Monday, September 21, 2015

පෙරහැරේ ගිය ඩෙඩ් බොඩිය




සෙනසුරාද උදේ ඇහැරුනේ ඉවරයක් නැතුව දෙතුන් වතාවක් රිං වෙන ෆෝන් එකේ සද්දෙට. සුළු වෙලාවකට ප්‍රයෝජනයක් වෙන බහුතරයක් වෙලාවට මල කරදරයක් වෙන ෆෝන් එක රෑට ඕෆ් කරන්න අමතක උණු හැම නිවාඩු දවසකම උදේට ඇහැරුනේ ඔය මගුල රිං උනාම තමයි. සිකුරාදා හවස දේවාලේ පෙරහැර බලල රෑ වෙනකම් කට්ටිය එක්ක කයිය දාගෙන ඉඳල ගෙදර ඇවිත් නිදියනකොට හුඟක් රෑ උන නිසා ෆෝන් මගුල රිං වෙද්දී නින්දේ හොඳම හරිය.

CLI කියන අමතන්නා  හඳුනාගන්න පුළුවන් පහසුකමත් තිබ්බේ නැති නිසා කෝල් එකට හලෝ කියන්නේ නැතුව මොකාද කතාකරන්නේ කියල හොයාගන්නත් බැහැ . නිදිමරගාතේම ෆෝන් එක හොයාගෙන ඇස් දෙක අරින්නේ නැතුවම මම කෝල් එකට අන්සර් කරා..

හෙලෝ..

තෝ තාම නිදිද යකෝ.. අමතන්නා මගේ නිදි ස්වරය හඳුනාගෙන ඉවරයි..කටහන්ඩින්ම මේ අමතන්නේ බබා, නොහොත්, ලපයා නොහොත් අපේ ප්‍රසන්නයා .

රෑ පෙරහර බලන්න කට්ටිය කඩේට සෙට් වෙන්න හදන්නේ .. උඹ එනවා නේද..

හරි බන් ඒ රෑටනේ .. තාම මේ එලි උනා විතරනේ..

රෑට උනාට යකෝ බාර් වල බඩු ඉවර වෙන්න කලින් ගන්න ඕනනේ.. ඉක්මනට වරෙන් මේ පැත්තට.. ඔක්කොම ඇවිත් ඉන්නේ..

හරි බන් ටිකක් දවල් වෙලා එන්නම්..

තව මොනවා දවල් වෙන්නද බන්.. මෙන්න මෙහෙ වරෙන් ලෑස්ති වෙලා..

බීමට එතරම් එලෙව්වේ නැතත්, බිව්වත් නැතත් හැමදෙනාම එකතු වෙලා කරන වැඩක් නිසා සහභාගිත්වය අනිවාර්යයි. එකතුවෙන මුදල් ආධාර වලටත් සම සමව සම්මාදන් වීමද අනිවාර්යයි. කඳුලක් වත් රහමෙර කටේ නොතිබ්බත් අනික් එවුන්ටත් එක්කම බයිට් කන නිසා මුදල් ප්‍රතිපාදන එකතු කිරීමේදී අපේ එවුන් මාව කවදාවත් අමතක කරේ නැහැ. සෙට් වෙන්න යන සෙට් එකේ ප්‍රියතම බීම සංස්ථා ගල් අරක්කු බව දැනන් උන්නත්, ගල් මගේ උගුරෙන් පහලට යවන්න හරිම අමාරු උනත් බයිට් එකට අසාධාරණව වගකියන්න ඕන නිසා හනික නැගිටලා මුණ කට සෝදාගෙන වාහනේ නැගල ටවුම පැත්තට මමත් සේන්දු උනා.

හවස ක්‍රිකට් ගහන වෙලාවට ඇරුනාම නිවාඩුවක් තියන වෙලාවට අපේ කට්ටිය සෙට් උනේ අපේ එකෙකුට අයත් ටවුමේ පරණ පාරේ තිබ්බ කඩේකට. අද වෙද්දී සැලකිය යුතු ව්‍යාපාරික රාමුවක ඉන්න ප්‍රසිද්ද පුද්ගලයෙක් නිසා අපේ කඩ හිමියාගේ නම සඳහන් නොකර ඉන්න වෙනවා. ඒත් ඒ වෙද්දී මේ ව්‍යාපාරය කරගෙන ගියේ එපා වාහෙට හොදි බෙදන්න වගේ. උදේ අට වෙද්දී කඩේ ඇරියට දවස් කෑමට දොළහ වෙද්දී වාහන කඩේ නැවත ඇරියේ හවස තුනට විතර. මේ කඩේ විවුර්තව තියන හැම වෙලාවකම අපේ එවුන් සෙට් වෙන කඩේ කෙලවරේ තියන අඳුරු මුල්ලක තුන්  හතරදෙනෙක් වරදින්නෙම නැහැ. වල්  කථා , බලු කථා , මඩ ගැහිලි , ඕපාදූප, ඇතුළු මෙකී නොකී සියලුම හොඳ වැඩ සහ නරක වැඩ මේ කඩ මුල්ලේ සිද්ද උනා . පෙරහැර බලන්න සෙට් වෙන සෙට් එක සෙට් වෙන්න යන්නේ කඩේ ඇතුලේ. මම යද්දී සැලකිය යුතු මුදලක් එකතු වෙලා කට්ටියට කන බොන ජාති තීරණය වෙලා. අඩුවට තිබ්බේ මගේ මුදල සහ මගේ වාහනය පමණයි. සියල්ලන්ගේම ඒකමතික තීරණය අනුව බාර් එකෙන් ගත යුතු අමුද්‍රව්‍ය සියල්ලම මගේ වාහනයට පැටවුණා හවස කඩේ වාහන වෙලාවට කඩේ ඇතුලට බාන තීරණය උඩ .

අපේ මේ සෙට් වෙන්න යන කඩේ එකා නොහොත් අපේ බොක්කේ ෆිට් එක කාලෙන් කාලෙට එන රැල්ලට අසුවෙන ජාතියේ එකෙක් කිව්වොත් නිවැරදියි. ඇපල් කනවනම් ෆුඩ්  සිටිය දාපු  කාලෙ අපේ එකා කෑවේ  ෆුඩ් සිටියේ ඇපල් විතරයි. එකම රස එන එකම පෙනුමේ ඇපල් ෆුඩ් සිටි එකේ එක එක රටවල් වල නම් ගහල වික්ක නිසා අපේ එකා  කෑවේ එක එක රටවල ඇපල් . එහෙම වෙලාවට පුරසාරම් එමටයි. අපිටත් ඒ කාලේ නිතර අවවාද කරේ කනවනම් ෆුඩ් සිටි එකේ හොඳ ඇපල් කාපල්ලා කියලයි. ඒත් අපිටනම් ෆුඩ් සිටියේ තිබ්බ එංගලන්තේ ඇපල්වල සහ අපේ රන්ජියාගේ කඩේ වික්ක සාමාන්‍ය ඇපල් වල රසේ කිසිම වෙනසක් දැනුනේ නැහැ. ඉඳල හිටලා අපේ එකා විශේෂිත VIP ගනයේ යාළුවො එක්ක රහමෙර කටේ තිබ්බ දවසට අපේ එවුන් සුං . එදාට පුරසාරම් එමටයි. දවසගානේ එකට ඉන්න උන්ට වඩා  සතේ අතේ නැතුව පොඩි ෂෝ එකක් දාගෙන ජීවත්වෙන අනාතයෙක් උනත් අපේ එකාට VIP යාළුවො උනා.

උඹල වගේ ගල් අරක්කු බොන එවුන් නෙවෙයි බන් උන්.. 

උන් බොන්නේ සුදු අරක්කු. 

උන් බයිට් එකට කන්නේ ඇපල් යකෝ. එංගලන්තේ සුපිරි ඇපල් .

ඔන්න ඔහොමයි අපේ එකා වයිට් ඩයමන්ඩ් හරි වෙනත් මොකක් හෝ අවර්ණ මධුවිතක්  තොලගාපු දවසට හැමදාම එකට ඉන්න එවුන්ව බලු කරේ. උගේ රැලි වලට අහුවෙන ස්භාවය දන්නා අනික් උන් කවදාවත් ඔව්වට තර්ක කරන්න ගියේ නැත්තේ වයිට් ඩයමන්ඩ්, වොඩ්කා , වයිට් රම් වගේ දේවල්වල සහ ගමේ පෙරන කසිප්පු වල වෙනස වත් අපේ එකා නොදන්නා නිසා. කොටින්ම කියනවනම් අපේ එකා ලංකාවට එන ඕනෑම නව රැල්ලකට අසුවෙන සුළු පුද්ගලයෙක්.

දේවාලේ පෙරහැර කියන්නේ අම්බලන්ගොඩ ජනතාවට ටිකක් විශේෂිත වූ සංස්කෘතික අංගයක්. දීර්ඝ වූ ඉතිහාසයක් තියන අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ෂික පෙරහැර ලංකාවේ කෙරෙන පෙරහැරවල් වලින් ප්‍රධාන පෙලේ පෙරහරක්. සිකුරාදා හවස පවත්වන දවල් පෙරහරට අනතුරුව සෙනසුරාදා රාත්‍රී පෙරහරද පැවැත්වෙනවා. අලි ඇතුන් දහයකින් පමණ සමන්විත වෙන පෙරහැර අවම වශයෙන් කිලෝමීටර දෙකක් , තුනක් වත් දිගයි. මෝදර දේවාලයෙන්  පරණ පාරෙන් පිටත්වෙන පෙරහැර නැවත දේවාලයට ගෙවදුනේ ගාලු පාරෙන් ගිහින්. පෙරහැර පැවැත්වෙන දවසට ගාලු පාර රජයේ අවසර සහිතව අම්බලන්ගොඩ නගරයෙන් වසා දැමෙනවා. එම කාලයට ගාලු පාරේ අම්බලන්ගොඩ පසුකර යන වාහන බෙන්තරින් ඇල්පිටිය  දෙසට හැරෙව්වයින් පස්සේ බටපොල මීටියාගොඩ හරහා කහව හන්දියෙන් තමයි නැවත ගාලු පාරට අවතීරණ උනේ. 

විශේෂාංග රැසකින් සමන්විත වෙන පෙරහැර පටන් ගන්නා ආරම්භය ගාලු පාරෙන් ටවුම පසුකරන විට පෙරහරේ අවසානය පරණ පාරෙන් එම සීමාවම පසුකරමින් තිබීමට තරම් මේ පෙරහැර ඉතා දිගයි. පරණ පාරෙන් පෙරහැර බලන කෙනෙක් පෙරහැර බලල අවසන් වෙලා ගාලු පාර පැනල ගෙදර යන්න ඕනෙනම් ඒක ටිකක් දුෂ්කර වැඩක්. මොකද ලක්ස සංඛ්‍යාත ජනතාවක් නරඹන පෙරහැර හරහා ගාලු පාර පනින එක අමාරු වැඩක්. හුඟක් වෙලාවට පරණ පාරෙන් පෙරහැර බලපු උදවියට අකමැත්තෙන් උනත් ගාලු පාරෙනුත් පෙරහැර බලල තමයි ගෙවල්වල යන්න උනේ. සිංහල අවුරුද්දක් , මැතිවරණයක් වගේ විශේෂිත අවස්තාවලදී බාර් වල සියලුම මත්පැන් ජාති හවස් වෙද්දී ඉවරවෙනවා වගේ රෑ පෙරහැර දවසටත් බාර් හිස් වෙන්න අඳුර වටෙන්නම ඕන නැහැ. හැමදෙනාම කලින් ඇවිත් අවශ්‍ය මත්පැන් වර්ග ඇති වෙන්න ගෙවල් වල අරන් යනවා.

හවස හතහමාර වෙද්දී කට්ටියම කඩේට සෙට් වෙන්නයි සූදානම . දවල් ගතපු මාළු වර්ග, මස් වර්ග චයිනීස් එකකට දීල අවශ්‍ය විදිහට පිළියෙළ කරගත්තේ අපේ ප්‍රසා . රෑ අට , නමය වෙද්දී පරණ පාර බොහොම ජනාකීර්නයි.  පෙරහැර සමගාමීව පැවැත්වෙන  ගුවන්විදුලි සේවය නගරය පුරා යකඩ කටවල් වලින් ගුවන් ගත උනා. පෙරහැර එක්ක සිද්දවෙන මහා පරිමානයේ මාර්ග තදබදය ගැන අත්දැකීමෙන් දන්නා මම මගේ වාහනය ගාලුපාරෙන් ගොඩබිම පැත්තේ තියන අතුරු පාරක නවත්තල පා ගමනින් අපේ එකාගේ කඩේට වාර්තා කරා.

කඩේ නිකම් සැණකෙළියක් වගේ. නානාප්‍රකාර සොමි කතා හැමෝම. බොහොම හොර රහසේ කෙරෙන වැඩක් නිසා කඩේ වීදුරු දොර වහල යකඩ දොරවල් දෙකත් වසා දැමුනා. මධුවිතට පුරුදු එවුන් බහුතරයක් අතරේ නුහුරු නුපුරුදු එවුනුත් කිසිම බයක් හැකක් නැතුව ළඟ නවල උගුරෙන් පහලට යවන තාලයක් තමයි හැම තැනම තිබ්බේ. බොනවා කියල බහුතරයක් වෙලාවට මම කරේ ඕනෑම ජාතියක මධුවිතක් වීදුරුවේ තියාගෙන බඩ පැලෙන්න කාපු එක නිසා මමත් මගේ අරමුණ සාක්ෂාත් කරගන්න වෙහෙසුනා. බොන්නට උවමනා උනත් ගල් බීමේ ආදීනව දන්නා නිසා මම බිව්වේ කව්රුහරි එකෙක්

" මෙන්න මු හොර කොටනවා" 

කියල චෝදනා කරාම විතරයි. ඒ උනත්  මාළු ජාති , මස් ජාති වැල නොකැඩී උගුරෙන් පහලට ධාවනය උනා.

මේ අතරේ අපේ කඩේ අයිතිකාර මිත්‍රයාට වැඩේ අල්ලලා ගිහින්. මු ජීවිතේ පලවෙනි වතාවට තමයි මේ ගල් අරක්කු බොන්නේ. පාර්ටියට වීදුරු සැපයුනේ එක එකාගේ ගෙවල් වලින් බොහොම හොර රහසේ නිසා හැම එකාම අතට අහුවෙච්චි වීදුරු , කෝප්ප, අසෝක වීදුරු , මග් වගේ විවිදාකාර දේවල් තමයි ගෙනත් තිබ්බේ. කොටින්ම කියනවනම් එක එක ජාතියේ වීදුරු වර්ග. අපේ කඩේ එකා පොඩි වීදුරුවකින් පටන් ගත්තු බීම ටිකෙන් ටික මූව දොඩමලු කරා. දැන් මු අපිට මයික් එක දෙන්නෙම නැහැ. කොටින්ම කතාව ඉවරයක් නැහැ.

රෑ දහය එකොළහ වෙද්දී ඇත්තටම බීපු එවුන්ට හොඳට වැදිලා. හොර කොටපු එවුන්ට බොරුවට වෙරි. කඩේ හාදයට සුපිරියටම වෙරි. පුරසාරම් බොහොමයි.

ඒ උඹල කයිය ගහනවා බෝතල් ගණන් බොනවා කියල.. බලහන් උඹල ඔය පොඩි වීදුරුවේ අඩියට යන්තම් වක්කරල බොනකොට මම බොන විදිහ.. ඔන්න බලහන්..

තඩි අසෝක වීදුරුවකින් කට පෙත්තට අරක්කු පුරවගන්න අපේ කඩේ මිත්‍රයා එක උගුරට අරක්කු වීදුරුවම නීට් .........

 ගුඩුස්... ගුඩුස්... ගුඩුස්...

එක බලන් ඉන්න මට වෙරි වෙන්න බින්දුවක් වත් බොන්න ඕන නෑ .. ඒ බීම දැක්කත් වෙරි..

පාර්ටිය නැගල යනවා. ප්‍රසන්නයා බොන්ගෝ එකට තාලෙට තට්ටු කරද්දී කට්ටිය සින්දු කියනවා. ඒ අතරේ කඩේ එකා පුරසාරම් දොඩමින් වීදුරුව පිරෙන්න අරක්කු නීට් වක්කකරගෙන උඩට උස්සල චියර්ස් කියල 

ගුඩුස්.. ගුඩුස්.. ගුඩුස්..

පෙරහැර සමගාමී ගුවන්විදුලි සේවාවට පින්සිදුවෙන්න එලියට කිසිවක් ඇහෙන්නේ නැහැ..

ටික වෙලාවකින් පෙරහැර එන බව එළියේ එකෙක් දැනුම් දුන්නා. අපි එකා දෙන්නා පරණ පාර අද්දරට එකතු උනා.. කසකාරයෝ ටික ගිහින් ගිනිබෝල සෙල්ලම ආව විතරයි කඩේ ඇතුලේ ඉඳන් එලියට ආපු ජීවනයා  ඒ අසුභ ආරංචිය හැමටම සැලකලා .

අන්න අරු වමනේ දානවා බන්..

අපි බොහෝ දෙනෙක් ඒ ආරංචිය බලාගෙන හිටිය උනාට මේ තරම් ඉක්මනට එයි කියල බලාපොරොත්තු උනේ නැහැ.

පෙරහැර පැත්තක දාල කට්ටියම කඩේ ඇතුලට ආපහු එකතු උනා.. අපේ එකා දානව මුළු ස්කාගාර සංස්ථාවම . කඩේ විනාසයි. කඩේ කෙලවරේ මුල්ලේ ඉඳන් දාන වමනේ පාර මුහුදේ රල ගොඩට ඇදෙන ස්වරූපයෙන් කඩේ ප්‍රධාන දොර ළඟටම එන තරම්. දානව කියන්නේ එහෙම වමනේ දැමිල්ලක් . වමනේ දානවට අමතරව විකාර බයිලා කියවිල්ල ඉවරයක් නැහැ. දැන් මොන පෙරහැරක්ද අපිට. පෙරහැර  යනේ කඩේ ඇතුලේ වගේ. අපේ එවුන් කට්ටියක් අපේ එකාව අල්ලන් ඉන්නවා  පුටුවක වාඩි කරලා. අනික් උන් දෙපැත්තට වෙලා බලන් ඉන්නවා. වමනේ දානකොට දෙපැත්තේ ඉන්න උන් අහුවෙන අහුවෙන පුටු මේස වගේ උස ස්ථාන වලට නගිනවා. ප්‍රධාන දොර ආසන්නයේ ඉන්න උන් එලියට  දුවන්නේ මුහුදේ රළට බයේ වෙරළට දුවන පොඩි උන් වගේ. හරියටම සුනාමි අත්දැකීම වගේමයි. ඒ වෙද්දී අපි කව්රුත්  සුනාමි ගැන අහල නැති උනත් කඩේ ඇතුලේ පුංචි සුනාමියක්.

බඩේ තිබ්බ අන්තිම අරක්කු බිංදුවත් දාල ඉවර වෙද්දීත් පෙරහැර ගිහින් ඉවර නැහැ. දැන් අපිට තියන ප්‍රශ්නේ මුව කොහොමද ගෙදර යවන්නේ කියලා. මේ වෙරි මරගාතේ ගෙදර යැව්වොත් කට්ටියගෙම පටි රෝල් වෙනවා ඒකාන්තයි. 

හරි .. මම සුසිල් අයියගේ ගෙදර එක්ක යන්නම්.. හේමික වැඩේට ඉදිරිපත් උනා.

හෙමික ඒ වෙද්දී හිටියේ සිසිල් අයියගේ ගෙදර ඉස්සර කාමරේ නිසා කාටවත් චා නොවී වැඩේ ගොඩින් බේරගන්න තියන එකම ක්‍රමේ එච්චරයි. ඒ වෙද්දී අපේ එකා තනිකර ඩෙඩ් බොඩියක්. හුස්ම වැටෙනවා ඇරෙන්න මෙලෝ සිහි කල්පනාවක් නැහැ. අසෝක වීදුරුව පුරෝලා අරක්කු බීපු එකෙකුගේ හුස්ම වැටෙන එකත් පුදුමයක්.

පෙරහැර නිසා එළිවෙන්න පහ වෙනකම්වත් මගේ වාහනය කඩය තියන තැනට ගේන්න විදිහක් නැහැ. මාර්ග තදබදය ඉවරවෙන්න පෙරහැර දේවාලෙට යනකම්ම ඉන්න වෙනවාමයි. අවසානයේ අපි තීරණය කරා පෙරහරේ අවසන් කොටස ලං වෙද්දී අපේ එකාව අරගෙන පෙරහැර හරහා ගිහින් ඉක්මනින් සරසවි හන්දියෙන් ගාලු පාර පැනලා ස්ටේෂන් එකේ පාලම උඩින් ගිහින් රේල් පාර පනින්න. එතනට මගේ වාහනේ ගෙන්න පුළුවනි අමාරුවෙන් හරි. කඩේ පුරාම වමනේ දාපු නිසා පුටුවේ තියල අල්ලාගෙන ඉන්නවට ඇරෙන්න හාන්සි කරලා තියන්නවත් එක  වර්ග අඟලක් අතෑරලා නැහැ අපේ එකා. හැම වර්ග සෙන්ටිමීටරයකම වමනේ දාලා .

පෙරහැර පරණ පාරෙන් ඉවර උන ගමන් කඩේ වහපු අපි මළමිනියක් උස්සගෙන යන විදිහටම කනමදයව උස්සගෙන මාළු මාර්කට් හන්දියෙන්  සරසවි හන්දියට ඉගිල්ලුනා. අපි පරාදයි. පෙරහරේ ආරම්භය ඒ වෙද්දීත් සරසවි හන්දිය පහු කරලා. පාර තනිකර සෙනග ගොඩක්. අපි නැවතත් අපේ එකාව මළමිනිය වගේම උස්සගෙන මාළු මාර්කට් එක දිහාට ඇවිත් පෙරහැර පස්සෙන් පරණ පාර දිගේ කොළොඹ දිශාවට යන වාහන තදබදය අතරින් ගාලු පැත්තට යන්න පිටත් උනා. වෙලාව අලුයම දෙක , තුන වගේ නිසාත් , පෙරහැර ආලෝක කරන ලයිට් වාහන වලට ආවරණය වෙන නිසාත් හොඳටම දන්නා කෙනෙකුට ඇරෙන්න වෙනත් කෙනෙකුට අපිව අදුනන්න බැහැ . බොහොම වෙර වීරියෙන් අපේ එකාව මිනියක් වගේ උස්සගෙන අපි සෙලාන් හන්දියට ආවා. එත් අපේ අවාසනාවට පෙරහැර ඒ වෙද්දී සෙලාන් හන්දියත් පහු කරලා. ගාලු පාර පනින්න තියන අනිතිම අවස්ථාව රීගල් හන්දිය (දැන් දොළොස්මහේ රෙදි කඩේ තියන හන්දිය ) උනත් එතනටත් ට්‍රයි කරලා වැඩක් නැහැ. පෙරහැර ඒ වෙද්දීත් එතනත් පහු කරලා.

කන පැලෙන්න බීපු , වෙරි මතේ පිස්සු දොඩවන එකෙක් මල මිනියක් වගේ කරෙන් අරගෙන පෙරහැර හරහා ගාලුපාර පනිනවා කියන්නේ පොලිසියෙන් ගුටි කන්න වෙන වැඩක්. අම්බලන්ගොඩ අවට සියලුම පොලිසි වල සාමාජිකයින් ගෙන්වා ආවරණය කරන පෙරහැරට පොලිසියෙන් ලොකු ආරක්ෂාවක් දෙනවා. පෙරහැර පැවැත්වෙන ප්‍රදේශයේ සෑම අඩි දහයකට, විස්සකටම දෙතුන් දෙනෙක් වෙන්න පොලිස් නිලධාරීන් යොදවල තියෙන නිසා අපේ එකා මල මිනියක් වගේ හතරදෙනෙක් කරේ තියාගෙන දෙනෝදාහක් ඉදිරියේ පෙරහැර මැදින් ගාලු පාර පනිනවා කියන්නේ පොලිසියෙන් කිතුල් පොලු පාර කන්න වෙන කටයුත්තක්.

දැන් කරන්නේ මොකක්ද කියල හිතාගන්න බැරුව අපි සියලු දෙනා ටික වෙලාවකට ගල් උනා. අපේ එකා ෂපාන් එකට මල මිනියක් වගේ වමනේ නාගෙන හතර දෙනෙකුගේ කරේ. පෙරහැර ගිහින් අවසන් වෙනකම් ඉන්නවනම් අඩුම පැයක්වත් මූව කරේ තියන් ඉන්න එක පාපයක් උනත් අපිට වෙන කරන්න දෙයක් නැහැ.

මෙන්න බොලේ මෙච්චර වෙලා මල මිනියක් වගේ හිටපු අපේ ගොන් වහන්සේ එක පාරටම වටේටම අමතන්න ගතපි සිහිය ඇවිත්. වටේ පිටේ ඉන්න මිනිස්සු පෙරහැර ගැන අවධානයෙන් හිටපු නිසා මෙතෙක් වෙලා බේබදු නාට්ටිය බලන්න මිනිස්සුන්ට නිනව්වක් තිබුනේ නැහැ. එත් අපේ එකාගේ අමතිල්ල ඇහිලා ටික ටික මිනිස්සු අපි දිහා හැරිලා බලන්න පටන් ගත්ත. පෙරහැර වෙලාව කියන්නේ ඇරියස් වෙච්ච වලි වලට තෝතැන්නක් නිසා පොලිසිය නිතර උන්නේ අවදියෙන්. තව වැඩි වෙලාවක් හිටියොත් පොලිසියට ඇලර්ට් වෙන නිසා අපි තීරණය කරා, මළමිනිය වගේ පන නැතුව උන්නත් කටට විතරක් පන ආපු අපේ එකාව උස්සගෙන පෙරහැර හරහා ගාලුපාර පනින්න. සෙනග අතරින් ඇදිල ගාලු පාර අයිනටම අපි හෙමි හෙමිහිට සේන්දු උනා. දැන් සියල්ල රෙඩී . ගුවන්ගතවෙන්න ධාවන පථයට ඇවිත් නවත්තල සිග්නල් එක ලැබෙනකම් ඉන්න ප්ලේන් එකක් වගේ අපේ එකා හතරදෙනෙකුගේ කරපිටින් ගාලුපාර පන්නන්න අපි ඉව ඇල්ලුවා. ඒ අතරෙත් අපේ එකාගේ වටේටම අමතිල්ල ඉවරයක් නැහැ. 

එකායි .. දෙකායි .. තුනායි .. 

අපි පෙරහැර හරහා අපේ එකාව උස්සගෙන දුවන්න ගත්තා.. පොලිස් විසිල් නාදය එක්ක ..

ඕයි .. ඔහොම නවතිනවා.. ඔහොම නවතිනවා..

කියාගෙන පොලිස් කාරයෝ දෙන්නෙක් එලෝගෙන ආවත් අපේ එවුන් අරූව කරේ තියන් සෙලාන් හන්දියෙන් ගාලුපාර පැනගත්තා .. මිනියක් කරේ තියාගෙන වගේ දුවගෙන එන රොත්ත දැකපු ගමන් පාර එහා පැත්තේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල අපිට පාර ඉඩ සලස්සල දුන්නා . පස්සෙන් එලවාගෙන ආපු පොලිස් මහත්තුරු දෙන්න නිසා අපි වැඩි පරෙස්සමට කියල අපේ එකාවත් කර තියාගෙන මහා පන්සල ගාවටම දුවලයි පස්ස බැලුවේ.

හනික වාහනේ අරන් ආපු මම අපේ රොක් ස්ටාර් වෙච්චි ගල් අරක්කු  මිත්‍රයාවත් අනෙක් එවුන්වත් දමාගෙන සුසිල් අයියගේ ගෙදරට ඉක්මනින් ධාවනය කරේ පන ගැහි ගැහි. මගේ කරුමෙට හරි ආයේ වමනේ පාරක් දැම්මොත් වාහනේ සුද්දකරන්න වෙන්නේ මට..

සුසිල් අයියලාගේ ගෙදරට වාහනේ දාන්න බැහැ . පාර අයිනෙන් නවත්තල අඩි 4 ක විතර පටු පාරකින් මීටර් දහයක් පහළොවක් ගියාම තමයි සුසිල් අයියගේ ගේ තිබ්බේ. වෑන් එකෙන් බස්සල අහල පහල ගෙවල් වලට චාටර් නොවෙන්න හෙමිකයාගේ රූම් එකට අපේ එකාව දාල දොර වහගන්න එක තමයි ඊළඟ ගේම උනේ. බීමතේ  සිංහලෙන් අපිට අමතන අපේ හිතාදර මිත්‍රයා නැවතත් මල මිනියක් වගේ කරට ගන්න ගමන් උස එකෙක් අමාරුවෙන් අපේ එකාගේ කට මිරිකලා අල්ලගත්ත. 


පසුදා අපේ කට්ටියෙන් එක කණ්ඩායමක් අපේ එකාගේ වෙළඳ ස්ථානය සුද්ද පවිත්‍ර කරන්නට යෙදුන අතර තවත් පිරිසක් ප්‍රසන්නයාගේ මාමාගේ වෑන් රථයේ ආසන ගලවා මෙට්ටයක් දමා අපේ එකාව නිදිකරවාගෙන කෑගල්ල බලා ගියේ උගේ වෙළඳ ස්ථානයටම මාසිකව බඩු ගෙනඒමට එදිනට එම වෑන් රථය කලින්ම වෙන්කරවා තිබුණු නිසයි. දුකේදී පිහිටවූ හෙමිකයාගේ කාමරයේද අපේ එකා කබරයා දමා ඇත්තේ අපි සියලුදෙනාම අපේ එකාට බලෙන් අරක්කු පෙවූ බවට එළිවෙනතුරු චෝදනා කරමින්ලු.

නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන මේ සිද්ද්යට උක්ත මාගේ මිත්‍රයා කල කී දේවල් ගැන රස කතා බොහොමයක් මතකයේ ඇති අතර පසු කාලයක ලිවීමට බලාපොරොත්තු වෙමි.. ආරංචියේ හැටියට මේ දිනවල අපේ එකා අසුවී ඇති අලුත්ම රැල්ල බ්ලැක් ලේබල් රැල්ලක් බවට දේශීය ආරංචිමාර්ග පවසයි. 

එදා සුසිල් අයියගේ ගෙදරට හැකි තරම් අවම ශබ්දයෙන් මල මිනියක් වගේ උස්සගෙන යන අපේ එකාගේ කට මිරිකලා අල්ලාගෙන හිටපු එකාගේ අත බලෙන් එහාට කරලා ගමට ඇහෙන්න අපිට කෘතගුණ පළකරපු හැටි අද වගේ මතකයි..

ඒ බොල මොකද Xත්තො මට පෙව්වේ....

පින්තූර ගත්තේ මෙතනින්
http://www.clipartpanda.com/categories/drunk-clipart



30 comments:

  1. උඩේ පාන්දරම හිනා උනා බං... වටේ ඉන්න උන් මට පිස්සු කියලා දන්න නිසා හොදයි. මැවිලා පේනවා උඹලා ටික අරූව උස්සගෙන පාර පැනපු හැටි.

    ReplyDelete
    Replies
    1. උස්සගෙන දිව්වා නෙවෙයි බන් විද්දා ..

      Delete
  2. මරු මරු. හිනා කාලා මැරෙනව. ඔයවගේ බීපු වෙලාවට තමයි හොඳ හොඳ වැඩ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයං යන්න.උඹට ඇල්වතුර බීවිවත් වෙරි වෙනවා.

      Delete
    2. බීපු වෙලාවට අපේ එවුන්ට වෙච්ච දේවල් ඔක්කොම ලිව්වොත් මම ගමේ ගිහින් හමාරයි..

      Delete
  3. ඌවත් කරේ තියන් පෙරහැරේම නට නට ගියානම් වැඩේ ඉවරයි.......

    ReplyDelete
    Replies
    1. නට නට ගියා වගේ තමයි බන් දෙනෝ දාහක් මැද්දේ කිලෝමීටරයක් විතර ඌ උස්සන් ගියාම. රෑ නිසා ජාමේ බේරුනා.

      Delete
  4. Replies
    1. තව පට්ට කතා එමටයි . ඉදිරියේදී ලියන්නම්කො.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  5. /ඌවත් කරේ තියන් පෙරහැරේම නට නට ගියානම් වැඩේ ඉවරයි......./

    එහෙම උනානං අර මිනින්දෝරු කෝලම වගේ, ‘බේබදු කෝලම‘ කියල අලුත් පෙරහැර අංගයක් හඳුන්වාදීමේ ගෞරවය ලබන්නත් තිබුණා...

    ReplyDelete
    Replies
    1. බේබදු කෝලම .. ඒ නමත් නරක නැහැ අපේ එකාට දාන්න.. මේ පොස්ට් එකට නම දාන්න තිබ්බේ බේබදු කොලම කියල නේන්නම්.. ශික් .. මට ඒක ඔලුව්ටා ආවේ නැහැනේ ..

      Delete
  6. Replies
    1. පොඩි එව්වට අමතරව අසෝක වීදුරුවෙන් දෙකක් පුරෝලා බිවාම ඉතින් එතනම බෝතලේකට වැඩියි.. අපේ එකාට හොඳ සිහිය එන්න දවස් දෙකක් විතර ගියා ..

      Delete
  7. හෙහ් හෙහ්, මරු සීන් එක..

    ReplyDelete
    Replies
    1. මරු නේන්නම්.. අපි එකෙක්වත් මාසයක් විතර අපේ එකාගේ අම්මට මුනට මුලිච්චි වෙන්න ගියේ නැහැ වැඩි පරෙස්සමට කියල. මීට වඩා සුපිරි සීන් දෙකක් තියනවා ඌටම වෙච්ච. එකක් මදන මෝදක කතාවක්.. අනික් එක මල් හෙවත් සූස්ති සීන් එකක්. පසුව ලියන්නම්කෝ.

      Delete
  8. ළඟදීම අම්බලන්ගොඩ කථා ලියන මා මිතුරාගේ කතාද මෙහිදී කියවීමට හැකිවේවා. ලොකුම දේ තියෙන්නේ මා මිතුරාට මෙන් අපහට ලිවීම ට ඇති අපහසුව නිසා බව මතක තබා ගන්න.

    ReplyDelete
    Replies
    1. බොල ඉගෙනගත්තු ඉස්කෝලෙම තමයි බන් මාත් ඉගෙනගත්තේ. ඒ හින්ද මට පුළුවන් වෙන්නයි උඹට බැරි වෙන්නයි හේතුවක් නැහැ. උත්සහ කරලා බලහන්. මේ පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් දැම්මට ස්තුතියි .

      Delete
  9. යකඩෝ....නීල්ලම්මර බේබද්දෙක්ටවත් අසෝක වීදුරු දෙකක් නීට් ගහන්න බැහැනෙ බොල...මේක මාර බඩුවක් නේ

    ReplyDelete
    Replies
    1. නොමැරී බේරුනා ඇති නේද.. අපේ එකා කවදත් කෑමට බීමට බ්‍රේක් නෑ . තව රස කතා එමටයි මු ගැන. පසුව ලියන්න හිතන් ඉන්නවා.

      Delete
    2. අපෙ එකෙක් හිටියාදාවුරුදු 17දිම ගල් බෝතලයක් අමුවෙන්ම ගහලා ජොයින්ට් එකකුත් ඇදලා ගානක්වත් නැතුව ඉන්න එකෙක්. අඩුම තරමෙ වැනෙන්නෙවත් නෑ. ඌ නම් පදම් වෙලාද කොහෙද.

      Delete
  10. ගල් අරක්කු රටේ සංස්කෘතියට හා සිංහල භාෂාවේ උන්නතියට කරන අති උත්කෘශ්ට සේවය මේ කථාවෙන් පැහැදිලි වෙනවා. හික්ස්

    ReplyDelete
    Replies
    1. මසුරං කතාව..සිංහල භාෂාව සහ ගල් අරක්කු අතර සම්භන්ධය ගැන නිසි ඇගයීමක් මෙතෙක් සිද්ද උනේ නැතුවා නේන්නම් .

      Delete
  11. පැය 3-4 පනින සමාජ පානයකදි ඔහොම ඇණයක් සෙට් වෙනවා තමා. සමහර උන් බොන්නෙ අරක්කු කියන ජාතිය හෙට ලෝකෙන් තුරන් වෙයි කියලා හිතාගෙන. පෙරේතකමට බීපු එකාගෙ ගෙවල්වල උන් කට මැදගෙන ඉන්නෙ කියන්න ‘පෙව්වා‘ කියලා. මේකා ඊටත් හපන්!

    ReplyDelete
    Replies
    1. දාපු සල්ලි ගානට හරියන්න බොන එවුනුත් ඉන්නවා බන්.. ගෙවල්වල එවුන් ඉතින් හැමදාම බනින්නේ යාලුවන්ට නේන්නම්.. මේකා ගැන රස කථා එමටයි.. පසුව ලියන්න අදහස් කරගෙන ඉන්නවා.

      Delete
  12. බොන එකෙක් නොවුනම බේබද්දො අතර ඉදන් මේ වගේ කතා කියන්න ලැබෙක එක තරං සනීපයක් කොයින්ද
    කියනව නං කතා එමටයි දෙය්යනේ කියල ඒ වගේ කතා කියල මට පොල්ගහවෙලට අඩියක් වත් තියන්න වෙන්නෑ හැක්
    බලන්නං දවසක මාත් එකක් දෙකක් කොටල දාන්න
    මරු ඈ හැබැයි කණ පැලෙන්න බීල බීල උගෙ කටිංම පෙව්ව කියල අහගන්න තරං අපේ උං නං වාසනාවන්ත වෙලා නැ
    ආයෙත් එන්නංකො
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. හුදීජන පහන් සංවේගය පිණිස ලියල දාන්න . බඩ පුරෝලා කන්න වෙන්නේ පස්සෙනේ. මටනම් දැනටම දුරකතනයෙන් තර්ජන .. හැක් .. හැක් ..

      Delete
  13. මේකනං නියම කතාව ‍බොල. අම්මප උඹලට තිබුණෙ අරූවත් උස්සගෙන පෙරහැරටම එන්ටර් වෙන්න. ඔය කාවඩි හරියෙන් සෙට් උනානං හරියනව.
    //ගල් බීමේ ආදීනව// එහෙම දෙයක් නැත. හැක්..

    බ්ලැක් ලේබල් කියල අර IDL එකෙන් ගහන එකකුත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. අමරණීය වෙනවා කිව්වත් මටනම් ගල් නම් එපෝ.. බොලා ඉතින් ගල් බලකායේ නෙව ..

      Delete
  14. මැස්සකට තියල බැඳලා බලියක් වගේ පෙරහරේ දැක්කුව නම් හරි :)

    ReplyDelete