Monday, January 22, 2018

රවියයි සීයයි...







අම්බලන්ගොඩයා පහුගිය පෝස්ටුවේ නැවකට පම්පෝරි ගැහුවා ඊළඟ පොස්ට් එක විශේෂ පෝස්ට් එකක්  කියලා. ඔන්න ඒ කිව්වා වූ ආකාරයෙන්ම මේ ලියන්නේ ඒ කිව්ව විශේෂ පෝස්ට් එක තමා. හැබැයි මේ පෝස්ට් එකට උක්ත වෙන්නේ සිද්ධියක් නෙවෙයි, පුද්ගලයෙක්. ඒ පුද්ගලයා ගැන කියනවනම් කලින් බ්ලොග් පෝස්ට් ගණනාවකම ලියවුනු අපේ අසහාය මිත්‍රයෙක් ගැන තමා මේ යන්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ හිතාදර, සෙනේබර , ආදරබර මිත්‍රයා වෙන රවියා ගැන තමයි මේ සුවිශේෂී පෝස්ට් එක. මේ පෝස්ට් එකට රවියා සුවිශේෂී වෙන්නේ ඇයිද කියන එක තව කියවාගෙන යනකොට තේරෙයි.

රවී ගැන ලියවෙච්ච කලින් පෝස්ට් කියෙව්වාම පාඨක සැමට තේරෙයි රවියා යනු යාලු හිතමිත්‍රාදීන්ගේ නිවෙස්වල අපිටත් වඩා තැනක් හිමිවෙලා තිබ්බ එකෙක් වග. ඒ නිසා එදා අද කියලා වෙනසක් නෑ රවියාට අපේ ගෙවල්වල හෙන ප්ලේස්. වැඩේ කියන්නේ ඌ මොන වරද කරත් ඌට තියන තැන අපිට නෑ කියල මතක් වෙද්දී ගොඩයාට නම් දැනෙන්නේ මහා කුජීත හැඟීමක්.

රවියා ජපානේ අවුරුදු ගානක් ඉඳල ඇවිත් දාගත්තනේ ස්පෙයාපාර්ට්ස් කඩයක්. ඔව් ඔව් හත්ඉලව්වේ අර ජපානේ තියන කුණු ගොඩවල් ලංකාවට ගෙනල්ල විකුණන ජාතියේ එකක් තමා. ඔය කියන රවියාගේ කඩේ විකුනන්න නැතිවුනානම් නැතිවුනේ නයයි පොළඟයි විතරයි. ඒ ඇරෙන්න ලෝකේ තියන ඕනෑම බඩුවක් භාණ්ඩයක් තියෙනවද කියල ඇහුවොත් රවියා නෙවෙයි නෑ කියන්නේ. උගේ ගාව නැති උනාට ලංකාව වටේටම කෝල් ගහලා කොහෙන් හරි ඕන කරන කෑල්ල හොයාගෙන ඌටත් ගානක් තියාගෙන විකුනන්න රවියා හෙන දක්ෂයා. අපේ සමාත් ඔතනටම සෙට් වෙලා රවියාගේ ව්‍යාපාර සම්භාන්ධීකරණ කටයුතු බාර ලේකම් වශයෙන් පාර්ට් ටයිම් රස්සාවක් කරපු නිසා බිස්නස් එක තදින්ම නැගලා යන්න ඇති කියලයි ගොඩයාගේ අනුමානය. මොකද කියනවනම් රවියා + සමා කියන්නේ ඇස් ගෙඩිදෙක මාරුකරලා දාගෙන ගිහින් හරි තමුන්ගේ මුදල උපයන්න පුළුවන් ඩයල් දෙක. ආයේ ඔය සුසංයෝගය කොයිතරං සුපිරියට ගැලපෙනවාද කියනවනම් නිකම් හරියට පිඹුරෝ දෙන්නෙක් දෙපැත්තට සෙට් වෙලා වලිග දෙක ගිලගත්තා හා සමානයි. මොකද දෙන්නම ට්‍රයි කරන්නේ අනෙකාව ගිලින්න. විසකුරු නෑ.. විෂ දල නෑ.. හැබැයි ගොදුරක් අහුවුනාම ලොකු පොඩි නෑ ගිලිනවා ගිලිනවාමයි. ඕකුන් දෙන්නගෙම තියන පොදු ලක්ෂණය තමා බෑ කියලා දෙයක් නැති වීම. කව්රුහරි කෙනෙක් යෝජනා කරනවානම් ඇමේසන් වනාන්තරේ කට්ටි කරලා විකුණමුද කියලා උන් දෙන්නා එදා හිටං ට්‍රයි කරන්නේ හතර වටේම ඉඩම් බ්‍රෝකර්ලාට කෝල් ගහලා ඇමේසන් වනාන්තරෙන් පර්චස් දහයක් හරි විකුණන්න.   


හවුල් ගනුදෙනු වලදී සමාගේ මැතමැටිකල් මොලේ  සට සට ගාලා ගණන් හදලා සමාට රවියාට වඩා කීයක් හරි වැඩියෙන් ලාභ හිටින්න ගනුදෙනුව ඇටෙව්වට රවියාගේ කට්ට කපටි කෛරාටික මොලේ සමා හිතන්නත් කලින් සමාව ලිං පඩිය උඩින් තියලා හමාරයි. සමාත් රවියාට නොදෙවැනිව ස්ථානෝචිත  අහවල් එක පාවිච්චි කරන නිසා රවියා ලිඳට තල්ලු කරන්න කලින් ගාන සාක්කුවේ දාගෙන ලිං පඩිය උඩින් මාරු වෙන්න සමා දක්ෂයි. ඔය දෙදෙනාගේ සුසංයෝගය රුපියලේ ඉඳන් ලක්ස කෝටි ගණන් දක්වා හවුල් ව්‍යාපාර කරද්දී අද සමාට රුපියලක් පාඩු උනොත් මාස හයක් හරි සමා ඒක මතක තියාගෙන ඉඳලා රුපියලට රුපියල් සීයක ලාභයක් රවියාගේ සාක්කුවෙන් අදිනවා කියන එක හෙට හිරු පායනවා වගේ සත්තයි. රවියත් ඊට දෙවැනි නෑ. අද සමා රවියාගෙන් වැඩිපුර රුපියල් සීයක් ඇද්දොත් ඒ සීය වෙනුවට සමාගෙන් නුදුරු දිනකදී  දාහක් අදින එක හෙට ඉර පායනවා වගේම සත්තයි. ඔය දෙන්නට දෙන්නා උන් දෙන්නගේ ගනුදෙනු වලදී ඔහොම උනාට පිට කෙනෙක් එක්ක බිස්නස් එකක් කරද්දී රවියා සහ සමා කියන්නේ ගහට පොත්ත වගේ සෙට් වෙලා බිස්නස් එක කරගන්න එවුන් දෙන්නෙක්.

මීට අවරුදු දෙක තුනකට කලින් ගොඩයාගේ පියාණන්ට තණකොළ කපන මැසිමක් ගන්න ඕන වෙලා ගොඩයාට  එම උවමනාව කියා හිටියත් ගොඩයා ඉන්න රටේ ඉඳන් තණකොළ කපන මැසිමක් ලංකාවට යවන මුදලින් ලංකාවෙන් තණකොළ කපන මැෂින් දෙකක් ගන්න පුළුවන් කියන එක ගොඩයා පියාණන්ට කියලා හිටං පැහැදිලිව කියා හිටියා එකක් හොයලා අරං දෙනකම් ඉවසිල්ලෙ ඉන්න කියන එක. එත් අපේ ඩඩාගේ හදිසියට ඩඩා  අපේ රවියාට එයාගේ රික්වෙස්ට් එක ඉදිරිපත් කරලා කියමුකෝ. අපේ ඩඩා සහ රවියා කියන දෙදෙනාම ගැන 'ඉස්පිල්ලේ හිටං පාපිල්ලටම ගොඩයා දන්නා නිසා ඊළඟට වෙන්න යන දේ මොකක්ද කියන එක ගොඩයා දන්නවා. ඩඩා සහ රවියා මදිවට සමාත් ඔතන මැද ඉන්න වග ගොඩයා දන්නා නිසා ඔය ආරංචිය ඇහුවාම ගොඩයාගේ ඇඟ නම් සහලෝලා ගියා කියහන්කෝ. ඒ වගේම හීනි සන්තෝෂයකුත් ඉහේ හිටං පහලට ගලාගෙන ගියා රවියාට සහ සමාට ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියනා කාරණය සහසුද්දෙන්ම ගොඩයා දන්න නිසා. තණකොළ කපන මැෂිම ඩඩාට වික්කා කියන්නේ ඔය තණකොළ කපන මැසිම අපේ ඩඩා ගාව තියෙනකල්ම රවියාට සහ සමාට ආෆ්ටර් සේල්ස් සර්විස් සහ ලයිෆ්ටයිම් වොරන්ටි දෙන්න වෙන වග ගොඩයා සහසුද්දෙන්ම දන්නවා.

ඔය ඔක්කොටම අමතරව ගොඩයා දන්නවා රවියාට ඒ ආසන්නයේ ජපානයෙන් ස්පෙයාර් පාර්ට්ස් කන්ටේනර් එකක් ආවේ නෑ කියන එක. ඒ කියන්නේ ඒ වෙද්දී රවියා ගාව තණකොළ කපන මැෂින් තියෙන්න විදිහක් නෑ. ඔය ජපන් වලින් පාවිවිච්චි කරපු ස්පෙයාර්පාර්ට්ස් ගෙන්නන උදවිය ගාව හොඳ බඩු සතියකට දෙකකට වඩා තියෙන්නේ නෑ. හොඳ කෑලි බෑලි ටික රවියා හෝල් සේල් මිලටම සිල්ලර විකුණන එවුන්ට විකුනලා කුට්ටිය පිටින් බැංකුවට දානවා උනාට ඔව්ව ඉතින් ගොඩයාගේ ඩඩා පිළිගන්නේ නෑ. මොකද ඒ වෙද්දී සමා ගොඩයාගේ පියාණන්ගේ ඔලුවට දාලා ඉවරයි රවියාගේ වෙළඳ සැලේ තණකොළ කපන මැෂින් තියෙන බව. සමා රවියාගේ පාර්ට් ටයිම් සේල්ස්මන් වග ගොඩයා, බඩ තඩියා ඇරෙන්න අනික් කව්රුවත් දන්නේත් නෑ. සමා උගේ ව්‍යාපාර කටයුතු කරගන්න අල්ලපනල්ලේ තමයි ඔය සේරෝක්කොම දේවල් කරන්නේ.

සති දෙකක් යන්න කලින් අපේ රවියා ගොඩයාගේ ඩඩාගේ පාලොස්දාහක ඇරියා කියන ආරංචිය ගොඩයා වෙත ආවත් ඒ වෙද්දී ගොඩයාගේ ඩඩා හිටියේ අලුතෙන් ගෙනාපු තණකොළ කපන මැසිම එන්ජෝයි කරන මට්ටමේ නිසා දෙන්නගෙම ආතල් කඩන්න  ගොඩයා ගියේ නෑ. එහෙම හොඳ නෑනේ හිටං.  කව්රු උනත් ආසයිනේ එහෙම දේවල් වලට. හැබැයි රවියා තණකොළ කපන මැසිම සමා අතේ එව්වා කියන ආරංචියත් ගොඩයාට ලැබුන නිසා තව නොබෝ දිනකින් තණකොළ කපන මැසිම ගැන දුරකථන ඇමතුම් රාසියක් ලැබෙන්න නියමිත වග ගොඩයා දැනගෙන හිටියා. ඒ කිව්වත් වගේ ඊට සති දෙකක් යද්දී ගොඩයාගේ ඩඩා මහ රෑ දෙකට තුනට විතර ගොඩයාගේ නින්ද කඩලා ඒ අසුභ ආරංචිය දැනුම් දුන්නා කියහන්කෝ. ඒ කියන්නේ තණකොළ කපන මැසිම  අවසන් ගමන් ගිහින්. ඕක ඔහොම වෙන විත්තිය ගොඩයා දැනගෙන හිටියත් ඩඩා පිට පාරේම රවියා සමග ගනුදෙනු කල නිසා ගොඩයා එකෙන්ම කියා හිටියා රවියා හෝ සමා අමතා පැමිණිල්ල ඉදිරිපත් කරනා ලෙස. ඒ පැමිණිල්ලට ප්‍රතිපලයක් වශයෙන් තමයි සමා ඇවිත් කැඩුන තණකොළ කපන මැසිම නැවත රැගෙන යන්නේ අලුත්වැඩියා කොට ගෙනවිත් දෙන පොරොන්දුව මත. ඔන්න ඔතැන් පටන් තත්වය සෝචනීයයි කියහන්කෝ. අපේ ඩඩාට තණකොළ කපන මැසිමත් නෑ පාලොස්දාහත් නෑ. ඒ මදිවට රවියා සහ සමා ඩඩාගේ කෝල් වලට ආන්සරුත් නෑ. ගොඩයාටත් ඉතින් සතියකට වරක් වගේ ඩඩාගේ දුක්ගැනවිල්ල ලැබෙනවා උනාට ගොඩයා වැඩේට මුනිවත රැක්කේ රවියා සහ සමා ගැන ඩඩාට වඩා යාවත්කාලීන දැනුමක් ගොඩයා වෙත තිබ්බ නිසා. ගොඩයාගේ ඩඩා විශ්‍රාම සුවයෙන් ඉන්න මනුස්සයා නිසා ඔහොම වේදනා දෙන්න හොඳද යකුනේ කියලා අහන්න ඕනවුනත් ගොඩයා ඔය පණිවිඩේ දෙන්න ඉන්ටර්නැෂනල් කෝල් එකකට වියදම් නොකරේ ඒක කිසිම තේරුමක් නැති වැඩක් වග ටක්කෙටම දන්නා නිසා. රවියා සහ සමා ඔය කියන තණකොළ කපන මැසිම කොහෙන්හරි උස්සන් ඇවිත් අපේ ඩඩාට වික්කා කියන සාධාරණ සැකය ගොඩයාගේ හිතේ තිබ්බ නිසා ගොඩයා වැඩි කලබලයක් කරන්න ගියේ නෑ. මොකද උන්ටත් ඕක ගෙනාපු තැනට ආපහු ගෙනිහුන් දීල හරි ඕක හදවන්න කාලයක් දෙන්න ඕනනේ. ඊටත් වඩා ගොඩයාට තිබ්බ ආතල් කෝටියක් සපයන කාරනාව නම් රවියා සහ සමාගේ ජංගම දුරකථන වලට නිවී සැනසිල්ලේ හුස්මක් ගන්නට අපේ ඩඩා ඉඩක් නොදෙන බව දැනෙනා හැඟීම. තණකොළ කපන මැසිම අලුත්වැඩියා කොට නැවත ගෙනවිත් දෙනතුරු හෝ රුපියල් පාලොස්දාහා නැවත ලබාදෙනතුරු අපේ ඩඩා රවියාටත් සමාටත් දවසට කෝල් විස්සක් තිහක් දෙනවා කියන එක ගැන හිතද්දී අදත් ගොඩයාට දන්නෙන්නේ මල් මසුරන් සන්තෝසයක්. 

ඔය විදිහට ටික දවසක් යද්දී ඔන්න සමා අපේ ඩඩාගේ තණකොළ කපන මැසිම අලුත්වැඩියා කර නැවත භාර දෙනවා. ඒ එක්කම අපේ ඩඩා ගොඩයාට නැවත පැමිණිලි කරනවා මැසිමේ තලය වෙනස්කර තිබේ කියනා කාරණය. ගොඩයාට ඉතින් ඊටත් එහා මල් මසුරන් ආතල් එකක් තවත් කොයින්ද දෙයියෝ. ඒ මොකද කියනවනම් මැසිම හදලා ගෙනත් දුන්නත් සමාට සහ රවියාට ඩඩාගේ චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ කියන සිතුවිල්ල සහ ඩඩාගෙන් නැවතත් රවියාට සහ සමාට යන දුරකථන ඇමතුම් සමූහය ගැන හිතද්දී මේ දැනුත් ආතල්. අපේ ඩඩා ඒ තරම් ඔය යන්ත්‍ර උපකරණ ගැන දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි නිසා රවියා ඩඩාට නැවත එව්වේ කලින් දුන් තණකොළ කපන මැසිම නොව වෙනත් එකක් වග ආයේ අමුතුවෙන් ගොඩයාට කියන්න දෙයක් නෑ. ඒත් ගොඩයා කවදාවත් මිතුරා පාවා නොදෙනා ගනයේ එකා නිසා ඒ වගක් ඩඩාට කියන්න ගොඩයා ඉදිරිපත් වෙන්නේ නෑ. මුකුත්ම නොලැබෙනවාට වඩා මොකක් හරි මැසිමක් ආයේ ලැබුන එකම මදැයි කියන සිතුවිල්ල ඊට වඩා බලවත් මුන් දෙන්නා එක්ක බිස්නස් කරලා. වැඩේ එතනින් ඉවරයි කියලා හිතුවට එතනින් ඉවර නෑ. ආයෙත් අර ගෙනාපු මැසිමත් සති දෙක තුනකින් අවසන් ගමන් ගියා කියන ආරංචිය ආයෙත් ඩඩා විසින් ගොඩයාට කියා හිටිනවා. දුරකථන ඇමතුම පැමිණෙන්නේ රෑ දෙගොඩ හරියේ උනාට ගොඩයාට බඩ පැලෙන්නේ හිනා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ආයෙමත් රවියා සහ සමා ඇදගෙන නෑවා කියන සුභ ආරංචියට. 

ඔය තණකොළ කපන මැසිම ගැන විස්තරේ දිගටම ලියන්න ගියොත් මේ බ්ලොග් පෝස්ට් එක සෑහෙන දිග වෙන නිසා තණකොළ කපන මැසිම ගැන විස්තරේ සාරාංශය අවසානයේ මෙන්න මේකයි. ඔය කිව්ව තණකොළ කපන මැසිම ගොඩයාගේ නිවසටත් රවියාගේ වෙළඳසැලටත් සමාගේ ස්කූටියෙන් ගිය වාර ගණන ගණන් කරන්න බැරුව ඇති මයේ හිතේ. ලෝකයේ වැඩිම වාර ගණනක් ස්කූටියක ගමන් කරන ලද තණකොළ කපන මැසිම කුමක්ද කියල ඇහුවොත් ගොඩයාට හෙන ආඩම්බරයක් දැනෙනවා ඒ ජයග්‍රාහී තණකොළ කපන මැසිමේ හිමිකාරයා ගොඩයාගේ ඩඩා නිසා.


 හැබැයි තණකොළ කපන මැසිම වැඩි කාලයක් තිබ්බන් තිබ්බේ රවියා භාරයේ. ඒකට තවත් හේතුවක් තිබ්බ. රවියාගේ ඥාති අයියා කෙනෙක් තණකොළ කපන බිස්නස් එකක් කරගෙන ගියේ රවියාගේ පූර්ණ අනුග්‍රහයෙන්. ඔය ව්‍යාපාරයට යන්ත්‍ර සූත්‍ර කුලියට දුන්නේ අපේ රවියා. රවියා තකහනියේම ඇවිත් අපේ ඩඩාගේ තණකොළ කපන මැසිම සර්විස් කරන්න අරං ගියා කියන ආරංචිය ඇහුවාම ගොඩයාට තැන නොතැන නැතුව බඩ පැලෙන්න හිනා. ඩඩා හිතන්නේ රවියාගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක සහ හිතේ තියෙන හිතවත්කමට එහෙම කරනවා කියලා උනත් ගොඩයා දන්නවා රවියට අපේ ඩඩාගේ මැසිමට සත්ව කරුණාව පහල වෙන්නේ තණකොළ කපන ඥාතියාගේ මැසිම සෙත්තපෝච්චි උන දවසට කියල. ඒත් ගොඩයා ඔව්ව ඩඩාට කියන්න යන්නේ නෑ. ඩඩාගේ සහ රවියාගේ අතර තිබෙන අකලංක විශ්වාසය බිඳ දමා දුෂ්ටයා වෙන්න ගොඩයාට ඕන නෑ. එක පැත්තෙන් ඩඩා.. අනික් පැත්තෙන් මිත්‍රයා.. මැදින් සමා... ඉතින් කොහොමෙයි යකඩෝ හිතක් පපුවක් තියෙන එකෙක් විදිහට ඔය තුන්කොන් ප්‍රේමය මැදට පැනලා පවු සිද්දකරගන්නේ.


ප්‍රේමය එහෙම උනාට රවියා සහ සමා ඔය තණකොළ කපන මැසිම නිසා දුරකතනයෙන් අහපු කුණු කතා ලියන්න පොතකුත් මදි ඇති ගොඩයා දන්නා තරමට. ගොඩයාගේ ඩඩා තණකොළ කපන මැසිම වෙනුවෙන් වියදම් කරපු දුරකථන ඇමතුම් වල මුදල් වෙනම එකතු කරානම් තණකොළ කපන්න තව මැෂින් දෙක තුනක් ගන්න තිබ්බ . දැන් වෙද්දී නම් තණකොළ කපන මැසිම ටික කාලෙකින් ආපහු රවියාගේ ගෙදර ගියේ නෑ දන්නා තරමින්. හැබැයි අවසන් වතාවේ රවියලාගේ ගෙදර ගිහින් එද්දී තණකොළ කපන මැසිම ආපහු ඇවිත් තිබ්බේ සෑහෙන්න වෙනස් වෙලා .  මේ ගමන ලංකාවට ගිය වෙලේ මහ ගෙදර පිටිපස්සේ පරෙස්සමට එල්ලලා තියන තණකොළ කපන මැසිම දැකලා ගොඩයාට බඩ පැලෙන්න හිනා. කලින් තිබ්බ හෙලිකොප්ටර් පෙත්ත වගේ තල දෙකක් තියන තලය වෙනුවට දැන් ඒකෙ තියෙන්නේ කඳන් ඉරන දැති රෝදයක්. ඒකෙත් ඉතින් දැති තිබ්බනම් ඒත් කමක් නෑ කියමුකෝ.. ඒකත් දැත්තක් හොයාගන්න නැති තරමට ගෙවිච්ච මල කාපු රෝදයක්. මිදුලේ තියන තණකොළ ටික කපාගන්න ගතපු මැසිමට ලී ඉරන දැති රෝදයක් හයිකරලා එවන්න ඇත්තේ වත්තේ තියන පොල් ගස් ටිකක්ත් ඔය එක්කම කපාගන්න වෙන්ටෑ කියල හිතලා ගොඩයා නිකං උන්න. ඔන්න ඔහොමයි අපේ රවියා. 

රවියා ගැන ලියන්නගත්තට ඔය තණකොළ කපන මැසිමේ කතාව බෝනස් එකක් විදිහට ලියවුනු එකක්. මොකද කියනවනම් ලියන්න ගියේ වෙනත් කතාවක්. අපේ තඩියා විසින් යෝජනාකොට සම්මත කරපු සිද්දිය තමා ඊළඟට ලියන්නේ. 

රවියා ඒ ලෙවල් කරලා ඉවරවෙලා කොළඹට උනායින් පස්සේ රවියා යනු කලාතුරකින් දකින්න පුළුවන් වෙච්ච ඩයල් එකක්. ඒත් මෙන්න බොලේ රවියා එකපාරටම මතුවෙනවා අම්බලන්ගොඩට කාටවත් නොදන්වාම. එදා රවියා ඇවිත් හිටියේ ටොයෝටා හයිඒස් හයිරූෆ් ඩොල්ෆින් වෑන් එකකින්. අප්පද බොල අපේ එවුන්ට ඉතින් ඊට වැඩිය දෙයක් කොයින්ද කියහන්කෝ. බඩතඩි එකා ඉස්සරහ සීට් එක පස්සපැත්තේ අලවගත්තා හා සමානයි. උදේ වරුවක ඔය කියන වෑන් එකෙන් අම්බලන්ගොඩට ප්‍රාදුර්භූත උන රවියා කට්ටියටම පුංචි ආතල් එකක් දීල ආපහු හවස් වෙද්දී කොළඹ ගියා කියමුකෝ. ඔන්න බොලේ වැඩේ පත්තු වෙන්නේ එදාම රෑ වෙද්දී.

එදා රෑ වෙද්දී යාලු මිත්‍ර හැම එකාගෙම ගෙවල් වලට දුරකථන ඇමතුම් පැමිණෙනවා රවියා ගැන විමසමින්. කෝල් එන්නේ රවියාගේ වැඩිහිටි සහෝදරයන්ගෙන්. බැලින්නම් රවියා අතුරුදහන්ලු. දැන් කාපන්කෝ පරිප්පු කිව්වලු. ඒත් වැඩේ කියන්නේ රවියා අතුරුදහන් වෙලා තියෙන්නේ අපේ එවුන්ව බේරලා. අම්බලන්ගොඩ ඉඳන් කොළඹ යද්දී අපේ රවියා අර ගෙනාපු වෑන් එකේ ඉස්සර වම්පැත්තේ මුල්ල ඇනලා කියහන්කෝ ඉස්සරහින් ගිය වාහනේක. දුකේ බෑ වෑන් එක කුඩේ කුඩුලු. වැඩේ කියන්නේ රවියට මුකුත් තුවාල සිද්ද වෙලා නෑ. ඒත් අපේ රවියා ඔය කියන වෑන් එක අරං ඇවිත් තියෙන්නේ ඒකෙ අයිතිකාරයා වෙච්චි රවියාගේ පොඩි අයියාට හොරෙන් කියහන්කෝ. වෑන් එක කුඩු වෙන්න වැදිච්ච හිතේ අමාරුවට රවියා අතුරුදහන් කියමුකෝ. හැබැයි රවියා අතුරුදහන් වෙලා තියෙන්නේ වෑන් එක පොඩි අයියාගේම යාලුවෙකුගේ ගෙදර ගාල් කරලා අවසානයේයි. ඒ කියන්නේ රවියා ගෙදරින් පැනලා ගිහින්. අන්තිම කෝල් එකෙන් කියවුනේ වෑන් එක හදන්න සල්ලි හොයාගෙන එනතුරු ආයේ ගෙදර එන්නේ නෑ කියන එකලු. ඉන් පස්සෙ ඉතින් කට්ටියම රවියා සොයා රට පුරා සෝදිසි මෙහෙයුම් කියහන්කෝ. ගෙවල් වලට කෝල් එනවා ඉවරයක් නෑ. ඒ මදිවට සෙට් එක එකතු වෙලා පැය ගණන් අනුමාන ගැන කතා වෙනවා රවියා අරෙහෙ ඇති මෙහේ ඇති ඒත් ආරංචි කරලා බැලුවාම ඒ කොහෙවත් රවියා නෑ. ඔන්න ඔය විදිහට මාසයක් විතර ගතවුනා කියමුකෝ. රවියාගේ මෑණියන් ඇතුළු වැඩිමහල් සහෝදරයින් රවියා සොයා රට පුරා ඇවිදිනවා, බෝධි පූජා තියෙනවා , සාස්තර අහනවා, අංජනම් බලනවා ඉවරයක් නෑ ඒත් රවියා නෑ. ඒ සෙල්ලම් වලට වියදම් කරපු සල්ලි වලින් ඇත්තටම අර හැපිච්ච වෑන් එකට අලුතෙන් මුණක් ගෙනත් තියන්න තිබ්බ යකොඩෝ.


ඊළඟට මොකද උනේ කියල ලියන්න කලින් දැන් ගොඩයා පොඩි සටහනක් තබන්නේ ඇයි මේ පෝස්ට් එක සුවිශේෂී උනේ සහ ඇයි ගොඩයා මේක රවියා ගැනම ලිව්වේ කියන එක ගැන කියන්නයි.  මේ තමා අම්බලන්ගොඩ කතා බ්ලොගයේ ලියවෙන සියවෙනි බ්ලොග් පෝස්ටුව. බ්ලොග් පොස්ට් සීයක් ලියන්න ගොඩයාට දින 1159 ක් ගතවෙලා තියෙනව. වෙනත් විදිහකින් කියනවනම් අවුරුදු තුනක් , මාස දෙකක් සහ  දින දෙකක් ගතවෙලා තියෙනව. ඒ තමා පලවෙනි පොස්ට්ටුව සහ මේ සියවෙනි පෝස්ටුව අතර කාලය. එතකොට ඇයි රවියා ගැනම සියවෙනි පෝස්ටුව ලිව්වේ කියන එකට හේතුව වෙන්නේ පලවෙනි පෝස්ටුවත් රවියා ගැනම ලියවෙච්ච එකක් නිසා. රවියාගේ පැරිෂුට් පිම්ම පෝස්ටුව ගොඩයා පලවෙනි වතාවට ලිව්වේ එළකිරි වෙබ් අඩවියට ලියපු  පොස්ටුවක් විදිහට. සඳරු ලියපු "හිස් අහස" බ්ලොග් අඩවිය කියවලා බ්ලොග් එකක් කිරීමේ අසාවට තමයි අම්බලන්ගොඩයා ගූගල් දෙවියන්ගෙන් පාර අහගෙන බ්ලොග්කරණයට අත්පොත් තියන්නේ. වැඩේ සෑහෙන්න එක්සයිටින් නිසා එලකිරියට ලියපු පෝස්ටුවම කොපි පේස්ට් කරලා ගොඩයා අම්බලන්ගොඩ කතා පටන් ගත්තට ඔය කියන පොස්ට් එකට පලවෙනි කොමෙන්ට් එක වැටෙන්නේ බ්ලොග් අඩවිය හදලා දින 880 කට පස්සේ. ඒ කියන්නේ අවුරුදු දෙකයි මාස හතරයි දවස් විසි හතකට පස්සේ.  ඒත් අම්බලන්ගොඩ කතා වෙත පලවෙනි කොමෙන්ටුව ලියන්නේ 2014/11/27 දින අපේ මාතලන් ලොක්කා. එතැන් පටන් අද වෙද්දී අම්බලන්ගොඩ කතා වෙත කමෙන්ට් 4561 ක් වැටිලා තියෙනව. ඒ එක්කම 267167 වාරයක් අම්බලන්ගොඩ කතා වෙත පාඨකයන් පැමිණිලා තියෙනව. එතෙක් මෙතෙක් බ්ලොග් පොස්ට් සීයක් දිගේ කොමෙන්ට් කරගෙන තල්ලුව දීගෙන පැමිණි අම්බලන්ගොඩ කතා පාඨක සැමට අම්බන්ගොඩයා මේ වෙලාවේ තමුන්ගේ හර්දයාංගම භාවය පළකරන්නේ බොහොම හැඟීම්බරව. ඒ එක්කම අම්බලන්ගොඩ කතා මිනිස්සු අතරට ගෙනියන්න මුල් වෙච්ච බ්ලොග් සින්ඩි සියල්ලටම ගොඩයා මේ වෙලාවේ බොක්කෙන්ම ස්තුතිය පුදකරනවා. එයාල නැත්තම් අම්බලන්ගොඩ කතා මේ තරම් ප්‍රසිද්ද වෙන්නේ නෑ. ඒ වගේම මේ පොස්ට් සියයක ගමනේ ගෞරවයෙන් කොටසක් හිමිවිය යුත්තේ ඒ හිස් අහස ලියන චින්තක සඳරුවන් නම් ඒ  අසහාය බ්ලොග් කරුවාට. ගොඩයා එහෙම කියන්න හේතුව  හිස් අහසට ඇබ්බැහිවීමත් එක්ක ඇතිවෙන ආසාවක් විදිහට අම්බලන්ගොඩ කතා බිහිවෙච්ච නිසා. ඒ නිසා බ්ලොග් පිටු සියයක ගමනේ සම ගෞරවය හිස් අහසේ සඳරුටත්, බ්ලොග් සින්ඩි වලටත්, කමෙන්ට් මගින් දිරිය දුන් සැමටත්, මේ ලියවෙන සිද්දි දාමයන්ට ප්‍රස්තුත සැපයු ගොඩයා හිතාදර මිතුරු කැලටත් සම සමව හිමිවිය යුතුයි කියලයි ගොඩයාගේ අදහස. ඔන්න එහෙනම් දින 1159 ක් දිගේ ආපු ගමනට සහයෝගය දැක්වූ හැමදෙනාටම ස්තුතියි..ස්තුතියි...ස්තුතියි... 



ඊළඟට රවියාගේ කතාවේ ඉතුරු ටික..

දැන් රවියා අතුරුදහන් කියහන්කෝ මාසයක් විතර. ලංකාව වටේම ඉන්න සාස්තර කාරයෝ, බලිතොවිල් කාරයෝ, අංජනම් කාරයෝ දන්නා කියන වැඩ ඔක්කොම දාලා හෙව්වත් රවියා ඉන්න තැනක ආරංචියක් නෑ කියහන්කෝ. රවියාගේ ගෙදර උදවිය ලාවට වගේ සැක කලත් මූ ගඟක මුහුදකවත් පැන්නාදෝ කියලා යාලු හිතමිත්‍රාදීන් නම් එහෙම දෙයක් විශ්වාස කරේ නෑ. මොකද රවියා යනු ගල් පලන් මද කන්න පුළුවන් එකා නිසා ඌ ගඟක මුහුදක පැනලා ජීවිතේ නැති කරගන්න තරම් ගොන් වස්සෙක් නොවෙනා වග යාලුවෝ නම් විශ්වාස කළා. උපතින්ම හුරතල් පෙනුමක් හිමි රවියා ඉන්නා තැනක හොඳින් තුන්වේල කොටාබා ඉන්නවා ඇති කියන හැගීම යාලුහිතමිත්‍රාදීන් වෙත තිබ්බේ රවියා යනු ගිය තැන වසවර්ති මාරයාගේ උනත් බත් පතට විදින්න පුළුවන් හුරතල් පෙනුමක් තියෙන එකා නිසා. අපායට ගියත් යම රාජ්ජ්රුවෝ උනත් කද්දී බොද්දි අනිවා අපේ රවියාගෙන් අහනවා උඹ කාලද මචං කියල. ඒ තරම් ලැබීමක් තිබ්බ එකෙක් කොතන හිටියත් හොඳින් ඉන්නවා කියන තදබල හැඟීම සෙට් එකේ කා ගාවත් තිබ්බ.

ඔන්න ඔය විදිහට කාලයක් යද්දී තමා රවියාගේ ලොකු අක්කාට රවියා ඉන්න තැන හරියටම ආරංචි වෙන්නේ. ආරංචිය ලැබුන ගමන් වාහනයක් අරං ඉගිලෙන රවියාගේ ලොකු අක්කා එතනට යද්දී අපේ රවියා තඩි සිමෙන්ති ලොරියකින් සිමෙන්ති බානවාලු කියහන්කෝ. ඉතින් බලහන් මෙව්වා කටක් ඇරලා ලෝකයාට කියන්න පුළුවන් කතාන්දරද කියලා. පවුලේ මිනිස්සුන්ට තියා යාළුවො වෙච්චි අපිටවත් පාරේ බැහැලා යන්න බැරි තරම් හතර විලි ලැජ්ජයි නැද්ද හා.  ලොකු අක්කා වාහනේ බැහැපු ගමන් දුන්නලු අපේ රවියගේ කණ කුඩු වෙන්න කනේ පාරක්. වැදිච්ච පාරේ සැරටද කොහේ රවියාගේ කරේ තිබ්බ සිමෙන්ති කෝට්ටේ හුචස් ගාල බිම වැටිලා දෙකට පැලුනාලු. කොහොමින් කොහොමහරි අසූහාරදාහට මල පැනලා හිටපු රවියාගේ ලොකු අක්කා රවියාට නෙලපු නෙලිල්ලෙන් අපේ එකාව බේරාගෙන තියෙන්නේ අහල පහල හිටපු නාටාමිලා ඉදිරිපත් වෙලා. ඇයි යකඩෝ කෝටිපති සහෝදරයෝ හත් දෙනෙක් ඉන්න පවුලක බඩපිස්සා වෙච්චි මේ ගොන් නාම්බා හාර්ඩ්වෙයාර් එකක සිමෙන්ති බානවා දැක්කාම මූව එතනම නොමරුවා ඇති. ඒ වගේද ඒ මිනිස්සු උහුලපු ගින්දර මූව ඇහැට දකිනකම්. දැහැමෙන් සෙමෙන් උපයාගෙන දෙයියනේ කියලා තුන් වේල කාලා යාන වාහන ගේ දොර ඉඩකඩම් මදි නොකියන්න තියන පවුලක මිනිස්සුන්ට එහෙම ගින්දර දෙන්නේ ඒ මිනිස්සුන්ට ප්‍රශ්න නැති නිසාද. වාහනේ හැප්පුනානම් ඒක අයියට කියල සෙන්ටිමෙන්ටල් කරගන්න තිබ්බනේ. මොකෝ ඒ වෙද්දීත් ඒ ගෙදර වාහන විස්සක් තිහක් තිබ්බ ගෙදරක්නේ. එකක් හැප්පුනා කිව්වට මොකෝ මූව මරන්නේ නැහැනේ. ඕකට ඉතින් මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ වගේ ගෙදරින් පැනලා යන්න ඕනෙද හත් ඉලව්වේ. කොහොමද අපේ එකාට ජින්නා වගේ එකෙක් සෙට් උනානම් එහෙම. එහෙනම් ඉතින් මූ හොයාගන්න වෙන්නේ මැඩගස්කර්වලින් හරි ඇමේසන් වලින් හරි තමා. 

ඒ කරුණු කාරනා කොහොම වෙතත් මූ මගේ මල්ලි කෙනෙක් උනානම් මං ඕකාට ගහන්නේ ගහක බැඳලා. ඇයි යකෝ වාහනේ හෝදන්න කියලා මිදුලෙන් එහාට දාන්න වාහනේ ස්ටාර්ට් කරපු එකා කිරිබත්ගොඩ ඉඳලා අම්බලන්ගොඩ යාවි කියලා කව්ද හත් ඉලව්වෙන් හිතන්නේ. ඒ මදිවට ඩ්‍රයිවින් ලයිසන් එකකුත් නැතුව. කොහොමින් කොහොම හරි අපේ එකාගේ පැනලා යාමෙන් උනේ ගෙදර මිනිස්සුට වාහන දහයක් හදන මුදල් වියදම් වීමත් නිස්කාරනේ ගින්දර උහුලන්න සිද්ද වීමත් විතරයි. සිමෙන්ති ගොඩේ පෙරලගෙන ගුටි ඇනපු අපේ එකාව බෙල්ලෙන් අල්ලලා වාහනේට දාගන්න කලින් හාර්ඩ්වෙයාර් එකේ මුදලාලි දුවගෙන ඇවිත් අපේ රවීගේ අක්කාගෙන් මූ බිමදාපු සිමෙන්ති කෝට්ටේ අලාබෙත් අයකරගත්තළු. මං හිටියනම් ආයේ වාහනෙන් බස්සලා සිමෙන්ති ගොඩේ හොම්බ උලලා පයින් දෙකක් අනිනවා ආයේ ගොන් වැඩ නොකරන්න.

දැන් වෙද්දී රවියා දෙදරු පියෙක් වගේම ව්‍යාපාර ගානක අයිතිකාරයෙක්. ඒ උනාට ඉතින් විශ්වාස කල නොහැකි භාවය කොයිතරම්ද කියනවනම් ගොඩයා මේ වතාවේ ලංකාවට ගිහින් එද්දී රවියා ගොඩයා බලන්න ගෙදරටම ඇවිත් ගියා සුරාමේරය සහ අවශ්‍ය කරන  බයිට් ජාතිත් අරගෙනම. ඒ යන වෙලාවේ ගොඩයා රවියට කිව්වා යන එන වෙලාවක උඹේ වාහනේ අපේ ගෙදර දාලා මගේ වාහනේ අරං ගිහින් සර්විස් කරලා ගෙනත් දාපන්ය කියන කාරණය. ඒකට හේතුව රවියාගේ ව්‍යාපාර ලැයිස්තුව ඇතුලේ වාහන සර්විස් කරන ආයතනයකුත් ගජරාමෙට පවත්වාගෙන යන නිසා. ඒ වගේම රවියා දවස ගත කරන්නේ ඔය කියන සර්විස් ස්ටේෂන් එකේ කියලා ගොඩයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ගොඩයාගේ ගෙදර පහු කරගෙන උදේට ව්‍යාපාර ස්ථානයට යන එකේ ගොඩයාගේ වාහනේ අරං ගිය කියල පැත්තක් යන්නේ නෑනේ. අපේ එකා කවදාවත් බෑ නොකියන සතා නිසා කට පුරා හා කියලා ගියා ගියාමයි. දැන් මාස දෙකකටත් වැඩියි ගොඩයාගේ වාහනේ තාම එතන රවියා එනකං බලන් ඉන්නවා සර්විස් කරන්න යන්න. කොච්චර යාලුවා උනත් ගොඩයා යාලුවන්ගෙන් නිකං වැඩ ගන්න එකා නෙවෙයි. නිකං යන එන ගමනේ බොඩි වොෂ් එකක් දැම්මත් ගොඩයා රවීගේ සර්විස් එකට සල්ලි දීලයි වාහනේ අරං එන්නේ. රවියා සහසුද්දෙන්ම දන්නවා වාහනේ සර්විස් කරාට මුදල් නොදී ඉන්නේ නැති වග. ඒ එක්කම රවියා මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒත් ඉතින් කිව්වට දෙයක් කරවගන්නත් බෑ. ඉබ්බාගෙන් පිහාටු ගණන්වා ඊට ලේසියි. දැන් මේ පෝස්ට් එක රවියා කියවනවා කියලා ගොඩයා දන්නවා. ඒ නිසා රවියාට පණිවුඩයක් තියලාම ගොඩයා සියවෙනි පෝස්ටුව අවසන් කරනවා. මොකද තණකොළ කපන මැසිම නිසා ගොඩයාගේ ගෙදරින්  දුරකථන ඇමතුම් එද්දී රවියා තාමත් ජංගමය ආන්සර් කරන්නේ නෑ. ඒ එක්කම තණකොළ කපන බිස්නස් එක කරන ඥාතියාගේ මැසිම කැඩුන දවසට රවියට අපේ ඩඩාගේ මැසිම ආයේ සර්විස් කරන්න අරං යන්න ඕන වෙන්නේත් නෑ. මොකද රවියා දන්නවා අන්තිම වතාවේ ඒකට හයිකරලා එව්වේ කඳන් ඉරන දැති රෝදයක්ය කියන එක වගේම එකේ දැතිත් එකකට දෙකකට වඩා නැති වගත්. මෙහේ හිටං කෝල් දුන්නට වැඩකුත් නෑ ඌ නෙවෙයි ඉතින් ඔව්වට ආන්සර් කරන්නේ.. කාගේ හරි දුරකථන අංකයක් , වැඩක් කරගන්න ඕනෑකමක් වගේ දෙයක් ඕන උන ගමන් රවියා ගොඩයාගේ නින්ද කඩනවා කියල ගොඩයා දන්නවා.. ඒ කෝල් එක එනකං තමා මේ ගොඩයා බලාන ඉන්නේ. එතකම් මේ පණිවුඩය ඒ ආසහාය මිත්‍රයාට..

හිතාදර රවී... උඹට අමතන්න කටට එන ආදරණීය වචන මේකේ ලියන්න බෑ.. මොකද මේක පොඩි දරුවෝ කියවනවානේ... අර කාර් එක අරං ගිහින් සර්විස් කරලා ගෙනත් දාපන් බූරුවෝ පොරොන්දු උනානම් .. 

(බූරුවෝ කිව්වට සමාවෙයන්.. මොකද උඹට අමතන්න කටට එන වචන සෙට් එකේ තියන වචන වලින් ටිකක් හරි සභ්‍ය වචනේ ඕක විතරයි.)

80 comments:

  1. මන් අයෙමත් එකලු....

    ReplyDelete
    Replies
    1. මටත් පුලුවන් එක එක ගගා ඉන්න.කතාව කියවල මොනහරි ලියපං තරිදුවෝ.... 😠 තෝ එක උනා කියල ගොඩයගෙන් ලැබෙන ඉටිගෙඩියක් නෑ 😝

      Delete
    2. නැ...නැ...චමිල අයියේ සියයි නේ තැගි දෙනවලු මෙි පාර පළවෙනියට....

      Delete
    3. ඔවු බොලාටත් කඳං ඉරන දැති නැති රෝදයක් හයි කරපු තණකොල කපන මැසිමක් තෑගි දෙනවලු.

      Delete
    4. මෙින් බලහන්කෝ ප්‍රසන්න අයියා..නැ..නැ..එහෙම නැමයි..

      Delete
    5. ඒක තමයි මරුම තෑග්ග.පොසන්න උයා නම්....

      Delete
    6. ප්‍රසන්නයා තෑග්ග නම් කරලා නිසා තරිඳුට පුළුවනි ඕනෙනම් අපේ රවියා හමුවෙලා ඒ වටිනා තෑග්ග ලබාගන්න.බය වෙන්න එපා.. මං කිව්වා කියහන්..

      Delete
    7. මෙිව⁣ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හිටං...

      Delete
  2. අඩෙි සියේ මන් එක වෙලාලු...(එකට තැගි බලාපොරොත්තු වෙනවලු).

    අමිබලන්ගෙඩ කතා දිගමට කියාගෙන යන්න අමිබලන්ගෙඩ අයියාට අපෙන් සුබ පැතුම්..🎂 🎂 ...

    රවි අයියේ කරැනාකරලා ඔය වාහනේ සර්විස් කරලා ⁣දියන් අයියේ.නැත්තන් තවත් පොස්ටි එකක් එයි රවියාගේ සර්විස් එක කියලා...

    ඩයනා කොටෙි ගැනත් ඉක්මනින් ලියුවනමි හොදා...

    ReplyDelete
    Replies
    1. හුටා....තරිදුව මොනාදලියලා 🔫

      Delete
    2. ඊළඟට ලියනවා ඩයිනා කොටේ ගැන. ඉවසිල්ලෙ හිටින්..

      Delete
    3. උඹටත් චමිලයෝ ඉවසිල්ලක් නැති හැටි හැබෑටම.. උඹ පලවෙනි කොමෙන්ට් එක දාන්න කලින් තම තරින්දුවා ඔය දෙකම ලිව්වේ.. හික්ස්..

      Delete
  3. ගොඩයියාට මාගේ හද පිරි සුභ පැතුම්..!!! තවත් දීර්ග කාලයක් අම්බලන්ගොඩ කතා බ්ලොග් එක ලියන්න ශක්තිය ලැබේවා..!!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ කතාව නන් ඉතින් බොහොම රසවත්...හිනා සාගරයක්....

      Delete
    2. ඊළඟ තත්පරේ ජීවිතේ ෂුවර් නැති අනිත්‍ය දහමක් පවතිද්දී දීර්ඝ කාල ගැන කුමන කතාද නෙතු.. ජීවත්ව හිටියොත් ඉහිටං ලියන්න බැරියැ..

      Delete
  4. මචං රවී ඔක කරල දෙන්නම එපා.

    ReplyDelete
    Replies
    1. උඹ කිව්වා කියල ඕකා අමුතුවෙන් ඕක නොකර ඉන්නේ නෑ බන්.. ඌ කොහොමත් ඕක කරන්නේ නෑ..

      Delete
  5. දැන් ඉතින් සර්විස් එක කරල දුන්නත් මේ ගලවපු රෙදි ආයෙ අන්දන්න බෑ රවි අය්යේ. ඊලග ගමන ලන්කාවට ආවම කරගන්න කියහන්. :D

    ReplyDelete
    Replies
    1. උඹ දන්නේ නෑ ලජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියල.. අපේ සෙට් එකේ එකෙක්වත් ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නෑ.. අද තූ නොදකින් කියලා මුනට කෙල ගැහුවත් හෙටත් ඇවිත් මචං කියලා කතා කරනවා බන් අපි හැමෝම..

      Delete
  6. ගොඩයාට සුබ පැතුම්! දිගටම ලියන්න.

    ReplyDelete
  7. සීයට සුබ පැතුම්.

    යකෝ පාලොස්දාහක් දෙනකොට බ්‍රෑන්ඩ් නිව් තණකොල කපන මැසිමක් ගන්න තිබ්බනෙ බොලාගෙ ඩැඩා ට.

    උඹේ ඔය වෑන් එක සර්විස් කරල එනකොටත් ඔකෙ රෝද හතර වෙනුවට අර පස් කපන ඒවයෙ තියෙන දංවැල් දෙකක් හයි කරල එවන එක ෂුවර්. හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.. අපේ ඩඩාගේ හදිසියනේ.. උඹ කිව්වත් වගේ අපේ රවියා ඔය පස් කපන යන්තර එහෙමත් ගෙනල්ල විකුනනවා.. ඒකත් ඉතින් නොකර ඉඳීවි කියලා වැඩි විශ්වාසයක් නෑ..

      Delete
  8. සියයට සුභ පැතුම්! දාහක් ලියවෙන දවසට සෙට් වෙමු.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. උඹත් දාහ ලියාගෙන වරෙන් ඈ..මතක ඇතුව එනකොට ගල් නැතුව මොනා හරි හොඳ දෙයක් අරං වරෙන්.. මම බයිට් හදලා තියන්නං.. මං හිතන්නේ නෑ මේ ජීවිත කාලය ඇතලත පුළුවන් වෙයි කියල.. එහෙනම් එහෙදි සෙට් වෙමු..

      Delete
  9. හැමදාම කරන් යමු බ්ලොග් පොල් මාමේ. පට්ට කතා තියෙන්නෙ

    ReplyDelete
  10. මගේ බොක්කෙ මිත්‍රයා.සහෝදරයාට මගේ හදපිරි මෙව්ව එක ❤ තව තවත් කුනුගොඩවල් අවුස්සන්න වසනාව වගේම ඉක්මනින් ගොඩයාට පෝස්ටුවක ඉන්න එකෙකුගෙන් හොදහැටි බඩ කට පුරා කන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව 🔫
    උදේම අමාරුවෙන් රවියව කොන්ටෑක් කොරගෙන ඕපෙ කිව්ව."ඒපාර ඕක මොනාද මංගැන ලියල තියෙන්නෙ" කියල ඇහුව.මං අතිනුත් දාල විස්තරේ කිව්ව 😃 ඔය කතාවෙ අන්තිමට මේ කෑල්ල එකතුවෙන්න ඕන.රවියව ගෙදර ගෙනල්ල එක්කගෙන ගිහින් කේන්දරේ බලවන්න.ගුරා කිව්වලු මේකට හෙන අපලයි පන්සලට බාර කරන්න කියල.ඊටපස්සෙ ලොකු අක්ක මේකව පන්සලකට බාර කරා.මතක හැටියට කාලයක් ඉදහිට ගිහින් රවිය පන්සලේ ඇබිත්තන් වැඩ කරා :-P මං ඌට අර කාර් එකේ වැඩේ මතක් කලා...එතකොටයි මේකට මතක් උනේ.ලබන සතියෙ මං අරගෙන ගිහින් ඕක කරල දාන්නම් 👍 එහෙනම් සහෝ ජයවේවා....

    ReplyDelete
    Replies
    1. මට අමතක උනා මූව පන්සලකට භාරකරා කියන එක. අබිත්ට වැඩේට නම් ඉතින් යසට ගැලපෙනවා අඩු පාඩුවක් නැතුවම. අන්න බලපන් ඒකත් ලබන සතියට කල් ගිය හැටි. මොකෝ ඌ දවස ගානේ සර්විස් එකට යන්නේ අපේ ගෙවල් ඉස්සරහින්. ඔව්ව කෙරෙන වැඩේ නෙවෙයි බන්. මෝල් ගහේ දළු එනතුරු, කළු කපුටා සුදු වෙනතුරු රවියා ඔව්ව කරන්නේ නෑ..

      Delete
    2. ඔය කියල තියන කතා ටික අනුව මේ හාදයව සාසනේට දුන්න නම් එකත් කම්මුතුයි !

      Delete
  11. 100 ට ගොඩයාට හදපිරි සුභපැතුම් !

    අර හිස් අහසේ සඳරුවට මොකද උනේ? කාලෙකින් සද්දයක් නෑ. ඌ මොනවා හරි ලිව්වා නම් අයෙත් අපට ගමට ගිහින් සඳරුවගේ සෙට් 1ත් එක්ක රව්මක් ගහන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවන්... සඳරු සද්දයක් නෑ.. මං හිතන්නේ ඌ ජොබ් එක එක්ක බිසී ඇති. දැන් සඳරු ඉන්නේ ගමේ නෙවෙයි කොළඹ මම දන්නා විදිහට.

      Delete
    2. ඒ යකාත් එකක් කථා කරන්න පුලුවන් නමි ලියන්න කියහන්කෝ අයියේ...

      Delete
    3. මයෙ මේ කටේ පැත්තක දත් දෙකක් සවුත්තු වුනේ උට කියලාම ගෙවිලා.

      Delete
  12. සීයට සුබපැතුම් අම්බලම්!!!

    රවියල එහෙම තමයි කොහෙ ගියත් දනන් තුඩ තුඩ රැව් දෙන නාමයකි රවී...හෙහ්,හෙහ්..

    බලාපං දැං උඹ පෝස්ට්ම කීයක් ලිව්වද රවියා ගැන..රවීලගෙ පිහිටෙන් තමයි සාමාන්‍යයෙන් ඔය අවසේස උදවිය ඔක්කොමල වගෙ ගොඩ යන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. රවියලා එක්ක ඉන්නකොට මමනම් කටත් තද කරලා වහගෙන ඉන්නේ.. මොකද කටේ දත් ටිකත් ගලවාගෙන මාරුවෙයිද කියලා ෂුවර් නෑ රවී කියන නම තියන එවුන් එක්ක ඉද්දි.. ස්තුතියි රවී..

      Delete
  13. එල....👍 100ට තව ...✍ ඔබට ජය... ,🏁

    ReplyDelete
  14. අඩියක් ගහලා සමරන්න ඔනෙ එවා..මෙහම අත අරිනවද.

    ReplyDelete
    Replies
    1. කවද හරි සෙට් වෙලා සමරමුකෝ.. දැනට මෙහෙම අතාරිනවා වෙන කරන්න දෙයක් නැති නිසා..

      Delete
  15. සීයට සුබ පැතුම්!!
    ඔන්න බලපං ඔය රවියල වගේ අය ඉන්න නිසානෙ උඹටත් හිත පුරා කතාවක් ලියාගන්න ඇහැක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ... අනේද කියන්නේ රවීලා ඉන්න තැන්වල කටේ තියන දත් ටිකත් කල්පනාවෙන් තද කරගෙන ඉන්න ඕන..

      Delete
  16. 100 ට සුබ පැතුම්...

    රවිය දළඹුවෙක් වගේ එළබුවෙක්නේ...
    ඌ ගෙදරින් පැනල ගියේ වයස කීයේදී වගේද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා.. රවියා ගෙදරින් පැනලා ගියේ වයස 20-21 කාලේ බන්.. හරිම බොළඳයි නේහ්..

      Delete
  17. සියවන පොස්ට්ටුවට මගේ උණුසුම් සුභ පැතුම් ! ඉස්සරහට තව තව රස කතා ලියන්න ලැබේවා !

    "රවියයි සීයයි" කියන පොස්ට් එක දැක්ක ගමන් මට හිතුනේ රවියයි රවිගේ සීය යි ගැන ලියපු එකක් කියල . කියෙව්වම නේ තේරුනේ මේක සමරන්න ඕනේ කාරණාවක් විත්තිය .

    එලකිරියේ "තඩියාගේ නුවරඑළි ගමන" කියෙව්වවෙලේ ඉදන් මමත් අම්බලංගොඩ කතා වල ෆෑන් කෙනෙක් තමයි .

    ආ ඔය කියද්දී මතක් උණේ , රවිගේ අය්යාගේ 4DR5 එක තවම තියෙනවැයි ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කලණ.. වැඩේ කියන්නේ තඩියා මේ සති දෙකකට උඩදී නුවරඑලි ගියා කියමුකෝ.. ඒ ගැනත් ලියන්න වෙන්ව තඩියාගේ නුවරඑලි සංචාරය 3 කියල.. කියන්න රසකතා එමටයි ඒකෙත්.. රවීගේ අයියගේ ජීප් එක තාම තියෙනව. ඔය නුවරඑළි ගියායින් පස්සේ ආයේ අපි ගියා ඔය ජීප් එකේම හබරණ, රවීගේ අයියගේ ඉඩමක් මනින්න. රවියයි, මනින්නයි, ගෝලයෝ රොත්තයි මමයි.. රසකතා එමටයි.. ඉදිරියේදී ලියන්නම්කො..

      Delete
    2. නියමයි නේ , ඒ කියන්නේ ඉස්සරහට ආතල් කෝටියක් සහිත කථා රොත්තක් කියවන්න පුළුවන් ...

      වැඩ කටයුතු වලට භාදාවක් නොවන හැමවෙලාවකම ලියන්න හිත් පහල වේවා කියල මම පතනවා .

      Delete
    3. ඔන්න ඕක තමා අමාරුම කාරනාව.. නිදහස් වෙලාවක් ලැබීම සහ ලියන්නට හිත් පහළවීම කියන කාරනා දෙකම එක වෙලාවට සිද්ද වෙන්නේ බොහොම කලාතුරකින්.

      Delete
    4. හේ හේ හේ .. එකනම් ඇත්ත . අමාරු වැඩේ ඕක තමයි . :D

      අඩුම තරමේ "තඩියාගේ නුවරඑලි සංචාරය 3 " වත් එලියට දන්න පුළුවන් නම් අගෙයි . නැත්තම් "මනින්නා සමග රවියගේ ජීප් එකෙන් හබරණට " මේක හරි .

      :D

      Delete
  18. සුභ පැතුම්........රවී මහතා පිළිබ්ද හෝඩුවාවල් ඕනවටත් වඩාය.,,,,ඕම හරිද ඉතින් මනුස්සයෙක්නෙ ඒත්

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බන්.. අපේ රවියට කේන්ති යන්නේ නෑ.. ඇල්වතුරත් නිවලයි රවියා බොන්නේ..

      Delete
  19. සීයට සුබපැතුම් ! ජයවේවා !

    ReplyDelete
  20. මං දාපු කමෙන්ට් එක මීයො කාල වගේ. (කායො මීල හිංගියෙ අලිජලක් - පරණ හිංදි චිත්‍රපටියකි) ඒ නිසා ආපහු දානව...

    අම්බලංගොඩය සීයක් දැම්ම කියන්නෙම ඉතිං ලොකු වැඩක් තමා. ඒ තරම් දුරක් එන්ඩ පුළුවන් වුනේ, අර ඉහළිං ස්තූති කරල තියෙන පාර්ශවවල දායකතවයටත් වඩා, අම්බලංගොඩයගෙම තියෙන සුපිරි ලිවීමේ හැකියාව සහ ශෛලිය නිසා. ඒ හංද සීයෙන් නොනැවතී දාහක් පන්නල යන්ඩ පුළුවන් වේවා කියල එක හිතිං ප්‍රාර්ථනා කරනව.

    වෙල්ඩන් මචං! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකී.. දාහක් දැමිල්ල නම් ඉතින් ෂුවර් නෑ බන්. පනනම් තැන අග පිනිබිඳු වන්නේ කිව්වලු..

      Delete
  21. සීයට සුභ පැතුම් ගොඩයෝ. 👊🏽.
    හැබැයි මචෝ නොදකින් ඔය වගේ අම්ම තාත්තටත් කෙලවන යාලුවෝ. මේක මගේ පිළිගැනීම. මටනං ඔහොම ඇවුන්නන් කවදාවත් ඉඳල නැහැ. ඒත් ඉතිං දෙමව්පියන් එයාල හරියි කියල හිතං කෙලවගත්ත ඒව මට අදාලත් නැහැ ඕං ඇත්තම කියනවනං. අනික මම අදට උනත් ගෙදර අයගෙ අවශ්‍යතාවයකට යාලුවන්ගෙන් උදව් ගන්නෙත් නැහැ. අම්මලට කියල තියෙන්නෙ අවශ්‍ය කරන දේවල් හොඳම තැනින් ගන්න එහෙම නැත්නං මාසයක් දෙකක් ඉවසන්න මම එවන්නං කියල. මොකෝ බං අනුන්ගෙන් උදව් ගන්නවට වඩා හොඳයි ටැක්ස් ගෙවල හරි මෙහෙන් යවන එක.

    එහෙනං ජය වේවා..!!

    👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික්කො..අපි වැඩක් කිව්වට ලංකාවේ අය එව්වා කරන්න හදිසියක් නැති උනාට එයාලට මොකක්හරි ඕන උනාම හරිම හදිසියි ටික්කො.. ඉතින් කියන දේවල් අහන්නේ නෑ.. ඔය තණකොළ කපන මැෂින් එක එකක් විතරයි බන්. තව ඔය වගේ ඉල්ලන් කාපුවා එමටයි අපේ ඩඩා..

      Delete
  22. පළමුව ඔබේ සියවෙනි ලිපියට මගේ සුභ පැතුම් එක්කරමි. ඔබේ පියා පත්පො වූ අපහසුතාවය පිලිබඳ දුක් වුනෙමි. රවියා මගේ පියාට ඔය තණකොළ මැෂිම වික්කානම් වෙන දේ සිතාගතවත් නොහැකිය. එසේ නම් මැෂින් පිලිබඳ වෙනම පාඩමක් ඔහු ඉගෙනගනු ඇත.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය!
      ඔබ ඔය කතා කරන්නෙ තමන්ගෙ පියා ආමි කාරයෙක් විදිහට හිතාගෙන. ලංකාව වගේ තුන් වෙනි ලෝකෙ රටවල ආමිකාරයන් පොලිස්කාරයන් කියන්නෙ සක්‍රීය කාලයේදීත් නිවාඩු කාලයේදීත් විශ්‍රාම ගියහමත් තමන්ගෙ රැකියාව ආභරණයක් කරගෙන ඒකෙන් උඩඟු කම පුරවගත්ත කොට්ටාශයක්. ඒඋඩඟු කම ඔහුගේ සිට ඔහුගේ පවුල දක්වාත් නෑදෑ හිත මිත්‍රාදීන්ගේ සිට අල්ලපු ගෙදර එකාට උනත් වැඩක් කරගන්න, වැරද්දකින් පැනල යන්න, තග, චන්ඩි පාට්, සද්ද දාන්න ලැබෙන චාන්ස් එකක්. මට මතකයි වසර කිහිපයකට විතර කලින් ඔබේ පියා මාතලන් සමග ඇතිඋන ප්‍රශ්නයකදි ඔබේ පිය මාතලන්ට තර්ජනය කලේ හමුදා බුද්ධි අංශය එහෙමත් ගාවගෙන. අපි හැමෝම නම් ඒ වෙලාවෙ ඔබේ පිය ගැන දුක් උනා. "පව් ඉතිං යුද්ද කරල පැන්ෂන් ගිය මනුස්සයකුට වෙන කරන්න දෙයකුත් නැහැනෙ. අනික යුද්දෙ නැතුව පාළුත් ඇති නේද?" කියල. අනික විචාරක වගේ මේජර් කෙනෙක් මෙහෙම ප්‍රසිද්දියේ ගොං ආතල් දෙනව දැක්කමයි.

      ඒත් මේ වගේ රටවල හමුදාව ඉන්නෙ තමන්ගෙ කෑම්ප් එකට වෙලා. පොලීසිය කියන්නෙ නීතිය අකුරටම පිළිපදින සාමාන්‍ය ජනතාවටත් වඩා ලෙන්ගතු ශිෂ්ට ජාතියක්. තමන්ගෙ රැකියාවෙන් පස්සෙ (දෛනික වැඩ මුරයෙන් පස්සෙ) ඔවුන් සාමාන්‍ය ජනතාව බවට පත්වෙනව. අඩුම තරමෙ නිල ඇඳුමක් ඇඳගෙන වයින් ෂොප් එකකින් වයින් බෝතලයක් වත් ගන්න බැහැ. ඉල්ලුවත් විකුනන්නත් තහනම්.

      දැන් ඔබ කිව්වෙ රවී ඒ දේ කලානම් ඔබේ පියාට, රවිට හම්බවෙන පෝරියල් එක ගැන. ඔබ ඔහොම කතා මෙහෙම කියනවානම්, යුද්දෙ කාලෙ ඔබේ පියා දෙමල ත්‍රස්තවාදීන් හෝ දෙමල මනුස්සයන්ට කොහොම පෝරියල් එකක් දුන්නද කියල හිතාගන්න පුළුවන්.

      Delete
    2. මේ බලන්න.. ටිකක් විචාරක බ්ලොගය මුල ඉඳලා නිවිසැන්ලිල්ලෙ කියවාගෙන එන්න.. බලන්න එක් දෙයක් ගන් ලියන්න ඔහු කොතරම් විස්තර සොයා තිබෙනවද කියා.. කොයි තරම් නම් සවිස්තරාත්නක ද. රූප සටහන් පවා. ඔහු නොදන්න දේ ඉගෙන ගත් හැටි බලන්න පියවරෙන් පියවර. මා ඒ කිව්වෙ බ්ලොග් අඩවියක් හදලා එය ක්‍රියා කරන හැටි.. එන ගැටලු විසඳා ගන්න හැටි බලන්න ඔහුගේ මුලු අඩවිය පුරාම ආරම්භයේ සිට අකුරක් නෑර සැරි සරලා හැම අදහස් දැකිවීමක්ම කියවා බලන්න.. කියවලා බලන්න ඔහුගේ වචන අතර ලිවීමේ සදාචාරය ගැන ඔහුගේ අදහස් සැඟවි නොවේ එලිපිටම දකින්න පුලුවන්..

      අපි අතර සමහර පුද්ගලයින් ඉන්නවා ඔවුන් කිසියම් දෙයක් කරද්දඉ ඒ දෙය කරන්නේ හදවතයි මොළයයි දෙකම එකට එකතු කරල එක වගේ වෙහෙසමින් පුලුවන් තරම් තමන්ට තේරෙන නොතේරෙන දේවල් තනිවම හොයාගෙන.. මේ බොහෝ අය හරිම කැමති තමන් ඒ හොයා ගත් දැනුම බෙදලා දෙන්නත්.. මේ වගේ තමිවම වැරදි වැරදි අත හරින්නේ නැතුව හොයා ගෙන යන ගමනෙන් ලබන අවබෝධය හරිම පරිපූර්ණයි, ඒ වගේම කෙනෙක් දෙයක් පිලිබඳ නිසියාකාවර සොයා බලා ඉගෙන ගන්න පුරුද්ද ඇති කර ගත්තට පස්සෙ ඒ කෙනාගේ මොළය වෙන්න පුලුවන් වැරදි ගැටලු හරි ඉක්මනින් පෙන්වා දෙනව.. නමුත් එක එක පුද්ගලයා ඒ තමන් ලබා ගත්තා අවබෝදය භාවිතා කරන විදිහ වෙලාව වෙනස් සාම්‍යන ජිවිතයේදි.. එයට අපිට වරදක් කියන්න බැහැ.. ඒ ඒ කෙනාගේ ආවේණික විදිහ.. අපි කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ අය නෙමේ. හැඟිම් වලින් වැඩි පුර වැඩ කරන මිනිස්සු...

      විචාකර අඩවියේ තින්යන උධ ලිපි ගැන මගේ උනන්දුවක් නැති උනත් එඔ ඔහු නියැලුනු රැකියාවෙන් ඔහු ලද දැනුම බෙහ්ඩා ගැනිම මගේ අසතුටට කාරණයක් නෙමේ.. උද්ධයට වඩා සාමායට අපි කොයි කවුරුත් කැමති උනත් උද්ධයක් තියන ඕනම තැනක හමුදාවන් වල සේවය කල හැමෝම අත අරින්න්නේ නැතුව නිදහස වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය දැනුම පවුල දූ දරුවන් වැනි තමා සති සියුලු දේ කැප කල නිසා නේද අද සාමයක් කියලා එකක තියෙන්නේ.. යුද්ධේ ඇති කලෙත් මිනිස්සු.. නැති කලෙත් මිනිස්සු...ඔහුගේ ලිපි අතර තියනවා කෙනෙක් යුධ බිමේ මිය ගිය විට (දෙමළ, සිංහල දෙගොල්ලෝ ගැනම , මේ හැමෝම මිනිස්සු ) දැනුනු විදිහ.. කියවන්න..

      කෙනෙකුගේ ජීවන පුරුදු දිහා අපි බලන්න ඕන හරිම පරිස්සමින්, කතා කරන්න ලියන්න ඕන තවත් පරිස්සමින්.. අපි හැමෝම කලබල අවස්ථා වලදි හැසිරෙන්නේ හිතා මතා නොවේ..ඕන කෙනෙක් තුල දුර්වලතා තියනවා.. අපි පුරුදු වෙන්න ඕන දුර්වලතා හදා ගන්න කතා කරන්න මිසක් එලව එලවා දුර්වලතාවය ගැන කතා කරන්න ලියන්න නෙමේ .. අපි කාගේ උනත්...


      ඒ වගෙම ටික්කා කෙනෙක් ගැන විචාර කරද්දි හොඳම සදාචරාත්මක යුක්තිසහගතම විදිහ තමයි ඒ කෙනා ජීවතුන් අතර ඉන්න කාලේ ඒ කෙනාට කතා කරන්න අවස්ථාවක සැලසෙන පරිදි කිරිම.. ඒක්පාර්ශවීය නැතුව ද්විපාර්ශවීය හොඩ්න්න්හ හෝ නරක. ධනාත්මක හෝ සෘනාත්මක.. මොකද අද ඔබ මෙහෙම මිය ගිය කෙනෙක් ගැන කතා කලාට කෝ ඔබට උත්තර දෙන්න ඔහු ????????

      කෙනෙක් ගැන වග කියන්න තවත් කෙනෙකුට බැහැ .. ඒ කෙනාගේ දරුවන්ට අම්මා තාත්තට උනත් 100% ඒ කෙනාට වග කියන්න කල කී දේ ගැන කතා කරන්න පැහැදිලි කරන්න බැහැ. එය තමයි යථාර්තය..අපි දන්නේ නැ වෙන කෙනෙකුගේ මොළයක් වැඩ කරන ආකාරය ගැන, අපිට උපකල්පනය කරන්නත් බැහැ...එය සාධාරණත් නැහැ.. මම හිතන්නේ ඔබට වැටහෙනවා ඇති එය හොඳින්...

      කෙනෙක් හෝ පිරිසක් සමඟ ගැටලුවක් පැන නැඟිලා එය සමථයකට පත් කරන්න යන ගමනේ ඉතා ඈත අතීතයේ ඉඳලාම නොගැලපෙන දේවල් මිනිසු වන අපෙන් සිදු වී ඇත වගේම ඉදිරියටහ් සිදු වෙනු ඇත..ඒවා මතක තබාගෙන එකම තැන කැරකීම නම් යහපතක් කරන්නේ නැ කාට උනත්.. හොඳ දේ නොගැලපෙන අයහපත් දේ හැකි ඉක්මනින් අමතක කර ගැලපෙන යහපත් දේ සොයා යාම.

      Delete
    3. අඳුරෙන් ආලෝකයට - මට මචං ලෝකය සහ මිනිස්සු හොඳ නරක ගති ගුණ ගැන කියල දෙන්න හදන්න එපා. මම කවුරුවත් කියන දෙයක් අහන්නවත් උබට මට කරුණු කරනා කියන්න නීතිමය හෝ සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මොකද උබ මගේ කවුරුවත් නොවන නිසා.

      අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උබට විචාරක ගේ බ්ලොග් එක විතරක් කියෙව්වට මම විචාරක ගේ අන්තිම කාලය තුල විචාරක ව බොහොම ලඟින් ආශ්‍රය කළා.

      ඔය විචාරක දියණිය කියන ඔහුගේ වැඩිමහල් දියණිය ට කියන්න විචාරක ගේ ජංගම දුරකතනයේ එක එංගලන්ත නොම්මරයකින් ඇවිල්ල තියෙන කෝල්ස් ප්‍රමාණය. ඒව කහන සල්ලිත් නෙමෙයි. අනික ඇයගෙන්ම අහන්න ඇයගේ පියාගේ ජී මේල් එකෙන් මට එවල තියෙන ඊ මේල් ප්‍රමාණය.

      මම හිතන්නෙ ඔහුගේ අන්තිම ඊ මේල් එක එවල තියෙන්නෙ මට.

      ඒක නිසා නොදන්නා දේවල් දන්නා විදිහට හැසිරෙන්නෙ නැතිව කරුණා කරල පැත්තකට වෙලා හිටපං. උබ අනුන්ගෙ කොන්ත්‍රාත් අනුන්ට කොරපන්. මම එක්ක හැමිනෙන්න එන්න එපා. බොහොම හොඳින් කියන්නෙ.

      Delete
    4. අඳුරෙන් ආලෝකයට.

      මචං උබ ඔය හිනා වෙන්නෙ මට නෙමෙයි. උබට උඩින් ඉන්න එක්කෙනාට. මාතලන්, අටම, සා රස, ප්‍රා ජේ, ඉවාන් පෞලුෂා, කල්‍යාණ (තව මට නම් ටිකක් මතක නැහැ) වගේ බොක්කෙ උන් තමයි අන්තිම දවස්වල විචාට හිටියෙ. මට පෞද්ගලිකවම අටම ඉල්ලීමක් කළා සහෝදරයෙක් විදිහට. ටික්ක, විචාට දැන් ඕන මිනිහ ගැන හොයල බලල ෆෝන් එකෙන් හරි කතා කරන්න ඕන මිනිහෙක්. උබට මම මේ අනුන්ගෙ පොස්ට් එකක හරි මෙහෙම කියන්නං. හැබැයි මට විචා මෙහෙම එකක් කිව්ව. ටික්ක මල්ලි. පුතේ. උබට වැඩිය මම ගොඩක් වැඩිමල්. මම ඒත් කිව්ව "විචා මාමි ඔහේ මගෙ තාත්තටත් වැඩිය බාලයි ඒත් අවුලක් නැහැ" කියල. පස්සෙ විචා කිව්ව "ටික්කො මට දුකයි උබ ඔය රටක ඉඳල මට කතා කරනව. හොයල බලනව. උවමනා දේවල් එව්ව. ඒත් උබට වැඩිය මම ලොකුවට හිතාගෙන හිටිය ඇවුන් මගෙ සැප දුක අහන්නෙ ඊ මේල් කරලා" කියල. මම මේ කතාව පෞද්ගලිකව අටම මාතලන්ට කිව්ව.හැබැයි මේ බ්ලොග් එකේ අම්මටසිරි පොරක් මට වොර්නින් දුන්න උබ තව එක සැරයක් හරි විචාට කෝල් කරල වචනෙන් වත් උදව් කරන්න එපා කියල. ඒ පොර ගැනත් මම අටමට කිව්ව. යකෝ. අනේ නිකං පලයන් බං බෝතල් අස්සෙ කුප්පි ගහන්නෙ නතුව. උබලගෙ බ්ලොග් ස්පොට් නං වල තේරුම් නං පට්ට. පොළවෙ පය ගහපං. තොපි ලොකු නං දාගෙන නං දොඩවනව සමාජයේ පොරවල් වෙන්න. අනිත් මිනිස්සුන්ගෙ සීනි කිරන්න. ඒත් උබල හිස් මිනිස්සු.

      Delete
  23. හිටිං මං දකුණු පැත්තෙ යන වෙලාවක ඔය කාරෙක ගෙහුං හෝදෝල තෙල් මාරුකොල්ලා ගෙනැත් ඉටිකොලේකිං වහ තියන්න.

    ReplyDelete
  24. සීයක් ලියන්න පුරුශ දහිරිය ඔබට ලැබීම අපගේ වාසනාවකි.ඉල ඇදෙන තවත් කතා ඉදිරියේදී කියවන්න ලැබෙයි කියලා හැමදාම මේකට ගොඩවෙලා බලනවා මේක කියවපු ගමන්.මගේ හිතට ආපු පලමු වෙනි අදහස තමයි මේ පෝස්ට් එක ගොඩයාගෙ පියානන්ට කියවන්න ලැබේවා කියලා.රවීයාගෙය් පුත්තරයාගෙය් තරම එතකොට එතුමා දැන ගනී.බ්ලොග් ලෝකයේ සැරි සැරන්න මට පාර හමුවුනේ තිලක සිත නිසයි.තිලක සිරිගෙත් මගෙත් මිතුරු "නැව් පති"තුමාගේ බිරින්දෑ "තිලකසිරි අයියා ලස්සන පොතක් ගහලා"කියා ඈ කියවා ඉවර කරන්න පෙර පොත මට දුන්නා.පොත ඉවර කර බ්ලොගට පාර හොයා ගත්තා.එතනින් අටම් පහුරට ගොඩවුනා.පහුරෙන් අටම්පහියට රින්ගා බ්ලොග් ලොකයේ හතර අතට පියබා යනකොට සුන්දර මිනිසුන් ගොඩාක් හමුවුනා.ඒත් සඳරුවා හිස් අහස තුලම සැඟවී ගිහින්.ජනුගේ සටහන් ලියු දැරිවිය අන්තිමට ලිව්වෙ රෙක්සිගෙ වැරදුණු කුරුමනම ගැන.රෙක්සිගෙ ඊලඟ කුරුමානමට ඇයම ගොදුරු වෙලා වගේ ඉන් පස්සෙ සද්දයක් නෑ.ආසාවෙන් කියවන බ්ලොග් වල අලුත් යමක් දකින්න නැතිවීම ?????ජයවේවා තව ලියමු.ඉරිදා ට පුරුද්දට පත්තර ගත්තාට දැන්නම් කියවන්න තියෙන දේශපාලුවන්ගේ ගොන්පාට් නිසා පත්තර එපා වෙලා.බ්ලොග් කියවීමේ එකම අපහසුව බත් කන ගමන් කියවන්න බැරිකම විතරයි .ලඟදීම සුරංග බලලා කතා කරලා එන්න බදුල්ලෙ යන්න හිතාගෙන ඉන්නෙ.සියලුම "බ්ලොගාලාට"ජයෙන් ජයමවේවා.

    ReplyDelete
  25. ඇයි මිනිස්සු මේ වගේ හැසිරෙන්නේ..

    ReplyDelete
  26. සිය සැමරැවා ඇති නේ....

    ReplyDelete
  27. සෙන්චරියක් ගැහුවා කියන්නේ සුළුපටු වැඩක් නෙමෙයි, වැඩි වැඩියෙන් ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete