Thursday, March 14, 2019

අන්ෂුවර් කොටා..






ගොඩයාගේ බ්ලොග් ලියමන දැන් ඇති දැන් ඇති කියලා නිරන්තරයෙන් හිතුනත් ගොඩයාගේ අප්සැට් මෙමරියේ තවත් ලියන්නට කතාන්දර බොහොමයක් තිබෙනවාය. ඒ හෙයින් හදිසියේ බ්ලොග් ලිවිල්ල සදහටම නවතා දැමුවහොත් මෙතෙක් ලියාගන්නට බැරිවූ අයවලුන්ගේ චරිතාපදානයන් සදහටම කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ඉඩ තිබෙනා නිසා අධික කම්මැලිකමෙන් වුවද බ්ලොගය මෙසේ ලියවෙනවාය.

කොටා ගොඩයාට පළමුව හමුවන්නේ හත වසරේදීය. එතැන් පටන් කොටා සහ ගොඩයාගේ මිත්‍රකම දහතුන වසර දක්වා පාසලේදීත්, එතැන් පටන් අද දක්වාමත් දැහැමෙන් සෙමෙන් ඇදීගෙන එනවාය. කොටා වනාහි පට්ට ඉමෝෂනල් පොරක් නොවෙනා නිසා වැඩිමනක් කොටා සමග ගනුදෙනුව සිදුවන්නේ කැත්තට පොල්ල ආකාරයෙන් වුවත් මිත්‍රකමේ අඩු වැඩියක් එදත් අදත් සිදුවී නොමැතිය. පාසල් සමයේ යම් අලුගුත්තේරු කර්තව්‍යක් සිදුවීනම් කොටා එහි අනිවාර්ය සාමාජිකයෙකු වන අතර අලුගුත්තේරු කර්තව්‍ය අතරතුරේ අපේ එවුන් අමාරුවේ වැටෙනා තත්වයක් වෙතොත් එම  අවස්තාවේදී අනෙක් එවුන් අමතක කර දමා ඔලුව හැරුණු අතේ පන දිවීම කොටාගේ සිරිතය. 

කොටාට තිබුනාවූ තවත් නරක පුරුද්දක් නම් එකට කාබී ඉන්නා එකාට වඩා පිට එවුන් ලොකු වීමය. කොටාගේ ගමේ චන්ඩි අයියලා සියල්ලක්ම කොටාගේ ඥාතීන් වශයෙන් හඳුන්වාගත් කොටා ඔවුන් විසින් පාවිච්චි කරනවා යයි කියනා කඩු , කිනිසි, නවීන වර්ගයේ තුවක්කු වැනි දෑ ගැන කියනා කතාන්දර කොල්ලන් අසා සිටියේ සුරංගනා කථා ආකාරයෙන්ය. ඔය කියනා චන්ඩි ඥාති අයියලා ගැන කොටා නානාප්‍රකාරයේ දරුණු කතාන්දර කියුවද ඔය කියනා අයියලා  සතුව මල කෑ කඩු කොටයක් දෙකක් හැරුණකොට නවීන අවි ආයුද තිබුනා කියා කිසිවෙකුත් විශ්වාස කලේ නැත. එහෙත්  ඒවා කිසිවෙකුත් කොටා ඉදිරියේ කියන්නට ගියේ නැත. කොටා නැති තැන කොටාව කකුල් දෙක,පහලට ලිඳේ එබුවද කොටා ඉන්නා තැන කොටාගේ චන්ඩි ඥාති අයියලා ගැන කිසිවෙකුත් විහිළු තහළු නොකළේ, කොටාද වැඩිමනක් විහිළු නොහඳුනන වර්ගයේ එකෙකු නිසාය. විහිළුවක් මලාට නොහඳුනන කොටාගේ ඥාති චන්ඩි අයියලාගේ කියුම් කෙරුම් ගැන කොටාට විහිළු කළහොත් හැරෙන තැපෑලෙන් කොටා චන්ඩි අයියලාට කේලම කියනා වග ටක්කෙටම දන්නා නිසා කිසිවෙකුත් කොටාට කොලොප්පම් කරන්නට ගියේ නැත. නයා නැති වුවද මිනිසුන් වේයන් විසින් බඳිනා ලද හුඹසට භයක් දක්වන්නාසේ කොටාට පුංචි පහේ හුඹස් බියක් කොල්ලන් අතර තිබුනද පංතියේ අත පය හතර හයිය එවුන්  අවශ්‍ය අවස්තාවන්හිදී කොටාගේ බෙල්ල පහලට නවා පිට මැද්දෑවට දෙක තුනක් අනින්නට පසුභට වුයේද නැත. කොටා සම්භන්ධව සුවුසේශී සේදුවීම් බොහොමයක් ඇතත් කිහිපයක් පමණක් මෙහි ලියා තබන්නේ බ්ලොග් පෝස්ටුව දිග වැඩිවෙන නිසාය. කොටාගේ උපන්ගම අම්බන්ගොඩ වුවත්, කොටා දවසින් වැඩි කාලයක් ගතකලේ අම්බලන්ගොඩ හිරේවත්තේ මුහුදු වෙරල අසල කොටාගේ මිත්තනියගේ නිවසේය.  අම්බලන්ගොඩ යයි කීවාට කොටාගේ ස්ථීර පදිංචිය වුයේ අම්බන්ගොඩින් කිලෝමීටර හය හතක් බටපොල දෙසට පිහිටා තිබෙනා ඉඳිකැටිය නම් ග්‍රාමයේය. එකල ඉඳිකැටිය අද තරම් ජනාකීර්ණ නොවූ බොහොමයක් කුරුඳු ඉඩම් සහ ලදු කැලෑ  වලින් වටවූ ග්‍රාමයක් වූ අතර ඒ ප්‍රදේශයේ සිදුවන්නායයි කියනා බොහොමයක් ත්‍රාසජනක දෑ ගැන කොටා කියද්දී කොල්ලන් මුව අයා භයෙන් භිරාන්තව සිටින්නේ එවන් ත්‍රාසජනක අත්දැකීම් ලෙහෙසියෙන් විඳින්නට තියා අසන්නටවත් නොලැබෙන නිසාය.

කොටා ඕනෑම බෙල්ල ගහලා යන වැඩකදී කර නාරින පුද්ගලයකු වුවත් කුමක්දෝ විස්තර කල නොහැකි නුහුගුනයක් කොටා වෙත තිබුනේය. එනම් හිටිවනම ද්‍රෝහියා වීමය. මරාගෙන මැරෙන්නට තරම් එඩිතර වුවත් හිටිවනම කොටා රහසේ සතුරාගේ පාර්ශවය නියෝජනය කරනා වර්ගයේ අලුගුත්තේරු වැඩ ඉඳහිටෙක කල නිසා කොටා ගැන වැඩිමනක් විශ්වාසය තැබීම කිසිසේත්ම කල නොහැක්කක්ය. එකට කාගෙන බීගෙන උන්නද ගේමට එන්ටර් වී සිටිනා විරුද්ධ පාර්ශවය හා  පෘතුවිය සහ ප්ලූටෝ තරම් දුර නෑකමක් කොටා හා තිබෙන්නේනම් නින්දිත ආකාරයෙන් සැට් එක පාවාදීම කොටාගේ සිරිතය. පාවාදෙනවා කියා කිසිසේත්ම කේලම් කියන්නේ නැති කොටා ඥාතීන්ගේ අවි බලය ගැන නං දොඩොවා පිරිසේ මොරාල් එක කුජීතකර දමනවාය. කොටාගේ ඉන්ටර්නැෂනල් ඥාතිකම් අරභයා කොටා තරම් ඥාතියෙක් මේ තුන්ලොවවත් නොමැතිය. එවන් ආකාරයෙන් දුරී......................න්  ඥාති වෙන ගෑනු දැරිවියෙක් අරභයා අපේ එකෙකුට හිතක් පහලවීනම් කොටා එකෙන්ම හිටගන්නේ ඥාතියාගේ පැත්තේය. එදා පටන් කොටා දොඩොවන්නේ හෙන පාතාල කථාය. "ඔය කෙල්ල පස්සෙන් ගිහින් බොලා බෙල්ල කඳෙන් වෙන්කරගන්න එපා " වැනි ඇඟ කිලිපොලා යන වර්ගයේ එව්වා කියා කොල්ලන් භය කිරීම කොටාගේ ඥාතීත්වයේ පළමු කඩඉමය. 

ඕනෑම බෙල්ල ගහලා යන වැඩක් භාරගැනීමට කොට ඕනෑම වෙලාවක එඩිතර වන අතර වැඩය අල වුවහොත් අමු අමුවේ පාවාදීමද කොටාගේ සිරිතය. ඒ සමගම කොටා වෙත තිබුනාවූ තවත් දුර්වලකමක් නම් ඕනෑනැති මගුලක් නොමැති වීමය. වෙනත් ආකාරයකින් කියනවානම් කොටා යනු රාජ්‍ය තොරතුරු කාර්යාංශය තරම් තොරතුරු එක්රැස් කරන්නෙක්ය. කවුරුන් හෝ එකෙකු කුමන හෝ ගෑල්ලමයෙක් ගැන වැඩිපුර උනන්දුවක් දක්වනවානම් කොටාද එම ගෑල්ලමයා හට තමුන්ගේ උනන්දුව වැඩි කරනා වර්ගයේ එකාය.වෙන එකෙකු ගෑලමයෙකුට ට්‍රයි කරනවානම් කොටාද හීනියට ඒ ගෑල්ලමයාට ලැයින් කරනවාය. කොටින්ම කියනවානම්, ගෑල්ලමයෙක් වැරදිලා හෝ දෙපාරක් කොටා දිහා බැලුවහොත් කොටා හිතන්නේ ඒ ගෑල්ලමයා කොටාව කසාද බඳින්නට  කැමතියි කියලාය. 

එක්දහස් නවසිය අනූ තුනේ එක්තරා දිනෙක අපගේ යාලු මිත්‍ර පීටරයාට තම පෙම්වතිය බැහැදකින්නට යාමට සිත්වෙනවාය. පීටරයා තම ගමන් සගයන් වෙනුවට තෝරා ගන්නේ කොටා සහ ගොඩයාය. සෑහෙන කලක පටන් ගොඩයා ඔය කියන ගමන යන්නට කට් එක දමමින් සිටියද එදින ගොඩයා ගමනට බලහත්කාරයෙන්ම ඇදගෙන යාමට පීටරයා තග දමනවාය. ඔය කියනා ලව් පලහිලව්වට සම්මාදම් වීම බෙල්ල ගහලා යන කර්තව්‍යක් නිසාවෙන් කිහිප වතාවක්ම ගොඩයා සීරුවට ගමන මගහැර උන්නේය. එහෙත් එම වතාවේ මගහැරීම සුම්මා වුයේ පීටරයා ගොඩයාගේ බෙල්ලෙන් අල්ලා ඉහලට ඔසොවා "තෝ අද මා එක්ක යන්න එන්නම ඕන " යයි කී නිසාය. එව්වාට විරුද්ධ වී ඇඟ පත මසාජ් කරගැනීම අනවශ්‍ය නිසා ගොඩයා ඔන්න ඔහේ ඔනෑ එකක් කියාගෙන ගමන යන්නට පිටත් වෙනවාය. එය එසේ වූවද ගමන එසේ මෙසේ එකක් නොවේය. දෙපාර්ශවයේම තදබල විරෝදය මධ්‍යයේ පවත්වාගෙන ගියාවූ පීටරයාගේ ලව, ගිනි අවි සහ ගිනිකෙළි මට්ටමට ඉතාමත් ආසන්නව තිබුනද පීටරයා එව්වා තඹේකට මායිම් කලේ නැත. එසේ හෙයින් පීටරයාගේ නිවසේ නිවැසියන්ගේ ඇස් වලට වැලි ගසා වෙරල දිහාවට මාරුවී, එතැන් සිට වෙරල දිගේ ටිකදුරක් මන්ගච්චන කල පීටරයාගේ වර්තමාන අඹු සිඟිත්ත හෙවත් එකල පෙම්වතියගේ නිවාස හමුවෙනවාය. අහල පහල නිවැසියන්ගේ ඇස් වසා පාර මාරුවී අඩි හතක අටක තාප්ප රාජයා තත්පරයෙන් තරණය කිරීමෙන් අනතුරුව තිබෙනා අරලිය ගසට ගොඩවූ පසු ගමනෙන් භාගයක් අවසන්ය. එතනින් පසු අරලිය ගසෙන් වත්තට බැසගත් කල පීටරයාට ඉතිරි ටික මයි කාර් මයි පැට්‍රොල්ය. අක්කර භාගයකට වැඩි මිස අඩු නොමැති තඩි තාප්පයකින් වටවී තිබෙනා පීටරයාගේ පෙම්වතියගේ නිවසේ බොහෝවිට පසුවූයේ මෙහෙකාරිය සහ පීටරයාගේ වයිපරය පමණය. වත්තේ තිබෙනා ලොවි බැංකුව අසලට පීටරයාගේ වෙන්ඩ වයිපරය පැමිණි පසු සහයට ඩැනිලාගේ කාර්යභාරය අවසන් වන අතර එතැන් පටන් කලයුත්තේ පීටරයා මල් කඩා අවසන් වනතෙක් මුහුදු වෙරළේ රැඳී සිටීමය. ඔය වැනි අවදානම් වැඩකටයුත්තකට ගොඩයාව සහභාගී කරගැනීමේදී අටෝරාසියක් නෙගෙටිව් කතා ගොඩයාගෙන් අසාගන්නට වන නිසා කිසිදු දිනෙක පීටරයා ගොඩයාට ඔය කියනා ගමන යාමට වැඩි බලකිරීමක් කලේ නැත. ඒ එවන් තාසජනක කටයුත්තක් සඳහා ගොඩයා කිසිසේත්ම නුසුදුසු නිසාය. පීටරයා ගොඩයා ඇමතු සියලුම අවස්ථාවන්හිදී ගොඩයා පට්ට නෙගෙටිව් මුස්පේන්තු අනාවැකි කීපයක් කියා ගමන මගහැරියද මේ කියනා දිනයේ පළමු සහ අවසන් වතාවට ඔය කියනා ගමන ගොඩයාට  යන්නට සිදුවෙනවාය.


පීටරයා ලොවි බංකුව  උඩ වැඩි කරවා පීටරයාගේ වෙන්ඩ වයිපරයද ලොවි බංකුව උඩ වාඩි කරවා ආදරය කරන්නට සලස්වා කොටා හා ගොඩයා ආපිට එන්නට පිටත් වෙනවාය. කොටා ගමනට පුරුදු කාරයකු වුවත් ගොඩයා කෝඩුකාරයාය. අවදානම් පරිසරයන්හි රැඳී සිටීමේදී ගොඩයාගේ උනන්දුව එම ස්ථානයෙන් හැකි ඉක්මනින් පැනගැනීම නිසා ගොඩයා දනිපනිගා අරලිය ගසට ගොඩවෙන්නට තනන්නේ හැකි විගසින් තාප්පයට ගොඩවී පාරට පැනගතහොත් තමුන් හසුවී තිබෙනා මරාලයෙන් නිදහස් වීමට හැකිවෙන නිසාය. එහෙත් පළපුරුද්දෙන් සහ පණ්ඩිතකමෙන් කොටා අගතැන්පත් නිසා ගොඩයා බිමට ඇද  දමා කොටා පළමුව අරලිය ගසට ගොඩ වන්නේ ගොඩයා තුට්ටුවකට මායිම් නොකරමින්ය. අරලිය ගස දිගේ තාප්පය උඩට ගොඩවෙන කොටා කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම පාරට පනින්න ගියද අවසන් මොහොතේ පාරට නොපැන ඉන්නට තීරණය කල සෙයක් ගොඩයා දැක්කමුත් කොටාගේ බ්‍රේක් පහර මැදිවූ වගක්ද ගොඩයාට දැනෙනවාය. ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිව කිසිවක් නොකරනා ගොඩයා කොටාගේ බ්‍රේක් පහර ගැන කල්පනාවෙන් හෙමින් සීරුවේ තාප්පය උඩින් ඔලුව දමා බලනාකල දෙයියෝ කොටා හා සෑහෙන්න අමනාපවී ඇති වග වටහෙනවාය.. කොටා හතර ගාතෙන් බිමය.. අසලින් පීටරයාගේ මෑණියන් සහ දෙවැනි අයියාය .. හුටාය ...


කෝ අපේ එකා... ඒ අසන්නේ පීටරයාගේ මෑණියන්ය... සිටින්නේ පීටරයා අමුවෙන් කා අපිව අතුරුපසට කන තරම් කේන්තියෙන්ය .. 

අන්න ඇන්ටි මෙන්න මේ ගෙදර ගෑනු ළමය එකක් වත්ත ඇතුලේ කථාකරකර ඉන්නවා..

ඒ කොටා අපගේ පීටරයාව අමු අමුවේ පාවාදෙන ආකාරය බැවින් අරලිය ගසේම රැඳී සිටීම ඇඟට ගුණ ආකාරයක් ගොඩයාට වැටහෙනවාය. කොටාගේ කනෙන් අල්ලාගත් පීටරයාගේ මෑණියන් අදාළ ගේට්ටුවෙන් වත්තට ඇතුල්වී පීටරයා අතටම අල්ලාගන්නා අල්ලපනල්ලේ සීරුවට අරලිය ගසෙන් තාප්පයටත්, තාපයෙන් බිමටත් බැසගන්නා ගොඩයා මුකුත්ම නොදන්නා ආකාරයෙන් ගෙදර මාරු වෙනවාය. අනූ  නවයෙන්  කුඩේ කුඩු වෙන්නට ගිය ගොඩයාගේ කාර්ඩ් කුට්ටම එසේ බෙරුනේ, මුට්ටිය නොදා කෙලින්ම ඔලුව දමනා වර්ගයේ කොටා නිසාය. 

විටෙක මුට්ටිය නොදා කෙලින්ම ඔලුව දමන්නට ගොස් ඉල්ලන් කන කොටා තවත් විටෙක ඔලුව නොදා මුට්ටිය දමන්නට ගොස්ද ඉල්ලන් කෑවේය. ඒ මෙසේය..

එක්දහස් නවසිය අනූ හයේ එක්තරා දිනෙක අපගේ මිත්‍රයකුගේ නිවෙසක අවමංගල්‍යයක් සිදුවෙනවාය. ඒ කියනා මිත්‍රයාද එකල සුපිරි නට් ලූස් පොරක් නිසා හෙතෙම ගැන බ්ලොග් පොස්ටුවක් ලිවීමට ගොඩයා සෑහෙන කලෙක හිටං හිතාගෙන සිටිනවාය. අපගේ මිත්‍රයාගේ නිවසේ මළගෙයක් වග පාසලට ආරංචිය ගෙන එන්නේ වෙනත් මිත්‍රයෙකුය. එහෙත් එය කිසිවෙක් විශ්වාස නොකරන්නේ අදාළ මිත්‍රයා නොකඩවා පාසල් පැමිණි නිසාය. එහෙත් ආරංචි කර බැලු කල අප මිත්‍රයාගේ මාමා මියගොස් අවසාන කටයුතු පසු දිනට යෙදී තිබෙනවාග සියල්ලෝම දැනගන්නවාය. තම නිවසේ සාමාජිකයකු මියගොස් මෘත ශරීරය නිවසේ තැන්පත් කර තියෙද්දී පාසල් කිසිදු සුවිසේශී හේතුවක් නොමැතිව නොකඩවා පාසල් පැමිණීම, ටිකක් නෙවෙයි හොඳටෝම නට් ලූස් කියල හිතෙන්නේ නැද්ද හා.. මෑන්ස් ගැන බ්ලොග් පෝස්ටු දෙකතුනක් ලියවෙයි.. මොකද ඒ නට් තාමත් ටික ටික ලූස් නිසා ඔව්ව ලියල ගොඩයාට ෆුල් බොඩි මසාජ් එකක් ලැබෙයිදෝ කියන සැකේ ගොඩයාව පසුභට කරවනවා..

ඔන්න එතැන් සිට සීන්කෝන් එක මෙහෙමයි..

 කට්ටියම මළගෙදර සෙට් උනා කියමුකෝ.. වෙලාව රෑ හතට අටට වගේ ඇති. මළගෙදර එකා ඉස්කෝලේ ආවත් අපේ එවුන් යුතුකම් ඉෂ්ඨ කරද්දී මළගෙදර එකා ඉන්නවද නැද්ද කියන එක අදාලම නෑ.. මිනිය තිබ්බනම් ඒ හොඳටෝම ඇති..

ඕන් කොටාත් මළගෙදරට සැපත් උනා හතහමාරට විතර. මළගෙදර මිත්‍රයාගේ මිදුලේ තමා කට්ටිය සෙට් වෙලා ඉන්නේ. ඔය කියන තැනට අහල පහල ගෙවල් එහෙමත් පෙනෙන එක සාමාන්‍ය දෙයක්. ඔන්න ඔය අතරේ තමා අල්ලපු ගෙදර ගෑල්ලමයා කුස්සියේ දොරෙන් එලියට ඇවිත් පිටිපස්සේ තියන මල් ගහකින් මල් කඩන්න පටන් ගන්නේ. ඔන්න කොටා දකිනවා මේ ගෑල්ලමයව. කොටාට ඉස්පාසුවක් නෑ කියහන්කෝ.. 

මළගෙදර මිත්‍රයාගේ ගෙදරට නිතර යන එන ගොඩයා ඇතුළු කිහිපපොලක් ඔය කියන ගෑල්ලමයගේ විස්තර දන්නවා. ඒ ළමයට ගෙදරට කිව්වේ චුට්ටි කියල කියමුකෝ.. ඒ ආසන්න නමක්.. ඔව්වගේ ඇත්තම නං ගං ලියල ඉල්ලගෙන කන්නත් බෑ  නෙව. දැන් වෙද්දී චුට්ටි බැඳලා දහ අටේ විස්සෙ දරුවොත් ඇති බොහෝ දුරට. මළගෙදර මිත්‍රයා සහ ගොඩයා ඇතුළු කිහිපදෙනෙක් තොරණේ විස්තරය දන්නවා උනාට කොටා ඔව්වයේ වගක් දන්නේ නෑ. 

අඩෝ ඒ කව්ද බන් ඒ...

ඒ තමා චුට්ටි..

අඩෝ පට්ට කෑල්ලනේ..

මේ මේ ලෙඩ නොදා හිටහන් ආවනං.. එහෙම කියන්නේ අපේ මළගෙදර මිත්‍රයා..

අඩෝ මං දිහා බැලුවනේ.. පොඩ්ඩක් තාප්පෙ අයිනට ගිහිං ටෝකක් දාන්නද 


පී......ස්සුනං කෙලින්න එපා හොඳේ... පාඩුවේ හිටහන්..

හරි බන් කතා කරනවා විතරයිනේ..

තෝ ඕන මගුලක් කරගනිං මේ වත්තෙන් එලියට ගිහිං ...

හරි එහෙනං මං පාරට ගිහිං චුට්ටි එක්ක කතා කරනවා..

අපේ ගෙදරට ආව කියන්නේ නැතුව ඕන මගුලක් කරගනින්..

ඔන්න කොටා යනවා පාරට.. පාරට ගිහින් කොටා නිකං ඉන්නේ නෑ.. කොටා කෙලින්ම යනවා චුට්ටිගේ ගෙදරට...ඊළඟට වෙන්න යන දේ දන්නෝ දනිත් නිසා දන්නා කියන අයවලුන් තාප්පෙට චුට්ටිලාගේ ගෙදර පිළිකන්නේ තාප්ප කොටේට කිට්ටු වෙලා කන් දෙක සුසර කරගන්නවා කොටාගේ වික්‍රමය අහගන්න..

ගෙදර කව්ද....

ඒ අපේ කොටා.. ම්හ්.. ගේ ඇතුලෙන් සද්දයක් නෑ..

ගෙදර කව්ද...

කව්ද.....
ඕන් ඒ එලියට ආවේ චුට්ටිද  ? නෑ හත් ඉලව්වේ ඒ චුට්ටිගේ මෑණියන්.. අපේ කොටාට එව්වයේ වගක් නෑ... මොකද කියනවනම් වෙලාවකට කොටාගේ මොලේ පස්ස පැත්තෙත්  නෑ..

මං  මේ පාරේ යන කෙනෙක්.. 

ඇයි මොකද... 
සද්දේ හැටියට චුට්ටිගේ මෑණියන් ඉදිරිපස දොර ලඟට වැඩම කරලා..

වතුර එකක් බොන්න පුලුවනිද..

මොකක්...

ව..ව..ව..වතුර එකක්...

මොකද තමුසෙ මෙහෙමම වතුර ඉල්ලන්නේ.. ඉන්නවා මන් තමුසෙට හොඳවයින් වතුර එකක් දෙන්න.. ඒයි.. මේ ආවනං... මේ වතුර එකක් ඉල්ලගෙන කව්ද කොල්ලෙක් ඇවිල්ලා..

ඔන්න දැන් කොටාට මොලේ කලඳක් වත් තියෙනවනං තේරෙන්න ඕන වැඩේ අවුල් වේගෙන එන්නේ කියල..

අනේ නෑ ඇන්ටි... 

ඇන්ටි ?????

නෑ  මේ මං  ඉඳිකැටියේ ඉඳන් පයින් එන්නේ මලගෙදරක් හොයාගෙන.. කිව්ව විදිහට මේ අහල පහල තමයි තියෙන්න ඕන.. වතුර තිබහයි.. ඒකයි වතුර එකක් ඉල්ලුවේ...

ඉතිං  ඕයි අර අල්ලපු ගෙදර ඉස්සරහ පාර හරහට සුදු කොඩි දාල ලයිට් දාල තියෙනවා තමුසේ පොට්ටද..

නෑ  මං දැක්කේ නෑනේ.. 

ඇයි හත්ඉලව්වේ අර  සයිස් එකට පාර හරහට දාල තියෙන සුදු කොඩිය පේන්නේ නෑ ... තමුසෙ පොට්ටද .. ඉන්නවා මං පෙන්නන්න...

ඕන් චුට්ටිගේ මෑණියන් නයිටිය පිටින්ම පාරට ඇවිත් සද්භාවයෙන්ම කොටාව මළගෙදර ගේට්ටුව ලඟට ඇරලනවා . ඒ එන සද්දෙට පිටිපස්සේ තාප්පෙට කන තියාගෙන කොටා නාන නෑම අහගෙන හිටපු එවුන් දනිපනි ගාල ඔලුව හැරුන අතේ මාරුවෙනවා.

කොටාව අතින් ඇදගෙන මළගෙදර ගේට්ටුවෙන් අතුල්වුණු චුට්ටිගේ මෑණියන් කොටාව අපේ මිත්‍රයාගේ අක්කණ්ඩිට භාර දෙන්නේ කොටාගෙ රෙදි සේරෝම ගලවපු ගානට..

මෙන්න මේ හාදයා ඉඳිකැටියේ ඉඳන් පයින්ලු එන්නේ මළගෙදර හොයාගෙන.. වතුර තිබහ වෙලා අපේ ගෙදරට ආව වතුර ටිකක් ඉල්ලගෙන..

කොටා ඉන්නවා ඇටිකෙහෙල් කාපු රිලවා වගේ උඩ බලාගෙන.. මළගෙදර මිදුලේ හිටපු සේරෝම සීන් කොන් එක බලාගෙන.. කොටාව ශෝරූම් එකක දාල බම්බලපිටියේ එම් සී එක ඉස්සරහින් තිබ්බ වගේ තමා.. අපේ එවුන් උපන්දා හිටන්ම  දෑහැට පේන්න බැරුව ඉන්න අපේ මිත්‍රයාගේ අක්කණ්ඩි කොටා දිහා ඔරෝගෙන බලං ඉන්නේ මූව අමුවෙන් කනවද උයල කනවද කියන්නැහේ... 

මේ ළමයෝ... මේ මළගෙදර මිනිස්සු බොහොම හොඳ මිනිස්සු.. වතුර එකක් ඉල්ලුවට නොදී ඉන්න මිනිස්සු නෙවෙයි.. මළගෙදර පෙනි පෙනී අල්ලපු ගෙදරින් වතුර ඉල්ලන්න මුන්ට අමු කැවිලද මන්ද..

ආව මෙතන වතුර ඉල්ලන්න.. වතුර තිබහක්ද නැත්තං අමාරුවක්ද මන්ද.. චුට්ටිගේ මෑණියන් එතනින් නික්ම ගියේ හෙමින් සැරේ එහෙම කියාගෙන..

එතනින් එහා ඉතින් මාස ගානක් යනකල් කොටාව ලිඳේ ඔබන්න ඕනවුන හැම වතාවෙම අපේ එවුන් කිව්වේ...

"ආව මෙතන වතුර ඉල්ලගෙන.."

ඔය ටික කිව්වම කොටාට අසූ හාරදහට මල පැනීම ස්භාවික උනා ඒත් කොටා ඒක කවදාවත් පෙන්නුවේ නෑ . ඒත් එව්වා ගලේ කෙටුවා වගේ හිතේ තියාගෙන ඉඳලා අවස්තාව දුටු තැන කොටා සැට් එක පාවා දුන්න.. අද වෙද්දී කොටා මැදපෙරදිග රටක ඔටෝමොබයිල් ඉංජිනේරුවෙක්.. හැබැයි ඉතින් කොටා එදා වගේම අදත් සුවර් නැති සතා නිසා විහිළු තහළු වැඩිය නෑ. එදා චුට්ටිට කොකම් පාන්න ගිය කොටා නොදැන හිටපු එකම කාරණය තමා, වතුර ඉල්ලගෙන චුට්ටිලාගේ ගෙදරට දවසට කොල්ලෝ හත අටක් එන වග. චුට්ටිලාගේ පියාණන් මද පමණට නෙවෙයි අම්බානෙකට අනුමත වෙලා  ජුන්ඩක් සැතපිලා නොඉන්න, කොටාගේ වතුර තිබහ ගැන කතාව මීට වඩා පට්ට ඉන්ට්‍රෙස්ටින් වෙන්න තිබ්බ. කොටාගේ කතා එමටයි.. තව එව්වා පසුවට..






51 comments:

  1. කෝ මේ කොටා..මෙව්වා දැකල හිමීට මාරු වෙලාද..

    ReplyDelete
    Replies
    1. කොටා මේක දැක්කොත් ගොඩයා සුං..

      Delete
  2. කොටා හෙන ආතල් එකක් නේ දීලා තියෙන්නේ .

    අතීත කතා හැම එකක් වගේ රසවත් , දිගටම ලියමු !

    ReplyDelete
    Replies
    1. කොටා දීපු ආතල් වලින් මේ ලිව්වේ පොඩිම එකක් දෙකක් කියල හිතාගන්නකෝ..

      Delete
  3. සමහරුන්ගේ දේහ ලක්ෂණ වලින් ගතිගුණ කියන්න පුළුවන්. මම කියෙව්වේ මේ කතාවල තිබ්බ ඒ ගතිය. බොරුවක් නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ ලිව්වේනම් බොරු නෙවෙයි.. දේහ ලක්ෂණ ගැනනම් මා නොදනී..

      Delete
  4. Replies
    1. ස්තුතියි කුමාර..

      Delete
  5. //ගොඩයාගේ බ්ලොග් ලියමන දැන් ඇති දැන් ඇති කියලා නිරන්තරයෙන් හිතුනත් //

    බන ටෝකිං ද?

    ReplyDelete
    Replies
    1. දැන් නම් හොඳටෝම ඇති වගේ ඉයන්.. ලියන්න හිතෙන්නේම නෑ.. එක දිගට ලියන්න වෙලාවක් නෑ.. කඩින් කඩ ලියද්දි පටන් ගන්න ත්‍රිල් එක දෙවැනි තුන්වෙනි වතාවේදී දැනෙන්නේ නෑ..

      Delete
  6. ඔය වාගේ ඉස්කෝලේ යන කාලේ යාළුවෝ එක්ක ගෙදරකින් වතුර ඉල්ලන්න ගිහිල්ලා කාපු පරිප්පුවක් මතක්වුනා. පස්සේ දවසක බ්ලොග් එකේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. නැව් විස්තරේ පංකාදු පහයි.. ඔය කියන පරිප්පුවත් ඉක්මනටම ලියමු එහෙනම්..

      Delete
  7. //ගොඩයාගේ බ්ලොග් ලියමන දැන් ඇති දැන් ඇති කියලා නිරන්තරයෙන් හිතුනත්// එහෙම උනොත් තවුසෙ මැරුං කන්නෙ තඩියගෙන්වත්, කොටාගෙන්වත් නෙමෙයි කියල මතක තියාගත්තොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපතිතුමා කියද්දී ඉතින් ලියන්නම වෙනවනේ නේහ්..

      Delete
    2. හුකා....!!! තමුන් බ්ලොග් ලිවිල්ල නැවැත්තුවොත් ආය ලංකාවට එනව බොරු. අපි අදුනන හරිම දරුණු පාතාල ලොක්කො ඉන්නව නේද සභාපතිතුමා?

      Delete
    3. අප්පටසිරි ඒ ගමන පාතාලෙනුත් බස්සලාද..බුදාම්මෝ...

      Delete
  8. හැක්.. තව පොඩ්ඩෙං කොටාටත් පෙට්ටියෙ තමයි ගෙදර යන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කොටා ක්ෂණිකව වාෂ්ප වෙන්න දක්ෂයා නිසා බේරෙන්න තියෙන චාස්න් එක වැඩියි.. මං ලිව්වේ නැති උනාට ඔය වතුර ඉල්ලන්න යද්දී තව එකෙක් කොටා පස්සෙන් ගියා.. හැබැයි චුට්ටිගේ මෑණියන් දොර අරිද්දි පස්සෙන් ගිය එකා ඉර්ධි උනා තත්පරෙන්..

      Delete
  9. අර යස ගේට්ටුවක් තියෙද්දි උබල මොකටද තාප්ප වල බඩ ගාන්න ගියේ හැබෑට.කොටා නොහොත් "බෙටලකුයිස්" නින්දේදි මදුරුවෙක් වැහුවත් ඇහැරෙනව ඕකට.O/L වලට පාඩම් කරන දවස්වල ඕකට නින්ද ගියාම කකුලෙ ඇගිලි දෙක අස්සෙ කොල කෑල්ල ගහල පත්තු කරන්න මම කොච්චර ට්‍රයි කරල තියනවද.හැම පාරම ඇහැරුනානෙ කොටා.හම්මෙ ඉතිං කුනුහරප කෝටියයි.මතකද හිරේවත්තෙ ගෙදර උඩ තට්ටුවෙන් ගිහිල්ල රීගල් හෝල් එකේ තැබිලි ගහේ තැබිලි කඩන් එනව කොටා.ඔහොම හිටියට සුපිරි පයිලට් කොටා.....

    ReplyDelete
    Replies
    1. යසට ගේට්ටුව තියෙද්දී තාප්පෙන් ගියේ ආවේ ඇයි කියල අහගන්න වෙන්නේ ඉතින් පීටර් උන්නැහේගෙන්ම තමයි.. කොටාගේ තැඹිලි හොරකම් පසුවට ලියමු.. කොටා මේක දැක්කොත් හෙම මා සුං ..

      Delete
  10. නොලිය නමි ඉන්න එපා මා දෙයියො...

    කොට උන් ඔහොමමයි..

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතින් මහ උසක් කියල නෑ.. ටොනික් පියන් දෙකතුනක් විතර උස ඇති ඕනෙනම්.. බස්සෙකක බෙල් එක ගහගන්න උස තිබ්බම ඇති බන් ලංකාවේ ඉන්නවනම්.. හැබැයි පුතාලා කොට එවුන් උස එවුන් තරම් මෝඩ නෑ.. ඒකයි වෙනස.. හක් හක් හා...

      Delete
  11. පොස්ටුව දිග වැඩි නිසා කියවන්න වෙලාව මදි. ඉතින් නිවාඩු පාඩුවේ කියවන්න ලැයිස්තුවට දාගත්තා.

    ReplyDelete
  12. අප්පා පහු වෙලා දැක්කෙ. මේක නියමයි. හිනා ගියා හොඳටම. :)

    ඉතින් අර යාළුවා මළගෙදර තියෙද්දී ඉස්කෝලේ ඇවිත් තියෙන්නේ මොකෝ? මම මුලින් හිතුවෙ එක ගෙදර කෑලි දෙකේ හිටියට යාලුවා ගේ පවුලයි, මාමලයි තරහ වත් දෝ කියල.

    අනේ කොටාගේ ඉතුරු විස්තරත් ලියන්න, මල් හතට තියේවි.

    ReplyDelete
    Replies
    1. මළගෙදර යාලුවා ඒ කාලේ සෑහෙන්න නට් ලූස් වෙලා හිටපු පොරක්.. දැනුත් කියලා වැඩි වෙනසක් නෑ.. කට්ටිය සෙට් වෙලා කයිය දාගෙන ඉද්දි හිටිගමන් වාහනේට නැගල බ්රූම් ගාල මාරුවෙලා යනවා කිසිම හේතුවක් නැතුව.. එව්වා ඉතින් අපිට පුරුදු නිසා මෑන්ස් ආවා ගියා කියලා අපි ඒ ගැන වද වෙන්නේ නෑ.. ඒ මිත්‍රයා ගැන ලියනවනම් බ්ලොග් පොස්ට් විස්සක් තිහක් ලියන්න කරුණු කාරනා බොහොමයි.. වැඩේ කියන්නේ හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ගතියක් තියෙන නිසා මෑන්ස් ගැන ලියන්න ආසයි භයයි..

      Delete
  13. හයියෝ කොටා... කපටි කොටා.. කියමනක් තියෙනවනෙ ගොඩයෝ "කොට මොඩ්ල්, ළග පිකප්" කියල. 🤓

    ReplyDelete
    Replies
    1. අනිවා.. කොට මොඩල් ළඟ පිකප් වගේම උස මොඩල් වගේ එහෙ මෙහේ හප්පගන්නේ නෑ ලේසියට..

      Delete
  14. ගොඩයෝ පිස්සු කෙලින්න නම් ලෑස්ති වෙන්න එපා.කතන්දර පැක්ටේරියක් තියෙනවා කිය කිය ලියන එක නවත්තන හදන්නෙ?මාසෙකට එකක් හරි ලියපං මගෙ පුතේ.අටංගෙ පහියෙ මම හැම දාම අප් ඩේට් බලන්නෙ ගොඩයා ගොඩ වෙලාද කියලා.මගෙ no 1 බ්ලොග මේක.දෙමල නයන්න කිව්වා වගේ මැරැම්කන්න ලෑස්ති වෙන්න එපා.කොටාට කොනතරත්තුව දීලා උගේ පාතාලයෙක් ඇමරිකාවට එවනවා දැනගං😂😂😂😂

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි DPR.. ලියන්න වෙලාව කලාව කොහොම හරි හොයාගෙන මේක තව ටික කාලයක් ඇදගෙන යන්න තමා කල්පනාව..

      Delete
  15. කොට එවුංට තියෙනව හීනමානෙ. ඒ හංදා උං ඕන අවලං වැඩක් කරල ඇරියස් කවර් කරගන්නව

    ReplyDelete
    Replies
    1. ඔය ඔය ඉතින්.. ටොනික් පියන් දෙකතුනක් උස උනාට අපිට නම් ඔය හීන මානයක් නෑ..

      Delete
  16. අප්පට සිරි! මම කාලෙකින් ආවෙ. අඩේ දිගටම ලියාං. මැදක් හරියෙදි ශෛලිය වෙනස් වෙලා තියෙන එකෙන්ම පේනවා ගොඩයා කොච්චර බිසිද කියලා. ඒකට මොකද, මාසෙකට එකක් දෙකක් ලියාං. නවත්තන්න එපා

    ReplyDelete
    Replies
    1. කඩ කඩ ලියනකොට මූඩ්ස් වෙනස් වෙන විදිහට ලියවෙන ආකාරය වෙනස් වෙනවා ඩ්‍රැකී.. ඒක තමයි ලොකුම ප්‍රශ්නය..

      Delete
  17. නොලිය ඉන්න නම් එපොඕ..ආසාවෙන් කියවන්නේ මේකයි දිසාපති පන්හිඳ එකයි විතරයි...අයියගේ බ්ලොග් ඔක්කොම දෙපාරක් විතර මුල ඉදන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදම්.. ඉදිරියට ලියන්න තමයි කල්පනාව...

      Delete
  18. Replies
    1. ස්තුතියි ලොකු පුතා..

      Delete
  19. හුඟ කාලෙක ඉදන් ලිපි කියවනවා.අදයි කමෙන්ට් එකකට ආවෙ. විදිය අපූරුයි. නවත්තන් එපා. කථා තියනවනම් ලියන්න දිගමට

    ReplyDelete
    Replies
    1. ලියන විදිය අපූරුයි කියලයි කියන්න ඕන උනේ.හරිය.....

      Delete
    2. ලියන්න දේවල්නම් තව බොහොමයි.. කම්මැලිකම සහ ටීවී බැලිල්ල නිසයි වැඩේ අතපසු වෙන්නෙ.. ස්තුතියි වියසිදුර..

      Delete
  20. නියම කොටා පවු අප්පා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කොටා පවුනම්
      අපි පවු X 100000

      Delete
  21. මම නම් බ්ලොග් ලෝකෙට අලුත්... වැඩෙ පට්ට. එක නිසා දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. අලුත් පරන භේදයක් අපි ගාව නෑ ජීප් කොලුවෝ.. අපිලත් ජීප් වලට පට්ට මනාපයි.. 4DR5 තමා ෆේවරිට්..

      Delete
  22. Replies
    1. ස්තුතියි තඩියා..

      Delete
  23. අනෙ අම්මෝ… හිනාවෙලා පණ ගියා...

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා මලොත් ඕන් උසාවි ගානෙ යන්න මං නම් නෑ..

      Delete