Tuesday, August 2, 2016

ගෑනුන්ගේ මල කෝලo..






මේ ලියවෙන සිදුවීමට අදාළ වකවානුව දෙදහස් හත වසර බවට මාගේ බැටරි බැසයමින් තිබෙන මතකය පවසා සිටියත් එය අහවල් වර්ෂයේ අහවල් දිනය බවට තහවුරු කිරීමට කිසිදු මග සලකුණක් මාගේ මතකයේ නොමැතිය. එය අනිවාර්යයෙන්ම දෙදහස් පහ වසර සහ දෙදහස් දහය වසර අතරමැද කාලය බවට සහතික කොට කිව හැක්කේ මා කතරගම සේවය කලේ එම කාල වකවානුවේ බැවින්ය. අදාළ සිදුවීම අකුරු කිරීමට ප්‍රථමව එම සිදුවීමට අමුද්‍රව්‍ය සැපයුණු අනෙකුත් සෙසු සිදුවීම් ලියාගෙන යාමට සිදුවන අතර එය කිසිසේත්ම ලොකුකම කියාපෑමක් නොවන ලෙස පාඨකයෝ වටහාගනිත්වා.

මා කතරගම සේවය කල අවදියේ මා වෙත භාරවී තිබු රාජකාරියේ ස්භාවය පැය විසි හතරේ රාජකාරියක් නොවීය. දිනපතා කතරගම බඩගෑම ඉතා වෙහෙසකර කටයුත්තක් බැවින් නිල නිවාසයේ රැඳී සිටීම හැරුනුකොට වෙනයම් විකල්පයක් ද මා වෙත තිබුනේ නැතිය. කතරගම වන්දනාවේ එන්නාවූ හිතවතෙකු මිත්‍රයකු කලාතුරකින් මා බැලීමට පැමිණියා විනා අපගේ නිල නිවාසයට කතරගම කෙනෙකු පැමිණියානම් ඒ  අප කව්රුත් දන්නා කියන මනින්නා මහතා පමණක් වීය. මනින්නාගේත් මාගේත් සමාගමයට සිටි හිතවතුන් දෙදෙනෙකු වීය. ඉන් පළමුවැන්නා නම් මාගේ දුකට සැපට දෙකටම සිටිනා ගෝල තැන වන අතර අනෙකා අල්ලපු ඉඩමේ පදිංචි අන්දිරිස් මහතා වීය. මනිනා සහ මා විසින් එකතුපහදු වී මේසය මතට වඩම්මන මධු බඳුනේ අඩිය බැලීමේ උවමනාවක් අප දෙදෙනාටම නොවුනත් මාගේ ගෝල තැන සහ අන්දිරිස් මහතාගේ මධු පානයට පින්සිදුවන්නට මනින්නාටත් මටත් බෝතලයේ ඉතුරු වන්නේ අඩිය පමණක්ය. එයට හේතුව නම් මාගේ කීකරු ගෝල තැන සහ අන්දිරිස් වීදුරුව පුරවා මද පමණට ගන්න අයවලුන් වීමයි. ගෝල තැන සහ අන්දිරිස් මහතා විසින් එක් වරක් පානය කරන්නට යෙදුනු පසු මනින්නාටත් මටත් බෝතලයේ ඉතුරු වන්නේ භාගයටත් වඩා අඩු පරිමාවකි. එයින් සෑහීමට පත්වන්නාවූ මනින්නාත් මමත් භාග්‍යවන්තයින් ලෙස භාගය බුක්තිවිඳීම ආරම්භ කරන්නේ අන්දිරිස් උන්නැහේත් ගෝල තැනත් තමුන්ගේ බත් පත වළඳා නින්දට ගියායින් පසුවය. බොහොමත්ම කලාතුරකින් මා සති අන්තයේ කතරගම රැඳුනහොත් එදාට මනිනාටත් මටත් සම්පූර්ණ බෝතලයක්ම භුක්ති විඳින්නට වරම් ලැබෙන්නේ ගෝල තැන සහ අන්දිරිස් උන්නැහේ සති අන්තයේ නිල නිවාසයේ රැඳෙන්නේ නොමැති බැවින්ය. එදාට මනින්නාටත් මටත් රජ මගුල්ය. එවන් දිනයක රාත්‍රියේ මා හට සිදුවූ අලකලංචිය මනින්නා පොස්ටුවේ මීට කාලයකට පෙර ලියා තබා ඇත.

මාගේ රාජකාරිය කාර්යබහුල නොවුනත් කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්යය. මාගේ ප්‍රධානියාට උත්තර සැපයෙනවාට අමතරව පිටස්තර රජයේ ආයතන වලටද යෑම් ඊම් සහ අනුබද්ධ රාජකාරි මා වෙත පැවරී තිබුනේ මා කතරගමට වී නිකම් ඉන්නවා බලා සිටීම මාගේ ප්‍රධානියාට ඔලුවේ කැක්කුමක් වූ බැවින්ය. තිබෙනා වූ වැඩ රාජකාරි හැකි ඉක්මනින් අහවරකොට නිකම් සිටීමට ගජ රුසියෙකු වූ මා මට්ටු කිරීමට මාගේ ප්‍රධානියාට නම් මා එම රැකියාවෙන් ඉවත්වන තුරුම හැකිවුයේ නැති. මාගේ කාර්යාලයේ  වැඩ රාජකාරි මදිවූ තැන වෙනත් ආයතනයකට සතියේ දින කිහිපයකට මා අනුයුක්ත කරනා මාගේ ප්‍රධානියා සති කිහිපයකින් මට පරිප්පු දීම තාවකාලිකව නවතාලන්නේ මා විසින් ලොක්කා වෙත යවනා පෙට්‍රෝල් බිල්පත් දුටු සැනින්, කොළඹ ප්‍රධාන කාර්යාලයේ සීතල කාමරයේ සැප පුටුවෙන් උඩ විසික්වෙන නිසාය. ඉන් අනතුරුව මාස කිහිපයක් යනතුරු පාඩුවේ තියෙන වැඩක් කරගෙන මා හට සිටින්නට හැකිවෙනවාය. 

උදෑසනම මට තිබෙනා ප්‍රධානම රාජකාරිය නම් ගෝල තැන විසින් සාදා දෙන ප්‍රනීත්වත් උදෑසන ආහාරය ගිල දැමීමය. ඉන් අනතුරුව රාජකාරි ඇතොත් ඒවායේ යෙදෙනවාට අමතරව මටත් ගෝල තැනටත් තිබෙන්නාවූ බලවත්ම ප්‍රශ්නය වන්නේ දහවල් ආහාරය වෙනුවෙන් කුමනාකාරයේ ආහාරයක් පිළියෙළ කරන්නේද යන්නයි. උදෑසන ආහාරය ගිලදමා අත සෝදන්නටත් ප්‍රථම ගෝල තැනගෙන් මා වෙත එල්ලවන ප්‍රශ්නය නම්..

මහත්තය.. දවල්ට මොනවයි හදන්නේ ???????

එම ප්‍රශ්නයට උත්තර සැපයීම බලවත් ගැටළුවක් වන්නේ මාගේ සුවච කීකරු ගෝල තැන ආහාර පිසින්නට උපන් හපනෙක් වන බැවිනි. ඉහත ප්‍රශ්නය විසි තිස් වතාවක් මා වෙත එල්ලවූ පසු දෙදෙනාගේම එකඟත්වය මත යමක් යෝජනා වන අතර එය දහවල් ආහාරය වශයෙන් පිළියෙළ වේ.. එම ආහාරය වලඳා අවසන අත සෝදන්නට ප්‍රථම ගෝල තැනගෙන් මා වෙත එල්ලවන්නාවූ ප්‍රශ්නය නම්..

මහත්තය.. රෑට මොනවයි හදන්නේ ???????

එම ප්‍රශ්නයද විසි තිස් වතාවක් මා වෙත ඉදිරිපත් වූ අනතුරු දෙදෙනාගේම එකඟත්වය මත ආහාර වට්ටෝරුවක් යෝජනා වෙන අතර එයින් පිළියෙළ වන ආහාර වට්ටෝරුව කා දමා අවසන් වන්නේ රූපවාහිනියේ විකාශය වන සියලුම මල් නාට්‍ය නරඹන අතරතුරයි. අල්ලපු ඉඩමේ පදිංචි අන්දිරිස් අයියාද වයස හැත්තෑව ඉක්මවූ තනිකඩ පුද්ගලයකු බැවින් ඔහුද  අපගේ ආහාර මේසයේ සාමාජිකයකු වන්නේ දිනපතාමය. ගිගුරුම් සහිත වැසි කාලයට අන්දිරිස් අයියා විසින් නෙලාගෙන එන ඉඳලොළු නම් හතු ව්‍යංජනය සමග අසමෝදගම් කොළ සම්බෝලයේ රස නම් අමතක කල නොහේ.

මෙසේ ගතවෙන මාගේ දින චරියාවට එක්තරා දිනෙක ලැබුණු හදිසි දුරකථන ඇමතුමකින් කියවෙන්නේ කනගාටුදායක ආරන්චියක්ය. රජයේ ආයතනයකට කුලියට දී තිබෙන්නාවූ මාගේ වෑන් රථයක් අනතුරට ලක්වී ඇති ආරංචිය එක් පැත්තකින් කනගාටුවට කාරණයක්ය. අනෙක් පැත්තෙන් සාක්කුවට අගුණ කාරනාවක්ය. රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුව වාහනය ආයතනය වෙත සැපයීමට නොහැකි දින වලදී නිෂ්පාදිත වර්ෂය මාගේ රථයේ වර්ෂයටම සමාන එම ආසන පරිමාවේ රථයක් මා විසින් සැපයිය යුතුය. එම කොන්දේසියට අනුව මාගේ රථය අලුත්වැඩියා කරනා තුරු වෙනත් රථයක් සැපයීම ආර්ථික අතින් ලාභදායී කටයුත්තක් නොවේය. ඒ හෙයින් කල යුත්තේ මාගේ රථය හැකි ඉක්මනින් අලුත්වැඩියා කොට නැවත සේවයේ යෙදවීමය. එහෙත් මා වෙත ඇති ප්‍රශ්නය නම් එම අලුත්වැඩියාවන් කරවීමට මා අනිවාර්යෙන් ගෙදර යායුතු වීමය. 

ගෙදර යාමට නම් නිවාඩු ලබාගත යුතුය. නිවාඩු ලබාගැනීමට ප්‍රධානියා අනුමත කල යුතුය. සතිය මැද එක් දිනක් වෙනුවෙන් නිවාඩු අනුමත කරගැනීම ඒ තරම් අපහසු කටයුත්තක් නොවුනත් ඉතිරි දින කිහිපය වෙනුවෙන් මා නැවතත් මලාට කතරගම නොඑනා වග ප්‍රධානියා දන්නාවාය. ඒ හෙයින් නිවාඩු ගන්නවානම් දින තුනක් වෙනුවෙන් නිවාඩු ඉල්ලිය යුතුය. වැඩ බැලීමට අයකු නොමැති බැවින් එය හදිසියේ කළහැකි කටයුත්තක් නොවේය. මා එක් දිනක් වෙනුවෙන් නිවාඩු ඉල්ලාගෙන ගමේ ගියහොත් නිවාඩු ලැබෙන දිනට පහුවදා අභ්‍යන්තර විගණන කණ්ඩායම මාගේ කාර්යාලයට කඩා පන්නා ලොක්කා අවුරුදු ගණනාවක වාඩුව මාගෙන් ගන්නවාය. මේ සියල්ල සීරු මාරුවට කල්පනාකොට බැලුකල නිවාඩු ලබානොගෙන ගෙදර මාරුවීම වඩා ඇඟට ගුණය. එයට ලැබෙන ප්‍රගතිශීලී උදව්වනම් මාගේ දුකට සැපට සිටිනා ගෝල තැනගේ ප්‍රකාශයයි..

මහත්තය යන්න.. මම බලාගන්නම්..

කෝල් එකක් ආවොත්..

කෝල් එකක් ආවොත් මම කියන්නම් මහත්තය පොඩ්ඩකට ටවුමට ගියා කියල..

ඉතින් අයෙ අවොත් කෝල් එක..

කියන්න බොරුද මහත්තය නැත්තේ.. මොකෝ එයාල කොළඹ ඉඳන් ප්ලේන් එකකින් ඇවිත් බලන්නද.. 

ඉතින් මට දවස් තුනකටවත් එන්න වෙන්නේ නැහැනේ මේ වාහනේ හදල යවාගන්නකම්..

මහත්තය බයවෙන්න එපා.. මම බලාගන්නම්.. මහත්තය යන්නකෝ..

එහෙනම් මම යන්නම්.. මොකක් හරි කෝල් එකක් ආවොත් හැරෙන තැපෑලෙන් මට කෝල් එකක් දෙන්න එහෙනම්..

හරි මහත්තය බයවෙන්නෙපා.. යන්නකෝ..

එසේ සිදුවූ එකඟතාවය අනුව මා ගෙදර එන්නට පිටත් වුයේ හැකි ඉක්මනින් රථය අලුත්වැඩියා කොට නැවත සේවයට යෙදවීම අනිවාර්ය නිසාය. දින හතක් ඇතුලත රථය නැවත සේවයේ යෙදවීමට නොහැකි වුවහොත් ටෙන්ඩරය අවලංගු කිරීමට එම ආයතනයට බලය තිබෙනවාය. වසර ගණනාවක් පුරා මා විසින් ලබාගත් ටෙන්ඩරයට ඇස ගසාගෙන සිටින්නාවූ පිටත පාර්ශවයන් බලා සිටින්නේ කොයි මොහොතේ ටෙන්ඩරයට විදින්නදෝ යන බව මා සක්සුදක් සේ දන්නා නිසා රථය හැකි ඉක්මනින් අලුත්වැඩියා කිරීම මාගේ වගකීමක්ය..

මා ගමට සපත්වනා අවස්තාව වනවිට මාගේ වෑන් රථය පොලිස් භාරයේය.. ෂෙල්, බෆර්, බොනට්, හෙඩ්ලයිට්, සියල්ල කුඩු පට්ටම්ය.. ඊට අමතරව වා මුවා හෙවත් වින්ඩ්ස්ක්රීනය ඇතුලට එබෙන්නම කැඩිලාය.. මාගේ රියදුරා වූ අපගේ ප්‍රසන්නයාගේ මාමා වූ චූටි මාමාගෙන් අසාගත් පරිදි තොරණේ විස්තරය මෙසේය..

චූටි මාමේ මොකෝ උනේ..

මොනවා වෙන්නද.. මූ ආව කඟවේනා වගේ.. ඈත තියාම එන්නේ මගේ පැත්තට නිසා මම වාහනේ අයින් කරලා නවත්තගත්තා.. මූ ආපු වේගෙන්ම ගැහුවනෙ මොටෝ සයිකලේ වෑන් එකේ මූනෙම..

නෑ...

නෑ නෙවෙයි ඔව්.. මූ කනමදය වගේ බීලා...

මේ මහා දවල්..

දවල් නේන්නම්.. කෙලින් ඉන්න බැරි තරම් බීලා..

මෑන්ස්ට තුවාලද..

මොන තුවාලයක්ද.. ඌ ඔය ඉන්නේ ඉස්පිරිතාලේ උන්නටත් වඩා හොඳට..

එතකොට චූටි මාමේ ඉස්සරහ වීදුරුව බිඳුනේ කොහොමද..

මූ හැප්පිච්ච පාර උඩින් ඇවිත් වැටුනේ ඉස්සරහ වීදුරුව උඩටනේ..

නෑ..

නෑ නෙවෙයි ඔව්.. වීදුරුව හයිය නිසා මූ වෑන් එක ඇතුලට වැටුනේ නැහැ .. වීදුරුව දෙකට කඩුනනම් ඉතින් මූ අපේ ඇඟ උඩ..

මෑන්ස්ට සිහිය නැතිවුනේ නැද්ද..

මොන පිස්සුද.. ඌ වීදුරුව උඩින් බැහැල බයිසිකලේ අරන් යන්නත් ලෑස්තිය..

මොකක්.. බයිසිකලේටත් මුකුත් වෙලා නැද්ද.. වෙන්න බෑනේ.. අපේ වාහනේට බරටම තුවාලයිනේ..

බයිසිකලේ ඉස්සරහ රෝදෙ ඉන්ජිම ගාවටම හේත්තු වෙලා.. පෝක් එක දෙකට කැඩිලා..

ඉතින් මූ යන්න ගියා කියන්නේ එතකොට..

බී මතේ.. බී මතේ.. බොහොම අමාරුවෙන් ත්‍රී වීල් එකක පටවල ඉස්පිරිතාලේ යැව්වේ..

පොලිසියෙන් මොකෝ කියන්නේ..

හෙට එග්සැමිනර් ලව්වා  බ්‍රේක් චෙක් කරලා වාහනේ දෙන්නම් කිව්වා උසාවි නොදා.. මූ බීල නිසා අපිට මුකුත් ප්‍රශ්නයක් නෑ..

කතාන්දරය එසේ බැවින් වාහනය ඉක්මනින් අලුත්වැඩියා කිරීමට නම් පොලිසියෙන් නිදහස් කර ගතයුතුය. ඉන් අනතුරුව රථය අලුත් වැඩියා කිරීමට ගරාජයක් සොයාගත යුතුය. අමතරකොටස් සොයාගත යුතුය. රථයට සිදුවී ඇති අලාභහානි වලට අනුව රේඩියේටරයේ පටන් ෂෙල් , බෆර්, බොනට්, ඒසී කන්ඩෙන්සර්, වයිපර් ආර්ම් ඉදිරිපස එක් ප්‍රධාන ලාම්පුවක් සහ වා මුවා නොහොත් ඉදිරිපස වීදුරුව  යන සියල්ල අලුතෙන් දමා පේන්ට් කල යුතුය. රක්ෂණ වන්දි ගැනීම පසෙක ලා මාගේ අවශ්‍යතාවය රථය අලුත්වැඩියා කොට නැවත සේවයේ යෙදවීමය. රක්ෂණ වන්දි ගැනීමට රැඳී සිටියහොත් ටෙන්ඩරය වෙනත් අයකු ආක්‍රමණය කිරීම වැලැක්විය නොහැකිය. 

චූටි මාමේ.. කාටද දැන් මේක හදන්න දාන්නේ..

අනේ මන්ද.. හදිසියට මේ වැඩේ කරගන්න එක තමයි වැඩේ..

එහෙම කියල සතියක් මේක හදන්න බලන් ඉන්න බැහැනේ චූටි මාමේ.. කාට හරි දීල හදවල දුවමු..

කව්රුහරි ගෙදරට ගෙනල්ල හදවමුද.. එතකොට වැඩේ ඉක්මන්..

අනේ මේ.. උන් වාහන හදල ගෙවල් මිදුල් විනාස කරලා දැම්මාම මට ගෙදර බත් කාර්ඩ් එක නැතිවෙනවා.. ඒ නිසා ගරාජ් එකකට දෙමු..

එහෙනම් ඉතින් වැඩේ මල්ලෙන් ගහල හරි ගොඩ දාන්න ඉන්නේ _ _ _ විතරයි..

එහෙනම් හෙට ගිහින් දාමු.. ඇදගෙන නේද යන්න වෙන්නේ..

ඔව් ඉතින්.. රේඩියේටර් එක හිල් වෙලානේ තියෙන්නේ..

චූටි මාමා යනුවෙන් අප සැම ඔහුව හඳුන්වන්නේ ඔහු අපගේ හිතාදර මිත්‍ර ප්‍රසන්නගේ අම්මාගේ බාල සහෝදරයා වන බැවින්ය. ප්‍රසන්නයා විසින් ඔහුට ආමන්ත්‍රණය කරනා ආකාරයෙන් අපද උහුට චූටි මාමා කියා ආමන්ත්‍රණය කරනා බැවින් රථය කුලියට දී තිබෙන රජයේ ආයතනයේ අයවලුන්ද ඔහුට ආමන්ත්‍රණය කරන්නේ චූටි මාමා කියාය. බයක් සැකක් නොමැතිව ගමනක් යැවිය හැකි ගනයේ රියදුරෙකු වන චූටි මාමා විශ්වාසය අකුරට තබියහැකි ගනයේ පුද්ගලයෙකුය. කලක් තමුන්ගේම රථයෙන් පාසල් සේවාවක් කල චූටි මාමා පසුකලෙක තම රථය විකුණා දමා පැත්තකට වුයේ පාසල් සේවා මුදල් එකතු කිරීමට දරුවන්ගේ මහ එවුන්ගේ පසුපස එළවීමට සිදුවූ නිසාය. 

වාහනය තනිවම සෑදීමට මා හට හැකියාව ඇතත් රක්ෂණ වන්දි ගැනීමට උවමනා නිසා ගරාජයකට දැමිය යුතුමය.. වන්දි ලැබුනා හෝ නොලැබුණා  හෝ ගරාජයක් මගින් අලුත්වැඩියාව කරගතහොත් පසුකාලීනව රක්ෂණ සමාගමෙන් ලැබෙන වන්දියෙන් පාඩුව අවම කරගත හැකිය. නැත්නම් මුළු මුදලම මාගේ සාක්කුවෙන්ය.. 

ව්‍යාපාරයක් වශයෙන් වාහන ධාවනයේ යෙදවූ අයකු වශයෙන් චූටි මාමාත්, එම ව්‍යාපාරයම වසර ගණනාවක පටන් කරන් යන්නාවූ මමත් ඊළඟට අප දෙදෙනාටම වෙන්නට යන්නාවූ අලකංචිය දන්නවාය. ඒ නම් වාහනය අලුත්වැඩියා කර දෙනතුරු ගරාජ් බාස් කෙනෙකු පසුපසින් වැටීමට සිදුවීමය. වාහන ටින්කර් පේන්ට් කරන්නාවූ ගරාජ් බාස්ලා යනු සෑම විනාඩියක් පාසාම පසුපසින් සිටියොත් පමණක් රාජකාරිය අහවර කරනා වර්ගයේ ජීවීන් කොට්ඨාශයක්ය. එසේ පසුපසින් නොසිටියහොත් රථය පොළොවට මුල් අදිනාතුරු අලුත්වැඩියාවක් නම් කෙරෙන්නේ නැතිය..


එග්සැමිනර් මහතාගේ පරීක්ෂණයෙන් අනතුරුව රථය අප වෙත භාරවූ අතර චූටි මාමා විසින් යෝජනා කරාවූ සහ මා විසින් ස්ථිර කරාවූ ගරාජයට රථය ඇදගෙන ගොස් දැම්මේ අප දෙදෙනාමය.. ඊළඟ ඇත්තේ ගරාජයේ ගිනි තැපීම නොහොත් ගරාජ් බාස් පෙනෙන මානයේ නිතර ගැවසීමයි.. රථයේ අදාළ කොටස් ගලවන තුරු චූටි මාමා ගරාජයේ මුරට යෙදවූ මා වෙනත් රථයක් ගෙන නුගේගොඩ මන්ගැච්චුවේ අවශ්‍ය බොඩි පාර්ට්ස් රැගෙන ඒමටය. නුගේගොඩට ගොස් අමතර කොටස් ටික රැගෙන ඒම මහා කජ්ජක් නොවුවත් කතරගම සිටියයුතු මා නිවාඩු නොදමා කොළඹ සිට ප්‍රධාන කාර්යාලයේ එකෙකු දුටුවහොත් සිදුවනා සංතෑසිය මා දන්නා බැවින් පරෙස්සමට කොළඹ ගොස් අවශ්‍ය අමතර කොටස් රැගෙන මා ගරාජයට පැමිණෙන විට සවස පහ පමණ වන්නට ඇතිය. ඒ එද්දීද චූටි මාමා ගරාජයේ මදුරුවෝ තලනවාය. බාස් ආගිය අතක් නොමැතිය. 

ඇඳිරි වැටීගෙන එද්දී හම්බුකරනා තුට්ටු දෙකෙන් වැඩි පංගුවක් බාර් මුදලාලිට නොදී නිදාගැනීමට නොහැකි ගනයේ බාසෙකු වූ අපගේ ටින්කර් බාස් පිටව ගොස් ඇත්තේ ලඟට ගිහින් එන්නම් කියාය. එහෙත් යන්නේ මත්පැන් හලට බව දන්නෝ දන්නවාය..එය අත්‍යවශ්‍ය ගමනක් බැවින් මහ ඒජන්තගේ වාහනය සාදමින් සිටියත් සවස පහමාර හය වන විට ලිකර් ෂොප් වෙත වාර්ථා කිරීම බහුතරයක් බාස්ලාගේ සිරිතය.

චූටි මාමේ .. ඔයා එහෙනම් යන්න ගෙදර.. මම මෙයා ආවාම ගෙනාපු බඩු ටික පෙන්නලා හරිද කියල අහගෙනම මම එන්නම්..

කමක් නැද්ද..

කමක් නෑ කමක් නෑ.. දවල් ඉඳන් මෙතන හිටියනේ..

හා එහෙනම්.. මම උදේම එන්නම් මේ පැත්තට..

හ්ම්..

චූටි මාමා ගරාජයෙන් පිටව ගියේ සවස හයයි තිහට පමණය.. අඳුර වැටී රාත්‍රී හත පසුවනතුරුද ලඟට ගිය බාස් නැවත පැමිණියේද නැත.. ගෙනා කොටස් හරියටම ගැලපෙන ඒවාද කියා තහවුරු කරගැනීම මාගේ වගකීම බැවින් බාසා එනතුරු ගෙදර යාම නුවනට හුරු නැත. නැතිනම් පසුවදා උදෑසන මොනයම් හෝ හේතුවක් මත අලුත්වැඩියා කටයුතු ඇනහිටින්නට ඉඩ තිබෙනවාය..

දවල් පටන් කොළඹ අමතර කොටස් සොයා කඩ ගානේ ඇවිද හතර හන්දි පන නැතිය..එහෙං බඩේ පනුවන් බොක්සින් ගසනවාය..ඊටත් එහා දැවෙනම ප්‍රශ්නය නම් ජංගම දුරකතනයේ බැටරිය බැස යන්නට ඔන්න මෙන්නය.. දුරකථන පන ඇතිව තබා ගැනීම වඩා වැදගත් වන්නේ කතරගම ගෝල තැනගෙන් ඇමතුමක් ලැබුනහොත් එය මග නොහැර ලබාගතයුතු නිසාය.. එහෙත් දුරකථනයේ බැටරිය ආරෝපණය කිරීමට චාර්ජරයක් මා සතුව නොමැතිය.. බාස් ගොයියාද එන පාටක්ද නොමැතිය.. බාසා හමුනොවී ගෙදර යාමද නුවනට හුරු නැතිය.. සියල්ලටම විකල්පය වන්නේ කොහෙන් හෝ චාර්ජරයක් සොයාගෙන බැටරිය ආරෝපණය කරගැනීමය..

චාජරයක් සොයාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් වෙහෙසෙන සිතුවිලි එක වරම දුටු රිදී ආලෝකයක් ළඟ නවතින්නේ එයින් මාගේ අරමුණ අනිවාර්යෙන් ඉෂ්ටවන වග මා දන්නා නිසාය. ඒ නම් ගරාජය ආසන්නයේ සිටිනා මාගේ මිතුරෙකුගේ නිවසින් චාර්ජරයක් ඉල්ලා ගැනීමයි. මාගේ මිත්‍රයා විදේශයක සේවය කලද ඔහුගේ බිරින්දෑ සහ ඔහුගේ නැන්දනිය ,ඔහුගේ දරුවන් ලඟින්ම දන්නා පුද්ගලයකු වශයෙන් චාර්ජරයක් මා වෙත අනිවාර්යයෙන්ම ලැබෙනා බව සක්සුදක් සේ පැහැදිලිය. ඒ හෙයින් බාස් කාරයා බඹර පදම් වී නැවත ගරාජයට පැමිණෙනතුරු මිතුරාගේ නිවසට යාමට මා පිටත් වන්නේ මිතුරාගේ නිවස තිබෙන්නේ ගරාජයට මීටර දෙතුන්සියයක් එහායින් නිසාය..

මිතුරාගේ නිවස වටා ඉදිවූ අඩි දහයක එකොලහක තාප්පයකි. තමුන් නිවසේ නොමැති නිසා සිය පවුලේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස බැඳ ඇති සුවිසල් තාප්පයෙන් ඔවුනට සැලසෙන ආරක්ෂාව බොහෝය. මා එම නිවැසියන්ට අමුත්තෙකු නොවන බැවින් ගේට්ටුව විවුර්තකරගෙන නිවස දෙසට පිය මනින්නේ එම නිසාවෙ බල්ලන් නොමැති බව මා පැහැදිලිවම දන්නා නිසාය. 

නිවසේ ඉදිරි දොර සම්පුර්ණයෙන්ම විවුර්තය.. සාලයේ තිබෙන්නාවූ අඩි තුන හතරක් විශාල රූපවාහිනිය මහා ශබ්දයෙන් ක්‍රියාත්මකය.. සීනුව හත් අට වරක් නාද කලද කිසිවෙකු පිටතට පැමිණෙන සලකුනකුදු නොමැතිය. කොයිතරම් දන්නා හඳුනන නිවසක් වුවද නොදන්වා ඇතුලට පියවර තැබීම සභ්‍ය නොවන්නේය..ඒ හෙයින් කිහිප වාරයක් නැවත සීනුව නාද කිරීමට මාහට සිදුවෙනවාය.. රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දයට සීනුව නිවස තුලට ඇසෙනවාදැයි සැක සහිත වුවත් වෙනත් විකල්පයක් මා වෙත නොමැතිය..

මා, මිතුරාගේ නිවසේ දොරකඩට පැමිණ විනාඩි කිහිපයක් ඉක්ම ගියද කිසිවෙකුත් එලි පහලියට එන සලකුනකුදු නොමැතිය. හොඳින් නිවස තුලට කන් යොමු කිරීමේදී මොකක්දෝ අපැහැදිලි කෑගැසීමක් යාන්තමට අසෙනවාය. එය කෑගැසීමක්ද එසේත් නැතහොත් මා මිතුරාගේ දරුවන් සෙල්ලම් කරනාවූ ශබ්දයක්ද යන්න වෙන්කරගත නොහැකිය.. ශබ්දයද නොනවත්වා ඇසෙනා අතර කොයිතරම් දන්නා අඳුනන නිවසක් වුවද නිවැසියන් නොමැතිව ඇතුලට අඩිය තැබීම බොහොබිනාය.. එහෙත් රූපවාහිනියේ අධික ශබ්දය පරයා ඇසෙනා දරුවන්ගේ කෑගසීමේ ශබ්දය සහ නිවස තුල කිසිවෙකුත් නොමැති අරුමය අතරේ කුමක් හෝ සම්භන්ධයක් තිබෙනවාය.. කාට හෝ කරදරයක්ද යන්න මාගේ හිතේ ඇතිවූ සිතුවිල්ල බැවින් නිවසට පිටතින් නිවස පසුපසට ගොස් පරීක්ෂා කිරීම මාගේ ඊළඟ උත්සාහය වීය..

නිවසේ වම්පසින් පසුපසට පියනගනා මා දුටු දසුනෙන් මා ගල්බීත වන්නේ ඊළඟට කුමක් කරන්නේද කියා හිතාගන්නට ඇසිල්ලක් අවශ්‍ය නිසාය.. මා මේ දකිනාවූ දර්ශනය සැබෑවක්ද කියා හිතාගන්නටද නොහැකිය.. මෙය කියවනා පාඨක සැම මේ සිදුවීම චිත්‍රපටයක රූපරාමුවක්දෝ යන්න සිතනු නිසැකය.. එහෙත් මේ ලියවෙනා දෑ සියයට සියයක් සත්‍ය සිදුවීමක්ය..

මා මිත්‍රයාගේ නිවසේ පසුපස කොටසට තියා ආලින්දයෙන් එපිටට මා කෙදිනකවත් ගොස් නොමැතිය.. එය නවීන පන්නයේ අලුතෙන්ම සෑදු නිවසක් බැවින් සියලු පහසුකම් වලින් යුක්තය. පොළොවේ සෑම අඟලකටම ටයිල් අල්ල ඇති නිවසේ නැතියයි කියන්නට දෙයක් නොමැති තරම්ය..

එහෙත් මේ මා දකින්නේ නිවස පසුපසින් නිවසට අල්ලා සාදන ලද  ලී මඩුවක් ගිනිගෙන දැවෙනා දර්ශනයයි.. මඩුවට ඇතුල් වීමට තිබෙනා ද්වාරය කොටස සම්පූර්ණයෙන්ම ගින්නෙන් වැසී තිබෙනා අතර ඊට එපිටින් මඩුව ඇතුලේ මා මිත්‍රයාගේ බිරින්දෑ තම දරුවන් තිදෙනා තුරුළු කරගෙන කෑගසනවාය. දරුවන්ද එක සීරුවට උදව් ඉල්ලා කෑගසන අතර නිවස අඩි එකොළහක් දොළහක් උස තාප්පයකින් වටවී තිබෙනා නිසා එය කාටවත් ඇසෙන්නට ක්‍රමයක් ඇත්තේම නැතිය. රූපවාහිනියේ ශබ්දය නිසා එම කෑගැසීම තව තවත් යටපත් වෙනවාය. ඊටත් ප්‍රමුකම හේතුවනම් මා මිත්‍රයාගේ පුත්‍ර රත්නය ඔහුගේම කපාපු පළුව බැවින් නිරන්තරයෙන් කෑකෝ ගසමින් සිටිනා දරුවන් කෑගැසුවා කියා අහල පහල කෙනෙකු විශේෂයෙන් බලන්නටද හේතුවක් නොමැතිවීමය.

ලී මඩුව සම්පුර්ණයෙන් ගින්නේ වැසී මා මිත්‍රයාගේ බිරිඳ ඇතුළු දරු තිදෙනා පිලිසීමට ඉඩදීම හර්දසාක්ෂියක් ඇති පුද්ගලයකු වශයෙන් මා හට නොහැකිය. එහෙත් ගින්නේ ස්භාවය අනුව ගින්නට මැදිවී සිටිනා පුද්ගලයින් බේරාගැනීමට නම්  මා ගින්න මැදින් ඇතුලට රින්ගිය යුතුමය. එසේත් නැතහොත් ලී මඩුව පිටුපසින් කඩා බිඳ දමා ඔවුන්ව එලියට ගත යුතුය. මාගේ සහ ඔවුන්ගේ අවාසනාවට හොඳින් ශක්තිමත්ව සාදා සම්පුන්ර්ණ ලෑලි ගසා ආවරණය කර ඇති මඩුවේ පිටුවසින් ලී ගැලවීමට තරම් ආයුදයක් මා ඇත නොමැතිය. මා වෙත තිබෙනා එකම සහ අවසන් විකල්පන නම් මහා ගිනි ජාලාව ඇතුලෙන් රිංගා ගොස් කල හැකි යමක් කිරීමය.

ඉතා වේගයෙන් පතිරෙනා ගින්න මඩුව සම්පුර්ණයෙන් වසාගැනීමට ප්‍රථමව කළහැකි යමක් කල යුතුය. මොහොතකට මාගේ සියලුම යැපෙන්නන් ආදරණීයන් ක්ෂණිකව මතකයට ආවා වුවද ඔවුන් වෙනුවෙන් මාගේ ජීවිතය රැකගෙන මාගේ ඇස් ඉදිරිපිට පිලිසෙන්නට ඔන්න මෙන්න තිබෙනා කිරි දරුවන් තිදෙනෙකුගේ ජීවිත නොසලකා හැරිය නොහැකිය. 

ගිනිගෙන දැවෙනා මඩුව අසල ඔවුන්ගේ ලිඳ තිබුනද ක්ෂණිකව ලිඳ වෙත එබී බැලූ කල මා වෙත නැගුනු සිතුවිල්ල නම් පාතාල ගැඹුරක් සහිත එම ලිඳෙන් වතුර ඇද ගින්න නිවන්නට නම් සතියක්වත් යයි යන්නයි.. වහාම ලිඳේ කඹය කණුවේ ගැටගසා බාල්දිය ලිඳට දැම්මේ මා මේ කරන්නට යන්නාවූ දෙයින් මා වෙත ගිනි ඇවිලුනහොත් ලිඳට පැන හෝ ජීවිතය බේරාගැනීමේ දෙවැනි සැලසුම ලෙසයි. මාගේ ඊළඟ වෑයම නම් මහා ගිනි ජාලාව ඇතුලෙන් රිංගා ගොස් දරුවන් බේරාගැනීමට උත්සහ කිරීමයි. 

ගිනි ජාලාව තුලින් මඩුව ඇතුලට දුව ගියාවූ මා දරුණු ලෙස පිළිස්සුම් නොමැති වුවත් අත් දෙකේ තිබෙන්නාවූ රෝම පිළිස්සෙන ගඳ මාගේ නාසයට දැනෙන්නේය. එහෙත් මරණ භයෙන් කෑගසනා මා මිත්‍රයාගේ බිරිඳ සහ දරුවන් ඉදිරියේ මාගේ පිළිස්සුම් නොසකා හැරිය තරම්ය. මඩුවේ පිවිසුම් දොරටුව හා එහි ගසා තිබෙනා රීප්ප පටි සියල්ලම ගිනි ඇවිලී තිබුනද මඩුව ඇතුලත ගින්න සම්පුර්ණයෙන් පැතිරී නොමැතිය. ගින්නේ ආලෝකයෙන් හාත්පස බැලුකල පෙනෙන්නේ මඩුවේ දොර ආසන්නයේ මේසයක් මත තිබෙනා ගෑස් ලිපත් එම මේසය යටින් තිබෙනා ගෑස් සිලින්ඩරයත් ගින්නට දහන පෝෂකය වී ඇති බවයි. ගෑස් සිලින්ඩරයෙන් ලිප වෙත ගෑස් සපයනා රබර් නලය ගිනිගෙන දැවෙමින් හාත්පස දඟලමින් ගින්න ලී කුස්සිය පුරා පතුරුවමින් සිටින්නේය. මා ගිනි ජාලාව මැදින් දිව ආවද කිරි දරුවන් එය තුලින් එලියට ගෙනයා නොහැකි නිසා හැකි උපරිම වේගයෙන් ගෑස් සිලින්ඩරය ගින්නෙන් ඉවත්කලහොත් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කල හැකිය. සියල්ලම කල යුත්තේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමට ප්‍රථමවය. එය පුපුරා ගියහොත් ජීවිත පහක් විනාඩි කිහිපයක් ඇතුලත දවා හලුවිය හැකිය.

හිත හිතා සිටින්නටද කාලයක් නොමැතිය.. කල යුත්තේ මා පිච්චෙමින් හෝ ගෑස් සිලින්ඩරය ගිනිගෙන දැවෙන කුස්සියෙන් ඉවතට ඇදගෙන යාමය. ඒ හෙයින් මා ඒ භයානක කර්තව්‍යට අතගැසුවේ දෙවරක් හිතන්නේ නොමතිවමය. දරුවන් කාගේ හෝ දරුවන්ය. මාගේ ආදරණීයයන් අමතක කර දමා හෝ ඔවුන්ව බේරාගැනීම එතනට පැමිණි පළමු පුද්ගලයා වශයෙන් මාගේ වගකීමය. ඔවුන්ව ගින්න මැද තනිකොට දමා එලියට දිවගොස් ජීවිතය බේරාගැනීමට වඩා ඔවුන්ව බේරාගැනීමට උත්සහ දරා මියයාම වුවද ගෞරවාන්විතය.


චිත්තක්ෂණයක වේගයෙන් ගෑස් සිලින්ඩරය අතින් ඇදගෙන නැවතත් ගිනි දොරටුවෙන් මා එලියට දුවන්නේ කලයුතු වෙනයමක් නොමැති නිසාය.  ගෑස් ලිපෙන් වෙන් වන්නටම දැවී ගොස් තිබුනාවූ රබර් නලයේ කොන ගිනි පිඹිමින් හතර අතේ දැවී යද්දී, ගිනියම් වූ ගෑස් සිලින්ඩරයේ යකඩ දාරයෙන් මාගේ අත පිලිස්සෙද්දී සිලින්ඩරය ඇදගෙන ලිඳ අසලටම වාර්තා කිරීමට මා සමත් වෙනවාය. වුර්තීයමය කාර්මික පලපුරුදෙන් ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය විසන්ධි කිරීමට මා සමත්වෙන නිසා සිලින්ඩරය ගිනි පිඹ අවසන් වන අතර පාතාල ලිඳෙන් වතුර කිහිපයක් ඇද ලී කුස්සියේ ගිනි දොරටුව මද පමණට නිවා දැමීමට මා සමත් වෙනවාය. ඉන් අනතුරුව වහා ලී කුස්සිය වෙත පිවිසීමද මිතුරාගේ දරුවන් තිදෙනාද බිරින්දෑද කිසිදු හානියක් නොමැතිව බේරාගැනීමට මා සමත් වෙනවාය. ඉන් අනතුරුව ගින්නට නැවතීමේ තිත තැබෙන්නේ පාතාල ලිඳෙන් වතුර ඇද වතුර ගැසීමෙන් අනතුරුවයි.

මිතුරාගේ ලී කුස්සිය අඩක් පමණ ගින්නෙන් පිළිස්සී විනාස වී තිබු අතර ඔහුගේ දරුවන්ටත් බිරිඳටත් කිසිදු හානියක් සිදුවී තිබුනේ නැත. මාහට යම් යම් පිළිස්සුම් තුවාල සිදුවී තිබු අතර ඒවා දරුණු ගනයේ ඒවා නොවීම මාගේ වාසනාවයි. මා ආවේ චාර්ජරයක් ඉල්ලාගෙන යාමට වුවත් නැවතත් ගරාජයට යනතුරුම මා එහි ගිය කරණය මාගේ මතකයේ නොවුනේ සිදුවීමට ගිය අභාග්‍ය සම්පන්න සිදුවීම මා සසල කිරීමට ලක්කළ නිසා වන්නට ඇතිය..

අරූ අරෙහෙ පිටරටක දුක් විඳගෙන සල්ලි හොයල අංග සම්පූර්ණ ගෙයක් හදල දීල තියෙන්නේ සැපක් විඳින්නනේ යකඩෝ.. ටයිල් කරපු කුස්සියේ උයා පිහාගෙන කන්නේ නැතුව ලී මඩු අටෝගෙන උයන්න ගිහින් තව ජුන්ඩේන් ජීවිත හතරක් විනාසයි.. ගෑනුන්ගේ මල කෝලo.. දැන් ඉතින් මම එපැයි ඇඟේ රෝම කූප නැතුව මහපාරේ යන්න .. දකින මිනිස්සු මොනවා හිතයිද.. කමක් නෑ ජීවිත හතරක් බෙරගත්තනේ.. ඒ මදැයි..

(සිදුවීම සම්පුර්නම 100% සත්‍යයි.)

මනින්නාගේ කැරැට්ටුව මෙතනින් 


69 comments:

  1. හොදට කුස්සියක් තියෙද්දි එලියෙන් ආරක්ෂාවක් නැති , අපිරිසිදු මඩුවල කෑම උයන ගොන් වහන්සෙල නම් අනන්තයි. බිත්ති කළුවෙයි, වගේම හොද කුකර් එක ප්‍රදර්ශණ භාන්ඩයක් ලෙස තියාගෙන අනාරක්ශිත ගෑස් කුකර් වල කෑම පිසින එක තමයි මේ අය කරන්නෙ.
    හොද පිනක් කරගගෙන තියෙන්නෙ , හැබැයි ආධාර ඉල්ලල කෑගහන්න තිබ්බෙ විනාඩියක ප්‍රමාදයක් උනත් ඔක්කොම බේරගන්න සාමූහික ප්‍රයත්නය වැදගත්. අනික කරුමෙට හරි සේරමල ගින්නට අහූඋනානම් උඹ කරන්න හැදුව හොද වැඩේ නෙමේ වෙන්නෙ , ජරා කටකතාවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ලක්ස ගණන් වියදම් කරලා ගෙවල් හදල ඒවා පාවිච්චි කරන්නේ නැතුව මොන මගුලකට දුක් විඳිනවද මන්ද කම්මලේ.. ඒ ගින්න දැකපු ගමන් මට වෙන කාටවත් කතා කරන්න ඕන කියන කල්පනාව ඔලුවට ආවේ නැහැ. මම දන්නා විදිහට ඔය ගෑස් සිලින්ඩරයක් ලේසියට පුපුරන්නේ නැහැ.. ඒත් වෙන කාටවත් කතාකරන්න යන සුළු වෙලාවේ සිලින්ඩර් එක පිපිරුවනම් හතරදෙනාම බේරගන්න නම් ලැබෙන එකක් නැහැ..

      Delete
  2. Great job.අර ඉදලා‍ෙලු ගැන ශෂිකා ග්‍ෙ සින්දුවක තිබුන

    ReplyDelete
    Replies
    1. මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මෙයා හත්තක් ගැන කතා කරනව. හැක්..

      Delete
    2. හැ මා‍ෙකා‍ෙ බා‍ෙට උන්‍ෙ

      Delete
    3. ඉඳලොළු හරිම රසයි දමිත්.. මිරිස් බැදලා තෙල් දාල උයන්න ඕන..

      Delete
  3. මදැයි ඔයින් ගියා මෙහෙමත් ගෑනු :D

    ReplyDelete
    Replies
    1. එයින් ගියා මදැයි නේන්නම්..

      Delete
  4. පවට පින දෙන්න බෑනෙ බොල. කොච්චර සැප සම්පත් තිබුණත් ඉතිං මඩුවක් අස්සෙ රිංගගෙන උයන්නෙ ඒ හින්දනෙ.

    උඹ ලොකු පිනක් කරගෙන තියෙන්නෙ. ඒත් කම්මලය කිවුව වගේ තනියම ඔය වැ‍ඩේ කරන්න යන්නෙ නැතුව පාරට බැහැල කෑ ගහල සාක්කියට හරි එකෙක් දෙන්නෙක් ගෙන්න ගන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාව අනුව ගින්න නිවන්න කව්රුහරි කතාකරන් එන්න ඉතින් බාර් එක ගාවටම යන්න වෙනවා බන් ප්‍රසන්න.. හෙහ්..

      Delete
  5. කේ ජයතිලකගේ "අපට වැසිකිලියක්" මතක් උනා... කියවලා තියෙනවද...?

    ReplyDelete
    Replies
    1. අහස ප්‍න්න‍ෙ නැති ප්‍රශ්න‍ෙ එතන තියනේන‍ෙ

      Delete
    2. මතකයි මතකයි..

      Delete
  6. godak gewal wala ohomai. kussiya kaluwei kiyalaa madu hadanawaa. pissu kolam.

    ReplyDelete
    Replies
    1. කෝලම් නේන්නම්.. කුස්සියේ සියල්ලම තියෙද්දී මඩු අස්සේ වැදීගෙන මොකට දුක් විඳිනවද මන්ද..

      Delete
  7. ලොකු පිනක් කරගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පන බේරීම වගේම භයට පත්වූවන්ගේ භය නැති කිරීමත් පිනක් මම හිතන්නේ..

      Delete
  8. මේකෙ තව වර්ශන් එකක් තියෙනවා. කෝක ඇත්තද දන්නෙ නැහැ. බාස් එනකන් හිටපු එක්කෙනෙක් ලඟ තියෙන ගෙදරකට ගියාලු කොටුවක් පනින්න. ගෙදර උන්දෑ ලමයින් ටික කුස්සියේ ගාල් කරල, ටී වී එක මහ හයියෙන් දාල වැඩේට සෙට් වුණාලු. වැඩේ කරල ඉවර වෙනකොට කුස්සිය ගිණි අරන්ලු.

    ReplyDelete
    Replies
    1. කුස්සිය නෙමේ එහෙනං ගිනි ගන්නෝන නිදන කාමරේ. හැක්..
      මොක උනත් අැත්ත කතාව අහගන්න වෙන්නෙ බාසගෙන් තමයි.

      Delete
    2. අපොයි ඉයන් කියන කතා.. මගේ යාළුවගේ ලොකු දරුවට ඒ වෙද්දීත් මම හිතන්නේ අවුරුදු දහයක් දොළහක් ඇති..

      Delete
  9. Replies
    1. ස්තුතියි දොස්තර මහත්තයා..

      Delete
  10. පිං කරන්න අවස්තාවක් ලැබෙන්නත්, වාසනාව තිබෙන්න ඕනේ, මයිල් පිච්චුනා වගේද ඕවායේ ප්‍රතිපල, ඔහේ හැබෑම වාසනාවන්තයෙක්.

    ReplyDelete
    Replies
    1. මයිල් නැතුව පාරෙ යන්න? ඊක්කා...... කෙල්ල වගේනෙ. කැතම කැත ඇති.

      Delete
    2. ජීවිත බේරන්න ලැබෙන එක පිනක් තමයි උන්මත්තක..

      Delete
    3. කැතම කැතයි තමයි සුරන්ගයෝ .. මොනා කරන්නද ඉතින්..

      Delete
  11. අන්න වීර ක්‍රියා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වීරකම නෙවෙයි බන්..මගේ යුතුකම ඉෂ්ට කරා..

      Delete
  12. මල කෝලං නෙවෙයි මරන්න ඕනි කෝලං.. ඔය ලෑලි කුස්සි උණ ඔය පැත්තෙ ගොඩක් උන්ට තියෙනවා .. වෙලාවට උඹ ගියේ..

    ReplyDelete
    Replies
    1. එකියක් කොහොම හරි මිනිහගෙ රීරි මාංසෙ උගුල්ලල ඔය වගේ එකක් අටෝගෙන ඉං පස්සෙ වටේ එවුන්ට අගේ කරන්න ඇති. ඉතිං අනික් ගෑනුන්ටත් ඔය වගේ කුකුල් කොටු ඕන වෙන්නැති. ඕං ඕකයි වසංගතේ බෝවෙන ක්‍රමේ.

      Delete
    2. මම නොගියත් එයාල ඒ වෙලාවේ පිච්චිලා මැරෙන්න ලියවිලා නැහැ බන්.. මම නිසා එයාලගේ කර්මය වෙනස්වුනා කියල මම විශ්වාස කරන්නේ නැහැ..මම ගියේ නැත්තම් වෙන කව්රුහරි එතනට එනවා කර්මානුරූපීව..

      Delete
    3. සමහරක් ගෑනුන්ට නම් ඉතින් සුරග කියන අසනීපෙ තියනවා ඉතින්..

      Delete
  13. බැරිවෙලාවත් කට්ටිය පස්දෙනාම රොස් වුනා නං පත්තරේ වැටෙන්නෙ මෙහෙම. "සැමියා රටගිය බිරිඳ සහ තරු තිදෙනා ගින්නට අසුව මරුට" යටින් ටිකක් චූටි අකුරෙන් " සැමියාගේ මිතුරෙකුත් ගින්නට අසුවෙලා. අනියම් පෙමක් දැයි සැකක්".

    ඕං ඔහොමයි අයියා අපේ රටේ බහුතර මාධ්‍යවේදී යෝනියන්ගේ පුත්‍රයෝ සහ දියණියෝ. ඒ හංදා සියළු දෙනාම බේරුනේ පූරුවෙ පිනට. දැං අර පොඩ්ඩෝ ලොකු ළමයි වෙන්ටැ. කරගත්ත පිනක් තමන්ට. ඕක පත්තරේ හෙම ගියානං නං ගං ඇතුව අයියට ඉංක්වයරියක් ෂුවර් ඔපිස්සෙකෙං. ඒ වැං වැඩක් නෑ, මොකෝ ලෙඩිං. අර නව දොරින්ම බට දාපු පොටෝ එකක් බුකියෙ දාල තිවුනෙ.

    ReplyDelete
    Replies
    1. ''යෝනියන්ගේ පුත්‍රයෝ සහ දියණියෝ'' සැර බාල කරල කියන වචනයක්, හරියට ඔලුව අත ගාල ටොකු අනිනවා වගේයි

      Delete
    2. සැමියා රට. බිරිඳ වෙනත් පිරිමියෙකු සමග පෙම් සුව වීඳී.
      බඩගින්නේ උන් දරු දෙදෙනා වතුර උණුකිරීමට ගෑස් ලිප දල්වයි.

      මේ තවත් පත්තරේක යන එකක්. හැක්..

      Delete
    3. ඔව් සුරන්ගයෝ ..සිද්දිය පත්තරේ ගියානම් මට චාර්ජ් ශීට් එකක් එනවාමයි..

      බට දාපු පින්තුරේ ඉතින් ඉස්පිරිතාලේදී ගතපු එකක්.. මේ කුණු ශරීරය ලෙඩවෙන සුළුයි බන්..

      Delete
  14. දැං මතක් වුනේ. දවසක් අපේ ගෙදර ගෑස් සිලින්ඩරේ "සූස්" කියන්න පටං ඇරං අපේ ගෙදර ඉන්න දෙන්නෑං එක්කෙනෙක් මාව පෙරලං දිව්වෙ. ඔව් කොහොමත් ගෑනූ අය හිතන්නෙ ගෑස් සිලින්ඩරේ කියන්නෙ ඉවුං පිහුං වැඩ වලට වඩා ගෙවල් ඇතුලෙ පුපුරන්න හදපු එකක් කියලනේ.

    ReplyDelete
    Replies
    1. ඔහේව පෙරළං දිවුවෙ ටිකිරි සඳමාලි වෙන්ටැ.

      Delete
    2. ගෑස් සිලින්ඩර් එක ලීක් උනාට ටිකිරි නම් දුවන්නේ නැහැ කියල මටනම් සුවර්.. හැබෑට එහෙමත් දුවනවද බන් ..

      Delete
  15. ඇත්තෙන්ම ඔබ කර තිබෙන්නේ රජය මගින් ප්‍රදානය කරන, විරුජන සම්මානයකින් පුද ලබන්න තරම් සුදුසු වීරක්‍රියාවක්. ඒ සඳහා ඔබව නිර්දේශ කලයුත්තේ, ඒ පැත්තේ ග්‍රාම නිලධාරි/පොලිස් ස්ථානාධිපති/ වැනි කෙනෙකු විසින්. ඒ අය කවුරුවත් මේ සිද්ධිය දැනගත්තේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. විචාරක හරි.
      ජීවිතය පරදුවට තබමින් ඔබ කර ඇත්තේ ඉතාමත් වීර ක්‍රියාවක්.

      මෙවැනි ක්‍රියාවලට ඔසී දේශයේ නම් වීර පදක්කම් හිමිවෙනවා.

      ගිය සතියේ වනාන්තරයක අතරමං වී මුළු රැයක් සිටි වයස නමයේ කුඩා දැරියන් දෙදෙනෙක්‍රවත් වීර පදක්කමකට නිර්දේශ කරනවාය කීවා. හේතුව, අධෛර්යමත් නොවී, එකිනෙකාට දිරි දෙමින්, මේ ශීත සමයේ සීතලෙන් බේරීමට එකිනෙකාට තුරුලු වී සිටිමින් ජීවිත බේරා ගැනීමයි!

      Delete
    2. ඇත්ත විරුජන ලැබිය යුතු ක්‍රියාවක්...

      Delete
    3. ස්තුතියි විචාරක තුමා ඇගයීමට.. මම හිතන්නේ නැහැ මම වීරක්‍රියාවක් කරා කියල.. මම මගේ යුතුකම ඉෂ්ඨකරා.. එතන හිටියේ යාළුවගේ බිරිඳ දරුවන් නොවුනත් මම ඔය ටිකම කරනවා දෙපාරක් හිතන්නේ නැතුව..

      Delete
    4. ඇගයීමට ස්තුතියි රසික.. වීර පදක්කම් සීයක් ගත්තට වඩා වැඩියි ජීවිතයක් ගැලවීමේ සතුට..

      Delete
  16. ගෑනුන්ගෙ මෝඩකමට හදව ගන්න මඩු කුඩාරම් නොවැ.අගේට ගේ ඇතුලෙ උයන්න තියෙන එකේ කරන වැඩ. උඹේ පෝන් එකේ බැටරිය බැහැල තියෙන්නෙ උන්ගෙ හොඳ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. එයාලට ඒ වෙලාවේ පිච්චෙන්න ලියවෙලා නැහැ හැලප අයියේ.. මාව පිච්චෙන්න තමා ලියවිලා තියෙන්නේ.. හෙහ්..

      Delete
  17. Replies
    1. සංසාරෙක හැටි නේන්නම් බන්..

      Delete
  18. මදෑ ඔයින් ගියා. ටෙන්ඩරේට අවුලක් නැතුවැති?

    ReplyDelete
    Replies
    1. නෑ ටෙන්දරේ අවුලක් උනේ නැහැ.. ඒක තව අවුරුදු ගානක්ම මගේ වාහනේ දිව්වා.. මම දැන් ලංකාවේ නැති නිසා ටෙන්ඩරේ අතාරිද්දී චූටි මාම වාහනයක් අරගෙන දැම්ම..

      Delete
  19. චාජරයක් හොයන්න ගිහින් වෙච්ච හරිය මදැයි..

    ReplyDelete
  20. චාජරයක් හොයන්න ගිහින් වෙච්ච හරිය මදැයි..

    ReplyDelete
    Replies
    1. එයින් ගියා මදැයි නේන්නම් ගිම්මි..

      Delete
  21. මම ගොඩක්ම කැමතියි අම්බලන්ගොඩ කතා වලට. ගොඩාක්ම තාත්වික විදියට බස හසුරුවලා ලියන නිසා සිද්ධි දාමය සජීවී ආකාරයෙන්ම වින්දනය වෙනවා. ඔබගේ මානුෂීය ගුණාංග වලට සහ ඔබගේ අනාගතයට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදේනි..

      Delete
  22. Replies
    1. ස්තුතියි ප්‍රා ජේ

      Delete
  23. තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා මේ කරපු දේ ගොඩාක් හොඳයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි..

      Delete
  24. TV එක මහ සද්දෙට දාගෙන කුස්සියට වෙලා පු... ගහනවද බන්.අම්මප මෙහෙමත් ගෑනු.මහ ලොකුවට තාප්ප උසට ගහගෙන තමන්ගෙ ආරක්ෂාව සලසාගන්න හැදුවට ඒකෙන් වෙන්නෙ කරදරේකදි අහල පහල කෙනෙකුට උදව්වක් කරන්න බැරිවෙන එකයි.හොරුන්ටත් ඒක නියම චාන්ස් එක.කොහොම උනත් අර ප්‍රසන්නය කිව්ව වගේ උබට උදව් ඉල්ලල කෑගහන්න තිබුන.මොකඩ කාගෙහරි උදව් නැතුව ඕව කරන එක බයානකයි.අනුන්ට පෙර තමන් එහෙමයි life saving වලදි මම ඉගෙනගෙන තියෙන්නෙ.කොහොම උනත් උබට පින් 👏

    ReplyDelete
    Replies
    1. වෙලාවට මම උඹ වගේ වෘතීය වශයෙන් වසර ගානක පළපුරුද්දක් තියෙන සහතික සම්මාන මිටියක් හිමි ජීවිතාරක්ෂකයෙක් නොවුනේ.. එහෙම වුනානම් පොඩි එවුන් පිච්චෙන්න ඇරලා උදව් හොයන්න දුවනවා.. තියරි හැම වෙලාවේම ප්‍රැක්ටිකල් වලට ඇප්ලයි වෙන්නේ නැහැ බන්..

      Delete
  25. මයිල් පිච්චුනත් කළ ඇත්තේ වීර ක්‍රියාවක්ය .

    ReplyDelete
    Replies
    1. අනේමන්ද.. ඒක තීරණය කරන එක ඔයාලට බාරයි..

      Delete