Monday, February 22, 2016

නමක් නැති කතාවක් 9





ගෙදර සාමාජිකයින් රාත්‍රී ටෙලි නාට්‍ය නරඹන අතරතුරේ කාගේවත් ඇස නොගැටෙන්නට කාමරයට වැදුණු සුභාෂ් කාමරයේ දොර ලොක් කරලා ඇඳුම් පිටින්ම ඇඳට වාරු වුනේ කපල බිම දාපු ගහක් වැටෙන්න වගේ. ඔලුව පුරා රිදුම් දෙන වේදනාවත් හිත පුරා රිදුම් දෙන වේදනාවත් ශරීරයෙන් ඉවතට ගලාගිය රුදිරය නිසාවෙන් නැගෙන විඩාපත් බවත්, එල්ලවූ ගුටි ප්‍රහාරයෙන් නැගෙන්නාවූ වේදනාවත් සියල්ලම සුභාෂ්ගේ දරාගැනීමේ සීමාව ඉකමවා ගොස් සිටියත් සුදුවූ සිදුවීම පවසා හිත නිදහස්කරගනීමට කෙනෙක් ඒ වෙලාවේ සුභාෂ් අවට හිටියේ නැහැ.

කල්පනාවේ නිග්මන්ව උන් සුභාෂ්ගේ සිතුවිලි දැහැන බිඳිමින් කාමරයේ දොරට තට්ටු කරන්නට වුයේ සුභාෂ්ගේ අම්මා ..

කන්නේ නැද්ද ළමයෝ..

බඩගිනි නැහැ අම්මා..

මොකද මේ දොර වහගෙන..

වහල නැහැ අම්මා දොර හිරවෙලා වෙන්න ඇති..

කෝ ඇරෙන්නේ නැහැනේ..

මම මෙහෙමම නිදාගන්නවා අම්ම.. දැන් කන්න බෑ ..

අනේ මන්ද..

අම්මා කාමරයේ දොර වෙතින් නික්මගියේ පැහැදිලි සිතුවිල්ලකින් නොවෙන බව සුභාෂ් දැනන් හිටියා. පවතිනා ප්‍රශ්නයක් තාත්තාගේ දැනගැනීමෙන් ඇතිවන තත්වය බොහොමත්ම වෙනස් වන නිසා උදෑසන තාත්තා රැකියාවට ගිය වහා අම්මා කාමරයේ දොර කඩාගෙන හෝ ඇතුලට එන වග සුභාෂ්ට අමුතුවෙන් කියන්න දෙයක් තිබුනේ නැහැ . සියලුම වේදනාවන් එක්කම සුභාෂ්ට නින්ද ගිහින් ඇහැරුනේ අම්ම නැවතත් දොරට ගහන ශබ්දයෙන්.

අද ඉස්කෝලේ යන්නේ නැද්ද ළමයෝ.. දවල් වෙලා..

අම්ම එහෙම ඇහුවාම තමයි සුභාෂ්ට දැනුනේ එළිවෙලා කියල.. ඇඳෙන් නැගිටිනවත් එක්කම නලලෙන් දැනුන වේදනාවත් එක්කම ආයෙත් සුභාෂ්ට සියලු සිදුවීම් මතකයට නැගෙන්න ගත්තා.

ඔලුව ටිකක් රිදෙනවා අම්ම.. අද නොගිහින්  ඉන්නව.

ඒ ගමන මොකද මේ වෙලා තියෙන්නේ.. අරිනවා කාමරේ දොර..

ඒ විධානයෙන් සුභාෂ් කෙලින්ම බැලුවේ කාමරේ මේසය උඩ තියන ඔරලෝසුව දිහා.. වෙලාව උදේ හයයි තිහයි.. ඒ කියන්නේ සුභාගේ තාත්ත රැකියාවට යන්න පිටත් වෙලා. වැඩි සනීපයක් නොදැනුන ශරීරය වත්තම් කරගෙන ගිහින් සුභාෂ් කාමරේ දොර විවුර්ත කරා..

දෙයියනේ.. මොකද මේ නළලට උනේ..

බයිසිකලෙන් වැටුන අම්මා..

පුතා... ඔයා බොරු විතරක් කියන්න එපා.. බයිසිකලෙන් වැටුනානම්  මොකටද ඔයා කාමරේ දොර ලොක් කරගෙන ඉන්නේ..

න්..නෑ  අම්මා.. බයිසිකලෙන් වැටුන තමා..

මට බොරු විතරක් කියන්නේ නැතුව කියනව මොකද උනේ..

මම එකපාරක් කිව්වනේ අම්මා..

හරි මම හොයාගන්නම්කො මොකද වෙලා තියෙන්නේ කියල.. දැන් අද ඉස්කෝලේ යන්නේ නැද්ද..

බෑ අම්ම.. අද නොගිහින් ඉන්නවා..

පුතා... විභාගෙට තව තියෙන්නේ මාස කීපයයි.. සෙල්ලම් කරන්න නම් ලැස්ති වෙන්න එපා..

හරි අම්ම හරි.. මම තව ටිකක් නිදාගන්නවා..

හ්ම්.. මේ තේ එක බීල නිදාගන්නව.. අද කොහෙවත් ඇවිදින්න යනවා එහෙම නෙවෙයි.. මම ඉස්සරහ දොරේ යතුර අරන් යනවා.. අද ගෙදරට වෙලා ඉන්නවා.. හවසට තාත්ත ආවාම ඔය නළලෙ තියන තුවාලෙට දෙන්න උත්තර ලැස්ති කරගෙන ඉන්නකෝ..

හරි අම්ම හරි..

කාගේද ඔය ඇඳන් ඉන්න කමීසේ..

අම්මා ඇහුව අවසාන ප්‍රශ්නයට උත්තර නොදීම සුභාෂ් කාමරයේ දොර වහල දැම්ම. තේ එක මේසය උඩින් තියපු සුභාෂ් ආයෙත් ඇඳට වැටුනේ නැගිටලා ඉඳන් වෙනත් වැඩක් කරන්න ඇඟේ හයියක් නැති නිසාමයි. සියලු වේදනා අතාරි කල්පනාවට එන ඖෂදීගේ ඇස්දෙක සුභාශ්ව ඉමක් කොනක් නොපෙනෙන ප්‍රශ්න වැලක් ඇතුලේ අතරමං කරා.

සුභාෂ් ආයෙත් නින්දෙන් ඇහැරුනේ සුභාෂ්ගේ නංගි ඉස්කෝලේ ඇරිලා එන සද්දෙට. පැය ගණනාවක් නිදාගත්තු නිසා සුභාෂ්ට පුංචි සනීපයක් නොදැනුනා නෙවෙයි.

අයියෙ කොහේ යන්නද ඔය ලැස්ති වෙන්නේ..

ඇයි අහන්නේ..

නෑ  අම්ම කිව්වා ඔයාට කොහෙවත් යන්න දෙන්න එපා කියල..

හරි හරි මම අම්ම එන්න කලින් ගෙදර එනවා හලෝ..

ඔන්න අම්ම ඇහුවොත් මම කියනව ඔයා ගියා කියල..

ඒ අම්ම එන්න කලින් මම ගෙදර ආවේ නැති උනොත්නේ ..

ඔන්න මම දන්නේ නැහැ මටනම් බොරු කියන්න බෑ .. අම්ම හිතන් ඉන්නේ එයාගේ පුතා බයිසිකලෙන් වැටිල කියල.. එත් අපිටනම් හිතෙන්නෙ මෙයා කාගෙන් හරි ගුටිකාලා කියල..

අනේ මේ .. ඔයා පැහෙන්නේ නැතුව වැඩක් කරගන්නකෝ ..

ඉන්නවකෝ අම්ම ආපු ගමන් කියනව ..

ඉතින් කියනව..

සුභාෂ් බයිසිකලේ පැදගෙන පිට්ටනිය පැත්තට ඉගිල්ලුනේ එකතරා තීරණයක් හිතේ ධාරණය කරගෙනමයි. ප්‍රැක්ටිස් පටන්ගන්න කලින් ඉන්ද්‍රජිත් අල්ලගන්න එක තමයි සුභාෂ්ගේ අවශ්‍යතාවය උනේ. දෙකයි තිහ වෙද්දී ඉන්ද්‍රජිත් පිට්ටනියට වාර්තාකරණ විත්තිය සුභාෂ් පුරුද්දෙන්ම දන්නවා උනාට පාරේදීම ඉන්ද්‍රජිත් අල්ලගන්න තමයි සුභාෂ් හිතන් හිටියේ. හිතුව වගේම ගාලුපාර පැනගෙන පිට්ටනිය දිහාවට එන ඉන්ද්‍රජිත් අල්ලගන්න සුභාෂ්ට වැඩි අමාරුවක් උනේ නැහැ..

මොකෝ බන් නළලට උනේ..

පොඩි තුවාලයක් බන්..

හරි ඉතින් මොකක්වෙලාද තුවාල උනේ..

උඹට එව්වා වැඩක් නැහැ.. නැගහන් පොඩි ගමනක් යන්න..

කොහේ යන්නද බන්.. දැන් ප්‍රැක්ටිස් පටන්ගන්නවනේ..

හරි බන් ඊට කලින් එන්න පුළුවනි.. නැගහන්කෝ..

හරි ඉතින් යමන්.. මම මගේ බයික් එකේ එන්නම්..

නෑ මේ ගමන අපි එක බයික් එකේ යන්න ඕන.. උඹේ බයික් එක ලොක් කරලා ඇවිත් නැගහන් මේකෙ..

හරි එහෙනම් යමන්කෝ.. උඹ මාව මරන්න අරන් යනවද දන්නේ නැහැ යකෝ..

යමන්කෝ යමන්කෝ..

ඉන්ද්‍රජිත් ඉරිදිපසින් වාඩි කරවාගෙන සුභාෂ් බයිසිකලය පැදගෙන යන්නේ කොහෙටද කියන්න වැටහීමක් ඉන්ද්‍රජිත්ට තිබුනේ නැහැ. ඒත් බයිසිකලය ගාලු පාරෙන් ඖෂදීගේ ගෙවල් පාරට හරවනවාත් එක්කම ඉන්ද්‍රජිත් මදක් කලබලයට පත්වෙනු සුභාෂ්ට දැනුනත් සුභාෂ්ගේ අරමුණ උනේ ඉන්ද්‍රජිත් බයිසිකලයෙන් බස්සන්නෙම නැතුව අදාළ ස්ථානයට අරගෙන යාම.

ක්..කොහෙද  යකෝ මේ යන්නේ..

උඹ පාඩුවේ හිටහන්කෝ.. මමනේ පදින්නේ.. වාඩිවෙලා හිටහන්.. ගියාම පෙනෙයි..

රේල් පාලම පහුකරගෙන පහලට බහින සුභාෂ් සහ ඉන්ද්‍රජිත් රැගත් බයිසිකලය සුභාෂ්ගේ විධානයෙන් නතර උනේ ඖෂදීගේ නිවස ඉදිරිපිට..

ම්..මොකක්ද යකෝ උඹ මේ කරන්න යන්නේ..

කරන්න යන්නේද.. උඹ ගිහින් ඖෂදීගෙන් අහගෙන වරෙන් මට කැමතිද නැද්ද කියන එක.. උඹ ගිහින් අහගෙන වරෙන් මගේ ලියුමට උත්තර එවන්නේ නැත්තෙ ඇයි කියන එක..

දැන් උඹට මොකක්ද මේ අදම, මේ දැන්ම ඕක දැනගන්න තියන හදිසිය කියහන්.. මම කිව්වනේ මම ශේප් එකේ වැඩේ කරලා දෙන්නම් කියල..

හදිසියද.. හදිසිය තමයි ඊයේ හවස ඖෂදීගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියන එකෙක් උගේ යාළුවො එක්ක ඇවිත් මට ඇතිවෙන්න ගහල මගේ ඔලුව පලාපු එක..

හෑ.. ම්... මොකක්..

මචන්..දැන් මේකේ දෙකෙන් එකක් විසඳෙන්න ඕන .. මම පාරෙන් ඉන්නම්.. ගිහින් අහගෙන වරෙන් මම කිව්ව ටික..

එහෙම කොහොමද බන් එකපාරට කෙල්ලෙකුගේ ගෙදරකට යන්නේ..

ඇයි උඹ වෙනදත් මෙහෙට ආව ගියානේ උඹලාගේ සංගීත වැඩ වලට.. ඒ වගේම ගිහින් අහගෙන වරෙන්..

මට හෙට වෙනකම් දීපන් මචන්.. මම ඉස්කෝලෙදි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නම්..

බෑ බෑ බෑ .. මම දැන් අවුරුද්දකට වඩා කාලයක් මේ ගැන බලන් හිටිය.. අන්තිමේ ගුටිත් කෑවා.. තව විනාඩියක්වත් බෑ .. අදම මේ දැන්ම මේක විසඳෙන්න ඕන..

උඹ එහෙනම් ටිකක් එහාට වෙලා හිටහන්කෝ.. මම ගිහින් බලන්නම්.. උඹත් දාන ලෙඩ බන්..

ඉන්ද්‍රජිත් බයිසිකලයෙන් බැස යනවාත් සමගම ඉන්ද්‍රජිත්ගේ පසුපස සාක්කුවෙන් බිමට වැටී මදක් ඉවතට පෙරලී ගිය ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය අහුලන්නට ඉන්ද්‍රජිත් උත්සහ කළා..

හරි මම එක අහුලගන්නම්.. උඹ ගිහින් ඖෂදී හම්බෙලා වරෙන්කො..

හරි.. උඹ ටිකක් නොපෙනනෙන්න හිටහන්..

ඉන්ද්‍රජිත් ඖෂදීගේ නිවසේ  ගේට්ටුව ඇරගෙන වත්ත ඇතුලට යනවත් එක්කම සුභාෂ් ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය අහුලාගෙන අතේ තියාගෙන කල්පනා කරමින් උන්නේ ඉන්ද්‍රජිත් කුමන ආකාරයේ පණිවිඩයක් අරගෙන ඒවිද කියන දේ ගැන. එත් අහම්බෙන් වගේ ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය දිහා බැලුන සුභාෂ් දැක්කේ තමුන්ට ඉතාමත් හුරු පුරුදු යමක්. අනුන්ගේ පසුම්බියක් අනවසරයෙන් ඇවිස්සීම නොහොඹිනා කමක් උනත් කුතුහලය සුභාශ්ව ඒම නොහොඹිනාකම ඉක්මවූවා.

මේ තියෙන්නේ  සුභාෂ් අවුරුද්දකට කලින් ඖෂදීට දෙන්න ලියල දීපු ලිපිය කියල දැනුනාම සුභාෂ්ට දැනුනේ හරිම අසරණ හැගීමක්.. ඒ කඩදාසියේ තිබුණු අකුරු දිහා සුභාෂ් විනාඩියක් විතර ඔහේ හිස් බැල්මෙන් බලන් හිටිය.

ගෙදර කව්රුත් නැහැ බන්..

එහෙම කියාගෙනයි  ඉන්ද්‍රජිත් ඖෂදීගේ ගෙදර ගේට්ටුව වහගෙන පාරට ආවේ.

ෂූ...ෂූ..

සුභාෂ් තමුන්ගේම කටට දබර ඇඟිල්ල තියල ඉන්ද්‍රජිත්ට කිව්වේ මුකුත් කතා කරන්න එපා කියලයි.. පළමුවෙන්ම ඉන්ද්‍රජිත්ගේ පසුම්බිය ඔහුගේ අතට දුන්නු සුභාෂ් ඉන්ද්‍රජිත් ඉස්සරහම තමුන් ජීවිතේ පළමු වතාවට ගැහැණු ළමයෙකුට ලියපු ඒ පෙම් හසුන පුංචි කෑලි වෙන්නම ඉරලා දැම්ම. ඉන්ද්‍රජිත් කියන්න උත්තරයක් නැතුව ඔහේ සුභාෂ් දිහා බලන් හිටිය. කෑලි වලට ඉරපු ලියුමේ පුංචි කොළ කෑලි ඔක්කොම උඩ විසික් කරපු සුභාෂ් ඒ කොළ කෑලි බිමට වැටෙන්නත් කලින් බයිසිකලේ ආපහු හරවගත්තේ පිට්ටනියට යන්න. හරවපු බයිසිකලේ ඉස්සරහින් ඉඳගත්තු ඉන්ද්‍රජිත්වත් සුභාශ්වත් එකම වචනයක්වත් කතාකරේ නැහැ. එක හැල්මේ බයිසිකලය පැදගෙන ආපු සුභාෂ් ඉන්ද්‍රජිත් පිට්ටනිය ගාවින් බැස්සුවා.

ඇයි බන් මාව රැවට්ටුවේ..

මම කියන දේ අහපන්කෝ ටිකක්..

මට උඹ කියන කිසි දෙයක් අහන්න ඕන නැහැ මචන්.. මට කියහන් ඇයි මාව රැවට්ටුවේ..

මට මේක පැහැදිලි කරනන් දීපන් මචන්.. ඖෂදී එදාම උඹේ ලියුම ගන්න බැහැ කිව්වා බන්.. එත් ඖෂදී උඹට කැමැත්තෙන් ඉන්නේ කියල දැනුන නිසා මම ලියුම තියාගෙන හිටියේ ආයේ කොහොමහරි දෙන්න හිතාගෙන..

ෂූ ...ෂූ .....උඹ මට නිදහසට කරුණු කියන්න බැඳිලා නැහැ මචන්.. මට කියහන් උඹ විතරක් මාව රවට්ටුවද ඖෂදියි උඹයි දෙන්නම එකතුවෙලා මාව ඇන්දුවද කියල විතරක්.. 

උඹ ඉන්නේ කේන්තියෙන්.. මම උඹේ කේන්තිය නිවුනාම මේක පැහැදිලි කරන්නම්..

නෑ මචන්.. මම ඉන්නේ කේන්තියෙන් නෙවෙයි.. මම ඉන්නේ දුකෙන්.. මම උඹටවත් ඖෂදීටවත් වෛර කරන්නේ නැහැ.. දවසකට වතාවක් හරි මං එක්ක කතාකරන ඖෂදීගේ ඇස්දෙක මට කියන්නේ බොරුවක් කියල මම හිතන්නේ නැහැ බන්..

මම කිව්වනේ.. මම මේක පස්සේ උඹට පැහැදිලි කරන්නම්.. දැන් වරෙන් ප්‍රැක්ටිස් කරන්න..

මම ආයේ කවදාවත් ෆුට් බෝල් ගහන්න එන්නේ නැහැ මචන්..සමහරවිට ටික දවසකට මම ඉස්කෝලේ එන්නෙත් නැතිවෙයි .. මම දන්නේ නැහැ මාව රවටුවේ උඹද , උඹල දෙන්නමද කියන එක.. ඒ හින්ද මම ඒ ගැන ආයේ නොහිත ඉන්නම්.. මම මේවා අමතක කරලා හිත හදාගන්නකම් උඹ මේ ගැන මා එක්ක ආයේ කතාකරන්න එපා.. ඖෂදීට සමහරවිට මාව විහිළුවක් වෙන්න ඇති.. එත් ඒ විහිළුව හුඟක් දුර ගිහින් ඉවරයි.. අවුරුද්දක් තිස්සේ උත්තර එනකම් බලාගෙන හිටපු ලියුම අවුරුද්දක් තිස්සේ තිබිල තියෙන්නේ උඹේ පර්ස් එක ඇතුලේ මචන්.. මීට වඩා හොඳයි උඹල මාව මරුවනම්..මම යනව බන්.. ආයේ උඹටවත් ඖෂදීටවත් මගෙන් කරදරයක් නැහැ.. වරදක් උනානම් සමාවෙයන් ..

අමාරුවෙන් හිරකරගෙන හිටපු කඳුළු බොල දෙකක් ඇස් දෙකෙන් එලියට පනිනකොටම සුභාෂ් බයිසිකලය පැදගෙන නගරසභාව පැත්තට යන්න පිටත්වුනා.. ඉකිහසමින් හඬාවැටෙන හදවතේ වේදනාව කියන්න කෙනෙක් නැතිකමට සුභාෂ් ඔහේ බයිසිකලය පැදගෙන ගියා අරමුණක් නැතුවම. අවුරුද්දකට හමාරකට කලින් සුභාෂ්ගේ  ආත්මය කාටවත්ම හොරකම් කරන්න බැරිවෙන්නම තමුන් හොරාගතපු වග ඖෂදී දැනගෙන ඉන්න නැතුව ඇති.


ලොවේ කොතනදී හෝ 
සසර මාවතේ දී...
ලංව ඉන්න ආදරෙන් 
පුංචි සමනලුන් ලෙසින්...  
එතෙක් ආදරේ වදන් 
ලියු පෙම් හසුන් ඉතින්... 
දවාලන්න ආදරේ 
නිමාවයි අපේ ලොවේ...

කෙසේ මා ලියම්දෝ...
ඔබේ ලෝකයෙන්
වෙන්ව යන්නටයි කියා... 
මෙසේ සමු යදින්නේ 



19 comments:

  1. පිස්සු හැදෙනවා. මේ වගේ සීන් සාමන්‍යයෙන් වෙනවා තමයි. බොහෝ වෙලාවට හෙල්ප් එක දෙනවා වගේ පෙන්වන එවුන් හෙල්ප් කරන්නේ නෑ. උන් මේවායේ මොනවා හරි ඇදක් දකිනවා. සුභාෂ් ගැන මට දුකයි. හරියට මම ගැන මම දුක් වුණා වගේ වැඩක්. මොකද ඒක මගේ නම නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුභාෂ්... අහම්බෙන් හිතිලා මේ චරිතයට දාපු නම නියෝජනය කරන්න ඇත්තම කෙනෙක් බ්ලොග් අතරින්ම ඉන්න එක ගැන සන්තෝසයි.. මම හිතන්නේ නැහැ මේ ඉන්න සුභාශ්ලා දෙන්නගෙම කතාව එකක් වේවි කියලා.. මෙතෙක් මේ කතාව ඇතුලේ තියන සිදුවීම් සියල්ලම සත්‍ය සිදුවීම්..

      Delete
    2. මම විතරක් නෙවෙයි අඟහරුවාත් සුභාෂ්. වැඩේ තියෙන්නේ අපි දෙන්නම් ඒ නමින් නෙවෙයි මෙතැන අපි දෙන්නම් ඉන්නේ. අඩු වැඩි වශයෙන් සමාන සිද්ධි වෙලා තියෙනවා. මමත් දීපු ලියුමක් මගේ මිත්‍රයෙක් ළඟ තියාගෙන හිටියා. ඒ බවනම් මම දනුවත්වමයි සිදු වුණේ. හැබැයි ඒ පෙම්වතිය මට හිමි වුණා. ඒකත් කාලයත් එක්කම නැති වෙලා ගියා. ඒ කතාවත් මම ලියන්නම්. හරිම අපූරු කතාවක්. මගේ ප්‍රථම ප්‍රේමය මේ ලින්ක් එකෙන් බලන්න.

      Delete
  2. අප්පට සිරි.... මට මේක මුල ඉදලා කියවගෙන එන්න වෙනවා.
    හිමින් හිමින් කියවගෙන එන්නම් කෝ..

    ReplyDelete
    Replies
    1. කියවගෙන එන්නකෝ වෙලාව කලාව තියන විදිහට

      Delete
  3. පර්ස් එක සුභාෂ් අහුලගන්නකොටම මට වෙන්න යන දේ තේරුනා. හැක්..
    මොනව උනත් උෟ නං යාලුවෙක් නෙමෙයි. කොහොම උනත් අවුරුද්දකට පස්සෙ හරි ඇත්ත ‍තේරුං ගන්න පුලුවං වෙච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. කතාවේ ගලාගෙන යාමේ පහසුව වෙනුවෙන් අවුරුද්දක කාලයක් වගේ පෙන්නුවට සුභාෂ් මේ රැවටීම ඇතුලේ අනාත උනා අවුරුදු දෙකක් විතර බන්..

      Delete
  4. ඔහොම යාළුවොත් ඉන්නවා ....ඊලගේ ඉක්මනින් ලියහන්..

    ReplyDelete
    Replies
    1. පෙබරවාරි ඉවරවෙන්න කලින් කතාව ඉවර කරන්න තමා අදහස .. ස්තුතියි ශානු..

      Delete
  5. අපරාදෙ බං කොල්ල ගැන මාර දුකයි.හරියට මට උනා වගේ.

    ReplyDelete
    Replies
    1. සුභාෂ් ගැන දුක් වෙච්ච පලවෙනි කෙනා හැලපේ අයිය වෙන්න ඇති.. හැලපේ අයියට මේ වගේ සිදුවීමක් වෙලා වගේ..

      Delete
  6. කිසිම දෙයක් කියන්න බෑ.වැඩේ දරුණුයි.මග ඇරිච්ච කොටස් ගොඩයි.ඔක්කොම කියවලම එන්නම්.ඇවිත් 10 වෙනි කොටසටම කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. දහවෙනි කොටස කියවල කියහන්කෝ මොකක්ද කියල අදහස..

      Delete
  7. මම ටික කලයක් බ්ලොග් එක කියවනව, මේ කතාව දෑක්කේ අදයි. ඔක්කොම එක හුස්මට කියෙව්ව. අපුරුයි. මටත් ඉස්කොලෙ කලෙ මතක් උනා. මාත් දර්මාශොකේ. අපිත් හෙන කට්ටක් කෑවා යලුවෙක්ගෙ ට්‍රයි එකක් නිසා.එත් අපි අල කලෙ නෑ. උදව් කලා මිසක්.අවුරුදු 7ක් මු අහුවෙත් නෑ.පස්සෙන් ගිය විතරයි.අන්තිමට මු බෑන්දා වෙන කෙල්ලෙක්.අපි තාම බනිනවා මුට අපි කපු කට්ටට. :D අන්තිම එකත් ඉක්මන්ට ලියයි කියල හිතනව.ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට..ඉස්කෝලේ කාලේ හරිම සුන්දරයි.. මම කම්මුල් පාරකුත් කාල තියනවා මගේ යාලුවෙකුගේ මාමණ්ඩි කාරයාගෙන්.. කනගාටුව කියන්නේ ඒ යාළුවා අද ඒ කෙල්ලම බැඳගෙන අපිව අමතක කරලා දාපු එකයි. ඒ මාමණ්ඩි නම් මැරෙනකම්ම දුවටයි බෑනටයි සමාව දුන්නේ නැහැ. එක අතකින් මට ආඩම්බරයි ඒ වගේ කෙලින් තීරණයක පිහිටලා ඉන්න පුළුවන් තාත්ත කෙනෙකුගෙන් කනේපාරක් කාපු එක ගැන.

      Delete
  8. ඔය වගේ වැඩ කරන යාලුවෝ නම් අපේ ඉස්කෝල වලත් හිටියා බං.
    ඉතිරි කොටසත් ඉක්මනට දාපංකෝ එහෙනමි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ මේ පැත්තේ ආවට.. ඉතුරු කොටස ඉක්මනටම දාන්නම්..

      Delete