Tuesday, April 4, 2017

ස්කූල් සර්විස්



ස්කූල් සර්විස් කීවාම හැමදෙනාගේම හිත් වලට එන්නේ ලංකාවේ සෑම නගරයකම වාගේ පාසල් දිහාවට ඇදෙනා බස් වෑන් පෝලිම වුවත් මේ ලියවෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්කූල් සර්විස් කෙරුව්වක් ගැන නිසා මෙය බස් වෑන් කතාවක් නොවන වග මුලටම හිතාගන්නට ඕනෑය. ගොඩයා පාසල් අද්‍යාපනයේ අවසාන අවුරුදු අට ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් වන අතර පළමු අවුරුදු පහ අධ්‍යාපනය ලැබුවේ අම්බලංගොඩ දේවානන්ද විද්‍යාලයෙන්ය. පාසල් අද්‍යාපනයේ මුල් අවුරුදු පහ දේවානන්ද විද්‍යාලයෙන් ලැබූ හේතුව නම් එකල ධර්මාශෝක විද්‍යාලයේ එක වසරේ සිට හය වසර දක්වා පන්ති නොපැවැත්වීමය. අම්බලන්ගොඩයා ධර්මාශෝක විද්‍යාලයට යම් ගෞරවයක් තිබේද ඒ හා සමානම ගෞරවයක් දේවානන්ද විද්‍යාලයටද දක්වනවාය. ඒ මන්ද යත් ගොඩයා උගෙනගත් අකුරු සාස්තරයට මුල් අඩිතාලම දැමු විද්‍යාලය දේවානන්ද විද්‍යාලය වන නිසාය.

අම්බලන්ගොඩයාගේ පාසල් යාමට අදාලව ස්කූල් සර්විස්  එකක අවශ්‍යතාවය අම්බලන්ගොඩයාගේ දෙමාපියන්ට දැනෙන්නේ දේවානන්ද විද්‍යාලයේ හිටං ගොඩයාගේ නිවසට ලගා වීමේදී ගාලු පාර නැමැති අති   භයානක මහා මාර්ගය තරණය කලයුතු නිසාය. ගොඩයා උදෑසනට පාසල් යන්නේ තම පියාණන් සමග වන අතර එය බොහෝමත්ම  විනයානුකූල පාසල් ගමනක්ය. උදෑසනට පියාණන් විසින්ම ඉස්තිරික්ක කර දෙන සුදුම සුදු කමීසය නිල්ම නිල් කලිසමට පිළිවෙලට යට කරන ලදුවද, පියාණන්ගේ පනාවෙන්ම ඉර හිටින්නට පැත්තට පීරන කොන්ඩයද, පිළිවෙලට පිටේ එල්ලන ලද පොත් බෑගයද සමගින් එක සීරුවට යෙදෙනා ගමනකින් අනතුරුව අම්බලන්ගොඩයා දේවානන්ද විද්‍යාලයට ලඟා වනවාය. පියාණන් වම් අතින් කාර්යාල බෑගයද දකුණු අතේ දබර ඇඟිල්ලේ අම්බලන්ගොඩයාද එල්ලාගෙන දේවානන්ද විද්‍යාලයට පිටත් වන්නේ උදෑසන හතටය. නිවසින් පිටත්වී දේවානන්ද විද්‍යාලයට ලඟා වනතුරුම පිය පුතු දෙපලගේ අල්ලාප සල්ලාපයක් නොවනා අතර පාසලේ ගේට්ටුව අසලදී පියාණන්ගේ හීනි පනාවෙන් ගොඩයාගේ කොණ්ඩය නැවතත් පැත්තට බෙදා පීරා පියාණන් රැකියාවට පිටත්වී යනවාය. කොණ්ඩය පැත්තට පීරූ ගොඩයා හෙන ගොන් පාට යයි ගොඩයා සිතනා නිසා පියාණන් මද දුරක් යනතුරු ඉවසා සිට කොණ්ඩය මදක් අවුල් කරගෙන පාසල ඇතුලට පියමනිනවාය.


උදෑසනට දෙනාම එකම වෙලාවට පිටත්වී යන බැවින් පාසල් සේවාවක අවශ්‍යතාවයක් උදෑසන ගමනට නොතිබුනාවූ අතර පාසල් සේවාවක අවශ්‍යතාවය දැනෙන්නේ පාසල ඇරී ගෙදර එන වේලාවටය. පාසල් ගමන සිහිවන අලපනල්ලේ අම්බලන්ගොඩයාට හිතේ දැවෙනා තවත් කාරනාවක් මතකයට එනවාය. එනම් එකල දෙමාපියන් තම දරුවන් රැගෙන ගියේ පාරේ දකුණු පැත්තේ අයිනෙන්ය. එනම් දරුවා පාර අයිනට වෙන්නටද වැඩිහිටියා පාර පැත්තට වෙන්නටද ලෙසය.  එහෙත් වර්තමානයේ දෙමාපියන් දරුවන් සමග මහමග යාමේදී දරුවා පාර පැත්තේද මව හෝ පියා අයින පැත්තේද ගමන් කරනු දකින අම්බලන්ගොඩයා සිතන්නේ දරුවාගේ ජීවිතයට වඩා මව හෝ පියාගේ ජීවිතය වටිනවා වන්නට ඇති කියාය. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරනවා කියනා සංකල්පයක් වර්තමාන දරු පරපුර තියා දෙමාපියන් බහුතරයක් දන්නවාද කියාවත් ගොඩයාට නම් සැක සහිතය.

ගොඩයාගේ  පාසල් ගමනට සමගාමීව උද්ගතවූ පාසල් සේවා ප්‍රශ්නයට පළමු විකල්පය වශයෙන් දිරියෙන් ඉදිරියට  පැමිණියේ ගොඩයාගේ මිත්තනියය. පාසල ඇරෙන වේලාවට නගර සභා පිට්ටනියට විවුර්තවන දෙවානන්දයේ පොඩි ගේට්ටුව  අසලින් ගොඩයාව පික්  කරන්නේ ආච්චි අම්මා වන බැවින් ගොඩයාට එතැන් පටන් ආච්චි අම්මාගේ නිවසට ලඟා වනතුරු මසුරන් පහට කඩචෝරු කන්නට ලැබෙනවාය. ගේට්ටුවෙන් එලියට පැමිණි වහාම ආච්චි අම්මාගෙන් සත විසිපහක් ඩැහැගන්නා අම්බලන්ගොඩයා පළමුව දිවයන්නේ අයිස් පලම් විකුණන්නා වෙත වන අතර එතැන් පටන් අයිස් පලම අහවර වනතුරු ආච්චි අම්මාගේ පසුම්බියට කිසිදු පාඩුවක්  සිදුවන්නේ නැතිය. එහෙත් අයිස් පලම අහවරවූ තැන හමුවන පළමු වෙළඳසැලෙන් තවත් කඩචෝරුවක් මිලදී ගන්නාතුරු ආච්චි අම්මාට කනක් ඇහෙන්නට ගොඩයා ඉඩක් නොදෙනා බැවින් ගොඩයා ඊළඟ කඩපිලට ගොඩවන අල්ලපනල්ලේ ආච්චි අම්මා තවත් සත විසිපහක් පනහක් ගොඩයාගේ අත තබනවාය. එය එසේ වන්නේ එසේ නොකර ගොඩයා ගෙදර ගෙනයාම පනාමුරේ ඇත්රාජා දක්කනවාටත් වඩා අමාරු කාර්යභාරයක් වන වග ආච්චි අම්මා පාසල් සේවය ආරම්භ කළාවූ මුල් දිනයේම උගත් පලමු පාඩම නිසාය. ආච්චි අම්මා කඩචෝරු කෑමට විරෝදය දැක්වුවා විනා මුදල් පිලිබඳ කිසිදු දිනෙක කිසිදු සඳහනක් නොකළ වග ගොඩයාගේ මතකයේ තදින් සටහන්ව තිබෙනා අතර ගොඩයා පාසල් සේවාව අතරතුර වලඳනා කිසිදු කඩචෝරුවක් ගැන කෙදිනකවත් ගොඩයාගේ පියාණන්ට හෙවත් තම පුත්‍රයා වෙත පැමිනිලි  කලේද නොමැතිය. එවන් ආකාරයෙන් සුඛිත මුදිත අයුරින් ගෙවුනාවූ සති කිහිපයකින් අනතුරුව ගොඩයාගේ පාසල් සේවාවට කණකොක හඬන්නේ පාසල්ගොස් මිත්තනියගේ නිවසේ හිටං සවසට පියාණන් විසින් ගෙදර කැඳවාගෙන යනතුරු ගොඩයා පියාණන්ගේ ගමේ කොල්ලන් කුරුට්ටන් සමග කැලේ පනිනා වග ගොඩයාගේ පියා සක්සුදක් සේ වටහාගත් නිසාය. මිත්තනියගේ හෝ පොඩි නැන්දාගේ අතින්  සෑදෙනා  රසවත් දහවල් ආහාරයකින් අනතුරුව අම්බලන්ගොඩයාව නැවතත් මිත්තනියට දැකගන්නට ලැබෙන්නේ  ඉර අවරට යන්නට ඔන්න මෙන්න තියලාය. නැන්දා විසින් කැලෑවල්, පිට්ටනි, ඕවිටි , බඩවැටි , සොහොන් පිටි පීරා සොයාගන්නා කොලු නඩය අතරින් ගොඩයාව මිත්තනියගේ නිවසට කැඳවාගෙන එන්නේ ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කරමින් වන අතර නැන්දාගේ අතෙහි රැඳෙනා කොටුව අලියා දක්කන හෙන්ඩුව වාගේ වුවත් ඇය කෝටු පාරක් කිසිදාක තලානම් නැතිය. අම්බලන්ගොඩයාගේ අයහපත් කල්කිරියාව නිසාවෙන් අහිමිවන පළමු පාසල් සේවාවෙන් අනතුරුව දෙවනුව ගොඩයාගේ පාසල් සේවා අධ්‍යක්ෂක තනතුර භාරවන්නේ ජයන්ති නමැති කාන්තාවකට වන අතර ගොඩයා මුල් පාසල් සේවාවෙන් ලැබූ සියලු කඩචෝරු ප්‍රිවිලේජස් එතැන් පටාන් ඉතාමත් දුක්ඛිත අයුරින් කැපී යනවාය. අයිස් පලම් මාමිගේ පෝං පෝං නලාවේ ශබ්දය නෑසෙනා ගානට ගොඩයා නගර සභා පිට්ටනිය තරණය කරගෙන, ජයන්ති ඇන්ටී කියනා අයිනෙන් පුංචි අම්මාගේ නිවසට ලඟා වනවාය. අයිස් පලම් මාමිලාද ගොඩයා එම ඉසව්ව පසුකරනා අල්ලපනල්ලේ පෝං පෝං නලාවේ බෙල්ල තදින් මිරිකන්නට තියාගන්නේ ගොඩයා ඩේලි කස්ටමර් බව දන්නා නිසාය.  ගොඩයාද පෑම් පූම් නලාව ඇසෙනා නෑසේනා ගානට එතනින් මාරුවනවාය.

වර්තමානයේ දරුවන්ට ලැබී තිබෙනා  කොටුවේ නාටාමිලා උස්සනවාටත් වඩා බරෙන් වැඩි පොත් බෑගයක් එකල දරුවන්ට නොතිබුනා වුවත් ජයන්ති ඇන්ටී ගොඩයාව දක්කනවාට අමතරව පොත් බෑගයද එල්ලාගෙන යන පහසුකම ගොඩයා වෙත නොමිලේ සපයනවාය. ජයන්ති ඇන්ටී වැඩි කතා  බහක් නොමැති බොහෝ නිහඬ චරිතයක් වන අතර ගොඩයාට ලැබෙන පළමු සහ අවසන් අවවාදය පාරේ අයිනෙන් යන්න කියනා අවවාදය  පමණය. පුංචි අම්මාගේ නිවසට යාමේදී ගොඩයාගේ නිවස පසුකර මද දුරක් යායුතු වුවත් පාසලේ සිට පුංචි අම්මාගේ නිවස වෙත ලඟා වියහැකි සියලුම විකල්ප මාර්ග ගොඩයා විසින් භාවිතයට ගන්නවාය. ජයන්ති ඇන්ටීද කිසිදු විරෝධයක් නොදක්වා ගොඩයා ගමන් කරන්නට කැමති ඕනෑම පාරකින් ගොඩයාව පාරේ අයිනෙන් දක්කාගෙන එනවාය. ඉඳහිටෙක වත්තක තිබෙනා ගඩා ගෙඩියක් කඩාගන්නට ගස් බඩගානා කොල්ලන් කුරුට්ටන් සමග ගොඩයා මද විවේකයක් සඳහා නවතිනා අල්ලපනල්ලේ ජයන්ති ඇන්ටීද කිසිදු කතාවක් බහක් නොමැතිව පොත් බෑගය පිටේ එල්ලාගෙන පාසල් සේවාව හෙවනකින් පාර්ක් කරගෙන  බලා සිටිනවාය. 

වනරොදවල් වල ඉබේ වැවෙනා දං හිඹුටුද,  අනුන්ගේ වතුවල නිදහසේ හැදෙනා වෙරළු, ජම්බු, පේර  වැනි දෑද, උසම උස ගස්වල හැදෙනා කෝං, අඹ වැනි දෑද කොල්ලන් කුරුට්ටන්ගේ නිරන්තර අවදානයට යොමුවනා ලෑන්ඩ් මාර්ක් වන නිසා එවන් තැන්වල මද වෙලාවක් රැදී සිට එවන් දෑ නැරඹීම අම්බලන්ගොඩයාගේ පුරුද්දක් වනවාය. එහි ප්‍රතිපලයක් වශයෙන් ගොඩයාගේ කලිසං සාක්කුද ගඩා ගෙඩි වලිං පිරී යන්නේ කොලු නඩයට කිසිදා තනියම වළඳන පුරුද්දක් නොතිබුණු නිසාය. බහුතරයක් දින වලදී ගොඩයාව ඉස්සරකරගත් ජයන්ති ඇන්ටී පුංචි අම්මාගේ නිවසට ලඟා වෙද්දී පුංචි අම්මා පාරට වී මග බලා ඉන්නවාය. ඒ මන්දයත් බඩ ගාගෙන ආවත් විනාඩි තිහකින් එන්නට හැකි දුරක් එන්නට ගොඩයා පැයකට ආසන්න කාලයක් ගතකරනා නිසාය. එවන් දින වලදී ජයන්ති ඇන්ටී පුංචි අම්මාගේ උදහසට ලක්වනවා වුවත් ඒවාට ජයන්ති ඇන්ටී සැමදා පිළිතුරු දුන්නේ නිහඩ බවින් පමණය. ගඩා ගෙඩි වලඳා එන ගමනේ පුංචි අම්මගේ නිවසේ ගේට්ටුව ආසන්නයේ දැනෙනා පුංචි අම්මා විසින්  පිසිනා රසම රස පරිප්පු ව්‍යංජනයේ සුවඳ අදද මතකයේ නොමැකී තිබෙනා සුවඳක් බැවින් වර්තමනයේ පරිප්පු උයද්දී එවන් සුවඳක් දැනෙන්නේ නැත්තේ ඇයිද යන්න ගොඩයාගේ ඔලුවේ රජ කරනා ප්‍රශ්නයක්ය. 

මාස කිහිපයක අවෑමෙන් පාසල් සේවාවෙන් පමණක්  ජීවිකාව සරිකරගන්නට හැකි වාතාවරණයක් නොමැතිවූ නිසාදෝ ජයන්ති ඇන්ටීද පාසල් සේවාවෙන් ඉල්ලා අස්වී විදේශගතවන නිසා පුරප්පාඩු වූ තනතුරට අනුයුක්ත වන්නේ ලොකු සුදු අක්කාය. ලොකු සුදු අක්කා පාසල් සේවාව භාරගන්නේ විරැකියාවට පිලියමක් වශයෙන් නොවෙනා අතර ගොඩයාව පාසලෙන් රැගෙන ඒමට දෙමාපියන්ට ලැබෙනා තාවකාලික සේවාවක් වශයෙන්ය. ඒ මන්ද යත් ලොකු සුදු අක්කා ගොඩයාගේ පුංචි අම්මාගේ නිවස ආසන්නයේ වාසය කරනා හිතවතෙකු වන නිසාය . පාසල් සේවා දෙකක අත්දැකීම් තිබෙනා අම්බලන්ගොඩයා ඒ වෙද්දී පාසල් සේවාවක් තමුන්ගේ අභිමතය පරිදි හසුරුවාගන්නේ කෙසේද යන විෂය සම්භන්ධයෙන් විශේෂ ප්‍රාගුන්යයක් ලබා සිටියද ලොකු සුදු අක්කාගේ ආගමනය අම්බලන්ගොඩයා එතෙක් විඳි සුපිරි නිදහස සියයට සියයකින්ම අහුරා දමන්ට සමත්වනවාය. ඒ මන්ද යත් ලොකු සුදු අක්කා යනු මදක් සැර පරුෂ ඇත්තියක වන නිසාය. ගොඩයා හංදි ගානේ රස්තියාදු වීමටත් , කොල්ලන් කුරුට්ටන් ගඩා ගෙඩි කඩනා තැන්වල කට ඇරන් බලාසිටීමටත් , හිතෙනා හිතෙනා විකල්ප මාර්ග භාවිතයට ගැනීමටත්  ලොකු සුදු අක්කා විසින් පළමු පාසල් සේවා ගමන් වාරයේදීම නැවතීමේ ලකුණ තබනවාය. 

එතැන් පටන් අම්බලන්ගොඩයා යනු පාසල ඇරෙනා වෙලාවේ හිටං පුංචි අම්මගේ නිවසට සැපත් වෙනා  වේලාව දක්වා ලොකු සුදු අක්කා විසින් අත්අඩංගුවට ගන්නා ජීවියෙකු පමණය. මගදිගේ ගස් පාලු කරනා කොල්ලන් කුරුට්ටන්ගේ ආරාධනයෙන් ඒ තැන්වල මදක් විවේක ගන්නට ලොකු සුදු අක්කාගේ මුහුණ බලනා ගොඩයා දිහාව රවා බලනා ලොකු සුදු අක්කාගේ නපුරු බැල්ම දුටුකල අම්බලන්ගොඩයාට ඊළඟ ආත්මයේවත් දං , හිඹුටු, අඹ, පේර , නාරං ඔනෑ නෑ නෑ නෑමයි කියලා හිතෙනවාය. වෙනදා ජයන්ති අක්කාගේ පාසල් සේවාවේ පැමිණෙද්දී අනුගමනය කරනා විකල්ප මාර්ග දිහා බලනන්නටත් කලින්ම ලොකු සුදු අක්කා විසින් ප්‍රධාන පාරේම ගොඩයාව ගෙදර ඇදගෙන යනවාය. අම්බලන්ගොඩයා ඇඩ්වෙන්චරස් වැඩ වලට ඉතා කැමැත්තක් දක්වන ප්‍රාණියෙකු වුවත් ලොකු සුදු අක්කා  පුංචි අම්මගේ නිවසට ලඟාවියහැකි කොටම පාරෙන් ගමන් කරනවා විනා විකල්ප මාර්ග භාවිතයට කිසිදු බුරුලක් ලබා දෙන්නේ නැතිය. 

ලොකු සුදු අක්කාගේ ආගමනය අම්බලන්ගොඩයාට වාසියක් ගෙන ආවානම් ඒ එක කාරණයක් අරභයා පමණය. එනම් පාසල් චණ්ඩින්ගෙන් එල්ලවනා මැර තර්ජන හමුවේ ලොකු සුදු අක්කාගේ පාසල් සේවාව පොලිස් ආරක්ෂාව ලැබුනා හා සමාන වීමය. අපා දෙපා සිවුපා ඕනෑම චන්ඩියෙකු ලොකු සුදු අක්කා පසුකර අම්බලන්ගොඩයාට ලංවීම දවල් හීනයක්ම වුයේ ලොකු සුදු අක්කාගේ රැවුම  චන්ඩින්ට සුළුදිය පහවන තරම් භයානක එකක් වූ නිසාය. එවන් වාතාවරණයක් යටතේ සැපයුණු පාසල් සේවාවට කණකොකා හඬන්නට මහා කලක් නොගියා වූ අතර එයටද හේතුවූ පළමු සහ අවසන් හේතුව නම් ජයන්ති අක්කා මෙන්ම ලොකු සුදු අක්කාද රට කාසි සොයා විදේශගත වීමය. 

එතැන් පටන් නැවතත් ගොඩයාගේ දෙමාපියන්ට උද්ගත දැවෙන ප්‍රශ්නය නම් නැවත පාසල් සේවාවක් සොයාගන්නේ කෙසේදෝ කියාය. තාවකාලික විකල්ප ක්‍රමවේද කිහිපයකින් අනතුරුව අම්බලන්ගොඩගේ නිත්‍ය පාසල් සේවා සැපයුම්කරු තනතුර භාරගන්නේ වෙනදාට වඩා මදක් වෙනස් ආරයක් ගත් පුද්ගලයෙක්ය. එවකටත් සීනියර් සිටිසන් පදවිය දරනා වයසේ උන් නව පාසල් සේවා දායකයා අහල පහල නිවෙසක වාසය කරනා වයස හැටක් හැත්තෑවක් පමණ වන ඇසිලින් ආච්චීය. ඇය පාසල් සේවාව සපයන්නේ ඉන්ඩිවිජුවල් ආකාරයෙන් නොවේය. කණ්ඩායම් ක්‍රමයට පාසල් සේවාව සපයනා ඇසිලින් ආච්චීගේ පාසල් සේවාවේ ගමන් කල පුද්ගලයන් සියල්ලෝම අම්බලන්ගොඩයාට වඩා වසරක් වැඩිමහල් සිසුන් වූ අතර නවතම මගියා වූ අම්බලන්ගොඩයා පාසල් සේවාවෙන් ඇරලවෙන අවසන් සේවා ලාභියාය.

ඇසිලින් ආච්චී පාසල් සේවාව පවත්වන්නේ බලය බෙදාහැරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්ය. ශ්‍රම විභජනය තුලින් ලැබෙනා විශේෂ ප්‍රාගුන්‍ය ගැන සුවිශේෂී අවධානයක් දැක්වූ ඇසිලින් ආච්චී බලය බෙදා හැරීමට කිසි විටෙකත් දෙවරක් සිතුවේ නැතිය. අවශ්‍ය වෙලාවේදී බලය ලැබිය යුත්තාට බලය පවරනා ඇසිලි ආච්චී කිසිදු අනවශ්‍ය කලබලයන් නොමැතිව පාසල් සේවාවට සමගාමීව සේවා ලාභියන්ට තම සේවාව සපයනවාය. අවම ශ්‍රම දායකත්වයක් යටතේ තම පාසල් සේවාව කරගෙන යන ඇසිලින් ආච්චී හයක් හතක් පමණ සාමාජිකයින් ප්‍රමාණයක් ගමන් ගන්නා තම පාසල් සේවාවේ දඟකාරයන් පාලනය කිරීමට අනුගමනය කල සාර්ථක ක්‍රමවේදය නම් සියලු සේවා දායකයින් පෝලිමට සිටවා කෝච්චියක් නිර්මාණය කිරීමය.  පළමුවෙන්ම පාසල් සේවාවෙන් නිවසට ඇරලවන පිළිවෙලේ හිටං දුම්රිය රියදුරු පදවිය ඇසිලින් ආච්චී විසින් එකිනෙකාට ප්‍රධානය කෙරෙනා අතර අම්බලන්ගොඩයා කිසි දිනෙක දුම්රිය රියදුරු පදවිය නොලබන්නේ ගොඩයා දුම්රියෙන් බසිනා අවසාන සාමාජිකයා වන නිසාය. දුම්රිය රියදුරු මහතුන් තම රියදුරු පදවිය එකින් එකා අතින් අතට භාර දී දුම්රියෙන් බැස යනවා වුනත් අම්බලන්ගොඩයා ස්ථිර පත්වීම ලබන්නේ ගාර්ඩ් මහත්තයා යන විරුදාවලිය ලබමින්ය. දේවානන්ද විද්‍යාලයේ සිට පිටත්වන දුම්රියේ පළමු රියදුරු තැන විසින් නලාව හඬවන අතර අම්බලන්ගොඩයා විසින් දුම්රියට පිටත්වන්නට අවසර දෙන්නේ කොළ කොඩිය වෙනුවට ගසකින් කඩාගත් කොළ අත්තක් වැනීමෙන්ය. එතැන් පටන් ඇසිලින් ආච්චිගේ පාසල් සේවා කෝච්චියේ ගාර්ඩ් මහත්තයා නිත්‍ය තනතුරක් වන අතර මගීන් එකා එකා මග දිගට රියදුරු පදවියට උසස්වීම් ලබනවාය.

ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රිය නතරකරනු ලබන දුම්රිය ස්ථාන අතර ගාලු පාර දුම්රිය ස්ථානය විශේෂ තැනක් ගන්නවාය. ඒ මන්ද යත් ඇසිලින් ආච්චී විසින් හොඳින් ගාලු පාර දෙපස බලා සිග්නල් ලබා දෙනතුරු දුම්රියට ගාලුපාර හරහා ධාවනය සපුරා තහනම් නිසාය. වැරදිලා හෝ සිග්නල් නොමැතිව ගාලු පාර හරහා ධාවනය කිරීම තම රියදුරු පට්ටම නැතිභන්ගස්ඨානවන විනය විරෝදී වරදක් වන බැවින් රියදුරු තුමා ඇසිලින් ආච්චිගෙන් සිග්නල් ලැබෙනා තුරු ඉවසිල්ලෙ බලා සිටිනවාය. ඇසිලින් ආච්චී හත් අට වාරයක් ගාලුපාර දෙපස බලා සිග්නල් ලබාදුන් පසුව පාසල් සේවා දුම්රිය ඇසිලින් ආච්චීද පෙරලාගෙන ගාලු පාර හරහා ධාවනය වනවාය. දුම්රියට සමගාමීව පළමු ගියරයේ ෆුල් පිකප් කරනා ඇසිලින් ආච්චීද ගාලුපාර හරහා දිවයන්නේ පාසල් සේවා දුම්රියේ මගීනුත් තම පන කෙන්දත් දෙකම එක සේ බේරාගතයුතු නිසාය.

එතැන් පටන් පාසල් සේවා දුම්රිය ධාවනය වන්නේ ඇසිලින් ආච්චීගේ විධානයකින් තොරව වන අතර ඇතා පසුපස එන ඇත්ගොව්වා සේ ඇසිලින් ආච්චීද තම පන් මල්ල එල්ලාගෙන පාසල් සේවා දුම්රිය පසුපසින් හෙමින් සීරුවට ගාටනවාය. ඉඳ හිටෙක ඇසිලින් ආච්චීට තේ තිබහක් දැනෙනා අවස්තාවන්හීදී පන් මල්ලේ තිබෙනා තේ වතුර ෆ්ලාස්කුවෙන් තේ උගුරක් බොනතුරු පාසල් සේවා දුම්රිය අතරමග සෙවන ඇති දුම්රිය ස්ථානයක නවතාගෙන සිටිනවාය. ඉඳහිටෙක හමුවනා ඇසිලින් ආච්චීගේ හිත මිතුරු උපාසකම්මලා සමග ආගිය තොරතුරු විමසීමක් වැනි කටයුතු වලදී පාසල් සේවා දුම්රිය ගසක් යට මද වෙලාවක් නවතා තිබෙනා අතර ඇසිලින් ආච්චී නැවත ගමනට ප්‍රවිෂ්ඨ වන අල්ලපනල්ලේ රියදුරු තැන විසින් නලාව හඬවනවාය. ඇසිලින් ආච්චී විසින් පාසල් සේවාවට අමතරව කරගෙන යන්නාවූ සීට්ටු දැමීමේ ගෘහ කර්මාන්තයට අදාළ මාසික සීට්ටු මුදල් නොදුන් සාමාජිකයින්ගේ නිවෙස් වලට හදිසියේ කඩා පැනීමේ කටයුතු වැනි දෑ සඳහාද පාසල් සේවා දුම්රිය මද වෙලාවක් නවතාගෙන සිටින්නට වන අතර ඇසිලින් ආච්චී විසින් තම ගනුදෙනුකරු හමුවී ගනුදෙනුව බේරාගන්නාතුරු පාසල් සේවා දුම්රියේ මගීන් දුම්රියෙන් බැස ළඟ පාත තිබෙනා පේර ගස් , වෙරළු ගස්, ජම්බුගස් වල පලදාවට අනවසරයෙන් වගකියනවාය.

ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රියෙන් අවසාන මගියාද බැස ගිය පසු ඉතිරිවන්නේ ගාර්ඩ් මහත්තයා නොහොත් අම්බලන්ගොඩයා පමණක් බැවින් එතනින් එහාට ඇසිලින් ආච්චී උන්දෑගේ පාඩුවේද, ගොඩයා උගේ පාඩුවේද ඉතිරි මග ගෙවා දමනවාය. අම්බලන්ගොඩයා පුංචි අම්මාගේ නිවසේ ගේට්ටුව ගාවට ඇරලවන ඇසිලින් ආච්චී තම පාසල් සේවාව අවසන් කොට ආපසු හැරෙන්නේ පහුවදා නැවත හමුවන්නට සී යූ ටුමෝරෝ කියන්නේ නැතිව වුවත් පහුවදා පාසල ඇරෙනා වෙලාවට ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රියේ ගාර්ඩ් මහත්තයා අම්බලන්ගොඩයා වග ඇසිලින් ආච්චී දන්නවාය. ඇසිලින් ආච්චීද පසුව දා පාසල් ඇරෙනා කණිසමට දෙවානන්ද විද්‍යාලයේ ගේට්ටුව ආසන්නයේ 
තම ප්‍රාණ සමාන පන් මල්ලද එල්ලාගෙන දුම්රිය මගීන් පැමිණෙනතුරු බලාසිටිනා වග අම්බලන්ගොඩයාද සක් සුදක් සේ දන්නවාය.

ඇසිලින් ආච්චීගේ පාසල් සේවා දුම්රියේ ඉදිරිපස මගීන් අම්බලන්ගොඩයාට වඩා වසරක් වැඩිමහලු උදවිය වන නිසා ඔවුන් ධර්මාශෝක විද්‍යාලයේ ඇඩ්මිෂන් ටෙස්ට් සමත්වී ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රිය හැරයන අතර තවත් වසරක් දුම්රියේ ගාර්ඩ් මහතා තනතුර හොබවන අම්බලන්ගොඩයාද ඇඩ්මිෂන් ටෙස්ට් සමත්වී ඇසිලින් ආච්චිගේ දුම්රියෙන් බැස යනවාය.

එතැන් පටන් ඇසිලින් ආච්චීගේ පාසල් සේවා දුම්රියේ කව්රුන් ගමන් කළාදැයි අම්බලන්ගොඩයාට නිනව්වක් නොමැතිය. කාලයාගේ අවෑමෙන් ඇසිලින් ආච්චීද ලෝක ධර්මතාවයට හිස නමින් ජීවිතයෙන් සමුගන්නා අතර ඇසිලින් ආච්චීගේ අවමංගල උත්සවය වෙනුවෙන් රැයක් නිදි වරන්නට ගිය එකම සේවා ලාභියා අම්බලන්ගොඩයා පමණක් වන්නට ඇතිය. ලොකු සුදු අක්කාද විදේශයකදී සිදුවූ රිය අනතුරකින් අකාලයේ ජීවිතක්ෂයට පත්වූ අතර අම්බලන්ගොඩයාට එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වන්නට සිදු නොවූයේ ගොඩයා ලංකාවෙන් එතෙර රැකියා කරනා නිසාය. 


සිරි ලංකාවේ පුවත් නරඹන අතර පෙන්වනා දියවන්නා මොන්ටිසෝරියේ කාලගෝට්ටි දකිනා අම්බලන්ගොඩයාට මතකයට එන්නේ ලොකු අක්කාය. ඒ මන්ද යත් ලොකු සුදු අක්කා දියවන්නාවේ මුල් ගුරු තනතුරට පත්කලානම් දියවන්නාව මීක් නොකියන්නට පාලනය කරනවා සිකුරුය. ඊට අමතරව ඇසිලින් ආච්චීද දියවන්නාවේ වැඩ බලන තනතුරකට පත්කලානම් බුල් කෙළිනා කපටිසූට්කරුවන් කුමන හෝ උප්පරවැට්ටියක් යොදා ඔවුනොවුන්ට උචිත රාජකාරීන් සඳහා යොදවා තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ සිටිනවා අනිවාය.

56 comments:

  1. අදත් කියවල එන්නම් 😛

    ReplyDelete
    Replies
    1. ‍මේව කුමන්ත්‍රණ. ඔවු හිටගෙන.

      Delete
    2. මටත් ඉතින් ඔය සෙතේම තමයි බන්.උදේට තාත්ත එක්කගෙන යනව ඉස්කෝලෙ ඇරිල ලොකු අම්මත් එක්ක එයාලගෙ ගෙදර යනව.හවසට තාත්ත වඩ ඇරිල එන ගමන් මාවත් අරගෙන ගෙදර යනව ☺️ ධර්මාශෝකයට ගියායින් පස්සෙනම් මුලින්ම පයින් ගියා.පස්සෙ බයිසිකලෙන්

      Delete
    3. සූටික්කගේ වැඩ දැන් මුනුත් පුරුද්දකට තියාගෙන නෙහ්.

      Delete
    4. අරින්නෙපා ප්‍රසා

      Delete
    5. ඈ බං චමිලයෝ.. උඹ ගෑල්ලමයෙක් උනානං ප්‍රජාපතියට යවන්න තිබ්බ. එහෙමනම් බොලෑ ලොකු අම්මට කරදරේකුත් නැ ..ඉස්කෝලේ ඇරිලා එද්දී බොට බෝලෙ වගේ පෙරලි පෙරලි මානාන පැත්තෙන් පයින් එන්න තිබ්බ තනියම. මානාන පිට්ටනිය ගාව ඉන්න කොල්ලෝ උන්ගේ කුළුඳුල් ප්‍රේමය ප්‍රකාශ කරන්න උඹේ පස්සෙන් එන්න ගත්තනම් උඹ මොකෑ කරන්නේ හැබෑටම.

      Delete
    6. මන් ආලකම් පාල කොමල කරල උන්ව හූරගෙන කනව.එක එකාව කොටවනව.මරුනෙහ් 😛

      Delete
    7. තඩි අය්යේ මම මේ ඔයා ගොඩයියා ගැන දන්න නිසයි අහන්නේ..ඔය ගොඩයියා ගැහැණු ලමයි නිසා ගුටිකාල එහෙම නැතෙයි ??????

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. උත්සව කාලේ හින්දා කන්තොරුවෙයි කුඹුරෙයි වැඩ වැඩි..... මිස් වෙච්ච ටික කියවන්නෙත් දැන්.....
      නැත්තං මම දනී කොරන දේ....

      Delete
  2. අපොයි බොහෝම අමාරු උනා නෙව හිනාව නවත්තගන්න..මේ දැනුත් මැවී මැවී පේනවා ගොඩයියා ඉස්කෝලේ ගිහින් එන හැටි ...බොහොම පිං අපිව මෙහෙම හිනස්සනවට....හිනාවෙන්නම විතරක් නෙවෙයි හිතන්න දේවලුත් බොහෝමයි..අද කාලේ ලමයින්ට ඔහොම අත්දැකීම් කෝ නේද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව දැන් කාලෙ එවුන්ට කෝ ඒ වගේ කාලයක්.හැබැයි මගේ පොඩ්ඩිටනම් ඒ වගේම නොවුනත් ඊට සමාන අද්දැකීම් තියෙනව.මොකද කෙල්ල ඉස්කෝලේ යන්නෙ එන්නෙ සීයත් එක්ක.අපේ මාමන්ඩියට කියන නම ගොඩය දන්නව 😀 පොඩි එකීට නිකමට හරි කිව්වොත් මම ඉස්කෝලේ එක්කගෙන යනවයි කියල් ඒකිට ඊට වඩා දෙයක් නෑ.හොදමදේ තමයි මාත් එක්ක එන දවසට පොඩ්ඩ පරක්කු උනොත් එක දිගට කෝල් කරන මගේ බිරින්ද මන්ඩිය කොච්චර පරක්කු උනත් කිසී කලබලයක් නෑ.ඒ ස්කූල් සර්විස් එක ඒ තරමට ශුවර් ☺️

      Delete
    2. නෙතූ එහෙම කියන්න හේතුව තාම නෙතු ඉස්කෝලේ යනවා වෙන්ටෑ.. ඔව් නේන්නම් දැන් කාලේ දරුවන්ට වතු උඩින් පැනල ඉස්කෝලේ යන අත්දැකීම් නැහැ නෙව. හැබෑටම නෙතු කොහෙටද ඉස්කෝලේ කියල කියමුකෝ බලන්න.. අම්මට හොරෙන් නෙවෙයි නේද අන්තර්ජාලේ සැරිසරන්නේ..

      Delete
    3. ඒ කියන්නේ උඹේ බිරින්දෑට උඹට වඩා උන්දැගේ පියාණන් විස්වාසයි.. කෙල්ලෝ කවදත් වෙන කාටත් වඩා තමුන්ගේ තාත්තව විශ්වාස කරනවා බං. තාත්ත තරමටම විශ්වාසවන්ත වෙන්න උඹ උත්සහ කල යුතුයි..

      Delete
    4. ඒ කියන්නේ තඩි අය්යාට ඉන්නේ දෝණියක්...ම් දුවෙක් ලබන්න පිං තියෙන්න ඕන...අපෝයි ඔව් ගොඩයියේ තාම ඉස්කෝලේ යනවා..හබැයි ඉගෙන ගන්න නම් නෙවෙයි....ඉගෙනගත්තේ නම් ඔයාගේ ඉස්කෝලෙම තමා...

      Delete
    5. පිස්සුද බන්.මන්ඩියගෙ ගාර්ඩ් එකට කිට්ටු වෙන්න බෑ මට.😬 ඔව් නෙතූ දොණ්යෙක් තමා ඉන්නෙ.හැබෑට අපේ ඉස්කෝලෙනම් අපිව දන්නව ඇති.දැනටත් අපේ මගෝඩිකම් සර්ල මිස්ල කතා වෙනවලු.නෙතූගෙ වතගොත දැනගන්නත් එක්ක විස්තරයක් කිව්වනම් අගෙයිනෙහ්.නැද්ද ගොඩයො 🤔

      Delete
    6. මට හිතෙන විදියට ඔයාල මාව දන්න විදියක් නැහැ ..නෙතූ කියලා කෙනෙක් මතකයට එන්නේ නැහැනේ නේද ?

      Delete
  3. //දරුවා පාර පැත්තේද මව හෝ පියා අයින පැත්තේද ගමන් කරනු දකින අම්බලන්ගොඩයා සිතන්නේ දරුවාගේ ජීවිතයට වඩා මව හෝ පියාගේ ජීවිතය වටිනවා වන්නට ඇති කියාය//

    ඇත්තනේ....
    අම්මා තාත්තා හොඳින් හිටියොත් තව ළමයි ඕනෙ තරම් හදාගන්න බැරුවයැ.......

    ReplyDelete
    Replies
    1. මේ ලගදි මගේ යාළුවෙක් පින්තූරයක් අරන් තිබුන මහ වැස්සෙ අම්ම පොන් එක ඔබ ඔබ කුඩේ යටින් යනව අනේ පව් පොඩි එකා තෙමි තෙමි යනව.අනේ කාලේ වනේ වාසේ කිවුවලු 🙃

      Delete
    2. ඒ කාලේ අපේ වැඩිහිටියෝ අපිව පාරේ අරන් ගියේ කොයිතරම්නම් පරෙස්සමෙන්ද නේද.. ඒ කාලේ දැන් තරම් වාහන තිබ්බෙත් නැහැ. අද කාලේ මවු පදවිය සහ පිය පදවිය ලබන සමහරක් උදවිය ඒ පදවිය ලබන්න සුදුසු නැහැ කියල හිතෙනවා කරන කියන වැඩ දැක්කම. උන් දන්නේ ළමයි උපද්දවන්න විතරයි. ඒ අතින් ඒ දරුවෝ පවු...

      Delete
    3. මෙහෙමයි චමිලයෝ.. දෙයක් දැක්ක පමණින් අපිට ජජ්මන්ට් වලට එන්න බැහැ බන්.. කව්ද දන්නේ ඒ දරුවා අපේ ජාතියේ බඩ්ඩක්ද කියල.. අපිත් ඒ කලේ වැස්සෙ තෙමෙන්න කොයිතරං ආසද බං...

      Delete
    4. පොටෝ එකේ දැක්ක විදියටනම් අම්මට ලමයගෙ මෙලෝ සිහියක් නෑ වගේ.අනේ මන්ද🤔

      Delete
  4. යකෝ මාර ස්කූල් සර්විස් ටිකක අනුග්‍රහයනෙ බොට ලැබිල තියෙන්නෙ. මොනව උනත් තාත්තත් එක්ක ගියාට වඩා අනික්ව හොඳ තත්වෙ තියෙන්න ඇතියි කියල හිතනව.

    ReplyDelete
    Replies
    1. තාත්ත එක්ක යනකොට ඉතින් බොහොම විනයානුකුලව ගමන් කිරිල්ලක් තමා තියෙන්නේ.. තාත්ත නිවාඩු දවසට ෆුට් සයිකලේ එක්ක යනවා.. තාත්තට පැදගෙන බැරි කඳු වගේ තැන්වල මාව බයිසිකලේ තියාගෙනම තල්ලු කරන් යනවා කන්ද උඩට.. දැන් හිතද්දීත් දුක හිතෙනවා ප්‍රසන්න...

      Delete
  5. අපිටනං ඔය වගේ කිසිම සර්විස් එකක් තිබුණෙ නෑ. යනකොට ගියෙත් එනකොට ආවෙත් තනියම තමයි. හැබැයි කාලයක් අපේ පංතියෙ හිටපු කොල්ලෙක්ගෙ තාත්ත කෙනෙක් බයිසිකලේ කොල්ලො කෙල්ලො සෙට් එකක් අරං ආපු එකක මමත් ආව. පොර බයිසිකලේ 6 ක් විතර අරං ආව.

    ReplyDelete
    Replies
    1. පොසන්නයො කාලෙකින් ලිව්වෙ නෑ නේද ලට පටයක්?ලියහන්කො...😎 පොඩියට කතාවක් පටන් ගනින් ඉවර කරේ නැතත් උබට සම්මානයක් ශුවර් 😬

      Delete
    2. අනේ ඔය සම්මාන අරං නිකං එක එකාගෙං කතා අහගන්න ඕන නෑනෙ. හැක්..

      Delete
    3. ගොඩයම ලියයි පෝස්ටුවක් "නොලියූ ලටපටයට ලැබුන තෑග්ග"කියල😙 හැක්ස්...වියංගයෙන් මඩ ගහන්න ඕක රුසිය 😂

      Delete
    4. තඩිය අයියෙ, ඔය අම්බලංගොඩයියා ලංකාවෙ වෙන එව්වා ඔය හැටි සහසුද්දෙංම දන්නෙ කොහොමෙයි බං?

      Delete
    5. ලංකාවෙන් පිට ඉන්න අපිට තමයි ඉතින් ඔහේ වෙන දේවල් වල වැදගත් කමක් තියෙන්නෙ.ඒ නිසාම අපි නිතරම ඇන්ටනා කෑල්ල දාගෙන ඉන්නෙ.අනික ගොඩය ඉන්නව නේද ඕක හෙන ඕපෙ 😛

      Delete
    6. ඈ බන් පෙසන්නයෝ.. බොලෑ යාළුවගේ තාත්ත සර්කස් එකක ජොබ් එක කරපු පොරක්ද බන්.. ෆුට් සයිකලේ හයදෙනෙක් එක්ක යනවා කිව්වම ඒක දකින්නත් ආසයි.. සිංදුයි , බින්දුයි, ගොටයිම්බරයි බයිසිකලේ යනවා වගේද.... හැබෑටම දැන් මේ ඉන්න හිච්චි එවුන් දන්නේ නැහැනේ සිංදු බිංදු ගැන..

      Delete
    7. යකඩෝ බොලා සම්මාන ගත්තට කව්රුවත් මුකුත් කියන්නේ නැහැ බොලව්.. බ්ලොග් පොස්ට් වලට කමෙන්ට් කරන උඹලාට තමා සම්මාන ඕන.. උඹලාගේ කොමෙන්ටුවක් තරම් වටිනා සම්මානයක් තවත් කොහෙද බන්..

      Delete
    8. අඩේ සුරංගයෝ ... අපි ගතින් ලංකාවේ නැති උනාට හිතින් හැමදාමත් ලංකාවේ තමා බන්..

      Delete
    9. අඩේ මට ඕපයා කිව්ව තඩියා උඹව කොටියම කාපිය...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපිට නමි ඉතින් ඔහෙම ස්කල් සර්විස් එකක් තිබුණේ නැ.හු අරික්කාලයි උූර ඉස්කෝලේ....

      Delete
    2. වාසනාව තමා තරිඳු... ඉස්කෝලේ යන්න උදේ හතට නැගිට්ටත් ඇති නේද..

      Delete
    3. එක නමි කවදාවත් වුණේ නැ..මමයි මලයයි 6.30 වෙන කෙට ඉස්කෝලේ..තාත්තා දවල් වෙලා කැම දෙක බැන බැන ගෙනත් දිලා අයෙත් වැඩට යනවා.අදටත් ඔික ගැන තාත්ත මතක් කරනවා....

      Delete
  7. නියම ස්කූල් සර්රවිස්.. අද ළමයිට කොයිද ඔහොම අද්දැකීම්..

    ලොකු අක්කත්, ඇසිලිං ආච්චියත් දියවන්නා මොන්ටිසෝරි නොගියේ අපේම අවාසනාවට කියලා හිත හදාගමු...

    ReplyDelete
    Replies
    1. අද කාලේ ළමයි කොම්පියුටර් වගේ නිර්මානි.. බහුතරයක් දෙනාට නිදහසේ හිතන්න ශක්තියක් නැහැ.. ඒ අතින් අපි වින්ද නිදහස අදට වඩා හුඟක් වැඩියි.. ලොකු සුදු අක්ක දියවන්නාවට යැව්වනම් ඕකෙ ඉඳන් පිස්සු කෙලින එවුන් වලිගෙන් උස්සලා පොළොවේ ගහයි..

      Delete
  8. පොඩි එකා පාර පැත්තෙන් අම්ම අයිනෙන් යන වෙලාවට ගස්ලබ්බ සල්ලි සල්ලි බලන්නැතුව පොඩි එකාට කියනවා 'අම්මව පාර අයිනෙන් පරී..ස්සමට අරන් යන්න පුතී' කියලා.හැබැයි කියපු ගමන් ආයෙ පස්ස නොබලා සීග්‍රයෙන් ඉදිරියට ඇදෙනවා.. නැහ් නං ඔය ගෑණු කට තලා ගන්නවා... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ අම්ම කෙනෙකුට බෝව අහුවුනොත් ලබ්බ අල්ලලා පොළොවේ ගහයි ලබු ඇට සීසීකඩ යන්න..

      Delete
  9. නියම ස්කුල් සර්විස් ඒක..මේ ලඟදි ත්‍රිවිල් එකක ළමයි 16 ගියා කියලා තිබුනේ..එහෙම හිර වෙලා යනවට වැඩිය ඕක නියම අත්දැකීමක්

    ReplyDelete
    Replies
    1. ත්‍රීවීල්වල ළමයි විස්ස තිහ අදිනවා තමා බන්...

      Delete
  10. අපි 3, 4 පන්තිවල ඉද්දි බක්කි කරත්තෙන් ස්කූල් සර්විස් කරපු අය හිටිය. තව වැඩිහිටි කාන්තාවන්ගෙ (ගොඩය ගියා) වගේ ස්කූල් සර්විස් තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල බක්කි කරත්ත තිබ්බේ බඩු අදින්න විතරයි බන්.. අපේ අල්ලපු ගෙදර කුලී කරත්තයක් තිබ්බ.. ඒක දැක්කුවේ කුලියට කරත්තෙ දක්කපු පේදිරික් කියල සීය කෙනෙක්.. හිටපු ගමන් පෙදිරික් සීය කරත්තේ හයර් කරලා අහවර වෙලා කරත්තේ අයිතිකාරයට භාරදෙන්න එනකොට අපිව සෙට් උනොත් අපිත් පේදිරික් සීයට නාහෙන් අඬලා කරත්තෙට ගොඩවෙනවා... පේදිරික් සීය දෙකක් දාල ඉන්න දවස්වලට නම් හරක පේදිරික් සීයාව දක්කාගෙන ගෙදර එනවා හවසට..

      Delete
  11. මං ඉස්කෝලෙ ගිය පලවෙනි දවසෙ විතරක් සුනිල් මාමා හංසනීව එක්කගෙන එන්න ගිය ගමං මාවත් ඇරං ආවා. එයිට පස්සෙ තනියම තමා. ඒ අතිං ගොඩයියට හෙන සැලකිලි. හැබැයි මට නං අහල පහල ගස්ගෙඩි කඩන්න උවමනාවක් තිබ්බෙ නෑ. ගෙදර ඇහිල්ලා දොර ඇරගෙන බට්ටික කාලා බැරි පුලුවංගානෙං බූරු ඇඳ ඇදගෙන ගිහිං තැඹිලි ගහ යටිං තියාගෙන බුදියන එක තමයි මගෙ එකම ජොලිය.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට (ඒ කිවුවට නරක වෙලාවට තමයි ඉතිං) බොලාට පොල්ගහක් යට බූරු ඇඳ තියාගන්න හිතුනෙ නැත්තෙ.

      Delete
    2. උඹට හංසනීව මතක් වෙනවා නිතරම නෙහ්.. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ල හවසට ඇලර්ට් එකක් දානවා කියන්නේ මල් මසුරං සැපක්නේ බන්.. දැන් කොයින්ද එහෙම සැපක් අපිට.. එහෙම කාලයක් තිබුනා කියල හිතද්දීත් හිතට මාර සනීපයි බන්.. උසස්පෙළ කරපු කාලේ හැමදාම හවසට නින්දක් දාල තමා ක්‍රිකට් ගහන්න යන්නේ මම..

      Delete
    3. පොල් ගහක් යට බූරු ඇඳ තියාගෙන නිදාගත්තනම් අද යාංහෑල්ලක් කොයි...හෙහ්...

      Delete
  12. එක නමි ඇත්ත ප්‍රසන්න අයියා නැත්තන් යාං හැල්ල ලියන්න වෙන්නේ අපිට තමයි..

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල ඒ කතාව. හැක්..

      Delete
  13. අපෙ අම්මගේ මහ ගෙදර ඉදන් බැලුවම ධර්මාශෝකේ සහ දේවානන්දේ දෙකම පේනවා. මම පොඩි කාලේ එහේ ගියාම නගර සභා පිට්ටනියේ සෙල්ලම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔය කියන වත්තේ ගෙඩි හැදෙන ගස් ජාති තියෙනවනම් අපි එක පාරක් හරි ඔය වත්තටත් පැනල ඇති ඇනෝ..

      Delete