Sunday, February 5, 2017

අයියෝ අමාරිස්




අමාරිස් උන්නැහේ අම්බලන්ගොඩයාට හමුවන්නේ ගොඩයාගේ පළමුවන රාජ්‍ය සේවා ආගමනයත් සමගය. රැකියාවකට ආධුනික නොවුනත් රජයේ සේවයට ආධුනික වූ නිසා නාහෙට නාහන ස්වරූපය ටික කාලයකට සාක්කුවේ දමාගත් අම්බලන්ගොඩයා බොහොම නිවට නියාලු ස්වරූපයක් රැකියා ස්ථානයට පමණක් ආදේශකොට ගත්තේ එවකට එහි සිටියාවූ සීනියර් පොරවල් බහුතරයක්ලා  වචනයක් දොඩන්නට තියා මුහුණ බලා සිනහවකින් සංග්‍රහ කිරීමක්වත් මලාට සිදු නොකළ නිසාය. මරදාන හංදියේ කාලයක් රැකියාවකොට ලංකාව වටේ ඇවිද අහවර වඳුරන්ගෙන් බන අසා ජේතවනාරාමයට ගල් ගසා රජයේ සේවයට එකතුපහදු වූ අම්බලන්ගොඩයාට මිනිසුන්ගේ ස්භාවය වටහාගැනීමට ගතවන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්ය. එය එසේ වුවත් අලුතෙන් සම්භන්ධ වූ රැකියා ස්ථානයේ ස්ථායී වනතුරු තමුන්ගේ පිට කොන්දේ සැබෑ ස්භාවය මද කාලයකට සඟවා තබා ගන්නවාය. රැවටීම ගොඩයාගේ ශබ්දකෝෂයේ නොමැති වචනයක් වුවත් ආයතනයකට අලුතෙන් රැකියාවකට යාමේදී මදක් පසු පාදයේ ක්‍රීඩා කිරීම අම්බලන්ගොඩයා පළමු රැකියාවෙන්ම ඉගෙනගත් පාඩමක්ය. එයින් රැවටීමට ලක්වන පළමුවන පුද්ගලයානම් එවකට රැකියා ස්ථානයේ ලොක්කා නොවුනත් ලොක්කාගේ බලය ආරූඩ කරගෙන උන් අමාරිස් උන්නැහේය. 

අමාරිස් උන්නැහේ ලෝකයේ පිළිගත් ඉහලම අද්යාපන සාමාර්ථ සහිත ලොවම ගෞරව කරනා තානාන්තරයක් දරනා නිලධාරියෙක්ය. පළමු දින කිහිපයේ හැදෑරීමට අනුව අමාරිස් යනු දියරෙද්දෙන් බෙල්ල කපනා  දිය යටින් ගින්දර ගෙනයන්නට සමත් කුහකත්වය, ඉරිසියාව නළලේ හිටන් දෙපය දක්වාම  උප්පත්තියෙන්ම රැගෙන ආ ගොන් නාම්බකු වග අම්බලන්ගොඩයා හඳුනා ගන්නවාය. එහෙත් අමාරිස්ගේ කරුමයට අම්බලන්ගොඩයාගේ වැඩ අධීක්ෂණය සඳහා ලොකුම ලොකු නෝනා විසින් පත්කරන්නේ අමාරිස් උන්නැහේ වන අතර එය පසුකාලීනව අම්බලන්ගොඩයාට ටොම් ඇන්ඩ් ජෙරී නාටකය ලෙසටම රඟ දක්වන්නට මහගු අවස්තාවක් වනවාය.

ගොඩයාගේ ආගමනයත් සමගම නව පණක් ලබනා අමාරිස් කාර්යාලයේ ඉස්ටෝරු කාමරයේ යතුරු කැරැල්ල අම්බලන්ගොඩගේ ඉනේ ගසන්නේ ඉස්ටෝරුවේ බඩු භාණ්ඩ ආරක්ෂා කරගැනීමටත් වඩා අම්බලන්ගොඩයා ලව්වා අනෙක් සේවකයිනට පරිප්පුව දීමට වග යතුරු කැරැල්ල භාරදෙන වෙලාවේම අම්බලන්ගොඩයා වටහා ගන්නේ කලින් රැකියාවේ ලොකු මහත්තයා සුවිශේෂී රාජකාරිවල සැබෑ නාටකය ඇස්පනාපිටම රඟ දක්වා තිබුනාවූ නිසාය. එහෙත් භාරදුන්නාවූ රාජකාරිය බැහැ නොකියා භාරගන්නට අම්බලන්ගොඩයාට සිදුවන්නේ එය ගොඩයාගේ රාජකාරී ලැයිස්තුවට ඇතුලත්කල නිසාය. එවකට රැකියා ස්ථානයේ බහුතරයක් සේවකයිනට අමාරිස් යනු නයාට අදුකොල වාගේය. එහෙත් රැකියාවේ ගෞරවය ආරක්ෂා කරගැනීම උදෙසාත්, ඉහල නිලධාරියකුගේ ඕනෑම අසාධාරණයකට හිස නවනා කොන්ද පණනැති ස්භාවය නිසාත් එතෙක් කල් අමාරිස් උන්නැහේට තම බලුකම් සියල්ලක්ම ලෙසටම කරගෙන ඒමට මනා වටපිටාවක් සැපයුවා යන්න අම්බලන්ගොඩගේ නිරීක්ෂනයයය. තමුන්ට අලුතෙන් ලැබුණු ගෝල තැන හෙවත් අම්බලන්ගොඩයා සුවච කීකරු බලු කුක්කෙකු වගට වරදවා වටහාගෙන ඉන්නා අමාරිස්ද තමුන්ට නුරුස්සනා සේවකයිනට පරිප්පුව දීම උදෙසා විඩින් විඩේ විවිදාකාර සැලසුම් සකස් කරමින් එව්වා ගොඩයා ලව්වා ක්‍රියාත්මක කරවන්නට දත කනවාය. ගොඩයාද දෙපැත්තම බේරාගෙන සේවකයිනට උපරීම සාධාරණයක් වන ක්‍රමයකට අමාරිස්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරනවාය. එහෙත් ගොඩයාගේ ඩිරෙක්ට් සුපර්වයිසර් අමාරිස් උන්නැහේ වන නිසා සේවකයින්ද ගොඩයාගේ ඇඟ උඩටම පරිප්පු නැව බාන්නට දත කන්නේ අමාරිස්ට විරුද්දව කිසිවක් කරගැනීමට කොන්දක් පන නැතිවුනාවූ නිසාය. 

ඉස්ටෝරු කාමරයේ යතුරු කැරැල්ල ගොඩයාගේ භාරයේ තිබීම එවකට සීනියර් පොරවල් සෑහෙන ප්‍රමාණයකගේ දෝෂ දර්ශනයට සහ ඉරිසියාවට ලක්වූ කාරණයක් වන්නේ ආයතනයක එවන් යතුරු කැරැල්ලක් තිබිය යුත්තේ සීනියර් පොරකගේ භාරයේ  කියා සිතනා වැඩවසම් මනෝමය මට්ටමක ඔවුන් සිටියා වූ නිසා වන්නට ඇතිය. යතුරු කැරැල්ලකින් තත්වය සොයන්නට තරම් අඳබාල ගොන් මරි මානසිකත්වයක් අම්බලන්ගොඩයාට නොමැතිවූ නිසා ගොඩයාට එම යතුරු කැරැල්ල තවත් එක් රාජකාරියක් පමණය. එහෙත් අමාරිස් උන්නැහේ නම් එම යතුරු කැරැල්ල නිර්වචනය කලේ එය ගොඩයා වැනි නවකයකුට ලැබුනාවූ මහගු අවස්ථාවක් යන ලෙසය.. (පස්චාත් භාගය  තමා.... අපි අහුවෙයි එව්වට ...හැක්..)

ගොඩයා දෙපැත්තෙන්ම තැලෙනා ස්ථානයක රාජකාරී කරනා සේවකයකු වුවත් සමාන්තර සේවකයින්ද ගොඩයාට පරිප්පුව දීම සඳහා අනුගමනය කලේ අමුතුම ක්‍රමවේදයක්ය. එනම් එකා එක් වතාවක් ගානේ පෑනක්, පැන්සලක්, ෆොටෝ කොපි කොළ පැකට්ටුවක්, ෆයිල් කටුවක් , ෆයිල් එකක්, ස්ටෙප්ලර් කටුවක් වැනි දෑ ඉල්ලීමය. ඒ ආකාරයෙන් බැලූ කල අම්බලන්ගොඩයාට ඉස්ටෝරුව අරිනවා වහනවාට වඩා වෙනත් වැඩක් කරගන්නට කාල වෙලාවක් නොමැතිය. විශාල සේවක පිරිසක් රාජකාරී කරනා ස්ථානයක් වූ එහි එම රාජකාරිය අත්‍යවශ්‍ය කාර්යක් නොවේය. ආයතනයේ මද්‍යම ගබඩාවෙන් මසකට වරක් නිකුත් කරනා ලිපි ද්‍රව්‍ය පාලනය සඳහා ශාඛා මට්ටමෙන් ගබඩා පාලකයින් පත්කරන්නට මවු ආයතනට මොලේ අමාරුවක් නොමැතිය. එහෙත් මද්‍යම ගබඩාවෙන් මසකට වරක් රැගෙන එනා ලිපි ද්‍රව්‍ය වෙනත් කාමරයක දමා ඉබි යතුරු දමා ආරක්ෂා කිරීම අමාරිස්ගේ පුද්ගලික උවමනාවක් වූ අතර ලොකු නෝනාද අමාරිස්ගේ සිඟිති ආතල් වෙනුවෙන් වැඩිපුර කාලයක් යෙදෙව්වේ නැත්තේ අමාරිස් යනු සුළු දීමනාවක් වෙනුවෙන් තම ප්‍රධාන රාජකාරියෙන් අමතරව වැඩි කාලයක් පශ්චාත් භාගය පුද දීම සඳහා එහි පැමිණි අයකු නිසාය.

ගොඩයා මාස කිහිපයක් පරණ වනවිට සේවකයින්ද ටිකෙන් ටික ගොඩයාගේ සැබෑ ස්භාවය වටහා ගන්නේ ඔවුනට ඉස්ටෝරුවෙන් යමක් අවශ්‍යවූ කල කෙලින්ම රාජ ඌශ්ණය සහිත යතුරු කැරැල්ල ඔවුන්ගේ අතටම දීමට තරම් අම්බලන්ගොඩයා පරිත්‍යාගශීලී අයකු වන නිසාය. එවකට ආයතනයට අනුයුක්තකොට තිබු නයිටා ආයතනයේ පුහුණුවන කෙලි පොඩිත්තන් භයගන්වා තමාගේ පක්ෂයේ සාමාජිකත්වය ලබාදී තිබු අමාරිස් ඔවුන් මාර්ගයෙන් ආයතනයේ තොරතුරු එකතුකරනා වැඩපිළිවෙලක්ද පවත්වාගෙන යනවාය. එම අහිංසක කෙලි පොඩිත්තන් විශ්වාස කලේ ඔවුන්ගේ පුහුණුවෙන් අනතුරුව අමාරිස් උන්නැහේ විසින් ඔවුනට මෙමෙ ආයතනයේ ස්ථීර රැකියාව ලබාදෙනු ඇති යයි කියාය. ඔවුන් එසේ සිතා සිටියේ ඔවුන් එහි පැමිණි පළමු දවසේ ඔවුනට අමාරිස්ගෙන් ලැබෙනා පළමු අවවාදය හෙවත් කැරට් අලය කීකරුව කරබාගෙන පුහුණුව කරගෙන ගියහොත් ඔවුනට එහි ස්ථිර රැකියාව ලබාදෙන බවය නිසාය. එම කැරට් අලයට පින්සිදු වන්නට අම්බලන්ගොඩයාගේ නව ඉස්ටෝරු කාමරය රැකීමේ පිළිවෙත අමාරිස්ගේ කනට යන්නට වැඩි කාලයක් ගත වන්නේ නැතිය. එහෙත් ඒ වනවිට අම්බලන්ගොඩයා යනු ආයතනයේ සුපිරි සොමි පොරක් වන අතර කා හටත් නැතුවම බැරි පොරක් වී හමාරය. ගොඩයා නිවාඩු ගත් දවසට ආයතනය මළගෙදරක ස්භාවය උසුලන තරමේ දුකේ බෑලුය. 

ආයතනයේ සේවකයින් බහුතරයක් කාන්තාවන් වීමත් සිටි පිරිමින් කාන්තාවන්ට එහා ගෑනු පිළිවෙතක් අනුගමනය කිරීමත් නිසා පොරත්වය ආරූඩ කරගත් අමාරිස්ද තම සුනඛ වත ලෙසටම පුරාගෙන යනවාය. ඒ අතරේ අම්බලන්ගොඩයා දිනෙන් දිනම ජනප්‍රියත්වයේ ඉහලටම ගමන් කරනවාය. එයට පළමු හේතුව නම් අමාරිස්ගේ කුජීත වැඩ ප්‍රසිද්දියේ විවේචනය කරන්නට අම්බලන්ගොඩගේ කට බ්‍රේක් නොමැති වර්ගයේ එකක් වූ නිසාය. දෙවැනි හේතුව නම් එහි වැඩිහරියක් උන් නයිටා පුහුණුවන  කෙලි පැටික්කියන් සියල්ලන්ම වාගේ තරුණ වයසේ අයවලුන් වීමත් අම්බලන්ගොඩයාද එවකට වයස විස්ස විසි පහ අතර කාල පරාසයේ සිටීමත්ය. ඒ අනුව ගත්කල ආයතනයේ අසාධාරණයට ලක්වන කාන්තා පාර්ශවයත්, කලිසම් අඳින කාන්තා ජාන සහිත පිරිමින් වෙනුවෙන් හඬක් නැගීමට හා ඔවුන් බේරාගැනීමට ඉදිරිපත්වන රොබින් හුඩ් වශයෙන් අම්බලන්ගොඩයා හැඳින්වීම වරදක් නැතිය. 

අමාරිස්ගේ ජනප්‍රියත්වය පරයා අම්බලන්ගොඩයාගේ ජනප්‍රියත්වය ඉහල යාම වැඩියෙන්ම හිසරදයක් වුයේ අමාරිස් උන්නැහේට වූ අතර ඒ වෙනුවෙන් පළමුවෙන්ම කල කකුලෙන් ඇදීම නම් ගොඩයා සතුවූ ඉස්ටෝරු කාමරයේ යතුරු කැරැල්ල ගොඩයාගෙන් උදුරා වෙනත් නවකයකුට භාරදීමය. කාලයක් තිස්සේ බලාගෙන සිටියා වූ යතුරු කැරැල්ලෙන් බේරීමේ උපක්‍රමය එසේ ජයගත්තාවූ සංතෝසය සුපිරි එකක් වුයේ ඔය කියනා කෙහෙල්මල් යතුරු කැරැල්ල නිසා ගොඩයාට කම්මැලි හිතුන දවසකවත් නිවාඩුවක් ගැනීමට හැකියාවක් නොමැතිවූ නිසාය. 

එයින් නොනැවතුණු අමාරිස් අම්බලන්ගොඩයාට රිදවීම සඳහා සිදුකලා වූ අනෙකුත් කර්තව්‍ය වුයේ සියලුම සේවකයින් රාජකාරි කරනා ප්‍රධාන ස්ථානයෙන් අම්බලන්ගොඩගේ මේසය ඉවත්කර එය පසුපස තිබෙනා පාලු ශාලාවකට තල්ලු කිරීමය. එදා පටන් අම්බලන්ගොඩයා පාලු ශාලාවේ තනිවම රාජකාරි කරනවාය. එහෙත් අනෙකුත් සේවක පිරිස ඉඩක් ලැබෙනා සෑම විනාඩියකම අම්බලන්ගොඩයා සොයාගෙන පාලු ශාලාවට පැමිණෙන්නේ කයියක් දැමීම උදෙසාය. දහවල් කෑම පැය යනු අම්බලන්ගොඩයාගේ පාලු ශාලාව කෙල්ලන්ගෙන් පිරී ඉතිරෙනා කාල වෙලාවක් වන අතර එම වෙලාව තුලදී කාර්යාලයේ ඉදිරිපස කොටසේ වැඩවාසය කරන්නේ අහිංසක අසරණ අමාරිස් මහතා පමණය. තම වීදුරු කාමරයට වී කේන්තියෙන් පුපුරනා අමාරිස් උන්නැහේ තවත් සැලසුම් සකස් කරන්නේ ගොඩයාගෙන් පලිගැනීම උදෙසාය.  අම්බලන්ගොඩයා පාලු ශාලාවට තල්ලු කර මාස තුනක් ගතවන විට ඉදිරිපස කොටසේ උන් බහුතරයක් තම මේස සමගින්ම ස්වේච්චාවෙන්ම අම්බලන්ගොඩයා සිටිනා පාලු ශාලාවට ස්ථාන මාරු ලබාගෙන අවසන්ය. තවත් මාස කිහිපයක් ගතවනවිට අමාරිස්ගේ වීදුරු කාමරය ඉදිරියේ අමාරිස්ගේ අධීක්ෂණය යටතේ සිතෙන්නේ නයිටා කෙල්ලන් ටික පමණය. අනිකුත් සියල්ලන්ම ගොඩයා ඉන්නා පාලු ශාලාවේ ලෙසටම විනෝදයෙන් රාජකාරිය කරගෙන යනවාය. නයිටා පුහුණුවට ආ ගැහැණු දැරිවියන්ද ඉඩක් ලැබෙනා සෑම අවස්ථාවකම නාකි අමාරිස්ගේ උපැස් යුවල යටින් බලනා ඉරිසියාකාර දෑසට ඇස්කොට් පාරක් දමා අම්බලන්ගොඩයා ප්‍රමුක පිරිවර සිටිනා ශාලාවට සැපත් වෙනවාය.


ගොඩයාට පැවරී තිබෙනා මසක රාජකාරි සියල්ල සති දෙකෙන් අහවර කරනා අම්බලන්ගොඩයා ඉතුරු සති දෙකම සුපිරියට විවේක ගැනීම සඳහා යොදවන්නේ අමාරිස් විසින් තමාව ඇද දැමු පාලු ශාලාවෙන් උපරීම උපයෝගීතාවයක් ලැබීම උදෙසාය. මාසයේ මුල් සති දෙක පැය අටම රාජකාරිය වෙනුවෙන් යොදවනා අම්බලන්ගොඩයා ඉතුරු සති දෙක ගෙවන්නේ වැඩිහරියක් මේසය මත නිදමින්ය. අම්බලන්ගොඩගේ සිටිනා ශාලාව ඉදිරිපසින් නිතර ඉස්ටෝරු කාමරයට පියමනිනා අමාරිස්, ගොඩයා ලෙසටම නිදනු දුටුවද ගොඩයාට එරෙහිව කිසිවක් කල නිහැක්කේ ගොඩයාගේ රාජකාරි සියල්ලම අන්තිම තත්පරයටම යාවත්කාලීන වී තිබෙන නිසාය. එහෙත් අමාරිස්ද නව සංවර්ධන යෝජනා ක්‍රමයක් මගින් යලිත් අම්බලන්ගොඩයා මඩින්නට දැල එලන වග ගොඩයා දන්නා නිසා ගොඩයා කොයි වේලාවේත් ඉන්නේ නිරන්තරයෙන් යාවත්කාලීන වූ ආරක්ෂක තත්වයක් යටතේය.


එක්තරා දවසක අමාරිස් ගොඩයාව තම වීදුරු භවනට කැඳවන්නේ නව සංවර්ධන යෝජනාව ක්‍රියාත්මක කරනු සඳහාය. 

යස් සර්..

මම මේ එන්න කිව්වේ අපි අලුත් වැඩක් පටන් ගන්න කියල..

මොකක්ද සර්..

ඔයා දන්නවනේ මෙතන ෆොටෝකොපි මැෂින් අටක් විතර තියෙනව... ඩුප්ලෝ මැෂින් දෙකක් තියෙනව.. රිසෝ ග්‍රාෆ් මැෂින් ටිකයි , දවසම වැඩකරන නිසා මම හිතුව මේ ගැන දවසගානේ රිපෝර්ට් එකක් ගන්න කියල.. අද ඉඳල මේ හැම මැෂින් එකේම ගහන කොපි ගාන මට රිපෝර්ට් එකක් ඕන.. ඒ රිපෝර්ට් එක ඉස්ටෝරුවෙන් ඉශු කරලා තියන කොළ ප්‍රමාණය එක්ක ටැලි වෙන්න ඕන.. වෙනසක් තිබ්බොත් මට සිද්ද වෙනවා ඒක ඔයාගේ ප්‍රමාද දෝෂයක් විදිහට ඉහලට දන්වන්න.. සමහරවිට රාජකාරිය පැහැර හැරීමක් වෙන්නත් පුළුවනි..

ඔකේ  සර්.. මම ඒක කරන්නේ කොහොමද කියල හිතල බලල ඔබතුමාට කියන්නම්..

බෑ...බෑ... මේක අද ඉඳන්ම ක්‍රියාත්මක වෙන්න ඕන.. මෙන්න මම එක ලිඛිතව ඔයාට රාජකාරී ලැයිස්තුවට ඇතුල් කළා.. මෙන්න කොපිය..

එහෙමද.. .. මම වැඩේ කරන්නම්කො..

හුහ්..

අමාරිස් ලොක්කා අම්බලන්ගොඩයා වෙත රාජකාරී මට්ටමෙන් ලිපිය භාරදෙන්නේ තම ගෝල බාල හෙන්චයියා දිහාවට සමච්චල් සිනහවක් දමමින්ය.. එහෙත් ගොඩයාට වල කපන්නට උන්දැලා ඉගෙනගත් මට්ටම මදිවග උන්දැලා දන්නේ නැතිය..

ආයතනයේ රාජකාරී ස්භාවය රාත්‍රී නවය වනතුරු ආයතනය විවුර්තව පැවතීමය. එහෙත් අම්බලන්ගොඩයා හතරයි තිහට රාජකාරිය නිමවී නිවසට යනවාය. එතනින් එහා ඒ පවරුනාවූ රාජකාරිය හරි ආකාරව ක්‍රියාත්මක වන්නට නම් එක්කෝ අම්බලන්ගොඩයා රාත්‍රී නවය වනතුරු කාර්යාලයේ රැඳෙන්නට ඕනෑය. එය එසේ වනවිට හතරයි තිහේ සිට රාත්‍රී නවය වනතුරු රජය විසින් අම්බලන්ගොඩයාට අතිකාල දීමනා ගෙවන්නට ඕනෑය. ඒ සඳහා බජට් එකක් නොමැති වග අමාරිස් උන්නැහේට වඩා හොඳින් අම්බලන්ගොඩයා දන්නේ ආයතනයේ සේවකයිනට වැටුප් ගෙවීම සඳහා වැටුප් දෙපාර්තමේන්තුව වෙත අදාළ වැටුප් විස්තර යවන්නේ අම්බලන්ගොඩයා නිසාය. අතිකාල දීමනා ගෙවීම කල නොහැකි නිසා පැවරුණු රාජකාරිය අකුරට සිදුකිරීමට තිබෙනා එකම පහසු මග ක්‍රියාත්මක කරන්නට අම්බලන්ගොඩයා ආයතනයේ කා.කා.ස. කැඳවනවාය..

කුමාර..

ඔව් මහත්තය..

ඉස්සරහ තියන්න ඔක්කොම ෆොටෝකොපි මැෂිනුයි, ඩුප්ලෝ මැෂිනුයි, ඔක්කොම මල ඉලව් ටිකයි ගෙනත් දාහන් මේ හෝල් එකට.

මේ කෑල්ලට???

ඔව්..

ඒ මොකෝ මහත්තය..

අමාරිස් මහත්තයට එව්වයේ කොපි ගහන විදිහ ගැන ඩේලි රිපෝර්ට් එකක් ඕනෙලු.. එක කොලයක් හරි එහා මෙහා උනොත් මගේ පර්සනල් ෆයිල් එකට ලියුමක් යන්න ඉඩ තියෙනව.. ඒ නිසා ඔක්කොම මගුල් ටික ගෙනත් දාහන් බං මේ කෑල්ලට .. හැමෝටම කියනවා හවස හතරහමාරට කලින් ගහන කොපියක් ගහගන්න කියල.. මොකද මම හවස හතරහමාරට මේ කෑල්ල ලොක් කරනවා..

එතකොට මහත්තය රෑට කොපි ගහන ඒවා..

ඒ ගැන මම දන්නේ නැහැ බං.. 

එහෙම කරාම රෑට ඕන කරන දේවල් කොහොමද මහත්තය අපි ෆොටෝ කොපි කරන්නේ.. රෑට කොළ දෙතුන්දාහක් ගහනවනේ හැමදාම ..

ඒ ගැන මම දන්නේ නැහැ බං.. උඹ ඕනෙනම් ගිහින් ලොකු නෝනා එක්ක මේ ගැන කතා කරහන්..

ඉන්නකෝ.. මම මැෂින් ටික මේ කාමරේට අදින්න කලින් මැඩම් එක්ක මේ ගැන කතා කරලා එන්නං..

කැමැත්තක් බං.. මගේ ප්‍රශනයක් නෑ..

එසේ අවසන්වූ සංවාදය අවසානයේ කා.කා.ස. තැන විසින් ගොඩයා වෙත ලොකු නෝනාගේ කැඳවීම රැගෙන එන වග ගොඩයා දන්නවාය. අම්බලන්ගොඩයා ලක ලැහැස්තිවී ඉන්නේ ඉදිරියට පැන හයේ පහරවල් දෙක තුනක් වැනීම සඳහාය..

අන්න මහත්තයට මැඩම් එන්න කිව්ව..

යමු බලන්න..

ඕන්න අම්බලන්ගොඩයා කුමාර සමග ලොකු මැඩම්ගේ කාමරයට සැපත් වෙනවාය..(මේ කියන මැඩම් නිතර රූපවාහිනියේ පෙනී හිටින කෙනෙක් හොදේ..)

මොකෝ... >>>>>> මේ ෆොටෝ කොපි මැෂින් ටික පිටිපස්සෙ හෝල් එකට  දාල ලොක් කරන්න යනවා කියන්නේ..

ඔව් මැඩම්.. මෙන්න මේ ලියුම බලන්නකෝ..

ලොකු මඩම් නළල රැලි නංවාගෙන අමාරිස් උන්නැහේ විසින් ගොඩයා වෙත දුන්නාවූ රාජකාරේ ලිපිය කියන්වනවාය.. එය අවසන ලොකු මඩම් සිනහව තද කරගෙන ගොඩයාගේ මුහුණ බලනවාය..

මෙහෙමයි මැඩම්.. ඔය කියන රාජකාරිය ඉෂ්ට කරන්න මට රෑ නවය වෙනකම් මෙතන ඉන්න වෙනව. ඒත් ඒකට ඕටී ගෙවන්න අපිට බජට් නෑ.. මැඩම් මගේ ඕටී එක ඇප්රූ කරනවනම් මම මේ වැඩේ වෙනුවෙන්ම බෝඩිමක් අරන් කොළඹ නවතින්නම්..  මාසේ දවස් විස්සටයි, සෙනසුරාද වරුවටයි මගේ ඕටී ගණන් හදල බැලුවාම ඒ ගාන මාසේ කොළ පැකට් ගානෙන් භාගයක් විතර වෙනවා මැඩම්.. ඉතිං අපි මාසෙකට ගන්න ටෝනරුයි කොලයි ගැන ගණන් හදල බැලුවාම ඒක හුඟක් පාඩුයි.. එහෙම බැරිනම් මට සිද්ද වෙනවා මැෂින් ටික මම ගෙදර යනකොට ලොක් කරලා යන්න..

ලොකු මැඩම් පත්වී ඉන්නා අසරණ ස්භාවය තේරුම් ගන්නට ඇයගේ නළලේ තිබෙනා රැලි ප්‍රමාණය ප්‍රමාණවත්ය. එහෙත් ඇය එවන් කනගාටුදායී ආකාරයෙන් අපහසුතාවයට පත්කිරීම අම්බලන්ගොඩයා පුද්ගලිකව අකමැති කටයුත්තක් වුවත් අමාරිස් වැනි ගොන් මරි වස්සෙකු එවන් පුටුවක තබාගෙන සිටිනා ඇය ඔහුගේ තීරණ උදෙසා වග කියන්නට ඕනෑය..

ම්හ්.. මේක මේ විදිහට කරන එක තේරුමක් නැහැ.. මම අමාරිස් මහත්තයට කතා කරලා කියන්නම්කො..

මැඩම් ඕක දැම්ම විසඳුමක් කරොත් හොඳයි.. නැත්තම් ඕකෙන් කොපියක් මගේ පර්සනල් ෆයිල් එකට යනව.. අන්තිමේ කියාවි මම රාජකාරිය පැහැර හැරියා කියල..

හ්ම්.. කුමාර.. අමාරිස් මහත්තයට එන්න කියන්නකෝ..

හා මැඩම්..

හරි එහෙනම්.. මම මේක විසන්දන්නම්.. මැෂින් ටික ඔය තියන තැන්වල තියෙන්න අරින්නකෝ.. හරි එහෙනම් ඔයා යන්න..

තෑන්ක්ස් මැඩම්..

මැඩම්ගේ කාමරයට යන අමාරිස් උන්නැහේ එතනින් එලියට බසින්නේ බොම්බයිමොටයි වන් කොණ්ඩය ඉත්තෑ කූරු කරගෙන වග අම්බලන්ගොඩයා දන්නවා වුනත් එය දෑසින් බලන්නට අම්බලන්ගොඩයා එහි රැඳෙන්නේ නැත්තේ එවන් කුජීත දර්ශන නැරඹීමේදී අම්බලන්ගොඩයාට සිනහව නවත්වාගන්නට ක්‍රමයක් නොදන්නා නිසාය.

ඊළඟට අමාරිස් උන්නැහේ විසින් ගොඩයා වෙත ඇටෙව්වා වූ උගුල වුයේ වෙනත් ආකාරයක එකක්ය. එනම් අම්බලන්ගොඩයා වාහනයෙන් රාජකාරියට ගිය දිනයක චර පුරුෂයින්ගේ ආරංචියෙන් අමන්දානන්දයට පත් අමාරිස් ආයතනයේ ආරක්ෂක අංශයට දුරකථන ඇමතුමක් දී තිබුනේ අවසර පත්‍රයක් නොමැති සැක කටයුතු වාහනයක් ආයතන පරිෂයේ නවතා තිබෙනා බවටලුය. රජයේ සේවයේ වැටුපෙන් අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා දිනපතා රථයක් පදවාගෙන යන්නට තරම් වත්කමක් අම්බලන්ගොඩයාට නොමැති වුවත් එදින ගොඩයා රථයෙන් පැමිණියේ කොළඹින් ගෙනයන්නට බඩු බාහිරාදිය බොහොමයක් තිබෙනා නිසාය. ගොඩයාට ආරංචිය පැමිණෙන විට ආයතනයේ ආරක්ෂක අංශයත් ඉහල නිලධාරීන් සමුහයකුත්, අමාරිස් උන්නැහේත් ගොඩයාගේ රියදුරා වටකරගෙන ලෙසටම ප්‍රශ්න කරනවාය. ඔවුනට ඇති ප්‍රශනය නම් රථවාහන බලපත්‍රයක් නොමැතිව මෙම රථය ඇතුලට පැමිණියේ කෙසේදෝ කියාය. එහෙත් ගොඩයාගේ රථය බලපත්‍ර සහිත රථයක් බව කව්රුත් නොදන්නේ එය වීදුරුවේ අලවා නොමැති නිසාය. මලාට රාජකාරී ස්ථානයට පැමිණෙන්නේ නැති රථයේ වීදුරුවේ ආයතනයේ බලපත්‍රය ඇලවීමට තරම් ගොඩයා අඳබාලයකු නොවේය. පැමිණි ආරංචියට රථය අසලට ගියා වූ අම්බලන්ගොඩයා රථවාහන බලපත්‍රය ඉදිරිපත් කල වහා සාජන් මහත්තයා දුටු පිස්සු පූසන් මෙන් කට්ටියම මාරුවී ගියද අමාරිස් උන්නැහේ නම් එතනින් මාරුවුණේ ලැජ්ජාව දෝතින් තුරුළු කරගෙනය.

අමාරිස් උන්නැහේ එතැනින්ද නැවතුනේ නැතිය.. උන්දෑ ඊළඟට අත තිබ්බේ අම්බලන්ගොඩයාගේ රාජකාරී පරිඝනකයටය. එවකට ගොඩයා විසින් ආයතන ඇතුලේ සිදුකලා වූ මුද්‍රණ කටයුතු වෙනුවෙන් මහත් දායකත්වයක් දැක්වූ අම්බලන්ගොඩයාගේ පරිඝනකයේ තිබු සංයුක්ත තැටි කියවනය හෙවත් සී ඩී රොම් කොටස අනවසරයෙන් ගලවාගත් අමාරිස් උන්නැහේ එය තමාගේ ලාච්චුවේ දමා යතුරු  ලෑවේ ගොඩයාගේ පරිඝනකයෙන් හරිහමන් වැඩක් ගන්නට බැරිවන්නටය. එවකට අන්තර්ජාලය සිරි ලංකාවේ ඉතා දුර්ලභ දෙයක් වූ අතර සංයුක්ත තැටි කියවනයක් නොමැතිව ආර්ට් වර්ක් එකක් පරිඝනකයට ඇතුල් කිරීමට හෝ පිටකිරීමට කිසිදුම ක්‍රමයක් නොමැතිය. එයින් ගොඩයාගේ රාජකාරියට පරිභාහිර රාජකාරී කටයුතු වලට තඩි ඇණයක් ගැසූ අමාරිස් උන්නැහේ උන්දෑ දිනුවා කියා හිතාගෙන සතුටින් සෙමෙන් සුනඛ වත පුරාගෙන ගියේය. එහත් ඊට සති කිහිපයකට පසු පැමිණෙනා ආයතනයේ වාර්ෂික බඩු බාහිරාදිය ගණනය කිරීම හෙවත් " බෝර්ඩ් ඔෆ් සර්වේ" ගැන හාන්කවිසියක මතකයක් අමාරිස් උන්නැහේට තිබෙන්නට නොමැතිය.

එම රාජකාරිය සඳහා පැමිණෙන්නේ පිටත ශාඛාවක සේවකයින් කිහිපදෙනෙකු බැවින් එම රාජකාරිය අකුරටම සිදුකලයුතු රාජකාරියක් වන්නේය. එම කාලයට මලකඩ කමින් තිබෙනා සියලුම යන්තර සූත්තර තිබුනාවූ ස්ථානවලම තිබෙනවාද කියා තහවුරු කරගැනීම කාගේ කාගේත් වගකීම වන්නේ අස්තානගතවීම් සම්භන්ධව උත්තර බැඳීමට සිදුවන නිසාය.. 

එවන් ආකාරයෙන් සිදුවනා බෝර්ඩ් ඔෆ් සර්වේ සඳහා නිලධාරීන් කාමරයෙන් කාමරයට පැමිණෙන්නේ ගොඩයා අමන්දානන්දයට පත්කරමින්ය.. අමාරිස් කුජීතවන නැකත උදාවී ඇති නිසා අම්බලන්ගොඩයාද ලක ලැහැස්තිවී ඉන්නවාය. එසේ පැමිණි නිලධාරීන් අම්බලන්ගොඩයා භාරයේ තිබෙනා බඩු බාහිරාදියද පරීක්ෂා කරනවාය..

කෝ මේකේ සී ඩී රොම් එක..

ආ එක මිස්ටර් අමාරිස් ගලවගත්ත..

මොකක්.. 

ඔව්.. අර ඉන්නේ ඉස්සරහ වීදුරු කාමරේ.. අන්න එයාගෙන් තමයි අහන්න වෙන්නේ.. කුමාර අමාරිස් මහත්තයට එන්න කියන්න..

ඕන්න අමාරිස් උන්නැහේ හැලෙන කලිසමද ඔසොව ඔසොවා ගොඩයා ඉන්න තැනට එනවාය..

මිස්ටර් අමාරිස්.. මේකේ සී ඩී රොම් එක ඔයා ගාවද..

ආ ඔව්..ඔව්.. ඒක මා ගාව තියෙනව..

අපිට ඒක පොඩ්ඩක් බලන්න පුලුවනිද.. මොකද නැත්තම් අපිට මේ කොම්පියුටරේ ගැන ලියන්න වෙනවා කෑලි අඩුයි කියල..

ආ.. ඉන්නකෝ මම ගේන්නම්..

එසේ කියමින් පිටව ගියාවූ අමාරිස් නැවත එන්නේ මුණ ඇඹුල් කරගෙන  වාගේම බොම්බයිමොටයි කොණ්ඩය ඉත්තෑ කූරු කරගෙනය.

කෝ මිස්ටර් අමාරිස්..

ම්ම්ම්ම්ම්.. ඒක මම තියපු තැන නැහැ මිස්ටර්.. 

එහෙනම් අපිට මේක කෑලි අඩු කොම්පියුටර් එකක් විදිහට ලියන්න වෙනවා මිස්ටර් අමාරිස්..

අම්බලන්ගොඩයාද බොර දියේ මාළු බාන්නට වතුරට බහින්නේ ඒ අල්ලපනල්ලේය..

දැන් ඕක එහෙම ලිව්වොත් මොකද වෙන්නේ ..

මෙහෙමයි.. රජයේ දේපල නිසා කොම්පියුටරේ සී ඩී රොම් එක අස්ථානගත වීම සම්භන්ධව නිදහසට කරුණු ලියන්න වෙයි ඉතින්..

ආ.. ඒක ඉතිං මට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ.. මොකද මිස්ටර් අමාරිස් මේක ගලවාගෙන ගියා කියල එයා පිළිගත්තනේ.. මම ලියුම ලියල දෙන්නම් එහෙම.. එතකොට හරි නේද..

ඒ අල්ලපනල්ලේ අමාරිස් උන්නැහේ තමුන්ගේ ඔලුවට පෙරලෙන්නට යන බාල්දියෙන් බේරෙන්නට ඉදිරියට පැමිනේනවාය..

දැන් අපේ මේ කොම්පියුටරේට සී ඩී රොම් එකක් කඩෙන් ගෙනල්ල හරි හයිකරොත් හරි නේද..

එහෙම හරි නෑ.. මේක අස්තානගතවීමක්.. ඒත් අපි ඔක්කොම එකම ආයතනයේ සේවකයින් නිසා පුලුවනිනම් දවසක් ඇතුලත මේකට සී ඩී රොම් එකක් ගෙනල්ල හයි කරන්න..අපිට මේක ඉවර කරන්න දවස් දෙකක් යනවා.. හෙට වෙද්දී මේ කොම්පියුටරේ සම්පූර්ණ එකක් විදිහට තිබ්බනම් වැඩේ ශේප්..

හරි.. මම හෙට උදේම මේක හොයල හයි කරන්නම්කො..

අමාරිස් උන්නැහේගේ ලාච්චුවේ යස අගේට පරෙස්සමට තිබී අන්තරදාන වූ සී ඩී රොම් කොටස සෙවීමට තම වීදුරු කාමරයම උඩ යට පෙරලන අමාරිස් සහ ගෝල කැල කාලය කා දමනු අම්බලන්ගොඩයා බලා සිටියේ කනගාටුවෙන්ය. ලාච්චුවේ යතුරත්, වීදුරු කාමරයේ යතුරත් නිරන්තරයෙන් රැඳෙන්නේ තමුන්ගේ සාක්කුවේ බැවින් අමාරිස්ට ඒ ගැන සාධාරණව සැක කරන්නට කිසිවෙකුත් ආයතනය ඇතුලේ නොමැතිය. පසුවදා යුනිටි ප්ලාසාවෙන් අලුත්ම අලුත් කිරි ටොයියා සී ඩී රොම් කොටසක් ගොඩයාගේ කොම්පියුටරයට වැඩියේ ටූ ඉන් වන් හෙවත් සී ඩී රොම් සහ රයිටර් යන දෙකෙන්ම සමන්විතවය. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය අමාරිස් මහතා අමාරුවෙන් ඉපැයූ ධන පරිත්‍යාගයෙන් වග ගෝල තැන් විසින් වාර්ථා කලෝය.. 

ඉන් අනතුරුව කාලයකට පසු අම්බලගොඩයා එම ආයතනයෙන් වෙනත් තනතුරක් ලබා දාබරේලාගේ දෙපාර්තමේන්තුවට යන දවස ලං වුයේය. අවසාන දවසේ යුතුකමක් වශයෙන් අමාරිස් උන්නැහේට ආයුබෝවන් කියන්නට යන අවස්ථාවේ හිස් අතින් නොයන්නටද අම්බලන්ගොඩයා වග බලාගත්තේ අමාරිස් උන්නැහේ සතු යමක් අම්බලන්ගොඩයා සතුව තිබෙනාවූ බැවින්ය. එනම් ඊට මාස කිහිපයකට කලින් අමාරිස් මහතාගේ ඉබි යතුරු දැමු වීදුරු කාමරයේ යතුරු ළෑ ලාච්චුවේ තිබී අස්තානගතවූ සී ඩී රොම් කොටසය. සී ඩී රොම් කටුව අමාරිස් උන්නැහේගේ මේසය උඩින් තැබූ අවස්ථාවේ අමාරිස් උන්නැහේ තමා එතෙක් කල් චග්ගුඩු පනින්නට තැනුවේ කුමන ආකාරයේ එකෙකු සමගද යන්න දැනගන්නට ඇතිය. එදා අමාරිස් බොහොම අසරණ ලීලාවෙන් අම්බලන්ගොඩයා  දිහා බලා සිටියා විනා කිසිවක් කතා කලේ නැතිය. අයියෝ අමාරිස්... පවුඌ.....

කොමෙන්ට් දැමීම සතුටක්ය.. එහෙත් CD රොම් එක ලාච්චුවෙන් අතුරුදහන් වෙච්චි විදිහ ඇසීම තහනම්ය.. එව්වා ගුරුමුෂ්ටි සහිත එව්වා නිසා ඒවැනි ජිල්මාර්ට් ඉගෙනගන්නට ගුරු පඬුරු රැගෙන එන්නට ඕනෑය..

97 comments:

  1. ග‍ඟෙන් එහා උන්ට ගුරු මුට්ටි නැතිව දිපන්

    ReplyDelete
    Replies
    1. ගුරුමුෂ්ටිය තමා ඒ වගේ වැඩ කරද්දී හවුල් කාරයෙක් නොමැතිව කිරීමට සැලසුම් කිරීම..

      Delete
    2. ඔව්. ඒක හරි උදාර. අපිට නිකං ඕනේ.

      Delete
  2. අමාරිස් අයියාට ඇම්ඩන් හමුවීම!

    කනගාටුවට මෙන් මගේ වෘත්තීය ජීවිතයේ ඇති ලොකු අඩුවක් නම් මේ වාගේ කේස් ගැන අත්දැකීම් නැති වීමයි.

    ReplyDelete
    Replies
    1. හෆොයි මේ වගේ පිස්සු පොරවල් එක්ක රස්සාවල් කරනවට වඩා ඒක දාහෙන් සම්පතයි රසික..

      Delete
  3. මොනවා උනත් ගොඩයා ලංකාවේ සිටිය යුතුම චරිතයක් ..

    ReplyDelete
    Replies
    1. කලිසන් අඳින ගෑනු වගේ පිරිමි එක්ක රස්සාවල් කරනවට වඩා මේ ඉන්න විදිහ දාහෙන් සම්පතයි ඇනෝ..

      Delete
  4. ගොඩයා තමයි දවසකටවත් බඩුව. සී ඩී රොම් එක අතුරුදන් කල විදිහ අහගන්න තෑග්ගකුත් අරන්ම එන්නම්කො.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. තෑගී නැතිවුනත් මේ වගේ කරදරකාර යක්කු සෙට් උනොත් ගොඩයව අමතන්නකෝ.. දෙන්නම් ප්ලෑනක් ආයේ බලු වැඩ නොකරන්න.. අපි ඉතින් අසාධාරනෙට එරෙහිව බෙල්ල නැතත් කඳ ෆයිට් පොරවල් ඇනෝ..

      Delete
  5. Replies
    1. ම්හ්... ඊට කලින් දෙන්නෙක් ඉස්සර වෙලා.. එක වෙන්න ඕනෙනම් ප්‍රසන්නයා හෙවත් දෙමල නයන්නාගෙන් උපදෙස් ගන්න වෙනවා ඇනෝ..

      Delete
    2. ඔවු ඒකට විශේෂ පාඨමාලාවක් තියෙනව හදාරන්න. හැක්..

      Delete
  6. :) :) මං අහන්නට ගිය ප්‍රශ්නය අහන්නට බැරිය... කලින්ම එපා කියලාය.

    ReplyDelete
    Replies
    1. ඔව් .. එව්වා කිව්වාම අනාගතයේ මේ වගේ වැඩ කරන්න එඩිතරව ඉදිරිපත්වෙන අපේ බාල පරම්පරාවට අසාධාරණයක් වෙනවා.. මොකද අමාරිස්ලගේ පරපුරේ එවුනුත් මෙව්වා කියවනවානේ..

      Delete
  7. නයිටා එකෙන් වගේ ට්‍රේනින් එන ඇච්චෝ ඇච්චියෝ ආපු ගමන් අල්ල ගන්න එක එය ජාතියේ ඩයල් වල පොදු ලක්ෂණයක්.. හෙන චරිත ගොඩක් මතක් වෙනවා මේවා කියවද්දී.. උන්ගේ කරුමෙට අපි (ඒ කාලේ) තම්බිලා වැඩියි.. ඒකට දැන් අපි ලඟට එන උන් පට්ට ලාමක ටින් ටින්.. උන්ට අමුතුවෙන් කට්ටක් දෙන්න ඕනි නෑ.. අලකොලයක් හිල් වෙන්න හුජ්ජ කර ගන්න බැරි උන් එන්නේ.. දැක්කම දුකයි. හැක්.

    ReplyDelete
    Replies
    1. ටෙම්පරි එන එවුන්ට කැරට් අලේ පෙන්නලා උන් ලව්වා චර පුරුෂ සේවාවන් ලබාගැනීම ලංකාවේ ඉහල කළමනාකරණයේ සුලභ පුරුද්දක් කමී.. ඒ ළමයින්ට වරදක් කියන්නේ නැහැ මමනම්.. ඔය කියන කාලේ සමහර නයිටා ළමයින්ට අමාරිස් කෙලින්ම උපදෙස් දීල තිබ්බ මා එක්ක කතා කරන්න එපා කියල.. අයියෝ පවු..

      Delete
  8. යකෝ අහන්ඩ තියෙන එකත් මූ අහන්ඩ එපා කියලනේ..... මොන හුයන්නක්ද ?

    ReplyDelete
    Replies
    1. එව්වා කිව්වාම අමාරිස්ලගේ පරපුරේ එවුන් ඒ දුර්වලකම් හදාගෙන තවත් අහිංසක මිනිස්සුන්ට බලු වැඩ කරනවා සූටික්කෝ.. හොඳට ඔලුව කල්පනා කරලා දුර්වලම තැන බලල එතනින් වැඩේ සැලසුම් කල යුතුයි.. ෆස්ට් රූල්.. හවුල් කරුවන් නොමැතිව තනිවම කලයුතු දෙයක්ම සැලසුම් කල යුතුයි.. ඊට පසුව සිද්දියෙන් පිටතට ඇවිත් විමර්ශනය කලයුතුයි සැලසුමේ කොතන හරි අවුල් සහගත තැන් තියෙනවද කියල.. සියල්ලම හරියටම තහවුරු වුණායින් පසුව සැලසුම ක්‍රියාත්මක කල යුතුයි.. දෙකක් දාගත්තාම කියන කරන දේ නොදන්නා එවුන් මේ වගේ වැඩ කරන එක බොහොම අවදානම්..

      Delete
  9. මම ගාර්මන්ට් ගියපු කාලේ මටත් ඔය වගේ කටු දුන්නා ...1998 හියිදර්මනි එකට ගියේ 2750/= පඩියට නුල් කපන්න ..පෙට්ටි කර ගැහව්වා කන්ටෙර්න්ර් අතු ගැවා අයන් කරා ඒවා මගේ අත්දැකීම් වලට එකතු කරගෙන අද මම මෙතන මට කටු දීපු සමහර එවුන් තවම එතන

    ReplyDelete
    Replies
    1. එතන උඹ කී දෙනෙකුගෙ නූල කැපුව ද? දැන් උං පවුල් වෙලා යහතිං ඉන්නවද? කී දෙනෙකුගෙ අනාගතේ අඳුරු උනාද? වහාම මේවාට උත්තර සපයනු.

      Delete
    2. ඔය පරන ඒවා අවුසල්ලා මගේ පවුල් ජිවිතේ කන්නද හදන්නේ

      Delete
    3. මටත් ආපස්සට හැරිලා බැලුවාම කියන්න තියෙන්නෙම ඕක තමා මෙන්ඩෝ.. කකුලෙන් ඇදපු එවුන් තාම ඒ තැන්වල ලොක්කන්ට කඩේ යනවා.. පවුඌඌඌ ...

      Delete
    4. මොකක්ද බන් ප්‍රසන්න මේ නූල් කතාව.. මමනම් ඔව්ව ගැන මුකුත්ම දන්නේ නැහැ.. හැක්..

      Delete
    5. ඔව් ඔව් ඔය පරණ නූල් කපපුව මෙතන ලියල අන්තිමේ මෙන්ඩගේ සික්කසාද නඩුවට මටත් යන්න වෙනවා ඔන්න.. කව්ද දන්නේ පරණ නූල් සීන් නිසා බාල අපචාර ගණයට වැටෙන එව්වත් ඇදෙයිද කියල.. හැක්..

      Delete
  10. හැක්.. සීඩී රොම් එක මේසෙ උඩිං තිබ්බම අමාරිස් බුවාට මේසෙ යටට රිංගන්න හිතෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඌ ලැජ්ජාව ගෑවිලාවත් නැති සතෙක් බන්.. මූණ බැලුවාම මාර අහිංසක වැදගත් පාටයි.. ඒත් වැඩ නම් කුජීතයි..

      Delete
  11. අඩෝ බොලා අම්බලංගොඩ උනාට කමක් නෑ බ්ලොග් කියෝල කොමෙන්ට් දාන එවුවන්ගෙ තොරතුරු දැන ගැනීමේ අයිතියට අත තියන්න ලෑස්ති වෙන්න එපා අරිද. වහාම CD රොම් එක ගල් කරපු හැටි කියාපිය.

    -සභාපති-
    කො.ක.ස.

    ReplyDelete
    Replies
    1. අනිවා
      ගල් බලකයේත් සාමජිකයෝ අපි

      Delete
    2. එව්වා ඇවිල්ල මාස්ටර් ප්ලෑන් පුතා.. එව්වා ගහන්න ෂර්ලොක් හෝම්ස් ඔලුවක් ඕන.. නැත්තම් හත්පොලේ ගාගන්න තමා වෙන්නේ..

      Delete
    3. ගල්.... ඈක්ක.. මටනං කටේ තියන්න බෑ..

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල් උනාට අපිත් බොන්නේ වෙන ඒවා

      Delete
  12. Replies
    1. ඒ කාලේනම් ඇරියොත් ඇරියා තමා.. දැන්නම් එහෙම නෑ බන්.. පවු ගොඩගහගන්න එකා එක්ක ඇමිණිලා අපිත් පවු ගොඩගසාගැනීම අමුම අමු මෝඩ කමක් බන්..

      Delete
    2. //////පවු ගොඩගහගන්න එකා එක්ක ඇමිණිලා අපිත් පවු ගොඩගසාගැනීම අමුම අමු මෝඩ කමක් බන්..//////////////

      හරියටම හරි ගොඩයෝ..ඒ වගේ අමාරිස්ලා ගැන එහෙම තමයි හිතන්න ඕන.

      Delete
    3. ගොඩයා දැන් සිල් අරන් ඉන්නේ ..

      Delete
    4. ලංකාවේ කොතන රස්සාවට ගියත් අමාරිස්ලගෙන් අඩුවක් නැති එකේ උන් එක්ක එල්ලීමෙන් වෙන්නේ උන් එක්කම අපායේ යාමක් අරුණ මහත්මයා..

      Delete
    5. දැන්නම් ඇනෝ ඔය ඇනෝ ගැහිල්ල නවත්තල ID එකක් හදන් එන්න වෙනවා..

      Delete
    6. හී හී...බැරියෝ....

      Delete
  13. එල් අයි පොට දෙකේ ඩයිනට් එක හොය හොය ෆැක්ටරි පුරා ඇවිදපු ඩෑල් එකක් දැන් අමාරිස් කෙනෙක් වෙලා කියල ආරංචියක් ආවා.උට යවන්න හිතෙනවා මේක.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් නැති රටේ එරඬු ගසුත් ගස් කියල අහල තියෙනවනේ බන්.. මගේ ඉන්දියන් සංචාරයට අදාළ ජොබ් එක කරපු කාලේ ලොක්කට දිවා රෑ ගොට්ට අල්ලපු වයරින් බාස් කෙනෙක් ලොක්කගේ බලතල ඔලුවට අරගෙන මටත් කොකා පෙන්නගෙන ටෙක් විදිහට කොම්පැනියට රිංගුවා .. මම දහස් වාරයක් යවන්න එපා කියල කියපු වැඩකට මෑන්ස්ව ලොක්ක යැව්වා නෑ එයා ඔයාට වඩා වැඩකාරයා කියල.. ඊළඟට මම කිව්වා යවනවානම් ගලවන්න කලින් මට කෝල් එකක් දෙන්න කියල..මම ඌ යවන්න එපා කිව්වේ ඌ ඒ වැඩේ කරොත් තුවාල කරගන්නවා කියල ශුවර්ම ෂුවර් නිසා.. මම හිතුව වගේම ඌ ආපහු ආවේ ඔලුව පලාගෙන දතකුත් කඩාගෙන..

      සමහර දේවල් තියනව බන් නිසි පුහුණුව නැතුව කරන්න ගියොත් ජීවිතේ පවා අනතුරේ වැටෙන. ඒ බූරුවත් සෙල්ලම් කරේ ලොකු ටෙන්ෂන් එකක් තියන ස්ප්‍රින් එකක් දාපු Hydraulic පම්ප් එකක් එක්ක. පුංචි ඇන දෙකකින් ටෙන්ෂන්න එක වත්තල තියෙන්නේ. නොදැන බූරුවා වගේ බුරුල් කරොත් අනිවා මුණ කට සමතලා වෙනවා..මූ ගොනා සේ ඒ ඇන දෙක බුරුල් කරලා..

      ඒ තුවාල හොදවුනා විතරයි මටත් වඩා සීනියර් සේල්ස් රේප් කෙනෙකුට පාර්ට් එක දාල සේල්ස් රෙපා ඌට ගැහුවා spanner එකෙන් ආයෙමත් ඔලුව පැලෙන්න..

      ඌ තමා මට ඒ ජොබ් එක රපා කරවලා රාජ්‍ය සේවයට එන්න පාර කැපුවේ.. අද මම කොතනද ඌ කොතනද.. පවු බන් උන්..

      Delete
  14. උඹ තමයි දවසකටවත් බුවා...
    අමාරිස් ගොයියට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති බං, හැබැයි උඹ සෙක්ෂන් මාරු උනාට එකම ආයතනයේ වැඩ කරද්දී ආපහු අමාරිස් ලොක්ක උඹට අරින්න ආවේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. අමාරිස් එදා ඉඳන් මම රජයේ සේවයෙන් ඉවත් වෙනකල්ම මුනට හම්බුනත් අහක බලාගෙන යනවා.. එක කොරිඩෝ එකේ උස්සරහට එනකොට අමාරිස් කොතනින් හරි හැරිලා මාරු වෙනව. අමාරිස් දන්නවා ආයේ මා එක්ක එල්ලුනොත් මගෙන් ලැබෙන්නේ ඊට වඩා ලොකු දඬුවමක් කියල. බොහොම අහම්බෙන් සෙනසුරාද දවසක අමාරිස් ගල්කිස්සේ කඩේක බඩු තෝරනවා දැකල මම වාහනේ නවත්තල බැහැල ගියා.. අමාරිසා මම එනවා දැකල අතේ තිබ්බ පැපොල් ගෙඩිය බිම අතැරලා දුවල ගිහින් කාර් එකේ නැගල මාරුවුනා කියහන්කෝ.. එදා මම වාහනෙන් බැහැල ගියේ ඔය වගේම බලු වැඩකට මට අසූ හාරදාහට මල පැනල හිටපු වෙලාවක.

      ඒ සිද්දිය වුනේ ඔය සී ඩී රොම් එක නැතිවෙලා මම ඒ බ්‍රාන්ච් එකෙන් මාරු වෙන්න කලින්. මම මේ පොස්ට් එකේ ලියල තියෙන්නේ අමාරිස් මට කරපු ජරා වැඩ වලින් බොහොම කීපයක් විතරයි බන්.. ඌ කරපු බලු වැඩ ඔක්කොම ලියන්න ගියානම් මේ පොස්ට් එක මාසයක් විතර ලියන්න වෙනවා.

      අමාරිස්ලාගේ බලු වැඩ නිසා කොන්ත්‍රාත් පදනමේ හිටපු පස්දෙනෙකුට රස්සාව නැතිවුනා.. අන්තිමේ උන් නඩු දැම්ම.. උසාවියෙන් තීන්දු කරා උන්ට එක්කෝ රැකියාව දෙන්න නැත්තම් වන්දි ගෙවන්න කියල.. නඩු තීන්දු ලැබෙද්දී උන් ඔක්කොටම හොඳ ජොබ්ස් සෙට් වෙලා.. ඒ නිසා උන් වන්දි ගත්ත.. අමාරිස්ලාගේ පුද්ගලික මට්ටමේ පලිගැනීම් නිසා සේවකයින්ට වන්දි ගෙවන්න වුනේ රජයට.

      Delete
  15. -සභාපති-
    කො.ක.ස. තුමාට ජයවේවා ! තොරතුරු දැනගැනීමේ අයිතියට අත නොතබනු!


    මැවිලා පෙනේ වි රූපේ.. පව් යකෝ අමාරිස් :D

    ReplyDelete
    Replies
    1. උන්ට පවු කියන අපි පවු බන්.. ඒත් ඉතින් සංසාරේ කරපු පින් මහිමයට ඉහලටම ඉගෙනගෙන ලෝකෙම පිළිගත්තු රැකියාවක් කරන ගමන් මේ වගේ බලුකම් කරලා ගොඩගහගන්න පවු උන්ම එපයි බන් අරන් යන්න..මට හිතාගන්න බැහැ ඇයි ඒ මිනිස්සු තමුන් උපයපු ඉගෙනගත්තු දෙයින් වැඩක් අරගෙන නිදහසේ සන්තෝසෙන් ජීවත් වෙන්නේ නැතුව මේ අහිංසක මිනිස්සු තලා පෙලා දමන්නේ ඇයි කියල. මානසික රෝග තමා බන්.. තමුන් උපයපු දෙයින් හම්බුකරගෙන සන්තෝසෙන් ජීවත්වෙන්න උන්ට පින නෑ..

      Delete
  16. පහුගිය සිකුරාදා තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කළා... දැන් ගොඩයට අර එපා කියපු ඒවට උත්තර දෙන්නම වෙනවා.....

    සීඩි රොම් එක මේසෙ උඩ ගිහින් තිබ්බ එක නම් මරු වැඩේ.. කියල වැඩක් නෑ:D

    ReplyDelete
    Replies
    1. පනත සම්මත කරාට එව්වා අතීතයට බලපාන විදිහට කරලා නෑ නිර්මානි.. ඒ හින්ද ගොඩයා බේරෙනවා.. මොකද අතීතයට බලපාන විදිහට නීති පනත් සම්මත කරොත් ලංකාවේ ඉන්න ලොක්කෝ බර ගානකට වංචා දූෂණ වලට උත්තර දෙන්න වෙනවාමයි..

      Delete
  17. අම්බලංගොඩයියා ගඟෙං එහා එකෙක් බව ආයිමත් ඔප්පු කර ඇත. ලිපිය කියවන්නට පටංගත්තේ ජම්බුද්වීපය ගැන නොලියන එකට බයින්න බලාගෙන උනත් කරල තියෙන වැඩේ ඇහුවම ඒක ඊට වඩා ජොලිය. කෙසේවුවත්, ඔය රයිටරේ ගල්ටික් කරපු හැටි කියනවානං හොඳය. නොකිව්වත් අවුලක් නැත. ඔය වගේ ලොක්කන්ට හක්ක ඇඹරෙන්න ගේම් දීමෙන් ළබන තෘප්තිය සූටිං මාටිං බැලීමෙන්වත් ලබන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. රයිටරේ ගල් කරපු විදිහ ලිව්වොත් අනාගත අමාරිස්ලා මෙව්වා කියවලා උන්ගේ දුර්වලකම් හදාගෙන පොඩි එවුන්ට පහර ගහනවා බන්.. ඒ හින්ද ඒක ඕන නෑ..

      වගේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන් ඔලුවක් උඹටත් තියෙනවා කියලයි මගේ අදහස.. මොකද උඹ ආත්තම්මාගේ කඩෙන් ආතම්මට පාඩු නොවෙන්න මාටියා ගැහුවේ වයස දහයේ දොලහෙදිනේ බන්..හැක්..

      Delete
    2. ජම්බුද්වීපය - http://pasanrahula.blogspot.com/2016/09/blog-post.html

      Delete
  18. උබ CD ROM එක උස්සපු එක නම් කියන්න එපා. ඒත් මේ පොස්ට් එකට කොමෙන්ට් කරල මොනව ලියනවද කියල බැරි තරමට ආතල් ඔක්කොම එළඟි තෙල් වෙලා තියෙන්නෙ.

    බඩුම තමයි. මටත් පොස්ට් එකක් ලියන්ට හිතුන බං 😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ලියහන්කෝ බන් ටිලාන් පොස්ට් එකක්.. අදම පටන් ගනින්..

      Delete
    2. ඔන්න ලිව්වා ...

      http://tikikatha.blogspot.co.uk/2017/02/me-myself-and-i.html

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. රොම් එකට වූ සන්තෑසිය වසන් කිරීම අපගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අකුල් හෙළීමකි...
    කෙසේ වුවත් අමාරිස්ට ඉස්ම යන්න ඔළුවෙන් දුන්න ගේමනම් පට්ටය.
    අර ගෑල් ළමයි වට කරන් උන් පාළු සාලාවේ කතාව මට මතක් කරන්නෙ මගේ පාසල් සමයය....

    ReplyDelete
    Replies
    1. රොම් එක අමාරිස් නැති වෙලාවක ලාච්චුවෙන් එලියට පැනල මා ගාවට ඇවිදන් ආව.. හක් හක් හා...
      පාලු ශාලාවක් කිව්වට බොලා එව්වා වරදවා හිතනවා එහෙම නෙවෙයි ඔන්න.. එව්වා දහස් සන්ක්යාත ජනයා ගැවසෙන තැන් බන්..

      Delete
  21. 3 පාරක් කියෙව්වා මචං. එච්චරටම කතාව ෆිට්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොටිය බබා.. මෙව්වා කියවලා කුජීත වෙන වැඩ කරගන්නවා නෙවෙයි ඔන්න.. කරන දෙයක් හොඳට හිතල තනියම පරෙස්සමෙන්.. හැක්..

      Delete
  22. චෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑැැ

    හික්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  23. මාත් ආසයි පාලු සාලාවක අර නයිටා කට්ටියත් එක්ක වැඩ කරන්න

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නද ???????????????????

      Delete
    2. ඈ බං විදානේ.. මොනවගේ වැඩද කරන්න ආසයි කිව්වේ..

      Delete
  24. හම්මෝ අමාරිස්ට එපා වෙන්න ඇති.......... හොද වැඩේ හැබැයි ඔය වගේ එවුන්ට

    ReplyDelete
    Replies
    1. පීස්සුද බං.. අමාරිස්ල එව්වයෙන් සැලෙන්නේ නෑ.. කරදර කාරයා ගියා කියල හිත හදාගෙන ගොන් නාම්බෝ ටිකක් අල්ලාගෙන ආයෙත් පරිප්පුව දෙන එක තමයි උන්ගේ රාජකාරිය..

      Delete
    2. එක නම් ඇත්ත අම්බලන්ගොඩ අයියේ.............. දැන් මන් වැඩ කරන තැනත් ඉන්නවා ඔය වගේ ගෝතයෝ දෙතුන් දෙනෙක්ම :)

      Delete
  25. ඔහේනම් රියල් දකුනෙ කොල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං.. අපි එහෙම තමා.. ගැහුවොත් ඉතින් නින්ජා ගැහුවා වගේ තමා..

      Delete
  26. අමාරිස් ගොයියාට අන්තිමේදි තේරෙන්න ඇති බෙන්තර ගගෙන් එහා පැත්තේ පොරවල් ගැන

    ReplyDelete
    Replies
    1. අමාරිස් බොහොම අවතක්සේරු කරා ගඟෙන් එහා එකාව.. පවු බං

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. තොරතුරු ගැනීමේ පනත අම්බලන් මා එක්ක අත්සන් කරල තියෙන්නෙ.බය නැතුව හිටහල්ලකො සී.ඩී.රොමට මොකද උනේ කියල මන් කොමොන්ටුවක් දාන්නම්කො

    ReplyDelete
    Replies
    1. හැබෑට...එව්වා වන් මෑන් ගේම් බං.. බලං හිටහන්කෝ අඬබෙර ගහන්න..

      Delete
  29. මෙහෙම එකෙක් අපේ ඔෆිසියෙත් හිටියා. මමත් කාලයක් පසුපස පාදයේ ක්‍රීඩා කරලා අන්තිමට ඌට අරින්න ඕන හැම සිදුරෙම ඇරියා.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් එල පොරක්.. ඉවසලා ඉවසලා බැරිම උනාම ඉතින් රෙදි කරේ තියන් දුවන්න තමා දෙන්න ඕන..

      Delete
    2. ඉතින් පයන්නෝ ඒක ලියපන්කෝ !!

      Delete
  30. හෙලෝ ගොඩෙයා, උඹව කන්ටැක් කරන්න පුළුවන් ඊ මේල් ඇඩ්රස් එකක් පුලුවන්නම් දාපන්. උඹේ ප්‍රොෆයිල් එකේවත් එහෙම ඔප්ෂන් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. polwattacom@gmail.com

      මේ මම දන්නා හර්ෂලා තුන්දෙනාගෙන් එක්කෙනෙක්ද ???

      Delete
  31. මේ වගේ අමාරිස්ලා දෙන අමා ගොන් පාට් මතක්වෙනකොට දැන් හිනා යනවා නේද... මුන් වගේ හාල්පාරු පන්දමාලා නිසා තමයි රාජ්‍ය සේවය සවුත්තු කරලා කතාකරන්නේ. මේ අමා ටිකක් හොඳයි වගේ. ගෑණු කිචාලා ගැන හිතපන්. ගෑණියෙකුට නිදහසේ රස්සාව කරන්න දෙන්නේ නැති එවුන්. අර උඹ කිව්වා වගේ ජීවිතේ සතුට දන්නැති හාදයෝ. වයසට ගිහින් තියෙන්නේ කැලැන්ඩරේ දවස් කොලේ ගැලවෙන හින්දා මිසක්, වෙන අරුතකින් නෙමේ.

    ReplyDelete
    Replies
    1. දැන් උන් ගැන මතකවෙනකොට හිනා යනවා අරුණ මහත්මයා.. අපේ ඔය අමාරිස් ගොයියත් ගෑනු කිචා තමා.. හැබැයි ඇස්දෙකෙන් සහ හිතෙන් විතරයි.. උන්නැහේට ලොකුම ප්‍රශ්නේ උනේ බට්ටිච්චියෝ ටික ඌ වටේ ගැවසෙන්නේ නැතුව අපි වටේ ගැවසෙන එක තමා.. පනහ පනින්න ඔන්න මෙන්න හිටපු ඒ නාකි පයන්න වටේ දහඅටේ විස්සේ කෙල්ලෝ කැරකෙයිද අපි වගේ විසි පහේ තරුණ කොල්ලෝ ඉද්දි..හික්ස්..

      උන්ට ජීවිතේ අඩුපාඩු මුකුත්ම නැහැ.. ලක්ස ගානක පඩියක් ලැබෙනවා.. පපුව ඇතුලේ මොන ජරා ගති තිබ්බත් සමාජයෙන් පිළිගැනීම ලැබිල තියෙනව.. ඒත් උන්ගේ සංසාර කරුමෙට උන් අනික් එවුන් පාලනය කරන්න ඇවිල්ල නිස්කාරනේ පීචන් වෙනවා.. අමාරිස්ට ගහන්න අපේ හිටපු බුක් කීපර් කෙනෙක් පුටුව උස්සල ගත්ත.. එදා වටේ හිටපු එවුන් ඌව අල්ලාගත්තේ නැත්තම් අමාරිසා අද බත් කන්නේ බොරු දත් කුට්ටමෙන්..

      Delete
  32. දීලා තියෙන්නේ ලෙසටම! මමත් හරිම මනාපයි මේ වගේ ඩයල් වලට පොඩ්ඩක් සලකන්න!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තිබ්බ කේන්තියෙ හැටියට නම් උන්දැට දීපුවා මදියි නාඩියෝ.. දැන් නම් උන් වගේ මානසික රෝගියෝ ගැන දැනෙන්නේ අනුකම්පාවක්..

      Delete
  33. නියන කථා ලිවීමේ හැකියාවක්. නියම වෙලාවට බෝම්බෙ අතෑරලා. මම කියන්නම අරක ඉස්සුවේ කොහොමද කියලා. ඒක උස්සන්න අර කුමාර කියන එකාට බෝතල් දෙකක් දෙන්න වුණා කියල තමයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.. කුමාර බෝතල් දෙකක් දුන්නාම ලොක්කගේ ලාච්චුවේ තියන සී ඩී රොම් එක උස්සනවානම් වෙන එකෙක් බෝතල් හතරක් දුන්නාම සී ඩී රොම් එක උස්සපු එක ගැන ඌට කියනවනේ..මේ වගේ වැඩ හවුල් කාරයෝ දාගෙන කරන එක බොහොම අවදානම් ඉයන්.. ඒ නිසා මේක තනිකරම ෂර්ලොක් හෝම්ස් මොලෙන් තනියම ගහපු ප්ලෑන් එකක්..

      Delete
  34. අහන්න තියෙන ප්‍රශ්නෙ අහන්න එපා කියල කලින්ම කියලනෙ. කමක් නෑ දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙන බව උඹ දන්නවා නේද. ඒ යටතේ විස්තර දෙන්න කියල ඉල්ලන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හැක්.. පුද්ගලිකව හම්බුනොත් දවසක කියන්නම්.. ප්‍රසිද්දියේ ලියන්න බෑ.. එහෙම ලියන එක අපේ බාල පරම්පරාවේ සුපිරි ෂර්ලොක් හොම්ස්ලාට ජේම්ස් බොන්ඩ්ලාට කරන අසාධාරණයක්..

      Delete
  35. මට මේක කියෙව්වම මගේ ඔෆිස් එකේ හිටිය ගාමිණි මහත්තය කියපු කතාවක් මතක් වුණා. කට්ටියටම ආරාධනා කරනවා ඒක කියවන්න. මොකද ගොඩයා සී.ඩී. රොම් එක උස්සපු එක ගැන දල අදහසක් එකෙන් ගන්න පුළුවන් වෙන නිසා. අද හවසම දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ආන් මම ගිහින් කොමෙන්ට් එකක් දාල ආව.. බොලා එව්වා කරලා තියෙන්නේ විස්සක් තිහක් එකතු වෙලා.. මෙව්වා තනියම දීපු ගේම්ස්.. හෙවනල්ලවත් දන්නේ නැහැ.. වැඩිය මහන්සි නෑ.. ඔත්තු බැලිලි නෑ.. ගියා .. ගත්ත... ආව..

      Delete
  36. මට මගේ දෙමටගොඩ බ්‍රාන්ච් එකේ පිස්සු මැනේජරයව මතක් උනා. ඒ කාලකන්නියට තියෙන්නේ පුටු මේනියාවක්. මම දෙමටගොඩින් එද්දී මිනිහගේ මාස්ටර් ෆයිල් එක ඉස්සුවා.
    අදටත් ඒ බූරු වහන්සේ තමයි මැනේජර්

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉහල පුටුව දෙන්නේ සහතික වලින් ඉහලම සුදුසුකම් තියන එකාට බං.. එතැනදී ඌ බූරුවෙක්ද එළුවෙක්ද කියන එක අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රණයට අදාළ නැහැ.. මම කියන්නේ නැහැ සහතික වලින් ඉහල සුදුසුකම් තියන ඔක්කොම බුරුවො කියල.. ඒත් පරිපාලනයේ ඉන්න බහුතරයක් බුරුවො කියල සහතික කරලා කියන්න පුළුවනි 1948 ඉඳන් ආපු ගමනේ රටට ලැබිච්ච දියුණුව දිහා බැලුවාම..

      Delete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. රසවත් පෝස්ටුවක් ...

    ReplyDelete
  39. උඹ නම් සිරා එකෙක් බන්. මමත් CECB එකේ වැඩ කරන කාලේ ඔය වගේ එකෙක් හිටිය. මිනිහ අපිට වල කැපුවේ නැහැ. හැබැය් හැම තිස්සෙම ලොක්කට යේස් බොස් කියා ගත්ත ගමන්.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ එවුන් හැමතැනම ඉන්නවා බන්..ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනමත් ඉන්නවා..

      Delete