් යයි කියන්නට වචන නොමැත.. කොතරම් දැන ඇඳුනුම්කම් තිබ්බද, ඔවුන් සතු ඉන්දන වලින් ගැලුම් දෙකක් ගිලන්රථය  වෙත ලබාදීමට සමුපකාර ඉන්දනහළේ සේවකයෝ  ඉතාමත් අමානුෂීය ලෙස ප්‍රතික්ෂේප කලෝය.. සියලු බලාපොරොත්තු කඩවූ අපි ගිලන්රතය නැවත හරවාගෙන නැවතත් පොල්වත්ත රෝහල වෙත එන විට තුවාලලත් දරුවා සිහි මුර්ජාවන තත්වයෙන් පසුවුයේය.. 

වෛද්‍යවරුන් බලපිටිය රෝහලෙන් ගිලන්රථයක්  ගෙන්වාගැනීමට උත්සහ දැරුවද එම ගිලන්රථ සියල්ලම එම අවස්තාව වනවිට සේවයේ යොදවා තිබු බැවින් ඔවුන්ගේ උත්සාහයද ව්‍යර්ථ වීය..එම අවස්ථාවේ  මා සතුව හා අනතුරටපත් දරුවාගේ ඥාතීන් වෙත මෝටර් රථ තිබුනත් කලවය ආසන්නයෙන් කකුල කැඩුණු රෝගියෙකු මෝටර් රථයකින් රැගෙනයාම ඉතාමත් අනතුරුදායක බව වෛද්‍ය මතය වීය.. එකම විකල්ප විසදුම වුයේ ගිලන් රථයේ තිබෙනා ඉන්දන ප්‍රයෝජනයට ගනිමින් ගාලුපාරේ කරාපිටිය දක්වා පැදවීමයි.. ඉතාමත් කෙටි කාලයක් තුල ගොඩබිමට ලඟාවෙන්නට නියමිත සුනාමි තත්වය අමතක කර ගාලුපාරේ කරාපිටි යන්නට උත්සහ කිරීම මරුවා සමග සෙල්ලමට යාමක් වීය..

නොමිනිසුන් අතර සැබෑ මනුස්සකම් වලින් සැදුම් ලත්  වීරයින්ද  සිටිනා බව පසක් කරමින් ගිලන්රථ රියදුරා ගාලුපාරේ කරාපිටි යාමට ඉදිරිපත් වුයේ ඔහුගේ ජීවිතයද , ඔහුගේ යැපෙන්නන්ද නොසලකා හරිමින්ය.. හැකි ඉක්මනින් දරුවා ගිලන් රථයට දමන ලෙස රියදුරා ප්‍රකාශකර සිටියේ සුනාමියට එක විනාඩියකට ප්‍රථමව ගිංතොට ඩිපෝව අසලින් කරාපිටිය දෙසට හැරවීමට දැඩි අධිෂ්ටානයකින් වන්නට ඇත.. රෝහල් කාර්ය මඩුල්ල රෝගියා ගිලන් රථයට  දැමු වහාම  රියදුරා කරාපිටිය බලා ඉගිලුනේ රාජකාරිය සහ මනුස්සකම හදවතින්ම හඳුනනන උතුම් මිනිසෙකු හෙයින් වන්නට ඇත.. රෝහලක් විසින්  රෝගියෙකු වෙනත් රෝහලකට යැවීමේදී එම රෝගියා සමග යන්නට යෙදෙන හෙදිය සහ සහයකයාද ගිලන් රථයට ගොඩවූයේ තමුන්ගේ ජීවිතයට වඩා අනෙකෙකුගේ මිනිස් ජීවිතයක් බේරාගැනීමට උත්සහ දැරීම ඔවුන්ගේ වුර්තිය වන නිසාට වඩා ඔවුන්ගේ පවතී මනුස්සකම් නිසා වන්නට ඇත.. මේ සියලු සිද්දි දාමය සිදුවන්නට උපරිම කාලය පැයක් ගතවන්නට ඇත. සුනාමි අනතුරු නාදය නිකුත්වී පැයක් ගතවන්නට මත්තෙන් සිදුවූ මෙම අභාග්‍යමත් සිද්දිය සිදුවී දරුවා කරාපිටිය රෝහල වෙත ආරක්ෂාකාරීව රැගෙන යාමට තරම් කාලයක් ඔවුන්ට ඉතිරිව තිබුනේ නැත.. සුනාමි මධ්‍යස්තාන වලින් ඉදිරිපත් කල කාල පරාසය අනුව ගිලන් රථය කරාපිටියට යාමට ප්‍රථමව සුනාමිය වෙරල වෙත ලඟා වනබව හැමදෙනාම දැන  උන්නේය.. එහෙත් එය දැන දැනම රියදුරා සහ කාර්යමණ්ඩලය ජීවිත අවදානම නොසලකා දරුවාගේ ජීවිතය බේරාගැනීමට ඉදිරිපත්වීම එය ඔවුන්ගේ රාජකාරිය යයි සිතා අමතක කර දැමීම මාගේ මනුස්සකම නොවන නිසාවෙන් මෙම සටහන තබන්නට උනන්දු වුයෙමි..

මුහුදු පතුලේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් ඇතිවූ සුනාමි අවදානම පැය තුනකින් අනතුරුව නිෂ්ප්‍රභාවූ අතර අනතුරටපත් දරුවාද , ගිලන්රථ කාර්යමණ්ඩලයද කිසිදු අනතුරකින් තොරව කරාපිටිය රෝහල වෙත සැපත්වී තිබුණි.. දරුවා කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට හැකි ආකාරයේ වෑන් රථ තිබු එම දරුවාගේ ඥාතීන්ද දරුවා රෝහල වෙත ගෙනයාම කර ඇර හෙමින්සීරුවේ මාරුවී ගිය ආකාරය ශෝචනීයය.. ඉන්දන තිබෙනා බව දැන දැනම ගිලන්රථය  වෙත ඉන්දන සැපයීම ප්‍රතික්ෂේප කල ඉන්දනහළේ සේවකයින් මනුෂ්‍යයින් වශයෙන් සැලකිය හැකිද??? මිනිස් වෙසින් සිටිනා එවන් නොමිනිසුන්ට ස්භාවධර්මය දඬුවම් නොකරනු ඇත්ද???




පසු සටහන්..

දරුවාගේ කකුල කැඩී තිබු ආකාරය අනුව එම කකුල කපා ඉවත්කිරීමට වෛද්‍යවරු තීරණය කල බවත් , විදේශයක සේවය කල එම දරුවාගේ පියා කකුල කැපීමට තරයේ විරුද්ද වු බවත් පසුව දැනගතිමි.. ගිලන්රථ රියදුරාගේ කැපවීමත්, දරුවාගේ පියාගේ ඥානවන්ත තීරණයත් මත එම දරුවා අද දෙපයින් ඇවිදින තරුණයකු බව සතිටින් දන්වා සිටිමි..

මෙම සටහන එම ශ්‍රේෂ්ඨ ගිලන්රථ රියදුරාටත් එම මාරාන්තික ගමනට ඉදිරිපත්වූ සේවකයින්ටත්  උපහාරයක් වේවා..

20 comments:

  1. ලෝකය ගෝලාකාරයි මිනිස්සු විධාකාරයි Mr.. අම්බලන්ගොඩ

    ReplyDelete
  2. කකුල නොකැපුවා නම් වෙනු ඇතැයි කීවේ ආසාදනයක් සැදී දරුවා මිය යාමද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න ඇති. දරුවාගේ කකුල කැඩිලා තිබ්බේ දණහිසට හුඟක් උඩට වෙන්න.. ඒ කැඩිලා තිබ්බ විදිහට කකුල හදන්න බැහැ කියල තමයි කියල තිබුනේ.. ඒත් දරුවාගේ අම්ම අත්සන් කරලා තිබුනේ නැහැ කකුල කපන්න කැමැත්ත දීල.. කොයි අම්මටද පුළුවනි කිරි දරුවාගේ කකුල කපන්න කැමැත්ත දෙන්න..

      Delete
    2. ඔය විදිහට කපන්ඩ ඕනෙයි කියපු අතපය එක්ක ජිවත්වෙන මිනිස්සු කොච්චර ඉන්නවද. තැලිලා ‍පොඩිවෙලා තිබුනට දවසක් දෙකක් ආසාදනයක් ඇති වෙනවද නොබල ගෙනිච්ච ගමං එහෙම තීරනය කරනඑක අමානුශිකයි. බාරකාරයෝ අවබෝදයෙන් නොහිටියොත් විනාසයි. සමහර දොස්තරල ලෙඩ්ඩුන්ව බලන්නේ ෆාම් එකක සත්තු බලනව වගේ

      Delete
    3. මගේ යාලුවෙක් ඉන්නවා හමුදාවේදී බට්ටෙක් පෑගිලා කකුල කපන්න හදනකොට අත්සන් නොකර කකුල බේරගතපු .. ඌ අදත් කියන්නේ සිහිය තිබ්බ නිසා කකුල බේරගත්ත කියලයි.. අද ඌ අමාරුවෙන් හරි කකුල බිම තියල ඇවිදිනවා.. කැපුවනම් කොයිතරම් අපරාදයක්ද..

      Delete
  3. තාමත් මේ ලෝකෙ ඉතුරු වෙලා තියෙන්නෙ ඔය වගේ හොඳ මිනිස්සු ඉන්න නිසා තමයි. කාට හරි කියන්න පුළුවන් ඒ මනුස්සයින්ගෙ රස්සාවනෙ කියලා. ඒත් රස්සාවට අදාල නැති නෑදෑයො ඒ දෙ කරන්නෙ නැති වෙනකොට උන් මොක්කුද.

    ReplyDelete
    Replies
    1. අද කාලේ වැඩිහරියක් ඉන්නේ ඒ වගේ නෑයො තමයි බන්..

      Delete
  4. තනතුරු තානාන්තර තිබ්බ පලියට මිනිස්සු වෙන්නේ නෑ..හොද හදවතක් තියෙන්න ඕනේ ඒකට..කාටහරි හැකි පමනින් උදව්වක් කලාම හිතට දැනෙන සතුට කියාගන්න වචන නෑ.

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙකුට උදව්වක් කරල සතුටු වෙන්න පුළුවන් මිනිස්සු අද කාලේ හුඟක් විරලයි.. ඒ අතින් අපේ බ්ලොග් ලියන උදවිය කරනා සේවාවත් ලොකු සමාජ සත්කාරයක්.. අපේ ඉදිරි පරපුරට වෙබ් පිටුවකින් සංස්කෘතිය කියවන්නට සැලැස්වීම කොයි තරම් ලොකු පිනක්ද..

      Delete
  5. සමහර මිනිස්සුන්ගෙ ආත්මාර්ථකාමීබව උපන්දා සිට මැරෙන කම්ම එක විදියයි......

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනම් පවසලා පලක් නැහැ සහෝදරයා.. මිනිස්සුන්ගේ ස්භාවයන් හරිම කලකිරවන සුළුයි..

      Delete
  6. හොද මිනිසුන් අතර ඔවැනි නොමිනිසුන්ද ඉන්නවා......................
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නොමිනිසුන් බහුතරයක් අතර හොඳ මිනිසුන් සුළුතරයක්.

      Delete
  7. මේ කොමෙන්ටුවත් ඒ යහපත් මිනිසුන්ට උපහාරයක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. අපිට කල හැකි දේ එපමණයි.. හදවතින්ම කෘතගුණ දැක්වීම පමණයි..

      Delete
  8. කියල වැඩක් නෑ බං අන්තිම හරියට එනකොට ඇස්වලට කඳුලු පිරුන.
    නොමිනිස්සු අතරෙ මනුස්සකම තියෙන මිනිස්සු කීප දෙනෙක් හරි තවමත් ඉන්නව.

    මගේ යාලුවෙකුත් ත්‍රී විල් එකක් වෑන් එකක හැපිල කකුල තුන් පොලකින් කැඩිල රත්නපුරේ අරගෙන ගියාම ඔහොම කකුල කපන්න ඕන කිවුව. ඒත් අද වෙනකොට ඌ යසට දෙපයින් ඇවිදගෙන යනව. දොස්තරලත් පොඩ්ඩක් හදිසි වෙන්නැතුව තීරණ ගන්නවනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. හැමදේටම මුල අපි කරපු කුසල් අකුසල් තමා බන්. කොතන වරදකින් හරි කකුලක් අතක් පයක් නැතිවෙන්නේ සංසාරේ කරපු අකුසල් නිසා..

      Delete