Sunday, January 8, 2017

තිස්තුන්දාහෙන් උඩ කතා 2





පළමු කොටස
http://ambalangodakatha.blogspot.com/2016/12/1.html


ගුවන් යානය ගුවන්ගත වීමට දැන් ඔන්න මෙන්නය. ගුවන් සේවිකා අක්කලා සෑහෙන්න කලබලයෙන් යානයේ ඔබ මොබ දුවනවාය. ගමන්මලු රඳවනයන් සියල්ල හොඳින් වැසී ඇතිදැයි බලනවාය. ආසන පටි තදකරගෙන සිටීදැයි පරීක්ෂා කොරනවාය. ඒ අල්ලපනල්ලේ අම්බලන්ගොඩයාද ආසනයේ එහා මෙහා ඇඹරෙමින් ආසන පටිය සොයාගන්නට දත කනවාය. අවාසනාවක මහත කොතරම්ද යත් ගොඩයාගේ ජනේලය අයිනේ තිබෙන්නට ඔනෑ  ආසන පටිය තිබෙනවාය. එහෙත් වේට්ටි මාමිගේ පැත්තේ ආසන පටිය තුරුදහන්ය. ඔය අතරේ ආසන පටි පරික්ෂා පැමිණෙනා ගුවන් සේවිකා අක්කාට අම්බලන්ගොඩයා මාට්ටුය. ඒ ආසන පටිය නොපැළඳ සිටීමේ වරදටය.

සර්.. කැන් යූ ප්ලීස් ෆාස්ටන් යුවර් සීට් බෙල්ට්...

අක්ක මගුලක් කියෝනවාය.. ආසන පටිය අතුරුදහන් වග අක්කා දන්නේ නැතිය..

අයි කෑන්ට් ෆයින්ඩ් වෙයාර්ස් මයි සීට් බෙල්ට්...

වට් ... ගුවන් සේවිකා අක්කා  අසන්නේ කුංකුම අංජන තැවරූ  ඇස්දෙක නළලට පනිද්දීය..

යේස්... ඉට්ස් මිසින්...

රියර්ලි...

යේස් ඔෆ් කොර්ස්...

ගුවන් සේවිකා අක්කා තම පරීක්ෂාව විදිමත් අයුරින් සිදුකරන්නට වූයෙන් අම්බලන්ගොඩයාට ආසනයෙන් නැගිට ආසන පටිය නොමැති වග පෙන්වන්නටම වුයේය. සිදුවී ඇති පටලැවිල්ල  ලෙසටම දැකගැනීමට ගුවන් සේවිකා අක්කාටද අහිංසක අසරණ අම්බලන්ගොඩ හාදයාටද හැකි වන්නේ අම්බලන්ගොඩයා ආසනයෙන්ය ඉවත්වූ අනතුරුව ආසන පටියට සිදුවී ඇති සන්තෑසිය ලෙසටම පෙනෙනා නිසාය. මාමා සියල්ල පටලවා තබා මුකුත්ම නොදන්නා  බබා වාගේ ඈත බලාගෙන ඉන්නවාය. නැන්දාද කිසිවක් නොදන්නා ගානට ඉන්නවාය. අම්බලන්ගොඩයාගේ ආසන පටි භාගය වේට්ටි මාමිගේ ජාතික බැනියම යටින් බඩ මැද්දෑවට ගමන් කරනා වග පැහැදිලව පෙනෙනවා වුනත් "මගේ ආසන පටිය දියන් මචං මාමේ " යයි කියා කියන්නට ටිකක් විතර භයය. හේතුව නම් ගොඩයා ආසනයට සැපත් වූයේ මාමිගේ වේට්ටිය ගලවාගෙන මාමාගේ සබ්බ  සකලමනාවම එලිපහලියේ ප්‍රදර්ශනයට තබලා නිසාය. ඒ හින්දා මාමා ඉන්නේ ඌරු ජුවල් පිට වග අම්බලන්ගොඩයා දන්නවාය. 

සකලසිරින්පිරි සිරිලංකාවේ සරම අඳින්නේ දෙකොන මූට්ටු කරලා වුවත් අල්ලපු රට හෙවත් ඉන්දියාවේ බහුතරයක් උදවිය  සරොම වෙනුවට පාවිච්චි කරන්නේ දෙකොන මූට්ටු නොකරනලද වේට්ටිය. එව්වාට දකුණු ඉන්දියාවේනම් කියන්නේ ලුන්ගි කියලා වුනත් වේට්ටි මාමිගේ භාෂාවෙන් කුමන අටමගලයක් කියනවාදැයි අම්බලන්ගොඩයා දන්නේ නැතිය. දිනෙන්දින දියුණුවන ලෝකයේ ටයිකෝට් වලට තිබෙනා පිළිගැනීමම සරමටද තිබෙනා වගට සිරිලංකාවේ දේශපාලන බුවාලා සාක්ෂි සහිතවම ඔප්පුකොට ඇති නිසා මාමා සැරසී ඉන්නා ඇඳුම ගැන කියනට වරදක් නැත්තේය. එහෙත් වැඩි පරෙස්සම උදෙසා මාමා සැරසී ඉන්නා වෙට්ටියේ දෙකොන නැන්දාට කියා මූට්ටු කරගත්තානම් පෙර සිදුවූ ආකාරයෙන් මාමා අපහසුතාවයට පත්වන්නේද නැත. ඒ වාගේම අම්බලන්ගොඩයා තුන් මූනින් දාඩිය දමා භයෙන් භිරාන්ත වන්නේද නැත. සිරි ලංකාවේ දෙකොන මූට්ටු නොකරන ලද වේට්ටි ආකාරයේ එව්වා  අඳින්නේ ගැහැණු උදවිය වුවත් මාමා  විසින් ප්‍රදර්ශනය කරන්නට යෙදුනා වූ උපකරණ කට්ටලයට අනුව මාමා පිරිමි පෙනුමැති ගැහැණු පරානයක් නොවෙන වග එකෙන්ම කියන්නට පුළුවන්ය. 


ගුවන් සේවිකා අක්කා ජ්‍යාත්‍යන්තර භාෂාවෙන් අමතා මාමාගෙන් ආසන පටිය ඉල්ලුවද මාමා උත්තර දෙන්නේ උන්දෑගේ භාෂාවෙන්ය. ගුවන් සේවිකා අක්කා දන්නා කියන හතර බීරි භාෂාවලින් පටි භාගය ඉල්ලා සිටියද ගොඩයාගේ ආසන පටිය නැවත භාරදෙන්නට මාමාගේ තුන් හිතකවත් අදහසක් නොමැති ගානය. අක්කා ගොඩයාගෙන්ද අසන්නේ මාමා කතා කරනා භාෂාව දන්නවාද කියලාය. ගොඩයා එකෙන්ම නැත යන්නෙන් පිළිතුරු දෙන්නේ මාමා දොඩන්නේ හින්දි හෝ ගුජරාට් නොවනා වග පැහැදිලිවම වැටහෙනා නිසාය. ගුවන් යානය ගුවන්ගත වන්නට කල් වෙලාව ටක්කෙටම හරියාගෙන එන මොහොතක මෙවන් මන්ද මෝල් චූන් එකක් සෙට් වීම කොයිතරම් භයානකද යත් ගුවන් සේවිකා අක්කාගේ කුංකුම අංජන තැවරූ පොල්බෑවන් සුදුපාට මුහුණු පොජ්ජටද හීං දාඩිය දමලාය. බඩ මැද්දෙන් නැව් ගැටයක් ගසාගෙන සිටියත් මාමි බබා ඉන්නේ ආසන පටියක් පැළඳගෙනය. නැන්දී බබී ද ආසන පටියක් පැළඳගෙනය. එහෙත් අවින්සක නිවට නියාලු සුවච කීකරු අසරණ අම්බලංගොඩ එකාට ආසන පටියක් නොමැතිව යානය ගුවන්ගත කිරීම කිසිසේත්ම සිදුකල හැකි ක්‍රියාවක් නොවන නිසා කෙසේ හෝ මාමි බබාගෙන් ආසන පටිය ඉල්ලාගත යුතුය. ගුවන් සේවිකා අක්කාගේ මට්ටමෙන් හෙවත් සමථ මණ්ඩල මට්ටමෙන් ප්‍රශ්නය විසඳීමට නොහැකි නිසා අක්කා වෙනත් ගුවන් සේවිකා අක්කා කෙනෙකු අත උදව් ඉල්ලා යානයේ ඉදිරියට පණිවිඩයක් යවන්නේ ආසන පටි පලහිලව්ව ඉහල උසාවියට දමා විසඳන්නට ඕනෑ සීන්කොන් එකක් වගට අක්කාගේ අක්මාවට වැටහෙන නිසා විය යුතුය. 

අක්කාගේ ඉලීම ගැන වහා ක්‍රියාත්මක වූ ගුවන් සේවක අය්යා කෙනෙකු යානයේ පළමු පන්තිය පැත්තේ සිට අඩියට දෙකට ඉගිලී අවුත් ආසන පටි පලහිලව්ව විසඳීමට මැදිහත්වූ නිසා එතෙක් අන්සතුවී තිබු ආසන පටි භාගය අම්බලන්ගොඩයා වෙත ලැබෙන්නේය. එය එසේ වන්නේ ගුවන් සේවක අයියා මාමාගේ බලවත් විරෝදය  මත බැනියම අස්සේ අත දමා මාමා විසින් බඩ මැද්දෙන් දමාගෙන සිටි නැව් ගැටය ලිහා එතෙක් මාමාගේ පශ්චාත් භාගයට යටවී තිබු මාමාට නීත්‍යානුකුලව හිමිවන ආසන පටිය නිසි ආකාරයෙන් පැලඳු නිසාය. ඊට අමතරව මාමි බබා විසින් නැන්දී බබීට පළඳා තිබු නැව් ගැටය සහිත ආසන පටිය ලිහා දමා නැන්දී බබීටද නිසි ලෙස ආසන පටිය පැලන්දීමට ගුවන් සේවක අක්කලාටද අයියාලටද සිදුවුනෝය. එවන් ආකාරයේ ලොල් සහගත ක්‍රියාවක් අභිමුව සිය දුක සතුට පාලනය කරගනිමින් වුර්තීය මට්ටමෙන් තම සේවය සැපයීමට ගුවන් සේවක අක්කලාට සහ අයියලාට ලෙසටම උගන්වා තිබෙනා වගනම් එකෙන්ම පැහැදිලිය. ගුවන් සේවක අක්කාලා අතරට ගුවන් සේවක අය්යා කෙනෙකුද සිටියා විනා ගුවන් සේවිකා අක්කා කෙනෙකු එවන් ආකාරයෙන් මාමි බබාගේ බඩ අස්සේ අත දැම්මානම් නැන්දී බබී ගුවන් සේවිකා අක්කාගේ පොල්බෑවන් සුදුපාට මුහුණ වෙස් මුහුණක් කරනු අනිවාය.

එසේ පටාන් ගත් මාමි බබාගේ වදදීම පැය දාහතරක් පුරා ලෙසටම විඳ දරා ගැනීමට ගොඩයාට සිදුවුයේ එතැනින් දිරාමාරුවීමට වෙන කිසිදු ස්ථානයක හිස් ආසනයක් යානයේ තිබුනේ නැති නිසාය. ගුවන් සේවිකා අක්කලා කැමැත්ත පලකරා නම් වැසිකිලියේ වාඩිවී ගමන් පහසුව සලසාගැනීම මාමිගේ අසල්වැසියා වුවාට වඩා මහත් භාග්‍යයක් වනවා සිකුරුය. ගුවන් සේවිකා අක්කලා කෑම බෙදන්නට ආ කල වේට්ටි මාමි අත මිටිකරලා අම්බලන්ගොඩයාගේ කකුලට අනිනා අනිල්ලට ගොඩයා නින්දෙන් ඇහැරෙන්නේ තවුතිසාවේ ගේට්ටුව ගාවට උඩ විසික්වීමෙන් අනතුරුවය. පළමු ආහාර වේල අම්බලන්ගොඩයා කටට දෙකට ගිල දමනු මාමි බබා බලාන සිටියා අරුනකොට උන්දෑ වෙනුවෙන් පිරිනැමූ ආහාරවේල සහ උන්දෑගේ අඹේනිය වෙත පිරිනැමූ ආහාර වේල දිහා උන්දලා ඇහැක් ඇරලා බැලුවේ නැතිය. එක්කෝ දෙන දේ කන්නට ඕනෑය. දුන් දේ කන්නට බැරිනම් කන්නට පුළුවන් දෙයක් ඉල්ලාගන්නට ඕනෑය. ඒ දෙකම බැරිනම් බොන්නට යමක් ඉල්ලාගන්නට ඕනෑය. එහෙත් කාගේදෝ අවාසනාවකට මාමි බබා සහ නැන්දී බබී කසාය පොවන ලද ගොළුවන් සේ ඔහේ බලා ඉන්නවාය. මාමි බබාගේ සහ උන්දෑගේ අඹේනියගේ ආහාර නැවතත් ගුවන් සේවිකා අක්කා විසින් එක්කසුකරගෙන යන ආකාරය ගොඩයා කනගාටුවෙන් බලාසිටින්නේ ලෝක සම්මත චාරිත්‍ර වාරිත්‍ර වලට ගරුකිරීමෙහිලාය. ලෝක සම්මත චාරිත්‍ර වාරිත්‍ර කියා දෙයක් තිබුනේ නැත්තම් ගොඩයාට තිබෙනා බඩගින්නේ පරිමාවට මාමි බබාගේ හා නැන්දී බබීගේ කෑම සලාකයට ලෙසටම වගකීම අම්බලංගොඩ කොල්ලෙකුට කජු කනවා වාගේ සිම්පල් කටයුත්තක්ය. කොයිතරම් වද දුන්නද මේ මාමා සහ මේ නැන්දා ගොඩයාගේ නැන්දා සහ මාමා වුනානම් යයි කියා හිතෙන්නේ ඒ වේලාවටය. 

ගුවන් යානය වායු රික්තක හෙවත් ටර්බියුලන්ස් තිබෙනා ප්‍රදේශයන් පසුකරනා අවස්ථාවන්හිදී තදින් සෙලවීමට ලක්වීම ස්භාවික සිද්දියක් වුවත් එවන් අවස්තාවන්හීදී මාමි බබාගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වාගේ එලියට පනින්නට හදනවාය. උඩ යට ගැස්සෙමින් දෙකට කැඩෙන්නට තනන ගුවන් යානයේ සෙලවීම ගැන මෙලෝ කල්ලිතාවයක් නොමැතිවම අඛණ්ඩව නිදි සේ ඉන්නා ගොඩයා දිහා මාමි බබා බලන්නේ පුදුම සතෙකු දිහා බලන්නට වාගේය. යානයේ සෙලවීමෙන් නින්දට බාධා සිදුවන නිසා  යාන්තමින් ඇස් ඇර බලනා ගොඩයා නැවතත් නිදිදෙව්දුව වැළඳගන්නට උත්සහ කරන්නේ පාලනය කරන්නට නොහැකි තත්වයන් වෙනුවෙන් නිදි නැතිව වොරි වීම තේරුමක් නොමැති කටයුත්තක් නිසාය. ගුවන් යානය වට දෙතුන් සියයක් කැරකී බිමට පතබෑවුනද එතෙක් හැකි තරම් නිදා ගැනීමට උත්සහ කිරීම වැඩියෙන් ප්‍රයෝජන වන්නේ, කඩා වැටෙනා ගුවන් යානයක් ඇතුලේ හිටං භයෙන් භිරාන්තවී මර හඬ තැලුවා කියා පයිලට් උන්දෑට කඩා වැටෙනා ගුවන් යානය සාක්කුවේ දමාගන්නට නොහැකි නිසාය.

යානයේ ආසනයක් පාසා ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර තිබුනද අම්බලන්ගොඩයා එව්වයේ තිබෙනා චිත්‍රපට නරඹන්නට ඒතරම් කැමැත්තක් නැත්තේ  චිත්‍රපට නැරඹීම ගෙදරදීද කළහැකි කටයුත්තක් නිසාය. අනෙක් කාරනාව නම් ගුවන් යානයේ ඝෝශාවෙන් ගැලවෙනු වස් කන් දෙකෙහි ඔබාගෙන සිටිනා ඇබ දෙක ගැලවීමට තිබෙනා කම්මැලිකමය. ගුවන් සේවිකා අක්කලා දෙන දෙයක් බඩ පුරා ගිල දමා නින්ද වෙත සැපත්වීම කොයිතරම් ආශ්වාදජනකද යත් එවන් ආකාරයෙන් පැය දහයක් දොළහක් එක දිගට නිදි සුව ලැබීමට ලැබෙන්නේ වසරකට දෙකකට වතාවක් වන නිසාය. එවන් අවස්ථාවකින් නිසි ප්‍රයෝජන නොගෙන එම පැය ප්‍රමාණයත් රූපවාහිනියක් හෝ චිත්‍රපටියක් වෙනුවෙන් කැපකිරීම මහත් අනුවණ  කමක්ය. ඒ මන්ද යත් එම පැය ප්‍රමාණය ඇතුලත දුරකථනය නාද වන්නේ නැතිය. වයිබර්, මැසෙන්ජර්, ඉමෝ, ස්කයිප් පණිවුඩ පැමිණෙන්නේද නැතිය. කෙටි පණිවුඩ පැමිණෙන්නේද නැතිය. ජනේලය අසලින් තඩි සයිලන්සර් කටවල් හයිකරගත් මන්දමෝල් බුවාලා වාහන පදවාගෙන යන්නේද නැතිය. උඩ ගෙදර එකා පහල තටුවට ඇසෙන්නට පවුල් පන්සල් නඩත්තු කරන්නේද නැතිය. නිදි සුව බිඳිනා එවන් අලකලංචි අටෝරාසියකින් මිදෙන්නට ලැබෙනා මහඟු අවස්තාවක ලෙසටම නිදාගනු විනා වෙනත් වැඩකට නැති අරමුණක් වෙනුවෙන් ඒ වටිනා කාලය යෙදවීම කුමන ආකාරයකින් බැලුවද පාඩු සහගතය. එහෙත් එවන් සුව සහිත නින්ද නැතිවෙනා එකම කාරනාව නම් ගුවන් සේවිකා අක්කලා විසින් ලබාදෙන සොච්චම් ආහාරවේල මදිකම නිසා කුසගිනි දැනී නින්දෙන් ඇහැරීමය. එවන් වේලාවන්හීදී ගුවන් සේවිකා අක්කා කෙනෙකු කැඳවීමට බොත්තම එබුවද ගුවන් සේවිකා අක්කා පැමිණෙන්නේ විනාඩි දහයක් පහළොවක් ගොඩයාව රස්තියාදු කිරීමෙන් අනතුරුවය.

අම්බලන්ගොඩයා ඉදිරිපස ඩිජිටල් තිරය ක්‍රියාත්මක කරනවානම් ඒ ගුවන් යානය තිබෙනා ඉසව්ව දැනගැනීම සඳහාම පමණය. ජනේලයෙන් එලිය බැලුවද පෙනෙන්නේ ඉමක් කොනක් නොපෙනෙනා හිස් ආකාසයම පමණක් නිසා මා දැන් සිටින්නේ කුමන ඉසව්වකද යන්න දැනගත හැක්කේ ඉදිරිපස රූපවාහිනී තිරයේ දක්වන සිතියමෙන් පමණය. ගොඩයා නින්දෙන් ඇහැරෙනා වෙලාවක් ඇතිනම් ඩිජිටල් තිරය ක්‍රියාත්ම කොට සිටිනා ඉසව්වත්, පියාසර කිරීමට තිබෙනා පැය ප්‍රමාණයත් බලාකියාගෙන නැවතත් නින්දට පිවිසෙනවාය. ඒ මන්දයත් පයිලට් උන්නැහේ මගීන් දෙතුන්සියයක් පටවාගෙන කොයි ලොව පියාසර කරනවාදැයි ගොඩයා නොදන්නා නිසාය. වසර ගණනාවක් මේ කියනා පියාසර සිතියම දිහා තනි ඇහෙන් බලා ඇති පළපුරුද්ද නිසා සැමදා යන මාර්ගය අම්බලන්ගොඩයා ටිකාක් විතර දන්නවාය. ඒ නිසා ගොඩයාට නින්ද යෑමත් අවදිවීමත් අතර කාල පරාසය ඇතුලත සමහරක් වේලාවන්හීදී ඩිජිටල් තිරය තිබෙන්නේ ගුවන් සිතියම පෙන්වමින්මය. 

එවන් ආකාරයෙන් සැප නින්දකින් අනතුරුව දැනුනාවූ කුසගින්නෙන් අවදිවුනා වූ අම්බලන්ගොඩයා එක් ඇසක් යාන්තමට විවුර්තකොට ඩිජිටල් තිරය දිහාට ඇහැ දමන්නේ කොයි ලොව සිටිනවාදැයි යාන්තමට දැනගනුවස්ය. එහෙත් කුමක්දෝ අවාසනාවකට තිරය මැද්දෙන් කළු බෝලයක් පෙනෙනවාය. නින්දත් නොනින්දත් අතර සිටිනා නිසා මේ පෙනෙන්නේ දෘෂ්ටි මායාවක්දැයි හරි හැටි තෝරාබේරා ගැනීමට අම්බලන්ගොඩයා ඇස් දෙකම හොඳහැටි විවුර්තකොට බලන්නේ ඩිජිටල් තිරයට හෙන ගහලාදැයි හරිහැටි බලාගන්නට ඕනෑ නිසාය. හුටාය.. ගොඩයාට නින්දගිය අල්ලපනල්ලේ හරකෙකු වැට පැනලාය. එනම් අල්ලපු වත්තේ වේට්ටි මාමා ගොඩයාගේ ඩිජිටල් තිරයට මුහුණ ලංකරගෙන ලෙසටම අනවසරයෙන් සිතියම් නරඹනවාය. ඒ අතරේ ගොඩයා අවදිවුන වග දත් නැන්දී බබී මාමාගේ වේට්ටි කොනෙන් ඇද මාමි බබා නැවතත් ආසනගත කරනවාය. ඒ අවසරයෙන් මාමාගේ ඩිජිටල් තිරය ක්‍රියාත්මක කොට මාමා ලෙසටම රසවිඳිමින් සිටි ගුවන් සිතියම වැඩසටහන නරඹන්නට සලස්වා මාමාගේ ඇස් වසාලන්නට ගොඩයාට හැකිවෙනවාය. ඒ පින්තකා නොවේය. මාමාට මල පැන අත මිටිකර දණහිසට අනීදැයි දැනුනාවූ භය නිසාය.

එවන් ආකාරයෙන් පැමිණි ගුවන් ගමනේ තුන්වෙනි ආහාර වේල පිරිනැමුවාවූ අවස්ථාවේ ගුවන් සේවිකා අක්කා කෙනෙකු ගොඩයාගෙන් අසන ප්‍රශ්නය නම් මාමි බබා සහ නැන්දී බබී ආහාර නොගන්නේ ඇයිද යන්නය. ගොඩයා මාමි බබා සහ නැන්දී බබී ගැන දන්නා කාලය අදාළ ගුවන් කාලය පමණය. එනම් ගුවන් සේවිකා අක්කලා මාමි බබා සහ නැන්දී බබී ගැන දන්නා කාලය පමණය. ඊට වැඩිමනක් දෙයක් ගොඩයා දන්නවානම් ඒ මාමි බබා සුපිරි ගුටි අනින්නට අති දක්ෂයකු වන බව පමණක්ය. ගුවන් යානයේ මුළු පියාසර කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා අවසන් වෙද්දී මගීනට ලබාදෙන ආහාරවේල් දෙකක් මාමි බබා සහ නැන්දී බබී විසින් ඇහැක් ඇරලා බලන්නේ නැතුවම ප්‍රතික්ෂේප කලෝය. එවන් ඉතිහාසගත වාර්තා ඇතිද ගුවන් සේවිකා අක්කලා තුන්වැනි ආහාරවේලද මාමි බබා සහ නැන්දී බබීගේ ආසන ඉදිරියෙන් ගෙනවිත් තබාලාය. කුංකුම අංජන තැවරූ පොල්බෑවන් මුහුනැති අක්කා කෙනෙකු අම්බලන්ගොඩයාගෙන් අසන්නේ මාමි බබා සහ නැන්දී බබී කන්නේ මොනවාදැයි අසනා ලෙසය. එහෙත් ගොඩයා ළඟ තිබෙනා පිළිතුර කලින් අක්කාට දුන් පිලිතුරමය. එනම් මාමි බබා සහ නැන්දී බබී දොඩනා භාෂාව නොදන්නා බව පමණක්ය. කොන්ඩයා සනා දෙදෙනා සිටියානම් මාමි බබාගෙන් පෙර ආත්මයේ විස්තරත් අසාගන්නා ක්‍රමවේදය ඔවුන් දෙදෙනා දන්නවා වග තකුමා ගල්කල සංස්ථා ගල් පෝස්ටුව කියවූ පාඨක සැම දන්නවා ඇතිය. එහෙත් අවාසනාවකට ගුවන් යානව ඇතුලත මාමි බබා සහ නැන්දී බබී අදහස් ප්‍රකාශ කරනා භාෂාව දන්නා එකුදු අයකුවත් නොමැතිය. මාමි බබා ඒ වෙද්දී ගොඩයාගේ දණහිසට  තුන් හතර වතාවක් නැව් ගුටි ඇන තිබුනද ඔවුන් දෙදෙනා කුසගින්නේ වග දැන දැනම තම ආහාරවේල බඩට දාගැනීම මානුෂික නොවන වගට දැනෙනා දැනීම ගොඩයාට සෑහෙන්න ගිල්ටි සහගතය.

මාමි බබා සහ නැන්දී බබීට ගුවන් සේවිකා අක්කලා දෙන කෑම කුමන හෝ වරදක් තිබෙනා ආහාර වර්ගයක්දැයි දැනගැනීමේ කුතුහලය නිසා අම්බලන්ගොඩයා මාමි බබාගේ සහ නැන්දී බබීගේ ආසන දෙසට ඉලක්ක කර තිබෙනා විදුලි ලාම්පුව දල්වනවාය. මෙන්න බොලේ මාමි බබා ඒ ගමන උපැස් යුවලක්ද දමාගෙන ආහාර බඳුනට ලෙසටම වග කියනවාය. නැන්දාද මාමාගේ විධානයෙන් කොනින් කොනින් ආහාරය බුදිනවාය. එතෙක් මෙතෙක් ඔවුනට ආහාර බුදීමෙහි ලා පැවත තිබෙන්නේ ආලෝකය මදිකම වග අම්බලන්ගොඩයා වටහාගන්නාවිට ගුවන් සේවිකා අක්කලා මාමි බබාගේ සහ නැන්දී බබීගේ ආහාරවේල් හතරක් කුණු බක්කියට හලා අවසානය. ගුවන් සේවිකා අක්කලා ආසනය වෙත එන්නාවූ සෑම අවස්ථාවකටම අනුලෝමවම මාමා විසින් දකුණු කලවයට අනිනා ලද නැව් ගුටි වලින් දකුණු කලවය වේදනා දුන්නද ඔවුන් එතෙක් වේලා කුසගින්නේ හිඳ තිබෙන්නේ පෙනීම මදිකමින් වග දැනෙද්දී අම්බලන්ගොඩයාට දැනෙන්නේ කනගාටුවක්ය. එහෙත් අම්බලන්ගොඩයා විසින් දල්වාදුන් විදුලි ලාම්පුවට පිංසිදුවන්නට බඩගින්න නිවාගෙන මුකුත් නොවුනා සේ සුපුරුදු අහංකාර ස්භාවයෙන් පසුවෙනා මාමි බබා සහ නැන්දී බබී දකිනා විට කනගාටුව දෙගොඩතලාගොස් හොම්බට හැටක් අනින්නට හිතෙනවාය.

කාලයාගේ අවෑමෙන් පයිලට් උන්දෑ ටිකෙන් ටික ගමනාන්තයට හොස්ස පොවන අල්ලපනල්ලේ ගුවන් සේවිකා අක්කලා යානයේ ඉන්නා මගීනට ආගමන විගමන පෝරමයක් බෙදා දෙනවාය. සුපුරුසු ලෙස ගොඩයාටද පෝරමයක් ලැබෙද්දී අල්ලපු වැටේ මාමි බබාට  සහ නැන්දී බබීටද පෝරමයක් ලැබෙනවාය. ඒ අතරේ අම්බලන්ගොඩයා ඉන්නේ බොක්ක දාලාය. ඒ මන්ද යත් මාමි බබා එතෙක් මෙතෙක් දුන් වද තිස් දෙකට අමතරව ආගමන විගමන පෝරමයද ගොඩයාගේ හිසමත කඩා වැටේදැයි තිබෙනා භය නිසාය. ඒ අල්ලපනල්ලේ මෙන්න බොලේ මාමි බබා කව්රුන් හෝ පුරවා දී තිබු පෝරමයක් සාකුවෙන් ඇද ලෙසටම කෝප්පෙ ගසනවාය. මාමි බබාගේ පෝරමය බලා ලිවීම අවසන් කරලා නැන්දී බබීගේ පෝරමයටද බලා ලිවීම කරනවාය. එය එසේ වූවායින් ගොඩයාගේ හිතේ පැවති භය ගතිය පහව යන අතර දැනෙනා වූ කේන්තිය නම් ඔය කියනා පෝරමය මාමි බබාට පුරවා දුන් එකා ගුවන් යානයක ගමන් කරද්දී තම වැඩපල කරගැනීමට මාමි බබාට උපදෙස් දී නොතිබුනේ ඇයිද යන්න ගැනය.

ගුවන් යානය ගමනාන්තය වෙත ගාල් කල පසු අම්බලන්ගොඩයා විසින් ලිහිල් කරන ලද ආසන පටියෙන් නිදහස්වූ මාමි බබා සහ නැන්දී බබී ගොඩයා දිහා සිනහවකින්වත් සංග්‍රහ නොකර අහන්කාරකමින් දිරාමරුවන්නේ ගොඩයා ඔවුන්ගෙන් ණයක් ගෙන නොදුන්නා වාගේය. අති දුෂ්කර වූ ගුවන්ගමන  නිමවා තබා ආගමන විගමන කටයුතු අවසන් කර  ගොඩයා හනි හනිකට වැසිකිලියක් සොයා දුවන්නේ වේට්ටි මාමිගේ වේට්ටියට , ආසන පටියට සහ භාෂා ප්‍රශ්නයට පිංසිදුවන්නට, පැය දාහතරක් පුරාවට ගොඩයාට වැසිකිලියක් පැත්ත පලාතක යාගන්නට නොහැකිවූ නිසාය. 

වේට්ටි මාමිගේ සහ නැන්දාගේ කතාංගය එසේ නිමාවෙද්දී වසර ගණනාවකට කලින් අඩි තිස්තුන්දාහක් උඩදී සිදුවූ අපූරු කතාබහක් මතකයට ආ නිසා එයද කෙටියෙන් මෙහිම ලියා තබනවාය.

වර්ෂය කුමන වර්ෂයක්දයි හරිහමන් මතකයක් නැතත් ගොඩයා ලංකාවට එන ආරංචියට ගොඩයාගේ කාර්යාල මිත්‍රයකු ගොඩයාට ඇමතුමක් දෙනවාය..

මචං.. උඹ ලංකාවට එනවද..

ඔව් මචෝ... ටිකට් බුක් කරලා තියෙන්න..

පොඩි උදව්වක් කරන්න පුලුවනිද මචං..

කියහන් මොකක්ද කෙරෙන්න ඕන..

උඹ දන්නවනේ අපේ අයියලාගේ ගෙදර අපේ අම්ම ඉන්නවා කියල..

අපෝ ඔව් මචෝ.. මොකෝ මම නොදන්නේ.. නිතර හම්බෙනවනෙ..

උඹ එන ගමනේ අපේ අම්මවත් එක්ක වරෙන්කො මචන්.. තනියම එවන්න බැරුව ඉන්නේ..

සිම්පල් වැඩක් බන්.. ටිකට් එක දාන්න කියහන්.. මම අයියට කෝල් කරලා ෆ්ලයිට් නම්බර් එකයි සීට් නම්බර් එකයි දෙන්නං..

ෂුවර් නේද..

හරි බන් ෂුවර්.. මම අම්මව එක්කන් එන්නං...

කටයුතු සියල්ල හරි ආකාරයෙන් සංවිධානය වුයෙන් මිත්‍රයාගේ මවු තුමිය ගොඩයා ලංකාවට යන ගුවන් යානයේම අම්බලන්ගොඩගේ ආසනයට ඉදිරියේ ආසනයේය.. එනම් ගොඩයා ඉන්නා ජනෙල් ආසනයට ඉදිරියෙන් තිබෙනා ආසනය මිත්‍රයාගේ මවුතුමියගේ ආසනයය. මිත්‍රයාගේ මවුතුමියද ගුවන් ගමන් බොහෝ ප්‍රමාණයක් ගමන්කර ඇති ඇත්තියක් නිසා වැඩිය බලන්නට හොයන්නට දෙයක් නැත්තේය. තිබෙන්නේ පළමු ගුවන් යානයෙන් දෙවන ගුවන් යානයට මාරුවීමේදී සිරිලංකාව බලා යන හරි ගුවන් යානයට ඇරලවීම පමණය. 

මේ පහලින් ලියවෙන්නේ මිත්‍රයාගේ මවු තුමිය පළමු ආහාරය වළඳා ජනෙල් ආසනය අස්සෙන් පසුපසට ඔලුව දමාගෙන ගොඩයා සමග කෙරෙනා සංවාදයය.

කෑම හොඳයි නේද පුතේ..

අවුලක් නෑ ආන්ටි.. 

වයසක අපිට ඉතින් මේ පොඩ්ඩ ඇතිවුනාට කොල්ලන්ට මේක මදියි නෙව..

මොනව කරන්නද ආන්ටි.. දෙන දේ කාල ඉන්නවා ඇරෙන්න ඉතින් ..

ඒ වගේද පුතේ.. මේ ඩ්‍රයිවර්ලා ඉතින් හරිම හොඳ මිනිස්සු..

ඒ කිව්වේ ආන්ටි..

මං කිව්වේ පුතේ මේ ප්ලේන් එක එලවන ඩ්‍රයිවර්ලා ...

ඕ.... මට තේරුනා.. ඒ මොකෝ ආන්ටි එහෙම කිව්වේ..

බලන්න පුතේ අපේ රටවල එවුන් නම් මෙහෙම කරාවිද නේද..

ඒ කිව්වේ ආන්ටි..

මේ කෙල්ලො ටික මුළු ප්ලේන් එකටම කන්න දීල ඉවර වෙනකම් ඩ්‍රයිවර් මහත්තය ප්ලේන් එක නවත්තගෙන හිටියනේ... අපේ රටවල එවුන්නම් මේක මේ ආකහේ නවත්තගෙන ඉඳියිද මිනිස්සුන්ට කන්න දෙනකං.. අන්න ඩ්‍රයිවර්ලා..

අම්බලන්ගොඩයා විසින් එබූ ගුවන් සේවිකා අක්කා කැඳවන බොත්තමට ප්‍රතික්‍රියාවක් වශයෙන් මද වෙලාවකින් ආසනය ලඟට පැමිණියේය..

යස් සර්...

කැන් අයි හැව් සම් ස්කොච් ප්ලීස්..

වන් මිනිට්..

අක්කා විසින් ගෙනවිත් දුන් රතු ලේබලය සහිත විස්කි කුප්පිය අයිස් සහිත ප්ලාස්ටික් කෝප්පයට නොදා කෙලින්ම කුප්පියෙන් කටට හලාගෙන ගොඩයා නින්දට පිවිසෙන්නේ ආන්ටි සමග වැඩි කතාබහට යාම පන යාමට ඉඩ තිබෙනා කර්තව්‍යක් නිසාය. 


37 comments:

  1. නියමයි ගොඩයෝ....කොයි මේකා නිදිද මන්දා...

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං නිදාගන්න බෝයින් යන්තරේක නගින්නම වෙනවා ඇනෝ..

      Delete
  2. හැක් හැක්.. මරු ගොඩයො. හිනාවෙලා පණ යනව මේක කියෝල.
    අර සීට් බෙල්ට් කේස් එකනං මරු වැඩේ. මොක උනත් අර අක්කල අයියල ටිකට හොඳ ට්‍රේනිං එකක් දීල නොතිබෙන්න උඹට යන්න වෙන්නෙ මාමි බබීගෙ වේට්ටිය අස්සෙ රිංගල තමයි.

    ReplyDelete
    Replies
    1. චී කියන කැත කතා...

      Delete
  3. මටත් හිතාගන්න බැරි කාරනේ ඉංදියාවෙ එවුවො මහන්න දන්නැද්ද කියලයි ඔය රෙදි කෑල්ල සරමක් වගේ මහගන්න බැරි වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්ව මහන්නෙ නැතුව ඇත්තෙ ලේසියෙන් සරීරකෘත්ය කරන්න පුළුවන් වෙන්න වෙන්ටැ..

      Delete
    2. යකෝ ඔය රෙද්දක් පටලෝගෙන ඒ වැඩේ කරනවට වැඩිය සරම උස්සල කොච්චර ලේසියෙං ඒක කරන්න පුලුවන්ද.

      Delete
  4. අම්මප ‍අපේ ඩ්‍රැයිබරයෙක් එලෙව්වනං ඕක මිනිස්සු කාල ඉවරවෙනකල් උඩ නවත්තගෙන ඉඳියි නේද.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ පෙසන්නයෝ... ආන්ටි ඕක කියනකං මටත් ඒ ගැන ගනිච්චියක් නැතිවුනා නෙව ..

      Delete
  5. පට්ටයි ඕයි. අපිට වෙන්නේ නෑනෙ මෙහෙම ආතල් වැඩ!

    ReplyDelete
    Replies
    1. වයසක උදවිය ඇසුරු කිරීම වනාහි නොමිලේ ආතල් කෝටියක් ලබාගන්න ඇදෙන ස්වීප් එකක් බං..

      Delete
  6. එක කුප්පියක් ඇතෙයි

    ReplyDelete
    Replies
    1. බොටනම් මදියි කියල දන්නව බොලේ... මටනං ඉතින් මද පමණට ඇති අමුවෙන්ම නිසා..

      Delete

  7. අක්කා විසින් ගෙනවිත් දුන් රතු ලේබලය සහිත විස්කි කුප්පිය අයිස් සහිත ප්ලාස්ටික් කෝප්පයට නොදා කෙලින්ම කුප්පියෙන් කටට හලාගෙන ගොඩයා නින්දට පිවිසෙන්නේ ආන්ටි සමග වැඩි කතාබහට යාම පන යාමට ඉඩ තිබෙනා කර්තව්‍යක් නිසාය 😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න උඹත් ඉතින් කෝප්පෙ ගහන්න පටන්ගත්ත.. මං හිතුවේ ඉස්කෝලේ කාලෙන් පස්සේ ඒ පුරුද්ද නවත්තල කියල..

      Delete
  8. මරු කථා ටික. ඔය සීට් ගන්නකොට අයිල් එකේ සීට් ගත්තාම ඕන වෙලාවක නැගිටල යන තැනක යන්න පුළුවන්නේ. එකම ප්‍රශ්ණෙ අල්ලපු සීට් එකේ වුන් එලියට යන්න ඉඩ දෙන එක විතරයි. අනික කෑම මදිනම් අර කෙල්ලෙකුට කිව්වනම් වැඩිපුර තියෙන දෙයක් දෙනවා.ලැජ්ජ වෙන්නෙ නැතුව අහපන්.

    ReplyDelete
    Replies
    1. වේට්ටිය මට උගන්නපු ලොකුම පාඩම ඒක තමයි ඉයන්.. ආයේ නම් වින්ඩෝ සීට් නම් බුක් කරන්නේ නැහැ කවදාවත්..

      කෑම ආයේ ඉල්ලුවොත් නොදී ඉන්නෙ නැහැ කියල දන්නවා ඉයන්.. ඒත් ඉතිං පලවෙනි එක කාල තව විනාඩි විස්සක් තිහක් බලන් ඉඳල දෙවැනි කොටස කන එකේ තේරුමක් නැහැනේ.. ඒ හින්ද මදිවුනත් එක පාරෙන්ම ඉවරයක් කරන එක ලේසියි.. අම්බලංගොඩ කොල්ලෝ කවද්ද කෑමට ලජ්ජා වුනේ..හෙහ්..

      Delete
    2. උගුර ඉඳිකට්ට බඩ අම්බලම නැද්ද බන්

      Delete
  9. අන්න ඩ්‍රැයිවර්ලා !!

    :D

    ReplyDelete
    Replies
    1. ඒවගේ ඩ්‍රැයිවර්ලා එක්ක යන්න පිං කරන්න ඕන සෑමෝ..

      Delete
  10. සුභ අලුත් අවුරුද්දක් වෙවා අයියා!හුග දවසකින් මෙ පැත්තෙ ආවෙ.පට්ට කතාව.ආයියො නැන්දා ��������

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.. පුළුවන් වෙලාවට මේ පැත්තට එන එක ගැන ඉතින් සන්තෝසයි..

      Delete
  11. මාර කූඤ්ඤයක් නේ .......

    ReplyDelete
    Replies
    1. අන්න වචනය...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කූඤ්ඤයක් තමා..

      Delete
  12. මරු කතාව...
    මේ අර නැංදගෙ සීන් එක ඇත්තමද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මානි.. සමහරවිට ඒ කතාව විශ්වාස කරන්නේ නැතුව ඇති මේක කියවන උදවිය.. මගේ මවු පල්ලා ආන්ටි එහෙම කිව්වා නේන්නම්.. බෝයින් කාරයෝ ප්ලේන් එකේ ජනේල අරින්න බැරි විදිහට හදල තිබුන එකේ වාසිය නිසා අදටත් ජීවත් වෙනවා මිසක්ක ජනෙල් අරින්න පුළුවන් උනානම් ජනේලෙන් එලියට පැනලා බඩ අල්ලාගෙන හිනාවෙලාම බිමට වැටිලා මැරෙනවා අම්මපල්ල.. ඒ සන්තොසය පාලනය කරගන්න සෑහෙන්න කට්ටක් කන්නවුනා නිර්මානි.. ආන්ටිගේ මුනටම හිනාවෙන්නත් බැහැනේ.. මම සාමාන්යෙන් කොක් හඬලා හිනාවෙන කෙනෙක්.. ඉතින් මගේ විනෝදය පිටවුනානම් ප්ලේන් එකේ හිටපු මිනිස්සු බලයි මූට පිස්සුද කියල..

      Delete
    2. අමබලන්ගොඩයා බොරු කියන්නේ නෑ මම දන්න තරමින්..ගොඩයගේ කොක් හඬ ලෑම නම් මාරම තමා...මේ දැනුත් ඇහෙනවා වගේ ....

      Delete
  13. නැංද හරි. ප්ලේන්නෙකක් උඩ තියං ඉන්න එකට කියන්නේ හයිජැක් කියලා. එහෙම ප්ලේන්නෙකක් සති ගානක් උඩ තිබුනා. ටීවියෙකේ.

    ReplyDelete
    Replies
    1. තුන්වේල කන්න බොන්න දෙනවනම් සති ගානක් උනත් උඩ ඉන්න මමනම් කැමති බන්.. මෙලෝ වැඩක් නැතුව ඔහේ දොයියන එකනේ..

      Delete
  14. එල ද බ්‍රා මචෝ...
    මෙහම තනියම හිනා වෙනකොට අපේ ගැනිට සැකයි මචෝ...මම මුණු පොතේ කොහේ හරි නම්බියෙකුට සෙට් වෙලා චැට් එකක් දානවා කියලා

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා කිව්වලු.. කාලෙකින් මේ පැත්තේ ඈවිත්... බොලාගේ පෙර වැරදි නැත්තම් මොකට බයවෙනවද බං...

      Delete
  15. උඹත් අර සඳරුවාගේ ජාතියෙම එකෙක්. නැතිනම් යන-යන තැන උඹටම මේවා වෙන්නේ කෝමෙයි.

    ReplyDelete
    Replies
    1. යන යන හැමතැනම මෙව්වා වෙන්නේ නෑ බං අයියේ.. අවුරුදු හතක් ඔය ගමන අවුරුද්දකට වතාවක් යනවා ඔය ඔහොම එකක් උනාම තමා..

      Delete
  16. //මේ කෙල්ලො ටික මුළු ප්ලේන් එකටම කන්න දීල ඉවර වෙනකම් ඩ්‍රයිවර් මහත්තය ප්ලේන් එක නවත්තගෙන හිටියනේ... අපේ රටවල එවුන්නම් මේක මේ ආකහේ නවත්තගෙන ඉඳියිද මිනිස්සුන්ට කන්න දෙනකං.. අන්න ඩ්‍රයිවර්ලා..// මේකනම් විශ්වාස කරන්නේ නැහැ නෑ මයි. හේ හේ

    ReplyDelete
    Replies
    1. මගේ වැදු මවු පල්ලා මේක සත්‍යම සත්‍ය කතාවක් අජිත් අයියේ.. බොරු ලියලා මම තෑගී ගන්නද ඉතින්.. අනික එහෙම බොරු ලියලා කෙනෙකුට අපහාස කරන එක හරි නැහැනේ..

      Delete