Monday, November 16, 2015

අපි කරවල කූරියන් වීමු





බඩ තඩියාත් මමත් එකම පාසලේ උගත්තද සාපෙළ හැදෑරුවේ එකම පන්තියේ නොවේය. අප දෙදෙනාගේම සංසාර කරුමයට බඩ තඩියාත් මමත් එකම පන්තියේ අකුරු කරන්නට වුයේ උසස්පෙළ කාලයේදී වන අතර බඩ තඩියාගේ ප්‍රේම පලහිලව්ව ගැන වැඩි විස්තර ටෙම්පරි පියානෝ ලිපියෙහි වඩා හොඳින් සටහන් වී ඇතැයි සිතමි. 

පාසලේදීත් පිටතදීත් එදත්, අදත් හෙටත් මා හට බඩ තඩියාගෙන් ගැලවුමක් නම් වුයේ නැති. 

මා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා ක්‍රිකට් පුහුණුවට ගිය කල බඩ තඩියාත් ක්‍රිකට් පිත්තක්ද සමගින් ක්‍රිකට් පුහුණුවට ඇවිත්ය...

එයින් ක්‍රිකට් එපාවූ මා පාසල් බාස්කට් බෝල් කණ්ඩායමට සම්භන්ධවීමට සිතා එම පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බැනියමක් ශෝර්ටක් ඇඳගෙන බාස්කට් බෝලය මෙන් බම්ප් වෙමින් එතැනය...

ඒ දෙකම එපා වී මා පාපන්දු කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා පාපන්දු පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බූට් දෙකක් දමාගෙන පුහුණුවට විත් එතැනය...

අවසානයේ යායුතු වෙනත් අතක් නොමැති තැන මමත් බඩ තඩියාත් සමකාලීන පාපන්දු ක්‍රීඩකයින් වීමු. එහෙත් වාසනාවටදෝ, අවාසනාවටදෝ බඩ තඩියාත් මාත් අතර සම්භන්ධය එතැනින් එහාටද දිවගියේය. 

උසස්පෙළින් අනතුරුව පාසැලෙන් නෙරපනු ලදුව සංගීත උණ වැළදුන හේතුවෙන් සංගීත කණ්ඩායමකට සම්භන්ධවීමට මා ගිය අවස්තාවෙදී එතැනට ගොහින් බැලූ කල බඩ තඩියාත් ගිටාරයක් එල්ලාගෙන එතැනය. 

ඉන් නොනැවතුණු බඩ තඩියා අවසානයේ ටවුම ආසන්නයේ තිබෙන්නාවූ නිවසද අත්හැර මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ ඌගේ කරුමයටද මාගේ කරුමයටද කියානම් හරිහැටි අප දෙදෙනාම දන්නේ නැත. 

බඩ තඩියා ගම් බිම් හැරදමා මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ සුනාමියෙන් පසුව බැවින් එතෙක් කලක් බඩ තඩියා ජීවත්වුයේ බඩ තඩියාගේ පියාණන් විසින් ඉදිකරනු ලදුව බඩ තඩියාට උරුමකරදුන් වෙරළාසන්න නිවෙසකයි. වත්ත මායිමේ වෙරල පිහිටියෙන් මුහුද යනු බඩ තඩියාට ගෙදර වගේ එකක්ය. උසස්පෙළට ආ පමණින් බඩ තඩියා පවුල් පන්සල් වීම හේතුවෙන් අනුග්‍රහය අහෝසි වුවද  හෝඩියේ සිට සාපෙළ දක්වාම කොල්ලන්ට ගෙවල් වලට හොරෙන්  මුහුදේ නෑමට  පූර්ණ අනුග්‍රහය දැක්වුයේ සත් ගුණවත් බඩ තඩියා විසිනි. 

පාසල් තාප්පයෙන් වාෂ්ප වන්නාවූ සිසුන් එකල අසුරුසැනින් නවතින්නේ බඩ තඩියාගේ කාමරයේය. ගුනේ අයියාගේ බජව් දාන කාමරයේ තිබු මස්කට් පැණිබූන්දි වලටත් වඩා සොමි දේවල් බඩ තඩියාගේ කාමරයේ තිබු බව මෙහිදී සඳහන් කලයුතුමය. 

මස්කට් පැණි බූන්දි වලටත් වඩා කොල්ලන්ට වටින්නා වූ  අඟල් තිස් දෙකේ රූපවාහිනියක්, වීඩියෝ ධාවන යන්ත්‍රයක්, ශීතකරණයක්, තඩි බෆල් දෙකකින් හා, කැසට් පීස් දෙකක් එකවර දැමියහැකි ත්‍රී ඉන් වන් වර්ගයේ තට්ටු කිහිපයකින් සමන්විත ස්ටීරියෝවක්, ෂපාන් එකට නිදාගතහැකි ඩබල් ඇඳක් කිව්වට ඩබල් ඇඳකටත් වඩා ලොකු ඇඳක් සහ බඩ තඩියාගේ ඇඳුම් ආයිත්තම් ගබඩා කල අල්මාරියද කාමරයේ වීය.

මෙහිදී අල්මාරිය නොසලකා  හැරිය  යුත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තඩි එකෙකු වන බඩ තඩියාගේ ඇඳුම් වලින් කොල්ලන්ට ඇති වැඩක් නැති බැවිනි. හදිසියකට මුහුදේ නාන්නට බඩ තඩියාගේ කලිසමක බැස්සද තඩියා හැරුණකොට මා වැනි කෙහෙටු එව්වෝ මුහුදේ නාන්නට බැස්සේ බඩ තඩියාගේ කලිසම් වලින් සරොම් ඇඳගෙනය. ( තඩියා සහ බඩ තඩියා යනු දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම තේරුම්ගත යුතුය) 

අතිශයින්ම  සුඛෝපබෝගී කාමරයක් වූ බඩ තඩියාගේ කාමරයේ විශේෂිතම පිහිටීම වුයේ එම කාමරය නිවසින් පිටත පිහිටි ප්‍රධාන දොරයි. අපේ එවුන්  ඥානා ගේ බෝඩිමේ ගත්තා වූ ආතල් වලට වඩා දහසක් ආතල් ගත්තා වූ කාමරයක් තිබුනානම් ඒ බඩ තඩියාගේ ඉතිහාසගත කාමරයයි. එම කාමරය ඇතුලේ පිහිටවූ ලෝක වාර්ථාද ඇති අතර එම ලෝක වාර්ථා  ඇතුල්වන්නේ ලිවිය නොහැකි කථා ගොන්නට වීම පාඨක සැමගේ අවාසනාවයි. නැවතිල්ලේ සිතා බැලූ කල ලෝක වාර්ථා  වලට අනුග්‍රහය දැක්වීම සම්භන්ධව බඩ තඩියාට අප වෙනමම ස්තුතිය පුදකළ යුතුය. මෙම පෝස්ටුව කියවා බඩ තඩියාගේ බිරින්දෑ බඩතඩියාගෙන් ලෝක වාර්ථාව ගැන විමසන්නේ මෙසේයි..

මොකක්ද අනේ ඔයාගේ කාමරේ පිහිටෙව්වා කියන ලෝක වාර්ථාව ..

මං දන්නේ කොහොමද ඒයි .. ඌ ලංකාවට ආවම අහගන්න..

උගෙන් අහන්නේ මොකටද අනේ ඔයා ඉද්දි.. කියන්නකෝ අනේ..

මම දන්නේ නැහැ අනේ.. උගේ විකාර...

මොකක් හරි අලුගුත්තේරු වැඩක් වෙන්න ඇති.. හරි ඔයා කියන්නේ නැහැනේ.. මම හොයාගන්නම්කො ඕක..

ඔයා උගේ ලනු කන්නේ නැතුව පිටි හැඳි දෙකක් දාල සීනි ටිකක් වැඩියෙන් දාල ටී එකක් හදන්න ඒයි 

මේ කියනාවූ කාලයට සාපේක්ෂව බඩ තඩියාගේ බිරින්දෑට විශ්වාසවන්තම සගයාගෙන් ලෝක වාර්ථාව ගැන විමසුවහොත් ඌද ප්‍රශ්නයට උත්තර දීමට නොහැකිව තක්කු මුක්කු වන්නේ එම ලෝක වාර්ථාවට උරුමකම් කියන්නේ විශ්වාසවන්තම සගයා වන බැවිනි..

එකතරා දිනෙක කොල්ලන් සැට් එක උදෑසනින් බඩ තඩියාගේ නිවසට එකතු වන්නේ ගෙඳවාන ගල වෙත ගොස් ආතල් එකක් ගැනීමට  කලින්ම සංවිධානය කර තිබු බැවිනි. ගෙඳවාන ගල යනු බඩ තඩියාගේ නිවස කෙලින් කිලෝමීටරයක් පමණ දුරින් මුහුද මැද්දේ  පිහිටි විශාල ගල් පර්වතයකි. අක්කරයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වූ මෙම ගල මුහුද මැද්දේ දුපතක් ලෙසද අර්ථ දැක්විය හැකි අතර බෙල්ලන් කැඩීමට යන්නන්ගේ ප්‍රකට ස්ථානයකි. 

ගෙඳවාන ගල වෙත ලඟා වීමේ ක්‍රම කිහිපයකි. පළමුවැන්න පිහිනීමයි. දෙවැන්න නම් බෝට්ටුවක් හෝ ඔරුවක්, වල්ලමක් වැනි යමක් මගින් යාත්‍රා කිරීමයි. 


ගෙඳවාන ගල

සැතපුම් දෙක මුහුදු පිහිනුමටද සහභාගී වන පාසල් පිහිනුම් කණ්ඩායම නියෝජනය කරන තඩියා සහ යම් දුරක් පිහිනීමට හැකි බතලයා හැරුණකොට එතරම් දුරක් පිහිනීමට හැකි එවුන් අප අතර නොවීමත්, පිහිනීමට නොහැකි එවුන් සිටීමත් හේතුකොටගෙන ගෙඳවාන ගල වෙත යාමට අප තෝරාගත් ප්‍රවාහන මාද්‍යය වුයේ බඩ තඩියාගේ ඥාතියෙකු සතු මෝටර් බෝට්ටුවකි. බෝට්ටු ගෙඳවාන ගල වෙත ලංකිරීමට නොහැකි අතර අඩි විස්සක් තිහක් ඈතින් බෝට්ටුව නැවැත්වූකල මගීන් බෝට්ටුවෙන් වතුරට පැන ගෙඳවාන ගල වෙත පිහිනා යා යුත්තේ රල පහර සමග ගල වෙත ඇදෙන ෆයිබර් බෝට්ටුව ගලේ වදුනහොත් හිල්වෙන බැවින්ය. ඔරුවකින් හැරුණකොට කුමන ප්‍රවාහන මාද්‍යයකින් ගෙඳවාන ගල වෙත ගියද පිහිනා යාම අනිවාර්ය වේ.

එදිනද  දහයක් පමණ වූ නඩයේ වැඩි ප්‍රමාණයක් සිටියේ පිහිනන්නට නොහැකි එවුන් වන අතර එම කාණ්ඩය ගෙඳවාන වෙත බෝට්ටුවෙන් බස්සවා රැගෙන යාමට අප යොදාගත්තේ හුලං පිරවූ ලොරි ටියුබයකි. සියල්ල අකුරට සිදුවූ බැවින් සියලුම දෙනාට කන්නට බිත්තර පාන්, මාළු පාන් , රෝල්ස් වැනි කෑමද , බීමට ලීටර දෙකේ කොකාකෝලා බෝතල්ද රැගෙන අප සියලුදෙනා ගෙඳවාන වෙත පිටත් වුයේ බඩ  තඩියාගේ  ඥාති සහෝදරයාගේ බෝට්ටුවෙනි. 

මෙම ගමනට ඥානා ද සහභාගී වූ අතර ඔහුද පිහිනන්නට බැරි ගොඩට අයත්වූ එකෙකු වුයේය. කවදා කොතනදී ඔරුවකට, බෝට්ටුවකට, අඟුලකට, වල්ලමකට, පාරුවකට නැගගත් පොල් කටුවක්, යෝගට් කෝප්පයක් වැනි යමක් කොහෙන් හෝ කුණු ගොඩකින් අහුලාගෙන බෝට්ටුවට ගොඩවීම ඥානාගෙ සිරිතය. බෝට්ටුව හෝ ඔරුව ඇතුලට වැහි දිනවලදී එකතුවන වතුර පොල් කටුව හෝ යෝගට් කෝප්පය මගින් හිස් කිරීම ඥානාගෙ වැදගත්ම රාජකාරියයි. 

බෝට්ටු ගමන අවසන් වනතුරු කිසිදු කතාවක් බහක් නැති ඥානා නොනවත්වා නැවෙමින් දිගෑරෙමින් බෝට්ටුව හිස් කරනු ලබයි. බෝට්ටුව ගිලෙන්නට තබා ගැලුමක් දෙකක් පිරෙන්නටවත් වතුර බෝට්ටුව පතුලේ නැත්ත ඥානා පොල්කටුව ගෙවෙනතුරු කරන්නේ වතුර ඇදීමයි. පොල් කටුවක්, යෝගට් කෝප්පයක් තබා ටොනික් පියනක් වත් සොයාගන්නට බැරි වූ අවස්ථාවල ඥානා අතින් හෝ වතුර ඇදීම කරගෙන යනු ලබන්නේ සංසාර පුරුද්දකට මෙනි. 

බඩ තඩියාගේ විධානයෙන් ශ්‍රී ලංකාද්වීපය නොපෙනෙන්නම බෝට්ටුව පැදවූ බඩ තඩියාගේ ඥාතියා නඩයට සියලු වැඩ කිඩ පෙන්වා අවසානයේ ගෙඳවාන  අසලට බෝට්ටුව ගෙන ආවේ අපව ගෙඳවානේ බස්සවා හවස් අතේ අපව රැගෙන යාමට එන පොරොන්දු සහිතවයි. ඊළඟට තිබෙන්නේ ලොරි ටියුබයේ වික්‍රමය වන බැවින් ගෙඳවාන ආසන්නයේ බෝට්ටුව නතර කල වහා තඩියා ජබුක් ගාමින් වතුරට පනින්නේ ලොරි ටියුබයද අතැතිවයි..මටද, බතලයාටද , පිහිනීමට හැකි බැවින් අපි දෙදෙනා ලොරි ටියුබයේ වික්‍රමයෙන් මිදුනා වූ එවුන් වන්නෙමු. එහෙත් බතලයා ටියුබ් මගී ප්‍රවාහන කටයුත්තට සම්මාදම් නොවන්නේ ප්‍රවාහන කොමිටියේ බතලයා නොමැති බැවින්ය .

ටියුබය බෝට්ටුව අසලට තල්ලු කරන්  පිහිනා එන තඩියා විසින් විධානය දුන් වහා වරකට එකා බැගින් බෝට්ටුවේ ගැට්ටෙන් ටියුබයට පැනිය  යුතුය. බෝට්ටුවෙන් ටියුබයට පනිනා අයවලුන් චපාස්... නාදයෙන් ටියුබය උඩට පතිතවූ වහා තඩියා විසින් ටියුබය ගෙඳවාන දෙසට තල්ලු කරමින් පිහිනා යනු ලබනවාය. මාද ටියුබය පසුපස ඩොගී ස්ටයිලයෙන් පිහිනා ගෙඳවාන දෙසට පිහිනා යනවාය. 

ඩොගී ස්ටයිලයෙන් කියූ වහා පාඨක පෝතකයින් මා ගැන කැත විදිහට හිතනා නිසාවෙන් ඩොගී ස්ටයිලය යනු කවර ගනයේ පිහිනුමක්දයි විස්තර කිරීම මාගේ සරීර සෞකියට යහපත්ය. 

බල්ලකු මෙන් ඔලුව උඩ තබාගනිමින් පිහිනීම ඒ නමින් හඳුන්වනවාය. පිහිනුම් ශූරයින් පිහිනනවාක් මෙන් ඔලුව යට දමාගෙන අත යටින් හුස්ම ගනිමින් නිදහස් ආර පිහිනීමට මා හට හොඳ හැකියාවක් ඇතත් ඔලුව වතුර යටට ඔබාගත් කල උතුර දකුණ පිළිබඳව අවබෝධය නැතිවන නිසා මා එසේ පිහිනන්නේ පූල් එකක පිහිනනවානම් පමණය. 

මුහුදේදී එසේ පිහිනන්නට ගොස් සිරි ලංකාදීපය නොපෙනී යන්නටම ඇන්ටාක්ටිකාව දෙසට පිහිනේවිදෝ යන භය නිසා  මම කවදාවත් මුහුදේදී ඔලුව යට දමාගෙන පිහිනන්නට උත්සහ කරන්නේ නැත. 

බැක් ස්ට්‍රෝක් නැමති ක්‍රමයට පසුපසට පිහිනීමටද මා හට හොඳ හැකියාවක් ඇත. එහෙත් ගෙඳවාන ගල වැනි මහා තඩි ගල් පරුවතයක් මාගේ පසුපසින් තිබියදී එම ආකාරයෙන්ම පිහිනීමට මා හට භයක් දැනෙන්නේ පසුපස බැලීමට සයිඩ් කන්නාඩි දෙකක් නොමැතිව පිහිනා ඔලුව ගලේ ඇනුනහොත් මැහුම් දහයකින් විස්සකින් මෙහා බේරෙන්නට බැරි බැවින්ය. 

ලොරියක් රිවස් කරනා ආකාරයෙන් පසුපස බලන්නට ගෝලයෙක් සිටියානම් පසුපසට පිහිනීම ගැන ප්‍රශ්නයක් නොමැත්තේ හරි හරේ ..හරේ .. හරේ ... දකුණට කපල එන්න...ආ දැන් ඇති....හෝව් ..හෝව්..කියා ගෝලයා කෑ ගසා කියනා  බැවිනි  . 

මාගේ පිහිනුම් හැකියාව වර්ණනා කරන්නට ගොස් ටියුබයෙන් යන වික්‍රමාන්විත ගමන ටිකක් අතපසු වීම ගැන සමාව භාජනය කරන මෙන් පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි. දැන් එතැන් සිට....

ටියුබය ගෙඳවාන අයිනට සැපත් වූ වහා දිය රැල්ලක් විසින් උස්සා ගලේ ගැසීමට ප්‍රථම ටියුබයේ මගියා ගෙඳවාන ගලට ගොඩවිය යුතුය . තඩියා සහ මා නැවත ටියුබය ගෙන බෝට්ටුවට පිහිනනවාය. අවසාන මගියාට ප්‍රථම වනතෙක් පසු පාදයේ ක්‍රීඩා කරමින් බෝට්ටුවේ වතුර ඉහින ඥානා ණයට  ගෙනා පරාන කූඩුව සමගින් ඇස් පියාගෙන ටියුබයට පනින්නේ ඉන් අනතුරුවයි . අපගේ අවසාන මගියා වන්නේ අපගේ සාදර සමාදර අනුග්‍රාහකයා වන බඩ තඩියා මහතායි. 

ඊට ප්‍රථමව අපට තිබෙනා වූ වැදගත්ම කාර්යභාරය වන්නේ අපගේ දිවා ආහාරය සහ බීම බෝතල් , වතුර වැනි දෑ ගෙඳවානට ප්‍රවාහනය කිරීමයි. එයද සාර්ථකව අවසන් කරන අප දෙදෙනා නැවතත් ටියුබය රැගෙන බෝට්ටුව වෙතට පිහිනන්නේ අපගේ අනුග්‍රාහක මහතා ප්‍රවාහනය කිරීම සඳහායි.

අවසාන මගියා බඩ තඩියා කියූ සැනින් පාඨක සැමගේ හිත්වල ඇතිවන ප්‍රශ්නය නම් වෙරල මායිමේ ජීවත්වන බඩ තඩියා මහතාට පිහිනීමට නොහැකිද යන්නයි. පාඨක සැමගේ සැකය සාධාරණ වන අතර උපන් දා පටන් මුහුදු රළ මායිමේ හැදුනු වැඩුනා වූ බඩ තඩියා මහතාට පිහිනීමට බැරිය. 

හරි පැනපන්..

තව ටිකක් ලං කරහන් බන්..

තව කොහේ ලං කරන්නද බොල .. පැනහන් ..

ඒ තව ටිකක් ලං කරහන් බන්..

එක පාරක් කිව්වනේ යකෝ.. තව කොහාට ලං කරන්නද.. පැනහන් ..

තඩියාත් මමත් ලොරි ටියුබය බෝට්ටුවේ බඳට තබා තද කරගෙන සිටිනා අතර තුරේ බඩ තඩියා ඒ වික්‍රමාන්විත ගමනට ප්‍රථම පියවර තැබීමට බෝට්ටුවේ ගැට්ටට ගොඩවන විට බෝට්ටුවේ රියදුරා බෝට්ටුවේ අනෙක් පසට ගොස් බෝට්ටුව සමබරව තබාගැනීමට සාර්ථක නොවන උත්සාහයක නිරත වන්නේ බඩ තඩියාගේ කිලෝ දෙසීයක පමණ වන බර බෝට්ටුවේ ගැට්ට උඩට ආ කල බෝට්ටුව කණපිට ගැසීමට ඉඩ තිබෙන බැවිනි.

එය එසේ වන විට පාඨක සැමගේ හිත් වලට එන ප්‍රශ්නයක් නම් බඩ තාඩියාව පළමුව බෝට්ටුවෙන් බැස්සීමට හැකිව තිබුනා නේද යන්නයි. එය එසේ කල නොහැකිය. තණකොළ මිටිය, එළුවා, කොටියා සමග ගඟෙන් එගොඩ වන ආකාරයට මෙන් මෙම කටයුත්තද  ඉහත පිළිවෙලටම සිදුවිය යුත්තේ ටියුබයෙන් ගෙඳවානට රැගෙන යන බඩ තඩියා ගෙඳවාන ගල උඩට උස්සා ගැනීමට  හත් අටදෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිටිය යුතු බැවිනි.

බෝට්ටු රියදුරා බෝට්ටුව සමබර කිරීමට අසාර්ථක උත්සහයක නියැලෙන අල්ලපනල්ලේ බඩ තඩියා හොඳින් ටියුබයට ඉලක්කය අල්ලා බෝට්ටු ගැට්ටෙන් පැන්නේ සුවිශේෂීවූත්  ඔහුටම ආවේනික ශිල්පීය ක්‍රමයක් විද්‍යාමාන කරමිනි.

එවන් හැකියාවක් එතෙක් මෙතෙක් මා අත්දැක නොමැති අතර දක්ෂ පිහිනුම් ශූරයෙක් වන තඩියාද දැක නැති බව මම තරයේ විශ්වාස කරනවාය. ලොව දක්ෂම පැනිලි කරුවාටවත් එහෙම පැනිල්ලක් පනින්නට නම් බැරිය. 

ජබාස් ..

අම්මටහුඩු පැන්න නේද යකෝ මැදින්..

ලෝකයේ අංක එකේ වතුරට පැනිලි  ශූරයාටවත් එවන් ආකාරයෙන් ටියුබයක් මැදින් වතුරට පැනීමට නොහැකිය. එසේ පැන්නද ටියුබයේ කොනකවත් ගෑවෙන්නේ නැතිව හරි මැදින් වතුරට පැනීමට සුවිශේෂී හැකියාවක් තිබිය  යුතුය. එසේ බැලූ කල ලොව සිටිනා වතුරට පැනිලි ශූරයින් ඉලක්කයට වතුරට පැනීමට අපේ බඩ තඩියාගෙන් ටියුෂන් ගත යුතුය.

අනෙක් එවුන් ආකාරයෙන්ම හොඳින් ඉලක්කය බලා බෝට්ටුවෙන් ටියුබය වෙත පැන්නා වූ බඩ තඩියා ලොරි ටියුබයේ හරි මැදින් වතුරට පැන්නා වූ බැවින් මා අම්මා පෙවූ රන් කිරි සිහි වී දන්නා කියන පිහිනුම් ක්‍රම සියල්ල උපරිමයෙන් භාවිතා කරමින් ස්කුබි ඩූ හි ස්කුබියා පිහිනන ආකාරයෙන් ජුලියන් බෝලින්ටත් වඩා වේගයෙන් මහ මුහුද දෙසට පීනන්නේ පන එපා කියාය. 

මුහුදු පතුලේ සිරි නරඹා වැලි කාගෙන උඩ මතුවන බඩ තඩියා ඕනෑම පිදුරු ගසක එල්ලෙන බව අත්දැකීමෙන් මා දන්නා බැවින් එම ආසන්නයේ රැදී සිට පිදුරු ගස වන්නට මට උවමනාවක් නැත. මා වැනි බිලින්දෙකුගේ ඇඟේ බඩ තඩියා වැනි එකෙකු එල්ලුනහොත් දෙදෙනාටම එකටම වැලිගම යන්නට සිදුවන බව ඒකාන්තයෙන්ම මා දන්නවාය. ඒ එක්කම දිය කාගෙන වතුර යට කිමිදෙන තඩියා බඩ තඩියාවත් කෙස් වැටියෙන් ඇදගෙන විත් ටියුබයේ එල්ලුවේ බඩ තඩියා මුළු මුහුදේම වතුර බී දැමුවහොත් ලොව පුරා ධීවර කර්මාන්තයෙන් යපෙනා ධීවරයින්ට යන එන මං නැතිවන නිසාවෙනි.

අවසානයේ ටියුබයේ කොනක බඩ තඩියා එල්ලාගෙන මුහුදු අශ්වයකු නාවන්නට අරන් යනවාක් මෙන් තඩියා ටියුබය ඇදගෙන ගෙඳවාන ගල අසලට පිහිනු වහා ගලට ගොඩවී සිටිනා අයවලුන් මඩෙහි එරුණා වූ ඇතෙකු ගොඩට අදින්නා වූ මහා සෙනගක් මෙන් වෙර වීරිය යොදා බඩ තඩියා ගෙඳවාන ගල උඩට ඇදගන්නේ කසිදු අනුකම්පාවක් නොමැතිවමය. ඒ රළ පහරක් විසින් උස්සා ගලේ ගැසුවහොත් බඩ තඩියාට ඇඩ්රස් නැතිවන නිසාය. එයින් අවසන් වන ටියුබ් වික්‍රමය නැවතත් සිදුවන්නේ ආපසු ඒමට බෝට්ටුවට ගොඩවීමටයි .

සියල්ල කිසිවෙකුටත් හානියක් නොමැතිව සිදුවූ බැවින් සියල්ලෝම ගෙඳවාන ගල උඩ විසිර යන්නේ විවිදාකාරයේ අරමුණු වලිනි. 

කට්ටියක් බෙල්ලන් කැඩීමේ ව්‍යාපාරයේ සක්‍රීය දායකත්වය ලබන අතර තවත් පිරිසක් ගෙඳවානේ සිරි නරබනවාය. එහෙත් බඩ තඩියා කිමිදුම් ශූරතාවය දිනූ ඇඟේ තෙහෙට්ටුව නිසාවෙන් වාඩිවූ තැනම සිටින්නේ වෙනත් අරමුනක්ද සිතේ දරාගෙන බව අප දැනගන්නේ අපේ එවුන්නට බඩගිනි දැනෙන්නට ගත්තායින් පසුවයි. 

ගෙඳවාන පුරා රස්තියාදුවූ එවුන්ද , බෙල්ලන් කැඩීමට ගිය එවුන්ද ,රොකට්ටු වලින් ගුවන් ගත වූ නාසා ආයතනයට සම්භන්ධ ගගන ගාමීන්ද කන්නට යමක් සොයා බඩ තඩියා වාඩිවී සිටිනා ගල උඩට පැමිණෙන විට සියල්ල සිදුවී හමාරය. 

ඒ වනවිට බිත්තර පාන් වල බිත්තර භාග සහ  ළූණු ඇතුළු සියල්ලද, මාළු පාන් වල මාළු නැතත් මැද ඇති එළවලු කරිය තිබෙනා කොටසද, ජෑම් පාන් වල පොල්කුඩු පැණි මිශ්‍රණය තිබෙනා වූ  කොටසද, රෝල්ස් සියල්ලද බඩ තඩියා විසින් කා දමා හමාරය.. එපමණකින් අවසන් නැත.. බොන්නට ගෙනා කොකාකෝලා බෝතල්ද , වතුර  බෝතල් වලින් තුන්කාලකටත් වඩා කොටසක්ද බඩ තඩියා විසින් බී අවසන්ය. එතනින් එහා ගෙඳවානේ සංචාරයට පැමිණි අප සැමට ඉතිර වන්නේ බඩ තඩියා විසින් ඉතිරි කල පාන් වාටි ටික සමසේ බෙදාගෙන වලඳා ඉතිරි වූ වතුර සුට්ටද බෙදාහදාගෙන බී අපව රැගෙන යන්නට බෝට්ටුව හවස් අතේ ගෙඳවානට එනතුරු තැන් තැන් වලින් වාඩි වී බඩ තඩියාගේ මවු දෙමාපියන් සිහි කරමින් අව්වේ කරවීමටය. 

ටියුබයේ වික්‍රමයද පෙර පරිදිම සිදුවන අතර බඩ තඩියා බෝට්ටුවට ඇදගැනීමට සෑහෙන්න වෙහෙසක් දරන්නේ බඩගින්නේ කරවුනා වූ අපමය. එම අවස්ථාවද බොහොම සිත්ගන්නාසුළුය. වතුර වැටීමේ අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුව තඩියාගේ සහයෝගයෙන් ටියුබය උඩ හිටගන්නා බඩ තඩියා බෝට්ටුවට දමාගැනීම අලියෙකු බෝට්ටුවට නංවා ගන්නවා හා සමානය. දෙතුන් දෙනෙකු අත් දෙකෙන්ද, තවත් එකෙකු කෙස් වැටියෙන්ද අදිමින් කරනා වූ අසීරු ක්‍රියාවලියක් අවසානයේ බඩ තඩියා තපස්... යන ශබ්දයෙන් බෝට්ටුවේ මැදට ස්ථානගත වෙනවාය. ඉන් අනතුරව ඥානා බෝට්ටුව ඉසින අතරතුරේ සියල්ලෝම ගෙඳවාන සංචාරය නිමවා වෙරළට ලගාවෙනාවය. 

කෑමද වතුරද නොමැතිව ගෙඳවානේ දවසක් පුරා වේලුනා වූ අපව කරෝල මුදලාලි කෙනෙකු දුටුවහොත් කරෝල වලට විකුණන්නට තොග මිලක් දී මිලදී ගන්නවා සුවර්ම සුවර්ය.

කරෝල ගානට වේලුනත් අපේ එවුන් සංචාරය අවසන් කරන්නේ බතලයා සහ තඩියා විසින් කඩාගන්නා ලද බෙල්ලන් සියල්ල තම්බාගෙන කෑවායින් අනතුරුවයි. එහෙත් කනගාටුවට කාරණය නම් එයින්ද වැඩි ප්‍රමාණයක් ගිල දමන්නේ සත්ගුණවත් බඩ තඩියා වීමයි. 

75 comments:

  1. අපිට නම් මුහුදක් තිබ්බේ නැහැ නොවැ. මෙහෙ පරසිද්දම තැන ඇවිල්ලා කෙටවල.
    අනිවා මාසෙකට එකෙක් වැලිගම යනවාමයි ඔතනින්

    ReplyDelete
    Replies
    1. //මෙහෙ පරසිද්දම තැන ඇවිල්ලා කෙටවල.//
      දොර තුනේ ඇනිකට් එකට පහල කොට්ටං ගහක් තිබ්බ , නියම තැන . කාලෙකින් යන්ඩ බැරිඋනා.

      Delete
    2. කොහෙද බන් කෙටවල තියෙන්නේ.. ලස්සන තැනක්ද.. ආර්ටිකල් එකක් ලියහන්කෝ..පීනන්න බැරි එවුන් නොදන්නා තැන්වල වතුරේ බැසීම නිසා තමා ඔය අනතුරු වෙන්නේ මචන්.. අනික බීමත්කම.. අපි හරියට හොඳ එවුන් වගේ... හැක් ..හැක් ..

      Delete
    3. කොට්ටං ගහ තාම නියේ. කෙටවල තියෙන්නේ ගම්පහ නගරයට ඉතා ආසන්නයේ. වැලිගම්පිටි යන්න බලා ගෙනමයි සමහරක් එන්නේ. මෙතන සුන්දරත්වෙට වශීවෙලා බෝතලේට මුවාවෙන අය නවතින්නේ පරලෝකේ

      Delete
    4. බීල වතුරට බහිනවා කියන්නේ ඉතින් පීනන්න පුලුවන් එවුන්ටත් වරදින වෙලාවක් බන්..

      Delete
    5. වෙලාවක ඇවිත් කෙටවල අමුණ බලල යන්න වටිනවා බං.දාරළුව සහ ගමපහ අතර ගලායන දී ඇල්ලේ ඔය කෙටවලදී අමුණකින් හරස් කරනවා.වතුර පිරී ඇති විට හරිම සුන්දරයි.පුසා කීවාක් මෙන් හැම අවුරුද්දකම ඉස්කෝලෙ ළමයි අඩුතරමින් එකෙක්වත් ඔය කෙටවල අමුණෙන් වැලිගම්පිටි යනවා.

      Delete
    6. බලන්න යන්න ආසාවක් ආව ඒක නම්.. ලියන්ගස්තොට අමුනත් ඒ වගේම සුපිරි තැනක්.. තියෙන්නේ ඇඹිලිපිටිය කිට්ටුව.. රජ කාලේ හදපු අමුණක්.. වතුර වැටෙන තැනින් ඇතුලට ගියාම අමුණ ඇතුලේ තියන බිම් ගේ ඇතුලට යන්න පුළුවනි... කතරගම යන ගමන් නාලා කාලා යන්න මරු ප්ලේස් එක..

      Delete
  2. කථාව සහ ලිවිමේ හැකියාව උපරිමයි

    ReplyDelete
  3. මටත් හිතුනෙ උදේ ඉදං හවස් වෙනකම් මුහුදෙ ගලක් උඩ ඉද්දි උඹල කරෝල වෙන්නෙ නැද්ද කියල.
    මටත් පට්ට ආසාවක් තියනව මූද මැද දූපතකට ගිහින් අඩියක් ගහන්න. ඔය පීනන්න බැරි උන් වතුරෙ අරගෙන යන එකනම් මම අකමැති වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඔය පහල ඉන්න චමිලයා තමයි අපේ තඩියා.. ඌ තමයි අපේ පිහිනුම් ශුරයා වගේම චීෆ් ලයිෆ් ගාර්ඩ් ... ඌ ඉන්නකම් අපි භය නැහැ.. බතලයත් ලයිෆ් ගාර්ඩ් හින්ද ලොකු භයක් නැහැ ඉතින්. මටනම් ඩොගී ස්ටයිල් එකෙන් හෙමි හෙමිහිට ඉන්දියාවට උනත් පීනගන්න පුළුවනි නැවතිල්ලේ පීනුවොත්..

      Delete
    2. අඩියක් ගැසිමේ යෝඡනාව මම සතිර කරමි

      Delete
  4. නියමයි ...මචෝ ...මම සේරම පොස්ට් කියෙව්වා ..පොඩිකාලේ මතක් වෙනවා..දිගටම ලියපන්...මම එළකිරි එකෙන් තමා උබගෙන් බ්ලොග් එක එල්ල ගත්තේ ...

    ReplyDelete
    Replies
    1. අපිත් ඔහොම යනවා පොල්හේනේ ගල් ගොඩියාන කියන දුපතට එකේ ඉස්සර පන්සලක් තිබිල තියනවා

      Delete
    2. ස්තුතියි මචන්... අපි යනවා උණවටුනේ ඒ කාලේ . දැන් නම් ගිය කාලයක් මතක නැහැ.. ඒ කාලේ බීච් වල බොන්න තහනමක් නැහැනේ..

      Delete
  5. පීනන්න බැරි උං මුහුද මැදට අරං ගිහිල්ල ඔහොම බේරිලා එන එක ලොකු දෙයක්.
    රොකට් විතරද ගෙනියන්නෙ. කොකාකෝල වලට කලවං කරන මොනවත් ගෙනියන්නෙ නැද්ද?
    බඩ තඩියගෙ වෙරලබඩ ගෙස්ට් හවුස් එක වගේ පොට් එකක් කොල්ලන්ට සෙට් උනොත් ආයෙ මොනව කරන්න බැරිද. ඌට ඒක කුලියට දුන්නනං කීයක් හරි හොයාගන්නත් තිබ්බ.

    නියමයි කතාව.

    ReplyDelete
    Replies
    1. රොකට් විතරයි... මුහුදු ගමන් වලදී අරක්කු, බියර් ගෙනියනවා අඩුයි මචන්... ඇලක දොලක නාන්න යද්දී බෝතල් අරන් ගියාට වෙරළෙන් එහාට බෝට්ටුවකින් යනවනම් මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ මුහුද ගැන දන්නා කියන එවුන්.. මුහුදු ගමන් හුරු නැති උදවියට බෝට්ටුව වතුරේ පැද්දෙන පැද්දීල්ලට කරකැවිල්ල හැදෙනවා. ඒ හින්දා පුරු කාරයෝ උනත් බොනවානම් බොන්නේ මුහුදු ගමන ඉවර කරලා තමයි..

      බඩ තඩියගෙ වෙරල අයින කාලෙකට කලින් එහෙම තැනක් තමයි.. දැන් කරන්න කව්රුත් නැති නිසා ඒ ව්‍යාපාරය කරන්නේ නැහැ.., හොඳ සල්ලියක් හොයන්න පුළුවන් තැනක්... එත් ලිකර් ලයිසන් එකක් නැතුව දැන් ඔව්ව කරලා වැඩක් නැහැ..

      Delete
  6. මට මේක කියවනකොට එදා ඒ සිදුවීම මැවිල පේනව බන්.උදේ පාන්දර ඉල නැතිවෙන්න හිනා උනා.ස්තූතියි සහෝදරය ඒ සුන්දර අතීතය මටක් කෙරුවාට.ඒත් මන් අච්චර කෑවෙ නැහැනෙ බන්.යකෝ මේක කියවන ඈයෝ මන් ගැන මොනව හිතයිද?

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක් සිරාවට හිතා ගත්ත හැකි මටනම්. අපේ එකෙක් ඉන්නව ඔය වගේ . දවසක් ' රා ' බෝතල් 5ක් විතර අරගෙන නාන්ඩ ගියා , මූ ගොඩ හිටිය නාල එද්දි බෝතල් තුනක් බීල බයිට් එකත් කාල මූ ගහ යට නිදි. ට්‍රිපක් ගියත් අනිවා ඌ කලින්ම බඩ පුරව ගන්නව.
      ඇත්තටම කොහොමද බං ටියුබ් එක මැදින් පැන්නෙ ?

      Delete
    2. චමිලයා.. බොට කොහෙද බොල කන්න ඉතුරු උනේ.. බඩා ඔක්කොම කාල වාටි ටික විතරනේ ඉතුරු කරලා තිබ්බේ..

      කම්මලේ... කෑම වගේද බන් රා බෝතල් 3ක් වගේ වටිනා දෙයක් බිව්වාම... ඌ ව කන්න එපැයි අල්ලගෙන.. මු නෙවෙයි බන් ටියුබ් එක මැදින් පැන්නේ .. මු තමයි ටියුබ් එක මැදින් පැනපු බඩ තඩි එකාව යට ගිහින් උඩ අරන් ආවේ..

      Delete
  7. මට මේක කියවනකොට එදා ඒ සිදුවීම මැවිල පේනව බන්.උදේ පාන්දර ඉල නැතිවෙන්න හිනා උනා.ස්තූතියි සහෝදරය ඒ සුන්දර අතීතය මටක් කෙරුවාට.ඒත් මන් අච්චර කෑවෙ නැහැනෙ බන්.යකෝ මේක කියවන ඈයෝ මන් ගැන මොනව හිතයිද?

    ReplyDelete
    Replies
    1. කම්මලේ මේ උඹේ යාලුවෙක් ද?

      Delete
    2. ඔව් බං මේ අපේ බඩ තඩියනෙ.

      Delete
    3. පේනව පේනව. හැක්...

      Delete
    4. මේ ඉන්නේ තඩියා මචන්.. බඩ තඩියා කියන්නේ වෙනිං එකෙක් නෙව ... තඩියා කවදාවත් තනියම කෑවේ නැහැ...

      Delete
    5. උෟ කෑවේ උඹත් ඒක්ක නිසා උෟ හරිම කෙට්ටුයි නේද???

      Delete
    6. මූට ඒ කාලේ ඉඳන්ම තඩියා කියල කිව්වේ කෙට්ටු හින්ද තමයි.. හැක් ..හැක් ..

      Delete
  8. භාෂා අලංකරනය වැඩි නිසා පොඩි නීරස ගතියක් තියෙනවා .
    ඔය ගල උඩද හවසට මහසෝනා කකුල්දෙක තියන් ඉන්නවා කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ අඩු පාඩු පෙන්නලා දුන්නට ... මහසෝනා ගැන එහෙම කතාවක් තියෙනවා... ඒත් අපිනම් දැකල නැහැ බන්..

      Delete
  9. හිනා වෙලා බාගෙට මැරුණා ඕයි. ඔහොම එකෙක් හැම ගන්සියකටම ඉන්නවා නේ. ඇත්තටම කොහොමද බං අරු අර ටියුබ් හිල මැදින් පැන්නේ. හිතලා නම් ජීවිතේට කරන්න බැරි වැඩක්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බන් මම කිව්වේ ඌ දක්ෂයි කියල...

      Delete
  10. ඔපීසියෙ වැඩ නිසා දිග කතා කියවන්න අමාරුයි. ඒත් මේක නම් කියෙව්වා.. නියමයි බං කතන්දරයක් කියෙව්වා වගේ...
    ජයවේ අම්බලන් සහ හිතාදර බඩතඩියා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්නේ ....

      Delete
  11. ගෙඳවාන ගල තියන පොට් එකනම් නියමයි මචං.කතාව කියවනකොට කොල්ලොත් එක්ක ගිය ගමන් මතක් වෙනවා.ට්‍රිපක් එහෙම ගියාම පිස්සු ලෝකයක් ඒ දවස් ටිකට.ඒ සෙට් එකට මැච් වෙන්නේ නැති එකෙකුටනම් ගමන එපා වෙනවා.බඩ තඩියා වගේ කෑම කන්නම උපන් එකෙක් අපේ බජාර් එකෙත් හිටියා.බොන්න පුලුවන් එකෙකුත් වෙනම හිටියා.

    ReplyDelete
    Replies
    1. කෑම කන්නම උපන් එකා මනෝ මන්දර වන මම බවත්, බොන්න පුලුවන් එකා වෙන එකෙක් බවත් සලකන්න.
      -මනෝ මන්දිර-

      Delete
    2. යකෝ ප්‍රසා.උඹ ටක්කෙටම ඕක දැනගත්තේ කොහොමද ?.

      Delete
    3. දේවාල දාගන්නකොට දෙයියන්ට වැඩිය අපිට පේන කියන්න පුලුවං වෙන්න එපැයි.

      Delete
    4. ඒ කියන්නේ මනෝත් සුපිරි කෑම් කාරයෙක්ද ... කපුටු ලග්නේ උපන් එවුන් කොතනත් ඉන්නවා බන්.. කොච්චර කෑවත් නිවෙන්නේ නැහැ උන්ගේ බඩගින්න...අපේ බඩ තඩියානම් දැන් ෆුල් ඔප්ෂන් වෙලා තියෙන්නේ කාපු තරමට...

      ගෙඳවාන ගලට යන්න ඉතින් පළපුරුදු එවුන් ඉන්න ඕන මචන්.. මේක කියවල පීනන්න බැරි එවුන් එහෙම ඒ පැත්තේ යනවා නෙවෙයි ඔන්න..

      ප්‍රසා උඹත් පේන කියන බිස්නස් එක පටන් ගත්තද ඒ ගමන..

      Delete
  12. මට තියෙන එකම ගැටලුව උඹ ලංකාවට ඇවිත් ඉන්නේ කොහොමද කියන එක, උඹ යන යන ටැනට ඌ අවා වගේම උඹ ගත්තේ උගෙන් අවවාද හා ආදර්ශ, උගෙන් පස්සේ උඹනේ පන්තියෙන් පරස්ථාවක් කරගතේ, එඑ වගේම ලීටර 2 බීම එඑ දවස්වල තිබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන වැඩිය හිතන්න එපා බං.ලීටර් දෙකේ ගැලුමකට දාලා අරගෙන ගිහින් තියෙන්නේ කියලා හිතාගෙන කතාව විතරක් කියවපං.එහෙන් මෙහෙන් එකක් දෙකක් මිස්ටේක් වෙනවා තමයි අපි කාටත්.

      Delete
    2. ඒ කාලේ තිබ්බේ ලීටර් එකහමාර නේන්නම්... ඊළඟ පොස්ට් එක උඹ ගැන ලියන්න වෙයි වගේ... හැක් .. හැක් ..

      ස්තුතියි මනෝ උඹ මා වෙනුවෙන් ඉදිරිපත් උනාට...

      Delete
    3. මනෝ සහෝදරයා, ස්තුතියි මට ඒ ගැන තේරුම් කරලා දුන්නට. මම දන්නේ නෑ ලීටර දෙකේ ගැලුම් ගැන, ගැලුමට ලීටර් 4.5 ක් තියෙනවා. එහෙමනම් එක වෙන්නේ ලීටර 2 බුලියක් කියල, මට කියන්න තියෙන්නෙත් ඔය මට කියපු කතාවම තම.

      Delete
    4. ප්‍රමානය නෙමෙයි බං මම කියන්නේ.ගැලුමට ලීටර් 4.5 ක් උනාට පොඩි බුලියකටත් ගැලුම කියන එක ව්‍යහාර කරනවා නමක් විදියට.හරියට හැම සෙරෙප්පු වර්ගයකටම බාටා කියනව වගේ.

      Delete
    5. නුවන්.. උඹ කමෙන්ට් එක දාපු වෙලාව අනුව මට ඉවෙන් කියන්න පුළුවනි ඒ වෙලාවේ හැටියට උඹට ලීටරෙත් දෙක වෙලා පේන වෙලාවක් කියල...

      මනෝ ... අපේ නුවන්ට රෑ 8 පනිද්දී මතකයට එන්නේ ලීටර්, මිලිලීටර් විතරයි... ඒකයි මේ ලීටර් ප්‍රශ්නයට රෑට විතරක් උත්තර ලියන්නේ... ඕකට දවල් දවසේ පෙන්නේ කොම්පියුටර් කෑලි විතරයි... රෑට ලීටර්, මිලිලීටර් විතරයි... දවල් වරුවක කමෙන්ට් එකක් දැම්මොත් අපි ලීටර් මිලිලීටර් ප්‍රශ්නය විසඳමු..

      Delete
    6. එතකොට බැරල්, මේ අපේ කතා රචකයා අපිට ගේන්නේ ලීටර 2.5 ඒවා,
      මනෝ සහෝ දෙයක් නිවෙරදි කරනවානම් එක නියම ආකාරයෙන් කරන්න, එකෙත් කැලි ඉතුරු කරන්නේ නැතිව. ගැලුම ගෙන දනගන්න ඕනනම් අහන්න පොඩි එකෙකුගෙන්.

      Delete
    7. අම්බන්ගොඩ
      මචං උඹ ඩ්‍රැකියගේ බිලොග් එකට ඇවිල්ලම නෑනේ.
      මෙන්න අලුත් පෝස්ට් එක

      Delete
    8. අපොයි නැහැ බන්.. මම ඩ්‍රැකියගේ බිලොග් එකට ඕනෑතරම් කමෙන්ට් කරලත් තියෙනවා... ඔන්න අලුත් පොස්ට් එකට කමෙන්ට් එකක් දැම්ම.. ඩ්‍රැකිය මගේ බ්ලොග් රෝලේ ඉන්නවනේ බන්..

      Delete
    9. ඒකනේ.මම බැලුවා උඹ මොකද පරක්කු කියලා.ඔන්න අපේ නඩේම අද එතන

      Delete
  13. එළ කතාව මචං...
    අතීත සිද්ධි කීපයක්ම මතක් උනා මේක කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්.. ඔය මතක්වෙන සිද්දි ලියහන් අපිටත් දැනගන්න එක්ක..

      Delete
  14. ෂා... මාර ඇඩ්වෙන්චර්නෙ.........හැබැයි පීනන්න බැරිව යන එකේ ලොකු අනතුරක් තියනව. ඒ හරියෙ මුහුද ගොඩක් ගැඹුරුද ? මගෙත් යාලුවෙක් ඉන්නවා ධර්මාශෝකෙටගිය ඒ ගොල්ලන්ගෙ මහගෙවල් තියෙන්නෙ එඩේරමුල්ල පාර කියන හරියෙ... මිනිහගෙන් අහල බලන්න ඕනෑ ගෙඳවාන ගැන.

    ඔය බෙල්ලො ලොකු එවුන්ද ? පොඩි එවුන්ද ?

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් කරලා තියන චමිලයා ඉන්නකං බයක් නැහැ බන්.. සහතික, සම්මාන මිටි ගණන් තියෙන්නේ ඕකට ලයිෆ් ගාර්ඩ් විදිහට... බතලයත් සම්මානලාභී ලයිෆ් ගාර්ඩ් කෙනෙක්නෙ.. එඬේරමුල්ල කියන්නේ මුහුදට විනාඩි දහයෙන් පයින් යන්න පුළුවන් දුරක් බන්.. ඌ ගෙඳවාන ගැන උඹට කියල දේවි .. එත් උඹලාට පීනන්න බැරිනම් ගෙඳවානේ යාම මම අනුමත නොකරමි හොඳේ... සාමාන්‍ය බෙල්ලෝ බන්.. තම්බලා කන එවුන්..

      Delete
  15. සුපිරියි බන්.......... මම මුහුද ඇළ දොළ ගංගා ඇලජික් එකෙක් උනත් නියමෙටම රසවින්දා.......

    ReplyDelete
    Replies
    1. පිටසක්වල ජුන්ඩා පොස්ට් එකේ මගේ යාලුවට වගේ උඹත් වතුර ඇලර්ජික් එකෙක් නෙවෙයි නේද... ස්තුතියි බන් හැමදාම එම පැත්තේ එනවට..

      Delete
  16. ලස්සනයි මිත්‍රයා. අපට එහෙම ලැබිලම නෑ.

    ReplyDelete
    Replies
    1. අපිත් මෙව්වා ගෙවල් වලට හොරෙන් ලබාගතපුවා බන්..

      Delete
  17. නියමයි බං චිත්‍රපටියක් වගේ.රූප මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ.

      Delete
  18. මගේ පොඩි එකාට කියවීම ඇලජික්ය, නවීන ගැජට් කාරයෙක් වෙන ඌට අපි පුංචි කාලේ කියවපුවාම කියවන්න නිර්දේශකර ඇත්තේ අජ්ජාපන විසේෂඤයින්ය, ඉතින් උෟ නොකියවීම මට අරුමයක් නොවුනත් ගෙදර විසුමක් නම් නැත.

    අම්බලන්ගොඩයෝ උබේ මේ කතන්දරේනම් ඌ කියවනු සිකුරුය, මේකේ එක්ස් 3 කතන්දර එහෙම තිබේදැයි එහෙන් මෙහෙන් ස්කෑන් කරලා බැළුවා ටෙස්ට් එක පාස්ය, විශෙෂයෙන්ම අර ඩොගී හැඳින්වීම කීප සැරයක්ම ස්කෑන් කරා.
    ලියවිල්ල අපූරුය.

    මේක කොටස් කීපෙකට කඩලා ප්‍රින්ට් කරලා පොඩි එකාට කියවන්න දීමෙන් උබේ අර මොකද්ද හිමිකම් කඩ නොවනු ඇතයි සිතමි

    ලියවිල්ල පට්ටය, පවුලේ සැමට කියවීමට එකට සිට කියවීමට සුදුසුයි කියලා උඩින් ලෝගෝ එකක් වගේ එකක් දාන්න පුළුවනිනම් අපූරුය, එතකොට ස්කෑන් කරන්න දඟලන්න වෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවාට.. මේ බ්ලොග් එක විශේෂයෙන්ම ලියවෙන්නේ අපේ දරුවන් වෙනුවෙන්.. අපි අපේ ළමා කාලයේදී ටී බී ඉලංගරත මහත්තයාගේ විලම්බීත, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දූව වගේ නොයෙක් පොත්පත් වලින්, අපිට කලින් පරම්පරාවේ ළමා කාලය ගැන කියවන්න ලැබුනා.. දැන් අපේ වගකීම තමයි අපේ ළමා කාලය ගැන කොතන හෝ සටහන් කර තැබීම... මේ ලියවෙන්නේ අපේ ඒ ඉතිහාසය.. සහතික කරලා කියන්න පුළුවනි අසභ්‍ය කිසිම දෙයක් මේ බ්ලොග් එකේ නැහැ වගේම අසභ්‍ය දේවල් ලියන්න බලාපොරොත්තුවකුත් නැහැ.

      Delete
  19. අන්න කොල්ලෝ..................... ඒ කාලේ කෙලපු පිස්සු මතක් වුණා බං... සුපිරියි

    ReplyDelete
    Replies
    1. කවියෙන් හරි ලියහන් අපිටත් කියවන්න..

      Delete
    2. අනිවා................ අපි ඉතින් මොක කරත් කවියෙන් නොවැ.....

      Delete
  20. කතාව ලියලා තියන විදිහ නම් මරු.කම්මැලි නැතිව එක දිගට කියෙව්වා..අද ළමයින්ට මේ වගේ අත්දැකීම් නෑ..සිලබස් එක බර වැඩි.ජීවිතවල මානුෂික පැත්ත අඩුයි.එකෙක් මරලා හරි වභාගෙ පාස් වෙන්න තමා බලන්නෙ.
    හැබෑට අම්බලන් අයියෙ ඒක නම් මරු ට්‍රිප් එක නේද..ඇත්තටම දවසක ගිහින් ගෙදවාන දූපත බලලා එන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාව හරි.. අද කාලේ ළමයින්ට තියෙන්නේ තරඟයක් විතරයි.. අද කාලේ ළමයි අපේ කාලෙට වඩා උගත් කමින් වැඩි උනාට සාපෙක්ෂන්ව බැලුවොත් බුද්ධිමත්කමින් අඩුයි.. හැමතැනම තියෙන්නේ විභාග වලට සුදානම් කිරීමේ අද්යාපන ක්‍රමයක්. ළමයින්ට ජීවිතේ උගන්වන්න කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. දහම්පාසලත් තවත් එක විභාගයකට ළමයි සුදානම් කරන තැනක් වෙලා.. කියවීම කියන දේ ළමයින්ට පුරුදු කෙරෙන්නෙම නැහැ.. අන්තිමේ ඉතුරු වෙන්නේ කිසිම දැක්මක් නැති, බුද්ධියක් නැති උගත් ජීවීන් පිරිසක් විතරයි..

      ඔයාල ගෙඳවානේ ගියොත් තේරෙයි කරෝල වේලනවා කියන්නේ මොකක්ද කියල.. අම්බලන්ගොඩ වෙරළාසන්නයේ දන්නා කියන හිත මිතුරන් ඉන්නවනම් ගිහින් බලන්න.. මාදු ගඟේ බෝට්ටු සවාරියක් ගිහින්, ගලගොඩ පන්සලටත් ගොඩ වෙලා (ආසියාවේ දිගම සැතපෙන බුදු පිළිමය තියෙන්නේ ගලගොඩ පන්සලේ ), මුහුදේ තියන ස්භාවික පූල් එකේ නාලා එහෙම එන්න පුළුවනි. හැබැයි මතක තියාගන්න ගෙඳවානේ යනවනම් ලයිෆ් ජැකට් නැතුව යන්න එපා.. එව්වා ඉතින් කොහෙන් හරි හොයාගෙන අරන් යන්න වෙයි.

      Delete
  21. බඩ තඩි නැතත් බඩ තඩි වර්ෂන් මෙහෙත් ඉදි... හැක්...
    බෙල්ලො බ්ලාහ්... උංනෙ මුතු නැතද බං අමුතු බෙල්ලොද
    මරු ඈ....

    ReplyDelete
    Replies
    1. හැක් .. හැක් ...බෙල්ලෝ කියන්නේ මෙන්න මෙව්වා බන්..

      http://www.monahansseafood.com/wp-content/uploads/2013/06/mussels.jpg

      Delete
  22. එල ද බ්‍රා මචං
    වෙලාවක එතන සෙට් වෙන්න පුලුවන්නම් එල

    ReplyDelete
    Replies
    1. ගිහින් ඇවිත් ගොඩ සෙට් වෙයන්.. බීලා නම් වතුරට බැසීම ලොකු අවදානම් දෙයක් බන්..

      Delete
  23. මගේ කෙල්ලො ටිකට යන්න ඔනලු..උඔව සම්බන්ද කරගන්න මේලක් විදින්නම්

    ReplyDelete
    Replies
    1. මේලයක් එවපන්කෝ බලන්න.. polwattacom@gmail.com
      වාරකන් කාලෙට ( ඒ කියන්නේ මුහුද සැර කාලෙට ) යන්න අමාරුයි.. මුහුද සැර නැති කාලෙට උදේ කාලෙක තමයි යන්න ලේසි..

      Delete
  24. මරු සීන් එක බං. මං මේක කියෙව්ව ඊයෙ. කමෙන්ට් එකක් දාලා නෑනෙ...

    ReplyDelete
    Replies
    1. තැන්කු ඩ්‍රැකී.. කාලය ලැබෙන විදිහටනේ ඉතින් කියවන්න ලැබෙන්නේ අපි හැමෝටම..

      Delete