Thursday, March 10, 2016

අද්බූත සිදුවීම් දෙකක් සහ පොරොන්දුව නිසා අමාරුවේ වැටීම..





වර්ෂ දෙදහසක් වූ ඔක්තෝම්බර් මාසයේ එක්තරා දවසක මාගේ මිත්‍රයින් කිහිපදෙනෙකු උණවටුනේ නාන්නට යන්නට මා වෙත යෝජනා කලේ සෙනසුරාදාවක උදය වරුවේය. එවකට මා සතු වූ වෑන් රථය ගාල්ල අවට ව්‍යාපාර කටයුතු කරන්නාවූ කොම්පැනියකට කුලියට දී තිබු බැවින් උණවටුනේ යන්නට වෑන් රථයක් ඉල්ලාගැනීමට පහසුම මග වුයේ රුහුණු කුමාරියේ මිතුරෙක් වූ දයාරත්න අයියාගේ ටවුන් ඒසය ඉල්ලාගනීමයි. සෙනසුරාදා ඉරිදා මාගේ වාහනය ගෙන්වාගැනීමට හැකියාව තිබුනද ඒ වෙනුවෙන් රියදුරා සොයා වාහනය අම්බලන්ගොඩ ගෙන්වීම පැය දෙක තුනක් ගතවන්නාවූ කාර්යයකි. ඉහත කී දයාරත්න අයියාගේ වාහනයෙන් උණවටුනේ යාම අවසාන තීරණය බැවින් එසැනින් දයාරත්න අයියාට දුරකථන ඇමතුමක් ගැනීමට මට සිදුවීය..
හලෝ... දයාරත්න අයිය ඉන්නවද..

පොඩ්ඩක් ඉන්න.. ( ඒ දයාරත්න අයියාගේ ප්‍රිය බිරින්දෑය )

හෙලෝ...

දයාරත්නයියේ... වෑන් එක ටිකක් ගන්න පුලුවනිද..

ඇයි  කොහේ යන්නද..

අපි කට්ටිය උණවටුනේ යන්න කියල.. මගේ වාහනේ ගාල්ලේ.. ගෙන්නගන්න ගියොත් පරක්කු වෙනවා..

වාහනේනම් දෙන්න පුළුවනි.. ඒත් හවස අලුත්ගමට යන්න තියෙනව ඇලෝ වීල් හතරක් දාන්න.. එනගමන් එහෙමම අලුත්ගම ගිහින් වීල් හතර මාරුකරන් එන්න පුලුවනිද..

හරි  මම එහෙම කරගන්නම්..

හරි එහෙනම් ඇවිල්ල අරන් යන්නකෝ.. උනවටුනෙන් එද්දී මට කෝල් එකක් දෙන්න මම වීල් හතර දාන වැඩේ ඇරේන්ජ් කරන්නම්..

හරේ.. මම එන්නං..

සියල්ල්ල එසේ සිදුවූ බැවින් එසැනින් ගොස් එම වෑන් රථය ගෙන උණවටුනේ නෑමට යාමට අපි සැම උත්සුක වූයෙමු..  දවසම විනෝදයෙන් උණවටුන වෙරල තීරයේ ගතකල අප සැම උනවටුනෙන් ගෙදර එන්නට පිටත්වෙන විට සවස තුනහමාර පමණ වන්නට ඇත. රෝද හතර මාරු කරන පොරොන්දුව පිට රථය ඉල්ලාගත් බැවින් අලුත්ගම යාමට උවමනා වුවත් ඒ වෙනුවෙන් රථයේ ඉතිරිවූයේ ප්‍රසන්නයාත්, කොන්ඩයාත් මමත් පමණි..

සවස පහ පමණ වනවිට අලුගමට පැමිණි අපි තිදෙනා රථයේ අයිතිකරුගෙන් රැදී සිටින්නට උපදෙස් ලැබුණු ස්ථානයේ රථය නවත්වාගෙන ඉන්නා අවස්ථාවේ මාගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.. 

හලෝ...

පුතා  ඔයා කොහෙද ඉන්නේ..

මම ඉන්නේ අලුත්ගම අම්මේ..

ගෙදර එන්න කොච්චර වෙලා යනවද..

දයාරත්නයියගේ  වෑන් එකේ රෝද හතර මාරුකරගන්න ආවේ.. මේක කරගත්තු ගමන්  එනවා අම්මේ..

ඉක්මනට ගෙදර එන්න.. 

ඇයි මොකද ප්‍රශ්නේ..

ලොකු තාත්තට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින්.. ටිකක් අමාරුයි කියනව.. ඉක්මනට ගෙදර එන්න..

හරි අම්මේ.. මම ඉක්මනට එන්නම්..

ඒ සමගින්ම අප බලාපොරොත්තුවෙන් සිටි අනෙක් වෑන් රථය එතනට පැමිණි අතර අප වෙත පැවරී තිබුණු රාජකාරිය නම් එම වෑන් රථයේ රෝද හතර අපගේ වාහනයටත් අපගේ රෝද හතර එම වාහනයටත් සවි කිරීමයි.. සැනෙකින් ක්‍රියාත්මක වූ මමත් ප්‍රසන්නත් කොන්ඩයාත් අවම කාලයක් ඇතුලත අපගේ ටවුන් ඒසයේ රෝද හතර අනෙක් ටවුන් ඒසය වෙත මාරු කර ඔවුන්ව පිටටත් කර හැර අපගේ අවසන් රෝදය අපගේ ටවුන් ඒසය වෙත සවි කළෙමු. වාහන දෙකේ ජැක් දෙක පාවිච්චි කරමින් පාරක් අයිනේ සිට කළාවූ මේ කාර්‍යය ඉතාමත් වෙහෙසකර කාර්යක් වුවත් ඇතිවී තිබෙන්නාවූ හදිසි තත්වය අනුව හැකි ඉක්මනින් රෝහල වෙත වාර්තා කිරීම මාගේ යුතුකමක් සහ වගකීමක් වීය.

අපගේ රෝද හතර සවි කල වහා රථයට නැගුනු මා රථය පැදවීමට උත්සහ කලත් පළමු ගියරයෙවත් රථය ඉදිරියට ගැනීමට නොහැකිවීම අපව පුදුමයට පත්කළ අතර කිහිප විටක්ම රථය ඉදිරියට ධාවනය කිරීමට ගත උත්සාහය ව්‍යර්ථ කරමින් වෑන් රථය ගල් ගැසුණු ස්භාවයෙන් පසුවූයේ අප සැම අන්ත අසරණ භාවයට පත්කරමිනි. කිසිදු අපහසුවකින් තොරව පණගැන්වෙන රථය කිසිදු අයුරකින් අඟලකුදු ඉදිරියට ධාවනය කල නොහැකිය. කලයුතු වෙනත් යමක් නොමැති බැවින් නැවතත් දයාරත්න අයියා වෙත දුරකථන ඇමතුමක් දීමට අපහට සිදුවීය..

හෙලෝ.. 

දයාරත්නයියේ.. වාහනේ රෝද මාරු කරා.. ඊට පස්සේ වාහනේ හොලවන්න බැහැ..

ඒ මොකෝ..

මම හිතෙන්නෙ එකම ජාතියේ වාහන දෙකක් උනත් මොකක් හරි අවුලක් තියෙනව.. රෝද කැරකෙන්නේ නැහැ.. කළුවර වෙලා නිසා මේ වෙලාවේ මුකුත් පේන්නෙත් නැහැ .. අනික් වාහනේට කෝල් එකක් දීල කියන්න ආපහු අපි ඉන්න තැනට එන්න කියල.. 

හරි එහෙනම් මම කියන්නම්.. දැන් එතකොට මොකද කරන්න හදන්නේ..

මේකෙ තිබ්බ වීල් හතර මේකට දාල බලන්න වෙනවා..

හා එහෙනම් එහෙම කරන්නකෝ..

දැන් අපගේ උත්සාහය නැවතත් අපගේ රෝද හතර අපගේ වාහනයට දමාගෙන ගෙදර යාම උවත් එම වාහනය නැවතත් අලුත්ගමට එනතුරු අප ඉවසිල්ලෙ රැදී සිටිය යුතුය.. ඒ අතර නැවතත් මාගේ දුරකථනය නාද වන්නට වීය..

හලෝ..

පුතා.. ඔයා කොහෙද ඉන්නේ..

මම තාම අලුත්ගම අම්මේ..

මොකද ළමයෝ කරන්නේ.. ලොකු තාත්තව කරාපිටි යවන්න හදන්නේ.. ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක නැහැ කියල තාත්ත ඔයාට ඉක්මනට එන්න කියනව..

මම එන්න තව ටිකක් වෙලා යනවා අම්මේ.. වාහනයක් හයර් එකට අරන් යන්න කියන්න.. මේ වාහනේ ප්‍රශ්නයක් වෙලා ඒක හදාගෙන තමයි එන්න වෙන්නේ..

අනේ මන්ද ළමයෝ.. ලොකු තාත්තා ඔයාවම අහනවලු.. පුළුවන් ඉක්මනට එන්න බලන්න..

හා අම්මේ..

අපගේ රෝද හතර සහිත වෑන් රථය ඒම ස්ථානයට සැපත්වූ බැවි යුහුසුළු වූ අපි හැකි උපරීම වේගයෙන් නැවතත් රෝද ගැලවීමේ සංග්‍රාමය පටන් ගතිමු.. කොන්ඩයාගේත් , ප්‍රසන්නගේත් නොමසුරු සහයිගයෙන් රෝද අටම නැවත හුවමාරු කරගත් අපි වාහනය පනගන්වා ධාවනය කරන්නට උත්සහ කරන ලදුව අපගේ වාහනය කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඉදිරියට ධානාවය වන බව තහවුරු වීය.

හැකි උපරීම වේගයෙන් අලුත්ගම සිට ගෙදරට පැමිණි මා මිදුලේ වාහනය නවත්වනවාත් සමගම ගෙදර දුරකථනය නාද වනවා ඇසුනි.. වාහනයෙන් බසිනවාත් සමගම ගෙදර දුරකතනයේ රිසීවරය බිම අතහැරෙනවාද ඇසුණු අතර අම්මාගේ හැඬුම් ස්වරය මා වෙත ඇහෙන්නට වීය..

ඇයි අම්මේ..

ලොකු තාත්ත නැති වෙලාලු..

අයියෝ..

මාගේ ප්‍රාණ සමාන මිත්‍ර කොන්ඩයාද මා සමග රැදී සිටි අතර මාගේ නිවසේ සියලු සාමාජිකයින් වෑන් රථයට දමාගත් මම තාත්තාගේ මහ ගෙදර වෙත ඉගිලෙන්නට වුයෙමි. ලොකු තාත්තා මියගිය පුවත ඉතාමත් සංවේගකර පුවතක් වුවද ඉතිරි වැඩකටයුතු සඳහා හැකි ඉක්මනින් සහයෝගය දීම මාගේ වගකීමක් සහ යුතුකමක් වීය. 

විනාඩි පහකින් දහයකින් තාත්තාගේ මහගෙදර වෙත ලඟා වූ මම වාහනයෙන් බැස මහගෙදර දෙසට දිවයන්නට වීමි. මහ ගෙදර ඉදිරිපස ඇති පෝටිපොවේ අයිනේ සිමෙන්ති පඩිය උඩ වාඩිවීගත් මාගේ මිත්තනිය හඬා වැටෙමින් සිටිනා ආකාරය මා දුටිමි. වෙලාව රාත්‍රී අට පමණ වී ඇති නිසා එවකට වයස අනූවක පමණ වූ ඉතාමත් යහපත් ශරීර සුවතාවයකින් සිටි මාගේ මිත්තනිය මා දුටු  වහා නැගිට ඉදිරියට එන්නට විය..

අනේ පුතේ  ලොකු තාත්තා.....

ආච්චීට කියන්නට හැකි වුයේ එපමණකි.. මා ඉදිරියේ ක්ලාන්ත වී වැටෙන්නට ගිය ආච්චි බිම වැටෙන්නට නොදී මාගේ පපුවට වාරු කරගැනීමට මම සමත් වීමි. සියල්ලෝම විසින් වත්තම් කරගත් ආච්චී මහ ගෙදර ඉදිරිපස කාමරයේ ඇඳ උඩින් දිගා කරවා පවන් සැළුවද ආච්චීට සිහිය එන වගක් නොවීය. එවකට පොල්වත්ත රෝහලේ සේවය කල හෙදියක් වූ අප ඥාති සහෝදරියක් විසින් මා එලියට කැඳවන්නේ ඉන් අනතුරුවයි..

මල්ලි.. ආච්චිගේ පල්ස් අහුවෙන්නේ නැහැ.. ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමු..

හරි අක්කේ..

ඇයගේ විධානයෙන් පොල්වත්ත රෝහල වෙත ඉගිලුන මා ආච්චීව රෝහල්ගත කලෙමි.. වෛද්‍යවරයා විසින් කල ප්‍රතිකර්ම කිහිපයකින් අනතුරුව ආච්චීට සිහිය ලැබුණු අතර ඉන් පෙර සිදුවූ කිසිවක් හරි හැටි මතකයේ නොමැත වග අපහට වැටහෙන්නට වීය. ලොකු තාත්තා මියගිය බවද ඒ වනවිට ඇයගේ මතකයේ නොවීය.. පැය එකහමාරක පමණ කාලයක් රෝගියා පරීක්ෂාකළ වෛද්‍යවරයා වෛද්‍ය කාමරය වෙත මා කැඳවුයේ ඉන් අනතුරුවයි..

මේ ඔයාගේ කව්ද..

මගේ ආච්චි ඩොක්ටර්..

ඔයාල ගාව වාහනයක් තියෙනවද..

තියෙනව ඩොක්ටර්..

එතකොට  හවස මෙහෙන් කරාපිටි යැව්වේ මේ ආච්චිගේ කව්ද..

ඒ මේ ආච්චිගේ ලොකු පුතා ඩොක්ටර්.. ඒ මගේ ලොකු තාත්තා..

එයා නැතිවුනාලු නේද..

ඔව් ඩොක්ටර්..

මේකයි පුතා ප්‍රශ්නේ..ඔයාගේ ආච්චි දැන් කතාබහ කරාට එයාගේ හර්දය වස්තුව වැඩකරන සද්දෙවත්, එළියෙන් අල්ලලා බැලුවට අහුවෙන පල්ස් එකක්වත් මට දැනෙන්නෙ නැහැ. මගේ රාජකාරි කාලෙටම මම මෙහෙම දෙයක් දැකල නැහැ.. මගේ පරීක්ෂණ අනුව මේ ලෙඩාගේ හර්දය වස්තුව වැඩකරන්නේ නැහැ.. ඔයාට කැමතිනම් ලෙඩාව කරාපිටි අරන් යන්න..

ඒ කියන්නේ ඩොක්ටර් ආච්චි නැතිවෙනවා  කියන එකද..

ලෙඩා තාම කතාකරන නිසා මට එහෙම කියන්න බැහැ.. ඔයාල කැමතිනම් කරාපිටි අරන් යන්න..

අපි කෝකටත් අරං යන්නම් ඩොක්ටර්..

හොඳයි.. මම එහෙමනම් ටිකට් එක ලියල දෙන්නම්..

තෑන්ක්ස් ඩොක්ටර්..

ඒ වනවිට මාගේ මිත්‍ර කොන්ඩයා විසින් සියලුම මිතුරන් දැනුවත් කර තිබු නිසා මාගේ සියලුවම් මිතුරන් පොල්වත්ත රෝහල වෙත ඒකරාශී වී සිටියේය. 

නැවතත් මාගේ මිත්තනිය වෑන් රථයේ දමාගත් අපි කරාපිටිය බලා ඉගිලෙන්නට වූයෙමු.. පහුවදාට යෙදී තිබු මැතිවරණය නිසාවෙන් ගාලුපාර ඒ තරම් කාර්යබහුල නොවූ නිසා පැය භාගයකින් වැනි අවම  වේලාවකින් කරාපිටියට සැපත්වීමට අපි සමත් වූයෙමු. හේමික, ප්‍රසන්න, කොන්ඩයා මාරුවෙන් මාරුවට ආච්චිගේ සේලයින් බෝතලය ඉහලට ඔසවා අල්ලාගෙන සිටි අයුරු අද මෙන් මතකයේ රැදී ඇත.

කරාපිටිය රෝහල වෙත ඇතුලත් කල තමුන්ගේ වැඩිමහලු පුත්‍රයා මියගිය වාට්ටුවට එහා වාට්ටුවට එදිනම ඇතුළත්වීමට සිදුවීම කොයිතරම් නම් දෛවෝපගත සිදුවීමක්ද. 

කරාපිටියට ඇතුලත්කල පසුවද ආච්චී බොහොමත්ම සාමාන්‍ය අයුරින් ආගිය තොරතුරු කතාකලද සියලුම වෛද්‍යවරුන් එතුමන්ලාගේ උපරීමය ශ්‍රම දායකත්වය සැපයුවේ ඇතිවී තිබෙන්නාවූ තත්වය නිරාකරණය කරගැනීමටයි. විවිද ඖෂද වර්ගද එන්නත් කෙරුණු අතර ඒ කිසිවකිනුත් ප්‍රතිපලයක් ලෙබෙන සෙයියාවක් වෛද්‍යවරුන්ගේ මුහුණුවල සටහන්ව නොතිබුණි.

මේ සියල්ල අතර වාරයේ මාගේ පියාගේ බාලම සහෝදරයා නොහොත් ආච්චිගේ බඩ පිස්සා රෝහල වෙත පැමිණියේය. බාප්පා රෝහල වෙත පැමිණ ආච්චි සමග කතා කර මද වෙලාවකින් ආච්චි මියයමින් සිටිනා වග වටහාගත් බාප්පා රතන සූත්‍රය සජ්ඣායනා කරද්දී අපගේ ඇස් ඉදිරිපිටම ආච්චීද අපව හැරදමා දෑස පියාගත්තාය.. " දරුවෙකුගේ මරණයක් බලන්න මම ජීවත් වෙන්නේ නැහැ " කියා නිතර කිව් මාගේ මිත්තනියද තමුන්ගේ වැඩිමහලු දරුවාගේ මරණය දෑසින් නොදකින්නට තීරණය කර තිබුනේ එලෙසිනි.

ලොකු තාත්තා මියයන තුරුම මා කොහිදැයි විමසමින් සිටි වග පසුව තාත්තේගෙන් දැනගතිමි.. පොල්වත්ත රෝහලේ සිට කරාපිටිය රෝහලේ මියයන වෙලාව දක්වා මාගේ මිත්තනියගේ හදවත වැඩ නොකළ බව වෛද්‍යවරුන් පවසන නිසා මාගේ මිත්තනිය මියගියේ මාගේ පපුවට වාරු වූ අවස්තාවෙදිදෝ යයි අදද මා වෙත උත්තර නැති පැනයකි. ඒම අවස්ථාවේ සිට පැය හතරක පහක පමණ කාලයක් ආච්චී බාප්පා පැමිණෙන තුරු සාමාන්‍ය ජීවත්වන අයුරින් රැදී සිටියේ කෙසේද යන්න එහිදී සිදුවූ පළමු අද්භූත සිදුවීමයි.

දෙවන අද්භූත සිදුවීම නම් අවමංගල කටයුතු සඳහා නැකත් බැලීමට ගිය අවස්ථාවේ හෙළිවූ කරුණකි. එනම් ලොකු තාත්තාගේ මියගිය වෙලාවට අනුව හෙවත් මරණ නැකතට අනුව තවත් පවුලේ කෙනෙක් අනිවාර්යෙන් මියයාමට තිබුනා යන්නයි. වාහනයේ රෝද මාරුකළ අවස්ථාවේ වාහනය ඉදිරියට යාමට නොහැකිව ගල් වීම, එම අවදානමෙන් මා මුදවීමට සිදුවුවක්ද යන්න අදටත් මා වෙත උත්තර නැති පැනයකි. 

මාර්තෘකාවට සම්භන්ධ නොකර බැරිවූ උදව්වද කිරීමට මට සිදුවුයේ ඉහත කී අවමංගල්‍ය උත්සවය නිමාවූ දිනයේදීයි.. නිදි නොමැතිව ගතවූ වෙහෙසකර දින කිහිපයකින් අනතුරුව ආච්චීගේත් ලොකු තාත්තාගේත් අවමංගල්‍ය කටයුතු කිසිදු අඩුපාඩුවක් නොමැතිව සිදුකිරීමට අපි කටයුතු කළෙමු. සංසාරයේ පතා ආ ලෙසටදෝ දෛවෝපගත ලෙස ආච්චීත් ලොකු තාත්තාත් එකම චිතකයේ අවසන් ගමන් ගියෝය.. දුකෙහිද සැපෙහිද එකසේ උන්නාවූ මාගේ මිතුරු පිරිස දිවා රෑ නොබලා ආදාහනය දක්වාම ඔවුන්ගේ  දායකත්වය නොමසුරුව සැපයීම විශාල අස්වැසිල්ලක් වීය. පවුලේ ඥාතීන් දෙදෙනෙකු එක දින අවසන් ගමන ගිය ශෝකයත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියල්ල සාර්ථකව නිමාකල ප්‍රීතියත් , දින කිහිපයක් නිදි නොලබා සිටි වෙහෙසත් අතර සිටි මා සොයා දන්නා කියන පුද්ගලයකු පැමිණෙන්නේ මේ අතරය.. ඒ  වෙන කව්රුවත් නොව.. ආච්චීගේත්, ලොකු තාත්තාගේත් අවසන් කටයුතු සාර්ථකව නිම කිරීමට සහය දැක්වූ අපගේ පවුලේ හිතවතකු වන ප්‍රේමා කාස්කට් පැලස් හෙවත් ප්‍රේමා අවමංගල්‍ය ශාලාවේ අයිතිකරුවා වූ සුනිල් අයියායි..

හා සුනිල් අයියෙ එන්න වාඩි වෙන්න..

කමක් නැහැ මෙහෙම හොඳා.. පොඩි උදව්වක් ඉල්ලගන්න කියලයි ආවේ..

සුනිල් අයියා අතමිට හිඟ නැති පුද්ගලයකු වශයෙන් මේ ආවේ කීයටවත් අවමංගල්‍ය කටයුතු වල මුදල් ඉල්ලීමට නොවේය යන්න මාගේ පළමු සිතුවිල්ලයි. පරම්පරා දෙකක් පුරා ඉතිහාසයට දිවයන ඒ හිතවත්කම් උඩ අප විසින් කවදා හෝ දෙන තුරු මුදල් ඉල්ලීම සුනිල්  අයියා කීයටවත් කරන්නේ නැත. වාහන කිහිපයක අයිතිකරුවෙකු වන සුනිල් අයියාට හදිසියේ වාහනයක් ඉල්ලාගනීමේ වැනි උවමනාවක්ද පැවතිය නොහැකිය. වෙලාව රාත්‍රී දොළහ පසුවී තිබීමත් , දිනය මැතිවරණය පසුවී දිනයක් ගතවී තිබීමත් යන කරුණු දෙකට අදාලව එවන් වෙලාවක සුනිල් අයියාට අවශ්‍යව ඇත්තේ කාට හෝ දීමට අරක්කු බෝතලයක් වැනි යමක්දෝ යි මාගේ සිතුවිල්ල වීය. සුනිල් අයියා බොන කන පුද්ගලයකු නොවුනත් මිනීපෙට්ටි සාප්පුවේ ගෝලයින්ට අරක්කු ටිකක් ඕනෑ වී මා සොයා පැමිනියෙදෝ යන්න මට සිතුනේ මළගෙදරක අවසන් කටයුතු අවසානයේ මහන්සිවී වැඩකළ පිරිසට දීමට බෝතල් කිහිපයක් ගෙන්වීම අප්‍රසිද්දියේ සෑම තැනකම සිදුවන්නාවූ චාරිත්‍රයක් බැවිනි. 

මොකක්ද සුනිල් අයියෙ කියන්න.. 

හැබැයි මේ උදව්ව මට කරන්නම ඕන ..

අයියෝ සුනිල් අයියෙ ඔයාට නොකරන උදව්වක් නැහැනේ.. කියන්න ඕන දෙයක්..

හරි.. කරනවාමයි කියල පොරොන්දු වෙන්න..

ෂුවර් එකටම අනිවාර්යෙන් කරනවාමයි..

හොඳටෝම ෂුවර්ද..

අනිවාර්යෙන්.. මම වචනයක් කිව්වොත් ආයේ දෙකක් නැහැ.. මොකක්ද කියන්නකෝ..

එහෙනම් ඔන්න මේක කිව්වයින් පස්සේ බෑ කියන්න බැහැ හරිද..

පිස්සුද සුනිල් අයියෙ.. කියන්නකෝ.. මොකක්ද කෙරෙන්න ඕන..

බොඩීස් දෙකක් ගෙනියන්න තියෙනව මල්ලි.. අද කොහොම හරි එළිවෙන්න කලින් බොඩි දෙක ගෙනියන්න ඕන.. වාහන තිබ්බට අද ඩ්‍රයිවර්ලා නැහැ.. මම කාර් එකේ එකක් අරන් එන්නම්.. ඔයාට පුලුවනිද අනික් හර්ස් එකේ අනිත් බොඩිය අරන් එන්න.. වැඩි දුරක්  නැහැ.. පලවෙනි එක බලපිටියේ.. අනික් එක අහුන්ගල්ලේ.. වැඩි වෙලා යන්නේ නැහැ.. පැයක් යාවි දෙකටම..

හුටා...

දැන් කිව්වනේ ඕනෑම උදව්වක් කරනවා කියල..

එතැන් සිට සිද්දිය මාගේ සුපුරුදු භාෂා විලාශයෙන් මෙසේය..

අපගේ මළගෙදරට නිදි වැරූ මාගේ මිතුරන් ඔක්කොම ගෙවල්වල ගිහිල්ලාය.. ඊට අමතරව මළගෙදර තනි රකින එවුන්ද වාඩිවී සිටි පුටුවලටම වී  තදින් කිරනවාය.. යහමින් දෙකක් රත්වෙන්නට දාගත්තු ගමේ කිහිපදෙනෙක් හැරුනුකොට මට උදව්වක් ඉල්ලන්නට කෙනෙක් නැතිය.. සාක්කුවේ තිබෙන්නාවූ සන්තකයම දී පිටත්කර හරින්නටද වාහනයක් එහාට මෙහාට කරන්නට පුළුවන් එකෙක්ද මළගෙදර සිසාරා ස්කෑන් පාරක් දැමුවද නොමැතිය.. දුරදිග නොබලා කටට ආ පමණින් පොරොන්දු දීමේ පල විපාක මට එවෙලේම පලදී ඇත. උඩ ඉන්නා දෙවියන් හැරුනුකොට මා බේරාගැනීමට හැකි එකුදු ප්‍රාණියෙක් අපගේ මහගෙදර සීමාවේ නොමැති වග සක්සුදක් සේ පැහැදිලිය. 

යමු සුනිල් අයියෙ එහෙමනම්..

බයක් නැහැනේ ..

පිස්සුද සුනිල් අයියෙ..

කියන්නම් වාලේ බය නෑ කියා කියුවද  රෑ එකට මිනියක් අරන් යනවා කියන්නේ සෙල්ලමක්ද යකෝ කියල කියන්නට සුනිල් අයියාගේ මුහුණ බලාගෙන මට නොහැකිය ..


මෘත ශරීර දෙක වාහන දෙකට දාගත් අපි දැන් ලැහැස්ති වන්නේ මළගෙවල් වෙත යාමටය. සුනිල් අයියා තඩිම තඩි අවමංගල්‍ය රථයේ රියදුරු අසුනට ගොඩවූ කල මා දැන් බලා සිටින්නේ සුනිල් අයියාගේ ගෝල තැන මා පදවන රථයට ගොඩවෙන තුරුය.. එහෙත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්නැහේ සුනිල් අයියාගේ ගෝල තැනද සුනිල් අයියා පැදවූ රථයටම ගොඩවී දොර වසාගත්තේ මා හට කොහේදෝ නැති මූත්තරා බරක සේයාවක් දනවමින්ය..

සුනිල් අයියා ඉදිරියෙන් යනවාය.. වෙලාව අලුයම එක පසුවී මද වේලාවකි.. පාරේ බලු බල්ලෙකුද නැතිය.. මමද ගැල පිටුපස ඇදෙන ගොනා සේ සුනිල් අයියාගේ දඩාර හර්ස් එක පිටුපසින් ඔන්න මෙන්න දුරින් මා පදවන රථයද පදවාගෙන යනවාය.. මාගේ අඩි කිහිපයක් ඉදිරියෙන් සුනිල් අයියාගේ රථයේ ඇති මිනී පෙට්ටිය වීදුරුව අතරින් දර්ශනය වෙනවාය.. ඊට අමතරව මාගේ රියදුරු අසුන පිටුපසින් තවත් මිනී පෙට්ටියක සතපවූ මිනියක්ය..නිකම් ස්භාවිකව මියගිය මිනියක්ද නොවේය. දුම්රියට හසුවී මියගිය අයකුගේ මිනියක්ය. වාහනයේ ඉදිරිපස වීදුරුවට උඩින් මැදට වන්නට සවිකර තිබෙන්නාවූ කන්නාඩියෙන් මා පිටුපස තිබෙන්නාවූ මිනීපෙට්ටිය ඇහේ තිබ්බා සේ දර්ශනය වෙනවාය. ඇඟ ඇතුලේ තිබෙන්නාවූ හර්දය වස්තුව බිම වැටී ගැහෙන සෙයියාවෙන් එක සීරුවට ගැහෙන්නේ සීතලට වෙන්නට ඇතිය.. හිත බය වුනාට කීර්ති නාමය උදෙසා භාරගත් කාර්ය ඉටුකළ යුතුය..

විනාඩි පහළොවක විස්සක ගමනකින් අනතුරුව සුනිල් අයියා ගෙනයන මෘත ශරීරය අදාළ නිවෙස වෙත තැන්පත් කරන්නට දැන් අපි ආසන්නය. ගාලු පාරෙන් මද දුරක් ඇතුලට වන්නට තිබු ඒම නිවෙස වෙත මා රැගෙන ගිය බොඩිය ගේන්නේ නැතුව ගාලු පාරෙන් නවත්වාගෙන ඉන්න යයි කී සුනිල් අයියා සහ ගෝල තැන මා මිනියක් සමග ගාලු පාර අයිනේ පාලු තැනකින් දමා අතුරුපාරක හැරී නොපෙනී ගියේ මාගේ හදවතට තව තවත් වීරත්වය ආරෝපණය කරමින්ය.. කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බලලෝ කියන්නා සේ සුනිල් අයියාගෙ මිනී කාරෙක නොපෙනී ගිය වහා මා පැදවූ රථයෙන් දනිපනි ගා බිමට පනින්නේ බයට නොවේය.. වාහනයේ ඇතුලේ රස්නය නිසාය.. වාහනය සහ මිනී පෙට්ටිය කළුවරේ දමා නිකමට වාගේ ඉදිරියෙන් තිබෙන්නාවූ ලයිට් කනුව යටට මා පියවර මනින්නේද බයට නොවේය.. කළුවරේ ඉන්නවාට වඩා ලයිට් කනුව යට ඉන්නා එක හොඳයි කියා මාගේ හිතට දැනෙනා වූ නිසාය.. 

ගාලු පාරෙන් හැරී ගොස් විනාඩි හතලිස් පහකට පමණ පසු සුනිල් අයියා සහ ගෝල තැන නැවත ගාලු පාරට එනතුරු ලයිට් කනුව යටට වී මා උන්නේ අපමණ සොමියකින් බව දන්නේ මා පමණය. සුනිල් අයියාට එව්වා ගානක් නැත.. නැවතත් දනිපනි ගා රථයට නැගගත් මම සුනිල් අයියාගේ හර්ස් එක පසුපස මිනී වෑන් එක පදවාගෙන යනවාය.. සියල්ල අවසානයේ කිසිදු උපද්‍රවයකින් තොරවම අහුන්ගල්ලේ පිහිටි ඒම අවමංගල්‍ය නිවසට සැපත්වීමට මා සමත් වෙනවාය..

නැවතත් සුනිල් අයියා සහ ගෝල තැන මිනී පෙට්ටිය හරි ආකාරව තැන්පත් කරනතුරු මා හර්ස් එකෙන් බැස එලියට වී සිටිනවාය.. 

ගෙදරින් පිටත්වී පැය දෙකකට පමණ පසු අප සියලු දෙනා නැවතත් ගෙදර එන්නට පිටත් වන්නේද අප එහි ආ විලාසයෙන්මය.. ගෝලයා සුනිල් අයියා සමගය.. මා තනිවමය.. සිලින්ඩර් අටකින් සමන්විත සුනිල් අයියා පදවන  නවීන පන්නයේ අවමංගල්‍ය රථය මා මහමග තනිවම දමා ඉගිලෙන්නේ ගෙදර එන ගමනේදීය.. මා පදවන අවමංගල්‍ය රථයේ ඇක්සිලේටරය දත විකාගෙන අඩියටම පාගාගෙන සිටියද විනාඩියෙන් සුනිල් අයියාගේ රථය මට නොපෙනී ගියේය..මිනිය නැති වුනත් මා සිටින්නේ මිනී කාරෙකක් එලවාගෙන යන අතර බැවින් කලිසම තෙත් වන්නට ඔන්න මෙන්නය. එහෙත් එතෙක් කල් රැකගෙන උන් කීර්තිනාමය වෙනුවෙන් අන්තිම ලෙල්ලටම නිර්භීත භාවය ඔප්පු කරමින් කලිසමද අන්තිම දශමයෙන් බේරාගෙන මා ප්‍රේමා අවමංගල්‍ය සාප්පුව වෙත පැමිණෙනා විට සුනිල් අයියා සහ ගෝලයා මා එන තුරු පාරට වී හිනාවෙමින් බලන් සිටිනවාය.

යකෙකුටවත් මාව බයකර මරන්නට බැරි වග මා දැන් ප්‍රත්‍යක්ෂවම දන්නේ එදා රාත්‍රියේ මාගේ පන ටික නොගිය නිසාවෙන්ය.

මහනුවර මහියංගනය පාරේ හමුවූ අද්බූත කාන්තාවගේ කතාව මෙතනින්..

69 comments:

  1. ලොකු තාත්තගෙයි ආච්චිගෙයි කතාවනම් පුදුමයක්, දෙවැනි කතාවනම් උඹ යකාටවත් බය නැති මිනිහෙක් හැක හැක , එදා අන්දපු කලිසම ආපහු අඳින්න බැරිවුනා නේ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව කිව්වට මිනිස්සු විශ්වාස කරන එකකුත් නැහැ බන්.. ඒත් සිද්දිය සම්පූර්ණ සත්‍ය සිදුවීමක්.. භය කියන දේ අපි විසින් අපේ හිත්වල ඇතිකරගන්න එකක් බන්..
      ඇඳන් හිටියේ කාකි පාට කලිසමක් නිසා කව්රුත් දැක්කේ නැහැ.. හැක්..

      Delete
  2. යකෝ හදවත වැඩ කරන්නෙ නැතුව පැය ගානක් මනුස්සයෙක් ජීවත් උනයි කියන කතාව ඇහුවමයි. බොලාගෙ පැත්තෙ මල ගෙවල් වලටත් නැකත් බලනවද?

    කීර්ති නාමය කොහොම වෙතත් සුනිල් අයියට පහුවෙනිද ‍හර්ස් එක හෝදන්න උනාය කියල කට්ටිය කතාවෙන්නෙ බොරුවට වෙන්නැති නෙහ්...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ පොසන්නයියෙ මිනිය ගෙයිං එළියට ගන්න නැකතක් බලනව නේද
      ඒක වෙන්ට ඕන

      Delete
    2. මම මේ කියන්නේ දොස්තර මහත්වරු කියපු දේ ප්‍රසන්න.. එතනින් එහා යමක් මම දන්නෙත් නැහැ.. ආච්චි මම ඉස්සරහ සිහි නැතුව ගියේ රෑ අටට විතර.. කරාපිටියේදී ආච්චි නිල වශයෙන් මියගියේ රෑ දෙකට විතර..
      අපේ පැත්තේ සමහරු කෙනෙක් මරුනාම මිනිය ගෙදරට ගේන වෙලාව සහ මිනිය ගෙදරින් එලියට ගන්න වෙලාව ගැන නැකත් බලනවා.. මමනම් ඔව්ව විශ්වාස කරන්නේ නැහැ.. මරුනාම මොන නැකත්ද බන්.. ඒත් ඒ නැකත් බලපු මනුස්සය දන්නේ නැහැ ගෙදර තව කෙනෙක් මැරුණා කියල.. ඒක නොදැන තමයි ඒ මනුස්සය කිව්වේ මේ ගෙදර තව කෙනෙක් මරෙනවාමයි කියල..

      මහේෂ් කියන්නෙත් මම ඔය කියන නැකතම තමයි..

      Delete
  3. අවමංගල්‍ය කතාව ගැන කියන්ට දෙයක් නං හිතාගන්නත් බැරුවා.. ඒක නං ඇත්තටම හිතන්න වෙන කතාවක්...

    මට මැවිල පෙන්නෙම සට සට ගගා වෙව්ලන බඩ තඩියෙක් හර්ස් එකක් ඇරං හැටට හැටේ පාගන්න හදන දර්ශනයක්...
    දාඩිය වැක්කෙරිල දත කට පූට්ටු වෙච්ච එකෙක් විකාගෙන හපාගෙන පරණ ඩෙලික(එහෙම එකක් කියල හිතමුකො) තඩියක් වාරු කොරං එන හැටි
    හම්මේ සංතෝසෙ..
    තව පැයක් හමාරක් ඕක දක්කන්න තිබ්බ නං අපිට අම්බලංගොඩයගෙ මළ ගෙදරත් යන්න තිබ්බ හිහි

    ReplyDelete
    Replies
    1. ඩෙලික එකක් නෙවෙයි බන්.. LH 30 එකක්.. තව පැයක් හමාරක් යන්න උනානම් ඉතින් මාවත් ඒකෙම දිගාකරලා අරන් යන්න වෙනවා බන්..

      Delete
  4. හෑ මේ ඇත්ත ද බං? ලොකු තාත්තයි, ආච්චියි එකම දවසෙ ඒ ලෝකෙට ගියා නේද? හිතා ගන්නත් අමාරුයි.

    අර වාහන දෙකම හෝදන්න වෙච්ච එකටනම් සුනිල් අයියගෙන් හොඳ පද අහගන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන්.. අම්මයි පුතයි එක දවසෙම අවසන් ගමන් ගියා.. සුනිල් අයිය හිත හොඳ මනුස්සයා බන්..



      Delete
  5. අම්බලන්ගොඩ අපි බය අදුරන්නෙ නෑහෑ නේද මචන් මමත් අපේ ගෙදර කවුරු හරි කියනව ඈහිලා තියෙනවා ඔය කතාවම අනික සුනිල් අයියා මොනවා වත් කියන්නෙ නෑ වාහනේ උනත් තනියම හෝද ගන්නෑති.හිත හොද මිනිහනෙ

    ReplyDelete
    Replies
    1. අපි කවද්ද බන් බය උනේ.. හෙහ්.. අපි බය උනාට බය උනා කියල කියන්නේ නැහැනේ .. උඹ සුනිල් අයියව දන්නවනේ නේද..හිත හොඳ මනුස්සය..

      Delete
  6. උඹෙ ශෛලි දෙකෙන්ම ලියපු එකම පෝස්ටුවක් දැක්කමයි. තැනට ගැළපෙන්න ඒක කරල තියෙනව.

    ඇත්තට, හරිම නිර්භීත කොල්ලෙක්නෙ. පට්ට ඈ...

    අර නැකතට කියපු මරණ දෙක, ලොකු තාත්තගෙයි, ආච්චිගෙයි නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවේ නම් මගේ නිභීතකම දාගන්න අහක් නැතුවයි හිටියේ බන්...
      මම හිතන්නේ නැකත කිව්ව දෙවැනි මරණය ආච්චිගේ මරණය තමයි බන්..

      Delete
  7. ආච්චිගෙ මරණේ නම් හිතගන්න බැහැනේ.. අන්තිමට ඒ සරීරයේ හිටියේ ආච්චිද නැත්නම් වෙන කෙනෙක්ද දන්නේ නෑ නේද..? හදවත වැඩකරන්නේ නැතුව කොහොමද කෙනෙක් කතා බහ කරන්නේ...?
    අඩෝ හර්ස් එක එලවපු එක නම් පට්ට... උඹට නූල් බඳින්න උනේ නැතෙයි..?

    -malkavi-

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඒ සරීරයේ හිටියේ ආච්චිද නැත්නම් වෙන කෙනෙක්ද දන්නේ නෑ

      Delete
    2. මල්කවී මේ පැත්තේ ආවට ස්තූතියි.. ආච්චිගේ මරණය ගැන දෙන්න මට විද්‍යාත්මක හේතුවක් හොයාගන්න බැහැ බන්.. හර්ස් එක එලවන එක අපිට විශේෂයක් වෙන්නේ ඒක මිනී අදින වාහනයක් කියල අපේ හිත දන්නා නිසා බන්.. ඒ කාලේ මට වයස 23ක් වගේ නිසා ඒ වෙලාවේ ඒක සුවිශේෂී සහ ටිකක් විතර භය දැනෙන දෙයක්. දැන් ඒ දිහා බැලුවාම ඇත්තටම භය වියයුතු දෙයක් එතන නැහැ කියලයි හිතෙන්නෙ..

      Delete
    3. අටං.. ඒ සිදුවීම ගැන මුකුත්ම කියන්න අපිට බැහැ බන්.. එක පැත්තකින් අපි වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ නැහැ.. අනික් පැත්තෙන් අපේ බුද්ධියට ගෝචර නොවෙන හුඟක් දේවල් මේ විශ්වයේ තියෙනව බන්..

      Delete
    4. අපි ඉම්පෝට් කොරන සෙකන්ඩ් හෑන්ඩ් වාහන ජපානෙ මොනවා ඇද්ද එව්වද කවුද දන්නෙ? ඔය යස අගේට පදින්නෙ

      Delete
    5. අනේද කියන්නේ ගස් ලබ්බෝ..ජපානෙන් එන එව්වා අපේ කට්ටිය ඔය තෙල් කෑල්ලට ඉඹල කරලා තියන් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව.. ඔක්කොම තියෙන්නේ අපේ හිතේ බන්..ප්‍රශ්නේ තියෙන්නේ ඔව්වයේ අපිරිසිදුකම තමයි.. ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ.. ෆ්‍රිජ් එකේ ඉන්න මාලුවගෙයි කුකුලගෙයි මනුස්සයෙකුගේ මෘත ශරීරේක වෙනසයි බැලුවාම ඔක්කොම මල මිනී බන්..

      Delete
  8. හදවත නතර වෙලා පැයගානක් කතා කලා කියන එක හිතාගන්න බෑ. මම හිතන්නෙ දුර්වල විදිහට වැඩ කරන්න ඇති.
    උඹ ගෙනිච්ච මිනිය ,පෙට්ටිය අරිද්දි නහය වහගෙන හිටිය කියල තමා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. දුර්වල විදිහට හදවත වැඩකරා නම් දොස්තරගේ දැනීමට අහුවෙන්න ඕන නේද කම්මලේ.. ආච්චි නැතිවෙනකම් කරාපිටියේ හිටපු හුඟක් දොස්තරලා ඒ අරුම පුදුම සිදුවීම පරීක්ෂා කරා බන්..
      මල මිනියට නාහේ වහගන්න විදිහක් නැහැනේ බන් අත් දෙක එහා මෙහා වෙන්නේ නැතිවෙන්න ඇතුලෙන් ගැටගහල තියන නිසා..

      Delete
  9. molaya wada karnawa 20 minit withara nedda

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති.. ඒත් මේ සිද්දියේ ආච්චි පැය හතරක් පහක් විතර කතා කරා..

      Delete
  10. ආච්චිගේ කතාව විස්වාස කරන්ඩ බැ

    ReplyDelete
    Replies
    1. වෙන කෙනෙක් කිව්වනම් මමත් ඔය කතාව කියන්න තිබ්බ බන්.. ඒත් ඒ කතාව 100% ක් සත්‍ය සිදුවීමක්.. කව්රුහරි වෛද්‍ය වරයෙක් මේ තොරතුරු ඉස්පිරිතාලේ රෙකොර්ඩ්ස් වලින් ඇදල බලන්න පුලුවනිනම් මට පුළුවනි දින වකවානු වෙලාවල් සහ ආච්චිගේ නම ගම හරියටම දෙන්න..

      Delete
  11. හදවත වැඩ කරන්නෙ නැතුව සිටියාට වඩා ඔතන සිදුවන්නට ඇත්තේ හදවත ඉතා දුර්වලව වැඩ කල බව වෙන්න ඕනේ. කොහොම උනත් සිදුවීම් දෙකේ අත්භූත බව මෙයින් අඩු වෙන්නේ නැහැ.

    මහ රෑ තට්ට තනියම මිනී කාර් එකක් පදවන් යන්න පුළුවන් කියන්නේ නම් සැබෑම නිර්භීත කමක්. මම නම් ආත්ම ගෞරවය බල්ලට දාල එක පයින්ම බෑ කියනවා ෂුවර්.

    ඔය මළගෙවල්, මළමිනී, හොල්මන්, අවතාර ගැන අපේ හිතේ බය ඇතිවෙන්නේ අපි කුඩා කාලයේ වැඩිහිටියන් අපේ හිත් වලට දාන අදහස් වලින්. මගේ දුව මෙවැනි අවස්ථා වලින් මුදවන්න මමත් බිරිඳත් හැකි සෑමවිටම වග බලා ගන්නවා. සම වයසේ පිරිමි දරුවන්ට සහ මගේ කුඩා කාලෙට සාපේක්ෂව මගේ දුව සැහෙන්න නිර්භීතයි :)

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම කරන්න ඉන්නෙ ළමයින්ට. ඒත් ආච්චිලා සීයලාගේ කතාවලින් ඒගොල්ලෝ බේරගන්නත් වෙනවා.

      නොපෙනෙන හොල්මන් වලට වඩා පණ තියෙන පෙරේතයන්ගෙන් බේරෙන විදියයි ළමයින්ට කියාදෙන්න ඕනා.

      මගෙ සමහර යාළුවො ඉන්නවා ඒ වගේ ආච්චිලා සීයලා පොඩිකාලෙ කියපු කතාවලට තාමත් හිතේ බය තියන් ඉන්න. කළුවරේ එළියට නොබහින.

      Delete
    2. @හරී, උත්සහකර බලන්න. ඉතාමත් ප්‍රතිපලදායකයි. අපේ ගෙදර නම් ආච්චිලා සීයලා පුංචිලා වගේ ලඟම ඥාතීන් හැමෝම අපේ අරමුණ දන්නා නිසා උපරිම සහයෝගය දෙනවා. මම අදටත් රාත්‍රියේ තනියම වාහනය පදවන් එනකොට බය වෙන අවස්ථා බොහොමයක් තියෙනවා.

      Delete
    3. උදය.. ඔයා කියනවා වගේ දොස්තර නලාවට ඇහෙන්නේ නැති ගානට හදවත වැඩකරා වෙන්න පුළුවනි.. ඒත් ඒ තත්වය දොස්තරලා පුදුමයට පත්කරපු තත්වයක්..

      අපේ ඉතිහාසය සහ සංස්කෘතිය විසින් අපේ හිත්වලට දාපු මනස්ගාත නිසා තමයි අපි මළමිනී වලට සහ කළුවරට බය වෙන්නේ..ඒත් අලුත් පරම්පරාවට ඒ වගේ භූත කතා අහන්න දකින්න ලැබෙන්නේ නැති නිසා එයාල කළුවරට භය නැහැ. එක පැත්තකින් ඒක හොඳයි.. ඒත් ලංකාව වගේ රටක කළුවරට භය නොවීමත් එක්තරා ආකාරයක අවදානමක්. ලංකාව වගේ රටක ඇසට නොපෙනෙන බලවේග වලට වඩා ඇසට පෙනෙන පන තියන බලවේග රාත්‍රී කාලයේදී සක්‍රීය වීම වැඩි අගයක් ගන්න නිසා කළුවරට භය නොවීම හේතුවෙන් අවේලාවේ නොසිටියයුතු තැන්වල ඉඳීම අනතුරකට අතවැනීමක් වෙන්න පුළුවනි.. මමනම් සාමාන්යෙන් කළුවරට භය නැහැ. වාහනේක යනවනම් ඕනෑම රෑක ඕනෑම අමුසොහොනක යන එකනම් මට සිම්පල් වැඩක්..විශේෂයෙන් වාහනේ එන්ජිම ස්ටාර්ට් එකේ තියනකම් මම යකාටවත් භය නැහැ.

      Delete
    4. හරී කියන දේ හරියටම හරි.. නොපෙනෙන බලවේග වලට වඩා පෙනෙන බලවේග වලින් වෙන්න පුළුවන් හානිය වැඩියි ලංකාව වගේ රටක..

      Delete
  12. අපේ පැත්තෙත් ගෑණු කෙනෙක් නාඩි වැටෙන්නෙ නෑ කියලා දොස්තර ඉස්පිරිතාලෙට ය්වලා. එත් ඉස්පිරිතාලෙට ගියාම අවුලක් වෙලා නෑ. දොස්තරලා කියලා තියෙනවා හදවත නැවතිලා තිබිලා පස්සෙ ගැස්සීමකින් යථා තත්වයට එන්න ඇති කියලා. සමහරවිට වාහනේ යද්දි වෙන්න ඇති.

    ආච්චිගෙ කතාව විශ්වාස කරන්න බෑනෙ. හදවත වැඩ නොකර හිටියමයි කියමු. ඒත් කතා බහ කර කර ඉන්නෙ කොහොමද?

    හර්ස් එක පැදපු එකත් අපූරු අත්දැකීමක්. ලේසියෙන් කෙනෙකුට ලබන්න බෑනෙ ඒවගේ අත්දැකීමක්. ඒ මනුස්සයා මොකද අම්බලන්ගොඩයවම හොයාගෙන ආවෙ?

    ReplyDelete
    Replies
    1. මිනී පෙට්ටි සාප්පු වැඩේ අවුල් කියලා හිතෙන්නෙ පුරුදු නැති හින්දා?

      Delete
    2. ආච්චිගේ කතාව විශ්වාස කල නොහැකි එකක් තමයි මචන්.. ඒත් ඒක එහෙම උනා.. කාටහරි ඒ ගැන තවදුරටත් හොයලා බලන්න ඕනෙනම් මට පුළුවනි දින වකවානු නම් ගම් දෙන්න.. වෛද්‍ය වාර්තාවල සඳහන් වෙලා ඇති ඔය සම්භන්ධ තොරතුරු..

      මැරිලා ආයෙත් පන ආපු මිනිස්සු ගැන ඉතිහාසයේ ඕනෑතරම් වාර්තා තියන නිසා ඔයා කියන ගැහැණු මනුස්සයටත් එහෙම සිද්දියක් වෙන්න ඇති .

      හර්ස් එක පැදපු එකේ සොමිය දන්නේ ඉතින් මිනියක් දාගෙන මල රෑ එකට දෙකට තනියම ඒක පැදාපු මමනේ බන්..

      සුනිල් අයියා මාවම හොයාගෙන ආපු හේතුව තමයි අපේ තාත්තගේ මහ ගෙදර හෙවත් අපේ ආච්චිගේත් ලොකුතාත්තගේත් මල ගෙදර තිබ්බ ගෙදර සුනිල් අයියගේ මිනී පෙට්ටි සාප්පුවට අඩි විස්සක් තිහක් එහායින් තියෙන එක. අනික් හේතුව තමා අපේ පවුලේ හැමෝටම වගේ වාහනයක් තිබ්බ නිසා මළගෙදර රියදුරන්ලාගෙන් අඩුවක් නොවීම.. ඒත් එහෙම ඉල්ලීමක් කරන්න අවසාන හේතුව තමයි අපේ සීයලාගේ කාලේ ඉඳන්ම සුනිල් අයියලා එක්ක තිබ්බ සම්භන්ධතාවය.. එදා මම මිනිය අරන් ගිහින් කල උදව්වට ප්‍රති උපකාරය මට ලැබුනා සුනාමි දවසේදී.. මිනිස්සු හර්ස් එක ඉල්ලලා පොරකද්දී මගේ යාලුවෙකුගේ අම්මගේ බොඩිය ගේන්න අපිටත් හර්ස් එක ඔනවුනා.. ඒ වෙද්දී සුනිල් අයිය ලංකාවේ හිටියේ නැහැ.. එදා මිනීපෙට්ටි සාප්පුවේ සෙනග දෙතුන්සීයක් පොරේ මිනී පෙට්ටි වලටයි හර්ස් එකටයි. ඒත් සුනිල් අයියගේ බිරින්දෑ මට කිව්වා හර්ස් එක ගිය දිහාව සහ මගට ගිහින් පාර හරස් කරලා හර්ස් එක නවත්තලා ඩ්‍රයිවර්ට විස්තරේ කියල මගින්ම හරවල එහෙමම කරාපිටි යවන්න කියල.. ඒ තමයි හිතවත්කම.. ඒ පස්චාත් සුනාමි කතා ලියන්න ඕන පසුවට..

      Delete
    3. ඇනෝ කෙනෙක් ලියපු භූත කොටුව සම්භන්ධ කමෙන්ට් එක මම අයින් කළා හරී.. එතනත් මේ සිද්දිය ලිව්වේ මමම තමයි අවුරුදු හතරකට විතර කලින්...ඒ කාලේ මම බ්ලොග් ලියන්නේ නැහැ.. මගේ බ්ලොග් පොස්ට් එක හරහා වෙනත් වෙබ් අඩවියක් ප්‍රමෝට් කිරීම අනවශ්‍ය නිසා මම ඒ කමෙන්ට් එක අයින් කරා.. ඒ ගැන සමාවෙන්න..

      Delete
    4. අපරාදේ අපිට බලන්ඩ ඒක තියන්ඩ තිබ්බේ

      Delete
  13. උඹටත් වෙන්නෙ මරු වැඩ බං.අපි දවසක්දා යාලුවෙක්ගෙ ආච්චි කෙනෙක් මැරුණු වෙලාවෙ බලන්න කඩවත ගියා.ඒ වෙනකොටත් මිනිය ගෙදරට ගෙනත් තිබ්බෙ නෑ අපි කයිය ගගහ ඉද්දි රෑ එකට විතර හර්ස් එකක මිනියත් අරං ටිකක් වයසක මනුස්සයෙක් තනියම ආවා.ඇවිත් පෙට්ටියත් තැන්පත් කරල එහෙම ඉක්මනට යන්න තියෙනවා කියල යන්න හදිස්සි කළා.මොකද මහන්සිද කියල මම ඇහුවාම නෑ තව බොඩියක් අරගෙන වරකාපොළ යන්න තියෙනවා කිව්වා.ඌ නං යකෙක් කියල අපි කතාවුනේ.මල් ශාලාවටම පාඩම් වෙච්ච එකෙක්.

    ReplyDelete
    Replies
    1. මැරිච්ච මිනිහෙකුට භයවෙන සස්කෘතියක් අපිට හදපු නිසා තමයි බන් හැලපේ අයියෙ අපි ඔව්වට ටිකක් විතර පස්ස ගහන්නේ.. ඇත්තටම ගෙදර ෆ්‍රිජ් එකේ ඉන්න කුකුලගෙයි, මිනී කාරෙකේ අරන් යන මැරිච්ච මනුස්සයෙකුගෙයි වෙනසක් දැන් නම් මට පොඩ්ඩක්වත් පෙන්නේ නැහැ.. දෙන්නම මල මිනී බන්..

      Delete
  14. හරි අමුතු සිදුවීමක්...එත් මේ විශ්වය ඇතුලේ ඒ වගේ දේවල් ගොඩක් තියනව...

    මන් අපේ සීයාගේ මළගෙදර ඊට මාසෙකට විතර කලින් දැක්ක..සීය හිටියේ ලොකු අම්මලාගේ ගෙදර,මන් ඒ ගෙදර මිනියක් තියන්නේ කොයි පැත්තටද කියලවත් දන්නේ නෑ...හැබැයි මන් හීනෙන් දැක්ක හැමදේම ඒ විදියටම එතන තිබුන,මල් වාස්,පහන්,සීයට අන්දලා තිබුන ඇදුම,පෙට්ටිය,සාලේ තිබ්බ පුටු හැමදේම තිබුනේ මගේ හීනේ වගේමයි...මට තාමත් ඒ හීනේ හොදටම මතකයි...ඒ වගේ සිද්දි දෙක තුනක්ම මන් දැක්ක...ඒවා පෙන්නේ කොහොමද කියල මන් අදටත් දන්නේ නෑ..

    මේ අර ඔය එක්ක ගිය මිනිය...කාර් එකෙන් බැහැපු ගමන් ළිද ගාවට ගිහින් නාගෙන ඇවිත් තියෙන්නේ ගේ ඇතුලට ...:D :D

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සුන්ට හීන වලින් අනාගතේ පෙන්නුම් කරනව.. ඒ දේවල් වෙන්නේ කොහොමද කියල තේරුම්ගන්න තරම් අපේ බුද්ධිය මෝරලා නැහැ...

      මිනියට ලිඳ ගාවට යන්න තරම් දෙයක් කරන්න බෑ ගිම්මි.. එයා කෝච්චියට හැප්පිලා කුඩු වෙච්ච එක්කෙනෙක්..

      Delete
    2. ගෙම්බිත් හොල්මනක් නිසා ඕවගේ දේවල් පේනවා ඇති...

      Delete
  15. අත්භූතයි අත්භූතයි... සිරාවටම අත්භූතයි..
    ගස්ලබ්බ මොකක් හරි වැදගත් වැඩකට ගෙයින් එලියට බැස්සොත් හර්ස් තුනක් හතරක් සෙට් වෙනවා මයි..
    ගස්ලබ්බත් එක්ක කලින් වැඩ කරපු ඩ්‍රැයිවර ලා දෙන්නෙක්ම කලින් හර්ස් වැඩ කරපු උදවිය... පොඩ්ඩක් මුල අල්ලලා දුන්නාම කියනවා කතන්දර.. හප්පා.. හොල්මං කැලේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වැඩිය ඔය දේවල් ව්‍යවහාරයේ නැති නිසා තමයි බන් අපිට ඔව්ව මැජික්.. අපිත් කුතුහලය නිසා ඔව්ව අහන්න දකින්න ටිකක් විතර කැමතියි.. අමුවෙන් ගල් ෂොට් දෙකක් දාගත්තාම ඩ්‍රයිවර්ලා මිනිය කරේ තියන් උනත් යනවා බන්.. සුනාමි දවසෙන් පස්සේ මටනම් මිනී කියන්නේ සිම්පල් කෙස් එකක්.. පස්චාත් සුනාමි කතා ලියන්නම්කො පසුවට..

      Delete
  16. Ubatamayi wenne.. heh..heh.. Mata samanyayen oya wage seen walata baya hithenne ne.
    Achchige seen eka nam adbutha thamayi. Habayi ehema eva godak wenawa.

    ReplyDelete
    Replies
    1. භය කියන්නේ අපි විසින් නිර්මාණය කරගන්නා දෙයක් බව දැන් නම් මටත් තේරෙනවා කමී.. ඒ කාලේ මට වයස 23 ක් වගේ...

      Delete
  17. යකෝ කියවන කොටත් බය හිතෙනවා. තනියට එකෙක්ව දාගෙන යන්ද එපැයි ...

    ReplyDelete
    Replies
    1. දාගෙන යන්න එකෙක් හිටියේ නැහැ බන්.. අනික සුනිල් අයියා ගාව නිතරම ගෝල බාලයෝ දෙතුන් දෙනෙක් ඉන්න නිසා තව එකෙක් ඇදන් යන්න හිතුවෙත් නැහැ.. යාළුවො ඔක්කොම එක දිගට දවස් තුනක් නිදිමරලා ගෙවල්වල ගිහින් හිටියේ.. උන් එකෙක් හිටියනම් අනිවා ඇදන් යනවාමයි..

      Delete
  18. යකෝ පෝස්ටුවක් දාලා උඹ කොහෙද ගිහින් හැංගුණේ.................

    ReplyDelete
    Replies
    1. බොලාට දවල් උනාට මට රෑනේ බන්.. මම පොස්ට් එක පබ්ලිෂ් කරලා නිදාගත්තා බන්..

      Delete
  19. දුරදිග නොබලා කටට ආ පමණින් පොරොන්දු දීමේ පල විපාක /////////// athha

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දොස්තර මහත්තයා මේ පැත්තේ ආවට..

      Delete
  20. මම ආසම වැඩේ තමයි රෑට තනියෙන් වාහනේ පැදවීම.වහින වෙලාවක්නම් තවත් ආතල්.පුරේ ඉදලා පුත්තලම් පාරේ රෑට තනියම ගෙදර එනවා කියන්නේ දිවියලෝකේ යනවා වගේ මට.

    ආච්චිගේ සිද්දිය මාරයි.වෙන මොනවා කියන්නද ඊටවඩා.

    උඹ දන්නවද....ඔය දැන් තියන හර්ස් වලට මම මාර කැමතියි.බෙන්ස්,වොල්වෝ,ක්‍රවුන්.... එච්චර හොඳ වාහන මොන මගුලට මිනී අදින්න පාවිච්චිකරනවද මන්දා.කොහොමත් මල්ශාලාවල වැඩකරන අයට ඒවා එච්චර ගානක් නෑ.හිතවතෙකුගේ මිනියක් එම්බාම්කරන වෙලේ තව එවුන් 2නෙක් එක්ක එතන හිටියා.මහ රෑ එළවළු රොටි වගයක් ගෙනත් වැඩකරන එවුන්ටත් දුන්නා.එම්බාම් කරන එකා ඒ අතින්ම අරගන උගේවැඩේ කරනගමන්ම ඒකත් කෑවා.සිගරට් එකත් එහෙමයි.

    කොහොමවුනත් නම්බුවබේරගන පොරොන්දුව රැක්ක එකනම් නියම වැඩක්....

    ReplyDelete
    Replies
    1. //මම ආසම වැඩේ තමයි රෑට තනියෙන් වාහනේ පැදවීම.වහින වෙලාවක්නම් තවත් ආතල්.පුරේ ඉදලා පුත්තලම් පාරේ රෑට තනියම ගෙදර එනවා කියන්නේ දිවියලෝකේ යනවා වගේ මට.//

      ඔය උඹ කියපු වැඩේ මටත් එහෙම්මම තමයි බන්.. රෑට තනියම මනෝ පාරක් දාගෙන වාහනේ එලවනවා කියන්නේ ෆුල් මාවලස් ගතියක් දැනෙන වැඩක් බන්.. වහිනවනම් ආතල් ඩබල්.. ලංකාවෙත් එහෙමයි මෙහෙත් එහෙමයි.. ඊයේ පෙරේදත් ගියා ඒ වගේ ගමනක්.. යන්නයි එන්නයි හැතැක්ම තුන්දාහක්..

      ජීවත්ව ඉද්දි නැති සැප බන් මිනී වලට දැන්.. ජීවත්ව ඉන්නකොට ටවුමට ත්‍රීවිල් එකේ ගියාට මරුනාම යන්නේ එයිට් සිලින්ඩර් යුරෝපියන් බ්‍රෑන්ඩ් නිව් වාහනේ..

      සුනාමි දවසින් පස්සේ මිනී කියන්නේ සාමාන්‍ය දෙයක් උනා බන්.. පස්චාත් සුනාමි සිද්දි ටිකක් ලියන්නම් පසුවට..

      Delete
  21. අර වාහන දෙකේ රෝද ප්‍රශ්නය එන්න ඇත්තේ බ්‍රේක් ඩිස්ක් සහ ඩ්‍රම් වල මොකක් හරි නොගැලපීමක් නිසා කියලා මට හිතෙන්නේ.

    ගැටවර කාලේදී කොල්ලෝ බජාර් එකත් එක්ක ඔට්ටු අල්ලලා තනියම සොහොන් පිට්ටනියට ගිහින් මල්වඩමක් අරන් ඒම වැනි දේවල් කරලා බය ඇරුනා.

    නමුත් අනපේක්ෂිත සිදුවීම් වලින් හිත ගැස්සීම කොයි වෙලේ සිදුවෙයිද කියලා කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බැහැ විචාරක.. මම ඒ වෙද්දීත් ඔටෝමොබයිල් සම්භන්ධ ඕනෑම අලුත්වදියාවක් කරන්න පුළුවන් තරම් දැනුමක් තිබ්බ කෙනෙක්.පුළුවන් හැම විදිහකටම පරීක්ෂා කරලා බැලුවා මට මුකුත් දෝෂයක් සොයාගන්න බැරිවුනා. බ්රේක් ඩිෂ් එකක හෝ ඩ්‍රම් එකේ අවුලක් තිබ්බනම් වීල් නට් තද කරනකොට මට ඒක දැනෙන්න ඕන.එකම ජාතියේ වාහන දෙකක රෝද අපි මාරු කරෙත්.

      සාපෙළ කරපු කාලේ අපිත් ඔට්ටුවට කනත්තට ගියා රෑ දොළහට..

      Delete
  22. මටත් හිතෙන්නෙ අර ආච්චම්මට ඒ වෙලාවෙ වෙන කවුරුහරි ආරූඪ වෙලා ඉන්ඩැති කියලා.හෙහේ.
    අපේ ඇහැට කනට ගෝචර වෙන්නැති ගොඩක් දේවල් මේ අපි අවටම තියනවනෙ ඉතින්.

    අදයි මේ පැත්තට ආවෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට.. සිද්දිය ගැන හරියට පැහැදිලි කරන්න අපිට බැහැ.. අපි නොදන්නා දේවල් ඔනතාරම් මේ විශ්වයේ ඇති.

      Delete
  23. අද්භූත සිද්ධියක් තමයි... ආච්චිගේ කතාව.. අර හර්ස් එලවපු කෑල්ලත් මාරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු.. දොස්තර කෙනෙක් විදිහට ඔයා මේ ආච්චිගේ කතාව විශ්වාස කරන එකක් නැහැ කියල මම හිතනවා..

      Delete
  24. අපේ ආච්චිගේ තාත්තා අසනීප වී කොළඹ රෝහලට මාරු කර යවා ඇත. ඉතින් අවුරුදු කිට්ටුව මාමලා හා තව කිහිප දෙනෙක් ලෙඩා බලන්නට කොච්චියෙන් ගොස් ඇත. ඒ හැමදෙනාගෙම අත් ඔරලෝසු 2. 27 ට අක්‍රීය වී ඇත. අපේ ආච්චිගෙ ගෙදරට ( ඒ වන විට ආච්චී ඇගේ තුන්වන පුතා ලැබූ අලුත ගෙදර සිට ඇත ( කොළොබ නොගොස් ) විත් ලොකු දුවේ තේ එකක් බොමුද අසා ඇත. සියා සරමක් හා සීයාගෙ කොල පාට කමිසය ඇඳ ගෙන විත් සිටි බවත් (" ආනේ තාත්තා ආවද අය්යලා කොළොඹ ගියා තාත්තා බලන්න ) කිවූ බවත් ආච්චී දිව්‍රා පවසයි/ පැවසුවාය. වෙලාව 2. 27 වග ආච්චී කියන්නෙ එ වෙලාවෙ ඇගේ ඉදිරිපස බිත්තීයෙ ඉහළින් ගසා ඇති ඔරලෝසුව බලාය.ඒ ඔරලෝසුවේ වේලාව සැහෙන කලක් යනතුරු කවුරුත් වෙනස් කළේ නැති බවද කියනවා. මේක නම් සත්‍ය පුවතක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසමාලි කමෙන්ට් එකට.. ඒ කියන්නේ ඔයාගේ ආච්චිගේ තාත්තා 2.27 ට නැතිවෙලාද?

      Delete
  25. මරැ කතාව ඈ. මුලින් දුක හිතුනට පස්සෙ ආතල් පෝස්ටුව අයියේ;;අර කලින් කතාවෙ හිටපු යටිල කියන්නේ බෑග් එහෙම හදන අයිය ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චරිත්... නැහැ..ඒ යටිල වෙන කෙනෙක්..

      Delete
  26. මට තවම මීටර් වෙන්නෙ නැති අම්බලන්ගොඩ රචකයා කවුද කොහොමද සොයා ගන්නෙ මොනවා උණත් හැකියාව සුපර් දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අම්බලන්ගොඩ කතා බ්ලොග් අඩවියට.. වැඩි විස්තර එවන්නකො මේ ඊ මේල් එකට.. ඊටපස්සේ බැරිය අඳුරගන්න.. polwattacom@gmail.com

      Delete
  27. ඔය කියන නාඩි වැඩ කෙරිල්ල ගැන අපේ වෙදාආතා මට කියලා දුන්නා මතකයි. නාඩි වර්ග 3ක් තියෙනවා . එයින් එකක් වැඩ කරන්නේ මරනෙට ආසන්න උනහම.

    ReplyDelete
    Replies
    1. උඹ සිංහල වෙදකම ඉගෙනගත්තද බන්.. බැලුවාම උඹත් නොදන්නා දෙයක් නැහැනේ.. වේද ආතා තාම ජීවතුන් අතර ඉන්නවනම් වැඩේ කොහොම හරි ඉගෙනගනින්..

      Delete
  28. Aiyya dan koheda inne ? WDC ?

    ReplyDelete
    Replies
    1. ඔයා කව්ද කියල හඳුන්වල දෙන්නකෝ ඉස්සෙල්ලම..

      Delete