Thursday, June 8, 2017

සෙකන්ඩ් ඉන්කම් සහ නාන කතා..





ඔන්න ඒ කාලේ අම්බලන්ගොඩයා  රැකියාව කලේ අයියෝ අමාරිස් පෝස්ටුවට අදාළ ආයතනයේ. එකම ආදායමකින් යැපීම ගොඩයාගේ සිරිත නොවෙච්ච නිසා ගොඩයා රස්සාවක් කරන්න ගතපු දා හිටන්ම දෙවැනි ආදායමක්  නිර්මාණය කරගත්තා කිව්වොත් නිවැරදි. මොකද කියනවනම් එකම එක ආදායමකින් යැපීම යනු වැඩි කාලයක් ඉක්ම  යන්නට මත්තෙන් එම ආදායම් මූලාශ්‍රයේ වහලෙකු වීම වැළක්විය නොහැකි කාරණයක් නිසා. සිරිබර සිරිලංකාවේ බහුතරයක් ආයතන ප්‍රධානින් කැමති අන්න ඒ වහල් භාවයට නිසා එකම එක පඩි පතකින් යැපෙන සේවකයින්ට ආයතන ප්‍රධානින් හරීම සෙනෙහෙවන්තයි. ඒ මොකද කියනවානම් කුමනාකාර අසාධාරණ ක්‍රියාවක් ඉදිරියේ වුනත් විකල්ප ආදායම් නැති සේවකයින් ලොක්කාට එරෙහිව නොයා තම රැකියාවේ පැවැත්ම ආරක්ෂා කරගන්න දෙපාරක් නොහිතන නිසා.

මිනිසාගේ මූලිකම අවශ්‍යතා විදිහට ගොඩයා කුඩා එකා කාලේ සමාජ අධ්‍යයනයට ඉගැන්නුවේ ආහාර, ඇඳුම් , නිවාස කියන මූලිකම කාරනා තුන නිසා ඒ න්‍යායට අදාලව හිතල බැලුවාම රැකියාවක් කියන්නේ ආන්න ඒ මුලික අවශ්‍යතා සහ සෙසු අවශ්‍යතා  සපුරා ගැනීමට පිරිවැය උපයාගැනීමේ මාධ්‍යයක් කියලයි අම්බලන්ගොඩයාගේ අදහස. ඒ  කිව්ව දේ සරල ශුද්ධ සිංහලෙන් කියනවනම් රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න සල්ලි ටිකක් උපයාගන්නනේ හත් ඉලව්වේ.. එත් ගොඩයා එක්ක රස්සාව කරපු සමහරක් (සම හරක්) එවුනුයි ආයතන ප්‍රාධානින් බහුතරයකුයි ජීවත්වුනේ රස්සාව කරන්න කියල මතක් වෙද්දී අම්බලන්ගොඩයාගේ හිතේ ඇතිවෙන්න උන්දලා ගැන අනුකම්පාවක් විතරයි.  ඔය කියපු වර්ගයේ උදවිය උදේට අවදි වෙන්නේ  අද වෙලාවට රස්සාවට යන්නේ කොහොමද සහ රස්සාවට ගිහින් කරන කියන දේ ගැන හිතමින් කිව්වොත් තමා නිවැරදි. එතනින් එහා මුළු දවසම ගත වෙන්නේ රස්සාව ගැන හිතන්න විතරයි. ආයේ මලාටවත් ඒ වගේ චරිත තමුන්ගේ පුද්ගලික ජීවිතේ ගැන සහ තමුන්ගෙන් යැපෙන එවුන් ගැන හිතන්න කාලයක් ගන්නෙම නැති තරම්. 

දැන් අම්බලන්ගොඩයා එහෙම කිව්වම ඒ කතාවට එකඟ නොවෙන එවුන් කියාවි ඇයි යකඩෝ මැරීගෙන රස්සාව කරන්නේ උන්ට කන්න අඳින්න දෙන්නනේ කියල. මේ කතාවට වැඩියෙන්ම මල අසූ හාරදාහට පනින්නේ අපේ තඩියට. මොකද කියනවනම් තඩිය අවුරුද්දට දෙතුන් වතාවක් දරුමල්ලෝ බලන්ට කියල ලංකාවට මන්ගච්චන නිසා. ඒ කතාව කෙසේ වෙතත් තඩියා හදිසියේ ලංකාවට දවස් පහේ හයේ සතියේ වගේ නිවාඩු අරන් ලංකාවට  දුවන්නේ දරු කෙසේ වෙතත් මල්ලෝ බලන්න කියලයි රට්ටු කියන්නේ. තඩියා ඔය කියන චරිත ස්භාවයන් වලට කොහෙත්ම අදාළ නොවුනට  ගොඩයා විසින් හදාරන ලද වෙනත් සුවිශේෂී චරිතසොභාවන්ට අනුව ඒ ඒ චරිත හිමි පුද්ගලයන් හිතන්නෙත් ඒ වාගේම තමා.. සල්ලි හම්බු කරලා දුන්නාම සියල්ල හරි කියන කාරනාව මුදුන්පත් කරගෙන යන ජීවන ගමනේ තමුන් රැකියාව වෙනුවෙන් ජීවත් උනාදෝ යන්න වෙන්කර හඳුනාගන්න ඔයින් බොහොම සුළු පිරිසකට පුළුවන් වෙන්නේ රැකියාවෙන් විශ්‍රාම ගිය දවසින් පස්සේ තමා. එත් ඒ වෙද්දී තමුන්ගේ යැපෙන්නන්ගේ චිත්තප්‍රීතිය වෙනුවෙන් ඒ චරිත කරලා තියෙන්නේ මුදල් සම්පාදනය කිරීම පමණයි.. තමුන්ගේ යැපෙන්නන් සන්තෝස කරන්න ඊට වඩා කොයිතරම් දේවල් කරන්න තිබ්බද කියල නවතිල්ලේ හිතන්න කාලය ලැබෙන දවසට ජීවිතේට රිවස් නැහැ දෙයියෝ ඉතුරු වෙලා තියෙන්නේ තට්ටේ විතරයි  කියන එක ප්‍රායෝගිකව වැටහිලා හමාරයි. ආන්න ඒ නිසයි ගොඩයා ඕනෑම යාළුවකුට කට පුරා කියන්නේ මනුස්සයෙකුට විකල්ප ආදායමක් තිබියයුතුයි සහ නිරන්තරයෙන් උත්සහ කලයුතුයි කියන කාරනාව. එහෙම උනාම තමා රැකියාව සහ ලොක්කා වන්දනාමාන කිරීමෙන් මිදිලා තමුන්ගේ යැපෙන්නන්ගේ සතුට වෙනුවෙන් බොහෝ දෑ කරන්න පුළුවන් නේදෝ කියල හිතන්නේ. ඊට අමතරව ඔය හෝල් සේල් ලොක්කන්ට කඩේ යන පොරවල් ගැන සහ රැකියාව ජීවිතේ කරගෙන සේවකයින්ට උඩ පැනලා තලන ලොක්කන් ගැන සුන්දර අනුකම්පාවක් දැනෙන්නෙ ඒ වගේ විකල්ප ආකල්ප තියන මිනිස්සුන්ට විතරයි . 

ලියන්න ගිහිපු පොස්ට් එක කලේ කඩාගෙන ගිහිං කියල දන්නේ උඩට ගිහින් කියවගෙන ආවාම. ඒත් ඉතින් ලියපු දේවල් ඔන්න ඔහේ තියෙද්දේ කියල ඔන්න දැන් ලියවෙන්නේ ඒ පොස්ට් එක තමා.. ඔන්න ඔය කියන කාලේ ගොඩයා රස්සාව කරන අතරේ ගොඩයාගේ වෑන් එකක් හෙවත් අර ගොඩයාගේ සුදු අයිය පොල් ගස් ගියපු වෑන් කොටේ ගොඩයගේ යාලුවෙක් හයර් දුවනවා කියමුකෝ. 

ඔන්න වැඩේ සිද්ද වෙන්නේ මෙහෙමයි. 

ගොඩයා උදේම අවධිවෙලා ලක ලැස්ති වෙලා සමුද්‍ර දේවියේ නැගීල කොළඹ එන්න පිටත් වෙන්න ඕනනේ.. උදේම කිවේ සමුද්‍ර දේවිය ඒ කාලේ අම්බලන්ගොඩ ස්ටේෂන් එකෙන් පිටත් වෙන්නේ හයයි විස්සට වගේ තමා මතක. ගොඩය හයයි විස්සට කෝච්චියේ නගින්න අවධි වෙන්නේ පහමාරට කියමුකෝ..පහමාර කිව්වට ඉතින් ඒ එලාර්ම් ඔරලෝසුවේ වෙලාව උනාට ගොඩයා ඇඳෙන් බහින්නේ බොහෝ දුරට තව හීන දෙකයි කාලක් විතර බලල තමා.. ඒ හීන ගාන අඩ ගානක් හෙවත් සම්පූර්ණ නොවෙන ගානක් වෙන්නේ අන්තිම හීනේ සම්පූර්නෙන් බලලා අහවර කරන්න කලින් ගොඩයාගේ මෑණියන් මැදට පැනලා ඒ ලස්සන සුන්දර හීන බොඳ කරලා දාන නිසා. එහෙම කාලවල් භාගවල් බලපු හීන සතියට අනිවාර්යෙන් පහක්. මාසෙට විස්සක්. ටෙක්නිකලි අවුරුද්දට දෙසීය හතළිහක්.. ඒත් රජයෙන් හිමි නිවාඩු හතලිස් පහයි, සතිය මැදට වැටෙන නිවාඩුයි අඩු කරාම හීන භාග දෙසීයට අඩු වෙන්න ඇති. ඒ මොකද කියනවනම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව සේවකයින්ට දෙන නිවාඩු හතළිස්පහ නොගෙන සිටීමෙන් ඔය චක්‍රලේඛ හදන නෝනා මහත්තුරු අමනාප උනොත් හෙම කියල ගොඩයා නිවාඩු හතලිස් පහට විදින්නේ අගෝස්තු වෙන්නත් කලින්. නිවාඩු හතලිස් පහ අහවර උනායින් පස්සේ ගොඩයා යනු රැකියාවට යන්න හෙන උනන්දු පොරක්.. ඒ වෙන කාරනාවක් නිසා නෙවෙයි.. ගොඩයාගේ දෙමාපිය දෙපොලම අවුරුද්ද මුල හිටන්ම ගොඩයාගේ නිවාඩු ගණන් හිලව් තබාගෙන ඉන්න හින්දා හිටං.. එතනින් එහා ආයේ කක්කල් කැස්ස, වසූරිය, පැපොල, සරම්ප වගේ භයානක රෝගයක් හැදුනත් ගොඩයා ගෙදර ඉන්නවා කියන්නේ උදේ හිටන් හවස් වෙනකනුත් ඊට සතියක් දෙකක් යනකනුත් කනක් ඇහිලා ඉන්නවා බොරු.. ආයේ ගොඩයා උදේට මලත් ඩේඩ් බොඩි එක හරි රස්සාවට යනවා අනිවා.. ආයේ නොගියොත් හෙම ඩේඩ් බොඩිය උනත් කනක් ඇහිලා ඉන්නවා බොරු..  

ඒත් සමහරක් දවස්වලට හීන කාලෙන් භාගෙන් අවධි වුනත් සමුද්‍ර දේවිය හරි වෙලාවට අම්බලංගොඩ දුම්රිය ස්ථානයට වාර්තා කරා කියන්නේ ගොඩයා කෝච්චියේ නගින එක තවත් හීනයක් විතරයි. සමුද්‍ර දේවිය නලාව හඬවන සද්දේ ගොඩයාගේ ගෙදරට ඇහෙන නිසා අම්බලන්ගොඩින් සමුද්‍ර දේවිය අල්ලන්න බැරි  දවසට ගොඩය කරන්නේ බැනුම් එක් කෝටි විසිපන්ලක්ෂයක් අහගෙන හරි පියාණන් වහන්සේගේ සහය පැතීම. අම්බලන්ගොඩින් සමුද්‍ර දේවිය පිටත්වෙන්න නලාව හඬවනකොටම මෝටාර් සයිකල් රාජයාට ගොඩවෙන ගොඩයා තමුන්ගේ පියාණන් වහන්සේවත් පටිපස්සේ ආසනයේ ඉන්දවගෙන සැර දාගෙන ඉගිල්ලෙන්නේ හෙමින් ගිහිං කන්දෙගොඩ ස්ටේෂන් එකෙන් කෝච්චිය අල්ලන්න බැරි හින්ද. ඒ වගේ වෙලාවට අපේ තඩියයි බතලයයි කුඩුපට්ටම් කරලා දාපු තාත්තගේ පිෂ්ටිය පිකප් වෙන්නේ ඉස්සරහ රෝදේ උස්සගෙන. ගියර් තුනකින් සමන්විත සුපර් කබ් ෆිෆ්ටිය පලවෙනි ගියර් එකේ උපරිම ආර් . පී . එම් එකක් හෙවත් විනාඩියට එන්ජිම කැරකෙන වට ගාන උපරිමේටම රේස් කරලා පිකප් කරගත්තේ නැති උනොත් ආයේ ඉතින් කෝච්චිය ඇල්ලිලි බොරු. ඇයි හත්ඉලව්වේ අච්චර බරසාර එම් එයිට් ඩීසල් එන්ජිමකින් අම්බලංගොඩ ස්ටේෂන් එකෙන් පිකප් වෙන සමුද්‍රදේවී යකඩ ගොඩ එක්ක රේස් යන්න තනි පිස්ටන් එකේ සුපර් කබ් ෆිෆ්ටි බයිසිකල් කටුවකින් ගේම ඉල්ලනවා කියන්නේ සෙල්ලම්ද මං අහන්නේ. ආන්න ඒ වෙලාවට ගොඩයා විසින් පදවන සුපර් කබ් පිෂ්ටිය තුන්වෙනි ගියර් එකට වැටෙනවා කියන්නේ ආයේ ඉතින් ලෝක මෝටර් සයිකල් ධාවන සුරයින් කැලේ. සියලුම හන්දි සහ වංගු ගොඩයා දන නමලා කනේ වැලි ගෑවෙන්න ගනිද්දී පස්සේ සීට් එකේ ඉන්න ගොඩයාගේ පියාණන් ගොඩයාට අමතන අමතිල්ල අහගෙන ඉන්න වෙනවම සතියක් දෙකක් නිවාඩු දාන්න වෙනවා කියමුකෝ. එව්වයේ අන්තර්ගතය සාරාංශයක් වශයෙන් ගත්කල ඉතින් රෑ දෙගොඩ හරිය වෙනකල් පිචර් බැලීම, රෑ තිස්සේ කොම්පියුටර් ගේම් ගැසීම, රස්තියාදුවේ යාම වගේ හොද වැඩවලට ලැබෙන ඇගයීම තමා. එව්වා ඉතින් මෙලෝ පන තියන පුතයෙකුට අහං ඉන්න පුළුවන් එව්වා නෙවෙයි ආයුබෝවන්ඩ. ගොඩයා ඉන්නේ සමුද්‍රදේවිය එක්ක හෙන ගේමක් ඉල්ලන ගමන් නිසාත් මාසෙට දෙතුන් වරක් සිද්දවෙන සුලභ ක්‍රියාකාරකමක් නිසාත් ගොඩයා ඇහුනා නෑහුනා ගානට මෝටර් ක්‍රොස් එක පදිනවා පැදිල්ලක් ෆිෂ්ටියේ එන්ජිම උණු වෙලා වැක්කෙරෙන්නම. ගොඩයා කන්දෙගොඩ ස්ටේෂන් එකට ලංවෙනකොට ගොඩයාට සමගාමී කෙටිදුර ධාවන ශුරයිනුත් මෝටර් ක්‍රොස් එකට දෙවැනි නෑ. සමහරු සපත්තු කරේ තියාන දුවන අතරේ කාන්තා පාර්ශවයත් සාරි කරට අරං දුවන දිවිල්ල අද මතක් වෙද්දී ගොඩයට හිතෙන්නේ  සුසන්තිකා විතරක් ඔලිම්පික් යන්න තේරුනේ රටේ ධාවන ශුරයින් ගැන නිසි අධ්‍යයනයක් සිදුවුනේ නැති නිසා කියලයි. උදේ හවස කෝච්චිවලට දුවන උදවිය අතරේ උසේන් බෝල්ට්ලා සුසන්තිකාලා දුවපු දිවිලිත් දිවිලිද අප්පා. ක්‍රීඩා අමාත්‍යංශය අනුග්‍රහයෙන් ස්ටේෂන් ආසන්නයේ CCTV ටිකක් හයිකරානම් ඔලිම්පික් පදක්කම් දෙතුන්සීයක් සිම්පල්.

ඔය කෝච්චියට දිවිලි අතරේ පලවෙනි තැන ගන්න කීප දෙනා අතරේ ඉන්නේ ගොඩයාගේ ලොකු අප්පච්චිගේ බාල පුතණ්ඩිය. මෑන්ස් කොච්චර දිවිලි සූරයාද කියනවානම් සපත්තු මේස් කමීස අතේ අරං තමා ගෙදරින් පිටත් වෙන්නේ. ඔය කියන අයියන්ඩි පදිංචිය කන්දෙගොඩ ස්ටේෂමට මීටර් දෙතුන්සීයක් දුරින් උනාට හැමදාම කෝච්චියට එන්නේ හන්ද්‍රඩ් මීටර්ස් ඉවෙන්ට් එක ලෙසටම කරගෙන තමා. ඒකට හේතුව ඒ කියන අයියන්ඩි ගොඩයා වගේ හය වෙනකල් හීන බලන නිසාවත් රෑ දෙගොඩ හරිය වෙනකල් නිදි වරණ නිසාවත් නෙවෙයි. මෑන්ස් උදේ නැගිටින්නේ හතරට කියමුකෝ.. සමුද්‍ර දේවිය හයයි තිහට ආවට උදේ හතරේ හිටන් අපේ අයියන්ඩි කරන්නේ නාන එක තමා. ඔව් ඔව් හත්ඉලව්වේ බාර්ත් රූම් එකට වෙලා උලනවා සබන් ගානවා ආයේ නානවා ආයේ කෑල්ලෙන් කෑල්ල සබන් ගානවා ආයේ උලනවා ආයේ නානවා ඉවරයක් නෑ යකඩෝ. ආන්න ඒ සුපිරිසිදු නෑම නිසා තමා හැමදාමත් සපත්තු කමීස කරේ තියාන කෝච්චියට විදින්නෙ. අපේ ලොකු අම්ම කියන්නෙම මූ කවද හරි මැරෙන්නේ දියවෙලා කියල. ඒ මොකද කියනවනම් උදේට වගේම රෑටත් අපේ එකා පැය දෙකක් නානවා කියහන්කෝ. ඉතින් ලොකු අම්ම කියන්නෙම දවසට පැය හතරක් වතුරේ ඉන්න එකා දියවෙනවා ඇරෙන්න වෙන මක් වෙනවද කියලයි. ඔන්න දැන් ඔය කියන අයියන්ඩි ඉන්නෙත් ගොඩයා ඉන්න රටේම තමා.. ඒත් ගොඩය ඉන්න නගරෙට වඩා හැතැක්ම දාහක් හමාරක් එහා නගරෙක. මාසෙකට දෙතුන් වතාවක් කෝල් දීල හෙම සැප දුක හොයද්දි අපේ නෑනන්ඩි අයිය බාර්ත් රූම් එකේ කිව්වොත් ගොඩයා ආයේ මලාට එදා කෝල් ගන්නේ නැහැ. මොකද ඌ බාර්ත් රූම් එකට ගියා කියන්නේ විසි තිස් දෙනෙකුට නාන්න යන වතුර පාවිච්චි කරලා සබන් කෑලි දෙකතුනක් ඉවර වෙන්නම ගාලා සරීර කුඩුවේ උඩු හම ගලෝල බිම දාල සබන් ගාල, ගලේ ගහල හෝදලා ආයේ ඇඳගෙන ආයෙත් නාල ආයෙත් සබන් ගාල පැය දෙකතුනක් දිය කෙලියේ යෙදෙනවා කියන එක සුප්‍රසිද්ධ කාරණයක් නිසා. 

ගොඩයා ඔය කලින් ලියපු පොස්ට් එකක හිටපු අර ගෝල්ෆේස් එක ළඟ ක්‍රෝටන් ගහක් උඩ මල පහ කරපු සෙට් එකේ යුරාජුත් එහෙම නෑම් කාරෙයෙක් තමා. ආයේ දන්නා කියන එකෙක් කුලියට කාමරයක් දෙන්නේ නැහැ මු කාමර කුලියට වඩා දෙතුන් ගුනේක වතුර නාන නිසා. යුරාජ් එක්ක සංගීත වැඩකට දුර ගිහින් හෝටල් කාමරේක නතරවුනා කියන්නේ යුරාජ් නැගිටින්න කලින් අවධිවෙලා බාර්ත්රූම් යන්න ඕන කාරණයක්. මොකද යුරාජ් ඉස්සෙල්ල බාර්ත්රූම් එකට රිංගගත්තොත් ආයේ ඉතින් එදාට හෝටලේ බ්‍රක්ඵස්ට් බුෆේ එකෙන් නොමිලේ කෑම කන එක හීනයක්. ඇත්තටම ලෝකේ නාන තරගයක් තිබ්බනම් ගොඩයා අනිවාර්යෙන් අතින් ගෙවල මුන් දෙන්නව යවනවා කප් එකයි ෆස්ට් රනර් අප් එකයි අරන් වරෙල්ල කියල. මොකද කියනවනම් එහෙම නාන්න පුළුවන් එවුන් බොහොම දුර්ලභයි. ඒ වගේම ලෝකේ කවද හරි වතුර අහවර උනොත් මේ කියවන අයයි මේ ලියන ගොඩයයි මැරෙන්නේ බොන්න වතුර නැතුව උනාට මුන් දෙන්න ඊට මාස ගානකට කලින් මැරෙනවා නාන්න වතුර නැතිවෙන හින්ද. 

ආයේ පඳුරු වටේ ගියා නෙව..ගොඩයාගේ වැඩිහිටියන් නිවාඩු ගැනීම ගැන නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්නේ නෝ පේ යාම හෙවත් වැටුප් රහිත නිවාඩු ලබාගැනීම යනු රාජ්‍ය සේවයේ භයානකම භයානකම භයානකම දඬුවම් වලට මුහුණ දෙන්න වෙන වරදක් නිසාලු. ඒත් ඔය කියන කෙහෙල් මල් නෝ පේ යාම යන වරදට දඬුවමක් වශයෙන් සිද්ද වෙන්නේ වාර්ෂික වැටුප් වර්ධයකය අහිමිවීම පමණක් වෙන නිසා ගොඩයාට ඕක ඔය කියන තරම් මහා ලොකු දඬුවමක් නෙවෙයි. ඇයි හත් ඉලව්වේ ඔය කියන වැටුප් වර්ධකය ගන්න ඔය හැටි කඩේ යන්න ඕනෙද??? දැන් ඔය කියන නෝ පේ එකක්වත් නොගෙන නිවාඩු හතලිස් පහෙන් විතරක් පිරිමහගෙන හිටිය උනාට ගොඩයාගේ එක්තරා ලොක්කෙක් අවුරුදු තුනක් ගොඩයට ඔය කියන වැටුප් වර්ධකේ දුන්නෙම නැහැ කියමුකෝ.. ඒ වෙන වරදක් නිසා නෙවෙයි.. ලොක්කට එහෙයි නොකියන නිසා.. ලොක්කගේ කාමරේ සැලුන් දොරෙන් ඇතුලට යද්දී දෙකට නැවිලා නොයන නිසා.. ලොක්කව ප්‍රසිද්දියේ විවේචනය කරන නිසා..  වැඩේ කියන්නේ හතරවෙනි අවුරුද්ද අවසානයේ වසර හතරකම වැටුප් වර්ධක සියල්ලම හිඟ මුදල් සමගම ගොඩයාට ගෙවන්න ආයතනයට සිද්දවුනේ කරපු කිසිම වරදක් නැතුවම ඒ වැටුප් වර්ධක නවතාගෙන හිටපු ලොක්කට පරාජය භාර දෙමින් උනාට එවුන් ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ජාතියක් කියමුකෝ. වැටුප් වර්ධකේ සුට්ට සුට්ට දෙනවා වගේද යකඩෝ අවුරුදු හතරක් එකතු කරලා දුන්නාම.. හරියට නිකම් ශනිදා වාසනාව අදුන වගේ නැද්ද හා... ආන්න එහෙම ඒ මුදල් ටික දෙන්න ඒ ලොකු තැන කරපු උදව්ව සුළුපටුද මං අහන්නේ..ආන්න ඒ මුදල් ටික ලැබුන ගමන් ගොඩයා නෝ පේ යන්න ගත්තේ සනත් ජයසූරිය පලවෙනි ඕවර පහළොවට ඇට්ටි හැලෙන්න ගහනවා වගේ.. ටිකක් නෙවෙයි.. නො පේ හැත්තෑ එකක් ප්ලස් නිවාඩු හතලිස් පහක්.. ඒ කියන්නේ නිවාඩු එකසිය දාසයක්.. අවුරුද්දක් ඇතුලත ... මදි නෑ නෙහ්.. ආන්න ඒ නිවාඩු එකසිය දාසයට පින් සිද්ද වෙන්න තමා අවුරුදු පහක් තිස්සේ "අනුප්‍රාප්තිකයකු නොමැතිව නිදහස් කල නොහැක" යන තේමාවෙන් ලොක්කා විසින් අත්සන් තබා තිබු ගොඩයාගේ ස්ථාන මාරුව සති දෙකෙන් ක්‍රියාත්මක වුනේ.. කොළඹට ස්ථාන මාරුවීම් එන්න ඕනෑතරම් පිරිස් සුදානම්ව හිටියත් මෙලෝ පන තියන එකෙක්වත් අවුරුදු පහක් පුරා ඒ කියන දෙපාර්තමේන්තුවට එන්න අකමැති වුනේ ඔය කියපු ලොක්කා විසින් ආයතනය වටා ගොඩ නැගු කීර්තිනාමයේ ආදිනවයට නේන්නං.. අන්න සම්මාන දෙන්න වටිනා මිනිස්සු.. 

ආයේ පඳුරු වටේ..

ඔන්න වෑන් හයර් කිරිල්ල කෙරෙන්නේ මෙහෙමයි.. ගොඩයා උදේට ටිකක් කලින් නැගිටලා වෑන් රථය පදවාගෙන නිශාන්තගේ නිවසටත් එතනින් නිශාන්ත ගොඩයාව දුම්රිය ස්ථානයට ඇරලවා යාමත් තමා කෙරෙන්නේ. එතැනින් එහා නිශාන්ත වෑන් රථය කොන්ඩයාගේ වෙළඳ සැල සහ නිශාන්තගේ වෙළද සැල අසල තබාගෙන පොඩි ප්‍රමාණයේ හයර් දිවීමත් හවසට නිශාන්ත විසින් වෑන් රථය ගොඩයාට දුම්රියට ගෙනවිත් දීමත් දිනපතා සිදුවුණා වූ ක්‍රියාවක්. ගනුදෙනු බේරුනේ ආදායමෙන් ඩීසල් මුදල් අඩුකොට තුනෙන් එකක් නිශාන්තටත් තුනෙන් දෙකක් ගොඩයාටත් හිමිවීමෙන්. නිශාන්තත් වැඩේ කරගෙන යන්නේ අමතර ආදායමක් විදිහට නිසා දෙන්නටම හවසට පොඩි ගතමනාවක් සෙට් උනා කියමුකෝ. හැබැයි හයර් කිව්වට ඔය වෑන් කටුවට වදින්නේ උපරිම දුර කරාපිටියට වගේ හයර් කෑල්ලක් තමා. එයින් දෙකක් දවසට ගියාම ඉතින් නිකම් තියන වාහනේට මාසෙට දහ පාලොස්දාහක ආදායමක් එනවා කියමුකෝ. නිශාන්තත් කරගෙන යන ගල් වැලි බිස්නස් එකට අමතරව කරන නිසා ලැබෙන ගානෙන් නිශාන්තත් සන්තෝසයි. 

ඔන්න දවසක් හවස නිශාන්ත ගොඩයා ගන්න ස්ටේෂන් එකට ඇවිල්ල කියපි කතරගම හයර් එකක් ආව කියල. වාහනේ නිතර කැඩෙන නැකතක එකක් නිසා ගොඩය ආසයි බයයි වෑන් කොටේ කතරගම යවන්න. මොකද කියනවනම් කතරගමට කිට්ටුවෙන් වාහනේ කොහේ හරි සෙත්තපෝච්චි වුනොත් හයර් එකේ ගාන වගේ තුන් හතර ගුණයක මුදලක් ගෙවල මාස ගානක් ගමට ඇදන් එන්න වෙන පරිප්පු නැවක් නිසා. ඒත් නිශාන්තය හයර් එකට ඇඩ්වාන්ස් අරගෙන නිසා ගොඩය අකමැත්ත පෙන්නුවේ නැහැ එහෙම කරන එක නිශාන්තගේ කීර්ති නාමයට හොඳ නැති වැඩක් නිසා. 

හයර් එකේ පොරොන්දුව හාරදාස් හාරසීයි.. ඒ කියන්නේ දවස් දෙකක ගාන.. මොකද හැමෝම කතරගම යන්නේ පලවෙනි දවසේ ගිහින් දෙවැනි දවසේ එන්නනේ. ඒත් නිශාන්තගේ සේවා ලාභියාගේ ඉල්ලීම වුනේ එකදවසින් කතරගම ගිහින් එන්න. නිශාන්තට එලවන්න පුලුවන්නම් යන එවුන්ට එක දවසින් ගිහින් එන්න ඕනෙනම් ඒ ගමනට අකුල් හෙලීම ගොඩයාගේ කාර්යක් නොවේ කියමුකෝ. ඔන්න නිශාන්තයා සෙනසුරාදාවක උදේ පාන්දර නඩය පටෝගෙන කතරගම යන්න පිටත්වුනා. ගොඩය ගොඩයාගේ වැඩක් බලාගෙන ගෙදරට වෙලා උන්න. ඒ කාලේ අතේ ගෙනියන සෙලියුලර් දුරකථන තිබ්බ උනාට එව්වා ගෙනියන්න වෙනම වාහනයක් ඕන.. ඒ කිව්වේ මොටෝරෝලා ත්‍රිපල් එයිට් එක හෙන සයිස් සිංහල ගඩොලක් විතර ඇති කියමුකෝ. ඒ හින්ද ගොඩය ගාවත් නිශාන්ත ගාවත් හෑන්ඩ් ෆෝන් නැත. ගමන ගිහිපු එකා ගෙදර එනකල් අහස දිහා බලාන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. ආවේ නැති උනොත් පහුවදා රේඩියෝ එකේ හදිසි අනතුරු සහ අවමංගල්‍ය දැන්වීම් වලට කනදීගෙන ඉන්න ඕන. ඔන්න රෑ දහය උනා.. ගොඩයාගේ ඇස්තමේන්තුවේ හැටියට වෑන් කොටේ රෑ දහය වෙද්දී ගෙදර එන්න ඕන.. ම්හ්.. මොන.. දහය එකොළහ උනා.. එකොළහ දොළහ උනා.. වෑන් කොටේ එන පාටක් නෑ.. ගොඩයත් දැන් ටිකක් පාරට හෙම බැහැල බලාන ඉන්නව දැන් එයි දැන් එයි කියල.. ඔන්න බොලේ රෑ එකට විතර ගොඩයාගේ ගෙවල් වලට එන පාරේ කන්ද උඩින් ලයිට් පාරක් වදිනවා.. පරිසරය නිසල නිසා සද්දෙන්ම දන්නවා මේ එන්නේ නිශාන්තය කියල.. ඔන්න නිශාන්තය ඇවිල්ල නැවැත්තුව..

මොකෝ බං රෑ වුනේ..

............................................
නිශාන්ත සද්දයක් නෑ..

මොකෝ බං උනේ...

........................................
ම්හ්.. නිශාන්තයා බලාගත්තු අත බලාන ඉන්නවා වාහනෙන් බැහැල..

මොකෝ බං ගල් ගිලල වගේ.. මොකද උනේ..

...........................................
ම්හ්.. නිශාන්ත ඔහේ බලාන ඉන්නවා..

යකෝ කියහන් මොකෙක් හරි හප්පුනද ...

නෑ...

එහෙනම් මොකෝ උඹ මේ ගල් ගිලල වගේ...

මාර ප්‍රශ්නයක් උනා බං...

මොකද්ද කියහන්කෝ ඉතින්..

සල්ලි ප්‍රශනයක් බං..

හරි බං ඉතින් සල්ලි ප්‍රශ්න නැත්තේ කාටද.. දැන් උඹට මොකක්ද වෙන්න ඕන..

මට නෙවෙයි බන්.. මේ....මේ...

මේ මේ ගගා කෙකර ගාන්නේ නැතුව කියහන්..

මූ මාව කෑවා බං...

කව්ද..

කතරගම ගියපු එකා...

ඇයි මොකද්ද ඌ උඹට කරේ..

හයර් එක බේරුවේ නැහැ බං හරියට.. ඕකව මම යටකරනවා පාරේදී අහුවුනොත් ..

දැන් පැහැදිලි සිංහලෙන් කියහන් මොකක්ද උනේ කියල..

ඌ මට දුන්නේ දෙදාස් දෙසීයයි..

ඒ මොකෝ බන්.. උඹ හයර් එක පොරොන්දු උනේ නැද්ද ඌ එක්ක..

පොරොන්දු උනා බං..

කොහොමද පොරොන්දු උනේ..

හාරදාස් හාරසීයයි..

එතකොට ඌ මොකද්ද උඹෙන් ඇහුවේ කියහන්..

ඌ ඇහුවේ කතරගම ගිහින් එන්න කීයක් ගන්නවද කියල..

ඉතින් උඹ මොකද කිව්වේ..

ඉතින් මම කිව්වා දවස් දෙකට හාරදාස් හාරසීයයි කියල..

ඊටපස්සේ 

ඌ ඇහුව එක දවසින් ගිහින් එන්න පුලුවනිද කියල..

ඉතින් මම කිව්වා ඔයාලට අමාරු නැත්තම් මට ප්‍රශනයක් නෑ කියල..

ඉතින් දැන් මොකද උනේ කියහන්..

ඌ ගිහින් ඇවිත් දෙදාස් දෙසීයක් දුන්න..

ඉතින් හරිනේ බං.. හක්... හක්..... හා.....

මං ඕකව මරනවා පාරේ අහුවුනොත්...

ඌ මරන්න දෙයක් නෑනේ බං.. උඹ දවස් දෙකට ගාන කිව්වා.. ඌ එක දවසෙන් ගිහින් එන්න ඇහුවා.. උඹ කැමතිවුනා .. ඉතින් ගාන හරි... හක්.. හක්.. හා... යමන් උඹ  දාල එන්න..

ඔන්න ඔහොමයි අපේ නිශාන්ත කතරගම හයර් එක ගිහින් ආවේ.. දවසක් තිස්සේ කිලෝමීටර් හාරසීයක් පන්සීයක්  වාහනේ එලවපු එකා හිස් අතින් ගෙදර බස්සන්න බැරි නිසා බලෙන්ම රුපියල් දාහක් සාකුවට දාල ගොඩයා විසින් නිශාන්තව ගෙදරට බැස්සුවා.  එන ගමනේ අම්බලන්ගොඩ බස්ටෑන්ඩ් එක ඉස්සරහ ඉන්දන පිරවුම් හලෙන් ඩීසල් ටැංකිය පිරෙව්වාම ගාන එක්දාස් තුන්සීයයි කිව්වා. ඒ කියන්නේ අරුන් කතගම වන්දනාවේ යවන්න ගොඩයා අතිනුත් සීයක් වියදම් කරලා. ආන්න එහෙමයි බිසිනොස් කෙරුවාව. එහෙම කියල ගොඩයා සැලෙන්නේ නැහැ.. ඒ මොකද කියනවනම් අටලෝ දහම නොදැන ව්‍යාපාර කෙරුවාව කරොත් පාඩු සිද්දවෙන තැන් වලදී හිතේ සැනසීම, ආතල් පහට ටී වී එක දැම්ම වගේ හීන බල බලා නිදාගන්න නින්ද, හිතවත්කම් සියල්ලම නැතිවෙන්න ඉඩ තියෙන හින්ද. 

ගොඩය මුලින් කිව්වා වගේ උත්සහ කිරීමයි විකල්ප ආදායම් සෙවීමයි හොඳින් පල දරලා අද වෙද්දී අපේ නිශාන්තයා ලොකු යෝගට් කර්මාන්තයක හිමිකාරයෙක්. ඩිස්කවුන්ට් මිලට වන්දනාවේ එහෙම යන්න ඕනෙනම් ගොඩයා මැදිහත් වෙලා නිශාන්තයව සම්භන්ද කරලා දෙන එක සුළු දෙයක්. ඒ වගේද අර හයර් එක ගියපු එකා.. ඌ ගල් පලන් මද කාපු වදුරන්ගෙන් බන අහල ජේතවනාරාමෙටත් ගල් ගහල ආපු එකෙක්. අපේ නිශාන්තයා මාස ගානක් ඌ පස්සෙන් වැටිලා දකින දකින තැන හිඟ මුදල ඉල්ලුවත් ඌ නෙවේ අද වෙනකම් සල්ලි දුන්නේ. හැබැයි ඌ කිව්වේ නෑ සල්ලි දෙන්න බෑ කියල.. ඌ කිව්වේ අද දෙන්නම් හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියල.  ගොඩයා ඔය ගනුදෙනුවට මැදිහත් නොවුනා වුනත් නිශාන්තයා නිරන්තරයෙන් ගොඩයා වෙත අප්ඩේට්ස් ගේන නිසා කතරගම හයර් එක ගැන යාවත්කාලීන වෙච්ච දැනුමක් ගොඩයටත් තිබ්බ. ඒ හාදය දන්නවා ගමන ගියේ ගොඩයාගේ වෑන් කොටේ කියල. අද උනත් ඒ හාදය පාරේ හම්බුනාම ගොඩයා දිහා බලන්නේ හරියට ගොඩයා උගේ වෑන් එකේ ණයට කතරගම ගිය ගානට. ඔන්න එතකොට ගොඩය ඌ දිහා නොබලා අහක බලාගෙන පාඩුවේ යනවා ඌට ලැජ්ජාවක් නැති උනාට ගොඩයට ලැජ්ජාව කියන එක යාන්තමට තියන නිසා.

අපේ අර නාන අයියන්ඩි කෝච්චියට දුවනවා කිව්වට ඒක එසේ මෙසේ දිවිල්ලක් නොවී විදිල්ලක් වෙන්නේ ඒක වෙනස්ම ආරේක දිවිල්ලක් නිසා.. මොකද කියනවනම් අපේ අයියන්ඩි කෝච්චියට දුවන්නේ බූරු පොලට පොලිසියෙන් පැන්නාම බූරු කාරයෝ දුවන්නැහේ.. බූරු කාරය සාමාන්යෙන් දුවන්නේ රෙදි කරට අරගෙන වැටවල් කඩාගෙන.. අපේ අයියන්ඩිත් එකෙන් වෙනස් වෙන්නේ අයියන්ඩි දුවන්නේ බූරු ගහල නොවෙන හින්ද. හැබැයි බූරු කාරයෝ වගේමයි.. ඇඳුම් වලින් භාගයක් අතේ.. සමහරවිට භාගෙටත් වඩා.. දිවිල්ලේ තියන අනික් බූරු ලක්ෂණය තමා අහස් දුරෙන් දුර මැනගෙන දිවීම. ඒ කියන්නේ ඇල්පිටි පාරේ ඉහත්තාවේ හිටන් බැලුවාම කන්දෙගොඩ රේල් ගේට්ටුවෙන් සමුද්‍ර දේවි කොළඹ දිහාට යන්න ස්ටේෂමට සේන්දුවෙනවාත් එක්කම තමා අපේ අයියන්ඩි ඇඳුම් ටිකත් කරේ අරන් උසේන් බෝල්ට්ටත් වඩා වැඩි වේගෙන් ඇල්පිටි පාරට සේන්දු වෙන්නේ . එතන හිටන් අපේ අයියන්ඩි දුර මනින්නේ ගූගල් මැප් එකේ අහසින් දුර මනිනවා වගේ. ඒ කියන්නේ රේල් ගේට්ටුව දිහාවෙන් සමුද්‍ර දේවි දැක්ක ගමන් අපේ අයියන්ඩි ඇල්පිටි පාරෙන් දකුණට විතැන් වෙලා අහල පහල තියන වතුපිටි මැද්දෙන් වැටවල් උඩින් කෙලින්ම දුවන්නේ රේල් පාර දිහාවට. එතැනදී අපේ අයියන්ඩිට වැදගත් වෙන්නේ තමුන්ගේ රෙදි කඩමාලු ටිකයි මුණ බලන්න පොලිෂ් කරපු සපත්තු කුට්ටමයි අතින් කටින් අරගෙන කෝච්චියේ කොතන හරි එල්ලෙන එක විතරයි. උදේට ඉස්කෝලේ යන්න ඇහැරිලා ගෙවතුවල පිළිකන්නේ දත් මදිමින් ඉන්න පුංචි එවුන් දත් මදිල්ල නවත්තල විනාඩියක් දෙකක් ගල්බීත වෙලා බලාන ඉන්නේ ඇත්තටම කව්රුහරි භාගෙට ඇඳගත්තු එකෙක් වත්ත මැදින් දිව්වද නැත්තම් හිතලුවක්ද කියල හරියට තෝරාගන්න බැරුව. මොකද කියනවනම් එහෙම වේගෙකින් දුවන්න පුළුවන් රෝඩ් රනර් ෂෝ එකේ පී පීක් ගාන කුරුල්ලට විතරයි. 

සිල්ලරට හයර් දුවන එක ඔය වගේ අල වෙන්න ගතපු නිසා අපේ නිශාන්තයා ඊළඟට හොයන ආපු විකල්ප හයර් එකයි ඊට පසු විස්තරෙයි පසුවට... මේකටම ලිව්වොත් දිග වැඩියි නෙව..

පොඩි එවුන්ටත් කියවන්න පුළුවන් වෙන කොමෙටුවක් ඉතින් එපා කියන්නේ නෑ....

71 comments:

  1. හපොයි හැමදාම වගේ අදත් පණයන්න හිනා ....කොහොම උනත් ඔයා ලංකාවෙන් පිට ඉන්න එක තමා වඩා හොඳ ..ඇයි දෙයියනේ අවුරුද්දෙන් භාගයක්ම නිවාඩුයිනේ..ගොඩය්යගෙ අම්මා තාත්ත නොහිටින්න ඉතුරු භාගෙත් නිවාඩුයි ...මේ මම මෙ නිකමට අහන්නේ ඔය රටෙත් එහෙම පුලුවන්නද අය්යේ?????

    ReplyDelete
    Replies
    1. එකනමි ඇත්ත තමයි නෙතු අක්කා...

      Delete
    2. ගොඩයියත් ඉතින් තඩි අය්යට ඉරිසියා නොකර අවුරුද්දකට දෙපාරක්වත් ලංකාවට ආවනන් ඉවරයිනෙ දරු කෙසේවෙතත් මල්ලෝ බලල යන්න නේද තඩි අය්යේ..

      Delete
    3. අන්න තරිඳු මල්ලිට තෙරුනා මම කියපු දේ ..

      Delete
    4. තඩියට ඉරිසියා නොකර අවුරුද්දට දෙපාරක් වත් නාන්න කියල ඉලීමක් කරන්නෙ නැත්ද?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඔයා හරි නෙතූ ඕක මහ ඉරිසියා කාරය.මේ දවස්වල ගොඩය මට වැඩි වැඩියෙන් ඉරිසියා කරන්න අරගෙන.මොකද දන්නවද මන් මෙහෙට ටටා කියල නොයෙන්නම ලන්කාවට යන්න තීරනය කරපු නිසා.නොදකින් මූ පැලෙනව පැලිල්ලක් 😬
      ඉයන් වතුර මගේ රස්සාවෙ කොටසක්.දවසට පැය 2,3 වතුරෙ ඉන්න දවස් එමටයි 😛

      Delete
    7. නේතු.. ලංකාවේ ක්‍රමේට දැන් ඉන්න රටේ රස්සාවල් කරන්න බැහැනේ.. ලංකාවේ ඉතින් අපි නිවාඩු බලෙන් ගන්නවා නෙවෙයිනේ.. එයාල අපිට හතලිස් පහක් දීල තියෙන්නේ හිතෙන වෙලාවට ගන්න තමා..

      Delete
    8. ආ බං තරිඳුවෝ.. ඇත්තටම නෙතු අක්කව උඹ දන්නවයි??? අපිට මේ හොයාගන්න බැරුව ඉන්නේ මේ නෙතු කව්ද කියල..

      Delete
    9. අපේ තඩිය දැන් මීට අවුරුදු දෙකකට කලිනුත් ආයේ එන්නෙම නැහැ කියල ලංකාවට ගියේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පැත්තේ පස් පාන්නේ නැහැ කියල හත් පොලේ දිවුරලා.. මාස හයයි අවුරුද්දයි ඔව්ව..

      Delete
    10. මම ගිහින් අවුරුදු 3ක් ලන්කාවෙ හිටිය බොල.මම එහෙමහරි ඉදල ආව.ගොඩය තවම තඩියට ඉරිසියා කර කර ඇමරිකාවේ😂😂😂

      Delete
    11. මමත් ඉන්නේ ඇමරිකාවේ. ගොඩයා අවුලක නැත්තම් ඉන්නේ කොයි පළාතේද කියල දැන ගන්න කැමති

      Delete
    12. Mama Inne DC. E mail ekak ewanna NIDAHASA inne koheda kiyala. Menna mage e mail eka

      polwattacom@gmail.com

      Delete
  2. අයෙ කථා දෙකක් නැ මෙිවිවා රස එවුවා අයියේ..

    නියම post එකක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරිඳු..

      Delete
  3. කියවන්න ගන්න කාලෙට ණය නැති ලියවිල්ලක්. නියමයි

    ReplyDelete
    Replies
    1. නිදහස් ලියන්නන්ට ඉයන් කියන්නෙ පිළිකාවක්..!! සමහරක් බ්ලොග් ලියන්නෝ මාව බෑන්ඩ් කරලා තියෙනව අඩුම තරමේ එයාලගෙ බ්ලොග් කියවන්නත්. මට ඔවුන්ගෙ බ්ලොග් වලට යන්න බැහැ, මොකද මගේ ප්‍රොෆයිල් එක බෑන්ඩ් කල නිසා. මට අනෝ එන්න පුළුවන්. අනේ මට එච්චරට අමාරුවක් නැහැ. බ්ලොග් කියන්නෙ මගෙ ලයිෆ් එක නෙමෙයි ඉයන්..!! නැතත් කියන්නකො කවද්ද ඔබ බ්ලොග් පොලිස්පති උනේ ..!! කවද්ද බ්ලොග් සමතමණ්ඩලය සහ කවද්ද බ්ලොග් ආණ්ඩුව එන්නේ..??

      Delete
    2. මොන බෑන්ඩ්ද? කොණ්ඩෙ බඳින හෙයා බෑන්ඩ් වෙන්න ඇති.

      Delete
    3. ස්තුතියි ඉයන්..

      Delete
  4. ඒක මරු ආදායම් මාර්ගෙ හෙක්...

    ReplyDelete
    Replies
    1. මරු නේන්නං.. අතිනුත් පාඩුයි..

      Delete
  5. මමත් ඔය පරිප්පුව කෑවා අයියව කන්දෙගොඩට දාන්න පුස් බයිසිකලෙන් අවුරුදු ගාණක්. ලියවිල්ල හරි රසචත්.ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට බයිසිකල් පැදිල්ල බොනිෆස් පෙරේරා පරාදයි නෙහ්.. ස්තුතියි සවීන්..

      Delete
  6. යකෝ උබේ පොස්ට් කියවල මැරෙන්න වෙන්නෙ පෙනහළු දෙක එකට වැදිල. මමත් රටවල් දෙක තුනකම එකී මෙකී නොකී හැම අංශයකම වැඩ කරලත් යන හැමතැනකම රස්සාව පරස්තාව කරගත්ත මහ ඇවුන් වගේම උන්ට කඩේ යන ඇවුන් ඉන්නවමයි. උන්ගෙන් පාඩම් ඉගෙනගෙනම දැන් ඉන්න ලොක්කට ගේම ඉල්ලගෙනම තමයි ඉන්නෙ. නිවාඩු දවසට කෝල් කලොත් ආන්සර් කරල අහන්නෙ "ඇයි කෝල් කරන්නෙ ආ ?" කියල. මොකද ඌ දන්නව මම විශ්වාසවන්ත එකෙක් කියල.

    2000-2003 වෙනකං මම ෆුල් ටයිම් ජොබ් එක ලංකාබෙල් එකෙත් රෑට වෙබ් මාස්ටර් විදිහට ප්‍රසිද්ද කොම්පනියකත් සතියට දවස් තුනක් IDM එකේ ඩිග්රියකුත් කළා. උදේ 6.30 ට එලියට බැස්සම ගෙදර එන්නෙ උදේ 3.30 ට.

    ඒ මදිවට CD හොරෙන් කොපි ගහල ගාල්ලෙ මගෙ යාළුවන්ගේ ෂොප් වලට දැම්ම.

    ඔය අතරෙ ලැබුන චාන්ස් වලින් ඉපදෙන්න ඉන්න ළමයින්ටත් එක්කම පිස්සු කෙළිය.

    නුවර ඉස්කෝලේ යනකාලේ නම් ඉන්ටසිටියේ ගාලු එන්න තාත්තගෙන් සල්ලි අරං කෝච්චියේ එනව සල්ලි ඉතුරු කරගන්න. හික්ක උණවටුනේ ඩිස්කෝ යන්න. 😂

    ඔව්ව දැන් මතක් වෙනකොට පිස්සු වගේ බං.

    😇😇😇😇😇

    👊🏽

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කොපි රයිට්ස් ගැන එලවන්නේ නැති නිසා CD/DVD බිස්නස් එක කරගෙන යන්න පුළුවනි තාමත්..මම මුලින්ම මගේ ෂොප් එක දාන්න DVD ගත්තේ එකක් රුපියල් 230/- යි.. VCD එකක් රුපියල් 88/- යි. දැන් DVD එකක් හෝල් සේල් මිල රුපියල් 35/- යි. ඒත් ඒ කාලේ ආපු හොඳ මැලේෂියන් DVD දැන් ලංකාවට එන්නේ නැහැ.. දැන් ඒ බිස්නස් එකත් චාරයක් නැති වෙලා.. මම ඔය ව්‍යාපාරය ගැන අයන්න ආයන්න කියලදීල පිටකොටු එක්කන් ගිහින් සියලුම දන්නා අඳුනන හෝල් සේල් කඩවල් අඳුන්නලා දීල යාලුවෙකුට දාල දීපු කඩයක් දැන් මාසෙට ලක්ස තුන හතරක ආදායමක් හොයනවා.. ඒ ගැන දැක්කාම ඉතින් හරිම සන්තෝසයි හිතට..

      උණවටුනේ නාන්න ගිහිපු කාලයක් මතක නැහැ බන්.. ඊළඟ වතාවේ ලංකාවට ආවාම අනිවාර්යෙන් යන්න ඕන.. ඊයේ පෙරේදාවක මේ රටේ මිනිස්සු බීච් යනවා කියල ගිහින් ස්නොකලින් කරන බීච් එකකට ගියා මම.. නෙට් එකේ හැමතැනම රිවීව්ස් ලියල තියෙන්නේ පට්ට බීච් එක කියල.. මමත් ඉතින් යාළුවො කීපදෙනෙක් එක්ක ගිහින් වතුරට බැස්ස.. යකෝ තනි ගල් ගොඩක් බං.. යටිපතුල් හිල්වෙන්න ගල් ඇනෙනවා.. දැන් මේ ලස්සනයි කියනම නිසා මමත් මාස්ක් එකක් දාගෙන යටට ගිහින් බැලුව යටවත් ලස්සනයිද කියල.. සුදු පාට වැලි ටිකක් ආසාවට නෑ බං.. වතුර යට තනි බොර පාටයි කට්ට කරුවලයි.. මට අයියෝ කියල හිතුන... උදේ හවස මුහුද අයිනේ ආව ගිය අපිට අපෙ බීච් වල තියන සුන්දරත්වය අනික් තැන්වලින් විඳින්න බැහැ බං.. සුද්දෝ ස්නොකල් කිට් එක දාගෙන වතුර යට නරඹනවා දැක්කම මට දුකේ බෑ උන් ගැන..

      Delete
  7. චැහ්.. මේ කතාව කලින් කිවුවනං අර මෙඩැල් එක විකුණනවයි කියල නාහෙං අඩපු අක්කට මේකෙ කොපියක් යවන්න තිබ්බනෙ ඒ මැඩල් එක එච්චර වටින එකක් නෙමේය, ඕක ගන්න ඕනතරං ලංකාවෙ කට්ටිය ඉන්නවය කියල.

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමා බං.. ඒ උනාට සිංහල වාක්‍යක වචන දහයක් පහළොවක් එකට එකතුකරලා කියාගන්න ලියාගන්න බැරි නිළියන්ව පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් හිටියාම මරෙනකල්ම ආණ්ඩුවෙන් පෙන්ෂන් ගෙවනවනම් රටට අන්තර්ජාතික කීර්තියක් ගෙනාපු කෙනෙකුට ඊට වඩා ඇගයීමක් තියෙන්න ඕන කියලයි මගේ අදහස.. හැබැයි ඒ අක්කගේ කතාව සහ හැසිරීම ටිකක් අවුල් සහගතබව මම පිලිගන්නවා.. ඒත් ඇගයිය යුත්තේ එයාගේ දක්ෂතාවය පමණයි..

      Delete
  8. දවසක් පාන්දර ගාල්ලෙන් ස්ලෝ ට්රෙන් එකකට ගොඩවුනා බලද්දි ගොඩාක් උන් ඇදුම් අදින්නේ කොච්චියේ.

    ReplyDelete
    Replies
    1. ඔයා දැකල තියෙන්නේ එක දවසයිනේ බං.. ලංකාවේ දුම්රිය සංස්කෘතිය ගැන සමාජ විද්‍යා පරියේෂණ කෘති ලියවෙන්න ඕන අසංග.. ඒවා අපේ සමාජ සංස්ථාව ඇතුලේ තියන අප්‍රසිද්ධ උප සංස්කෘතීන්..

      Delete
  9. උඹ මට වැඩිය ලාබාල එකෙක් වුනත් අම්බලංගොඩයා, මම උඹේ පළවෙනි ඡේදයෙන් පාඩමක් ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ට් එක දාලා තමයි පෝස්ට් එකේ ඉතිරි ටික කියෙව්වෙ. මෙන්න පොඩි උන්ටත් කියවන්න පුලුවන් කමෙන්ට් එකක්. ඉතුරු කොටසත් මේ ප්‍රමාණයටම හිනහව එකතු කරලා ලියාපං.

      Delete
    2. ///උඹ මට වැඩිය ලාබාල එකෙක් වුනත් අම්බලංගොඩයා, මම උඹේ පළවෙනි ඡේදයෙන් පාඩමක් ඉගෙන ගත්තා. ///

      අලුතෙන් පාඩම් ඉගෙන ගත්තේ නැති උනාට මගෙත් දෙවෙනි තෙවැනි අදායම් මාර්ග සමහර වෙලාවට ගොඩයගේ කතරගම හයර් එකට දෙවෙනි නැහැ...
      ඒ අදායම් මාර්ග වලට යොමු නොවුනානම් කියන අදහසයි මට තියෙන්නේ, හැබැයි ඒවා සාපේක්ෂ කරුණු...

      Delete
    3. ස්තුතියි dude ඇගයීමට.. බිත්තර ඔක්කොම එක මල්ලේ දාගෙන ඉඳල මල්ල බිම වැටුනොත් ඔක්කොම බිත්තර ටික බිඳෙනවා කියල සුද්දන්ගේ කතාවක් තියෙනවනේ ..

      Delete
    4. ලොකු පුතා.. දෙවැනි ආදායම අඩු ශ්‍රමයකින් ලාභයක් ලැබිය හැකි දෙයක් දෙයක් වෙන්න ඕන බං.. ඉඳහිට පාදුවීම ව්‍යාපාරයේ කෙරුවාවේ සාමාන්‍ය ස්භාවයක් නිසා එව්වයේදී අටලෝදහම ගැන හිතල හිත සනසා ගන්න ඕන.. ගඟේ ගැඹුර මනින්න කකුල් දෙකම දාන්න එපා කියල කියමනක් තියනවනේ ලොකු පුතා..

      Delete
  10. කාලයක් ගස්ලබ්බගෙ බෝඩිමේ හැමෝම ප්‍රසිද්ධවෙලා තිබුනෙ පරක්කු වෙලා යන උදවිය විදිහට.රැග් එකටවත් අඩුම ගානෙ වෙල්කම් එක දවසෙත් වෙලාවට ගියේ නෑ.සින්නො යක්කු වගේ කෑ ගහනවා.. අපි ආතල් එකේ ඉන්නවා.. හෙහ් හෙහෙ
    ඕක පුරුද්දකට ගියාම වෙලාවට යන්න වෙන්නෙම නෑ.පමා උනාම කියපු බොරු ඇත්තටම වෙන්න පටන්ගන්නවා.හරි භයානකයි.
    දැන් නම් වෙලාවට ටිකක් හරි කලින් යන්න ට්‍රයි එක දෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙලාවට වැඩ නොකරන එවුන් එක්ක මොනම කරුමාන්තයක්වත් කරන්න බැහැ ගස්... ඒත් ලංකාව වගේ ප්‍රවාහන අපහසුකම් තියන රටක වෙලාවට වැඩ කිරීම සෑහෙන්න අසීරු වැඩක්.. ඒත් අපේ රටේ සිස්ටම් එකේ ගාලේ එකා කොළඹ රස්සාවට යනකොට කොළඹ එකා ගාල්ලේ රස්සාවට එනවා බං.. එව්වයෙන් දවසට අපතේ යන මිනිස් පැය ගාන රටේ දල දේශීය නිෂ්පාදිතයට එකතු වෙන්නේ නැහැ. අම්බලංගොඩ ඉඳන් කොළඹ රස්සාවට එන මනුස්සයෙන් දවසට අවම වශයෙන් පැය හතරක් මහපාරේ ගත කරනවා.. ඒත් මිනිස්සු පැයෙන් පැය භාගෙන් රස්සාවට යන වාතාවරණයක් තියෙනවනම් මිනිස්සු මහපාරේ ගතකරන කාලය තමුන්ගේ සුභාසාදානය වෙනුවෙන් හරි තවත් අර්ධකාලීන රැකියාවක් කරන්න හරි යොදවගන්නවා.. එහෙම උනානම් ඒ දේවල් රටේ දියුණුවට සහ මිනිස්සුන්ගේ දියුණුවට හේතු වෙනවා.. ඒත් අවාසනාවට රටේ සිස්ටම් එක හදන්න අපේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්නේ අනර්කලීල, පබාල, ගීතල වගේ උදවිය..

      Delete
  11. මොකක්ද බොල අර මල්ලො කතාවෙ තේරුම🤔අර නෙතූ කියනව වගේ තෝත් පලකො ගිහින් මල්ලො බැරිනම් බල්ලො බලල වරකො.ඉරිසියා කාරයො.හිටපිය මන් උබේ අයියට ලින්ක් එක යවන්න.වැඩි දුරක් නැහැනෙ එවන්නම් ඕකව ගෙදරට.හැබැයි මතක ඇතුව bathroom එක lock කරල තියපන්🔫

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවනේ මට බල්ලො ඇලර්ජික් කියල.. සත්තුන්ටයි මිනිස්සුන්ටයි එක ගෙදර වාසය කරන්න බැහැ බං..

      Delete
  12. නිදිමරගාතෙ ඇස් කෙලිං අතට හිටෝගෙන කියෙව්වෙ. නැත්තං ඇස් පියෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. සුරං, දැං උ‍ඹලැයි ගමේ තත්වෙ කොහොමෙයි.

      Delete
    2. උඹේ පොස්ට් දෙකක් තියෙනව එකතුවෙලා කියවන්න වෙලාවක් නැතුව.. ඇත්තටම කියවන්න වෙලාවක් නැතුව නෙවෙයි කියවල කමෙන්ට් එකක් දාන්න ඕන නිසා ඒකට වෙලාවක් ලැබෙනකල් ඉන්නවා.. ෆෝන් එකෙන් කියෙව්වොත් කමෙන්ට් එකක් දාන එක අපහසුයි..

      Delete
  13. නියමයි ඉතුරු ටිකත් ලියන්න තිබුණෙ මේ දවස්වල කියවන්න දේවල් අඩුයි

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ලියන්නම්කො...

      Delete
  14. මම මෙතන අමුතු එකක් කියලා සමාජෙන් කොන්වෙයිද දන්නේ නැහැ...

    ඒ උනත් මගේ හැටිනේ, මම කියලම දානවා.

    [එකම ආදායමකින් යැපීම ගොඩයාගේ සිරිත නොවෙච්ච නිසා ගොඩයා රස්සාවක් කරන්න ගතපු දා හිටන්ම දෙවැනි ආදායමක් නිර්මාණය කරගත්තා කිව්වොත් නිවැරදි. ]
    මට අනුව නම් මෙය වැරදිය. කරන දෙයක් අවංකව, සිය පුර්ණ ශක්තියෙන් කරන්නට ඕනේ මිසක් එහාටත් නැති, මෙහාටත් නැති විදියට ඉන්න එකම අසාර්ථකය. ෆෝකස් එක තිබිය යුතුය.

    [මොකද කියනවනම් එකම එක ආදායමකින් යැපීම යනු වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් එම ආදායම් මූලාශ්‍රයේ වහලෙකු වීම වැළක්විය නොහැකි කාරණයක් නිසා. ]
    වැරදිය. එසේ වන්නේ තමන් තුල පාලනයක් නැති විට පමණි. ඒ පාලනය මොන රස්සාව කලත් තමන් තුල තිබිය යුතු ගුණයක් මිස වටේ පිටේ උන් මත තීරණේ නොවේ.


    [සිරිබර සිරිලංකාවේ බහුතරයක් ආයතන ප්‍රධානින් කැමති අන්න ඒ වහල් භාවයට නිසා එකම එක පඩි පතකින් යැපෙන සේවකයින්ට ආයතන ප්‍රධානින් හරීම සෙනෙහෙවන්තයි. ඒ මොකද කියනවානම් කුමනාකාර අසාධාරණ ක්‍රියාවක් ඉදිරියේ වුනත් විකල්ප ආදායම් නැති සේවකයින් ලොක්කාට එරෙහිව නොයා තම රැකියාවේ පැවැත්ම ආරක්ෂා කරගන්න දෙපාරක් නොහිතන නිසා.]
    එහෙම නොවන තැනක රස්සාවක් හොයාගන්න ඕනේ. එහෙම තැන්වල මම සතියක්වත් ඉන්නේ නැත. ටැලන්ට් එක තිබේ නම් රැකියා කියන්නේ එතරම් දේවල් නෙවෙයි. ලංකාවේ ප්‍රධානින් ගැන කියලා තියෙන දේ පොදු මතය උනත්, එසේ නොවන තැනක් සොයාගැනීමට තමන්ද දක්ෂ විය යුතුය. එතැනදී, ගැටීමෙන් නොව හැකියාවෙන් ප්‍රධානියා දිනාගත හැකිය. නැත්තම් මම රස්සාවට ටටා කියා යමි.

    ඔබේ නිවාඩු ගැනිල්ල ගැන මම දරන්නේ වෙනත් මතකයි. නිවාඩු තිබෙන්නේ ගන්නට නොවේ. තමන්ගේ අවශ්‍යතාවයට යොදවන්නටයි. ඒවා නැගිටින්නට පරක්කුවිම වගේ දේවල් වලට යෙදවීම කියන්නේ අකාර්යක්ෂමතාවයයි. ඒවා තිබෙන්නේ හොඳින් සේවය කර, දිග නිවාඩු වැනි දේවල් එන ලෙසට යොදා තමන්ගේ පුද්ගලික ජිවිතේ විඳීමටයි. ඔබ ඉන්නේ රාජ්‍ය සේවයේ නම්, අපි හැමෝම බනින්නේ ඔබ වැනි අයටද මන්ද! නිවාඩු කළමනාකරණය කියන්නේ හැකියාවක්. රකියාවකදී නිවාඩු කියන්නේ අයිතිවාසිකමක් නෙවෙයි, වරප්‍රසාදයක්.

    මම පුද්ගලික අංශයට හැමදාම ආසා මේ වගේ චින්තනයක් මට නැති නිසා වෙන්න ඇති. සමාජෙන් කොන් උනත් මම කිව්වේ මට දැනෙන දේ.

    පුද්ගලිකව ගන්න එපා.

    තවත් දෙයක්....

    ඔය වරුවක් විතර නාන කීපදෙනෙක්ම මම දන්නවා. එක්කෙනෙක් නම් පැය දෙකකට නානවා. මම කියන්නේ දිය කෙලිනවා/පැන් සනහනවා කියලා. එකරලා ඇවිත් බැලුවත් කකුලේ නියපොතුවල කුණු! හි හි හි..

    වතුර මලක් යට හිටගෙන මටත් ඇත්තටම පැය ගානක් ඉන්න පුළුවන්. ඒක මාර රිලැක්සින්. නමුත් මම එහෙම ඉන්නේ නැහැ. මම හිතන්නේ ඔය දිය කෙලින උදවිය එන්ජෝයි කරනවා ඇත්තේ ඒක !

    ReplyDelete
    Replies
    1. ගොඩය ගැන පුද්ගලිකව දන්න නිසා යමක් කියන්නම්.මේ පෝස්ටුවට උක්ත කාරනා යෙදෙන්නෙ ගොඩයාගේ කොලු සන්දියේ.ඒකාලෙ ඌට නිවාඩු ගන්න ලොකු අවශ්‍ය තාවල් තිබුනෙ නැති තරම්.ඔය ඔක්කොම කෙරුම් පවුල් පන්සල් වෙනකන් විතරයි.අපි ඒකාලෙ කරපු කියපු දේවල් වල හැටියට අපේ දෙමව්පියොන්ට දැන් අපිව දෙවිවරු වගේ.කොල්ල කාලෙ කරන්න ඕන වැඩ ඔක්කොම කරල දැන් පිලිවෙලකට කාලය ගතකරනව.හරි සන්තෝසයී 🙂

      Delete
    2. ලිඛිතා.. කොමෙන්ටුවක් දැමීම ගැන පළමුව ස්තුතියි.. ඔබගේ අදහස් දැක්වීම ගැන මගේ අදහස කෙටියෙන් මෙහෙමයි...

      තමුන්ට සාපේක්ෂව ලෝකය දකිද්දී ලෝකය වැරදියි කියල පෙනුනට ලෝකය ගැන හරියට දකින්න නම් තමුන් එතනට ගිහිං බලන්න ඕන. එතකොට තමා නිවැරදිව දැනෙන්නේ ලෝකයට සාපේක්ෂව තමුන් කොතනද කියල ඉන්නේ..

      මේ ලිපිය ඇතුලත හෝ මම ලියපු කිසිම ලිපියක කොතැනවත් ලියවිලා නැහැ මම රැකියාව හරියට කරේ නැහැ කියල හෝ මම රැකියාවට ෆෝකස් කරේ නැහැ කියල හෝ.. රැකියාව කලයුතු සීමාවේ කලයුතු රාජකාරිය අකුරටම කරපු නිසා තමා ලොක්කන්ට ගොට්ට අල්ලන්නේ නැතුව අවුරුදු දොළහක් රාජ්‍ය සේවයේ ඉන්න පුළුවන් උනේ.. එහෙම නොවුනානම් රැකියාවෙන් අම්බලන්ගොඩයාව එලවන්න ලොක්කෝ කොච්චරනම් දත කෑවද.. රැකියාවත් කරගෙන පුද්ගලික ව්‍යාපාරත් කරගෙන ජීවිතෙන් විඳගෙන වියදම් කරන්න ඕන තැනදී අත දිගෑරලා වියදම් කරන්න පුළුවන් උනේ දෙවැනි ආදායමක් වෙත යොමුවීම නිසා.. මම නැවත නැවතත් කියන්නේ මිනිස්සුන්ට දෙවැනි ආදායමක් තිබිය යුතුයි කියල..

      ඔයා ටැලට් එක ගැන කියල තියන දේ රාජ්‍ය සේවයට වලංගු නැහැ.. මොකද කියනවනම් මොරටුවේ විශ්වවිද්‍යාලෙන් NDT ඉගෙනගෙන ආපු කාර්මික නිලධාරියා බොරු චෝදනා පටලලා ගෙදර යවලා පහටවත් ඉස්කෝලේ නොගිය මහප්‍රාණ භූරුවෙක් ස්ටාෆ් ටෙක්නිකල් ඔෆිසර් සුප්‍රා තනතුරේ තබාගෙන හිටපු ලොක්කෙක් යටතේ මමත් කාර්මික නිලධාරියෙක් විදිහට රැකියාව කරේ.. ඔයා ඔය කියල තියන කාර්යක්ෂම තාවය සහ රැකියාවට ෆෝකස් කිරිලි ඒ වගේ තැන්වලට වලංගු නැහැ.. ඒකයි මම කියන්නේ ඔයා ලෝකය විවේචනය කරන්නේ ඔයාට සාපේක්ෂව මිසක් ලෝකයට සාපේක්ෂව නෙවෙයි කියල..

      ඔයා ලෝකය දැකල නැහැ කියල මම කිව්වොත් ඔයා ඒක පිළිගනීද නැද්ද කියල මම දන්නේ නැහැ.. ඒත් 25 වෙනිදට පඩි අරගෙන 30 වෙනිදා වෙනකොට සහෝදර සේවකයින්ගෙන් රුපියල් සීය දෙසීය ඉල්ලන මිනිස්සු ඔයා දැකල නැතුව ඇති. .. ආණ්ඩුවෙන් අඩුමිලට හම්බුවෙන සීසන් එකෙන් යන එන කෝච්චිය කැඩුනොත් බස් එකක නැගල යන්න සල්ලි නැති මිනිස්සු ඔයා දැකල නැතුව ඇති.. තමුන්ගේ දරු මල්ලෝ අසනීප උනාම බෙහෙත් ටිකක් ගන්න යන්න සල්ලි නැතුව හිත අමාරු විඳින මිනිස්සු ඔයා දැකල නැතුව ඇති.. ඒ නිසයි ඔයා කියන්නේ මිනිස්සුට රස්සාවට ෆෝකස් කරාම කාර්යක්ෂම උනාම හැමදේම හරියාවි කියල . ඒත් ප්‍රායෝගික ජීවිතේ එහෙම වෙන්නේ නැහැ..

      අම්බලංගොඩ කතා ලියන මම වයස විස්සේදී ඒ කියන්නේ එක්දහස් නවසිය අනූ හතේදී පලවෙනි වැටුප විදිහට රුපියල් පනස්දාහක් ආසන්න ගානක් ගනිද්දී අවුරුදු විසි පහක් රජයේ රැකියාව කරපු කෙනෙකුට ඒ වැටුප ලැබුනේ නැහැ.. ඒ තමා දක්ෂතාවය.. ඒත් ඒ වැටුප එපා කියල රාජ්‍ය අංශයට බඳුනම තමා ලෝකය කියන එක හරියට දැක්කේ.. අද වෙද්දී අම්බලන්ගොඩයා රජයේ සේවයට සමු දීල අවුරුදු ගානක්.. අද වෙද්දී අම්බල්ලන්ගොඩයට බිංදු පහක් අගට එන වැටුපක් ලැබෙන්නේ අන්න ඒ දෙවැනි අවස්තාව උරගා බැලීමේ උනන්දුව සහ ඕනෑකම නිසයි. එහෙම නොවුනානම් අදත් අම්බලන්ගොඩයා උදේ පාන්දර නැගිටලා කෝච්චියට දුවනවා..

      රජයේ සේවයේ සිටියදී නරකම සේවකයා වීමත් ලෝකේ අංක එකේ දියණුම රටකදී එම සේවකයාම දක්ෂතම හොඳම සේවකයා විදිහට සම්මානයට පාත්‍රවීමත් අතරේ සිතියයුතු යමක් නැද්ද??? ලංකාවේ රජයේ සේවයේදී නරකම සේවකයා විදිහට හැඳින්වුනත් අවුරුදු දොළහක රාජකාරී කාලය ඇතුලත පුද්ගලික ලිපිගොනුවට එකම වොර්නින් ලෙටර් එකක්වත් නොයාම ඇතුලේ සිතියයුතු යමක් නැද්ද.. වසර දොළහක රාජකාරි කාලය ඇතුලත කිසිදු ආකාරයෙන් විනය කඩකිරීම, රාජකාරිය පැහැරහැරීම් සිදු නොවී තිබියදී නරකම සේවකයා වීම තුල සිතියයුතු යමක් නැද්ද ???









      Delete
    3. හි හි හි
      හිතුව ජාතියේම උත්තරයක්. හරි, අත්දැකීම් මදියි කියමුකෝ මට. Thanks

      Delete
    4. කියන්න කනගාටුදායක තවත් යමක් මම ලියන්නම්.. ඔයා ඔය කියපු වර්ගයේ අවංක , දක්ෂ, ලෝකයේ දශම ගණනක පිරිසක් අතර තියෙන සුවිශේෂ වුර්තීය දක්ෂතා තිබ්බ සහ වෘත්තීයමය අතින් ඉහල පිළිගැනීමක් තිබ්බ්බ, ජනාධිපති සම්මාන ලැබුන වුර්තීය මට්ටමක හිටපු මගේ සහෝදර සේවකයෙක් මීට මාස කීපයකට කලින් මියගියා.. ඒ දරුවන් දෙදෙනාට හෙට දවසක් සෑදීම වෙනුවෙන් අන්තිමේ අපිට යාලු මිත්‍රයින්ගෙන් මුදල් එකතු කරන්න සිද්ද උනා. මගේ මියගිය මිත්‍රයා රැකියාවෙන් පසුව සහ සති අන්තයේ පැයක් දෙකක් පුද්ගලික ආයතනයකට තමුන්ගේ සේවය සැපයුවානම් එයාට රැකියාවේ වැටුපට අමතරව මාසෙකට රුපියල් පනස් දාහත් හැත්තෑපන්දාහත් අතර මුදලක් උපයන්න තිබ්බ.. ඒත් එයාට එහෙම ඕනෑකමක් තිබ්බේ නැහැ.. අන්තිමේ අර දරු දෙන්න අනාත නොවී බේරුනේ යාලු මිත්‍රයින් නිසා..

      Delete
    5. ලිඛිතා යොබට ශතුටුයිද දැන්?ගොඩයෝ පරන තරහ කාරයෙක්ද මේ පන්න පන්න ගේමම ඉල්ලන්නෙ???🤔

      Delete
    6. ඔන්න අල්ලගත්තා වලිගෙන්!

      ගැටෙන අදහසක් තිබ්බ උනත් බොරුවට 'අනී.. නියමයි අනී' කියන්නේ නැතුව ( මෝරා කරනවා/මුරුංගා අත්තේ තියනවා) ඒක කිව්වහම ඒක හරහට ගන්නේ ඇයි ?

      එහෙම පරණ තරහක් තියෙන අයද එතකොට වෙනස් අදහස් දරන්නේ? අනේ අනේ... මට නම් අත්දැකීම් නැහැය කියමුකෝ.. පරිනත ඔයාලගේ චින්තනය මේකද?

      ලියන හැම එකටම 'වාව් ' ගගා හුරේ දාන්නම ඕනේ නැහැනේ. විවේචනයක් තිබීම කියන්නේ වෛරී අදහසක් කියල හිතන්නේ ඇයි ? පුදුමයි!!

      @ Chamila Yasampath තඩියා : සංක්‍ෂිප්ත පිළිතුර- ඔව්.. ෂතුටුයි

      Delete
    7. ලිඛිතා මන් අල්ලගත්ත වලිගයක් නෑ.ඔයාගෙ මුල් කොමොන්ටුවට මන් දාපු කොමොන්ටුවෙ මන් ඔයාට මොකුත්ම කියල නෑ.විවේචනය තිබිය යුතුයි එහෙම නැතිවුනාම රසවත් නිර්මාණ බිහිවෙන්නෙ නෑ.ඒත් ගොඩයගෙ උත්තරේට ඔයා කොමන්ට් කරපු විදිය බලන්න.ඒකෙ අර්ථය මට තේරුන විදියට තමයි මන් ඔයාට දෙවෙනි කොමොන්ටුව දැම්මෙ.ඊටත් පහලින් බලන්න ඩ්‍රැකී කියපුදේ එක්ක මම එකගයි.දැක්කද ගොඩයගෙ උත්තරේ.උගේ මතේ ඌට දරන්න අයිතියක් තියෙනව.එහෙමයි කියල මම දැම්මෙ නෑ "හි හි හි
      හිතුව ජාතියේම උත්තරයක්. හරි, අත්දැකීම් මදියි කියමුකෝ මට. Thanks"කියල.මන්ද ඔයාට තේරුනාද කියල. මේක ඔයාගෙ පලවෙනි කොමොන්ටුව මේකෙ.හැබැයි මේක අවසාන කොමොන්ටුව කරන්න එපා.අපි දිගටම වාද කරමු.ජය...

      Delete
  15. මට හිතෙන්නෙ දෙවෙනි ආදායම් මාර්ගයක් නිසා අපේ දරු මල්ලො වෙනුවෙං ගත කරන්න තියෙන කාලය සල්ලි වෙනුවෙං වැය කරන්න වෙනව කියලයි. ගොඩෙය කියනව වගේ, දරු මල්ලොන්ට ඕනෙ සල්ලි නෙවෙයි. අපේ කාලය...

    මං හිටපු හැම තැනකම ලොක්කො අර වගේ තමයි. මගෙ රාජකාරියෙ සිදුරු නැත්තං කාටවත් ඇගිලි ගහන්ඩ බෑනෙ. නීතිය දන්නවනං සාධාරණත්වය වෙනුවෙං අපට බල කරන්ඩ පුලුවං. ඉතිං මං කවදාවත් ලොක්කට යට වුනේ නෑ. මතක තියාගන්ඩ ඕනෙ, අපි කරන්නෙ අපේ පෞද්ගලික දේවල් නෙවෙයි, රාජකාරිය. ඒක කරන්නෙ කොහොමද කියල නීති, ක්‍රියා පටිපාටි තියෙනව.

    ඉතිං මගෙ අදහස, රැකියාවට වහලෙක් වෙන්ඩ ඕනෙ නෑ, ඒ රැකියාව කරන එකාට වහලෙක් වෙන්ඩ කැමැත්තක් තියෙනවනං මිසක්...

    ReplyDelete
    Replies


    1. "දරුමල්ලොන්ට ඕන සල්ලි නෙවෙයි"මෙන්න මේ කාරනාවට මන් කොන්දේසි විරහිතව එකගයි.හැබැයි ගොඩයට තේරෙන්නෙ නැති තේරුම් කරන්න බැරි එකම කාරනාවත් ඕකයි
      😬

      Delete
    2. ඩ්‍රැකී මම ඔයා එක්ක එකඟයි සියලුදේටම ඇතිවෙන ආදායමක් තියෙනවනම්.. ඒත් රටේ බහුතරයකට එහෙම නැහැනේ.. අනික් කාරනාව ගෙදරක එක පුද්ගලයෙක් විතරක් රැකියා කරන පවුල් අපේ රටේ ඉන්නවා සෑහෙන්න.. ඒ මිනිස්සුන්ට ඒ රැකියාව මොනයම් හෝ හේතුවක් උඩ අහිමි උනොත් මුළු පවුලක හෙට දවසට මොකද වෙන්නේ??? අන්න ඒ නිසයි මම කියන්නේ මනුස්සයෙකුට විකල්ප ආදායමක් තියෙන්න ඕන.. 83 ජූලි වර්ජකයින් සමහරක් එල්ලිලා මැරුනේ ඔන්න ඔය හේතුව නිසා.. මගේ අදහස මනුස්සයෙකුට විකල්ප ආදායමක් සහ ජීවිත රක්ෂණයක් තියෙන්න ඕන කියලයි..

      Delete
    3. චමිල මම අදත් හෙටත් කියන්නේ මනුස්සයෙක් උනාම තමුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් තරුණ කාලේ උපයන්න ඕන කියන එකයි.. මොකද අත පය හතර හයියට තියන කාලේ ඇහැ කන හොඳින් වැඩ කරන කාලේ තමුන්ගේ සහ යැපෙන්නන්ගේ හෙට දවස වෙනුවෙන් උපයන්නේ නැතුව ප්‍රමාද උනාම වයසට ගිහින් නිවිහැනහිල්ලේ දුක් විඳින්න පුළුවනි මිත්‍රයා.. ඔන්න ඔය ටික උඹල අර්ථදක්වන්නේ වෙනත් විදිහකට.. හැබැයි උපයන්න ඕන නොකා නොබී ඉතුරු කරන්නවත් බැංකුවල සල්ලි සැපෙන් තියල උපයන එවුන් දුක් විඳින්නවත් නෙවෙයි.. අවශ්‍ය තැනදී අත දිගහැරලා ලෝභ නැතුව වියදම් කරන්නයි..

      Delete
    4. අනේ මේ කොච්චර වාද කරත් අපි දෙන්න මේ කතාවෙදිනම් දෙපැත්තෙ.

      Delete
  16. මරු පෝස්ට් එක. හරි නිදහස්... අන්තිමට කල්පනා කරන්ඩ දෙයක් ඉතුරු වෙනව.












    "මං මොකද්ද මේ කියෙව්වෙ බොලේ...?" කියල...

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුනා..

      Delete
  17. නියම සිද්දිය දෙනටත් සමුද්‍ර දේවියට අපිත් ඔහොමම තමයි ලග නමලා දුවන්නෙ මොකද සහොදරයා පෝස්ට් පරක්කු වෙන්නේ

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙන්නේ ඉතින් ටීවී සීරීස් බලන්න ඇබ්බැහි වෙලා හින්ද බං..කුඩු ගැහුවා වගේ..

      Delete
  18. Ambalangoda lamayooo

    Very hilarious story. ....
    Fantastic and great....

    Hope you are not running race with train to go to work on time now...

    Good luck to you

    Write more buddy

    ====Adrian from Toronto

    ReplyDelete
    Replies
    1. Thanks Adrian.. I am not running to train anymore.. Now i am living 8-9 hours away from your town..

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. එල කතාව, තවත් හොද කතාවකින් ඉක්මනටම එමු නේද

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete