Tuesday, February 19, 2019

ආදරණීය ඇසංකොටේ




ඇසංකොටේ ගැන බ්ලොග් පොස්ට් එකෙක් ලියන්න කාලෙක හිටං ඕනෑකමක් තිබ්බට ඒක කෙරුනේ නැහැ දවසින් දවස කල් ගියා කියමුකෝ. බ්ලොග් පොස්ට් එකේ මාර්තෘකාව දැක්ක ගමන් අන්දමන්ද වෙන බ්ලොග් පාඨකයින්ට ඇසංකොටේ කියන්නේ කව්ද කියල හරියටම දැනගන්න වෙන්නේ බ්ලොග් පෝස්ටුව පහලට කියවාගෙන ගියායින් පස්සේ තමයි. මොකද ඒක මුලින්ම ලියලා බ්ලොග් පාඨකයින්ගේ කුතුහලය කියන මෙව්වා එක කඩලා දාන්න ගොඩයා උත්සහා කරන්නේ නැහැ. 

ඇසංකොටේ ගොඩයට හමුවෙන්නේ දෙදහස් දොළහ අවුරුද්දේ. එදා හිටං අද වෙනකල්ම ඇසංකොටේට තියන ආදරේ අංශු මාත්‍රයක් අඩුවෙලා නැහැ කියමුකෝ. ආදරේ කියන්නේ පුදුමාකාර හැඟීමක් උනත් ඒ ආදරේ කාලාන්තරයක් තිස්සේ එක හා සමානව අඩුත් නැතිව වැඩිත් නැතුව පවත්වාගෙන යන්න හැම ප්‍රේමවන්තයාටම බැරි කාරණයක්. ඒත් ගොඩයා ඇසංකොටේට තියන ආදරේනම් දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන් වෙනිදා ඉඳන් අද වෙනකල්ම එකහා සමානවම එහෙමමයි.  ඇසංකොටේ හමුවෙන්න කලින් ආදරවන්තියෝ සෑහෙන ප්‍රමාණයක් හිටියට ඇසංකොටේ තරම් ගොඩයාව බලාකියාගත්තු සහ ගොඩයාගෙන් අඩම්තේට්ටම් විදපු ආදර වන්තියෙක් මේ මිහිපිට නැති තරම්. ඒ හින්දම තමයි ඇසංකොටේ ගැන තනිකර බ්ලොග් පොස්ට් එකක්ම ලියන්න ඕන කියලා ගොඩයා තීරණය කරන්නේ. 

ගොඩයා ඉන්නේ ලංකාවේ නෙවෙයි කියල බ්ලොග් පාඨකයින් දන්නවනේ. ඉතින් ඕන ගොඩයා මේ රට ඇවිත් රස්සාවක් කරන්න ගත්ත කියමුකෝ. ඒ රස්සාවේ ගොඩයාට ලැබෙන්නේ සුදුසුකමට සරිලන වැටුපක් නෙවෙයි. ඉතින් ගොඩයා හොයලා බලනවා ගොඩයාට තියෙන සුදුසුකම් වලට සරිලන රැකියාවක්. ඔහොම රැකියාවක් සොයමින් ඉන්න අල්ලපනල්ලේ ගොඩයා අර්ධකාලීන රැකියාවක් විදිහට අවන්හලක සේවය කරනවා සුදුසුකමට සරිලන රැකියාවක් ලැබෙනතුරු. ලෝකේ දියුණුයි කියන රටවලට එන අපේ ලංකාවේ අයියලා මල්ලිලා තම තමුන්ගේ යාලු හිතමිත්‍රාදීන් එක්ක පසුකාලීනව කියන්නේ රටට පය ගහපු ගමන් තරු පහේ රස්සාවක් සෙට් වෙලා කිසිම අඩුවක් පාඩුවක් නැතුව සියල්ලම දහමෙන් සෙමෙන් විසඳුනා කියලා උනාට ඔය කියන අයියලාගේ මල්ලිලාගේ බහුතරයකගේ පටන්ගැනීම බොහොම සෝචනීයයි. ඒත් සමහරක් මිනිස්සු තමුන් සුදුසුකමට සරිලන්නේ නැති රැකියාවක නිරතවුනා කියල කියන්න අකමැතියි ස්ටේටස් කුඩුවෙන නිසා. හැබැයි ගොඩයා එහෙම නෑ.. ගොඩයා ලංකාව් ඉද්දි මල් හතට තරු පහේ ජීවිතයක් ගත කරත් රට ඇවිත් ජීවිතේ මහපොළොවේ තියාගත්තේ බින්දුවෙන්. රැකියාවක් නොකර සුදුසුකමට රැකියාවක් ලැබෙනකල් පිටකොටුවේ ස්ටේෂන් එක ගාව පිකට් කරන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා වගේ ගොඩයා කාලය කා දමන්න කැමති උනේ නැහැ. ඒ නිසා අහුවෙන ජොබ් එකේ එල්ලිලා දවසේ වියදම ශේප් කරගන්න ගමන් ගොඩයා උපරිම ට්‍රයි එක සුදුසුකමට ජොබක් සොයාගන්න. ඔන්න ඔය අතරේ තමා ගොඩයාට දෙවැනි රැකියාව සැට් වෙන්නේ. 

රැකියාව සුදුසුකම් වලට හරි වගේම වැටුපත් හොඳයි කියමුකෝ. ඒත් පොඩි පරහකට තිබ්බ කාරණය නම් ගොඩයාට ලැබෙන්නේ නයිට් ශිෆ්ට් එකක්. ලැබිච්ච අවස්ථාව අතාරිනත් බැරි නිසා ගොඩයා ජොබ් ඔෆර් එක ගන්නවා. ඒත් ප්‍රශනය නම් රෑ දෙකට ඕෆ් වෙලා ගෙදර එන්න විදිහක් නැතිකම. මොකද කියනවනම් ඔය කියන රැකියාව කරපු ප්‍රදේශයේ ඉඳන් ගොඩයා ඉන්න පලාතට එන අන්තිම බස් රථය එහෙන් පිටත් වෙන්නේ රෑ දහයට. එතනින් එහා පාරවල් ෆුල් හින්දුස්තාන්.. ආයේ වාහනයක් තියා  මිනිස් පුළුටක් නෑ රෑ දෙක වෙද්දී. ජොබ් එක අතාරින්නම බැරි නිසා ගොඩයා දැන් දහ අතේ කල්පනාව විකල්පයක් ගැන. ගොඩයා ඊට කලින් හිටපු පළාතේ නම් ෆුටාර් එකකින් ගමන් පහසුව සලසාගත්තත් අලුත් පළාතේ රෑ දෙකට ෆුටාර් එකෙන්  දිල්තෝ පාගල් හේ කරගෙන ගෙදර එන එක ටිකක් නෙවෙයි සෑහෙන්න අවදානම්. දන්න දන්නා එකාගේ අවවාදය නම් බුදු මල්ලියේ රෑ දෙකට නෙවෙයි රෑ දහයෙන් පස්සේ ඔය පාරවල්වල ෆුටාර් එකකින් යන එක බෙල්ල අතේ අරං පෙට්ටියක දිගෑදිලා ලංකාවට යන්න වෙන වැඩක් කියලයි. ගොඩයා ඔය කියන තරම් ඔව්වට භයක් නැතිවුනත් නොදන්නා රටක අවදානමක් අරං ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න බැරි නිසා ෆුටාර් විකල්පය හිතෙන අතෑරලා දාන්න ගොඩයාට සිද්ද වෙනවා. ඊළඟට තියන විකල්පය නම් කාර් කටුවක් ගන්න එක උනාට ඒකට හරහට හිටපු එකම කාරනාව නම් ගොඩයාට ඒ රටේ රියදුරු බලපත්‍රය නොමැතිකම. ඒක එහෙම වෙන්න හේතුව නම් රියදුරු බලපත්‍රය ගැනීමට ගොඩයාට අවශ්‍යතාවයක් එතෙක් ඇතිවී නොමැති වීම. ඊට ප්‍රධානම හේතුව නම් ගොඩයා ඊට කලින් හිටපු පළාතේ පැය විසි හතරේම බස් කොච්චි ධාවනය වීමත් මෝටර් රථයක් පුද්ගලික පාවිච්චියට තබාගෙන ඒ වෙනුවෙන් රක්ෂණ මුදල්, නඩත්තු, නැවතුම් ගාස්තු ගෙවීම අනවශ්‍ය කාරණයක් නිසාත් තමා. 

ඒ කියන්නේ දැන් ගොඩයාට ලැයිසමක් නෑ.. ලැයිසමක් ගන්න ගතවෙන කාලය බැලුවොත් අවම මාස හයකට එහා ගතවෙන කාලයක්. මාර්ග නීති සහ සඥ්ඥා සඳහා පවත්වන පරිඝනක පරීක්ෂණය සඳහා පෙනීසිටීමට ලැබෙන දිනය මාස තුනකින් එහා එකක් වීමත්, එම පරීක්ෂණය සමත්වීමෙන් පසුව මාර්ග පරීක්ෂණය සඳහා ලැබෙන දිනය මාස තුනත් හයත් අතර කාලයකින් එහා එකක් වීමත් නිසා ක්ෂණිකවම ලැයිසමක් ගැනීම හීනයක්. ඒ නිසා ගොඩයාට සිද්දවෙනවා වෙනත් විකල්පයක පිහිට පතන්න. ඔන්න ඔය අතරේ තමයි ගොඩයාට සිහිවෙන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් රථයක් පදවන්නට හැකියි කියන කතාව. ඉන් පස්සේ තමා ගොඩයා ගූගල් දෙවියන්ගෙන් අහල බලලා හොයාගන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් වසරක කාලයක් රථය පදවන්නට පුළුවන්ය කියන කාරනාව. ගොඩයා ලංකාවෙන් එද්දිත් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය රැගෙන ආවත් ඒක ඒ වෙද්දී කල් ඉකුත්වී තිබීම නිසා ගොඩයා හනික ලංකාවෙන් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය අලුත් කරලා කුරියර් එකේ ගෙන්නාගෙන ඊළඟට බහිනවා කාර් කටුවක් ගන්න වැඩේට. 

කාර් කටුවක් ගන්න වැඩේ ටිකක් විතර ඇඩ්වාන්ස් කියලා ගොඩයාට වැටහෙන්නේ කාර් ගන්න ගියාම තමා ඉතින්. අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් කාර් කටුවක් ගන්න ගොඩයා අතේ හල්ලි නෑ..

අපේ තඩියා ඒ කාලේ කොයියම් ගමනක් යන්න හැදුවත් ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න හැදුවත් ඕක තමා උගේ කටේ තිබ්බ පලවෙනි වචන දෙක.. හල්ලි නෑ.. මොකද ඌ හම්බු කරපු සල්ලි ඔක්කොම වගේ වියදම් කරේ පෙම්බරිය හමුවෙන්න යන්න, ලියුං ලියන්න පිටු එකසිය අසූවේ පොත් ගන්න වගේ එව්වට තමා... ඔව් හත් ඉලව්වේ ඔව්... ඒ කාලේ අපේ තඩියා පෙම්බරියට යැව්වේ ලියුං නෙවෙයි ලියුං ලියපු පොත්.. ඒ එක ලියුමක් සාමාන්යෙන් පිටු එකසිය අසූවක් විතර දිගයි. තඩියාගේ එවකට පෙම්වතිය ඔය ලියුං කියවලා අපේ තඩියාටත් පිටු එකසිය අසූවක විතර ලියුං පොතක් එවනවා ඉතින්. බොලා අපේ තඩි එකාට අපහාස කරනවා නෙවෙයි ඔන්න.. ඌ ඒ කාලේ හිටං හෙන ප්‍රේමවන්තයා බොක්කෙන්ම.. තඩියා ඒ කාලේ බෝඩිමට ඇවිත් උදේට ලියුමක් ලියන්න ගත්තාම අපි රෑට කාලා නිදාගන්න යද්දිත් තඩියා ලියුම ලියල ඉවර නෑ.. ඔය ලියුං ලිවිල්ලේ තිබ්බ වාසිය නම් ගෙවල්වල වැඩිහිටියන් ලියුං හොයන්නේ අහුමුලුවල නිසා තඩියාගේ ලියුං ගෙදරට මාට්ටු උනේ නෑ කවදාවත්. මොකද කොයි වැඩිහිටියද හත් ඉලව්වේ හිතන්නේ ලියුං වෙනුවට එන්නේ පොත් කියල. ඉතින් පොතක් පෙරලලා බැලුවත් ඇතුලේ ලියුං නෑ.. ඒත් පෙරලලා බලන්නේ ලියුමම තමා කියල වැඩිහිටි පාර්ශවය දන්නේ නෑ.. කොහොමද තඩියාගේ මොලේ. ... හැක්..

තඩියා ගැන ලියන්න ගිහින් ගොඩයා කැලේ පැන්නා උනාට ගොඩයා ලංකාවේ ඉද්දි ඇතිවෙන්න වාහන පැදලා තියෙන නිසාත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගන්න ගොඩයාට ඕනකමකුත් නෑ. තුට්ටු දෙකට ගන්න ඕනෑතරම් වාහන තිබ්බත් එව්වයේ අයිති කාරයෝ ට්‍රයල් එකක් බලන්නවත් ගොඩයා අතට යතුර දෙන්නේ නෑ ගොඩයා අතේ ලැයිසමක් වෙනුවට තියෙන්නේ කාර්බෝර්ඩ් පොතක් නිසා. ඔන්න ඔය විදිහට කාර් කටුවක් ගන්න සිහිනයත් දවසින් දවස පස්සට ගියා කියමුකෝ.. ඔය අතරේ ගොඩයා අර්ධකාලීන රැකියාව කරපු අවන්හලේ එකට වැඩකරපු චන්දන ( අනවර්ථ නාමයක් ) කියන පොරගෙන් ගොඩයා විමසනවා කාර් කටුවක් ගන්න විදිහක් ගැන.

ඒ වෙද්දී ගොඩයා ලංකාවේ උදවිය යම්තාක් ප්‍රමාණයක් අඳුනාගෙන හිටියත් කාර් එකක් ගැනීම සම්භන්ධව ඇහුවාම උන්ගේ දෙන්නේ හෙන ලොරි ටෝක්. උන් කියන්නෙම ඔය ඉන්ටර්නැෂනල්  ලැයිසන්  වලින් වාහන පැදලා හිරේ විලංගුවේ වැටෙන්න එපා කියලයි. ඒ අතරේ කියන්නේ ලංකාවේ වගේ නෙවේ මෙහේ වාහන එලවන්න හෙන අමාරුයි ඔව්ව කරන්න ගිහින් අමාරුවේ වටෙන්න එපා කියන එක. ඒ කියන උදවියගේ ලංකාවේ ඉතිහාසය නිකමට වගේ ඇහුවාම උන් ලංකාවේදී රෝද හතරේ වාහනේක තියා ත්‍රීවීල් කටුවකවත්  රියදුරු ආසනේ වාඩිවෙච්ච නැති එවුන්. කොළඹ රටේ හැම අස්සක මුල්ලකයි ලංකාවේ වටෙමයි ඇතිවෙන්න වාහන එලවපු ගොඩයාට එව්වා ඇහෙද්දී නම් පස්සපැත්තෙනුත් හිනා. වාහන එළවිල්ලේ ගොඩයාට තිබ්බ ලොකුම අභියෝගය නම් රියදුරු ආසනය වම් පැත්තට මාරුවුනාම තියන වෙනස විතරමයි. ඔය ලොරි ටෝක් දෙන උදවියගෙන් බහුතරයක්ම,  මලාට දන්නා කියන පයින් යන එකෙකුට රයිඩ් එකක් ඔෆර් කරන්නේම නැති තරම්. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමා ගොඩයා චන්දනයාගෙන් කාර් කටුවක් ගැන අහන්නේ.

චන්දන ලංකාවේ රැකියාව කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ අමාත්‍යංශයක. ඔය කියන අමාත්‍යංශයේ චන්දනයා කරපු රැකියාව ඒ තරම් ලොකු එකක් නොවුනත් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලදී චන්දනයා ටිකක් විතර ප්‍රසිද්ධ පොරක්. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසාද කොහේ චන්දනයා දවසේ පැය විසිහතරේම ඉන්නේ මොකක්දෝ ලොකු අවිස්වාසෙකින්. කොටින්ම කියනවනම් චන්දනයා හෙවනල්ලවත් විශ්වාස කරපු එකෙක් නෙවෙයි. කොයිදේ ඇහුවත් චන්දනයා දැක්කේ ඒකෙ සෘණාත්මක පැත්ත මිසක් ධනාත්මක පැත්ත නෙවෙයි. චන්දනයා සහ ගොඩයා දෙදෙනාම රැකියාව අහවර වෙන්නේ රාත්‍රී දහයාමාරට වුනත් චන්දනයා කවදාවත් ගොඩයාව අඩුම තරමේ මගට ඇරලන්නවත් ඉදිරිපත් වුනේ නැහැ. චන්දන උන්දෑගේ ටොයෝටා කොරොල්ලාවේ නැගීලා ඉගිලෙන්නේ ගොඩයා දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැතුව. ගොඩයා රෑ දහයාමාරට ඕෆ් වෙලා රාත්‍රී එකොළහට එතනින් යන අන්තිම බසයෙන් තවත් බස් නැවතුමක් වෙත ගොහිං එතනිනුත් තවත් බස් රථයකට ගොඩ වෙලා නවාතැනට යද්දී හැමදාම රෑ දොළහමාරයි. ඒත් චන්දනයා යන පාරේ ගොඩයාව දෙවැනි බස් නැවතුමට ඇරලුවානම් ගොඩයා රාත්‍රී එකොළහයි කාල වෙද්දී ගෙදර. ඒත් චන්දනයා කවදාවත් ගොඩයාට ඒ උදව්ව කරේ නෑ. 

ගොඩයා ඒ කියන අවන්හලේ අර්ධකාලීන රැකියාවක් කලේ ගොඩයා ඉගෙනගත් වෘත්තියකට අදාලව රැකියාව ලැබෙනතුරු නිසා චන්දනයා ඇතුළු අනික් උන් ගොඩයා අවතක්සේරුවට ගැනීම ගැන ගොඩයාට ඒ තරම් තැකීමක් තිබුනේ නෑ.  සමහර වෙලාවල් වලදී දෙතුන් දෙනෙකුගේ වැඩ ගොඩයා තනියම ඇද්දත් එව්වා ගැන වැඩි තැකීමක් නොකළේ ඒ රැකියාව ගොඩයාගේ අවසන් නවාතැන නොවෙන නිසා. අවන්හල් සහ හෝටල් කරුමාන්තය ඇතුලේ චන්දනයා සෑහෙන්න පළපුරුදු පොරක් උනත් ඒ අවන්හල ඇතුලේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර්. ඒත් චන්දනයා නිතර ඉන්නේ පරිසරය ගැන බොහොම අවිස්වාසෙන් නිසා උන්නැහේට නියමිත වැඩ ඇරුනාම අල්පෙනෙත්තක වැඩක් උන්දෑ කරේ නැතිම තරම්. ගොඩයාට වඩා සීනියර් සේවක තැන ඕඩර්ස් දීමට පමණක් උපන් හපනෙකු වීමත් අවාසියට හිටියේ ගොඩයාටම තමා. ජීවත් වීමට රැකියාව කරන  සහ රැකියාව කිරීමට ජීවත්වෙන පුද්ගලයන් දෙපිරිස අතරේ ගොඩයා වනාහි ජීවත්වීම පිණිසම පමණක් රැකියාව කරන්නෙක් නිසා ඕනෑම අදාළ හෝ අදාළ නොවෙන වැඩක් කර දමා සංතෝසෙන් ගෙදර යාම ගොඩයාට සිම්පල්. ඒ නිසා චන්දනගේ ලේබර් ලෝ සහ අනික් එකාගේ හාර්ඩ් ටයිම් ගොදයාට මෙලෝ වගක් නෑ. ඒ වගේම රැකියා ස්ථානයේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර් උනත් ඉහ නිකට පැහුණ වයසක පොරක් වෙච්ච චන්දනයාට ගොඩයා කවදාවත් හාර්ඩ් ටයිම් දෙන්න උත්සහ කරෙත් නෑ. අවන්හල වසා ගෙදර යන අවසන් සේවකයින් දෙදෙනා වශයෙන් කරන්නට සෑහෙන්න වැඩ රාජකාරී තිබුනත් චන්දනයාට බර වැඩ නොදෙන්න ගොඩයා නිරන්තරයෙන් උත්සහ කළා. ඔය වගේ වාතාවරණයක් යටතේ ගොඩයාට සමීපම ශ්‍රී ලාංකිකයා වශයෙන් කාර් කටුවක් හොයාගන්නා මාර්ගය දැනගන්න ගොඩයා චන්දනයාගෙන් උපදෙස් පතනවා අලුතෙන් යෑමට යෙදෙන රැකියාවට යන්න එන්න කාර් කටුවක් ගැනීමේ අවශ්‍යතාවය ඉතාමත්ම දැඩි එකක් නිසා. ඔන්න ඒ දෙබස මෙහෙමයි..

චන්දන අය්යෙ.. උඹ දන්න කාර් එකක් නැද්ද මට ගන්න..

කාර් ගන්න කෝ උඹට ලයිසන්..

හරි බං.. උඹට ලයිසන් වැඩක් නෑනේ.. මට දන්න කියන තැනකින් කාර් එකක් ගණන් විදිහක් සෙට් කරහන්..

ඉතින් ඔය තියෙන්නේ බං ඔනතරන්.. ඔන්ලයින් ගිහින් සර්ච් කරලා බලහන්කො..

හරි බන්.. තියෙනව තමයි.. මට තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලැයිසන් එක නිසා මිනිස්සු ට්‍රයල් එකක් යන්න වාහනේ දෙන්න බයයි බන්..

හරි.. දැන් උඹ දන්නවද ඔය ඉන්ටර්නැෂනල් එකෙන් වාහනේ එලවන්න පුළුවන් කියල..

ඔව්.. හරියටම අවුරුද්දක් පුළුවන්.. 

කාර් එකක් තියෙනව.. හැබැයි ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

ඒ මොකෝ බං ඒ.. ඇයි ලංකාවේ එවුන්ගේ සල්ලි නීත්‍යානුකුල සල්ලි නෙවෙයිද..

එහෙම නෙවේ.. ලංකාවේ දන්න කියන එවුන්ට ඔව්ව වික්කාම උන් මාසෙන් දෙකෙන් ඔව්ව කඩාගෙන අපේ පස්සේ එනව.. ඒ නිසා ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

හරි බං.. මම උඹෙන් කාර් එක අරං ආයේ උඹ පස්සේ එන්නේ නෑ.. මට ඔය කාර් එකේ ගාන කියහන්කෝ..

ගාන දෙදාහයි... සතයක්වත් අඩු නෑ.. ඒත් උඹට දෙන්නේ නෑ.. උඹ ඕක කැඩුනොත් උඹ මං පස්සේ එනව..

නෑ බං නෑ.. උඹ හිතුවද මම මේ ජීවිතේට ගන්න පලවෙනි වාහනේ කියල.. යකෝ මම ලංකාවේ ඇතිවෙන්න වාහන පැදලා ආපු එකෙක්.. මං ඕක ඉල්ලන්නේ යන්න එන්න විදිහක් නැති නිසා මිසක් කසාද බඳින්න නෙවෙයි බන්.. ඕක මට දියන්..

බෑ බෑ බෑ.. උඹල ඔය කිව්වට ඔව්ව කැඩුනාම අපිට මල වදේ..

පිස්සුද බං චන්දන අයියේ.. වාහනේ දියන්.. උඹලෑ ගෙදරින් අරං යදිදී කැඩුනත් මම ආයේ උඹ පස්සේ එන්නේ නැහැ බන්. අනික උඹලාට ඔව්ව හදන්න කරන්න ලොකු සල්ලි ගියාට මට ඕක ගලවලා රෙපෙයාර් එකක් කරගන්න එක සිම්පල්..

හරි බලමු.. මම අපේ වයිෆ්ගෙන් අහල බලන්නම්.. වාහනේ අපේ වයිෆ් පැදපු කාර් එක.. ඊයේ පෙරේදා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් හදලා ගෙදර ගෙනල්ල තියෙන්නේ. වයිෆ් ලංකාවේ කෙනෙකුට විකුනන්න කැමති උනොත් උඹට මම කෝල් එකක් දෙන්නම්..

ෂුවර් නේද..

හරි ෂුවර්..

ඔන්න ඔය වගේ තමයි ඒ සන්වාදය ඉවරවුනේ. චන්දනයා කොහොමෙන් කොහොමහරි ගොඩයාට දුරකථන ඇමතුමක් දෙනවා වාහනේ දෙන්න කැමතියි කියල.  ඔන්න ගොඩයා යනවා ඊට පහුවදා උදේක වාහනේ බලන්න..

අප්පට සිරි.. ගනුදෙනුව කතා කරාට වාහනේ ජාතියක් ජම්මයක්වත් ගොඩයා ඇහුවේ නැත්තේ ඒ වෙලාවේ ගොඩයාගේ අවශ්‍යතාවය රෝද හතරක් තියන වාහනයක් මිසක් බ්‍රෑන්ඩ් නේම් එකක් නොවෙන නිසා. ඒ නිසා ජාතිය පිටසක්වල එකක් උනත් ගොඩයා වාහනේ අනිවා ගන්නවා ගන්නවා ගන්නවාමයි. ඔන්න ගොඩයා චන්දනගේ ගෙදරට සැපත් උනා කියමුකෝ.. මෙන්න තියෙනවා නහය මුක්කන් වෙන්න හැප්පිච්ච හුන්ඩායි ඇසන්ට් කාර් එකක්. හැදුවා කිව්වට ඉස්සරහා ඇද ඇරලා නෑ. චන්දනගේ වයිපරේ කොහේ හරි ඉස්සරහින් ගිහිපු පින්වතෙකුගේ වාහනේක පස්සපැත්තෙන් ඇනපු තාලයක් තමා පෙනුමට තිබ්බේ. වාහනේ එක පැත්තක හෙඩ් ලයිට් එක අලුතෙන් දාල තියෙන විත්තිය පැහැදිලිව පේන්න තිබ්බ. හැප්පුනා උනත් පාරේ දුවන්න පුලුවනිනම් ගොඩයාට ජාතකේ අනවශ්‍ය නිසාත්, ගොඩයාගේ රියදුරු බලපත්‍රයේ ප්‍රශ්නය නිසා නොදන්නා කෙනෙක් වාහනයක් නොදෙන නිසාත් ඔය කියන කාර් කොටේ ගොඩයාට මසුරන් පහයි. ගොඩයාට ඕන කොහොම හරි සුන්දරී ගෙදර අරං යන්න. ඔන්න ගොඩයා චන්දනයාගෙන් යතුර හෙම ඉල්ලගෙන ගොඩවෙනවා රියදුරු අසුනට. ගොඩයා ජීවිතේ පලවෙනි වතාවට වම් පැත්තෙන් එළවන්නයි දැන් මේ හදන්නේ.. ඒ අතරේ චන්දනයා සුපුරුදු විදිහට ආයෙත් නාහෙන් අඬනවා.

උඹට ෂුවර් එකකට ඩ්‍රයිවින් පුළුවන් නේද..

චන්දන්යෝ.. උඹ මගෙන් කුණුහරුප නාහ නැගහන් ට්‍රයල් එකක් යන්න..

මොන ට්‍රයල්ද දෙයියෝ.. චන්දනයා ඩ්‍රයිවින් සීට් එකේ එල්ලිලා.. ඔන්න ගොඩයාට මල පැන්න..

චන්දනයෝ.. උඹ ඉස්සෙල්ලම වාහනයක් එලෙව්වේ කොයි අවුරුද්දේද..

දෙදාස්  හතරේ..

එතකොට උඹ ලයිසන් ගත්තේ කොයි අවුරුද්දේද..

දෙදාස් හතරේ තමා බන්..

ඒ කියන්නේ මේ රටට ඇවිත්..

නැතුව ඉතින්..

එහෙනං XXX උඹ දැනගනින් මං ඉස්සෙල්ලම වාහනක්  එලවද්දී තෝ වාහනේක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නෑ.. උඹ දැන් තීරණය කරහන් මම ට්‍රයල් එකක් බලන්න යනකොට උඹ එනවද නැද්ද කියන එක විතරක්.. 

ගොඩයා එහෙම කියාගෙන කාර් එක රිවස් එකට දැම්ම.. ඔන්න චන්දනයා කාර් එකේ බොනට් එක උඩින් පැනල ඇවිත් පැසෙන්ජර් සීට් එකේ වාඩිවුනා.. මොකද එහෙම නොකරොත් ඒ වෙද්දී ස්ටාර්ට් කරලා රිවස් එකට දාල තිබ්බ වාහනේ චන්දනයා එතන දාල යන විත්තිය උන්නැහේට තේරුනා.. දැන් කාර් කොටේ චන්දනගේ නෙබර්හුඩ් එකෙන් එලියට දැම්ම කියමුකෝ.. මෙන්න මූ ආයෙත් නාහෙන් අඬනව..

හරෝපන්.. දැන් ඇති.. හරෝපන් ගෙදර යන්න.. ඔය ඇති.. ට්‍රයල් බලන්න මීටර් සීයක් ගියාම ඇති..

ඒ මොකෝ බන්..

උඹේ ඔය කාර්ඩ්බෝර්ඩ් ලයිසන් එකෙන් මේක එළවලා පොලිසියට අහුවුනොත් මාත් ගස්.. උඹ මේක සල්ලි දීල අරං ගිහින් ඕන මගුලක් කරගනිං.. දැන් හරෝපත් ඔතනින් ආපහු..

ඔන්න ඔය වගේ දාහක් දුක් අදෝනා අහං ඉන්න බැරි තැනම ගොඩයා කාර් කටුව ආපහු හරෝගෙන එනවා චන්දනයාගේ ගෙදරට. ට්‍රයල් බලන්න තියා කාර් එක පාරේ හරියට යන්න පුලුවන්ද කියල හොයාගන්නවත් දුරක් චන්දනයා ගොඩයාට යන්න දුන්නේ නැහැ කියමුකෝ. ඔන්න ඊළඟ සංවාදය..

චන්දනයෝ.. උඹලා මේක හප්පුනාට හරියට හදල නැහැනේ...

පී......ස්සුද...බං.. ඔය තියෙන්නේ ෂෝක් එකට..

කෝ උඹල ලයිට් එක අලුතෙන් දාලා විතරනේ.. ඉස්සරහ ඇද ඇරලා නැහැනේ..

උඹට ඔකේ ඇද පෙනුනට මටනම් ඔකේ ඇදයක් පෙන්නේ නෑ.. ඕකනේ මම කිව්වේ ලංකාවේ එවුන්ට මේක දෙන්න බෑ කියල.. 

හරි හරි බං.. මේකේ ඉස්සරහ හදාගන්නත් ඕන නිසා කීයක් හරි අඩු කරලා ඕක දියන් මට..

මම කිව්වනේ.. සතපහක් අඩු නෑ.. ඕනෙනම් අරං පලයන්..නැත්තම් නිකා හිටහන්..

ඔන්න ඔහොම වදෙන් පොරෙන් තමා  චන්දනයාට මුදල් දීල ආදරණීය ඇසංකොටේට අයිති උප්පැන්නේ අරං ඇවිත් රක්ෂණ ආවරණයක් හදාගෙන ආණ්ඩුවේ කන්තෝරුවෙන් නොම්මර තහඩුව ගොඩයා විසින් ලබාගන්නේ. ඊට දවස් දෙකකට පස්සේ තමයි නීත්‍යානුකූලව විවාහ වෙච්චි   ආදරණීය ඇසංකොටේ  ගොඩයා එක්ක ආදරේ බෙදාගන්න හිතාගෙන හාහාපුරා කියල හනිමුන් යන්න  ගොඩයාගේ ගෙදර එන්නේ.

ගොඩයා ආදරණීය ඇසංකොටේ ස්ටාර්ට් කරගෙන චන්දනයාගේ ගෙදරින් පිටත් වෙලා හැතැක්මක් එන්න ලැබුනේ නැහැ කියහන්කෝ ඇසංකොටේ ගොඩයාට CEL කියන ලාම්පුව, ඒ කිව්වේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු කරලා පෙන්වනවා ඔහේ මාව හනිමුන් යන්න අරං ගියාට ඔහේ හිතන තරම් සුපිරිසිදු චරිතයක් මා ගාව නෑ.. හදවත ටිකක් ලෙඩ සහිතයි කියන එක. ඒ කියන්නේ චන්දනයා උපරිමේටම ගොඩයාව අන්දා ඇතිබව විතරක් ගොඩයාට සක්සුදක් දේ පැහැදිලි වෙනව. 

කාර් කොටේ කුමක් නමුත් ලෙඩක් තියෙන වග චෙක් එන්ජින් ලයිට් එකෙන් පෙන්නුම් කලත් නැවත චන්දනයා හොයාගෙන යාම තේරුමක් නැති කාර්යක් වෙන්නේ ගොඩයාට එන්ජිම ස්ටාර්ට් වෙන රෝද හතරක අවශ්‍යතාවය චන්දනයාගේ වංචාව අභිභවා යන්නක් නිසා. ඒ වගේම පාවිච්චි කරන ලද  වාගනයක්  මිලදී ගත් පසුව මතුවෙන රෝගාභාධ වෙනුවෙන් පරණ අයිතිකරුවන් සොයා යාම පටන් ගත්තොත් පරණ වාහන ගන්න එවුන්ට වෙන්නේ පරණ අයිතිකාරයාගේ ගෙදර පදිංචි වෙන්න නිසා ගොඩයා සියල්ල විඳ දරාගැනීමට බලාපොරොත්තුවෙන් ඇසං කොටේ පැදගෙන ගෙදර එනවා. 

එදා පටන් 2018 දෙසැම්බර් මාසේ වෙනකල් ඇසං කොටේ ගොඩයාට දීපු උදව් ලියන්න වචන නෑ.  ඒ අතරේ  ගොඩයාට තමුගේ ෆීල්ඩ් එකට අදාළ රැකියාව ලැබුන නිසා රැකියා කල ස්ථානයෙන් අලුත්ම අලුත් සීරෝ මයිලේජ් වෑන් රථයකුත් ලැබුනා. ඉන් අනතුරුව ගොඩයා අලුත්ම අලුත් ටෝයෝටාවක් ගත්ත හයිවේ වල දුර යන ගමන් වලට ඇසං කොටේ සැර මදි හින්ද. දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන දා ඉඳන් දෙදහස් දහසය වගේ වෙනකල් ගොඩයාට අප්‍රමාන මෙහෙයක් ඉටුකරපු ඇසං කොටේ දෙදහස් දහසය අවුරුද්දේ ඉඳන් දෙදහස් දහ අට අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනකල්ම උන්නේ විවේක සුවයෙන්. ඒකට හේතුව උනේ ඒ වෙද්දී ගොඩයා සතුව වෙනත් රථ දෙකක් තිබීම. චන්දනගේ ගෙදරින් නික්මිලා හැතැක්ම භාගයක් එද්දී පත්තුවුන චෙක් එන්ජින් ලයිට් එක කිසිදාක නැවත නොපෙනී ගියේ නෑ. ගොඩයා මෝටර් රථ කාර්මික විද්‍යාව හදාරා තිබෙන නිසා ඔය කියන ලයිට් එක නිවා දමන්න ගොඩයාටත් වැඩි උවමනාවක් තිබ්බේ නෑ. වඩුවාගේ ගෙදර පුටුව නෑ  වගේම කාර්මික ක්ෂේස්ත්‍රයේ සිටිනා අයවලුන්ගේ යන්ත්‍ර සූත්‍රවල ආභාධ යන්ත්‍රය නවතිනතෙක්ම අලුත්වැඩියා නොකෙරෙන ගනයේ එව්වා නිසා ඔය කියන ලයිට් එක පත්තු උනා කියන එක ගොඩයාට වගේ වගක් තිබ්බේ නෑ. වසර දෙකක්ම භාවිතයට නොගෙන ඔහේ ගාල් කර තිබුනාවූ ඇසං කොටේ තවදුරටත් ගොඩයාට අවශ්‍ය නොවුනත් ගොඩයාගේ හිත හදාගෙන ඇසං කොටේ විකුණා දමන්න ගොඩයාට පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ නිසා ඇසං කොටේ හොඳින් බලාගන්න පුළුවන් කෙනෙකුට දීල දාන්න ගොඩයා හිතනවා. ඔන්න ඔය අතරේ තමා ගොඩයාගේ මේ රටේ මිත්‍රයෙක් බෙන්ස් රථයක් අරගෙන අමාරුවේ වැටෙන්නේ..

මොකෝ බෙන්ස් එකේ තත්වේ..

කප්පරක් වියදම් කරා මල්ලි.. ආයේ චෙක් එංජින් එක පත්තු වෙනව ..

හදන්න බැරිද..

හදල වැඩක් නෑ මල්ලි.. දැනට ලංකාවේ සල්ලි වලින් ලක්ස පහකට වඩා වියදම් කරා.. ඒත් ලෙඩ..

එහෙනං ඕක දීල දාල ඇසන්ට් එක අරන් යන්න ඇවිත්..

ඇත්තමද..

හ්ම්...

කීයද ගාන..

සල්ලි එපා.. අරන් ගිහින් ට්‍රාන්සර් කරගෙන පාවිච්චි කරන්න... හැබැයි කාටවත් විකුනන්න එපා.. 

ෂුවර් නේද..

ඔව් බන් ඔව්.. 

එහෙනම් මං බෙන්ස් එක දෙන්නද ඉල්ලන ගානකට..

ඕන එකක්.. කෝල් එකක් දීල එන්නකෝ.. මම කාර් එක ක්ලීන් කරලා තියන්නම්..

ඔන්න ඔය සංවාදයෙන් පසුව දවසක හෙවත් දෙදහස් දහ අටේ නොවැම්බර් විසි එක දා ඇසං කොටේ අලුත් අයිතිකාරයා එක්ක පිටත්ව යනවා ගොඩයාගෙන් නීත්යානුකුලවම සෙපරේට් වෙලා. අද වෙද්දී ඇසං කොටේ වසර කීපයක විවේකය නිමවලා නැවත අලුත් ස්වාමියාට සේවය සලනවා. ඒ දකිද්දී ගොඩයාට හිතට දැනෙන සතුට නිම්හිම් නෑ. 


ගොඩයා ඊයේ පෙර්දාවක සංගීත සංදර්ශනයක ප්ලේ කරා කියමුකෝ. වේදිකාවෙන් පහල දඟර නැටුම් දාන එවුන් අතරේ දැකල පුරුදු මූණක් දැකල ගොඩයා පොඩ්ඩක් ඇහැ දැම්ම. බැලුවාම ගොඩයාට ඇහැ වහල ඇසං කොටේ විකුනපු චන්දනයා මද පමණට  දෙක තුනක් දාගෙන දඟර නැටුම් දානවා සාරුක් ඛාන් පරාදයි. ගොඩයා වැඩේ අහවර වෙලා වේදිකාවෙන් බැහැල ගිහින් චන්දනට හලෝ කියන්න උත්සහ කරත් සුපුරුදු පරිදි උත්සාහය අසාර්ථක උනා. ඇසං කොටේ ගත්තු දවසේ හිටං චන්දනයා හමුවෙන හැම වතාවකම කතාකරන්න රැඳෙන්නේ තත්පර දෙකතුනයි. කාර් එක සම්භන්ධයෙන් ගොඩයා අද වෙනකල් චන්දනට වචනයක්වත් කියලා නැති උනාට චන්දනයා උන්නැහේ කරපු දේ දන්නා නිසාදෝ කොහේ අදටත් ගොඩයාට මූණ දෙන්නේ නෑ .  ලෙඩේ වහලා දුන්නා උනත් චන්දනයාට අදටත් ගොඩයා දොසක් කියන්නේ නෑ වෙලාවේ හැටියට කරේ ලොකු උදව්වක් නිසා.


යක්කු ගස්යන වෙලාවට බස් හෝල්ට් වල රස්තියාදු වෙච්ච එක්තරා කාලෙක, වාහන තියෙන එවුන් උන්ගේ වාහන වල උජාරුව පෙන්නලා ගොඩයාව මහමග දමා ගිය එක්තරා කාලෙක, හිම වැටෙන සීතලේ හැතැක්ම ගණන් පයින් කොටපු කාලෙක,  ග්‍රොසරි ගිහිං පිස්සෝ පිහාට්ටෝ වගේ අතින් කටිං බඩු  මලු උස්සං බස් දෙකතුනේ එල්ලිලා ගෙදර ආපු කාලෙක, ෆේක් යාළුකම් වලින් පරිපූර්ණ මිනිස්සු එක්ක කාත් කව්රුවත් නැති රටක තනි වෙච්ච කාලෙක ඒ යකඩ ගොඩ හිතට කොයිතරං හයියක් උනාද කියල දැනෙද්දී අදටත්  ගොඩයාගේ ඇහැට කඳුලක් උනනවා. යකඩ ගොඩක් වෙනුවෙන් එහෙම සංවේදී වෙන එක විහිළුවක්  වගේ උනත් ඒ සිදුවීම් ඒ හිත් අමාරු මතක් වෙද්දී ගොඩයාට තාමත් ඇසං කොටේ ඉඹින්න හිතෙනව. රට රටවල ගිහින් සක්සස් වෙච්ච මිනිස්සු හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් බහුතරක් මිනිස්සු කියන්නේ සැප ලයිෆ් එක ගැන මිසක් ඊට කලින් දුක් විඳපු කෑල්ල නෙවෙයි. ගොඩයාගේ රට ලයිෆ් එකේ ඇසං කොටේ කියන්නේ වසර දෙකක දුක්ඛිත කාලයක අවසානය සනිටුහන් කරපු සන්ධිස්ථානයක්. ඒ නිසා ගොඩයාගේ ජීවිතේ ඇසං කොටේ කියන්නේ අමතක කරන්න බැරි යකඩ ගොඩක්.  කොයිතරම් නවීන වාහන පැද්දත් ගොඩයා ජීවත්ව ඉන්නාතුරු ඇසං කොටේ ගොඩයාගේ ඇස් මානයෙන් එහාට යන එක්ක නෑ. අලුත් අයිතිකාරයාටත් එපා වෙච්චි දවසක ආයෙත් ඇසං කොටේ ගොඩයාලඟට එන එක අනිවාර්යයි. ලංකාවේ ඉද්දිත්, පිටරට ඉද්දිත් ගොඩයාට අයිති වෙලා තිබ්බ වාහන වලින් මුදල්මය වටිනාකම අඩුම වාහනේ ඇසං කොටේ උනාට ඉමෝෂනල් වැලිව් එකෙන් ඇසං කොටේට ගහන්න වාහනයක් ගොඩයාට තිබිලත් නෑ තියෙන්නෙත් නෑ.... යකඩගොඩක් වෙනුවෙන් සංවේදී උනා වැඩිද මන්ද...





37 comments:

  1. Good story (shows the quality of our fellow countrymen) Halfway I forgot about name accent-kote. If Hyundai company see this, they will give you a brand new i30. I also have a similar love story with a Nissan Pulser 2005, not using it but don't feel like selling.

    ReplyDelete
    Replies
    1. No matter what, If something emotionally valuable, we have to give that respect to them as much we can. Thanks for the comment Wijebahu.. :)

      Delete
  2. පොල් මාම ඇසෙන්ට් එක ගැන කලින් ලියල තියෙනව නේද එලකිරියෙ ත්‍රෙඩ් එකේමද කොහෙද, ඒකෙ එන්ජින් මිස්ෆයර් එකක් තිබ්බ කියල කේස් එකක්, ඊට පස්සෙ පොඩි සූත්තරයක් දාල ටෙස්ට් එහෙම පාස් කරවගත්ත කියල

    ReplyDelete
    Replies
    1. ඔව් මම එළකිරියේ ලිව්වා තමා. ඒකෙ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවට ස්කෑන් කරාම දෙන කෝර්ඩ් එක ඔක්සිජන් සෙන්සර් එකයි එයාර් ෆ්ලෝව් සෙන්සර් එකයි අවුල් කියලයි. ඒ උනාට ඔක්සිජන් සෙන්සර් එකෙයි එයාර් ෆ්ලෝව් සෙන්සර් එකයි ඉන්ඩිවිජුවලි චෙක් කරාම එව්වයේ අවුල පෙන්නන්නේ නැහැ. ගරාජ් බාස්ලා කෙලින්ම ස්කෑනර් එකෙන් එන කෝර්ඩ් එකට අනුව පාට්ර් එක රීප්ලේස් කරාට එරර් එක ආපහු එන්නේ එයාල එරර් එක ගැඹුරටම හොයල බලල බෑඩ් පාර්ට් එක අයිසොලේට් කරගන්නේ නැති නිසා. ජෙනරලි පෙන්නන බෑඩ් පාර්ට් අයිසොලේට් කරලා චෙක් කරාම අවුලක් නැති නිසා මං කාර් එකට වියදම් කරේ නෑ. කෝකටත් කියල සැකේට වගේ කොම්ප්‍රේෂන් චෙක් කරලා බැලුවාම එක සිලින්ඩර් එකක් ටෝටලි අන්ඩර් කොම්ප්‍රෙසර්. එතනින් එහා ඕක හදන්න ගියොත් එන්ජින් එක ගලවාගෙන නටන්න වෙන නිසා ගණන් ගන්නේ නැතුව එහෙමම පාවිච්චි කරා. රීසෙට් කරාම කිලෝමීටර් 20-30 ක් දුවන්න පුළුවන්කම තිබ්බ එන්ජින් ලයිට් එක පත්තු නොවී. ඒ නිසා ඉතින් ටෙස්ට් ටිකට හැමදාමත් රීසෙට් සරණයි තමා..

      Delete
  3. ඒක ෆට්ට කතාව.අසංකොටේ වගේමයි තාත්තගෙ බයිසිකලෙත්.තාත්ත නැතිවුනත් ඒක කාටවත් විකුනන්න මං විරුද්ද උනා.අඩෝ මොන @#$%#@ මගේ ලියුම් කෙරුවාව ලියන්න ගියේ....😬 මොනා ලියුවත් මොකුත්ම වෙන්නෙ නෑ කියල දන්න නිසා තෝ මගේම සායම යවපන්.මාවම කාපං.නෙදොකිං

    ReplyDelete
    Replies
    1. ඒ පොත් ටික එකතු කරල ස්වර්ණ පුස්තක එකට යැවුවනං සම්මානයක් ශුවර්.

      Delete
    2. මෙව්වා ලියාගෙන ලියාගෙන යනකොට ඉතින් අතරමදින් පනින තැන්වලදී මතක්වෙන කට්ටියගේ පැටිකිරිය පොඩ්ඩක් දිගහැරෙන එක වලක්වාගත නොහැකි තත්වයේ තියෙන්නේ මිත්‍රයා.. ලියුං කිව්වට එව්වා ඉතින් ලියුං ගණයට වැටෙන්නේ නැහැනේ බන්.. මං ලිව්වේ පොත් ගැන..හැක්..

      Delete
    3. ස්වර්ණ පුස්තක සම්මාන කෙසේවෙතත් එව්වා ප්‍රින්ට් කරානම් ඉතින් සුජීවගේ පොත් කැලේ වෙන්ට තිබ්බ..

      Delete
  4. ඔබ තුලින් දුටු අව්‍යාජ සංවේදී මනුෂ්‍යත්වය මගේ නෙත් අගට කදුළක් ගෙනාවා.... ඔබට සදා ජය..!!!

    ReplyDelete
    Replies
    1. සංවේදීද, මනුෂ්‍යත්වයද, කියල දන්නේ නෑ..... බර වචන මක්කටෙයි අප්පා මේ පොඩි දේකට නේහ්.. කොමෙන්ටුව දැම්මට ඔබටත් සදා ජය..

      Delete
  5. අමාරු කාලෙදි සපෝට් එක දෙන පණ නැති දෙයක් උනත් හරිගියාට පස්සෙ අතෑරල දාන්න හිතෙන් නෑ තමයි. අරූ කාර් එක විකුණන්න ඇත්තෙම ඔය බල්බ් එක පත්තුවෙන හින්ද වෙන්න ඇති. ඔහේ ඉතිං ඒක ලස්සනට පත්තුවෙන එකක් කියල හිතාගෙන පාවිච්චි කරපු හින්ද තාමත් වාහනේ දුවනව. නැත්තං ඕක ගලෝල මඤ්ඤං කළානං අද වෙනකොට වාහනේ කනත්තෙ තමයි.

    ReplyDelete
    Replies
    1. මංතුමා විසින් දන්නා කියන ඔක්කොම සෙල්ලම් දාල හොයාගත්ත ඒකෙ එක සිලින්ඩර් එකක් පත්තු වෙන්නේ නෑ කියල.. එතනින් එහා ඉතින් ඕක හදන්න ගියානම් ඉතින් එන්ජිම ගලවාගෙන , වෑල් ග්‍රයින්ඩ් කරගෙන, හෙඩ් ෆේස් කරගෙන දාහක් සෙල්ලම් නටන්න එපැයි අප්පා.. එව්වා කරන ගරාජ් දැන් මේ රටවල නෑ.. උන්ගේ එකම සහ අවසාන විසඳුම පරණ එන්ජිමක් ගෙනල්ල තැබීම පමණයි. හෙඩ් ෆේස් කරන මැෂින් ෂොප් එකක් සොයාගැනීම මෙව්වයේ කළුනික හොයනවට වඩා අමාරුයි. ඉතින් බන් ඔය සෙල්ලම් ඔක්කොටම වඩා ලාභයි චෙක් එන්ජින් ලයිට් එකට උඩින් දේව රූපයක් තියල මලක් තියල හඳුන්කූරක් පත්තු කරාම.. හැක්..

      Delete
  6. යකඩ හිත් වලටත් පන තියෙනවා. සංවේදී පොස්ට් එකක් .

    every successful man behind a successful machine

    ReplyDelete
    Replies
    1. යකඩ එක්ක හැප්පෙන මට හැමදාමත් දැනෙන්නේ සමහර පණ තියෙන හිත් වලට වඩා යකඩ ගොඩවල් අපිට සංවේදියි කියලයි කලණ..

      Delete
  7. කෝ අද මේ තරිදුව.ඌට මොනා වෙලාද?🤔

    ReplyDelete
    Replies
    1. තරිදු මල්ලී මෙහෙ වරෝරෝරෝරෝරෝරෝරෝරෝ !

      Delete
    2. හෙහ්.. ඌ ගැන සොයා බැලිය යුතුයි

      Delete
    3. අපි ඉන්නෝ...මෙි දවස් ටිකේ පොඩිඩක් කාර්යය බහුල වෙලා නේ...

      Delete
    4. මේ ඉන්නේ තරිඳුවා...

      Delete
  8. අමාරු කාලවලදි ළඟින් ඉන්න අයගෙ අගේ වැඩියි. ඒක ඇත්ත...

    ReplyDelete
    Replies
    1. අමාරු කාලවලදි ළඟින් ඉන්න අයගෙ අගේ වැඩියි. ඒක ඇත්ත...
      ❤️

      Delete
    2. වැස්ස ඉවර උනාම බහුතරයක් මිනිස්සුන්ට කුඩේ අමතක වෙනවා ආර්යන්..

      Delete
  9. අපි හැමෝටම ඔය වගේ කතාවක් තියෙනවා අම්බලන්ගොඩ මල්ලි
    ලංකාවේ වාහන විසි ගණනක මගේම ව්‍යාපාරයක් තිබ්බ, මට ඩ්‍රයිවින්ග් ගැන කියල දෙන්න ආවේ ලංකාවේ මෝටර් සයිකලයක්වත් තිබ්බේ නැති අපතයෙක් .
    මේ රටේ මම ඉස්සෙල්ලම ගත්ත පරණ Ford laser වාහනේ(1992 model),සමහර වෙලාවට බලන කොට එන්ජින් ඔයිල් පවා නැහැ
    හැබැයි කවදාවත් මග නතර උනේ නැහැ .මමමයි service කරගන්නේ .

    යහලුවෙකුට දුන්නේ මාස කීපයකට ඉස්සෙල්ල. හැබැයි ඒ පරයට ඒක මොඩ් මදිවෙලා මටත් නොකියා scrap metal වලට විකුණලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මගේ ඇසන්ට් එකත් ඔහොමම තමයි. සමහර වෙලාවට බලද්දී එන්ජින් ඔයිල් කූරේ ගෑවෙන්නත් නෑ. හැබැයි ඉතිං කවදාවත් මග නැවතිලා නෑ.

      එක දවසට කිලෝමීටර් දාහ අප් ඇන්ඩ් ඩවුන් ගිහින් තියෙනවා කිසිම කරදරයක් නැතුව. මමත් ඔය කාර් එක ජන්ක් යාර්ඩ් එකකට යන එක වලක්වන්න තමයි විකුනන්න බැරි කොන්දේසිය දාල නිකං දුන්නේ. මං ඕක දීල සල්ලි ගත්තනම් අනිවාර්යෙන් මගේ මිත්‍රයට එපාවුණු දවසට ජන්ක් යාර්ඩ් එකකට යනවාමයි.

      මං කාර් එක පදිද්දී මෙහේ එවුන් මුලින් බලන් බලන් හිටිය මං ඕක කොහේ හරි කුඩු වෙන්න හප්පගෙන අතක් පයක් කඩාගන්නකල්.. ඊට පස්සේ බලන් හිටියා ඉන්ටර්නැෂනල් එකෙන් පැදලා පොලිසියෙන් අල්ලාගෙන ගිහින් හිරේ විලංගුවේ වැටෙනකල්. මගේ ලංකාවේ ලයිසන් එක මෙහේ ශ්‍රී ලංකන් එම්බසියෙන් සර්ටිෆයි කරගන්න ඕනවුනා මෙහේ ලයිසම ගනිද්දී. එහෙම නොකරනම් මට ගන්න වෙන්නේ ප්රෝවින්ශියල් ලයිසන් එකක්. ඒකෙ අවුරුදු දෙකක් හිටියාම තමයි ෆුල් ලයිසන් එක දෙන්නේ. ලංකාවේ ලයිසන් එක තියෙන නිසා ඒක සර්ටිෆයි කරලා අරං ගියාම කෙලින්ම ෆුල් ලයිසන් එක ගන්න පුළුවනි. නැත්තම් මාස නමයක් ලර්නින් පර්මිට් එකේ ඉන්න ඕන. උන් ඔක්කොම ඔය මාස නමේ ලර්නින් එකේ ඉඳල ලර්නර්ස් ගිහින් ලයිසන් ගතපු එවුන්. ඉතින් උන්ට හෙන ජෙල මං ඉන්ටර්නැෂනල් එකෙන් පදින එකටයි කෙලින්ම ෆුල් ලයිසන් එක ගන්න එකටයි. කොහොමින් කොහොම හරි මට ලංකාවේ එම්බසියට යන්න GPS එකක් තිබ්බේ නෑ. ගන්න සල්ලි තිබ්බෙත් නෑ..ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබ්බෙත් නැහැනේ.. මං එකෙකුගෙන් GPS එක ඉල්ලුව ඉම්බසියට ගිහින් එන්න. වැඩි වෙලාවකට නෙවෙයි පැයකට දෙකකට.. මූ කිව්වා වාහන ගත්තාම එව්වට ඕන කරන බඩු භාණ්ඩ ටිකත් ගන්න ඕන කියල.. මං හා එහෙනම් කමක් නෑ කියල ආව.. ඔන්න ඔහොමයි මේ රටේ හමුවෙච්ච බහුතරයක් මිනිස්සු. තමුන්ගේ වාසියට පමණයි..

      තව කෙනෙකුගේ වාහනේ AC එක කැඩිලා හදන්න ගිහින් ගරාජ් එකේ එකා ගෑස් ටිකක් ගහල එවල තිබ්බ. මං ඇහුව ලීක් එක හදලද ගෑස් ගැහුවේ කියල..මූ කියපු එහෙම ලීක් එන්නේ නෑ ac ගෑස් කාලෙකට සැරයක් ගහන්න ඕන කියල. මං ඕකට තර්ක කරාම මූ කියපි ලංකාවේ වගේ නෙවෙයි මෙහේ වාහන වෙනස් මෙහේ වාහන වලට AC ගෑස් ඉවර උනාම ගහන්න ඕන කියල. මං කිව්වා එහෙනම් ගිය වතාවේ වගේ නෙවෙයි මේ වතාවේ ac ගෑස් දවස් දෙකේත් තුනෙන් ඉවරවෙයි ආයේ ගරාජ් යන්න බලාගෙන ඉන්න කියල. කිව්වා වගේම දවස් දෙකකට පස්සේ ගිහින් ac කොන්ඩන්සර් එකේ ලීක් එකක් තිබිල ඒක අලුතෙන් දාල ගෑස් ගහගෙන ඇවිත් තිබ්බ. ලංකාවේ ඉද්දි ෆුට් බයිසිකලයක්වත් නැතුව හිටපු එවුන් මෙහේ ඇවිත් වාහන ගැන කියවන්නේ උන් රොකට් සයන්ස් වලටත් වඩා දන්නා ගානට. එව්වා ඇහෙනකොට පිස්සු වගේ මටනං..

      Delete
  10. ගොඩයෝ.. උබේ මේ කතාවෙන් මට මගේ බයිසිමොටෝ එක මතක් උනා අවුරුදු 19 කට පස්සෙ. SP HD 0123. ඔන්න නම්බර් ප්ලේට් එක. මට මෙහෙදි පලවෙනි අවුරුද්දෙදිම ගෙදරටම ඩ්‍රොප් කල බ්‍රිට් පකිස්තාන් යාළුවෙක් හිටිය. ඌ පදින්නේ සාමාන්‍යයෙන් ලිමිටඩ් ස්පෝර්ට් කාර්ස්. හැබැයි මම නොකලත් මුල් දවස්වල ඌ ගංජා තඩියක් ගහල කාර් එකට නැගල 180 ට ගෙදර ඇරලවනකන් ඌ මාව මුස්ලිම් ආගමට ගන්න දැඟලුව දැඟලිල්ල මටම එපා වෙලා ඒ ආශ්‍රය අත ඇරල පයින් ගෙදර යන්න පටන්ගත්තම තව බ්‍රිට් ඉන්දියන් සිංගල් මදර් කෙනෙක් ඔන්න පටන්ගත්ත මගේ පයින් සංචාරය ඔය දවස්වල හොඳ නැහැ කියල. වචනේ අර්ථයෙන්ම ඒ මනුස්සය මට සහෝදරියෙක් උනා. මම එක සැරයක් මාස 4ක් අසනීප වෙලා හිටිය. පස්සෙ වැඩට එක්කරගෙන යන්න ගෙදර බස්සන්න වගේම මගේ ගෙදරට ඕන කරන ෂොපින් කිරිල්ලත් වගේම නිවාඩු දවසට ඒ මනුස්සය මම පබ් එකට ගිහිල්ල අඩියක් ගහන තරමට සෙට් උනා. ඒත් අපි හොඳ යාළුවො. ඕක ඉවසගන්න බැරි ඔය ගැහැණු පරාණය එක්ක බඩ උඩට නගින්න බැරි ලංකාවේ කිහිප දෙනෙක් අර පක්කව ඇතුළුව මම වැඩ කල ආයතනයේ කතාවක් ඇරිය මම ඒ මනුස්සය එක්ක බුදියනව කියල.

    ඒ ප්‍රශ්නය ගොඩක් දුර යන්න හදනකොටම ඒ කේලම් කිව්ව සිංහල සෙට් එක සහ පක්ක ලඟට ඒ මනුස්සය මාව එක්කරගෙන ගිහිල්ල මරු වැඩක් කළා.

    "ඔව් මම ටිලාන් එක්ක නයිට් අවුට් යනව. අපි ඇවිදිනව. බොනවා කනව. හැබැයි ටිලාන් උබල වගේ මට හොරෙන් බුදියගන්න කතා කරන්නෙ නැහැ. උබල ඔක්කොම මට ට්‍රයි කළා එක එකාට හොරෙන් මම එක්ක සෙට් වෙන්න. උබල ඔක්කොම පිම්පියො. උබල පිරිමි නෙමෙයි. උබල ලැජ්ජ වෙන්න ඕන. මේ එංගලන්තෙ මිසක් උබල හිතන් ඉන්න පකිස්තානයවත් ශ්‍රී ලංකාවත් නෙමෙයි.. උබල ඔක්කොම උබලගෙ වැඩක් බලාගනින් නැතිනං ඔය ඇරියස් එක යන්න හෝ හවුස් එකකට යන්න සල්ලි නැත්නං මම දෙන්නං" කියල.

    අම්මෝ... මට දුක හිතුන බං.

    ReplyDelete
    Replies
    1. පට්ට කථාව , හොද වැඩේ ලංකාවේ උන්ට් සෙට් එකටය පාකිස්ථාන් කාරයටයි . අර ලේඩි ගෙන් හොදට අහගත්ත එකට .

      කෙල්ලෝ කැමති නෑ පස්සෙන් ඇවිල්ල හෙන වාතයක් වෙන කිසිම පිරිමියක්ට මම දන්න විදියට මචං .

      Delete
    2. ඒ ගෑණු කෙනා නම් නියමයි. මට තියන ප්‍රශ්නේ තමයි, ඇත්තටම ටික්කා ඔය ගෑණු කෙනා එක්ක නිදියගත්තා කියමු, ඉතින් අරගොල්ලොන්ට මොකද්ද තියන ප්‍රශ්නෙ? වැඩිහිටියො දෙන්නෙක් නෙ? දෙන්නගෙම කැමැත්තෙන් නෙ?

      ගෑණු කෙනෙක් හිනා වෙලා කතා කරපු පලියට මේකි නම් මොනවට හරි සෙට් කරගන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්නව තමයි, හපෝ.. කොන්ඩේ පාට කරලා, එළියෙන් ලස්සනට ඇඳන් යනවා සුද්දා වගේ. එළියෙන් එහෙම වුනාට හිතේ සුද්දා නෑ. ඒකයි වැඩේ. ඇත්තටම ගොඩක් වෙලාවට ඔහොම අනිත් අයට කතන්දර හදන්නේ තමන්ට කිසිම කෙනෙක්ගේ අවධානය ලැබෙන්නේ නැති මිනිස්සු.

      Delete
    3. ලංකාවේ ඇතුළු දකුණු ආසියාවේ බහුතරයකගේ ළිං මානසිකත්වය ඇතුලේ තියෙන්නෙම ඔය පටු අදහසම තමා බන්. උන් හිතන්නේ ගෑනියෙක් මිනිහෙක් ටිකක් වැඩිපුර කතා බහ කරොත් උන් ලෝකෙට හොරෙන් බුදියනවා කියල. විරුද්ධ ලින්ගිකයන්ට යාළුකමක් පවත්වන්න බෑ කියලමයි අපේ රටේ මිනිස්සු හිතන්නේ ටික්කො.. පාරේ තොටේ යන එන ගමනකදි දන්නා කියන අඳුරන ගෑනු කෙනෙක් යාලුවෙක් බස් හෝල්ට් එකක් හිටියත් අහක බලාගෙන යන්න වෙලා බන්. හදිසියෙවත් වාහනේ නවත්තලා නග්ගගත්තොත් ඊළඟ හෝල්ට් එක පහුවෙන්න කලින් දකින එවුන් කතාව හදලා, ලියලා, සංස්කරණය කරලා පබ්ලිෂ් කරලත් ඉවරයි. ඒ තරම් අපේ මිනිස්සු ඉන්නේ ලිංගික අසහනයෙන්.

      Delete
  11. ඔය ඇසංකොටේ වගේම තමා මගෙ ස්පෝක්වීල් ඩිස්කවරිය. දැන් මා ගාව අවුරුදු දහයකටත් වැඩියි. මට කලින් තව 4 දෙනෙක් පාවිච්චි කරල ටැංකියත් තලල තමයි මට විකුන්නෙ. සම්පූර්ණ ආවුස අවුරුදු පහලොවකට වඩා වැඩියි. එයිනුත් බරගානක් ගෙවුනෙ මේ මධ්‍යම කඳුකරේ. දැන් නං කිලෝමීටර් ලක්ෂ එකහමාර පැනල ඇති. ඒ වුනාට මං මැරෙනකං මේකත් කහල ගොඩට යන්න දෙන්නෑ.

    කාටවත් දෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් තිබ්බ අපේ ඩඩාගේ සී 50 බයික් එකක්. මං ලංකාවේ නැති අල්ලපනල්ලේ අපේ ඩඩා ඕක කාටදෝ අඩු ගානකට දීල ස්කූටියක් ගෙනල්ල කියහන්කෝ. මං දන්නවනම් කීයටවත් ඒ බයික් එක විකුනන්න දෙන්නේ නෑ. මගෙම මිත්‍රයෙක් තමයි ස්කූටියක් ගන්න අදහස අපේ තාත්තගේ ඔලුවට දාල තියෙන්නේ. ස්කූටිය ගෙනාවට කමක් නෑ ඉතිහාසයක් තියන බයිසිකලේ වික්ක එක ගැන අදටත් සෑහෙන දුකයි මටනං.

      Delete
    2. බ්ලොග් එක ලියන්නකෝ

      Delete
  12. පාවිච්චි කරන වාහනේ පිරිසිදුව පිලිවෙලකට තියාගෙන ඉන්න ඒක තරමි සතුටක් තවත් කොහෙද අයියේ...

    කෙල්ලෝ දාහක් හිටියත් පුරැදු යකඩ ගොඩ නැති ලොකේ කුමන සැපතක් ද කවිවලු...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් පිරිසිදු පමණක් කරගෙන පාවිච්චි නොකර ඉන්න අයියලත් මං දැකල තියෙනව. මගේ ඥාතියෙක් ඉන්නවා වහින දවසට මෝටර් සයිකලේ එලියට දාන්නේ නෑ. ෆුට් සයිකලෙන් තමා එදාට යන්නේ.

      කෙල්ලෝ වගේද බන් යකඩ.. යකඩ වලට පෙම් බැඳීම වනාහි වෙනම කලාවක්..

      Delete
  13. ලේ මස් වලින් හැදුණු මිනිස්සු හිත් පිත් නැති විදියට හැසිරෙනකොට, දුක සැප බෙදන් ලඟින් ඉන්න යකඩ ගොඩක් ගැන උනත් ලොකු බැඳීමක් ඇතිවෙනව තමයි.

    හොඳ වැඩේ, හොර වැඩ කරල වාහනේ විකුණපු නිසා ඉතින් මනුස්සයෙක් එක්ක හිනා වෙලා කතා කරන්නේ නැතුව, සදහටම මග අරින්න වුණා එයාට.

    මමත් අතින් කටින් තමයි බඩු උස්සන් බස් එකේ ගෙදර යන්නෙ. :) මගේ ළඟ තියනවා ට්‍රොලි බෑග් එකක්, ඒ නිසා ලොකු අවුලක් නෑ. මම කොහොමත් ලංකාවෙත් අවුලක් නැතුව බස් කොච්චි වල ගිහිපු පුරුදු කෙනෙක්, ඒ නිසා okay.

    ReplyDelete
    Replies
    1. විදේශ රටවල් වලදී මුණගැහෙන ශ්‍රී ලාංකිකයන් එක එක විදිහේ අය තමයි, මට නම් ස්ටුඩන්ට් නිසා ගොඩක් වෙලාවට මුණගැහෙන්නේ තව ස්ටුඩන්ට් ල ම තමයි, ඒකත් ගොඩක් ක්ලෝස් වුණු හැමෝම මොරටුවේ undergraduate කරපු කස්ටිය. පොතේ පතේ වැඩක් බලන් ඉන්න, පොඩි එවුන් වගේ කස්ටිය (මම වගේම :P ) ඉතින් කොමන් ග්‍රවුන්ඩ් එකේ හිටන් ඉන්න අය නිසා සාමාන්‍යයෙන් පැටලිලි සිදුවෙලාම නෑ.

      Delete
    2. ඔයාගේ ට්‍රොලි බෑග් එක ගැන කිව්වම මතක් උනේ මගේ ෂොපින් කාර්ට් එක.. ඒකට දැන් වයස අවුරුදු නවයක්. 2010 ඉඳන් 2012 වෙනකල් සලසපු සේවය අතිමහත්. ඒක තාමත් මාගාව සුරක්ෂිතයි.. පෙරේතකමකට තියාගෙන ඉන්නවා නෙවෙයි.. කෘතගුණ සැලකීමක් විදිහට සහ අමතක කල නොහැකි මතකයක් විදිහට තියාගෙන ඉන්නවා තාමත්.

      ස්ටුඩන්ට් ඉද්දි වටේ ඉන්නේ තමුන්ගේම ෆීල්ඩ් එකේ ස්ටඩිස් කරන අය නිසා ප්‍රශ්න අඩුයි. ඒත් ඉතැනින් එලියට ගිහින් විවිධ අය ඇසුරු කරන්න ගත්තාම තමයි තේරෙන්නේ මිනිස්සු කොයිතරම් විවිධයිද, විෂමයිද කියන එක.. අපි මේ ජීවත්වෙන ලෝකේ බහුතරයක් දෙනා බොහොම ආත්මාර්ථකාමී මිනිස්සු. හිනාවක්වත් බලාපොරොත්තු නොවී ඇසුරු කිරීමෙන් සප්‍රයිස් නොවී පවතින්න පුළුවනි.

      Delete
  14. අම්බලන්ගොඩ අය්යේ. උඹට බ්ලොග් එකක් තියෙනවා

    ReplyDelete