Tuesday, December 29, 2015

නමක් නැති කතාවක් 8







අම්මේහ් .. 

අම්මේහ්... මගේ ඔලුව...

ඩොක්ටර්... ඩොක්ටර්... පහේ ඇඳේ  ලෙඩාට  සිහිය ඇවිත්...

අම්මේහ් ................. අම්මේහ් .. 

ඔයාට මාව ඇහෙනවද..

අම්මේහ් ... මම මේ කොහෙද ඉන්නෙ ..

ඔයා ඉන්නේ ඉස්පිරිතාලෙ .. ඔයාට මාව ඇහෙනවද..

හ්ම්....

ඔයාගේ නම මොකක්ද..

මගේ නම..... මගේ නම.............සු..සුභාෂ්..

හරි.. සුභාෂ් ඇස් ඇරලා බලන්න මාව පේනවද කියල..

අමාරුවෙන් දෙනෙත විවුර්ත කල සුභාෂ්ට දකින්න ලැබුනෙ හැල්මේ කැරකෙන විදුලි පංකාවක් සහ තමුන් වටේ වටවෙලා ඉන්න හෙදි පිරිසක් .. 

වහා නැගීසිටින්නට උත්සහ කල සුභාෂ් වාරු නැති ශරීරය ඇඳටම තබා තදකරමින් කරුණාවන්ත පිරිමි හඬක් සුභාෂ් වෙත අවවාදාත්මක විදානයක් නිකුත් කෙරුනා 

පුතා මම ඔයාගේ ඩොක්ටර්..නැගිටින්න උත්සහ කරන්න එපා .. ඔලුව හොලවන්න එපා ඔයාට රිදෙයි.. ඔයාගේ නළල තුවාල වෙලා තියෙන්නේ..

අමාරුවෙන් ඇස් ඇර වටපිට බැලු සුභාෂ් අනුමාන කළා හෙදියන්ට අමතව සිටිනා පිරිමි පුද්ගලයා වෛද්‍යවරයා වියයුතුයි යනවග. අපැහැදිලි දර්ශනයන් සමගින් දර්ශන තලය මදින් මද පැහැදිලි වෙද්දී නළල දෙසින් නැගෙන්නාවූ දරාගත නොහැකි වේදනාව නැවතත් දැනෙන්නට වූ නිසාවෙන් සුභාෂ් අතින් තම නළල අතගාන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් වෛද්‍යවරයා නැවතත් හඬ අවධි කළා ..

සුභාෂ් ඔයාට සේලයින් එකක් දෙනවා අපි.. ඒ හින්ද අත හොලවන්න එපා පුතා..

මේ කොහේ ඉස්පිරිතාලෙද ඩොක්ටර් ..

මේ බලපිටිය ඉස්පිරිතාලේ පුතා.. ඔයාට මතකද ඔයාට මොකද උනේ කියල..

මට වතුර ටිකක් දෙනවද බොන්න..

නර්ස්.. පේෂන්ට්ට වතුර ටිකක් දෙන්න..

බෝතල් මූඩියක් වැනි යමකින් සුභාෂ්ගේ මුවට සැපයුණු වතුර ඇබිත්ත අධික පිපාසයක් දැනෙමින් තිබු සුභාෂ්ට යන්තමින් වත් සෑහුණේ නැහැ..

තව ටිකක්..

පුතා ඔයාගෙන් හුඟක් ලේ ගිහින් තියෙන්නේ.. අපි තව ටිකකින් තව වතුර ටිකක් බොමු.. ඔයාගේ එක්ස්රේ ඒක ආවයින් පස්සේ ඒක බලල වතුර බොමු..

මට... මට මොකද උනේ..

හරි දැන් මතක් කරන්න වෙහෙසෙන්න එපා සුභාෂ් ..... අපි පස්සේ කතාකරමු පුතා...

මගේ ඔලුවට මොකක්ද ඩොක්ට වෙලා තියෙන්නේ..

ඔයාගේ නළල ටිකක් පැලිලා තියෙන්නේ පුතා.. ලොකු තුවාලයක් නෙවෙයි.. අපි එක්ස්රේ රිපෝර්ට් එක ආවාම බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියල ..

ඔයාට මොනවද දැනෙන අමාරු පුතා ..

මගේ...මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..

තව මොනවද සුභාෂ්ට දැනෙන අමාරු..

වෙන මොකුත් අමාරුවක් දන්නේ නැහැ ..

සුභාෂ්ට වමනෙට එනවා වගේද..

කරකැවිල්ල වගේ දැනෙනව .. වමනෙ එන්නේ නැහැ..

සුභාෂ්ට පුලුවනිද මා එක්ක තව ටිකක් කථා කරන්න.. අමාරුනම් අපි පස්සේ කතාකරමු...

පුළුවන් ඩොක්ට.. මම ඇස් පියාගෙන කතාකරන්නද ඩොක්ට..

කමක් නැහැ පුතා ..

මට ගෙදර යන්න ඕන ඩොක්ට...

ඔයාට දැන් ගෙදර යන්න බැහැ පුතා... ඔයාගේ ගෙදර ටෙලිෆෝන් නොම්බරේ මතකද ඔයාට...

ගෙදර නොම්බරේ... ඔව් ඩොක්ට... න් ...නෑ ..නෑ  ඩොක්ට.. ග් ..ගෙදර ටෙලිෆෝන් නෑ ...

හොඳයි එහෙමනම් සුභාෂ් දන්නවද ඥාතියෙකුගේ හරි අහල පහල ගෙදරක හරි ටෙලිෆෝන් නොම්බරයක්..

න් ...නෑ  ඩොක්ට... අහල පහල ටෙලිෆෝන් නැහැ කාටවත්..

සුභාෂ් කොහෙද පදිංචිය ..

අම්බලන්ගොඩ ඩොක්ට..

හොඳයි.. අම්බලන්ගොඩ කොහෙද...

ම් ..............................................

හොඳයි සුභාෂ් ඔලුව වෙහෙසන්න එපා.. අපි පසුව ලිපිනය ලියාගමුකෝ...

සුභාෂ්ට මතකද නළල තුවාල උනේ කොහොමද කියල...

ම් ................................................

ඔයාට කව්රුහරි ගැහුවද පුතා... බය වෙන්න එපා.. ඔයා දැන් ඉන්නේ ආරක්ෂාකාරී තැනක.. ඔයාට කව්රුහරි ගැහුවනම් මට පුළුවනි රෝහල් පොලිසියට කියල එයාලව අත්අඩංගුවට ගන්න..

ර් ......රෝහල් පොලිසිය.... න් .....නෑ  ඩොක්ට ම් ...මට ක්....කව්රුත් ගැහුවේ නැහැ...

එහෙනම් කොහොමද සුභාෂ්ගේ නළල තුවාල උනේ..

ම් ...........................මම  ක්...කකුල පැටලිලා වැටුනා ඩොක්ට...

කොහෙදිද...

කොහෙදිද.......න් ....නගරසභාවේ පිට්ටනියේ පඩිපෙළේ  ඩොක්ට...

එතකොට කොහොමද සුභාෂ්ගේ කමීසේ ඉරුනේ..

කමීසේ...ද් .. දන්නේ නැහැ ඩොක්ට... මට වතුර ටිකක් දෙනවද ...

මම හිතන්නේ සුභාෂ් මට මොනවහරි හංගනවා කියලයි...අපි තව ටිකක් පස්සේ වතුර බෝමුකෝ.. 

දැන් වෙලාව කීයද ඩොක්ට..

දැන් රෑ හතහමාරයි පුතා..

හ් ..හතාමාරයි....මට ගෙදර යන්න ඕන ඩොක්ට..

අද ඔයාට ගෙදර යන්න බැහැ පුතා.. අපි හෙට උදේ බලමු ආ ...

එහෙමනම් මට තව ටිකකින් මතක් කරල ගෙදර ලිපිනය දෙන්නකෝ... මම රෝහල් පොලිසියට කියල ගෙදරට පණිවිඩයක් යවන්නම්.. දැන් ටිකක් විවේක ගන්නකො..

ර්ර්ර් ...රෝහල් පොලිසිය....හ ..හා ඩොක්ට...මම මතක් කරල කියන්නම්..

සර්  සේලයින් එක ඉවරයි.. තව එකක් දෙනවද ..

ඕන නැහැ .. දැන් ඕක ගලවන්න.. කන්‍යුල එක තියන්න රෑට එකක් දෙන්න ඕන උනොත්..

හා සර්..

මේට්‍රන්ට කියන්න මම ක්වාටස් එකට ටිකක් යනව හදිසියක් උනොත් කෝල් කරන්න කියල..

හොඳයි සර්..

සුභාෂ්ට අමාරුවක් උනොත් මේ නර්ස්ලාට කතා කරලා කියන්න ඕන හොඳද ..

හොඳයි ඩොක්ට ..

වෛද්‍යවරයා එතනින් නික්මගියායින් ප්‍රශ්න ඇසීම එතකින් අවසන් වුනා.. සිදුවූ සියල්ල චිත්‍රපටියක් මෙන් සුභාෂ්ගේ මතකයේ යලි ආවර්ජනය වෙමින් තිබුනත් සිදුවූ සත්‍ය සිදුවීම අනාවරණය කිරීම තුලින් ඇතිවන්නාවූ ප්‍රතිපල ගැනද සුභාෂ් සිතමින් උන්නා. තමුන්ට පහරදුන් පිරිසට දඬුවමක් ලබාදීමේ අවශ්‍යතාවය තදින්ම දැනුනත් සිදුවීම පැමිණිල්ලක් ආකාරයෙන් පොලිසියට දැන්වුවහොත් එහි අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඖෂදීට යම් අපහසුතාවයක් ඇතිවේදෝ යන සැකය  සුභාෂ්ව මන්දෝත්සාහී බවට පත්කලා. 

වහලේ එල්ලෙමින් වේගයෙන් කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙන කල්පනාවේ නිග්මන්ව උන් සුභාෂ්  උගතෝකෝටිකය  විසඳිය නොහැකිව වික්ෂිප්තව බලා සිටියේ දැන් ගෙදරට කුමක් කියන්නද යන්නයි. දැවෙන ප්‍රශ්නයට උත්තරය  රෝහලින් එලියට පැන ගෙදර යාම වුවත් එවන් හිතුවක්කාර තීරණයක් ගැනීමට තරම් ගතේ වාරුවක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. 

සියල්ලටම යටින් සුභාෂ්ගේ සිතේ පවතී අනෙක් ප්‍රශ්නය නම් ඔවුන් ඖෂදී සම්භන්ධව එවන් කතාවක් කීවේ ඇයිද යන්න වුවත් කොල්ලන් තමුන් යාලුවීමට අදහස් කරන්නාවූ  ගැහැණු දැරිවිය වටා කැරකෙන අනෙකුත් පෙම් කුරුල්ලන් කුමන හෝ ආකාරයෙන් මර්දනය කිරීමට උත්සහ දැරීම එක්තරා ආකාරයක ආරක්ෂක උපක්‍රමයක් හෙයින් සවස සිදුවීම සහ තමා පහරකෑමට ලක්වීම එවන් ආකාරයේ තුන්වන පන්තියේ ආරක්ෂක උපක්‍රමයක් දෝ යන්න සුභාෂ් තම හිත සමග තර්ක කරමින් උන්නා. ඖෂදී එම පුද්ගලයා සමග පෙමින් බැඳීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවට සුභාෂ්ගේ යටිහිත අවධාරණයෙන් පවසා සිටියත් වචනයෙන් විස්තර කල නොහැකි දුකක් සුභාෂ්ගේ හිතට දැනුනේ සුභාෂ්ට සිහිය ආ මොහොතේ සිටන්.. 

කුමක් කලයුතුද යන්න පැහැදිලි අදහසක් නොමැති වුවත්  පහරදීමට මුල් වූ පුද්ගලයා සමග ඖෂදී කීයටවත් සම්භන්ධකමක් පැවැත්විය නොහැකි අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් ගණයට වැටෙන්නාක් යන විශ්වාසය සුභාෂ් වෙත වුවා. අද්යාපනික, සමාජයීය තත්වයෙන් ඖෂදී හා සංසන්දනය වීමට කිසිදු සුදුසුකමක් නොතිබූ පුද්ගලයකු හා ගැටීමට සිදුවීම ගැන සුභාෂ් වෙත පැවතුනේ කලකිරීමක්. 

තරහක්, කලකිරීමක්, කේන්තියක් ඔහු වෙත පැවතියත් ඔවුන් සමග තවදුරටත් රණ්ඩුවට නොයායුතු යන ස්ථාවරය හිතේ ධාරණය කරගත් සුභාෂ් පරාජය පිළිගෙන පසුබා සිටීමට තීරණය කලේ ගහමරාගැනිල්ල අවසානයේ ලැජ්ජාවට පත්වන්නේ ඖෂදී නිසා. මෙතෙක් කල් පනමෙන් රැකගෙන ආ කුළුඳුල් ආදරය වෙනුවෙන් ලැබුනා වූ ගුටි ප්‍රහාරය අමතක කර දමා දීර්ග සුසුමකින් ලය සැහැල්ලු කරගත් සුභාෂ් ඊළඟට හිතන්නට වුයේ රෝහලින් පැන ගෙදර යන විදිහක් ගැන..

හිසේ පවතින කැක්කුම අසීරුවෙන් අමතක කර දමා හිතේ වාරුවෙන් උඩුකය කෙලින්කොට ඇඳෙහි වාඩිවූ සුභාෂ් ඊළඟට උත්සහ කලේ ඇඳෙන් බැහැල හෙදි කාමරය දිහාවට ඇවිදින්න..

ඩොක්ට කිව්වා නේද ඔයාට ඇඳෙන් බහින්න එපා කියල..

දැන් මට හොඳයි මිස්.. මට ගෙදර යන්න ඕන..

ඔය ළමයට පිස්සු හැදීගෙන එනවද.. මෙහෙට ගේනකොටත් සිහිය තිබ්බේ නැහැ.. දැන් ගෙදර යන්න අහන්නේ මැරෙන්න ඕන  වෙලාද..

මට දැන් හොඳයි මිස්.. මට ගෙදර යන්න ඕන..

ඔයාට තාම වයස දහඅටක් වත් නැහැ නේද.. වැඩිහිටියෙන් නැතුව අපිට මුකුත් කරන්න බැහැ .. අනික එහෙම හිටියත් දොස්තර මහත්තය ටිකට් කපන්නේ නැතුව අපිට අවසර නැහැ ඔයාව ගෙදර යවන්න.. ගෙදර යවන්න තියා ටිකට් එකේ නම ගමවත් තාම හරියට ලියාගන්න විස්තරයක් දෙන්න බැරිවුණ ඔයා මේ පිස්සු කියවන්න එනවා.. කරුණා කරලා ඇඳට යන්න..

හෙදියගේ විරෝදයෙන් පසුබෑ සුභාෂ් නැවත ඇඳ වෙත ඇවිද ආවේ පරාජය අකමැත්තෙන් භාරගෙන. එහෙත් කුමන ආකාරයෙන් හෝ රෑ වීමට ප්‍රථම ගෙදර යා යුතුය යන සිතුවිල්ල හිතේ දෝංකාර දෙමින් පැවතියා..

මල්ලි මොකෝ කෙස් එක..

මට දැන් සනීපයි අයියේ.. ගෙදර යන්න ඇහුවේ.. කොහෙද අර මනුස්සය බෑ කියනවනේ..

ඇයි මොකද හදිසිය.. ටිකක් සනීප වෙලාම යන්න බැරිය..

බෑ අයියේ.. යන්න ඕන..

මල්ලියා.. මම උඹේ වයස පහුකරල ඉන්නේ.. උඹ මොකක් හරි ගේමක් ඇදගෙන කාගෙන් හරි කෑව නේද..

න් ...න් ....නෑ අයියෙ ...මේ.....

මේ.. මේ.. උඹ මට සුදුලූනු පොඩි කරන්න එපා කොල්ලෝ.. උඹ දොස්තරට ගොත ගගහ බොරු කියනව මම අහගෙන හිටියේ.. කියහන් මොකද උනේ..

පොඩි වලියක් ගියා අය්යේ.. දහයක් විතර මට වටකරන් ගැහුව ..

ඇයි මොකක්ද සීන් එක මල්ලි.. 

ඉස්කෝලේ කේස් එකක් අයියේ.. 

දැන් උඹ අඳුරනවද ගහපු එවුන්..

හ්ම් ...

ඉතින් ඇයි උඹ ඩොක්ට අහපු වෙලේ බොරු කිව්වේ..

ඔව්ව පොලිසි ගානේ අරන් ගිහින් බෑ අයියේ.. මට දැන් ඕන මෙතනින් මාරු වෙලා ගෙදර යන්න.. නැත්තම් ගෙදරින් කලබල වෙලා මේක ලොකු ප්‍රශනයක් වෙනව ..

ඉතින් ගෙදරට කියල පොලිසියේ ඇන්ට්‍රියක් දාල උඹට ගහපු එවුන්ට දීපන් පරිප්පුව.. දවස් දෙක තුනක් මෙහෙට වෙලා හිටහන්.. උඹේ ටිකට් කපනකම් උන්ට ඇප නෑ කොල්ලෝ..

අපොයි බෑ අයියේ.. ඒකනම් කීයටවත් කරන්න බෑ ..

උඹ උන්ට බයද ආයෙත් උන් උඹට ගහයි කියල..

අනේ නෑ අයියෙ .. මේක වැඩකට නැති කේස් එකක්..

අනිවාර්යෙන් මේකට කෙල්ලෙක් සම්භන්ධයි නේද.. අපි ඔය වයස පහු කරලා බන් ඉන්නේ..

න් ...නෑ .. අයියේ.. මේ..මේ........

උඹ ගොත ගහන්න ඕන නෑ බන්... කෙල්ල නිසා තමයි උඹ ගුටිකාලා ඔලු පලාගෙන මුකුත් නොකර නිකම් ඉන්නේ.. හරි.. දැන් මට කියපන් උඹට මගෙන් මොනවද කෙරෙන්න ඕන.. 

ගෙදරින් කලබල වෙලා මාව හොයන්න කලින් මට මෙතනින් එලියට පැනගන්න තමයි ඕන අයියේ..

තාම උඹේ ටිකට් එක ලියල නැහැ බන්.. මුන් දන්නේ උඹේ මුල් නම විතරනේ.. උඹට ගෙදර යන්න පණක් තියෙනවනම් කල්පනාව තියෙනවනම් හෙමින් සැරේ මාරුවෙලා පලයන් මල්ලි.. හැබැයි උඹ අහුවෙලා මාව එහෙම පාවල දෙනවා නෙවෙයි..

ඒකත් හරි තමා.. එත්..

ඇයි මොකද ඒත් කියන්නේ..

මේ ලේ ගෑවිච්ච ඉරිච්ච ෂර්ට් එක ඇඳගෙන එලියට යන්න බැහැනේ අයියේ..

උඹට ෂර්ට් එකක් ඕනෙද..

තියෙනවනම් ලොකු දෙයක් අයියේ..

ඉඳහන්  බලන්න..

සුභාෂ්ගේ ඇඳට අල්ලපු ඇඳෙහි අතක බැන්ඩේජ් සහිතව නේවාසිකව උන්  තරුණයා සුභාෂ් වෙත උදව් කිරීමට ඉදිරිපත්වීම සුභාෂ්ට මහත් අස්වැසිල්ලක් උනා. පිහිටක්, සරණක් නොමැතිව උන් සුභාෂ් නව පණක් ලද්දෙකු මෙන් බලාපොරොත්තු සහිතව බලා සිටින්නට වුනේ හිතවතා කමීසයක් ලබාදෙවිදෝ යන කුතුහලයෙන්.

ඉඳා ..මේක ඇඳන් පලයන්..

හුඟක් ස්තුතියි අයියේ..

අයිය මොකක් වෙලාද මේ නැවතිලා ඉන්නේ..

බස් කාරයෙන් ත්‍රීවිල් එකේ ඇන්න බන්.. අත ටිකක් තුවාල උනා.. හම්බුකරන් කාපු වාහනේ කුඩු..

වෙලාව තමයි අයියේ..මොනා කරන්නද.. ඉන්සුරන්ස් එකෙන් ලැබේවිද..

එහෙම තමයි මල්ලි හිතන් ඉන්නේ.. මේක හොඳ කරගෙන එපයි මොනා කරන්නත්..

හිතවතා විසින් සැපයු අත් දිග කමිසය, ඇඳ උන් ඉරීගිය ලේ සහිත කමිසය උඩින්ම ඇඳගත් සුභාෂ් ලැහැස්ති වුනේ රෝහලෙන් පැනයාමට..

එහෙනම් අයියේ මම ගිහින් එන්නද..

දැන් උඹ එන්නද යන්නේ..

මට නිකමට කියවුනා අයියේ.. අයිය කොතන ත්‍රීවිල් පාර්ක් එකේද ඉන්නේ..

ස්ටේෂන් එක ගාව පාරක් එකට ඇවිත් අහපන්කෝ අනුර කියල..

හරි අයියේ.. මම එහෙනම් හෙමින් සැරේ මාරුවෙන්නම්..

උඹට අමාරු කොහොමද දැන්..

ඔලුව රිදෙනවා විතරයි.. වෙන අමාරුවක් නැහැ..

සල්ලි තියෙනවද උඹ ගාව..කෝ මෙහෙට වරෙන් ඔය අතේ තියන සේලයින් කටුව ගලවන්න.. ඕක පිටින් ගියොත් උඹ මාට්ටු පුතේ..


ඔව් අයියේ.. තියනව..සාක්කුවේ පසුම්බිය තිබේදැයි තහවුරු කරගත් සුභාෂ් පිළිතුරු දුන්න..

ඔතන එළියේ තියන ත්‍රීවිල් වල නගින්න එපා උඹ .. දැන් උඹ මෙතනින් මාරු වෙලා කියල මුන් දැනගත්තාම මුන් ඉස්සෙල්ලම හොයන්නේ උන්ගෙන්.. උඹ උන් එක්ක ගියොත් රෝහල් පොලිසියෙන් හෙට උදේම උඹ හොයාගෙන ගෙදරට එයි.. ඒ හින්ද බස් හෝල්ට් එකට ගිහින් පාරේ එන ත්‍රීවිල් එකක නැගල පලයන්.. 

හොඳයි අයියේ.

බුදුසරණයි.. කාටවත් ඇහැ නොගැහි මාරුවෙයන්.. ඔතන වාට්ටුවේ ටොයිලට් එක ගාවින් වමට හැරිල පලයන්.. එතනින් ගියාම නර්ස්ල හිතන්නේ ටොයිලට් යනවා කියල..

හොඳයි අයියේ.. මම එහෙනං යන්නං ..

අවේලාවේ ලෙඩෙකු බලන්නට පැමිණි පුද්ගලයකු ආකාරයෙන් රෝහලින් එලියට ඇවිද ආ සුභාගෙන් දිස්වූයේ හිඟන ස්වරූපයක්. ප්‍රමාණයෙන් විශාල වූ කමීසයත්, පාවහන් නොමැති දෙපාත් සමගින් බස් නැවතුමේ රැඳී සිටි සුභාෂ්ගේ විධානයෙන් නතරවූ ත්‍රිරෝද රථය නැවත ධාවනය වුයේ නගරසභා ගොඩනැගිල්ල වෙත. සුභාෂ් එහි යන විටදීත් ඖෂදී සහ පිරිස විසින් පවත්වන ප්‍රසංගය අවසන්වී නොමැති වුවත් හිසේ පවතී වේදනාවත්, ප්‍රමාණයෙන් විශාල කමීසයත්, පාවහන් නොමැති දෙපාත් නිසා සුභාෂ්ට ඕන වුනේ ඉක්මනින් ගෙදර ගිහින් ඇඳට වැටෙන්න. සාක්කුවේ සුරක්ෂිතව තිබු බයිසිකල් යතුර ගෙන බයිසිකලයේ ලොක් එක විවුර්ත කරගත් සුභාෂ් බයිසිකලය තල්ලු කරගෙන නිවස දිහාවට පියමනින්නට වුනේ බයිසිකලය පැද යාමට ඇඟෙහි ශක්තියක් නොමැති වූ නිසා. 

මාරුවෙන් මාරුවට සවස සිදුවීම ගැනත් ඖෂදී ගැනත් හිතමින් සුභාෂ් නිවස දෙසට ඇවිදගෙන ගියේ ඇඟේ හයියට නෙවෙයි හිතේ හයියට. එත් ඊට අමතරව ඖෂදී සම්භන්ධ සිදුවීම් දාමයක කාලාන්තරයක් තිස්සේ හිතේ හිරකරගෙන හිටි දුක්ක දෝමනස්සයන් සියල්ලම කඳුළු ධාරාවන් දෙකක් විදිහට සුභාෂ්ගේ ඇස්දෙකෙන් ඉවතට ගලායමින් තිබුන. වෙල් යායක් මැදින් වැටිච්ච පාරෙ තිබ්බ පුංචි පාලමක් අයිනේ බයිසිකලය හේත්තු කරපු සුභාෂ් ඈත වෙල්යාය දිහා බලාගෙන හිතේ දුක තුනීවෙන්න ඉකිගහල අඬන්න වුනා. අවුරුද්දක් පුරාවට ලැබිච්ච හිත්රිදවීම් සියල්ලම හිතෙන් කඳුළු බවට පත්වෙලා දෝරෙ ගලමින් තිබුන. ඉකිහසමින් හඬාවැටුන සුභාෂ් අඬනව අහන්න ඒ පාලු මුසල වෙල්යාය පුරා හිටියේ කණාමැදිරි විතරයි... 


රෑ  තාරකා මල් විමානයේ 
මා නෙත් පුරා රඟනා කලේ 
සුකුමාල මනලෝලියේ 
රිදවන්නදෝ රාත්‍රියේ 
ඔබ හිනැහෙන්නේ මගේ සිහිනයේ 

දෑතේ ඔබේ දෑතක් රැඳේ  
ආලේ හැඟුම් වේදනා ගෙනේ 
දඟකාර නෙතු මා දිහා 
නොහෙලන්න මදහාස පා 
මට ලංවී හිඳියි වේදනා

ප්‍රේමාරාධනාවේ 
කව්රුන්ද මධු සාදයේ 
පිළිගන්නේ මධු මාලියේ 
මට රිදවන්නේ මේ රාත්‍රියේ 


Sunday, December 20, 2015

නමක් නැති කතාවක් 7




පලවෙනි කොටස මෙතනින් 

හයවෙනි කොටස මෙතනින් 

සුභාෂ්....... හූ ....මෙන්න සුභාෂ්ගේ කෑල්ල යනවෝ...

සුභාෂ්... සුභාෂ්...

ඖෂදී..... සුභාෂ් ඔයාට ලව්ලු....

හා හා සුභාෂ්.... හා ...හා   සුභාෂ්.....

ඖෂදී ඔයා මගේ පන ඩාලින් ...

ඖෂදී සුභාෂ්ට ඔයාව බඳින්න ඕනෙලු.. 

අනේ මගේ ඖෂදී මං ඔයාට ආදරෙයි සුදෝ ..

විවේක කාලයේදී සුභාෂ්ගේ පන්ති සගයින් ඉන්න ආසන්නයෙන් ගිය ඖෂදීට පන්තියේ කාලකන්නි රංචුව විහිළු කරනවා සුභාෂ් බලන් හිටියේ හරිම අසරණ බැල්මකින්. පුළුවන් උපරිම වේගයෙන් මිතුරියවත් අතින් ඇදගෙන ඖෂදී එතනින් ඉවතට දිව්වත් කොල්ලන් කියපු දේවල් ඖෂදීට ඇහුන බව සුභාෂ් දැනගෙන උන්න. එත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

අවුරුද්දකට ආසන්න කාලයක් උත්තරයක් නැතුව දවසින් දවස කල් යන ඖෂදී සම්භන්ධ ප්‍රශ්නය නිසා සුභාෂ් මානසිකව වෙහෙසට පත්වෙලා ඉන්න බව සුභාෂ්ට නොදැනුනා නෙවෙයි. ළඟ ළඟ එන සාමාන්‍ය පෙළ විභාගය මතක් වෙන වෙලාවට පොතක් පාඩම් කරන්න හිතුවත් පොත කියවීම ඇරුනාම විෂය කරුණු රැඳෙන්න තරම් ඉඩක් සුභාෂ්ගේ ඔලුව ඇතුලේ තිබුනේ නැහැ. ඖෂදී පිලිබඳ මතක ඇරුනාම ඒ වෙද්දී සුභාෂ් කිසිම දෙයක් ගැන හිතුවෙම නැති තරම්. 

මොකෝ උඹ ගල් ගැහිලා 

සුභාෂ් පියවි ලෝකෙට ආවේ තුසිත සුභාශ්ව අමතන හඬින් 

වැඩක් නෑ බන් කථා කරලා.. පුදුම කලකිරීමක් බන් මුන් ගැන තියෙන්නේ 

යකෝ.. ඕක දැන් ඇදුන  ඇති .. මුන්ටත් කෙලින්ම දෙකක් අමතල ඖෂදී හම්බෙලා ඕක විසඳගනින් 

ඉන්ද්‍රජිත් කියනවනේ හම්බෙන්න කරදර කරන්න එපා කියල.. ඖෂදීට ලෙඩක් වැටුනොත් වැඩේ කණපිට ගැහෙනව කියල 

කණපිට ගැහෙන්න හරි නොගහෙන්න හරි වැඩේ දෙකෙන් එකක් බේරගන්න කාලේ හරි මස්සිනා .. මේ යන විදිහට මේ කාලකන්නි ඒකිට උඹේ නම කියල කෑගහන්න කෑගහන්න ඕක යන්නේ කණපිට තමයි බූරුවෝ ..

ඒක තමයි බන් මමත් මේ කල්පනා කරේ මොකක් කරන්නද කියල .. මේ කාලකන්නි කිව්වට අහන එකක්යැ  බන් ..

කියන්න ඕන යමක් තේරුම්ගන්න මොලයක් තියන උන්ට බන්.. මුන්ගෙ ඔලු ඇතුලේ මොලේ නැහැ යකෝ.. ඒ හින්ද මීට වඩා වැඩි සාධාරණයක් බලන් ඉන්න එපා..

උඹ කියන්නේ දැන් මට මොකක් කරන්න කියලද ..

මට උඹට කරන්න ඕන මොකක්ද කියල කියන්න තරම් දැනීමක් නැහැ උඹේ මගුල ගැන.. ඒත් කරන දෙයක් ඉක්මනින් කරපන් කියලයි කියන්න තියෙන්නේ ..

බලමු බන් ...

විවේකය අවසන් වූ හෙයින් එම සංවාදය එතකින් නිමා වුවත් පවතිනා තත්වය නිමාකරන්නට කාලය එළඹ ඇති බව සුභාෂ්ගේ හිතටත් දැනෙමින් තිබුන. දවසින් දවස අඩපන වෙන අද්‍යාපන කටයුතුත්, මගහැරෙන අද්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන දඬුවමුත්, හමුවෙන හැම වෙලාවකට ඇස්දෙක දිහා බලන් ඉන්න ඖෂදීත්, දීපු ලිපියට පිළිතුරු එනකම් ඖෂදී සමග කතා කරන්න එපා කියල තරයේ  අවවාදය දෙන ඉන්ද්‍රජිතුත් සුභාශ්ව පත්කළේ පැටලුන නූල් බෝලයක් හා සමාන තත්වයකට. පාසලේ ගතවෙන කාලය ඇතුලේ සුභාෂ් පියවි ලෝකයේ ජීවත් උනානම් ඒ විවේක කාලයේදී විතරමයි. ඒ ඖෂදී දැකගන්න , ඒ ඇස්දෙක දිහා බලන්න ලැබෙන එකම අවස්තාව විවේක කාලය පමණක් වෙන නිසා. 

කාලය කෙමෙන් කෙමෙන් ගතවීගෙන ගිහින් දින වකවානු ලං උනේ ඖෂදී සහභාගී වෙන සංගීත ප්‍රසංගය තිබෙන දවසට .

අද නේද උඹලගේ ෂෝ එක මචං ..

ඔව් බන් අද හවස තියෙන්නේ..උඹ එනවනේ බලන්න.. ඖෂදී සින්දු කියනවා බලන්න උඹ නෑවිත් ඉඳියිද  නේහ් ...

අනිවාර්යෙන් එනවා මචන්.. මම ෂෝ එක පටන් ගන්න කලින් ඖෂදීට කතා කරලා විශ් කරනව අද..

අනේ මේ .. උඹ පිස්සු කෙලින්න නම් ලැස්ති වෙන්න එපා හොඳේ.. 

ඇයි උඹ එහෙම කියන්නේ..

යකෝ.. මේ කලබල වෙලාවේ උඹ ගිහින් ඒකි වටේ කැරකිලා උඹේ පන්තියේ කාලකන්නි මෙතනත් ඒකට උඹේ නම කිය කියා කෑගහන්න ගත්තොත් ඒක ඖෂදීට හොඳ නැහැ.. ඒ හින්ද ෂෝ එක බලන්න එනවනම් ඇවිත් පාඩුවේ බලපන්..

මචන් ඉන්ද්‍රජිත්.. මේ වැඩේ දවසින් දවස කල් යනවනේ බන්.. මේක දැන් දෙකෙන් එකක් වෙන්න ඕන මචන්.. මට මේක මහා මානසික වදයක් බන්..

හරි මට තව සතියක් දියන් .. සතියක් ඇතුලත මම වැඩේ බේරලා දෙන්නම්කො ..

ශුවර්මද... නැත්තම් අද මම මේක දෙකෙන් එකක් කතා කරලා බේරගන්නද ..

උඹට ඕනෙනම් එහම කරලා නාගනින්.. හැබැයි ආයෙනම් මට නාහෙන් අඬන්න එපා හොඳේ..

හරි එහෙනම් මම තව සතියක් ඉන්නම්.. 

අන්න එහෙම ඉවසන්න පුරුදු වෙයන්.. මට සලකපන් ඉතින් වැඩේ කෙරුනාම..

ඇයි දැන් උඹට සලකනවා මදිද..

හරි එව වැඩක් නෑ .. මම යනව .. හවස වරෙන් ටවුන් හෝල් එක පැත්තෙ .. උඹේ කාලකන්නි යාළුවො නම් එක්ක එන්න එපා හොඳේ..

මම උන්ට ඉන්විටේෂන් දුන්නේ නැහැනේ බන්.. ආවොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ..

හරි බලමුකෝ.. පුළුවන් තරම් උන් කට් කරලා වරෙන්..

සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය එසේ අවසන් වුයෙන් සුභාෂ් නිවාස බලා බයිසිකලය පැද ගියේ සවස තිබෙන සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා නගර ශාලාව වෙත පැමිණීමේ බලාපොරොත්තුවෙන්. වැඩියම හවස් වෙන්න කලින් ලස්සන ඇඳුමකුත් ඇඳගෙන සුභාෂ් ලෑස්ති උනේ ප්‍රසංගය බලන්න යන්න.

කොහේ යන්නද අද මේ ලස්සනට ඇඳගෙන..

අද ටවුන් හෝල් එකේ ෂෝ එකක් තියනනවා අම්මේ.. ඒක බලන්න යන්න..

දැන් මොකක්ද ඔකේ තියන විශේෂත්වය ..

එහෙම විශේෂයක් නැහැ අම්මේ.. ඉස්කෝලේ ළමයි කරන එකක්.. ඇයි අම්ම එහෙම අහන්නේ..

නෑ  මේ  විශේෂයෙන් ඇඳපැළඳගෙන යන නිසා මම හිතුවේ මොකක් හරි විශේෂයක් ඇති කියල ..

අම්මට පිස්සු..

ඔව් මට තමයි පිස්සු.. විභාගෙට තව තියෙන්නේ දවස් කීයද.. ඕවම කර කර ඉන්නකෝ..

අම්ම කියපු දේට උත්තර නොදී සුභාෂ් එලියට බැස්සේ එතනින් එහාට තර්කය දිනන්න සුභාෂ්ට බැරි බව දන්න නිසා. පන්ති සගයින් සහ දන්නා කියන මිත්‍රයන් හමුනොවෙන පාරවල් වලින් බයිසිකලය පැදගෙන සුභාෂ් නගර ශාලාව ලඟට එද්දී නගර ශාලාව සෙනග පිරිච්ච තැනක්  බවට පත්වෙලා තිබුන. සෙනග අතරින් හෙමි හෙමිහිට ඇදිල ඉදිරියට ගිය සුභාෂ් කාටවත් වැඩිපුර ඇහැ නොගටෙන්න වග බලාගෙන සංගීත ප්‍රසංගය නරඹන්න ලැස්ති උනා. ඒ එක්කම උත්සවාකාරයෙන් සංගීත ප්‍රසංගය ආරම්භ වෙනවත් එක්කම සුභාෂ්ගේ පිටට කව්දෝ තට්ටු කරනවා දැනිල සුභාෂ් පසුපස බැලුව.

ඔයාද සුභාෂ් කියන්නේ මචන්..

ඔව්.. ඇයි ..

පොඩ්ඩක් එලියට යමුද.. මගේ යාලුවෙකුට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනෙලු..

මොකක් ගැනද..

ඔයා යමුකෝ එලියට.. ඔයාට වැදගත් පණිවිඩයක්..

සුභාෂ්ට පණිවිඩය අරන් ආපු කොල්ලත් එක්කම අමාරුවෙන් සෙනග අතරින් ඇදිල සුභාෂ් එලියට ආවේ මේ කියන්න යන්නේ කුමන ආකාරයක පණිවිඩයක්ද කියන ප්‍රශ්නාර්ථය ඔලුවේ පුරවාගෙන. සැන්දෑ කළුවරත් එක්කම අඳුරු වෙමින් පැවතුන පරිසරය වැස්සක් එන පෙරනිමිත්තක් පෙන්නුම් කරගෙන බලන් හිටිය. ප්‍රසංගය පටන්ගත් නිසාවෙන් නගර ශාලාව පිටත පැවතියේ ජන ශූන්‍ය තත්වයක්. තැන තැන නවත්වල තියන වාහනත් බයිසිකලුත් ඇරුනාම එලි පහලියේ කව්රුත්ම හිටියේ නැහැ.

කව්ද බන් මට දැන් එන්න කිව්වේ.. කෝ කව්රුත් නැහැනේ ..

හිටහන් ඩෝ  ඉවසල.. ඒයි ... මෙන්න මම මෑන්ස් අරන් ආව එලියට.. 

සුභාශ්ව නගර ශාලාවෙන් ඉවතට  කැඳවා ආ පුද්ගලයා ඈත සිටි පිරිසක් අමතමින් එසේ කියනු ඇසීමෙන් සුභාෂ්ට වැටහුනා මේ වෙන්න යන්නේ හොඳ දෙයක් නොවෙන බව.

මෙහෙට එක්ක වරෙන්..

මචන්.. අපි යමු අරුන් ඉන්න තැනට.. මගේ යාළුවා ඉන්නේ එතන.. එසේ කියමින් සුභාෂ්ගේ අතින් අල්ලාගත් නාදුනන පුද්ගලයා සුභාශ්ව රැගෙන ගියේ නගර ශාලාව ඉදිරියේ තිබෙන මහජන පුස්තකාලය ඉදිරියට.. එහි රැඳී සිටි පිරිසෙන් කිහිප දෙනෙක් පාසලේ පැසිපන්දු ක්‍රීඩකයින් බව හඳුනාගැනීමට සුභාෂ්ට ඒ තරම් අපහසුවක් වුයේ නැහැ. 

ඔයාද සුභාෂ් කියන්නේ .. පිරිස අතර සිටි කළු උස කොණ්ඩය කුරු පුද්ගලයෙක් සුභාෂ් වෙත ලං උනේ එසේ අසමින්..

ඔව්... ඇයි ..

ඔයා ඖෂදීට කරදර කරනවා කියල ආරංචි උනා.. ආයේ ඒව බෑ හරිද..

මම ඖෂදීට කරදර කරේ නැහැ කවදාවත්.. 

හරි ඒවායින් වැඩක් නෑ .. උඹ  ඖෂදී ගැන අදහසක් තියනවනම් එක මේ දැන් ඉඳන් අතෑරපන්  හරිද..

ඇයි ඔයා එහෙම කියන්නේ..

ඇයි ?  මම ඒක දැන් උඹට කියන්නම ඕනෙද..

අනිවාර්යෙන් කියන්න ඕන.. මොකද මම දන්නවා ඖෂදීට අයියල නැහැ කියල.. ඒ හින්ද ඔයා ඖෂදීගේ අයිය නෙවෙයිනේ..

මොකක්ද යකෝ තෝ කිව්වේ.. එසේ කියමින් ඔහු සුභාෂ්ගේ කමීස කොලරයෙන් අල්ලාගන්නවාත් සමගම අනෙකුත් තරුණ පිරිස සුභාෂ් වටේට වටවුනේ ක්ෂණිකයෙන්..

මොකද මචන් මූ කියන්නේ.. 

මූගේ කට ටිකක් වැඩියි වගේ .. 

බොට දැන් කිව්වනේ ඖෂදී  ගැන අදහසක් තියනවනම් අතෑරපන් කියල.. උඹට සිංහල තේරෙන්නේ නෑ වගේ නේද.. මේ තමයි ඖෂදීගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. උඹ ඕකට දඟලල වැඩක් නැති නිසයි අපි මේක උඹට  කියන්න කියල හිතුවේ.. උඹට සිංහලෙන් කියල තේරෙන්නේ නැත්තම් අපි බොට දෙමලෙන් කියල දෙන්නද..

දැන් ඖෂදී ගැන මම අදහසක් තියන් ඉන්නවනම් උඹල මට මොනවා කරන්නද..

කරන දේ හිටහන්  කරලම පෙන්නන්න පරයො .. ගහපියවූ මුට මැරෙන්නම ..

එසේ කියමින් පළමුව කතාවට පැමිණි පැසිපන්දු ක්‍රීඩකයා සුභාෂ්ගේ මුහුණට එල්ල කල පහරෙන් මුහුණ ඉවතට ගත සුභාෂ් එයින් බේරුනේ දශමයෙන්. දහයක් පමණ පිරිසක් සමග ගහගෙන දිනීමට තරම් ශක්තියක් සුභාෂ්ට නොමැති උනත් නිවටයකු සේ එතනින් පලායාමට සුභාෂ්ට උවමනා වුයේ නැහැ.

වටෙන්ම වදිනා ගුටි ප්‍රහාරයට අමතරව ලීයකින් වැනි තද දෙයකින් හිසට වැදුනා වූ තදබල පහරක් නිසා නළල අතගා බලු සුභාෂ් දැක්කේ මූන දිගේ බේරෙන රතුම රතු ලේ ගංගාවක්.. එතනින් එහා සුභාෂ්ට මතක තිබුනේ අවට පරිසරය අඳුරු වෙනවා කියල විතරයි.. 



කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා




අටවෙනි කොටස මෙතනින් 

Wednesday, December 16, 2015

ඩබල් ගේම් දෙන්නේ මෙහෙමයි..





ලියන්නට යන පෝස්ටුව පුද්ගලයින් කිහිපදෙනෙක් සහ මා වටා සිදුවූ රසවත් සිදුවීම් කිහිපයක් වන අතර මෙම සිදුවීම් වලට දායක වූ පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට ජීවතුන් අතර නොමැති නිසා එම පුද්ගලයින්ට අගෞරවයක් නොවනු පිණිස ව්‍යාජය නම් දෙකක් යොදාගෙන ලියන්නට අදහස් කරමි. සිදුවීමට උක්තවන කාලය මාගේ රැකියා  ජීවිතයේ වර්ෂ දෙදහස් එක වසර කාලයටයි.

මා රැකියා කල ආයතනයට මා බඳවා ගත්තේ ඒ වනවිට එම ආයතනයේ රාජකාරී කල  දාබරේ නමැති මාණ්ඩලික ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියෙකු විශ්‍රාම යාම හේතුවෙනි. ඒ හේතුවෙන් මා එම ආයතනයේ රැකියාව ආරම්භ කල අතර දාබරේ මාගේ සුපර්වයිසර් නොහොත් මා පුහුණු කරන්නා වශයෙන් නම් කරන ලදී. 

පළමුව දාබරේ ගැන හඳුන්වනවානම් දාබරේ යනු ලොක්කාට තදින් ගොට්ට අල්ලන්නට උපන් හපන්, ඔනෑ තරම් ලොක්කාට රෙදි නැතුව කඩේ යන, කේලම් කියන, යටි උගුල් අදින, දිය යටින් ගින්දර ගෙනියන, කකුලෙන් අදින, බොරු වලවල් කපන, පස්සෙන් ඇවිත් පිහියෙන් අනින, නොම්මර එකේ කට්ට කපටි කයිරාටික පුදගලයෙකු වූ අතර ලොක්කාගේ අංක එකේ හිතවතා වශයෙන් හැඳින්විය හැකිය. 

ඒ වනවිටත් විශ්‍රාම ගොස් කොන්ත්‍රාත් පදනම මත සේවයේ පිහිටුවා සිටි දාබරේ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට එකම හේතුව වුයේ දාබරේ නොමැතිව ලොක්කාට බළලුන් ලවා කොස් ඇට බෑවීමට නොහැකිවීම වුවත් එයට ඉදිරිපත් කල හේතුව වුයේ අලුතින් බඳවාගත් මා පුහුණු කිරීමට මාස හයක් දාබරේ සේවයේ යෙදවීම අත්‍යාවශ්‍ය බව බවයි. 

දාබරේගේ අද්‍යාපන සුදුසුකම් මෙහි පලකිරීම රාජ්‍ය සේවයේ කාර්මික නිලධාරී වරුන්ගේ වුර්තීය සුදුසුකම් වලට අපහාස කිරීමක් වන බැවින් දාබරේගේ අද්‍යාපන සුදුසුකම් මෙහි සඳහන් කිරීමට මම උත්සහ නොකරමි. එයට හේතුව නම් දාබරේට කාර්මික නිලධාරී තනතුර තබා ආයතනයේ පහලම තනතුර හෙබවීමටවත් අද්‍යාපන සුදුසුකමක් නොමැති වීමයි. දාබරේ මාණ්ඩලික ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී තනතුර දක්වා ඉහලට යාම ලොක්කාගේ අනුග්‍රහයෙන්ම  සිදුවූ  ක්‍රියාවක් වන අතර දාබරේට ඉහලින් විශාල සුදුසුකම් තිබු පිරිසට උසස්වීම් සිහිනයක් වූයේ දාබරේගේ වාචික නිර්දේශය නොමැතිව ලොක්කා කිසිම පුද්ගලයෙකුට උසස්වීම් අනුමත නොකළ බැවිනි. උසස්වීම් තබා වාර්ෂික වැටුප් වර්ධයක වුවද අනුමත වුයේ දාබරේගේ නිල නොවන අනුමැතියෙනි. 

දාබරේගේ උදෑසන ප්‍රමුකම රාජකාරිය වන්නේ රතු ඉර ගැසීමයි. සාමාන්‍ය නීතියට අනුව උදෑසන අටට පෙර සියල්ලන්ම රාජකාරියට වාර්ථා කලයුතු අතර රතු ඉර ගැසීම සිදුවිය යුත්තේ උදෑසන අටටයි. දාබරේ ප්‍රමුක ලොක්කා  සරණං ගච්චාමී කියන්නාවූ පිරිසක්ද ආයතනයේ සිටි අතර ඔවුන් සියල්ල සේවයට වාර්ථා කරනතුරු රතු ඉර ගැසීමට ඉවසිල්ලේ  බලා සිතෙන්නේ කාර්යාල කාමරයේ ජනේලයෙන් ඈත බලමිනි. ඒ අතර දාබරේගේ සහ ලොක්කාගේ විපක්ෂ කව්රුන් හෝ ඈතින් දුව එනු දුටුවහොත් වහා නාමලේඛනය වෙත දුවන දාබරේ රතු ඉර ගැසීම වහා සිදු කරන්නේ විපක්ෂ සාමාජිකයාගේ ෂෝර්ට් ලිව් එකක් හෝ නිවාඩු භාගයක් අවසන් ගමන් යවමිනි. සමහරක් දිනවලදී එවන් සතුරු පාර්ශව ඈතින් දුව එන්නාවූ දර්ශනයෙන් කලබලයට පත්වෙන දාබරේ අටට කලින්ද රතු ඉර ගැසීම සිදු කරත් දාබරේට විරුද්ද පැමිණිලි ලොක්කා විභාගයකින් තොරවම කුණු කුඩයට දමන්නාවූ නිසා දාබරේගෙන් සිදුවන්නාවූ අකටයුතුකම් කිසිවෙකු ලොක්කාට පැමිණිලි කරන්නට යන්නේ නොමැත.

අද්යාපනික වශයෙන් පෘතුවි ජීවියෙකුට ලැබිය හැකි උසස්ම සුදුසුකම් සපුරා තිබු ලොක්කා ගෞරව නාමද හෙබවූ ලෝකප්‍රසිද්ද පුද්ගලයෙක් වුවත් කේලාම් ඇසීම, කකුලෙන් ඇද බිම දැමීම, ලිඳේ දැමීම, පක්ෂපාතී තීරණ ගැනීම , කඩේ යන එකාට වැඩියෙන් සැලකීම, බඩේ පාර ගැසීම, රැකියාවෙන් මහමගට ඇද දැමීම වැනි සියලු ජඩ වැඩ වලින් සපිරි, බළල්ලු ලව්වා කොස් ඇට බෑවීමට කප් ගැසූ පොරක් වන අතර ඒ වනවිටද වයස අවුරුදු පනහ පසුකර තිබු පුද්ගලයෙකි.

ලොක්කා දාබරේට ගැහැනියක් පෙන්වා මිනිහෙක් යයි කීවොත් ඔව් සර් ඒ මිනිහෙක් තමා කියන ගනයේ පුද්ගලයෙකු වූ දාබරේ කියනා දෙයක් ලොක්කා පිළිගත්තේද ඒ ආකාරයෙන්මයි. එකල ආයතනයේ පරිඝනක කිහිපයක් තිබූ අතර එයින් එකක් ලොක්කාගේ කාමරයේත්, තවත් එකක් කාර්යාල කාමරයේත්, කිහිපයක් සෙසු ලොක්කන්ගේ කාමර වලත්, එකක් දාබරේගේ කාමරයත් පිහිටුවා තිබුණි. ඒ වනවිට පෙන්ටියම් ත්‍රී පරිඝනක සුලබ වුවත් දාබරේ වෙත දී තිබු පරිඝනකය පෙන්ටියම් වන් ඝනයට අයත් පරණ එකක් වූ අතර දාබරේ වෙත තිබු වටිනාම අනර්ඝම වස්තුව පරිඝනකය විය. උදෑසන රාජකාරී කාමරයට එන දාබරේගේ පළමු අංගය වන්නේ පරිඝනකය පනගන්වා මදක් ඒ දිහා නරඹමින් විනෝද වීමයි.

ඒ වනවිට මා සතුව පෙන්ටියන් ත්‍රී  වර්ගයේ පරිඝනකයක් නිවසේ තිබු අතර පරිඝනකය මා හට සුපිරි සුවිශේෂී ඇදහිය නොහැකි භාණ්ඩයක් නොවන බැවින් මා පරිඝනකය ගැන උනන්දුවක් තිබුනේද නැත. දාබරේ පරිඝනකයෙන් කරන්නාවූ එකම රාජකාරිය මසකට වරක් ප්‍රධාන ගබඩාවෙන් ගෙන්වන බඩු භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය ලේඛනය සැකසීම පමණි. ඊට අමතරව දාබරේ පරිඝනකය භාවිතා කරේ වෙනත් අවර ගනයේ ක්‍රියාවක් සඳහායි. මා ආයතනයට ආ අලුතම මා වෙත දාබරේගෙන් ලැබුණු අවවාදයක් වුයේ පරිඝනකයට අත නොතබන ලෙසත් එයට ලොක්කා කැමති නොවන බවත්ය. 

ඊට අමතරව මට ලැබුණු අවවාද නම් පහල ශ්‍රේණිවල සේවකයින් සමග වැඩි භජනයට නොයන ලෙසත්, නම්කළ සාමාජිකයින් දහයක් පහළොවක් කිසිසේත්ම ඉතාමත් නරක පුද්ගලයින් වන නිසා කිසිසේත්ම ඇසුරු නොකරන ලෙසත්, ඔවුන් ඇසුරු කිරීම ලොක්කාගේ උදහසට ලක්වීමට තදබල හේතුවක් වනු ඇතය යන්නයි.

කාර්යාලයේ තවත් සාමාජිකයකු වූ  දයානන්ද සහයක ශ්‍රේණියේ සේවයකයකු වන අතර දාබරේගේ සියලුම අවර ගනයේ ක්‍රියාවන් සඳහා ශ්‍රම දායකත්වය සැපයීම සහ තොරතුරු සැපයීමේ ප්‍රධාන චක්ගෝලයා වුයේ දයානන්දයි. අටට ඇරඹෙන රාජකාරිය දයානන්ද වාර්ථා කරන්නේ හතයි තිහට වන අතර එතැන් පටන් සවස කාර්යාලය වසන වෙලාව වනතුරු දයානන්දගේ රාජකාරිය වන්නේ ලොක්කාට සහ දාබරේට විරුද්ද පාර්ශවයන්ගේ වැරදි සොයා දාබරේ වෙත වාර්ථා කිරීමයි. ඊට අමතරව සියලු සේවකයින් සේවය අවසන් කර නික්මගිය පසු වෙනත් යතුරු වලින් වසන දොරවල් විවුර්තකර තැබීම, වසා ඇති ජනෙල් ඇර තැබීම, වෙනත් නිලධාරීන් භාරයේ තිබෙන ලිපිගොනු අස්ථානගත කිරීම වැනි අවර ගනයේ ක්‍රියාවන් සඳහා දයානන්දගේ ශ්‍රම දායකත්වය නොඅඩුව ලැබුනේ දාබරේටයි. එවන් කුපාඩි ඝනයේ ක්‍රියාවක් සැලසුම් සහගතව සිදුකර බලාපොරොත්තු වන ප්‍රතිපලය නම් පසුව දා එම දොර වසා නොයාම හෝ ලිපිගුනුව අස්තානගතවීම සම්භන්ධව අදාළ නිලධාරියාට විරුද්දව පරීක්ෂණයක් පවත්වා පුද්ගලික ලිපිගොනුවට යැවෙන නිදහසක කරුණු ඉල්ලූ ලිපියක්ද සමග දඬුවම් ලිපියක් මගින් දඬුවම් කිරීමයි. 

අංක එකේ ඕපාදූප සොයන්නෙකු වන දයානන්ද කොතරම් කේලම් බස් කීවද කාර්යාලයේ කිසිවකු දයානන්ද සමග තරහවක්, වෛරයක් නොමැති වුයේ දයානන්ද කේලාම් කීම අරුනකොට තවත් සුවිශේෂී රාජකාරියක් දයානන්ද විසින් ආයතනය පුරා ඉටුකරන බැවිනි. ලොක්කාට සහ දාබරේට කේලාම් කියන්නාවූ දයානන්ද වැඩි ප්‍රමාණයක් ලොක්කාට සහ දාබරේට පක්ෂපාතී වුවත් අනෙක් පසටද එම සේවාවම අකුරට ඉටුකරන්නට සැදී පැහැදී හිටපු පුද්ගලයෙක්. ලොක්කා සහ දාබරේ විසින් අටවන්නට යෙදෙන උගුල් අටවා අවසන් වූ වහා ඒ ගැන අනෙකුත් විරුද්ද පාර්ශවයන් කල්තියා දැනුවත් කිරීමටද දයානන්ද කටයුතු කළා. 


මහත්තය අද ආවේ සමුද්‍රේ නේද..

ඔව් දයානන්ද .. අද මේල් එක මිස් උනානේ වැස්ස නිසා..

මහත්තය ට්‍රෙන් ලේට් එකක් දැම්ම නේද..

ඔව් දයානන්ද .. ඔන්න ඔහේ ලියල දැම්ම .. සමුද්‍රදෙවි පරක්කු උනානේ 

ඒ උනාට ට්‍රෙන් ලේට් එක ඇප්රු කරලා නැහැ..

ඒ මොකෝ දයානන්ද.. වෙනද ශේප් එකේ ට්‍රෙන් ලේට් එක ඇප්රු වෙනවනේ..

දාබරේ කොහෙන්ද හොයල ලොක්කට කියල සමුද්‍රේ ඇවිත් මහත්තයට අටට වැඩට එන්න බෑ කියල .. ඒ හින්ද තැපැල් දුම්රිය පරක්කු උනොත් ඇරෙන්න මහත්තය ට්‍රේන් ලේට් දෙන්න එපා කියල..

අනේ ඌටයි ලොක්කටයි @#$%$#&^$%##^ කියහන් බන්.. ලොක්කට කියහන් ට්‍රෙන් ලේට් එක රෝල් කරලා @#$$$# ගහගන්න කියල.. ඌට කරන්න පුළුවන් ඔච්චරයිනේ බන්.. මොකෝ ඌ මාව ගෙදර යවන්නද..

අනේ මන්ද මහත්තය.. කොච්චර උනත් දාබරේ වැරදියි නේද.. මහත්තය විනාඩි තිහක් පරක්කු උනා කියල වැඩ අතපසු කරන්නේ නැහැනේ..

ඌ තව ඔය සෙල්ලම් දාන්නේ මාස තුනයිනේ බන්.. ඊටපස්සේ ඌ ගෙදර යන්න එපයි..

ලොක්කත් මහත්තය එක්ක ඉන්නේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි..

ඇයි මම දාබරේ වගේ උගේ කාමරේ සැලුන් දොරෙන් දෙකට නැමිලා රිංගල ගිහින් කේලං කියන්නේ නැති හින්ද වෙන්න ඇති.. බොලාට දාබරෙලට ඌ ලොක්කෙක් උනාට මට ඌ මහා ලොක්කෙක් නෙවෙයි බන්.. ඌට උගේ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න කියහන්.. මම මගේ පාඩුවේ මේක කරගෙන ඉන්නං කියහන්කෝ..

අපෝ මටනම් බෑ ඕව ලොක්කට කියන්න ..මං ගිහින් එන්නම් මහත්තය.. දාබරේට කියන්න එපා මම විස්තරේ කිව්වා කියල හොඳේ..

පිස්සුද දයානන්ද..

එවන් ආකාරයෙන් තොරතුරු ගලා ඒමේ සේවයක් දයානන්ද වෙතින් අප වෙතද නොමසුරුව ලැබුන අතර දාබරේ ළඟදී මා ඇතුළු අනෙක් සේවකයින් පට්ට ගැසීමද දයානන්ද විසින් අකුරටම කරගෙන යන ලදී..

හිටපු ගමන් මා සහ දාබරේ සිටින වීදුරු කාමරයට වදින දයානන්ද දාබරේගේ කනේ තොරතුරක් තබන්නේ මෙසේයි..

දාබරේ මහත්තයා.. සුචිත්‍ර මිස් සීට් එකේ නැහැ.. මහත්තයට කියලද ගියේ..

ඇ ...  නැහැ දයානන්ද.. මටනම් කිව්වෙත් නැහැ.. ෂෝර්ට් ලීව් ඉල්ලුවෙත් නැහැ..

සිකුරිටි එකෙන් කිව්වා එලියට යනවා දැක්ක කියල..

එහෙමද.. මම දෙන්නම්කො වැඩේ.. එයාට බැහැ මගෙන් හරි සර්ගෙන් හරි අවසර නැතුව එලියට යන්න..

වහා ආසනයෙන් නැගිටින දාබරේ දයානන්දත් සමගින් ලොක්කාගේ කාමරයට දුවන්නේ විරුද්ද පාර්ශවය ගුලියක් ඇඹරීම සඳහායි..

දිනක් කුමක් හෝ කටයුත්තකට වෙනත් දෙපාර්තමේන්තුවක්  වෙත ගියා වූ මම නැවත කාර්යාලයට ආවේ කෑම වෙලාව මගහැරුණු නිසා හැකි ඉක්මනින් බත්පතට වගකීමේ අරමුණෙනි. එක්වරම කාමරයේ දොරෙන් ඇතුල්වූ මා දුටු වහා පරිගණකය ඉදිරිපිට සිටි දාබරේ සහ දයානන්ද කලබලයට පත්වනු මා දුටුවත් නොදුටුවාක් මෙන් මාගේ කෑම පාර්සලය රැගෙන කෑම කාමරය වෙත පියමැන්නේ  මුන් දෙන්නා මොකක් හරි කුපාඩි ගනයේ වැඩක් කරනවා යන සිතුවිල්ලෙන්මයි. 

ගුරා සහ ගෝලයා කළා වූ පරිඝනක ක්‍රියාව කුමක්ද යන්න සොයා බැලීමට මට සිතුවිල්ලක්ව පැවති  නිසා සවස තුනට පමණ වැසිකිලිය වෙත ගොස් මාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මා සූදානම් වීමි..

මාගේ ජංගම දුරකතනයෙන් ආයතනයේ ප්‍රධාන දුරකථන අංක එබී ගියේ සැලසුම හිතේ ධාරණය කරගත් පසුයි..

බීප්...බීප්..............බීප්...බීප්.............බීප්...

හෙලෝ... සුභ සන්ද්‍යාවක්... ( ආයතනයේ නම )

හලෝ මට දෙනවද (දෙපාර්තමේන්තුවේ නම ) ඩිපාර්ට්මන්ට් එකේ මිස්ටර් දාබරේගේ ඉන්ටර්කොම් එක..

හොඳයි.. ලයින් එකේ ඉන්න...

බීප්... බීප්.................. බීප්...බීප්............

හලෝ...

ආ මේ දාබරේ මහත්තයද...

ඔව් කතා කරනවා...

සර්... මේන් ගේට් එකෙන් කතා කරන්නේ... සර්ගේ පුතා කියල කෙනෙක් ඇවිල්ල ඉන්නවා... ඇතුලට එවන්නද...

එපා.. එපා... මම එන්නම් ඔතනට...

හරි සර්.. තියන්නම් එහෙනම්..

හරි මම එන්නම්...

ආයතනයේ ප්‍රසිද්ධ රහසක් වූ දාබරේගේ කලින් විවාහයේ පුත්‍රයාට දාබරේ කොතරම් භයද යන්න මා කට කතා වලින් අසා ඇති නිසා එම තුරුම්පුවම ප්‍රයෝජනයට ගෙන දාබරේ ආසනයෙන් ඉවතට යැවීමට මා කටයුතු කලේ එලෙසයි.. ප්‍රධාන ගේට්ටුවට ඇවිදගොස් නැවත කාර්යාලයට ඒමට දාබරේට විනාඩි පහළොවක් අවම ගතවන නිසා මාගේ පරීක්ෂණ කටයුතු කරගැනීමට එම කාලය ඉතාමත් ප්‍රමාණවත් වුනා.

වහාම කාමරය වෙත ගිය මම පරිඝනකය පනගන්වා කල පරීක්ෂණයෙන් මා සොයාගන්නා ලද අගනාම සොයාගැනීම වුයේ දාබරේ සහ දයානන්ද බලමින් සිටියේ අසභය පින්තුර සමුහයක් වන බවයි. දාබරේගෙන් මා වෙත ලැබෙන කෙනෙහිලිකම් වලට ප්‍රති පරිප්පුවක් දීමට මානබලමින් සිටි මට මෙය මහඟු අවස්තාවක් වූ අතර ඒ වෙනුවෙන් වැඩි යමක් කරන්නට නොතිබුණි. දාබරේගේ පරිඝනක දැනීම අල්ප බව දන්නා නිසා දාබරේ වෙත පරිප්පුවක් දීම වෙනුවෙන් කලේ ඉතාමත් සුළු දෙයක්.


දාබරේ නරඹන ලද අසැබි පින්තූර වලින් එකක් ඕපන් කර Set as wallpaper ක්ලික් කල වහා පින්තූරය පරිඝනක තිරයේ ස්ථිරවම පදිංචි වූ අතර වහා පරිඝනකය ක්‍රියා විරහිත කොට කාමරයෙන් පිටවී වෙනත් සගයකුගේ කාමරය වෙත ගොස් මද වෙලාවක් රැඳුනේ දුරකථන ලනුව වලඳා ගින්දර විසිවෙමින් කාර්යාලයට එන දාබරේ දයානන්ද සමගින් දුක බෙදාගෙන අහවර වීමට මා එහි සිටීම භාදාවක් වන බැවිනි. 

දිනය එසේ ගෙවී ගිය අතර පසුදින මා රාජකාරී කාමරයට වාර්ථා කරනවිට දාබරේ සිටියේ මේසය වෙත ඔලුව ගසාගෙනයි. පරිඝනකයද උන රෝගියකු පොරවා තැබූ  ලෙසින් රෙද්දකින් වසා තිබු අතර මා ආ ශබ්දයෙන් ඔලුව උස්සා බැලූ දාබරේ නැවතත් පෙර පරිදිම මේසයට ඔලුව ගසාගන්නා ලදී..

මොකෝ මිස්ටර් දාබරේ.. අසනීපෙන්ද..

ඉස ටිකක් කකියනවා වගේ..

මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් බෙහෙත් ටිකක් ගම්මුද මිස්ටර් දාබරේ..

ඕන නෑ .. ඇරිලා යාවි..

පෙනඩෝල් දෙකක් ගෙනත් දෙන්නද මිස්ටර් දාබරේ..

ඕන නැහැ.. මෙහෙම ටිකක් හිටියාම හරියාවි..

එහෙනම් මම කාල එන්නම් මිස්ටර් දාබරේ.. 

හා එහෙනම්..

එසේ කියමින් නැවතත් මේසයේ ඔලුව හොවාගත් දාබරේ එසේ සිටින්නට හේතුව අනුමාන වශයෙන් මා දැනගෙන සිටියෙමි. කලින් දිනයේ සවස පත්තු කරන ලද නූල පත්තු වී ඇති සෙයියාවෙන් සන්තෝසයට පත් මම උදෑසන ආහාරය ගැනීමට කැන්ටිම වෙත ගොස් නැවත එනවිටත් දාබරේ පෙර පරිදිම මේසය මත හිස හොවාගෙන සිටින්නට විය. 

මොකෝ මිස්ටර් දාබරේ.. අඩුවක් නැත්තද..

නැහැනේ..

මොකෝ මේ කොම්පියුටරේ පොරෝවල දාල..

ඒක කැඩිලද  කොහෙද.. වැඩකරන්නේ නැහැ..

එහෙමද.. ඉතින් අයි ටී ඩිපාර්ට්මන්ට් එකට කෝල් එකක් දුන්නනම් ඉවරයිනේ..මම ගන්නද කෝල් එකක් අයි ටී එකට 

එපා එපා එපා... අපෝ එපා ..

ඒ මොකෝ මිස්ටර් දාබෙරේ.. එයාලට එන්න බෑ කියනවනම් අපිට පුළුවන්නේ ඕක හදාගන්න..

මේ......... ඔයා දන්නවද කොම්පියුටර් ගැන..

ටිකක් විතර දන්නවා මිස්ටර් දාබරේ..

මාර ප්‍රශ්නයක් වෙලානේ..

ඇයි  මොකක්ද වෙලා තියෙන්නේ මිස්ටර් දාබරේ..

කව්ද එකෙක් මේකට හෙළුවැලි පින්තුරයක් දාලනේ ..

ඉතින් ඕක පාවිච්චි කරන්නේ මිස්ටර් දාබරේ විතරයිනේ..

ඒක තමයි ප්‍රශ්නේ.. සර් දැක්කොත් මට විසුමක් වෙන්නේ නැහැ..

ඉතින් ඕක මකල දාන්න.. ඕක සිම්පල් වැඩක්නේ..

මකල දාන්න බැරි විදිහටනේ දාල තියෙන්නේ.. ඔයාට පුලුවනිද මේක කාටවත් පේන්නේ නැතිවෙන්න අරන් දාන්න..

කෝ බලන්න මට දාල පෙන්නන්නකො..

මම මේක ඔයාට පෙන්නන්නේ විශ්වාසය නිසාමයි හරිද.. මේ ගැන කාටවත්ම දැනගන්න තියන්න එපා.. මේක දන්නේ මමයි දයානන්දයි විතරයි..

හරි ඕක දාන්නකෝ දැන් බලන්න.. ඉස්සෙල්ල බලන්න එපැයි මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න..

දාබරේගේ හිස කැක්කුම කොහේ ගියාදෝ නැතිව පරිඝනකය වෙත පැමිණ පොරොවා තිබු  ආවරණ ඉවත්කොට පරිඝනකය පණගැන්වූ වහා මා විසින් ඩෙස්ක්ටොප් වෙත දමන ලද අසැබි පින්තුරය තිරය පුරා ආලෝකමත්ව පැවතිනි.

මේක කොහොමද මේකට ආවේ.. මේ කොම්පියුටරේ ඉන්ටර්නෙට් එකට අමුණලා නැති නිසා මේක ඉබේ ආව කියන්න බැහැ .. කව්රුහරි මේක ගෙනැත් දාල තියෙනවා මිස්ටර් දාබරේ.. අපි මේක ලොක්කට කියල ඉන්කුවරි එකක් කරන්න කියමු.. 


අපෝ එපා එපා එපා.. ලොක්ක දැනගත්තොත් මට හොඳ නැහැනේ.. ඔයාට පුලුවනිද මේක අයින් කරන්න..

පුළුවනි.. එත් මැෂින් එක ෆොර්මැට් කරන්න වෙනවා..

ඒ කිව්වේ ..

ඒ කිව්වේ මුළු කොම්පියුටර් එකම මකල අලුතෙන් වින්ඩෝස් දාන්න වෙනවා...

ඉතින් ඒක කරලා හරි මේක අයින් කරලා දෙන්නකෝ..

ඒකට වින්ඩෝස් සීඩී  එකක් ඕනනේ.. ලොක්ක ගාව නම් ඇති මිස්ටර් දාබරේ..

අපෝ අපෝ ලොක්කගෙන් මුකුත් ඉල්ලන්න එපා.. වෙන කොහෙන්ද ඔය සීඩී එක හොයාගන්න තියෙන්නේ..

බම්බලපිටිය හන්දියට ගිහින් යුනිටි එකෙන් අලුතෙන් ගන්න වෙනව ඉතින්.. එකසිය පනහක්, දෙසීයක් වගේ වෙයි..

කීයක් ගියත් කමක් නැහැ.. දැන් ගිහින් ගෙනල්ල මේක හදල දෙන්න පුලුවන්ද..

හරි මම ගිහින් ගේන්නම්.. ෂෝර්ට් ලිව් නම් ඉවරයි මගේ.. 

මොන ෂෝර්ට් ලිව්ද.. ඔයා ගිහින් එන්නකෝ.. මම බලාගන්නම් වැඩ ටික..

දාබරේගේ මුදල්ද රැගෙන යුනිටි ප්ලාසා වෙත ගොස් මට දැඩි ලෙස අවශ්‍යව තිබු වින්ඩෝස් සීඩී එකක්ද මිලදී ගෙන මා නැවත කාර්යාලයට එනවිටද දාබරේ බහිරවයකු මෙන් පරිඝනකය අසල මුරකරමින් සිටියේ හිස ගින්නිගත්තෙකු ලෙසින් .

මිස්ටර් දාබරේ .. වැඩේට ටික වෙලාවක් යනවා.. මම කොම්පියුටර් එකට වාඩි වෙලා ඉන්නවා දැක්කොත් ඔයාට ලොක්කාගෙන් බැනුම් අහන්න වෙයි. අනික  ලොක්ක මේ සීඩී එක දැක්කොත් එයා දැනගන්නවා අපි මේකට මොකක්හරි කරනවා කියල.. ඒ හින්ද ඔයා ලොක්කගේ ඔෆිස් එක පැත්තේ ගිහින් ඉන්න. ලොක්කට මේ පැත්තට එන්න දෙන්න එපා..

හරි.. මම යන්නම්.. ඔයා වැඩේ කරලා කතා කරන්න මට..

හා..

දාබරේ කාමරයෙන් පිටවී ගියායින් පරිඝනකය වෙත ගිය මම වෝල්පේපරය වෙනස් කර දාබරේ විසින් ගබඩා කර තිබු සියලු අසැබි පිංතූර පරිඝනකයෙන් මකා දමා පරිඝනකය යතා තත්වයට පත්කොට පැය භාගයක් පමණ පරිඝනකයේ රස්තියාදුවක් ගසා දාබරේ ගැවසෙමින් සිටි ඉසව්ව වෙත ගියෙමි..

අන්න මිස්ටර් දාබරේ වැඩේ හරි..

ඔය ඇත්තමද..

ඔව් ඔව් ගිහින් බලන්නකෝ..

කාමරය වෙත දුවගියා වූ දාබරේ පරිඝනකය පරික්ෂා කර බලා එතෙක් වෙලා වදදෙමින් තිබු ඉසරදය හමාර කරගත්තේ මා වෙත නොසෑහෙන්න ස්තුති කරමින්..

මිස්ටර් දාබරේ.. මේ සීඩී එක මේ හරියේ තියන්න හොඳ නෑ .. ලොක්ක දැක්කොත් මේක හෙන ලෙඩක්.. අන්තිමේ මාවත් අහුවෙනවා ඔව්වට.. ඒ හින්ද මම මේක කුණු ගොඩකට විසික් කරලා දානවා..

ඒක හොඳයි.. මේකේ ඉන්න එවුන් ඕක උස්සන් ගිහින් ලොක්කට පෙන්නුවොත් අපිට ලෙඩක් . ඕක විසික් කරල දාන්න..

මා වෙත දැඩිව අවශ්‍යවී තිබු වින්ඩෝස් සීඩී තැටියද නොමිලේම මට ලැබුනේ එහෙමයි. ඊට අමතරව එතෙක් කාලයක් දාබරේගෙන් මට වෙච්ච අඩම්තේට්ටම් අඩක් විතර එතකින් නිමා උනත් දාබරේගේ රතු ඉරෙන් බෙල්ල කපන ක්‍රීඩාවට මාවත් නිතරම අහු උනා. දාබරේ ඉන්නේ මාස හයයි නිසා සාමකාමීව දාබරේ එක්ක ඩීල් එක ඉවරකරගන්න මම තීරණය කරල තිබුන නිසා දාබරෙත් මමත් දවසින් වැඩි කාලයක් ගතකලේ සුහදව. එත් විසකුරු නාග රාජයෙක් එක්ක ගජේට එක කාමරේ රස්සාව කරන වගේ ගතියක් තමයි දාබරේ විශ්‍රාම යනකල්ම මගේ හිතේ තිබ්බේ. 

දාබරේ විශ්‍රාම යන්න මාසෙකට විතර කලින් දාබරේ භාරේ තිබ්බ සියලු බඩු භාණ්ඩ මට භාරගන්න ඉන්වෙන්ට්‍රිය ගත්තෙ  අපි දෙන්නම එකතුවෙලා.  බඩු ලැයිස්තුව ටයිප් කරන රාජකාරිය මට පැවරුනේ දාබරේ කීබෝර්ඩ් එක එක්ක ගනුදෙනු කරේ ඇඟිලි දෙකකින් පමණක් නිසා. වැඩේ පැයෙන් ඉවර කරලා ලැයිස්තුව දාබරේට භාරදීලා මම හවස තේ එකක් බොන්න ටී ක්ලබ් එක පැත්තට ගිහන් ආවයින් පස්සේ තමයි මේ කතාව ඇදුනේ..

අයියෝ.. ඔයාට මේක ටයිප් කරන්න දීල මම සර්ගෙන් බැනුම් අහනවා තව පොඩ්ඩෙන්..

ඇයි  මිස්ටර් දාබරේ.. 

ඔයා ඉංග්‍රීසි වරද්දලානේ ගහල තියෙන්නේ..

නහ් .. වෙන්න බෑ ..

මේ බලන්න.. ඔයා යකඩ බෝල ගැන ටයිප් කරලා තියෙන විදිහ..

මේ බලන්න.. හැම තැනම ඔයා ගහල තියෙන්නේ Steel Ball කියලනේ..

ඉතින්.. 

අයියෝ ඔයා ඒ තරම් පොඩි දෙයක්වත් දන්නේ නැද්ද.. අනේ මන්ද මම ගියාම ඔයා මේක කොහොම කරන් යාවිද කියල..

හරි දැන් කියන්නකෝ මොකක්ද ඕකෙ තියන වරද කියල..

ළමයෝ බෝල් කියන එක Bol වෙන්න එපයි..

හැහ් ... හරි මිස්ටර් දාබරේ.. එතන පෑනෙන් හදල යවන්න..

ඔන්න ඕකයි මම දාබරේගේ අද්‍යාපනය ගැන ලියන්න බැහැ  කිව්වේ... පෘතුවි ජීවියෙකුට ලබන්න පුළුවන් උපරිම අද්‍යාපන සුදුසුකම් තිබ්බ , ලෝකේ පිළිගත්තු ගෞරව නාම තිබ්බ අපේ ලොක්ක ආයතනයේ ලොකුම තැනට යනකම් උසුස්වීම් දීපු දාබරේගේ තත්වය ඔන්න ඕකයි. ඉතින් එහෙව් ලොක්කෙක් ගැන තව ලියන්න තියන රසබර කතා අප්‍රමානයි.

විශ්‍රාම ගියායින් පස්සෙත් සතියකට සැරයක් දෙසැරයක් ආයතනයට එන්න තියාගත්තු දාබරේ එලවන්න දාබරේගෙන් අවුරුදු විසි ගණන් බැට කාපු සේවකයින් යොදා ගත්තේ අමුතුම ක්‍රමයක්. දාබරේ ආයතනයට ආපු ගමන් ආරක්ෂක අංශයට දුරකථන ඇමතුමක් යන්නේ 

" ............ ඩිපාර්ට්මන්ට් එකට හොරෙක් ඇවිත්.. ඉක්මනට එන්න " 

හනික ආයතනය වෙත දුවගෙන එන ආරක්ෂක නිලධාරීන් හොරා සොයමින් ආයතනය පීරනකොට දාබරේ ශේප් එකේ එලියට මාරු වෙන්නේ මුකුත් නොදන්නා ගානට. එහෙම ගිහින් දාබරේ ආයතනයට එන එක නැවැත්තුවේ පස්සෙන් පහු මිනිස්සු මුනට බනින්න ගත්තු නිසා. අද වෙද්දී දාබරේ ජීවතුන් අතර නැහැ . විශ්‍රාම ගිහින් අවුරුදු දහයක් යන්න කලින් දාබරේ ජීවිතෙන් සමුගත්ත. 

කාර්යාලය විවුර්ත කරන්න පැයකට හමාරකට කලින් රැකියාවට ආපු රැකියාව අවසන් වෙලා ලොක්කන් සියල්ල කාර්යාලයෙන් නික්ම යනකම් අතිකාල නොමැතිව සේවයේ යෙදුන දයානන්දට අත්වුනෙත් ඒ ඉරණමම තමයි. දයානන්ද ආයතනයේ අනුගේ කේලම් ලොක්කට අරන් යන අතරේ දයානන්දගේ අඹේනිය දරු දෙදෙනාවත් දමල වෙනත් පිරිමියෙක් එක්ක පැනල ගියා. ඒ අතරේ දයානන්ද විශ්‍රාම ගියා.  විශ්‍රාම ගිහින් අවුරුද්දක් යද්දී දයානන්දට පිස්සු හදුනා. ඊට අවුරුදු කීපයක් පිස්සුවෙන් හිටපු දයානන්ද අකාලයේම මියගියා මීට අවුරුදු දෙක තුනකට උඩදී. ලොක්කගේ පහත් ඔනෑ එපාකම් වලට කර තියපු දාබරේත්, දයානන්දත් මියගියා කියල ඒ දවස්වලම ලොක්ක දැනන් උන්නත් ඒ මලගෙදරකටවත් ගොඩවෙන්න තරම් අපේ ලොක්ක මනුස්සයෙක් උනේ නැහැ. 

ලොක්ක තාමත් ලොකු පුටුවක ජීවමානයි.. තවමත් මිනිස්සු තලා පෙලා පාගන මේ ලොකු තැන මැරිලා කොයි ලොව යාවිද මන්ද.. දාබරේ නම් මෙලහකටත් ඇත්තේ ලොක්කගේ කාමරේ භූතයෙක් වෙලා. දයානන්ද වගේ මෝඩ අහිංසක මනුස්සයෙක් වරදට යොදාගෙන දාබරේත් ලොක්කාත් එකතුකරගත්තු පවු ගෙවන්න කල්පයක් වත් විඳවන්න වෙයි. දාබරේල , ලොක්කල එකතු වෙලා රස්සාවල් නැති කරපු මිනිස්සු තියපු දෙස් දෙවොල් දාබරෙටත් , ලොක්කටත් නොවදි තියෙන්න විදිහක් තියේවිද... 

අවුරුදු පහක් මට විරුද්දව කේලම් කියපු දයානන්දගේ මරණය ගැනනම් දැනෙන්නේ දුකක් අනුකම්පාවක් විතරයි.. අවුරුදු විසි ගණනක සේවා කාලය පුරාම දයානන්ද වැඩ කරලා තිබුනේ දාබරේගේ සහ ලොක්කන්ගේ පහත් ඔනෑ එපාකම් ඉටුකරන්න. එහෙව් මනුස්සයෙක් එක්ක වෛර පුරලා තේරුමක් නැත්තේ කට්ට කපටි මහා එවුන් ඒ මනුස්සයව එතනට පත්කරපු නිසා. 


විසි ගණනකින් සමන්විත කාර්යමණ්ඩලයේ හිටපු එවුන්ගෙන් ලොක්කගේ කැකිල්ලේ තීන්දු වලට හිස නමන්නේ නැතුව රස්සාව බේරාගත්තු එකම ජීවියා මම පමණමයි. ලොක්ක මා වටෙත් දැල එලාගෙන ආවේ මාවත් ගෙදර යවන්නමයි. ලොක්කගේ අනතුරු ඇඟවීම් අරගෙන එන දයානන්දල වගේ දූතයින් අතේම අම්ම මෝ නැතිවෙන්නම මවුගුණ ගායනා කරලම ලොක්කට බැනල යවන නිසා ලොක්ක මා එක්ක ක්‍රීඩාවට ආවේ ටිකක් විතර බයෙන්. 

දාබරේගේ තිබ්බ කරදර කොම්පියුටරේ පිහිටෙන් ඉවර උනත් මට ලොක්කාගෙන් තිබ්බ පිහියෙන් ඇනිලි ඉවරයක් උනේ දෙදාස් හතරේ අන්තිමේ වගේ.. එත් මම කරපු කොම්පියුටර් ගේම් එක වගේම ගේම් ප්ලෑන් එකක් සුපිරියටම වැඩ කරපු නිසා.. ලොක්කාත් මමත් ටොම් ඇන්ඩ් ජෙරී ක්‍රීඩාව කරපු විස්තර  පසුවට..

(දාබරේ සහ දයානන්ද අනවර්ථ නාමයන් බව සලකන්න..)

Monday, December 7, 2015

සුනාමියට එහා ගිය බඩගින්න.



දෙදාස් හතර අවුරුද්දේ දෙසැම්බර් විසිහය දවසට ඉර උදාවුනේ වෙනද වගේමයි. උදේ පාන්දර වෙද්දී පායපු නැවුම් ඉර එලිය එක්ක ක්‍රියාකාරී වෙන මනුෂ්‍ය ජීවිතත්, සතුන් සිව්පාවුන්ගේ ජීවිතත් සුපුරුදු විදිහටම තම තමුන්ගේ දවසේ රාජකාරි ආරම්භ කරේ වෙනදා වගේමයි. 

ඒත් සඳුදා දවස හෙට වෙන නිසා මට හැම ඉරිදාවකම ඉර පෑයුවේ මහම මහා මුස්පේන්තු විදිහටමයි.  කාර්යාලවල, කෝච්චිවල, ඉස්කෝලේ, සිත්ගත් ගෑල්ලමයි ඉන්න උදවියටනම් සඳුදා කියන්නේ නවුම්ම නැවුම් ආරම්භයක් සහ උදාවෙනකම් ඉවසිල්ලක් නැති දවසක් උනාට සඳුදා කියන්නේ මටනම් මෙලෝ රහක් නැති දවසක්. 

සඳුදා පාන්දර කුකුළා අතේ අරන් රස්සාවට යන එක පාපකරුමයක් වෙන්නේ සිකුරාදාට ගෙවල් වල එන සියලූම වැඩකරන ජනතාව සඳුදා උදේ පාන්දරින් රැකී රක්ෂා වලට යන නිසා. ඒ හින්ද සඳුදා උදේට බස් එකක කෝච්චියට සැපට වාඩි වෙලා නින්දක් දාන එක හීනයක්. වෙලාවට වැඩට යන්න ඕනෙනම් කිසිම කතාවක් නැතුව කොළඹට වෙනකම්ම හිටගෙන යන්න වෙන දවසක් සහ දවස් දෙකක් ඔලුවෙන් අකල මකල දාපු ලොක්කගේ මෙලෝ රහක් නැති මූණත්තහඩුව ආයේ බලන්න වෙන  හින්දම සඳුදා දවස කියන්නේ මහම මහා මුස්පේන්තු දවසක් විදිහට තමයි මට දැනෙන්නෙම. 

ඒත් දෙදහස් හතරේ දෙසැම්බර් විසිහය ඉරිදාව මටත් මාරකයක් පනින ඉරිදාවක් වේවි කියල මම හීනෙන්වත් හිතුවේ නැහැ. මගේ ලොකු අම්මගේ පුතාගේ නෑනා නොහොත්  මගේ පොඩි අයියා විවාහ වෙලා ඉන්න අක්කගේ සහෝදරියගේ වෙඩිම සැලසුම් වෙලා තිබ්බේ දෙසැම්බර් විසි අට දවසට.   මගුල් ගෙදර වැඩ ටික කරගන්න මගේ කාර් එක පොඩි අයිය මගෙන් ඉල්ලලා තිබ්බේ මාසෙකට විතර කලින්. දෙසැම්බර් විසිහය උදේ කාර් එක ගින්තොටට ගෙනිහින් දෙන්න මම පොරොන්දු වුනේ පොඩි අයිය කාර් එක ඉල්ලපු දවසේමයි. 

දෙසැම්බර් මාසේ වෙනකොට මට සඳුදා දවස් වැඩිපුර මුස්පේන්තු වෙන්නේ නිවාඩු හතලිස් පහෙන් දෙසැම්බර් වෙනකොට හතලිස් හතරාමාරක්ම හෝ හතලිස්  පහම  අරන් ඉවරවෙන නිසා. ඒ කියන්නේ අවුරුද්දේ මුල් අවදියේ බහුතරයක් සඳුදාවල් වලට සහ වහින දවස්වලට මට තදින් බොරුවට අසනීප වෙන නිසාත් දෙසැම්බර් වෙනකොට  වසූරිය හැදුනත් වැඩට යන තත්වෙට පත්වෙන්නේ වැඩට නොගියොත් නෝ පේ (NO PAY ) හෙවත්  වැටුප් රහිත නිවාඩු ගන්න සිදුවෙන නිසා. 

ඒ වෙද්දීත් මගේම ව්‍යාපාරයක් පටන් අරන් තිබ්බ නිසාත් වැටුප තියා රස්සාවවත් ඕනෑකමක් නැති මට අකමැත්තෙන් උනත් නිවාඩු හතලිස් පහෙන් සෑහීමකට පත්වෙන්න සිද්දවෙන්නේ රජයේ සේවක දෙමාපිය දෙපොලකගේ දරුවෙක් වෙන මට වැටුප් රහිත නිවාඩු යාම හෙවත් නෝ පේ යාම ගෙදර කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති ක්‍රිමිනල් කේස් එකක් වෙන නිසා. ඊටත් අමතරව ඒ වෙද්දී විශ්‍රාම සුවයෙන් හිටපු මගේ පියාණන් වහන්සේ දවස තිස්සේම නිවාඩු ගැනීමේ ආදීනව කියවන්න ගන්න නිසාත් ඒ ආනිසංස දේශනය අහන ඉන්නවට වඩා, කුහක කමින් පිරිච්ච ලේ කඳුලක් නැති මලාට හිනාවක් නැති ලොක්කගේ මල ගෙදර වගේ මුස්පේන්තු මුණ බලන් ඉන්න එක සැප නිසා. 

 රජයේ සේවයේ වැටුප් රහිත නිවාඩු ගැනීම යනු ඊළඟ වසරේ ලැබීමට තිබෙන්නා වූ වැටුප් වර්ධකය හා ලැබීමට තිබෙන උසස්වීම් නොලැබී යන මරාලයක් නිසා කොයි ජගතා උනත් තනි ඇඟිල්ලෙන් හරි රස්සාවට යන්න උපරිම උත්සහයක් ගන්න කාලයක් තමයි දෙසැම්බර් මාසය. මට කලින් මගේ ස්ථානයේ රාජකාරි කල නිලධාරියා ගෙදර යවන්නම ගුලිය අඹරපු ලොක්කා මටත් ඒ ගුලියම අඹරන්න ලැස්ති වෙන බව මට ඉවෙන් වගේ වැටහුන නිසා කඩුල්ල  බේරාගෙන ප්‍රවේශමෙන් පන්දුවට වැරෙන් පහරදෙන ක්‍රීඩකයෙක් වෙන්න මට සිද්දවුනා. 

ලොක්කාට සෙල්ලමට ආම්බාන් කරන්නට බැරි සහ උගුලේ හසුකරන්නට බැරි වර්ගයේ එකෙක්වුන මම දෙදහස් එක වසරේ අයදුම් කරපු "ගාල්ල" ස්ථාන මාරුව මට පරිප්පුව දීම පිණිස ලොක්කා විසින් "අනුප්‍රාප්තිකයෙකු නොමැතිව නිදහස් කල නොහැක " යන උදාන වාක්‍යය යටතේ අත්සන් කරේ මට උපරිම පරිප්පුවක් දීමේ අරමුණෙන්ම තමයි.

ලොක්කාට මමත් මට ලොක්කාත් එකට එක අනුපාත ක්‍රමයට පරිප්පු බෙදීම දෙදහස් හතර වසර දක්වාම සහයෝගයෙන් කරගෙන ආවත් තවදුරටත් සාධාරණ න්‍යායෙන් ස්ථාන මාරුව ගන්න බැරි බව අවසානයේ මට තේරුම් ගිය හේතුවෙන් දෙදහස් පහ වසරේ ජයග්‍රාහී ලෙස නිවාඩු අනූ එකක් ලබාගත් නිසා ලැබීමට නියමිත දෙවන ශ්‍රේණිය ද සමගම අනුප්‍රාප්තිකයෙකු ද නොමැතිවම මා නිදහස් කොට, ඒ ලොක්කාගෙන් පසුව ලොක්කා වූ ලොක්කා  පරාජය භාරගත්තේ තවදුරටත් මාව ආයතනයේ තියාගනීමෙන් පරිප්පුව කන්නේ ලොක්කාම බව වැටහුණු නිසා සහ මම වගේ ඔලුවේ කැක්කුමක් ආයතනයේ තවදුරටත් තියාගැනීම අනෙකුත් සේවකයින්ද වැඩවසම් න්‍යායෙන් පයට පාගාගනීමට භාදාවක් බව තේරුම් ගන්න ලාවට හරි මොලයක් තිබ්බ නිසා වෙන්න ඇති. මාගේ අවසාන උත්සාහය වශයෙන් "අසනීපයි.. නිවාඩු ඉල්ලමි " විදුලි පණිවිඩ සෙල්ලම සුපිරියටම සාර්ථක වුයේ ඒ ආකාරයෙන් .

දෙදහස් පහ අවුරුද්ද කියන්නේ මුද්දරයක් ගන්න තැපැල් කන්තෝරුවට ගියත් පොල්වත්තේ හන්දියේ තැපැල් කන්තෝරුවේ ඇන්ටි ටෙලිග්‍රෑම් ෆෝර්ම් එකක් ඉල්ලන්නේ නැතුවම කවුන්ටරේ උඩින් තියන තරමටම තැපැල් කන්තොරුවත් මමත් එකට එක හදවතින්ම බැඳිච්ච අවුරුද්දක්. ලොක්කා මට කරපු අරියාදුකම් වලට සහ ලොක්කා විසින් අවුරුදු එකහමාරක් අත්සන් කරන්නේ නැතුව මෙසේ උඩ තියාගෙන හිටපු කාර්මික නිලධාරී තුන්වෙනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට කෙරෙන උසස්වීම මා වෙත නොදීමට එරෙහිව මා වෙනුවෙන් පෙනී හිටින්න බැහැ කියල කොන්ද පණනැති වුර්තීය සමිති නිලධාරීන් එයාලගේ සැඟවී ගොට්ට ඇල්ලීමේ වුර්තීය සමිති ව්‍යාපාරයේ හෙළුවැල්ල මට පෙන්වපු නිසාත්, ලොකු ලොකු දේශපාලන සම්භන්ධකම් තිබුන මාගේ පියාණන් ප්‍රමුඛ ඥාති පිරිවරද මට ස්ථාන මාරුවීම හදාගන්න දේශපාලන තල්ලුවක් අරන්දීම තරයේ ප්‍රතික්ෂේප කල නිසාත්  අවසානයේ උසස්වීම  සමග ස්ථාන මාරුවීම ලබාගන්න මට පිහිටවුණ එකම එක පන තියෙන ජීවියා වුනේ තැපැල් කන්තෝරුවේ ඇන්ටි විතරමයි. මම මෝටර් සයිකලෙන් හරි වාහනෙන් හරි බහිනකොටම ටෙලිග්‍රෑම් ෆෝරම් එකක් කවුටරේ උඩින් තියල මට දීපු සහයෝගය මිල කරන්න බැරි තරම්. 

ලියන්න ආපු කතාව නොලිය පඳුරු තැලිල්ල නොහොත් වටේ යැවීම සම්භන්ධයෙන් පාඨක සැම මා වෙත සමාව භජනය කරත්වා..

ඔන්න ආයෙත් දෙදහස් හතරෙ දෙසැම්බර් විසි හය දවස උදේ.

මම අටහමාරට විතර ඇහැරිලා හෙමින් සැරේ ලකලැහැස්ති  උනේ මගුල් ගෙදර වැඩටික කරගන්න කාර් එක ගිහින් දීල එන්න. එත් පොඩි ප්‍රශ්නයක් තිබ්බ. ඒ නම් කාර් එකේ බැටරිය හොඳ තත්වයේ නොමැතිවීම. බැටරිය හොඳ නැති නිසා සමහරක් වෙලාවට කාර් එක ස්ටාර්ට් එකට හොර වීම නිසා අලුතෙන් බැටරියක් හයිකරලම කාර් එක ගෙනිහින් දෙන්න තමයි මගේ අදහස උනේ. 

අම්මේ මම ගිහින් එන්නම්. කාර් එකට බැට්රි එකක් දාගෙනම යනවා ගින්තොට.

ඔයා මාර්කට් එක පැත්තට යනවනම් මාළු තිබ්බොත් මාළු ටිකක් ගෙනැත් දීල යන්න පුලුවන්ද.

බලමු. අද පෝය නිසා මාළු තියේවිද දන්නේ නැහැ.

ඒක තමයි ළමයෝ මම කිව්වේ තිබුනොත් ටිකක් ගෙනත් දීල යන්න.

හා හා බලමු. බැට්රි එක දාන කඩේ ඇරලා නැති වුනොත් ගෙනත්දීල යන්නම්. ඇරල තිබ්බොත් බැට්රි එක දාගෙන මං එහෙමම යනව. පොඩි අයියලාට වැඩක් කරගන්න මේක දවල් වෙන්න කලින් ගෙනිහින් දෙන්න ඕන.

එහෙම කියාගෙන මම පිටත්වුනේ විජේසූරිය එකට ගිහින් බැටරි එකක් අලුතෙන් දාගෙන ගින්තොට යන්න. එත් මම විජේසූරිය මෝටර්ස් එක ලඟට යද්දි කඩේ ඇරලා නෑ. කඩේ අරිනකම් ඉඳල බැට්රි එක දාගෙනම යන්න හිතාගෙන පැය භාගයක් විතර කාර් එකට වෙලාම ඉන්නකොට තමයි මට අම්මට මාළු ගෙනැත් දෙන්න පොරොන්දු උනා නේද කියන එක මතක් වුනේ.

දවස ඉරිදා වීමත්, පෝය වීමත් නිසා විජේසූරිය මෝටර්ස් අරින වෙලාව විශ්වාස නැති නිසා මම කාර් එක ස්ටාර්ට් කරගෙන මාළු මාර්කට් එක පැත්තට ගෑටුවේ නිකම් ගතවෙන කාලෙ ඔන්න ඔහේ අම්මට මාළු ටිකක් ගෙනිහින් දෙන්න හිතාගෙන.

සුමනදාස හෝටලය කියන්නේ අම්බලන්ගොඩ මහා විදියේ මාළු මාර්කට්ටුව ආසන්නම හෝටලයක් සහ කුණු කෑම නැති හොඳ තත්වයේ කෑම තියන හෝටලයක්. සුමනදාස හෝටලයේ උදේ බත් එක කෑවා කියන්නේ ආයේ හවස තුන හතර වෙනකම් බඩගින්න කියන නාමයක් හොයන්න නැතිවෙන කෑමක්. කුකුළුමස් සහ ව්‍යංජන එක්ක හැදෙන සුමනදාස එකේ උදේ බත් එක කන්න හුඟක් එවුන් උදේට සුමනදාස එකට ඇදෙන එක සාමාන්‍ය දෙයක් වුනේ අම්බලන්ගොඩ උදේට කන්න තිබ්බ සුපිරිම තැන සුමනදාස හෝටලේ නිසා. 

ඒ වෙද්දී මාළු මාර්කට් හරියේ වාහන නවත්වන්න ඉඩක් තිබ්බේ නැති නිසා මමත් සුමනදාස හෝටලයත් පහුකරන් ඉස්සරහට ගිහින් ඉඩ තියෙන තැනක් බලල වාහනේ නවත්තල මාර්කට් හන්දියට පයින් ආවේ මාළු ටිකක් ගන්න අදහසින්.

දවස පෝය නිසා වෙනදට මාළු ගන්න සුපුරුදු මාළු ලෑලි වෙළඳාම් නොකරන දවසක් උන නිසා ලඟම තිබ්බ මාළු ලෑල්ල ගාවට ගිහින් මාළු කිලෝ එකක් කපන්න කිව්වේ අලුත් මාළුද කියල අහන එක පෝය දවසේ තේරුමක් නැති ප්‍රශ්නයක් නිසා. පෝය දවස ධීවරයින් මුහුදු නොයන දවසක් නිසාත් විකිනෙන මාළුවක් පෝයට විකිනුනේ ශීතකරණයේ ගබඩාවෙච්ච මාළු විතරයි.

ඒත් මට විකුනන්න කපමින් හිටපු මාළු කුරියාත් මාළු ලෑල්ලත් පෙරලගෙන මාවත් පෙරලගෙන දුවන්න ගතපු මාළු වෙළෙන්දන් මේ දුවන්නේ මොකද බොලේ කියල මුහුද දිහා බලපු මම දැකපු දෙයින් තමයි මට තරු විසික් උනේ.

මම හිටපු තැන ඉඳන් සාමාන්‍ය වෙලාවට මුහුදේ රල ගහන තැන හෙවත් මුහුදු වෙරළට මීටර් විසිපහකට වඩා වැඩියි. එත් මම දැක්කේ කළු පාට වතුර එක්ක විශාල මුහුදු රැලක් මා දිහාට මාළු ලෑලි තල්ලු කරගෙන වේගයෙන් එන හැටි. ක්ෂණිකවම ආපස්සට හැරුන මමත් මාළු වෙළෙන්දන් පස්සෙන්ම මාර්කට් හන්දිය පැත්තට ඉගිල්ලුනේ පන බේරගන්න ඕන නිසා. ලෝක ධාවන ශූරයන්ටත් වඩා වේගෙන් දුවපු මමත් මාළු මාර්කට් පාරෙන් මහා වීදියට ගොඩවුනේ මහ වීදිය තිබුනේ මාර්කට් පාරට වඩා අඩි හයක් හතක් උඩින් නිසා. පස්ස නොබලා එලෝ මෙලෝ නැතුව දුවන ජනතාව එක්ක මමත් ඉබේම හැරුනේ කාර් එක නවත්තපු දිහාවට. දුවපු දිවිල්ලට සුමනදාස හෝටලේ පහුකරන් දුවද්දී තමයි දැක්කෙ සුමනදාස හෝටලේ ගාව නවත්තල තියන මගේ මිත්‍රයෙකුගේ වෑන් එක.

වෑන් රථයේ අයිතිකරුවා නොහොත් මගේ අඹ මිත්‍රයා සුමනදාස හෝටලයේ උදේ බත් ලෝලියෙකු බව උගේ ඥාති හිත මිත්‍ර සියල්ලම සහ මමත් දන්නා දෙයක්. සාගරයක් වගේ බඩක් තියෙන මිත්‍රයෙක් වෙච්චි අපේ එකාගේ බඩ පුරවන්න සුමනදාස එකේ බත් එකක් යන්තමට වගේ පුළුවන් වෙන්නේ කුකුල්ලු භාගයක් එක්ක දෙපාරක් විතර අඩු බත් බෙදාගෙන කෑවයින් පස්සෙයි. මගේ අඹ මිත්‍රයා තරම් මෙගා සයිස් බඩවල් තියන එවුන් කීප දෙනෙක් කන්න සෙට් උනොත් සුමනදාස හෝටලේට උදේ බත් බිස්නස් එකෙන් ලාභ ගන්න එක සුම්ම වෙන්නේ අපේ එකා වගේ තිස්දෙනෙක්  කෑවොත් උන් තිස්දෙනා මිනිස්සු අනූවක් කන තරම් බත් කන නිසා. මිත්‍රයාගේ කෑම ගැන ලියල ආයෙත් පොස්ට් එක කැලේ පනින්න කලින් නැවතත් සිද්දියට ආවේ නැති උනොත් මගේ පාඨකයින් මට දෙවැනි වතාවට සමාව දෙන එකක්නම් නැතිවෙයි.

මිත්‍රයාගේ වෑන් රථය පහුකරගෙන පන එපා කියල කාර් එක හොයාගෙන දුවන මගේ ඔලුවට විදුලියක් ගහන්න වගේ එක පාරට මතක් උනේ සුමනදාස හෝටලේ ඇතුලේ රෝස්  කරපු කුකුල්ලු භාගයක් එක්ක බත් කන්දක් පහත් කරන මගේ අඹ මිත්‍රයාගේ ගෙදර තියෙන්නේ මුහුද අයිනේ නේද දෙයියෝ කියල. ඒ සිතුවිල්ලත් එක්කම මරණය පිටිපස්සෙන් එළවන් ආවත් මගේ අඹ මිත්‍රයා දාල දුවන්න මට හිත හදාගන්න බැරිඋනා. ආපහු හැරුන මම කලින්ම දිව්වේ සුමනදාස හෝටලේ ඇතුලට. ඒ වෙද්දී මගේ මිත්‍ර රත්නය හිටියේ රෝස් කුකුල්ලු එක්ක තිබ්බ අපරිමිත වයිරය පිරිමහමින්.

මොකෝ බන් මේ හති දාගෙන..

මුහුද දානවා යකෝ ගෙදර දුවපන්.. වයිෆුයි දරුවයි ගෙදර නේද..

උදේ පාන්දර බොට පිස්සු හැදිලද යකෝ.. මෙන්න මෙහෙ වාඩි වෙලා මොනාහරි කාපන්..

කන්න නෙවෙයි යකෝ මුහුද දානව.. ගෙදර දුවපන් @#$%@%%#%#%#% පුතෝ..

භූත නැතුව මෙන්න මෙහෙ වාඩියන් .. මොනාද කන්නේ.. බත් කනවද ෂෝර්ට් ඊට් කනවද.. 

භූත නෙවෙයි %$$#@#$% පුතෝ.. එලියට ගිහින් බලපන් මම කියනවට..

උඹ ඇත්තමද බන් කියන්නේ..

තොට බොරු කියන්නේ මොනා ගන්නද යකෝ.. එලියට වර.. එලියට බැහැල බලපන් ..

මගේ බලවත් පෙරැත්තයට මිතුරු තැන මට දහසක් දොස් කියාගෙන අකමැත්තෙන් බත් පතට මද විවේකයක් දීල කුකුළු අන්ඩක් කටින් ලෙලි ගහමින් සුමනදාස හෝටලයෙන් එලියට ආවේ මම කියන්නේ ඇත්ත කියල සියයට එකක්වත් විශ්වාසයක් නැතුව. හෝටලයෙන් එලියට ආපු ගමන් මගේ මිත්‍රයා දැක්කේ එලෝ මෙලෝ නැතුව පන බේරාගෙන දුවන මිනිස්සු. ඒ දැකපු මගේ මිත්‍රයාගේ ක්‍රේල් ක්‍රේල් කොන්ඩෙ කෙලින් උනා කිව්වොත් තමයි හරි. 

පත සරීර කුඩුවත් උස්සගෙන මා මිත්‍රය දුවන්න ගත්තේ උගේ වෑන් එක තිබ්බ තැනට. ඒත් එක් දිසාවකට විතරක් වාහන ධාවනය කරන්න පුළුවන් මහ වීදියේ නීතියට  අනුව යාළුවගේ ගෙදර පැත්තට යන්නනම් වටෙන් ගිහින් ගාලු පාරෙන් එන්න ඕන කිලෝ මීටර් දෙකක්වත් . මිත්‍රයාගේ ගෙදරට යන්න තිබ්බ ලඟම පාර හෙවත් මීටර් දෙතුන්සීයෙන් ගෙදර යන මාළු මාර්කට් පාර ඒ වෙද්දීත් මුහුදු වතුරෙන් යටවෙලා රළ ගහමින් තිබුනෙ. 

දරුවයි වයිෆුයි ගෙදරද..

ඔව් යකෝ ඔව්..

හරි උඹ වාහනේ අරන් වටෙන් වරෙන්. මම මේ පැත්තෙන් පයින් දුවන්නම්.

හරි.

මම මහ වීදිය දිගේ ඇසිපිය ගහන වේගෙන් දිව්වේ මිත්‍රයාගේ ගෙදරට. මම ජීවිතේටම වේගෙන්ම දුවපු දවසක් තියෙනවනම් ඒ දවස තමයි දෙදාස් හතරේ දෙසැම්බර් විසි හය. මාර්කට් හන්දියේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරින් තිබ්බ මගේ මිත්‍රයාගේ ගෙදරට මට පුළුවන් උපරිම වේගයෙන් දුවපු මම එතනට යනකොටත් මගේ මිත්‍රයගෙ ගෙදරට මුහුදු රළ අඩි දෙකක් වගේ උසකට ඇවිත්. ගොඩබිම පැත්තට දුවන නොසන්සුන් මිනිස්සු අතරේ මමත් අමාරුවෙන් මුහුදු වෙරල පැත්තට දිව්ව. එත් නිකමට වගේ පස්ස බලපු මම දැක්කේ මිනිස්සු අතරින් අමාරුවෙන් රිංගගෙන වාහනය පදවාගෙන එන මගේ මිත්‍රය.  වාහනේ දැකපු මම ආපස්සට හැරිල වාහනේ ලඟට දිව්වේ මගේ මිත්‍රයා කරන්න යන අවදානම් වැඩේ ගැන ඉවෙන් වගේ දැනුන නිසා.

ඕක නවත්තපන්..

ඇයි ..

මේ සෙනග අස්සේ උඹ ගියොත් හිරවෙනව . උඹ ඕක හරවාගෙන රිවස් එකේ වරෙන්. මම දරුවයි වයිෆුයි ගෙදර අයයි අරන් එන්නම්.

හරි.

ආයෙත් ක්ෂණිකව වෙරල පැත්තට හැරුන මම දිව්වේ මිත්‍රයාගේ ගෙදරට. ඒ වෙද්දී මගේ මිත්‍රයාගේ බිරින්දෑ දරුවත් කරපින්නාගෙන වත්තේ ඉන්නවා මම ඈත තියාම දැක්ක. ඉනි වැටේ ඉඩක් තිබ්බ තැනකින් වත්ත ඇතුලට පැනපු මම මිත්‍රයාගේ බිරින්දෑ අතේ හිටපු දරුවා අතට අරන් මගේ පස්සෙන් එන්න කියල විධානය දීල ක්ෂණිකවම අඩි දෙකක් විතර වතුර පිරිලා තිබ්බ මිත්‍රයාගේ ඉඩම සීමාවෙන් පිටවුනා. ඒ වෙද්දී මගේ මිත්‍රයා කොහේදෝ අස්සකට වාහනේ ඔබල යාන්තමින් වාහනේ ආපස්සට හරවාගෙන තිබ්බ. යාළුවගේ බිරින්දෑත් දරුවත් ගෙදර සෙසු පිරිසත් වාහනේට නග්ගල පිටත්කරලා යැව්වාම තමයි මම භාරගත් රාජකාරිය සම්පූර්ණ වුනේ. 

ඇහැට පෙනෙන මානයටම මුහුදේ වතුර හිඳිලා විනාඩි දහයක් ගියේ නෑ  ආපු දෙවැනි සුනාමි රැලෙන් මිත්‍රයාගේ නිවස වහල මට්ටමට වගේ මුහුදු රැලෙන් යටවෙනවත් එක්කම ආයෙත් පන එපා කියල දුවන ජනතාවත් එක්කම මමත් ගෙදරම දිව්වාම තමයි මට මතක් උනේ කාර් එක ටවුන් එකේ නේද කියල.

මහ විදියට සුනාමි ආවේ නැති නිසා මගේ කාර් එකට අඩුම තරමේ රළ පාරක්වත් වැදුනේ නැහැ. සුනාමි ඇවිත් ජීවිත් දහස් ගණනක් අරගෙන ගියායින් පස්සේ දවල් වෙලා ගිහින් මම කාර් එක අරන් ආව. හවස තුනට හතරට තමයි මගේ මිත්‍රයා ආයෙත් මාව හොයාගෙන ආවේ. උපන්දා ඉඳන් හදුන වැඩුන ගේ මුහුදු රළ වලින් විනාස වෙලා තියෙද්දී ජීවිත බේරුනත් මගේ මිත්‍රයා හිටියේ බොහොම දුකෙන්.

මොකද මචන් වෙන්න ඕන.

ගෙවල් ඉවරයි බන්.

බිත්ති පෙරලිලාද ..

නෑ බන්.. දොරවල් දෙපලු කරගෙන වතුර ගෙට ගිහින්. බඩුමුට්ටු ඔක්කොම විනාසයි..

වටින බඩු තිබ්බද බන්..

අල්මාරියේ ලක්ස දෙකක විතර රත්තරන් බඩු තිබ්බ බන් වයිෆ්ගෙ..

දැන් මොකද කරන්න ඕන..

කව්රුත් හොයාගන්න නැහැ මේ වෙලාවේ බඩු ටික හොයන්න යන්න.. ඉන්න එවුන්ට කතාකරන්නත් බෑ බන් මුහුද ගැන විශ්වාසයක් නැති නිසා.

පවුලේ කව්රුහරි එනවනම් මම එක්ක ගේ ඇතුලට යන්න මම යන්නම් ඇතුලට.

ඉතින් මම ඉන්නේ බන්.

උඹේ ඔය සරීර කූඩුව අරගෙන උඹට පුලුවන්ද බන් ඕක ඇතුලේ රිංගන්න. අනික හදිසියෙවත් මුහුද ආවොත් උඹට දුවන්නත් බෑ .

මස්සිනා නම් එන්නම් කිව්වා බන්.

හරි එහෙමනම් යමු.. හැබැයි අපි ගෙට ගිහින් රත්තරන් බඩු ටික තියෙනවද නැද්ද කියල හොයාගන්නකම් උඹ මුහුද දිහා බලන් ඉන්න ඕන. මොනම හේතුවකටවත් උඹ මුහුදෙන් ඇහැ අහකට ගන්න බෑ..

හරි එහෙනම් යමු.

මිත්‍රයාගෙ මස්සිනාත් මමත් මිත්‍රයාත් ගෙදරට යනකොට පලාතම සොහොන් පිටියක් වගේ පාලු වෙලා. සමහර ගෙවල් බිත්තිත් එක්කම කැඩිල. සමහර ගෙවල් දොර ජනෙල් දෙපලු වෙලා. වැටකඩුලු , තාප්ප, සියල්ලම තිබ්බ තැනක් හොයන්නත් නෑ . කැඩිච්ච වතුර පයිප්ප වලින් එක දිගට වතුර ඔහේ ගලාගෙන යමින් තිබ්බ. ගෑස් කුකර් එකක් ගෑස් සිලින්ඩර් එක්කම බටේ පැලිල ෂූ සද්දෙන් ගෑස් පිටවෙනව මිදුල මැද්දෙ . මගේ මිත්‍රය හිටියේ බොහොම දුකෙන්. හොඳට මුහුද පේන තැනකින් මිත්‍රයාව මුහුද පැත්තට මුහුණ දාල වාඩි කරවලා මිත්‍රයාගේ මස්සිනාත් මමත් ගේ ඇතුලට රිංගන්න උත්සහ කරේ බොහොම වැර වෑයමෙන්.

ගෙඳවාන දිහා බලන් හිටපන්... ගෙඳවාන උඩින් රැලක් ආවොත් කෑගහල කියපන්... උඹත් දුවපන්.. අපි අහුවෙච්ච තැනකින් පැනල දුවන්නම්.. අපි ගැන බලන්න එපා.. කෑගහල කිව්වොත් ඇති හරිද..

හරි මචන්..

මුහුදු වැලි වලින් අඩි එකහමාරක් විතර පිරිලා තිබ්බ මගේ මිත්‍රයාගේ නිදන කාමරේ දොරේ තිබ්බේ දොර රාමුව විතරයි. ඇතුලේ තිබ්බ බඩුමුට්ටු ඔක්කොම බ්ලෙන්ඩරයක දාල කරකවල වගේ සියල්ල සුන්බුන් බවට පත්වෙලා. අපි දෙන්න බඩු එකින් එක බොහොම පරෙස්සමට එලියට අදින්නයි උත්සහ කරේ. එත් ලොකුම ප්‍රශ්නය උනේ බිඳුණු ජනෙල්වල විදුරු කටු, කන්නාඩි මේස වල , අල්මාරියේ වීදුරු කටු හැමතැනම විසිරිලා  තිබ්බ එක. අත පය කපාගන්නේ නැතුව බඩු එලියට අදින එක ලොකු අභියෝගයක් වුනා. 

අපිට හදිසියෙන් පැනල දුවන්න පුළුවන් ඉඩත් තියාගෙන හෙමි හෙමිහිට අහුවෙන අහුවෙන සුන්බුන් එකින් එක ඉස්තෝප්පුවට වීසිකරගෙන අපි දෙන්නත් ටිකෙන් ටික කිට්ටු කරේ අල්මාරිය තියන තැනට. එත් අල්මාරිය පලු දෙකම භාගෙට ඇරිලා තියෙන වග එතනට නොයාම පෙනුනත් ඇතුලෙ තියන බඩු මොන තත්වෙන්ද තියෙන්නේ කියල අපිට පෙනුනේ නෑ. පැයක විතර බොහොම ලොකු උත්සාහයකින් පස්සේ අපි දෙන්න අල්මාරිය ගාවට ලං උනත් අල්මාරියේ දොරවල් අරින එක ලොකු අභියෝගයක් උනේ කාමරේ පිරිලා තිබ්බ මුහුදු වැලි අයින් නොකර දොරපලු එහා මෙහා කරන්න බැරි නිසා.

අල්මාරිය පාමුල තිබ්බ වැලි එහෙමෙහෙ කරලා කැඩිච්ච දොරපලු ඇරල බැලුවාම තමයි දැක්කේ ඇඳුම් කෑලි දෙකතුනක් ඇරුනාම වටිනා යමක් අල්මාරිය ඇතුලේ නැහැ කියල. ඒ වෙද්දීත් වැඩේට පැය එකහමාරකට වඩා ගතවෙලා. අපේ අරමුණ වුනේ රත්තරන් බඩු ටික හොයාගන්න එක නිසා අපි දෙන්නම මඩ සහිත මුහුදු වැලි ගොඩේ අත්දෙක දාල බොහොම පරෙස්සමට කාල් ගෑවෙ කොහෙන් හරි රත්තරන් බඩු  ටික හම්බේවිදෝ කියල සීයට දශම එකකවත් විස්වාසයක් නැතුව. 

මඩත් එක්ක වැළලිලා තියන වීදුරු කටු වලින් අත් දෙක බේරාගෙන අතට අහුවෙන අහුවෙන දේවල් මඩ ගොඩෙන් එලියට ඇදල පරික්ෂා කරලා ඉස්තෝප්පුවට දැමීම තමයි කරගෙන ගියේ. ඔන්න ඔහොම පැයක් විතර කාමරේ පුරාම මඩ කාල් ගානකොට මගේ අතට අහුවුනා පොට්ටනියක් වගේ දෙයක්. තිබ්බේ වීදුරු කටු ගොඩක් අස්සෙ නිසාත් ඇහැට නොපෙනෙන තැනක් නිසාත් අත බේරගෙන මඩ ගුලිය උඩට අරගෙන පරික්ෂා කරල බැලුවාම තමයි මම දැක්කෙ රෙද්දකින් ඔතපු රත්තරන් බඩු සියල්ලම කිසිම කරදරයක් නැතුව පොදියටම මඩ එක්ක දිලිසි දිලිසි තියන විදිහ.

ඒ වෙද්දීත් අඳුර වැටීගෙන ඇවිත් තිබ්බ නිසාත් ආපු අරමුණ හරි නිසාත් වෙන ගන්න හොයන්න දෙයක් නැති නිසාත් අපි දෙන්න පරෙස්සමට කකුල් කපාගන්නේ නැතුව එලියට ආවේ හැකි ඉක්මනින් මුහුදු මාරයාගෙන් බේරිලා පැනගන්න හිතාගෙන. එලියට ඇවිත් දැකපු දර්ශනයෙන් තමයි අපි කරපු වැඩේ භයානක කම අපිට තේරුනේ.

ගෙඳවාන දිහා බලාගෙන හිටහන් කියල මිදුල මැද්දේ වාඩි කරලා ආපු මිතුරු තැන ඒ වෙද්දී හිටියේ බිම එලාපු පෝර උරයක් උඩ වාඩි  වෙලා මුහුදට පිටුපාගෙන. හැබැයි නිකම් නෙවෙයි. බිත්තර පාන් එකක් කන ගමන්. 

පෝර උරේ උඩ එරමිණිය ගොතාගෙන මුහුදට පිටුපාල වාඩි වෙලා බඩ පුරා කොටාබාමින් ඉන්න මගේ අඹ මිත්‍රයා ඉස්සරහ පොලිතින් කවරේ තිබ්බේ තවත් බිත්තර පාන් පහක් හයක්. ඒ වෙද්දී රත්තරන් බඩු , සුනාමි කිසිදෙයක් මගේ මිත්‍රයගෙ ඔලුවේ නැති විත්තිය විතරක් මට තේරුනා. ඒ බඩ සාගරේ ගින්නට සුනාමි දහයක් ආවත් පරාදයි කියල එදා මම තේරුම් ගත්ත.

මුගේ ගෑනිගේ රත්තරන් බඩු හොයන අපේ ජීවිත අනතුරේ දාල මූ බිත්තර පාන් ගේන්නත් ගිහිල්ල නේද කියල මට පස්සේ තේරුනේ බිත්තර පාන් එතනට ඇවිදගෙන එන්න විදිහක් නැහැ නේද හත් දෙයියනේ කියල මතක් උනාම. ඔන්න ඔහොමයි මගේ අඹ මිත්‍රයාගේ බඩගින්නට එකම දවසේ සුනාමිය දෙපාරක් පරාද උනේ. 

මේක කියවන පාඨකයින්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ සා බඩගින්නක් තියන එවුන් කවදාවත් අවදානම් රාජකාරීවලට එක්කයන්න එපා කියල. මොකද මුන් වගේ එවුන්ට බඩගිනි උනා කියන්නේ පිඹුරාට බඩගිනි උනා වගේ තමයි ආයේ තැනක් නොතැනක් නෑ ලෝක ගෝලෙ හරි ගිලිනවාමයි.

මේ පොස්ට් එක ඇතුලේ මගේ අඹ මිත්‍රයාගේ නම හෝ කිසියම් සුරතල් නාමයක්වත් සඳහන් නොකරන්න මම අදහස් කරේ දෙදාස් හතරේ දෙසැම්බර් විසි හයවෙනිදා උදේට කාපු බත් කන්දටයි කුකුල් පලුවටයි අපේ එකා සුමනදාස හෝටලේට සල්ලි ගෙව්වේ නැති බව මම ඉන්තේරුවෙන්ම දන්නා නිසා. 

ඒ සුනාමි පරද්දපු බඩගිනි කාරයා මීට කලින් පෝස්ට් කිහිපයකත් සුපර් ස්ටාර් වෙච්චි එකෙක් කියල විතරක් පොඩි ඉඟියක් දෙන්න විතරක් පුළුවනි. එවකට ව්‍යාපාරිකයෙක් වෙච්චි මගේ අඹ මිත්‍රයා දැන් රජයේ සේවකයෙක්. රැකියාව කල යුත්තේ කොහොමද කියන එක මගෙන් අකුරට ඉගෙනගත්තු මිත්‍රයාගේ ලොක්කන්ටත් මගේ ලොක්කන්ට වගේම ගලේ පහරපු බල්ලට වෙච්චි දේම වෙලා ඇති කියලනම් මට ඉර හඳ වගේම විශ්වාසයි. ගෙදරදී අඹේනිය විසින් හදල දෙන සෞක්‍යාරක්ෂිත සීනි නැති තේ , යහපත් සෞක්‍ය ජීවිතේ අංක එකට තියල මාත්‍රාවට තෙල් නොදා හදල දෙන කෑම බීම හරිම කීකරුව කන බොන මගේ අඹ මිත්‍රයාගේ වයිපරේනම් කොයි වෙලාවෙත් කියන්නේ 

මෙයාට කොච්චර තෙල්, සීනි, සුදුබත් අඩුවෙන් දීල මස් බිත්තර කන්න නොදී හිටියත් කොලස්ට්‍රෝල්, සීනි අඩුවෙන්නෙම නැහැ අනේ ....කියලයි. 

පූසා වගේ උදේට වැඩට යන මගේ අඹ මිත්‍රයා උදේ පාන්දර සුමනදාස හෝටලේට රින්ගුවාම කන්දක් විතර බත් පිඟන් දෙක තුනකටත් කුකුල් පලුවකටත්  ඇඩ්‍රස් නැතිවෙන්න සුනාමිය වදින හැටි දන්නේ යාලු මිත්‍රයෝ විතරයි. අපේ එකාට සාමාන්‍ය මිලටම කන්න දෙන එකෙන් සුමනදාස හෝටලේට ලාභයක්නම් තියනවා කියල මමනම් හිතන්නේ නැහැ. 

එත් එක්කම මේකත් කියන්න ඕනෙමයි.......අම්බලන්ගොඩ එවුන් කවදත් කෑමට කප් ගහපු එවුන්.

පසු සටහන්

මගේ කාර් එක දෙන්න ගියපු මගුල් ගෙදර හෙවත් මගේ පොඩි අයියගේ නැන්දම්මා නොහොත් මනාලිය වීමට සිටි අක්කාගේ මව සුනාමියෙන් මියගියා. තවත් බොහොම ළඟ මිත්‍රයෙකුගේ අම්මාත් නැගණියත් මියගියා. මීට කලින් පොස්ට් එකේ හෙවත් සනාගේ වික්‍රම පොස්ට් එකේ සනා එක්ක ආකාස පත්තු කරලා මට කනේ පාරක් ඉල්ලලා දීපු ප්‍රසන්නගේ අම්මා සහ ආච්චිත්  මියගියා. ඒ වගේම දන්නා  කියන තව හුඟක් දෙනෙක් මියගියා. 

මළමිනී අතරේ ගෙවිච්ච ඉතුරු දවස් කීපය ගැන වෙනම ලිපි කිහිපයක් ලිවිය යුතුයි. එදා විජේසූරිය මෝටර්ස් උදේ පාන්දර ඇරියනම් මේ පොස්ට් එක ලියන්න මම අද මෙතන නැතිවෙන්න තිබුන. බැටරිය ලැබුණානම් බැටරිය හයිකරන් ගිංතොට යනකොට සුනාමි එන වෙලාව වෙද්දී මම අනිවාර්යෙන් අකුරල හරියේ වෙන්න තිබ්බ. අදටත් මාසෙකට දෙතුන් වතාවක් සුනාමිය හීනෙන් දැකල බයවෙලා ඇහැරෙන්න තරම් සුනාමිය මගේ ඔලුව ඇතුලේ පැලපදියම් වෙලා. මාසෙට කීපවතාවක් මහ රෑ බයවෙලා ඇහැරෙන නින්ද වගේද සුනාමියෙන් මිනිස්සුන්ට නැතිවෙච්ච ජීවිත සහ දේපල. ඒ ගැන ලියන්න වචන නෑ.

වෙරළට ටිකක් දුරින් තියන මහා ගල්පරයක් වෙන ගෙඳවාන වෙරළට කලින් භාදකයක් වගේ අම්බලන්ගොඩ ආවරණය කරගෙන යෝදයෙක් වගේ නොසැලී ඉන්න නිසා සුනාමියෙන් අම්බලන්ගොඩට වෙන්න තිබ්බ හානිය අඩුවුනා කියල මට හිතෙනවා.  පලවෙනි සුනාමි රළ  ඇවිත් ගිහින් දෙවැනි රළ එන අතරතුරේ ඇහැට පෙනෙන මානය දක්වාම මුහුදේ වතුර හිඳිලා ගිය නිසා උදේ බෝට්ටු වලින් ගෙඳවානේ ගිය එවුන් ගලෙන් ගලට පැනගෙන පයින් ගොඩට දුවන් එන හැටි මම ඇස්දෙකටම දැක්ක. ඒ කාලේ කැමරා ෆෝන් තිබ්බනම් උපන්දා ඉඳන් වතුර පිරිච්ච මුහුද වතුර නැති උනාම කොහොමද කියල හැමෝටම බලාගන්න තිබ්බ.  

සුනාමියට එහා බඩගින්නක් තිබ්බත්  අපේ එකා දෙදාස් හතරේ දෙසැම්බර් විසිහය වෙනිදා සුමනදාස හෝටලේ ඉඳල වාහනේට නැග්ගේ ඉඳුල් අත පිටින්. ඒ තමයි තමුන්ගේ අඹු දරුවන්ට සහෝදරයින්ට සහ වදපු අම්මට  උගේ තිබ්බ නොකියන සෙනෙහස. ඒ ගැන ඇගයීමක් තිබිය යුතුමයි. 

සුනාමියෙන් මියගිය හැමදෙනාටම නිවන්සැප ලැබේවා කියල හැමෝම එක්ක ප්‍රාර්ථනා කරමු. අපට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි..


පින්තුර ගත්තේ මෙතනින් 
http://www.gll-getalife.com/get-ripped/entry/hormones-and-weight-gain