Tuesday, July 4, 2017

මිෂන් ඔෆ් ඊටින් හොරෙන්



අම්බලන්ගොඩයා මේ ලියනා පෝස්ටුව ගොඩයාගේ පාසල් කාලය සමගාමී පොස්ටුවක් ආකාරයෙන් ලියන්නයි මේ සුදානම. ගොඩයා පාසල් ගිය කාලයට අදාලව සිදුවීම් සහ ගුරුවර ගුරුවරියන් ගැන තියන මතක ටිකක් අකුරු කරන්න අම්බලන්ගොඩයා කාලයක හිටං හිතාගෙන හිටියත් දවසින් දවස වැඩේ කල්ගියා කියමුකෝ.. ගොඩයා හෝඩියේ පන්තියේ හිටං පහ වසරට පාසල් ගියේ දේවානන්ද විද්‍යාලයට නිසා දේවානන්ද විද්‍යාලයේ ගුරුවරුන් ගැනත් මතකයේ පවතින සිදුවීම් එකක් දෙකක් ලිව්වේ නැතිවුනොත් ඒක අඩුපාඩුවක් වේවි කියලයි ගොඩයාගේ සිතුවිල්ල. 

ගොඩයා දෙවානන්දේ ඉද්දි හෝඩියේ හිටං පහ වසර වෙනකල් ඉගෙනගත්තේ F පන්තියේ කියමුකෝ.. ඒ පංතියත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තොත් F ම තමා..  මේක කියවන උදවියට ඔය F අකුරට පිටිපස්සෙන් කැමති විදිහට ඉතුරු අකුරු දාගෙන තේරුම් ගත්තට ගොඩයා කිසිම අමනාපයක් නැත.. ඒ පන්තියේ කොයිතරම්ව සෞභාග්‍යමත් එකක්ද කියනවනම් ඩේස් එකකට පුටුවකට වලියක්, තුවාලයක් වෙනකං නැව් ගුටි ඇනගැනීමක් හෙවත් අභ්‍යන්තර අර්බුදයක්, එකෙක් අසනීප වී කලින් ගෙදර ඇරලීමක්, පිටස්තර පන්තියක් එක්ක කොසු ඉදල් කැඩෙනකල් ගුටි ඇනගැනිල්ලක් හෙවත් ජ්‍යාත්‍යන්තර අර්බුදයක්,  ඉන්ටවල් එකට කන්න ගෙනාපු කෑම පෙට්ටියේ කෑම අතුරුදන් වීමක්, පෑනක් පැන්සලක් මකන කෑල්ලක් අතුරුදන් වී වෙන එකෙකුගේ බෑගයේ තිබී හමුවීමක්, ටීචර්ලා නැති කාල වේලාවන්හීදී පාසල දෙවනත් වෙන්නට කෑගැහිල්ලට ප්‍රතිපලයක් විදිහට ප්‍රයිමරියේ ප්‍රින්සිබල් වෙච්චි සිරිසේන සර්ගේ වයර් වේවැල පශ්චාත් භාගය සිපගැනීමක් වගේ සුවිශේෂී සිදුවීමක් නැති දවසක් නැහැ. ඒ මුකුත්ම නැති දවසට කව්රුහරි වාසනාවන්තයෙකුට කලිසමේ වැසිකිලි යාමක් වගේ කටක් ඇරලා කියන්න බැරි වර්ගයේ සිදුවීමුත් නැත්තේම නෑ. 

ටීචර් කෙනෙක් නැති කාල වේලාවන්හිදී මල් වැනි අහිංසක කොල්ලන් හතලිස් පහක් එකතුවී ගොඩනැගිල්ලේ උළු හඳට විසික්වන්නටම නගන ඝෝශාවත් , ගුරුවරුන් ඉන්නා කාලපරිච්චේදයන්හිදී එකෙක් දෙන්නෙක් පන්තියෙන් එළියේ දන ගසාගෙන සිටීමටත් සාමාන්‍ය ස්භාවයක්. පැන්සලෙන් ඇනීම වගේ ක්‍රිමිනල් හයිකොට් වර්ගයේ එව්වත් සතියකට එකක් දෙකක් ෂුවර්. කොටින්ම කියනවනම් ඔය කියන පන්තියේ පන්ති භාර ගුරුවරු සියල්ලටම සිද්දවුනේ උගන්නනවාට වඩා කාලයක් නඩු හබ විසඳන්න තමා. ගොඩයා ඉතින් බෝ පැලේ වගේ අහිංසකයි රටක් වටියි වර්ගයේ හැන්ඩ්සම් කොල්ල නිසා ගහමරාගැනීම් වලදී ගොඩයා ඉන්නේ ජ්‍යාත්‍යන්තර රතු කුරුස කණ්ඩායම නියෝජනය කරමින්. ඒක එහෙම වෙන්නේ එෆ් පන්තියේ තිබ්බ ප්‍රථමාධාර කාර්ඩ්බෝර්ඩ් පෙට්ටියේ සියලු වැඩ කටයුතු ගොඩයා භාරයේ තිබ්බ නිසා. ඔය කියන පෙට්ටියේ ප්‍රථමාධාර ඖෂධ වගේම ප්ලාස්ටර් වගේ දේවල් ඉවරවුනේ උණු කැවුම් වගේ. ඒ මොකද කියනවනම් මල් වගේ අහිංසක එවුන් ගහමරාගන්න ගියාම අතට අහුවෙන එකෙන් දමල අනිද්දී මූට තුවාල වෙයි යකඩෝ කියල හිතන්නේ නැතිකම හින්දයි... හිටපු ගමන් ඔය කියන ප්‍රථමාධාර පෙට්ටියේ තියන ප්ලාස්ටර් කපන කතුරත් යුද අවියක් වශයෙන් අවභාවිතාවුනා ගොඩයට හොරෙන්. එකෙක් නැවකට කාලා ඇවිත් බෙහෙත් දාන්න කතුර හොයනකොට තමා ඉදිරිපෙළ සටන් කරුවන් තමුන්ගේ සාක්කුවේ ගන්ගගෙන ඉන්න කතුරු පොඩ්ඩ සාක්කුවෙන් එලියට අදින්නේ.

ඔය කියන F පන්තිය ගැන ලියද්දි අපේ බතලයා ගැන නොලිය ඉන්න එක බතලයාට කරන අසාධාරනයක්. මොකද කියනවනම් F පංතිය පුරාම තිබ්බේ බතලයාට අයිති වෙච්චි පුටු ඩෙස්ක් විතරමයි. ඒ ඇයිද කියල පැහැදිලි කරනවානම් බතලයා ඒ කාලේ ඉස්කෝලේ ආවේ බතලයාගේ අම්මගේ බාල සහෝදරයා එක්ක. අපි හැමෝම බතලයාගේ මාමිව හැඳින්නුවේ චූටි මාමා කියන ආදරණීය නාමයෙන්. ඒ බතලයාගේම ආමන්ත්‍රණය කොපි කිරීමක්. චූටි මාමා උදේට බතලයාගේ පොත් මල්ලත් කර තියාගෙන පන්තියට එනවා කියමුකෝ.. ඔන්න ඇවිත් හොයනවා බතලයාගේ ඩෙස්ක් එකයි පුටුවයි. ඒ හෙවිල්ලට සමගාමීව බතලයාගේ ඩෙස්ක් එකයි පුටුවයි කව්රුහරි එකෙක් අයිති කරගෙන වග චූටි මාමි තේරුම් ගන්නවා. ඔන්න ඊළඟට චූටි මාමි පන්තිය වටේ ගිහින් ඒ බැරිම උනොත් වෙන පන්ති වලට ගිහින් හරි අනික් ළමයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කරගෙන උස්සන් එනවා අලුත්ම අලුත් ඩෙස්ක් එකකුයි පුටුවකුයි. ඊට පස්සේ බතලයාගේ පොත් මල්ලෙන් ප්ලැටිග්නම් එකක් අරන් ඔය උස්සන් ආපු ඩෙස්ක් එකෙයි පුටුවෙයි කකුල් හතරේමයි උඩ ලෑලි වලයි ලියනවා බතලයාගේ අතිජාත නම. චූටි මාමගේ අකුරු හරිම ලස්සන රවුම් අකුරු කියමුකෝ. ඔන්න ඒ ලියල අහවර වෙද්දී මුළු පන්තියේම ඉන්න කොල්ලෝ චූටි මාමි වටේ වටවෙලා බතලයාගේ බුක්තියට සරිවෙන ඩෙස්ක් එකයි පුටුවයි දිහා පෙරේත බැල්මක් දාගෙන ඉන්නවා. ඔන්න ඊළඟට බතලයාට හිමි ස්ථානයෙන් මේ පුටුවයි ඩෙස්ක් එකයි තියල ඒ උඩින් බතලයාගේ පොත් මල්ලත් තියල බතලයාව එතනින්  මලක් වගේ පරෙස්සමට වාඩි කරලා චූටි මාම යන්න යනවා. ඒ යන්න කලින් චූටි මාමා කොල්ලන්ට පොඩි සුන්දර සත්තමකුත් දාන්න අමතක කරන්නේ නැහැ කියමුකෝ..

"ඔන්න අද ඉඳන් මේ ඩෙස්ක් එකයි පුටුවයි XXXXගේ  හොඳද.. කව්රුවත් ගන්නවා එහෙම නෙවෙයි.."

චූටි මාමි එහෙම කියල ගියාට ඔය කියන ඩෙස්ක් එකයි පුටුවයි දවසින් දෙකෙන් බ්ලේඩ් තලයකින් හීරිලා වෙන එකෙක්ගේ බුක්තියට සරිවෙන විත්තිය චුටි මාමි සහසුද්දෙන් දන්නවා. අපේ බතලයත් තමුන්ගේ ඩෙස්ක් එක හෝ පුටුව වෙන එකෙක් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම ධාරානිපාත වලියක් දක්වා දුරදිග අරන් ගියේ නැහැ කවදාවත්. ඒකට හේතුව චූටි මාමිගේ ඩෙස්ක් පුටු සේවාව බතලයාට නොමිලයේ සැපයෙන්නක් නිසා. ඔහොම කාලයක් යනකොට දේවානන්ද විද්‍යාලයේ තියෙන හොඳම පුටු සහ ඩෙස්ක් ගොඩයාගේ පන්තියට පැමිණෙනවා බතලයාගේ චූටි මාමිගේ කරෙන්. කොල්ලෝ බ්ලේඩ්තල වලින් බතලයාගේ නම සූරලා දාල ඩෙස්ක් එක පුටුව අයිතිකරගත්තට බතලයත් දන්නවා මුළු පන්තියේම තියෙන්නේ තමුන්ගේ නමට ලියවෙච්චි ඩෙස්ක් පුටු කියල. චූටි මාම හරිම අහිංසක සුන්දර මනුස්සය නිසා පුංචි එවුන් එක්ක රණ්ඩුවට යන්නේ නැතුව ඉස්කෝලේ පුරා ඇවිදලා කොහෙන් හරි අලුත් පහේ ඩෙස්ක් එකක් පුටුවක් හොයාගෙන එනවාමයි කියල බතලයා දන්නවා.



මේ සිදුවීම සිද්දවුනේ ගොඩයා පහ වසරේ ඉද්දි. ඉන්ටවල් එක ලංවෙද්දි පුංචි එවුන්ට බඩගිනි උහුලන් ඉන්නේ ඉතින් සෑහෙන්න අමාරුවෙන්. ඒ හින්ද ඉන්ටවල් එකට කන්න ගෙනියන කෑම එක ගුරුවරු උගන්නන අතරේම හොලා වගේ කෑල්ලෙන් කෑල්ල කටේ ඔබාගනීම සාමාන්‍ය සිරිතක් කියමුකෝ.. ඔන්න අම්බලන්ගොඩයා පහ වසරේදී වගේ ඉංග්‍රීසි උගන්නන්න ආව ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. බුදු අම්මෝ හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ ටීචර් කොච්චි කරලක් වගේ සැරම සැරයි. ටීචර් ඉංග්‍රීසි උගන්නන පීරියඩ් එක ආයේ පන්තියට හිට්ලර් ආව වගේ තමා. ඉංග්‍රීසි ටීචර් කොයිතරම්නම් භීෂණයක් පන්තිය පුරා පැතිරුවාද කියනවනම් ඉංග්‍රීසි ටීචර් ඉන්න වෙලාවට එෆ් පංතිය පන්සලක් වගේ නිස්කලංකයි, ළමයි මල් වගේ අහිංසකයි. කොටින්ම කියනවනම් මීක් සද්දයක් නෑ හැමෝම ඉංග්‍රීසි වලට හෙන උනන්දුයි. ඒ මොකද කියනවනම් හැම එකාම ඉන්නේ කොයි වෙලාවේ වේවැල් පාර පිට මැදට පතබෑවෙයිද කියන සිතුවිල්ලෙන්. ටීචර් පන්තියේ ඉංග්‍රීසි උගන්නන වෙලාවට ගහකින් කොළයක්වත් බිමට වැටෙන්නේ නැති තරම් අහල පහල ගස් වැලුත් ටීචර්ට බයයි.

ටීචර් කෙනෙක් උගන්නන වෙලාවට වතුර තිබහක් එහෙම ආවාම පොත් මල්ල ඇතුලේ තියන වතුර බෝතලෙන් වතුර උගුරක් බොන එක ළමයින්ගේ සාමාන්‍ය ස්භාවයක් කියමුකෝ. ගොඩයා එක්ක හිටියා ඒ කාලේ තරංග කියල යාලුවෙක්. ඕන් එක්තරා දවසක ඉස්සරහ පේලියේ කට්ටියට පිලිවෙලින් මෙහෙමයි.. පළවෙනියට ටීචර් ලඟම ඉන්නේ මනින්නා පොස්ටුවේ සඳහන් වෙන, වීරවිල ගුවන් හමුදා කඳවුරේ ලොකු නිලයක් හොබවපු අපේ මිත්‍රයා. ඊළඟට මේ කලින් කියපු තරංග, ඊළඟට ගොඩයා, ඊළඟට අපේ බතලයා, ඊළඟට හිටපු කෙනා මතක නැහැ කියමුකෝ. ඉංග්‍රීසි ටීචර් ඉංග්‍රීසි උගන්නන අතරේ අපේ තරංගට වතුර තිබහක් ඇවිත් වතුර බෝතලේ අරන් වතුර උගුරක් බිව්වා විතරයි ඉංග්‍රීසි ටීචර්ගේ රේඩාර් පද්ධතියට තරංගයා මාට්ටු..

උඹ හිතුවද බූරුවෝ උඹ  ට්‍රිප් එකක් යනවා කියල මම මෙතන උගන්නද්දී උඹ වතුර බොන්නේ  .. නැගිටපිය..

අපේ තරංග කරන්ට් එක වැදුන වගේ හෙල්ලිලා ගියා .. ඒ මොකද කියනවනම් ටීචර්ගේ සද්දෙට බිල්ඩිමත් හෙලවෙන එකේ තරංග හෙලවෙන එක අහන්න දෙයක්ද..

නැගිටපිය.....දාපිය වතුර බෝතලේ බෑග් එකට.. 

එකෙක් හරි මම උගන්නන අතරේ වතුර බීල එහෙම අහුවුනොත් හම ගහනව දැනගනිල්ලා.. ඒකට තමයි විවේක කාලයක් දීල තියෙන්නේ..

තරංග වතුර බෝතලේ බෑග් එකට දාගත්තාවුනාට ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර වෙනකල් හිටගෙන ඉන්න වුනා.. බෝනස් එකක් විදිහට වේවැල් පාරවල් දෙකකුත් ලැබුනා කියමුකෝ.. එදායින් පස්සේ ඉංග්‍රීසි මිස් පන්තියේ උගන්නන වෙලාවට දිව ගිලෙන්න ගියත් එකෙක්වත් කෙලවත් ගිල්ලේ නැහැ.. කොටින්ම කියනවනම් ඉංග්‍රීසි ටීචර් පන්තියේ ඉන්න වෙලාවට බිල්ඩිම උඩින් කුරුල්ලෙක්වත් ඉගිල්ලුනේ නැහැ කිව්වොත් තමයි හරි. 

ඔය කියන ඉංග්‍රීසි පීරියඩ් එක තිබ්බේ හරියටම ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේ.. ඒ වෙලාව ගැන විශේෂයෙන් කියනවනම් බඩේ පනුවෝ එකතුවෙලා ලිෆ්ටන් වටරවුම ගාව පිකට් කරන වෙලාව. ඒ වෙලාවට බෑග් එකේ තියන කෑම පෙට්ටිය තමයි ඉංග්‍රීසි ටීචර්ගේ ඉංග්‍රීසි ඉගැනිල්ලට වඩා වැදගත්. ඉංග්‍රීසි කවදා ඉගෙනගන්න බැරිද කියල ඒ වෙලාවට කෙරෙන්නේ කෑම පෙටියේ තියන කෑම ජාතියෙන් කෑල්ලක් කටට දාගන්නේ කොහොමද දෙයියෝ කියල කල්පනා කරන එක විතරයි.

ටීචර් උගන්නන අතරේ හොරාට කෑම කෑමත් එක්තරා කලාවක්. පළමුවෙන්ම පොත් මල්ල ඇතුළට අතක් දාල කෑම පෙට්ටිය ස්තානගත්වෙලා තියන ස්ථානය ගැන නිසි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්. ඉන් පසුව ටීචර්ට හොරෙන් පොත් මල්ල ඇතුලේ තියන කෑම පෙට්ටිය හරස් අතට තබාගත යුතුයි. මොකද කියනවනම් තිරස් අතට තිබෙන කෑම පෙට්ටිය පොළොවට සමාන්තරව තබාගැනීම වැදගත්. ගොඩයාට ඉන්ටවල් එකට කන්න ගෙදරින් දාලා දෙන කෑම පෙට්ටියේ තියෙන කෑම වර්ගය කුමනාකාරයක කෑමක්ද කියන එක ගොඩයා නොදන්නා නිසා බෑගයේ තිබියදී කෑම පෙට්ටිය විවෘත කිරීම බොහොම භයානක කර්තව්‍යක්. ඔය හොරෙන් කෑම කන වැඩේ පටන්ගත්තු මුල් කාලේ ඇතුලතම ගොඩයා ඉගෙනගත්තු පලවෙනි පාඩම තමා කෑම පෙට්ටිය පොළොවට සමාන්තර ස්ථානයක හොඳින් ස්තානගතකර විවෘත කිරීමෙන් වැඩි උපයෝගීතාවයක් ලබාගත හැකියි කියන කාරණය. මුල් කාලේ එහෙම නොදැන කෑම පෙට්ටිය තිරස් අතට තියාගෙන විවෘත කරපු වේලාවන් වල කඩල, කවුපි, මුන්ඇට වගේ දේවල් පොත් මල්ල පුරා සීසීකඩ ගියාම ගොඩයා දැනගන්නවා වැඩේ නාගත්ත කියල. එදාට ඉතින් ඉන්ටවල් එකට කන්න වෙන්නේ පොත් මල්ලට ඔලුව ඔබාගෙන කුකුළා වගේ අහුලාගෙන තමා. ඒ වගේ දවස් වලට පොත් පෙන්නන්න ටීචර්ලා ලඟට ගියාම ටීචර් පොත පෙරලද්දී කඩල කව්පි ඇට පොත් අස්සේ තිබිල බිමට රෝල් වෙනවා කියහන්කෝ. ඉතින් ටීචර්ලා පොත උස්සලා බිමට ගැසුවාම මේන් කඩල, කවුපි, මුන්ඇට බිම පුරා රෝල් වෙනවා. ඒ වෙලාවට ගොඩයාට සිද්දවෙනවා ටීචර්ගේ විධානයෙන් කොස්ස අරන් ඇවිත් එව්වා පිහදාල කුණු බක්කියට දාන්න. එදාට ඉතිං ගෙදර යනකම් ගොඩයා බඩගින්නේ.


 ඔය හොරාට කෑම පුරුදු උනායින් පස්සේ ටීචර් උගන්නද්දී හොඳ බබා වගේ ඉඳගෙන පොත් මල්ලට අත ඔබලා කෑම පෙට්ටිය ඇතුලේ තියෙන්නේ කුමනාකාර කෑමක්ද කියලා අවබෝධයක් ගැනීම සිම්පල් වැඩක්. ඒ වෙලාවට ගොඩයාගේ අත කෑම පෙට්ටිය සීරුවට විවෘත කරගෙන ඒක ඇතුලේ තියන කෑම ජාතියේ හැඩය, වර්ගය, සාදා තිබෙන ආකාරය වගේ සාධක සියල්ලම ස්පර්ශය මගින් නිරීක්ෂණය කරනවා. කොටින් කියනවනම් ඒ වෙලාවට ගොඩයයි ගොඩයාගේ අතයි කියන්නේ දෙන්නෙක් කිව්වොත් තමා හරි. ගොඩයා හොඳ බබා වගේ ඉංග්‍රීසි ඉගෙනගන්න අතරේ අත වෙනම මිෂන් ඔෆ් හොරෙන් කෑම සක්සස් කරගන වෙහෙසෙනවා.


හොරෙන් කෑම කන එක බොහොම සූක්ෂමව කලයුතු කාරියක් නිසා පළමුව කල යුත්තේ කෑම පෙට්ටිය තිරස් අතට තබා විවෘත කරගෙන ඇතුලේ තිබෙන්නේ කුමනාකාර කෑම වර්ගයක්ද යන්න ස්පර්ශය මගින් නිරීක්ෂණය කිරීම. ඊළඟට කල යුත්තේ එක කටට ගිල දැමිය හැකි කොටසක් කෑම එකෙන් කඩා වෙන්කර ගැනීම. උදාහරණයක් විදිහට කියනවනම් කෑම පෙට්ටියේ තිබෙන්නේ පාන් වැනි ද්‍රව්‍යයක් නම් එයින් කුඩා කොටසක් කඩා වෙන්කරගැනීම. ඉන් පසුව ටීචර්ට නොදැනෙන්න පොත් මල්ලේ ඇතුලේ තියන අත අර කඩාගත්තු කෑම කොටසත් සමග එලියට ගත යුතුයි. දැන් ඊටින් හොරෙන් කෑම මිෂන් එකේ පලවෙනි කොටස සාර්ථකව අවසන් වෙලා අහවරයි. 

ඊළඟට තියෙන්නේ ඔබ්සර්වේෂන් පාර්ට් එක හෙවත් නිරීක්ෂණය කිරීමේ කොටස. මෙතැනදී නිරීක්ෂණය වෙන්නේ ටීචර්ගේ බිහේවියර් එකයි. ඒ කිව්වේ ටීචර්ගේ හැසිරීම. ටීචර්ලාගේ විෂන් රේන්ජ් එක වයිපරේ දැම්ම වගේ දෙපැත්තට විහිදෙන වර්ගයේ එව්වා වෙන්නේ ටීචර් උගන්නනකොට මුළු පන්තියේම ඉන්න ළමයින් දිහා හොඳින් නිරීක්ෂණය කරන නිසා. ඒ නිසා මේ ඔබ්සර්වේෂන් පාර්ට් එකේදී ගොඩයා විසින් නිරීක්ෂණය කරන්නේ කුමනාකාර රටාවකින් සහ කාල පරාසයකින් ගොඩයා ඉන්න දිහාවට ටීචර්ගේ රේඩාර් පද්ධතිය යොමු කරනවාද කියලයි. ගොඩයා ඉන්නේ ටීචර්ගේ දකුණු අත පැත්තේ නිසා ටීචර් උගන්වන ගමන් දකුණේ ළමයින් නිරීක්ෂණය කරලා වමේ ඉන්න ළමයින් නිරීක්ෂනය කරන කාල අන්තරය අතර තත්පරයක නිමේෂයෙන් ගොඩයාගේ අතේ තියෙන කෑම කොටස තත්පරයට හැතැක්ම දහස් ගණනක වේගයෙන් කට ඇතුලට එබෙනවා.  දැන් කෑම කෑවා දැන් වැඩේ ඉවරයි කියල කිව්වට එහෙම නෑ..

ඊළඟට තියන කාර්යය තමයි කටේ නිරුපද්‍රිතව තිබෙන කෑම කොටස රස විඳ  හොඳින් විකා උගුරෙන් පහලට තල්ලු කිරීම. ඒ කොටසත් සෑහෙන්න අවදානම් කටයුත්තක් වෙන්නේ කට හෙලවෙනවා ඉංග්‍රීසි මිස්ට මාට්ටු වීම යනු පෙරේදා කාපුවත් එක්කම එලියට දාන්න වෙන තරමට වේවැල් කසාය බොන්න නොමිලේ ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අර කලින් කරපු ඔබ්සර්වේෂන් පාර්ට් එක කරන ගමන්ම ටීචර් වම් පැත්තේ ළමයින් දිහා බලන අල්ලපනල්ලේ කොටස් වචයෙන් මතු සම්භන්ධයි ආකාරයෙන් කටේ තිබෙන කෑම ටික විකමින් රස විඳිය යුතුයි. කට ඇතුලේ ඒ සියල්ල සිද්දවෙන අතරේ හොඳ පුතා වගේ ඉංග්‍රීසි ඉගෙනගන්න ආකාරයෙන් ටීචර් දිහා බලාගෙන සිටීම ඉතා වැදගත්. ඒ රස වින්ද කෑම ටික උගුරෙන් පහලට යැවීමත් ඒ වගේම පරෙස්සමට කරන්න ඕන කාරණයක් වෙන්නේ තරංග වතුර බීපු දවසේ හිටං ඉංග්‍රීසි පීරියඩ් එකේදී ටීචර්ට පෙනෙන්න එකෙක්වත් කෙළ ජුන්ඩක්වත් උගුරෙන් පහලට නොයවන්න වග බලාගන්න හින්ද. 


ඔය වැඩේ තියන ලොකුම අවාසිය තමා ඉන්ටවල් එකේදී සප්‍රයිස් වෙන්න නොමිලේ ලැබෙන අවස්ථාව. ඒ කොහොමද කියනවනම් එතෙක් වෙලා සෑහෙන්න දුකක් විඳගෙන හොරෙන් බඩට දමාගත් ආහාරවේල නිත්‍යානුකූලවම කන්න ලැබෙන විවේකයේදී ඔය කියන කෑම පෙට්ටිය විවෘත කරලා බැලුවාම තමයි දැනගන්න ලැබෙන්නේ දන්නෙම නැතුව ඔක්කොම කාලා කියල.  හුඟක් දවස්වලට ඉන්ටවල් එක වෙද්දී ඉතුරු වෙලා තියෙන්නේ කෑම පෙට්ටියයි පියනයි විතරයි කියමුකෝ. 

ඔන්න ඔයාකාරයෙන් ඔය වැඩේ පුරුද්දක් විදිහට බහුතරයක් එවුන් කරගෙන යනවා ටීචර් කොයිතරම් සැරපරුෂ උනත්.. ටීචර් හිට්ලර් වගේ උනත් බඩපනුවන්ට හිට්ලර් කොයිතරම් සැර පරුෂද කියන එක අදාළ නෑ. හිටපු ගමන් පන්තිය ඇතුලේ එන කෑම සුවඳවල් වලට බඩගින්න උහුලගන්න බැරුව ඉන්න අනික් එවුනුත් මිෂන් ඔෆ් ඊටින් හොරෙන් වැඩේට බහින්නේ අවධානම සියතින් අරගෙනයි. ටීචරුත් හිටපුගමන් නාසයට දැනෙන කෑම සුවඳවල් වලට තමුන්ගේ  රේඩාර් සංවේදක සුසර කරලා බැලුවට කොල්ලෝ ඔක්කොම බෝ පැල වගේ බොහොම අහිංසක ලීලාවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න වග තමුන්ගේ මුහුණු වලින් පෙන්වනවා. පංතිය දිහා බැලුවාම ඒ තරම් ඉංග්‍රීසි ඉගෙනගන්න උනන්දුව තියෙන සිසුන් එංගලන්තේත් නෑ කියල ටීචර්ට හිතෙන තරමට අපේ එවුන් අහිංසක ලීලාවෙන් ටීචර් දිහා බලාන ඉන්නවා.

 ඔන්න දවසක් ගොඩයා හතරවෙනි පීරියඩ් එකේ  මිෂන් ඔෆ් ඊටින් හොරෙන් වැඩේ කරන යනවා සෑහෙන්න සූක්ෂමව. ටීචර්ගේ රේඩාර් සංවේදක වම් පැත්තට හැරුන විගහින්ම ගොඩයා අතේ තිබ්බ බටර් පාන් කොටහ කටේ ඔබාගත්තා කියමුකෝ. වැඩේ සක්සස් ටීචර්ට මාට්ටු නෑ. මෙන්න බොලේ ටීචර් ගොඩයා දිහාවට හැරිලා අහපි එංගලන්තෙට ඉංග්‍රීසියෙන් කියන නම මොකක්ද ස්පෙලින්ග්ස් කොහොමද කියල.. දැන් දීපන්කො උත්තර. කටේ බේකරියක් ගානට පාන්. මග හිටියොත් තෝ නසී ගෙදර ගියත් ඒත් තෝ නසී වර්ගයේ අලන්කලන්චියක් නිසා ගොඩයා ගල් ගිල්ල වගේ ඉන්නවා. උත්තර දෙන්න ගිහින් කටේ තියන පාන් ටීචර්ට හසුවීම වේවැල් පාරවල් කීයක් කන්න වෙන වරදක්ද කියල ගොඩයාට උපකල්පනයක් නැති උනාට ඒ වගේ වරදක් කරලා හසුවීම නිල මට්ටමින් වේවැල් පාරවල් අවමය මෙච්චරයි උපරිමය මෙච්චරයි කියන රීති රාමුවකට යටත් නැහැ කියල ගොඩයා දන්නවා. ඒත් උත්තරයක් බැරිවීම වගේ වරදකට ලැබෙන්නේ උපරිම උනොත් වේවැල් පාරවල් දෙකක් හෝ තුනක්. ඒ නිසා ගොඩයා තීරණය කරනවා ගොඩයාට වැඩියෙන්ම ලාභ ලැබෙන වේවැල් පාරවල් ගණන තෝරාගන්න.

තමුසෙට ඇහුනද මම අහපු ප්‍රශ්නේ.. 

ම්හ්.. ගොඩයා සද්දයක් නෑ.. මුළු පන්තියම සිනා සාගරයක්... මොකද පන්තියේ උන් දන්නවා ගොඩයා ගල් බිල්ලා වගේ ඉන්නේ කට ඇතුලේ මොනවහරි පුරවාගෙන කියලා.

උත්තර දෙනවා.. තමුසේ පාඩම අහගෙන නෙවෙයිද හිටියේ..

ම්හ්.. ගොඩයා නෙවෙයි කට හොලවන්නේ.. ටීචර් අල්ලයි මානානේ කොක්කු කිව්වලු..

පන්තියේ ඉන්න කොල්ලෝ හතලිස් හතරම ගොඩයට හිනාවෙනවා උනාට ටීචර් උන් දිහාට දාන යක්ස බැල්මෙන් උන් ඔක්කොම මීයට පිම්බා වගේ සද්දේ වහගන්නව. උන්ට විනෝදෙ.. ටීචර් ගොඩයට රේඩාර් එක ෆෝකස් කරන අල්ලපනල්ලේ ටීචර්ගේ වම් පැත්තේ ඉන්න එවුනුත් තමුන්ට ලැබිච්ච චෑන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන මිෂන් ඔෆ් ඊටින් හොරෙන් ලෙසටම කරගෙන යනවා. ඒ අස්සේ ටීචර් ඉන්න තැනින් ගොඩයා ගාවට ඇවිත් වේවැල ලෙළදෙවමින් තමා ගොඩයාව ප්‍රශ්න කරන්නේ.

අයිසේ මට තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නැහැ.. කියනව මම අහපු ප්‍රශ්නෙට උත්තරේ.. 

ඉතින් හත් ඉලව්වේ එංගලන්තෙට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉංග්ලන්ඩ් කියල ගොඩය දන්නවා. එංග්ලන්ඩ් වලට අකුරුත් ගොඩයා දන්නවා.. ඒත් කියන්නේ කොහොමෙයි කටේ තියන බටර් පාන් එක්ක. එහෙම උනොත් කියන්න වෙන්නේ එංගලන්තෙට ඉංග්‍රීසියෙන් කියන්නේ බටර් පාන් කියල තමා.

ටීචර් ගොඩයා ගාවටම ඇවිත් ගොඩයාගේ පස්ස පැත්තටත් එබීල බලනවා.. මොකද කියනවනං ඔය කතා නොකර ගල්බීත වෙන රෝග ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ කුමනාකාර අසනීපයක්ද කියලා ප්‍රාථමික ගුරුවරුන් දන්නා කියන නිසා..

ටීචර්ගේ ඉවසීම අවසන් වෙච්චි තැන එච්චර වෙලා ලෙළදෙවමින් හිටපු වේවැල් රාජයා ගොඩයාගේ පිට හරහා කිහිප වාරයක් ස්පර්ශ කරගෙනම ගොඩයා පන්තියෙන් එලියට විසික් වෙනවා. ගොඩයට වෙන්න ගිය අලකලංචියට අනුව වෙච්චි අලකලංචිය දාහෙන් සම්පතයි කියමුකෝ. වැඩේ මාට්ටු නොවී වේවැල් පාරවල් කීපයක් කාගෙන පන්තියෙන් එලියට තල්ලු කරලා දානකොටම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ගොඩයා එතෙක් වෙලා කටේ හිරවෙලා තිබ්බ බටර් පාන් කෑල්ල ගලනාලය හරහා අමාශගත කරගන්න සමත් වෙනවා..

ඉංග්ලන්ඩ්... ඊ එන් ජී එල් ඒ එන් ඩී..

මොකක්..

ඉංග්ලන්ඩ්... ඊ එන් ජී එල් ඒ එන් ඩී..



තමුසෙලාට දෙකක් අනිනකල්ම උත්තර මතක් වෙන්නේ  නෑ.. වාඩි වෙනවා ගිහින්.. මුන්ව හදන්නනම් දෙකක් නොගහ හරියන්නෙම නෑ.

ගොඩයා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන ටීචර් දිහා බලාන ඉන්නවා. ටීචර් හිතන්නේ පිට හරහා දීපු වේවැල් පාරවල් කීපයට ගොඩයා ඇස් දෙක ලොකු කරන් බලාන ඉන්නවා කියලා වෙන්න ඇති . ඒත් ඒ, විකන්නෙත් නැතුව ගුඩුස් ගාලා ගිලපු බටර් පාන් ගුලිය ගල නාලය ඉරාගෙන පහලට යන අමාරුව නිසා වග දන්නේ ගොඩයා පමණයි. පාන් ගුලිය ගලනාලය ඉරාගෙන පහලට යන අමාරුව වේවැල් පාරවල් දෙතුන් සීයකටත් එහා කියලයි ගොඩයාගේ අනුමානය.

තරංග ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ගියා. අම්බලංගොඩයයි, බතලයයි, අපේ ගුවන් හමුදාවේ මිත්‍රයයි, තවත් එක මිත්‍රයෙකුයි ධර්මාශෝකයට ආවා. එදා හිටන් අද වෙනකම් තරංග ගැන කිසිම ආරංචියක් අම්බලන්ගොඩයට දැනගන්න ලැබුනේ නැහැ. 

බටර් පාන් ඉඳල හිටලා කෑම පෙට්ටියට වැටුනා උනාට ඒ කාලේ ගොඩයට ගෙදරින් වැඩිපුරම ලැබුනේ ධාන්‍ය වර්ග පමණයි. ධාන්‍ය වර්ග කොයිතරම් ලැබුනද කියනවනම් ඒ කාලේ දෙවානන්දේ කොල්ලෝ ගොඩයට කිව්වේ කවුපියා කියල. ඒ ඉතින් ගොඩයට වැඩිපුරම ගෙදරින් ලැබුනේ කවුපි හින්දත් කවුපි කියන වචනය ගොඩයාගේ නමේ කෑල්ලක් එක්ක යාන්තමට ගැලපෙන හින්දත් නිසයි. ඒ කාලේ ගොඩයා කොච්චර කවුපි කෑවද කියනවනම් අද වෙද්දීත් කවුපි කියන්නේ ගොඩයට දැක්කාම මල පනින කෑමක්. 

පින්තුරය ගත්තේ මෙතනින්
http://clipartix.com/

61 comments:

  1. පලමුව ස්ථානය වෙන් කර ගනු...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ප්‍රසන්න අයියාටම චෑන්ස් එක දෙන්න බැනෙ..මෙින්ඩයියෙ.....

      Delete
    2. අපේ ප්‍රසන්න මොකක් නමුත් වැදගත් වැඩක ඉන්න ඇති මයේ හිතේ.. නැත්තම් මෙහෙම වෙන්න විදිහක් නෑ...

      Delete
    3. පළමු කොමෙන්ටුව වෙනුවෙන් තරිඳුට මාගේ ප්‍රණාමය..

      Delete
  2. ඇත්තෙන්ම කියනවා නමි ඉංග්‍රීසි ගරැවරැ කියන්නේ මහා භයානක ජිවින් කෙටසක්.අපිත් ඉතින් දෙයියනේ කියලා සර් එනකෙට ජිවිතේ අනිත්‍ය මෙිනෙහි කරගෙන තමා උන්නෙ සරලව කිවිවෙත් සර් එන කොට ඇඩිනවා....

    ⁣ඔය හෙරෙන් කන වැ⁣ඩෙි නමි ලෙසට කරලා තියෙ.එකෙ ආතල් එක දන්නේ කරපු එවුන් ම තමා..

    වෙනදා වගෙ මයි.පෙස්ටුව සුපිරි අයියේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරිඳු... ඉංග්‍රීසි නොවුනත් සමහර ගුරුවරු කොහොමත් කොච්චි මිරිස් වගේ සැරයි තමයි තරිඳු.. එයාල නැත්තම් අපි විභාග වලට ගිහිං මොනවා ලියන්නද ඉතින්..

      Delete
    2. අනිවාර්යයෙන්ම අයියේ එ උත්තමයන්ට පින් සිද්ද වෙන්න ඔින..

      Delete
  3. හැමදාමත් වගේ පෝස්ටුව නන් නියමයි ..ඒත් මට තියෙන ප්‍රශ්නය තමා මොකද ගොඩයා හිටපු පන්ති වල මේ තරම්ම හොඳ ළමයි හිටියෙ කියලා..දේවානන්දේ ඔය F පන්තිය වගේමයි නේද ඔයා ධර්මාශෝකේ හිටපු G පන්තිය..අපොයි එපාම කරපු පන්තිය.....

    ReplyDelete
    Replies
    1. කිව්වම මොකද ඔය හොරෙන් කෑම කෑමේ කැමැත්ත ගැහැණු ළමයි උන අපි අතරත් ඒ කාලේ තිබුන නෙව..

      Delete
    2. එෆ් එකට එහා තමා ජී එක ඇත්තම කිව්වොත්.. දෙකේම හිටපු බහුතරයක් ඉස්කෝලේ ගහමරාගෙනම රණශුර පදක්කම දිනාගත්ත.. ගෑල්ලමයි ඉන්ටවල් එකට කලින් කෑම හොරෙන් කනවා කියල ඇහුවමයි මේ මම..

      Delete
    3. තාමත් නැද්ද අදහසක් උයා කව්ද කියල මාධ්‍යයට හෙළි කරන්න.. ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකට කේස් එක භාරදෙන්න වෙනවා ඔයා කව්ද කියල හොයාගන්න..

      Delete
    4. දක්ෂ එඩිතර විර කට්ට කෛරාටික තීක්ශන බුද්ධියෙන් යුතු කවුපි අය්යා වගේ රහස් පරීක්ෂකයෙකුටත් මාව හොයාගන්න බෑ කියන්නේ ඉතිං ඕක ස්කොට්ලන්ඩ් යාඩ් එකෙන් ආවත් බෑම තමා...

      Delete
    5. ඇයි බන් එතකොට G එක විතරද?උබලත් එක්ක ඔක්කොම අලුගෙත්තේරු වැඩ කරපු ආර්ට් ක්ලාස් එක අමතක උනාද?තොපේ එවුන්ට ගහනකොට පිහිටට ආවේ කලා පන්තියෙන් කියල අමතක කරන්න එපා.
      නෙතූ ඔවානම්...ඔච්චර ආඩම්බර වෙන්න එපා බොල කෙල්ලෙ

      Delete
  4. මට මතකයි අපිත් අර එබුවහම මියුසික් ප්ලේ වෙන පැන්සල් පෙට්ටි තියෙන කාලේ ඒකක් ඔබ ඔබ පන්තිය වටේ පාස් කළා. ටීචර්ට මාට්ටු වෙන්න කලින් වෙන තැනකට පාස් කරනවා. ආයෙත් දවසක උගන්නනකොට කොස් ඇටයක් පාස් කළා. ඒක නම් අහු උනා. හැබැයි ගෙනාවේ කවුද කියලා වත්, පටන්ගත්තේ කවුද කියලාවත් කොහොමටවත් දැනගන්න බැරි උනා. කොටින්ම අපි දන්නෙත් නැහැ!

    හැබෑටම මටත් ඔය ලෙඩේ තියෙනවා. ඒ කියන්නේ මේ යසට පාඩුවේ කන්න තියෙන දෙයක් උනත් හොරෙන්, මහා කරදරයක් මැද්දේ කන්න තියෙන ආසාව! ඒක මාරයි නේද?

    නියම පෝස්ට් එක. මටත් මතක් උනා මගේ මතකයන්.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ පංතියේ පිරිමි ළමයි හිටියේ නැහැ නේද... මොකද කියනවනම් ඔය පන්සල් පෙට්ටි වගේ එව්වා ඔහොම පාස් කරද්දී නසරානි කොල්ලෙක් අතට ගියොත් අයෙ හම්බෙන්න තියන චෑන්ස් එක බොහොම අඩුයි..

      මමනම් ඔය ඉන්ටවල් එක වෙනකම් බඩගින්න උහුලන්න බැරිතැන කෑවට සාමාන්‍ය වෙලාවට නම් කැමැත්ත නිදහසේ බඩ පැලෙන්න කන්න.. රැකියාව කරද්දී නම් එහෙම කන්න උත්සහ කරන්නේ නැහැ මොකද එහෙම කෑවොත් මට හිතෙන්නෙම රස්සාව නොකර පැයක් දෙකක් දොයියබබෙක් වෙන්න.. ඒ නිසා මගේ ප්‍රියතම ආහාර වේල තමා ඩිනර් එක.. අනික් වේල් දෙකම තිබ්බත් එකයි නැතත් එකයි.. ඒත් ඩිනර් එක නැතිවුනොත් රැට ඉකි ගැහිලා අඩේනවා කියමුකෝ..

      Delete
    2. නෑ අනේ.. මේක ගර්ල්ස් ස්කුල් එකක්නේ. ඒවායේ වෙන්නේ ඔය වගේ දේවල් තමයි.

      මට නම් රෑට බඩපැලෙන්න කනවා කියන්නේ නින්ද යන්නේ නැතුව ඉන්න වෙනවා කියන එක. එහෙමයි කියලා අතහරින්නේ නැහැ, හොඳට කාලා.... හොඳට ඉඳල... බඩ බැස්සහම නිදාගන්නවා!

      රස්සාවයි, කෑමයි මට එකිනෙකට විකර්ශකයි. වැඩ වැඩි නම් , කෑම ගැන කල්පනාවක් වත් නැහැ.

      ඔයාට වගේ ධාන්‍ය ජාති කන්න ගිහින් මටත් ඇබැද්දි වෙලා තියෙනවා.

      Delete
    3. අපෙ English Madam මතක් වුණා .අපෙ පිට මැද්දැවෙම තමයි වේවැල් රාජයා නවත්තන්නෙ.හම්මා තියෙන විස එතකොට .ගැනු පිරිමි බේදයක් නැ ඔලුව පහත් කරා නෙලුවා පිට මැද්දැවට .හොරා කලා අපෙ පේලියම දන ගැස්සුවා දවසක් වෙිවැල් පාර පිට හරි මැදට දිලා.

      Delete
  5. අඩේ , උඹලට ආහාර මුද්දරේ හම්බවුනේ නැතැයි? අපේ අක්කගෙයි මගෙයි ආහාර මුද්දරේ හම්බවුනහ අපේ අම්මා කොස්වත්ත සතොසට (දැන් ෆුඩ් සිටිය තියන තැන තමයි ඉස්සර සතොස තිබ්බේ) යනවා. ඒකෙන් සීනියි කිරිපිටියි තමයි ගන්නේ. මම නෙස්ටම් අරන් දෙන්න කිවුවට මලාට අරගන දෙන්නේ නෑ. පාන්පිටි කෑම ගෙනිච්ච දවසට කාර්ඩ් එකේ කොටුව කපන්නේ නෑ.

    ඔය හොරෙන් කන වැඩේටනම් මටත් තිබුනා හොඳ එක්ස්පීරියන්ස් එකක්.ඒ ඉන්ටර්වල් එකට කන්න හිටියොත් කටවල් දෙකකට වඩා කන්න බැරිවෙන නිසා , වටේ ඉන්න කපුටු රැල එක්ක.

    ReplyDelete
    Replies
    1. සමූපෙ මැනේජරය අඳුනන නිසා අපිනං ඔය මුද්දරේට දෙන්න නියම කරල තියෙන දේට සහමුලින් වෙනස් දේවල් තමයි ගන්නෙ.

      Delete
    2. අපේ ගැන්සියේ කිරි තමයි කොල්ලෝ ඔක්කම්ගේ මුද්දරේ එකතු කරගෙන ගිහින් කටාට දීලා ඒක ගල් බෝතලයකට පරිවර්තනය කරගෙන එන්නේ

      Delete
    3. ආහාර මුද්දරේ හම්බුනේ ඊට හුඟ කාලෙකට පස්සේ බන් කටුස්සෝ.. මේ කියන්නේ එක්දහස් නවසිය අසූ හත වගේ කාලේ.. ඒ වෙද්දී උඹ කලිසමේ තෙමාගන්න වයස මම හිතන්නේ..හෙහ්..

      Delete
    4. අපි ඒ කාලේ කෙලින්ම ආහාර මුද්දරේ කැන්ටිමේ මාමිට දීල කෑෂ් කරගන්නවා සියයට විස්සේ කොමිස් එකට..කැන්ටිමේ මාමි හොර අරක්කු විකුණන ගානයි ඔය ගනුදෙනුව සිද්දවෙන වෙලාවට.. මුද්දරේ ගත්ත.. සල්ලි දුන්න..ආහාර මුද්දරේ කෑෂ් කරන ගනුදෙනුවට තත්පරයක කාලයක් යන්නේ නැති තරම්..

      Delete
    5. ඈ බන් මෙන්ඩෝ.. උඹල බැලුවාම උක්කුං කාලේ හිටන් රහමෙර පානය කරලනේ..

      Delete
  6. Replies
    1. Thanks අදහස් අවකාශය..

      Delete
  7. ඉස්කොලෙන් දිවා අහාරේට කිරි බනිස් වලට පස්සේ සල්ලි දුන්නා. සල්ලිවලින් කොල්ලෝ සිගරට් බොනවා කියලා ඊට පස්සේ අහාර මුද්දරේ දුන්නානේ ඒ කාලේ අපිට ගෙදරින් බත් ගෙනල්ලා ටිචර්ට පෙන්නන්න ඔනේ. පිරියඩ් අස්සේ බත් කෑවේ කෑම පෙට්ටිය හොදට හොලවලා වෑංජන ඔක්කෝම එකට මිශ‍්‍රකරගෙන හැන්දෙන් කනවා. ඒක නම් මාර ආතල්. මට නම් ඔයවාගේ මාරදුතිකාවක් වගේ ටිචර්ලා නම් හමබවෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ කාලෙනම් සිගරට් බිව්වෙත් නෑ අරක්කු බිව්වෙත් නැහැ ඇත්තම කියනවනම්.. ඒ කාලේ පාසල් සිසුන් අද කාලේ තරම් ඒ වගේ දේවල් වලට එඩිතර නැහැ අසංග.. මොකද කියනවනම් ඒ වගේ දෙයක් කරලා අහුවුනොත් ආයේ නැවකට කන්න වෙනවා කියල දන්නවනේ.. කෑම පෙට්ටියේ තියෙන කාම පරීක්ශා කරපු කාලේ අපි මම හිතන්නේ හත අට වසරේ වෙන්න ඕන.. අපේ පන්තිභාර සර් ඒ කාලේ ට්‍රේනින් හිටියේ වෙන ගුරුවරියක් එක්ක.. සීනියර් ටීචර් පිටිපස්සේ වාඩිවෙලා ඉද්දි ජුනියර් ට්‍රේනී උගන්වනවා.. සර් කෑම පෙට්ටි පරීක්ෂා කරන්න කොල්ලොන්ගේ පුටු අතරින් අඩිය යද්දී වෙච්චි රස කතාවක් මතක්වුනා.. ඒත් එව්වා තියෙන්නේ ලියන්න බැරි කතා කොටසේ..

      Delete
  8. හොරෙන් කෑම ගැන කියනකොට අපේ දෙක වසරෙ වෙච්ච සිද්දි කීපයක් මගෙ මතකෙට එනව. වෙලාවක ලියන්නංකො. බොලෑ පන්තියෙ ඉඳල තියෙන්නෙ මාරයො ටිකක්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ලියහන්කෝ කසුනෝ අතදිගෑරලා.. අම්බලන්ගොඩයා හෝඩියේ හිටන් උසස්පෙළ වෙනකල්ම හිටපු හැම පන්තියකම හිටියේ මාරයෝ තමා කසුන්..

      Delete
  9. නියම කථාව කවුපියා. සොරි සොරි ගොඩයා

    ReplyDelete
    Replies
    1. කවුපියා... හෙහ්.. එහෙම හැඳින්වීම දාහෙන් සම්පතයි ඒ පන්තියේ හිටපු එවුන් මගේ මැද නම උච්චාරණය කරන්න විඳින දුක දැක්කාම..

      Delete
  10. පට්ට මිෂන් එකක්නෙ දීලා තියෙන්නෙ කෑම කන්න :)

    ReplyDelete
    Replies
    1. බඩගින්න ඔය හැම ගින්නකටම වඩා ලොකුයිනේ..

      Delete
  11. එළිපිටම නිදහසේ කනවට වඩා හොරෙන් කෑම රස වැඩියි කියන එක ලංකාවෙ ජානගත ලක්ෂණයක්ද කොහෙද.

    ඔය වගේ ටීචර්ල මට්ටු කරන එක අපේ පන්තියෙ හිටපු සෙට් එකටනං සුලු දෙයක්. එහෙම කරල සති ගනං සබ්ජෙක්ට් එකට ගුරුවරු නෑවිදිල්ල ‍හිටපු වෙලාවල් තිබුණ.

    ReplyDelete
    Replies
    1. පුරාන රජවරු හෝටල් ගානකින් ප්‍රසිද්දියේ කාපු ප්‍රෞඩ ඉතිහාසයක් තියන සිරි ලංකාවේ ඔය පොඩ්ඩක් හොරා කෑවම මක් වෙනවද බං..

      Delete
  12. :) :) මටත් ඔන්න මතක් වෙනවා මගේ කතා... දිගටම ලියන්න අයියේ

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියමුකෝ අපිටත් කියවන්න..

      Delete
    2. ලියන්නම් අයියේ :)

      Delete
  13. අපේ පොඩි පන්ති වල හිටියා දෙයියා කියලා එකෙක් ඌ ට ටීචර්ලා කොචර කිව්වත් පංතියේ උගන්නන කොට කන එක නවත්තන්න බැරි උනා අන්තිමට ඌ ට අවසර දුන්නා ..
    ඉස්කෝලේ අරෙනකන් ඌ පාන් රාත්තලක් බැග් එකකට අත දාදා කනවා ..
    (අපිත් හොරෙන් කැල්ලක් ඉල්ලා ගන්නවා ) (උගේ ඇගෙන් ඇටයක් ගන්න එක ඊට වඩා ලේසි )

    ReplyDelete
    Replies
    1. බොලාගේ ඔය කියන එකාට දෙයියා කියන නම හින්ද වෙන්නැති එහෙම වරප්‍රසාදයක් හිමිවුණේ.. දෙයියන්ට ඉතින් ප්‍රමුකත්වය දෙන්න එපයි මෙන්ඩෝ..

      Delete
    2. උගේ නමේ අගට හරි මුලට හරි "පාන් " කියන වචනේ දැම්මේ නැතෙයි??? දැන් කෝ දෙයියා ඉතින්.. ඌ තාමත් රස්සාව කරන තැනත් ඔහොම කනවා ඇති නේද..

      Delete
  14. හිනා ආවා යසට...
    පට්ට වැඩ තමයි...
    ඒ කාලය මතක් වුණා මටත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග..

      Delete
  15. සියලු දෙනාටම පාසල් කාලය සුන්දර මතක සටහන් තිබෙන කාලයක්. හොරෙන් කෑම නොකරන ළමයෙක් නැති තරම් ඉතා හොඳ ප්‍රයත්නයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට..

      Delete
  16. මද්ද නම් ෙපාඩි කාලෙන් පස්සෙenglih පංතියේ හිටපු දවසක් මතකෙට එන්නෙමනෑ

    ReplyDelete
    Replies
    1. අපිත් උසස්පෙළ කරපු කාලේ ඉංග්‍රීසි ටීචර් පංතියට ආවාම පිරිමි ළමයි ඔක්කොම වගේ පන්තියෙන් එලියට යනවා.. අපේ බඩ තඩියා විතරක් ඉංග්‍රීසි පීරියඩ් එකේ පන්තියේ හිටිය වෙන්ඩ වයිෆ්ට තියන බය නිසා..

      Delete
  17. අතිශයින්ම හිලෑරියස්යැ!

    උඹලෑ ඉංග්‍රීසි ගුරුවරීගැන කියෙව්වාම මට හරි කේන්තියි බං. කිසිම මනුස්සකමක් නැති, ළමයින්ට කතා කරන්න දන්නෙ නැති ඔය වගෙ උන් මොකට ගුරුවරු වුනාද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ගුරුවරුන්ට දොස්කියල වැඩක් නැහැ බන්.. ඒ ගුරුවරු එහෙම නොවුනානම් දඩබ්බර කොල්ලෝ හතලිස් පහක් ආම්බාන් කරන්න අමාරුයි කියලයි මගේ අදහස..

      Delete
  18. මෙහෙමත් මීෂන් දෙයි හමුදුරුවනේ

    ReplyDelete
    Replies
    1. උඹලගේ පුංචි කාලේට වඩා වෙනස් නෙහ්..

      Delete
  19. නියම කතාව. හිනා වුණා ඇති වෙන්න. ස්තූතියි ඒකට.
    //එකෙක් නැවකට කාලා ඇවිත් බෙහෙත් දාන්න කතුර හොයනකොට තමා ඉදිරිපෙළ සටන් කරුවන් තමුන්ගේ සාක්කුවේ ගන්ගගෙන ඉන්න කතුරු පොඩ්ඩ සාක්කුවෙන් එලියට අදින්නේ.// නැව් ගුටි කියන්නේ ප්ලේන් ගුටිත් තියනවද ?

    ReplyDelete
    Replies
    1. නැව් ගුටි කාපු එකෙකුට ප්ලේන් ගුටි දැනෙන එකක් නැහැ අජිත් අය්යේ.. හෙහ්..

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. හපොයි...හිනා වෙලා පන ගියා...මටත් ඔයවගේම අලකලංචියක් උනා හොරෙන් කන්න ගිහින්..ඒත් වාසනාවකට ගුටි නොකා නම් බේරුනා..ගොඩක් ස්තුතියි මාව ආපහු පාසල් කාලෙට එක්කගෙන ගියාට..

    ReplyDelete