Sunday, December 31, 2017

අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 01





පහුගිය දවසක පාසලේ සිදුවෙච්ච බැක්ටු ස්කූල් කටයුත්තේ පිංතූර බලද්දී අපේ හිටපු විදුහල්පතිතුමාගේ පින්තුරයක් දැකල ගොඩයාගේ මතකය ආයෙත් ඉස්කෝලේ දිහාවට ගෑටුවා කියමුකෝ. අපේ තඩියා දැන් අවුරුදු ගානක හිටං නාහෙන් අඬන පෝස්ටුව ලියන්න ඕනෙයි කියල ඇත්තටම හිතුනේ අපේ හිටපු විදිහල්පති ගරු ගොඩ්වින් ද සිල්වා සර්ගේ පින්තුරේ දැක්කමයි. අම්බලන්ගොඩයා පොස්ට් එකක් ලියන්න ගියාම හිතට එන දේ ඔහේ ලියාගෙන යනවා උනත් මේ පොස්ට් එක ලියද්දි අපේ තඩියා සජීවීව අම්බලන්ගොඩයාට සහයෝගය දෙනවා බුකිය හරහා. පොස්ට් ලියන්නයි ෆොටෝ හොයන්නයි දෙකක් බැරි නිසා අපේ තඩියා මේ වෙලාවේ කුවේට් වල ඉඳගෙන මේ පොස්ට් එකට දාන පිංතූර හොයනවා දඩිබිඩියේ. 

ගොඩ්වින් සර් තමයි අපි දන්නා කාලේ ඉඳන්ම අපිට හිටපු විදිහල්පති තුමා. බොහොම  උගත් බුද්ධිමත් නිවුණු මනුස්සයෙක් වෙච්ච ගොඩ්වින් සර් නිතරම වේවැලක් අරං ඉස්කෝලේ වටේ කැරකෙන ජාතියේ ප්‍රින්සිපල් කෙනෙක් නෙවෙයි. වැඩිය සැරපරුෂ නොවුනට ගොඩ්වින් සර් දැක්කම පොඩ්ඩක් කකුල් දෙක මඩලින් ගහන ගතියක් තිබ්බේ නැත්තේම නෑ. සුදු කලිසමට සුදු කමීසය ඇඳලා ටයි පටියෙන් සැරසිලා ඉන්න ඒ පෞරුෂත්වය දැක්කාම ගෑල්ලමයි කෙසේ වෙතත් පිරිමි ළමයි කාට කාටත් කකුල් දෙක පොඩ්ඩක් විතර මැඩලින් ගහන තත්වයක් තියෙන්න ඇති කියල අම්බලන්ගොඩයා අදටත් විශ්වාස කරනවා. ඒත් කවදාවත් ගොඩ්වින් සර් කාට හෝ ළමයෙකුට පස්ස පැත්ත පැලෙන්න වේවැලෙන් තැලුවා කියලානම් එදා මෙදා තුර කව්රුවත් අහලා දැකලා නැතුව ඇති. ගොඩ්වින් සර් පාසල ඇතුලේ කොයිතරම් සාර්ථකව බලය බෙදා හැරලා තිබ්බද කියනවනම් ඔය කියන වේවැල් පාරවල් දෙන ගුරුවරු ඒ ඒ වසරවල් වලට වෙන වෙනම නිල මට්ටමෙන් අනුයුක්ත කරලා තිබ්බ. ඒ නිසා අංශභාර ගුරුවරුන්ගෙන් ඉහල පරිපාලනය වෙත හෙවත් නියෝජ්‍ය විදිහල්පති , විදුහල්පති දක්වා පැමිණිල්ලක් ගියේ බොහොමත්ම කලාතුරකින්. මොකද කියනවනම් අංශභාර ගුරුවරුන් තමුන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ සිද්ද කරපු අකුරට වැඩ වර්ගයේ ගුරුභවතුන් කොට්ඨාශයක් නිසා. ඔය කියන හේතු නිසා විදුහල්පති තුමා හෙවත් ගොඩ්වින් සර් ලඟට පැමිණිල්ලක් ගියානම් ගියේ ඒ බොහොම කලාතුරකින්. එහෙම ගිය පැමිණිල්ලක් ගැන තමයි "ටෙම්පරි පියානෝ " පෝස්ටුවේ අගේට ලියවිලා තියෙන්නේ. 

ගොඩ්වින් සර් අම්බලන්ගොඩයාට මුලින්ම සමීප දර්ශනයට දකින්න ලැබෙන්නේ සොබාදහම් සිසු හවුලෙන් සිංහරාජ වනාන්තරේ බලන්න ගිය අධ්‍යාපන චාරිකාවේදී. මතකය හරිනම් 1993 වගේ කාලේ වෙන්න ඕන මේ චාරිකාව ගියේ. ඒ චාරිකාවට සහභාගිවුණු තවත් ගුරුවරයෙක් වෙච්ච ඩොමේන්ගු සර් අද වෙද්දී ජීවතුන් අතර නෑ ගොඩයාගේ දැනීමේ හැටියට. 

ඔය සිංහරාජ චාරිකාව ගිය කට්ටිය ආයෙත් ගමරට බලා පැමිනෙනේ පහුවදා. ඒ කියන්නේ පලවෙනි දවසේ නයිට් පාර්ක් දෙනියායේ සිංහරාජ පිවිසීමේ දොරටුවේ තියන කෑම්ප් එකේ. ඔය කෑම්ප් එකේ ඒ කාලේ තිබ්බේ කාමර කිහිපයක පහසුකම් සහ විශාල හෝල් එකක පහසුකම විතරයි. කිහිප දෙනෙකුගේ කණ්ඩායමකට නම් කාමර වල රාත්‍රිය ගතකරගන්න පුළුවන් උනාට විශාල පිරිසක් සහභාගී වෙන ගමනක් නම් වැඩි පිරිසකට රාත්‍රිය ගතකරන්න වෙන්නේ ඔය කියන හෝල් එකේ බූරු ඇඳන් වල. රාත්‍රී ආහාරයෙන් අනතුරුව නින්දට යද්දී ඩොමේන්ගු සර් ඇතුළු ගුරු පිරිසක් කාමර වල රාත්‍රිය ගත කරන්න තීරණය කළා කියමුකෝ. ඒත් අපේ විදුහල්පතිතුමා කොහෙත්ම කැමතිවුනේ නෑ ළමයින් පමණක් එළියේ වහලය පමණක් ආවරණයට තියෙන හෝල් එකේ   බූරු ඇඳන් වල නිදාගනිද්දි කාමරේට වෙලා සැපෙන් නිදාගන්න. දෙනියාය රාත්‍රියට සීතල ස්භාවයක් ඉසිලුවත් ගොඩ්වින් සර්ගේ අවසන් ඒකමතික තීරණය වුනේ ළමයි එක්ක හෝල් එකේ නිදාගන්න. ළමයිනුත් උපරිම උත්සහ කරත් ගොඩ්වින් සර්ව කාමරේකට තල්ලු කරලා එළිවෙනකල් විනෝද වෙන්න ගොඩ්වින් සර්ගේ අවසන් තීරණය නිසා රෑ දහය වෙද්දී කාටත් බොහොම කීකරුව බූරු ඇඳට ගාල් වෙන්න සිද්දවුනා කියමුකෝ. ඉන් අනතුරුව හැමෝම නිදි. පරිසරය බොහොම නිසලයි ඒ වගේම සීතලයි.


උදේ පාන්දර තුනට විතර තමා ඊළඟ සිද්දිය සිද්දවුනේ. වතුර වැක්කෙරෙන සද්දෙකින් ගොඩයා ඇහැරුනේ නුපුරුදු ස්ථානවල ගොඩයාට වැඩිය තදින් නින්ද යන්නේ නැති නිසා. පොඩිත්තක් ඇන්ටනාව වටේට දාල බැලින්නම් කව්දෝ ගෝනි බිල්ලෝ සෙට් එකක් උදේ තුනට නැගිටලා ඔලුවේ හිටං පොරෝවාගෙන සිලි සිලි බෑග් වලින් එක එකාට වතුර ගහනව. එලි පහලියේ එළියකට තියෙන්නේ හඳ මාමිගේ ටෝච් එක විතරක් නිසා කැත වැඩේ කරන්නේ කව්ද කියන එක පැහැදිලි නෑ. වතුර ගහන එවුනුත් නින්දෙන්ම සීතල වතුර නාන එවුනුත්  ස්පීකර් ඕෆ් මෝඩ් එකේ ලාභ පාඩු වින්දගන්නවා ප්‍රින්සිපල් සර් ශාලාවේ කොනේම බූරු ඇඳේ දොයි නිසා. කොයික කොහොම වෙතත් උදේ පාන්දර තුනට අයිස් මිදෙන සීතල වතුර නෑම ශරීරයට අහිතකර වෙන්න පුළුවන් නිසා ගොඩයා ආරක්ෂක පියවරක් අනුගමනය කරමින් බූරු ඇඳ යටට ගිහින් ස්ථානගත වෙනවා හොඳට පොරොවාගෙන. අහස කඩන් වැටුනත් මලා වගේ නින්ද යන එවුන් එකා එකා පිලිවෙලින් වතුර නානවා ඊළඟට තෙමිච්ච පොරොවනයයි තෙමිච්ච බූරු ඇඳදිහා බලාගෙන වටේ පිටේ බලනවා කව්ද යකෝ ඒ බලු වැඩේ කරේ කියල හොයාගන්න ඒත් වතුර ගහපු එකෙක් නෑ. 

වැඩේ එන්න එන්නම දරුණු වෙනවා වගේම ගොඩයාගේ ලඟින් අල්ලපු බූරු ඇඳේ එකත් ජයග්‍රාහී ලෙස සීතල වතුර මල්ලක් නාගන්න වාසනාවන්ත වෙනවා වැඩේ පටන් අරං පැය භාගයක් යද්දී. ඔන්න ඒ එක්කම තමා ගොඩ්වින් සර් අසූ හාරදාහට මල පැනලා අවදි වෙන්නේ  .. 

කව්ද යකුනේ මේ කාලකන්නි වැඩ කරන්නේ මහ රෑ..

බැලින්නම් කව්දෝ අසමජ්ජාතියෙක් උගේ ලඟට වැටිච්ච වතුර මල්ලක් වීසි කරලා ගොඩ්වින් සර් දිහාවට. වෙලාවට වතුර මල්ල ප්‍රින්සිපල් සර්ට වැදිලා නෑ. ඒත් වැදිච්ච වතුර පින්නටයි සද්දෙටයි තමා අපේ විදුහල්පති තුමා අවේලාවේ අවදිවෙන්නේ.

එදා උදෑසන හතර වෙද්දී හෝල් එකේ නිදාගත්තු හැමෝටම හමුදා පුහුණුවේදී වගේ පෝලිමට ඉඳගෙන ගොඩ්වින් සර්ගෙන් පැයක විතර දේශනයක් අහගන්න ලැබුනා හොඳ ලුණු ඇඹුල් ඇතුව. වතුර ගහපු එකෙක් හොයාගන්න බැරිවුණ නිසා කාටවත් දඬුවම් හිමිවුණේ නෑ. ඒත් රෑ යසට නිදාගත්තු එවුන්ගෙන් භාගයක් හිටියේ සීතලේ ගැහෙමින් තෙමිච්ච පොරොවනය ඔලුවේ ඔතාගෙන වතුර ගහපු එකාගේ මවු ගුණ ගයමින්. හැබැයි වතුර ගහපු එවුන් අහුවුනානම් අනිවා උන්ව එදා උදේ බ්‍රෙක්ෆස්ට් එකට ගන්න තරම් කේන්තියක් නාපු එවුන්ට තිබ්බ වගේම ගොඩයා ඇතුළු නාපු නැති එවුන්ට නම් තිබ්බේ හීනි ආතල් එකක්. ඒත් ඉතින් ඕක එලියට පෙන්නලා ඉල්ලගෙන කන්න බැරි නිසා වතුර නාපු නැති එවුනුත් හිටියේ හෙන කේන්තියෙන් ඉන්නවා වගේ මුණ හදාගෙන. 

පහුවදා සිංහරාජයේ ඇවිදින්න ගිහින් ගොඩ්වින් සර්ට පින්සිද්ද වෙන්න ගොඩයා ඇතුළු තව තුන්දෙනෙකුට නැවුම්ම නැවුම් කිතුල් රා සුට්ටක් එහෙමත් තොලගාන්න වාසනාවක් ලැබුන. ඒක උනේ බොහොම අහම්බයක් විදිහට.

සිංහරාජේ ඇවිදින්න යද්දී කඳු හෙල් පල්ලම් තරණය කරන්න තියෙන අවස්තාව වැඩි නිසා අතරමගදී ගොඩ්වින් සර්ට තවදුරටත් ගමන යාගන්න බැරි තත්වයක් උදාවුනා කියමුකෝ. එකම විකල්පය වුනේ ගොඩ්වින් සර්ව නැවත කෑම්ප් එක වෙත ඇරලවීම පමණයි. ඉතින් ගොඩයා ඇතුළු තවත් තුන්දෙනෙක් ස්වේච්චාවෙන් ඉදිරිපත්  වෙනවා  ප්‍රින්සිපල් සර්ව උස්සගෙන ගිහින් කෑම්ප් එකට ඇරලලා එන්න. ඒ ඇවිත් ප්‍රින්සිපල් සර්ව පරෙස්සමට කෑම්ප් එකෙන් තියලා ආපහු එන  ගමනේදී අතරමග හමුවෙන රා මදින්නන්ගෙන් ඇතිවෙන්න රා බොන්න හතරදෙනාටම අවස්ථාව ලැබෙනවා ප්‍රින්සිපල් සර්ගේ කකුල් අමාරුවට පින්සිද්ද වෙන්න. ගුරුවරයෙක් වැඩිහිටියෙක් අහලක පහලක නැති එකේ ඇති වෙන්න රා බීපු එවුන් ආයෙත් සිංහරාජ තරණය කරන සිසුන්ට එකතුවුනත් වැඩිය  ආසන්නයට නොයා ඉන්න පරෙස්සම් වෙනවා රා සුවඳ සර් කෙනෙකුට දැනුනොත් ඇප නැතිවෙන නිසා. ඊට කලින් නඩයම එකට යද්දී රා කරුවන් හමුවුනත් ඔවුන් දිහා බලා පමණක් සෑහෙන්න හැමටම සිද්දවුනේ සියල්ලන්ම ප්‍රින්සිපල් සර් ඇතුළු තවත් ගුරුවරුන් කිහිපපොලක්ම  අහල පහල රේඩාර් පද්ධතිය සක්‍රීය කරගෙන ඉන්න නිසා. අන්න එහෙමයි ප්‍රින්සිපල් සර්ගේ කකුල් අමාරුවේ අනුග්‍රහයෙන් අපිට නැවුම් මේ දැන් ගහෙන් බාපු කිතුල් සා ටිකක් කටේ ගාගන්න ලැබුනේ. 

ගොඩයාට ඊළඟට මතක හිටින්න ප්‍රින්සිපල් සර්ව ලඟින් දකින්න ලැබුනේ දොළහ වසරේදී. ඒ 12 G පන්තියේ එවුන් ඉංග්‍රීසි ටීචර්ට හූ කිව්වා කියන නඩුවක් වෙනුවෙන් ඇසින් දුටු එකම සාක්ෂිකරු විදිහට ඉංග්‍රීසි ටීචර් ගොඩයාව නොමිනේට් කරපු නිසා. ඉතින් කියහන්කෝ මොකේද දැන්   දං වළඳන්නේ කියල. හත් ඉලව්වේ කොල්ලො හූ කිව්වේ ඉංග්‍රීසි ටීචර්ට නෙවෙයි උනාට ඉංග්‍රීසි ටීචර් කිසිදෙයක් අහන්නේ බලන්නේ අන්තුව ඒ හූව එයාගේ එකවුන්ට් එකට දාගත්ත කියහන්කෝ. ගොඩයා හූ කිව්වේ නෑ කියල ඉංග්‍රීසි ටීචර් දන්නවා උනාට හූ කියපු එවුන් කව්ද කියනේක ගොඩයා දන්නවා කියල ඉංග්‍රීසි ටීචර් කියනවා කියමුකෝ. හත්ඉලව්වේ නොකරපු වරදකට අවසානයේ කේස් එක හයි කෝට්. නියෝජ්‍ය විදුහල්පති තැන්පත් ප්‍රේමසීල සර් බොහොම කරුණාවෙන් ගොඩයාව ඇදන් යනවා ප්‍රින්සිපල් සර්ගේ කාමරේට. ඔය කියන සැලුන් දොරෙන් ඇතුලට යද්දී දැනෙන හැඟීම ගැන කියන්න ලියන්න වචන නෑ කියමුකෝ. 

ප්‍රින්සිපල් සර් අහනවා..

තමුසේ මොකද මිස්ට හූ කිව්වේ..

මං හූ කිව්වේ නෑ සර්..

ඈ.. හූ කිවේ නෑ... මෙහෙට එනවා.. මෙහෙට එනවා..

ගොඩයා ඉන්නේ ප්‍රින්සිපල් සර්ට සෑහෙන ඈතින්.. අසූ හාරදාහට මල පැනපු ගුරුවරයෙක් ලඟට ගිහිං ඉන්නවට වඩා ඈතින් ඉන්න එකේ තියන ශාරීරික සුවතාවය ඉස්කෝලේ ගිය ඕනෑම කෙනෙක් දන්නා නිසා ඒ ගැන වැඩි යමක් ලියන්න ඕන නැහැනේ. මෙතන ඉන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් නොවෙන නිසාත් මේ ඉන්නේ ප්‍රින්සිපල් සර් නිසාත් ගොඩයා ඉන්නේ සාමාන්‍ය දුරෙන් දෙගුණයක් ඩිස්ටන්ස් තියාගෙන. ගහන්න පැන්නොත් අනිවා සැලුන් දොර පෙරලගෙන ගෙදර දුවනවා දුවනවාමයි කියල හිතාගෙනයි ගොඩයා ඉන්නේ. ඇයි යකෝ නොකරපු වරදකට ගුටි කන්නේ අහවල් ඉලව්වකටද.

ඇත්ත කියනව.. හූ කිව්වේ මොකද ටීචර්ට..

මං හූ කිව්වේ නෑ සර්.. හූ කිව්ව එවුන් මං දන්නවා කියලයි මේ මාව අරං ආවේ.. හූ කියන සද්දෙකුත් ඇහුන.. ඒත් කව්ද කියල දන්නේ නෑ..

XX (ටීචර්ගේ නම ) ... ඇත්තද මේ කියන්නේ.. මේ මිනිහ කියන්නේ හූ කිව්වේ නෑ කියල...

ඔව් සර්.. මෙයා හූ කිව්වේ නෑ.. ඒත් මෙයා දැක්ක හූ කිව්වේ කව්ද කියල..

හ්ම්.. එහෙනම් කියනව හූ කිව්වේ කව්ද කියල..

ගොඩයා සද්දයක් නෑ..

කියනව මාව කේන්ති ගස්සන්නේ නැතුව..

ගොඩයා මීක් නෑ... මිදි කොහේද තිත්ත නරි කියයිද ඇත්ත කිව්වලු..

ඒ වගේ විසි තිස් වතාවක් අහලත් ගොඩයාගෙන් වචනයක් ගන්න බැරිවුණ තැන ඊළඟ චූදිතයා උනේ  පන්ති නායක  අසරණ චාමරයා. උගෙනුත් කසිම දෙයක් අහගන්න බැරිවුණ තැන ප්‍රින්සිපල් සර් නඩුව විසික් කරනවා සාක්ෂි නොදුන් වරදට ගොඩයාටත් පන්ති නායකයාටත් දඬුවමක් දෙන පොරොන්දුව මත. දඬුවමක් විදිහට ප්‍රින්සිපල් සර්ගේ කාර්යාලට ඉදිරියේ පීරියඩ් දෙකක් අවුවේ හිටගෙන ඉන්න ගොඩයාටත් පන්ති නායක චාමරයාටත් සිද්ද වෙනවා නොකරපු වරදක් වෙනුවෙන්. ඒ දඬුවම දෙන්නම එක්ක සන්තෝසෙන් විඳගන්නේ හූ කියපු එවුන් පාවලා දීලා පන්තියට ගිහින් කන්න වෙන නැව් ගුටි ඊට වඩා සෑහෙන්න බරපතල නිසා.

ඉතිරි ටික දෙවැනි කොටසින්..

17 comments:

  1. මන් එක....
    මන් එක......

    ReplyDelete
  2. ඉස්සර වෙලාම අමිබලන්ගෙඩ අයියා ඇතුලු බොග් වාසි අයියාලා,අක්කලා,නැන්දලා,මාමාලා,සියලා,ආච්චිලා ඇතුලු එකි මෙකි සියලු දෙනාටම සුබ ම සුබ නව වසරක් වෙිවා...

    ගොඩිවින් සර් වගෙ අපිට හිටියෙ ගුණවර්ධන සර්.මතක් වෙන කොටත් ගත සලිත වෙලා වත මිලින වෙනවා.නියමම විඋුහල්පතිවරැ.එතුමාත් දැන් විස්රාම සුවයෙන් කාලය ගත කරනවා.

    නව වසර අරමිබයෙම සිත් සතුටින් පිරෙව්වාට අමිබලන්ගෙඩ අයියාට ස්තුතිය...

    ReplyDelete
    Replies
    1. උඹලාට වගේ අපිට කොම්පියුටර් ස්ක්‍රීන් එකේ වෙඩි තියාගන්න පුළුවන් කොම්පියුටර් ගේම් තිබ්බේ නැහැනේ කොල්ලො.. ඉතින් අපි හැබැහින්ම අතින් පයින් තමයි..

      Delete
  3. පෝස්ටුව මට කලින් දාන්න කිව්වෙ උබට අමතක වෙච්ච දේවල් මතක් කරන්න.එක හුස්මට කිවයෙව්ව නිසා අතෑරිච්ච ඒව මට අහු උනේ නැති තරම්.ආයෙ කියවල මොනාහරි තිබුනොත් කියන්නම්.:-) මේක මගේ ඉල්ලීමක් වැඩේට සහබාගී උන අනිත් උන්ගෙ පිංට්ගූර කෑල්ලක් බුකියෙන් අරගෙන දාපං.ගමයගෙ විතරයි අමාරු.ඒකත් ගන්න විදියක් උබ දන්නවනෙ.දැන් වැඩ පසුව කස්ටියට මගෙනුත් දේවල් එකතු කරන්නම්.
    ගොඩයගෙ කතා බලන්න එන අයටත් විශේෂයෙන්ම කතා කියවල ගොඩය දිරිමත් කරන්න කොමොන්ටුවක් දාන සියලු දෙනාටත් 2018 අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවා....තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. ෆොටෝ දාලා මට ලංකාවට යන්න බැරි කරන්නද හදන්නේ.. මට මුකුත් අමතක උනේ නෑ.. මුළු සිද්දියම දශමයක් අඩු නැතුව මතකයි..

      Delete
    2. Godaya athulu anith ayage lassana pinthura mage langa thiyenawa...

      Delete
    3. Godaya athulu anith ayage lassana pinthura mage langa thiyenawa...

      Delete
  4. කොමෙන්ටුව කොටලා ඉවර වෙනකොට මම 4වෙලා

    ReplyDelete
    Replies
    1. කමක් නෑ.. කොමෙන්ටුවක් දැම්මනේ.. ස්තුතියි..

      Delete
  5. හැක්.. ඉස්කෝලෙ කාලෙ ඔහොම ආතල් තමයි ඉතිං නියම. වැඩේ කියන්නෙ අපේ පංත‍ියෙ උං හෝඩියෙ ඉඳල 13 වෙනකල්ම හිටපු එකම ප්‍රින්සිපල් කෙනෙකුටවත් බය නොවිච්ච එක කියහංකො.
    අරූ ලැට් එක අස්සෙ ඉන්නකොට සැනසුම අයිතිකාර‍යගෙ ගෙදර උන්දැ අහවල් එක කොරන්න ආවනං තමයි ඌට පොලෝසියෙ කූරු ගනින්න වෙන්නෙ.

    ගොඩයා ඇතුලු බ්ලොග් වාසී සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් වෙලා හරි කෝටාව පොලිසියට භාර දුන්නනම් මං පාර්ටියක් දානවා එදා.. හතුරෙකුටවත් අපි එහෙම දොර වහන්නේ නෑ බං ප්‍රසන්න.. ඊටත් වැසිකිලියේ දොර වහනවද එහෙම.. නිකමට හිතන්න තිබ්බ වැසිකිලි යාමේ අවශ්‍යතාවයට දුවගෙන එනවදෝ කියලවත් නැද්ද හා..

      Delete
  6. කොහද බන් මෙචර කල් ගිහින් හිටියෙ

    ReplyDelete
    Replies
    1. මෙහේ තමා හිටියේ බන්.. උඹලා තමා මිසින් වෙලා හිටියේ අපිට පේන්නෙවත් නැතුව..

      Delete
  7. ප්‍රින්සිපල් කරේ තියාගෙන ගිය පින ඕන ද ස්පොට් පල දීල තියෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් දෙන දෙයියෝ හොම්බට ඇන ඇන තමයි දෙනකොට දෙන්නේ..ඒ වගේද අජ්ජහපන චාරිකාව අතරේ සා බීලා මාට්ටු උනානම් .. සිංහ ගල , යෝද ගල්ගොඩ එහෙම බලන්න ගියේ සා මතේම තමා..

      Delete
  8. බොහොම රසවත් අතීතයක් ගෙඅන හැර පෑවාට ඔබට තුති. අද පාසල්වල අහන්න දකින දේවල් එක්ක බලනකොට මමත් හිතන දෙයක් තමයිඅපි ඒ කලේ දඟ වැඩ කරාට ඒවා බොහොම සුන්දරයි අද තියන්නේ මහා ඛේදවාචක. මිශ්‍ර පාසලක සිටි මා ඔය පිරිමි ළමයි ගලේ ගැහුවත් පාවා දෙන්නේ නෑ කියන එක හොඳට දන්නවා
    විචාරක දියණිය

    ReplyDelete