Tuesday, October 13, 2020

ඇඩොල්ෆ් ජානකී හිට්ලර්..





ගොඩයා කුඩා එකා සංදියේ ජීවිතය ගතවූයේ පුංචි අම්මාගේ දැඩි අධීක්ෂණය යටතේය. පුංචි අම්මා යනු ගොඩයාගේ අම්මාගේ අක්කා වුවත්, ලොකු අයියලා, පොඩි අයියලා ඇයව හැඳින්වුවේ පුංචි අම්මා යන ආමන්ත්‍රණයෙන් බැවින් ගොඩයාද ඇයව හැඳින්වූයේ පුංචී යන ආමන්ත්‍රණයෙන්මය. පුංචීටද එක දියණියක් සහ ස්වාමිපුරුෂයෙක්, පවුලක් තිබුනාවූ බැවින් දිවා කාලයේ නිවෙස් දෙකක රාජකාරි ඉටුකිරීම සහ ගොඩයා වැනි විස බෝලයක් බලාකියා ගැනීම වනාහි මදක් අසීරු කටයුත්තක් වුවත් ඇය කිසිදා ඒ ගැන පැමිණිලි කරලා නැත.  පුංචීගේ දියණිය ගොඩයාට වඩා වසර පහක් වැඩිමහලු වීම එතැනදි ගොඩයාලාට වාසි සහගත ලෙස බලපෑවා වන්නට ඇත. ගොඩයාගේ මව පියා රැකියාව අවසන්වී නිවසට එනතුරු ගොඩයා සහ කුඩා සහෝදරියන් දෙදෙනා බලාකියාගැනීම පුංචී අකුරටම සහ ලෙසටම ඉටුකලාය. වෙනත් විදිහකින් කියනවා, අම්මාට කලින් පුංචීට කිරි එරුනාවූ නෑකමක් වූ පුංචීගේ නෑකම අදටත් ගොඩයාට අසම සමය. ගොඩයාට අසමසමව සෙනෙහස දැක්වූවාවූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු පුංචී වග මෙහිලා ලියන්නට ගොඩයා ලෝභ වන්නෙ නැත. පුන්චීගේ අභාවය අදටත් ගොඩයාට අම්මා නැතිවුනාක් හා සමානව දැනෙන්නේ පුංචී, ගොඩයා සහ ගොඩයාගේ සහෝදරියන් වෙත දැක්වූවාවූ බැඳීම අසමසම මහා සෙනෙහෙ කන්දක් වන නිසාය. 

ගොඩයා කුඩා එකා සංදියේ සෑම වරදකටම දෙවතාවක් කෝටු පාර කනවාය. ඒ  දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ වශයෙන්ය.. ගොඩයා විසින් දිවා කාලයේදී කරනු ලබන වැරදි සඳහා රියල් ටයිම් පුංචීගෙන් දඬුවම හිමිවෙනා අතර, සවසට පියානෝ ගෙදර පැමිණි පසුවද පුංචී විසින් දෙනු ලබන දවසේ පුවත් වාර්ථාව අනුව ගොඩයාට ඒ ඒ අදාල අසනීප සඳහා වේවැල් හෝ පේර කෝටු කසාය මාත්‍රාවක් ලැබෙනවාය. පුංචී නිවෙස් දෙකක රාජකාරී සතු කාන්තාවක් වශයෙන් ගොඩයා පසු පස ගම පුරා එලවා යාමට සැමවිටම නොහැකි නිසා ගොඩයාගේ යම් යම් අලුගුත්තේරු වැඩ ගෙදරට රිපෝර්ට් නොවීම මද වශයෙන් ගොඩයාට වාසියට හිටිනවාය. එහෙත් පුංචීද ගේම අතාරින්නේ නැතිවම හැකි සෑම අවස්ථාවකම ගොඩයා දිහාවට ඇයගේ තෙවැනි ඇස යොමු කරගෙනම සිටිනවාය. මෙසේ කාලයක් ගතවෙද්දී ගොඩයාව ආම්බාන් කිරීම පුංචීට මදක් අසීරු වග වටහාගත් ගොඩයාගේ ඩඩා පුංචීගේ සහයට තවත් පවුලේ සාමාජිකාවක් සේවයට කැඳවනවාය...

ගොඩයාලාගේ ගෙදර ඩේ කෙයාර් සෙන්ටර් එකට අලුතින් එක්වූ සාමාජිකාව වූයේ ජානකී අක්කාය. ජානකී අක්කා යනු ගොඩයාගේ මාමාගේ වැඩිමහලු දුවය. මොරටුවේ පදිංචි සහ එවකට උසස්පෙල අවසන්ව ප්‍රථිපල එනතුරු නිවසේ සිටි ජානකී අක්කා බොහෝ කැමැත්තෙන් ගොඩයලාගේ ගෙදර ඩේ කෙයාර් එක බලාකියාගන්නට එන්නේ නෑකමට විනා පඩියට නොවේය. ජානකී අක්කාට සහෝදරියන් දෙදෙනෙකු වනවාය. ඔවුනට සිටිනා එකම මලයා වනාහි සුරතල් ගොඩයා වූ බැවින් ජානකී අක්කා ඇතුලු අක්කලා තුන්දෙනාම ගොඩයාට පට්ට ලවුය. ජානකී අක්කා සහ ගොඩයා අතර වයස් පරතරය අවුරුදු දහයකට වැඩි මිස අඩු නැතිය. එහෙත් ජානකී අක්කා උපන්නේ කුමන අවුරුද්දේද යන්න ගොඩයාට දැන් මතකයේ නැත. ජානකි අක්කාට අනුව ගොඩයා යනු හුරතලයට ඇති කරනාවූ බලු කුක්කෙකු වැනි වූ බැවින් ජානකි අක්කාගේ ආගමනය ගොඩයාට පට්ට ආතල්ය. මන්දයත් ජානකී අක්කා ඩේකෙයාර් එක භාරගැනීමෙන් අනතුරුව පුංචීගේ දැඩි අධීක්ෂණයෙන් ගොඩයා මදක් ලිහිල්වන වග ගොඩයාගේ අක්මාවට වැටහෙන  නිසාය. ජානකී අක්කා සහ පුංචී අතර පවතින පරම්පරාවක වෙනස ඇතුලේ ජානකි අක්කාගෙන් ගොඩයාට හිමිවීමට නියමිත නිදහස සහ පුංචීගෙන් හිමිවන නිදහස අතර සුවිශේෂී වෙනසක් ගොඩයා බලාපොරොත්තු වෙනවාය.

ඕං ඒ අකාරයෙන් ජානකී අක්කා ගොඩයලාගේ ගෙදර ස්ථීර සාමාජික නාමලේඛනයට ඇතුල් වෙනවාය. අධීක්ශක තනතුරද,  පුංචීගේ සහයක තනතුරද, වෙන්ඩ ඩේ කෙයාර් CEO තනතුරද ඉක්මනින් හදාරන ජානකී අක්කා තම තනතුරේ වැඩ භාරගන්නේ දින කිහිපයක් විවේක ගැනීමෙන් අනතුරුවය. ජානකී අක්කා සිය තනතුරෙහි විශේශ ප්‍රාගුන්‍යය ලබන්නට වැඩි දවසක් ගතකරන්නේ නැත. දින කිහිපයක් ගතවෙද්දී, ගොඩයාගේ සියලු ටැක්ටික්ස්, ජිමික්ස්, මැජික්ස්, හිටි තැනින් අන්ත්‍රස්දානවීම්, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ගේම්ස්, රුපියල දෙක මිසින් ගේම්ස්, ඉතුරු සල්ලි අස්ථානගතවීම් ගේම්ස්, බයිසිකලය මග කැඩෙන ගේම්ස්, ටියුශන් පංති තිබෙනා දවසට බඩ රිදිල්ල ඔලුව කැක්කුම හැදෙන ගේම්ස්, ඇතුලු මෙකී නොකී සිලූම ගේම්ස් ගැන ජානකි අක්කා විශේශ ප්‍රාගුණ්‍යය ලබලාය. පුංචීගේ ඇස වසා අම්මාගේ තාත්තාගේ කනෙන් රිංගා ගැසූ ගේම්ස් එකක්වත් ජානකී අක්කා සමග සුම්මාය. ජානකී අක්කා වැඩේ ලෙසටම කරගෙන ගියද පුංචීද දවසට කිහිප විටක් ගොඩයාගේ නිවස විසිට් කරනා නිසා ගොඩයා හිතා සිටියාට වඩා තත්වය අතිශයින්ම අයහපත් වග කියන්නට ඕනෑ නැතිය. හිට්ලර්ගේ දෝනියැන්දා ගෙදර ගෙනාවාක් වන්, තත්ත්වය අතිශයින්ම දරුනුය. ගොඩයාට තියා මැස්සෙකුටවත් ජානකී අක්කාගේ ඇස වසා ඉගිලෙනු සුම්මාය. ගොඩයාගේ ඩඩා මල පැන්න සෑම අවස්ථාවකම ගොඩයාට කියන්නේ උඹව මං මඩමකට ගිහින් දානවා කියලාය.. දැන් වැඩේ වැඩි වෙනසක් නැතිය.. හිට්ලර්ගේ දෝනියැන්දා CEO තතුරට පත්කරනලද මඩමක් ගෙදරට ගෙනාවා හා සමානය.

එතැන් පටන් ගොඩයාගේ ජීවිත කතාව තිබ්බාට වඩා සෑහෙන්න දුක්ඛිතය.  පාසල් ගියායින් පසුව ගොඩයාව පාසැලෙන් ගන්නේ අම්මාය. අම්මාගේ ඔෆිසියේ හිටං යමක් කොටාබානා ගොඩයා අම්මා විසින් හවස ඉංග්‍රීසි ටියුශන් පංතියකට ඇරලවනවාය. වෙනදාට ටියුශන් අහවර වී නිදහසේ ගහක ගෙඩියක් කාගෙන කොල්ලෙක් කුරුට්ටෙක් සමග කයියක් දමාගෙන ගෙදර ආ වසන්ත සමය ජානකී අක්කාගේ ආගමනයෙන් අවසන්ය. ජානකී අක්කාද හවසට ඉංග්‍රීසි සහ ටයිපින් ශෝර්ට් හෑන්ඩ් පංති යනවාය. ඒ ඥානා මිස්ගේ පංතියටය. ගොඩයා ටියුශන් යන්නේ එතැනට අඩි කිහිපයක් එපිටින් තිබාවූ අම්මාගේ කාර්‍යාල මිතුරියකගේ නිවසේ පැවති ඉංග්‍රීසි පංතියකටය. ජානකී අක්කාගේ ස්ථාවර නියෝග අනුව පංති අහවර වී ගොඩයා පැමිණිය යුත්තේ ඥානා මිස්ගේ නිවසටය.  ඉන් අනතුරුව ජානකී අක්කාගේ පංතිය අහවර වනතුරු ඒ අසල ලොවි බංකුවේ ලගා ගහනා ගොඩයා ගෙදර එන්නට පිටත් වන්නේ ජානකී අක්කාගේ පංතියද අවසන්වූ පසුවය. ගෙදර එන ගමනද පිලිවෙලකට ආ යුතුය. ගොඩයාගේ පාසල් බෑගය ජානකී අක්කා කරේ දමාගන්නේ ඇයගේ CR පොත් කිහිපයද එම බෑගයටම ඔබලාය. ඉන් අනතුරුව ජානකී අක්කා පෙන්වන පාරේ විනයානුකූලව ගොඩයා ගෙදර ආයුතුය. ජානකී අක්කාගේ හුස්ම වැටෙන දුරින් එහා මෙහා යන්නට ගොඩයාට අවසර නැතිය. පාර දෙපස ගස්වල පේර ජම්බු ඉදිලා ගොඩයා හා හිනාවෙනවාය, යාලු මිත්‍රයෝද අනන්ත පාරේ හමුවෙනවාය. එව්වා දිහා බලන්නට, එව්වා සමග කාලය ගතකරන්නට ගොඩයා වැඩි කැමැත්තක් නැතිය.. මන්ද යත්, එව්වා සමග රස්තියාදු ගසන්නට ගියහොත් ගොඩයාට ජානකි අක්කාගෙන් කනේ පාර හෝ කෝටු පාර හිමිවෙනා වග ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නා නිසාය.

පංති නැති දවස්වල ගොඩයා උන්නේ ගම පුරාය. ඒ ජානකී අක්කා එන්නට කලින්ය. ජානකී අක්කාගේ ආගමනයෙන් පසුව එව්වා සුම්මාය. සෙල්ලම් කරන්නට සතියට නියමිත දින කිහිපයක් ඇයගෙන් හිමිවෙනවාය. ඒ සවස තුනේ සිට පහ දක්වා පමණය. ඒත් ගෙදරින් පිට නොවේය. ඕනෑම කොල්ලෙක් කුරුට්ටෙක් කුරුට්ටියක් ගෙදරට ගෙන්නාගෙන සෙල්ලම් කිරිල්ලට ජානකි අක්කාගෙන් අවසර ඇත්තේය. එහෙත් තුනේ හිටං පහ දක්වා පමණය. ඔරලෝසුවේ සවස පහ වදිද්දී මිදුලේ දුව පැන නටනා කොල්ලන් කුරුට්ටන් කුරුට්ටියන් හැම එකාම ක්ශණයෙන් දූරිභූත වෙනවාය. ඒ මන්ද යත්, පහ පසුවී විනාඩි එක වෙද්දී ජානකී අක්කා විසින්  ඔවුන්ව බල්ලන් බලලුන් සේ එලවා දමනාවග ඔවුන්ද සහසුද්දෙන්ම දන්නා නිසාය.  එතැනින් පසු ජානකී අක්කා එයාගෙ වැඩක් බලාගෙන ගොඩයාට උගේ  වැඩක් කරගෙන පාඩුවේ ටීවී බලන්න දුන්නා කියලා දැන් මේ කියවන උදවියට හිතෙනවාය. නෑ හත් ඉලව්වෙ නෑ.. පහ වෙද්දී ඇඟපත සෝදාගෙන පිරිසිදු වියයුතුය. ඉන් අනතුරුව පැයක් ටීවී බලන්නට අවසර ඇත.. එතනින් පස්සෙ ගොඩයා ෆ්‍රී... නෑ යකඩෝ නෑ.

ඉන් අනතුරුව එලැඹෙන්නේ ඉස්කෝලේ වැඩකරන කාලයය. ඉස්කෝලෙන් ගෙදර වැඩ දීලා නැතිනම් ගොඩයා පාඩුවේ ඇති තරම් ටීවී බලනවාය? නෑ හත් ඉලව්වෙ නෑ... ජානකී අක්කා ගෙදර වැඩ මවලා දෙනවාය.. ගණන් හදන්නට, රචනා ලියන්නට , ගාථා පාඩම් කරන්නට දෙනවාය.. අමාරුම එක ඩික්ටේශන්ය.  ටාසන් බලන්නට, නයිට් රයිඩර් බලන්නට වාගේ හතයි තිහේ කෑලි වලට මද අවසරයක් හිමිවෙනවාය.. ඒත් ගොඩයාට ඇති ආදරයකට නොවේය.. එව්වා නොබලා පහුවදාට ඉස්කෝලෙ ගියාම ගොඩයා සමාජයෙන් කොන්වෙනා නිසාය.

ජානකි අක්කා සතුව සුවිශේශී හැකියාවන් රාශියක් තිබෙනවාය. එයින් එකක්නම් යකාටවත් භය නැතිකමය. ගොඩයා එහෙන් මෙහෙන් ලපටි වලි පටලාගන ගෙදර මාරු අවස්ථා නැත්තේම නොවේය. එවන් ලපටි වලි හිටි ගමන් ගොඩයාගේ ගෙදර ගේට්ටුව ළඟටම ගොඩයා සොයා පැමිණෙනවාය. ආන් එවන් අවස්ථා වලදී එව්වාට ෆේස් කරන්නේ ජානකී අක්කාය. හතරදික්භාගයේම කොල්ලන් කුරුට්ටන් ජානකී අක්කාට භය නිසා පන තිබෙනා එකෙකුවත් ගොඩයාට නෙලන්නට වත්තට ඇතුළු වන්නේ නැතිය. ඒ වාගේ වෙලාවටනම් ගොඩයාට ජානකී අක්කා දෙයියෙක්ය. රෝමන් කාරයින්ට ජිම් පප්පා නෙලනවාක් මෙන් ජානකී අක්කා ලපටි කොල්ලන්ට අතින් පයින් නෙලන්නට යන්නේ නැත. එහෙත් කලිසමේ මුත්‍රා පහවන්නටම කටින් ගසා කොල්ලන් කුරුට්ටන් එලවා දමනවාය. ජානකී අක්කාගේ එම විරෝධාර ගුණය අවාසියට හිටිනා අවස්ථාද තිබෙනවාය. ඒ කෙසේද යත්, ගොඩයා පොතක පතක වැඩක් කරනා අල්ලපනල්ලේ කොල්ලන් කුරුට්ටන් ගොඩයා සොයා පැමිණියහොත් ගොඩයා උන්ට  පෙනී පෙනී එලිපහලියේ උන්නද එයා ගෙදර නෑ කියනවාය. ඒ වේලාවට කොල්ලන් කුරුට්ටන්ද ඇයි අර ඉන්නේ කියා හරස් ප්‍රශ්න අහන්නේ නැතිය. මන්දයත් ජානකී අක්කාගෙන් එවන් හරස් ප්‍රශ්න ඇසීම බලවත්සේ අනතුරුදායකය.  

ජානකී අක්කාගේ ආගමනයෙන් අනතුරුව ගොඩයාගේ තාත්තාට වේවැල හෝ පේර කෝටුව අතට ගන්නට වූයේ බෝහොම කලාතුරකින්ය. එහෙම කීවාම මේය කියවනා උදවියට හිතෙන්නේ ජානකී අක්කාගේ ආගමනයෙන් අනතුරුව ගොඩයා හොඳ ලමයෙක් වෙලා කියලාය.. ඒත් ඇත්තම හේතුව එය නොවේය.. ගොඩයා විසින් දවල් දවසේ කරනා අලුගුත්තේරුකම් සියල්ලටම ජානකී අක්කා විසින් එවෙලේම බෙහෙත් ඖෂධ ලබා දෙන නිසාය. ජානකී අක්කාගේ ආගමනයෙන් පසුව ගොඩයාට එක හොඳක් උනා කියන්නට ගොඩයා කුහක වන්නේ නැතිය. ඒනම්, එකම වරදට පුංචීගෙන් එක් වරක් බැගින් සහ තාත්තාගෙන් එක් වරක් බැගින් එකම වරදට දවසට දෙවරක් ගුටිකන එක එකෙන්ම නැවතුන එකය. එයට හේතු දෙකක් තිබෙනවාය. පලවෙනි හේතුව නම් ජානකී අක්කා විසින් ගොඩයාගේ වැරදි ෆයිල් එක තාත්තාට දමන්නට තරම් දුර යන්නට නොතියා එවෙලේම ප්‍රශ්ණය විසඳනා නිසාය. දෙවැනි හේතුවනම්, වෙනදාට දෙපාරකට ලැබෙනා කෝටු පාරවල් දෙවර්ගයම ජානකී අක්කා විසින් එක පාරටම දමා අරින නිසාය. අදටත් ගොඩයා දෙන්නෙකුගේ එරවිල්ලට භයය. එක්කෙනෙක් ගොඩයාගේ ඩඩාය.. අනිකා ඇඩොල්ෆ් ජානක හිට්ලර්ය. 


ජානකී අක්කාගේ ආගමනයෙන් මාස හයක් ගතවෙද්දී ගොඩයාගේ ගමේ සම වයස් ගෑනු, පිරිමි, මල්, පලතුරු කොල්ලන් කුරුට්ටන් කිරිට්ටියන් සියල්ලන්ගේම පොදු සතුරා ජානකී අක්කාය. ජානකී අක්කාට අනුව ඒ සියල්ලොම ගොඩයාව නොමගට යවන්නට මාරයා විසින් එවනු ලැබූ මාර දූතයන්ය. ජානකී අක්කාට උන් සියල්ලන්ම  දෑහැට පෙනෙන්නට බැරි අතර උන්ටද ජානකී අක්කා නයාට අදුකොල මෙන්‍ වෙනවාය. පුංචී සහ ජානකී අක්කාගේ සුසංයෝගය කොයිතරම් අපූරුව ගැලපුනිද යත්, හිට්ලර් සහ මුසෝලිනී දෙදෙනාම එකට තැබුවා වැනිය. කනෙන් රිංගන්නට යාම ඉතාමත් භයානකය. කැප්ටන් හැඩොක් කියන්නැහේ ගිගිරි නගින බෙලිකටුය.

88/89 භීශණ සමය ඇරඹීමත් සමගම ගොඩයාගේ දෙමාපියන් විසින් ජානකී අක්කාව නැවත සිය නිවසට ඇරලවන්නේ එවකට දකුණු පලාතේ පැවති වාතාවරණය ජානකී අක්කාගේ වයසේ තරුණ උදවියට කිසිසේත්ම යහපත් නොවූ නිසාය. එතැනින් පටන් , ගොඩයාගේ නිවසේ පැවති හිට්ලර් පාලන සමය අවසන් වන අතර නැවතත් ගොඩයාට මල් සමය උදාවනවාය. ඊට පස්සෙ ජානකී අක්කා අම්බලන්ගොඩ ආවෙ නෑ...?

ආවා යකඩෝ ආවා ...

ඊට වසර ගනනාවකින් අනතුරුව ජානකී අක්කාට පුංචී විසින් ගෙන ආවාවූ විවාහ යෝජනාවක් අනුව ජානකී අක්කා විවාහ වන්නේ අම්බලන්ගොඩින්ය. එම ආරංචිය ඇසූ සැනින් ගොඩයාට පට්ට හැපීය. මන්ද යත් ගොඩයා කුඩා එකා සංදියේ ගොඩයාට දැමූ හිට්ලර් පාර්ට් සියල්ල අම්බලන්ගොඩ මනමාලයා ඉදිරියේ දියාරූවී සුනුවිසුනුවී යාමට නියමිත නිසාය. අම්බලන්ගොඩ එවුන් එක්ක ඔය කියනා හිට්ලර් පාර්ට් හරියන්නේ නැතිය.. ගොඩයා වැනි ලාචෝරෝස් ගැටවුන්ට දැමු හිට්ලර් පාර්ට් අම්බලන්ගොඩ අයියලාට දැමුවහොත් බත් කන්නට වෙන්නේ දත් නැතුවය. ඒ යෙදුනාවූ විවාහ යෝජනාවට අනුව ජානකී අක්කාගේ විවාහ මංගල උත්සවය පවත්වන්නේද ගොඩයාගේ නිවසේය. එතන් පටං පටන්ගන්නා ජානකී අක්කාගේ විවාහ ජීවිතය අනුව ජානකී අක්කාට මේ වෙද්දී අවුරුදු විසි පහක පමණ පුතෙක්ද, කැම්පස් යන දුවෙක්ද සිටිනවාය. කාලයක් අම්බලන්ගොඩ පදිංචිව සිටි ජානකී අක්කා සහ සිය පවුල දැන් වෙද්දී පදිංචිය  ජානකී අක්කාගේ උපන් ගම වූ පානදුරය .

දැන් එතකොට ජානකී අක්කා අම්බලන්ගොඩින් බැන්ද නිසා හිට්ලර් පාර්ට් අවසන් වෙන්න ඇති ? .....  කියලා ගොඩයා හිතුවාට එහෙම උනේ නැතිය.. කසාද බැන්දාවූ ඒ අසරණ අයියාටද සිදුවූයේ ගොඩයාට සිදුවූ අලකලංචියමය.. ඉඳහියෙක අඩියක් ගසාගෙන සිටියාවූ ඒ ආතල් නිදහස් සොමි ජීවිතයට සදහටම ආයුබෝවන් කී අයියා මස්සිනාද මේ වෙද්දී දැහැමෙන් සෙමෙන් ජානකී අක්කා සමග කිරියි පැණියි හා සමානව ජීවත් වෙනවාය. එතකොට දුවයි පුතයි...?  ඔව් ඔව් ඒ දෙන්නටත් ගොඩයාට වෙච්ච සන්තෑසියම තමා යකඩෝ.. ජානකී අක්කාගෙ කනෙන් රිංගිලි අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් පමණය.. කෙසේ හෝ රිංගලා අසුවීම අතිමහත් භයානකය.. ගිගිරි නගිනා බෙලි කටුය..

(ජානකී අක්කාගෙ හෙල්ප් එකට කියලා ගොඩයාගෙ ගෙදරට වැඩට කොලුවෙක් ගෙනාපු කතාව මේකෙ ලිව්වොත් මේක මාගලක් වගේ දික්වෙන්ව. ඌත් ජානකී අක්කාට ගේම ඉල්ලන්න ගිහින් ජානකී අක්කාගේ විධායක බලතල පාවිච්චි කරලා ගෙදර ඇරලුනා.. උගේ නම ලලිත්.. ගොඩයට වඩා අවුරුද්දක් වාඩිමල්.. ගෙදර වැඩට ගෙනාවා උනාට ඌව අන්තිමේ ඉස්කෝලෙත් දාලා ගෙදර සාමාජිකයෙක් ගානට සම අයිතීන් හිමිවෙලයි වැඩේ අහවර උනේ.. ලලියයි ගොඩයි දවසෙම කැලේ පනින්නයි ක්‍රිකට් ගහන්නයි ගිහින් ලලියාට අමතක උනා ජානකී අක්කා යනු ගෙදර විධායක බලතල සහිත එක්සකටිව් කෙනෙක් කියන වග. මුලදී මුලදී ලලියට ජානකී අක්කගේ අනුකම්පාව හිමිවුන නිසා ලලියා ජානකී අක්කාව කියෙව්වේ වැරදියට.  අවසානයේ ඌ ජානකී අක්කාටත්  ඕඩර්ස් දෙන්න ගිහින් ගොඩයගෙ තාත්ත ගොඩයාටත් අම්බානෙකට නෙලලා  ඌවත් ගෙදර ඇරලුව.. එව්වා මහ දිග කතා... ලිව්වොත් මාසයක් ලියන්න වෙන එව්වා... 

ගොඩයා අවුරුදු පහකින් හයකින් ජානකී අක්කාව බලන්න ගිහින් නෑ.. කීප වතාවක් ලංකාවට ගිහිල්ලත් ගොඩයට බැරිවුනා ජානකී අක්කව බලන්න යන්න. ලංකාවට ගිහිල්ලත් ජානකී අක්කව බලන්න යන්න බැරිවුනා නේදෝ කියලා දැනෙද්දි ගොඩයාට දැනෙන්නෙ පට්ට ගිල්ටි ෆීලින් එකක්. ඊලඟ වතාවෙ ලංකාවට ගියාම ජානකී අක්කා බලන්න යන්න ඕන කියලා හිතේ තියෙනවා උනාට ඒක තීරණය කරන්නෙ කෝවිඩ් 19 නිසා එව්ව ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න බෑ.. කෝවිඩ් ඉවර වෙද්දි ජීවිතේ ඉතුරු උනොත් ඊලඟ වතාවෙ ලංකාවට ගියාම අනිවා ජානකී අක්කා බලන්න යන්න ඕන. කුඩා එකා කාලෙ ජානකී අක්කා කියන්නේ තවත් එක් "දැඩි දඬුවමක්" වගේ හිතුනාට  ඇටිකිරිත්තන් ගොඩයාව පාරෙ අයිනෙන් අයිනට කරගෙන දුවිල්ලක්වත් නොවැදෙන්න  පංති අරං ගිය හැටි, ටොකු ඇන ඇන ඉස්කෝලේ වැඩ උගන්නපු හැටි මතක් වෙද්දි ගොඩයාට ජානකී අක්ක ගැන පට්ට ආදරයක් දැනෙනව. හරියට පුංචි ගැන දැනෙනවා වගේම එකක්.. ඒක ලියන්න කියන්න වචන නෑ.)


36 comments:

  1. කාලෙකින් එක උනානේ...

    ReplyDelete
    Replies
    1. උබ පව් නිසා මම චෑන්ස් එක දුන්නා. හික්ස්....

      Delete
    2. හිත නිවන කතාාාා....හි..

      Delete
    3. හැමදාම තඩියාම එක වෙන්න කියලා නීතියක් නෑනේ... ඒ නිසා අවුලක් නෑ..

      Delete
    4. තරිදුවෝ පරිස්සමින් ඉන්නව නේද?දැක්කෙ නෑ ඔයැයි 🙂

      Delete
  2. බැරි නෙලා හරි ඡානකි අක්කා මෙික කියෙවිවා කියන්නේ ගොඩයා නැවත ගමෙි එනු සුමිමාය...

    ReplyDelete
    Replies
    1. ඒකනම් කියන්න බෑ තමා තරිඳුවෝ...

      Delete
    2. දාපං මට ජානකි අක්කගෙ ටැලිෆෝන් නම්බරේ.පානද්‍රරේ මට වැඩි ඈතක් නෙවෙයිනෙ.ම්ං ගිහින්ම පෙන්නන්නම්

      Delete
  3. ජානකී අක්කව දන්න මේකෙ ඉන්න ගොඩයගෙ යාලු ප්‍රෙන්තෙක් මේක ජානකී අක්කට මේල් හෝ තැපැල් කර යැවීමේ සත් කාර්යයට දායක වනු ඇතැයි මම උදෙක්ම බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. මේක බලන බහුතරයක් ප්‍රෙන්තෝ ජානකී අක්කාව දන්නෙ නෑ... ජානකී අක්කා අපේ දිහෑ උන්නු කාලෙ මුං කලිසමේ චූ දාගන්න ලාචොරොස් කුරුට්ටෝ බං...

      Delete
  4. හිට්ලරුයි මුසෝලිනි දෙන්න එකට.මරු යෙදුම.😃

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඊටත් වඩා භයානකයි..😂

      Delete
  5. අම්මෝ ඉතින් පුංචිගේ කානින් රිංගලා අපි ගේම් ගැහුවේ නැතැයි...මනමේ නාට්‍යය බලපු හැටි මෙතන කියන්න බැහැ නේද මචෝ.පුංචිගේ කානෙන් රිංගලා කරපුව අර ලියන්නට බැරි දහසක්දේ ගොඩට දාන්න තමා වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අහ් තඩි අයියේ..

      Delete
    2. නෙතු අක්කා හෝ නංගි වෙත ලියමි..චමිල අයියන්ඩිය ඔබ මෙහි දැක ගැනිමට නොහැකිව දැඩි ලෙස කමිපා වි සිටිනු අපට දැක ගැනිමට හැකි විය.මෙහි දි ගොඩයා මහතා පවසා සිටියේ මොකා දැයි නොදැන සොයා බැලිය නොහැකි බවයි..එම නිසා චමිල අයියා අපහසුතාවයට පත් නොකර නිතර මෙහි පෙනි සිටින මෙන් ඉල්ලා සිටිමු..

      හි..හි..

      Delete
    3. පුංචිගේ කනෙන් රිංගපුවා ලියන්න වෙන්නෙ නෑ.. ලිව්වොත් ආයෙ රෙදි ඇඳන් පාරෙ බැහිලි බොරු... ඒත් බං අද කාලේ ඒ වයසේ එවුන් කරන එව්ව ඇහුවාම දැක්කාම අපි කරපුවා මොනාද කියලා හිතෙනවා බං... අපි හැංගි හැංගි කරපුවා දැන් එවුන්ට සාමාන්‍ය දේවල්..

      Delete
    4. තරිඳුවෝ... නෙතූ පහුගිය කාලේ මේකෙ ලියපු කොමෙන්ට් වලට අනුව මම අනුමාන කරනවා නෙතූ ඇන්ටි කියලා ඇමතුවානම් ගැලපෙයි කියලා.. ඔන්ලයින් ඉද්දි දාසයයි මාසයයි වගේ පෙන්නුවට හුඟක් නෙතූලට පුත්තලම් බූරුවෝ බර ගානක් වයසයි බං...

      Delete
    5. තරිඳු මලේ/පුතේ ඔයා කැමති විදියකට මට අමතන්න මගේ අමනාපයක් නැ නෙව දරුවෝ..හැබැයි ඔය ගොඩයයි තඩියයි නං මට වඩා වැඩිමල්..ඒක මට හොඳටෝම ශුවර්....ඔයා කිව්වත් වගේ මට පෙනී ඉන්න වෙනවා නෙහ්

      Delete
    6. ආ...මේ ඉන්නෙ හොල ගෙඩිය.ඔයැයි කොහෙට වෙලැයි හිටියෙ යාළු.මක්කැයි කරේ.අප්පට තරිදුවත් ඇවිල්ලා.ඇත්ත බං ගොඩයො දැන් ඉන්න උන් එක්ක බැලුවාම අපි මොකුන්ද කියල හිතෙනව.හැබැයි රජෝ අපි ගනිපු ආතල් දැන් ඉන්න උන්ට කපේදි ගන්න බෑ

      Delete
  6. පුංචි ගොඩයා ජානකී අක්කා එක්ක ගෙදර එන හැටි මැවිල පේනවා..අපූරුයි ලියවිල්ල..👍👍💕💕

    ReplyDelete
    Replies
    1. ජාන්කී අක්කාට වයස විස්සක් වගේ වෙද්දි ගොඩයාට වයස නමයක් දහයක් වගේ ඇති... ගොඩයයි ජානකී අක්කයි එනකොට පාරෙ බයිසිකල් කටුවල යන මනමාල කුරුල්ලො ජානකී අක්කාට ඇහැ දානවා.. ජානකී අක්කා උන් දිහාට පෙරලා දානවා උන්ව දවා හලුවෙන බැල්මක්... ආයෙ බලන්නෙ නෑ උන් බයිසිකලෙන්ම වාශ්ප වෙනවා ඇසිල්ලෙන්.. 😂

      Delete
  7. මිිහිරි උනත් අමිහිරි උනත් මතකයන් තමයි අපිව ජීවත් කරවන්නේ ඇතැම්විට ඔබ අද ඔය ඉන්න තැනට ඔබේ හික්ෂණය හදන්න ඇයත් එක්මමහා සාධකයක් විය හැකියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය විසින් අප සැම නිර්මාණය කර ඇත .. ස්තුතියි..

      Delete
  8. කාලෙකට පස්සේ පුරුදු බ්ලොග් පැත්තට ආවේ ටිකක් විතර ඉස්පාසුවක් තියෙනවා ආයිත්.. කියවලා දැම්මා එක හුස්මට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිදු ... බ්ලොග් කියවන්න උනේ නෑ මටත් කාලෙකින්...

      Delete
  9. Replies
    1. ස්තුතියි භාග්‍යා ...

      Delete
  10. Aiyya mokada sadda naththe? Covid case ekakda ? nattam wena case ekakda ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හොයලා බැලුවාට...තාම ඉතිං ජීවතුන් අතර... වැක්සීන එකනම් ගහල තියෙන්නේ.. ඒත් ඉතින් ෂුවර් නෑ කුමන තත්වයක් උදාවෙයිද කියල...

      Delete
    2. Ah ela ela, Hodin innawanam echcharai!!! Poast ekak nati nisa baluwe, ambalangodata sapath weladawath kiyala. Mehe nam enna epa. Dan tikak darunuwatama yanawa.

      Delete
  11. අමිබලන්ගෙඩ ලියන්න අදහසක් නැ.........?

    ReplyDelete
  12. ගොඩයයි fb එකේ මයිනයි එකෙක් ද

    ReplyDelete