Friday, June 19, 2026

ගිහිරි නගින බෙලිකටු

 ඒක නොඑනවානම් හොඳයි කියලා හිතපු බදාදාවක්.. දවසින් දවස ඒ බදාදා ලං වෙද්දි වෙන්න යන දේ මතක් වෙලා කකුල් දෙක හිරිවැටෙන එක වැඩිවුනා.. ජීවිතේ සමහර අකමැති දේවල් තියෙනවා මගෑරලා යන්නම බැරි..


ඕං ඉතිං ඒ කියපු බදාදාව ආව.. මං ඉතිං උදේම වැඩට ගිහිං කලින් ඕෆ් වෙලා ඇවිල්ලා ඒ ගමන යන්න ලෑස්තිවුනා.. ඉස්සෙල්ලම නාකියාගෙන පිරිසිදු වුනා.. ඊට පස්සෙ යට ඉඳන් උඩටම අලුත් ඇඳුමක් (අලුත් කිව්වට අලුත් නෙවෙයි.. හෝදලා මැදලා ගත්තු එකක්) ඇඳලා යන්න පිටත්වුනා..


මට එන්න කියලා තිබ්බෙ හවස තුනට.. මං එතනට යද්දි හවස දෙකහමාරයි.. යන තැනකට වෙලාවට කලින් යන එක මගේ පුරුද්ද ලංකාවෙදි රස්සාවට හැරුනාම.. මම ඉතිං එතන පුරවන්න ඕන පෝරම සේරෝම පුරවලා මගේ වාරය එනකල් වඩිවෙලා හිටිය.. බොරු කියන්නෙ මක්කටෙයි මට ඉතිං පුටුව උඩ සැප නින්දකුත් ගියා..


ඕං ඉතිං කව්දෝ ගෑනු කටහඬක් මගේ වාසගම අමාරුවෙන් කොයෝනවා ඇහිලා මට උඩ ගිහිං ඇහැරුනා.. බැලින්නම් ඒ හොයන්නෙ මාව.. මං ඉතිං හනික නැගිටලා ඕ ඕ ඒ මම මේ එනවෝ කියලා ඒ කටහඬ ඇහුන පැත්තට යද්දි තමයි දැක්කෙ ඉටිකිරිස් වගේ සුදු නර්ස් නංකි කෙනෙක් ෆයිල් එකක් අතේ තියාගෙන මං එනතුරු බලාන ඉන්නව.. මම බලාපොරොත්තු වුනේ පිරිමි නර්ස් කෙනෙක් වුනාට දීල තියෙන්නෙ ගෑනු එක්කෙනෙක්.. ආයෙ ඉතිං බෑ කියලා හැරිලා යන්නත් බැරි නිසා මමත් පුලුහං තරං පුරුස දහිරිය අරං දොරෙන් ඇතුලට යනව..


ඕං ඉතිං නර්ස් නෝනා මගේ නම ගම අහලා ඒ මමමයි කියලා වෙරිෆයි කරගෙන මාව තවත් කාමරයක් ඇතුලට එක්කගෙන ගියා.. ඒ තමයි වැඩේ කෙරෙන කාමරේ.. ආ අමතකවුනා.. ඊට කලියෙන් මගේ අතට කප් එකක් දීලා බාත්රූම් එක පෙන්නුවා මූත්‍රා සාම්පල් එකක් අරං එන්න කියල.. 


මෙතැනින් එහා ලියැවෙන දේ ටිකක් විතර හිරි ඔතප් බිඳෙන සුලුයි.. ඒ නිසා මේ ඉතුරු ටික කියවලා මූ වගේ ලැජ්ජා නැති එකෙක් කියලා හිතන උදවිය මෙතැනින් එහා කියෙව්වෙ නැතුවට කමක් නෑ..


ඕං ඉතිං ඒ කාමරේ සිද්දිය.. නර්ස් නංකි අද දවසේ කෙරෙන වැඩේ මට පැහැදිලි කරනව.. ඊලඟට මට උපදෙන් දෙනවා කලිසමයි යට කලිසමයි දෙකම ගලෝලා කාමරේ මැද තියන ඔපරේශන් ටේබල් එක උඩට නැගලා වැතිරෙන්න කියල... 


ඔබ හීනයක් වගේ..

හාදු වැස්සක් අරං..

සිරි යහන අද්දට වී..

වැතිරෙන්නෙපා සයනේ..


දීපිකා ඕක එහෙම කිව්වට මට නර්ස් නංකි කිව්වෙ කලිසමයි යට කලිසමයි දෙකම ගලවලා වැතිරෙන්න කියලා..  පුංචි එකා සන්දියේවත් කා ඉස්සරහවත් කයිසම ගලවලා ඉන්න ලැජ්ජා මම අනේ ඉතිං නර්ස් නංකිට අවනතවුනා.. කොච්චර වුනත් ඉතිං ඒ වහපු කාමරේ ඉන්නෙ එයයි මමයි විතරයි වෙච්චි එයා කොහොම මට එහෙම ඉල්ලීමක් කරාද මන්දා.. 


හැබැයි ඉතිං අපරාදෙ කියන්න බෑ ලැජ්ජවට භයට හැදිච්ව දැරිවියෙක්.. මම කලිසම ගලවද්දි නර්ස් නංකි පොරොවන රෙද්දකින් භාගයක් තරම් තඩි ටිශූ එකක් දිගෑරලා අරගෙන එයාට මාව නොපෙනන විදිහට එයාගෙ මූන ආවරණය කරගත්ත.. ඒකෙන් ඉතිං මටත් පොඩි පහසුවක් ආපු නිසා මම හනික කලිසමයි අන්ඩවෙයාර් එකයි ගලවලා ඔපරේශන් ටේබල් එක උඩින් දිගාවුනා.. මාත් ඉතිං ලැජ්ජාවට භයට හැදුන එකා නිසා ඇඳන් ගිය ටී ශර්ට් එක පහලට ඇදලා ගැජමැටික් එක වගහත්‍ත.. ඒ එක්කම නර්ස් නංකි එයාව ආවරණය කරගෙන හිටපු තඩි ටිශූ එක ගෙනැල්ලා මගේ යටිකය ආවරණය කරා.. ඕං ඉතිං මට ටිකක් හිතට පහසුවක් ආව.. ඇයි හත්තිලව්වේ මේ වහපු කාමරයක් ඇතුලේ නර්ස් නංකි කෙනෙක් එක්ක කලිසම ගලවගෙන ඉන්නවා කියන්නෙ මොන තරම් නොසන්ඩාල වැඩක්ද..


ඕං ඊලඟට නර්ස් නංකිකෙ රාජකාරිය ආරම්භ වෙනව.. ඊලඟට නර්ස් නංකි ගේන්නෙ මැදින් හිලක් කපපු නිල්පාට ටිශූ එකක්.. ඕං ඒකත් එලනවා මගේ යටිකය ආවරනය කරලා තියන ටිශූ එක උඩින්.. ඊලඟට තමයි නර්ස් නංකි කියන්නෙ..

I am going to clean the area first. Then I will inject a local anesthetic to numb your penis so you do not feel pain during the procedure කියල.. 


මම ඉතිං යට කලිසමත් ගලවලා ශල්‍ය සයනේ වැතිරිලත් ඉවර නිසා ආයෙ ඉතිං අපෝ බෑ නංකි කියලා කියන්නයෑ.. පුරුස දහිරිය අරගෙන  මාත් ඉතිං හිත හදාගත්ත..


ඊලඟට නෙවැ වැඩේ.. නර්ස් නංකි මාව වහලා තිබ්බ ටිශූ එක ඉරලා හිලක් පාදලා අර දෙවැනියට එලලා හිලක් සහිත තිබුන නිල් පාට ටිශූ එකේ හිල ඇතුලෙන් මගේ පුරුස නිමිත්ත එලියට ගත්තා කියහංකෝ.. අනේ කාලේ වනේ වාසේ මේ බූමිතෙල් කරිත්තෙ ඒක අතට අරගෙන සැවුලෝන් වගේ කහපාට දියරෙකින් තෙත මාත්තු කරලා කිඩ්නි ට්‍රේ එක උඩ තිබ්බ ඉන්ජෙක්ශන් එකක් වගේ සිරින්ජර් එකක් අරං ඒකෙ තිබ්බ ලික්විඩ් එක මූත්‍රා මාර්ගෙට දමලා ඇරියා කියහංකෝ.. දර්ශණය නරඹමින් හිටි මාව ඔපරේශන් ටේබල් එක උඩ ඉන්දවුනා කොයහකෝ..  ඒක විදලා මේං මේකි සොරි කියලත් කිව්වා.. 


ඕං ඊලඟට තමයි ඉන්ටට්කොම් එකෙන් අමතලා ඩොකාට පනිවිඩේ දුන්නෙ Your patient is ready for the procedure කියල..


ඕං ඉතිං ඒ එක්කම ඩොකා එනව කාමරේට.. ඩොකා ඉතිං හෙන හොඳ විනෝදජනක මනුස්සයා.. ඕං ඉතිං ආගිය තොරතුරු එහෙම අහලා ඩොකා සැරසෙන්නෙ මං ආපු වැඩේ අහවරක් කරන්න.. 


ඔය පරීක්ශණය කරන්න එකඟවුන දවසේ මම ඩොකාගෙන් ඕක ගැන සෑහෙන විස්තර ඇහුව.. ඩොකා අතින් පෙන්නපු තරමට ඒක හිච්චි කැමරාවක් කියලා හිතුවට ඒක හිතපු තරම් හිච්චි නෑ.. සෙන්ටිමීටර භාගෙකට වඩා සුට්ටක් අඩු කැමරාවක්.. ඩොකා ලෑස්ති වෙන්නෙ මගේ මූත්‍රා මාර්ගය හරහා කැමරාව දාලා මගේ පුරස්ථි ග්‍රන්තිය බලන්න.. 


අපේ ඩඩාටත් පුරස්ථි ග්‍රන්තියේ සර්ජරියක් කරනවුන නිසාත් ඔය පුරස්ථි ග්‍රන්තිය ඉදිමීම ආරෙට යන්නවා කියලා කියන නිසාත් තමා ඕක බලාගන්න මම එකඟවුනේ.. ඒත් ඉතිං හිතුවට වඩා කැමරාව විසාලයි කියහකෝ... දැං ඉතිං නර්ස් නංකි පුරුස නිමිත්තත් අතට අරං බේත්වලින් නාවලා කරලා ඉන්ජැස්සනුත් ගහලා අහවර නිසා ආයෙ ඉතිං ඉතුරු ටිකට බෑ කියන්න බෑ නෙව..


ඕං ඊලඟට ඩොකා කැමරාව එබුවා කියහංකෝ මූත්‍රා මාර්ගයෙන් ඇතුලට.. ඒ ෆීලින් එකනම් ඉතිං කියාගන්න වචන නෑ.. හැබැයි ඉතිං එහෙමයි කියන්න වේදනාවක් නෑ.. මං ඉතුවා ඉතිං ඔච්ව්ර වෙන්න ඇති හිතපු තරම් වේදනාවක් නෑනෙ කියලා... ඕං ඊලඟට ඩොකා කියනවා..


Beyond this point, you will feel little pain, hang tight it will not that long කියල... එහෙම කියලා මේං යකෝ මේ යකා එබුවා කියාංකෝ කැමරාව තවත් ඇතුලට.. ඒක ඉතිං පොඩ්ඩක් විතර දොස්තරගෙ මෑණියන්ව හික්කඩු යවන්න කියන්න හිතෙන ෆීලින් එකක්.. ඕං ඉතිං ඊට පස්සෙ එතන තිබ්බ ටීවී තිරයේ පේන දර්ශණය මගේම මූත්‍රාශය සහ පුර්ස්ථි ග්‍රන්තිය..  ඩොකා පියවරෙන් පියවර මට අදාල දේවල් ටික පැහැදිලි කරලා කැමරාව පුරස්ථි හන්දියෙන් එලියට අරගෙන ආයෙමත් ඇතුලට දාලා ආයෙමත් බලලා කැමරාව සම්පූර්ණයෙන් එලියට අරගෙන වැඩේ අහවර කරා... 


වැඩේ කරන්න කලින් හෝදලා නාවලා පිරිසිදු කරලා දුන්නට වැඩේ කරලා අහවර වුනායින් පස්සෙ නර්ස් නංකි මට ටිශූ ටිකක් අතට දීලා කියනවා Clean yourself කියලා.. මට ඉතිං කේන්තිත් ගියා වැඩේ කරන්න කලින් ක්ලීන් කරානම් වැඩේ කරායින් පස්සෙත් එයාම ක්ලීන් කරන්නෙ නැත්තෙ ඇයි කියල..ඊට පස්සෙ ඉතිං මට තිබ්බෙ කලිසම ඇඳගෙන ගෙදර එන්න.. 


දැනට මුකුත් අවුලක් නෑ... එදා දවසේ මූත්‍රා කරද්දි ටිකක් වේදනාවක් තිබ්බ.. මම කෝකටත් කියලා ගෙදර ඇවිත් වෙනිවැල්ගැට ටිකක් තම්බලා බිව්ව.. ඕක කරන්න කලින් මට තිබ්බ භය තරම් ලොකු සීන් එකක් නෑ.. හැබැයි ඉතිං අර කැමරාව පුරස්ථි ග්‍රන්තිය ඇතුලෙන් මූත්‍රාශයට යන වෙලාව තියෙනවා නේද... ආං ඒකනම් ඉතිං ගිගිරි නගින බෙලිකටු ෆීලින් එකක්... ආං එතකොටනම් හිතෙනවා ඩොකාගෙ මෑණියන්ව හික්කඩු බස් එකේ නග්ගන්නම.. කොටින්ම කියනවනම් ඒ ෆීලින්  එක විස්තර කරන්න සිංහල භාශාවෙ වචන නෑ.. 


ඩොකා කිව්වෙ අවුරුද්දකින් විතර ආයෙ බලමුය, අවුරුද්දට වරක් ගානේ කරන්න වෙනවාය කියලත්  කිව්ව... ඒ කියන්නෙ තව අවුරුද්දකින් ආයෙම නර්ස් නංකියෙක් ඉස්සරහ මට කයිසම ගලවන්න වෙනව... 


අපේ ඥාතිවෙන අක්ක කෙනෙකුගෙ කොල්ලෙක් ඉන්නව දැං ඌ හෙන ගජ ඉලන්දාරියා.. ඌ පොඩි එකා සන්දියේ නාන්න කරන්න හෙන කම්මැලිය.. ඌව නාවන්න අල්ලන්න හෙන අමාරුයි.. මෑන්ස් ඉතිං ඔය නාන සබ්ජෙක්ට් එකේදි උගේ මෑණියන්ගෙන් කොච්චර ගුටි කෑවාද කියනවනම් පස්සෙන් පහු වෙද්දි උගේ නම කියලා නාන්න යමු කියපු ගමන් ඕනෑම සභාවක් මැද්දෙ කලිසම ගලවලා අතට ගන්න තැනට මෑන්ස් සීසන් වුනා..


ඔය පරීක්ශනෙත් ඉතිං අවුරුද්දක් ගානෙ කරන්න පුරුදුවෙනකොට මගේ ලැජ්ජාව භයත් ඉබේම නැතුව ගිහිං නර්ස් නංකි දොරෙන් එලියට ඔලුව දාලා මගේ නම අඬගහනකොට වේටින් රූම් එකේ ඉඳන්ම කලිසම ගලවගෙන යන තැනට මටත් ඕක පත්තියං වෙයි කියල හිතෙනව ඉතිං..😂😂😂

Wednesday, April 8, 2026

පිචැර් වංශය..

 මට අම්ම අප්පච්චිගෙ පවුල් දෙකේ අයියල අක්කලා අටෝරාසියක්.. එයින් වැඩිමනක් එවුන් මම හිතන්නෙ අපේ අම්ම අප්පචිට වඩා බාල ඇත්තෙ අවුරුදු දහයක් පහලොවක් වගේ වෙන්න ඕන.. අම්මගෙ ලොකුම අක්කගෙ පුතාට මේ වෙද්දි මම හිතන්නෙ හැත්තෑව කිට්ටු කරල.. අම්මටත් මේ වෙද්දි අසූ එකක්.. ලොකු අම්මට ඊටත් වැඩිමල් පුතෙක් ඉඳලා තියෙනව.. එයා පුංචි කාලෙම ඩිප්තීරියාව කියන ලෙඩේ හැදීලා නැතිවෙලා.. එයා හිටියනම් මේ වෙද්දි එයාටත් හැත්තෑ පහකට කිට්ටු වෙන්න ඇති.. එයාටත් වැඩිමල් අයිය කෙනෙක් අපේ අම්මගෙ පවුලෙ හිටිය.. එයා සුසිල්.. එයා අපේ පුංචි මාමගෙ පුතා.. එයා හදිසි අනතුරකින් නැතිවුනේ අනූව දශකයේ මුල් කාලෙ කියලයි මට ලාවට මතක.. අම්මගෙ පැත්තෙ නෑයො ගත්තාම ඒ පවුලෙ බාලම කොලුව මම.. මට වඩා බාල මල්ලි කෙනෙක් අපේ හිච්චි මාමට ඉඳල තියෙනව.. එයත් පුංචිකාලෙම නැතිවෙලා.. මට එයාව ලාවටවත් මතකයක් නෑ.. මට මතක එයාගෙ සොහොන විතරයි. එයාව වලදාපු තැන සොහොනක් බැඳලා වතුර පුරවලා ඒකෙ නිල්මානෙල් හිටවලා තිබ්බ වගේ තමයි මතක.. පුංචි කාලෙ ලොකු අම්මලහ යද්දි අපි ගියේ කනත්ත උඩින්..   ලොකු අම්මලාගෙ ගෙදරට තිබ්බ නීත්‍යනුකූල පාරෙ ගියොත් සෑහෙන ලොකු දුරක් නිසා ස්ටේශන් එකෙන් බැහැල කනත්ත උඩින් පැනලා අඩි පාරෙන් යන එක කිලෝමීටර් එකක දෙකක විතර අඩුවක්..  ඕං ඔය කනත්ත උඩින් එහා මෙහා ගිය නිසා තමයි හිච්චි මාමගෙ බාල පුතාගෙ සොහොන මට මතක.. අනූ එකේ අවුරුද්දෙ හිච්චි මාමා නැතිවුනාමත් එයාගෙ සොහොනත් බැඳුනෙ ඒ මල්ලිගෙ සොහොනෙම අයිනට වෙන්න.. ලොකු අම්මා අම්මගෙ උපන් ගමේ පදිංචිව හිටපු නිසාත් මගේ ඉස්කෝල නිවාඩු බොහොමයක් ගතවුනේ එහේ නිසාත්,  ඒ ගමේ මම නොදන්න ශෝර්ට් කට් එකක්, පාරක්, අඩි පාරක්, කනත්තක් නෑ.. ඒ රස්තියාදුව අදත් මට පට්ට වටින මතකයන් කෝටියක්..


හිච්චි මාමගෙ බාල පුතා අඩු වයසින් නැතිවුන නිසා අම්මගෙ පවුලෙ  බාලම කොල්ලා මම.. බාලම එකා උනාම ඒ වෙද්දිත් පුත්තලං බූරුවෝ දෙන්නෙකුගෙ වයස වෙන අයියලා අක්කලා අටෝරාසියක් ඉන්නවා කියන්නෙ ඉතිං මට ෆුල් සැප.. නිවාඩු කාලෙට ලොකු අම්මලහ ගියහම ෆුල් බෝර්ඩ් පැකේජ් එකක් අරං ඩිස්නිලෑන්ඩ් ගියා හා සමානයි.. ලොකු අයියා, සුදු අයියා සහ පොඩි අයියා තුන් කට්ටුව වෙන වෙනම දෙන ආතල් කෝටියයි..  

අම්මගෙ පවුලෙ බාලම කොල්ලා විදිහට අම්මගෙ සහෝදර සහෝදරියන් හැමෝගෙම දරුවන්ගෙ අපමණ ආදරයක් වින්ද ජීවියෙක් මම.. හතලිස් අටක් වෙන්න ලං උනත් අදත් ඒ අක්කලාගෙ අයියලාගෙ මට තිබ්බ ආදරේ එලෙසමයි.. එහෙම හිතද්දි මට මේක ලියද්දිත් හිතෙන්නෙ මම හරි වාසනාවන්තයි කියලමයි.. අදත් උන් එකෙක්වත් මාව හතලිස් අටේ එකෙක් විදිහට දකින්නෙ නැද්ද කියලත් මට ඉතිම් හිතෙන තැං එමටයි..

අසූව දශකය මැද භාගය වෙද්දි ලොකු අයියත් සුදු අයියත් දෙන්නම රස්සාවල් කරන කසාද බඳින වයසෙ ගජ ඉලංදාරි.. පොඩි අයියා ඒ වෙද්දි ඉස්කෝලෙ යනව කියලයි මතක.. ඒ වෙද්දි මට හතක් අටක් වගේ.. එයාලට අම්බලන්ගොඩ ඟාති හිටියෙ අපේ අම්මයි පුංචි අම්මයි විතරයි.. ඉතිං මාසෙකට සැරයක් අයියල දෙන්නම අම්බලන්ගොඩ විසිට් එකක් දාන එක සාමාන්‍ය දෙයක්.. එවකට දෙන්නම කසාද බැඳලා නොහිටපු නිසාත්, පවුල් බරක් නොතිබ්බ නිසාත් දෙන්නම හිටියෙ කුරුල්ලො දෙන්න වගේ.. දෙන්නගෙම ඉතිං විනෝදාංසෙ පිචැර් බලන එකයි කඩචෝරු කන එකයි විතරයි.. උන් දෙන්නටම බිසෝවරු දෙන්නෙකුත් ලයින් වෙලා තිබිලා තියෙනවා කියලා අපි දන්නෙ උන් දෙන්නම කසාද බැඳින්න කිට්ටු උනාම..

ලොකු අයියත් සුදු අයියත් එන්නෙ දෙපාරකට නිසා රෝසි අක්කටත් මටත් දෙපාරකට එකම චාන්ස් එක වදින එක ඉතිං මාසෙකට සැරයක් අනිවාර්‍යයි.. ඇතෙක් බරට පැණි බූන්දි, පුහුල් දෝසි ඇතුලු කඩචෝරු ගොඩාරියක් ලැබෙන එකට වඩා අපි වැඩියෙන්ම කැමති ඊලඟ එකට.. ඒ තමයි රීගල් එකේ හරි අනුර එකේ හරි පිචැර් එකක් බලන්න ලැබෙන චාන්ස් එක.. බොහෝ වෙලාවට අපි දෙන්නම එකම පිචැර් එක දෙපාර දෙපාර බැලුව.. මම දන්න තරමින් සුදු අයියත් ලොකු අයියත් ඒ පිචැර් එකම දෙපාර දෙපාර බැලුව.. ලොකු අයියා ගාල්ලෙනුත් සුදු අයියා දෙනියායෙනුත් ( සුදු අයිය වැඩ කරේ දෙනියායෙ)  තනියම බලලා පිචැර් එක ලමයින්ට හොඳනම් තමයි අපි දෙන්නව එක්ක යන්නෙ.. ඒ නිසා අපි එක්ක බලන දර්ශනය එයාලගෙත් බොහෝදුරට දෙවැනි දර්ශනය.. හැබැයි ඉතිං උන් දෙන්න ගාල්ලෙනුයි දෙනියායෙනුයි පිචැර් බැලුවෙ තනියම කියලානම් දැං වෙද්දි විශ්වාසෙට ගන්න බෑ.. අනිවා උන්ගෙ වෙන්ඩ බිසෝවරු දෙන්නත් ඔය අපි බලපු පිචැර් සියල්ලම බලල ඇති ඒ කාලෙ.. එකම පිචැර් එක උන් දෙන්නා කී වතාවක් බැලුවද කියලා දෙයියෝ තමා දන්නෙ.. ඩබල් දාලා පිචැර් බලන්න ගියාම ඉතිං පිචැර් එක සම්පූර්නෙන් බලාගන්න විසි තිස්පාරක්වත් යන්න ඕන කියලා තමා එක්ස්පර්ට්ලා කියන්නෙ.. මමනම් ඔව්ව දන්නෙ නෑ..

මමයි රෝසි අක්කයි දෙපාර බලපු පිචැර් මතක විදිහට පලවෙනි එක සසර චේතනා...  සසර චේතනා මට මතක විදිහට එක වතාවක් ඇහුවත් එක්ක.. පුංචිලාගෙ අලුත් ගෙදර හදද්දි ලොකු අයිය නිවාඩු දාගෙන ඇවිත් ගේ වැඩවලට උදව් කරා.. ඒ වැඩ අතරේ පැය භාගෙ භාගෙ කොටස් වශයෙන් සසර චේතනා කතාව ලොකු අයියා මටයි රෝසි අක්කටයි ශ්‍රව්‍ය මාධ්‍යයෙන් කියලා දුන්න.. ඒක වෙනම එක්ස්පීරියස් එකක්.. චිත්‍රපටියක් බලලා ඇවිත් ඒකෙ කතාව කියන එක අහගෙන ඉන්න එක නිකම් හරියට රේඩියෝ එකෙන් පිචර් එක ඇහුව වගේ.. ඉන් පස්සෙ තමයි ලොකු අයිය අපි දෙන්නව පිචැර් එක බලන්න එක්ක ගියේ.. ඊට පස්සෙ සුදු අයිය එක්ක ගිහිනුත් සසර චේතනා බැලුව..
 බලපු පිචැර් ඔක්කොම මේ වෙද්දි මතකේ නෑ.. සිංහ පැටව්, මමයි රජා, නොම්මර 17, කිරි මධු වැල්, අරලිය මල් තමයි මතකයේ තියන හොඳම එව්ව ටික.. ඔතනදි මමයි රෝසි අක්කයි දෙන්නම එකඟතාවයකින් තොරවම සුදු අයියටත් ලොකු අයියටත් පොඩි කපටි කමක් කරා ඒ කාලෙ.. ගෙදරින් යන්න කලින් බලන්න යන පිචැර් එක ලොකු අයිය එක්ක ගිහිං බැලුවා කියලා අපි සුදු අයියට කිව්වෙත් නෑ.. සුදු අයියා එක්ක ගෙහුං බැලුවා කියලා අපි ලොකු අයියට කිව්වෙත් නෑ.. එකම පිචැර් එක උනත් දෙපාර දෙපාර බලන්න අපි දෙන්නම එක පයින්.. ඉන්ටවල් එකට ලැබෙන කඩචෝරු ටිකයි පිචැර් එකයි දෙවැනි පාරට උනත් මිස් කරගන්න අපි කොයිවෙලේවත් කැමති උනේ නෑ.. ලොකු අයියයි සුදු අයියයි නොවෙන්න ඔය කාලෙ වානිජ ගනයේ ෆිල්ම් එකක් බලන්න ගෙදරින්නම් මලාට එක්ක් යන්නෙ නෑ ලේසි පාසුවට.. 

අද වෙද්දි තත්වය වෙනස්.. එක පතේ කාගෙන එක බයිසිකලේ පැදගෙන හිටපු ලොකු අයියලා සුදු අයියලා පොඩි අයියලා තුන්දෙනා අද වෙද්දි එකිනෙකාට විරසකයි.. ලොකු අම්මත් ලොකු තාත්තත් නැතිවුනාට පස්සෙ අක්කරයක දෙකක ඉඩම් ටික බෙදාගන්න ගිහුං ඇතුවුන පරස්පර අදහස් ඒ සහෝදරක ඈත් කරල.. කව්ද හරි කව්ද වැරදි කියලා අපිට පැහැදිලිවම පේනවා උනාට වැඩිපුර වැරදි කෙනා තමුන් වෑරදියි කියලා පිලිගන්න තැනක නැති නිසා අපිට එතන හරි වැරැද්ද පෙන්නන්න විදිහක් නෑ.. ඒ අස්සෙ බොරදියේ මාලු බාල එවුනුත් නැත්තෙමත් නෑ.. 
එදත් අදත් හෙටත් උන් තුන්දෙනාම අපේ ආදරණීය සහෝදරයෝ කියන තැන ඉඳගෙන තුන්දෙනාටම නෑකම කියාගෙන ඉන්නවා ඇරුනකොට එකෙක් තෝරාගැනීම කොහොමවත් කරන්න බෑ.. 

මැරුන දවසක අරගෙන යන්න බැරිවුනත් දෙමාපියන්ගේ නොබෙදූ දේපල කියන්නෙම විසඝෝර සර්පයි වගේ දේවල්.. එව්ව ඉතිං දරුවන්ගෙ තන්හාවේ අඩු වැඩි මට්ටම අනුව සහෝදරකම්වල දිග පලල තීරණය කරනව.. අනික් සෙසු ඟාති වරිගයා ඒ මැද්දට හිරවෙලා ගොලු වෙනව.. තවත් සෙට් එකක් වතුර බොර වෙච්ච වෙලාවෙ මාලු ටික බාගන්න ට්‍රයි කරනව. අතීතය සහ වර්ථමානය දිහා බැලුවාම මට දැනෙන්නෙම ඇමෙරිකන් ක්‍රමය එකෙන්ම ඉදිරියෙන් කියල.. ඇමෙරිකන් දෙමාපියන් දරුවන්ට කිසිදු දේපලක් දෙන්නෙ නෑ.. දෙමාපියන් මැරුන දවසට උන් එව්ව විකුනලා දරුවො ගානට සම සමව බෙදාගන්නව.. දරුවො ටික අවසානයේ සාමෙන් සමගියෙන් ජීවත් වෙනව.. 

ලොකු අයිය, සුදු අයිය, පොඩි අයිය එක්ක අපිට ආදරණීය මතකයන් බොහොමයි.. පිචැර් බැලිල්ල එව්වයින් එකක් පමණයි.. අදත් වෙන වෙනම ගත්තාම තුන්දෙනාගෙම ආදරේ මට තාමත් වෙන වෙනම දැනෙනව.. අතීතය ගැන කල්පනා වෙද්දි හිතෙන්නෙම කාලය ඒ කාලෙ නැවතුනානම් කොයිතරම් හොඳද කියල.. එහෙනම් අපි තාමත් අයියල දෙන්නම එක්ක පිචැර් බලන්න යනව.. පොඩි අයිය ගැන වෙනමම චැප්ටර් එකක් ලියන්න ඕන නිසා ඒක වෙනම පෝස්ට් එකකට තියනව.. එයා එක්ක ගතපු ආතල් වෙනමම ෆ්‍රීක්වන්සි එකක තිබ්බ එව්ව නිසා මේ පිචැර් පෝස්ට් එක ඇතුලට එව්ව ඔබන එක පොඩි අයියට කරන අසාධාරනයක්..

අරලියමල් පිචැර් එකේ සොමී රත්නායක රෑක අනෝජා පස්සෙ එලවන් එද්දි අනෝජා ඔයට පැනලා මැරුනෙ ඇයි කියලා ඒ කාලෙ මට දෙපාරක් බලලත් තේරුම් ගන්න බැරිවුනා කියහංකෝ.. අනෝජගෙ කරේ මාලයක් තිබ්බෙත් නෑ.. අතේ බෑග් එකෙක් පර්ස් එකක් තිබ්බෙත් නෑ.. අතේ තිබ්බෙ හුලු අත්තක් විතරයි.. ඉතිං හත් ඉලව්වෙ අර යකා එක්ක මහ රෑ රේස් දුවන්නෙ නැතුව හුලු අත්ත සොමී රත්නායකට දීල අනෝජට ඔයට පනින්නෙ නැතුව කලුවරේම ගෙදර යන්න තිබ්බ නේද කියලා මම අවුරුදු ගානක් කල්පනා කරා.. ඒ අව් අස්සෙ තමුං ලව් කරපු කෙල්ල අනෝජා ඔයට පැනලා  මැරුනයින් පස්සේ ඒ ගෙදරම නංගි සබීතව කසාද බඳින්න සනත් කොහොමද හිත හදාගත්තෙ කියන එකත් එදා මට තිබ්බ ප්‍රශ්ණ පත්තරෙන් එකක් ඉතිං..  දැං හැදෙන පිචැර් එක්ක බැලුවා එව්ව ඉතිං පට්ට ස්ක්‍රිප්ට්.. ඔලුවෙ පොඩි සංස්කෘතිකමය ප්‍රශ්ණ කීපයක් ඉතුරු උනාට ආයෙ ඉතිං ප්ලොට් හෝල් හොයාගන්න නෑ මලාට.. 

 අරලියමල් ස්ටෝරි ලයින් එකයි, අපි ඒ පිචැර් එක බලපු හැටියි කියන්නෙම මට ඒක ෆිල්ම් එකකට වඩා ඉමෝශනල් මතකයක්.. ඉමෝශනල් නොවී ඉවර වෙනකල් ගායනා කරගෙන යන්න බැරි සිංදු හතරක් මට තියෙනව.. එකක් කුරුල්ලෝ නුබේ තාලෙන්.. අනෙක ඉද්ද මල් කතාවේ.. අරලිය මල් පිචැර් එකේ කුරුල්ලෝ නුබේ තාලෙන් සිංදුව ඇහෙද්දිත් ඉද්ද මල් කතාවෙ සිංදුව ඇහෙද්දිත් මට අදත් මම ටිකක් විතර ඉමෝශනල් වෙනව.. ඊට සමාන්තරව ලොකු අයියවත් සුදු අයියවත් මතක් වෙනව.. අනිවා හෙටානිද්ද වෙද්දි කෝල් දෙක තුනක් එනව ඉතුරු සිංදු දෙක මොකක්ද අහලා... දැං දීපංකෝ උත්තර..😂

Wednesday, January 14, 2026

ඈපාට ආන්ඩුවේ උපදේශක තනතුරක් ?

 මේක 1995 අවුරුද්දෙ කතාවක්.. ඒ අපි උසපෙලට ගිය මුල කාලෙ.. උසස්පෙලට හෙවත් අපි 12 වසරට ගිහිං මාසයක් වගේ යද්දි පිට ඉස්කෝලවලින් උසස්පෙලට ධර්මාශෝකෙට එන ලමයි ටිකත් ඕං පංතිවලට එකතුවුනා.. ඒ අල්ලපනල්ලෙ තමයි එවකට දහ තුන වසරේ හිටපු අයියලා ( එහෙම කියමු ඉතිම් 😛)ටිකක් ඉන්ටවල් එක අල්ලලා අපේ පංතිවලට ඇවිල්ලා ඉස්කෝලෙට අලුතෙන් ආපු අයට රැග් කරන්න එන්නෙ.. අපි ඉතිං කාටවත් කරදරයක් නැතුව අයිංසකව බෝපැල වගේ ඉන්න දරුවෝ උනාට ඒ වගේ අසමජ්ජාති වැඩවලට අපේ අනුග්‍රහයක් නෑ.. ඕං ඔය රැග් කෙරුවාවට විරෝධය විදිහට තමයි අපේ පංතිය ඇතුලේදි දහතුන වසරේ අයියලා සැට් එකක් එක්ක වලියක් පැටලෙන්නෙ.. දොලහ G එකට දහතුන වසරෙන් පැනලා නෙලන්න යද්දි දොලහ ආර්ට් එකේ සැට් එකත් වලිය මැද්දට පැනලා දෙපිරිසම සම සමව ගහගෙන සම සමව ගුටිකාලා ඉන්ටවල් එක ඉවර වෙද්දි විසිර යනව.. රැග් සීන් එතනින් අහවරයි..


කතාවට උක්තව ලියන සිද්දිය් එන්නෙ අන්තිමට.. ඕං ඔය රැග් වලියට පහුවදා ඉන්ටවල් එකේ මේ ලියන මම, අපේ කොටා සහ ගයාන් පහලට යද්දි නැවතත් දහතුන වසරේ අයියලා ( එහෙම කියමු ඉතිං) ටික අපි තුන්දෙනාව ඇම්බුශ් කරනව.. සීන් එක් වෙන්නෙ උඩ තට්ටුවේ නිසා පහලට පැනලා බේරෙන්නත් බෑ.. දහයක පහලොවක විතර පිරිසකට එදිරිව අපි තුන්දෙනෙක් ඉතිං මක් කරන්නද කියලා මමනම් ඉතිං වරසැල් වෙන්න ගුටි කන්න හිත හදාගන්නව.. හැබැයි එයාලගෙ ටාර්ගට් එක වෙලා තිබ්බෙ අපේ ගයියව.. පුලුහං හැම විදිහකටම මැදට පැන්නත් උන් වටකරන් නෙලුවෙ අපේ ගයාන්ට පමණයි.. කොටාට එකක් දෙකක් වැදුනා උනාට මටනම් නියපිටින් පාරක් වැදුනෙ නෑ.. ඒකට එක හේතුව වෙන්න ඇත්තෙ එවකට ඇටිකිරිත්තෙක් විතර මට ගහන එක ගැරඬි මරලා පවු ගන්නවා කියලා උන්ට හිතෙන්න ඇති.. අනික් හේතුව අපිව ඇම්බුශ් කරපු කට්ටියගෙන් වැඩිමනක් අයියලා ( එහෙම කියමු ඉතිම්) මම පුද්ගලික්ව දන්න කියන එවුන්..


ඕං විනාඩියක් දෙකක් වගේ කාලය ඇතුලත උන් වටකරන් අපේ ගයියට ගහනවා සහ ක්ශණිකව සෙට්වෙන 12 G කොමර්ස් පංතියේ එවුන් ටිකයි 12 ආර්ට් පංතියේ එවුන් ටිකයි එකතු වෙලා එවෙලෙ අතට අහුවුන දහතුන වසරේ එවුන්ට ඇඬෙන්න රිටර්න් එක දෙනව.. එක අයියා කෙනෙක්නම් අඬාගෙන එයාගෙ අම්ම උගන්න ඉස්කෝලෙට දුවලා අම්මවත් එක්කගෙන ආවා කියහංකෝ ඉස්කෝලෙ ඇරෙන්නත් කලින්.. ටීචර් කෙනෙක් වෙච්චි ඒ අයියගෙ අම්ම ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකටත් ගිහිං ලොකු නාට්ටියකුත් පෙන්නුවා එතුමියගේ දහතුන වසරේ පුතාට දොලහ වසරෙ එවුන් වටකරන් ගහලා කියල... 🙈🙈🙈😂😂😂


එදා දවසෙන් වලිය ඉවරයි.. ඊට පස්සෙ තිබුනෙ අපේ ගයියට ගහපු එවුන් ටික එකා එකා හොයලා බීපු මවුකිරි මතක් වෙන්න රිටර්න් එක දෙන එක.. ඒ කිව්වා වගේම එකා එකාට වෙන වෙනම ඒ සබ්බුවත් දුන්නා ආයෙ වලියකට නොයන්නම.. සමහරක් අයට පාරෙදි සහ සමහරුන්ට ඉස්කෝලෙදිම.. සමහරු සර්ලා මිස්ලා ලව්ව ඇප අයදුම් කරපු නිසා එයාලා ගුටි පෝරියල් ලිස්ට් එකෙන් අතෑරිය.. ඕං ඔය සෙට් එකේ හිටපු එක්තරා ඇල්පිටියෙ හාදයෙන් සතියක් දෙකක් විතර ඉස්කෝලෙ එන එක මගෑරියා.. මොකද කියනවානම් එයා ඉස්කෝලෙ එනකල් දොලහ වසරේ මල්ලිලා ටිකක් ගේට්ටු දෙක ලඟම ඔත්තු බලමින් ඉන්න වග දැනගත්තු නිසා...


ඕං ඔය විදිහට සති දෙකකට වඩා කාලයක් ඉස්කෝලෙ එන එක මගෑරපු ඒ අයියා ( එහෙම කියමු ඉතිම්😜) ඕං අන්තිමේ ඉස්කෝලෙ ආවා කියමුකෝ.. ඉන්ටවල් එක හැමෝගෙම අවධානය ලැබෙන වෙලාවක් නිසා අපේ කට්ටිය වැඩ කරන පීරියඩ් එකක මෑන්ස්ව කැඳවනවා කැඩෙට් රූම් එක ලඟ තිබ්බ පිරිම වැසිකිය දිහාවට.. ඒ වැසිකිලියේ තිබ්බ ගන්දස්සාරෙට ගුරුවරයෙක් මලාට ඒ පැත්ත පලාතේ එන්නෙ නෑ... ඕං චූදිතයා යාලුවෙක් සමග පැමිණෙනව.. 12 ආර්ට් එකේ සෙට් එකයි 12 G හෙවත් අපේ පංතියේ සෙට් එකයි, 12 මැත්ස් එවුන් ටිකකුයි 12 බයෝ එකේ එකෙකුයි එවරෙඩී 13 වසරෙ අයියව පිලිගන්න.. මේං බොලේ අර යෝදයා එතනට ආවා විතරයි අපේ එවුන් ඔක්කොම පැනලා මේ යකාව බිම පෙරලාගෙන නෙලන්න පටන් ගත්තා කියහංකො.. රංචුවක් එකතුවෙලා එකෙක් පෙරලගෙන ගහනවා බලන් ඉන්න බැරිම තැන

මම මැදට පැනලා දැං ඇති දෙයියෝ මූට යන්න ඇරපං කිව්වා විතරයි..


පලයං Xx තො පැත්තකට කියලා අපේ ඈපා මට ගැහුවා කියාංකො රොම්බ කම්මුල් පාරක්... මං හිතන්නෙ අපිට සිංහල කරපු සුමිත්‍රා මිස් මට ගහලා තියන කම්මුල් පාරවල් සේරෝටම වඩා ඒ එක කම්මුල්පාර සැරයි..

 මං ඉතිං ඈපට කිව්වා ඕකට ගහන්න එපා බං පවුනේ දැං ඇති කියලත්.. ඒ වගේම මම කිව්වා රංචුවක් එකතුවෙලා එකෙකුට ගහන එක හරි නෑ නේද කියලාත්.. ඕං එතකොට ඈපා මට ආයෙම පිට මැද්දටත් හතරක් විතර නෙලුවා කියහංකො.. 


තෝ දැං මූට ගහන්න එපා කියනව.. සති දෙකකට කලින් තොපි තුන්දෙනාට මුං වටකරන් ගහද්දි මුන් ලඟ ඒ මනුස්සකම තිබ්බෙ නෑනෙ.. ඒ නිසා මුන්ට ආයෙම රිටර්න් එක දෙනකොට අපිත් අපේ මනුස්සක්ම් මුන්ට පෙන්නලා වැඩක් නෑ... මුන් තිරිසන්නු.. රංචුවක් වටවෙලා තුන්දෙනෙකුට ගහද්දි මුං සාධාරණේ අසාධාරනේ ගැන හිතුවෙ නෑනෙ p කෝ..

 ගැහුවනම් ගහපං ඒ විදිහටම.. නැත්තං ආයෙම චාන්ස් එකක් ආවොත් ඊලඟ පාර මුං උඹලව මරනව.. තොට  මේක බලන් ඉන්න බැරිනම් තෝත් මෙතන මැරුම් නොකා පංතියට පල.. 


උක්ත දහතුන වසරේ රැග් අයියාට ඇති වෙනකල්ම ගුටි ඇනලා එදා අපේ එවුන් ටික රැග් වලිය අවසන් කරා.. එතැනින් එහා දහතුනේ අයියලා (එහෙම කියමු ඉතිම්😋) ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් යනකල්ම 12 වසරෙ අපි එක්ක පැටලෙන්න ආවෙ නෑ.. 

උන් කරපු වැඩේ වැරදිවුනත්, උන් අපිට වටකරන් ගහුවා වුනත්, උන්ගෙ හැම එකාටම එකා එකා තනියම අල්ලලා වටකරන් ගුටි ඇනපු එක ගැන මටනම් අදත් ආඩම්බරයක් නෑ... It is a disgusting feeling.. ඒ උනාට ඈපා මට මෙගා සයිස් කම්මුල් පාරක් ගහලා පිට මැද්දෑවටත් තුන හතරක් ඇනලා  දීපු අවවාදය සහ කියලා දීපු සර්වලෝක තියරිය ලෞකික ජීවිතය ඇතුලේ ලෝක විනාශය දක්වාම  වැලීඩ් කියලයි මට හිතෙන්නෙ..


ප්‍රහාරය අශිශ්ඨනම් ප්‍රති ප්‍රහාරයත් අශිශ්ඨයි කියලා වර්ථමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කොහේදෝ කියනවා මම අහලා තියෙනව.. හොරු අල්ලන්න ගිහිං ආන්ඩුව තැවෙන තැවිල්ල දැං අවුරුද්දක් විතර බලන් හිටියා නේදෝ කියලා හිතද්දි අපේ ඈපා මට කියලා දීපු සර්වලොක තියරිය මතක්වුනා.. 

ඈපා මේ වෙද්දි ඉන්නෙ කැලිෆෝර්නියාවෙ.. ඈපා ලංකාවේ හිටියනම් මම ඈපව යවනවා ජනාධිපතිතුමාටයි ආන්ඩුවටයි මීටින් එකක් තියලා ඒ අවවාදෙම දීලා වරෙන් කියල.. ‍රටක් කරද්දි සිද්දවෙන සමහර අසාධාරනකම් ජයගන්න ආන්ඩුවක් ඇතුලේ ඈපා වගේ එවුනුත් ඉන්න ඕන කියලයි මගේ කියැවීම..


( දැං ඉතිං මගේ බුකියෙ ඉන්න 95 AL කරපු අයියලා සැට් එක ලොකුවට රිදෝගන්නවා එහෙම නෙවෙයි ඕං.. ඔය රැග් වලිය මැද්දට පිහි කොටයක් අරගෙ පැනලා උන්දැගෙම අත කපාගත්තු අයියා කෙනෙකුත් මේකෙ ඉන්නව🤩🤩🤩.. ආදරෙයි පැලෙන්න උබලා හැමෝටම ❤️❤️❤️)

Sunday, January 4, 2026

31 රෑ නරි නාටක..

 ඒ කාලෙ මම හිතන්නෙ වර්ශ 2000 දශකයේ මුල් කාලෙ වෙන්න ඕන.. මම බෑන්ඩ් එකෙන් අයින් වෙලා පූර්ණකාලීන රජයේ සේවකයෙක් වෙලා අම්බලන්ගොඩ කොලඹ යන එන කාලෙ.. උදේට 4.40 මේල් එකේ ගිහිං හවසට සාගරිකාවෙ ගෙදර ආපු කරුමෙ ගැන මතක් වෙද්දිනම් ඉතිං දැනුත් ඇඟේ ලේ වතුර වෙන තරම්.. ඒ කාලෙ ජීවිතේ සැපක් කියලා වින්ඳනම් ඉතිං සාගරිකාවෙ සෙකන්ඩ් ක්ලාස් එකේ හවසට යන නින්ද විතරමයි.. අනික්වා ඉතිං සේරෝම දුක්.. 


ඕං ඔය කාලෙ කවුදෝ අසමත්ජාතියෙක් මගේ කරේ එල්ලපු මරාලයක් තමයි මොන්ටසෝරි කොන්සර්ට් කරුමෙ.. කීබෝර්ඩ් එක ප්ලේ කරන්න පුලුහං නිසා මොන්ටසෝරි කීපයකින් මාව හොයාගෙන එනවා අවුරුද්ද අන්තිම වෙද්දි.. අනෙ අම්මේ ඉතිං ඔය ටීචර්ලා අපේ ගෙදර ගේට්ටුව ලඟින් ත්‍රීවීල් එකකින් බහිනවා දැක්කාම ඉතිං මට මූත්‍රා යන්නෙ නැති ටික විතරයි... හරියටම කියනවනම් මාස ගානක් පොලියට පොල්ල තියපු එකෙක්ව හොයාගෙ පොලී මුදලාලි ගෙදරටම ආවා හා සමානයි.. ටීචර්ලා එන්නෙත් ඉතිං අඩුම තරමේ කේක් ගෙඩියක්වත් ඔතාගෙන නිසා නෑ බෑ කියලා එලෝගන්නත් බෑ.. ඔය කොන්සර්ට් වැඩේ අවුරුද්ද පුරාම නැති නිසා යාන්තමට කොන්සර්ට් එකක් ඉවරවුනාම ඊලඟ අවුරුද්දෙනම් පොල්ල තියනවා තියනවාමයි කියලා හිතුවට මාස කීපයක් ගතවෙද්දි ඕක මොලේට අමතක වෙනව... ආං ඒ නිසා තමයි මොන්ටසෝරි මරාල ගේට්ටුව ලඟ ත්‍රීවීල් එක නවත්තද්දි මාව අතටම මාට්ටු වෙන්නෙ.. ටීචර්ලත් ඉතිං සී අයි ඩී දාලා හොයලා මාව ගෙදර ඉන්න වෙලාවම හොයාගෙන එනවදෝ කියලත් හිතිලා තියෙනවා මං ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර් ඉන්න ඩෑල් එකක් නොවෙන නිසා...


එතැන් පටං ඉතිං හැම වීකෙන්ඩ් එකේම පොඩි උන්ට සිංදු කියන්න නටන්න ගයන්න මට කීබෝර්ඩ් එක ප්ලේ කරන්න වෙනව.. වැඩේ බාර දෙනකොට ටීචර්ලා කියන්නෙ අනේ මල්ලි ඉල්ලන ගානක් දෙන්නම් මේ වැඩේ කරලා දෙන්න කියලා වුනාට මං ඉතිං කවදාවත් එයාලගෙන් සල්ලි අරගෙන නෑ.. කොන්සර්ට් එක දවසට ඉතිං මටත් පොඩි එවුන්ගෙන් තෑග්ගක් හම්බ වෙනව.. බොහෝ වෙලාවට ඉතිං කමිසයක් කලිසමක් තමා.. පෝරිසාදයෝ විස්සක් තිහක් එක්ක ඒ විඳින දුකටනම් ඉතිං හමීඩියා එකේම තියන කලිසම් කමීස දෙන්නම් කිව්වත් මටනම් ඒ ගිග් එක ඕන නෑ.. කරුමෙට ඉතිං අද වෙනකල් සුවකරගන්න බැරි අසනීපෙ ඉතිං බෑ කියන්න දිව නැමෙන්නෙ නැතිකම..


ඊයෙ ජනවාරි පලවෙනිදා අපිට නිවාඩු.. ලංකාවෙ නැතිවුනාට ලෝකෙ රටවල් බහුතරයක ජනවාරි පලවෙනිදා කියන්නෙ හැමෝටම නිවාඩු දවසක්.. මම හිතන්නෙ ජීවත් වෙන්න රස්සාවල් කරන රටවල ජනවාරි පලවෙනිදා නිවාඩු.. රස්සාව කරන්න ජීවත්වෙන රටවල ජනවාරි පලවෙනිදා අනිවාර්‍යෙන්ම වැඩට යන්න ඕන දවසක්.. ජනවාරි පලවෙනිදා ඕං උදේ දහයට විතර ඇහැරිල කිරිබත් කෑල්ලක් (මොන කෑලිද බං.. තඩි කිරිබත් පිඟානක්.. අනාගෙන කන එකේ ආයෙ මක්කටෙයි කෑලි කපන්නෙ) එහෙම කාලා ඉස්මුරුත්තාවෙ ටීවී එක ඉස්සරහ ඇලවෙලා ඉන්න අල්ල පනල්ලෙ ඕං ඉතිං යූ බටේ එකදිගට ප්ලේ වෙනව..  මාත් ලංකාවෙ උපන් හිංහල එකෙක් කියලා යූ බටේ ඇල්ගොරිදම් එක දන්න නිසා ඌ ඉතිං මාව ඉම්ප්‍රෙස් කරන්නද මන්දා දෙසැම්ම්බර් 31 රෑ ලංකාවෙ චැනල් ටිකේ පෙන්නපු නලු නිලි හුරතල් ටික එක දිගට පෙන්නනව.. එක චැනල් එකක ගිය එක සිංදුවක්වත් මම උපන්තේකට අහලා නෑ... ඊලඟ චැනල් එකේ කොස්ටියුම් ලස්සනයි... ලයිටින් ලස්සනයි... බැග්‍රවුන්ඩ් ලස්සනයි.. හැබැයි තුනම එකට එකතුවුනාම G හැත්තෑවයි... තව චැනල් එකක් එවුන්ගෙ සමහර සිංදු හොඳයි.. සමහර එව්ව බලන් ඉද්දි සිංදු කියන එවුන්ගෙ කටවල් හෙල්ලෙන තාලෙට යන සිංදු නෙවෙයි ප්ලේ වෙන්නෙ.. මම අනුමාන කරන්නෙ යූ බටේ කොපිරයිට්ස් අල්ලන නිසා සමහර සිංදු වෙනුවට වෙනත් AI සිංදු ඔබ්බලා අපිව රවටලා.. චැනල් වලින් නිරමාණකරුවන්ට කොපිරයිට්ස් ගෙව්වෙ නැති නිසාත් නිර්මාණකරුවන් කොපිරයිට්ස් ඉල්ලලා සංගම් හදාගත්තු නිසාත් දෑං ඉතිං අන්තර්ජාලය ඇතුලේ චැනල් හරහා තවදුරත් ඔරිජිනල්ස් අහන්න වෙන්නෙ නෑ... දෙගොල්ලන්ගෙම කොපිරයිට්ස් වලිය නිසා අපිට බලන් ඉන්න නැටුම නටන සිංදුව නෙවෙයි අපිට කනට අහන්න ලබෙන්නෙ... ඒ ඔක්කොමත් හරි කියමුකෝ... ඒ වගේද  නැටුම්.. ආං ඉතිං බලනවනම් නැටුම්..


මොම්ටසෝරි කොන්සර්ට් වැඩේ ඉතිං ටිකක් අමාරු වැඩක්.. පොඩි එවුන් විස්සක් තිහක් පිලිවෙලකට සිංදුවක් කියන්න පිලිවෙලකට නර්ථනයක් කරන්න අඩුම තරමේ මාස දෙකක්වත් පුරුදු කරන්න ඕන.. කරුමෙ කියන්නෙ මාස ගානක් පුරුදු කරලත් ඉතිං බහුතරයක් පොඩි එවුන් කොන්සර්ට් එක වෙලාවට නටන්නෙ උන්ට අර මාස ගානක් පුරුදු කරපු නැටුම නෙවෙයි උන්ගෙම වෙනත් එකක්.. 

චැනල් සේරොගේම නැටුම් ටික බලන් ඉද්දි මට මතක්වුනේ මම මියුසික් කරපු මොන්ටසෝරි කොන්සර්ට් ටික.. අපරාදෙ කියන්න බෑ නලු නිලියො ටිකයි ඩාන්සර්ස්ලා ටිකයි නටනවා නැටිල්ලක් මොන්ටිසෝරි කොන්සර්ට් එකකට වඩා ලොකු වෙනසක් නෑ...  


කිරිබත් මතට ඉතිං මටත් තැනින් තැන නින්ද ගියා..  එකපාරක් ඇහැරිලා ටීවී එක දිහා බලද්දි  දැකපු දෙයක් නිසා මම ටීවී එක නිමල දැම්ම.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.. ඔව්වයෙ පෙන්නන ජුගුප්සාජනක දේවල් බලලා ජනවාරි පලවෙනිදා හා හා පුරා කියලා කාපු කිරිබත් පිඟානත් වමනෙ දාලා බැරි නිසා..  දැකපු දේ ඉතිං ලියලත් බෑ නොලියත් බෑ.. ලා නින්දක් ගිහිං ඇහැරිලා ටීවී එක දිහා බලද්දි මේං ජැකාගෙ ලොකු එකා හීනි ජංගි කොටයක් විතරක් ගහගෙන ගෑනු රොත්තක් වටකරගෙන මා දිහාට කකුල් දෙක පලල් කරන්  අහවල් එක පෙන්නං ඉන්නවා කියහංකො..🤭🤭🤭

Tuesday, October 14, 2025

වෙඩින් හයර් භාරගනු ලැබේ ..

         


        මේ කතාව මීට අවුරුදු විසි පහකට කලින් කතාවක්.. එවකට මං ලඟ තිබ්බෙ නිසාන් කැලිෆෝනියා වැගන් එකක්.. ඕකට ලඟම යාලුවො කිව්වෙ ෆෝනියා කියල.. එහෙම කියන්න විශේශිතම කාරනය වෙන්න ඇත්තෙ ගනිද්දි තිබ්බ සුදු පාට පේන්ට් එක මකලා මම කහපාටින් පේන්ට් කරපු නිසා වෙන්න ඇති.. මගේ ෆෝනියා මේ වෙද්දිත් ලංකාවෙ කොහේ හරි අස්සක මුල්ලක තාමත් දුවනවා ඇති මගෙ හිතේ..


        ඕං සිකුරාදා දවසක හන්දෑවක ටිකක් විතර දුරින් යාලුවො දෙන්නෙක් එනව මාව හොයාගෙන ගෙදරට.. ඒ කාලෙ සිකුරාදා හවසට ගෙදරදි මාව හමුවෙන එක ඇමතිකෙනෙක් හමුවෙනවට වඩා අමාරු වැඩක් උනාට මෑන්ස්ලා දෙන්නගෙම වාසනාවට ඒ වෙලාවෙ මම ගෙදර හිටිය.. කතාවෙන විදිහට මෑන්ස්ලා හෙට හෙවත් සෙනසුරාදා වේයන්ගොඩ මගුල් ගෙදරක යන්න හිටියාය ඒ යන්න හිටපු වාහනේ අවුලක් වෙලාය පුලුවනිනම් මගේ කාර් එකේ වේයන්ගොඩ ගිහිං බස්සලා එන්න පුලුවනිද කියලා අහන්න තමා මෑන්ස්ලා ඇවිත් තිබ්බෙ.. එදත් අදත් තියෙන ලොකුම දුර්වලකම විදිහට බෑ කියන්න බැරිකම නිසා මාත් ඉතිං හා එන්නං කියලා කීව..

        උදේ පහමාර වෙද්දි ගෙදරට වරෙං කියලා කිව්වාම ටිකක් විතර අමුත්තක් දැනුනට ඔන්නොහේ නොදන්න එවුන් නොවෙන නිසා මාත් පහුවදා පාන්දර අතට අහුවෙච්ච එකක් ඇඳගෙන යනවා අරුන් දෙන්නව වේයන්ගොඩට බස්සන්න.. මේ කියන මිත්රයාගෙ ගෙදරට ගියාම තමයි මට වැඩේ තේරෙන්නෙ.. බැලින්නම් ගෙදර ඔක්කොම මගුල් ගෙදර යන්න ලෑස්ති වෙලා.. ගමෙන් භාගයක් වගේ ඉන්නව ගෙදර මිදුලෙ හොඳට ඇඳපැලඳගෙන.. ලේලන්ඩ් කොටේකුත් ඈතින් නවත්තලා තියෙනවත් පේනව..මාත් ඉතිං කාර් එක යාලුවගේ ගේ ලඟ නවත්තලා එතන හිටපු දන්න කියන මනුස්සයෙක් එක්ක පොඩ්ඩක් කතාබහ කරලා මුට්ටිය දාලා පාරට ඇවිල්ලා බැලින්නම් මේං මගේ කාලිෆෝනියා එකේ සුදු පාට ක්රේප් පටි ඇදලා ඉස්සරහින් සුදු පාට මල් පොකුරකුත් ගහල.. බැලින්නම් වේයන්ගොඩට බස්සලා එන්න කියපු මගේ යාලු එකාගෙ වෙඩිමලු එදා.. මට එන්න කියලා තියෙන්නෙ මගුල් කාර් එක විදිහට යන්න.. ඒ කියන්නෙ මම කාලා තියෙන්නෙ දාර ලණුවක්.. දැං ඉතිං මොකෑ කරන්නෙ කියලා ඔන්නොහේ මනමාලයයි දෙවැනි එකාවයි දාගෙන මම එතැනින් පිටත්වුනා.. රතිඤ්ඤා එහෙමත් පත්තු කරා පිටත් වෙද්දි.. මනමාලයා කිව්වට උගේ විසේසයක් නෑ.. නිකම් කලිසමක් සහ කමීසයක් පමණයි.. දෙවැනි මනමාලයත් එමමයි.. කෝට්බෝට් ඩිකියෙ...කේන්තිය දාගන්න අහක් නැති නිසා මම ඉස්සෙල්ලම කරේ උගේ ගෙදරින් මීටර් සීයක් දෙසීයක් විතර ඉස්සරහට ඇවිල්ලා අයිනෙන් නවත්තලා දෙන්නටම කන්වල ඇඟිලි ගහගන්න සිංහලෙන් අමතපු එක.. ඕං එතකොට තමයි කියැවෙන්නෙ මගුල් කාර් එකක් ඕන නෑ කියල හිතලා ලේලන්ඩ් එකේම මනමාලිව කැන්දාගෙන එනවා කියලා හිතාගෙන හිටියාට ඉතිං මගේම ලඟම මිත්රයෙක් මාව වැඩේට කැඳවන්න සුපිරි ප්ලෑන් එක දුන්නා කියලා. එතැනින් එහා මට ඉතිං මුං දෙන්නව මග දාලා යන්නත් බෑ.. ඒත් කහපාට ගාපු කැලිෆෝර්නියා එකකින් මගුල් ගමනක් යන්නත් බෑ.. මට ඒ වෙලාවෙ ඔලුවට ආවෙ අපේ බාප්පගෙ B11 කාර් එක.. ඒක සුදු පාටයි.. ඉස්සෙල්ලම කරේ මගේ කාර් එකේ තිබ්බ සුදු පාට ක්‍රේප් පටියි මල් පොකුරුයි ඔක්කොම ගලවලා ඩිකියට ඔබපු එක.. ඊලඟට මනමාල ඩබල එක්ක බාප්පලාගෙ ගෙදරට.. අරුන් දෙන්නව මගින් බස්සලා මල් පොකුරු කෝට් බෝට් ඔක්කොම එතන තියලා බාප්පලාගෙ ගෙදරට ගිහිං මගේ ෆෝනියව එහේ දාලා බාප්පගෙ බී 11 එක අරගෙන එන්න බාප්පට සෑහෙන්න බොරු ප්රමාණයක් කියන්න උනා.. වරුවෙන් ගේනවා ගෙනිච්චා වගේම සුදෝ කියලා පොරොන්දු වෙලා වදෙන් පොරෙන් බාප්පගෙ කාර් කටුව අරගෙන එනකොට මනමාල ඩබල ඉන්නවා කෝට් බෝට් මල් පොකුරු අතිං කටිං එල්ලගෙන බෝක්කුවක් උඩ.. මම නාවනං උන් තාමත් එතන කියලා හිතෙද්දි අදත් පනයන්න හිනා..

        ඉන් පස්සෙ ඉතිං බාප්පගෙ වන්ඩියෙන් කෙලින්ම අම්බලන්ගොඩ සිට වේයන්ගොඩට.. ඒ කාලෙ හයිවේ නෑ.. ගාලු පාරෙ තමා ඉතිම්.. ඊලඟට මනමාලිගෙ ගෙදරට කිලෝමීටර් පහක් විතර දුරින් කාර් එක නවත්තලා අර ගලවපු ක්රේප් පටියි මල් පොකුරුයි බප්පගෙ කාර් එකේ එල්ලනව.. මනමාල ඩබල පාර අයිනෙ ඉඳන් කෝට් බෝට් දානව.. හැබැයි සූටි ප්රශ්ණයක්.. තුන්දෙනාගෙන් එකෙක්වත් දන්නෙ කියහංකෝ ටයි ගැටේ ගහන්න.. දන්න කියන හැම විදිහකටම ට්රයි කරලත් බැරිම තැම අපි තීරණය කරනවා විදේශ ආධාර පතන්න.. එතැන් පටන් එතැනින් පාරෙ යන හැම කෙනෙකුගෙන්ම අහනවා ටයි ගැටේ ගහන විදිහ.. ඒත් ඉතිං ම්හ්.. අන්තිමේ මට ඈතින් පේනවා ගෙදරක ගෑල්ලමයෙක් මිදුල අතු ගානව.. මං ඉතිං කෝකටත් කියලා අරුන් දෙන්නව කාර් එකේ දාගෙනම ඒ ගෙදර ලඟ නවත්තලා ඒ ගෑල්ලමයගෙන් ආධාර පතනව.. ඉස්සෙල්ලම ඉතිං භයෙන් බිරාන්ත උනාට පස්සෙ සම්පූරං සිද්ධිය කීවාම ඒ ගෑල්ලමයා ටයි ගැටේ ගහලා දෙන්න එකඟ වෙනව.. ඕං කොහොමින් කොහොම හරි ටයි ගැටේ ගහලා දීලා අපිට ප්ලේන්ටියකුත් හදලා දෙනවා ඒ ගෙදර මිනිස්සු..

        ගමෙන් ආපු ලේනඩ් කොටෙත් ඟාති වරිගයා එක්ක එතනට ආවාම ඕං මම අරුන් දෙන්නවත් දාගෙන මගුලට සෙන්දු වෙනව.. මගේ පොරොන්දුව මගුලට බස්සන එක විතරයි උනාට ඉතිං මට හිතෙනව අලුත බැඳපු එවුන් දෙන්නව ලේනඩ් එකේ ගමට ගේන්න අරින එක මගේ මනුස්සකමට හරි නෑ කියලා.. වරුවෙන් ගෙනත් දෙනවා කියලා ඉල්ලන් ආපු බාප්පගෙ කාර් එක ආපහු වෙලාවට දෙන්න ඕන කියන කාරනය ඇරුනාම වෙනත් ප්‍රශ්ණ නැති නිසා මමත් ඔන්නොහේ පොල් වත්තක් අයිනෙන් ඇලර්ට් එකක් දාගෙන ඉඳලා හවස මංගල ජෝඩුවත් අරගෙන ආයෙම ගමේ එනව..

බාප්පගෙන් ගුටි නොකා බේරෙන්න ඉතිං දාහක් බේගල් කියන්න උනා.. ඒත් ඉතිං ඕං ඔයයිගෙ B11 එක වෙඩින් හයර් එකක් ගියා මේං හයර් එක කියල දාහෙ කොල දෙකක් මිට මෙලෙව්වාම උදහසින් ටිකක් විතර බේරුනා.. මෑන්ස්ගෙ පස්ට පරන B11 එක වෙඩින් හයර් එකක් ගියා කිව්වම මෑන්ස්ට පස්සෙ හෙන සතුටුයි.. පස්සෙන් පහුත් කිව්ව තව වෙඩින් හයර් එහෙම ආවොත් ගන්න කියලත්.... පැස්ටොල් ටික විතරක් ගහපං කියලා ගිහිපු ගමනක මොන හයර්ද බං.. අනික ඒ කාලෙත් B11 එකක ආවොත් මනමාලිත් මට තවුසෙ එක්ක එන්න බෑ කියන තරමට B11 එක අවුට් ඔෆ් ෆැශන්. ඒ කියලා ඉතිං ඒ දාහෙ කොල දෙකත් මට අතිං කයිට් කියලා බාප්පට කොහොම කියන්නද.. ඕං ඔහොමයි අතිං කයිට් වෙන්න යාලුවෝ අපිව ඇන්දුවේ..
( බලපිටියෙ ඉස්පිරිතාලෙට අරන් යන්නෙ කියලා ලෙඩෙක් වාහනේට දම්මගෙන උපක්‍රමශීලිව කලුබෝවිලට බස්සගතපු යාලුවෙකුත් ඉන්නව ඉතිං.. එව්වනං ඉතිං හද්දා කපටිකම්..)

Wednesday, October 1, 2025

ගිගිරි නගින බෙලුකටු

 😠


මේක අසූව දශකයේ මැදභාගයේ කතාවක්..

        එවකට මම දේවානන්ද විද්යාලයේ එක වසරේ හෝ දෙක වසරේ කියලයි මතක.. එකේ දෙකේ ඇච්චො බැච්චො උනාම ඉතිං ඒ ඉස්කෝලෙම අයියලා අක්කලා ඉන්නවනම් එයාලගෙන් සූටි පහේ ආරක්ශාවක් රැකවරණයක් ලැබෙන එක ස්භාවිකයි නෙව.. මටනම් ඉතිං ඒ ඉස්කෝලෙ අයියලා අක්කලා ඉල්ලෙ.. මොකෙක්වත් නැති නිසා ඉතිං බල්ලො පූසොත් ටොකු ඇනලා යන ලෙවල් එකෙන් මම අඥාතයි කුජීතයි.. එහෙම උනා කියලා අනාතම කියලමත් නෑ ඉතිං.. කාගෙන්වත් ගුටි නොකා ඉන්න ඕන නිසා අපේ සීය පොලිසියේ කියලා හරි ශේප් කාර්ඩ් එක ගහගන්නව.. සීයලා දෙන්නම මට වයස අවුරුද්දක් වෙද්දිම මියපරලොව ගිහිපු නිසා ඒ දෙන්නා සුදුද කලුද කියලත් මම දන්නෙ ෆොටෝ කෑල්ලකින් විතරක් වෙච්චි.. ඒත් ඉතිං එව්ව ඉස්කෝලෙ කොල්ලො දන්නෙ නෑ.. තාත්ත පොලිසියේ කියන්න බෑ තාත්ත හැමදාම උදේට වැඩට යන ගමන් මාව ඉස්කෝලෙ ලඟට ඇරලවන නිසා..

        ඕං ඔය විදිහේ වාතාවරණයක් යටතේ අමාරුම කාරයන් හතලිහක් හතලිස් පහක් ඉන්න පංතියක ඉන්ටවල් එක කියන්නෙම පංතියේ ඉන්න එවුන්ගෙ අයියලා අක්කලා තමුන්ගෙ මල්ලිලා බලන්න එන වෙලාව.. එවකට මම හිටපු එෆ් පංතියේ හිටියෙ කොල්ලොම විතරයි.. අපරාදෙ කියන්න බෑ හෝඩියේ ඉඳන් පහ වසරට ගිය දේවානන්දෙ යාලුවොත් අද වෙද්දි රට හැමතැනමත් ලෝකෙ හැමතැනමත් ඉන්නව අඩු නැතුව..
        
        මෑන්ස්ගෙ නම හසන්ත.. හසන්ත කිව්වට හසන්තමත් නෙවෙයි.. ඊට ආසන්න නමක්.. ඇත්ත නම ලියන එක හරි නැති නිසා එව්ව මෙහිලා ලියලා බෑ.. හසන්තගෙ අක්කත් ඒ ඉස්කෝලෙමයි.. මතකෙ හැටියට අපිට වඩා අවුරුදු හතක් අටක්වත් වැඩිමල් ඇති.. ඒ අක්කා මල්ලිට කොච්වර ආදරේද කියනවනම් ඉන්ටවල් එකට පංතියට ඇවිත් මල්ලිට කවලා පොවලා නාවලා කොන්ඩා පීරලා පවුඩර් දලා සූ දාන්නත් එක්කං ගිහිං තමයි ආයෙ එයාගෙ පංතියට යන්නෙ.. අපිව බලන්නනම් ඉතිං එන්න බල්ලෙක් පූසෙක්වත් නැති නිසා අපි ඉතිම් ඒ ලොකු එවුන්ගෙ ලොකු සීන් බලාගෙන පාඩුවේ ඉන්නව.. ඉන්නවා කිව්වට ඉන්න වෙනව..

        ඕං දවසක් සුපුරුදු විදිහට ඉන්ටවල් එක උදාවුනා.. ඒක මහා භයානක දවසක්.. සිද්දිය අද මතක් වෙද්දිත් කකුල් දෙක හිරි වැටීලා ගිහිං මහා භයානක හැඟීමක් ඔලුවට එනව.. හසන්තගෙ අක්කයි යාලුවෝ දෙන්නෙකුයි ඇවිත් ඕං හසන්තයාට කවනවා පොවනවා අතගානවා කොන්ඩෙ පීරනවා එක හුරතලයයි.. අක්ක අපිට වඩා හතකින් අටකින් වැඩිමහල් නිසාද වෙන්න ඇති ඉතිං හුරතලේ.. ඕං ඉතිං කවලා පොවලා නාවලා පුයර දාලා කොන්ඩෙ පීරලා අක්කලා සැට් එක හසන්තයාව සූ දන්නත් එක්කම් ගියා කියමුකෝ.. ඉන්ටවල් එක ඉතිං ලොකු වෙලාවක් නැති නිසා අපිට ඉතිං හසන්තයා ගැනත් ලොකුවට නිනව්වක් නෑ.. හැමදාම සිද්දවෙන බේබි සිටිං නිසා අක්කලා ඇවිත් හසන්තයාට කවන පොවන එක අපිට ලොකු මැජිකුත් නෙවෙයි.. ඕං එක පාරටම ඉන්ටවල් ඉවරවෙන බෙල් එක වදිනව.. ඒ එක්කම ඇච්චි බැච්චො යන ටොයිලට් එක පැත්තෙන් ඉස්කෝලෙම උලු බිමට වැටෙන සද්දෙට පොඩි එකෙක් කෑ ගහනව.. ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවරුයි ලොකු අයියලා වගේකුයි ඒ සද්දෙට ඒ පැත්තට දුහනව.. අපිට ඉතිං දුවන්න කියලා අතක් නෑ.. බිල්ලෙක් ඇවිත් ඉස්කෝලෙ ලමයි අල්ලන් යන්න හදනවාවත්ද කියලා හිතුනට ඉතිං බිල්ලෙකුට උනත් ගෝනියක ඉස්කෝලෙකම ඉන්න ලමයි දාගෙන යන්න බැරි නිසා කුතුහලය ඇරුනාම මටත් ඉතිං ලොකුවට භයක් දැනුනෙ නෑ.. කරෝල වාඩියක වැඩට උනත් අරං යන්නෙ අත පය හතර ටිකක් ලොකුවට මහතට තියෙන එවුන් නිසා මං වගේ කෙංචි නාට්ටෙකුට බිල්ලෙකුගෙන් උනත් ලොකුවට අවධානමක් නෑ..

        ඕං ටික වෙලාවකින් ගූරුවර ගුරුවරියන් ගොඩාක් වටවෙලා හිටපු ටොයිලට් එක ඇතුලෙන් හසන්තයාව උස්සන් එන්නෙ පිරිමි ගුරුවරයෙක්.. හසන්තයාගෙ අක්කත් යාලුවො ටිකත් අඬ අඬා ඒ පස්සෙන් දුහනව.. අපේ පංතියේ හිටපු, කට ඇරියොත් බොරු කියන සකලසිරී කියන්නෙ හසන්තයට ටොයිලට් එක ඇතුලෙ ඉඳලා නයෙක් ගහලා කියල.. හද හදා හොල්මන් කතා කියන ප්‍රසන්නයා කියන්නෙ දවල් බැදුම් කාලා ටොයිලට් ගිහිං එකේ හිටපු යකා හසන්තයට ගහල කියලා.. තව එකෙක් කිව්වෙ ටොයිලට් එකට උඩින් තියන දෙල් ගහේ ගෙඩියක් හසන්තයාගෙ ඔලුවට වැටීලා කියල.. තව එකෙක් කීවෙ හසන්තයාට පපුවෙ හිලක් නිසා ඒකට අමාරු වෙලා කියල.. ඔය වගේ දාහක් විය හැකි දෑ ඇහෙන් දැක්කා වගේ කියන විස්සක් තිහක් කොල්ලො විවිධාකාර මත පල කරද්දි අපේ පංතිභාර ටීචර් ඇවිත් වෙලා තියෙන දේ අපිට නොකියාම හසන්තයාගෙ පොත් බෑග් එක අරගෙන යනව.. ඕං එතැන් පටං අර කලින් කයි කතන්දර කීව එවුන්ගෙන්ම එකෙක් කියනවා හසන්තයා ඉස්පිරිතාලෙ ගෙනියද්දි මැරිලලු.. ඉස්කෝලෙන් ගෙනියද්දිත් මැරීලා කියලත් තව එකෙක් කියනව.. ඒ අස්සෙ අද ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ඊයෙ මැරිච්ව හසන්තයාගෙ හොල්මන කියලත් ප්‍රසන්නයා කියනව.. උගේ මාස ගනන් කියලත් ඉවර නොවෙන හොල්මන් කතා වටවෙලා අහන් ඉන්න අපිට ඉතිං ඒකත් ඇත්තවත්ද කියලත් හිතෙනව..

        හසන්තයාගෙ ඇත්ත නම මේකෙ කොමෙන්ට්වල ලියලා මාව උසාවිනම් යවන්න එපා යාලුලා ඕං.. කරගන්න පුලුවන්කම තියාගෙන තමුන්ගෙ වැඩේ අනුන් ලව්වා කරගන්න ගියාම ඉතිම් හසන්තයාට වෙච්චි දේ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.. ආදරේ වැඩිකමට දරුවන්ගෙ සහෝදරයන්ගෙ යාලුවන්ගෙ සරීරකෘත්යයත් කරවලා දෙන්න ගියාම එව්වගෙ භයානක ප්‍රථිපලවලට මූන දෙන්න සිද්ද වෙනව ඉතිම් අකමැත්තෙන් උනත්..

    එදාම ඉතිං විස්තරේ හොයාගන්න බැරිවුනාට ඉතිම් පහුවදා ඉස්කෝලෙ යද්දි සිද්දිය ගැන රොයිටර් වාර්ථා පංතිය පුරාම.. වෙච්ච සිද්දිය රඟපාලා පෙන්නපු එවුනුත් හිටියා ඉතිං.. වෙලා තිබ්බෙ ඇඟ හිරිවැටෙන සීන් එකක්.. හසන්තයා මාසෙකින් විතර ඉස්කෝලෙ ආවා ඉතිම් මුකුත් නොවුන ගානට.. වෙලා තිබ්බ සීන් කෝන් එක මේන් මේකයි..

        ඉන්ටවල් ඉවරයි කියලා බෙල් එක ගහපු ගමන් හසන්තයාගෙ අක්කන්ඩි පංතියට යන්න තියන හදිසියට හසන්තයාගෙ කලිසමේ සිප් එක උඩට ඇදලා.. ඒත් ඉතිං සසර කරපු කරුමෙකට හසන්තයා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ සූ දාන ගමන්.. ගිගිරි නගින බෙලුකටු නේද පිංවත.. ඒ කෑල්ල ලියද්දිත් මේ දැනුත් මගේ කකුල් හිරි වැටෙනව.

Monday, September 15, 2025

සමුගන්න අවසන් සිනහවෙන් . .

         



                ඒ නමය් දහය වසර වගේ කාලෙ මගෙ හිතේ.. ඉස්කෝලෙ ඇරුනයින් පස්සෙ ටියුශන් නැති දවස්වලට හවස් වරුවෙම කරේ මහේශ්ලාගෙ මිදුලෙ ක්රිකට් ගහපු එක.. හවස දෙකහමාරට විතර පටන් ගැනෙන ක්රිකට් ගැහිල්ල, එක්කො ගෙවල් වලින් ඇවිත් එකෙක්ව කනෙන් ඇදගෙන යනකල් හරි එක්කො අඳුර වැටීලා මහේශ්ලාගෙ අම්ම චාලට් ඇන්ටි දැං ඕක නවත්තපල්ලා කියලා මහේශ්ට සද්දෙ දානකල් හරි ඇදීලා යනව.. කොහොම උනත් හවස හයහමාර වෙනකනුත් බොහෝ දවස්වලට අපි ක්රිකට් ගහනව.. මට ඔය ක්රිකට් ගැහිල්ල ඒ තරමට අල්ලලා යන්නෙ නැති නිසා ඉතිං මමත් බෝල එකකට දෙකකට බැට් එක වනලා හැමදාම අවුට් වෙනව.. වැඩිහරියක්ම ඉතිං වෙන්නෙ අනුන් ගහන බෝල අහුලන්න මම මහේශ්ලාගෙ වත්තෙ කැලෑ පීරගෙන දුහපු එක විතරයි.. පොල් ගස් අටෝරාසියක් එක්ක තවත් පලතුරු ගස් බොහෝමයක් තිබ්බ මහේශ්ලාගෙ වත්තෙ මිදුල සමතලා මිදුලක් නිසාම එතන ක්රිකට් ගැහුවා මිසක් ගස් ගල් බේරලා හතරක් හයක් ගහනවා කියන්නෙම ඉතිං සෑහෙන ගේමක්.. මට ඉතිං හතරෙ එව්වා හයේ එව්වා හීන වෙච්චි බැට් එකේ වදින එකම බෝලෙත් කාගෙහරි අතට කැච් කියහංකෝ...

        කොල්ලො කුරුට්ටො දහයක් දොලහක් සෙට් වෙන ක්රිකට් ගැහිල්ලට නායකත්වය දුන්නෙ මහේශ්ලගෙ අල්ලපු ගෙදර අයිය.. ඒ අයිය අපිට වඩා අවුරුදු තුනක් හතරක් වගේ වැඩිමල් කියලයි මගේ වැටහීම.. ඔතන ක්රික්ට් ගහපු වයස් කාන්ඩ කිව්වොත් ඔක්කොම හැත්තෑව දශකයේ 74,75,76,77,78 වගේ වයස්වල උදවිය.. මම දහය වසරේ ඉද්දි ඔය කියන අයියා බොහෝදුරට උසස්පෙල.. හවස ක්රිකට් ගැහිල්ලා නැගලාම යන අල්ල පනල්ලේ මේ අයියා ඕං එක දවසක් එයැයිගෙ ගෙදර කුස්සියේ ජනේලෙන් එලියට ඇහෙන විදිහට මහ සද්දෙට කැසට් එකක් දාලා ඇවිත් ක්රිකට් ගහන්න ආවා කියහංකෝ.. අපි ක්රිකට් ගහනවා.. කැසට් එකේ එකම කැසට් එකක් දෙපැත්තට දුවනව.. එක පැත්තක් ඉවර වෙද්දි අයිය දුවලා ගිහිං කැසට් පීස් එක අනික් පැත්ත දානව.. මම අනුමාන කරන විදිහට ඒ කැසට් පීස් එකේ තිබ්බ සිංදු ටිකට සමගාමීව ඒ අයියට මල්සරා විද්දා එක්කෝ ඒ ආසන්නයේ මල්සරා විදපු විදිල්ලට ඒ අයියා කුස්සියෙන් එලියට ඇහෙන්න කැසට් එක දාල ක්රිකට් ගැහුව..
🤪    
    
     මේ කියන අයියා ඒ සිංදු ටිකට කොයිතරම් ඇබ්බැහි උනාද කියනවනම් කැසට් එක නැති දවස්වලත් ඒ සිංදු මුමුන මුමුනා තමයි මේ කියන අයියා ක්රිකට් සෙල්ලම් කරේ..
ක්රිකට් ගහන අතරේ අපිටත් ඉතිං ඔය සිංදු ටික එකින් එක කටපාඩම් උනා.. ඇයි ඉතිං මේ යෝදයා මේ සිංදු ටික අපිටත් බලෙන්ම අස්සවන නිසා..ටිකක් කන්දීලා ඇහුවාම සිංදු ටිකත් නරක නැති නිසා මමත් ඉතිං වැඳලා වැඳලා කැසට් පීස් එක ඉල්ලගෙන ගිහිං අපේ ගෙදරත් ටික දවසක් ඇහුව..
අහම්බෙන් යූ බටේ සිංදු වගයක් හොයද්දි ඕං ඒ කැසට් පීස් එකේ තිබ්බ සිංදුවක් අහුවුනා.. සමහර සිංදු අපේ අතීත මතක අවුස්සනව.. සමහර සිංදු අත්තීතයේ සමහර තැන්වල ටැග් වෙලා තියන නිසා එහෙම වෙනවා කියලයි මට හිතෙන්නෙ.. ජයන්ත දිසානායකගේ මේ සිංදුව තියන කැසට් එකේ තිබ්බ මොන සිංදුව ඇහුනත් මට මතක් වෙන්නෙ අවුරුදු තිහකට එහා මහේශ්ලගෙ මිදුලෙ ක්රිකට් ගහපු හැටි.. අද වෙද්දි චාලට් ඇන්ටි ජීවතුන් අතර නෑ.. මහේශ් ලෝකෙ කොයි කොනක ඉන්නවද කියලා දන්නෙ නෑ.. මහේශ්ගෙ අක්ක දොස්තර කෙනෙක් වෙලා ඔස්ට්රේලියාවෙ පදිංචියට ගිහිං.. එතන ක්රිකට් ගහපු හුඟ දෙනෙක් අද ගමේ පදිංචි නෑ.. එක්කෙනෙක් ජීවතුන් අතරත් නෑ.. ඒ කාලෙ වගේ එක ගමේ කොල්ලො කුරුට්ටො එක ගෙදරක මිදුලක සෙට් වෙලා අද කාලෙ ක්රිකට් ගහන්නෙත් නෑ.. එක ගමේ මිනිස්සු පාරෙ හම්බුනත් අන්ඳුරන්නෙ නැති තරමට ලෝකය වෙනස් වෙලා..

Sunday, August 31, 2025

සයිඩ් කන්නාඩියෙන් දෙවැනි ගමන

         


            ඒ මං හිතන්නෙ අපි නවය දහය වසරෙ හිටපු කාලය.. චන්දෙ දවසට අම්ම ඉලෙක්ශන් ඩියුටි යන එක හැම චන්දෙකටම පොදුවූ වැඩක්.. චන්දයක් එනවා කියන්නෙම ඉතිං අපිට ඒ කාලෙ ආතල් කෝටියක්.. ඔය චන්දෙට සමගාමීව චන්දෙ දවසෙ රෑට සහ චන්දෙ දවසට ඉස්සරින්දා අපේ ගෙදරට අමුත්තො කීප දෙනෙක් එනව.. ඒ තමයි අම්මගෙ ඔෆිස් එකේ වැඩ කරපු යාලුවො කීපදෙනෙක්.. ඒ වෙන හේතුවකට නෙවෙයි.. ඉලෙක්ශන් ඩියුටි යන දවසට උදෙන් යන්න ඕන නිසා සෙට් එකම අපේ ගෙදර ඇවිත් නවතිනවා උදේ පාන්දර ඒ ඒ ගම්පලාත්වලින් එන්න තියන ප්රවාහන අපහසුතා නිසා.. ඔය කියන දවස චන්දෙ දවසට ඉස්සරින්ද.. අම්මගෙ යාලුවො තුන් හතරදෙනෙක් හවස් වෙද්දි අපේ ගෙදර ඇවිත් බෝර්ඩ් උනා. මට වෙනම කාමරයක් තියන නිසා මට වාසස්ථාන අහිමි වෙන්නෙ නෑ.. ඒත් නංගිලා දෙන්නටනම් එදාට බොහෝදුරට සිද්ද වෙන්න ඇත්තෙ එයාලගෙ කාමරේ අම්මගෙ යාලුවන්ට දීයා අම්මලාගෙ කාමරේ නිදියන්න.. ඒක මගේ උපකල්පනයක් මිස හරියටම දන්න දෙයක් නෙවෙයි ඉතිං.. මගේ කාමරෙන් පිට ලෝකයේ අය නිදාගත්තෙ කොහේද කෑවෙ බිව්වෙ මොනවද කියලා මට අදටත් කල්පනාවෙ නෑ.. ඒ ඉතිං මමයි එයාලා හතරදෙනායි එක පවුලකට වඩා පවුල් දෙකක ස්වරූපයෙන් ඉන්න තැනට මම විලෝපිකයෙක් උන නිසා.. ගෙදර සාමාජිකත්වය මේන්ටේන් උනාට ගෙදරින් පාලනය වුනාට අදහස් ගැලපීම අතිං ඉතිං හතරට එක අනුපාතයට ලාම්පුතෙලුයි වතුරයි ගානට එදා වගේම තමා අදටත්..

        
        එදා තමයි සිරිලාංකීය ටෙලි ඉතිහාසයේ වැඩිහිටියන්ට පමණයි ලේබලයේ සිංහල පිචැර් එකක් ටීවී එකේ පෙන්නපු දවස.. බොහෝදුරට ඒ පලවෙනි වතාවට වෙන්න ඇති.. මං ඉතිං ටීවී එකේ සිංහල චිත්රපටි ෆෑන් කෙනෙක් නෙවෙයි නිසා මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ.. ඒක මම දැනගන්නෙ මේං මෙහෙම. අම්මගෙ ඔෆිසියේ යාලුවො ටික රෑ හතේ ඉඳන් මට කියනවා පුතා අද කලින් නිදාගන්න හෙට උදෙන්ම ඇහැරෙන්න තියනවනේ කියල.. ඒත් ඉතිං මම කල්පනා කරනව මට චන්දෙ දාන්න යන්නත් නැති එකේ, මට ඉලෙක්ශන් ඩියුටි යන්නත් නැති එකේ, චන්දෙ නිසා ඉස්කෝලෙ යන්නත් නැති එකේ මොන කෙහෙල්මලකට මට කලින් නිදාගෙන උදෙන් නැගිටින්න කියනවද කියල.. විනාඩි පහලොවකට සැරයක් මට කලින් නිදාගන්න කියන එක මට මහ විසාල කරදයක් වෙච්චි නිසා මං ඉතිං පොඩ්ඩක් විපරං කරලා බැලුවා මේ මොකෑ යකෝ මේ කියල.. ඕං ඒ අල්ලපනල්ලෙ සාලෙ මැද්දෙන් එහෙ මෙහේ යන වෙලාවක තමා දකින්නෙ ඒ මහා වැඩිහිටියන්ට පමණයි පිචැර් එක ටීවී එකේ අද රෑට පෙන්නනවා කියල.. ඒ පිචැර් එකේ නම තමයි " දෙවැනි ගමන".. අපි ඉතිං පොඩිහිටියන් වෙච්චි අපිට ඔව්ව බලන්න ගෘහ පාලකතුමාගෙන් අවසර නෑ.. හැබැයි ඉතිං රීගල් එකෙයි අනුර හෝල් එකෙයි ඔය වයස් සීමාව එහේ මෙහේ උනා මම දන්න තරමින්.. ඒ ගැන දැනගත්තෙ ඊට ටික කාලෙකට පස්සෙ ඕ ලෙවල් කරපු අවුරුද්දෙ.. එව්ව ප්රසිද්දියේ ලියන්න බෑ.. වයස හතලිස් අටක් වෙන්න ලං උනාට තාමත් අවුල් ඉස්කෝලෙන් පැනලා පිචැර් බැලුවා කියලා අම්ම තාත්ත දැනගත්තොත්.. බුකිය කියන්නෙ කේලම් ගුහාවක් එහෙම බැලුවාම..

        අම්මගෙ යාලු ආන්ටිලා විසි තිස් වාරයක් කිව්ව නිසා කුතුහලය වැඩිවුන නිසාම මේ ගැන හෙව්වා මිසක් කලින් නිදාගන්න කියලා ඉල්ලීම් ආවෙ නැතිනම් ඔය පිචැර් එක යනවා ඇහුනත් මම නෙවෙයි ඔව්වට ඇහැ දාන්නෙ.. ටීවී එකේ යන හිංදි පිචැර් එකක් බලුවත් සිංහල පිචැර් එකක් කියන්නෙම නිදිමරාගෙන බලන්න තරම් උද්යෝගයක් ඇතිවෙන එකක් නෙවෙයි ඒ වෙද්දි.. සිංහල සිනමාව ඒ වෙද්දි තිබ්බෙ පණ අදිමින් කියලයි මට දැං වෙද්දි හිතෙන්නෙ.. රෑ නවය වෙද්දි අම්මගෙ යාලු ඇන්ටිපාලා ටික මාව නිදි කරවගන්න සෑහෙන්න දත කන නිසා අපේ ඩඩා මට අවසාන නියෝගය දෙනවා කාමරේට ගිහිං නිදාගන්නවා කියල.. ප්රධාන ගෘහ පාලකගෙන් නියෝගය ආවාම එතැනින් එහා ඕකට වලිය ඇදගන්න එකෙන් වෙන්නෙ පහුවදා චන්දෙ දවසෙ රෑට ගන්න තියන ආතල් ටික කුඩුවෙන එක නිසා මමත් ඇපීල් නොකරම පරාජය භාරගෙන කාමරේට වෙනව.. මම හිතන්නෙ ඒ වෙද්දිත් අපේ නංගිලා දෙන්නා අම්මලාගෙ කාමරේ දොයි..


        ඒත් ඉතිං ඒක එහෙමයි කියලා ජාතික රූපවාහිනියෙන් රටේම දරුවන්ට ලිංගික අජ්ජහපනේ දෙන්න හදන වෙලාවෙ මට නිදාගන්න කියන එක අසාධාරණ නිසා මමත් ඕක ලේසියෙන් අතාරියිද මම අහන්නෙ.. ප්ලෑන් ඒ වැඩ නොකරාවි කියලා හිතෙන වෙලාවට ඒ වෙනුවෙන් ප්ලෑන් බී එකක් හදාගෙන තියාගන්න එක ඒ කාලෙ ඉඳන්ම පුරුද්දක් නිසා "දෙවැනි ගමන" සහ මාව කලින් නින්දට යැවීමේ කුමන්ත්රණයේ එකිනෙකට ඇති සම්භන්ධතාවය දැනගත්තු වහාම මම කරේ ප්ලෑන් බී එකට කටයුතු සම්පාදනය කරගතපු එක.. ඒකට ඉතිං අමුද්රව්ය ගොඩාක් ඕනවුනේ නෑ.. ගෙදරදීම දුරස්ථ ආකාරයෙන් ටීවී බැලීමේ උපකරණයක් හදාගන්න මට ඕනවුනේ අපේ ඩඩාගෙ සී ෆිෆ්ටිය විතරයි.. දැං මේක කියවන අය හිතයි මම තාත්තගෙ මෝටර් බයික් එකේ නැගලා වෙන කොහේහරි ගිහිං දෙවැනි ගමන බැලුවා කියල.. නෑ නෑ ඒක එහෙම නෙවෙයි..

        තාත්තගෙ මෝටර් සයිකලේ රෑට එලියෙ තියන්නෙ නෑ.. ඒක රෑට තියෙන්නෙ ගෙදර ඇතුලෙ තියන ඉස්තෝප්පුවේ.. ඔය මෝටර් සයිකලේ පිටිපස්සෙ ටේල් ලයිට් එක කෙලින් තමයි මගේ සිරියහන් ගබඩාවේ දොර තියෙන්නෙ.. මෝටර් සයිකලේ ඩබල් ස්ටෑන්ඩ් එක ගහලා හැන්ඩල් එක සම්පූර්ණෙන් දකුණට හැරෙව්වාම මගේ ඇඳේ ඉඳන් ටීවී එක බලන්න කරන්න ඕන දකුණු සයිඩ් කන්නාඩිය සූට්ටක් එහේට මෙහේට සීරුමාරු කරන එක විතරයි.. කාමරේ දොරට කර්ටන් දාලා තියන නිසා දොර භාගෙට ඇරලා තිබ්බම කර්ටන් එකෙන් අඟල් දෙකක ඉඩක් ඇති සයිඩ් කන්නාඩියෙන් ටීවී එක පේන්න.. ප්ලෑන් බී එකක් හදාගෙන ඒක බලන්න දත කෑවෙ වෙන මොකටවත් නෙවෙයි.. වැඩිහිටියන්ට පමණයි කියලා මුං මේකෙ පෙන්නන්නෙ මොන වගේ දෙයක්ද කියලා බලාගන්න.. ඒ තමයි වයස පහලොවක් වෙන කොලු ගැටවුන්ගෙ කුතුහලය..

        ඕං රෑ දහයට වගේ දෙවැනි ගමන පටන්ගත්ත.. අපේ අම්මනම් ඒ වෙද්දිත් කුස්සියේ වැඩ.. තාත්තත් මං හිතන්නෙ ඒ වෙද්දි නින්දට ගිහිං.. අපේ අම්මගෙ යාලු ඇන්ටිපාලා ටික සාලෙ ගජේට වාඩිවෙලා දෙවැනි ගමන බැලුව.. මමත් ගජේට ඇඳේ හාන්සිවෙලා දෙවැනිගමන සයිඩ් කන්නඩියෙන් බැලුව.. ඒත් ඉතිං ඒ කිව්ව විදිහට ලිංගික අජ්ජහපනේ දෙන වැඩිහිටියන්ට පමණයි වර්ගයේ මුකුත්ම දරශණ ඒ පිචැර් එකේ තිබ්බෙ නෑ.. මතක විදිහට පිචැර් එකේ භාගෙකට වඩා තිබ්බෙ මොකක්දෝ සුදු රෙද්දක පලහිලව්වක්.. මං ඒත් දවස්ගානක් කල්පනා කරා මුං වැඩිහිටියන්ට පමණයි කියන ලේබලයක් යටතේ ඒක පෙන්නුවේ සනත් ගුණතිලක වසන්තිව පෙරලගෙන කිස්කරන සූටි සීන් එක නිසාදෝ කියල.. යකෝ ඊට අවුරුදු කීපයකට කලින් ටීවී එකේ ගිය නයිට් රයිඩර් එකේ මයිකල් නයිට් කාරයත් ඊට වඩා සුද්දියන්ව කිස් කරනව රෑ හතහමාරට ප්රසිද්ධියේම.. ඒ කාලෙ ගිය රොබින්හුඩ් එකේ රොබින් කාරයත් ඊට වඩා මැරියව කිස් කරනවා රෑ හතට අටට ..


    අම්මගෙ යාලු ඇන්ටිපාලා සෙට් එකෙම ඒ වෙද්දි අවිවාහක තරුණ උදවිය.. අපේ මුලු ගෙදරම කලින් නින්දට යවලා ගේ ඇතුලෙ ඇඳිරිනීතිය දාලා "දෙවැනි ගමන" බැලුවට එයාලත් බලාපොරොත්තු වෙච්චි ලිංගික අධ්යාපණික දර්ශණ ටික ඒකෙ තිබුනෙ නැති නිසා එයාල පහුවදා හරියට චන්දෙ ටික ගනන් කරාදත් මන්දා කියලා හිතෙනව දැං වෙද්දි .. ඒ මගුල බලන්න උන්දැල ඒ හැටි මොකද දැඟලුවාද මන්ද.. යකඩෝ කබරු කනවා වගේ සනත් කාරයා වසන්තිව කිස් කරන එක වගේද අපේ රොබින් වීරයා මැරියන්ව කිස් කරනකොට තියන ශුන්ගාරය.. ඕක බලාගන්න ගෙදරකම එවුන් කලින් නින්දට යවන්න ඕනෙද මං අහන්නෙ..

Sunday, August 10, 2025

පස්සේ සාක්කුව

            හතර පහ වසරෙ ඉද්දි මට තිබ්බ ලොකුම ආසාවක් තමයි පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගෙන ඒකෙ පර්ස් එකක් දාගෙන යන එක.. හැබැයි ප්‍රශ්නෙ තිබ්බේ කලිසමක් මහන්න ටේලර් ශොප් එකට යන්න වෙන්නෙ තාත්ත එක්ක නිසා ඔය පස්සට සාක්කුව දාන එක ටිකක් විතර හීනයක්.. කොන්ඩෙ කපන්න ගියාම බාබර්ටත්, කලිසම මහන්න ගියාම ටේලර්ටත් උගේ රස්සාව උගන්නන්න යන්න ඕන නෑ කියලා තාත්ත් තරයේ විශ්වාස කරපු නිසා මහන කලිසම මැහුනෙ ටේලර්ට ඕන විදිහට. කැපෙන කොන්ඩෙ කැපුනෙත් බාබර්ට ඕන විදිහට.. ඉතිං අලුත් කයිසමට පස්සට සාක්කුවක් දාලා මහල දියං ටේලර් මාමෙ කියල කියන්න මට ඉතිං බයයි තාත්ත ඉන්න නිසා..


            ඕං ඔය වගේ වාතාවරණයක් යටතේ එක්තරා දවසක මහ ඩබලගෙ අල්මාරිය අවුස්සන වෙලාවක මට හම්බෙනව අලු පාට කලිසම් රෙද්දක්.. ඕක අත ගගා හැම අතටම කල්පනා කරා මට මේකෙන් පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගන්න පුලුවන් වෙයිද කියල.. ඕං දවස් ගානක් ඉල්ලීම ඉදිරිපත් කරලා අවසානයේ මට කලිසමක් මහගන්න අවසර හිමි වෙනව.. ඒ කාලෙ අපේ තාත්තලාගෙ ගමේ ටේලර් කෙනෙක් හිටියා සමන් කියල.. තාත්ත එක්ක ගියොත් යන්න වෙන්න්නෙ ස්ටේශන් එක ලඟ තාත්තගෙ ෆේවරිට් ටේලර් ලඟට නිසා මම තාත්තලාගෙ ගමේ ඉන්න සමන් අයියගෙ ටේලර් ශොප් එකට තකහනියේ යනවා කලිසම් රෙද්දත් අරගෙන.. තාත්ත නැතිව ගිහිං මැශමන්ට් දුන්නම සාක්කුව දාගන්න එක අවුලක් නෑ.. කලිසම ගේන්න යද්දි ඕක ගන්න යන්නෙ තාත්ත නිසා පස්සෙ සාක්කුව ඉතිං ආපහු මකවන්න බෑ මැහුවට පස්සෙ.. මගේ සැලසුම අති සාර්ථක වෙලා ඕං ඔහොම තමයි ඉස්ඉස්සෙල්ලම පස්සට සාක්කුවක් දාපු කලිසමක් මට අඳින්න ලැබෙන්නෙ.. ඒ තමා මගේ පල්වෙනි පස්සෙ සාක්කුව..
        
                ඕං දැං පස්සට සාක්කුවක් තියෙනව.. ඊලඟ ප්රශ්නෙ ඕකෙ දාගෙන යන්න පර්ස් එකක්.. පස්සෙ සාක්කුවත් තහනම් වෙච්චි මට පර්ස් එකක් ඉතිං හීනයක්ම උනාට ඒකටත් විකල්පයක් තිබ්බ.. ගෙදර හැම අස්ස මුල්ලම අවුස්සලා පර්ස් එකට විකල්පයක් හොයද්දි ඕං මට හම්බෙනවා අපේ අම්ම කෝච්චියේ වැඩට යන්න සීසන් එක ගතපු සීසන් ෆෝල්ඩර් එක.. සූටි කොට කලිසමේ පස්සෙ සාක්කුවට අම්මගෙ සීසන් ෆෝල්ඩර් එක දැම්මාම ඉතිං මට දැනෙන්නෙ සල්ලි මිටියක් එක්ක තඩි පර්ස් එකක් පස්සෙ සාක්කුවට දාගෙන යන ගැම්මක්.. සල්ලි ගැන අවභෝධයක් නැතත් ඉතිං පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කියන්නෙම හෙන ගැම්මක්..
            

                    ඕං එදා හවස මට හවස ටියුශන්.. හාහාපුරා කියලා ඕං මමත් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අර අලුපාට පස්සෙ සාක්කු කලිසම ඇඳගෙන අම්මගෙ සීසන් ෆෝල්ඩර් එකත් පස්සෙ සාක්කුවේ දාගෙන ගැම්මට පංති යන්නයි සූදානම. ඒ කාලෙ දවල් දවසෙ අම්මලා ගෙදර නැති නිසා හවස් වරුවෙ ඉන්නෙ පුංචිලාගෙ ගෙදර.. ඕං ඉතිං ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පංති යන්න ලෑස්ති වෙලා ඉන්න.. ඒ දවස්වල පුංචිලාගෙ ගෙදර මොකක්දෝ අවශ්යතාවයකට ගස් වගයක් කපලා පට්ටලයක් ගහගෙන ලී ඉරනව දෙන්නෙක්. මටත් ඉතිං නිකා ඉන්න බැරිකමට පංති යන්න වෙලාව එනකල් ඔය පට්ටලේට නගිනවා ලී ඉරන දෙන්න කෑමට ගිහිං හිටපු නිසා.. පට්ටලේට කොටේ නග්ගන්න ඕකෙ තියෙනවා පැත්තකින් අංශක හතලිස් පහට වගේ ගහපු ලී කොට දෙකක්.. මටත් ඉතිං තදින්ම විසේ නිසා පට්ටලේට නැගලා අර අංශක හතලිස් පහේ කොටේ දිගේ පහලට රූටනව.. ඒක ඉතිං ටිකක් සොමි වැඩක්.. ඔහොම රූටාගෙන පහලට එද්දි තමයි එකපාරටම සරස් ගාලා සද්දයක් එක්ක කොටේ තිබ්බ ඇනේක කයිසම පැටලෙන්නෙ.. පහලට ඇවිත් අතගාලා බැලින්නම් දකුනු පැත්තෙ පස්සෙ සාක්කුවටනං මුකුත්ම අවුලක් නෑ.. ඒ කියන්නෙ දෙයියො බලලා පස්සෙ සාක්කුව බේරල.. ඒත් ඉතිං සාධාරණයි කිව්වට දෙයියෝ එච්චරම සාධාරණ නෑ.. කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ පලුවකුත් නෑ.. කොටේ දිගේ පහලට රූටගෙන එද්දි පැටලුන ඇනේ කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ කෑල්ලක් කඩලාම අරගෙන..

            ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ පලුවක් නෑ කියලා පේන්නෙ නෑ.. ඒ නිසා කලිසම ඇඳගෙන පංති යන එකේ ගැටලුවක් නෑ.. ඒත් ඉතිං ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කාටවත් පේන්නෙ නෑ.. පලුවක් මිසින් පැත්ත වැහුවොත් පර්ස් එක පේන්නෙ නෑ.. පර්ස් එක පේන්න ශර්ට් එක යටකරොත් කලිසමේ පස්ස පැත්තෙ පලුවක් නෑ.. අද කාලෙනම් පස්සෙ පලුවක් නැති කලිසම් ෆැශන් එකක් කියලා ඇඳගෙන යන්න පුලුවන් උනාට ඒ කාලෙ එහෙම බෑ.. විසි තිස් වතාවක්ම පුංචිගෙ අල්මාරියේ කන්නාඩියෙන් පස්ස බලලා විකල්ප දාහක් හිතුවට රැවුලයි කැඳයි දෙකම බේරගන්න විදිහක් තිබුනෙ නෑ.. අවසානයේ පස්ස පැත්තට සාක්කුව දාපු කලිසම ගෙදර තියලා වෙන කලිසමක් ඇඳගෙන පංති යනව..

            තිඹිරිගෙයිම මියැදුන මගේ පස්සෙ සාක්කුව කාලයක් යනකල් මගේ ලඟ තියාගෙන හිටියා පලුව රිප්ලේස් කරගන්න චාන්ස් එකක් එයිද කියලා හිත හිතා.. ඒ උනාට ඒ කලිසම කවදාවත් ගොඩදාගන්න බැරිවුනා.. ඒ ජාතියෙම රෙදි කෑල්ලක් හම්බුනානම් ටේලරින් ඉගෙනගෙන හරි පලුව රිප්ලේස් කරනවා කරනවාමයි.. ඒ උනාට ඒ කලිසම අඳින්න බැරි තරමට ලොකු වෙලත් ඒ ජාතියේ රෙදි කෑල්ලක් හොයාගන්න බැරිවුනා..

Sunday, August 3, 2025

බිලිංලංකාරය

           බිලිං අච්චාරු කියන්නෙ අම්බලන්ංගොඩ අපිට කෑමක් නෙවෙයි ආගමක්.. සිංහල අවුරුදු කාලෙට අමතරව අම්බලන්ගොඩ ගෙවල්වල කොහේහරි අස්සක මුල්ලක හෝ ෆ්රිජ් එකක බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. බිලිං කියන්නෙ පලතුරක්ද එලවලුවක්ද කියලා මම දන්නෙ නෑ.. බිලිං ගහේ උපත කොහේද ? කොයි රටකින් ලංකාවට ආවද? එහෙමත් නැත්තං බිලිං ගස ලංකාවට ආවේනික ශාකයක්ද ? ලංකාවට ආවේනිකනම් ඒක අම්බලන්ගොඩට ආවේනික ශාකයක්වත්ද කියලා කියන්න මම ඕකෙ උපත විපත දන්නෙ නෑ... අච්චාරු හැදිල්ල ඇරුනාම බිලිං වලින් හදන්න පුලුවන් වෙනත් කෑමක් ගැන මම උපන්තේකට අහලාත් නෑ.. එහෙම තිබ්බනම් බිලිං අච්චාරුවලට ඔයතරම් ඒකාධිකාරයක් ගොඩනැගෙන්න විදිහක් නෑ.. එක අතකට කල්පනා කරලා බැලුවාම බිලිං තරම් ඒකධිකාරයක් ගොඩනගාගත්තු ශාඛයක් මේ තුන්ලෝකෙම නැතුව ඇති.. ඇයි යකෝ ඒකෙ හැදෙන ගෙඩි වලින් හදන්න පුලුවන් එකම එක කෑමක් විතරනේ.. ඒ කෑමටත් ආදේශක නෑ.. පාරිභෝගික සේවා අධිකාරිය එහෙම දැනගත්ටතොත් බිලිං ගස අනිවා උසාවි..


රට ඉන්න අපිට ලංකාවෙන් පිටත්වෙන දවස් ලං වෙද්දි ගෙනියන්න ලැබෙන කෑම අතරේ බිලිං අච්චාරු විශේශයි.. අනික් පලාත්වල අයට මම දන්නෙ නෑ අම්බලන්ගොඩ අපිටනම් රට යන ළැගේජ් එකේ බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. මට බිලිං අච්චාරුවලට කොයි තරං ලැබිල්ලක් තියෙනවද කියනවනම් බිලිං බෝතල් කීපයක්ම ලැබෙනවා ලංකාවෙන් එන්න පිටත් වෙන දවස ලං වෙද්දි.. තුන්වේලටම බිලිං අච්චාරු වලඳලා ගිනියම පිටකරගන්න ගඟේ පනින්න වෙන නිසා මමත් ඉතිං රස වැඩිම බිලිං බෝතලේ විතරක් බෑග් එකේ දාගෙන ඉතුරුවා ශේප් එකේ ගෙදර තියලා එනව.. ඔය හැටි බිලිං අච්චාරු ඉතිං කොහේට කන්න කියලද.. හැමෝටම කටපුරා ස්තූතියි කියලා භාරගත්තට ඒක රට ගෙනාවෙ නෑ කියලා කියන්නෙ නෑ ඉතිං හිත් රිදෙන නිසා.. ඔය බිලිං බෝතල් තරඟයෙන් රට යන්න වීසා ලැබෙන්නෙ කොයි බෝතලේටද කියලා තීරණය වෙන්නෙ ඒ වෙලාවට තියන රස අනුව නිසා මේ පෝස්ට් එකෙන් ජයග්රාහකයින් හෙලි කරන්නෙ නෑ.. ඒ අනාගතයේ බිලිං අච්චාරු බෝතල් බොලැබී යාමේ අවධානම ගන්න බැරි නිසා..

රට එවුන් බොහොමයක් කන්න උයන්නෙ සතියට ඇති වෙන්න. දවසගානෙ කුස්සිවල රිංගගෙන උයන එක කාලය නාස්තියක්.. උයලා අහවරවෙද්දි සීතල වෙන නිසා කවදා ඉව්වත් කන්න වෙන්නෙ මයික්රෝවේව් පිහිටෙන්.. ඒ නිසා දවස ගානෙ උයන එක තේරුමක් නෑ.. ෆ්රිජ් එකේ තිබ්බ සියලූම ඉතුරු මිතුරු කාලා ඉවර නිසා ගිය ඉරිදා මම උයන්න තීරණය කරා.. කැරට්, බෝංචි තෙලට.. හතු කිරට, පරිප්පු තෙම්පරාදු, ප්රෝටීන් ටිකකුත් ඕන නිසා මේ සතියෙ සතියටම ඇතිවෙන්න ඉස්සො ටිකක් ඉව්වා.. ඕං ඕක තමයි මේ සතියෙම මෙනූ එක.. ගිය සතියෙ උයපු මිරිස් මාලු හොද්දකුත් ෆ්රිජ් එකේ තිබ්බට මිරිස් මාලු කියන්නෙ මට දවසකට දෙකකට වඩා එක දිගට කන්න බැරි කෑමක්.. මෙනූ එක ලිව්වාම උඹලා හිතන්න එපා යකෝ මූ කන්නම ඉපදිච්ව එකෙක් කියලා.. ඔය මෙනූ එකෙන් කැවෙන්නෙ දවසට එක වේලයි.. උදේට කන දෙයක් බොහෝදුරට එලියෙන්.. ඊලඟ වේල හවස පහට පහමාරට.. ඒ තමයි ඩිනර් එක.. උදේ කෑවම ලන්ච් එකක අවශ්යතාවයක් දැනෙන්නෙ නෑ.. වේල් දෙකක් කාලත් කිලෝ පහලොවක් ඕවර් වේට් වෙච්චි තුනක් කෑවොත් කොහොම හිටීද.. දවසට ජොබ් සයිට් තුනක් හතරක් විසිට් කරන නිසා බඩ පැලෙන්න කාලා ඩ්රයිව් කරන්නත් බෑ.. එහෙම උනොත් වෙන්නෙ ගහක් යට පාර්ක් කරලා ඇලර්ට් එකක් දාන්න..

ඕං අද හවස ගෙදර ඇවිත් ඩිනර් මෙනූ එක කල්පනා කරද්දි කොච්වරවත් උයපුවා මැච් වෙන්නෙම නෑ.. එලියෙන් මොනාහරි ගෙනැල්ලා කන්න කියලා කල්පනා කරත් ඒත් කන්න යමක් ඔලුවට සෙට් උනේම නෑ.. ඔන්නොහේ තියන දෙයක් කනවා කියලා හිතාගෙන කැරටුයි, බොංචියි, ඉස්සොයි, හතු මාලුවෙන් සුට්ටකුයි බෙදාගෙන ටීවී එක ඉස්සරහ වාඩිවුනා.. ඒත් ඉතිං කන්න කියලා ලොකු ලල් එකක් නෑ.. බඩගිනි නිසා නොකාත් බෑ ඒත් හිත ඉල්ලන රස එතන නෑ කියලා හිතෙන නිසා කන්න පිරියකුත් තිබ්බෙ නෑ.. ඕං ඔහොම දෙකට දෙවාරමේ ඉද්දි තමයි බිලිං අච්චාරු බෝතලේ මතක්වුනේ.. හනික ෆ්රිජ් එක ඇරලා බිලිං බෝතලේ අරගෙන මයික්රෝවේව් දාලා ඒකෙන් හැඳි දෙක තුනක් දාගත්තාම ඕං මෙනූ එක සෙට්.. ඉස්සො කරියයි බිලිං අච්චාරුවයි තකට තක.. අනික් එලවලු ඉතිං පිඟානේ පාලුවට වගේ කියහංකො.. යූ බටේ දාගත්තු සිරිලංකා නාට්ටි පොජ්ජ ඉවර වෙද්දි බත් පිඟාන වාශ්පයි.. බෙදාගත්තු ප්රමාණය ඉතුරු නොකර කාපං කියලයි පුරාණේ වැඩිහිටියන් අපිට උගන්නලා තියෙන්නෙ..

රෑට කෑවෙ හවස පහමාරට විතර.. අටහමාර වගේ වෙද්දි මෙතන දාර වලියක්.. මෙතන කිව්වෙ කොතැනද දන්නවද.. මගේ බඩ ඇතුලෙ බිලිං අච්චාරුයි ඉස්සොයි පොරේට මරාගන්නව.. මම මේ නිකමට කියන්නෙ.. ඔයාලත් මේකෙන් ආදර්සෙට ගන්න.. ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කන්න එපා..
මාත් ඉතිං මේ අටහමාරෙ ඉඳං කොමඩ් එක උඩ වාඩි වෙලා බලං ඉන්නව ඉස්සෙල්ල එන්නෙ ඉස්සොද බිලිං අච්චාරුද කියලා හිතාගන්න බැරුව.. කොච්චර අමාරු උනත් ඉස්සෙල්ල බිලිං අච්චාරු එලියට එනවට මම කැමතියි. බිලිං අච්චාරුවලට තියෙන ඒකාධිකාරය සූපිං ඉස්සො කීපදෙනෙකුට පරදිනවට මම කැමති නෑ.. ඉස්සෙල්ල බිලිං අච්චාරු ආවොත් මට බිලිං අච්චාරු බෝතලේ දීපු නැන්දට උනත් කට ඇරලා කියන්න පුලුවනි නැන්දගෙ බිලිං අච්චාරු ඒ තරඟෙනුත් දිනුම් කියල..

ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කෑවම කොයිතරම් සනීපයක් දැනෙනවද කියනවනම් ජෝන් සීනයි මයික් ටයිසනුයි බඩ ඇතුලේ මරාගන්නවා ගානට අමාරුයි.. උසේන් බෝල්ට් ගානට බඩ අල්ලගෙන නේබර්හුඩ් එක වටේ දුවන්න හිතෙනවා උනාට එහෙම කරන්න බෑ අම්බලන්ගොඩ වගේ මුහුදු වෙරලක්වත් අහලපහලක නැති නිසා.