Tuesday, June 6, 2023

ජොකාගේ භක්ති ගීතය..

 


                        පොසොන් පෝය දවසේවත් පන්සලකට යන්න බැරිවුණ එකෙක් ඉන්නවනම් ගොඩයත් ඉතිං එකෙක්.. ගොඩයා ඉන්න අහලපහල පන්සල් කීපයක් තිබුනට ප්‍රසිද්ධ දවස්වලට ඔව්වයේ ගිහින් සැදැහැවත් බෞද්ධයා චරිතේ රඟපාන එක ගොඩයාට සෑහෙන අමාරු වැඩක්. වැඩි සෙනග ගැවසෙන්නේ නැති කාලවලට පන්සලට දානයක් හදාගෙන ගියාට ප්‍රසිද්ධ දවස්වලට ගොඩයා පන්සල් යන්නෙ නෑ පන්සල්වල අයිතිකාරයෝ වැඩි නිසා. ඒ වගේ දවස්වලට පන්සල් ගියාම බඩ පුරා කාලා බීලා එන්නනම් පුළුවන් උනාට පන්සල කියන්නේ ඊට වඩා අධ්‍යාත්මයට සම්භන්ධ තැනක් නිසා ගොඩයා ඔව්වයේ රිංගන්න යන්නේ නෑ... පිටරටවල පන්සල් සහ ලංකාවෙ පන්සල් අතර ගොඩයා දකින ලොකුම වෙනසනම්, පිටරටවල පන්සල්වල ස්වාමීන්වන්සේලාට ලඟින්ම ඇප උපස්ථාන කරන දායකයින් එම පන්සලවල නියෝජිත ස්භාවයක් ගැනීම... ඒ තැන්වල ලංකාවෙ පන්සලකට ගියා වගේ නිදහසේ හැසිරෙන්න බෑ... දායකයින්ගෙන් දහසක් නීති රෙගුලාසි නිසා ඒ ඒ පන්සල්වල ඉන්න ස්වාමින්වහන්සේල ගැන ඇඳෙන්නෙත් වැර්දි චිත්‍රයක්. ඒ ස්වාමින්වහන්සේලා එහෙම නරක උදවිය නොවුනාට අයිතිකාර දායකයින්ගෙ ඇහැට හොරෙන් පන්සලට යන එන එක සෑහෙන අමාරු වැඩක්...


          ඊයේ පෙරේදාවක ගොඩයා ඉන්න දිහාවෙ පන්සලක භක්තිගීත ප්‍රසංගයක් වෙනුවෙන් ගොඩයාටත් ආරාධනාවක් ලැබුනා සපෝර්ට් එකක් දෙන්න කියලා. පන්සල කියන්නෙ සිංදු කියලා නටන්න හොඳ තැනක් කියලා ගොඩයා විශ්වාස කරන්නෙ නෑ.. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා උදෙසා පනවලා තියෙන විනය නීතිවල කවි බන වගේ දේවලුත් ඒතරම් වර්ණනා කරලා නෑ කියලයි ගොඩයා අහලා තියෙන්නෙ. වෙනත් ආකාරයකින් කියනවානම්, ධර්ම රසය ඉක්මවායන ආකාරයෙන් ධර්මය දේශනා කරන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. එහෙව් නීතිරීති තියෙද්දි අපේ උන්නැහේලා බුද්ධාලම්භන ප්‍රීතිය ඉහවහා ගිහිං  සංගීත රසය මතු කරලා ධර්ම රසය යට යැවීම කොයියාකාර පාපයක්ද කියලා ගොඩයා දන්නෙ නෑ... ඒත් ගොඩයාගෙ අක්මාව කියන්නෙමෙ භක්තිගීත කියන කොන්සෙප්ට් එකම පෝය දවසෙත් ආතල් එකක් ගන්න අටවාගන්න වෙනස් විදිහේ වැඩක් කියලයි. ඒ නිසා ඔයාකාර වැඩවලදි ගොඩයා ඉතිං මොකක් හෝ හේතුවක් කියලා එතැනින් මාරුවෙන එක තමා සිරිත. මොහිදිං බෙග් බුද්ධං සරනං ගච්චාමී සිංදුව කියනකොට ස්ටේජ් එකේ පහල කන පැලෙන්න බීලා ඉන්න එවුන් අඟර දඟර නැටුම් නටන එකේ ඉතිං භක්තිගීත ගැන ලොකුවට විවේචනය කරන්න බෑ... ඇන්ටන් ජෝන්ස්ගෙ ගීත බොහෝමයක් නිර්මාණය වලා තියෙන්නෙ රටේ සිද්දවෙච්ච මහා ව්‍යසන පාදක කරගෙන උනාට, එව්වා ලයිව් ස්ටේජ් එකට ආවාම පහල ඉන්න එවුන් නටන නැටිල්ල දැක්කාම ඇන්ටන් ජෝන්ස් ගැනයි නටන එවුන් ගැනයි හිතෙන්නෙ අනිච්චේ දුක්කේ කියලා තමයි... ඇන්ටන් ජෝන්ස්ගෙ සිංදුවල ලියැවිච්ව ව්‍යසන වලදී මැරුන මිනිස්සු දන්නවනම් අනාගතයේ දවසක එයාලගෙ මරණයන් ගැන සිහිකරලා රටේ මිනිස්සු සිංදු කියලා නටනවා කියලා ඒ මිනිස්සුන්ට මොනවා හිතෙයිද... එහෙම බැලුවාම ඉතික් භක්තිගීත මොන කජ්ජක්ද හැබෑටම...


                 ලියන්න ආපු කාරනාව සෑහෙන කැලේ පැන්න... මේ කියන සිද්දිය සිද්දවෙන්නෙ දෙදාහෙ වර්ශයේ මුල් භාගයේ කියලයි ගොඩයාගෙ අප්සැට් මෙමරිය කියන්නෙ. ජොකා කිව්වාම ගොඩයාගෙ ඉස්කෝලෙ ගොඩයාගෙ වයසේ එවුන්ට ආයෙම අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නෑ... උප්පැන්නෙ තියෙන නමට වඩා ජොකා කිව්වාම අපේ මිත්‍රයා ප්‍රසිද්ධයි... අපේ චමිලයා මේ පෝස්ට් එකටත් කොමෙන්ට් කරන නිසා තමුන්නැහේ කොමෙන්ට් එකක ජොකාගෙ ඇත්ත නම ලියලා මට ලෙඩක් පටලෝනවා එහෙම නෙවෙයි ඕං. මේ කියන දවස වෙසක් , පොසොන් හෝ ඇසල පෝයක් කියලයි ගොඩයා තාර්කිකව හිතන්නෙ. එහෙව් පෝයවල්වලට තමයි භක්තිගීත වගේ වැඩසටහන් සංවිධානය වෙන්නෙ. මේ කියන කාලය වෙද්දී ගොඩයලා ඉස්කෝලෙන් එලියට අවිතුත් අවුරුදු හයක් හතක් වගේ වෙන්ටෑ... ඒ නිසා උසස්පෙලින් පස්සෙ ගොඩයාට ඒ වෙනකල් ජොකා හමුවෙලා තිබුනේ නෑ... ඒ වෙද්දී ජොකා රැකියාවක් කරා රජයට සම්භන්ධ ආයතනයක... ඒ නිසා ජොකා නිතර ගමේ ආවෙ ගියේ නෑ... ඒ නිසාම ගොඩයාට ජොකා හමුවෙලා නෑ ඒ වෙද්දිත් අවුරුදු ගානක්... ඔය කියන පෝය දවසේ උදේ ගොඩයා නිදි ඇඳේ ඉද්දී තමයි ගොඩයාගේ පියාණෝ ගොඩයාව ඇහැරවන්නෙ..


අන්න අහවලාගෙ පුතා ඇවිල්ලා හොයනව...


                ගොඩයාගෙ ඩඩා ජොකාව එහෙම හඳුන්වන්නෙ ජොකාගෙ ඩඩාව ගොඩයාගෙ ඩඩා දන්න කියන මනුස්සයෙක් නිසා... ගොඩයා ඇඳෙන් බැහැලා නිදි මරගාතේම කාමරෙන් එලියට එන්නෙ ලංකාවෙ එහා කෙලවරේ ඉන්න එකෙක් හදිසියේ ගොඩයා හොයාගෙන එන්න විදිහක් නෑ කියන අදහසින්මයි. ගොඩයා හිතුවේම ඩඩාට වැරදීමක් කියලාම උනාට ඇත්තටම ඇවිල්ලා තිබ්බෙ ජොකාම තමා...


ගුඩ් මෝර්නින්... ජොකා ගොඩයාව එහෙම ඇමතුවාම ගොඩයාටත් ගුඩ් මෝර්නින් නොකියා බෑ...


ගුඩ් මෝර්නින්... ( පෝය දවසෙවත් ටිකක් නිදාගන්න නොදී උදේ හයාමාර වෙද්දි ඇහැරෙව්වාම මෝර්නින් එක මොන ගුඩ්ද කියලා අහන්න ඕනවුනාට ගොඩයා එහෙන ඇහුවෙ නෑ..)


කවද්ද ගමේ ආවෙ උඹ... මොකෝ හදිසියේ මේ පැත්තෙ...

 

            ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ මලාට ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා නැති ජොකා මේ උදේ පාන්දර කුකුලත් මල්ලෙ දාගෙන ගොඩයාව හොයාගෙන ආවෙ  නිකම්ම සෑපදුක හොයන්න නෙවෙයි කියන එක ගොඩයාට අමුතුවෙන් කියන්න ඕන නෑ...


අපි පොඩි භක්තිගීතයක් කරනවා බං අද... ඒක මතක් කරලා යන්න ආවෙ...


ගොඩයා ඒ වෙද්දිත් බෑන්ඩ් එකක කීබෝර්ඩිස්ට් නිසා මරාලයක්දෝ කියලා ඇඟ හිරිවැටිලා ගියාට ගොඩයා ඒක ජොකාට පෙන්නන්න ගියේ නෑ...


මතක් කරලා යන්න කීවෙ බං... කොහේද තියෙන්නෙ ඕක... මොකක්ද මම දැං කරන්න ඕන...



උඹ මුකුත් කරන්න ඕන නෑ... රෑට ගෙදර හිටපං... මම එනවා භක්තිගීත කන්ඩායම එක්ක උඹලාගෙ ගෙදර...


 අපේ ගෙදර... 


            ගොඩයා එහෙම ඇහුවේ ගෙදරට එන භක්තිගීත ගැන ගොඩයා ඒ වෙද්දි අහලා තිබුනේ නෑ... උදේ පාන්දරම අහසින් පහත්වෙලා භක්තිගීත කන්ඩායමක් එක්ක රෑට ගෙදරට එනවා කිව්වාම ගොඩයාගෙ නිදිමත කොහේ ගියාද නැතිවුනා කියහංකෝ... ගෙදර ඉන්න වීසා එකත් ලාවට අමාරුවෙන් මේන්ටේන් කරගෙන ඉන්න වෙලාවෙ යාලුවෙක් භක්තිගීත කන්ඩායමක් එක්ක රෑට ගෙදර එනවා කිව්වාම ගොඩයා හිතුවෙ රැට මොනවගේ දෙයක් වෙයිද කියලයි...


ඔව් බං.. මෙහේ තමයි එන්නෙ...


ඉතිං බං භක්තිගීත කියන්නෙ පන්සලේනෙ...


මේක එහෙම එකක් නෙවෙයි බං... අපි දන්න කියන යාලුවන්ගෙ හිතවතුන්ගෙ ගෙවල්වලට ගිහිල්ලා භක්තිගීතෙ කියනව... ඉතිං ඒ යන ගෙවල් ලිස්ට් එකට උඹලාගෙ ගෙදරත් තියෙනව...


ජොකා කියන විදිහට ගොඩයා අද රෑට ගෙදර ප්‍රධාන අමුත්තා ගානට හයිලයිට් වෙන සීන්කෝන් එකක් උනාට ජොකා අවසාන තීරණේ අරගෙන හමාරයි... ගොඩයාට ඒ ඇතුලේ හඬක් නගන්න ඉඩක් නෑ...


හරි... දැං මම මොකද කරන්න ඕන...


උඹ මුකුත් කරන්න ඕන නෑ... භක්තිගීත කියන කෙල්ලො ටිකට පොඩි සංග්‍රහයක් කරලා ලියුම් කවරෙක දාලා කියක් හරි දියං... එහෙනම් මම ගියා... රෑ හත වෙද්දි අපි එනවා එහෙනම්...


එන්න එපා මගෙ දෙයියෝ දැං කීයක් හරි දෙන්නම් ඒක ගිහිං කෙල්ලන්ට දියං කියලා කියන්න කලින් ජොකා මොටෝ සයිකලේ ස්ටාර්ට් කරගෙන ඉගිල්ලුනා... ගොඩයා අනාතයි...


මොකටද අර ලමයා ඇවිත් තියෙන්නෙ...?


එහෙම අහන්නෙ ගොඩයාගේ පියාණෝ.. දැං දීපංකෝ උත්තර...


රෑට භක්තිගීත කන්ඩායමක් එක්ක මෙහේ එනවලු... ලමයින්ට බොන්න දේකුයි ආධාරයකුයි දුන්නාම ඇතිලු...


මෙහේ...? 


හ්ම්...


භක්තිගීතද කැරොල් එකක්ද? අපි ලඟ නෑ ඔව්වට දෙන්න සල්ලි... දෙන ආධාරයක් දෙන එකයි ඇත්තෙ... විකාර...


ඒ තමා ගොඩයාගෙ පියාණෝගෙ ප්‍රතිචාරය...


             විකාර කියන එකේ තේරුම තමා, ජොකාගේ භක්තියෙන් කියවන්න එන ගීතයට ගොඩයාගේ පියාණෝ කිසිදු කැමැත්තක් අනුග්‍රහයක් නෑ කියන එක... ගොඩයා කියලත් ඉතිං ඒ වැඩේට කැමැත්තක් නෑ... අකමැතියි කියලා මක් කරන්නද ඉතිං භක්තියයි ගීතයයි දෙකම පැත්ත පලාතක ගේන්න එපා කියන්න කලින් උන්නැහේ ඉගිලිලා ගියානෙ... එයින් පස්සෙ ඉතිං ගොඩයාට කරන්න ඉතුරු වෙලා තිබ්බෙ ජොකා සහ භක්තිගීත කන්ඩායම එනකල් මග රැකගෙන බලන් ඉන්න විතරයි.


               වෙනදට පෝය දවස කියන්නෙ අපේ සිරාලගෙ ගෙදර සැට් එක එක්ක සුට්ටක් සෙටමෝල් වෙන දවස උනාට එදා එහෙම බෑ... ජොකා විසින් පට්ටල් කරපු මරාලෙ අහවරක් වෙනකල් ගෙදරින් එලියට බහින්න ක්‍රමවේදයක්  නෑ... භක්තිගීත කතාව අහපු වෙලාවෙ ඉඳන් ගොඩයාගේ මහතැනින් වැටුන නීති රෙගුලාසිය වුනේ ඔය කියන භක්තිය ඇවිල්ලා යනකල් ගෙදරින් එලියට යෑම තහනම් වගේ එකක්. ලාවට එල්ලිලා තියෙන වීසා එක කැපෙන්න හේතුවෙන සිද්දීන් වලදී ගොඩයා සෑහෙන පරෙස්සම් නිසා භක්තිය ගීත ගයන්න එනකල් ගොඩයා මිදුලෙ තියන ගල උඩ වාඩිවෙලා ගේට්ටුව දිහා බලාන හිටිය. ගොඩයා කොයිතරම් වැඩේට එක්සයිට්ද කියනවනම් හවස හයේ ඉඳන් ගේටුව දිහාවටමයි ඇහැ. ඒ වෙන මොකකට්වත් නෙවෙයි.. කියන භක්තියක් ඉක්මනට කියවලා අහවර වෙලා සිරාලාගෙ ගෙදර පැත්තට මාරුවෙන්න. පාරෙ ඈතින් වාහනයක් එනවා ඇහෙනකොට ගොඩයාගෙ කන් ඒ දිහාවට සුසර වෙන්නෙ බලු කන් වගේ කියමුකෝ... ඒත් ඒ ආපු වාහන එකකින්වත් ආවෙ ජොකාගෙ භක්තිය නෙවෙයි.. ඒ පාරෙ යන වෙනත් වාහන..  

                ගොඩයා පටලවාගෙන එන ඒ ආකාරයේ මරාලවලට ගෙදරින් ලැබෙන්නෙ අවම සහයෝගයක් නිසා ගොඩයා කෝකටත් කියලා හවස් අතේ කෝඩියල් බෝතලේකුත් ගෙනැල්ලා හදලා කරලා සීතකරණයේ දාලා තිබ්බෙ, ජොකාගෙ ඔය එන භක්ති  බෑන්ඩ් එකට අනුපාන ගෙදර අය ලව්වා හදවන්න ගියොත් බත් කාර්ඩ් එකත් කැපෙන්න ඉඩ තියෙන නිසා... ගොඩයාගෙ නංකිලා දෙන්නත් ගොඩයාගෙ ගුණ ගායනා කරමින්, රාත්‍රී ඇඳුම වෙනුවට එලි පහලියට බහින්න පුලුවන් ඇඳුමකින් සැරසිලා මල් වාස් දෙකක් වගේ සාලෙ සාටිය උඩට වෙලා බලාන ඉන්නෙ ජොකාගෙ භක්ති මගුල එනකල්.. මවු දෙමාපියනුත් එහෙමයි... වෙනදාට රෑට අඳින ඇඳුම් වෙනුවට විශේශිත ඇඳුම් වලින් සැරසිලා බලාන ඉන්නෙ ජොකාගෙ භක්ති බෑන්ඩ් එක එනකල්... ගොඩයත් මිදුලෙ තියන ගල උඩට වෙලා කලුවරේ මදුරුවෝ තල තලා බලාන ඉන්නෙ හත වෙද්දි එනවා කිව්ව භක්තියෝ ටික එනකල්... රෑ හතත් උනා... භක්තොයොත් නෑ ජොකාත් නෑ... ගේ ඇතුලෙන් ගොඩයාගෙ ගුණ වයනවා වැයිල්ලක් එව්වනම් වනේ වන හතුරෙකුටවත් අහගෙන ඉන්න බෑ...


        රෑ හත වෙලා හතහමාර උනා... අට වෙලා අටහමාර වුනා භක්තියෝත් නෑ ජොකාත් නෑ... ගොඩයා ඒ වෙද්දි මිදුලෙ තිබ්බ ගල උඩින් බැහැලා පාරට ඇවිත් පාර හරහා සක්මන් කරනවා දෙපැත්ත බල බලා... ඈතින් වාහනයක් එද්දි බලාපොරොත්තු දැල් වෙනව... වාහනේ ගොඩයා පහුකරන් යද්දි බලාපොරොත්තු සුන් වෙනව... ජොකාගෙ මරාලෙ අහවරක් කරලා දාන්න බලාන හිටියාට උන්දෑලා නෙවෙයි එන පාටක්...


          අටහමාර නමේ උනා... නමයහමාර උනා... දහය උනා... දහයාමාර උනා... එකොලහ උනා... ගෙදර අය ගොඩයාට අම්බානෙකටත් තව චුට්ටික් බැනලා ඔරෝවලා ගොරවලා  නින්දට ගියා... ගොඩයත් සිරාලහට වාර්ථාකරගන්න බැරිවුන හිතේ අමාරුවෙන් කෝඩියල් බෝතලෙන් භාගයක්ම බීලා එකොලහමාරට විතර නින්දට යන්න කියලා හිතාගෙන ඇඳට ගියා... අන්තිමේ භක්ති ගීතයත් ආවෙත්  නෑ.... ජොකා ආවෙත් නෑ....


බ්ලොග් පෝස්ට් එක මෙගා නාට්ටියක් වගේ උනානම් ගොඩයා සිකුරාදා කොටහ ඉවර කරන්නෙ ඔන්න ඔතනින්... ඊලඟ කොටහ සඳුදාට එනකල් ඉවසිල්ලේ බලන් ඉන්න වෙනවා බලන එවුන්ට... 


         ජොකා පට්ටල් කරපු මේ භක්තිගීත මගුල නිසා ගොඩයාගෙ මොලේ ටිකක් විතර තිබ්බෙ හයිපර් මෝඩ් එකක... නිදාගන්න කියලා ඇඳට ආවට සැප නින්දක් නෑ ජොකා කරපු අබ්ලික් වැඩේ නිසා... ජොකා උදෑසන ප්‍රාදූර්භූත වෙච්චි වෙලාවෙ ඉඳන් ගෙදරින් අහපු බැනුම් කන්දරාවට සැප නින්දක් කොහේ එන්නද ඉතිං... ඒ වෙද්දි ගොඩයා හිටියෙ බල්ලා ගානට වැටීලා... නින්ද ගියා උනාට ඒක නින්දත් නොනින්දත් අතර සීන් එකක්... ඒ වෙද්දි රෑ එක පහු වෙලා... ලයිට් ඇන්ජිමක් වගේ එකක් තඩි සද්දයක් දාගෙන ඇවිත් ගොඩයලාගෙ ගෙදර හරියේ නැවැත්තුවා කියලා ගොඩයාට ලාවට වගේ ඇහුනට ගොඩයා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරේ තදබල විදිහට දැනුන නින්දේ අවශ්‍යතාවය නිසා... ලයිට් ඇන්ජිමේ සද්දෙත් එක්කම ගොඩයලාගෙ ගෙදර ගේට්ටුව අරින සද්දෙත්, ඊට තත්පර පහකට හයකට පස්සෙ ගොඩයාගෙ සිරියහන් ගබඩාවෙ වීදුරු ජනේලෙට ගහන සද්දෙත් එක්ක ගොඩයාට හිතුනෙම උඹනම් අද ඉවරයි පුතේ කියලාමයි...


ඩොහ් ඩොහ් ඩොහ් ඩොහ්... ඒයි නැගිටපං... අඩෝ නැගිටපන්... 


         ඒ එන්නෙ ජොකා විසින් ගොඩයාගෙ සිරියහන් ගබඩාවේ ජනේලෙට තඩිබාන සද්දෙ... නිදි වගේ හිටියොත් අහල පහල එවුන්ටත් ඇහෙරෙන නිසාත්, තව ටිකක් ජැනේලෙට තඩි බෑවොත් පියානෝ විසින් ගොඩයාව ගෙදරින් එලියට තල්ලු කරලා දාන නිසාත් ගොඩයා කමීසයක් දාගෙන ගිහිං හනික දොර අරිනව... කියන්න අපූරුයි... ගොඩයා රෑ නිදාගත්තු සරොම පිටිං... 


          දොර ඇරලා බැලින්නම් ගොඩයලාගෙ වත්තට තවුතිසාවෙන් දිව්‍යාංගනාවන් සැට් එකක් පාර වැරදිලා බැහැලා ගානට, සෝස පාට ළමා සාරි ඇඳගත්තු , මූන පුරා පියරු දාපු ගෑනු දැරිවියෝ සැට් එකක් ගොඩයලාගෙ මිදුල පුරා කියහංකෝ... ජොකා ඉන්නවා නැසනල් එකකුත් ඇඳගෙන පාර්ලිමේන්තු යන්න ලෑස්තිවුන මන්තිරියෙක් ගානට... මොකක්දෝ රෝල් කරාපු කොලේකුත් ජොකාගෙ ඇතේ... ගොඩයා ආත භූත නැතුව නිදි මරගාතෙ මිදුල දිහා බලාන ඉන්නව... ලැයිට් ඇන්ජිමක් ස්ටාර්ට් කරපු සද්දෙට ඩොග ඩොග ගාන පරන රෝසා බස් එකකින් තවත් දේවතාවියෝ ටිකක් පාරට ඩවුන්ලෝර්ඩ් වෙලා ගොඩයාලාගෙ ගේට්ටිවෙන් ඇතුලට එනව...


ගෙදර කට්ටියට එන්න කියපං එලියට...


               ජොකා එහෙම කිව්වට ගොඩයාට ආයෙම ගෙදර අයට අමුතුවෙන් එන්න කියන්න ඕන නෑ... ගෙදර සැවොම නින්දෙන් ඇහැරිලා නිදි ඇඳුම් පිටින් එලියට ඇවිත් ගොඩයා දිහා බලාන ඉන්නවා මූව ගහක බැදලා ගහනවද එහෙමත් නැත්තම් ගහලා ගහක බඳිනවද වගේ පෙනුමකින්... ඩඩාගෙ මූන දිහා බලන්නත් බයයි... ගොඩයාගෙ නංකිලා දෙන්නනම් බලාන ඉන්නෙ උඹත් අයියෙ භක්ති බෑන්ඩ් එක එක්කම ගියානම් හොඳා වගේ මල පැනපු කුජීත බැල්මකින්... ගොඩයාගෙ මවුනම් ඉතිං නෝ ජජ්මන්ටල්... ගොඩයා අමාරුවේ වැටිලා උනාට මවුගේ බලතල ප්‍රමාණවත් නෑ ඒ ව්‍යසනයෙන් ගොඩයාව බේරාගන්න... ඒ වගේ සිටුවේසන් එකක් සිද්දවෙමින් තියෙන අල්ල පනල්ලේ ජොකා ඇතුලු භක්ති නංකිලා සැට් එක ගොඩයාගෙ ගෙදර ඉස්තෝප්පුවේ පිලිවෙලට අඩුක් වෙලා... කොට කට්ටිය ඉස්සරහ පේලියේ.. උස කට්ටිය පස්සෙ පේලියේ.. ගොඩයා සරොම පිටිං ඉස්සරහ දොර ලඟ පඩිය උඩ... ගෙදර උදවිය භාගෙට ඇරුනු දොරෙන් නිදි ඇඳුම් පිටින් ඔලු විතරක් එලියට දාගෙන භක්ති සැට් එක දිහා බලාන ඉන්නව.... අපහසුතාවය කියන එකේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකට්ත් අම්බානෙකට එහා සීන් කෝන් එක...  ගොඩයාට ඉතිං දුහන්න හැංගෙන්න කියලා තැනකුත් නෑ... දිව්වා හැංගුනා කියලා වැඩකුත් නෑ...

 

             ඕං ඔයි ආකාර සිටුවේශන් එකක් යටතේ භක්ති ගීතය පටන් ගැනෙනව... වෙලාව රෑ එකහමාරයි... ගමම නිදි වෙලාවක ගොඩයලෑ ගෙදර දිහාවෙන් ගෑල්ලමයි විස්සක් විසි පහක් ගීතයක් ගායනා කරනවා ඇහෙනවා කියන්නෙ ඉතිං අහල පහල උදවිය නින්දෙන් උඩ විසික්වෙලා ඇහැරිලා  ගොඩයලාගෙ මී මුත්තා කිරිකිත්තා මතක් කරන එක  ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ... ගීතය විතරක් කිව්වට භක්ති ගීතය විතරක් නෙවෙයි යකඩෝ... භාගෙට ටියුන් වෙච්ච වයලින් දෙකකුත් අදිනවා ඇදිල්ලක් ගමේ එවුන්ට ආයෙ නින්දක් ලඟා වෙන්නෙ නෑ පැය දෙක තුනකට...  දේවතාවියෝ ටික ගයනවා ගැයිල්ලක් ගොඩයාට එලෝ මෙලෝ නෑ ඒ බුදුගුණ තේරුම් ගන්න... වයලින් දෙකයි ගෑල්ලමයි ටිකයි කිව්වට ඒ විතරක් නෙවෙයි කියහංකෝ... කව්දෝ හාදයෙක් බිම වාඩිවෙලා තබ්ලා කුට්ටමකුත් වයනවා අහලපහලට ඇහෙන්නෙ දේවාලෙ පෙරහැර පාර වැරදිලා ගොඩයලාගෙ ගෙදර ආපු ගානට... ගොඩයා බලාන ඉන්නෙ භක්තිය ඉක්මනින් ඉවර වෙලා ගීතය අහවර වෙනකල්... අහල පහල ගෙවල්වලිනුත් ලයිට් එක දෙක පත්තු වෙලා ජැනෙල් ඇරලා බලනවා මේ මොකක්ද යකඩෝ මේ වෙන්නෙ කියලා දැනගන්න... ගොඩයාලාගෙ ගෙදර උදවියත් භක්තිය අවසන් වෙනකල් ඉවසිල්ලේ බලන් ඉන්නෙ භක්ති සැට් එක ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ගොඩයාව මරාගෙන කන්න... ඒ ගැන මතක් වෙද්දිනම් ගොඩයාට හිතෙන්නෙම එලිවෙනකල් ගැයුවත් අවුලක් නෑ වගේ හැඟීමක්... මොකද කියනවානම් භක්ති සැට් එක වත්තෙ ඉන්නකල් ගොඩයාගේ සේෆ්ටිය ශුවර් නිසා...


      තනියම පෝරුවේ හිටවපු එකෙකුට අශ්ඨක කියපු ගානට කියාගෙන ගිය භක්ති ගීතය විනාඩි පහකින් විතර ඉවරවුනා... මුං තව එකක් පටන්ගත්තොත් අහල පහල එවුනුත් ගොඩයාට දෙකක් අනින්න ඉඩ තියෙන නිසා දනි පනි ගාලා කාමරේට දුවපු ගොඩයා හවස ලියුම් කවරෙක දාලා තිබුන රුපියල් දාහා ජොකා අතට වැඩැම්මුවා...


කෙල්ලොන්ට බොන්න මුකුත් හැදුවෙ නැද්ද..


ජොකා එහෙම ඇහුවට ගොඩයා එව්වට උත්තර දෙන්න ගියේ නෑ... හනික කුස්සියට දුවපු ගොඩයා ඉතුරු වෙලා තිබ්බ කෝඩියල් බෝතලේ ෆ්‍රිජ් එකෙන් අරගෙන ජොකා අතට වැඩැම්මුවේ මේ උන්දැලා ටික හැකි ඉක්මනින් වත්තෙන් එලියට දාගතයුතු නිසා... 


               භක්තිගීත කියපු සෝස පාට ළමා සාරි සැට් එකම පෝලිමේ ඇවිත් ගොඩයාට ආයුබෝවන් කියලා පිලිවෙලකට ගිහිං පරණ රෝසා බස් එකේ අඩුක්වුනා... රෝසා බස් එක ලැයිට් ඇන්ජිමේ සද්දෙන් ඩොග ඩොග ගාගෙන භක්ති සැට් එකත් දාගෙන පාරදිගේ ඉගිල්ලුනා... ඒ ගියේ නිකම්ම නෙවෙයි... සතියක් දෙකක් යනකල් අහල පහල එවුන් අහන ප්‍රශ්ණ කන්දරාවට ගෙදර ඔක්කෝම එකතුවෙලා උත්තර දෙන්න නැයැමිතයි කියන කෑල්ල ඉතුරු කරලා... ඒ ගිහිං ගොඩයා වගේම තවත් එකෙක්ව කල්ල කුජීත කරලා පාරෙ බහින්න බැරි තැනට පත් කරාද කියලා අහන්න එදායින් පස්සෙ අද වෙනකල් ගොඩයාට ජොකා හම්බෙලා නෑ...


      අද උනත් ආධුනික කෙනෙක් ඔරියන්ටල් වයලීන් එකක් ගහනවා ඇහුන ගමන් ගොඩයාගෙ නොස්ටැල්ජික් මෙමරි එක උඩ ඇවිල්ලා ඇඟ සහලෝලා ගිහිං රෝම කෙලින් වෙනවා භක්තිගීතය  සහ ජොකා මතක් වෙලා...


           ඉතිං එදා ජොකා ප්‍රමුඛ භක්ති සැට් එක ගියාට පස්සෙ ගෙදර තත්වෙ කොහොමද කියලා ප්‍රශ්ණයක් මතුවෙනවා නේද... ඒත් ඉතිං එව්වා මෙහිලා ලියලා ගොඩයාගෙම PR එක ඩැමේජ් කරගන්න ගොඩයා කැමති නෑ.. ගෙදර වැඩිමහලු පිරිමි දරුවා උනාට ඒ බැනුම් ඇහිලී ඉතිං ප්‍රසිද්දියේ ලියන්න බෑ... මොකද කියනවානම් එව්වා වනේ වන හතුරෙකුටවත් අහගෙන ඉන්න බෑ... එදා හිටං අද වෙනකල්ම " භක්ති ගීත" කිව්වාම ගොඩයා එතැනින් මාරුවෙන්නෙ ගැරඩියාට භූමිතෙල් ගහපු ගානට...



20 comments:

  1. බලපං ඌ උබ වගේද?එනවයි කිව්ව නම් ආවා.වචනෙ වචනෙ විදියට තිව්ව.තෝ ඒ වගේද?හොරෙක් වගේ නිදා ගත්ත.මං ඔතන හිටිය නම් භක්ති ගීත කියවන්නෙ තොට කියල 🤣

    ReplyDelete
    Replies
    1. කියවයි මට කියලා භක්ති අහවල් එක...

      Delete
  2. ජොකා එල කොල්ලෙක්.....හෙහ් හේ...

    ReplyDelete
    Replies
    1. ජොකා ගැනත් කතා එමටයි....

      Delete
  3. අඩේ සිරා සිද්ධිය නේ 😂
    සීන් එක උන කාලේ සෙල්ෆෝන් යහමින් තිබ්බේ නැද්ද බම්... කෝල් එකක් දාලවත් එන ටයිම් එක අහගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ සෙල්ෆෝන් තිබ්බේ නෑ... ගෙදර ලෑන්ඩ් ෆෝන් එකක් විතරයි තිබ්බේ... සෙල්ෆෝන් තිබ්බ එව්වයෙත් ඒ කාලෙ ඉන්කමින් වලටත් රුපියල් හයක්දෝ කොහේ අයකරා... මම පලවෙනි සෙල්ෆෝන් එක ගත්තේ ඊට ටික කාලෙකට පස්සේ කියලයි මගේ මතකය...

      Delete
  4. මගෙත් ඔය පන්සල් ගමන්නම් වැඩිය නෑ. ප්‍රසිද්ධ දවස්වලට කොහෙත්ම නෑ. ඒ දවසක ගියොත් ඉතීම්... කස්ටිය ඇඟේ හැප්පෙන සයිස්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ දවස්වලට පන්සල්වල බෞද්ධයෝ වැහි වහැලා බං..

      Delete
  5. Replies
    1. ස්තුතියි බස්සෝ...

      Delete
  6. මරු කතාව ගොඩයෝ, මැවිලා පෙනුණා සීන් එක. ඔහොම යාළුවො නම් වාසනාවන් ඉතින්! :D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දුසිම් කීපයක් ඉන්නවා ඉතිං...

      Delete
  7. ජොකා කියන්නේ ජෝකර් කියන එකේ කෙටි යෙදුම නේද?

    ReplyDelete
    Replies
    1. නෑ රසික... ජොකා කියන්නේ under ware එකට ලංකාවේ කියන ව්‍යන්ගාර්ථයක්...

      Delete
  8. මදි මදි හොඳටම මදි. අඩුම ගානෙ පැය බාගයක්වත් බත්තිය දාන්න තිබ්බ මුගේ ගෙදර.

    ReplyDelete
    Replies
    1. පැය භාගයක් කිව්වනම් මටත් ඒ බස් එකේම යන්න වෙනවා නයෝ...

      Delete
  9. අම්මෝ ඒ බක්තිය නම් වැඩ්ත් එක්ක..

    ReplyDelete
    Replies
    1. වැඩියි වැඩියි... හොඳටෝම වැඩියි...

      Delete