Sunday, January 29, 2017

ඔන්ලි ඉන් ඉන්ඩියා 3





ඔන්ලි ඉන් ඉන්ඩියා 2

http://ambalangodakatha.blogspot.com/2017/01/2_22.html

කලූල් වෙත ධාවනය වන මහේන්ද්‍රාවක එල්ලී ගොඩයා කලූල් වෙත වාර්තා කරද්දී බෑගයක් එල්ලාගත් හර්දික් බස්නැවතුමේ ගොඩයා එනතුරු බලා සිටිනවාය. හර්දික්ට අමතරව අහමදාබාද් වෙත ධාවනය වන බස් නැවතුමේ පනහක පමණ සෙනගක් රැස්කමින් සිටින්නේ අහමදාබාද් වෙත යන ඊළඟ බස්රථය එහි ළඟාවනතුරුය. ඊට අමතරව හරකුන්, එළුවන්, ඔටුවන්ද බස් නැවතුමේ ඕනෑතරම් ඉන්නවාය. බස් නැවතුමේ සිටිනා මගීන් පොදි ගැසී සිටින්නේ පෝලිමක සිට බසයට නැගීමේ පුරුද්ද සිරි ලංකාවට පමණක් පොදු නොවූවක් නොවන වග  අම්බලන්ගොඩයාට පෙන්වන්නට වාගේය.

දුහුවිලි වලාවක් නංවමින් බස් නැවතුම දිහාවට පැමිණෙනා ටොයෝටා ඩයිනා ක්ලිපර් වර්ගයේ බස්රථයක් ඉදිරියට දුවන්නට තියාගන්නා සෙනග ගොඩ මැද්දේ හර්දිකයාද ඉන්නා වග අම්බලන්ගොඩයාගේ කුඩා මොලයට වැටහෙනා විට බස් නැවතුමේ ඉන්නේ ගොඩයා සහ ගෑනු සමුහය විතරක්ය. බස් නැවතුම වෙත ඇදී එන්නාවූ  ඩයිනා රථය පසුපස එලවන්නට උත්සහ දරනා  ජනකාය පරදවමින් බස් නැවතුම වටා වට කිහිපයක් රථය කරකවනා රියදුරා අවසානයේ රථය ගෙනැවිත් අහමදාබාද් නැවතුමෙහි නවත්වනවාය. ඊට සාපේක්ෂව මරදාන ඉස්ටේශමේ දුම්රියට ගොඩවන්නට පොරබදනා මගීන් පරදවමින් බසය පසුපස හඹා යන්නාවූ ජනතාව එක පොකුරට බසයේ පසුපස යකඩ ඉනිමගේ එල්ලී වරකට එකා  බැගින් බසයේ වහලයට ගොඩවන්නේ වහලය උඩ අමුර්තය බඳුනක් තිබෙනා හා සමානවය. තව නොබෝ වෙලාවකින් බඩට දාගන්නට ලැබෙනා මසක් මාළුවක් සිහි කරමින් සන්තෝසයෙන් පසුවනා අම්බලන්ගොඩයාට බසයේ ආසනයක් හිමිවුනද නැතිද යන්න වැදගත් නැත්තේ කොතන හෝ එල්ලී මෝති මහල් හෝටලය වෙත සැපත්වීම පමණක් වැදගත් වන බැවින්ය.


බස් නැවතුමේ සිටියා වූ  සෙනග කන්දරාවේ හැටියට ගොඩයාට ආසනයක් හිමිවීම සිහිනයක් පමණකුදු යයි සිතුනද රථය නැවතුමේ නැවැත්වූකල දොර හරහට පොරකන්නට මගීන් නොමැති වීම අරුමයක්ය.  රථය බස් නැවතුමට ඇතුල්කල සැනින් මගීන් ගාල කඩාගත් හරක් රංචුවක් සේ රථය දිහාවට දුවන්නට තියාගත්තද රථ නවත්වන ස්ථානයේ නැවත්වුකල  රථයට නගින්නට සිටින්නේ ගැහැණු උදවිය පමණය. එහි අරුමය කුමක්දැයි සිත සිතා සිටියහොත් ලැබෙන්නට  යන ආසනයද නොලැබී යන නිසා අම්බලන්ගොඩයාද දනිපනිගා බසයට නැග අසුනක් අරා විරාජමාන වෙනවාය. එහෙත්  පුරස්නය නම්  අංශක තුන්සිය හැටටම ඔලුව කරකවා බැලුවද හර්දිකයා පෙනෙනතෙක් මානයක නොමැති  වීමය.

ඩයිනාව  ඇතුලත තිබෙනා ආසන තිහටම දෘෂ්ටි කාචය සුසර කල බැලුවද හර්දිකයා සොයනු උගහටය. බෙල්ල ගියත් පසුපසට නොයන ජාතියේ එකෙකු වන හර්දිකයා ලෙහෙසියට තම මිතුරාව තනිකරදමා මාරුවී යන  පුද්ගලයකුද නොවේය. එහෙයින් රථය පිටත්වීමට ප්‍රථම මිත්‍රයා සොයාගැනීම ගොඩයාගේ වගකීමක් වන්නේ හර්දිකයා නොමැතිව මස් මාළු කෑමේ ආශාව සැබෑවක් කරනු සුම්මා නිසාය. ඔලුව මන්ද මෝල් වෙන්නට  ඔන්න මෙන්න තිබෙද්දී අම්බලන්ගොඩගේ නම ආමන්ත්‍රණය කරමින් හර්දිකයා කෑගසනු ඇසුනද හර්දිකයා ඉන්නේ රථයෙන් එළියේ වග ගොඩයාට වැටහෙන්නේ  ශබ්දය පැමිණෙන්නේ රථයෙන් එලිය දිහාවෙන් වන නිසාය. ගොඩයාගේ  ඔලුව බස් රථයේ ජනේලයෙන් එලියට දමා බෙල්ලේ පොට යන්නටම වටේටම කරකවා බැලුවද හර්දිකයා සිටිනා ඉසව්වක් පෙනෙන්නට නොමැතිය.

මම මෙහේ ...

හර්දිකයාගේ කටහඬ එන්නේ උඩ  දිශාවෙන් වන බැවින් ගොඩයා බෙල්ල අංශක අනූවක් උඩට හරවා උඩ බලන්නේ  රථය  පිටත්වන්නට ප්‍රථම හර්දිකයා සොයාගන්නට තිබෙනා උවමනාව නිසාය..

හුටාය ... මෙන්න බොලේ හර්දිකයා බස්රථයේ වහලය උඩ හිටං පහලට බෙල්ල දමාගෙන ඉන්නවාය..

පිස්සු හැදිලද බන්.. මෙන්න මෙහෙ ඇතුලට වරෙන්...

පීස්සුද මගේ මිත්‍රයා... ඇතුලට වඩා මෙතන සැපයි..

හරි දැන් මට කියපන් කොහෙටද ටිකට් ගන්න ඕන..

ටිකට් ගනින් උඹට විතරක් අහමදාබාද් වලට..

දැන් ඊයේ කිව්වා නේද උඹ ගාව සතයක්වත් නැහැ කියල.. මේ යන්නේ මගේ උවමනාවට නිසා මම ටිකට් ගන්නම්..

සල්ලි නෑ තමා බං.. වහල උඩ යද්දි ටිකට් ගන්නෙ නෑ..

ඒ කිව්වේ..

කොන්දොස්තර වහලට නැගල ටිකට් කඩන්නේ නැහැ මිත්‍රයා.. ඒ හින්ද උඹ ටිකට්  එකක් විතරක් ගනින් අහමදාබාද් වලට..

එතකොට ටිකට් චෙක් කරන අය ආවොත්..

ටිකට් චෙක් කරන්න????? හැක්.. මිත්‍රයා මේ කොලොම්බු නෙවෙයි.. බය නැතුව හිටපං..

හරි.. දැන් කොහෙටද ටිකට් ගන්නේ..

අහමදාබාද් වලට..

එතකොට කොහෙන්ද මම බහින්න ඕන..

බස් එක අහමදාබාද් ස්ටෑන්ඩ් එකට ගියාම බැහැපන්.. ඒක තමා අවසාන නැවතුම..

එහෙමද..

එසේ අවසන්වන උඩ යට සංවාදය අවසාන වනවිට අම්බලන්ගොඩගේ බෙල්ලේ පොට ගිහිල්ලාය.. ඒ මන්ද යත් ජනේලයෙන් ඔලුව එලියට දමාගෙන උඩ බලාගෙන යාලු මිත්‍රකම් පැවැත්වීම බෙල්ලේ පොට යන කර්තව්‍යක් හින්දාය. මද වෙලාවකින් අහමදාබාද් වෙත පිටත්වන ටොයෝටා ඩයිනා ක්ලිපරය මහේන්ද්‍රා ප්‍රවාහනයට වඩා යම්තාක් විනයක් පවත්වාගෙන අහමදාබාද් වෙත ධාවනය වෙනවාය. වහලය උඩ සිටිනා විස්සක තිහක සෙනගක් ගැන මෙලෝ කල්ලිතාවයක් නැතුවා සේ අදිවේගී කොටසට අවතීරණයවන රියදුරා හැටට හැටේ රථය පදවනවාය. ඩයිනා ක්ලිපරයේ වේගය එක්තරා සීමාවක් ඉක්මයන සඳ මුළුමහත් බස් රථයම උණ විකාරයෙන් ගැහෙනා ලෙඩෙකු ගානට වෙව්ලන්නට ගන්නවාය. එම වේග සීමාවේදී අම්බලන්ගොඩයාට දැනෙන්නේ සහ ඇසෙන්නේ බස් රථයේ දෙදරීමේ ශබ්දය හෙවත් දර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ශබ්දය පමණක්ය. ඉදිරිපස ආසනයේ අලුමීනියම් පොල්ල තදින් අල්ලාගෙන දත්මිටි කාගෙන දෙදරීම ඉවසා දරාගෙන හිඳීම මිස වෙනත් විකල්පයක් නොමැතිය. ගොඩයාට තිබෙනාවූ ප්‍රශ්න තුනෙන් පළමුවැන්න නම් දෙදරීමට සාපේක්ෂව වහලය උඩ සිටිනා හර්දිකයා වහලයෙන් රූටා බිමට පතබෑවේද යන කාරනාවය. දෙවන ප්‍රශ්නය නම් මේ ගමන් කරනා ටොයෝටා බස් රථයේ එන්ජිම වෙනුවට පාර තලන වයිබ්‍රේටර් යන්ත්‍රයක් සවිකරලාදෝ යන ප්‍රශ්නයය. තුන්වෙනි ප්‍රශ්නය නම් දර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හඬින් දෙදරමින් අධිවේගී මාර්ගයේ වේගයෙන් ධාවනය වන කෑලි හැලෙන ඩයිනාව කොයි වේලේ පාරෙන් ඉවතට පැන වලකජ්ජගසාවිදෝ යන හැඟීම අනෙකුත් මගීන්ට දැනෙන්නේ නැතිදෝ යන්නය. ඒ කිසිවක් නිනව්වක් නැති ජටාවකින් සැරසුණු රිය ඇදුරා රථය පදවන්නේ බෝතල් පත්තර කාරයකු බස් රථය යකඩ වලට කිරන්නට පස්සෙන් එලවාගෙන එනවා වාගේය. ඩයිනාව චැසිය බොඩිය වෙන් නොවී අහමදාබාද් වලට ලඟා වුවහොත් බඩ පුරා කන්නට ලැබෙන කුකුළු මස් ව්‍යංජනය ගැන සිහි කරමින් අම්බලන්ගොඩයා අලුමීනියම් පොල්ලේ එල්ලී ඉන්නවාය. ඒ අතරේ කල්පනා කරන්නේ බස් රථය දෙදරන දෙදරිල්ලට ආසනය උඩ වාඩිවී ඉන්නේද ඉදිරිපස ආසනයේ ඇලුමීනියම් පොල්ලේ පිහිටෙන් බැවින් එවන් පොලු කිසිවක් නොමැති වහලය උඩ හර්දිකයා ඇතුළු අනෙකුත් මගීන් කොහේ එල්ලී ඉන්නවා ඇතිදෝ කියාය. 



(ඩයිනා ක්ලිපර් කියන්නේ මොන වගේ බස් එකක්ද කියල අහපු රසිකයෙකුගේ කුතුහලයට පිලියමක් වශයෙන් ඉන්දියාවේ ධාවනය වන ඩයිනා ක්ලිපර් එකක පින්තූරයක් දැම්ම ඔන්න. මගෙන් අහන්න එපා මොනාද මේ ඉස්සරහ තියන රවුල් ගස් වගේ එව්වා කියල.. හොඳට බැලුවොත් පෙනෙයි වහලය උඩ ඉන්නවා දෙතුන්දෙනෙක්..මෙව්වා ඉතින් ඔන්ලි ඉන් ඉන්ඩියාම තමා..)


එවන් ආකාර වූ ත්‍රාසය භීතිය කුතුහලය පිරි බස් ගමනකින් අනතුරුව අහමදාබාද් වෙත සැපත්වන  අම්බලන්ගොඩයා ඊළඟට සොයන්නේ සංචාරක චෙක්පත් මාරුකර ගැනීමටහැකි බැංකුවක් තිබෙනා ඉසව්වක් ගැනය. අහමදාබාද් පිටකොටුවෙන් වෙනස්වන කරුණු අතරින් පළමුවැන්න නම් බැලූ බැලූ අතේ ධාවන වනා කහ සහ කළු මිශ්‍ර වර්ණයෙන් වර්ණ ගැන්වූ ඔටෝ රික්ෂෝ නොහොත් ත්‍රීරෝධ රථ සමුහයය. කාකි වර්ණ කමීසයකින් සැරසුණු ත්‍රිරෝධ රථ කරුවන් නිරන්තරයෙන් ඔබාගෙන සිටිනාවූ නලාව හඬවන බොත්තමට පින්සිදුවන්නට එය එකම කාලගෝට්ටියක්ය. ඊටත් අමතරව ත්‍රිරෝධ රථවල ද්වි පහර එන්ජිමෙන් නිකුත්වන ලිහිසිතෙල් දැවෙනා දුමාරයෙන් නගරය පිරී ඉතිරිලාය. වම්පස කන්නාඩිය අකුලාගෙන ධාවනය කරනා මරුටි රථද ත්‍රිරෝධ රථ කරුවන් හා තරඟයට මෙන් හසුවන සෑම අස්සකින් මුල්ලකින්ම රිංගන්නට දතකනවාය. මරුටි රථ හා ත්‍රිරෝධ රථ අතට හසුවන සෑම සිදුරකින්ම රිංගන්නට වෙර දරන අතරේ බජාජ් ස්කූටර් කරුවන්ද  ත්‍රිරෝද රථ වලින් නැගෙනා ශබ්දය පරයන්නට රී.......................න්..කට්..කට්..කට්..කට්..කට්..නාදය නිකුත් කරමින් ලොකු අයියලාට රිංගන්නට බැරි අමාරු අහුමුලු වලින් රිංගා දිරියට ඇදෙනවාය. ඒ සියල්ලටම ඉහලින් සිටිමින් සියල්ල දකිමින් බැරල් බාගයක් උඩ හිටගෙන වාහන හසුරුවනා රථ වාහන පොලිස් නිලධාරීතුමා බැරලය උඩ හිටං තම ජීවිතය බේරාගන්නට සෑහෙන්න ගේමක් දෙනවාය. 

එවන් දර්ශන නරඹමින් සෙනග අතරින් ඉදිරියට ඇදෙනා අම්බලන්ගොඩයා සහ මිතුරැ හර්දිකයා ඉන්දියාවේ සුප්‍රසිද්ධ වාණිජ බැංකුවකට සැපත් වන්නේ සංචාරක චෙක්පත් මුදල් වලට හුවමාරුකරගනීම උදෙසාය. 

සංචාරක චෙක්පත් වලින් කොටසක් මාරුකර ඉන්දියන් රුපියල් දාහක් ලබාගන්නා අම්බලන්ගොඩයා අතට තඩි තඹ ස්ටෙප්ලර් කටුවක් ගැසූ මුදල් මිටියක් ලබාදෙන බැංකු නිලධාරියා හර්දිකයා දිහා කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දරුණු ස්කෑන් පාරක් දමා අම්බලන්ගොඩයා අමතනවාය..

ඔබ මේ හාදයාව පුද්ගලිකව දන්නා කියන කෙනෙක්ද..

ඔව් ඇයි ඔබ  අසන්නේ..

මොහු මගපෙන්වන්නෙක් නම් මේ මුදල් ඔබ සමග රැගෙන යාම ඉතා අනතුරුදායකයි..

නෑ ඔහු මා සමග එකට වැඩ කරනා කෙනෙක්..

හා එහෙමනම් මුදල් ටික ප්‍රවේසම් කරගන්නකෝ ..


හොඳයි මහත්මයා..

එයින් අනතුරව හර්දිකයා අම්බලන්ගොඩයාව සෙනග අතරින් කැන්දාගෙන යම්මේ මෝති මහල් හෝටලය වෙතය.  සති කිහිපයකට පසු නොබෝ වෙලාවකින් උදාවන මහා ආහාර බුදීමේ සංග්‍රාමය ගැන සිතනවා  විනා අම්බලන්ගොඩයාට වටපිට සිරි නරඹන්නටද කල්පනාවක් නොමැතිය. දෙවැනි වතාවට පය තබන ලද අහමදාබාද් නගරයේ විවිද වූ ගොඩනැගිලි පෙන්වා හර්දිකයා යම් යම් විස්තර කිරීම්  ගියද ඒ එකක්වත් අම්බලන්ගොඩයාගෙ කනට වැටුනේ නැත්තේ දින ගණනාවක් හරි හමන් ආහාරයක් නොලද කුසගින්න ආහාරයක් ඉල්ලා උද්ගෝෂණ කරනා තත්වයේ සිටියාවූ බැවින්ය.    මද දුරක් පයින් පැමිණි අම්බලන්ගොඩයා හර්දිකයා අමතා කියන්නේ ආහාර නොලද ශරීරය තවදුරටත් ගමනේ නොදෙන්නට තීරණය කල පණිවිඩයය.

තව කොයිතරම් දුරද හර්දික්..

කිලෝමීටරයක් විතර වගේ..

ඇයි බන් දැන් කිලෝමීටරයක් විතර පයින් ආවනේ..

හරි ඉතින් සල්ලි මාරු කරන්න යන්න ඕන කිව්වේ උඹනේ..

මටනම් තවත් පයින් යන්න බෑ ... නවත්තපන් ත්‍රී වීල් එකක්..

මොකක්..

ඔටෝ රික්ෂෝ එකක්බන්... 

ඔහ් ... අපරාදේ බන් රුපියල් පහක් විතර දෙන්න වෙනවා..

මිත්‍රයා... නවත්තපන් ඔටෝ එකක්.. පහට දහයක් දෙන්නම්.. මට තවත් පයින් යන්නනම් බෑ ..

කමක් නැද්ද..

කිව්වම අහල ඕකක් නවත්තපන් ..


බලවත් පෙරැත්තයෙන් අනතුරුව හර්දිකයා විසින් නවත්වාගන්නා ත්‍රිරෝද රථයේ නැග දෙමිතුරෝ ඉගිල යන්නේ මෝති මහල් හෝටලය බලාය . කුරු කුරු නාදය නංවනා නලාව හඬවමින් ඔටෝ රියදුරාද හසුවන සෑම අස්සකින් මුල්ලකින් රින්ගමින්ද, වරෙක මුඩුක්කු මැදින්ද  වරෙක අහස වැසෙන්නටම රෙදි වලින්  ආවරණ කරන ලද පටු වෙළඳ වීදි දිගේද, වරෙක පේමන්ට් උඩින්ද යමින් අයකරනා මුදලට උපරීම සාධාරණයක් ඉෂ්ට සිද්ද කරන්නට වෙර දරනවාය. ගොඩයා ඉස්පාසුවෙන් බලා සිටින්නේ ඔටෝව මොත් මහල් හෝටලය ඉදිරියේ නවත්වනතුරුය. විනාඩි දහයක පමණ ත්‍රාසජනක ගමනකින් අනතුරුව අත පය හතර යහතින් බේරාගෙන අම්බලන්ගොඩයා සහ හර්දික් රැගත් ඔටෝ රික්ශෝව මෝති මහල් හෝටලය ඉදිරිපිටය. 

ඔන්න මිත්‍රයා අපි ආවා..

ඉතින් යමු ඇතුලට..

පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් වටපිට බලනකම්..

මොකක්..

ඔව් එකපාරටම හෝටලේ අතුලට යන්න බෑ ..

 ඇයි මේක හොරාට කරන යන නොන් වේජ් හෝටලයක්ද.. වෙන්න බෑ .. මේක මේ හෙන ලොකුවට බෝර්ඩ් එහෙම ගහල තියෙන්නේ...

නෑ නෑ මිත්‍රයා... මේක එහෙම හොරාට කරන එකක් නෙවෙයි.

එහෙනං ..

මිත්‍රයා... අපි සම්පූර්ණ ශාඛ ආහාර විතරක්  ආහාරයට ගන්න හින්දු මිනිස්සු.. මම මෝති මහල් හෝටලේට රිංගනවා ගමේ එකෙක් දැක්කොත් මගේ මවු දෙමවුපියෝ ගමේ ඉඳල හමාරයි..

ඒකත් එහෙමද.. දැන් එතකොට මේකෙන් කන්නේ නැද්ද..

කනවා කනවා බන්.. යමු ඇතුලට..

හර්දිකයා අම්බලන්ගොඩයා ඇදගෙන මොතිමහල් හෝටලයට රිංගන්නේ කසිප්පු පොට් එකකට රිංගනවා වාගේය. මෝති මහල් හෝටලය කොටස් දෙකකින් සමන්විත හෝටලයක් වන අතර පහල මාලය සාමාන්‍ය හෝටලය සිරි උසුලනවාය. එහෙත් ඉහල මාලය සුව පහසු අවන්හලක සිරි උසුලනවාය. එහෙත් ප්‍රශ්නයනම් ගොඩයාට සහ හර්දිකයාට ඉඳගන්නට ආසනයක් ඉහල මාලයේ නොමැතිකමය. මද වෙලාවක් රැඳී සිටීමේ පෝලිමේ සිටිනා අම්බලන්ගොඩයාට සහ හර්දිකයාට මේසයක් අනුයුක්ත කෙරෙන්නේ සත්කාරයට වේටර් වරයකුද සමගය..මෙනු පතේ තිබෙනා අහාරපාන සියල්ලම ආහාරයට ගැනීමට තරම් කුසගින්නක් ගොඩයා වෙත තිබුනත් පළමුව ඇනවුම් කෙරෙන්නේ චිකන් මසාලා සමග බත් හා චපාති රොටි කිහිපයක්ය. බත් අම්බලන්ගොඩයාට වන අතර චපාති හර්දික්ගේ කුසගින්න නිවීම සඳහාය.

කෑම හොඳද..

එසේ අසන්නේ කුකුල් පළුවකට වග කියනා හර්දිකයාය.

හ්ම්.. සති ගානකින් බන් බඩට හරියට කන්නේ.. 

එහෙනම් ඇතිවෙන්න කන්නකෝ.. තව මොනවද උඹට මගෙන් කෙරෙන්න ඕන..

වෙන මුකුත් ඕන නෑ.. මේ ඇති..

උඹට බොන්න එහෙම ඕනෙද..

ගුජරාට්වල ලිකර් තහනම් නේද.. 

තහනම් උනාට ගන්න තැන තියෙනවා..

ඉතින් එහෙමනම් අරන් යමු මගේ කාමරේට..

හ්ම්.. කාල යමුකෝ..

උඹ දන්නවද ගන්න තැනක්..

තැනක් නම් හරියටම දන්නේ නෑ .. ඒත් පහල වීදියෙන් හොයාගන්න බැරිවෙන්නේ නැහැ..

හරි.. එහෙනම් රෝස්  කරපු කුකුලෙක් ඕඩර් කරපන් බයිට් එකට..

ම්හ්.. ඒක හරියන්නේ නෑ .. ඕව බස් එකේ ගෙනියන්න බෑ .. ගෑනුන්ට සුවඳ ආවොත් උන් උඹට යුද්දේ ප්‍රකාශ කරාවි..

ඇයි එතකොට උඹ..

මම යන්නේ වහලෙ නිසා උඹට ඒ ප්‍රශ්නේ තනියම විසඳගන්න සිද්ද වෙනවා මිත්‍රයා.. අනික උඹ රෝස් කුකුලෙක් එක්ක බස් එකේ ලෙඩක් දාගත්තොත් මට උඹ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බෑ .. ගමේ වසල හමාරයි එහෙම උනොත්.

එසේ අවසන් වූ සංවාදයෙන් පැමිණි සම්මුතියෙන් අනතුරුව බඩපුරා සප්පායම් වූ අම්බලන්ගොඩයා සහ හර්දික් මිත්‍රයා ඊළඟට යන්නේ මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට හොර ඒජන්ත කෙනෙකු සොයමින්ය. ගුජරාටයේ මත්පැන් තහනම් ද්‍රව්‍යයක් වූ නිසා මත්පැන් සෙවීමත් කම්බි කූරු ගනින්නට ලබන්නාවූ උත්තේජනයක් නිසාවෙන් හර්දික් මිත්‍රයා මත්පැන් විමසන්නේ පාරේ ඉන්නා නාටාමි වරුන්ගෙන් සහ ජංගම තේ වෙළෙන්දන්ගෙන් පමණිය. අම්බලන්ගොඩයාත් එළුවාගේ බිජ්ජ වැටෙනාතුරු පස්සෙන් ගිය බල්ලා සේ හර්දිකයා පස්සේ ඇවිද යනවාය. ඉස්මුරුත්තාවට වැළඳු කුකුළු මසාලාවට පින්සිදුවන්නට සති දෙකක් පුරා පැවතුනු කුසගින්න කොහේ ගියාදෝ සොයාගන්නට නැතිය. නාසය ලඟට වළඳා ඇති නිසාවෙන් පයින් ඇවිදීම යනු මරන්නට ගෙනයන හරක් නාම්බකු සේ වුවත් මත්පැන් ජුන්ඩක් උගුරෙන් පහලට යැවීමට අධිකවූ ආසාවක් නැතත් හර්දිකයා ඒ පිළිබඳව දක්වන උනන්දුව අලකරදමන්නට මිත්‍රයකු වශයෙන් අම්බලන්ගොඩයා අකමැතිය. ඒ නිසාවෙන් හිතේ හැටියට බඩ පිරවූ පිනට ප්‍රති උපකාරයක් වශයෙන් මත්පැන් ජුන්ඩකින් හර්දිකයාට සංග්‍රහ කිරීම අම්බලන්ගොඩගේ යුතුකමක්ය. උදව්වක් කල මිතුරෙකුට  ඔහු කැමති කෑමකින් බීමකින් හෝ සංග්‍රහ කිරීම යුතුකමක් වශයෙන් ගත්කලද මහත්මා ගතියක්ය. ඒ හෙයින් හර්දිකයා මත්පැන් බෝතලයක් සොයාගන්නා තුරු ගුජරාටයේ සිට පන්ජාබය දක්වා පයින් යාමට වුවද අම්බල්ලන්ගොඩයා දෙපාරක් හිතන්නේ නැතිය. එහෙත් ප්‍රශ්නය නම් නාසය ලඟට වළඳා අහවර වූ සැනින්ම අවු කාෂ්ටකයේ නගර මද්‍යයේ කරක් ගසන්නට සිදුවීමය. හර්දිකයා නාඩිය අල්ලා සිවිල් පොලිස් නිලධාරියකු නොවන වගට තහවුරු කරගන්නා සෑම එකෙකුගෙන්ම ගුජරාට් භාෂාවෙන් මත්පැන් විමසනවාය. ඔවුන්ද හර්දිකයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසා බලා මත්පැන් යන වචනයවත් ඔවුන් නොදන්නා වගට පොළොවේ අත ගසා දිවුරනවාය. 

අහමදාබාද් වීදි පුරා මත්පැන් විමසමින් ඇවිදිනා ගොඩයා සහ මිතරු හර්දිකයා පසුපසින් කාන්තාවක් ටිකදුරක් තිස්සේ ෆලෝ පාරක් දමනා වග අම්බලන්ගොඩගේ අක්මාවට වැටහෙන්නේ නිකමට වාගේය. ගොඩයාගේ ඔලුව දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙකක් නැතත් වීදි දිගේ පසුවන කඩවල තිබෙනා ඉදිරිපස වීදුරු වලින් පරාවර්තනය වී පැමිණෙනා දර්ශන වලට අනුව මේ කියනා කාන්තාව සෑහෙන දුරක් තිස්සේ දෙමිතුරන් පසුපසින් පැමිණෙනා වග ටක්කෙටම සුවර් වුවත් මේ එන්නේ රහස් පරීක්ෂක වරියක්ද නැද්ද යන්න අම්බලන්ගොඩයාට සැක සහිතය. හර්දිකයා එලෝ මෙලෝ නොමැතිව නාටාමිලාගෙන් මත්පැන් විමසමින් වීදි පුරා සැරිසරනවා විනා පසුපසින් පැමිණෙනා මෝහිනී ගැන මෙලෝ වගක් නැත්තේය. එසේ සෑහෙන වෙලාවක් පසුපසින් පැමිණි කාන්තාව ටිකෙන් ටික ගොඩයාට ඉස්සරවී ගොස් හර්දිකයා සමග දොඩමලු වන්නේ කුමන මාතෘකාවක් අරභයාද යන්න අම්බලන්ගොඩයාට මෙලෝ මලදානයක් නොතේරෙන්නේ ඔවුන් කතා කරන්නේ උවුන්ගේ භාෂාවෙන් වන බැවින්ය. එහෙත් අම්බලන්ගොඩයාගේ එන්ජිම සාමාන්‍ය වේගයට වඩා මදක් වේගයෙන් ගැහෙන්නේ මේ ඇදෙනා වූ ස්විපය කුමනාකාර එකක් වන්නේද යන්න නොදන්නා නිසාය. හර්දිකයාට පොලිස් කූඩුවේ කූරු ගනින්නට ස්විපය දුනහොත් අම්බලන්ගොඩයාටද බෝනස් ත්‍යාගයක් ඇදෙනු අනිවාය. නීතියෙන් තහනම් ද්‍රව්‍යයක් මිලදී ගන්නට හන්දියක් හන්දියක් ගානේ අණබෙර ගසනවා වැනිවූ හර්දිකයා මත්පැන් විමසමින් පැමිණි දුරට සමානුපාතිකව තර්කානුකූලව සිතා බැලුවහොත් එම ආරංචිය ඒ වනවිට ඉන්දියානු පොලිසියේ පොලිස්පති තුමාගේ කනට යන්නටද හොඳටෝම කාල වෙලා ඇතිය. ඒ අනුව බැලුවහොත් හර්දිකයා සමග දොඩමලු වී සිටිනා කාන්තාව හොරා පොලිස් කාන්තාවක්නම් එතුමිය මේ තනිවම ආ ගමනක් වන්නට නොහැකිය. එවන් ආකාරයේ වැටලීම් තනිව නොකරනවා වුවත් හර්දිකයා දමා දුවන්නට අම්බලන්ගොඩගේ තුන්හිතකවත් අදහසක් නොමැති නිසා අම්බලන්ගොඩයා ගොනා සේ ඔහේ ඉන්නවාය..

මිත්‍රයා.. බියර් තියනවා කියල කියනවා.. හාර්ඩ් ලිකර් ගන්න ටිකක් අමාරුලු මේ දවස්වල..

කව්ද කියන්නේ..

මේ මෙයා කියන්නේ..

මෙයා කිව්වේ මේ ගැහැණු කෙනාද..

ඔව්.. මෙයා හුඟ වෙලාවක් අපේ පස්සෙන් ඇවිත් තියනවා අපි රහස් පොලිසියෙන් නෙවෙයිද කියල තහවුරු කරගන්න..

ඉතින්..

උඹ කැමතිද බියර් වලට..

මට ඔය කොයිකත් එකයි බන්..

ගැන තමා වැඩි..

කීයක් කියනවද..

එකක් රුපියල් පහළොවක් වෙනවලු..

ඉතින් දෙකක් අරන් යමු.. මම සල්ලි දෙන්නම් ..

හරි එහෙනම් යමු..

අම්බලන්ගොඩයා සාක්කුවෙන් ඇද දුන් ඉන්දියානු රුපියල් තිහ හර්දිකයා සාක්කුවේ රුවාගත්තේ ඇසක් වසා ඉඟි මරමින්ය. එහි තේරුම ගොඩයා නොදත්තත් මොකක්හෝ නොදන්නා යමක් සිදුවනා වග තේරුම් ගන්නට එම සංඥාව හොඳටෝම ප්‍රමාණවත්ය. එතෙක් වෙලා හර්දිකයා පසුපසින් ගෑටුවා වූ අම්බලන්ගොඩයා දැන් පියමනින්නේද හර්දිකයා පසුපසින් වුවත් වෙනසකට තිබෙන්නේ එතෙක් කල් පසුපසින් පැමිණි කාන්තාව හර්දිකයාටද ඉදිරියෙන් ගමන් ගැනීමය. කාස්ටක අවුවේ තවත් කිලෝමීටරයක් වැනි දුරක් පියමන්නාවූ තුන්දෙනා කල්ලිය එක්තරා ආපන ශාලාවක් ඉදිරියේ නතර වෙනවාය.

ආපන ශාලාව පිටකොටුවේ තිබෙනා සයිවර් කඩයක් වාගේය. ආපන ශාලාවට ඇතුල්වෙන තැන හිටන්ම මේස දමා මිනිසුන්ට කන්නදෙන වර්ගයේ සාමාන්‍ය ඒකකය. වෙනසකට තිබෙන්නේ ආපන ශාලාව එක් බිත්ති කොනකින් වෙන් වෙනා කොරිඩෝවකින් ඈතට දිවෙනා අඩි තුනක පමණ පළල වූ කොරිඩෝවය. දේවාලයට තිර රෙදි මතකයට නගමින් කොරිඩෝවේ සමාන දුරින් තිර දමලා තිබෙනා නිසා කොරිඩෝවේ කෙලවර ගොඩයාට පෙනෙන්නේ නැතිය. ආපන ශාලාව සෑහෙන දිග එකක් වූ නිසා කොරිඩෝවද හැතැක්මක් පමණ දුරට තිබෙනවාය. කොරිඩෝව දිගට දමා තිබෙනා තිර සංක්‍යාවද ගණන් කරනු සුම්මා වන්නේ තැනින් තැන වහලයේ තබා ඇති වීදුරු කැබලි වලින් වැටෙනා එලිය කොරිඩෝව සම්පූර්ණයෙන් එලිය කරන්නේ නැති නිසාය.

මිත්‍රයා උඹ මෙතන හිටපන්.. මම මෙයා එක්ක ගිහින් බියර්  බෝතල දෙක අරන් එන්නම්.. මේ හෝටලේ පිටිපස්සෙලු බිස්නස් එක කරන්නේ..

මාත් එන්නද..

නෑ  ඕන නෑ .. උඹ මෙතන හිටපන්..කොහෙවත් යන්න එපා ..

හරි එහෙනම්.. ගිහින් ඉක්මනට වරෙන්..

කොහෙවත් නොගිහින් හිටපන් යයි තදින් අවවාද කළා වූ හර්දිකයා කොරිඩෝවේ තිර රෙදි වලින් නොපෙනී ගිය නිසා අම්බලන්ගොඩයා නගරයේ සිරි නරඹන්නට එය වෙලාව කරගන්නවාය.

එසේ වෙන්වී ගිය හර්දිකයා ගැන විනාඩි දෙක තුනක් යනතුරු ආරංචියක් නැතිවූ නිසා අම්බලන්ගොඩයා සැරින් සැරේ කොරිඩෝව දෙසට ඔලුව දමා විපරන් කර බලනවාය. එහෙත් තිර රෙදි සුළඟට වැනෙනවා විනා හර්දිකයා ආපිට එන ලකුණකුදු නොමැතිය..

රා...............................න්.... රා.................................න්.... රා.............................න්..

අම්මට හුඩුය.. හර්දිකයා තිර රෙදි දෙබෑ කරමින් දුවගෙන එන්නේ රුහුණු කුමාරිය මාතර යනවාටත් වඩා වේගයෙන්ය.. සෑහෙන්න දිග කොරිඩෝවක් නිසා වහලයේ වීදුරු වලින් එලිය වැටෙනා තැන පසුකරනා විට හර්දිකයාගේ කෙටි දුර දිවීම පැහැදිලිව දර්ශනය පෙනෙනවාය.. එතනින් එහාට තිබෙනා ගැටලුව නම් රුහුණු කුමාරිය නලාව හඬවනා තාලයටම රා.................................න් යන්නෙන් අම්බලන්ගොඩයා වෙත එවනා පණිවිඩයය. ඊටත් එහාට සිද්දිය ගැන විශ්ලේෂණය කරනවානම් ඇඟේ රෝම කෙලින් වෙනා කාරනාව නම් හර්දිකයා පසුපසින් එලවාගෙන එන්නාවූ පුද්ගලයින් කව්දෝ කියා නොදන්නාකමය.. ඒ කෙසේ වෙතත් හර්දිකයාගේ විධානයට අනුව දුවන්නට සූදානම් වියයුතු වුවත් කොයි අතට දුවන්නද කියා අම්බලන්ගොඩ එකාට අදහසක් නොමැතිය.. හර්දිකයා හැරෙන පැත්ත බලා ඌ පසුපසින් හඹා යාම හරි ආකාර දිවීම වුවත් හර්දිකයා පසුපසින් එලවාගෙන එන්නා වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එකෙකු ගනුදෙනුව කතාකල කාන්තාව බව යාන්තමට පෙනෙනා නිසා හර්දිකයා කොරිඩෝවෙන් එලියට පනිනා තුරු සිටීම සෑහෙන්න සෞක්‍යයට අනතරු දායකය. ඒ හෙයින් රිලේ තරඟයේ පොල්ල අතට ලැබෙන තුරු සිටිනා දෙවැනි ධාවකයා සේ ලක ලැහැස්ති වී සිටිනා අම්බලන්ගොඩයාද දැන් දුවන්නට රෙඩීය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ රිලේ පොල්ල හෙවත් හර්දිකයා ඒ වනවිටත් තිර රෙදි දෙබෑකරනා තරංග ඉසව්ව නිමකර කොරිඩෝවෙන් එලියට අවතීරණ නොවීමය.


තත්පර කිහිපයක අවෑමෙන් දේවාල තිර තරඟ ඉසව්ව හෙවත් භාධක දිවීම සාර්ථකව නිමකරනා හර්දිකයා කොරිඩෝවෙන් එලියට මතුවෙනා අල්ලපනල්ලේ අම්බලන්ගොඩයාද පන එපා කියා කෙටිදුර ධාවන තරඟ ඉසව්වට අවතීර්ණ වනවාය. දැන් තරගය තිබෙන්නේ ඉතාමත් තීව්ර අවස්ථාවකය. හර්දිකයා ගොඩයාගේ ළඟ ලඟම ධාවනය වන හඬ ගොඩයා තව තවත් උද්යෝගයට පත්කරනවාය. අම්බලන්ගොඩයා දිවීමට කිසිසේත්ම දක්ෂ ක්‍රීඩකයකු නොවුනත් එම ඉසව්ව පරාජය වීම සිරි ලංකාවේ කීර්තියට මහත් කැළලක් එක්කරනාවූ කාරණයක් වශයෙන් දකිනා නිසා එතෙක් වෙලාවක් පිටේ එල්ලී තිබුනා වූ  සාගත මල්ලද කරට ගෙන අම්මමෝ නැතිවෙන්නම සෙනග දෙබෑ කරගෙන පන එපා කියා දුවනවාය. අහමදාබාද් වීදි පුරා එක්රැස් ජනතාව තරඟයට සහයෝගයක් වශයෙන් පදික වේදිකාවේ දෙපසටවී ලෙසටම ධාවකයිනට තම රාජකාරිය කරගෙන යන්නට අවස්තාව ලබා දෙනවාය. එහෙත් කෙලින් වීදියේ හැකි තරම් දුරක් කරගෙන ගියා වූ තරග ඉසව්ව මදක් වෙනත් අතකට හැරෙන්නේ අම්බලන්ගොඩයාට මූත්‍රා බර වන්නටමය. ඒ මන්ද යත්, සියල්ල දකිමින් සියල්ලටම ඉහලින් බැරලය උඩ  හිටං වාහන මෙහෙයවන පොලිස් නිලධාරීතුමාගේ විසිල් හඬ නොතකා හතරමන් හන්දියෙන් අම්බලන්ගොඩයා කෙලින් දිව යාමත් හර්දිකයා පොලිස් අණට කීකරු වී අංශක අනූවට කනේ වැලි ගෑවෙන්නට වමට වංගුවක් ගැනීමත් නිසාය. නොසිතූ  ආකාරයෙන් වෙනස්ම අතකට හැරුනා වූ ධාවන තරගය තවත් කිලෝ මීටර භාගයක් පමණ දුරකට තම වේගය පවත්වාගනිමින් දිවගියා වූ අම්බලන්ගොඩයා මද විරාමයක් සඳහා නතරවන්නේ තවදුරටත් තමාට අභියෝගයක් වන්නට පසුපසින් එලවන තරඟකරුවෙකු නොමැති වගට තහවුරු කරගත්තයින් අනතුරුවය. 

ඉන් මත්තට අම්බලන්ගොඩයා අනාත සාගරේ කුනාටු මාරුතේ හා සමානය. මං මුලාවී පාර අසාගෙන හසරක් අසමින් යනගමනේ... මංමුලාවූ සමනලියකගෙනි හර්දිකයා පාර අසා තිබුනේ...කියා අඬ අඬා කියන්නට තරම් පිචර් එක දුකේ බෑය. ඒ මොකද කියනවානම් භාෂාවක්, පාරක් තොටක් නොදන්නා රී..............................න්  කට් ....කට් ....කට් .... විමානයක අම්බලන්ගොඩයා අතරමන් වෙලාය. ඉහින් කනින් දාඩිය වැගිරෙන්නේ රටේ කීර්තිය උදෙසා වෙහෙසවූ නිසාය. දිව දත් වලින් හපාගෙන නොහිටින්නට ගිලෙනවා අම්මපල්ලය. පැය  භාගයකට මදකට එපිටින් කා දැමු චිකන් මසාලාව ආගිය අතක් නැතුවා වාගේය. වැඩිය එලිපහලියේ ගැවසීමද අනතුරුදායක වන්නේ හර්දිකයා කුමනාකාරයේ අමනකමක් සිදුකර පැනදිවුවාද කියා හරිහැටි නොදන්නා නිසාය. ඊටත් අමතරව හර්දිකයා පසුපසින් එලවා පැමිණි එවුනට හසුවුවාද කියා දන්නේද නැතිය. එහෙත් හර්දිකයා හසුවුවාද නැතිද කියා හරිහැටි නොදන්නා නිසා දුව ආ මග ආපසු යෑමද මෝඩ සහගත ක්‍රියාවක් වගට අක්මාව කියනවාය. මගතොට රැඳීම  ඉතාම අනතුරුදායක වන්නේ පාර කියූ සමනලිය කොහෙන් මතුවේදෝ යන සිතුවිල්ල කකුල් දෙක හිරිවට්ටන ගනයේ එකක් වන නිසාය. ඊටත් අමතරව හර්දිකයා පසුපසින් එලවා ආ ගොරිල්ලෙකු වන් තඩි හාදයාට හසුවුවහොත් ඇට මුං ඇට වන්නට මහා වෙලාවක් නොයනු අනිවාය. ඉවසීම කොතෙක් හොඳ ක්‍රියාවක් වුවත් ඉවසීමද විටෙක සැනසීම ගෙනෙනා ක්‍රියාවක් නොවන්නේ මෙවන් අවස්ථාවල ඉවසා වැදෑරීම ගොන්කමක් වන නිසාය. ඉක්මනින්  මද විරාමය අවසන් කල අම්බලන්ගොඩයා ඔටෝ රික්ශෝවක එල්ලෙන්නේ කලූල් වෙත ධාවනය බස් ධාවනය වන බස්පොළට ඇරලවන ආයාචනය සමගින්ය. ඒ මන්ද යත් හර්දිකයා ඇට  මුං ඇට වන්නටම ගුටි කා හෝ, පොලිස් කුඩුවේ ලැග හෝ අද හෝ හෙට හෝ අනිද්දා හෝ ගෙදර යන්නට කලුල් යන බස්රථයට ගොඩවිය යුතු නිසාය..


ඔටෝරික්ෂෝ කරුට රුපියල් පහක් පුදදී කලූල් බස් නවත්වනා පෝලිම තිබෙනා ඉසව්වේ බැම්මක් උඩට බරදෙන  අම්බලන්ගොඩයා ඈත ක්‍ෂිතිජය දිහා බලා සිටින්නේ ෂර්ලි වෛජයන්ත කියනා වර්ගයේ හැඩට රුවින් දිලෙන තරුව සොයන්නට නොවේය. එනම් හර්දිකයා කොහෙන් හෝ මතුවේ යන බලාපොරෝත්තුවෙන්ය.

 එහෙත් හර්දිකයා පෙනෙන තෙක් මානයක නැත්තේය. ගොඩයා පැටලී සිටින්නේ පඹ ගාලක වන් අවුලක නිසා කොනක් පටක් සොයනු සුම්මාය. එහෙත් එකට පැමිණි හර්දිකයා උන්නාද මලාද කියා බලන්නේ නොමැතිව හෝටලයට සැපත්වීම දකුණේ කොලුවෙකුට ගැලපෙන එඩිතර ක්‍රියාවක් නොවේය. ඒ හෙයින් හර්දිකයා මාස හයකින් හෝ පැමිණෙනතුරු කලූල් බස් නැවතුමේ ජීවත්වන්නට අම්බලන්ගොඩයා ඉටා ගන්නවාය. සාගත මල්ලේ තිබෙනා ස්ටෙප්ලර් ගැසූ මුදල් මිටිය අහවරවනතුරු තුන් වේල මොනවා හෝ බඩට දමාගෙන සිටීම මහා කජ්ජක් නොවේය. එවන් සිතුවිලි සමුදායක් විසින් කචල් කරනා ලද සිතුවිලි අම්බලන්ගොඩගේ මොලේ පිස්සු වට්ටන්නට ඔන්න මෙන්න තිබියදී මෙන්න බොලේ හර්දිකයා උගේ සාගත මල්ලද තුරුළු කරගෙන කලූල් නැවතුම දිහාවට මන්ගච්චනවාය..

හුරේ... වී... වොන්....

හර්දිකයාට නොතේරුණත් සිංහලෙන් කුණුහරුප කියා අමතන්නට සිත දෙන්නේ අන්න ඒ වාගේ වෙලාවටය.

දැන් මොකක්ද අපි දිනුවේ.. රේස් දුවලද..

හෙහ්.. උන් හිතන් ඇති අපි රුපියල් තිහක් දීල උන්ගෙන් බියර් ගනියි කියල..

මට වටේ යන්නේ නැතුව වෙච්චි දේ කියපන් හර්දික්.. උන් ඇයි උඹේ පස්සෙන් පැන්නුවේ..

හෙහ්..පස්සෙන් පැන්නුවේද... පස්සෙන් පැන්නුවේ මිත්‍රයා මම උන්ගේ බියර් බෝතල් දෙක මගේ බෑග් එකේ දාගෙන පැනල දුවපු නිසා.. මෙන්න උඹේ රුපියල් තිහ..

ඒ කියන්නේ උඹ උන්ට සල්ලි දුන්නේ නැද්ද..

පීස්සුද බං.. 

උඹනම් පුදුම මිනිහෙක් බං.. උඹ මට කියල ගියානම් මම ඔය පැත්තකවත් නෑවිත් ඉන්නවනේ..

සොරි මිත්‍රයා.. මට දුවගෙන එනකොට තමයි මතක්වුනේ උඹ මේකේ පාරක් තොටක් නොදන්නා බව.. ඒත් ඒ වෙද්දී අපි රේස් එක පටන් අරන් ඉවරයි සහෝදරයා..

දැන් කෝ උන්...

මම දන්නේ කොහොමද මිත්‍රයා.. උන් අල්ලයි මගේ වලිගෙ.. 

ඒ උනාට මාව අහුවුනානම්..

හරි ඉතින් අහුවුනේ නැහැනේ.. දැන් යමන් අපි ඊළඟ බස් එකේ කලූල්..

ඉන් අනතුරුව බස් නවතුවමට ලගා වූ බස් රථයේ පෙර පරිදිම ඉනිමගේ තරඟයෙන් ජය ලද හර්දිකයා වහලයට ගොඩ වෙද්දී අම්බලන්ගොඩයා ඇතුලේ අසුන්ගත වනවාය. පෙර පරිදිම අට අනූවක් රෝගද නව අනූවක් ව්යාධිද තිබුනා වූ මලකඩ හැලෙනා රථයක හර්දිකයා සහ අම්බලන්ගොඩයා කලූල් වෙත සැපත්වී මහේන්ද්‍රාවක එල්ලේ හෝටලයට ලඟාවනවිට ඉර හැරිලාත් ටික වෙලාවක් ගිහිල්ලාය. ඉන් අතරුව ආරම්භ වූ මෙලෝ රහක් නැති බීර සාදයේ සාදර සමාදර අනුග්‍රාහකයා වූ හර්දික් මිත්‍රයා මදක් බමන මතින් වචන පටලද්දී අම්බලන්ගොඩයා බීර බෝතලය එක හුස්මට බී අහවර කලද මෙලෝ කික් එකක් නැතුවා නිසා කෝකටත් කියා බීර බෝතලය පරීක්ෂා කර බලනවාය.

ඈ බන් හර්දික්.. උඹ මේ බියර් බෝතල් දෙක ගෙනාවේ හොඳට බලල නේද..

ඒ මොකෝ..

මේකේ ලේබල් එක වැරදිලා ගහලද මන්ද...

ඒ කිව්වේ..

මේකේ තියෙන්නේ ඇල්කොහොල් ප්‍රමාණය 0% කියලනේ..

හෑ... වෙන්න බෑ...

වෙන්න බැරි මොකෝ.. මේ බලපන්...

කෝ දෙන්න බලන්න..


අපරාදේ අපි දිව්වේ මිත්‍රයා.. මේ බෝතලේ කලූල්  ස්ටෑන්ඩ් එක ගාව කඩේ රුපියල් දෙකයි.. හර්දිකයා එසේ කීවද ඇල්කොහොල් 0% තිබෙනා බීර බෝතල ගුජරාටයේ තහනම්හ නොමැති නිසාය. එහෙත් ඇල්කොහොල් නොමැති බීර බී වචන පටලා ඩෝප් සීන් ඇක්ට් කරන්නේ කෙසේද කියා අම්බලන්ගොඩයා අදටද දන්නේ නැතිය. ඉන් අනතුරුව අම්බලන්ගොඩයා මෝති මහල් හෝටලය වෙත සෑම බදාදාවකම යහපත් වුවද ඒ වෙනුවෙන් හර්දිකයා සහභාගී කරගත්තේ නැත්තේ හර්දිකයා ඊළඟට කොයි ආකාරයේ පරිප්පු නැවක් බාන්නට බාරදෙවිදෝ යන්න සැක සහිත නිසාය. අම්බලන්ගොඩයාට අදටත් නොවිසදුනා වූ ප්‍රශ්නය නම් ගුජරාටයේ ඇල්කොහොල් නොමැති බියර් විකුනන්නේ කාට පොවන්නටදෝ කියාය.




හර්දික්  වමේ.. අම්බලන්ගොඩයා මැද.. පසුපසින් වැඩ ඉන්නේ අපේ ස්ටාෆ් බස් රාජයා. ඒකත් ලංකාවේ බෝතල් පත්තර කාරයෙක් දැක්කොත් ප්ලාස්ටික් බේසමක් ෂුවර්.. ඔය තියන බස් රාජයා අම්බලන්ගොඩයා සමග ගුවන්ගත වෙච්චි කතා පසුවට.. 





56 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මාත් එක්කත් හිටිය රජෙස්තාන් යාළුවෝ දෙන්නෙක් උනුත් කුකුලට වගකියනව ලෙසට එකමදේ කුකුළු මස් උයන්න ඕන උනාම මට කතා කරනව.පස්සෙ පස්සෙ උන් මට නොකියම කුකුලට වගකිව්ව.උන්ගෙ ගමේ යලුවෙක් ආවත් අපිට කියල තියෙන්නෙ උන්ටවත් මස් කන බව කියන්න එපා කියල.මචෝ උබට බස් එකේ උඩයි යන්න තිබුනෙ.මොකද ඒ අද්දැකීම ලබන්න පුලුවන් ඔන්ලි ඉන් ඉන්දියා විතරයි.එතකොට අපිත් එක්ක අගුලෙ ගිහිල්ල මුහුදෙ නෑව දෙන්නගෙන් එකෙක්ද හදීක්?මට උන්දෙන්නගෙ නම් මතක නෑ.හැබැයි අපි දුන්න ෆන් එකක් ඔන්ලි ඉන් ශ්‍රී ලංකා වෙන්න.මතකද උබට 😊ඇයි උබ ස්ටාෆ් බස් එක දවසක් එලවල හැමදාම උබට බස් එක එලවන්න උන සීන් එකත් ලියපන් 👍

    ReplyDelete
    Replies
    1. අන්න එහම මුට සප් එකක් දීපන් අපිට තව ඉල ඇදෙන කතා ටිකක් අහගන්න

      Delete
    2. ඔය උඩ ඉන්නෙ චමිල වනාහි බතලයාද, තඩියද? ආං එහෙම උඹ දන්න එව්ව උඹ කොමෙන්ට් වසයෙන් යටිං ලියපං මචෝ.

      Delete
    3. ආ බන් චමිලයෝ... උඹ කියන විදිහට බස් එකේ උඩ ගියානම් ලංකාවට එන්නේ මගේ ඩෙඩ් බොඩිය තමා...
      ඔව් ඔව් අර උඹල කට ගොන්නක් බලු ලේබල් පොවලා හුලං පුම්බපු බස් ටියුබ් එකක නග්ගල ඒ ටියුබ් එක ලණුවකින් අඟුලේ ගැටගහල ගඟ දිගේ ඇදන් ගිය එකා තමා හර්දික්. නොවදිනා වැඳුම් වැඳලා මුහුදෙන් ගොඩගත්තෙත් ඌම තමා.. අනික් එකා රාජු.. උන්ට ඒ සැප ඉතින් ඔන්ලි ඉන් ශ්‍රී ලංකා තමා..

      Delete
    4. චමිල වනාහි තඩියා වේ..

      Delete
    5. මෙන්ඩෝ ඔය චමිලය ලියන්න කියන වැඩි හරියක් කතා ලියන්න පුළුවන් එව්වා නෙවෙයි බන්..

      Delete
  3. අරූ අම්මගේ පොරක්නේ මචෝ....
    උබ කියන විස්තර ඇහුවහම ඉන්දියා ගිහින් එන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හර්දික් සුපිරි පොරක් තමා බන්.. මට වැඩ වැඩි වුනාම හර්දික් එනවා ලංකාවට.. එහෙම ආවාම හර්දික් තනියම යවන්නේ නැහැ කව්රුහරි ගෝලයෙක් එක්ක තමා ලංකාව වටේ යවන්නේ.. එහෙම ආපු වතාවක අපේ ලොක්ක යවපු ගෝල තැන හර්දික්ට පාර්ට් එකක් දාල අපේ හර්දික් කාරය මහියංගනේදී මග පෙන්නන ගෝල තැනට වංගුවක් දාල තනියම බස් එකේ නැගල කොළඹ ආව කියහන්කෝ.. අරූ ගිනි රත්වෙලා මුව රට පුරා හොයනවා..

      Delete
  4. විලිලැජ්ජැවේ සන්තෝශෙ බෑ මාත් ඉන්දියන් එකෙක්ට වැඩිගානක් දීල ගත්ත බියර් ටිං දෙකක්ම බීල ඉවර උනාට පස්සෙ තමයි දැනගත්තෙ ඇල්කොහොල් ෆ්‍රී බියර් කියල ජාතියක් තියනව කියල :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් විලි ලැජ්ජාවේ පන යන වැඩක් තමා බන්.. මොන මගුලකට විකුනනනවද මොන මගුලකට බොනවද කියල හිතාගන්න බැහැ බන්..

      Delete
    2. සෞදියේ තියෙන්නෙත් ඔය මළහත්තිලව් බියර් තමා...
      මෙලෝ වැඩකට නැහැ, ඒත් ඉතින් නැති කමට අපිත් බිව්වා ඒ දවස් වල...
      පස්සේ වතාවකමම මිදී වයින් හදලා බිව්වා...
      ඒ අස්සේ ඉඳල හිටලා කසියා පාරවලුත් රහ බැලුවා...
      ඔර්ජිනල් පෙප්සි කෑන් එකේ එන කසියා තියෙනවා බං එහෙ...
      එකම වෙනස තියෙන්නේ ඒ කෑන් එබෙනවා, කාබන් ඩයොක්සයිඩ් ගහල නැති නිසා...

      Delete
    3. ඔරිජිනල් පෙප්සි කෑන් එකේ කසිප්පු එනවා කියන්නේ ඔය කසිප්පු බිස්නස් එක කරන එවුන් පොඩියට කරන ව්‍යාපාරයක් නෙවෙයි කියන එකයි ලොකු පුතා..

      Delete
  5. මදැයි ඔච්චර දඟලල උඹල බීල තියෙන්නෙ අන්තිමට සෝඩ ද කොහෙද. හැක්..
    අර කිවුවත් වගේ බොටත් යන්න තිබුනෙ බස් එකේ වහල උඩ.

    ReplyDelete
    Replies
    1. සෝඩා නෙවෙයි බන්.. ඒ බෝතලේ ලංකාවේ ලයන් බියර් බෝතලේ වගේමයි.. කිසිම පැණි බීම පෙනුමක් තියන බෝතලයක් නෙවෙයි.. තනිකර බියර්.. ඒත් බවුසරයක් බිව්වත් කිසිම කික් එකක් නැති එක තමා ප්‍රශ්නේ..

      Delete
  6. ඔය බස් එක වේගෙන් යනකොට දෙදරන්න පටං ගන්නෙ ප්‍රොපෙලර් ශාෆ්ට් එකට තියෙන යුනිවර්සල් පූට්ටු ගෙවුනාම. ලංකාවෙත් සමහර බස් වල ඔය ලෙඩේ මම අත් දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. යුනිවර්සල් ජොයින්ට් එක ගෙවුනාම තමා ඕක දෙදරන්නේ.. ඒ කාලේ කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් එකක් තිබ්බ වේගය සීය වගේ පැන්නාම හිටගෙන ඉන්න එවුන් ඇඟිලි තුඩු වලින් තමා ඉන්නේ.. වාඩිවෙලා ඉන්න එවුන් සීට් එකෙන් පහලට රූටනව.. කට වහගෙන දත් ටික තදින් විකාගෙන හිටියේ නැතිවුනොත් හිතෙන්නෙම දත් ටික ගැලවිලා බිම වැටෙයිද කියල බන්..

      Delete
    2. පිස්සුද ඒ රේඩියෝ එකේ සද්දේ වැඩි කරහම තමයි දෙදරන්නේ

      Delete
  7. ඉදකිං විතරක් බෝල්ට් වගේ බෝල්ට් පටලං දිව්වට දුවල තියෙන්නෙ ඇල්කොහොල් ෆ්‍රී බියර් බොන්ඩද බං. හම්මියෝහෛහේ...
    හැබැයි ලොවෙත් පස්ටෙට ලියල තියෙයි හිටං
    ජය

    ReplyDelete
    Replies
    1. අනේ බං මම ඉතින් දුවපාන් කිව්වාම දිව්වා මිසක් දිව්වේ මොකටද කියල දන්නේ නැහැනේ.. නැත්තම් කීයටවත් රුපියල් තිහකට තියා ලක්සෙකටවත් ඒ තරම් දුරක් දුවන්නේ නැහැ බන්.. ගුජරාට්වල ඇල්කොහොල් තහනම් නිසා මම හිතුවෙන හර්දිකයා බාල්දියක් පෙරලගත්ත කියලයි.. ස්තුතියි මහේෂ්..

      Delete
  8. හිනාවෙලා පණගියෝ....අහ් මේ වි...න් නේද ?

    ReplyDelete
    Replies
    1. හෆොයි.. ඇත්තටම මෙව්වා කියෝලා හිනා වෙලා පන ටික ගියොත් අහිංසක මට උසාවිගානේ ලගින්න වෙයි.. ඒ නිසා මීට පස්සේ පන නොයන ගානට කියවන්න බලමු ඈ...

      නෑ මේ උගේ කිරි අත්ත..

      Delete
    2. අනේ උඹේ අහිංසකකම !!

      Delete
  9. ඇල්කොහොල් නැති බියර් හොරෙන් විකුනන්න ඔ්නේ නෑනේ. උන් හදන්න ඇත්තේ හර්දිකයාව රවට්ටන්න වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඔව්.. උන් හැදුවේ හර්දිකයව ගොනා කරන්න.. හර්දිකය උන්ව මීම කරා.. එත් ඉතින් ඇල්කොහොල් නැති මගුලක්නේ බන්..

      Delete
  10. Laughed so much... thank you. I think these things happen only in India.

    ReplyDelete
  11. //දෙවන ප්‍රශ්නය නම් මේ ගමන් කරනා ටොයෝටා බස් රථයේ එන්ජිම වෙනුවට පාර තලන වයිබ්‍රේටර් යන්ත්‍රයක් සවිකරලාදෝ යන ප්‍රශ්නයය.// මම අර වන්දනා ගමන ගිය වෙලෙත් දැක්කා ඔය වගේ බස් එනවා වහලේ ඉඳන් පුරෝගෙන. දෙපැත්තට වැනෙන විධිහට කොයි පැත්තට වැටෙයිද දන්නේ නැහැ වගේ? අමබලන්ගොඩ පණ බේරගන ආව එක ලොකු දෙයක්. හේ හේ එළ.

    ReplyDelete
    Replies
    1. රටක සිරි නරඹන්න සංචාරකයෙක් වගේ ගියාම දකින්න ලැබෙන දේවල් සහ ඒ රටේම එකෙක් වගේ ගියාම දකින්න ලැබෙන දේවල් බොහොම වෙනස් අජිත් අය්යේ..

      Delete
  12. දවල්ට බත් කන්ඩ ගෙදර ආපු ගමං බත් බෙදන්න කලිං හම්බුවෙන පණිවිඩේ තමයි.

    "ආං අර අම්බලංගොඩයිය අනික් කොටස ලියල දාල. මං බාගයක් කියෝනකොට තමයි ඔයා ආවෙ."

    ආං එහෙමයි තමුන්නැහැගෙ රසිකාවියො. බැලුවහම හර්දික් කියන්නෙත් බෙන්තර ගඟෙං එහා එකෙද්ද කොහෙද. ඇල්කොහොල් නැති බියර් දීල රවට්ටන්න හදපු එවුංවත් රවට්ටපු එකෙක්නෙ ඌ. පස්සෙ දවසක බඩකට පුරා කන්ඩ ලැබෙන්නැති උට අහමදාබාද් පේමන්ටෙකේදීම.

    ReplyDelete
    Replies
    1. චූටි මැණිකේ එදා හිටන්ම මගේ රසිකාවියක්නේ බං.. හ්ම්.. උඹත් බැලුවාම ඔරලෝසුවට බත් කන එකෙක් වගේ නෙහ්.. මම මේක පබ්ලිෂ් කරද්දී ලංකාවේ වෙලාව දවල් දොළහට බොහොම ලඟයි නේන්නම්..

      හර්දික් ඇවිල්ල සුපර් බඩ්ඩක් බං.. ඌයි මායි උගේ අප්පොච්චිගේ බජාජ් ස්කූටර් එකෙන් සෑහෙන්න තැන්වල ඇවිද්ද.. එක පන්සලක් තියෙනවා ඒ පන්සල ඇතුලට යද්දී විදේශිකයින්ට ටිකට් එක ඉන්දියන් රුපියල් තුන්සීයක් .. ඒත් ඉන්දියන් එවුන්ට රුපියල් දෙකයි... හර්දික් සහ අම්බලන්ගොඩයා එකතුවෙලා ගහපු ගැටේ පසුව ලියන්නම්කො. එතනත් හැබැයි කම්බි කූරු ගනින්න ගිහින් අනූ නමෙන් බේරුනේ හර්දිකයා කරපු ගොන් වැඩක් නිසා..

      Delete
  13. අර උඹ කියන වයිබ්‍රේටර් බස් ලංකාවෙත් දුවනවා බං ඉස්සර. මම හිතන්නෙ යුනිවර්සල් ජොයින්ට් ගියාම වෙන්න ඕනෙ එහෙම වෙන්නෙ.
    ඉන්දියානුවො බස් වල කෝච්චි වල වහලෙ උඩ යන්න හරිම මනාපයි නේද? ගාන්ධි ‍ෆිල්ම් එකෙත් ඕක තියෙනවා වගෙ මට මතකයි.
    අර බියර් එකෙත් බියර් රසයි සුවඳයි තියෙනවද?

    ReplyDelete
    Replies
    1. හ්ම්...සර්වලෝක පූට්ටුව ගෙවුනාම තමා බස් එක වයිබ්‍රේටර් එක වෙන්නේ..ඒත් ඉතින් බස් මුදලාලිලා ඔව්ව හදන්නේ නැහැනේ බන් දෙකට වෙන් වෙනකල්ම..මොකෝ ඔව්වයේ උන් යනවා කියලද..

      තුහ් විතරක් මතක් කරන්න එපා ඒ මල ජරාව ගැන.. මෙලෝ රහක් නෑ බන්..

      Delete
    2. ප්‍රයිවට් නෙවෙයි අම්බලංගොඩයා, සීටීබී වයිබ්‍රේටර් බස් තිබ්බා.

      Delete
    3. ඉස්සර සීටීබී බස් වලට සාපේක්ෂව දැන් සීටීබී බස් හුඟක් හොඳ තත්වේ තියනව නේද.. ඉස්සරනම් තනිකරම වයිබ්‍රේටර්ම තමා.. එව්වා හයියෙන් යනකොට දෙපැත්තේ තියන වීදුරු ටික ගැලවිලා හැලෙයිද කියල හිතෙනවා ඒ කාලේ.. එව්වයේ ස්ටියරින් වට ගණන් ප්ලේ..හෙහ්.. ගියර් දානකොට මඥ්ඥෝක්ක ගලවනව වගේ.. උන් මලාට ෆස්ට් එකෙන් එහාට ක්ලච් එක පාගන්නෙම නෑ..

      Delete
  14. Replies
    1. ස්තුතියි වාසිතය..

      Delete
  15. /* ..........ගුජරාටයේ ඇල්කොහොල් නොමැති බියර් විකුනන්නේ කාට පොවන්නටදෝ කියාය.........*/

    ලංකාවේ (සහ වෙනත් රටවල) ද තිබේ. හොඳම උදාහරණය ජින්ජර් බියර් ය. ඇල්කොහෙල් නැති වයින් ද තිබේ.

    ReplyDelete
    Replies
    1. නැහැ රසික.. ඒ බියර් එක සොෆ්ට් ඩ්‍රින්ක් එකක් නෙවෙයි.. ලංකාවේ ලයන් ලාගර් බියර් එක වගේම ඒ පාටම බියර් එකක්.. ඒත් වෙනස තියෙන්නේ මත්නොවීම විතරයි..

      Delete
  16. ජින්ජර් බියර්වල කොහෙද බන් බියර් රහක් එන්නෙ ? මූ නම් පල් මෝඩයෙක් ඔසී හිටියට ..

    ReplyDelete
  17. හර්දික් එළකිරි බුවෙක් නේ බං...
    තව පොඩ්ඩෙන් නැව් ගුටි කන්න වෙන්නේ. ඔය ඇල්කොහොල් ෆ්‍රී බියර් වලට ඉන්දියන් උන් වැඩිපුර මනාපයි...
    උන් ඒක බොන්නේ හරියට අපි ඇල්කොහොල් තියෙන බියර් බොනවා වගේ. උන් මානසිකව වෙරියක් ලබනවා කියල මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මටනම් එක දවසින්ම ඒ බීම එපාවුනා බන්.. මොන මගුලටද බන් මත් වෙන්නේ නැතුව බීල..

      Delete
  18. මෙව්වනේ කතා. ඔෆිස් එකේ ඉන්න ගමන් බැලුවේ. ලග එවුන් බලනවා මම මොකද තනියෙන් හිනා වෙන්නෙ කියල. ජය වේවා!

    ReplyDelete
  19. අයියේ, කතා නම් මෙන්න... ලංකාවෙත් තියෙනවා ඔය Alcohol free බියර්. අපේ කට්ටිය කාව හරි අන්දන්න ඕනේ උනාම පොවන්නේ ඒවා, දවසක් කෙනෙක් වමනෙත් දැම්මා වෙරි වෙලා.

    ReplyDelete
    Replies
    1. ඇල්කොහොල් නැති බියර් ලංකාවේ තියනව කියල මම දැනන් හිටියේ නැහැ. තිබ්බත් සාමාන්‍ය බාර්වල නම් විකුනන්න නැතුව ඇති මගේ හිතේ.. මොකෝ මේ තියන බියර් වලත් සැර මදි වෙච්ච රටේ ඇල්කොහොල් නැති එව්වා කාට විකුනන්න කියලද.. ස්තුතියි බුද්ධිකා..

      Delete
  20. මරු කතාව.. :D

    හොඳ වැඩේ බොන්න ගියාට... තව දුවන්න වෙන්න තිබුනේ...:D

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා නිර්මානි..සුට්ටක් බිව්වට අපි හෙන අහිංසක කොල්ලො අනේ..

      Delete
    2. අහිංසකයි කියන්නේ...අපි සුරා සුදුවෙන් තොරයි කාමයට පොඩ්ඩක් බරයි

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ආන්න ඒකයි කියන්නේ කොහේ ගියත් ජාඩියට මූඩිය සෙට් වෙනවා කියලා
    මොනාද බන් අර බියර් වර්ගේ ජින්ජර් බියර් ද :-D

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ඉතියෝපියාවට ගියත් එකෙක් සෙට් වෙනවාමයි.. ඒ බියර් ජින්ජි බියර් වගේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක් නෙවෙයි බන්.. ලයන් ලාගර් වගේම බියර් එකක්.. ඒත් ඇල්කොහොල් නෑ.. මටනම් මෙලෝ රහක් නෑ

      Delete
  23. අඩෝ අම්බලන්ගොඩයෝ මමත් මේ දවස්වල හයිද්‍රාබාද්

    ReplyDelete
    Replies
    1. බුදු සංතෝ බියර් බොනකොට ලේබල් එක බලල බීහං..

      Delete
  24. හිනාවෙලාම පණයනවා ඕං අයියේ මේ මම දන්නවනේ ..

    ReplyDelete
    Replies
    1. මේක කියවලා පණ ටික යවාගෙන මට නඩුවක් පටලන්නද හදන්නේ හැබෑටම..

      Delete