Wednesday, December 16, 2015

ඩබල් ගේම් දෙන්නේ මෙහෙමයි..





ලියන්නට යන පෝස්ටුව පුද්ගලයින් කිහිපදෙනෙක් සහ මා වටා සිදුවූ රසවත් සිදුවීම් කිහිපයක් වන අතර මෙම සිදුවීම් වලට දායක වූ පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට ජීවතුන් අතර නොමැති නිසා එම පුද්ගලයින්ට අගෞරවයක් නොවනු පිණිස ව්‍යාජය නම් දෙකක් යොදාගෙන ලියන්නට අදහස් කරමි. සිදුවීමට උක්තවන කාලය මාගේ රැකියා  ජීවිතයේ වර්ෂ දෙදහස් එක වසර කාලයටයි.

මා රැකියා කල ආයතනයට මා බඳවා ගත්තේ ඒ වනවිට එම ආයතනයේ රාජකාරී කල  දාබරේ නමැති මාණ්ඩලික ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරියෙකු විශ්‍රාම යාම හේතුවෙනි. ඒ හේතුවෙන් මා එම ආයතනයේ රැකියාව ආරම්භ කල අතර දාබරේ මාගේ සුපර්වයිසර් නොහොත් මා පුහුණු කරන්නා වශයෙන් නම් කරන ලදී. 

පළමුව දාබරේ ගැන හඳුන්වනවානම් දාබරේ යනු ලොක්කාට තදින් ගොට්ට අල්ලන්නට උපන් හපන්, ඔනෑ තරම් ලොක්කාට රෙදි නැතුව කඩේ යන, කේලම් කියන, යටි උගුල් අදින, දිය යටින් ගින්දර ගෙනියන, කකුලෙන් අදින, බොරු වලවල් කපන, පස්සෙන් ඇවිත් පිහියෙන් අනින, නොම්මර එකේ කට්ට කපටි කයිරාටික පුදගලයෙකු වූ අතර ලොක්කාගේ අංක එකේ හිතවතා වශයෙන් හැඳින්විය හැකිය. 

ඒ වනවිටත් විශ්‍රාම ගොස් කොන්ත්‍රාත් පදනම මත සේවයේ පිහිටුවා සිටි දාබරේ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට එකම හේතුව වුයේ දාබරේ නොමැතිව ලොක්කාට බළලුන් ලවා කොස් ඇට බෑවීමට නොහැකිවීම වුවත් එයට ඉදිරිපත් කල හේතුව වුයේ අලුතින් බඳවාගත් මා පුහුණු කිරීමට මාස හයක් දාබරේ සේවයේ යෙදවීම අත්‍යාවශ්‍ය බව බවයි. 

දාබරේගේ අද්‍යාපන සුදුසුකම් මෙහි පලකිරීම රාජ්‍ය සේවයේ කාර්මික නිලධාරී වරුන්ගේ වුර්තීය සුදුසුකම් වලට අපහාස කිරීමක් වන බැවින් දාබරේගේ අද්‍යාපන සුදුසුකම් මෙහි සඳහන් කිරීමට මම උත්සහ නොකරමි. එයට හේතුව නම් දාබරේට කාර්මික නිලධාරී තනතුර තබා ආයතනයේ පහලම තනතුර හෙබවීමටවත් අද්‍යාපන සුදුසුකමක් නොමැති වීමයි. දාබරේ මාණ්ඩලික ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරී තනතුර දක්වා ඉහලට යාම ලොක්කාගේ අනුග්‍රහයෙන්ම  සිදුවූ  ක්‍රියාවක් වන අතර දාබරේට ඉහලින් විශාල සුදුසුකම් තිබු පිරිසට උසස්වීම් සිහිනයක් වූයේ දාබරේගේ වාචික නිර්දේශය නොමැතිව ලොක්කා කිසිම පුද්ගලයෙකුට උසස්වීම් අනුමත නොකළ බැවිනි. උසස්වීම් තබා වාර්ෂික වැටුප් වර්ධයක වුවද අනුමත වුයේ දාබරේගේ නිල නොවන අනුමැතියෙනි. 

දාබරේගේ උදෑසන ප්‍රමුකම රාජකාරිය වන්නේ රතු ඉර ගැසීමයි. සාමාන්‍ය නීතියට අනුව උදෑසන අටට පෙර සියල්ලන්ම රාජකාරියට වාර්ථා කලයුතු අතර රතු ඉර ගැසීම සිදුවිය යුත්තේ උදෑසන අටටයි. දාබරේ ප්‍රමුක ලොක්කා  සරණං ගච්චාමී කියන්නාවූ පිරිසක්ද ආයතනයේ සිටි අතර ඔවුන් සියල්ල සේවයට වාර්ථා කරනතුරු රතු ඉර ගැසීමට ඉවසිල්ලේ  බලා සිතෙන්නේ කාර්යාල කාමරයේ ජනේලයෙන් ඈත බලමිනි. ඒ අතර දාබරේගේ සහ ලොක්කාගේ විපක්ෂ කව්රුන් හෝ ඈතින් දුව එනු දුටුවහොත් වහා නාමලේඛනය වෙත දුවන දාබරේ රතු ඉර ගැසීම වහා සිදු කරන්නේ විපක්ෂ සාමාජිකයාගේ ෂෝර්ට් ලිව් එකක් හෝ නිවාඩු භාගයක් අවසන් ගමන් යවමිනි. සමහරක් දිනවලදී එවන් සතුරු පාර්ශව ඈතින් දුව එන්නාවූ දර්ශනයෙන් කලබලයට පත්වෙන දාබරේ අටට කලින්ද රතු ඉර ගැසීම සිදු කරත් දාබරේට විරුද්ද පැමිණිලි ලොක්කා විභාගයකින් තොරවම කුණු කුඩයට දමන්නාවූ නිසා දාබරේගෙන් සිදුවන්නාවූ අකටයුතුකම් කිසිවෙකු ලොක්කාට පැමිණිලි කරන්නට යන්නේ නොමැත.

අද්යාපනික වශයෙන් පෘතුවි ජීවියෙකුට ලැබිය හැකි උසස්ම සුදුසුකම් සපුරා තිබු ලොක්කා ගෞරව නාමද හෙබවූ ලෝකප්‍රසිද්ද පුද්ගලයෙක් වුවත් කේලාම් ඇසීම, කකුලෙන් ඇද බිම දැමීම, ලිඳේ දැමීම, පක්ෂපාතී තීරණ ගැනීම , කඩේ යන එකාට වැඩියෙන් සැලකීම, බඩේ පාර ගැසීම, රැකියාවෙන් මහමගට ඇද දැමීම වැනි සියලු ජඩ වැඩ වලින් සපිරි, බළල්ලු ලව්වා කොස් ඇට බෑවීමට කප් ගැසූ පොරක් වන අතර ඒ වනවිටද වයස අවුරුදු පනහ පසුකර තිබු පුද්ගලයෙකි.

ලොක්කා දාබරේට ගැහැනියක් පෙන්වා මිනිහෙක් යයි කීවොත් ඔව් සර් ඒ මිනිහෙක් තමා කියන ගනයේ පුද්ගලයෙකු වූ දාබරේ කියනා දෙයක් ලොක්කා පිළිගත්තේද ඒ ආකාරයෙන්මයි. එකල ආයතනයේ පරිඝනක කිහිපයක් තිබූ අතර එයින් එකක් ලොක්කාගේ කාමරයේත්, තවත් එකක් කාර්යාල කාමරයේත්, කිහිපයක් සෙසු ලොක්කන්ගේ කාමර වලත්, එකක් දාබරේගේ කාමරයත් පිහිටුවා තිබුණි. ඒ වනවිට පෙන්ටියම් ත්‍රී පරිඝනක සුලබ වුවත් දාබරේ වෙත දී තිබු පරිඝනකය පෙන්ටියම් වන් ඝනයට අයත් පරණ එකක් වූ අතර දාබරේ වෙත තිබු වටිනාම අනර්ඝම වස්තුව පරිඝනකය විය. උදෑසන රාජකාරී කාමරයට එන දාබරේගේ පළමු අංගය වන්නේ පරිඝනකය පනගන්වා මදක් ඒ දිහා නරඹමින් විනෝද වීමයි.

ඒ වනවිට මා සතුව පෙන්ටියන් ත්‍රී  වර්ගයේ පරිඝනකයක් නිවසේ තිබු අතර පරිඝනකය මා හට සුපිරි සුවිශේෂී ඇදහිය නොහැකි භාණ්ඩයක් නොවන බැවින් මා පරිඝනකය ගැන උනන්දුවක් තිබුනේද නැත. දාබරේ පරිඝනකයෙන් කරන්නාවූ එකම රාජකාරිය මසකට වරක් ප්‍රධාන ගබඩාවෙන් ගෙන්වන බඩු භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය ලේඛනය සැකසීම පමණි. ඊට අමතරව දාබරේ පරිඝනකය භාවිතා කරේ වෙනත් අවර ගනයේ ක්‍රියාවක් සඳහායි. මා ආයතනයට ආ අලුතම මා වෙත දාබරේගෙන් ලැබුණු අවවාදයක් වුයේ පරිඝනකයට අත නොතබන ලෙසත් එයට ලොක්කා කැමති නොවන බවත්ය. 

ඊට අමතරව මට ලැබුණු අවවාද නම් පහල ශ්‍රේණිවල සේවකයින් සමග වැඩි භජනයට නොයන ලෙසත්, නම්කළ සාමාජිකයින් දහයක් පහළොවක් කිසිසේත්ම ඉතාමත් නරක පුද්ගලයින් වන නිසා කිසිසේත්ම ඇසුරු නොකරන ලෙසත්, ඔවුන් ඇසුරු කිරීම ලොක්කාගේ උදහසට ලක්වීමට තදබල හේතුවක් වනු ඇතය යන්නයි.

කාර්යාලයේ තවත් සාමාජිකයකු වූ  දයානන්ද සහයක ශ්‍රේණියේ සේවයකයකු වන අතර දාබරේගේ සියලුම අවර ගනයේ ක්‍රියාවන් සඳහා ශ්‍රම දායකත්වය සැපයීම සහ තොරතුරු සැපයීමේ ප්‍රධාන චක්ගෝලයා වුයේ දයානන්දයි. අටට ඇරඹෙන රාජකාරිය දයානන්ද වාර්ථා කරන්නේ හතයි තිහට වන අතර එතැන් පටන් සවස කාර්යාලය වසන වෙලාව වනතුරු දයානන්දගේ රාජකාරිය වන්නේ ලොක්කාට සහ දාබරේට විරුද්ද පාර්ශවයන්ගේ වැරදි සොයා දාබරේ වෙත වාර්ථා කිරීමයි. ඊට අමතරව සියලු සේවකයින් සේවය අවසන් කර නික්මගිය පසු වෙනත් යතුරු වලින් වසන දොරවල් විවුර්තකර තැබීම, වසා ඇති ජනෙල් ඇර තැබීම, වෙනත් නිලධාරීන් භාරයේ තිබෙන ලිපිගොනු අස්ථානගත කිරීම වැනි අවර ගනයේ ක්‍රියාවන් සඳහා දයානන්දගේ ශ්‍රම දායකත්වය නොඅඩුව ලැබුනේ දාබරේටයි. එවන් කුපාඩි ඝනයේ ක්‍රියාවක් සැලසුම් සහගතව සිදුකර බලාපොරොත්තු වන ප්‍රතිපලය නම් පසුව දා එම දොර වසා නොයාම හෝ ලිපිගුනුව අස්තානගතවීම සම්භන්ධව අදාළ නිලධාරියාට විරුද්දව පරීක්ෂණයක් පවත්වා පුද්ගලික ලිපිගොනුවට යැවෙන නිදහසක කරුණු ඉල්ලූ ලිපියක්ද සමග දඬුවම් ලිපියක් මගින් දඬුවම් කිරීමයි. 

අංක එකේ ඕපාදූප සොයන්නෙකු වන දයානන්ද කොතරම් කේලම් බස් කීවද කාර්යාලයේ කිසිවකු දයානන්ද සමග තරහවක්, වෛරයක් නොමැති වුයේ දයානන්ද කේලාම් කීම අරුනකොට තවත් සුවිශේෂී රාජකාරියක් දයානන්ද විසින් ආයතනය පුරා ඉටුකරන බැවිනි. ලොක්කාට සහ දාබරේට කේලාම් කියන්නාවූ දයානන්ද වැඩි ප්‍රමාණයක් ලොක්කාට සහ දාබරේට පක්ෂපාතී වුවත් අනෙක් පසටද එම සේවාවම අකුරට ඉටුකරන්නට සැදී පැහැදී හිටපු පුද්ගලයෙක්. ලොක්කා සහ දාබරේ විසින් අටවන්නට යෙදෙන උගුල් අටවා අවසන් වූ වහා ඒ ගැන අනෙකුත් විරුද්ද පාර්ශවයන් කල්තියා දැනුවත් කිරීමටද දයානන්ද කටයුතු කළා. 


මහත්තය අද ආවේ සමුද්‍රේ නේද..

ඔව් දයානන්ද .. අද මේල් එක මිස් උනානේ වැස්ස නිසා..

මහත්තය ට්‍රෙන් ලේට් එකක් දැම්ම නේද..

ඔව් දයානන්ද .. ඔන්න ඔහේ ලියල දැම්ම .. සමුද්‍රදෙවි පරක්කු උනානේ 

ඒ උනාට ට්‍රෙන් ලේට් එක ඇප්රු කරලා නැහැ..

ඒ මොකෝ දයානන්ද.. වෙනද ශේප් එකේ ට්‍රෙන් ලේට් එක ඇප්රු වෙනවනේ..

දාබරේ කොහෙන්ද හොයල ලොක්කට කියල සමුද්‍රේ ඇවිත් මහත්තයට අටට වැඩට එන්න බෑ කියල .. ඒ හින්ද තැපැල් දුම්රිය පරක්කු උනොත් ඇරෙන්න මහත්තය ට්‍රේන් ලේට් දෙන්න එපා කියල..

අනේ ඌටයි ලොක්කටයි @#$%$#&^$%##^ කියහන් බන්.. ලොක්කට කියහන් ට්‍රෙන් ලේට් එක රෝල් කරලා @#$$$# ගහගන්න කියල.. ඌට කරන්න පුළුවන් ඔච්චරයිනේ බන්.. මොකෝ ඌ මාව ගෙදර යවන්නද..

අනේ මන්ද මහත්තය.. කොච්චර උනත් දාබරේ වැරදියි නේද.. මහත්තය විනාඩි තිහක් පරක්කු උනා කියල වැඩ අතපසු කරන්නේ නැහැනේ..

ඌ තව ඔය සෙල්ලම් දාන්නේ මාස තුනයිනේ බන්.. ඊටපස්සේ ඌ ගෙදර යන්න එපයි..

ලොක්කත් මහත්තය එක්ක ඉන්නේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි..

ඇයි මම දාබරේ වගේ උගේ කාමරේ සැලුන් දොරෙන් දෙකට නැමිලා රිංගල ගිහින් කේලං කියන්නේ නැති හින්ද වෙන්න ඇති.. බොලාට දාබරෙලට ඌ ලොක්කෙක් උනාට මට ඌ මහා ලොක්කෙක් නෙවෙයි බන්.. ඌට උගේ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න කියහන්.. මම මගේ පාඩුවේ මේක කරගෙන ඉන්නං කියහන්කෝ..

අපෝ මටනම් බෑ ඕව ලොක්කට කියන්න ..මං ගිහින් එන්නම් මහත්තය.. දාබරේට කියන්න එපා මම විස්තරේ කිව්වා කියල හොඳේ..

පිස්සුද දයානන්ද..

එවන් ආකාරයෙන් තොරතුරු ගලා ඒමේ සේවයක් දයානන්ද වෙතින් අප වෙතද නොමසුරුව ලැබුන අතර දාබරේ ළඟදී මා ඇතුළු අනෙක් සේවකයින් පට්ට ගැසීමද දයානන්ද විසින් අකුරටම කරගෙන යන ලදී..

හිටපු ගමන් මා සහ දාබරේ සිටින වීදුරු කාමරයට වදින දයානන්ද දාබරේගේ කනේ තොරතුරක් තබන්නේ මෙසේයි..

දාබරේ මහත්තයා.. සුචිත්‍ර මිස් සීට් එකේ නැහැ.. මහත්තයට කියලද ගියේ..

ඇ ...  නැහැ දයානන්ද.. මටනම් කිව්වෙත් නැහැ.. ෂෝර්ට් ලීව් ඉල්ලුවෙත් නැහැ..

සිකුරිටි එකෙන් කිව්වා එලියට යනවා දැක්ක කියල..

එහෙමද.. මම දෙන්නම්කො වැඩේ.. එයාට බැහැ මගෙන් හරි සර්ගෙන් හරි අවසර නැතුව එලියට යන්න..

වහා ආසනයෙන් නැගිටින දාබරේ දයානන්දත් සමගින් ලොක්කාගේ කාමරයට දුවන්නේ විරුද්ද පාර්ශවය ගුලියක් ඇඹරීම සඳහායි..

දිනක් කුමක් හෝ කටයුත්තකට වෙනත් දෙපාර්තමේන්තුවක්  වෙත ගියා වූ මම නැවත කාර්යාලයට ආවේ කෑම වෙලාව මගහැරුණු නිසා හැකි ඉක්මනින් බත්පතට වගකීමේ අරමුණෙනි. එක්වරම කාමරයේ දොරෙන් ඇතුල්වූ මා දුටු වහා පරිගණකය ඉදිරිපිට සිටි දාබරේ සහ දයානන්ද කලබලයට පත්වනු මා දුටුවත් නොදුටුවාක් මෙන් මාගේ කෑම පාර්සලය රැගෙන කෑම කාමරය වෙත පියමැන්නේ  මුන් දෙන්නා මොකක් හරි කුපාඩි ගනයේ වැඩක් කරනවා යන සිතුවිල්ලෙන්මයි. 

ගුරා සහ ගෝලයා කළා වූ පරිඝනක ක්‍රියාව කුමක්ද යන්න සොයා බැලීමට මට සිතුවිල්ලක්ව පැවති  නිසා සවස තුනට පමණ වැසිකිලිය වෙත ගොස් මාගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මා සූදානම් වීමි..

මාගේ ජංගම දුරකතනයෙන් ආයතනයේ ප්‍රධාන දුරකථන අංක එබී ගියේ සැලසුම හිතේ ධාරණය කරගත් පසුයි..

බීප්...බීප්..............බීප්...බීප්.............බීප්...

හෙලෝ... සුභ සන්ද්‍යාවක්... ( ආයතනයේ නම )

හලෝ මට දෙනවද (දෙපාර්තමේන්තුවේ නම ) ඩිපාර්ට්මන්ට් එකේ මිස්ටර් දාබරේගේ ඉන්ටර්කොම් එක..

හොඳයි.. ලයින් එකේ ඉන්න...

බීප්... බීප්.................. බීප්...බීප්............

හලෝ...

ආ මේ දාබරේ මහත්තයද...

ඔව් කතා කරනවා...

සර්... මේන් ගේට් එකෙන් කතා කරන්නේ... සර්ගේ පුතා කියල කෙනෙක් ඇවිල්ල ඉන්නවා... ඇතුලට එවන්නද...

එපා.. එපා... මම එන්නම් ඔතනට...

හරි සර්.. තියන්නම් එහෙනම්..

හරි මම එන්නම්...

ආයතනයේ ප්‍රසිද්ධ රහසක් වූ දාබරේගේ කලින් විවාහයේ පුත්‍රයාට දාබරේ කොතරම් භයද යන්න මා කට කතා වලින් අසා ඇති නිසා එම තුරුම්පුවම ප්‍රයෝජනයට ගෙන දාබරේ ආසනයෙන් ඉවතට යැවීමට මා කටයුතු කලේ එලෙසයි.. ප්‍රධාන ගේට්ටුවට ඇවිදගොස් නැවත කාර්යාලයට ඒමට දාබරේට විනාඩි පහළොවක් අවම ගතවන නිසා මාගේ පරීක්ෂණ කටයුතු කරගැනීමට එම කාලය ඉතාමත් ප්‍රමාණවත් වුනා.

වහාම කාමරය වෙත ගිය මම පරිඝනකය පනගන්වා කල පරීක්ෂණයෙන් මා සොයාගන්නා ලද අගනාම සොයාගැනීම වුයේ දාබරේ සහ දයානන්ද බලමින් සිටියේ අසභය පින්තුර සමුහයක් වන බවයි. දාබරේගෙන් මා වෙත ලැබෙන කෙනෙහිලිකම් වලට ප්‍රති පරිප්පුවක් දීමට මානබලමින් සිටි මට මෙය මහඟු අවස්තාවක් වූ අතර ඒ වෙනුවෙන් වැඩි යමක් කරන්නට නොතිබුණි. දාබරේගේ පරිඝනක දැනීම අල්ප බව දන්නා නිසා දාබරේ වෙත පරිප්පුවක් දීම වෙනුවෙන් කලේ ඉතාමත් සුළු දෙයක්.


දාබරේ නරඹන ලද අසැබි පින්තූර වලින් එකක් ඕපන් කර Set as wallpaper ක්ලික් කල වහා පින්තූරය පරිඝනක තිරයේ ස්ථිරවම පදිංචි වූ අතර වහා පරිඝනකය ක්‍රියා විරහිත කොට කාමරයෙන් පිටවී වෙනත් සගයකුගේ කාමරය වෙත ගොස් මද වෙලාවක් රැඳුනේ දුරකථන ලනුව වලඳා ගින්දර විසිවෙමින් කාර්යාලයට එන දාබරේ දයානන්ද සමගින් දුක බෙදාගෙන අහවර වීමට මා එහි සිටීම භාදාවක් වන බැවිනි. 

දිනය එසේ ගෙවී ගිය අතර පසුදින මා රාජකාරී කාමරයට වාර්ථා කරනවිට දාබරේ සිටියේ මේසය වෙත ඔලුව ගසාගෙනයි. පරිඝනකයද උන රෝගියකු පොරවා තැබූ  ලෙසින් රෙද්දකින් වසා තිබු අතර මා ආ ශබ්දයෙන් ඔලුව උස්සා බැලූ දාබරේ නැවතත් පෙර පරිදිම මේසයට ඔලුව ගසාගන්නා ලදී..

මොකෝ මිස්ටර් දාබරේ.. අසනීපෙන්ද..

ඉස ටිකක් කකියනවා වගේ..

මෙඩිකල් සෙන්ටර් එකට ගිහින් බෙහෙත් ටිකක් ගම්මුද මිස්ටර් දාබරේ..

ඕන නෑ .. ඇරිලා යාවි..

පෙනඩෝල් දෙකක් ගෙනත් දෙන්නද මිස්ටර් දාබරේ..

ඕන නැහැ.. මෙහෙම ටිකක් හිටියාම හරියාවි..

එහෙනම් මම කාල එන්නම් මිස්ටර් දාබරේ.. 

හා එහෙනම්..

එසේ කියමින් නැවතත් මේසයේ ඔලුව හොවාගත් දාබරේ එසේ සිටින්නට හේතුව අනුමාන වශයෙන් මා දැනගෙන සිටියෙමි. කලින් දිනයේ සවස පත්තු කරන ලද නූල පත්තු වී ඇති සෙයියාවෙන් සන්තෝසයට පත් මම උදෑසන ආහාරය ගැනීමට කැන්ටිම වෙත ගොස් නැවත එනවිටත් දාබරේ පෙර පරිදිම මේසය මත හිස හොවාගෙන සිටින්නට විය. 

මොකෝ මිස්ටර් දාබරේ.. අඩුවක් නැත්තද..

නැහැනේ..

මොකෝ මේ කොම්පියුටරේ පොරෝවල දාල..

ඒක කැඩිලද  කොහෙද.. වැඩකරන්නේ නැහැ..

එහෙමද.. ඉතින් අයි ටී ඩිපාර්ට්මන්ට් එකට කෝල් එකක් දුන්නනම් ඉවරයිනේ..මම ගන්නද කෝල් එකක් අයි ටී එකට 

එපා එපා එපා... අපෝ එපා ..

ඒ මොකෝ මිස්ටර් දාබෙරේ.. එයාලට එන්න බෑ කියනවනම් අපිට පුළුවන්නේ ඕක හදාගන්න..

මේ......... ඔයා දන්නවද කොම්පියුටර් ගැන..

ටිකක් විතර දන්නවා මිස්ටර් දාබරේ..

මාර ප්‍රශ්නයක් වෙලානේ..

ඇයි  මොකක්ද වෙලා තියෙන්නේ මිස්ටර් දාබරේ..

කව්ද එකෙක් මේකට හෙළුවැලි පින්තුරයක් දාලනේ ..

ඉතින් ඕක පාවිච්චි කරන්නේ මිස්ටර් දාබරේ විතරයිනේ..

ඒක තමයි ප්‍රශ්නේ.. සර් දැක්කොත් මට විසුමක් වෙන්නේ නැහැ..

ඉතින් ඕක මකල දාන්න.. ඕක සිම්පල් වැඩක්නේ..

මකල දාන්න බැරි විදිහටනේ දාල තියෙන්නේ.. ඔයාට පුලුවනිද මේක කාටවත් පේන්නේ නැතිවෙන්න අරන් දාන්න..

කෝ බලන්න මට දාල පෙන්නන්නකො..

මම මේක ඔයාට පෙන්නන්නේ විශ්වාසය නිසාමයි හරිද.. මේ ගැන කාටවත්ම දැනගන්න තියන්න එපා.. මේක දන්නේ මමයි දයානන්දයි විතරයි..

හරි ඕක දාන්නකෝ දැන් බලන්න.. ඉස්සෙල්ල බලන්න එපැයි මොකක්ද කරන්න පුළුවන් කියල බලන්න..

දාබරේගේ හිස කැක්කුම කොහේ ගියාදෝ නැතිව පරිඝනකය වෙත පැමිණ පොරොවා තිබු  ආවරණ ඉවත්කොට පරිඝනකය පණගැන්වූ වහා මා විසින් ඩෙස්ක්ටොප් වෙත දමන ලද අසැබි පින්තුරය තිරය පුරා ආලෝකමත්ව පැවතිනි.

මේක කොහොමද මේකට ආවේ.. මේ කොම්පියුටරේ ඉන්ටර්නෙට් එකට අමුණලා නැති නිසා මේක ඉබේ ආව කියන්න බැහැ .. කව්රුහරි මේක ගෙනැත් දාල තියෙනවා මිස්ටර් දාබරේ.. අපි මේක ලොක්කට කියල ඉන්කුවරි එකක් කරන්න කියමු.. 


අපෝ එපා එපා එපා.. ලොක්ක දැනගත්තොත් මට හොඳ නැහැනේ.. ඔයාට පුලුවනිද මේක අයින් කරන්න..

පුළුවනි.. එත් මැෂින් එක ෆොර්මැට් කරන්න වෙනවා..

ඒ කිව්වේ ..

ඒ කිව්වේ මුළු කොම්පියුටර් එකම මකල අලුතෙන් වින්ඩෝස් දාන්න වෙනවා...

ඉතින් ඒක කරලා හරි මේක අයින් කරලා දෙන්නකෝ..

ඒකට වින්ඩෝස් සීඩී  එකක් ඕනනේ.. ලොක්ක ගාව නම් ඇති මිස්ටර් දාබරේ..

අපෝ අපෝ ලොක්කගෙන් මුකුත් ඉල්ලන්න එපා.. වෙන කොහෙන්ද ඔය සීඩී එක හොයාගන්න තියෙන්නේ..

බම්බලපිටිය හන්දියට ගිහින් යුනිටි එකෙන් අලුතෙන් ගන්න වෙනව ඉතින්.. එකසිය පනහක්, දෙසීයක් වගේ වෙයි..

කීයක් ගියත් කමක් නැහැ.. දැන් ගිහින් ගෙනල්ල මේක හදල දෙන්න පුලුවන්ද..

හරි මම ගිහින් ගේන්නම්.. ෂෝර්ට් ලිව් නම් ඉවරයි මගේ.. 

මොන ෂෝර්ට් ලිව්ද.. ඔයා ගිහින් එන්නකෝ.. මම බලාගන්නම් වැඩ ටික..

දාබරේගේ මුදල්ද රැගෙන යුනිටි ප්ලාසා වෙත ගොස් මට දැඩි ලෙස අවශ්‍යව තිබු වින්ඩෝස් සීඩී එකක්ද මිලදී ගෙන මා නැවත කාර්යාලයට එනවිටද දාබරේ බහිරවයකු මෙන් පරිඝනකය අසල මුරකරමින් සිටියේ හිස ගින්නිගත්තෙකු ලෙසින් .

මිස්ටර් දාබරේ .. වැඩේට ටික වෙලාවක් යනවා.. මම කොම්පියුටර් එකට වාඩි වෙලා ඉන්නවා දැක්කොත් ඔයාට ලොක්කාගෙන් බැනුම් අහන්න වෙයි. අනික  ලොක්ක මේ සීඩී එක දැක්කොත් එයා දැනගන්නවා අපි මේකට මොකක්හරි කරනවා කියල.. ඒ හින්ද ඔයා ලොක්කගේ ඔෆිස් එක පැත්තේ ගිහින් ඉන්න. ලොක්කට මේ පැත්තට එන්න දෙන්න එපා..

හරි.. මම යන්නම්.. ඔයා වැඩේ කරලා කතා කරන්න මට..

හා..

දාබරේ කාමරයෙන් පිටවී ගියායින් පරිඝනකය වෙත ගිය මම වෝල්පේපරය වෙනස් කර දාබරේ විසින් ගබඩා කර තිබු සියලු අසැබි පිංතූර පරිඝනකයෙන් මකා දමා පරිඝනකය යතා තත්වයට පත්කොට පැය භාගයක් පමණ පරිඝනකයේ රස්තියාදුවක් ගසා දාබරේ ගැවසෙමින් සිටි ඉසව්ව වෙත ගියෙමි..

අන්න මිස්ටර් දාබරේ වැඩේ හරි..

ඔය ඇත්තමද..

ඔව් ඔව් ගිහින් බලන්නකෝ..

කාමරය වෙත දුවගියා වූ දාබරේ පරිඝනකය පරික්ෂා කර බලා එතෙක් වෙලා වදදෙමින් තිබු ඉසරදය හමාර කරගත්තේ මා වෙත නොසෑහෙන්න ස්තුති කරමින්..

මිස්ටර් දාබරේ.. මේ සීඩී එක මේ හරියේ තියන්න හොඳ නෑ .. ලොක්ක දැක්කොත් මේක හෙන ලෙඩක්.. අන්තිමේ මාවත් අහුවෙනවා ඔව්වට.. ඒ හින්ද මම මේක කුණු ගොඩකට විසික් කරලා දානවා..

ඒක හොඳයි.. මේකේ ඉන්න එවුන් ඕක උස්සන් ගිහින් ලොක්කට පෙන්නුවොත් අපිට ලෙඩක් . ඕක විසික් කරල දාන්න..

මා වෙත දැඩිව අවශ්‍යවී තිබු වින්ඩෝස් සීඩී තැටියද නොමිලේම මට ලැබුනේ එහෙමයි. ඊට අමතරව එතෙක් කාලයක් දාබරේගෙන් මට වෙච්ච අඩම්තේට්ටම් අඩක් විතර එතකින් නිමා උනත් දාබරේගේ රතු ඉරෙන් බෙල්ල කපන ක්‍රීඩාවට මාවත් නිතරම අහු උනා. දාබරේ ඉන්නේ මාස හයයි නිසා සාමකාමීව දාබරේ එක්ක ඩීල් එක ඉවරකරගන්න මම තීරණය කරල තිබුන නිසා දාබරෙත් මමත් දවසින් වැඩි කාලයක් ගතකලේ සුහදව. එත් විසකුරු නාග රාජයෙක් එක්ක ගජේට එක කාමරේ රස්සාව කරන වගේ ගතියක් තමයි දාබරේ විශ්‍රාම යනකල්ම මගේ හිතේ තිබ්බේ. 

දාබරේ විශ්‍රාම යන්න මාසෙකට විතර කලින් දාබරේ භාරේ තිබ්බ සියලු බඩු භාණ්ඩ මට භාරගන්න ඉන්වෙන්ට්‍රිය ගත්තෙ  අපි දෙන්නම එකතුවෙලා.  බඩු ලැයිස්තුව ටයිප් කරන රාජකාරිය මට පැවරුනේ දාබරේ කීබෝර්ඩ් එක එක්ක ගනුදෙනු කරේ ඇඟිලි දෙකකින් පමණක් නිසා. වැඩේ පැයෙන් ඉවර කරලා ලැයිස්තුව දාබරේට භාරදීලා මම හවස තේ එකක් බොන්න ටී ක්ලබ් එක පැත්තට ගිහන් ආවයින් පස්සේ තමයි මේ කතාව ඇදුනේ..

අයියෝ.. ඔයාට මේක ටයිප් කරන්න දීල මම සර්ගෙන් බැනුම් අහනවා තව පොඩ්ඩෙන්..

ඇයි  මිස්ටර් දාබරේ.. 

ඔයා ඉංග්‍රීසි වරද්දලානේ ගහල තියෙන්නේ..

නහ් .. වෙන්න බෑ ..

මේ බලන්න.. ඔයා යකඩ බෝල ගැන ටයිප් කරලා තියෙන විදිහ..

මේ බලන්න.. හැම තැනම ඔයා ගහල තියෙන්නේ Steel Ball කියලනේ..

ඉතින්.. 

අයියෝ ඔයා ඒ තරම් පොඩි දෙයක්වත් දන්නේ නැද්ද.. අනේ මන්ද මම ගියාම ඔයා මේක කොහොම කරන් යාවිද කියල..

හරි දැන් කියන්නකෝ මොකක්ද ඕකෙ තියන වරද කියල..

ළමයෝ බෝල් කියන එක Bol වෙන්න එපයි..

හැහ් ... හරි මිස්ටර් දාබරේ.. එතන පෑනෙන් හදල යවන්න..

ඔන්න ඕකයි මම දාබරේගේ අද්‍යාපනය ගැන ලියන්න බැහැ  කිව්වේ... පෘතුවි ජීවියෙකුට ලබන්න පුළුවන් උපරිම අද්‍යාපන සුදුසුකම් තිබ්බ , ලෝකේ පිළිගත්තු ගෞරව නාම තිබ්බ අපේ ලොක්ක ආයතනයේ ලොකුම තැනට යනකම් උසුස්වීම් දීපු දාබරේගේ තත්වය ඔන්න ඕකයි. ඉතින් එහෙව් ලොක්කෙක් ගැන තව ලියන්න තියන රසබර කතා අප්‍රමානයි.

විශ්‍රාම ගියායින් පස්සෙත් සතියකට සැරයක් දෙසැරයක් ආයතනයට එන්න තියාගත්තු දාබරේ එලවන්න දාබරේගෙන් අවුරුදු විසි ගණන් බැට කාපු සේවකයින් යොදා ගත්තේ අමුතුම ක්‍රමයක්. දාබරේ ආයතනයට ආපු ගමන් ආරක්ෂක අංශයට දුරකථන ඇමතුමක් යන්නේ 

" ............ ඩිපාර්ට්මන්ට් එකට හොරෙක් ඇවිත්.. ඉක්මනට එන්න " 

හනික ආයතනය වෙත දුවගෙන එන ආරක්ෂක නිලධාරීන් හොරා සොයමින් ආයතනය පීරනකොට දාබරේ ශේප් එකේ එලියට මාරු වෙන්නේ මුකුත් නොදන්නා ගානට. එහෙම ගිහින් දාබරේ ආයතනයට එන එක නැවැත්තුවේ පස්සෙන් පහු මිනිස්සු මුනට බනින්න ගත්තු නිසා. අද වෙද්දී දාබරේ ජීවතුන් අතර නැහැ . විශ්‍රාම ගිහින් අවුරුදු දහයක් යන්න කලින් දාබරේ ජීවිතෙන් සමුගත්ත. 

කාර්යාලය විවුර්ත කරන්න පැයකට හමාරකට කලින් රැකියාවට ආපු රැකියාව අවසන් වෙලා ලොක්කන් සියල්ල කාර්යාලයෙන් නික්ම යනකම් අතිකාල නොමැතිව සේවයේ යෙදුන දයානන්දට අත්වුනෙත් ඒ ඉරණමම තමයි. දයානන්ද ආයතනයේ අනුගේ කේලම් ලොක්කට අරන් යන අතරේ දයානන්දගේ අඹේනිය දරු දෙදෙනාවත් දමල වෙනත් පිරිමියෙක් එක්ක පැනල ගියා. ඒ අතරේ දයානන්ද විශ්‍රාම ගියා.  විශ්‍රාම ගිහින් අවුරුද්දක් යද්දී දයානන්දට පිස්සු හදුනා. ඊට අවුරුදු කීපයක් පිස්සුවෙන් හිටපු දයානන්ද අකාලයේම මියගියා මීට අවුරුදු දෙක තුනකට උඩදී. ලොක්කගේ පහත් ඔනෑ එපාකම් වලට කර තියපු දාබරේත්, දයානන්දත් මියගියා කියල ඒ දවස්වලම ලොක්ක දැනන් උන්නත් ඒ මලගෙදරකටවත් ගොඩවෙන්න තරම් අපේ ලොක්ක මනුස්සයෙක් උනේ නැහැ. 

ලොක්ක තාමත් ලොකු පුටුවක ජීවමානයි.. තවමත් මිනිස්සු තලා පෙලා පාගන මේ ලොකු තැන මැරිලා කොයි ලොව යාවිද මන්ද.. දාබරේ නම් මෙලහකටත් ඇත්තේ ලොක්කගේ කාමරේ භූතයෙක් වෙලා. දයානන්ද වගේ මෝඩ අහිංසක මනුස්සයෙක් වරදට යොදාගෙන දාබරේත් ලොක්කාත් එකතුකරගත්තු පවු ගෙවන්න කල්පයක් වත් විඳවන්න වෙයි. දාබරේල , ලොක්කල එකතු වෙලා රස්සාවල් නැති කරපු මිනිස්සු තියපු දෙස් දෙවොල් දාබරෙටත් , ලොක්කටත් නොවදි තියෙන්න විදිහක් තියේවිද... 

අවුරුදු පහක් මට විරුද්දව කේලම් කියපු දයානන්දගේ මරණය ගැනනම් දැනෙන්නේ දුකක් අනුකම්පාවක් විතරයි.. අවුරුදු විසි ගණනක සේවා කාලය පුරාම දයානන්ද වැඩ කරලා තිබුනේ දාබරේගේ සහ ලොක්කන්ගේ පහත් ඔනෑ එපාකම් ඉටුකරන්න. එහෙව් මනුස්සයෙක් එක්ක වෛර පුරලා තේරුමක් නැත්තේ කට්ට කපටි මහා එවුන් ඒ මනුස්සයව එතනට පත්කරපු නිසා. 


විසි ගණනකින් සමන්විත කාර්යමණ්ඩලයේ හිටපු එවුන්ගෙන් ලොක්කගේ කැකිල්ලේ තීන්දු වලට හිස නමන්නේ නැතුව රස්සාව බේරාගත්තු එකම ජීවියා මම පමණමයි. ලොක්ක මා වටෙත් දැල එලාගෙන ආවේ මාවත් ගෙදර යවන්නමයි. ලොක්කගේ අනතුරු ඇඟවීම් අරගෙන එන දයානන්දල වගේ දූතයින් අතේම අම්ම මෝ නැතිවෙන්නම මවුගුණ ගායනා කරලම ලොක්කට බැනල යවන නිසා ලොක්ක මා එක්ක ක්‍රීඩාවට ආවේ ටිකක් විතර බයෙන්. 

දාබරේගේ තිබ්බ කරදර කොම්පියුටරේ පිහිටෙන් ඉවර උනත් මට ලොක්කාගෙන් තිබ්බ පිහියෙන් ඇනිලි ඉවරයක් උනේ දෙදාස් හතරේ අන්තිමේ වගේ.. එත් මම කරපු කොම්පියුටර් ගේම් එක වගේම ගේම් ප්ලෑන් එකක් සුපිරියටම වැඩ කරපු නිසා.. ලොක්කාත් මමත් ටොම් ඇන්ඩ් ජෙරී ක්‍රීඩාව කරපු විස්තර  පසුවට..

(දාබරේ සහ දයානන්ද අනවර්ථ නාමයන් බව සලකන්න..)

41 comments:

  1. හැමතැනකම එක සෙවල වසලයෙක් හරි ඉන්නවාමයි. ඒ ඉන්න එකා හොදටම ඇති ආයතනයක් කන්න.අපි නම් පිඟන් කෝප්පත් පියාබවලා තියෙනවා ඔයවගේ නට්ලූස් පිස්සු හුටං කෙනෙකුට.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හැමතැනම එකයි බන්.අපි ජීවත් වෙන්න රස්සාව කරද්දී උන් ජීවත් වෙන්නේ රස්සාව කරන්න . ඒකයි වෙනස.

      Delete
  2. පට්ටයි මචන් ඔය වගේ ඈවුන්ට ඔහුම තමයි කරන්න ඕන. අනිත් ටිකත් ඉක්මනටම දාමු.

    ReplyDelete
    Replies
    1. ඔය කරා මදියි බන්. තව කරපුව කියන්නම්කො ඉස්සරහට .

      Delete
  3. හැමතැනම එක වගේනෙ බන්

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. ඒත් එහෙම නැති තැනුත් තියනව බන්. ඒ වගේ තැන්වල රස්සාව කරන්න ලැබෙන්නේ වාසනාවට. මට අන්තිම අවුරුදු පහේ එහෙම තැනක් සෙට් උනා. පාඩුවේ සන්තෝසෙන් හිටිය ඒ අවුරුදු පහ නම්.

      Delete
  4. කොතන බැලුවත් එකයි බං.පෙන්ෂන් ගියාටත් පස්සේ ආයෙත් ආව දාබරේ එලවගන්න කරලා තියෙන වැඩේ තමයි නියම...

    ReplyDelete
    Replies
    1. දාබරේ මිනිස්සුන්ට දීපු පරිප්පු වලට, ගහපු පෙස්සං වලට අද දාබරේ ඇත්තේ හොඳ තැනක ඉපදිලා නම් වෙන්න බැහැ.

      Delete
  5. දාබරේ,දයානන්ද වගේ මිනිස්සු බිහිවෙන්නෙ කේලම් අහන ලොක්කො ඉන්න තැන්වල විතරයි මචන්.කරුමෙට ලොක්කො වෙන උන්ගෙන් 90% ක්ම කේලම් අහන උන්.මට ඔයවගේ පො... පේන්න බෑ.නෙදොකින්...

    ReplyDelete
    Replies
    1. කේලම් අහන්නේ නැති ලොක්කොත් කේලම් අහන තැනට පත්කරන කලාව අපූරුවට දන්නවා බන් කේලම් කියන එවුන්.

      Delete
  6. ඔව්වට කියන්නේ කොම්ප්යුටර් මෙජික් ( අලුතින් ජිල්මඅර්ට්) පෙන්නව කියල. අපිට තියෙන එකම හයිය තමය් ඕන ටෙනක කට ඇරලා (*&)($^()$^(*&^@%%$#!#@%$^$ කියන්න පුළුවන් කම. (පවු ගෙවල් වල ඉන්න අම්මල)

    ReplyDelete
    Replies
    1. කියන්න ඕන තැනදී කට ඇරලා @#$%^@%# දෙක තුනක් කියන්න පුළුවන් කම තිබ්බ නිසා අවුරුදු දොළහක් ආණ්ඩුවේ රස්සාවක් කරා මිසක් නැත්තම් ඒක නැතිවෙන්න තිබ්බේ දෙදාහේ අවුරුද්දෙදිමයි.

      Delete
  7. පැහැදිලිවම ලොක්කොන්ගෙ වැරැද්ද.ගොඩක් ආයතන වල ඉන්නවා ඒ ආයතනෙටම නාකි උන පරණ මිනිස්සු.වැඩක් කරන්නෙත් නෑ.කරන්න දෙන්නෙත් නෑ.ලොක්කගෙ හෑන්ඩ් ෆෝන් එකට ඩිරෙක්ට් අරගෙන කේලම් ටික කියන්නෙ.මොන හෙවිල්ලක් වත් නෑ කේලම් ගැන.හරියන්න හරි වරදින්න හරි ලොක්ක කෙලින් ඉන්න ඕනෙ.ආයතන වලටත් එකයි,රටටත් එකයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලොක්කන්ගේ වරද තමයි . ඒත් ප්‍රධාන වරද පරිපාලන සුදුසුකම් නැති උදවිය පරිපාලනයට පත්කිරීම සහ එවන් තනතුරු වලට සුදුසුකම් නොමැති උදවිය පත්කිරීම. ලංකාවේ ආයතන බහුතරයක් පාලනය කරන්නේ පරිපාලනය ගැන , පිරිස් කළමනාකරණය ගැන මෙලෝ හසරක් නොදන්නා වෙනත් වුර්තිකයින්. එයාල එතනට ආවාම ලේසියට කරන්නේ කව්රුහරි ගොට්ටෝ දෙතුන් දෙනෙක් ලව්වා පරිපාලනයට සහය ගැනීම. එතන ඉඳන් වෙන්නේ බෙලි කැපිල්ල.

      Delete
  8. හැම ඔෆිස් එකකම ඔය වගේ ඩයල් එකක් ඉන්නව කියන එක ස්වාභාවික සිද්දියක්ද කොහෙද.
    මොනව උනත් ඔය වගේ බොසාලට බය නැතිකම පෙන්නගෙන සද්දෙන් කතා කළාම ටිකක් සරෙන්ඩර් කරගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. තග දාගෙන ඉඳල තමයි රස්සාව බේරාගත්තේ ප්‍රසන්න. මම එතනට යන්න අවුරුදු තුනකට කලින් ඒ පොස්ට් එකට ගත්තු මනුස්සය රැකියාවෙන් අස් කරලා ගෙදර යැව්වා. හේතුව උනේ හිටපු අනික් නිලධාරීන්ට වඩා ඒ මනුස්සයට අද්යාපන සුදුසුකම් වැඩි වීම. ලොක්කට මිනිහ ඔලුව නැමුවේ නැහැ . මිනිහට ජොබ් එක නැති උනාට පස්සේ මිනිහ නඩු ගියා. නඩුවෙන් මිනිහට ජොබ් එක දෙන්න කියල තීන්දු උනා වගේම උසාවියේදී ලොක්කට නඩු කාරය දොස් කියලත් තිබුන. එත් එයා ආපහු රස්සාවට ආවේ නැහැ වන්දි ඉල්ලුව. පස්සේ උසාවියෙන් වන්දි ගෙවන්න නියම කරා. එත් ඒ වන්දිය ගෙවන්න උනේ රජයට. වරද කරේ ලොක්ක උනාට වන්දි ගෙව්වේ ආයතනය.

      Delete
  9. ලිවිල්ල අපූරුයි අම්බලං.... දාබරේල වගෙ මිනිස්සු එක අතකට පව්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී... පවු නේන්නම් මේ කාලකන්නි මිනිස්සු..

      Delete
  10. සුපිරි ලිවිල්ල, ඊළඟ පෝස්ට් එක විදිහට ලොක්ක එක්ක දීපු ගේම ලියපන්...
    අපේනම් ඔය වගේ ජංගි සීන් කාරයෝ නැහැ...
    කේලම් එනම්මනං හරහා අපිට කෙලවෙනවත් අඩුයි, අපේ කොම්පැනි එකේ තියෙන්නේ අමුතු සීන්...
    පඩි වැඩි කරන්නේ ගොඩ වෙලාවට ෆ්ලැට් රේට් වල...
    කොහොමනමුත් මේ වගේ ජරා සත්තුනම් කොහෙත්ම නැහැ...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ වාර්ෂික වැටුප් වර්ධකය දෙන්නේ ලොක්කගේ නිර්දේශය මත බන්. ඒ සොච්චම ගන්නත් මිනිස්සු අවුරුද්දක් පුරා ලොක්කන්ට පෑගෙනවා බන්. මේ වගේ ජරා සත්තු නැති තැනක රස්සාව කරගන්න ලැබෙන එක ලොකු වාසනාවක් ලොකු පුතේ.. මම කරපු රස්සාවල් තුනක මට එහෙම එවුන් හමු උනා. හැබැයි ඒ තුනෙන් අන්තිම දෙකේ උන් මගේ සුපිරියටම කෑවා. පලවෙනි රස්සාවේදී මම පොඩි එකා නිසා ලොකු එවුන් එක්ක එකට එක කියන්නේ නැතුව ඉවසගෙන පසුපාදයේ හිටය. එත් උන්ට දෙයියෝ දඬුවම් දුන්න ඔලු පැලෙන්නම. ඒ විස්තරත් ඉදිරියේදී ලියන්නම්කො.

      Delete
  11. සාමාන්‍යයෙන් 'මයි මෑන්' ලා ගොඩක් තැන්වල ඉන්නවා.. ඒ වුනාට 'ලොක්කෝ' දැනගන්න ඕනි උන්ව තැනේ තියාගෙන හරියට වැඩේ ගන්න හා කාර්යාලයේ සෙසු කොටස් අපහසුතාවයකට පත් නොවෙන්න නිවැරදිව කළමනාකරණය කර ගන්න.. මේ වගේ හතර විලි ලජ්ජා නැති විදියට ගොට්ට අල්ලන උන්ට නම් ඔලුවේ ඉඳන් බෙඩ් ෂීට් එකක් පොරවලා නෙලන්න ඕනි මහසෝනා ගැහුවා වගේ.. ලොක්කට උණ ගැනෙන්න.. ඉතුරු ටිකක් කියහන් ප්‍රොයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා කාට කාට හරි. :)

    ReplyDelete
    Replies
    1. පරිපාලන දැනුමක් නැති වෙනත් වුර්තිකයින්ට පරිපාලනය භාරදීම සහ නුසුදුස්සන් ඉහල තැන්වලට පත්කිරීමේ අනිසි විපාක තමයි මේ. වයස හැටක මනුස්සයෙකුට ගහන්න බැහැනේ කලනේ .. කොයිතරම් බලුවැඩ කරත් තාත්තගේ වයසේ මනුස්සයෙකුට ගහන්න බැරි නිසා ඉවසනවා මිනිස්සු. එහෙම මනුස්සකම් තියන මිනිස්සු හින්ද මිසක් නැත්තම් උන් බත් කන්නේ දත් නැතුව බන්.

      Delete
  12. දාබරේ ලා හැම තැනම.

    ReplyDelete
    Replies
    1. ඉයන් ගාව දාබරේල කීයක් ඉන්නවද ? හොද ඇත්දැකීම් ඇති ඔයවගේ මිනිස්සු ගැන. ලියාපංකො ඒ වගේ කතාවක්.

      Delete
  13. මේ මටත් ටිකක් ඔය කේලම් කාරයෝ නොදිරවන ගතියක් තියෙනවා. එයිටත් වඩා සවුත්තු ජාතිය තමයි තමංගෙ යටත් සේවකයන් පාවලාදෙන ආයතන ප්‍රධානියො. අපේ ඔපීසියේ කලිං හිටි ලොක්කො දෙන්නාටම මහ සෙනගක් ඉස්සරහ දෙවනත් වෙන්න ඇමතූ ආනුභාවයෙන් මටනං ලෙඩ වැටෙනවා අඩුයි. කවුරුහරි ලෙඩක් දාගෙන එනවනං රිදෙන්න දෙකක් ඇමතුවාම හරි.

    ඒකටත් ක්‍රමයක් තියෙනව. අපි බනිද්දි නවත්තන්න නරකයි. දිගටම කියාගෙන යන්න ඕන. අනික සැලකියයුතු පිරිසක් ඉන්නත් ඕන. එතකොට ලොක්කං බයවෙනව "මූ සෙනග ඉස්සරහ කෑගහනව. ලැජ්ජාවයි" කියලා. අපේ ඔපීසියේ දැං ඉන්න ලොක්කිටත් මං දවසක් ඇමතුව ඇඬෙන්න.

    ReplyDelete
    Replies
    1. සුරංගගේ ක්‍රමේ හරි. ඕනවට වඩා ඔලුව නවාගෙන ඉන්න මිනිස්සුන්ට තමයි ලොක්කෝ කරේ නගනෙන අරින්න බලන්නේ. මම මේ කියපු ලොක්කනම් ආයේ දකුණේ එකෙක්නම් ගන්නේ නැහැ මිනිස්සු නැතුව වැඩ නොකර හිටියත්.

      Delete
  14. කේලම් ගැන මගේ අත්දැකීම් කිවුවොත් උඹ මාව මොන විදිහට ගනීද දන්නෙ නෑ....කමක් නෑ ඔහෙ ඕනෙ $&ක්, මෙන්න මෙහෙමයි අපේ බොසාගෙ වැඩ අපිත් එහෙමම තමයි ඒව ඉදිරියට ගෙනිච්චෙ ( අපේ එකා විතරක් නෙමේ අනික් එවුනුත් එහෙමයි කියල පස්සෙ දැනගත්තෙ ).
    හෙක්ටයාර් ගානක තේ වත්තයි , ෆැක්ටේරියයි ඒකෙ ස්ටාෆ් එකයි ,වත්තෙ ඉතිරි සේවක පිරිසයි මමයි මගෙ සීනියිර් එකයි පාලන බලතල සහ වගකීම තිබ්බෙ ලොක්කට හැබැයි මෑන් වැඩිය ෆීල්ඩ් එකේ එන්නෙ නෑ ( පාරක් අයිනෙ ඇරෙන්ඩ ජීප් එකට යන්ඩ බැරි කිසිම තැනකට ) හැබැයි කොහෙ හරි තේ ගහක් මැලවෙද්දි අහනව අතන ගහක් මැරෙන්ඩ යනව බැලුවද කියල ? හිටි ගමන් මමයි සීනියර් එකයි සෙට් උනාම පහුවදාට අහ්..ඊයෙ බෝතල් කීයක් බිව්වද ? ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක් දැක්කොත් හිටි ගමන් තමුසෙ ඊයෙ බීල අද වැඩට ආවෙ කීයටද කියල අහනව මුලදි මට මේක හෙන ප්‍රෙහෙලිකාවක්, පස්සෙ තමයි දැනගත්තෙ වත්තෙ තියන හැම ඩිවිශන් එකකින්ම දෙන්නෙකුට විතර වැඩි සැලකිල්ලක් දෙනව (දිරච්ච ගහක් කපාගන්න ,ටකරං දෙක තුනක් වගේ ඒව ) ඊට පස්සෙ උන් තරගෙට ලොක්කගෙ අප්පුවට ( උයන එකාට ) ඔක්කොම කේලම් කියනව. ඊට පස්සෙ මේ ටිකෙන් අදාල ටික විතරක් අරන් වැඩ කරනව . ඔය හැම අප්පු කෙනෙක්ගෙම කෑම උයන හා සමානව රාජකාරිය ඕකයි. ඔයවගේ ඔත්තුවකට අවුරුදු ගානක් ඉදං කරපු සංවිධානාත්මක හොරකමක් අල්ල ගත්ත. එදා තමයි අපි දෙන්නට කියල දුන්නෙ තොරතුරු ගන්න විදිහ සහ නිවැරදිව ඒවා කලමනාකරණය කරන විදිහ ( ඔව්..ඔව් කේලම් අහන විදිහ තමයි ).
    ඇත්තටම මෙච්චර විශාල සේවකයන් සහ ලක්ෂ ගානක් බලාගන්ඩනම් ඔය දාබරේ වගේ එවුන් නැත්නම් ඩ්‍රෝන එකක් තියෙන්ඩ ඕනෙ. හැබැයි ලොක්ක කිසිම දවසක කේලම් අහල බලුවැඩ නම් කලේ නෑ.

    ReplyDelete
    Replies
    1. //සේවකයන් සහ ලක්ෂ ගානක්//
      ලක්ෂ ගානක් තේ ගස් වියයුතුයි.

      Delete
    2. උඹලගේ ක්‍රමයයි අපේ ලොක්කගේ ක්‍රමයයි දෙකක් බන්. කළමනාකරණය කියන එක විවිද ආකාර වලින් කරන්න පුළුවනි. උඹලගේ ලොක්ක මේ සිස්ටම් එක ඇතුලෙම කළමනාකරණයට අවශ්‍ය යහපත් දේ විතරක් තෝරාබේරාගෙන වැඩේ කරන දක්ෂයෙක්. අපේ එකා මැටි මෝලෙක් .. ඌ දන්නේ මිනිස්සුන්ට කපන්න විතරයි.

      Delete
  15. කෙලන් කිමෙන් අකාලයෙ මියැදිම හො පිස්සු හැදිම වැනි භයානක අපදා සිදුවිය හැක.. (ආදර්ශය)

    ReplyDelete
    Replies
    1. කාටහරි අයහපතක් කරන්න කේලාම් කීම පවක් රංගන සහෝ .. එව්වයින් ගොඩගැහෙනේ පව් විතරයි..

      Delete
  16. මම සාමාන්යෙන් උඹේ කතා ආයෙ ආයෙමත් බලනව.. බත් කණ වෙලාවට.. ඒ වෙලාවට බලලම කියන්නම් ගුණපන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජෝ ..

      Delete
    2. සුපිරියි බං... ලොක්කගෙයි උඹගෙයි සෙල්ලම ගැන කියවන්න බලාගෙන ඉන්නවා..

      Delete
  17. කොහෙත් ඔහොම මිනිස්සු ඉන්නවා, දාමු ලොක්කගේ කතා

    ReplyDelete
    Replies
    1. රස්සාවල් කරන්න ගියාම හැම තැනම මේ වගේ එවුන් ඉන්නවා ශානු.. අවසානයේ මට එහෙම එකෙක් නැති රස්සාවක් ලැබුනා මගේ වාසනාවට.

      Delete
  18. පට්ට සහෝ මාර රසවත් විදිහට කොටලා තියෙනවා ... ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයාත්...

      Delete
  19. මෙන්න වැඩ ,,,
    සුපිරී ගොඩයෝ!

    ReplyDelete