Sunday, January 17, 2016

බස්සෙක් සහ වස්සෙක්..




ලියන්නට යෙදෙන සිදුවීම් සමුදාය පාදක වෙන්නේ එක්දහස් නවසිය අනූ අට කාලයට කියලයි මගේ භාගෙට පිච්චිච්ච මතක චිප් එක කියන්නේ. මේ කියන කාලේ මගේ පලවෙනි රැකියාව කරපු කාලය. මම වැඩකරපු කොම්පැනිය විසින් ආනයනනය කරන සියලු වෛද්‍ය උපකරණ රජයේ රෝහල්වල, පුද්ගලික රෝහල්වල, පුද්ගලික වෛද්‍ය සායන වල සවිකිරීම, සේවා කිරීම, අලුත්වැඩියා කිරීම කියන කටයුතු වෙනුවෙන් හිටපු විදෙස් පුහුණුව ලද චීෆ් ටෙක්නිශියන් නොහොත් ප්‍රධාන කාර්මික තැන තමයි මම.  

මේ කියන කාලය අපේ කොම්පැනියට ටිකක් විතර කාර්යබහුල කාල වකවානුවක් උනේ රජයෙන් සංවිධානය කරපු සුව උදාන වැඩසටහන වෙනුවෙන් සපයන්න භාරගතපු යන්ත්‍ර සූත්‍ර ලහි ලහියේ රට පුරා ස්ථාපිත කරන්න සියලු දෙනා සතිය පුරාම මහන්සියෙන් වැඩකරපු නිසා. මේ කියන කාලය කොයිතරම් කාර්යබහුලද කියනවනම් මට තිබ්බ වැඩ අධිකවීම නිසාවෙන් සහ හිටපු අනික් කාර්මිකයින් නිසි පුහුණුව නොලබපු උදවිය නිසාත් ඉන්දියාවෙන් පුහුණු කාර්මිකයින් දෙදෙනෙක් ගෙන්නගන්නත් අපේ කොම්පැනියට සිද්ද උනා. 

මාසයේ එක සතියක් කොළඹ කේන්ද්‍ර කරගෙන උදේ ගිහින් වැඩ කරලා හවස එන්න පුළුවන් දුර ප්‍රමාන වල තියන ජොබ්ස් කරගෙන යනවා වගේම ඊළඟ සතිය අනුරාධපුර කේන්ද්‍ර කරගෙන කරගෙන තමයි වැඩ කරන්නේ. ඉතුරු සති දෙකෙන් තවත් සතියක් බදුල්ල කේන්ද්‍ර කරගෙන රැකියාවේ නියැලෙන මම අනෙක් සතිය නැගෙනහිර පළාතේ නවතින්න පුළුවන් ගෙස්ට් හවුස් එකක් හරි දන්නා කියන වෛද්යතුමෙකුගේ නිල නිවාසයක් හරි කේන්ද්‍ර කරගෙන තමයි ඇවිදින්නෙ. මීට අමතරව ලැබෙන හදිසි ඇමතුම් වෙනුවෙන් ලංකාව පුරාම රාජකාරි සඳහා වාර්තා කෙරීම සිදුවෙන්නේ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන උපදෙස් අනුවයි.

අපේ කොම්පැනියට වාහන තිබ්බත් රියදුරු තනතුරු සඳහා ප්‍රතිපාදන ලැබුනේ බොහොම අඩුවෙන්. ඒ නිසා රියදුරු ඇතිව සහ නැතිව රැකියාවට වාර්තා කිරීම සිදුවුනත් රාජකාරියේ ස්භාවය අනුව බස් රථයෙන්, දුම්රියෙන්, රැකියාව සඳහා යන්න වෙන එක මට සාමාන්‍ය දෙයක්. යන ඕනෑම ක්‍රමයකට ආයතනයෙන් මට ගෙවන නිසා යන්නේ මොකේද කියන එක මට අදාළ උනේම නැහැ. මම යන රාජකාරිය තනියම කරන්න බැරි එකක්නම් රාජකාරිය වෙනුවෙන් සහයට දන්නා කියන මිත්‍රයෙක් අරගෙන යන්නත් ආයතනයෙන් ප්‍රතිපාදන සැපයුනා. එහෙම ගියපු වතාවක සිද්දියක් තමා හෙළුවෙන් දුවගොස් ආපසු ඒම  පොස්ට් එකට පාදක උනේ.

අපේ කොම්පැනිය අයිතිකාර ලොක්කා රටේ නමගිය ප්‍රසිද්ද ප්‍රභූවරයෙක් නිසා රියදුරෙක් ඕනවෙන වෙලාවට මරදාන පැත්තේ පඳුරකට පයින් ගැහුවත් රියදුරන් විස්සක් විසිපහක් හොයාගන්න එක සිම්පල් වැඩක් වෙච්චි. ඒ හින්ද මේ කියන කාලෙට සාපේක්ෂව අපේ නිල රථයේ රියදුරු හැටියට කටයුතු කරේ ලොක්කගේ පුද්ගලික හිතවතෙක් නොහොත් වේදිකා නාට්‍ය ක්ෂේස්ත්‍රයේ ටිකක් විතර ප්‍රසිද්ද කෙනෙක්. ඇඟ පුරාම මොලේ තියන වර්ගයේ එකේ වෙච්චි අපේ රියදුරා රිය පදවන ලීලාවෙන් වැඩි හරියක් කරේ අපි කරන කියනාවූ දේවල් සියල්ලම අකුරක් නෑර ලොක්කාට වාර්තා කිරීමේ රාජකාරිය තමයි. ලොක්ක කිව්වොත් එක පාරක් පිටකොටු ගිහින් වර කියල මූ දෙපාරක් පිටකොටු ගිහින් එන වර්ගයේ මොඩල් එකක් කිව්වොත් තමයි නිවැරදි. 

කයිවාරු ගහන්න උපන් හපන් එකෙක් වෙච්චි අපේ රියදුරා එතුමාගේ හැකියාවන් ගැන, දන්නා අඳුරන ලොකු ලොක්කෝ ගැන  කයිවාරු ගහන වෙලාවට උන්ද තරම් වැඩකාරයෙක් තුන් ලෝකෙම නැති තරම්. ලොක්කගේ පුද්ගලික හිතවත්තු හාවෝ කරලා වාහනේ නග්ගල එව්වනව කියල අපි දැනගෙන හිටියත් යාප්පුවෙන් වැඩේ ගැනීම අපේ මැනේජර් මහත්තයා අපිටත් කලින්ම උගන්නලා තියන නිසා වාහනේ රියදුරු අසුනට ලොක්ක නග්ගන හා පැටවුන්ට අපි පුළුවන් ඉහලම ගෞරවය දෙන්න කිසි වෙලාවක පසුභට උනේ නැත්තේ එව්වා අපේ අතින් පයින් යන එව්වා නොවෙන නිසාත් අපිත් ලොක්කගෙන්ම කබරගොයා තලගොයා කිරීමේ කලාව ඉගෙනගෙන තිබ්බ නිසාත්ම තමයි.

ඉතින් අයියෙ ඔයාට මේ තියන සුදුසුකම් වල හැටියට හොඳ ජොබ් එකක් කරගන්න තිබ්බනේ වෙන තැනක..

ජොබ් එකක් ඕනෑකමට කරන එකක් නෙවෙයි මල්ලි මේක.. මේ ලොක්කගෙ කීම අහක දාන්න බැරි නිසා උදව්වක් විදිහට මේ වාහනේ එලවනවා මිසක් මට එළියේ මැනේජර් පොස්ට් එකක් වගේ එක හොයාගන්න එක සිම්පල් මල්ලි.. 

ඒක මිසක්.. මම මේ බැලුව අයිය මේ තරම් ප්‍රසිද්ද මිනිස්සු අඳුරන කෙනෙක් වෙලත් මොකද මේ අපේ වාහනේ එලවන රස්සාව කරන්නේ කියල..

මේ දවස්වල රටේ ප්‍රශ්න එක්ක නාට්ටි එහෙමත් වැඩිය නැති නිසා මමත් ජොබ් එකක් හොයා හොයා තමයි මල්ලි ඉන්නේ..  ඒ අස්සේ තමයි ලොක්ක මේ උදව්ව ඉල්ලුවේ මගෙන්.. බෑ කියන්න බැහැනේ මල්ලි.. ලොක්ක රත්තරන් මනුස්සයනේ..

අනේ ඔව් අයියෙ.... හරි හොඳ මනුස්සයා.... 

ලොක්කා වනාහි කබරගොයාත් තලගොයා කරගෙන කන, තැටිය රත්වෙච්ච වෙලාවේ රොටි දෙතුන්සීයක් පුච්චගන්න, මැටි පූසෙක් ලව්වත් මියෝ අල්ලවන්න දක්ෂ, වඳුරන්ගෙන් බන අහල ජේතවනාරාමෙට ගල් ගහල ආපු,  බොහොම දුර දක්නා නුවන ඇති, වාසි පැත්ත කල් තියාම දක්නා නුවන ඇති, විනාඩියකට කලින් කිව්ව දෙයක් මම එහෙම කිව්වේ නැහැ කියන්න පුළුවන් දක්ෂතා ඇති, ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති සහ මෙකී නොකී ලෝකේ තියන කට්ට කයිරාටික කම් සියල්ලම දන්නා පොරක් යකෝ උඹ ලොක්කට අහුවෙලා ගොනා සේ නොකා නොබී වාහනේ එලවන මෝඩ වස්සෙක් කියල කියන්න ඕන උනත් ලොක්ක එවන කිසිම රියදුරෙකුට අපි කව්රුවත් එහෙම කිව්වේ නැහැ. 

මේ කියන රියදුරු තැන අපිට සුවිශේෂී වෙන්නේ කන්න ගියාමයි. උදේට කන්න වාඩිවුණ ගමන් අපේ ලොක්කගේ හා පැටියා නොහොත් අපේ රියදුරාගෙන් පිටවෙන්නේ මෙන්න මේ වගේ අවවාද..

මල්ලි... අපි උදේට තමයි හොඳටම කන්න ඕන... මොකද අපි දවසම වැඩ කරන්න ඕනනේ.. හොඳට උදේට කෑවෙ නැති උනොත් වැඩකරන්න අමාරු වෙනව..

එතකොට වේටර් අහනව " මොනාද සර් ගෙන්න ඕන.."

අපිට ගේන්න ඉඳි ආප්ප, පාන්, චිකන් කරී, මිරිස් මාළු වගේ එව්වා..

හොඳයි සර්..

වෙටරයා ගෙනත් තියන සේරෝම ජාති සුනාමියට ගියා වගේ වෙන්න කාල දාන අපේ රියදුරා නිකමටවත් හිතන්නේ නැහැ දවසේ වියදමට ලැබෙන සම්පූර්ණ මුදලම උදේට කන්න විතරක් වියදම් කරලා බැහැ කියල.. ඉතින් ඌ එක්ක රස්සාවට යන අපිට සිද්ද වෙනවා ඌ කන ප්‍රමාණය අඩු කරන්නේ නැති නිසා ඊට සාපේක්ෂව උදෑසන ආහාර වේලේ පිරිවැය අවම කරන්න බනිස් ගෙඩියකින් වගේ සෑහෙන්න.

දවල්ට කන්න ගියාමත් පෙර අවවාදයම ලැබෙනවා අඩුපාඩු නැතුවම..

මල්ලි.. අපි දවල්ට තමයි හොඳටම කන්න ඕන.. මොකද අපි තව පැය ගානක් වැඩකරන්න ඕනනේ.. 

ඒ සියලු අවවාද දීල මූ දවල්ට බිරියානි එකක් කුකුල් පළුවක් එක්ක එහෙම්පිටින්ම අමාශගත කරන නිසා අපිට සිද්දවෙනවා ඌට දානෙ දීල අය වැය බැලන්ස් කරන්න පොඩි දෙකින් සෑහීමකට පත්වෙන්න.

මම මේ රියදුරා එක්ක යන දවස්වලට මේ සියල්ලටම වාඩුව ගන්න බලන් ඉන්නේ රෑට. මොකද අපි සයිවර් කඩේකින් කෑවත් හිල්ටන් එකෙන් කෑවත් කොම්පැනියෙන් අපිට ගෙවන්නේ එක සමාන දයිනික දීමනාවක් නිසා දවසේ නවාතැන් සහ ආහාර වියදම ඒ ලැබෙන මුදලට සීමා කර නොගත්තොත් අපිට වෙන්නේ අපේ අතින් ගෙවන්නයි. මුගේ බඩජාරිකම නිසා උදේටත් දවල්ටත් යහමින් යමක් කන්න විදිහක් නැතිවෙන මම නම් රෑ වෙද්දී ඉන්නේ මූව බැදලා කන්න කේන්තියෙන්. ඒ මදිවට උගේ අරක්කු කාලත් යන්නේ දවසේ වියදමට.

ඔන්න රෑට කන්න වාඩි උනාමත් පෙර අවවාදයම ලැබෙනවා. හැබැයි රෑට කන්න කලින් කන්න යන කඩේට ගොඩවෙන්න ඉස්සෙල්ල කොහෙන් හරි බාර් එකකින් කාලක් සාක්කුවේ දාගන්නත් අමතක කරන්නේ නැහැ අපේ රියදුරු තැන. 

මල්ලි .. අපි රෑට තමයි හොඳටම කන්න ඕන..

ඒ මොකෝ අයියෙ..

ඇයි මල්ලි.. දැන් බලන්න.. අපි දවසම මහන්සි වෙලා ඉන්නේ.. ඉතින් උදේට වැඩ කරන්න ශක්තිය ලැබෙන්න නම් රෑට හොඳට කන්න ඕන.. (වට පිට බලා කාල කටේ තබා ගුඩුස්..ගුඩුස්.. ශබ්දයෙන් කාලෙන් භාගයක් ආමාශගත කරයි )

සර්ලා මොනාද කන්නේ..

ඔන්න ඔර්ඩර් කරන වැඩේදී අපේ රියදුරා ඉදිරියට පැන ප්‍රහාර එල්ලකරන්නේ දෙපාරක් හිතන්නේ නැතුව..

මට ගේන්න හොඳ චිකන් කොත්තුවයි, ලොකු කොකාකෝලා එකයි.. මේ මහත්තයටත් ඕන දේ අහල ගෙන්නකෝ..

ම්ම්ම්ම්ම්ම් ........ මම තව ටිකක් කල්පනා කරලා කියන්නම්කො... ඔය කොත්තුව දාල ගෙන්නකෝ..

හොඳයි සර් ..

වෙටරයා කෑම ගේන්න ගියාම දාහක් කයිවාරු කතා අහන ඉන්න වෙන එක සාමාන්‍ය දෙයක්.. ඔන්න වේටර් අපේ එකාගේ කොත්තුව අරන් ඇවිත් මෙසේ උඩින් තියල කොකාකෝල බෝතලෙත් තියනව..

සර්ට මොනාද ගේන්න ඕන..

ප්‍රයිඩ් රයිස් තියෙනවද...

ඔව් සර්..

එහෙනම් මට ගේන්න මික්ස් චෝප්සි රයිස් එකක්..

හරි සර්..

තුන් වෙලේම පෝෂණය අපිට ලැබෙන්න ඕන විදිහ ගැන දහසක් අවවාද අනුසාසනා දීපු අපේ රියදුරු මහත්තයාගේ මූණ කජු ලෙල්ලක් වගේ වෙන්නේ නිකම්ම.. ඉන් පස්සේ කොත්තුව කාල ඉතුරු අරක්කු ටිකත් වටපිට බලල උගුරට හලාගන්න අපේ රියදුරු තුමා නැගිටලා එලියට යන්නේ මම චයිනීස් කන එක බලාගෙන ඉන්න බරීම නිසා.. ආයේ ඉතින් කාමරේට ඇවිත් නිදාගෙන උදේට ඇහැරෙනකල්ම ඉන්නේ කතා බහ නැත. 

එත් ඉතින් ඌ ඇඳට වැටිල කළුවර බුරුත ඉරන්න ගත්තාම තමයි උගේ බෙල්ල මිරිකලා හිරේ යන්න හිතෙන්නෙ. එළිවෙනකම් ඉතින් ඌ කොට ඉරන සද්දෙට කන් දීගෙන ඉන්නවා ඇරෙන්න මටනම් ඌ එක්ක නින්දක් ඇත්තෙම නැහැ. 

ඔය සනාගේ වික්‍රම පොස්ට් එකේ ඉන්න සනාත් වැඩකරේ අපේ කොම්පැනියේම නිසා වැඩි හරියක් මේ කියන රියදුරා එක්ක ඇවිද්දේ අපේ සනා. සනා රෑට රෑට බොන්න පුරුදු වෙච්චි මුල්ම හේතුව තමයි මේ කියන රියදුරා. රෑට නිදාගන්න විදිහක්ම නැති නිසා සනාට සිද්ද උනා ඌ එක්ක නිදාගැනීමේ ක්‍රමවේදය විදිහට රියදුරා කාලක් ගහනකොට සනා භාගයක් ගහල නිදාගන්න පුරුදු වෙන්න. 

මේ කියන රියදුරාගේ කෑමේ ස්භාවය නිසා මම විසින් ඌට දාපු නම උනේ කෑමරුවා කියලයි. මුනට නොකිව්වට අන්තිමේ අපි කව්රුත් අපේ රියදුරා නැති තැන හැඳින්නුවේ කෑමරුවා කියලයි.

ඔය විදිහට රැකියාව කරගෙන යද්දී ලොකුම ලොකු හදිසි අලුත්වැඩියා කටයුත්තකට මට කෑගල්ල රෝහලට යන්න උනේ සිකුරාදාවක උදේ පාන්දර. රාජකාරියේ ස්භාවය උඩ ගෝල තැනකුත් ඕනවෙන නිසා රියදුරා වශයෙන් ඉහත අඳුන්වල දීපු කෑමරුවාවත් යාප්පු කරගෙන අපි කෑගලු ගන්න පිටත් උනා. 

කෑගල්ලේ වැඩේ ගොඩ දාල අපි කෑගල්ලෙන් පිටත් වෙද්දී දවල් එක විතර වෙලා. කලින් පැහැදිලි කරපු විදිහටම පෝෂණය ගැන සුපුරුදු පාඩම මට උදෑසන ආහාරයටත් , දිවා ආහාරයටත් දෙකටම කන් පිරෙන්න අහගෙන ඉන්නනම් උනා. 

දවස සිකුරාදා වීමත්, මාසයේ අවසන් සතියේ දවස වීමත්, වැටුප් ලබෙන දිනය වීමත් එක්ක මේ කියන දවස සුවිශේෂී දවසක් නිසා රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න බලාගෙන ඔෆිස් එකට ආවාම තමයි මැනේජර් මට කිව්වේ ලොක්ක එන්න කිව්වා කියල. 

කොම්පැනියේ එකෙක්වත් හවස් අතේ ලොක්කගේ ගෙදරට නොයන්නේ හේතු දෙකක් නිසා. 
පලවෙනි එක ඒ වගේ වෙලාවල් වලදී ලොක්කා විසින් පවරන විනාඩි දහයේ පහළොවේ වැඩ ඉවර කරන්න පැය තුන හතරක් ගතවීමත් ඊට සමගාමීව ඉක්මනින් ගෙවල්වල යන්න තියන හවස කොච්චි ටික මගහැරීම. 

දෙවැනි හේතුව උනේ ඩ්‍රයිවින් පුළුවන් එකෙක් ලොක්කගේ බිරින්දෑට හසුවීම යනු, 
ඩ්‍රයිවින් සීට් එක පස්ස පැත්තට ඇලෙනකම් සහ ගස් නැගපු යක්කු ගස් වලින් බහින වෙලාව වෙනකම් ගෙවල් ගානේ වාහනේ එලවන්න වෙන නිසා. මේ හේතු දෙක නිසාම හවස් අතේ ලොක්කාගෙන් ඇමතුමක් ඔෆිස් එකට ලැබෙනවා කියන්නේ ඒ කෝල් එකට මැනේජර් උත්තර දෙනකොටම පිස්සු පූසා කාර්ටුන් එකේ සාජන් මහත්තයා දකින පූසන් සෙට් එක වගෙන් ඔෆිස් එකේ ඉන්න එවුන් ඔක්කොම හැරිච්ච හැරිච්ච අතේ මාරුවෙන්න හේතුවෙන කෝල් එකක්. මගේ ජීවිතේට හමුවෙච්චි සුපිරිම ගනයේ මැනේජර් කෙනෙක් වෙච්චි අපේ මැනේජර් මහතාත් අපිව ඒ වගේ මරාල වලින් ගලවගන්න ලොකු සේවයක් ඉෂ්ටකරපු කෙනෙක්. ඒ හින්ද දවසට කීප වතාවක්ම අපි වෙනුවෙන් හතරවෙනි සිල්පදේ කඩන්න අපේ මැනේජර් මහතාට සිද්දවුනා.

මේ කියන සතිය මම කොළඹ කේන්ද්‍ර කරගෙන රැකියාව කරන සතිය නිසාත්  හැමදාම හවසට රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන නිසාත් කොළඹින් පිට යනකොට ගෙනියන මගේ ඇඳුම් කඩමාලු ටික පුරවපු බෑග් එක අරන් එන්නේ නැහැ. ඒ නිසා මගේ ටූල්ස් ටික තියන බීෆ් කෙස් එකත් අරගෙන මාසික වේතනය නොහොත්, බඩ ගොස්තරය නොහොත්, පඩි පැකට් එකත් අරගෙන අපේ කෑමරුවා රියදුරා එක්කම ලොක්කගේ ගෙදර බලා පිටත් උනේ එහෙම්මම වාහනෙන්ම මරදාන ස්ටේෂමට දම්මගන්න බලාපොරොත්තුවෙන්.

ආ ඔයාල ආවද.. මට මේ දැන් අමාත්‍යංශෙන් කොල්ල එකක් ආව අර ඇටම්පිටියේ යුනිට් එක මේ සතියේ හයිකරලා නැහැ කියල..

ඒකෙ ඕපනින් එකට තව සති දෙකක් තියන නිසා ඒ වැඩේ ටිකක් කල් දැම්ම බොස්.. වැඩත් ටිකක් තද වෙලා තියෙන්නේ.. ඉන්දියන් දෙන්නව දුවවලත් වැඩ ටික වෙලාවට ගොඩ දාන්න අමාරුයි..

දැන් වැඩේ කියන්නේ ඕපනින් එක සඳුදට කරන්න එයාල තීරණය කරලා.. ඒ හින්ද අපි මේක හෙට දවස ඇතුලත කරන්න ඕනෙමයි..

ඉතින් බොස් අපි මේ වැඩ ප්ලෑන් කරේ එයාල දීපු දින එක්කනේ.. දැන් එයාල වැඩේ හදිසි කරා කියල අපේ වරදක් නෙවෙයිනේ ඒක..

එහෙම කියල බෑ .. අපි මේක කොහොමහරි හෙට කරන්න ඕන.. මේක නොකෙරුනොත් අපිට හොඳ නෑ..

හරි.. එහෙනම් මම හෙට උදේම යන්නම්.. යුනිට් එක ස්ටෝර්ස් වලින් ගන්නම් උදේට..

හරි එහෙනම් එහෙම කරන්න..

ඔන්න ඔය වෙලාවේ තමයි පින්වතුනි හැම දේටම මැදට පනින කෑමරුවා නොහොත් අපේ ලොක්කගේ හා පැටියා රියදුරා ආරාධනයකින් තොරවම කතාව මැද්දට පනින්නේ..

අපි එහෙනම් සර් දැම්ම පිටත් වෙන්නද.. මම ඉතින් බස්සා වගේනේ සර්.. මට ඉතින් වාහනේ එලවනවා කියන්නේ සිම්පල් වැඩක්..

ඒ කතාව ඇහුන ගමන් මගේ කොන්ඩේ කෙලින් වෙලා කන් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තේ මට වෙන්න යන දේ දැනුන නිසා..

ශා මරුනේ.. එහෙනම් ඔයාල දැම්ම පිටත් වෙන්න.. එතකොට වැඩේ ලේසියි.. රෑ වෙද්දී ඇටම්පිටියට යන්න පුලුවනිනේ.. අනික ඔයා එලවන නිසා (මගේ නම ) ට පුලුවනිනේ යන ගමන් ටිකක් නිදාගෙන ගිහින් උදේම වැඩේ පටන් ගන්න.. එහෙනම් ස්ටෝර්ස් වහන්න කලින් ගේට් පාස් එක ලියාගෙන ගිහින් බඩු ටික දාගෙන පරෙස්සමෙන් පිටත් වෙන්නකෝ.. ඔයාල ඔෆිස් එකට යනකොට මම ගේට් පාස් එකයි ඩීසල් සල්ලියි හදල තියන්න කියල කෝල් කරලා මනේජර්ට කියන්නම්.. 

හා සර්.. මම පැය පහෙන් යන්නම් ඇටම්පිටියට .. ඔය පාරවල් මට සිම්පල්..

මේ වගේ මිනිස්සු තමයි කොම්පැනි වලට ඉන්න ඕන.. ඔයා ලොකු උදව්වක් මේ වෙලාවේ අපිට කරන්නේ..

ඕක සුළු දෙයක් සර්.. මම ඉතින් බස්සා වගේ තමයි.. සර්ට නොකරන උදව් කාට කරන්නද සර්..

නඩුත් හාන්දුරුවන්ගේ බඩුත් හාන්දුරුවන්ගේ නිසාත් සාක්කියටත් එකෙක් පැනලම දීපු නිසාත් මට කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. එහෙමම ඇවිත් වාහනේට නැග්ගේ අපේ රියදුරාගේත් ලොක්කගේත් මවු දෙමව්පියන්ට සුගතියටම වඩින්න ලැබේවා කියල හිතල පින් දෙන ගමන්.

අවශ්‍ය දේවල් ඔක්කොම දාගෙන කොළඹින් පිටත් වෙද්දී හවස පහ පහු උනා කියමුකෝ.. සිකුරාදා හවස හයිලෙවල් පාරෙ ට්‍රැෆික් එකත් හරි චුට්ටයි නිසා අවිස්සාවේල්ලට යද්දිත් රෑ අටහමාර පහුයි. බඩු පටවපු තැනින් ගමන පිටත් උන ගමන් වාහනේ සීට් එක දිගෑරගෙන නින්දට වැටිච්ච මට ඇහැරෙද්දි අපි අවිස්සාවේල්ලෙ. නින්දෙන් ඇහැරිලත් මම කල්පනා කරේ මූව උයල කනවද බැදලා කනවද කියන එක. රත්නපුර හරියෙන් දයිනික කාලේ බෝතලෙත් සාක්කුවේ දාගෙන වාහනේ එලවන අපේ කෑමරුවා රියදුරා බලන්ගොඩ හරියේදී මහා රෑ කඩේකින් තැඹිලි ගෙඩියක් බොනකොට මට තේරුනා ඌ කරගත්තු ගොන්කම ඌ ලෙසටම විඳවන විත්තිය. එත් වාහනේ නවත්තුවාම හොරෙන් ඇහැ ඇරලා බලනවා ඇරෙන්න මම ඉන්නේ තනිකරම හොර නින්දක.

කඩින් කඩ වැටෙන වැස්සත්, මීදුමත් නිසා හපුතලේ  හරියට එද්දී සෑහෙන්න රෑ වෙලා. අයිනකින් වාහනේ නවත්තපු, මම  බස්සෙක් වගේ කියපු එකා මෙන් මගෙන් අහනවා..

මල්ලි...

(මම නිදි.  හොර නින්ද අහරවන්වා බොරු)

මල්ලි පොඩ්ඩක්  නැගිටින්නකෝ..

හ්ම්.. (එහෙම කිව්වෙත් නින්දෙන් වගේ)

මල්ලි පොඩ්ඩක් නැගිටින්නකෝ...

(ඔන්න මම නිදිමතේ වගේ ඇහැරුනා)

ඇයි.. මොකද..

පොඩ්ඩක් එලවන්න පුලුවන්ද මල්ලි.. මට මාර නිදිමතයි..

පිස්සුද බන් අයියෙ.. මට මේ උණ ගන්න වගේ.. මාව වෙව්ලනවත් එක්ක.. 

දැන් මොකද මල්ලි කරන්නේ.. මට හරිම අමාරුයිනේ..

දැන් ඔයා ලොක්කට කිව්වනේ ඔයා බස්සෙක්ද මා වවුලෙක්ද මොකෙද්ද වගේ කියල.. ඉතින් ඒ විදිහට එලෝගෙන යන්නකෝ.. මට නම් බෑ එලවන්න..

අපි කොහෙහරි රූම් එකක් අරගෙන නවතිමුද මල්ලි..

ඔයා ගෙවනවනම් නවතිමු.. මේ ජොබ් එක වන් ඩේ ජොබ් එකක්.. ඒ හින්ද නයිට් අවුට් වැටෙන්නේ නැහැ.. මීල්ස් විතරයි.. ඔයා රූම් එකකට ගෙවනවනම් කැමති ගෙස්ට් හවුස් එකකට වාහනේ අල්ලන්න.. නො ප්‍රොබ්ලම්..

ඒකත් එහෙමද.. එහෙනම් අපි හෙමින් හෙමින් යමු මල්ලි..

ඔයාගේ කැමැත්තක්.. ඇටම්පිටියට ගියාම මාව ඇහැරවනකෝ..

මම ආයෙත් දිගෑරපු සීට් එකේ වම්පත්තේ ඇලයට හැරිලා හොර නින්දට වැටුනේ තෝ ඕන මගුලක් කරගනින් කියල කටින් කියන්න බැරි හින්දමයි. තුවායක් දත් බුරුසුවක්වත් අඩුම තරමේ නැතුව මේ වගේ ගමනක් යන්න උනේ මුගේ තියන පණ්ඩිතකම නිසා. වාහනේ එලොගෙන බැරිනම් දක්කාගෙන හරි යන්න පුළුවන් විදිහකට පල කියන අදහස විතරයි මගේ හිතේ තිබ්බේ.

අපේ මා වවුලා හෙවත් බස්සා රියදුරා වතුර බොනවා, ඔලුව හෝදනවා, වාහනෙන් බැහැල සීතලේ ඇවිදිනවා, හුඟ වෙලාවකට කලින් බීල ඉවර කරපු කාලේ බෝතලේ කට උඩින් තියල හොලවනවා වගේ විකාර වැඩ කෝටියයි. අවසානයේ අපි ඇටම්පිටියට එද්දී අලුයම හතරයි තිහයි. යන්ත්‍රය හයිකරන්න තිබුනේ ඇටම්පිටිය රෝහලේ නිසා ඉස්පිරිතාල මිදුලේ වාහනේ දාගෙන ඉතුරු ටික කාලය නිදාගන්න අපිට සිද්දවුනා. ඒ සීතලේ කුමන නින්දක්ද. උදේ ගෙදරින් ඇඳන් ආපු ඇඳුම පිටින් දවස් දෙකක් ගතකරන්න වෙච්චි කේන්තියට ඌ මැරුවත් මගේ හිතට මදි. 

ඇටම්පිටියේ සුමිහිරි සීතලේ වාහනයක් ඇතුලේ ගතකරපු පැය එකහමාරකින් පස්සේ මම අපේ බකුසු රියදුරා හැරෙව්වේ මේ මගුල හැකි ඉක්මනින් හයි කරලා කොළඹ යන්න ඕන නිසා. 

මේ කියන බකුසු තුමා උදේට ලකලැහැස්තිති වෙන්න පැයක් එකහමාරක් ගතකරන සැන් පවුඩර් ලොරියක් විතර නාන මොඩල් එකක්.  

දැන් කොහෙන්ද මුණ කට සොදාගන්නේ..

අපි ටිකක් පහලට යමු මල්ලි.. පහල තියන පීල්ලකින් හොඳට ඇඟපත සෝදගත්තාම මල්ලිට ෆ්‍රෙෂ් පිට වැඩේ කරතැකි..

දැන් කෝ තුවායක්, දත් බුරුසුවක්වත් නැහැනේ..

ඒකනම් එහෙම තමයි මල්ලි.. ඔය කඩේකින් බුරුසුවක් සබන් කෑල්ලක් ගමු..

හ්ම්..

බකුසු උන්නැහේ හෙමින් සීරුවට වැලිමඩ පැත්තට ඇදුන වාහනේ නැවැත්තුවේ ලස්සනට ගලා බහින දියපාරක් අයිනේ..

මල්ලි..මට මාර කක්කුසි බරක් තියෙනව මල්ලි.. මම මෙතනින් බහින්නම්.. මල්ලි සබන් කෑල්ලකුයි දත් බුරුසු දෙකකුයි අරන් එන්න.. අදට විතරනේ මල්ලි.. තුවායක් ඕන නෑ.. අපි හොඳ සීත වතුර ටිකකින් ඇඟ හෝදගෙන කොහෙට හරි ගිහින් හොඳට කාලා වැඩේ පටන්ගමු.. ඊයේ රෑට කෑවෙත් නැහැනේ මල්ලි..

හා එහෙනම්..

බකුසු රියදුරා වාහනේ බැහැල කලිසමයි කමිසෙයි ගලවල වාහනේ ඇතුලට විසික් කරලා යට ඇඳුම පිටින් දිය පාර වැටෙන බඩවැටිය අතරින් නොපෙනී ගියේ උදෑසන අඳුරත් කපාගෙන. ඒ වෙද්දී ඇටම්පිටියට ඉර උදාවෙලා තිබ්බේ නැති උනාට ඈතින් අරුනලු නගීගන එන බව කිව්වේ එලිය වැටීගෙන එන ලස්සන ආකාසෙ.

මමත් හෙමින් සීරුවට වැලිමඩ පැත්තට එද්දී තිබ්බ පලවෙනි කඩේ වාහනේ නවත්තල ඕන කරන දේවල් ටික ගන්නයි ලැහැස්ති උනේ..

මොනාද මහත්තයෝ ඕන..

මට දෙන්න මුදලාලි දත් බුරුසු දෙකයි.. සබන් කෑල්ලයි.. දත් බෙහෙත් පොඩි ටියුබ් එකකුයි..

ආ මෙන්න මහත්තය.. මහත්තය මේ පළාතේ කෙනෙක් නෙවෙයි වගේ..

නෑ මුදලාලි.. මේ ඉස්පිරිතාලේ වැඩකට අපි කොළඹින් ආවේ.. ආ මෙන්න සල්ලි..

අනේ මහත්තයෝ .. දාහක් මාරුකරන්න නැහැනේ..

ඉතින් මුදලාලි මා ගාව වෙන සතයක්වත් මාරු නැහැනේ..

අනේ මහත්තයෝ අපි හරි අහිංසක දුප්පත් මිනිස්සු නෙව.. මේ දවස්වල නාදුනන කෙනක් ගේන රුපියල් දාහක් මාරුකරන්න බැහැ මහත්තයෝ.. හැමතැනම හොර සල්ලි ..

දැන් මොකද මුදලාලි කරන්නේ.. මාගවත් මාරු නැහැනේ..

උදේ පාන්දර බිස්නස් එක උනාට කමක් නැහැ මහත්තයෝ..බඩු ටික මම ආපහු ගන්නම්.. පහල කඩෙන් බලන්නකෝ.. 

ඔයාකාරයෙන් ඔය කතන්දරේම අහන්න උණ කඩ ප්‍රමාණය දැන් මතක නැහැ. ඒ කාලයට සාපේක්ෂව තිබ්බ හොර සල්ලි ප්‍රශ්නයක් නිසා එක කඩයකින්වත් මගෙන් රුපියල් දාහක් ගන්න එක තරයේ ප්‍රතික්ෂේප වුනා. ඒකට හේතුව උනේ මාගේ අවංකභාවය වෙනුවෙන් සිකුරාදා ලැබුන පඩි පැකට් එකේ තිබ්බ ඔක්කොම දාහේ කොළ මම මුදලාලිලාට පෙන්වීම. මගේ අවන්කභාවයට ලැබුන උත්තරය උනේ උදේ පාන්දර බිස්නස් එක මස්තබාදු කරන්නේ නැතුව පොලිසියට කෝල් කරන්නද නැත්තම් යනවද කියල තර්ජනය කරලා සමහරක් කඩ කාරයින් විසින් මාව එලවා දැමීම. 

කොහෙවත් යන හොර සල්ලි කතාවක් ඇඟේ දාගෙන පොලීසි යනවට වඩා වැලිමඩට  ගිහින් බඩු ටික ගේන එක ලේසි නිසා අන්තිමේ මට සිද්දවුනා වැලිමඩට ඇවිත් වාහනේට තෙල් ටිකක් ගහල සල්ලි මාරු කරගෙන ඕන කරන දත් බුරුසු, දත් බෙහෙත්, සබන් අරගෙන ආයෙත් ඇටම්පිටි යන්න. ඇත්තටම කියනවනම් මට අමතක උනා බකුසු රියදුරා යට ඇඳුම පිටින් නේද කියන එක. 

බකුසු රියදුරා දියපාර ලඟින් බස්සල පැය දෙකකට විතර පස්සේ තමයි අන්තිමේ මම බකුසු රියදුරා ඉන්න තැනට ආවේ කියමුකෝ. අප්පච්චියේ එතන තිබ්බ සිරියාව. මුළු ගමම එතන කියහන්කෝ. ගෑනු නානවා. පොඩි එවුන් නාවනවා. මෝටර් සයිකල් හෝදනවා. ඩෙලික වෑන් හෝදනවා, එළවලු හෝදනවා එක යුද්දයයි. ඒ කියන්නේ එතන සෑහෙන ප්‍රසිද්ද නාන තොටුපොළක්. 

මුකුත් නොදන්නා ගානට මමත් වාහනේ අයිනෙන් නවත්තල නාන තොටුපොළේ ටිකක් විපරම් කරලා බැලුව අපේ එකා උගේ අලංකෘත යට ඇඳුම සහ තඩි බඩ ගෙඩිය සහිත වාමන මොඩල් දේහය ප්‍රදර්ශනය කරමින් නානා හිටපු කාන්තා පාර්ශව අමන්දානන්දයට පත්කරගෙන දිය කෙලිනවා වත්දෝ කියල. මුණ පුරා රැවුල වවාගෙන යට ඇඳුමක් ඇඳන් කිසිම මුලාශ්‍රයක්, ඒ කිවේ ආපු වාහනයක්, ඊට උඩින් ඇඳන් හිටපු ඇඳුමක්, හැඳුනුම්පතක් නැතුවම ගමේ නාන තොටේ එහෙම එකෙක් උදේ පාන්දර හිටියාම ගමේ එවුන් ඌව ගස් බැඳලා පොඩි ෆුල් බොඩි මසාජ් එකක් එහෙමත් දීල පොලිසියට භාරදෙන්න ලොකු චෑන්ස් එකක් තියන නිසා මමත් දිය පාරට කිට්ටු කරේ ටිකක් විතර පරෙස්සමෙන්. එතන හිටපු ගෑනු මිනිස්සු තිහක් හතළිහක් අතරේ මෑන්ස් මගේ ඇහැගැටුනේ නැති නිසා දිය පාරෙ තිබ්බ ගල් ගෙඩි වලින් පැනගෙන දියපාර ඉහත්තාවට ඇදුනේ ..යට ඇඳුමක් විතරක් ඇඳන් , වඳුරෙක් වගේ මුණක් තියන තඩි බඩක් තියන කළු හාදයෙක් පොලිසියට භාර දුන්නද මාමේ...කියල කාගෙන්වත් එකපාරටම අහන්න බැරි නිසා..

නාන තොටුපොලෙන් අඩි තිහ හතළිහක් උඩට නගිද්දී ගල් දෙබෝක්කාවක් ඇතුලෙන් මෙන්න එනවා සුපුරුදු කටහඬක්..

කොයි   &%^තෙද  මල්ලි ගියේ..

කටහඬ ඇහුන දිහාවට හැරිලා බලපු මම දැක්කේ පරිනාමනය වේගෙන එන මානවයෙක් වගේ මුණ පුරා රැවුල වවිච්චි, තඩි බඩ ගෙඩියක් එක්ක ජොකා පිටින් ගල් දෙබොක්කාවක හැංගිලා ඉන්න අපේ බකුසු රියැදුරාව..



කොයිතරම් කිව්වත් දාහෙකොල කතාව බකුසු උන්නැහේ පිළිගත්තෙම නැතුවා වගේම ඇටම්පිටියේ යන්ත්‍රය හයිකරලා කොළඹ එනකනුත් අපේ කෑමරුවා මා එක්ක වචනයක්වත් කතාකරේ නැහැ. ඊට අමතරව ආපහු එන ගමන පුරාම පෝෂණ පාඩම නොකරම කන්න බොන්නත් අපේ රියදුරා වගබලාගත්ත. 

මාර්තුර්කාවට අනුව මේ කතාවේ වස්සෙකුත් ඉන්න ඕන නිසා ඔන්න වස්සා කව්ද කියල තෝරන්නයි දැන් හදන්නේ. වස්සා යනු,  බස්සාව හාවා කල ලොක්කාද, ලොක්කා ළඟ රියදුරුකම කල බස්සාද, ඒ දෙදෙනාටම මැදිවූ මමද කියල තෝරාගන්න එක කියවන ඔබලාට භාරයි. 

51 comments:

  1. මේ පෝස්ට් එක ලියවගන්න විඳපු දුකක්. උදේ 8 ඉඳං බලන් උන්නේ. ඉස්සෙල්ලම රොම්බ තෑන්ක්ස් පෝස්ට් එකක් දැම්මට. උඹ තමා බං අයියේ දවසකටවත් මිනිහා.

    "ලොක්කා වනාහි කබරගොයාත් තලගොයා කරගෙන කන, තැටිය රත්වෙච්ච වෙලාවේ රොටි දෙතුන්සීයක් පුච්චගන්න, මැටි පූසෙක් ලව්වත් මියෝ අල්ලවන්න දක්ෂ, වඳුරන්ගෙන් බන අහල ජේතවනාරාමෙට ගල් ගහල ආපු, බොහොම දුර දක්නා නුවන ඇති, වාසි පැත්ත කල් තියාම දක්නා නුවන ඇති, විනාඩියකට කලින් කිව්ව දෙයක් මම එහෙම කිව්වේ නැහැ කියන්න පුළුවන් දක්ෂතා ඇති, ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති සහ මෙකී නොකී ලෝකේ තියන කට්ට කයිරාටික කම් සියල්ලම දන්නා පොරක් යකෝ උඹ ලොක්කට අහුවෙලා ගොනා සේ නොකා නොබී වාහනේ එලවන මෝඩ වස්සෙක් කියල කියන්න ඕන උනත් ලොක්ක එවන කිසිම රියදුරෙකුට අපි කව්රුවත් එහෙම කිව්වේ නැහැ. "

    ලොලේ ලොල් හරිය..

    ReplyDelete
    Replies
    1. උඹේ කරදරේට තමා මේ පොස්ට් එක ලියවුනේ. ඔන්න ආයේ නම් මාව කන්න හදනවා නෙවෙයි..

      Delete
  2. කෙසේ උවත් අන්තිමට උඹල දෙන්න ලොක්කගේ කොම්පැනිය වහල දැම්මනේ, එතකොට කව්ද වස්සා..

    ReplyDelete
    Replies
    1. අපොයි මම ඔව්වට නැහැ.. මම අයින් වෙලා අවුරුදු දෙකකට පස්සේ තමා කොම්පැනිය වැහුවෙ. අපේ සනාගෙන් අහල බලහන් කව්ද එකට වගකියන්න ඕන කියල..

      Delete
  3. හැක්. හැක්... බස්ස ඉල්ලගෙනම කාල වගෙයි. බොලාට තිබුණෙ මැසිම හයිකරලම ඇවිල්ල මිනිහ ගැන හොයන්න.
    ඔහොම ලොක්කට අල්ලන එවුවො එක්කනං වැඩ කරන එක හරිම භයානක වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. අපොයි දැනුවත්ව නම් මම ඒ වගේ බලුවැඩ කරන්නේ නැහැ බන්.. මේ හොරසල්ලි හුටපටේ නිසා මට ඌ අමතක උනා නෙව.. මැෂිම හයිකරනකල් ඌ එතන හිටියනම් අනිවා උගේ පින්තූරේ පත්තරේ වැටෙනවා " ඇටම්පිටියෙන් ආදී මානවයෙක් පණපිටින් අල්ලයි " කියල ..

      Delete
  4. උඹට තිබ්බේ වෙන කොහෙන් හරි නාල කාල, ඉස්පිරිතාලේ වැඩෙත් කරල ඉවරකරලා කොලඹට ඇවිත් බොසාට කියන්න බස්සා කැලේකට රිංගුවා හොයා ගන්න බැරිවුනා කියල. පොර අන්ඩ වෙයාර් එය පිටින් කොලඹ එන්න සැලැස්සුව නම් ඔය කරදරේ ආයි කරන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම නැත්නම් ලඟ පොලිසියකට කෝල් එකක් දුන්නනම් මිනිහෙක් යට ඇඳුම පිටින් ගෑනු නානව බලාගෙන ඉන්නව කියල

      Delete
    2. එහෙම කරන්න වටිනවා බන් ඌ කරපු බලු වැඩේට.. එත් ඉතින් දැන දැන මනුස්සයෙකුට එහෙම කරන්න බැහැනේ බන්. අන්තිමේ මෑන්ස් රස්සාවෙන් අයින් උනේ බීල වාහනේ හප්පගෙන සුපිරි පරිප්පුවක් කාලයි. අපේ සනා නොහිටින්න අද ඌ ජීවතුන් අතර නැහැ.

      Delete
  5. පට්ටයි කථාව, හිනා කාල පනගියා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත් මේ පැත්තේ ආවට..

      Delete
  6. අපො ඔය ජාතියේ උන් එක්ක වැඞකරන්න උනාම ඔන් නැ

    ReplyDelete
    Replies
    1. මමනම් අවුරුදු දහ හතරක් රස්සාව කරේ තනිකරම ඔය ජාතියේ රංචුවක් එක්ක. ඒ හින්ද දැන් ඕනෑ තැනක වැඩ කරන එක සිම්පල් වැඩක්.

      Delete
    2. දමිත් දැක්ක කල්... මොකද වෙලා හිටියෙ?

      Delete
  7. වස්සො බස්සො ගැන නම් මම දන්නෙ නෑ.අර නුවන කියපු කතාවනම් ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔය ඔය ඉතින්.. මම කිව්වනේ මම අයින් උනේ කොම්පැනිය වහන්න අවුරුදු දෙකකට කලින් කියල..

      Delete
  8. ලොක්කගෙන් එක දාගන්න පු* දෙන එවුන්ට නම් ඔහොම කොරලා මදි.
    ගස්ලබ්බටත් සමහර බොසා ල රුපියල් 200ක් දීල එහෙනම් අටදෙනා එක්කම ගිහිං තේ බීල එන්න කියපු වෙලාවල් තියෙනවා.ගස්ලබ්බ කලේ මුදල සමානව බෙදලා කැමැත්තක් කොරගන්න කියල දීපු එක.හැබැයි ඒ නුවණ පෑදුනේ අන්තෙටම අතේ සල්ලි හිඳුනු වෙලාවක බවත් කියන්න එපැයි.හෙහ් හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කාලකන්නි යක්කු හැමතැනම බන්. මගේ බොසාගේ නම කිව්වොත් බෝලාගේ සිහි කල්පනාව නැති වෙනවා ටික වෙලාවකට.

      Delete
  9. මල මගුලයි - වස්සානං අම්බලං ගොඩයාය..
    ඇත්ත තමයි මචෝ ඩයිවර මහත්තුරු තමයි බොස්ලට වැඩ්පුරම තොරතුරු සපයන්නේ.. රස්සාව රැකගන්නද රස්සාවේ පුරුද්දද??

    චැහ් අරෙහේ යන ගමන් පැල්මඩුල්ලෙදි කෝල් එකක් දුන්නනං කාන්සියටත් එක්ක මාත් එනවනේ ඇටම්පිටි යන්න.. හැක් හැක්..

    ජ ය වේ වා !!@

    ReplyDelete
    Replies
    1. චැහ්.. එහෙනං අපිටත් බලාගන්න තිබ්බ මාෂලය ජොකා පිටිං බස්එකේ පැල්මඩුල්ලට එනව.

      Delete
    2. බෝස්ල තමයි විදානේ ඩ්‍රයිවර්ලා ඒ තත්වෙට පත්කරගන්නේ.. මොකද රියදුරා තමයි බෝස්ල වැඩ නැති වෙලාවට ලඟින් රැඳෙන එකම සේවක පිරිස. ඉතින් බොස්ල බොහොම යාප්පුවෙන් ද්රයිවර්ව වැඩේට පුහුණු කරනවා.. ඒ කාලේ මේ වගේ රට වටේ යාළුවො උන්නේ නැහැ නෙව. හිටියනම් කොහොමත් එනවා බෝතලයක් අරගෙන නයිට් අවුට් එක ඉතුරු කරගන්න.

      ප්‍රසා කිව්වට අපේ විදානේ මහතාට එහෙම කරනවද මම..

      Delete
  10. හිහ් හිහ් හිහ්, නියම කතාව. ඔහොම තෙම්පරාදු වුනේ නැත්තං මේ සමාජයේ ඔලුව ගහගෙන ඉන්න අමාරුයි. ඔය ජාතියේ මිනිස්සු කවදාහරි බෙල්ල මුලින් අහුවෙන ඇබැද්දි කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. විචාරක කිව්වා වගේම ඊට ටික කාලෙකට පස්සේ මෑන්ස් වාහනේ හප්පගත්ත බීල ගිහින්. එදා සියලුම සිල් රෙදි ගැලවුනා. මම කරපු රැකියාවන් තමයි මාව තෙම්පරාදු කරේ ඕන තැනක ඉහ ගහන් ඉන්න..

      Delete
  11. යකඩෝ අරූට හොද වෙලාවට හැංගිලා ඉන්න තැනක් හරි තිබුනේ.
    නැත්නම් ග්‍රීස් යකා කියලා ගස් බඳිනවා ශුවර්.

    ReplyDelete
    Replies
    1. නැහැ දිනේෂ්.. ඌ අහු උනානම් ඇටම්පිටියේ ආදී මානවයා අහුවුනා කියල පින්තූරේ එක්ක ඉතිහාසෙට එකතු වෙනවා.. හැක්.

      Delete
  12. අර ඔරන්ඔටන් හරි වලත්ත පෙනුමයි නේද බං..................

    ReplyDelete
    Replies
    1. ඌ ගෝරිල්ලෙක් යකෝ...

      Delete
    2. පරිනාම වාදය විශ්වාස කරනවානම් මේ වලත්තයි කියන එවුන් තමා අපේ මුතුන් මිත්තෝ.. හැක් .. මම නම් පරිනාමවාදය කියන එක විශ්වාස කරන්නේ නැහැ.

      ලොකුපුතාට නම් ඥාති පිරිවර හරියටම අඳුනගන්න පුළුවන් වෙලා.. කුරුටුගේ පෙනීම දුර්වලයි වගේ.. හැක්.. හැක්..

      Delete
  13. උඹලගේ බොසාටම හරියන අපතයෙක්නේ බං අර ඩයිබර බුවා...
    උන් වගේ පැනල දෙන, දෙක පුන එව්වෝ අපි එක්ක වැඩ කරන්නේ නැති නිසාද (ඉන්නවා අපිට පේන්නේ නැද්ද දන්නෙත් නැහැ) කොහෙද අවුලක් නැතුව බඩ රස්සාව කරගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. උඹේ බෝසාල හොඳ මිනිස්සු බන්.. කේලම් අහන බොස්ලාට කේලම් කියන්න උන් ඕන තරම් ඉන්නවා බන් ලොකු පුතා.. උන්ට චෑන්ස් එකක් නොදෙන බෝස්ල ලැබෙන්නේ වාසනාවන්ත සේවකයින්ට විතරයි..

      Delete
  14. බලන් යනකොට නුවණක්කාර උබේ පොකට් එකටනේ අර කෑමරූවාද මක්ක එකා විදලා තියෙන්නේ..
    කාලෙකින් කියවපු මරු කතාවක් බන්.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන්. තනියම වැඩට ගියාම නයිට් අවුට් එකෙනුත් ගානක් ඉතුරුයි.. මූ එක්ක ගියාම අතිනුත් පාඩුයි..

      Delete
  15. වස්සා කවුද කියලයි මම කල්පනා කොළේ.නියම කතාව බං අරූට පව් හැංගිලා ඉන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වස්ස මමයි බන්.. ඒ වෙලාවේම මට ලොක්කට කියන්න තිබ්බ ඇඳුම් බෑග් එක නැති නිසා හෙට යන්නම් කියල..

      Delete
  16. හම්මේ මේ කතාන්දරවල දිග අම්මපා බ්ලොග් පොස්ට් එකක් කියෙවුවා වගේ (තිත් දෙකයි කැපිටල් ඩී)

    ReplyDelete
    Replies
    1. ලියන්න ගත්තාම දන්නෙම නැතුව පොස්ට් එක දිගම දිග වෙනවා රංගන.. කොටට ලියන්න ගියාම හරියට ලියාගන්න බැහැ.

      Delete
  17. අඩේ වස්සෝ.... නියමයි බං. අරූ ආයෙ නම් උඹත් එක්ක රෑ ගමන් නම් යන්න එන්න නැතුව ඇති... ඔය වගේ උන් මොන දේ කලත් පාඩමක් ඉගෙන ගන්න තරම් ලැජ්ජාවක් ඇති උන් නෙවෙයි,

    ReplyDelete
    Replies
    1. උපතින් ගෙනාපු හැකියාවනේ බන් ඕක.. එව්වා ඉතින් ගලේ ගහලවත් මකන්න බැහැනේ..

      Delete
  18. මේක කියවන්නෙ ඊයෙ ඉඳං. පට්ට කතාව බං. හොඳ වැඩේ අර කෑමරුවට... උ‍ගෙ වචන ටික ඌටම කන්ඩ හිතෙන්නැති...

    ReplyDelete
    Replies
    1. ඒ ඔක්කොමත් හරි බන්.. රෑට ගෙරවිල්ල තමයි ඉවසන්න බැරි..

      Delete
  19. පට්ටයි.
    අර යටින්ම තියෙන්නේ උඹේ පිංතූරයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ මම කොල්ල කාලේ.. හැක්..

      Delete
  20. ජාපාල ඇට ටිකකුත් කන වෙලාවේ දාල දෙන්න තිබ්බේ බස්සට.

    ReplyDelete
    Replies
    1. ජාපාල උනත් ඉතින් දෙනවනම් කිලෝ එකක් දෙකක් දෙන්න වෙයි බඩ යන්න..

      Delete
  21. වස්ස ඉතිං උඹම තමා... මරු කතාව.. මම හිටිය නං ඔය ඩයිබරයට දෙන්නෙ ඔයවගේ බයිටක් නං නෙවෙයි.. උඹ ලස්සනට ලියල. දිගයි කියල දැනුනෙ නෑ..

    ReplyDelete
  22. අම්මෝ.. පට්ට කතාව .
    හොද වැඩේ අර බකුසු රියදුරාට

    ReplyDelete