Wednesday, August 23, 2017

සුදු හංසියේ මිහිරාවියේ...







මේ ලියන්න යන සිද්දියට පාදක වෙච්චි කාල වකවානුවේ අම්බලංගොඩයා රාජකාරි කරේ කතරගම පුරවරයේ. ගොඩයා සඳුදා අලුයම දෙකට අම්බලන්ගොඩ පහුකරන් යන සීටීබී බසයෙන් කතරගම බලා පිටත් වෙලා නැවත ගමරට බලා පැමිණෙන්නේ සිකුරාදා රාත්‍රියේ තමයි. ඔය කියන බස් ගමනාගමනය ගැන කලින් ලියපු බස් කතාබස් පෝස්ටුවේ වැඩිමනක් ලියවුනාට බස් ගමනාගමනය ගැන ගොඩයාගේ මතකයේ තියන කතන්දර බොහොමයි. කතරගම කොළඹ බස් සේවාවේ පුද්ගලික බස් වල මගීන්ට දෙන සැප වැඩි නිසා ගොඩයා රාත්‍රී ගමනට සීටීබී බසයම තෝරාගන්නේ සීටීබී බසයේ සැප පුද්ගලික බසයට වඩා දිව්‍යලෝක සැප ගෙනදෙන්නක් නිසා. දැන් කතරගම කොළඹ බස් ගමනාගමනය ගැන නොදන්නා උදවිය හිතන්න පුළුවනි ඒසී බස් එකක යන්නේ නැතුව සීටීබී බස් එකක යන්න මූ හෙන කුණු ලෝභ පොරක් කියල. ඒත් ඒක එහෙම නොවෙන්නේ කතරගම කොළඹ ඒසී බස් දුවන්නේ නැති නිසා. මීට අවුරුදු දොළහකට දහතුනකට කලින් නම් ඒසී බස් දිව්වා උනාට දෙදහස් පහ වෙද්දීත් කතරගම කොළඹ ඒසී බස් කරුමාන්තය අර්ධ සුඛෝපභෝගී බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒකට එක හේතුවක් වුනේ කතරගම කොළඹ ඒසී බස් ගාස්තුව සාපේක්ෂව ඉහල අගයක් ගැනීම නිසා මගීන් ඒසී බස් භාවිතය අවම කිරීම නිසා ඒසී බස් වලට ආදායම පහල යාම. දෙවැනි හෙතුවවුනේ ලංකාවේ තියන ඒසී බස් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේටත් කලින් නිෂ්පාදනය කරපු පරණම පරණ හුඹස් නිසා කොළඹ සිට කතරගම දක්වා දුරක් ඒසී දාගෙන යන්න තරම් ඒ බස්වල සෞක්‍ය තත්වය යහපත් නොවීම. ඒ හේතු දෙකටම පින්සිද්දවෙන්න දෙදහස් පහ වෙද්දීත් කතරගම කොළඹ ඒසී බස් කරුමාන්තයට කණකොකා හඬලා හමාරයි. ඒ කියන්නේ ගොඩයා කතරගමට ස්ථානමාරුවීම අරන් යද්දී ගොඩයාට තිබ්බ විකල්පය වුනේ කොළඹින් එක සාමාන්‍ය බසයක ගමන් පහසුව සලසාගැනීම පමණයි.

ටික දවසක් මාතරට ඒසී බස් රථයක ගිහින් මාතරින් කතරගම බසයකට ගොඩවීම අත්හදා බැලුවත් මහා රෑ දෙකට තුනට මාතර ටෙලිකොම් ගේට්ටුව ගාවට වෙලා කොළඹින් කතරගම එකක් එනකම් මදුරුවෝ තලන එක තේරුමක් නැහැ කියන එක ගොඩයා තේරුම් ගත්ත. කොළඹින් එන පුද්ගලික බස් රථයක එල්ලෙනවාට වඩා සීටීබී එක එනකම් සිටීමේ වාසි කිහිපයක් ගොඩයාට තිබ්බ කියමුකෝ. පුද්ගලික බස් රථයක වාඩිවෙලා කතරගම යනවා කියන්නේ අම්බලන්ගොඩ ඉඳන් කතරගමට යනකල් අකමැත්තෙන් වුනත් රියදුරා විසින් ක්‍රියාත්මක කරන කැසට් යන්ත්‍රයේ කන් දෙක විදගෙන යන තරමේ  සිලි සිලි නාදය පැය හතරක් හෝ පහකට ආසන්න කාලයක් පුරා විඳගන්න ඕන. පුද්ගලික බසයේ තියෙන්නේ තුනේ දෙකේ ආසන නිසා අම්බලන්ගොඩින් ලැබෙන ආසනය බොහෝදුරට තුනේ ආසනයේ එළියේ කෙලවර. ඒ ආසනයේ පැය හතරක් වාඩිවී සිටීම යනු ආසනයේ එල්ලී ඉන්නවා වගේ වැඩක්. මොකද කියනවානම් බස් රථය දකුණට වංගුවක් ගන්නා සෑම අවස්ථාවකම ගොඩයා ඇතුළු තුනේ ආසනයේ කෙලවරේ ඉන්නා පිංවතුන් වම් කකුලෙන් හොඳ ගැම්මක් අරගෙන ආසනයෙන් බිමට පතබෑවීම වලක්වාගතයුතුයි. එසේ නොකළහොත් අනිවා පස්චාත් භාගය බිම ඇනෙනවා අනෙනවාමයි. ආන්න ඒ බස් රථය දකුණට වංගුවක් ගන්නා සෑම සියලු අවස්ථා වලදීම ගොඩයාට සිහිවෙනවා ලේලන්ඩ් බස් එකේ තුනේ දෙකේ ආසන හදපු එකාගේ සහ එව්වා ලංකාවේ පාරවල් වල දුවන්න දීපු එවුන්ගේ මවුවරුන්ව. සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ගෙවලා සාමාන්‍ය ගාස්තුවට දුවන බස් රථයකම යනවාට වඩා දාහක් අලකලංචි ඔය කියන බස්වල තියෙනවා කිව්වොත් තමයි හරි. කොන්දාස්තර ළමයාට විසිතිස් වාරයක් කියලත් කැසට් රේඩියෝවේ සද්දේ අඩු නොකරපු වතාවක දෙකක කොන්දොස්තරයා එහා මෙහා වෙනකම් ඉඳලා පිටිපස්සේ බෆල් පෙට්ටියට ශබ්දය ගෙනියන වයර් දෙකෙන් එකක් හීන්සීරුවට කඩා දැමීම වගේ හීන් නූල් අලුගුත්තේරු වැඩත් ගොඩයා නොකරේම නැහැ. එව්වා ඉතින් හොඳින් වටපිට බලලා අහවර වෙලා හැමදෙනාම සුවසේ නිදිසුව වඳිනවාය යන්න තහවුරු කරගෙන  සිංදුවක් ඉවර වෙලා අනික් සින්දුව පටන්ගන්න නිහඬ තත්පර කීපයේදී සීරුවට, ක්ෂණිකව, සැක නොසිතෙන ආකාරයෙන් කරන්න ඕන වැඩ ආයුබෝවන්ඩ. 


එහෙම විකල්පයක පිහිට පතන්න අවස්තාවක් උදා උනොත් එහෙම මේක තමා ගුරුමුෂ්ටි රහිත ක්‍රියා පිළිවෙල. පළමුව තමුන් වාඩිවී සිටිනා ආසනයට ඉහලින් තිබෙනා ගමන්මලු රඳවනයේ ඇලුමිනියම් බට අතරින් දිවයන බෆල් වයරය හඳුනාගත යුතුයි. සිංදුවක් වාදනය වෙන අතරේ පරණ සීටීබී බසයක සීනුව හඬවන ආකාරයෙන් බෆල් වයරය ඇද දැම්මොත් ඊට සමාන්තරව ශබ්දයේ අඩුවීම පැහැදිලිවම දැනෙනා නිසා ඔය ශබ්දයත් එක්කම කන් සුසර කරගෙන නින්දට ගිය එවුන් කලබල වෙලා ඇහැරෙනවා සංගීත නාදය එකවරම අඩු වෙන නිසා. ඒ එක්කම ඒ බව රියදුරාට සහ කොන්දොස්තර තැනටත් ඇලර්ට් වෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි අගයක්. ඒ කියන්නේ ගුටි කෑමේ සම්භාවිතාවය ඉතාමත් ඉහල අගයක්. ඒ සියල්ලටම විකල්පමය සහ ආරක්ෂාකාරීමය විසඳුමක් වශයෙන් තමා අජිත් මුතුකුමාරණගේ හෝ බස්වල වාදනය වෙන ගීතයක් අහවර වෙලා ඊළඟ ගීතය පටන් ගන්න යෙදෙන නිහඬ සුභ මොහොතින් බෆල් වයරය සියලු වෙර යොදා පහලට ඇද දැමීම කලයුත්තේ.  පරණ සීටීබී බස් වල බෙල් ගහල පුරුදු උදවියට ඔව්ව සුළු දේවල්. වයරය ඇද දැමු වහා කිසිවක් නොවුනා හා නොදන්නා ආකාරයෙන්  මම බබා මචංලා මම හෙන  තද නින්දේ ඉන්නේ ආකාරයෙන් පසුවීමට, රඟපෑමේ කුසලතාවයකින්ද යුක්තවිය යුතුයි. හදිසියෙවත් ඇස් හැර බලන්නේ නම් මේ දැන් ඇහැරුනේ දැන් කොහෙද අප්පා යන ආකාරයෙන් අහල පහල ඉන්න එවුන්ට දැනෙනා පරිදි ජනේලයෙන් එල් පහලිය බැලීමට හැකියාවකින් යුක්තවිය යුතුයි. සියල්ල සාමාකමී අයුරින් විසඳි ඇති වග තහවුරු කරගැනීමෙන් අනතුරුව වයරය කැඩී තිබෙනේ කොතනින්දෝ කියාද හොර බැල්මකින් තහවුරු කරගෙන ඉන්පසු සුවසේ නින්දට යායුතුයි. ඔන්න මෙතන මේක කියවලා  ගිහිං බෆල් වයර් කඩලා කොන්දොස්තරගෙන් ඉල්ලන් කාල මෙතන නාහෙන් අඬන්න තියාගන්නවා එහෙම නෙවෙයි. 

සීටීබී බස් එකේ ගමන ඒ එක කරදරයක්වත් නැතුව සාමාන්‍ය ගාස්තුවට කෙරෙන්නක් නිසා ගොඩයා අවසානයේ සීටීබී එකේ නිත්‍ය සාමාජිකයෙක් වුනා. ඒත් ඒ යද්දී විතරයි. සිකුරාදාට එද්දී ඉතින් ලේලන්ඩ් දසවදේ වින්දින්නම ඕන. ගොඩයා විකල්ප හොයන්න දක්ෂයා නිසා ගොඩයා ඒකටත් හොයාගත්ත විකල්පයක්. ඒ තමා සිකුරාදා රාත්‍රියට කතරගමින් කොළඹ බලා එන සීගිරි එක්ස්ප්‍රස් ටාටා බස්රථය. ටාටා බස් රථය ලේලන්ඩ් බස් රථයට වඩා සෑහෙන සැප පහසුයි කිව්වොත් තමයි හරි. ඒකට ප්‍රධානම හේතු දෙක වෙන්නේ ලේලන්ඩ් බස්රථයේ සයිලන්සරයෙන් නැගෙනා අලි පිඹිනා ගොශාව ටාටාවේ නොමැති වීමත් ටාටාවේ ආසනය ලේලන්ඩ් බසයේ ආසනයට වඩා සැප පහසු වීමත්. රියදුරන්ගේ කොන්දොස්තර වරුන්ගේ හිටන්ම ටාටාවේ ගමනාගමනය ලේලන්ඩ් බසයට වඩා විනයගරුක භාවයක් තිබුනා කියලයි අමබලන්ගොඩයාගේ අදහස. 

කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් බස් අටෝරාසියකින් ටාටා බස් තිබ්බේ බොහොම කීපයයි. එයින් එකක් තමා සීගිරි මුදලාලිගේ සීගිරි එක්ස්ප්‍රස්. ඒ කාලේ මතක විදිහට සීගිරි මුදලාලිගේ ඔය කියන ටාටා බස් එක කතරගමින් පිටත්වුනේ රාතී දහයට හෝ එකොළහට වගේ තමා මතක. ඕන් දවසක්දා සිකුරාදාවක රාත්‍රියේ ගොඩයා ගමරට බලා යන්ට හිතාගෙන සීගිරි එක්ස්ප්‍රස් පිටත් වෙන වෙලාව අල්ලලා ගෝල තැන ලව්වා කතරගම බස් නැවතුමට මොටෝවෙන් ගෙනැත් බස්සගත්තා කියමුකෝ. ඔය කියන මොටෝව තමා මනින්නා පෝස්ටුවේ අවසන් ගමන් ගිය මොටෝව. මෙන්න යකඩෝ  කොළඹ බෝර්ඩ් එක දාල අජිත් මුතුකුමාරණගේ සින්දුවක් එහෙමත් සද්දෙට සිලි සිලියට වාදනය වෙන ලේලන්ඩ් රාජයෙක් කොළඹ යන්ට ලක ලැහැස්තිය. ඒ කියන්නේ සීගිරි එක්ස්ප්‍රස් කොළඹ යන වෙලාවට එදා කොළඹ යන්නේ වෙන බස් එකක්. ඒක දැකපු ගොඩයාගේ ඔලුව ටිකාක් විතර අවුල්වුනා. වෙනදට යන සීගිරි ටාටාව නැති නිසාත් වෙන කරන්නම දෙයක් නැති නිසාත් ගොඩයා ලේලන්ඩ් බසයට ගොඩවෙලා ගෝල තැනට සමු දෙනවා නැවත සඳුදාට හමුවෙන බලාපොරොත්තුවෙන්. 

ලේලන්ඩ් එක ඇතුලේ  හඳුන්කූරු කීයක්නම් පත්තු කරලාද කියනවානම් හඳුකුරු දුමට එහා සීට් එකේ ඉන්න එකාගේ මූන පෙන්නේ නැති තරමයි. කෙටියෙන් කියනවනම් නුවර එලිය පැත්තේ මී දුම බාලා හා සමානයි. වයිවාරන  පාට වලින් පත්තු වෙන විදුලි බුබුළු වලින් මවන ආලෝකයත් හඳුන්කුරු සුවඳත් ඒකාබද්ධ වෙලා මවන වටපිටාව එක්ක මගීන්ට දැනෙන්නෙම බස් රථයක් ඇතුලේ ඉන්නවට වඩා කතරගම දේවාලේ ඇතුලේ ඉන්නවා හා සමාන හැඟීමක්. ඔන්න බස් රාජයා කොළඹ යන්න පිටත් වෙන්න සුදානම කියමුකෝ. රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා හිතාගෙනාදෝ රියදුරු තැන සුක්කානම වට කීපයක් අතගාලා උම්ම එකක් එහෙමත් දීල ඕන් ලේලන්ඩ් රාජයා පනගන්වුවා. ඊළඟට ඉතින්  ජර බරාන්.. ජර බරාන් .. සද්දෙට විනාඩි කිහිපයක් මහා සද්දෙන් රේස් කරගෙන සිටීම තමා සාමාන්‍ය ස්භාවය. බස්වල තියෙන බ්‍රේක් පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්න ඔය කියන රේස් කිරිල්ල අනිවාර්යෙන් කරන්නම ඕන වුනත් සද්දේ තමා අවුල. ඔය කියන සද්දෙට කතරගම අවට වැඩ වාසය කරනා දෙවි දේවතාවරුන්ගේ නින්ද පැයකට වතාවක් කැඩෙන නිසා දවල් දවසේ නිදිමතේ දෙවි දේවතාවරු   බැතිමතුන්ගේ කන්නලවු වලට කොහොම ඇහුම්කන් දෙන්නද කියන එක ගොඩයාට හෙන ප්‍රශ්නයක්. ඕන් රියදුරු තැන ඇන්ජිම එහෙමත් ටිකක් රේස් කොරලා අකමැත්තෙන් ක්ලච් එක පාගලා දැම්ම කියමුකෝ පලවෙනි ගියර් එකට. ඔය ලේලන්ඩ් යන්තරේ රියදුරාලා ක්ලච් එක පාගලා දමන එකම සහ අවසන් ගියරය පලවෙනි ගියරය පමණක් නිසා ඒ පලවෙනි ගියරයටත් ඔය උන්දෑලා ක්ලච් එක පාන්නේ භාගෙට. ආන් එතකොට තමා ගියර් පොල්ල   බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්දක්හ් සද්දෙකුත් දාගෙන පලවෙනි ගියර් එකට වැටෙන්නේ. ආන් එතකොට ලේලන්ඩ් රාජයා මදක් ඉදිරියට තල්ලු වී නවතිනවා රියදුරු තැන විසින් ක්ලච් රාජයා මුදාහරිනකල් ඉදිරියට  යාමේ සුදානම සහිතව. එතනින් එහා ඉතින් ක්ලච් එක යනු ගියර් මාරු කිරීමේදී යුතුකමට වගේ කකුල තියන භාණ්ඩයක් මිස අත්‍යවශ්‍ය උපාංගයක් නොවෙයි ඔය උන්දැලාට. පරණ සීටීබී ඩයිබර්ලා නම් ඔය කියන ක්ලච් එක පාන්නේ කාලට හෝ කාල් භාගෙට. එව්වයේ ඩයිබර්ලාට තියෙන පලවෙනි ප්‍රශ්නය තමා ක්ලච් එක පාගන්න කලින් ගියර් පොල්ල සොයා ගැනීම. මොකද එව්වයේ ගියර් පොල්ල තියෙන්නේ රියදුරු ආසනයට පස්සෙන් උඩට ඇවිත් ඉස්සරහට නැවීලා නිසා ඒ ගියර් පොල්ල කොයි වෙලාවෙත් ඉන්නේ දෙපැත්තට ඔලුව වන වනා බෑ බෑ කියනා ආකාරයෙන්. එව්වා පලවෙනි ගියරයට වැටෙද්දී ගියර් පෙට්ටියෙන් ඇහෙන්නේ යකඩ පෙරලෙන සල බලං සද්දයක්. හරියට අලවංගු දෙකක්  තුනක් එකට ගහනවා වගේ සද්දයක්. දැන් ඉතින් අලවංගු කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උදවිය මූන බෙරිකරගන්න ඕන නෑ ... සිංහල ශබ්ද කෝෂ හොයන්න ඕන නෑ .. අලවංගුව කියන්නේ ඒ ඒ පලාත්වල "යකඩ ඉන්න " , " ගල් ඉන්න " කියල හඳුන්වන මෙවුව එකට තමා.. 

ඔන්න ලේලන්ඩ් රාජයා කතරගම බස් නැවතුමෙන් පාර දාන්න හෙමි හෙමිහිට අද්දනවා කියමුකෝ. ඔන්න ඒ අතරේ ඊළඟට කොළඹ යන බස් යන්තරේ කොළඹ යන බස් නවත්තන සියඹලා ගහ යටට සැපත් වෙනවා හෙමි හෙමිහිට. ඔය කියන බස් සියල්ලකටම පොදු කාරණය තමා රථ ගාලෙන් පිටත් වෙලා මහ පාරට දාලත් විනාඩි කීපයක් යම්දෝ නොයම්දෝ ගානට ඉස්සරහට පස්සට පද්ද පද්දා තියාගෙන සිටීම සහ ඊට සමගාමීව කොන්දොස්තර තැන විසින් " කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ.. යන්න හදන්නේ...කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ.." කියලා බෙරිහන් දීම. ඒ අස්සේ රියදුරු තැනත් අලි එලවන නලාව කීප වාරයක් ශබ්ද කරවලා බස්රථය වෙත සැමගේම අවධානය ලබාගන්නවා. ඔන්න ඔය අතරේ ගොඩයා ජනේලයෙන් අමාරුවෙන් ඔලුව දාලා බලනවා ඊළඟට කොළඹ යන්නේ කුමන බස් රථයද කියන කුතුහලය හතේ තියන නිසා. මෙන්න බොලේ සීගිරි මුදලාලිගේ සීගිරි එකස්ප්‍රස් සියඹලා ගහ යට. ඔන්න ගොඩයාට උන්හිටිතැන් අමතක වෙන වෙලාව. පැය හතරක් ලේලන්ඩ් කරච්චලේ විඳිනවට වඩා පැයක් පරක්කු වෙලා හරි කනක් ඇහිලා ගෙදර යන්න චෑන්ස් එකක් පෙනි පෙනී ඒ චෑන්ස් එක අතාරින එක මෝඩකමක් කියල සෙනිකවම ගොඩයාගේ අක්මාවට වටහෙනවා. ඔන්න ඒ ගමන ගොඩයා දනි පනි ගාගෙන ආසනයෙන් නැගිටලා ලේලන්ඩ් රාජයාගේ පස්සා දොරෙන් බිමට පැනගන්නවා බස් රථය සැර දමා ඉගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දී. බස් රථයෙන් බැසගත්තු ගොඩයා කෙලින්ම දුවන්නේ සීගිරි එක්ස්ප්‍රස් වෙත. ඔන්න ගොඩයා ජයග්‍රාහී ලෙස සීගිරි එක්ස්ප්‍රස් ටාටාවේ මැදට වෙන්න තියන වම් පැත්තේ ආසනයක හරිබරි ගැහෙනවා ලෝක මරාලෙකින් බේරුනා නේදෝ කියන ජයග්‍රාහී සිතිවිල්ලත් එක්කම. 


සීගිරි එක්ස්ප්‍රස් බොහොම විනීතයි, හැදියාවකින් යුක්තයි, කන් විදගෙන යන සයිලන්සර් ශබ්දයෙන් තොරයි, දෙකන් පූට්ටු වෙන සිලි සිලි ශබ්දය පමණක් ඇසෙන කැසට් ශබ්දයෙන් තොරයි, අලි එලවන නලාවකින් තොරයි,  ආසනය ලිස්සන සුළු නොවෙයි, නින්දට භාධා රහිතයි, හැබැයි එකම එක ප්‍රශ්නයක් සහිතයි.. ඒ ප්‍රශ්නය නම් සීගිරි එක්ස්ප්‍රස් වයසයි.. ලංකාවේ පලවෙනි වතාවට සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාරගේ පලවෙනි කැසට් පටය වෙච්චි සහ ඊට ඉස්සරින්දා වෙළඳපොළට නිකුත් වෙච්චි  "සුදු හංසියේ " කැසට් පටය බොහොම කන්කළු නාදයෙන් බසය පුරා සංගීතවත් වෙනවා. ගොඩයා බොහොම ආසාවෙන් අහන්න බලාන හිටපු  " සුදු හංසියේ " සිංදු ටිකත් පලවෙනි වතාවට අහගෙන ඉන්න ගමන් ගොඩයා ටාටාවේ ආසනයේ සුවය වින්දනය කරගෙන  බොහොම නිවිච්ච හිතකින්  වාඩිගෙන ඉන්නවා. ඔන්න පැයකින් ටාටාව පිටත්වුනා කියමුකෝ. කිසීම ප්‍රශ්නයක් නැහැ සියලු සැප ඒ හා සමානයි. රෑට කතරගමින් කොළඹ පිටත්වෙන බස් රථ තිස්සමහාරාමයේ රෑ කඩය ළඟ පැය භාගයක් නවත්වාගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඔන්න ඔය කියන රෑ කඩයේ තමා මනින්නා පෝස්ටුවේ උන්නු මනින්නාට කොත්තුවක් කන්න සලස්වලා ගොඩයා පැට්‍රොල් හොයන්න යන්නේ. ගොඩයා ආසනයේ ආශ්වාදය විඳගෙන අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ අහනවා සියලු වින්දනයන් අඩුත් නැතිව වැඩිත් නැතිව බසයේ ගොඩවූ වෙලාවේ හා සමානවමයි. කෙටියෙන් කියනවනම් ලේලන්ඩ් මරාලෙන් බේරිලා ටාටාවේ ගොඩ වීමට ලැබීමත් ඊට අතුරුපලයක් වශයෙන් ඊට පෙරදා වෙළඳපොළට නිකුත් වූ "සුදු හංසියේ " කැසට් පටයේ ගීත ටික විඳගන්නට ලැබීමත් සමගම ගොඩයාගේ හිතේ ඇතිවෙන ඩබල් බෝනස් සිතිවිල්ල කොයිතරම්ද කියනවානම් අම්බලන්ගොඩින් නොබැහ කොළඹ යන්නට තරම් හිතේ සන්තෘප්තිය උපරිමයි. ඒත්  ඉතින් යන්නේ අම්බලන්ගොඩට නිසාත්, අම්බලන්ගොඩ පහුකරන් කොළඹ යාම මන්දබුද්ධික වැඩක් නිසාත්, ටිකට් අරං තියෙන්නේ අම්බලන්ගොඩට නිසාත්, ගෙවල් තියෙන්නේ අම්බලන්ගොඩ නිසාත්, අම්බලන්ගොඩින් බැසගැනීම අනිවාර්ය වෙන්නේ එහෙම කොළඹ ගියොත් ආයේ අම්බලන්ගොඩට ඇරලවන්න අජිත් බණ්ඩාරවත්, සීගිරි මුදලාලිවත් ඉදිරිපත් වෙන්නේ නැති වග ගොඩයා දන්නා නිසා. 

ඔන්න සීගිරි එක්ස්ප්‍රස් තිස්සමහාරාමෙන් පිටත් වුනා කියමුකෝ. වැඩම උනොත් එතන හිටන් විනාඩි තිහක් ඉදිරියට ධාවනයවුනු සීගිරි එක්ස්ප්‍රස් මෙන්න බොලේ ඝන මුකලානක් මැද්දේ එකපාරටම ලැයිට් ගියා කියමුකෝ. දැන් කොහොමෙයි හත්තිලව්වේ ලැයිට් නැතුව මේ මහා රෑ කොළඹ යන්නේ. ඩයිබර් උන්නැහේ සහ  කොන්දොස්තර සුසංයෝගය විසින් දන්නා කියන සෙල්ලං  සියල්ලම දාලා අහවර වෙලා අනතුරුව  ඒ සුභ ආරංචිය මගීන් වෙත දැනුම් දෙනවා. ඒ ආරංචියට අනුව හදිසියේ විදුලි බලය ඇනහිටීම නිසා සීගිරි එක්ස්ප්‍රස් කොළඹ යන්නේ නැහැලු. ඒ කියන්නේ මගීන් සියල්ල අනාත සාගරේලු. ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබ්බේ නැති නිසා ඊළඟ බස් එක එනකල් බුකිය පැත්තේ රවුමක් ගහන්නත් විදිහකුත් නෑ. රෑට නින්ද යන්නේ නැති එකෙක් එක්ක මැසෙන්ජර් චැටක් දාන්න විදියකුත් නෑ. මුකලානක් මැද්දේ ලැයිට් කපපු සීගිරි එක්ස්ප්‍රස් පාර අයිනේ කළුවරේ අලියෙක් තිබ්බා හා සමානයි. කට්ට කළුවරේ තරු එළියෙන් යාන්තමට එකිනෙකා පෙනෙන මිනිස්සු තිහක් හතළිහක් ගොළුවන් සේ ඈත ක්ෂිතිජය දිහෑ බලාන ඉන්නවා ඊළඟට කතරගමින් කොළඹ යන අභිමානී ටුවර්ස් ක්‍ෂිතිජයෙන් මතුවෙනකල්. ඩයිබර් පාර අයිනේ ඇන තියාන මිනිස්සුන්ගෙන් කුණු කතා දාහක් අහගෙන වාඩිවෙලා ඉන්න අතරේ කොන්දොස්තර මගීන්ගෙන් කුණු කතා අටෝරාසියක් අහගෙන ටිකට් වල සල්ලි බේරනවා.  නොකියා වන් වන් සීරෝ ෆෝන් තියන උන්දැලා විඩින් විඩේ උන්ගේ ෆෝන් ටෝච් එක ගහලා අවට ආලෝකමත් කරනවා අපිට ලැයිට් තියනවා කියන්න වගේ. ඔන්න එහෙම පැයක් හමාරක් සහයෝගෙන් මදුරුවෝ තලද්දී අභිමානී ටුවර්ස් ලේලන්ඩ් යන්තරය ඇවිත් නවත්වනවා අලි එලවන නලාව හඬවාගෙනම. එතැන් පටන් ගමන බොහොම අභිමානයෙන් මොකද කියනවනම් බස් රථයේ නම " අභිමානී" නිසා. එත් කියන්න ලැජ්ජයි ගොඩයා සාගත මල්ල එල්ලගෙන ඇලුමිනියම් පොල්ලක එල්ලිලා හිටගෙන. ආන්න එව්වට තමා කියන්නේ දෙන දෙයියෝ පස්සෙන් එලෝලා ඇවිත් බඩ පුරා දෙනවා කියලා. එතැන් පටන් සියලු ලේලන්ඩ්  වද  වේදනා විඳගෙන ගොඩයා කරපු මෝඩකමේ ආනිසංස තමුන් වෙතම අනුමෝදන් කරගන්න ගමන් ලේලන්ඩ් පොල්ලේ එල්ලීගෙන හිතේ අමාරුව සමනය කරගන්න උත්සහ කරනවා. කහවේ හංදියෙන් මගියෙක් බැසීම නිමිතිකොටගෙන ගොඩයා වෙත අසුන් ගැනීමේ වාසනාව පෑදුනත් ගොඩයා එය ප්‍රතික්ෂේප කරන්නේ තව නොබෝ වෙලාවකින් හෙවත් විනාඩි දහයක් වගේ කාලයකින් අම්බලන්ගොඩ බස් නැවතුමෙන් බසයෙන් බැසගන්න පුළුවන් නිසා. ඒත් ගොඩයාගේ අවාසනාව එතනින් ඉවර නැහැ කියල ගොඩයාට දැනෙන්නේ අම්බලන්ගොඩ පෙනි පෙනී මාදම්පාගම ඉශාන් හෝටලෙන් තේ බොන්න අභිමානී රියදුරා තීරණය කරන නිසා. බසයේ ඉන්න මගීන් බොහොමයක් තේ බොන්න බැස  යන නිසා ගොඩයා හිස් වෙච්චි ආසනේක වාඩි ගන්නවා තවත් විනාඩි පහළොවක් හිටගෙන ඉඳීම තේරුමක් නැති නිසා. 

දෙයියෝ  දීලා දීලා අහවර වෙලා ඒත් ඉවර නෑ තව තියෙනවා කියන කාරණය ගොඩයා ආයෙත් තේරුම් ගන්නේ ගොඩයා නින්දෙන් ඇහැරෙද්දි අභිමානී අලුත්ගමට ඔන්න මෙන්න කියල වැටහෙද්දී. ඒ කියන්නේ අභිමානී අම්බලන්ගොඩ පහු කරද්දී ගොඩයා  ඉඳලා තියෙන්නේ මර නින්දේ.. ෆේක් ඊට් ටිල් යූ මේක් ඉට් කියන සිද්ධාන්තයට හිස නමාගෙන බහින තැන මගෑරුනා උනාට ඒ වග කාටත් අඟවන්නේ නැතුව අලුත්ගමින් බහිද්දී කොන්දොස්තර අහනව " නින්ද ගියා නෙහ් මහත්තයා " කියල. කිඹුලා කනවා ඉවසන්න පුළුවන්ලු .. ඒත්  කොහිල කටු අනෙනවාලු ඉවසන්න බැරි..

ඕන්  ඊළඟට අලුත්ගම බස් නැවතුම ඉස්සරහ ගාලු පැත්තට යන බස් නවත්තන නැවතුමේ ආයෙත් ගොඩයා සාගත මල්ල එල්ලගෙන ඉන්නවා කොළඹ පැත්තෙන් බස් එකක් මතු වෙනකල්. විනාඩි විස්සක් තිහක් යද්දී එතනට එන මාතර බස් රථයේ කොන්දොස්තර ගොඩයා දිහෑ අමුතු බැල්මක් දාන්නේ වාඩි ගන්න ඕනෑතරම් ආසන තියෙද්දී මේ යෝදයා හිටගෙන යන්නේ මොකදෑ කියන ප්‍රශ්නයට උත්තර නැති නිසා. වෙච්ච සංතෑසි අටෝරාසියක් මදිවට ආයේ ආසනයක හරිබරි ගැහීම මාතර යාම දක්වා දික්වෙයිදෝ කියන භයට ගොඩයා අම්බලංගොඩ දක්වාම වීරියෙන් හිටගෙන යනවා. දෙයියනේ කියල ගොඩයා අම්බලන්ගොඩින් බහිද්දී පාන්දර හයාමාරයි. හැම සතියකම ඉරිදා රාත්‍රියටත් සිකුරාදා රාත්‍රියටත් ගොඩයාව කතරගම බස් එකට ගෙදරින් අරන් එන සහ කතරගම බස් එකෙන් බැස්සාම ගෙදර ඇරලවන ත්‍රිරෝද රථ සගයා ගැමුණු ඔරලෝසු කනුව ඉස්සරහ ත්‍රීවීල් පාර්ක්‌ එකේ බුලත් විටක් හපමින් හයර් එකක් එනකම් බලාන ඉන්නවා ඒ වෙද්දීත්. ගොඩයා හිතේ අමාරුව තදකරගෙන ගිහින් ගැමුණුගේ ත්‍රීරෝද රථයේ අසුන් ගන්නවා..

අද මොකෝ කොළඹ පැත්තෙන්... 

නෑ ගැමුණු මට ඔෆිස් එකේ වැඩකට කොළඹ යන්න උනා.. ඒ හින්ද ඇඹිලිපිටි පාරේ කොළඹ ගිහිං ගෙදර එන්න උනේ..

ඒක  මිසක්... මං ඒත් කතරගම බස් කීපයක්ම බැලුවත් එක්ක..

සියල්ල අවසානයේ,  තිස් දෙකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය අනූනවයක් දෙවි දේවතාවුන් අහක බලපු දවසක ගණ දෙවියෝ විතරක් ඉදිරිපත්වෙලා ගොඩයාව ගොඩ දැම්ම. 


සුදු හංසියේ මිහිරාවියේ..
සුදු හංසියේ මිහිරාවියේ..
මා අත දවටා.. ඔබේ බඳ වටා..
මා වෙත තව තව..ඔබ ලං කරගෙන..
නිර්මල හදවත.. මුමුණන රිද්මය..
අහන්න කීවා..

මතකද දවසක්දා..

අද සුපර් ස්ටාර්ලා එක්ක බැලුවාම පලවෙනි සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ මිහිරාවියේ ගීතය බොහොම සාර්ථක නිර්මාණයක් කියලයි අම්බලන්ගොඩගේ අදහස. පරිප්පු නැවක් බාගෙන හරි එදා ඒ ගීතය අහල ලබපු වින්දනය අදත් අම්බලන්ගොඩයාගේ හිතේ අමරණීයයි. ඇසෙන පළමු වතාවෙම මතකයේ පැලපදියම් වෙන ගීත වර්තමානයේ කළුනික තරම් විරලයි. ඒ අතින් අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ ගීතය නව පරපුරේ ගායකයකුගෙන් බිහිවෙච්ච වන් ෂොට් හිට් එකක් කියලයි ගොඩයාගේ අදහස. ඇහෙද්දී මේ අහවලාගේ හඬ කියන්න තරම් අනන්‍යතාවයක් තිබ්බ අජිත් බණ්ඩාර අද වෙද්දී නොඇසෙනා ගායකයෙක් වීම සිංහල සංගීතයේ අවාසනාව වෙන්න ඇති. සිංදුව කොයිතරං හිතේ පැලපදියම් වුනත් අදත් කලාතුරකින් හරි ඔය ගීතය ඇහෙද්දී ගොඩයාට මතකයට එන්නේ අජිත් බණ්ඩාර නෙවෙයි සීගිරි එක්ස්ප්‍රස්.. මොකද ගොඩයාගේ හිත ඇතුලේ ඔය ගීතයේ අයිතිය තියෙන්නේ සීගිරි  එක්ස්ප්‍රස් බස් රථයට මිසක් අජිත් බණ්ඩාරට නොවෙන නිසා.. 

කොමෙන්ටුවක් දාගෙන යමු..

සුදු හංසියේ මිහිරාවියේ ගීතය මෙතැනින් අහන්න 


පින්තුරය ගත්තෙ මෙතැනින් 

http://www.clipartpanda.com/categories/choke-20clipart












45 comments:

  1. Replies
    1. ප්‍රසන්නයා උඹව කයි..

      Delete
    2. ආාාා....ප්‍රසන්න අයියා එහෙම නැ එයා හොදයි...නැද්ද ප්‍රසන්න අයියේ ??????

      Delete
  2. දැන් බස්වල ස්පිකර් වයර් ගැලව්ම මැණික් සෙයන්නා සෙ අපහසු වැඩක් අයියේ.ඒ තරමි හොදට වයර් එක ඇදලා තියනවා.අනෙක දැන් මෙි රිමික්ස් මගුලක් කරන්න පුරැඋු වෙලා දන්න එකයි නෙදන්න එකයි සිංදු ටික කනවා.

    මහත්තයා බහින තැන පහු වුනානෙ කියන කොට ඔවි මල්ලි කියලා දෙන්න තිබුණේ රිදෙන්න..කොන්දට එකක්...

    එහෙමත් හරි නැනේ..බලෙන් නෙ සිගිරි නැග්ගෙ...

    ReplyDelete
    Replies
    1. දැන් බස් කෙරුවාව ඒ කාලෙට වඩා වෙනස් ඇති තමා.. මේ ඉතිං අවුරුදු දොළහකට කලින්නේ.. ගම ඉස්සරහ තියෙද්දී නම් කොන්දට පාර්ට් එකක් දාන්න පුළුවන් උනාට ගම පහුවෙලා බව දැන දැනම කොන්දට පාර්ට් දාලා නිස්කාරනේ ඉල්ලන් කන්නේ මක්කටෙයි බුදු මල්ලියේ..

      Delete
    2. එකත් ඇත්ත තමා....

      Delete
  3. සිටිබි බස්වල යනකොට ගියර් පොල්ල දෙපැත්තට වැනි වැනි තිබිල්ලයි ජියර් පෙට්ටිය ගැනයි හොද අවධානයෙන් ගිහිල්ලා තියෙන බව පේනවා. ආසම වැඩේ කර කර කරර රරාාාස් ඩොග් ඩොග් ගාලා ෆස්ට් ගියර් එක වැටෙද්දි ඩිෆරන්සල් පොල්ලේයි පිනියන් එකේයි ප්ලේ එක නිසා ඩොග් ගාලා වදින හැටි අහගෙන ඉන්න එක. දැන් සිනක්‍රෝමෙෂ් ගියර් පෙට්ටවලින් එහෙම සද්දේ එන්නේ නැතිවුනත් තාම ආපේ ඩයිබර්ලා කලච්එක බාගෙට පාගලා දාලා ඒ සද්දේ ඒ විදිහටම ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය පීනියන් ඩිෆරන්සල් ප්ලේ තියන එව්වා හයියෙන් යනකොට මුළු බස් එකම පාර තලන වයිබ්‍රේටර් ඒක වගේ දෙදරන්න සද්දේ ඇහිලා ඇතිනේ අසංගට.. ඒ වෙලාවට මටනම් පන බයයි කොයි වෙලේ දෙපැත්තේ තියන වීදුරු ටික කුඩුවෙලා ඇඟ උඩට පතබෑවෙයිද කියල.. උපන්දා හිටන්ම රතගාය තදින්ම තිබ්බ නිසා ඔව්ව ගැන සෑහෙන්න අවධානයෙන් තමා ඉන්නේ.. ඔය කියන ගියර් පොල්ලේ ප්ලේ ඒකත් පීනියන් ඩිෆරන්සල් ප්ලේ ඒකට දෙවැනි නෑ.. ගියර් හොයල තමා දාන්න ඕන.. අද කාලේ අලුත් වාහන වලින් ඩ්‍රයිවින් පුරුදුවෙච්චි කෙනෙකුට ඔයින් එකක් දුන්නොත් ලයිට් කණු දෙක තුනක් පෙරලලා දෙතුන්දෙනෙක් යට කරලා තමා වැඩේ අහවර වෙන්නේ.. මොකද කියනවනම් එව්වයේ ස්ටියරින් ප්ලේ ඒක අඩුම වට තුන්කාලට වඩා වැඩි මිසක් අඩු නෑ..

      Delete
  4. උඹ වාඩි උන සිට් එකේ හවියා එකා තාම මාදම්පාගම ද කියලා බලපන්. ඌ ඇවිත් සීට් එක ගත්තේත නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. රෑට යන බස්වල රන්දොඹේ හරි මාදම්පාගම ගරි තේ බොන්න නැවත්තුවාම අම්බලන්ගොඩ බහින්න ඉන්න උදවිය ආයේ වාඩි වෙන්නේ නැහැනේ උදාර.. අම්බලන්ගොඩ බහින සමහරු බස් ඒක නවත්තුවාම පාරේ එන ත්‍රීවීල් වල එල්ලිලා යනවා.. තවත් සමහරු එතන නවත්තලා තියන තේ බීලා අහවර වෙලා අද්දන බස් වල ෆුට් බෝර්ඩ් එකේ එල්ලෙනවා.. ඒ නිසා ඔය තේ බොන්න නවත්තුවාම ආයේ යන්න බස් එකේ ඉන්නේ එතනට එද්දී හිටියට වඩා අඩු පිරිසක්. එක්කෝ මම අහම්බෙන් හරි වාඩිවෙලා තියෙන්නේ එහෙම පින්වතෙක් හිටපු ආසනේක.. එක්කෝ ඒ ආසනයේ හිටපු පින්වතා වෙනත් අස කියන අම්බලන්ගොඩ බහින මගීන් හිටගෙන යාමෙන් පුරප්පාඩු වෙන ආසනේක වාඩිවෙලා.. එක්කෝ ඔයා කියන විදිහට ඌ තාම එතනද දන්නෙත් නෑ..හැක්..

      Delete
  5. තව තවත් බස් මිස් වේවා.....( අපිට තවත් කතා අහන්න )

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි නිසා බස් මිස් උනාට කතන්දර නෑ තඩියෝ..

      Delete
  6. ස්පීකර් එක වැහෙන්න රැක් එකේ බෑග් එකක් තිබ්බාම කරච්චලේ ටිකක් අඩු කර ගන්න හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද රසික.. එව්වයේ ඇහෙන සිංදුවකුත් නැහැ.. ඇහෙන්නේ කන් විදගෙන යන සිලි සිලි සද්දේ විතරයි..

      Delete
  7. අපූරු බස් කතාව! සීගිරි එක්ස්ප්‍රස් එකේ මමත් කතරගම ගිහින් තියෙනවා. හරියටම මතක නැහැ ඒත් උඹ ඔය කියන කාලෙම වගේ වෙන්න ඕනේ.

    ඉඳලා හිටලා දකින පරණ බස් එකක් ඇරුනම දැන් නම් ටාටා බස් පාරේ නැති තරම්. දැන් තියෙන්නෙම hino turbo එන්ජිම ගහපු power steering එක්ක එන ලේලන්ඩ් බස්. පිකප් වැඩියි. ළඟ කපන්න පුළුවන්. ඒ වගේම තමා ගොඩක් ඩ්‍රයිවර්ලා අවුරුදු 30ට අඩු අය. මුන් එක්ක පාරේ වාහනේ එළවනකොට fast and furious ලයිව් බලනවා වගේ. මට ලැබුන හොඳම එක්ස්පිරියන්ස් එක D.S බස් එකක් පිටිපස්සේ තියාගෙන අනුරාධපුරේ ගිය එක. දැන් නම් දැක්ක ගමන් යන්න සෑර් කියලා ඉඩ දෙනවා. මුකුත් නිසා නෙවෙයි ඔය ටින් බෙලෙක්කයක් වැදුනොත් අපේ පාදසයක්ම ගැලවෙන නිසා සහ ඊට පස්සේ ඉන්ෂුවරන්ස් එකේ එකාගේ අදෝනාව අහන ඉන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ලේලන්ඩ් බස් එකක් එක්ක රේස් යාම අමු ගොන්කමක් උදාර.. මමත් ඒක වතාවක් ලේලන්ඩ් කාරයෙකුට ගේමක් ඉල්ලන්න ගිහින් ඌ මගේ කාර් එකේ පිටිපස්සේ බෆර් ඒකට අඩියක් දෙකක් ලඟින් තියාගෙන ඇවිත් මාව ගෙදරටම එලෙව්වා.. අම්බලන්ගොඩ ටවුමෙන් අපේ ගෙවල් පැත්තට හරවන පාරට දාගත්තෙත් පන එපා කියල ආපු වේගෙටම.. රෑට කතරගම ගමන හරිම ආශ්වාදජනකයි.. ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් කැලේ.. එව්වයේ නිදාගන්නවා කියන්නේ ඉතිං මාරයාගේ උකුලේ දොයියනවා වගේ වැඩක්..

      Delete
  8. කවුද බං රැක් එක දිගේ බපල් වයර් අදින්නෙ වයර් අදින්න කොම්පැනියෙන්ම කේසින් එකක් ගහල එවද්දි.
    මොනව උනත් ඔය 3-2 සීට් තියෙන ඒවනං ඉඳගෙන යන උංට වගේම හිටගෙන යන උංටත් මල වදයක් තමයි.

    අනේ ඉතිං බොලාට පහුවෙනිද දවල් විතර වෙනකල් බස් වල වමට දකුණට යන්න අවස්ථාව ලැබුණනං තමයි ආතල් එක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රසන්න මට ලියන්න අමතක වෙච්චි කොටහ මතක් කරලා දුන්න.. ඔය වයර් ඒක එලියට එන්නේ පිටිපස්සේ රෝදේ උඩ තියන සීට් ඒක උඩ තියන බෆල් පෙට්ටිය ගාවින්.. මට ඉතිං අම්බලන්ගොඩින් නැග්ගාම බොහෝදුරට ලැබෙනේ ඔන්න ඔය කියන කකුල් දෙක කරේ තියාන යන්න වෙන සීට් එකම විතරයි.. මොකද ඕකේ මලාට එකෙක් වාඩි වෙන්නේ නැහැ..එතන තමා වයර් එකෙන් බෙල් ගහන්න පුළුවන් ස්ථානය...

      Delete
  9. බස් කෝච්චි ඉතිං උඹට මොනාද නෙහ්..

    ReplyDelete
    Replies
    1. ජීවිතේම ගමනාගමනේ තමා දේශකයා..එදත් එහෙමයි අදත් එහෙමයි.. මේ ඔක්කොම ලියවෙන්නේත් ගමනාගමනය අතරතුර තමා..

      Delete
    2. කතරගම පුරවරයෙයි කිව්වට ඒක තනිකර ක්ෂණික කෙහෙල් වගාවක් නේද?

      Delete
  10. මරු බස් කතාව... මේ දෙවල් ගොඩයටම වෙන එකනෙ ශෝක් වැඩේ... ඔය වගේ වැඩ කසුන්ටත් නිතරම වෙනවා... නින්ද නිසා...
    ඇත්තටම ඒ සිංදුව හරිම ලස්සනයි... අජිත්ගෙ ඒ සිංදුවට තමයි ගොඩක් කැමති...

    ReplyDelete
    Replies
    1. ගොඩයාට වෙච්චි දේවලුත් ඉතිං ලියවෙන්න එපැයි නිර්මානි.. අජිත් බණ්ඩාරගේ ඒ කැසට් පටියේ හොඳයි කියන්න පුළුවන් සින්දු දෙක තුනකින් පලවෙනි ඒක තම ඕක.. අනික්වා නම් ඉතිං වැඩකට නෑ කියලයි හිතුනේ..

      Delete
  11. අම්මටහුඩු අම්බලන්ගොඩයෝ..!! උබ වගේම ලංකාවෙදි ඉන්දිදී බස් වල ඩෙන්කුටු ඩෙන්කුටු සංගීතයට ආස නොකරම කෙනෙක් මමත්. මිනිහෙක් සල්ලි දීල සේවයක් ගන්නෙ තමන්ගෙ අයිතිවාසිකමක් විදිහට බුක්තිවිඳින්න කියන එක තේරුම්ගන්න තව කොච්චර කාලයක් යයිද කියල හිතාගන්න බැහැ. විශේෂයෙන්ම ලංකාවේ අයට. දවසක් කොළඹ ගාල්ල ac එකක නැගල යද්දී සින්දුව ඉවසගන්නම බැහැ. සද්දෙත් එහෙම්මමයි. මගේ කට නලියනව. මට ඉස්සර උන එකා සද්දේ නවත්තන්න කිව්වහම ඩ්‍රයිවර් කිව්වෙ "මහත්තයට යන්න ඕන විදිහට යන්නනම් මම ඉස්සරහ හෝල්ට් එකෙන් නවත්තන්නම්, බැහැල taxi එකකින් යන්න" කියල. කොහොමද ඒක..??

    තව දවසක් ලංකාවට ආව දවසක කොළඹ නුවර ac බස් එකක නැග්ග තාත්ත හම්බ වෙන්න කියල. බස් එකට නැග්ග වෙලේ ඉඳල අනිත් සීට් එකේ හිටි එකා කවුද එකෙක් එක්ක ෆෝන් එකෙන් බැනගන්නව කොළඹ ඉඳල මාවනැල්ල වෙනකන්. බැරිම තැන කිව්ව මිස්ට, හිමිං කතා කරන්න, සද්දෙ වැඩියි නේද කියල. යකෝ මු මට කියනව උබ කවුද %$^ මට කියන්න මම ඝොටාබය ගෙ $%£^, මහින්ද රාජපක්ෂ මහත්තයගෙ %$%^... කැ%$ කඩුගන්නවේදී උබ දනගස්සනව බල්ලො... blah blah blah ... කියල. මම ඉතිං ඒ යකාගෙන් සමාව ගන්න ගමන් හිතුවේ "පව් අහිංසකය. කවුරු උනත් ආස ඇතිනෙ ඝෝට මහින්දල ගේ නම විකුණල පොරක් වෙන්න කියල". අම්බලන්ගොඩ මහත්තයෝ, අපි ඒ වගේ අයට ගෞරව කරන්ට ඕන හොඳේ.

    උබ මේ පොස්ට් එකෙන් මටත් යමක් මතක් කළා කොටස් දෙකකට මටත් තව පොස්ට් එකක් ලියන්න. උඩ ලියපු එක ගැන නෙමෙයි. වෙනම ෆුල් අතල් ස්ටොරියක්.

    ලබන සතියෙ හම්බ වෙමු. ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ප්‍රවාහන සේවය අපිට ඉවසීම පුරුදු පුහුණු නොමිලේ පුරුදු පුහුණු කරවනවා ටික්කො.. ඉක්මනට ලියන්න ඉතිං අපිට කියවන්න.. ඉස්සරටත් වඩා දැන් හංදියක් හංදියක් ගානේ චන්ඩි බං.. අසංග ප්‍රියමන්ත කියන විදිහට අපි අයින් වෙලා පයින් යමු පුතී කියලා ගැහුවත් තැන්ක්යූ සර් කියලයි මාරුවෙන්න ඕන..

      Delete
  12. අනේ අම්බලන්ගොඩ කුම්බලාවෝ සම්මාන ගන්න මේවගේ බොළඳ කථා කියන්නෙපා දැන් උම්බ් විතරද බස්වල ගිහිලා තියෙන්නේ ඊ නිවුස් ඒකta කියක් හරි දීලා මේවා ප්‍රචාරක් අරගෙන ඉඳහන් පිට කහන එවුන් ඇරෙන්න වෙන එකෙක්වත් නැනේ මේ කොමන්ට් කරලා

    පට්ටපල් බොරු කියන්නේ නැතිව ඉදින් අපි නොදන්නා අම්බලන් ගොඩ

    ReplyDelete
    Replies
    1. දන්නේ නැත්තම් සම්මාන දීපු උදවියගෙන් අහල බලහං අම්බලන්ගොඩයා ලැබුන සම්මානෙත් එපා කිව්ව එකෙක් කියල සාකිත් එක්කම ඇති සම්මාන උළලේ පස්චාත් බ්ලොග් පෝස්ට්වල.. සම්මාන දෙන උදවිය එව්වා දෙන්නේ කුමනාකාර පරමාර්තෙකින්ද කියන ඒක ගොඩයාට අදාළ නැහැ.. ඒත් මේ ලියන වල්පල් වලට සම්මාන ගන්න අම්බලන්ගොඩයාට පිස්සුවක් නැහැ.. මෙව්වා ඔක්කොම අම්බලන්ගොඩයාගේ සන්තෝසය පිණිසම පමණයි.. එව්වා කියවලා වෙන කෙනෙක් සන්තෝස වෙනවානම් ඒක සන්තෝසය X 2 පමනයි..

      උයා පවු ඇනෝ..ලිඳේ පනිනකොට හෙමිහිට පැනහන් ඇනෝ රටේ ලෝකේ එවුන්ට පේන්න බල්ටි ගහල පනින්නේ නැතුව..

      Delete
  13. දෙන දෙයියො ටොකු ඇන ඇන දීලා තියෙන්නෙ 😊 කතරගම මේ දවස්වල කරලියට ඇවිත් තියෙන්නෙ 😆

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් මම දැක්ක මොකක් නමුත් දේවාලේ දොරවල් වහපු විස්තරයක් ගොසිප් සයිට්වල යනවා.. අවුරුද්දකට සැරයක් වන්දනාවේ යන මිනිස්සු දකින කතරගම සහ එහෙ රස්සාව කරපු අපි දැකපු කතරගම අහසයි පොළොවයි තරම් වෙනස් තුන් මූනෝ.. ඒක හරියට තොරණක ඉස්සරහයි පස්සයි වගේ වෙනස්..

      Delete
  14. https://us107765235.fm.alibaba.com/product/258508008-0/Alavangoes_Flat_Spade.html

    ReplyDelete
    Replies
    1. මේ කුමක්දැයි නොතේරේ

      Delete
  15. මං හිතුවෙ මාතර බස් එකේ ඩ්‍රයිවරයත් රන්දොබේ තේ බොන්න නවත්තලා පරිප්පුව ඩබල් කරා කියලා.උබට නින්දගිහින් බහිනතැන පහු උනේ තනියෙම ගිහින්නෙ.මට එහෙමද මං මස්සිනත් එක්ක ගියේ ඕක බල්ල මාව නැගිට්ටවන්නෙ නැතුව පානදුරෙන් බැහැල ගිහිං කියහංකො.ඇහැරුනේ මොරටුවේදි.ඒ දවස්වල fb නැති උනාට ගෙදර ඇවිත් හත්මුතු පරම්පරාවටම විස්තරේ call කරල කියල.විලි ලැජ්ජාවෙ පණ ගියා බං

    ReplyDelete
    Replies
    1. මම උයාගෙ මස්සිනාට ස්තුති කළා කියන්න සොඳුර.. හික්ස්..

      Delete
  16. ඔබේ ඉවසීම පිලිබඳ සන්තෝෂ වෙනවා. රැකියාවක් සඳහා මෙතරම් කාට්ටක් කෑමට සිදුවීම ඛේදවාචකයක් ඔබ එය රසවිඳ තිබීම සතුටට කරුණක් ඔබල ළඟ මතකයන් සමුදායක් ඇතැයි විශ්වාස කරමි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ඉවසනවා ඇරෙන්න මොනා කරන්නද.. මතක සමුදායක් තියෙනවා උනත් එව්වයින් වැඩිහරියක්, ලිව්වොත් ගමේ යන්න බැරි වෙන එව්වා..

      Delete
  17. මම ඉස්සර උදේ පාන්දර කොළඹ ඉදන් ගම්පහ යන ලේලන්ඩ් බස් එකේ යනවා. මම නම් ටාටා බස් වලට වඩා ලේලන්ඩ් වලට කැමතියි. මම කියන්නේ අර ඉස්සර අපු ලොකු විදුරු(වින්ඩ්ස්ක්රින්) තියෙන ලොකු ලේලන්ඩ් බස් එකට. මම එකේ පෙනුමටයි සද්දෙටයි දෙකටම ආසයි.. හෙහ් හෙහ්.. දැන් නම් ඒ බස් දුවන්නේ නෑ මම හිතන්නේ. මම ඉතින් උපරිම කිලෝමීටර් 20-25ක් ඔය බස් වල යන්න ඇති. උඹ වගේ 100-200 නම් ගිහින් නෑ.. ඉතින් අමාරුව හිතා ගන්න පුළුවන්.

    කාලෙකට පස්සේ බස් වල යද්දී හරි ආතල්. මම අවුරුදු 5කට විතර පස්සේ ඔෆිස් අරින වෙලාවක බස් එකක ආව මේ ඊයේ පෙරේදා.. හෙහ් හෙහ්.. හරි ජොලි බන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්.. මම ලංකාව වටේම ගිහින් තියෙන නිසා බස් ගමනාගමනය නම් එපාම වෙලා තියෙන්නේ.. මමත් දැන් අවුරුදු හතකින් ලංකාවේ බස් එකක ගිහින් නැහැ..

      Delete
  18. අනේ මන්දා ඔයාටත් වෙන වැඩ .....ඒක නෙවෙයි අය්යේ කෝ අර ඔයාගේ සුදු නංගි ..එයාට වෙච්ච දෙයක් නෑනේ ..විසල්ට මක්වෙලාද ???? උන් දෙන්නා මැරිලද දන්නෙ නෑ .....

    ReplyDelete
    Replies
    1. විසල් සහ සුදු නංගි මේ දවස්වල නිවාඩු ගිහිං නේතු... හෙටානිද්ද නිවාඩු ඉවර වෙලා ආවාම ඊළඟ කොටස ලියන්නම්කෝ..

      Delete
  19. ගොඩයෝ තොට මොකොද යුනේ....සති තුනක් ගියා නෑ කතාවක්.තො මැරිලද බොල :-P

    ReplyDelete
    Replies
    1. කතාව චම්ල අයියේ....

      Delete
  20. පොල් මාමගේ කටු ත්‍රෙඩ් එක ආසාවෙන් කියවලා මේකට ආවෙ. ඔක්කොම කියෙව්වා. පට්ට කතා සෙට් එක. ලස්සනට ලියලා තියෙනවා.

    මමනං කැමති දැන් අලුත් කාලෙ ලේලන්ඩ් බස් වලට ටාට වලට වඩා.

    ReplyDelete