Saturday, March 4, 2023

අම්පාර ගමන

 




කලින් පොස්ට් එකේ තිබ්බ පුස්තකාලේ වැඩේ කෙරෙමින් තිබුනට ගොඩයා ලංකාවට එද්දී ඒක ඕපන් කරන තැනට හදීල තිබුනේ නෑ.. ඒ නිසා ගොඩයාගේ ලංකාගමනය  ප්ලෑන් කරලා ලංකාවට ගිය ගමනක් නෙවෙයි. සති තුනක් නිවාඩු දාගෙන අතිං ලක්ස තුනක් විතර දීලා ටිකට් එකත් අරගෙන ලංකාවට ගිහිං ආයෙත් පීසීආර් වලටයි හෝටල් වලටයි ලක්ස ගානක් දීලා ලංකාවෙ හෝටලේක සති දෙකක් ලගා ගහන්න කාටද ආයුබෝවන්ඩ පිස්සු තියෙන්නෙ. ආං ඒ නිසා ගොඩයා කාලාන්තරයක් බලාගෙන හිටියෙ කොරන්ටීන් ගරානාව අහවර වෙනකල් ලංකාවට යන්න. ඕං කොහොමින් කොහොමහරි කොරන්ටීන් මරාලෙත් අහවර වෙලා ගොඩයා ලංකාවට සැපත්වුනා 2021 දෙසැම්බර් මාසෙ මැදට වගේ වෙන්න.

කොහේදෝ කරුමෙකට ඒ මාසෙම අපේ බතලයත් ලංකාවට වැකේශන් ඇවිත්ලු ඕන්.. අපේ ජීවනයත් රට රස්සාවට සමුදීලා එයැයිගෙම සංචාරක නිකේතනය බලාකියාගෙන ඉන්න ලංකාවට ගිය නිසා ඕං ඌත් ලංකාවෙ. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමයි අම්පාරෙ පුස්තකාලේ විවෘත කරන්න ලෑස්තියි කියන ආරංචිය එන්නේ. අම්පාරෙ පුස්තකාලෙ ඕපනින් එකට සංවිධායක මන්ඩලය විසින් බැච් එකට ඕපන් ඉන්විටේශන් එකක් දැම්මට කාටද ආයුබෝවන්ඩ තකහනියේ අම්පාරෙ දුහන්න ඉස්පාසුවක් තියෙන්නෙ. පුස්තකාලයක් විවෘත කරන එක පිට දාලා අම්පාරෙ ගිහිං රවුමක් ගහලා ආතල් එකක් අරං එන්න ආසා උනත් ගෙවල්වල ගෑනු ඔව්වට ඉඩ දෙයිද අප්පා.. ඕං ඒ වගේ වාතාවරණයක් යටතේ අපි එකතුවෙලා හදපු පුස්තකාල ගොඩනැගිල්ල දරුවන්ට බාරදෙන දිනේ ලංවුනා. කාට බැරි උනත් ගොඩයා එකෙන්ම අම්පාරෙ යන්නයි ලෑස්තියි. නාහේ ගාවට වැඩ නිසා යන එන වෙලාව ගැන කලින් තීරණයක් ගන්න තිබ්බ නොහැකියාව මිසක් අම්පාරෙ යනවා කියන එකනම් ඉතිං ඉස්තිරේටම ඉස්තිරයි. වැඩේ යෙදීලා තිබ්බේ දෙසැම්බර් දහතුන්වෙනිදාට නිසා අවසානයේ ගොඩයාගේ අම්පාරෙ යෑම තීරණය උනේ 12 වෙනිදා හවස පිටත්වෙන ආකාරයෙන්.  අම්පාර අභයපුරට අම්බලන්ගොඩ හිටං කිලෝමීටර තුනසිය ගානක්.

ඕපන් කරනවා කිව්වා දවසෙම හිතට දැනිච්ච ආතල් එකට ගොඩයා අනිවා එනවා කිව්වට දහ තුන්වෙනිදා ලං වෙද්දී ගොඩයා උන්නේ අම්පාරෙ යන්න පුළුවන් වාතාවරණයක නෙවෙයි. ගෙදර යස අපූරුවට තිබ්බ බාත්රූම් එකක් ටිකක් අලුත් කරන්න ඕන කියලා බාසෙක් අල්ලාගෙන වැඩේ පටන් ගත්තේ දවස් අටෙන් කරලා දෙනවා කියන පොරොන්දුව පිට උනාට වැඩේ සති හතරක් ආසන්නේටම ඇදුනා කියහන්කෝ. ඒ වැඩේ ඒ වෙද්දීත් සති තුනකට ආසන්න වෙන්න ඇදිලා තිබුන නිසා දවස් දකකට අම්පාර් යනවා කියන්න ලේසි පහසු කටයුත්තක් නෙවෙයි නෙව. ඒත් වගේද අනිවාර්යෙන් එනවාමයි කියලා දීපු පොරොන්දුව. ඉතිං කොහොමද නොගිහිං ඉන්නේ.. යන්න වෙන්නෙත් රෑ නිසා ගොඩයා ඕපන් ඉන්විටේෂන් එකක් දානවා තුන්දෙනෙකුට අම්පාරෙ යෑමට ගමන් පහසුකම් ඇත කියලා.. ජිම්බයි බතලයයි යෑමට ටිකක් විතර ඕකේ උනාට උන්නැහේලා දෙන්නගෙම ගමන තිබ්බේ වැට  උඩ. ගොඩයා නොගියොත් තඩියා යුද ප්‍රකාශ කරන්න නියමිත නිසා දහතුන එළිවෙන්න විනාඩි පහකට කලින් හරි ගොඩයා අම්පාරෙ අභයපුර සිටිය යුතුමයි.

අපේ තඩියා සහ නුවන්, තඩියගෙ වාහනේ කොම්පීතර කෑලි වගේකුත් පටෝගෙන දහවෙනිදා හවස් අතේ අම්පාර බලා මංගැච්චුවේ කොම්පීතර ටික ගොඩ දාන වැඩේ භාරගෙන තිබ්බ නිසා. තඩියා පානදුර හිටං හයිවේ එකෙන් ගාලු පැත්තට පැමිණෙද්දී නුවන් ගොයියවයි, උන්නැහේගේ කොම්පීතර කෑලි බෑලියි  ඔක්කොම පටෝගෙන ගොඩයාට සිද්දවෙනවා උන්දෑව කුරුඳුගහ හයිවේ එන්ට්‍රන්ස් එකටත් ඇරලවන්න. ගොඩයාගේ වාහනේ තිබ්බ බඩු ටිකයි නුවන් ගොයියවයි තඩියාගේ කාර් එකට පැටෙව්වාම උන්දැගේ කාර් එකේ පිටිපස්ස බිම ගෑවෙන්න ඔන්න මෙන්න. තඩියා හිපෝපොට්මස් වගේ  ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න නිසා ඉස්සරහ උඩ උඩ යන්න නෑ පස්සට කොච්චර බර පැටව්වත්. ඔන්න ඔය ආකාරයෙන් තමා උන් දෙන්න අම්පාර බලා පිටත් වෙන්නේ. 

ප්‍රධාන සංවිධායකතුමා හෙවත් රවී ඕපනින් එකට  කලින්දා අම්පාර බලා ගියේ තනියම නෙවෙයි තමුන්ගේ වයිපරෙත් එක්ක. හයිවේ එකේ දාලා අම්බලන්ගොඩ හිටං අම්පාරට යන්න ගතවෙන්නෙ පැය හත අටක් නිසා ඔය ගමන අලුයම් කාලයේ යන්න තිබුනත් දරුවන් දෙන්නත් ගෙදර දාලා වයිපරෙත් අරං කලිදා අම්පාරෙ ගියේ දඹුලුත් ගිහිං තලගොයිත් මරං එන වගේ වැඩකට කියලා තමා රට්ටු කියන්නෙ. රට්ටු කීවෙ සමසංවිධායකලා දෙන්නා. උන් දෙන්නා කීව කතාව ටිකක් විතර සාධාරනේට ගන්න පුලුහං වෙන්නෙ, අපේ ප්‍රධාන සංවිධායක තුමා රෑ නවතින්න තෝරාගන්නෙත් අරුන් දෙන්නා නැවතිලා හිටපු බජට් හෝටලේම නොවෙන වෙනත් සැප පහසු හෝටලේක නිසා. උන්නැහේ අතිං වියදං කරලා නවතින හෝටලේ උන්නැහේගෙම තීරණයක් නිසා එව්වට ඉතිං කාටත් මුකුත් කියන්න බෑ. කොරෝනා නිසා දරුවෝ දෙන්නා ගෙදර දාලා ආවා කීවාට අපේ සම සංවිධායකලා දෙන්නනම් ඉතිං ඒ ගැන කියන්නෙ කට කැඩිච්ව කැත කතාම තමා. සමහරවිට ඉරිසියාව වෙන්ටෑ...😜

වැඩ අධික වීමත්, නැවත හිටපු රට බලා යන්නට තියෙන්නෙ සතියකටත් අඩු කාලයකුත් නිසා ගොඩයාට ගමන් දෙකක් ඇරියස් ඒ  වෙද්දී. පලවෙනි එක තමා කතරගම කිරිවෙහෙර වැඳ පුදාගැනීම.. දෙවැනි එක තමා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වැඳ පුදාගැනීම..  ඒ වැඩ දෙක්ත් ඔලුවේ තියාගන තමා ගොඩයා අම්පාරෙ යන්ට ලැස්ති වෙන්නේ.


කොහොමින් කොහොම හරි ගොඩයයි බතලයයි, ජීවනයයි අම්බලන්ගොඩින් පිට වෙද්දී රෑ හතයි. බතලයා ආවේ තනියම නෙවෙයි කියහන්කෝ. බතලයාගේ වයිපරේගේ අක්කගේ පුතාන්ඩියත් බතලයත් එක්ක ආපි. බතලයා  යන්නේ කොහෙද කියල ෂුවර් නැති නිසා සැකේට එව්වාදෝ කියලා සැක සහිත උනත් කොලුවා අපි එක්ක ගියේ දෙබරවැවට විතරයි. කොල්ලා වැඩ කරන්නේ දෙබරවැව පුන්කලස තියන බැංකුවේ. මෑන්සුත් එදාම බෝඩිමට යන්න හිටපු නිසා දෙබරවැවෙන් බස්සගෙන යන්න එක්ක ආවා කියලා තමා බතලයා කීවේ. නිකං යන වාහනේ කොල්ලාව මගින්  බස්සගෙන යන එක මහ කජ්ජක් නොවෙන නිසා අපිට ඉතිං ඔකේ මහ ගානක් නෑ.. 

රෑ පානෙ අම්පාර ගමන සමහර තැන් ආනන්දන්දජනකයි.. සමහර තැන් ත්‍රාසජනකයි.. සමහර තැන් විනෝදජනකයි.. ආනන්දය, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි අම්පාර ගමනේ විස්තරය වෙනත් බ්ලොග් පොස්ටුවකින් ලියන්න ඕන. මොකද කියනවනම් එකේ විස්තර ගොඩයි. බතලයාගේ නෑනාගේ කොලුවවත් දෙබරවැවෙන් බස්සගෙන කතරගම කිරි වෙහෙරත් වැඳගෙන අපි සැට් එක අම්පාරට ලඟා වෙද්දී එළිවෙන්න තුනහමාරයි. අපේ තඩි එකාවයි නුවන් හාදයයි නැවතිලා ඉන්න හෝටලේට ගිහිං වදෙන් පොරෙන් උන් දෙන්නව ඇහැරවාගෙන හෝටලේ අයිතිකාරයාවත් ඇහැරවාගෙන තවත් කාමරයක් ඉල්ලගෙන අපි නින්දට වැටෙද්දී හතරහමාර පහු.

පුස්තකාලයේ ඕපනින් එක උදේ අටට. අම්පාරේ හිටං අභයපුරට තවත් කිලෝමීටර විස්සක විතර දුරක් තියන නිසා උදෑසනින් පිටත් වෙන්ටත් ඕනෙලු. කාමරේකට සල්ලි ගෙවලා පැය දෙකක් නිදාගෙන පාන්දර නැගිටලා ගෙස්ට් හවුස් එකේ අයිතිකාර අයියා හදලා දීපු සසම සස ටී එකත් බීලා අපිලා ලෑස්තිය අභයපුර යන්න. ලෝකෙ කොහේ ගියත් අම්බලන්ගොඩ එකෙකුයි මුස්ලිම් එකෙකුයි ඉන්නවා කියන කතාව ඇත්ත කියලා ගොඩයා කීප විඩක්ම අත්දැකලා තියෙන නිසා ගොඩයා ඒ ගැන ඒ තරම් පුදුමයක් නෑ. බැලුවාම ගෙස්ට්හවුස් එකේ අයිතිකාර අයියන්ඩිත් අම්බලන්ගොඩ ධර්මාශෝකෙට ගිය සීනියර් පොරක් කියහංකෝ. එයයිගේ සහ බිරින්දෑගෙ සත්කාර ඉතිං ඉස්තරම් . 

පාන්දරම වදෙන් පොරෙන් නැගිටලා නා කියාගෙන අපි යනවා අම්පරෙ හෙලබොජුන් එකට. උදේ හයාමාරට කොහොමද ආයුබෝවන්ඩ කන්නෙ. ගොඩයානම් කීවෙ කන්න බෑ උදේ වැඩියි කියලාමයි. ඒත් ඉතිං තඩියාගෙ වදේට වාහනෙන් නොබැහැ හරි නැති නිසා ඕං ගොඩයත් බැහැලා ගියා අකමැත්තෙන්. බැලුවාම යකඩෝ  ආං බ්‍රෙක්ෆස්ට් නම් බ්‍රෙක්ෆස්ට් . ලිපෙන් බාලා කෙලින්ම ටේබල් එකට ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි. පාං, බත්, කිරිබත්ද, කැවුම් කොකිස් අතිරසද, තොසෙ ඉඳි ආප්පද , ආප්ප පිට්ටුද , උඳුවැල්, හැලප, කෙසෙල්ද , මෙකී නොකී ගොඩාරියක් ජාති කියලා ලියලා නිම කරන්න බෑ. උදේ වැඩියි කීවට, බඩගින්නක් නෑ කීවට ගොඩයත් කිරිබත්ද තෝසෙද ආප්පද පිට්ටුද සියල්ලටම අඩු නැතුව වගකීවා ලංකාවෙන් පිට හිටපු මාස තිස් දෙකේ ඇරියස් එක කවර් වෙන්නම.. රවීගෙ බිරින්දෑ හිටි නිසා පොඩ්ඩක් වගේ මැනර්ස් ඉතුරු කලාට පස්දෙනා කාපු කෑමට හෙලබොජුන් විකුනන උදවියට ගනන් හදාගන්න බෑ . අපි ඔක්කොම කාපු දේවල් එකතු කරත් තඩියා කාපු දේවල් ඊට වැඩි පැත්තට තමා කවුන්ට් එක සෙට් උනේ කෑලි ගාන ගනන් හදද්දි. 

එහෙව් ආකාරයෙන් කාලා කොහොම ඩ්‍රයිව් කරන්නද .. ආයෙම ගෙස්ට් එකට ගිහිං නින්දක් දාපං කියලා හිත කිව්වට එහෙම බෑ අභයපුර විද්‍යාලයේ විදුහල්පතිතුමාත් , ගුරු මන්ඩලයත්, දරුවනුත්, දෙමාපියනුත් බලාන ඉන්නවනේ පුස්තකාලය විවෘත කරන අමුත්තෝ ටික එනකල්. 

අපිලා ඉතිං හිස් බිල්ඩිම උත්සවාකාරයෙන් ඉස්කෝලෙට බාරදීලා ආපහු ගම් රටවල් බලා ආව. ගොඩයානම් ජිම්බාවත් වදෙන් පොරෙන්  ඇදගෙන අම්පාරෙන් අනුරාධපුර ගියා. තඩියා නුවන් ගොයියවයි බතලයාවයි දාගෙන අම්බලන්ගොඩ ආවා. අපේ රවී මොකක්දෝ වාහනේ ඉන්ශුවරන්ස් ප්‍රශ්නයක් ගැන කියාගෙන ඉන්ශුවරන්ස් එකට යනවා කියලා අම්පාරෙ නැවතුනා.. රට්ටුනම් කීවෙ බිරින්දෑවත් ඇදගෙන ආයෙම හෝටලේ පැත්තෙ ගියා කියලාමයි. රට්ටු කීවෙ සමසංවිධායකලා මිසක් අපිලානම් නෙවෙයි. මේක කියවන උඹලා අපේ රවීට මේකෙ කොමෙන්ට් වලින් අසික්කිත කතා ලියනවා නෙවෙයි ඕං.

ගොඩයා ජිම්බාවත් ඇදගෙන අම්පාරෙන් පොලොන්නරුව හරහා අනුරාධපුරයට යන ගමනේ අතර මැද බතලයාගෙන් ආපු දුරකථන ඇමතුමකින් කියැවුනේ තඩියා විසින් පදවාගෙන යන කාර් එකට පියාජියෝ ත්‍රීවීලුත් ඉස්සර කරනවා කියලයි... වැඩිදුර විස්තර හොයලා බැලුවාම අම්පාර අභයපුර හිටං කොලඹ යන කාර් එක ඇතුලට තණමල්විල පැත්තෙන් හුලං පාරක් හමලා... කොහොමින් කොහොමහරි ගොඩයයි ජිම්බයි අනුරාධපුරයට එද්දි හවස හය වගේ වෙන්ටෑ... ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන රුවන්වැලි මහා සෑයත් වැඳ පුදාගෙන ඊලඟට ගොඩයයි ජිම්බයි යන්නෙ සාලියපුර ඉන්න ජිම්බාගෙ යාලුවෙක් හොයාගෙන... එහෙට යද්දි එහේ ලැයිට් නෑ කියහංකො... වදෙන් පොරෙන් ඒ ගෙදරින් ලැබුන සංග්‍රහ සත්කාරත් භුක්ති විඳලා ජිම්බාවා සහ ගොඩයා අනුරාධපුරයෙන් පිටත් වෙද්දි රෑ නවය පහු...

පුත්තලං පාර දුර උනාට දඹුල්ල පාරට වඩා ගමන ඉක්මන් නිසා ගොඩයා පුත්තලං පාරෙ එන්න පිටත් උනා... ජිම්බාව නම් මගක් එද්දි දොයියපතං... ගොඩයත් හැකි උපරිමයක් ඇවිත් ඇවිත් ඇවිත් බැරිම තැන පුත්තලම පහුවෙලා සූටි ඇලර්ට් එකක් දැම්ම... පැයක් හමාරක් දොයියලා අහවර වෙලා ආයෙමත් පැය දෙකක් වගේ ඇවිත් කටුනායකින් හයිවේ එකට දාලා ආයෙම නැවැත්තුවේ අලුත්ගම රෙස්ට් ඒරියා එකේ... ආං ඒ වෙලාවෙ තමා අනුරාධපුරයෙන් නින්දට වැටුන ජිම්බා ඇහරුනේ... රෙස්ට් ඒරියා එකෙන් නෙස්කැෆේ එකක් බීලා ආයෙම පිටත් වෙලා ජිම්බාව උන්නැහේගෙ හෝටලේට බස්සද්දි උදේ පහමාරයි... ටවුන් එකට ගිහිං පැස්ටොල් ටිකත් ෆුල් කරගෙන ගොඩයා ගෙදර එද්දි හය වගේ වෙන්ට ඇති... නා කියාගෙන ඇඳට වැටෙද්දි හයාමාරයි... 

හතහමාර වෙද්දි... බාත් රූම් එක විනාස කරපු බාස්ලා වැඩට ඇවිත්... එතැන් පටං ආයෙම හවස් වෙනකල් ඉතිං කඩේට පලයං චූං චෑං... උදේට කෑම චූං චෑං.... සිමෙන්ති ගෙනෙං චූං චෑං.... පයිප්ප ගෙනෙං චූං චෑං... ඇණ ඉවරයි චූං චෑං.... ග්‍රවුට් ගෙනෙං චූං චෑං.... කෑම ගෙනෙං චූං චෑං.... වැලි ඉවරයි චූං චෑං.... හවසට තේ චූං චෑං..  මේ විදිහ හොඳයිද චූං චෑං... අර විදිහ හොඳයිද චූං චෑං... ආයෙ ඉතිං දන්නවනේ ගෙදරක වැඩක් කරන්න ගියාම බාස්ලා දෙන වද තිස් දෙක... ඉතිං කොහේද ඇහැක් පියාගන්නෙ සනීපෙට... ගොඩයා ලංකාවට ගිය දවසෙ නෑවයින් පස්සෙ ඒ බාත් රූම් එකේ ආයෙ නාගන්න ලැබුනෙ ගොඩයා ලංකාවෙන් පිටත්වුන දවසෙව් රෑ තමා... දවස් අටෙන් හදලා දෙනවා කිව්ව බාත් රූම් එක සති හතරෙනුත් ඉවරයක් උනේ නෑ කියහංකෝ...

ඕං ඔහොමයි අපේ අම්පාරෙ ගමනේ සාරාංශය... පුස්ථකාලයේ සම සංවිධායකලා දෙන්නනම් කීවෙ අම්පාරෙ ගමනත් එක්ක අපේ ප්‍රධාන සංවිධායක තුමාගෙ ගෙදර ජනගහනය වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලාමයි... ගොඩයා ඉතිං අයිංසක එකා නිසා ඔව්වට මුකුත් හා හූ කියන්න ගියේ නෑ...

අම්පාර ගමනෙ ත්‍රාසජනක කෑලි ටික පසුව ලියන්නම් ... රෑ එකට දෙකට බුත්තල කැලේ මැද්දෙ අලි සෙල්ලම් නිසා පහුවදා උදේ  බතලයා වාඩිවෙලා හිටපු සීට් එක හෝදන්න උන කතාව ලියන්නම් අදහෙටම වීඩියෝත් එක්කම......



18 comments:

  1. මේකට පොටෝ දෙක තුනකුත් අමුනපං

    ReplyDelete
    Replies
    1. ඔයා කියන නිසාම අමුණන්න හිතපු ෆොටෝ එක තාම එඩිට් කරගන්න බැරිවුණා..

      Delete
  2. මටනං පේන්නෙ මේ පුස්තකාලෙ වැඩේ ප්‍රධාන සංවිධායක තුමා කාලෙක ඉඳල ප්ලෑන් කරපු වැඩක් කියලයි හිටං. හැක්..

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතින් වෙන්නත් බැරි නෑ ...

      Delete
  3. මේකට පොටෝ දෙක තුනකුත් අමුනපං X2

    ReplyDelete
    Replies
    1. මේ මගුල එක්ක ගනුදෙනුව දැන් ටිකක් අමාරුයි ඉයන්... වෙනද තරම් ලේසි නෑ මේ මගුල අප්ඩේට් එඩිට් කරන්න... එක්කෝ ඇපල් ගූගල් විරසකයි එහෙම නැත්තම් මම වයසට ගිහිං ..

      Delete
  4. පුස්ථකාලයේ සම සංවිධායකලා දෙන්නනම් කීවෙ අම්පාරෙ ගමනත් එක්ක අපේ ප්‍රධාන සංවිධායක තුමාගෙ ගෙදර ජනගහනය වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලාමයි...// Same to you.... heh heh..

    ReplyDelete
    Replies
    1. භය හිතෙන දේවල් කියන්න එපා බං

      Delete
  5. මේක කියවල ගියා. වැටක් ගහල යන්න ආවේ . +++++++++++++++++++++

    ReplyDelete
  6. හොඳ වැඩක්. මමත් පුස්තකාලයකට දෙකකට ආධාර නම් දුන්න. යන්න බැරිවුනා හැබැයි.

    ReplyDelete
    Replies
    1. පුළුවන් උනොත් අම්පාර පැත්තටත් ආධාරයක් දෙන්න.

      Delete
  7. අලුත් අවුරුද්දට හොදටම කරලා තියෙන්නෙ ....
    රවියා කියවන්නම ඔනි....🤣

    ReplyDelete
    Replies
    1. රවියා තාම කියවපු ආරංචියක් නෑ .

      Delete
  8. ගොඩයියත් ගෙදර අය එක්කන් ගියා නං ඔයාලගේ ගෙදර ජනගහනයත් වැඩි කරගන්න තිබුණා..මොනා උනත් රටේ ආර්ථිකයට හයියක් නේහ්..

    ReplyDelete
    Replies
    1. කරන ක්‍රමෙත් කියලා දෙන්න බැයිද ඉතිං ... :)

      Delete
  9. Replies
    1. රිප්ලයි පරක්කු නිසා තරහවෙන මෙන්ඩා ... ඉයන්ට කියපු හේතුව තමා මෙන්ඩෝ.. මේ මගුල මට දැන් යුසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ ..

      Delete