Wednesday, October 11, 2017

ඩිරෙක්ට් මාර්කටිං






ඩිරෙක්ට් මාර්කටිං ගැන ලියන්නට යද්දී ගොඩයා ඩිරෙක්ට් මාර්කටිං වලට සම්භන්ධ වන්නේ කොතැනින්දැයි පාඨකයින්ට කුතුහලයක් මතුවන නිසා ඩිරෙක්ට් මාර්කටිං ගැන ලියවෙන්නට කලින් අම්බලන්ගොඩයාට එහි පය තැබීමට අවස්තාව ලැබුනේ කෙසේදැයි කියා ලිවිය යුතුමය. ඒ මන්ද යත් නිධාන කතාවන් නොලියා ලියවෙනා සිද්දීන් කියවා අවසන්වූ පසු ඔලුවේ තඩි ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරිවන බැවින්ය. ඒ හෙයින් නිධාන කතාවෙන් අනතුරු ඩිරෙක්ට් මාර්කටිං ගැන ලියැවෙනා අතර දැනට ඩිරෙක්ට් මාර්කටිං කරනා අයවලුන්ගෙන් අම්බලන්ගොඩයාට තර්ජන ගර්ජන එල්ල කරන්නටද ඉඩ තිබෙනවාය. 

අම්බලන්ගොඩයා රැකියාවට අමතරව දෙවැනි ආදායම් වශයෙන් ව්‍යාපාරද කර කියාගෙන දැහැමෙන් සෙමෙන් ජීවිකාව කරගෙන ගියාවූ අහිංසක අසරණ ජීවියකු බව මීට පෙර පෝස්ට් කියැවූ පාඨක සැම දන්නවා ඇතැයි ගොඩයා විශ්වාස කරනවාය. ගොඩයාගේ රැකියාවටද  වෙළඳ ව්‍යාපාරටද අමතරව තවත් ආදායම් මාර්ගයක් වශයෙන් ගොඩයාගේ වෑන් රථද කුලියට, බද්දට, හයරයට දීමද කරගෙන ගියාවූ තවත් සාර්ථක ව්‍යාපාරයක්ය. එවන් ව්‍යාපාර වපසරියක් ඇතුලත ගොඩයා සමහරක් රාත්‍රීන් වලදී නිදාගත්තේ පැය දෙක තුනක් පමණය. එකී තුන්වෙනි  ව්‍යාපාරයට පින්සිදුවන්නට ගොඩයාගේ වෑන් රථයක් ගාල්ල ප්‍රදේශයේ ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනියකට කුලියට දෙන්නේ දිනක ගාස්තුව රුපියල් දහසක මුදලකටය. සතියකට දින හයක් ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනිය වෙනුවෙන් දිවවෙනා වෑන් රථය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ගොඩයා වෙත ලැබෙනවාය. ඉන්දන සැපයීම සිදුවන්නේ ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනියෙන් වන අතර රියදුරු වැටුප ගෙවන්නේ ගොඩයා විසින්ය. ඒ මන්ද යත් ගොඩයා රථය ලබාදී තිබෙන්නේ රියදුරු සමග වන නිසාය. එය එසේ වීමට හේතුව වන්නේ රියදුරු රහිතව වාහනයක් කුලියට දීම වනාහි එම වාහනය නැවත ගෙදර එන්නේ දුන් ආකාරයෙන් නොවනා වග ගොඩයා දන්නා නිසාය. එසේ රියදුරු රහිතව කුලියට දෙන වාහන නැවත ගෙදර ගෙන එම සඳහා ෆිනෑන්ස් කොම්පැනිවල වාහන උස්සන ජූලියස් සීසර්ලා කිහිප දෙනෙකුගේ සහය පැතීමටද ඉඩ තිබෙනා අවස්තා රටේ බොහෝය. 

ඥානසිරි අයියා වේදිකාවට ගොඩ වන්නේ දැන්ය. ඥානසිරි අයියා යනු ටිකාක් විතර දුර ගියාවූ සම්භන්ධයක් තිබෙනා බොහොම හිත හොඳ මනුස්සයෙක්ය. ගොඩයාගේ ලොකු අම්මාගේ බාල පුතණ්ඩියා වන පොඩි අයියාගේ ප්‍රාණ සමාන පාසල් සගයා වූ සරත් අයියාගේ සහෝදරයා වන ඥානසිරි අයියා අම්බලන්ගොඩයා දන්නේ හිච්චි එකා සන්දියේ හිටන්ය. ඒ මන්ද යත් පොඩි අයියාගේ පාසල් සගයා වූ සරත් අයියා ලොකු අම්මාගේම දරුවකු ගානට එම නිවසේ නිතර ගැවසුනාවූ චරිතයක් නිසාය. වැඩිමනක් කියනවානම් සරත් අයියා යනු ලොකු අම්මලාගේ ගෙදර නිත්‍ය සාමාජිකයකු ගානය. ලොකු අම්මා විසින් පිසින රසවත් බත් ව්‍යංජන අතරේ, හිටියා නොහිටියා සරත් අයියාටත් කොටසක් අනිවාර්යෙන් වෙන් කෙරෙනවාය. ඒ තරමටම සරත් අයියා යනු අම්බලන්ගොඩයාගේ පවුලේ සුප්‍රසිද්ධ හිතවතෙකුය. සරත් අයියාට ලොකු අම්මලාගේ පවුලේ තිබූ ස්ථිර සාමාජිකත්වයට අනුව සරත් අයියාගේ සහෝදර සහෝදරියන්ද,  හොඳින් දන්නා හඳුනන උදවිය වෙනවාය. එම නිසා සරත් අයියාගේ වැඩිමහල් සොහොයුරා වන ඥානසිරි අයියාද,  එම පවුලේ සැවොමද ,ලොකු අම්මලාගේ පවුලේ ඕනෑම ඉලව් මගුල් අවස්තාවකට සහභාගී වීම අනිවාර්ය වෙනවාය. පොඩි අයියලා ලොකු අයියලා මෝටර් සයිකලයක්, වෑන් රථයක් ගොඩයා වෙත පැදවීමට දීමට ටිකාක් විතර අදිමදි කරන සන්දියේ හෙවත් ගොඩයාට වයස අවුරුදු දොළහ සන්දියේ සරත් අයියා සමහරක් වෙලාවට මෝටර් සයිකලය හෝ වෑන් රථය පදවාගෙන යන්නට ගොඩයාට අවස්තාව දෙනවාය. ඒ ලොකු අයියාගේ බලවත් විරෝදය මැද්දේය. ඥානසිරි අයියා ලොකු අයියලාගේ කියුම් බහ මායිම් කරන්නේ නැතිය. ඥානසිරි අයියා රථය පදවනවානම් ගාලු පාරෙන් මෙපිට පොලිසියෙන් නැති මංමාවත් වලදී රියදුරු අසුන ගොඩයාට දීම ස්ව කැමැත්තෙන්ම සිදු කරනවාය. එය ගාලු පාරෙන් මෙපිටදී කෙරෙන්නේ හදිසියේ හෝ පොලිස් නිල දරුවෙක් දුටුවහොත් රියදුරෙක් නොමැති වෑන් රථයක් පාරේ යනවෝ යයි භයෙන් බිරාන්ත වී වාහනය නවත්වන්නට ඉඩ තිබෙනා නිසා බව ඥානසිරි අයියා නිතර කියනවාය. ඒ මන්ද යත් වයස අවුරුදු දොළහේ  ගොඩයා රියදුරු අසුනේ වාඩිවූ කල  යාන්තමට පාර පෙනෙනා තරමට බටු ඇටයක් තරම් උසින් යුතු එකෙකු නිසාය. 

ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනියකට වෑන් රථයක් කුලී පදනම මත අවශ්‍ය වග ගොඩයා වෙත දන්වන්නේ සුදු අයියාය. සුදු අයියා ලොකු අම්මගේ මද්දුම පුතණ්ඩියාය. ඒ වෙන කිසිවෙකු නොව ගොඩයාගේ වෑන් රථය අනුරාධපුරයෙදී පොල් ගස දිගේ ධාවනය කළා වූ යුග පුරුෂයාය. සුදු අයියාත් ගොඩයා වාගේම බිස්නස් මයින්ඩඩ් පොරක් වන නිසා ලැබෙනා ඕනෑම ව්‍යාපාර අවස්තාවක් තමුන්ට ලාභයක් ගැනීමට නොහැකිනම්, එයින් ලාභයක් ලැබිය හැකි අදාළ පුද්ගලයින් වෙත හරවා යැවීම උන්දෑගේ සිරිතය. සුදු අයියාගේ එම ගුණයට පින්සිදුවන්නට වෑන් රථයක් කුලියට සැපයීමේ කොන්ත්‍රාත්තුව ගොඩයා වෙත ලැබෙනවාය. වෑන් රථය දිවවෙන්නේ ගාල්ල අවට නිසා වාහනය රාත්‍රි කාලයේ ගාල් කෙරෙන්නේ ලොකු අම්මලාගේ නිවසේය. එම ව්‍යාපාරය සැබෑවක් කරවීමට ගාල්ල අවටින් රියදුරෙකු සොයාගනුවස් ගොඩයා සෑහෙන්න ප්‍රමාණයේ වෙහෙසක් ගත්තද එම වෑයම ව්‍යර්ථ වන්නේ සුදුසු කිසිවෙකුත්ව හමු නොවූ නිසාය. එහෙත් ප්‍රශ්නයට තාවකාලික ආදේශකයක් වශයෙන් ඥානසිරි අයියාගේ නම යෝජනා වන්නේ එවකට ඥානසිරි අයියා නිවසේ විවේක සුවයෙන් පසුවූ කාල සීමාවක් වන බැවින්ය. 

 ඥානසිරි අයියා රැකියා කලේ සරත් අයියාට අයත් ඉදිකිරීම් සමාගමේ වුවත් සුළු අත්වැරදීමක් හේතුවෙන් සරත් අයියා විසින් ඥානසිරි අයියාගේ සේවය    තාවකාලිකව අත්හිටුවා තිබුනේය. එම අත්වැරදීම කුමක්ද යත් කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරනා සරත් අයියා සතු අලුත්ම අලුත් නිසාන් කැරවන් වෑන් රථයක් අනතුරට පත්කිරීමය. එනම් එක්තරා රාත්‍රියක තවත් සේවකයින් කිහිපදෙනෙකු සමග එකී වෑන් රථයෙන් ගාලු එන්නට පිටත්වූ ඥානසිරි අයියා රිය අනතුරක් සිදුකර ගැනීමය. කොස්ගොඩ පසුවී අහුන්ගල්ල ආසන්නයේ සොහොන් කොත් කිහිපයක් තිබෙනා වංගුව අසලදී වන්ගුවේ ඉදිරියට පැමිණෙන බවුසර් රථයකට පුද්ගලික බස් රථයක් ඉස්සර කරනවාලුය. තම ජීවිතය සහ අනෙකුත් ජීවිත සියල්ලම බේරා ගැනීම සඳහා කනත්ත දිහාවට වමට කැපූ වෑන් රථය ජීවිත හානි නොමැතිව කනත්ත අසලින් ගාලු ගමන නිමා කරන්නේ ඉදිරිපසට වට තුනක් පෙරලී කුඩුපට්ටම් වීමෙන් අනතුරුවලුය. වෑන් රථය දෙකට තුනට නැමී අලියා පෑගුවා හා සමාන වුවත් කිසිවෙකුටත් ජීවිත හානි නොවුවද අවේලාවේ අනවශ්‍ය ගමනක් යන්නට ගොස් රථය සහ ජීවිත අවදාමට දැමීම හේතුවෙන් තාවකාලික දඬුවමකට යටත් වීමට ඥානසිරි අයියාට සිදුවෙනවාය. කොම්පැනිය තමුන්ගේ ඒක කුස උපන් මලයාගේ වුවත් ඥානසිරි අයියා තනි අලියා වාගේ නැමෙන්නේ නැති පුද්ගලයාය. ඒ හින්දා මලයා තමාව අවශ්‍ය වී කතා කරනා තුරු අයියා බලා සිටිනවාය. අයියා රැකියාව අවශ්‍ය වී නැවත පැමිණෙනතුරු සරත් අයියා බලා සිටිනවාය. එහෙත් දෙදෙනාට දෙදෙනා නැමෙන්නේ නැතිය. ව්‍යාපාර කරනා එවුන් ඕනෑම අසීරු තැනකින් නැමී රිංගා යාමට උපන් හපන් එවුන් නිසා ගොඩයා දනිපනිගා ඥානසිරි අයියාට වෑන් රථය භාර දෙන්නේ නිකම් ඉන්න එකේ ඔන්න ඕක ටිකක් දුවනවා යන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ඥානසිරි අයියාගෙන් ලැබුනාවූ නිසාය. 

එදා පටන් වෑන් රථය ඥානසිරි අයියාගේ භාරයේය. ඥානසිරි අයියා ගොඩයාගේ රථය පදවන්නේ වැටුපක් බලාපොරොත්තුව නොවුනත් මහන්සියට සෑහෙන මුදලක් ගොඩයා ඥානසිරි අයියාට ලබා දෙනවාය. එහෙත් හේ එය ගන්නේ වදෙන් පොරෙන් සාක්කුවට එබුවහොත් පමණය. ඊට අමතරව ඥානසිරි අයියා භාරයේ තිබෙනා වෑන් රථය කුලියට දුන්නද ඩිරෙක්ට් මාර්කටිං එකේ එවුන් ඥානසිරි අයියගේ කුලී කාරයෝ ගානය. ඩිරෙක්ට් මාර්කටිං ලොක්කා ටයි පටියක් පැළඳ ජැන්ඩි පහට රථයේ ඉදිරිපස ආසනයේ විරාජමාන වුවද ඥානසිරි අයියාගේ නිරීක්ෂණයට අනුව ඩිරෙක්ට් මාර්කටිං ලොක්කා  යනු ජේතවනාරාමයට  ගල් ගසා වඳුරන්ගෙන් බණ අසා ඇති අං ගිලපු හාදයෙක්ය. ඒ නිසාවෙන් ඥානසිරි අයියා දිනපතා කුලී මුදල් ඩිරෙක්ට් මාර්කටිං ලොක්කාගෙන් ලබාගන්නේ හේ ඥානසිරි අයියාගේ විශ්වාසයේ කඩඉම් විභාගයෙන් අසමත්වූ හින්දාය. රට වටේ කරක් ගසා නානාප්‍රකාර මිනිසුන් ඇසුරු කර ඇති ඥානසිරි අයියාට පුද්ගලයකු හඳුනා ගැනීමට ගතවන්නේ විනාඩි පහක් දහයක් වැනි සුළු කාලයකය. ඥානසිරි අයියාගේ නීතියට අනුව අද වාහනයේ කුලී මුදල් නොදුන්නොත් හෙට උදෑසනට ඩිරෙක්ට් මාර්කටිං කරන්නට වන්නේ පයින්ය. දෙන්නම් කාසි වලට ඥානසිරි අයියාගේ සේවය ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනියට සැපයෙන්නේ නැත්තේ එම කොම්පැනියේ ලොක්කා සහ සේවක සේවිකාවන් කොහෙන් ආවාද ස්ථීර පදිංචිය කොහේදෝ කියා ඒ අවට කිසිදු සත්වයෙක් නොදන්නා වග ඥානසිරි අයියා විසින් තහවුරු කරගත් තොරතුරක් හින්දාය. ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනිය පවතාගෙන යන්නාවූ නිවසද කුලියට ගන්නා ලද නිවෙසක්ලුය. ඩිරෙක්ට් මාර්කටිංලා තුන් වේලම කන්නේ බොන්නේ කඩවලින් වීමද ඥානසිරි අයියාගේ පරීක්ෂණ අසමත් වීමට තවත් හෙතුවක්ලුය. ඥානසිරි අයියා කියනා ආකාරයෙන් ඔහුගේ භාෂාවට අනුව මෙසේය..

"මුන් මල්ලි කොහෙන් ආවද කොහේ එවුන්ද කියල මේ අහල ගම් හතක එවුන්වත් දන්නේ නැහැ. මුන්ගේ මහා එකා ඉන්නවා නේද.. ඌ ලෝක හොරෙක්.. උගේ වයිෆ් ඉන්නව නේද අර තොල් පාට කරගෙන තොරොම්බල් කරත්තේ වගේ යන එකී.. එන්න ඒකි ඇවිල්ල කට්ට කපටි කයිරාටිට අම්මණ්ඩි කෙනෙක්.. මුන් එකෙක්වත් ඔය ඉන්න ගෙදර තේ එකක්වත් හදාගෙන බොන එවුන් නෙවෙයි.. තුන් වේලම කන්නේ කඩෙන්.. උදේට වාහනේට නගිනකොට එකෙක්ගෙවත් අතේ ඩීසල් ගහන්න සල්ලි නෑ.. එක එකාගෙන් එකතු කරලා තමයි වාහනේට ඩීසල් ටික ගහන්නේ.. ඊට පස්සේ දවසෙ කරන බිස්නස් වලින් අනික් උන්ගේ කොමිස් බෙරන්නේ හවසට වාහනෙන් බහින්න කලින්මයි. ඒ කියන්නේ මුන් එකෙකුටවත් හෙටක් නෑ.. ඊයේ කියල දවසකුත් නෑ... මුන්ව විස්වාස කරන්න බෑ මල්ලි.. ඒ හින්ද අද සල්ලි අද නොගත්තොත් අපි රැවටුනා වෙනවා. ඒ හින්ද මේ වාහනේ මෙතන දුවන්නේ මං මේක එලවනකම් විතරයි හොඳේ.. නොදන්නා ඩ්‍රයිවර් කෙනෙකුට මේක දීල මුන් එක්ක යවන්න එපා.. සල්ලි තියා වාහනේවත් හොයාගන්න නැති වෙයි අන්තිමේ "

එවන් ආකාරයෙන් කෙරෙනා එදා වේල ව්‍යාපාරයක කොන්ත්‍රාත් පදනම මත ලබාදී ඇති ගොඩයාගේ වෑන් රථය තිබෙන්නේ සෑහෙන තරමක අවදානමක වග ගොඩයා වෙත වටහා දෙන්නට ඥානසිරි අයියාට වැඩි මහන්සියක් ගන්නට උවමනා වුයේ නැත්තේ ඩිරෙක්ට් මාර්කටිං ගැන ගොඩයාගේ විශ්වාසයද අඩකට වඩා අඩු අගයක් ගැනීම වෙනවාය. 

ඔවන් වාතාවරණයක් යටතේ එක්තරා දිනෙක ඥානසිරි අයියාට නිවාඩුවක් අවශ්‍ය වන්නේ සරත් අයියගේ වෑන් රථය අනතුරට පත්වීමේ රක්ෂණ වන්දි ගැනීම වෙනුවෙන් උසාවියට පෙනී සිටින්නට සිදුවීම වෙනුවෙන්ය. ඥානසිරි අයියාගේ අවවාදයට අනුව නොදන්නා රියදුරෙකු යෙදවීම අවදානම් සහගත කටයුත්තක් වන්නේ ඩිරෙක්ට් මාර්කටිං උදවිය ඇන්නා පැන්නා වර්ගයේ එවුන් වගට ගොඩයාටද ඉවෙන් මෙන් දැනුනා වූ හන්දාය. ඩිරෙක්ට් මාර්කටිං යනු එකල ලංකාවට අලුතෙන් හඳුන්වා දුන් සංකල්පයක් වූ නිසාත් එය කෙරෙනා ආකාරය සමීපව දැකගැනීමේ උවමනාවක් අම්බලන්ගොඩයාගේ හිතේද හෙමි හෙමිහිට තිබෙනවාය. ගොඩයා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දැමීමේ අභිලාෂයෙන් ඥානසිරි අයියා උසාවි යන දිනයේ රියදුරු පදවියට අනුයුක්ත වන නමුත් ඒ ලොකු අම්මාට හොර රහසේය. ඒ මන්ද යත් ගොඩයා රියදුරෙකු ආකාරයේ චරිතයක් හොබවනවාට ලොකු අම්මා කිසිසේත්ම කැමති නැත්තේය. ගොඩයා රථයේ අයිතිකරු වුවත්, කරන්නේ සයිඩ් බිස්නස් එකක් වුවත්, පිටස්තර එවුන්ට රියදුරා වීම ලොකු අම්මාට සෑහෙන්න අවමානයක් ගෙන දුන්නාවූ කාරණයක්ය. සුදු අයියාට නම් එය සිම්පල් කටයුත්ටක් වුවත් ලොකු අයියාද එවන් දෑ වෙනුවෙන් හිටගන්නේ ලොකු අම්මාගේ පක්ෂයේය. පොඩි අයියා ඔව්වාට කතා කරන්නේ නැතිය. 

එවන් වාතාවරණයක් යටතේ ඩිරෙක්ට් මාර්කටිං නඩය පටවාගෙන ගොඩයා වාහනය පදවන්නේ ගාල්ල කොටුව දිහාවටය. ඒ මන්ද යත් කොටුවේ කඩයෙන් අවශ්‍ය කරනා විකුණුම් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. පළමු නැවතුම කොටුවේ කඩය වූ නිසා ඩිරෙක්ට් මාර්කටිං කෙරුවාවේ පළමු රහස ගොඩයා ඉදිරියේ හෙළිවී හමාරය. එනම් මුන්නැහේලා ටයි පොලු දමාගෙන ගෙවල් ගානේ ගොස් විකුනන්නේ කොටුවේ කඩයෙන් ඊට වඩා අඩුවට මිලට ගත හැක්කාවූ බඩු භාණ්ඩය. 

අවශ්‍ය කරන වෙළඳ ද්‍රව්‍ය පටවාගත් ඩිරෙක්ට් මාර්කටිං නඩය ඊළඟට යන්නට යන්නේ රජ්ගම හන්දියෙන් හැරී ඇතුලට වෙන්නට තිබෙනා ගම්මාන දිහාවටය. ගාලු පාරෙන් ඇතුලට කිලෝමීටර දෙකක් තුනක් ගියතැන තිබෙනා කඩ මණ්ඩියක  රථය නවත්වන්නට අණ කරනා ඩිරෙක්ට් මාර්කටිං ලොක්කා නඩය රථයෙන් බස්සවා කඩ මණ්ඩියේ සිටිනා මිනිසුන්ට ඇසෙනා ආකාරයෙන් ලොකු ලෙක්චර් එකක් දෙනවාය. හේ කියනා ආකාරයට ඩිරෙක්ට් මාර්කටිං ගෝලයෝ ලංකාවේ සුප්‍රසිද්ධ අලෙවිකරණ පාසලක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය. ඔවුන් මේ කරන්නේ ක්ෂේස්ත්‍ර පරියේෂණයක් වන අතර ඔවුන්ගේ සාර්ථකත්වය අනුව අවසන් උපාධි පරීක්ෂණය සඳහා ලකුණු හිමි වෙනවාලුය. මෙම වෙළඳ ද්‍රව්‍ය ලංකාවේ කිසිදු ආයතනයකින් මිලදීගත නොහැකි සුවිශේෂී ඒවා වන නිසාත් තරඟකාරී මිල නිසාත් පාරිභෝගිකයින් සඳහා විශේෂ වට්ටම් ප්‍රධානය කල යුතුය. අලෙවි හැකියාව, කළමනාකරණ හැකියාව, පාරිභෝගික සේවාව සහ අනෙකුත් දක්ෂතා වෙන වෙනම අධීක්ෂණය කෙරෙනා අතර ඒවාට වෙන වෙනම ලකුණු හිමි වෙනවාලුය. ටයි පොලු දමාගත් පිරිසක් වටකරගෙන ඩිරෙක්ට් මාර්කටිං ලෝකා දෙන තවුසන් ටෝක් එක දිහා කඩ මණ්ඩියේ සිටිනා අයවලුන් කට ඇරගෙන බලා සිටිනවාය. ඩිරෙක්ට් මාර්කටිං ගෝලයෝද ඉතාමත් විනයගරුක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකාරයෙන් තමතමුන්ගේ ඇක්ටින් පාර ලෙසටම කරගෙන යනවාය. ගල් පැලෙනා බොරු අසාගෙන සීරියස් ආකාරයෙන් සිටීමේ සීමාව ඉක්මවා යාගෙන ආ නිසා රියදුරු අසුන පහතට ඇලකරගන්නා අම්බලන්ගොඩයා කට තදින් අලාගෙන අමාරුවෙන් සිනහව නවතාගන්නේ ප්‍රසිද්දියේ සිනහ ගියහොත් එයින් අවැඩක් වන්නට ඉඩ තිබෙනා වග අක්මාවට දැනෙනා නිසාය.


එවන් ආකාරයේ උපදෙස් මාලාවකින් අනතුරුව විසිර යන්නාවු අලෙවි කළමනාකරුවන් කොටුවෙ කඩයෙන් ගෙනා චයිනීස් ප්ලාස්ටික් උපකරණ සහ බ්ලෙන්ඩර් විකුනාගන්නට ගෙවල් ගානේ යද්දී ගොඩයා පාඩුවේ වෑන් රථයට වී කාලය මරනවාය. ඉතාම නිස්කලංක පලාතක් බැවින් එහි නිහඬ භාවය විඳගනිමින් කල්පනා ලොව මල් වනේ කරනා  අල්ලපනල්ලේ ගොඩයාගේ දැහැන එකවරම බිඳෙන්නේ කව්දෝ කෑ ගසනා ශබ්දයක් අසුනාවූ නිසාය. 

බුදු අයියේ ඉක්මනට ස්ටාර්ට් කරන්නෝ... ස්ටාර්ට් කරන්නෝ.... ස්ටාර්ට් කරපියෝ...

ශබ්දය එන පසුපස දිහාව බැලූ කල ගොඩයාගේද කන් දෙක කෙලින් වන්නේ ස්කුබියා හොල්මනක් දුටුවා හා සමානවමය. ඩිරෙක්ට් මාර්කටිං ගෝලයින් දෙදෙනෙකු සුගත් තිලකරත්නටත් වඩා වේගයෙන් වෑන් රථය දිහාවට දුවගෙන එනවාය.. දුවනවා කිව්වාට දුවනවා නොවේය.. විදිනවාය.. ඊට පසුපසින් එම තරඟ ඉසව්වටම සහභාගී වී ඇති සෙයියාවක් පෙන්වනා ගම්වැසියන් පිරිසක් පොලු කිහිපයක්ද වනමින් අලෙවි කළමනාකරුවන් දෙදනා පසුපසින් එලවාගෙන එනවාය. හදිසියකදී ක්‍රියාත්මක වීමේ වේගය ගොඩයා ඉගෙනගෙන ඇත්තේ පාසැල් මිතුරන්ට පිං සිදුවන්නට ය. " දු " යන අකුර ඇසුණු සැනින් "වපාන්" යන අකුරු තුන ඇසෙන්නට මත්තෙන් සිටිනා තැනින් පැන දුවන්නට පුරුදු පුහුණු කර බලගැන්වූ පාසල් සමයක් පසුකර තිබෙනා ගොඩයාට, රථ දිහාවට දිවගෙන එන ගම්වැසියන් එහි පැමිණෙන්නේ සැප දුක අසන්නට නොවනා වග පැහැදිලි වන්නට යන්නේ තත්පරයකිනුත් අංශුමාත්‍රයක් පමණක්ය. රථය නවත්වා පැයක් දෙකක් ගතවී තිබුණු බැවින් එය නැවත පණගැන්වීමේදී එන්ජිම රත් කරවීම අත්‍යවශ්‍ය වුවත් රථය දෙසට පැමිණෙමින් තිබෙනා ගම්වැසියන් එහි ලඟාවන්නට මත්තෙන් එන්ජිම පනගැන්වීම අත්‍යාවශ්‍ය කාරණයක් වනවාය. ඒ මන්ද යත් රථය පණගැන්වීමට මත්තෙන් ගම්වැසියන් එහි ලඟා වුවහොත් ගොඩයාටද අලෙවි කළමනාකරුවන් දෙදෙනාට නියමිත ගුටි කෝටාවෙන් කොටසක් ලැබෙන්නට සෑහෙන්න ඉඩ ප්‍රස්තාවක් තිබෙනාවූ හින්දාය.  

උදාවී ඇත්තාවූ අවස්තාවට අනුව රථය පනගන්වාගෙන ඉන්නා තැනින් හුළඟටත්  වඩා වේගයෙන් මාරුවීමේ අවශ්‍යතාවය අතිමහත්ය. එංජිම හීට් කරලා අහවර වී න්‍යායානුකුලව රථය පණගැන්වීමටද කාලයක් නැත්තේය. ඉතා ලෙහෙසියෙන්ම රියදුරු අසුනෙන් බිමට පැන අසල තිබෙනා වෙල් යාය හරහා පැන දුවන්නට වාගේ මසුරං අදහසක් මොලය දිහාවට මෝදු වුවද එය ප්‍රායෝගික නොවන්නේ ගොඩයා දිවිලි ශූරයෙකු නොවෙනා වග ගොඩයාම සක්සුදක් සේ දන්නා හින්දාය. එකම විකල්පය නම් රථයේ එන්ජිම පනගන්වාගෙන හැරුන ඔලුව හැරුන අතේ ධාවනය කරවීමය. ඒ හෙයින් ගොඩයා රථයේ යතුර කරකවනවාය. සෞක්‍ය තත්ත්වය සියයට පනහක පමණ මට්ටමේ තිබෙනා වෑන් රථයේ එංජිම බෑ බෑ කියා ඇදීගෙන ගොස් කළු දුම් වළාවක් දමමින් පණගැන්වෙනවාය. එතනින් එහා ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් රජ්ගම වර්ෂන් එක ෆේස්බුක් ලයිව් පෙන්නනවා වාගේය. ගොඩයා කෙදිනකවත් තමුන් සමග පැමිණි එකෙක් මග දමා දුවනා වර්ගයේ එකෙක් නොවනා නිසා අලෙවි කළමණාකරුවන් දෙදෙනා වෑන් රථයට ලඟා වනතුරු මදක් පමා වනවාය. පමා වෙනවා කීවාට නවතාගෙන ඉන්නවා නොවේය.. එකසිය තුන මරදාන පොලිසිය ඉදිරියේ අද්දනවා වාගේය.. එකසිය තුන, එකසිය හතලිස් හතර හා අනෙකුත් බොරැල්ල දිහාවට ධාවනය වන බස් රථ මරදාන පොලිසිය ඉදිරියේ නවතාගෙන සිටින්නේ සැර දමමින් ඉදිරියට යන ගමන්මය. පසුපසින් පැමිණෙන බස් රථය දුටු වහා රියදුරා බස් රථය රැගෙන බොරැල්ල දිහාවට ඉගිලෙනවාය. ඒ අල්ලපනල්ලේ රථයට ගොඩවෙනා මගින් වේනම් එවුනට බුදුසරණය. ඒ ආකාරයෙන්ම ගොඩයා අලෙවි කළමනා කරුවන් දෙදෙනා රථය අසලට පැමිණෙන තුරු සැර දමාගෙන හෙමිහිට ඉදිරියට ධාවනය කරනවාය. දෙදෙනාගෙන් එකෙකු රථයේ පැත්තේ දොර ඇරගෙන රථය තුලට පැනගන්නට සමත්වෙනා අතරේ අනෙක් එකා රථයේ එල්ලීම පසෙක තබා ඔලිම්පික් ධාවන ශූරයාගේ මී මුත්තාටවත් අලාගන්නට බැරි වේගයකින් වෙල් යාය හරහා පැන දුවනවාය. දැන් ඉතිරිය ගොඩයා අතේය.. ඊළඟ කොටස ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් රජ්ගම වර්ෂන් එක ෆේස්බුක් ලයිව් පෙන්වනවා වාගේය. ගොඩයා වෑන් රථය අතුරු පාර දිගේ එලවනවා නොව පිඹිනවාය. යන්නේ කොහාටදෝ කියා නොදන්නවා වුනත් ඇඟපත සම්බාහනය කරගන්නවාට වඩා යන අපායකට ගැලවී යාම අත්‍යවශ්‍ය නිසා ගොඩයා පාර දිගේ රථය වේගයෙන් පදවනවාය. එහෙත් රථය යන්නේ හොඳ ගමනාන්තයක් කරා නොවනා වග ඇස් පනාපිටම පෙන්වා දෙමින් පිට්ටනියක් වැනි ස්ථානයකින් පාර අහවර වෙනවාය. එය වෙනත් ආකාරයකින් කියනවානම් එක්කෝ රථය නැවත හරවාගෙන ගම්මුන් යටකරගෙන ගොස් ජීවිතය බේරාගත යුතුය. නැතිනම් ස්වේච්චාවෙන් සම්බාහන ප්‍රතිකාරය සඳහා එඩිතරව මුහුණ දිය යුතුය. දෙකම කල නොහැකි වර්ගයේ විසඳුම් නොමැති ප්‍රශ්නය. ඒ අස්සේ රථයට ගොඩවූ හාදයා දිහා මදක් විමසන්නට ගොඩයා මද අස්වැසිල්ලක් ලබාගන්නවාය..

අප්පද බොල ඌට නැති වෙන්නම නෙලලාය.. ටයි පටිය බෙල්ලේ තිබුනත් සුදු කමීසයේ සාක්කුව කව්දෝ අසමජ්ජාති එකෙකු සම්පූර්ණයෙන්ම ඉරාගෙනය. කමීසයේ බොත්තම් එල්ලෙනවාය. ජෙල් ගා පීරූ කොණ්ඩය වෙස් අත්තක් ගානය. බිම දමාගෙන නෙලූ ආකාරයක සාක්ෂි සලකුණු සුදු කමීසය පුරා බොහෝය. උදෑසන වාහනයේ බහිද්දී අතෙහි රැඳුනා වූ කළු පාට ෆයිල් ආවරණය ආගිය අතක් නැත්තේය. කමීසයේ සාක්කුව අතුරුදහන් වීම හා සංසන්දනය කරනා කල සාක්කුවේ උජාරුවට හැමිනී තිබූ පෑන ගැන සෙවීම යනු,  රාළට හෙන ගැසූ පසු බුලත් පයිය සෙවීම වැනි වූ කාරණයක්ය. උදෑසන දිලිසෙන්නට ඔප දමා තිබූ සපත්තු යුගලය පිටින්ම වෙලක් මැඩවූ ආකාරයේ ලකුණු සපත්තු කුට්ටමේ අඩු නැතිවම පෙනෙන්නට තිබෙනවාය. කලිසමට ජැන්ඩි පහට යටකර තිබූ කමීසය දැන් තිබෙන්නේ සම්පූර්ණයෙන්ම කලිසමට උඩින්ය. 

මල්ලි මොකෝ උනේ..

ගැහුවා අයියෙ ගැහුවා..

මොනවා කරාටද ගැහුවේ කියනවකො..

මීට සති දෙකකට කලින් රජ්ගම කිට්ටුව අපි සේල්ස් කරා.. උන් දැනගෙන අපි කොටුවේ කඩෙන් ගෙනල්ල වැඩි මිලට විකුනනවා කියල..

ඉතිං..

ඉතිං අපි මෙහෙ අද සේල්ස් කරනවා කියල ආරංචි වෙලා සෙට් එකක් ඇවිත් නෙළුවා අයියෙ නෙල්ලිලක්.. මං සෑහෙන්න ගේමක් දීල තමයි වාහනේ පැත්තට පැනගත්තේ..

දැන් කෝ අනික් උන්..

දන්නේ නෑ බුදු අයියේ දන්නේ නෑ... ඉක්මනට අපි මෙතනින් මාරු වෙමු...

කොහේ මාරුවෙන්නද මනුස්සයෝ.. මෙතනින් පාර ඉවරයි.. දැන් තියෙන්නේ කෑමක්.. 

අනේ බුදු අයියෙ උන් හෙන දරුණු මිනිස්සු.. කඩුත් තිබ්බ.. අහුවුනොත් අනිවාර්යෙන් කපනවාමයි..

කඩු කියූ සැනින් ගොඩයාගේ කන් දෙක නැවතත් කෙලින් වෙනවාය. පිට්ටනිය එහා කෙලවරේ පාරක සෙයියාවක් පෙනෙනා නිසා ගොඩයා පිට්ටනිය හරහා රථය නැවතත් ධාවනය කරන්නේ කඩු සටන් ගැන ගොඩයාට මෙලෝ අවබෝධයක් නැති හින්දාය. දෙයියෝ යාන්තම් බලලා උනත් පාර තිබෙන්නේ පිට්ටනියට වඩා අඩි  දහයක පමණ බෑවුමකින් අනතුරුවය. ඕෆ් රෝඩ් රථයක් වුනානම් බෑවුමෙන් පාරට ගැනීම සිම්පල්ය.. එහෙත් සාමාන්‍ය වෑන් රථයක් එම බෑවුමෙන් පාරට ගැනීමට යාම ඉදිරිපස හොම්බ බිම ඇනී එහාටත් මෙහාටත් නොමැතිව නවතින්නට වන මෙව්වා එකක්ය. ඒ සියල්ල අතරේ ගම්මානය පුරා කෝලහාලයක් ආකාරයෙන් ගම් වැසියන් කෑගසනා ශබ්දය ළඟ ලඟම ඇසෙනවාය. දැන් ගොඩයා වෙත ඉතිරිව තිබෙන්නේ ඉදිරියේ තිබෙනා අභියෝගය හමුවේ තම මෝඩකම පෙන්වීමට පමණය. ඒ හෙයින් ගොඩයා වෙන දෙයක් වෙච්චාවේ කියා සිතාගෙන අංශක හතලිස් පහකට වැඩි වූ බෑවුමෙන් රථය පහලට දමනවාය. එහි ප්‍රතිපලයක් වශයෙන්ද  සසර කල කර්මයක ප්‍රතිපල වශයෙන්ද වෑන් රථය බෑවුමේ පස් කාගෙන ගොස් ඉසිරිපස බෆරයද  බිම ඇනී දෙකට නැවී ඇද වෙද්දී ප්‍රධාන පාරට අවතීරණය වනවාය. ඉදිරිපස අංක තහඩුව දෙක නැමී කැඩී ගියද කැඩුණු කොටස එතන දමා පැන යාම එම නඩුව ගොඩයා වෙත ෆයිල් වීමේ අවධානමක් ගන්නා බැවින් ගොඩයා හනික රථයෙන් බැසගොස් අංක තහඩුවද අහුලාගෙන නැවත රථයෙන් ඉගිලෙනවාය. 

පසුපස ඉන්නා එකා ආසනයෙන් පසුපසට හැරී පසුපස දිහාම විපරමින් ඉන්නවා විනා රථය යන්නේ කොයි දිහාවටදෝවත් හේට අවබෝධයක් නොමැතිය. රථය ධාවනය වන්නේ ගොඩබිම දිහාවටය. ගාලු දිහාවට යන්නට නම් ගාලු පාර දිහාවට පැදවිය යුතු වුනත් ඒ දිහාවට පැදවීම සියදිවි නසාගැනීමක් වැනිය. කොටුවේ කඩයෙන් එම මිලට ගෙනවිත් අහිංසක ගම්මුන් හට බේගල් ඇදබා වැඩි මිලට බඩු විකුනනා මුන් වැනි එවනු හට බිම දමාගෙන පහර දුන්නාට කිසිදු හිතේ අමාරුවක් ගොඩයාට නොමැතිය. තිබෙන්නේ එවුන් විසින් බාන්නට නියමිත පරිප්පු නෞකාවට කර තැබීමට ගොඩයාටද සිදුව ඇති හින්දා ජීවිතය බේරාගෙන පැනගනීමට ක්‍රමයක් සෙවීමටය. රථය ඉදිරියට යන අල්ල පනල්ලේ කවුදෝ නැවතත් කෑගසනා ශබ්දයෙන් වටපිට බැලූ කල ඈත වෙල් යායක් හරහා ඩිරෙක්ට් මාර්කටිං ලොක්කා සහ තවත් කිහිපදෙනෙකු භාදක මත දිවීමේ ඉසව්ව සාර්ථකව නිමකරන්නට ඔන්න මෙන්නය. උදෑසන කිරි කොකුන් වාගේ වාහනයෙන් බැසගිය අලෙවිකරණ උපාධි අපේක්ෂකයින් සහ උන්ගේ ලෙක්චරයා මඩ නාගෙන වෙල් යාය හරහා වෑන් රථය දිහාවට දිවගෙන එනවාය. උදෑසන අතින් කටින් එල්ලාගෙන ගියා වූ කොටුවේ කඩයෙන් ගන්නා ලද උපකරණ එකකුදු පෙනෙන්නට නොමැතිය. මොනවා නැති උනත් ටයි පටි ටිකනම් කරේ තිබෙනවාය. වයිවාරන පාටින් පාට කරනා ලද ඩිරෙක්ට් මාර්කටිං ලොක්කාගේ අඹුව හරක් පට්ටියක් හා ලැග්ගා සමානය. උන්දෑ උදෑසන දිස්වූයේ වෙසක් උත්සවය වෙනුවෙන් සැරසු වෙසක් කූඩුවක් හා සමානවය. ඊට පැය දෙකකට පසු උන්දෑ ඌරු කොටුවක ඊරියක් ගානට මඩ නාලාය. ගොඩයාට මෙවන් වංචනිකයින් දෑහට පෙනෙන්නට බැරි වර්ගයේ එවුන් හෙයින් ඩිරෙක්ට් මාර්කටිං එවුන් මග දමා යන්නට හිත යෙදුවත් රථයේ ඉන්නා එකා නාහෙන් අඬන්නට තියාගන්න නිසා රථය නවත්වා මඩ කරි ටික රථයට නංගා ගන්නවාය. ඒ ආස්නා වල වාඩි නොවෙනා පොරොන්දුව මතය. 

උදෑසන පැමිණි එවුන්ගෙන් එකෙකු හැරෙන්නට අනෙක් එවුන් සියල්ලම දැන් රථය ඇතුලේ ඉන්නවාය. අඩු එකා පළවෙනියෙන්ම රථය දිහාවට දිවවිත් ක්ෂණික තීරණයක් මත වෙල් යාය හරහා පැනදිවු එකාය. අදාළ ගම්මානයෙන් කිලෝමීටර පහ හයක් ඈතට ධාවනය කරනා රථය නවත්වන්නේ අඩු එකා එනතුරු ඉන්නවාද නැද්ද යන තීරණය තිබෙන්නේ ඩිරෙක්ට් මාර්කටිං පිරිස අතේ නිසාය. එහෙත් සියල්ලෝගේම තීරණය වෙනත් පාරකින් නවාතැන වෙත යාමය. හොර නඩයේ කතා බහෙන් ගොඩයාට දැනෙන්නේ මෙවන් ගුටි සනෙකෙලියක් හා එකතුපහදුවන පළමු අවස්තාව මෙය නොවය බවය. ඇසෙනා ආකාරයට වෙල් යාය හරහා පැන දිවූ හාදයා එවන් වීරකම් කර ජීවිතය බේරාගෙන බෝඩිමට පැමිණ වීර විභූෂණ පදක්කම් දිනා ඇති එකෙක්ලුය. ජේම්ස් බොන්ඩ් වර්ගයේ එකෙකු වන අතුරුදහන් එකා දමා යාම ඒ තරම් කජ්ජක් නොවෙනා නිසා ඩිරෙක්ට් මාර්කටිං ලොක්කාගේ අදහස නැවත නවාතැනට යාමටය. ඒ අනුව ගොඩයා අහලින් පහලින් පාර අසාගෙන ගෝනාපීනුවල හරහා හික්කඩුව වෙත රථය රැගෙන එනවාය. 

මුහුදු වෙරල ආසන්නයේ නවත්වන රථයෙන් බැස යන මඩ කරි මාර්කටිං සෙට් එකේ ඊළඟ පරමාර්ථය මුහුදු වතුරෙන් මඩ සෝදාගෙන මුකුත් නොවුනා ආකාරයෙන් නැවතත් කොටුවේ කඩයට ගොස් බඩු මිලට ගෙන වෙනත් ගම්මානයක් වෙත යාමටය. ගොඩයාගේ ව්‍යාපාර අංශය ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනිය තරම් අජපල් එකක් නොවෙනා නිසා, මඩ සෝදාගත් කල ඩිරෙක්ට් මාර්කටිං කාරයා රජකමටත් සුදුසුය යන්න හිතේ තබාගෙන  හොර නඩය මුහුදු වෙරලෙහිම දමා තබා නැවත ඊළඟ ආත්මයේවත් ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනි වලට වාහන කුලියට නොදීමේ අධිෂ්ඨානයෙන් අම්බලන්ගොඩ දිහාවට රථය පදවනවාය. 

එයින් සතියකට පසු ඩිරෙක්ට් මාර්කටිං කොම්පැනිය, නැවතී සිටි නිවසේ අයිතිකරුට මාසයක කුලියද හිඟ තත්වයේ තබා පැදුරටත් නොකියා මාරුවී ගොස් තිබුනේලුය. ඥානසිරි අයියාට පින්සිදුවන්නට ගොඩයාගේ අලාභය දවසක කුලිය පමණය. රථයේ ඉදිරිපස බෆරය සහ අංක තහඩුව නැවත සෑදීමේ ගාස්තුව ගොඩයා පාඩු වූ ව්‍යාපාර ගිණුමට බැරකර හිත හදා ගන්නවාය.

එවන් ඉතිහාසයක් තිබෙනා ඩිරෙක්ට් මාර්කටිං උදවිය ඇවිදින් ගොඩයාගේ ගෙට්ටුවට තට්ටු කරනා විට අදද ගොඩයාට අසූහරදාහට මල පනිනවාය. ඒ ගොඩයා එවුන්ගේ ව්‍යාපාර රහස් දන්නා නිසාය. කොයිතරම් කියා පැහැදුවත් ගොඩයාගේ මෑණියන් නම් මසකට වරක් දෙවරක් ඩිරෙක්ට් මාර්කටිං අලෙවි උපාධි අපේක්ෂකයින් එකෙකුට දෙන්නෙකුට අහුවෙනවාය. එවන් ආකාරයෙන් මිලදීගත් ප්ලාස්ටික් කැබලි, ඉලෙක්ට්‍රික් අබලි ද්‍රව්‍ය ගොඩයාගේ වත්තේ අහුමුලු වල තිබී දකිනා විට ගොඩයාට නැවතත් අසූහාරදෑදාහට මල පනිනවාය. එවන් අවස්තාවන්හීදී ගොඩයා මවු තුමියට තදින් අවවාද කරන්නේ අවශ්‍ය භාණ්ඩයක් තිබේනම් නමක් ගමක් තිබෙනා කඩයකට ගොස් වගකීමක් සහිතව මිලයට ගන්න ලෙසය. එහෙත් ගොඩගේ මෑණියන්ගේ පිළිතුර එදත් අදත් හෙටත් එකමය..

පවු ළමයෝ.. මේ අහිංසක ළමයින්ට රස්සාවක් නැති නිසානේ ගෙවල් ගානේ ගිහින් බඩු විකුනන්නේ.. ඉතිං උදව්වක් විදිහට ගන්න එක පිනක්නේ... ඔය තරම් ආත්මාර්ථකාමී වෙන්න එපා.. මටනම් හරි ලෝභයි ඒ පොඩි එවුන් දැක්කම...

එහෙව් පින් දහම් වලිට පින් සිදුවන්නට ප්ලාස්ටික් බේසම්, බාල්දි, අලුමීනියම් හට්ටි මුට්ටි මෑණියන්ගේ මුළුතැන්ගෙයි වැහි වැහලාය. 

දැක්කාම ලෝභ සිතෙනා අහිංසක පොඩි එවුන්ට පින්සිදුවන්නට, නැවකට ගුටි කන්නට ගොස් ගොඩයා අනූ නවයෙන් බේරුනා වූ කතාන්දරය මෑණියන් අද වෙනතුරුද දන්නේ නැතිය. 

40 comments:

  1. කාලෙකිං අම්බලන්ගොඩයගෙ පෝස්ටුවක් වැටුන.කියවල එන්නම්... :-D

    ReplyDelete
    Replies
    1. එන්න ඕන නෑ.. ඔහොමම කියවගෙන යන්නකෝ..

      Delete
  2. මෙවිවා කුමන්ත්‍රණ...හිටගෙන...

    ReplyDelete
  3. තව පෙඩිඩෙන්...අමිබලන්ගෙඩ අයියාට ඩිරෙක්ම කන්න තිබුනා..නැවක පරිප්පු....

    කතාවට ගෙඩක් කල් ගත්තා...එවිව මහ කැත වැඩ..හාද....

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ කැත වැඩ නොකර ඉන්න බලන්නම්කෝ...

      Delete
    2. හොද ළමයි කියනදෙ අහනවා...

      Delete
  4. අම්මපා ගොඩයියා ඉඳලා තියෙන්නේ පවුලේ හැට හුටාමාරක් නෑයින්ට යටත්වෙලා නෙවැ. ඔය එවුං අපේ ඔපිස් එකටත් කඩා පැනලා විඩිං විඩේ ලොඳ හැලෙන ටෝක් දෙන්නෙ. අපේ වෘෂභ හැත්තත් ඇඳගන්නම යනකොට මම උං පෙන්නන බාන්ඩේ විද්‍යුත් බොක්කේ (ebay) එකෙං හොයාගන්නව. ඉං පස්සෙ අපේ එවුං එක එකාලා ළඟට ඇදගෙන ඒකෙ මිලත් එක්ක පෙන්නනවා. මෙවුං දකිනකොට මටනං හිතෙන්නෙ මුන්ට මේ රටේ රස්සා නැතුවද කියායි. කොටිම්ම අතපය හතර හොල්ලන්න පුළුවං එකෙට්ට දවසට කාලා බීලා රුපියල් දාහක් සාක්කුවෙ දාගන්න පුළුවං යහපත් රස්සා ඕන තරං තියෙනවා. තව හරියට ඇන මුරිච්චියක් කරකවගන්න, වෑර් පොටක් අමුණගන්න, මොකක් හරි සැරයක් කියා දුන්නම ඒක යංතං හරි ඉගෙනගන්න පුළුවන්නං අර දාහ එකදාස් පන්සීය කරගන්න පුළුවං.

    ඒකට හොඳම උදාහරනෙ මට හම්බවුනේ පහුගිය නෙලුං සම්මාන උස්සවේ අහවර වෙලා එත්දි බස්සෙකේදි. මිනිහා දෙමළ, වැඩ කරන්නෙ ටයර් කඩේක. අකුරු බෑ, ඉලක්කං පුළුවං. දවසෙ පඩිය දාහයි. අමතර ඉපයීම් දාහයි. කෑමබීම, ඉඳුම් හිටුම් නොමිලේ ලැබෙනවලු. මිනිහා වෙනම ඉඩමක් අරං ගෙයක් හදලා ළමයි පස් දෙනාටමත් උගන්නනව. සේරම එන්නෙ බදුල්ල ටවුමෙ ඉස්කෝලෙකට. බිරිඳට ඇදුම හන්දා උන්දැටත් බෙහෙත් කරනවලු.

    හොරකමෙන් බොරුවෙන් ජීවත්වෙන්න හදන එවුන්ට ඔහොම නෙලලා මදි.

    ඥානසිරි අයියා දෙයියෙක්. අන්න මිනිස්සු

    ReplyDelete
    Replies
    1. කම්මැලි කමෙන් ඉන්න එවුන්ගෙන් සල්ලි හොයන ක්‍රමේ දන්නා කට්ට කයිරාටික එවුන් තමයි බං ඔව්ව කරන්නේ. ඔය ලෝකේ වටේ සුප්‍රසිද්ද රයිඩ් ෂෙයාරින් කොම්පැනි වලින් කරන්නෙත් ඔය වැඩේමයි. තුට්ටු දෙකට හයර් දුවවනවා වාහන. උන් සියයට විස්සක් ගන්නවා. වාහනේ දුවන එකා තෙල් ගහන්න ඕන, රෙපෙයාර් කරන්න ඕන, ඉන්සුරන්ස් ගෙවන්න ඕන. හරියට ගණන් හදලා බැලුවොත් සත පහක ලාභයක් නැහැ. මම දන්නා කියන එක්කෙනෙක් ඉන්නවා මෙහෙ මෑන්ස් රස්සාවෙන් අයින් වෙලා ඔය රයිඩ් ෂෙයාරින් ටැක්සියක් දුවනවා. අලුත්ම අලුත් බෑන්ඩ් නිවා හොන්ඩා CRV ඒක අරන් දැන් අවුරුදු තුනක් උනෙත් නැහැ දැනට හැතැක්ම ලක්ස දෙකක් දුවල. ඒ කියන්නේ කිලොමීටර වලින් බැලුවොත් 320000 ක්. සාමාන්‍ය පුද්ගලික වාහනයක් රාජකාරී වැඩකට දිව්වොත් මෙහෙ ගෙවන අනුමත ගැන හැතක්මයට සත 55 ක්.ඒ සත 55 ගෙවන්නේ වාහනේ ඉන්දන සහ ගෙවීම් වෙනුවෙන්. ඔය කියන රයිඩ් ෂෙයාරින් දුවන එවුන්ට හැතක්මයකට සත 55 ක් ලැබෙන්නෙත් නැහැ. අන්තිමේ මම දන්නා එකාට මේ වෙනකම් ගෙවිච්ච ටයර් 4 වෙනුවට අලුත් ටයර් 4 ක් දාගන්න සල්ලියක් ඉතුරු නැහැ එකම මාසේකවත්. වාහනේ දුවන්නේ පරණ ටයර් දදා.. ඒත් උන්ගේ කම්මැලි කම නිසා වෙන රස්සාවක් කරන්න කැමතිත් නැහැ. ඉතිං උන්ව රත්තරන් හා සමානයි ඔය කට්ට කපටි කයිරාටික කොම්පැනි වලට.

      Delete
  5. හැක්.. තව පොඩ්ඩෙදි බොලාගෙ වෑන් එකට වගේම බොඩි එකටත් ඉන්සුවරන්ස් ක්ලේම් කරන්න තමයි වෙන්නෙ.
    ඔය මාකටිං කාරයො මොකක් හරි බඩුවක් ගැන කියන විස්තර ඒ බඩුව හදපු චීනවත් දන්නැතුව ඇති.

    එක අතකට අර ජෙහාන් කාරය කියනව වගේ සුපර්මාකට් එකට එන බණ්ඩක්ක එන්නෙත් මාකට් එකට බණ්ඩක්ක එන තැනිංම එකේ කොටුවෙ කඩේ මොකක්ද.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා මාර්කටිං කාරයෝ නම් මිනියක් උනත් විකුණයි බං.

      Delete
  6. ඇයි හත්දෙයියනේ රජ්ගම යනව කිව්වාමදත් උබේ මැටි මොලේට තේරුන්නැද්ද වැඩේ බරපතලකම.පුදුමයි ඕකුන් වාහනේ නම්බර් එක ලියන් ඉදල උබව හියං නාපු එක.කොහොම උනත් බේරුනේ අපි වගේ යාලුවෝන්ගෙ ඇසුර නිසා.හාද 💋

    ReplyDelete
    Replies
    1. හරි බං මම නොදන්නවාද රජ්ගම. මම ඉතිං ගැහුවත් බිම බලාගෙන යන අහිංසක පුද්ගලයා කියල උඹ දන්නවනේ.. ඒ නිසා මම මොකටද බං බයවෙන්නේ.. ඔව් ඉතිං බේරීමේ කලාව අපි කුඩා කාලයේ හිටං සහයෝගයෙන් ප්‍රගුණ කරපු කලාවක්නේ බං.

      Delete
  7. අඩේ ගොඩයෝ..!! එක වගේ 7 දෙනෙක් ඉන්නවලු. තව 5 දෙනෙක් කොහේ කොහේ හරි ඇති.. 😂. රත්ගම බූස්ස කියන්නෙ මරු මුරුස් ඩයල් ඉන්න පැත්තක්. අරුන් කෙසේ වෙතත් උබ ඔය තරමින් හරි ගොඩ ගිය ලොකු දෙයක්. ඔය පැතිවල අඳුරන මිනිස්සු ඉන්නවනම් දන්නව කොච්චර උං චන්ඩි උනත් මනුස්සකමින් ගොඩක් උසස් මිනිස්සු ටිකක්. අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න රත්ගමින් කොල්ලො දෙන්නෙක් ආව. දවසක් අපි සෙට් එකම උන්ගෙ ගෙවල් වල එක්කරගෙන ගිහිං ෆුල් ආතල් එකක් දුන්න. දෙමව්පියන් අද්‍යාපන තත්වයෙන් අඩු උනත් උන්ගෙ ජීවිත හරිම සැහැල්ලුයි. ගමම එක පවුලක් වගේ. මමනං කැමතිම උන්ගෙ ඇක්සන්ට් එකට. කතා කරන්නෙ හරියට පිරිත් කියනව වගේ..!! 😂😂😂🙈🙈🙈🙈🤣🤣🤣🤣😳😳😳

    ReplyDelete
    Replies
    1. මම දන්න හුඟක් අය ඉන්නවා ටික්කො රජ්ගම බූස්සේ. ආන් අපේ බඩ තඩියා පහුගිය කාලේ ඉගැන්නුවේ රජ්ගම ඉස්කෝලෙක. අප්පේ ඌ කියනවා සුපිරි සොමි කතා..

      Delete
  8. මරු බේරිල්ලක් බේරිලා තියෙන්නෙ 😌
    ඔවුන් එක්ක මලත් පනිනව ඒත් ආයෙම පව් කියලා හිතෙනව

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පොඩි එවුන් නම් පවු බං. ඒත් ඉතිං උනුත් ඔය මගඩියට සම්මාදම් වෙනවනේ. ගොඩයා මෙච්චර කාලෙකට ගුටි කාල තියෙන්නේ එකම ඒක වතාවයි. ඒ 1996 දි. එදානම් දැනගෙනමයි එතනට ගියේ ගුටි කෑම කෙසේ වෙතත් ජීවිතේ නැති වෙනවා කියල. ඥාති කෙනෙකුට වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් ගොඩයා පිටස්තර පාර්ශවයකට යුද්දේ ප්‍රකාශ කරා. එදා එතනට ගියේ මගේ හෝ විරුද්ද පාර්ශවයේ කෙනෙකුගේ ජීවිත නැති වෙනවා කියල දැනගෙනමයි. ඒත් කොහේදෝ වාසනාවකට ජීවිත හානි නොවී ගොඩයා නැවකට කාලා වැඩේ ඉවර උනා. සිද්දියට සම්භන්ධ වෙච්ච ප්‍රධාන පාර්ශවයන්ගේ දරුවනුත් දැන් දහ අට විස්සේ එවුන් නිසා ඒ කතාව ලිව්වොත් එයාලගේ පුද්ගලිකත්වයට හරි නැහැ. ගොඩයා එදා ගුටි කෑවට ප්‍රයිමරි මිෂන් ටාර්ගට් එක සියයට සීයක් සාර්ථක නිසා එතනින් එහා ඒක ඇදුනේ නැහැ. විරුද්ද පාර්ශවයත් පැහැදිලිවම දන්නවා වරද එයාලගේ අතේ කියල. වයස 18 නිරායුද අම්බලන්ගොඩයා තමුන්ගේ සහ ඥාතියාගේ ආත්මාභිමානය වෙනුවෙන් සීයක දෙසීයක විතර පිරිසකට යුද්දය ප්‍රකාශ කරා. එච්චර හිතේ හයියක් තිබ්බ එක ගැන එදත් අදත් දන්නෙන්නේ ආඩම්බරයක්.

      Delete
  9. මගෙ අම්මෝ ගොඩයියට වෙච්ච දේවල්...මරු කතාව තමා .... ලියන්න ගත්ත කාලය තමා වැඩි ඉතිං ...

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් එකෙන් අපිට ගෙවන්නේ නැහැනේ නෙතු.. ගෙවනවනම් ඔක්කොම රස්සාවල් නවත්තලා ගෙදරට වෙලා ෆුල් ටයිම් ලියන්න පුළුවනි. වර්තමාන ලෝකයේ ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන වෘත්තීය බ්ලොගර්ලා අතරින් 4% ක් පිරිසගේ මාසික ආදායම ඩොලර් 10000/- ට වැඩියි. සිංහල බ්ලොග් කියවන්නේ පුංචි රටක පිරිසක් නිසා අපිට කවදාවත් බ්ලොගින් වලින් උපයන්න බැහැ.

      Delete
  10. සජීවී ප්‍රචාරයක් වගේ ලියා තියෙනවා!

    මැඩ්රාස් එක්ස්ප්‍රස් වගේ නමක් තියෙන ෂාරුක් කාන් රඟපාන හින්දි චිත්‍රපටයේ පෙන්වන ඉන්දියානු ගම පැත්තෙන් වෙන්න ඕනෑ රත්ගම පැත්තේ මිනිස්සු ලංකාවට සංක්‍රමණය වෙන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. රජ්ගම මිනිස්සු එහෙම නරක මිනිස්සු නෙවෙයි රසික. හැබැයි එකමුතුකම සෑහෙන්න වැඩියි. ඒ වගේම තමයි ඒ මිනිස්සුන්ගේ අවංක කමත්. ලබ්කාවේ බහුතරයක් ප්‍රදේශවල නැති එකමුතුකමක් ඒ මිනිස්සුන්ගේ මම දැකලා තියෙනව. පිටින් ගිහින් යුද්දේ ප්‍රකාශ කරොත් අනිවාර්යෙන්ම කෑම ෂුවර්.

      Delete
  11. වාහනෙයි රියදුරුයි බේරන්න ඕනි නිසා නැත්නම් යස වැඩේ ඔය මාකටිං කාරයොන්ට.

    මොන ජාතියෙ එවුන්ද බලන්න ඉතින් අර නැති වෙච්ච එකා ව හොයන්නෙත් නැතුව, මුහුදු වතුරෙන් මඩ හෝදගෙන, නම්බර් ප්ලේට් එක ඩැමේජ් වෙච්ච වාහනේක ආපහු වැඩට යන්න හදනව කියන්නෙ? මීට වැඩිය සෝමාලියානු මුහුදු මංකොල්ල කාරයො සදාචාර සම්පන්න ඇති.

    ඥානසිරි අයිය නම් දෙවියෙක්. ඔහුගේ මිනිස්සු සම්බන්ධ බුද්ධියට මගේ සැලියුට් එක!

    ReplyDelete
    Replies
    1. වංචනික ව්‍යාපාර කරන එදා වේල හොයන මිනිස්සුන්ගේ බිහෙවියර් ඒක මේකම තමයි. මම විවිද ආවස්තාවන් වලදී මේ කියන පිරිස් ඇසුරු කරලා තියෙනව. එයාල බොහොම සංවිධානශීලී වංචනිකයන්.විශ්වාසයට ගත්තොත් අනිවාර්යෙන් දත් ටිකත් ගල්වන් යනවා කටේ තියන.

      Delete
  12. ඔබතුමා ඔය ලිපිය ලිවීමෙන් විහිළු කතාවක් මෙන්ම සෑහෙන පණිවිඩයක් සපයනවා. අපේ පැත්තේ සනසුරාද ඉරිදා දවසක් ඇත්නම් ඔවැනි අය වැහි වැහැල. අපේ අම්මා ගේට්ටුවෙන් මෙහාට ගන්නෑ. ඔය පරීක්ෂණයකට ලකුණු දෙනවා ඒ ටාගට් කවර කරන්න ඕන කියන සිදුවත් ඒ ආකාරයෙන්ම කියනවා. දවසක් ගෑනු ළමයෙක් ඔය වගේ බඩු බෑග් එකක් අරන් වතුරවත් නැතිව අපේ ගෙදරට ඇවිල්ල වතුර වීදුරුවක් දෙනවද අහලා අපේ අම්ම කෑමත් දීල විස්තරත් අහල කිවුවලු ඔය ළමය වෙන රස්සාවක් ඔයාගන්න ඔයාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා . කෙසේ වෙතත් ඔබතුමා අර ඥානසිරි යයට පිං දෙන්න ඒ මිනිස්සු පිලිබඳ අවබෝදයක් ලබාදුන්නට හා වෑන් එක ඒ වෙනකන් බේරගත්තට.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මමත් හරිම අකමැතියි ඔය මිනිස්සු ගෙදරට එනවට. මගේ අම්ම ඔය වගේ තව ඒක මනුස්සයෙකුට රැවටිලා ඉන්නවා. එකා හඳුන්කූරු විකුණන හාදයෙක්. ඒ හඳුන් කූරු මෙලෝ සුවඳක් නැහැ. අම්ම ගන්නවා අනුකම්පාවට. දවසක් මිනිහ ආව මම ඉන්න වෙලාවක්. අම්ම හිටියේ ගෙයි. උගේ හඳුන්කූරු සීයක් තියන පැකට් එකක් රුපියල් පනහයි. මම දෙසීයක් දීල කිව්වා හඳුන්කූරු එපා මීට පස්සේ මෙහෙ එන්න එපා එනවනම් ඉන්දියාවෙන් එන හඳුන්කූරු වගේ සුවඳ තියන එකක් අරන් එනවා එදාට පැකට් එකක් පන්සීයක් උනත් ගන්නවා කියල. දැන් ලංකාවේ නැති නිසා දන්නේ නැහැ තාම එනවද කියල. එනවනම් අනිවාර්යෙන් අපේ අම්ම තාම ගන්නවත් ඇති.

      Delete
  13. මරු... අනේ නෙළුව නම් ගොඩයටත් යසටම.; ඒත් මේතරම් කළබැගෑනි ගොඩකට මේ හාදයා කොහොම කරගහලද මංදා...

    ReplyDelete
    Replies
    1. කරගහපු කලබගෑනි වලින් බාගෙට භාගයක් ලියන්න බැහැ ප්‍රසිද්දියේ.. මොකද එව්වා ලිව්වොත් බෙල්ල ගහල යනවා.. ගොඩයා කවදාවත් එතැනදී ගුටි කන්නේ නම් නැහැ. මොකද ගොඩයා දන්නවා ඒක හැන්ඩ්ල් කරගන්න විදිහ.

      Delete
  14. ස්තුතියි තඩියෝ

    ReplyDelete
  15. අහම්බෙන් මේ බ්ලොග් එකට සෙට් උනේ.. කතා දෙකක් තුනක් කියෙව්වා පාරෙ එන ගමන්. ඉතුරු ටික කියවන්න ඕනෙ පස්සෙ නිවාඩු පාඩුවෙ මොකද වටේ මිනිස්සු මගේ දිහා බලනව මං ගංජ ගහලද කියල තනියම මහ හයියෙන් හිනා වෙන නිසා... ඔබතුමාගෙ රචනා ශෛලිය හරි අපූරුයි, ඒ වගේ අත්දැකීමක් අපිටත් තියෙනවනං ඒක මැවිල පේන ගමන්ම හරි ආසාවෙන් එක හුස්මට කියවන්න පුලුවං ශෛලියක්. තව දෙයක් මමත් ධර්මාශෝකෙ ඉගෙන ගත්ත 6 වසරෙ ඉඳං ඒලෙවල් වෙනකං.
    ඔය ඩිරෙක්ට් මාකටිං අත්දැකීමක් මටත් තියෙනව. මං ඒ ලෙවල් කරල ගෙදර ඉන්නකොට ගියා සඳලිය කියල එකකට. මාසෙට 7500ක් ගෙවනව කියල කිව්ව. මම නං කරේ උදේට බඩු අරගෙන ඇල්පිටිය පැත්තෙ ඇවිදපු එක. ඒ පැත්තෙ මිනිස්සු හරි අහිංසකයි ඒවගේම හරිම සුහදශීලීයි. බඩු විකිණීම කෙසේ වෙතත් දවල් කෑම එකනං ⁣කොහෙන්හරි හම්බ වෙනවමයි... මාස දෙකහමාරක් එතන වැඩ කරල අන්තිමට නැතිවෙච්ච ඔර්ලෝසු දෙකකටත් මගෙ අතිං ගෙවල රුපියල් 2500ක් අරං මම ගෙදර නැවතුනා.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට ස්තුතියි චරිත්.. ඔය වගේ රැකියාවල් කරනවට වඩා හොඳයි තමුන්ගේ කියල ගෙදර ඉඳන් ලියුං කවර අලවන එක..

      Delete
  16. ඩිරෙක්ට් මාකටින් කොල්ලො දෙන්නෙක් ගුටි නොකා මගෙන් බෙරිලා ගියෙත් මගෙ සේවක මල්ලිලා දෙන්නා ගෙ පිහිටෙන්.මගෙ වෙල්ඩින් workshop එකට අඩු ඉස්කුරුප්පු නියන් මිටි විකුනන්න අවිත් හොඳින් කිව්වා එපා කියලා.මුන් දෙන්නා යන්නෙම නතුව වාතයක් උනා.විනාඩි 10ක් විතර බැලුවා කියවිල්ලෙ ඉවරයක් නැ.ගත්තා යකඩ බටයක්.මගෙ කොල්ලො දෙන්නා මෙදට පෙන්න නිසා බෙරිලා ගියා.

    ReplyDelete
    Replies
    1. උන්ටනම් දෙන්නම තමා හිතෙන්නේ ඇත්තම කිව්වොත්. ගේට්ටුවෙන් ඇතුලට ගත්තොත් ආයේ දුම්මල ගහලවත් එලවනවා බොරු..

      Delete