Sunday, April 16, 2017

ලෑන උඩින් ඉගිල්ලිලා







මේ ලියවෙනා පෝස්ටුවට අදාළ කාල වකවානුව වශයෙන් සඳහන් කළහොත් එය අදාළ වන්නේ එක්දහස් නවසිය අනූ හතර මුල් අවධියට වන වග හරිහැටිව කිව හැක්කේ මේ ලියවෙනා සිද්දිය සිදුවුයේ අම්බලන්ගොඩයා සාපෙළ විභාගය අවසන් කොට දැහැමින් සෙමින් කාලය ගතකලාවූ අවධියේ නිසාය. සාපෙළ විභාගය අවසන්වීම යනු එතෙක් කල් නිවසේ මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වූ අධීක්ෂණ කටයුතු මදකට ලිහිල් කරනා කාලවකවානුවක් වශයෙන් හදුන්වන්නට පුලුවනිය. උසස්පෙළ පටාන්ගන්නාතුරු රිසිසේ රස්තියාදුවක් ගැසීමට ලබෙනාවූ ගන්දබ්බ අවස්තාවක් වන සාපෙළ අවසාන වීම අම්බලන්ගොඩයා භාවිතයට ගන්නේ තම ඥාති හිතමිත්‍රාදීන් වෙත පවතිනා සම්භන්ධතාවයන් අලුත්කර ගැනීම උදෙසාය. සතියක් මවු පාර්ශවයේ ඥාතීන්ගේ නෑදෑකම් අලුත්කර ගැනීමෙහිලා තම කාලය මිඩංගු කරනා ගොඩයා තවත් සතියක් පිය පාර්ශවයේ නෑදෑකම් අලුත්කරගැනීම උදෙසා යොදවනවාය. ළඟකදී පැවැත්වෙන විභාගයක් වැනි අධ්‍යාපන කටයුත්තක් නොමැති නිසාවෙන් මද්‍යම රජයෙන් වැඩි බලපෑමක් නොමැති නමුත් නැදෑකම් අලුත්කරගනීම වෙනුවෙන් ගමන් බිමන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමට ඉදිරිපත් කෙරෙනා වවුචර්පත් කිසිදු සලකා බැලිල්ලකින් තොරවම ප්‍රතික්ෂේප වනවාය. එහෙත් විකල්පයක් වශයෙන් ගත්කල මධ්‍යම රජයට හොර රහසින් අගමැති තුමිය තම වැය ශීර්ෂයෙන් මුදල් ප්‍රතිපාදන ලබාදෙන බැවින් අම්බලන්ගොඩයා තම නෑදෑකම් අලුත්කරගනීමේ ගමන්බිමන්වල යෙදීම අඛණ්ඩව කරගෙන යනවාය. 

එවන් ආකාරයෙන් කාලය ගතවෙනා අල්ලපනල්ලේ අම්බලන්ගොඩයා ගේ නැන්දනියකගේ නිවස නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ කටයුත්තක් පටන් ගැනුනේ ගොඩයා සෑහෙන තරමකට කාර්යබහුල කරමින්ය. ගොඩයාගේ පියාගේ බාල සහෝදරිය නිසාත්, ගොඩයා සිටින්නේ සාපෙළ අවසන්කරනලදුව සංක්‍රාන්ති සමයක් ගත කරනා කාල වකවානුවක නිසාත්, නැන්දනියගේ නිවස ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ කටයුත්තට ගොඩයා බොක්කෙන්ම සහයෝගය දෙන්නට ඉදිරිපත් වෙනවාය. එම වැඩකටයුත්තට ශ්‍රමය සැපයීමෙහිලා සඟවාගත් තුන්වන අරමුණක් නොමැති නමුත් ගෙදරදොරේ වැඩ කටයුත්තකට මලාට ඇඟ වෙහෙසවන්නේ නැති ගොඩයා වැනි සීතල හාදයකු එවන් බරසාර වැඩ කටයුත්තකට ශ්‍රමය සපයනවා යන කරුණ සෑහෙන්න තරමේ පුදුම සහගත කාරනාවක්ය. 

මෙම චේදයෙන් ලියවෙනා අම්බලන්ගොඩගේ නැන්දනියගේ වටපිටාව ගැන කරුණු හුදෙක්ම පුරාජේරුව පැවසීමේ අභිමතාර්ථයෙන් ලියනා එව්වා නොවෙනා වගට පාඨක සැම වටහාගත මනාය. ඒ මන්ද යත් ලියවෙනා පෝස්ටුවට කාබනික පොහොර සපයනා නැන්දනියගේ නිවස සහ එම වටපිටාව ගැන යමක් ලිවීම මෙහිලා වැදගත්  කාරනාවක් නිසාය. නැන්දනිය විවාහ වී සිටිනා මාමි කාරයා ඇතුළු ඔහුගේ පරපුර ඉඩම් හිමි වැවිලි කරුවන්ය. වැවිලි කරුවන් කීවාට එසේ මෙසේ වැවිලි කරුවන් නොවෙනා ඔවුන්ගේ ඉඩකඩම් වල වපසරිය අක්කර වලින් ගණනය කළහොත් සියයකට වැඩි වෙනවාය. නැන්දනියගේ නිවස පිහිටි සීමාවට මදක් ඔබ්බෙන් තිබෙනා රබර් රොටි මෙව්වා කරනා ගොඩනැගිල්ලද, කුරුදු වැඩ කරනා ගොඩනැගිල්ලද තුන්සිය හැටපස් දවසේම කාර්යබහුල සිරි ඉසිලුවෝය. නැන්දනියගේ නිවස පිහිටි වටපිටාව නිරන්තරයෙන් කුරුඳු තලනා සේවක පිරිසත්, ඊට සමගාමීව සිදුවන රබර් කැපීමේ සේවක පිරිසත් නිතර හැසිරෙන පටපිටාවත් බැවින් තුන්සිය හැටපස් දවස පුරාම සෙනග පිරී ඉතිරෙනා සිරි ඉසිලුවෝය. 

සෙනග පිරිස අතරින් සුවිශේෂී පුද්ගලයින් උන්නේ දෙදෙනෙකු පමණය. එයින් එක් අයෙකු වන්නේ සියලු වතු වැඩ පාලනය කරනා කන්කානම් තැන වන අතර අනෙකා වත්තේ සියලු වාහන එහා මෙහා ගෙනයන රියදුරාය. කන්කානියා හොස්ස ලඟින් මැස්සා යන්නට බැරි තරම් බොරු ආඩම්බරකමක් මවාගන්නා ලද වයස පනහ ඉක්මවූ පුද්ගලයකු වන අතර රබර් දුම් ගසනා මඩුවට ගිය කල රබර් රොටි වලින් කන්කානියා වෙනකොට හඳුනාගැනීමට ඉතාමත් අපහසුය. ඒ මන්ද යත් කන්කානියා අඳින්නේ පළඳින්නේ රබර් රොටි පැහැ සරොම් කමීස බැවින් හා කන්කානියාගේ ශරීරයටද දිය රෝලේ අල්ලන ලද රබර් රොටියක් වැනිවූ පැතලි කෙට්ටු එකක් වීමය. නිරන්තරයෙන් බුලත් විටෙන් සප්පායම් වී සිටින කන්කානියා වැඩ කරනා සේවකයින්ට කිසිදු බුරුලක් නොමැති පුද්ගලයකු වන බැවින් කන්කානියා එලි පෙහෙලියේ සිටිනා අල්ලපනල්ලේ සේවකයින් යමරෙට වැඩ කරනා ස්භාවයක් ඉසිලු අතර කන්කානියා එලි පෙහෙලියේ නොමැති අතරේ වැඩි හරියක් සිදුවුයේ කයිවාරු ගැසිලි පමණය. 

සිටිනා තැනදී "කංකානම් මහත්තයා" යන නමින් හැඳින්වුණු හේ නැති තැන්වලදී "කන්කානියා" "ගොට්ටා" "බැලයා" යන නම් වලින් විරුදාවලිය ලබනවාය. සේවකයින්ද ඇස්කොට් ගැසීම හෙවත් මාටියා ගැසීමේ කලාවේ අගතැන්පත් උදවිය වූ අතර කුරුඳු දර මිටියක්, රබර් රොටි කිහිපයක්, තලා හන්දි කරනලද කුරුදු කෝටු කිහිපයක් ඇසුරු සැනින් කන්කානියාගේ ඇස මානයෙන් වාෂ්ප කිරීමට අතිදක්ෂ පිකාසොලා වෙනවාය. අක්කර සියයක පමණ වපසරියක් පාලනය කිරීමටත් ආරක්ෂා කිරීමටත් සිටිනා එකම තැනැත්තා කකානම් තැන පමණක් වන නිසා උදෑසන පටන් හවස් වනතුරු කන්කානම් තැන යනු හොරෙන් කුරුඳු කපනා එවුන් ඇල්ලීමේ වැටලීම් සඳහාද, ඔට්ටපාළු ගලවන ගැහැනුන් ඇල්ලීමේ වැටලීම් සඳහාද, සබර් ගස් (රබර් ගස්) කැපීමේ දර හොරුන් ඇල්ලීමේ වැටලීම් සඳහාද අඛණ්ඩව සහභාගී වූ හෙන බිසී චරිතයක්ය. මාමිලාගේ නිවසද එෆ් බී අයි ප්‍රධාන කාර්යාලය තරම් බිසී නිවසක් වූ අතර නිතර කතාබහ වුයේ තම දේපල බලෙන් පැහැරගැනීමට මාන බලන්නාවූ හොරුන්ගේ නම් ගම් සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන් ගැන පමණය. මාමිලාගේ වත්ත පිහිටි ප්‍රදේශයේ පොලිසියේ පැමිණිලි පොත තුන්කාලක්ම පිරී තිබුනේ මාමිලා විසින් හොරුන්ට විරුද්දව කරනා ලද පැමිණිලි වූ අතර පොලිසිය යනු මාමිලා දිනෙකට වාරයක් ආගිය ඥාති නිවසක් බඳු තැනක්ය. පැමිණිලි විභාග කරන්නට බයිසිකල් කටුවකින් වත්ත වෙත ගාටනා පොලිස් රාළහාමිලා යනු සුලභ දර්ශනයක් වූ අතර මාමිලා ඒ රාලහාමිලාට කිසිදාක තේ වතුර ජුන්ඩකින් වත් සංග්‍රහ නොකරන්නට හොඳහැටි වගබලාගත් නිසා චූදිත පාර්ශවයන් කිසිදා දඬුවමකට යටත්වූ වගක් එදා මෙදා තුර අසා නොමැතිය. කන්කානියා විසින් රැගෙන එන්නාවූ හොට් නිවුස් වලට සාපේක්ෂව මාමිලා තමුන් සතු ෂොට්ගන් තුවක්කුවද රැගෙන සබර් ගස් කුරුඳු ගස් අතරින් නොපෙනී ගියද කිසිදා වෙඩි ශබ්දයක් නම් අසුනේ නැතිය. වැරදිලාවත් ඒ මලකඩ තුවක්කුවෙන් ගිනි බින්දානම් වෙඩිල්ල වදිනා එකා මැරෙන්නේ පිටගැස්ම හදිලාය.

රියදුරු පාල බොහොමත්ම තරුණ වයසේ සිටියා වූ පුද්ගලයකු වන අතර මාමිගේ වත්තේ සහ නිවසේ භාවිතා වන වාහන එහා මෙහා කිරීමට බලතල සහිතවූ එකම පුද්ගලයාය. වෑන්, කාර්, ලොරි, අත් ට්‍රැක්ටර්, මෝටර් සයිකල් වලින් සමන්විත මාමි කාරයාගේ දේපල වපසරිය ඇතුලේ තිබූ වාහන සියල්ලෙන්ම පාල නිරන්තරයෙන්ම භාවිතා කල එකම වාහනය වන්නේ අත් ට්‍රැක්ටරය හෙවත් ලෑන්ඩ් මාස්ටරය පමණය. උදෑසන සිට ඉර බසිනාතුරු පාලට සහ ලෑනට විවේකයක් ලැබුනානම් ඒ පාල දහවල් ආහාරය බුදිනා අල්ලපනල්ලේ පමණය. පාල තරුණ වයසේ උන් ජව සම්පන්න ඉලන්දාරියකු බැවින් ලෑන ආම්බාන් කිරීම පාලට කජු කනවා වාගේ වැඩක්ය. ලෑන පොල් ගසක් දිගේ ගියද එහි උපරිම ජවය භාවිතයට ගැනීම පාලගේ සිරිතක් වන අතර ලෑන ගමනක් යන්නට පිටත් වන්නේ පොළොවේ පස් කාගෙනය. කන්දේද, පල්ලමේද, වංගුවේද, තැනිතලාවේද පාල විසින් දක්කන ලද ලෑන එහි උපරිම වේගය සාක්ෂාත් කරමින් ධාවනය වූ අතර පාරේ තිබෙනා වලවල් උඩින් ලෑන වේගයෙන් යද්දී පාල උන්නේ දැනුනා නොදැනුනා ගානටය. 

එයාකාර වූ පරිසර රාමුවක් යටතේ නැන්දාගේ නිවස සෑදීමේ කටයුතු වලට අම්බලන්ගොඩයා බොක්කෙන්ම සහයෝගය දෙන අතර ගොඩයාගේ ඇස නිරන්තරයෙන් රැඳෙන්නේ ඒ අරුම පුදුම යන්තරය දිහාවටය. ඒ මන්ද යත්, එවකට ගොඩයා යනු රතගාය උපරිමයටම තිබෙනා ජීවියෙකු වීමය. රෝද හතරේ වාහනයක් පැදවීමේ කලාව දැන උන්නද ලෑන්ඩ් මාස්ටරය යන මෙවලම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන කුහුල ගොඩයාගේ ඔලුවේ නිරන්තරයෙන් රජකළ ප්‍රශ්නාර්තයක්ය. ඉඳහිටෙක රවියා විසින් රැගෙන එනා රවියාගේ බාල මාමිගේ ලෑන පදවන්නට අවස්තාවක් එතෙක් නොලැබී තිබුනේ එම ලෑන පදවන්නට ලැබෙනා සියලූම අවස්ථා වලදී අපගේම හිත මිත්‍ර නිරංජනයා රියදුරු ආසනයට පැන ලෑන දක්කන්නට ඉදිරිපත්වන නිසාය. එකල නිරංජනයා වාහනයක රියදූරු අසුනට වැඩි කල ඌව එම ආසනයෙන් බැස්සවීම කිසිසේත්ම සිදුකල නොහැකි වර්ගයේ කටයුත්තක්ය.


ලෑන පිළිබඳව සිහිනය හිත ඇතුලේ තුන්තිස්පැයේම රජකරද්දී  ගොඩයා මේසන් බාස්ලාට සහයෝගය දීම අඛණ්ඩව කරගෙන යනවාය. එම්.බී.බී. එස් කෙරුවාව හෙවත් "මේසන් බාස්ට බදාම සැපයීම" පාඨමාලාව නොමිලේම හැදෑරීමට ලැබෙනා අවස්තාවක් බැවින් ගොඩයා වැලි හැලීමේ හිටං මේසන් බාස්ගේ බදාම ලෑල්ල ලඟට ඇනූ බදාම ගෙනවිත් දැමීම දක්වා සියලුම කටයුතු නොපැකිලව ඉටු කරනවාය. මේ කියනා එම්.බී.බී.එස් කෙරුවාවේ ගොඩයා කොතරම් සාර්ථකද යත් මේසන් බාස්ලා තම රාජකාරිය අවසාන කරන හෝරාව වෙද්දී ගොඩයාව සමාන්‍ය ස්වරූපයෙන් දැකගන්නට නම් වතුර බාල්දි විස්සක් තිහක් නාවා පිරිසිදුකර ඉන්නට ඕනෑය. බදාම සැපයීමේ රාජකාරිය අවසන් වන හෝරාව හෙවත් සවස පහ ආසන්න වෙද්දී ගොඩයා ගෝලයා ලෙසත් ගෝලයා නිවසේ එකෙකු ලෙසත් දිස්වෙනවාය.  ඒ මන්ද යත් බාස්ලාගේ පලපුරුදු ගෝලයින් තම රාජකාරිය කිරීමේදී බදාම තම ඇඳුම්වල සහ ශරීරයේ උලාගනීම අවම වීමත් ගොඩයා එහි උපරිමය හෙවත් සිමෙන්ති කොට්ටයක දෙකක බදාම ඇඟේ හලාගැනීමත් නිසාය. ඊට තවත් එක් හේතුවක් වන්නේ බදාම සැපයීමේ සේවාවේ නිරතවන අල්ලපනල්ලේ ගොඩයාගේ විඥ්ඥානය ලෑන පසුපස හඹා යෑමත්ය. බදාම ඇනීම අතරතුර ගොඩයා රියදුරු පාල සමග  හැකි සෑම අවස්තාව්කම් කතාවට වැටෙන්නේ ලෑන පැදවීමේ අභිමතාර්තය හිතේ තබාගෙනය. බදාම ඇනීම සහ මේසන් බාස්ලාට උදව් කිරීම සම්භන්ධව නැන්දා කිසිසේත්ම අනුකූලතාවයක් නොමැති වුවත් ගොඩයා විනෝදයට කරනා දෙයක් නිසා නැන්දා කිසිවක් කියන්නේ නැතිය. එය එසේ වුවත් හවස් වනවිට බදාම නාගෙන ඉන්නා ගොඩයා දකින නැන්දාට සිතෙනවා ඇත්තේ ගහපු පදේකුත් නැත බෙරේ පලු දෙකමත් නැත වාගේ දැනීමක්ය.

නැන්දා හැරුණකොට මාමි කාරයා ඇතුළු ඔහුගේ පවුලේ උදවිය කෝටි ප්‍රකෝටි ගණන් වස්තුවකට හිමිකම් කියුවද   තම දේපොළ වස්තුව භුක්තිවිඳින්නට පිං කල උදවිය නොවනා නිසා සියලු වාහන ගරාජයේ සැප ගනිද්දී මාමිලා නිතර ගමන් බිමන් ගියේ  බස් රථයෙන් හෝ මෝටර් සයිකලයෙන් පමණය. වෑන් කාර් එම ගරාජයෙන් ඉවතට ගත්තානම් ඒ ගරාජයේ අලුත්වැඩියාවක් වැනි විශේෂිත කටයුත්තකදී පමණය. මාමිලාගේ මෝටර් සයිකලය ජලභීතිකා රෝගයෙන් පීඩා වින්දා වූ එකක් වගට නිකමට සිතෙන්නේ වැහි දින වලදී එම මෝටර් සයිකලයද  ගෙදර තබා මාමිලා වැහි  පින්නේ පයින් ගාටන නිසාය.   ඒ වැනි වාතාවරණයක් යටතේ පාල ලෑනට ඩීසල් ගැසීමට තනියම යවන්නේ උන්දැලා නොවේය. එනම් පාල ඩීසල් ගසන්නට යනෙනා සෑම අවස්ථාවකදීම මාමි කාරයාගේ මලයා මෝටාර් සයිකලයෙන් පාල පසුපස හඹා යන්නේ ඩීසල් ගසනා අල්ලපනල්ලේ පාල රුපියලක් දෙකක් මාටියා ගසාවිදෝ යන භයටය. කන්කානියා හැරුණකොට මාමිලාගේ විශ්වාසය දිනූ එකුදු සේවකයකුවත් එම වටපිටාවේ උන්නේ නොමැති නිසා මුදල් ගනුදෙනු සිදුවන අවස්තාවන්හීදී මාමිලා හෙවනල්ලවත් විශ්වාස කරන්නේ නොමැතිය. කෝටිපති මුදලාලිලා වැස්සේ පින්නේ දුහුවිල්ලේ පයින් ගැටීම මාර සරලබවක් ලෙස අර්ථදැක්විය හැකි නමුත් එය සසර පුරා රැගෙන ආ කුණු කම බව දන්නේ සමීපතමයින් පමණය. අවසානයේ සල්ලි බැංකුවේ සැප ගනිදදී මාමිලා දන්සල් ළඟ පෝලිම් වල සසර අපා දුක් විඳිනා සෝපාකලා බව ඒ ගං තුලානේ කුරා කුහුඹුවා පවා දන්නවාය.

ගොඩයාගේ නැන්දා එවන් කුම්මැහි කාන්තාවක් නොවෙනා නිසා ගොඩයාට කිසිදු අඩුපාඩුවක් සිදු නොවුවත් ලෑන යනෙනා ගමන් වලදී ගොඩයාට එහි ගොඩවී යාමට නොහැක්කේ නැන්දාගේ ස්ථාවර නියෝග පාල උල්ලංගනය නොකළ නිසාය.  එනම් නන්දා විසින් පාල වෙත, ගොඩයා වත්තෙන් එලියට රැගෙන නොයනා ලෙස තහනම් නියෝග පනවා ඇති නිසාය. නැන්දාගේ නිවසේ විසු කාලසර්ප යෝගය ලැබූ ජීවීන් සමූහයක් අතර පාල ගරු බුහුමන් දැක්වූ එකම පුද්ගලයා නැන්දා පමණක් බැවින් ගොඩයා කොතරම් ඇවිටිලිකලද පාල තමුන් වෙත පනවා ඇති ස්ථාවර නියෝග කඩකරන්නට එඩිතර වුයේද නොමැතිය. එවන් වූ නීත්මය තත්වයක් යටතේ එක්තරා සැන්දෑවක පාල සිමෙන්ති ගෙන ඒමට යැවීමට සිදුවන්නේ පසුවදා වැඩ කිරීමට සිමෙන්ති මදි පාඩුවක් තිබුනාවූ නිසාය.  

මුදල් ගනුදෙනු සිදුවන අවස්තාවන්හීදී කාලසර්පයෝගයෙන් උපන් මාමිලා එම ගනුදෙනුව සජීවීව නැරඹීමට පසුපස යාම පුරුද්දක් වුවද එදා එම ගමනට පාල හැරුණකොට යැවීමට එකම අයකුදු නොමැති වුයේ කාගේ අවාසනාවටදෝ යන්න ගොඩයා නොදනිතත් ගොඩයා එයින් වාසියක් ගැනීමට එකෙන්ම ඉදිරිපත් වනවාය. එනම් පාල සමග සිමෙන්ති සඳහා මුදල් ගෙවීමට යැවීමට කිසිදු අයෙකු නොමැති වීමත් මාමිලා පාලව විශ්වාසයට නොගැනීමත් නිසාය. නැන්දා ගොඩයාව සිමෙන්ති ගෙන ඒමට යැවීම ගැන අඩි හප්පා විරෝදය පල කරද්දී මාමී කාරයා තම විධායක බලතල භාවිතයට ගන්නා නිසා ලෑන්ඩ් මාස්ටරයෙන් සිමෙන්ති ගෙනඒමට යාමේ මංගල ගමන සඳහා ගොඩයා පාලටත් කලින් ලෑන්ඩ් මාස්ටරයේ ගොඩවී හමාරය. පාල විසින් වත්තෙන් මදක් එපිටට පදවාගෙන යනු ලබන ලෑන්ඩ් මාස්ටරය පැදවීමට ඉල්ලා ගොඩයා නාහෙන් අඬනා නිසා පාල ලෑන අයිනකට වෙන්නට නවත්වා ගොඩයාට ඩ්‍රයිවින් ලෙසන් එක කියා දීමට පටාන් ගන්නවාය..

සෑම සියලු දෙනාගේම ඉගෙනුම පිණිස ලෑන ගැන මුලික හැඳින්වීම පහත චායාරූපයේ පළකරනවාය.





පාල.. දැන් කියනව කොහොමද මේක එලවන්නේ කියල..

හරි..ඔය දකුණු අත පැත්තෙ තියන ඇඟිල්ලෙන් එහා මෙහා කරන්න පුළුවන් කෑල්ල තමා ඇක්සිලේටර් එක.. ඒක එහාට කරන්න කරන්න එන්ජිම රේස් වෙනව..

ඊළඟට මේ කකුලෙන් පාගන්න තියෙන්නේ පිටිපස්සේ බ්‍රේක් එක නේද..

හ්ම්... 

එතකොට මේකේ ඉසරහ රෝදෙට බ්‍රේක් නැද්ද..

තියෙනවා තියෙනව.. ඒකෙන් තමා මේක නවත්තන්න ලේසි.. පස්සේ බ්‍රේක් පාගල නවත්තන්න බැහැ මේක..

ඉතින් කෝ ඉස්සරහ බ්‍රේක් එකට වෙනම පැඩල් එකක් නැහැනේ හලෝ..

නෑ නෑ.. මේ තියෙන්නේ 

මේ ලීවර් එකද..

හ්ම්.. ඕක භාගෙට ඇද්දාම ක්ලච් එක.. සම්පූර්නෙන් ඇද්දාම එන්ජින් බ්‍රේක්.. ඒ කියන්නේ ඉස්සරහ රෝද දෙකට බ්‍රේක්.. 

එතකොට මේ හැන්ඩ්ල් එකේ දෙපැත්තෙ තියෙන්නේ බයිසිකල් බ්රේක් වගේ දෙකත් බ්‍රේක්ද ?

නැහැ නැහැ එව්වත් ක්ලච් ..

හෑ.. එතකොට මේකේ ක්ලච් තුනක්ද..

අනේ මන්ද.. උඩ තියන ක්ලච් එක තමයි ගියර් දානකොට.. හැන්ඩ්ල් එකේ දෙපැත්තේ තියන ක්ලච් තමයි හරවනකොට අල්ලන්නේ..

ඒ කිව්වේ..

ලෑන්ඩ්මාස්ටරේ ඉස්සරහට යනකොට හැන්ඩ්ල් එක හරවන්න නම් හරවන පැත්තේ ක්ලච් එක අල්ලන්න ඕන..

ක්ලච් එක අල්ලන්නේ නැතුව හරවන්න බැරිද..

පුළුවන්.. ඒත් අමාරුයි..

හරි දැන් එතකොට තව මොනවද දැනගන්න ඕන මේක එලවන්න..

කඳු පල්ලමේ යද්දී හරවන්න ඕනෙනම් හරවන ක්ලච් දෙක මාරු වෙනවා..

ඒ කිව්වේ..

ඒ කිව්වේ කන්ද පල්ලමේදී දකුණට හරවන්න ඕනෙනම් වම් පැත්තේ ක්ලච් එක අල්ලන්න ඕන.

ඒකත් එහෙමද ..

හරි දැන් කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න ඕන..

ඔය ක්ලච් පොල්ල ඇදල ලොක් කට්ටෙන් පන්නලා අතාරින්න..

එහෙනම් ඔන්න අතාරිනවා හරිද...

හ්ම්..

ගොඩයා විසින් බුරුල් කර අතාරින  ලද එන්ජින් බ්‍රේක් පොල්ලෙන් නිදහස් වූ ලෑන්ඩ්මාස්ටර් රාජයා ඩහ් ..ඩහ් ...ඩහ් ..ඩහ් ..ඩහ් .... ශබ්දය නවාගෙන සිමෙන්ති ගෙනෙන්නට පිටත් වෙනවාය.. ලෑන්මාට්ටලේ ශබ්දයට අමතරව පාලගෙන් කිසිදු ශබ්දයක් නොමැතිය. පාල  හිමින් සීරුවේ තමුන්ගේ පාඩුවේ බීඩියක් උරමින් ගොඩයාගේ දකුණු පසින් වාඩිවී ඉන්නා  අල්ලපනල්ලේ ගොඩයා ලෑන්මාට්ටලේ හිටු කියලා දක්කනවාය. ලෑනද මුලින් නැගූ ඩහ් ඩහ් ..ඩහ් ඩහ් ..ඩහ් ..ශබ්දය මදක් වෙනස්කොට ඩග.ඩග ..ඩග.ඩග ..ඩග.ඩග ශබ්දයක් නගමින්  වලවල් උඩින් ඉගිල්ලෙනවාය..

පාල.. මේ මගුල් මීට වඩා වේගෙන් යන්න බැරිද හලෝ..

ම්හ්.. ඔච්චර තමා...

වෙන ගියර් දැම්මොත් මීට වඩා හයියෙන්  මේක..

ම්හ්.. ඕක තමා උපරිම ගියර් එක..

ලෑන්මාට්ටලේ ඇක්සිලේටර් මෙව්වා එක  කොනටම මෙව්වා කලද ලෑන උපරිම යන්නේ පයට කිලෝමීටර විස්සක් විසිපහක් පමණ වේගයක්න්ය. කුබෝටා එන්ජිම මොර හතේ මොර දෙමින් ඉදිරිපස රෝද දෙකට උපරීම ජවයක් ලබාදෙන්නට වෙහෙසෙනවාය. ගොඩයා පාල උගැන්වූ සාස්තරයට අනුව දකුණට වංගුවක් යද්දී දකුණු පැත්තේ ක්ලචය මිරිකා වංගුව ගන්නවාය.. වමට වංගුවක් යද්දී වම් පැත්තේ ක්ලචය මිරිකා වමට වංගුව ගන්නවාය. ලෑන යන වේගය ගොඩයාට ප්‍රමාණවත් මදි බැවින් වේගය පාලනය කරන ගැජට්ටුව ගැන ගොඩයා එතරම් අවධානයක් නැත්තේය. ඔයවැනි ආකාරයේ ගමනක් යන්නාවූ ලෑන්මාට්ටලේ පාලවද ගොඩයාවද දමාගෙන උපරීම වේගයෙන් කන්දක් මුදුනට සම්ප්‍රාප්ත වෙනවාය. දැන් තිබෙන්නේ කන්ද බැසීමේ කටයුත්ත බැවින් වේගය මදක් වැඩි කිරීමට හැකිවේ යන්න ගොඩයාගේ බලාපොරොත්තුවය..

ඈ පාල.. මේක කන්ද පල්ලමේ හයියෙන් යන්න ක්‍රමයක් නැද්ද..

ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ක්‍රමයක් නම් තියෙනවා..

කියනවකො බලන්න..

ඔය ඇක්සිලේටරේ අඩු කරලා දෙපැත්තේ තියන ක්ලච් දෙකම එකපාරට අල්ලගන්න ඕන..

හරි..

හැබැයි එකපාරටම දෙකම අල්ලගන්න ඕන හරිද.. වේගය වැඩිනම් දෙකම එකපාරටම අතාරින්න ඕන.. එකක් කලින් ඇතාරියොත් මේක හැරිච්ච  අතේ යනවා හොඳේ..

හ්ම්...


පාලගෙන් ලැබුණු උපදේසය අනුව හරවන ක්ලච් දෙකම එකවර අල්ලාගැනීමෙන් අනතුරුව ලෑන්මාට්ටලේ රූං................කියාගෙන හිතන්නට බැරි වේගයෙන් කන්ද පල්ලමට යනවාය. ගොඩයා දත විකාගෙන ලෑනේ හඬලය පාරෙන් ඉවතට  පනින්නට නොදී අල්ලාගෙන සිටිනවාය. කන්ද පල්ලම අධික ආනතියක් තිබෙනා පල්ලමක් බැවින් ලෑන්මාට්ටලේද පැයට කිලෝමීටර පනහක පමණ වේගයකින් කන්ද පල්ලමට විදිනවාය. විටෙක  වල ගොඩැලි උඩින් ගුවන්ගත වන ලෑන ගුරුත්වාකර්ෂණයට පිංසිදුවන්නට නැවතත් අබලන් තාර පාර සිපගන්නවාය. ලෑන්ඩ් මාස්ටර් රාජයාගේ යකඩ බක්කියේ රෝද දෙක හෙවත් පසුපස රෝද යුගලය තාර පාරේ ධාවනය වන කාලයට වඩා වැඩි කාලයක් ධාවනය වන්නේ ගුවනේය. අනෙකුත් වාහන වල මෙන් ලෑන්මාස්ටරයේ රෝද වලට ෂොක්ඇබ්සෝබර් උපාංගය නොමැති නිසා වලවල්වල වැටී ගුවන්ගතවන අවස්තාවන්හීදී ගොඩගේ ශරීරයේ අභ්‍යන්තර අවයව එලියට පනිනතරමය. එහෙත් එවන්  දැනීමක් දැනුනා වුවත් ලෑන නිදහසේ කඳු පල්ලමට ඇදී යාමේ ක්‍රියාවලිය ඇඩ්වෙන්චරස් සහ ක්‍රියාදාම වර්ගයට අයත් චිත්‍රපටයක් නරඹනවාට වඩා ආතල් කෝටියක් සපයන කාර්යක් බැවින් සියලු අපහසුතාවයන් අමාරුවෙන් ඉවසා සිටිනවාය. 

පාලයා බීඩියක් දුම් දමමින් ආසනයේ ගරාදියේ එල්ලී සිනහ වෙමින් සිතනවා විනා කිසිවක් කියන්නේද නැත. එහෙත් අවාසනාවට ඇත්ත කතාවක් මෙන් අතුරු පාරකින් තුන්සක රියක් ප්‍රධාන පාරට අවතීර්ණය වන්නේ කිසිසේත්ම නොසිතූ නොපැතූ ආකාරයෙන් වන අතර ගොඩයා ලෑන්මාට්ටලේ පසුපස තිරිංගය වෙර යොදා පාගනවාය. එහෙත් කිසිදු බරක් නොමතිව හිස්වූ බක්කිය වලවල්  වැටෙමින් උඩ විසික් වෙනවා විනා යොදා තිබෙනා තිරිංග වලට සාපේක්ෂව ලෑනේ වේගයේ කිසිදු වෙනසක් නොමැතිය.  මරදානේ හිටං මාතර යන රුහුණු කුමාරිය තමුන් දිහාවට එන්නහේ ත්‍රිරෝධ රථ රියදුරාද අසරණ ලීලාවෙන් තමුන් දිහාවට පැමිණෙන ලෑන දිහා ඇස් ලොකු කරන්  බලා සිටිනවාය. 

ක්ලච් දෙක අතාරින්න... ක්ලච් දෙක අතාරින්න..

ඒ අතරේ වෙන්නට යන අනතුර වලක්වාගැනීමේ වෑයමක් වශයෙන් පාලයා ක්ලච් දෙක අතාරින ලෙස යටි ගිරියෙන් කෑගසනවාය. ගුරා යමක් කියද්දී එය නොකර සිටීම ගුරු ගෞරවයට හානිවීමක් බැවින් ගොඩයා කිසිවක් නොසිතා ක්ලච් දෙක අතාරිනවාය.. එතැනින් එහා සිද්දිය සෑහෙන්න දුක සිතෙනාසුලුය..

බරාස්......  බුදු අම්මෝ....

කඳු පල්ලම වෙත වේගයෙන් ධාවනය වූ මාරාන්තික ලෑන්මාට්ටලේ ක්ලච් දෙක අතහැරීමත් සමගම හිටි තැන නතරවුණේ දුවන අස්සයා හිටි හැටියේ කැරට් අලයක් දුටුවා වාගේය. වේගයට සාපේක්ෂව ඉදිරියට විසික්වූ ගොඩයා ලෑනේ හඬලයේ හරස් පොල්ලේ වැදී නැවතුනත් පාලට එවැනි භාධකයක් නොමැතිවීම අවාසිසහගත  වූයේ පාලටමය. හඬල් කොනේ පළමුව පැටලුනු පාල තම ගමනේ ඉතුරු කොටහ නිමකලේ විලි වසාගන්නා  සරොන් රාජයාද  ලෑන්මාට්ටලයේ මඩපෝරුව උඩ වනාතබා කන්ද පහලට ගුවන්ගතවීමෙන් අනතුරුවය. අන්ඩර් වෙයාරය සහ කමීසය සහිතව  උඩී.........න් ගොස් අබලන්  තාර පාරට ලෑන්ඩ්කරන ලද පාල තවත් බඩ පිනුම් කිහිපයක් ගසා තුන්සක රිය පාමුල හතරගාතෙන් වැදහොත් නිමේෂයේ ගොඩයා උන්නේ මහා දවාලේ ඔලුව වටේ පෑයුවා වූ තාරුකා ගනිමින්ය.

ඉවරායි කියා සිතුවද ඉවර නැත. ක්‍රියාදාම චිත්‍රපටි එසේ අවසන් වන්නේ නැත. වීරයා සුළඟිල්ලේ පවර්  එකෙන් හෝ නැගී සිට තමුන්ට එරෙහි දුෂ්ඨයින් අහවර කරනවාය. හරස් යකඩ පොල්ලේ පපුව වැදුනාවූ වේගයට ඇතුලේ ගැහෙන හදවත සහ පෙනහළු කෑලි දෙක  තිබිය යුත්තේ එළියේ වුවත් ගොඩයාගේ  වාසනාවට එව්වා තිබුණු තැන්වලම තිබෙනවා බව දැනෙන්නේ එව්වා එලිපහලියේ පෙනෙන්නට නොමැති නිසාය. දත් සැට් එක කටේ තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්නට ලෑන්මාට්ටලයේ කන්නාඩියක් නොමැතිවීම අවාසිසහගතය. අතපය හතර කඳ කෑල්ලට සවිවී තිබෙනා වගත්, අභ්‍යන්තර අවයව එකක්වත් එලියට පැන නොමැති වගත් තහවුරු වුවත් දැනෙනා දැනීම නම් ජෝන් සීනාට  පුංචි විහිළුවක් කර අම්බානෙකට කෑවා වැනි දැනීමක්ය. සියලු වේදනා කැක්කුම් අතරේ මොකක්දෝ ඩොහ් ඩොහ් ශබ්දයක් අසෙනවාය. ඒ කුමක්ද යත් චිත්‍රපටියේ වීරයා වන් වුද, ක්ලචය අතාරින ලද ලෑන්ඩ්මාස්ටර් පුඟුලා තම සාමාන්‍ය වේගයෙන් කන්ද පහලට ධාවනය වන නාදයය. එහි රියදුරු ආසනයේ වේදනාභරිතව පපුව බදාගෙන කෙඳිරි ගානා හාදයා ගොඩයාය . ඒ අතරේ  ඉදිරියට ඇදෙනා ළෑනේ ඉදිරියෙන් භාදක දෙකක්ය. පළමුවැන්න නම් තත්පර කිහිපයකට කලින් බීඩියක ආශ්වාදය විඳිමින් සන්තෝෂයෙන් ප්‍රීතියෙන් උන්නද දැන් වෙද්දී අන්ඩර්වෙයාරයකින් සැරසී  මාතෘභූමිය  සිපගෙන සිටිනා පාලයාය. දෙවැන්න ඔලුව හැරුන අතේ පැනදුවන ලද රියදුරා හේතුවෙන් පාර මැද අවතැන්වූ තුන්සක රථයය. භාධක දැක නැවතීමේ ඉසව්ව සාර්ථකව අවසන් කරනලදුව ලෑන්ඩ්මාස්ටර් පුඟුලා ඊළඟට සැරසෙන්නේ භාධය මතින් ධාවනය කිරීමේ ඉසව්ව සාර්ථක ලෙස නිම කරන්නට වග ගොඩයාට දැනෙනාවිට ලෑන පාලයා යටකරගෙන ත්‍රිරෝධ රථය පෙරලාගෙන යාමට වැඩි දුරක් නොමැතිය.   පාලයා කියාදුන් ආකාරයෙන් එංජින් බ්‍රේක් පොල්ල  වෙර යොදා පස්සට පස්සට ඇද ලෑන නවත්වාගන්නට ගොඩයා සමත්වන නිසා පාලයා තවදුරටත් ජීවත්වීමේ වාසනාව උදාකරගන්නවාය.

අතපය හතරේ පැලැස්තර විස්සක්  තිහක් අලවන ලද පාලයා යාන්තමට රියදුරු අසුනේ තබාගෙන සිමෙන්ති ටිකද පටවාගෙන නැවතත් නැන්දාගේ නිවසට සැපත් වන්නට ගොඩයා සමත් වනවාය. එලියට පෙනෙන්නට තුවාල නොමැති වුනත් සරීර කූඩුව ඇතුලේ දන්නාවූ වූ වේදනා කැක්කුම් සියල්ල සමනය වන්නට සතියක් හමාරක් ගතවුබව කිව යුතුමය. ඇඟේ අමාරුවට වෙනිවැල්ගැට ටිකක් හෝ තම්බා දෙන ලෙස නැන්දාට කියන්නටද ක්‍රමයක් නැත්තේ සිදුවූ අනතුර ගැන නැන්දා දැනගැනීමෙන් පාලට ලොරියකට බැනුම් අහන්නට වන්නාවූ සිද්දියක් නිසාය. ඒ නිසාවෙන් එකිනෙකාගේ වේදනා සමසේ දරාගෙන සියල්ලම රහසක් සේ තබාගන්නට පාල සහ ගොඩයා සුසංයෝගය සමත් වන්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.

මුල් මුදල , සිමෙන්ති බිල සහ ඉතිරි මුදල් අතර තිබූ පරස්පරතාවය  මත ප්ලාස්ටර් සඳහා වියදම්වූ සුළු මුදල මාටියා ගැසීමක් වැනි වූ සිදුවීමක් නිසා එම සුළු මුදලද පාලගේ වැටුපෙන් අයකරගන්නට ගොඩයාගේ මාමිලා කටයුතු කලාය. එහෙත් පසුව අහිංසක අසරණ පාලයාට එම මුදල පියවීමට ගොඩයා හොර රහසේ කටයුතු කලාය. බොහොම දුරදිග සිතා බලා කුබෝටාවේ හැඬලය හරහට යකඩ පොල්ලක් සවිකර එවීම සම්භන්ධව ජපනාට බොක්කෙන්ම ස්තූති කරන්නට ඕනෑය. මන්ද යත් ඒ පොල්ල නොමැතිවුනානම් අම්බලන්ගොඩයාගේ වැදගත් ශරීර අවයව කිහිපයක්ම ගියර් පොල්ලේ ඇනී සුනුවිසුණුවී යනවා අනිවාර්ය නිසාය.




..අම්බලන්ගොඩ කතා කියවන සැමටමත්, කොමෙන්ට් ලියා දිරිය දෙන සැමටත්, බ්ලොත් වාසී සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..


63 comments:

  1. උබටත් පෝස්ටුවලට කොමන්ටු දමන මිතුරන් සැමටත් සුභ අලුත් අවුරුද්දක්.මන් පෝස්ටුව දැක්ක ගමන් හිතුවෙ මේ ලියන්න හදන්නෙ රවියගෙ මාමිගෙ ලෑන් මාස්ටරය ගෙනවිත් උන අල කලන්චිය කියල.හික්ස් ඒක ඕකට දෙවෙනි නෑ.මට මතකයි ඔය වත්ත මුර කරන්න දවසක් අපි ගියා වගේ.ඔය නැන්දගෙන් අක්කරයක් දෙකක් ඉල්ලගෙන ගෙදර නැවතියකො.

    ReplyDelete
    Replies
    1. පස්සේ දවසක ලියන්නම් රවීගේ බාල මාමිගේ ලෑන්මාට්ටලේ නැගීල අපි වෙසක් බලන්න ගිය හැටි.. මාමිලාට සතුරු කරදර උග්‍ර වෙලා විශේෂ කාර්ය බලකාය කැඳවන්න වෙච්චි දවසක උබල එහෙ ගියා වගේ මතකයි.. ඒ වගේම නැන්ද රෑට උයපුවා බඩ පුරා කාලා විශේෂ කාර්ය බලකාය ගොරොව ගොරොවා නිදාගත්තා මතකයි..
      කාගෙන්වත් අක්කර එක දෙක ඉල්ලගත්ත වගේද බන් තමුන් මහන්සි වෙලා උපයාගනීමෙන් ලැබෙන සතුට..

      Delete
  2. අඩේ ගොඩයෝ.. සුරවටම මේ "ද ලෑන්ඩ්මාස්ටර්" ෆිල්ම් එක ඉවර වෙනකන්ම මම හිටියෙ ඒ ෆිල්ම් එකේම ලෑන්ඩ්මාස්ටර් එකේ පිටිපස්සෙ වාඩි වෙලා. මේකනම් ෆුල් ආතල් බං. මමත් පොඩි කාලෙ ඉඳලම ඇඩ්වෙන්චර් කරන්න බලන්න කියවන්න හරිම මනාපයි හිටං 🙈

    උබේ පොස්ට් කවදත් කියවනව. එවෙලෙට බිසී වෙලා හිටියොත් ඇරෙන්න පහුවෙලා හරි කමෙන්ට් කරන්නව.

    සොරි ලොක්ක. මම අවුරුදු සමරන්නෙ නැති නිසා ඒවා සම්බන්ද කිසිම දෙයකටත් මම සම්බන්ද වෙන්නේ නැත. (මේවා පිළිගැනීම නොපිළිගැනීම මගේ පෞද්ගලික අයිතීන් මිසක් ලෝකය වෙනස්කිරීමට අදහසක් කිසිසේත් ම නැත)

    උබට ජය..!!

    👊🏽

    ReplyDelete
    Replies
    1. ඇඩ්වෙන්චර් වැඩ වලට ආස එවුන් මැරෙන මොහොත වෙනකම් ඒ ආසාවල් හිතේ තියාගෙන ඉන්නවා බන්.. වයසත් එක්ක ආලපාලු වැඩ කරන්න හිතෙන්නේ නැති උනාට තාමත් පාරෙ වතුර වලක් දැක්කාම වාහනේ ඒකෙ දාන්න හිතෙනවා බන්..

      අවුරුදුනම් ඉතින් මටත් නැහැ බන්. ඔව්ව සැමරුවා නැතුවා කියල කර්මය වෙනස් වෙන්නේ නැහැනේ බං.

      Delete
  3. වාහනයක් කියලා ඉස්සල්ලම එලෙවුවේ වීල් ලෝඩර් එකක්.හත වසරෙදී.ඊට පස්සේ එක එක වාහන එලෙවුවත් පිස්සු වැටුනේ මෝටර් සයිකල් වලට විතරමයි. ඒකේ ආසාවත් කකුල කඩාගන අවුරුදු දෙකක් විතර කිහිලිකරුවලින් යද්දී හමාරවුනා. පස්සේකාලෙක පුරේ- කොළඹ අතරේ හක්කලන් කරලම වාහන එපාවුනා. දැන්නම් කවුරුහරි එලවන වාහනේක පිටිපස්සේ සීට් එකේවාඩිවෙලා ආතල් එකේ යනවාතරම් දෙයක් වෙන නෑ.

    ලෑනක් එලවන්න ආසවක් ඇවිත් එකක් එලෙවුවා.ඒත් ඒකේ ස්ටීරියන් වීල් එකක් තිබ්බේ.ඒ මදිවට බක්කිය ටිපර් කරන්නත් පුලුවන්.මම මෙච්චරකල් හිතන් හිටියේ ලෑන වමට දකුනට කපන්නේ බයිසිකල් සිස්ටම් එකට කියලා.ඒකත් අද තමයි දැනගත්තේ.

    ලියවිල්ල ගැන කියන්න දෙයක් නෑනේ.ජයවේවා උඹට

    ReplyDelete
    Replies
    1. මටත් උඹට වෙලා තියන එකම තමා බං වෙලා තියෙන්නේ.. වාහන එලවිල්ල තිත්ත වෙලා තියෙන්නෙ මටත්..මෝටර් සයිකල් පැදිල්ලත් ඒ වගේම තමා.. ඉස්සර ලොකු ලොකු මෝටර් සයිකල් පදින්න ආසාවල් තිබ්බට දැන් නම් ලංකාවේදී ස්කූටි පෙප් එකක නැගල ටවුමට එන එකත් කරදරයක් වගේ දැනේනේ බං. මට වාහන වල පස්සේ සීට් එකේ යන්න වාසනාව ලැබෙනවා බොහොම අඩුයි බං. මගේම කරුමෙට සාපයක් වගේ ඩ්‍රයිවින් සීට් එක මගේ පස්සෙන් එනවා කොයි ලෝකෙ ගියත්.

      ලෑන් මාස්ටරේ කියන්නේ ඔය පොඩියට තිබ්බට බොහොම අනතුරුදායක වාහනයක් බන්..

      Delete
  4. හිනාවෙලා පනගියා මචෝ. නියමයි ජයවේවා.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොලොම්පුරේ..

      Delete
  5. නියමයි බං. ඔය පින්තුරෙ තියෙන්නෙ උඹ පැද්ද ලෑන නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලප අයියේ.. ඒ ලෑන දැන් තියෙනවද දන්නෙත් නැහැ බං..

      Delete
  6. අම්මෝ හිනාවෙලා පන යනවා....
    අද නම් මං හිනාවෙන්න ඇයි බලන්න ආව ගෙදර අයත් මේ පෝසුටුවකියවලයි ගියේ...

    හැමෝගෙම ප්‍රතිචාරය...මරු..නියමයි.. පව්අර අහින්සක පාලයා...

    ගොඩයාටත් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. කියවන උදවිය තනියම සිනහ වීම බ්ලොග් ප්‍රචාරණයේ අලුත්ම ක්‍රමවේදය වෙන්න ඇති..

      Delete
  7. දත් සැටි එක ඉතිරි විම ගැන අමිබලන්ගෙඩ අයියා පින් දිය යුත්තන්ට පින් දිය යුතුමය.

    අපේ එකෙකුත් ලැනක් ස්ටාර් කරන්න ගිහින් දත් සැටි එක අලුතින් දාගෙන නැවතුනෙ...

    ReplyDelete
    Replies
    1. මූ මේක ස්ටාට් කරල නෑ මං හිතන්නෙ. පාලය ස්ටාට් කරපු එක තමයි මූ පැදගෙන ගිහිල්ල තියෙන්නෙ. ඔය දත්ටික යන්නෙ අර රෝදෙට දාල කරකෝන ලීවර් එක හින්දනෙ.

      Delete
    2. එක හරි තමා ප්‍රසන්න අයියා එක ගලවලා ගන්න එකත් නුලට කර ගන්න ඔිනි වැඩක්..

      Delete
    3. බුදු අම්මෝ තරිඳු දත් සැට් එක සමගම මුහුණ කට සමතලා වෙන්න තිබ්බ එක තමා අනූ නවයෙන් බේරුනේ.. ස්ටාර්ට් කිරිල්ලේ අනතුර ගැන පසුව තමා දැනගත්තේ.. ඔය ස්ටාර්ට් කරන හැන්ඩ්ල් එක ආපහු ගන්න බැරිවුනා කියන්නේ ඔන් ද සපෝට් මැරෙන වැඩක්. ඒකට සෑහෙන්න පළපුරුද්ද තියෙන්න ඕන.

      Delete
    4. ඔව් බන් ප්‍රසන්නයෝ.. එදා එක ස්ටාර්ට් කරන්න දුන්නනම් මම කීයටවත් ඒ මාරන්තික යන්තරේ එලවන්නේ නැහැ බං..

      Delete
  8. තව පෙඩිඩෙන් අමතක වෙනවා ලැනේ ඇක්සලේටර් කෙබල් එකට සමිබන්ද පෙඩ් ස්පිර්න් එකක් තියනවා එක ඇදෙන්නෙ නැති වෙින්න කමිබි කැල්ලකින් බැන්දම ලැන යනව නෙවෙ විදිනව.හැබැයි ඉතින් එන්ඡින් එකට මෙනවා වෙිනවද කියන්න අපි නමි දන්නෙ නැතෙ...හිහ්....හිහ්...




    සුබ අලුත් අවුරුද්දක් වෙිවා...කට්ට්යටම..

    ReplyDelete
    Replies
    1. ඔය ස්ප්‍රින් කතන්දරේ නම් මම දන්නේ නැහැ.. ඔය එන්ජිමේ එළියේ කරකැවෙන ෆ්ලයි වීල් එක වෙනුවට ලොකු එකක් දැම්මාම ඊට වඩා ටිකක් හයියෙන් යන්න පුළුවන් කියල මම අහල තියෙනවා..

      Delete
  9. හැක්... මදැයි වෙලා තියෙන දෙයක්. හැ‍‍‍ඩල් එක හරහට පොල්ලක් ආවෙ නැත්තං උඹට වෙන්නෙ පාලයට උනාට වැඩිය දෙයක්.
    මම පොඩිකාලෙ එකපාරක් ඕකක් ස්ටාට් කරනකොට හැ‍ඩල් එක අල්ලගෙන ඉඳල කාපු එක්කටම ඕව එලෝන එක එපා උනා. ඊට පස්සෙනං ආසාවටවත් ඕකක් පැදල බලන්න චාන්ස් එකක් අාවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ස්ටාර්ට් කිරිල්ල තමා මාරාන්තික අංක එක.. එක වතාවක් එකෙක් ස්ටාර්ට් කරල හැන්ඩ්ල් එක ගන්න බැරිවෙලා අහල පහල එවුන් පැනල දිව්වේ සාජන් මහත්තය දැකපු පිස්සු පූසෝ ටික වගේ..

      Delete
  10. හොඳ වෙලාවට පාලය යටට ඇඳල හිටියෙ. නැත්තං ඇඩ්වෙන්චර් අස්සෙ බ්ලූ ෆිල්ම් කෑල්ලකුත් බලන්න තිබ්බ කට්ටියට. හැක්..

    ReplyDelete
    Replies
    1. බොලාටත් හිතෙන දේවල්..

      Delete
  11. ඔය ගැජට්එකේ තියෙන භයානකම දේ තමයි රෑට එලෝනකොට මැද එක ලැයිට් එකක් විතරක් තිබීම. ඒකත් මහ කණාමැදිරි එළියක් තියෙන්නෙ. ඉස්සරහිං එන වාහන කාරයෝ හිතන්නෙ එන්නෙ බයික්කෙයක් කියල. මගේ ඇස් ඉස්සරහම දෙපාරක් තුංපාරක් ඕව බස්වල හැප්පිලා කොල්ලෙක් දෙන්නෙක් මැරෙන්නැතුව නූලෙන් බේරිලා තියෙනව ඔය සීන් එක හින්ද.

    ReplyDelete
    Replies
    1. හෆොයි ඔව්.. ඔය මල මගුල් රෑට කළුවරේ එන්නේ ඉටිපන්දම් එළියෙන්. ලඟට එනකං පේන්නෙ නැහැ ලෑනක් කියල..

      Delete
  12. අම්බලං පවුලේ සැමටත්, අම්බලං කතා බලන සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ප්‍රසන්න..

      Delete
  13. හොඳ වෙලාවට මැසිම ටේලරෙන් ගැලවිලා නෑ.. සමහර වෙලාවට හැඬල් එක ගන්න බැරිවෙනව ස්ටාර්ට් වුනාට පස්සෙ විසිවෙලා එන හැඬල් එක වැදුණොත් බඩු එතනම තමයි :)
    සුබ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. හැන්ඩ්ල් එක තමා අංක එකේ මාරයා.. ස්ටාර්ට් වෙච්චි ගමන් ගන්න බැරි වුනොත් ඉතින් ඔලුව හැරුන අතේ දිවිල්ලක් තමා තියෙන්නේ මචෝ..

      Delete
  14. hina wela pana yanawo gedara aya ahanawa gaja gahalada kiyala

    ReplyDelete
    Replies
    1. Unkown.. නිස්කාරනේ අභූත චෝදනාවට ලක්වෙනවා මෙව්වා කියවලා..

      Delete
  15. මගේ අතින් ක්ලච් එක හිර වෙලා කොල්ලා උඩින්ම ගියා..එදා තමයි දැන ගත්තේ ට්‍රැක්ටර් කියන්නේ මාරාන්තික වහනයක් කියලා ..

    ReplyDelete
    Replies
    1. ට්‍රැක්ටර් බොහොම ලේසියි වගේ තිබුනට මැරෙන්න බොහොම ළඟ පාරක් තමා පරෙස්සම් නොවෙන විදිහට පැදවීම..

      Delete
  16. උඹත් ලඟින් ගියොත් ඇහැක් නැති වර්ගයේ බුවෙක්නේ බං...
    උඹ තාම පණ කෙන්ද ගැට ගහගෙන ඉන්න එකත් ලොකු දෙයක් බලාගෙන යනකොට...

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්න වාසනාව තිබිලා තියෙනවා සංසාර කර්මයට.. නැත්තම් ඒ කාලේ කරපු අනතුරුදායක වැඩ වලට මේ වෙද්දී වලේ බං..

      Delete
  17. චැහ් ....
    මාත් ලෑනක් එළවලා බලන්ටෝනේ.....

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. ඊට කලින් අහල පහල අය දැනුවත් කරල හිටහං ලවුස්කීපරයක්වත් යවල.

      Delete
    2. නිකං ඉන්න එකේ මම පදින එක ගැන කියලා දැන්වීම් ටිකක් ගහලා දියන්කෝ......

      Delete
    3. බොහොම පරෙස්සමට එලවපන් එලවනවානම්.. විශේෂයෙන් ස්ටාර්ට් කරනකොට..ඕක මාරාන්තික යන්ත්‍රයක්..

      Delete
  18. ඔවා ස්ටාර්ට් කරන්ඩ ගිහින් දත් කඩාගත්ත සෑහෙන පිරිසකුත් දැකල තියනවා.ඒ අතින් ටිකක් දුර ගිහින් අතපය කඩාගන්න එක නම්බුයි.

    ReplyDelete
    Replies
    1. ස්ටාර්ට් කිරිල්ල ජීවිතය මරණය අතර වැඩක් බක්කරේ..ඕක එක වටෙන් ස්ටාර්ට් කරන එවුන් ඉන්නවා ඒ උනාට.

      Delete
  19. අම්මට හුඩු , අත්ට්‍රැක්ටරයක් ,දක්කන්න පුළුවන් කියන්නේ ඉතිං පොරක් තමා . ඔය වාගේ හුට්ටප්පරයක් නොවුනොත් තමා පුදුමේ ඕක දක්කන්න ගිහිං

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්.. ඕක හිතනවට වඩා පදවන්න සෑහෙන්න අමාරු සහ අනතුරුදායක වාහනයක්.

      Delete
  20. අනිත් කමෙන්ට් ටික නොකියවාම මේක ටයිප් කළේ, වැඩට යන්න පරක්කු වෙන නිසාය. ගොඩයා වූ කලී මාරයාගේ හිතවතෙකි. නිතරම එලොව ගොස් මෙලොව ආ පුද්ගලයෙකි.

    ReplyDelete
  21. මටත් මතක් උනා මම පොඩි කාලේ ලෑන්ඩ් මාස්ටර් එක පුරුදු වෙච්ච විදිහ.

    ReplyDelete
    Replies
    1. එහෙනං මල් මල්ලිට මේක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නෙහ්..

      Delete
  22. එල ද බ්‍රා
    පුරේ ලෑන්ඩ් මස්ටරයක් තියනව කියන්නේ කොලබ බෙන්ස් එකක් තියනවා වගේ

    ReplyDelete
    Replies
    1. ලෑන බෙන්ස් කාර් එක තරම් වටිනවා ඇති බන් ඒ මිනිස්සුන්ට. කොයිතරම් නම් සේවයක් කරන වාහනයක්ද ඕක.. ඒ කාලේ අපි ඇඹිලිපිටියේ පැත්තේ මියුසිකල් එකක් ප්ලේ කරන්න ගියා.. යකඩෝ එහෙමත් ලෑන්ඩ්මාස්ටර් තොගයක් දැක්කේ එදා තමා.. පාර දිගට දෙපැත්තේම හැතක්මක් දෙකක් දුරට තනිකරම පාර්ක් කරලා තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර්ම විතරයි..

      Delete
  23. අපේ මාමගෙ ලෑන මාත් එළවලා තියනවා. හප්පට දවසක් පෙරළෙන්න ගිහිං අනූනමයෙන් බේර ගත්තෙ. මහ එපා කරපු වාහනේ බං.. චැහ්

    ReplyDelete
    Replies
    1. අනතුරක් කරගන්න බොහොම ලේසි වාහනයක් බන් ඕක.. ස්ටාර්ට් කරන තැන හිටන්ම මරුවා සමග වාසේ..

      Delete
  24. හප්පෙ මොන බයික්කද ලෑනක් ගන්නවා.....

    ReplyDelete
    Replies
    1. ලෑනක් තිබීම සමහර පලාත්වල හිරයක් ගැනීමේදී අමතර සුදුසුකමක්..

      Delete
  25. //බොහොම දුරදිග සිතා බලා කුබෝටාවේ හැඬලය හරහට යකඩ පොල්ලක් සවිකර එවීම සම්භන්ධව ජපනාට බොක්කෙන්ම ස්තූති කරන්නට ඕනෑය.// ලෑනේ තිඹිරි ගෙය ලංකාවේ එක හැදුවේ රවි විජේවර්ධණ අපේ රටෙි පාලකයන්ට එහි වටිනාකමක් නොමැති බැවින් එය ජපනාට දුන්නා අම්බලංගොඩයාගේ බොක්කේ ස්තූතිය දැන් කොයිබටද ????

    ReplyDelete
    Replies
    1. සුද්ද රට දාල ගියායින් පස්සේ අපේ රටේ බලයට පත්වෙච්ච ආණ්ඩු සියල්ලම කරේ රටේ ඉන්න දක්ෂයින්ව උඩට ගන්නේ නැතුව පිටරටට ආවදීම කප්පිත්තෝ.. එහෙම නොකර උන්ට පැවැත්මක් නැහැ ඒකයි.. රටේ ඉන්න දක්ෂයෝ ඉස්සරහට ආවොත් අටේ පන්තියත් අසමත් හාල්පාරුවන්ට රටේ ලොකු තැන්වලට යන්න බැරිවෙනවනේ..

      Delete
    2. දුකයි හොදේ..................

      Delete
  26. ලෑන ගැන කියව්වම මටත් පොඩිකාලෙ මතක්වෙනවා.මාර වාහනයක් තමයි ඕක ඕකෙන් කුඹුරක් හාලා එහෙම නැද්ද ....?

    ReplyDelete
    Replies
    1. හපොයි පාරේ එලවන්නත් භයානක ඔය යන්තරෙන් මම කුඹුරක් හාන්න ගියොත් හිස නැති කඳ තමා කුඹුරෙන් එලියට ගන්න වෙන්නේ.

      Delete
    2. මම නම් ඕකෙන් කුඹුරු හාලා තියෙනව පොඩිකාලෙ.කුඹුරු වැඩ කාලෙට ඉස්කෝලේ ඇරිල ගෙදර ආවට පස්සෙ කන්නෙත් නැතුව දුවන්නෙ ඕක බදාගන්න තමයි.අපේ කාලෙ,අපේ පලාතෙ ජනප්‍රිය වෙලා තිබුනෙ "සී ෆෑන්ග්,සන් ෆෑන්ග්" වගේ නම් තිබුන පිටිපස්සෙ සීට් එකක් එක්ක නැගලා හාන්න පුලුවන් ජාතියෙ භාන්ඩ තමයි. ඉස්සරහට ගියර් හයයි රිවස් එකට දෙකයි. මම පොඩිමකාලෙ ඕවගෙන් හාද්දි මට ඕක කරකවල ස්ටාර්ට් කරගන්නත් බෑ.කාට හරි ලොකුකෙනෙකුට කියල තමයි ස්ටාර්ට් කරගන්නෙ.මම අතින් කීපසැරයක් එන්ජිම අනෙක් පැත්තට ස්ටාර්ට් වෙලත් තියෙනව හරියට කරකවාගන්න පණනැතුව එතකොට මරු සයිලන්සර් එකෙන් හුලං ඇදලා එයාර්ක්ලීනර් එකෙන් දුං දානවා. අපේ පැත්තෙ නං කොල්ලොන්ගෙ රථගාය පිරිමැහෙන්නම බඩු තිබුනා එක කොල්ලට එක ට්‍රැක්ටරේ තරමටම. අයිතිකාරයත් ගොඩක් කැමති අපිවගේ ස්වේච්ඡා සේවකයින්ට මොකෝ උංට දෙකක් අනුමතවෙලා කොහේහරි ඇලවෙලා හිටිහැකිනේ.කොල්ලා හානවා ඉතිං පිස්සාකඩුව ගත්තවගේ.අයිතිකාරයාගෙ නිදිසුව බිදෙන්නෙ ඉතිං ඇන්ජිම නතර උනොත් තමා.දමාගෙන හෑවට මොකෝ ඕක ස්ටාර්ට් කරගන්න බෑනෙ බහුතරයකට.ඒ දවස් වල සී ෆෑන්ග් එකක් ස්ටාර්ට් කරගන්න පුලුවන් කියන්නෙ ඉස්කොලේදි,දහම් පාසැලේදි කොල්ලෙකුට අනිත් උංගෙන් තරමක ගරුසැලකිලි ලබන්න පුලුවන් තත්වයක් ....!

      Delete
    3. ලෑන්ඩ්මාස්ටර් උප සංස්කෘතිය ගැන හොඳ අර්ථකතනයක්.. ස්තුතියි පූර්ණ.. අපේ පැතිවල කුඹුරු දැන් සේරෝම ගොඩ කරලා ගෙවල් හදල ඉවර නිසා අපේ පැතිවල ලැන පාවිච්චි කරන්නේ බඩු අදින්නම තමයි..

      Delete
  27. අපොයි ගොඩයා නම් ළඟින් ගියත් ඇහක් නැතිවෙන ජාතියේ පොරක් තමා....

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ නෙතූ... ගොඩයා වනාහි යන්තර සූත්තර වලට අතිමහත් ආසාවක් දක්වන පොරකි..

      Delete
  28. To nawe Kappittha He is not Ravi Wijewardhana He is Ray Wijewardhana former chairman of T.R.I.Thalawakele. I.m Unknown at Apr;17@4.28am

    ReplyDelete