Wednesday, June 28, 2017

බැච් මේට්ගේ මොණර නැටුම 18+




අම්බලන්ගොඩයාගේ කම්මැලිකම සහ ටීවී සීරීස් බැලිල්ලට තියෙන රුචිකත්වය නිසා පහුගිය ටිකේ බ්ලොග් ලිවිල්ල සෑහෙන්න අලවෙලා තිබුනා කිව්වොත් තමා හරි. ඒත් අහම්බෙන් මුහුණු පොතේ සිදුවෙච්ච සිදුවීමක් මේ ලියවෙන පෝස්ටුවට ඔක්සිජන් සැපයුවා කිව්වොත් තමා නිවැරදි. පෝස්ටු කීපයක්ම භාග භාග ලියවෙලා බ්ලොග් අඩවියේ අල වෙවී තිබුනත් එව්වා සම්පූර්ණ කරලා පබ්ලිෂ් බොත්තම ඔබන්න ගොඩයාගේ කම්මැලිකම තදින්ම හරස්වුනා. ඔය ටීවී සීරීස් කියන එව්වත් ලෝක ස්භාවයට යටවෙලා අනිත්‍ය දහමට හිස නමාගෙන කවදාක හරි අවසාන වෙන නිසා පහුගිය සති අන්තය තදින්ම අලවෙන්න තමා නියම වෙලා තිබුනේ. කොටින්ම කියනවානම් ඒක නිකම්ම නිකම් අලවීමක් නොවෙන අල ගෝනියක් වෙන කාලගුණ තත්ත්වයක්. ඔන්න ඉතින් වෙන කරන්නම වැඩක් නැති නිසා ගොඩයා මුහුණු පොත පැත්තේ රවුමක් දැම්මා කියමුකෝ. ඒ බුකිගතවීමේ ප්‍රතිපලයක් විදිහට තමා ආතල් කෝටියක් සපයන පෝස්ටුවක් දැකල ගොඩයා එතැන මදකට නැවතෙන්නේ . 

ඔය කියන පෝස්ටුව දාල තිබුනේ ගොඩයාගේ පාසල් සගයෙක් වෙච්චි හාදයෙක්. මේ කියන හාදයා කව්ද කියලවත් අම්බලන්ගොඩයට මතක තිබුනේ නැතිවුනත්, මීට අවුරුදු ගණනාවකට කලින් ගොඩයාගේ මුහුණු පොත් ගිණුමට ආපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් නිසා තමා ගොඩයා දැනගත්තේ මේ කව්ද කියන එක. ගොඩයා සාමාන්‍යයෙන් නොදන්නා අයවලුන් මුහුණු පොත වෙත එකතු කරගන්නේ නැති නිසා, නොදන්නා කෙනෙකුගෙන් ලැබෙන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්  දැකපු ගමන් ගොඩයා කරන්නේ අතරමැද ඉන්නා දන්නා කියන මියුචුවල් ෆ්‍රෙන්ඩ් හාදයෙකුගෙන් "මූ  මොකාද බං" කියලා විමසන එක. අන්න ඒ ක්‍රියාවට ප්‍රතිපලයක් විදිහට කරපු විමසුමට උත්තර ආවේ " ඔය මචං අපේ ක්ලාස් වල හිටපු අහවලා.. දැන් ඌ දොස්තර කෙනෙක්" කියන උත්තරේ.

ප්‍රතිපත්තියක් විදිහට ෆ්‍රෙන්ඩ්  රික්වෙස්ට් එක එවන කෙනා කොතන හරි සම්භන්ධයක් තියෙන කෙනෙක්නම්, සහ දන්නා කියන කෙනෙක්නම් ගොඩයා කරන්නේ බොහොම ආචාරශීලී විදිහට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක අනුමත කරන එකයි. මොකද කියනවනම් එහෙම නොකර ඉන්න හේතුවක් නැති නිසා. ගොඩයා හා සමවයස් කාණ්ඩයේ අධ්‍යාපනය හදාරපු, ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලට සුදුසුකම් ලැබුවාවූ අයවලුන් ගොඩයා පුද්ගලිකව දන්නා නිසා ඔය කලින් කරපු විමසුමේදීම කියවුන කාරණයක් තමයි, මේ කියන මුහුණුපොත් මිත්‍රයා විදේශ රටකින් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇවිත් ලංකාවේ රෝහලක සේවය කරන කාරණයත්.

වෘත්තීය කියන කාරණය මිත්‍රකමකට කොහෙත්ම අදාළ නැති නිසා, මේ කියන පුද්ගලයා දොස්තරද කොන්දොස්තරද කියන කාරණාව, ගොඩයාට කොහෙත්ම අදාළ කාරණාවක් වෙන්න විදිහක් නෑ. ඒත් වසර කිහිපයකට කලියෙන් සිදුවූ එම පුද්ගලයාගේ බුකියාගමනයෙන් පසු  අද දක්වාම, එම පුද්ගලයා සමග කිසිදු ආකාරයක පුද්ගලික සම්බන්ධයක් පවත්වන්නට ගොඩයාට අවශ්‍යතාවයක් ඇතිවුනේ නැහැ. අඩුම තරමේ එම මිත්‍රයා පල කරන ෆේස්බුක් පෝස්ටුවක් ගැනවත් ගොඩයාගේ විශේෂ අවධානයක් තිබුනේ නැහැ. මොකද බුකිගතවෙලා ඉන්න මිත්‍රයින් සියල්ලටම ගොඩයා විසින් පිරිනැමුවේ සමතැන. 

අම්බලන්ගොඩයා වෛද්‍ය වෘත්තිකයින් සමග රැකියාව කලේ එක්දහස් නවසිය අනූ හතේ කාලයේ හිටං නිසා ගොඩයාට වෛද්‍ය වෘත්තිකයින්ගේ ඇසුර  අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ නිසා වෛද්‍ය වෘත්තිකයින් ගැන ලියනවානම් ලියන්න තියන කතා ගොඩයාගේ මතකයේ බොහෝමයි. ත්‍රස්තවාදී කෝලාහල පැවති කාල වකවානුවේ ගොඩයා අනුරාධපුරෙන් උඩහට සහ දුෂ්කර පලාත්වල සේවයට යද්දී නවාතැන් සැපයුනේ බොහෝවිට රෝහලේ වෛද්‍යතුමෙකුගේ නිල නිවසේ. මොකද කියනවනම් ඒ පලාත්වල නිවාඩු නිකේතන කියන සුන්දර නමින් හැඳින්වෙන කාමර කුලියට දෙන අසුන්දර ස්ථාන බොහොම විරල නිසා. එවන් රාත්‍රීන් වලදී වෛද්‍යතුමන්ලා මධුවිතක් තොලගාන්නට ගොඩයාට අරාධනා කිරීමත්, සමහරක් දිනවලදී සිදුවන සිදුවීමක්.  

එක්තරා රාත්‍රියක ඔය වගේ මධුවිතක් තොලගාමින් ඉන්න වෙලාවක තමා මේ කියන සිදුවීම සිද්දවුනේ. මේ කියන රෝහල තිබුනේ කොටි කටක කිව්වොත් තමයි හරියටම හරි. ඒ පලාතට යාම කොයිතරම් අවදානමද කියල කියනවානම් ගොඩයාගේ කොම්පැනි වාහනය අතරමැද රෝහලක ගාල් කරලා, රෝහලෙන් එවන ගිලන් රථයෙන් තමයි අදාළ රෝහල වෙත ගොඩයා ප්‍රවාහනය කෙරුනේ. ඒකට හේතුව උනේ ගිලන් රථයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ අවදානම ඉතාමත්ම අඩු අගයක් ගැනීම. 

මේ කියන නිල නිවාසය දොස්තරවරු සහ එම රෝහලේම සේවය කරන අනෙකුත් පිරිමි වෘත්තිකයන් ලැගුම්ගන්නා ස්ථානයක් කිව්වොත් තමයි නිවැරදි. රාත්‍රී කාලයේදී රාත්‍රී සේවා නොකෙරෙන උදවිය එකතුපහදුවෙලා පුංචි පහේ මාධු සාදයක් පවත්වන්න ලොකු දොස්තර මහත්මයා සුදානම. සාදය පැවත්වෙන අතරේ එතනම ලැගුම් ගන්නා වෙනත් වෛද්‍යතුමෙක් රාත්‍රී සේවා මුරය වෙනුවෙන් පිටත්ව යන්නේ ඔන්න ඔය අතරේ. එතුමා පිටත්වගිය වහාම, මධු සාදය පැවැත්වෙන වට මේසයෙන් නැගිටගන්නා ලොකු දොස්තර මහත්මයා එතැන ඉන්න අයෙක් අමතලා කියනවා මෙන්න මෙහෙම්..

මුරුගේසු... කතාකරනවා ඔය පාරේ යන මනුස්සයෙකුට...

ඕන්දයි ෂර්... කියාගෙන එලියට යන මුරුගේසු පැමිණෙන්නේ පාරේ ගමන් කරමින් ඉන්න තවත් ද්‍රවිඩ ජාතිකයෙක් කැඳවාගෙන..

නම මොකක්ද... ලොකු දොස්තර මහත්තයා අහනව...

වේලු ෂර්...

ළමයි ඉන්නවද වේලුට ..

අතරක් තමා ඉන්නවා ෂර්..

හොඳයි... එහෙනම් වේලු මෙන්න මේ පාර්සලේ සොසේජස් වගයක් තියෙනවා.. ගෙදර ගිහිං හාමිනේට කියල ළමයින්ට හදල දෙන්න..

පෙරිය ෂන්තෝශම් ෂර්...

හොඳයි එහෙනං වේලු යන්න..

ඔන්දයි ෂර්...

උනේ මොකක්ද කියලා ගොඩයට පැහැදිලි නැති නිසා ලොකු දොස්තර මහත්තය සිද්දිය ගොඩයා වෙත පැහැදිලි කෙරෙන්නේ ඉන් අනතුරුව.

අර මෙහෙ ඉඳල ඉස්පිරිතලේට ඩියුටි ගිය දොස්තර ඉන්නවනේද.. අන්න එයාගේ තමයි ඔය පිටිපස්සේ බැඳලා ඉන්න බලු නාම්බා.. මේ පිස්සු මනුස්සයා අර බල්ලට කන්න දෙන්න දවසගානේ මස් මාළු උස්සන් ඇවිත් ෆ්‍රිජ් එකේ දානවා.. ඒ උනාට අසරණ මනුස්සයෙකුට පාන් කෑල්ලක් කන්න රුපියලක් දෙන්න ලෝභයි.. මේ ඉස්පිරිතාලෙ අවට ඉන්නේ එදාවේල කන්න නැති මිනිස්සු බං. බල්ලට කන්න දෙනවට වඩා නරකද බං අසරණ මනුස්සයෙකුට කන්න දුන්නාම. උගේ බලු නකුට්ටා තුන් වේලම හොඳට කනවා දෙන ඕනෑම දෙයක්.. ඒත් මේ ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න එන මිනිස්සු සමහර වෙලාවට දවසට කන්නේ එක වේලයි බං.. ඒ මනුස්සයෙකුට තේ වතුර එකක් බොන්න කියල රුපියල් දහයක් සාක්කුවට දාන්න හිතෙන්නේ නැති මූ මේ බලු නකුට්ටේකුට තුන්වේලට හැම් බේකන් කවන එක සාදාරන නැහැ බං.. 

දැන් උදේට ඇවිත් හොයයිනේ ඩොක්ටර්...

හොයද්දෙන් බං .. හෙව්ව කියල  ඌ මගෙන් අහන්නේ නැහැනේ .. ඒ හින්ද හොයල ඉවරවෙලා නිකං ඉඳියි වෙනද වගේම..

අල්ලාප සල්ලාපයෙන් මධු බඳුන අඩිය වෙත ළංවෙද්දී උනත් එතන හිටපු එක් අයෙක්වත් දොස්තරට මචන් ඩොක්ටර් කියල ඇමතුවේ නැහැ. ඒත් ඩොක්ටර් මධු සාදය ඇමතුවේ බං මචං භාෂාවෙන්.. එතන තිබ්බේ වෘත්තීය ගෞරවයට වඩා එහා ගිය මනුස්සකමේ ගෞරවය කියලයි ගොඩයාගේ අදහස. 

ඒ කාලේ සමහරක් අත්‍යවශ්‍ය යන්ත්‍ර අලුත්වැඩියා වෙනුවෙන් ගොඩයාට දුරබැහැර ප්‍රදේශ වලට යන්න කොම්පැනි වාහනේ නැතුව ගමන දවසින් දවස කල් යද්දී උතුරු මැද පළාතේ ඉඳන් සහ උතුරු පළාතේ ඉඳන් තමුන්ගේ පුද්ගලික වාහනේ කොළඹට තනියම එලවාගෙන ඇවිත් ගොඩයා සහ අවශ්‍ය අමතර කොටස් තමුන්ගේ රෝහල වෙත රැගෙන ගිය දොස්තර මහත්තරුත් ඒ කාලේ උන්න. ඒ වගේම ගොඩයා කොටි කටවල්වල යන්න වෙන රාජකාරීන් වලදී ගොඩයාව තනියම ඇම්බියුලන්ස් රථයේ යවන්නේ නැතුව, අදාළ රෝහල වෙත පිටත්ව යන ගොඩයා සහ රියදුරාගේ තනියට ඇම්බියුලන්ස් එකේ ගොඩවෙලා ගියපු දොස්තරලත් ඒ කාලේ ඒ පැතිවල උන්නා. දැනුත් ඒ වෛද්‍යතුමන්ලා තමුන්ගේ ඇඟේ තියන අන්තිම ශක්තිය බිංදුව දක්වා කොහේ හරි රෝහලක ලෙඩ්ඩු වෙනුවෙන් වැයකරනවා ඇති කියලයි අම්බලන්ගොඩගේ අනුමානය. ඒ වගේ වෛද්‍යවරු රටකට වාසනාවක් නෙවෙයිද මං අහන්නේ..

රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා රෝහලක දන්ත වෛද්‍ය සායනයේ අත්‍යවශ්‍ය උපකරණ සතියකට වතාවක් ක්‍රියාවිරහිත වෙන තත්වයක් යටතේ ගොඩයා සේවය කරපු කොම්පැනියට බාල බඩු විකුනලා යන චෝදනාවක් ආවා කියමුකෝ. මේ අමන දොස්තරයා කරන්නේ ඉස්පිරිතාලේ තියන යන්ත්‍ර ක්‍රියාවිරහිත කරලා ඒ උන්දෑගේ පුද්ගලික සායනයට ලෙඩ්ඩු පොම්ප කරන එක.

අදාළ යන්ත්‍ර අලුත්වැඩියා කරලා කරලා කරලා බැරිම තැන ගොඩයාට සිද්දවුනා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ඉහලම ඉහ.............ලම නිලධාරියෙකුට දුරකතනයෙන් අමතලා කියන්න " ඉස්පිරිතාලෙට පාරෙන් එහා පැත්තේ තියන, ඉස්පිරිතාලේ දත් දොස්තර මහත්තයාගේම පුද්ගලික සායනය වහපු දවසට ඉස්පිරිතාලේ යන්ත්‍ර කැඩෙන එක නවතියි" කියල කියන්න. අන්න ඒ දුරකථන ඇමතුමෙන් පස්සේ ඒ රෝහලේ උපකරණ කැඩුනානම් කැඩුනේ බොහොම කලාතුරකින්.. හැබැයි ඒ දොස්තර මහත්තයට පුදුම හැකියාවක් තිබ්බ යන්ත්‍ර ස්භාවිකව කැඩෙනආකාරයෙන් ක්‍රියාවිරහිත කරන්න. Hydraulic පීඩනය නවතාගෙන ඉන්න වෝල්ට් විසි හතරේ සොලොනොයිඩ් ස්විච වල තියෙන කොයිල් පිච්චිලා යන්නේ හරියට වෝල්ට් තිස්තුන්දාහෙන් වැඩ කරන එව්වා ගානට. කර්මාන්ත ශාලාවේදී එකින් එක කිලෝ තුන්සීයක් බර එක්ක එක දිගට පැය දෙකක් ක්‍රියාත්මක කරවලා තත්වය මැනලා එවන දන්ත ශල්‍ය පුටුවල Hydraulic බට පැපොල් බට වගේ පැලීල යන්නේ මාසෙකට දෙතුන් වාරයක්.. ගොඩයට එව්වා හදන්න ගියාම හිතුනේ දොස්තර මහත්තයා අහල පහල කිරි දෙන්නුන්ගේ දත්වත් ගලවනවද කියල. මොකද කියනවනම් කිලෝ තුන්සීයට වඩා බර මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල ගොඩයට හිතාගන්නවත් බෑ. අන්න ඒ දක්ෂතාවයට ඒ දොස්තර මහත්තයට වෙනම සම්මානයක් දෙන්න ඕනි කියලයි ගොඩයාගේ අදහස. 


ඊළඟට තව දොස්තර සිද්දියක්.. දවසක් බොහොම හදිසියේ ගොඩයට සිද්දවුනා එක්තරා ශික්ෂණ රෝහලක නේවාසිකව ඉන්න ඥාති කෙනෙකුට රාත්‍රී කෑම එකක් ගෙනිහින් දෙන්න. ඒ සිද්දියට හේතුවුනේ ගොඩයාගේ ඥාතියා රැකියා ස්ථානයේදී අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කිරීමත්, අදාළ ඥාති නිවසට පණිවුඩය ලැබෙනාවිට සවස රෝගීන් බැලීමේ කාලය ඉකුත්ව ගිහින් තිබීමත් නිසාත්. ඒ දුෂ්කරතාවයට සහනයක් විදිහට ගොඩයා යනවා ඥාතියාට බත් පත ගෙනිහින් දෙන්න. ගොඩයා එවකට දැරූ තනතුර අනුව ගොඩයා සතු හැඳුනුම්පතෙන් ඕනෑම වෙලාවක රෝහලකට ඇතුල් වීම කිසිම අසීරුවක් නැතුව කරන්න පුළුවන් දෙයක් වීම නිසාම තමයි, ඥාති නිවසෙන් ගොඩයාගේ සහය පතන්නෙත්.

රාජකාරී හැදුනුම්පතක් තිබු පමණින් රාජකාරී නොවන කටයුත්තකට රෝහලක වාට්ටුවකට අවේලාවේ ඇතුළුවීම බොහොම ආචාරශීලීව කල යුත්තක්. ඒ ආචාරශීලීභාවයට හිස නමලා ගොඩයා අදාළ වාටුවේ වෛද්‍යතුමා පළමුව හමුවෙලා හැදුනුම්පත පෙන්නලා තමුන් ආ කාරණය පැහැදිලිකලාම වෛද්‍යතුමා කිසිම ප්‍රශ්නයක් නැතුව බත් පත ඥාතියා වෙත ලබාදීමේ අවසරය ගොඩයා වෙත හිමිවෙනවා. ඔන්න දැන් ගොඩයා බත් පත ඥාතියාට දීල ආපහු වාට්ටුවෙන් පිටතට එන්න එනවා කියමුකෝ.. ඊළඟට වෙන සිද්දියේ දෙබස මෙන්න මෙහෙමයි..

මේ හලෝ.. ඔහොම නවතිනවා...

පස්ස හැරිලා බැලින්නම් වෙද නලාවක් කරේ පැළඳගෙන ඉන්න තරුණ දොස්තරවරියක්.. 

ඇයි ඩොක්ටර්..

තමුන්ට පෙන්නේ නැද්ද මේ වෝර්ඩ් එකට සෙරෙප්පු දාගෙන එන්න එපා කියල බෝර්ඩ් එකක් ගහල තියෙනව..

කෝ ඩොක්ටර් මම දැක්කේ නැහැනේ..

අර තියෙන්නේ.. ඇස් පේන්නේ නැද්ද ..

ගොඩයා බෝර්ඩ් එක දිහා බැලුවාම ඒක බිත්තියේ ගහල තියෙන්නේ වාට්ටුවේ ඇතුල් පැත්තේ.. ඒ කියන්නේ ඒ බෝර්ඩ් එක පෙන්නේ වාට්ටුවට ඇවිල්ල යනකොට..

ඉතින් ඩොක්ටර් බෝර්ඩ් එක ගහල තියෙන්නේ වාට්ටුවේ ඇතුලේ පැත්තෙනේ.. ඉතින් ඕක පේන්නනම් වාට්ටුව ඇතුලට එන කෙනෙකුගේ ඔලුවේ පිටිපස්සේ ඇස් තියෙන්නෙපැයි..

කට වැඩියි තමුන්ගේ.. අවේලාවේ වාට්ටුවට ආව මදිවට එනවා මෙතන කටගහන්න..

දැන් ගොඩයාගේ ඉවසීම අහවර වෙන්න ඔන්න මෙන්න.. ඒ නිසා ගොඩයා දොස්තර නෝනාගෙන් අහනවා ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට..

ඉතින් ඩොක්ටර් ඔයාත් සෙරෙප්පු දාගෙනනේ ඉන්නේ.. ඉතින් මම දාගෙන හිටියට මක් වෙනවද..

මේ හලෝ..අපි අපේ ගෙදරින් කාර් එකේ නැගල එන නිසා අපේ සෙරෙප්පු සපත්තුවල විෂබීජ නැහැ කියල අපි දන්නවා..

ඉතින් ඩොක්ටර් මමත් එහෙම තමයි.. මමත් මගේ ගෙදරින් කාර් එකේ නැගලා ඇවිත් තමා මෙතනට ආවේ..

මේ හලෝ තමුන්ලා පාරවල් වල අයින්වල වාහන නවත්තලා එද්දී මොන මොන විෂබීජ මේක ඇතුලට ගේනවද කියල තමුන් දන්නවද..

අයියෝ නැහැ ඩොක්ටර්.. මමත් ඔයා කාර් එක නවත්තපු තැනම තමා කාර් එක නවත්තල ආවේ.. 

මේ අයිසේ බොරු බේගල් ඇදබාන්න නැතුව ඉන්නවා.. අල්ලලා දෙනවා මම තමුන්ව රෝහල් පොලිසියට දන්නවද..

මේ හලෝ ඩොක්ටර්.. මමත් අර ඉස්සරහ ගේට්ටුවේ ඉන්න සිකුරිටිට මගේ ඔෆීෂියල් අයි ඩී එක පෙන්නලා මගේ වාහනේ, තමුන් වාහනේ නවත්තන තැනම නවත්තලා තමා මෙතනට ආවේ.. ඒ නිසා තමුන්ට මේක ඇතුලේ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න අයිතිය තියෙනවනම් මටත් ඒ අයිතිය තියෙනවනේ.. මීට පස්සේ වාටුවට එන මිනිස්සුන්ට පේන්න දැන්වීමක් දානකොට ඒක වාට්ටුවේ එළියේ බිත්තියේ අලවන්න ඩොක්ටර්.. මොකද වාටුව්ට ඇවිල්ල යද්දී පිටවෙනකොට මේ දැන්වීම දැක්කම ඉතිං අපිට සිද්දවෙන්නේ ගෙදර යද්දී සෙරෙප්පු දෙක වාට්ටුවේ තියල ගෙදර යන්නනේ..

ඔන්න එතකොට තමා දොස්තර නෝනා, දොස්තරකම අමතක කරලා ගැහැනුකමට උපතින්ම හිමිවෙන ගැස්සිල්ලක් දාල, හුහ් ගාල නාහෙන් පිඹලා එතනින් මාරුවුණේ..දොස්තර නෝනා පිම්බ පිඹිල්ලට අම්බලන්ගොඩයට හිතුනෙම දොස්තර නෝනගේ නාස්පුඩු දෙක ගැලවිලා ගාලුපාරට විසික්වුනා කියලමයි.

ඊළඟ කතාවත් සෙරෙප්පු කතාවක් උනාට ඒකෙ ප්‍රතිචාරය වෙනස්.


එක්තරා දිනයක ගොඩයා සමග රාජකාරියේ යෙදුන සහෝදර සේවිකාවකගේ දරුවා හදිසි අසනීප තත්වයක් උඩ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුනා. දරුවා දැඩි සත්කාර ඒකකයේ ටික දිනක් ඉඳල යම්තාක් සුව අතට හැරුනායින් අනතුරුව ගොඩයා ඇතුළු කීපදෙකෙන් දිවා විවේකයේදී යනවා මේ දරුවා බලන්න. මේ යන්නේ රැකියා ස්ථානයේ වාහනයක නිසා ලෝකප්‍රසිද්ධ මහාචාර්යවරියකුත් ඒ වාහනේම යනවා මේ දරුවා බලන්න. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නීතියට අනුව පාවහන් ගලවා ඇතුළුවියයුතු නිසා ගොඩයා ඇතුළු පිරිස එකවර දෙදෙනා බැගින් ඇතුලට යනවා සහෝදර සේවිකාවගේ දරුවාගේ සුවදුක් විමසන්න. ගොඩයා ඇතුලට යන වාරයේදී ගොඩයා සමග ඇතුලට යැවෙන්නේ මේ කිව්ව මහාචාර්යවරිය වුනත් මහාචාර්ය කම නිසා එතුමිය පාවහන් නොගලවා ඇතුලට පියමනින අල්ලපනල්ලේ ගොඩයා රෝහලේ නීතියට හිසනමා සපත්තු කුට්ටම් එළියේ තබා මේස් දෙක පිටින් ඇතුලට පියනගනවා. ඔන්න එතකොට තමයි දොස්තර වරියක් අප දෙදෙනා ඉදිරියට පැමිණෙන්නේ..

එළියේ බෝර්ඩ් එකක් දාල තියනව අයි සී යූ එක ඇතුලට සෙරෙප්පු දාගෙන එන්න එපා කියල.. ඇයි සෙරෙප්පු දාගෙන අවේ..

මම ප්‍රොෆෙසර් අහවලා...

සොරි මැඩම්..අයි කාන්ට් අලව් යූ ටු ගෝ ඉන්සයිඩ්... යු හැවුටු ගෝ අවුට් ඇන්ඩ් කම් බැක් විතවුට් යුවර් ෂූස්...

අන්න ඒ දොස්තර නෝනා කලින් දොස්තර නෝනා වගේ නෙවෙයි.. එයා උන්නේ බොහොම ආදර්ශමත් විදිහට උන්නේ සපත්තු ආවරණ දෙකක් දාගෙන.. ඒ දොස්තර නෝනට කොන්ද පන තිබුනා ලෝකප්‍රසිද්ධ මහාචාර්ය වරිය දැඩි සත්කාර ඒකකයෙන් එලියට එලවල දාන්න.. එහෙව් කොන්ද පන තියන උදවිය බොහොම විරලයි..

කුරුනෑගල පැත්තෙ රෝහලක දන්ත සායනය වෙත සැපයුණු උපකරණ කට්ටලය එක්ක සැපයෙන දන්ත වෛද්‍යවරයා වාඩිගන්නා ස්ටූලය නියමාකාරයෙන් ක්‍රියාකරන්නේ නැතිය යන පැමිණිල්ල විභාග කරන්න ඔය කියන රෝහලට අම්බලන්ගොඩයාට යන්නවුනා කියමුකෝ.. ගොඩයා අදාල ස්ටූලය පරීක්ෂා කරලා බලද්දී ගොඩයාගේ ඥානයට අහුවෙන රෝගාභාධයක් ඒකෙ නැහැ . ඒත් චෝදනාව ආයතනයට සහ ගොඩයා වෙතම එල්ලවෙන්න තියන ඉඩ තමයි වැඩි. අකමැත්තෙන් උනත් ස්ටූලය වැඩ නොකරන සත්තම සත්ත හේතුව දොස්තර නෝනාට කියන්නම අන්තිමේ සිද්දවුනා කියමුකෝ . ඇත්තම කියනවනම් මේක කොහොම කියනවද කියල දහස් වාරයක් කල්පනා කරලා කරලා කරලා තමා ගොඩයා දොස්තර නෝනට හේතුව කිව්වේ..

ඩොක්ටර්.. මේ ස්ටූල් එක වැඩකරන්න කිලෝ හතළිහක් බර තියෙන්න ඕන..

චූටිම චූටි දොස්තර නෝනා මුණ රතුකරන් හිනාවුනා... ගොඩයට ඉතින් දුකේ බෑ..

තව ලියන්න දොස්තර කතා බොහොමයක් තිබුනත් පඳුරු තලලා තලලා තලලා පෝස්ටුව සෑහෙන්න දිග වෙලා තියෙන නිසා පෝස්ටුවේ මාතෘකාවට උක්තවෙච්චි අපේ බැච් මේට්ගේ මොණර නැටුම සිද්දිය ලියන්න හදන්නේ..

ඔන්න මුලින්ම කියල තිබ්බ පහුගිය සති අන්තයේ සෙනසුරාද උදේ වරුවේ තමයි අපේ බැච් මේට් දොස්තර මහත්තයා මුහුණු පොතේ මොණරා නැටුමක් නටලා කියල ගොඩයාගේ ඇහැ ගැටෙන්නේ. මෙලොව උපන් ඕනෑම මනුසතෙකුට තමුන්ගේ අදහස් හෝ තමුන් යමක් ගැන දරන මතය ඉදිරිපත් කිරීමට ඇති අයිතිය මානව හිමිකමක් විදිහට ගොඩයා පිලිගන්නවා. ඒ වගේම මෙලොව උපන් ඕනෑම මනුසතෙකුට තමුන්ගේ මතය ඉදිරිපත් කිරීමේ අයිතිය තිබිය යුතුමයි. එය සර්ව සාධාරණ අයිතියක් වුනත් තමුන් ඉදිරිපත් කරනා අදහස හෝ කාරනාව සභ්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ ස්වයං විනයක් දියුණු සමාජයක පැවතිය යුතුයි. එහෙම නෙවෙයිද හා..

උදාහරණයක් විදිහට කියනවනම් ඕනෑම පුද්ගලයෙක් ප්‍රසිද්ධ ස්ථානයක තමුන්ගේ මතය අසභ්‍ය නොවෙන ආකාරයෙන් ඉදිරිපත් කරනවානම්, එය ගොඩයාට අදාළ නොවෙනතාක්, එය නොසලකා හැරලා තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න එක අම්බලන්ගොඩයට සිම්පල්. ඒත් ඒ පුද්ගලයාම තමුන්ගේ අදහස ඉදිරිපත් කිරීමේදී සමාජ සම්මත සභ්‍යත්වයේ සීමාව ඉක්මවා යනවානම් ගොඩයා එකෙන්ම ඉදිරිපත් වෙනවා ඒ අදාළ පුද්ගලයාට තේරුම් කරලා දෙන්න තමුන් සිටිය යුත්තේ සාමාන්‍ය ජන සමාජයේ නොවෙයි මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් කියන කාරනාව. 


එතනින් එහා මේ සංවාදය ඇතුලත් ස්ක්‍රීන් ෂොට් ජාතකය සහිත  තොරන් රාජයා නරඹන්න බ්ලොග් වාසී සැමටම ඔන්න අම්බලන්ගොඩයාගෙන් ආරාධනාව.. ( මෙම තොරණේ පලවෙනි කොටුවෙන් පෙන්වන චිත්‍රයේ වැඩිහිටියන්ට පමණයි වර්ගයේ කරුණු කාරනා අඩංගු බැවින් කුඩා දරුවන් පරිඝනකය අවට ගැවසෙනවානම් දරුවන් එහා මෙහා වනතුරු සිට තොරණ නරඹන ලෙස තරයේ අවවාද කරමි.)

ඩුං ට්‍රපටප ඩුං ට්‍රප ට්‍රප
ඩුං ට්‍රපට්‍රප ට්‍රපටපටං
ඩුං ඩුඟරක් ඩුං ඩුඟරක්
ඩුං රක් රක් ඩුම්ම්ම්.......

පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ පිනවතුනී.....අපේ  බැච් මේට් දොස්තර හාදයා තමුන්ගේ හැදියාව පෙන්වන චිත්‍රය..
 මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ උන්නැහේ  තමුන්ගේ ෆේස්බුක් මිතුරන්ට තමුන්ගේ සභ්‍යත්වයේ සහ සාහසිකත්වයේ  පරිමාව පෙන්නලා තිබ්බේ .. 




ඔන්න අම්බලන්ගොඩයට අසූහාරදාහට මල පනිනවා.. මොකද කියනවනම් අපේ බැච් මේට් මිත්‍රයාට කව්රුහරි බුකි සගයෙක් එක්ක පුද්ගලික කෝන්තරයක් තියෙනවනම් මාර්ක් සකර්බර්ග් බොහොම ලෙහෙසියෙන් නොමිලේ පහසුකම සපයලා තියෙනවා පුද්ගලික පණිවුඩයක් මගින් බුකිය හරහා තමුන්ගේ අදහස් හුවමාරු කරගන්න. ඒත් අපේ බැච්මේට් හාදයා ඒ වෙනුවට කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඇයි හත් ඉලව්වේ අල්ලපු ගෙදර එකා එක්ක තියෙන කෝන්තරයකට තමුන්  මලපහ කරපු සිලි සිලි මල්ලක් උන්දැගේ මිදුලට
වීසිකරන එක තමුන්ගේ කැමැත්තක් වගේම ඒ අමන ක්‍රියාවට උගෙන් නැවකට ඉල්ලගෙන කන එක තමුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ..ඒ ගැන ගොඩයට විවේචනයක් නැහැ ඒක එයාලගේ පුද්ගලික ගනුදෙනුවක් නිසා... ඒත් අල්ලපු ගෙදර එකා එක්ක තියන තරහට මලපහ කරපු සිලිසිලි මල්ල අහල පහල ගෙවල් ඔක්කොටම විසික් වෙන්න ඔලුව වටේ කරකවනවානම් ඒක සාධාරණ නැහැනේ.. එහෙම උනාම අහල පහල උදවියට මල පනිනවනේ.. පිංවතුන්ට තේරෙනවනේ.. 

ඔන්න පිංවතුනි ස්ක්‍රීන් ෂොට් තෝරන් රාජයාගේ දෙවැනි කොටුව බලන්න.. ඒ කොටුවෙන් පෙනෙන්නේ මේ අමන මරි මෝඩ ක්‍රියාවට අනුකම්පා හිතුන අම්බලන්ගොඩයා විසින් දමනා ලද කොමෙන්ටුව.. ඔය වික්ටර් රත්නායකගේ ගීත කොටසේ මුල් පද පේලි හතර විතරක් ඔන්න ඔහේ ලියල දැම්ම අයියෝ තමුන්නැහේ වගේ ගොන් මරි මෝඩ රජෙක් කියන එක නොකියා ඉන්න එක ෆේස්බුක් යාලුකමකට ඔබින්නේ නැති නිසා.. (පහුගිය කාලේ වික්ටර් රත්නායක සැමගේ ද්වේශයට ලක්වුණු ගායකයෙක්වුන නිසා ඒ සිංදු කෑල්ල ලිවීම සම්භන්ධයෙන් අපේ බැච්මේට් හාදයාට කේන්ති ගියාද මන්ද.. ඒ උනාට ඔය අවුරුදු හැත්තෑව අසූව වයස්වල  ඉන්න උන්නැහේලාට තිහේ තිස් එකේ භාරියාවක් දෙන්නද ඇහුවොත් කී දෙනෙක් එපා කියයිද????? ඔන්න ඕකයි පින්වතුනි රටේ තත්වේ.. )





අනේ ඉතිං පිංවතුනි.. අම්බලන්ගොඩයාගේ කොමෙන්ටුව දාපු ගමන්ම අපේ බැච්මේට් හාදයා මෙන්න මෙහෙම රිප්ලයි කරනවා.. බලන්න පින්වතුනි ස්ක්‍රීන් ෂොට් තොරණේ තුන්වෙනි කොටුව.. 





මේ සා ගොන් මරි මෝඩ වහු පැටියෙක් බුකියේ තබාගැනීම කිසිම තේරුමක් නැති කටයුත්තක්බව ගොඩයට වැටහුනත් ගොඩයට එවෙලේම ඇතිවුන ප්‍රශ්නාර්ථය තමයි ඇයි යකඩෝ අන්ෆ්‍රෙන්ඩ්  බොත්තම තියෙන්නේ ගොඩයාගේ බුකියේ විතරද කියන එක.. මාර්ක් සකර්බර්ග් අන්ෆ්‍රෙන්ඩ්  බොත්තම ගොඩයට විතරක් දීල අපේ බැච්මේට් හාදයට දීල නැද්දවත්දෝ කියල හිතිලා ගොඩයට සකර්බර්ග් එක්කත් නප්පියටම තදවුනා.. ඇයි යකෝ එහෙම කරන එක අසාධාරණයිනේ .. මොකා උනත් ඌත් අපේ ඉස්කෝලෙට ගිය එකෙක්නේ.. 

ඔන්න ඒ අතරේ තවත් අපේ මිත්‍රයෙක් කොමෙන්ටුවක් දානව අපේ බැච්මේට් හාදයා ගැන උපන් පහන් සංවේගයෙන්.. බලන්න පින්වතුනි හතරවෙනි  කොටුව..





ඔන්න පින්වතුනි අපේ බැච් මේට් හාදයා අපේ කලින් කොමෙන්ට් කරපු හාදයට දානවා මෙන්න මේ වගේ පිළිතුරක්.. ඒ පිළිතුරේ සාරාංශය ගත්තොත් අපේ මිත්‍රයා පවසා සිටින්නේ දොස්තරවරුන්ගේ සමාජ තත්ත්වය ගැන ඉරිසියාවෙන් පැලෙන්න යන කිහිප දෙනෙකුගේ ෆේස්බුක් පොස්ට් හේතුවුනා කියල මේ වගේ අමන පෝස්ටුවක් ලියන්න.. එහෙම බැලුවාම ලංකාවේ රජයේ රෝහල් අවට ඉන්න මිනිස්සු සේරෝම ඉරිසියාවේ පැලී..........ලා මැරිලාදෝ කියලත් ගොඩයට හිතුනේ නැතුව නෙවෙයි. ඒ කෙසේ වෙතත් අපේ බැච්මේට් මිත්‍රයා කව්රුන් හෝ වෙනත් පාර්ශවයක් එක්ක තියෙන හිත අමාරුවක් අරභයා සියලුම ෆේස්බුක් මිතුරන්ට තමුන්ගේ නියම චරිත ස්භාවය පෙන්නා හිටලා.. ඒ කොමෙන්ටුවේ තේරුම තමුන්ට කුමන හෝ අරියාදුවක් කරන පුද්ගලයෙකුට කෙලින්ම අමතන්න තමුන්ගේ කශේරුකාවේ ශක්තිමත්කම මදි කියන එකද කියල ගොඩයාට නිකමට හිතුනා පින්වතුනි..  පින්වතුනි බලා..........න්ට පස්වෙනි කොටුව දිහා.....





ඔන්න පිංවතුනි මේක දැකපු අපේ බැච්මේට් හාදයාගේ මිතුරියක් හනික ඇවිත් දානවා මෙන්න මේ වගේ කොමෙන්ටුවක්... ඒ දැරිවි කියන ආකාරයෙන් එයාලට එරෙහි මත දරන්නන්  එයාව තව තවත් ප්‍රබෝධයට පත්කරනවාලු පිංවතුනි.. එයාගේ භාෂාවෙන් කියනවනම් පට්ට විදිහට බූස්ට් වෙනවලු එයාව.. ඒක දැක්කම ගොඩයාටත් හිතුන මටත් ටිකක් ඒ කියන විදිහට බූස්ට් වෙන්න තියෙනවනම් කියල... ඒත් ඉතින් එහෙම බූස්ට් වෙන්නේ කොහොමද කියල අහන්නත් මොකක්ද මොකක්ද වගේ නිසා ගොඩයා ඔන්න ඔහේ බූස්ට් වීම අමතක කරලා දැම්ම..

 ඒ ඇත්ති කියන විදිහට එයාලට එරෙහි කොමෙන්ට් කරුවන් ඔප්පු කරනවලු එයාල සමාජයේ ඉහලින් ඉන්නා උදවිය බව.. ඒ මදිවට ඒ ඇත්ති තව කියනව එයාලගේ මතයට එරෙහි උදවිය ඉරිසියාකරුවන් බවත් එයාලව අන්ෆ්‍රෙන්ඩ් නොකර ඒ උදවියගේ ඉරිසියාවෙන් විනෝද වෙන්න කියලත්.. ඒ වගේම තව කියනවා ඉරිසියා කරුවන්ට පුළුවන් සමාජජාල ඇතුලේ බුරන්නත් වමනය කරන්නත් පමණයි කියල... අහෝ පින්වතුනි එහෙම මෝඩකමක්.. සංසාරේ සංසාරේ... ඒ අත්ති ගැන මෛත්‍රී සිතින් බලන්න පින්වතුනි ඊළඟ කොටුව දිහා..





අම්බලන්ගොඩයා මුලින්ම දාපු කොමෙන්ටුව දැම්මේ මේ සංවාදය  වාදයක් කරගෙන එකිනෙකාට මඩ ගසාගැනීමේ අරමුණින් නොවෙයි . වෘත්තියයි පුද්ගලික ජීවිතයයි තෝරාබේරා ගන්නබැරුව  පඹ ගාලක පැටලිලා ඉන්න මේ සමනල් පැටවුන්ට තව සුට්ටක් මේක පැහැදිලි කරලා දීම යුතුකමක් වශයෙන් හිතල ගොඩයා දානවා මෙන්න මේ වගේ කොමෙන්ටුවක්... ඔන්න පින්වතුනි බලන්ට හත්වෙනි කොටුව ...




ඔන්න පින්වතුනි එතකොට තමා කොහේදෝ නොදන්නා දොස්තර කෙනෙක් මේ සංවාදය මැදට පැනලා ගොඩයගේ ඉහත කොමෙන්ටුවට මොකක්දෝ නොතේරෙන දෙමළයක් ලියාගෙන යන්නේ ඉංග්‍රීසියෙන්.. මුළු රටම සහ රජය තීරණය කරලාලු මේක ප්‍රශ්නයක් කියල.. මෝඩයින් විතරක් කිසිම දෙයක් දන්නේ නැතුව ඉරිසියාවට බුරනවලු බල්ලෝ වගේ... ඒක කියවාගෙන යද්දී අම්බලන්ගොඩයට හිතුනේ ඇයි යකඩෝ අපේ බැච්මේට් හාදයා බුකියේ ලියපු අසික්කිත කතාව ඒ ජුන්ඩට ආණ්ඩුවත් දැනගෙනද කියල. ඒ අතරේ ගොඩයා කලින් කොමෙන්ටුවේ ලියපු වචනෙකුත් අල්ලාගෙන මේ යෝදයා කියන කුනුහරුපේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න ගොඩයා මේ දොස්තර හාදයා ලියපු කොමෙන්ටුව කිහිප වතාවක් කියෙව්වා. අද කාලේ ෆේස් බුක් එක කියන්නේ යාළුවන්ගේ ෆෝරම් එකක් නෙවෙයිලු.. ඔන්න ඔය වගේ හතරබීරි කතාවක් කියාගෙන ගියත් මේ යෝදයා ලියන ඉංග්‍රීසි වචනත් සමහරක් එව්වා වැරදියි. මේ යෝදයා මොකක්ද කියන්නේ කියල ගොඩයා තේරුම් ගන්නේ සමහර වචන අහවල් වචනය විය යුතුයි කියන අනුමානය වශයෙන් අරගෙන. එක තැනක මේ යෝදයා කියනවා"වෘත්තීය අමනෝඥ්ඥ භාවය අනික් වාට්ටු වලට වඩා වෙනස්" වගේ හතරබීරි කතාවකුත්. මේ යෝදයා ලියල තියන සමහර ඉංග්‍රීසි කොටස් ඇතුලේ තියන සමහර වචන වල තේරුම හරියට පරිප්පුයි කෙසෙල්ගෙඩියි වගේ ගලපෙන්නෙම නැහැ. පින්වතුන් ඔන්න අටවෙනි කොටුව බලල පුළුවන් ආකාරයෙන් තේරුම් ගන්න මේ යෝදයා මේ කියන්නේ මොකක්ද කියන එක.. ඔය තියෙන්නේ කීප වතාවක් ඒ යෝදයා විසින් එඩිට් කරන ලද එක මිසක් ඔරිජිනල් එක නෙවෙයි..




ඒ අතරේම මේ සහයට දොස්තර හාදයා ගොඩයාට පිළිතුරු දාපු කොමෙන්ටුවට අමතරව යට ප්‍රධාන කොමෙන්ටු දමන තැනත් මෙන්න මේ වගේ කොමෙන්ටු දෙකකුත් දානව එයාගේ අනෙක් සගයින්ට පණිවුඩ විදිහට.. ඒ කොමෙන්ටු පහත කොටුවෙන් බලා............න්ට පින්වතුනි..






ලිව්වේ පරිප්පුයි කෙසෙල් ගෙඩියි වගේ නොගැලපෙන මල හත් ඉලව්වක් උනාට ගොඩයත් ඒ හාදයා ලියපු කොමෙන්ටුවට උත්තරයක් දානව වැරදිච්ච වචන ගැන සඳහන් නොකර. මොකද කියනවනම් ඉංග්‍රීසි භාෂාව කියන්නේ අපේ මවු භාෂාව නොවෙන නිසා ඉංග්‍රීසි වැරදීම සමච්චලයට කාරනාවක් වියයුතු නැති නෑ.. මේ යෝදයාගේ කොමෙන්ටුවට උත්තරයක් නොදා ඉන්න විදිහකුත් ගොඩයට නැහැ ඒ හාදයා කොමෙන්ටුව දැම්මේ ගොඩයාගේ කොමෙන්ටුවට උත්තරයක් විදිහට නිසා.. ඔන්න පින්වතුනි ගොඩයා විසින් දමනා කොමෙන්ටුව දහවෙනි කොටුවෙන් බලන්ට ඕන..




ඔන්න පින්වතුනි ඒ කොමෙන්ටුව දාල විනාඩි කිහිපයක් යන්න කලින් මෙන්න ආයෙත් මේ දොස්තර හාදයා දානවා තවත් කොමෙන්ටුවක්.. ඒ කොමෙන්ටුවේ සාරාංශයක් විදිහට කියවෙන්නේ "වෘත්තීය අමනෝඥ්ඥ භාවය " කියන වචනය අම්බලන්ගොඩයාට කන්න වෙන්වලුය.. එයාගේ මිත්‍රයා වෙච්චි අපේ බැච්මෙට් දොස්තර සගයා කරපු කියාව හරි කියල ඔප්පු වෙනවලු.. හත් ඉලව්වේ මේ යෝදයා මේ කියන්නේ  මහා ලොකු ස්ටේටස් තියනවා කියන සමාජයේ අනෙක් පුද්ගලයින්ට වැඩිය ඉහලින් ඉන්නවයි කියන අපේ බැච්මේට් හාදයා ප්‍රසිද්ධියේ අසික්කිත භාෂාවකින් ලොකු පොඩි සැමට එක සේ අමතපු එක එක හරි කියන කතාවක්. ඒ විතරක්නම් මදැයි..  අපේ බැච්මේට් හාදයා පුන පුනා කියද්දී "අපි ඔයාලට වඩා වෙනස් ... අපි උඹලට වඩා හෙන ඉහල තලයක ජීවත් වෙන උදවිය යාලෝස් " කියල මේ සහයට ආපු දොස්තරයා අන්තිමට කියනවා අපේ බැච්මේට් දොස්තර හාදයා දුර්වලකම් තියන සාමාන්‍ය මනුස්සයෙක් කියල.. ඒක දැක්කාම අම්බලන්ගොඩයට දුකේ බෑ අපේ එකා ගැන.. ඇයි යකෝ මෙහෙම යාලුවෝද මේ යෝදයා ආස්සරේ කරන්නේ කියල.. අපේ බැච්මේට් දොස්තර යාලුවට සහයට වගේ ඇවිත් හීන් නූලෙන් බෙල්ල කැපුවාවත්ද කියලත් අම්බලන්ගොඩයට හිතුන.. ඔන්න පින්වතුනි බලා.......න්ට ඊළඟ කොටුව ..




ඔන්න පින්වතුනි ඊළඟ කොටුවෙන් පෙනෙන්නේ ඒ යෝදයාම එක පාරටම පුංචි පහේ ශේප් කාර්ඩ් එකක් ගහගෙන සංවාදයෙන් මාරුවෙන්න යන ආකාරයක් ..




ඔන්න ඊළඟ කොටුවෙන් තමයි පින්වතුනි අමුතු ආකාරයේ සිදුවීමක් සම්භන්ධයෙන් අම්බලන්ගොඩයා තමුන්ගේ විමසිලිමත්භාවය ටිකක් සුසර කරලා මේ සංවාදය දිහා බලන්නේ.. ඔන්න එතකොට අම්බලන්ගොඩයාගේ ඥානයට වැටහෙනවා ඔය සහයට දොස්තර උන්නැහේ පළවෙනියට දාපු කොමෙන්ටුවේ තිබ්බ හතරබීරී ඉංග්‍රීසි වචන ටිකක් එඩිට් කරලා කියල.. තමුන්ට වැරදියට ලියවෙච්චි වචනයක් නැවත සෑදීම මහා ලොකු දෙයක් නොවුනට ඒබව ගොඩයා දැනුවත් උනා කියලා කියන්න ගොඩයා මෙන්න මේ කොමෙන්ටුව දානව ඊළඟ කොටුවෙන්..




ඔන්න ඊළඟට පින්වතුනි මේ කියන දෙවැනි සහයට දොස්තර මහත්තයා දාපු කොමෙන්ට් දෙකම එක පාරටම පෝස්ටුවෙන් නොපෙනී යනවා කියමුකෝ.. දැන් පෝස්ටුව බලන කෙනෙකුට පෙනෙන්නේ අම්බලංගොඩයා පිස්සුවෙන් කොමෙන්ට් දාපු විදිහට.. මේ කියන සහයට දොස්තර හාදයා හිතාන ඉන්න ඇත්තේ අම්බලන්ගොඩයා යනු  උන්නැහේගේ යාලු මිත්‍රයා වගේ ගොන් මැට්ටෙක් කියලා වෙන්ටෑ.. ඒ නිසා එතුමා ප්‍රබෝධයටපත්කරනුවස් අම්බලන්ගොඩයා ඊළඟ කොමෙන්ටුව මෙන්න මේ ආකාරයෙන් ලියල දානවා.. බලන්න පිංවතුනි 
ඊළඟ කොටුව.. 




ඔන්න පිනවතුනී ඊළඟට මේ සහයට දොස්තර මහත්තයා වැරදි ඉංග්‍රීසි ලියපු කොමෙන්ට් දෙක තුනම මකාගෙන බුකියෙන් මාරුවෙනවා කියමුකෝ..ගොඩයා සියලුම සංවාද කොමෙන්ට් වල ස්ක්‍රීන් ෂොට් අරගෙන කියල දැනගත්තාම සහයට දොස්තර මහත්තයා දැනගන්නවා හැමෝටම ගහන ඉන්ජෙක්ෂන් එක අම්බලන්ගොඩයට ගහන්න ගිහින් වැඩේ වැරදිලා කියල.. සහයට දොස්තර මහත්මයා අවසාන කොමෙන්ටුව දමල පැය පහ හයකට පස්සේ මතුවෙනවා එතුමා හදිසියේ ෆේස් බුක් එකවුන්ට එක Deactivate කරාය කොමෙන්ට් මැකුවේ නැහැය, ඒ හාදයා ලියපු වැරදි ඉංග්‍රීසි ලිව්වේ මේ කාරනාව සම්භන්ධයෙන් ඒ තරම් ඇල්මක් නැති නිසාය, බුකියේ ලියන ඉංග්‍රීසි වලින් සාමාන්‍ය ජීවිතයේ නිරවද්‍යභාවය මනින්න බැහැය, අම්බලන්ගොඩගේ බුද්ධිමත්භාවයේ පරිමාව ගැන කනගාටු වෙනවාය, හිංසා කිරීමෙන් තවතවත් සන්තෝසය ලබන්නය, ගොඩයා සමග සංවාදයේ යෙදීමෙන් ඒ උන්දෑගේ කාලය නාස්ති කරගත්තාය කියාගෙන.. අන්තිමට සහයට දොස්තර මහත්තයා කියනවා ඵල ඇති රුකටලුනේ  ගල් ගහන්නේය කියන කතාවකුත්.. කතාවේ මුල් එව්වට පස්සේ උත්තරයක් ලියන්න හිතන අතරේ අම්බලන්ගොඩයාට හිතුනෙම මේ වගේ මෝඩ මරි එවුන්ට කියන්නේ ගෙඩි තියන ගස්  කියලනම් තැන නොතැන නොබලා තමුන්ගේ අමනකම පෙන්වන මේ වගේ වල් පඳුරු වලට ගල් ගහලා මිනිස්සු කුමන ආකාරයේ ඵලයක් නෙලන්නද කියල. ඕන් පිංවතුනි ඊළඟ කොටුවෙන් ඒ විස්තරේ..




තමුන්ගේ මිත්‍රයා ප්‍රසිද්දියේ අසභ්‍ය වචනයෙන් තමුන්ගේ අමනකම ලෝකයාට පෙන්වීම සාධාරණීකරණය කරපු සහ තමුන්ගේ වරද වංචාවෙන් යට ගසාගෙන බාහිර  පාර්ශවයන් රැවටීමට ලක්කරන්න හදන මේ වගේ මෝඩයින් එක්ක සංවාද කරන එක තේරුමක් නැහැ කියල අම්බලන්ගොඩයා ඊළඟ කොමෙන්ටුව දාල සංවාදයට නැවතීමේ තිත තියනව.. ඔන්න පින්වතුනි ඒ දීර්ඝ කොමෙන්ටුව ඊළඟ කොටු කිහිපයෙන්.. 










මෙන්න පින්වතුනි ඊළඟ කොටුවෙන් තමයි පෙන්නේ සහයට දොස්තර මහත්තයා  ෆේස්බුක් එක Deactivate කරලා තියෙද්දී අද්බුත බලයකින්දෝ පළමු කොමෙන්ට් නොපෙනී යද්දී ඒ උන්නැහේට ඉවත් කරන්න අමතක වෙච්චි කොමෙන්ට් දෙක..




අන්තිමේ තවත් කොමෙන් කරුවෙක් කොමෙන්ට් කරනවා කෙලින්ම ගොඩයාව අමතලා " මුන්ට මේවා කියල දෙනවාට වඩා හොඳයි වහු පැටවූ දෙන්නෙක් අල්ලාගෙන අවකලනය උගන්වන්න උත්සහ කරන එක" කියලා.. ඒ කොමෙන්ටුවේ ස්ක්‍රීන් ෂොට් එක ගන්න අම්බලන්ගොඩයාට නොහැකිවුනා ඒ වෙලාවේ අම්බලන්ගොඩයා වෙනත් වැඩක හිටපු නිසා.. ලංකාවට සඳුදා වෙද්දී අම්බලන්ගොඩයාට බැච්මේට් දොස්තරගේ බුකිය නොපෙනෙනා ආකාරයෙන් තහංචි පැනවුනා.. මාර්ක් සකර්බර්ග් අපේ බැච්මේට් හාදයාට අන්ෆ්‍රෙන්ඩ් බොත්තම දීලද කොහෙද ගොඩයාගේ බුකි යාලු මිත්‍ර ලැයිස්තුවෙන් බැච්මේට් දොස්තර නොපෙනී ගියා. 

 අපේ බැච්මේට් දොස්තර හාදයා එයාලගේ අමනකම සහ මෝඩකම ලෝකයාට පෙන්වන කොමෙන්ට් සියල්ලම මකා දමලා එයාලාට ප්‍රබෝධය ගෙනදෙන කොමෙන්ටු පමණක් ඉතුරු කරගෙන මේ තොරණ වෙනස් ආකාරයෙන් ඒ උන්දැගේ බුකියේ ප්‍රදර්ශනයට තබලාය කියන පණිවුඩය අම්බලන්ගොඩයාට එවන්නේ මියුචුවල් ෆ්රෙඩ්ස් තනතුරේ ඉන්න හාදයෙක්. අන්න ඒ වෙලාවේ තමයි අම්බලන්ගොඩයා තීරණය කරන්නේ මේ අමන ක්‍රියාව ලෝකයාටම පෙන්වන්න බ්ලොග් පොස්ට් එකක් ලියන්න.. 

අපේ බැච්මේට් දොස්තරගේ අමන ක්‍රියාව පැත්තක තියලා සහයට ආපු දෙවැනි දෙස්තර මේ ලියපු කොමෙන්ටුවෙන් කියන්නේ එයාලට  එහෙයි නොකියන ගොඩයා වගේ උදවියට අසනීපයක් උනාම බෙහෙත් කරන්න එපා කියන එකද කියන එක ගොදයාට මාර ප්‍රශ්නයක් අප්පා.. 




 එහෙම බැලුවාම බස් ගැමුණු මීට වඩා සාධාරණයි කියල ගොඩයාට හිතෙනවා.. මොකද කියනවනම් බස් ගැමුණු අහිංසක මගීන් මහමග රස්තියාදු කරලා තමුන්ගේ සාක්කුවේ වාසිය හෙව්වට බස් කොන්දොස්තරලාට කියන්නේ නැහැ බස් වර්ජනයට විරුද්ධ මගීන් පහුවදාට බස් එකට ගන්න එපා කියල.. එහෙම තර්කයක් ගොඩනැගුවොත් බස් ගැමුණුගේ අධ්‍යාපන මට්ටම අපේ සහයට දොස්තරගේ අධ්‍යාපන මට්ටමට වඩා ඉහලින් තියෙනවාදෝ කියලත් ගොඩයාගේ ඔලුවේ ප්‍රශ්නාර්ථයක් තියෙනව..




දැන් කියමුකෝ මේ පොස්ට් එකට මොනර නැටුම කියන නම ගෑව්වේ මොකද කියල..


මොනරා කියන්නේ පිල්විදහාගෙන නටනකොට බොහොම ලස්සන සතානේ . ඒ උනාට ඔය මොනර නැටුම බහුතරයක් මිනිස්සු දකින්නේ ඉස්සරහින් විතරයි.. ඕක පිටිපස්සෙන් බැලුවොත් තමා දකින කෙනාට පේන්නේ යකඩෝ මූ ඉස්සරහ පැත්තෙන් මාර හැන්ඩ්සම් සතා උනාට පස්ස පැත්තෙන් ඔක්කොම හෙළුවෙන් නේද කියන එක.. අන්න ඒ සීන් කොන් එක දැක්කොත් ආයේ අපේ ගෑල්ලමයි එහෙම දුවන්නේ ඊ...............ක්  ගාගෙන.. ඒ වගේම තමා අපේ බැච්මේට් දොස්තර මිත්‍රයාගේ ක්‍රියාවත්..

ඒත් ඉතින් අපේ බැච්මේට් දොස්තර හාදයා සමාජවාදී රටකින් දොස්තරකම ඉගෙනගෙන ඇවිත් ලංකාවේ රජයේ රෝහලක දොස්තර උනේ උගේ තියන දක්ෂකමටනේ . කාක්කගේ කුඩුවේ කොහා බිත්තර දැම්ම වගේ ඔව්ව ඇතුලේ තියන පක්ෂ භේද , ජාති භේද, කුල භේද, විදේශීය දොස්තර භේද ගැන ගොඩයා දන්නේ අපේ බැච්මේට් මිත්‍රයා දොස්තර වෙන්න හුඟ කාලෙකට කලින්. ඒත් ඉතින් ඔව්ව ඇතුලේ තියන කැපිලි කෙටිලි වලින් බේරිලා මමත් උඹලාගේ එකෙක්ම තමයි කියන්ට වෙන්ටෑ මේ තරම් මොරගාන්නේ.. ඒත් ඉතින් හත්ඉලව්වේ ඔතන පොරක් වෙන්ට බුකියේ ඇවිත් යාලු මිත්‍රයින්ට අංගජාතය පේන තරමට සරොම කරට අරන් කුණුහරුපෙන් කෑගහන්න ඕනෙද මං අහන්නේ ..... සංසාරේ... සංසාරේ.... මතක්වෙනකොටත් අනුකම්පාවේ බෑ.. ඔහොම කරාම ලංකාවේ ඉන්න බහුතරයක් හොඳ දොස්තර මහත්තරුන්ටයි එතුමන්ලාගේ වෘත්තියටයි නේද අගෞරවේ... එහෙම නැද්ද හා...

අරෙහෙම ඉංග්‍රීසි වරද්දන සහයට දොස්තර මහත්තයගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට ඉතින් අබ සරණයි (ඥානසාරtm) නෙවෙයිද හා... අපේ බැච්මේට් දොස්තර හාදයා ලෙඩ්ඩුන්ට කුමනාකාර භාෂාවකින් අමතනවා ඇතිද ???
... ඒ ඔක්කොම පැත්තකින් තියල අම්බලන්ගොඩයා මේ දහ අතේ කල්පනා කරන්නේ අර පට්ට විදිහට බූස්ට් වෙනවයි කිව්ව දැරිවිගෙන් බූස්ට් කරන ක්‍රමේ අහන්නේ කොහොමද කියල.. එව්වා ඉතින් සාමාන්‍ය ජන ජීවිතයට වැදගත් දේවල් නෙවෙයිද අපේ හාමුදුරුවනේ..

වෙනද වගේම කොමෙන්ට් එකක් දාගෙන යමු යාලෝස්...

(අනුමානේටවත් නම් ගම් සඳහන් කරලා කමෙන්ට් දාන්න එපා කියල මම ඉල්ලා හිටිනවා.. මොකද කියනවනම් මේ පෝස්ට් එකේ මතු කරේ ඔවුන්ගේ ක්‍රියාව විතරයි. ඒ නිසා නම් ගම් ලියල පුදගලිකව මේ මෝඩ මිනිස්සු අපහසුතාවයට පත්කරන්න උවමනා නැහැ)


Friday, June 9, 2017

සෙකන්ඩ් ඉන්කම් සහ නාන කතා..





ඔන්න ඒ කාලේ අම්බලන්ගොඩයා  රැකියාව කලේ අයියෝ අමාරිස් පෝස්ටුවට අදාළ ආයතනයේ. එකම ආදායමකින් යැපීම ගොඩයාගේ සිරිත නොවෙච්ච නිසා ගොඩයා රස්සාවක් කරන්න ගතපු දා හිටන්ම දෙවැනි ආදායමක්  නිර්මාණය කරගත්තා කිව්වොත් නිවැරදි. මොකද කියනවනම් එකම එක ආදායමකින් යැපීම යනු වැඩි කාලයක් ඉක්ම  යන්නට මත්තෙන් එම ආදායම් මූලාශ්‍රයේ වහලෙකු වීම වැළක්විය නොහැකි කාරණයක් නිසා. සිරිබර සිරිලංකාවේ බහුතරයක් ආයතන ප්‍රධානින් කැමති අන්න ඒ වහල් භාවයට නිසා එකම එක පඩි පතකින් යැපෙන සේවකයින්ට ආයතන ප්‍රධානින් හරීම සෙනෙහෙවන්තයි. ඒ මොකද කියනවානම් කුමනාකාර අසාධාරණ ක්‍රියාවක් ඉදිරියේ වුනත් විකල්ප ආදායම් නැති සේවකයින් ලොක්කාට එරෙහිව නොයා තම රැකියාවේ පැවැත්ම ආරක්ෂා කරගන්න දෙපාරක් නොහිතන නිසා.

මිනිසාගේ මූලිකම අවශ්‍යතා විදිහට ගොඩයා කුඩා එකා කාලේ සමාජ අධ්‍යයනයට ඉගැන්නුවේ ආහාර, ඇඳුම් , නිවාස කියන මූලිකම කාරනා තුන නිසා ඒ න්‍යායට අදාලව හිතල බැලුවාම රැකියාවක් කියන්නේ ආන්න ඒ මුලික අවශ්‍යතා සහ සෙසු අවශ්‍යතා  සපුරා ගැනීමට පිරිවැය උපයාගැනීමේ මාධ්‍යයක් කියලයි අම්බලන්ගොඩයාගේ අදහස. ඒ  කිව්ව දේ සරල ශුද්ධ සිංහලෙන් කියනවනම් රස්සාවක් කරන්නේ ජීවත් වෙන්න සල්ලි ටිකක් උපයාගන්නනේ හත් ඉලව්වේ.. එත් ගොඩයා එක්ක රස්සාව කරපු සමහරක් (සම හරක්) එවුනුයි ආයතන ප්‍රාධානින් බහුතරයකුයි ජීවත්වුනේ රස්සාව කරන්න කියල මතක් වෙද්දී අම්බලන්ගොඩයාගේ හිතේ ඇතිවෙන්න උන්දලා ගැන අනුකම්පාවක් විතරයි.  ඔය කියපු වර්ගයේ උදවිය උදේට අවදි වෙන්නේ  අද වෙලාවට රස්සාවට යන්නේ කොහොමද සහ රස්සාවට ගිහින් කරන කියන දේ ගැන හිතමින් කිව්වොත් තමා නිවැරදි. එතනින් එහා මුළු දවසම ගත වෙන්නේ රස්සාව ගැන හිතන්න විතරයි. ආයේ මලාටවත් ඒ වගේ චරිත තමුන්ගේ පුද්ගලික ජීවිතේ ගැන සහ තමුන්ගෙන් යැපෙන එවුන් ගැන හිතන්න කාලයක් ගන්නෙම නැති තරම්. 

දැන් අම්බලන්ගොඩයා එහෙම කිව්වම ඒ කතාවට එකඟ නොවෙන එවුන් කියාවි ඇයි යකඩෝ මැරීගෙන රස්සාව කරන්නේ උන්ට කන්න අඳින්න දෙන්නනේ කියල. මේ කතාවට වැඩියෙන්ම මල අසූ හාරදාහට පනින්නේ අපේ තඩියට. මොකද කියනවනම් තඩිය අවුරුද්දට දෙතුන් වතාවක් දරුමල්ලෝ බලන්ට කියල ලංකාවට මන්ගච්චන නිසා. ඒ කතාව කෙසේ වෙතත් තඩියා හදිසියේ ලංකාවට දවස් පහේ හයේ සතියේ වගේ නිවාඩු අරන් ලංකාවට  දුවන්නේ දරු කෙසේ වෙතත් මල්ලෝ බලන්න කියලයි රට්ටු කියන්නේ. තඩියා ඔය කියන චරිත ස්භාවයන් වලට කොහෙත්ම අදාළ නොවුනට  ගොඩයා විසින් හදාරන ලද වෙනත් සුවිශේෂී චරිතසොභාවන්ට අනුව ඒ ඒ චරිත හිමි පුද්ගලයන් හිතන්නෙත් ඒ වාගේම තමා.. සල්ලි හම්බු කරලා දුන්නාම සියල්ල හරි කියන කාරනාව මුදුන්පත් කරගෙන යන ජීවන ගමනේ තමුන් රැකියාව වෙනුවෙන් ජීවත් උනාදෝ යන්න වෙන්කර හඳුනාගන්න ඔයින් බොහොම සුළු පිරිසකට පුළුවන් වෙන්නේ රැකියාවෙන් විශ්‍රාම ගිය දවසින් පස්සේ තමා. එත් ඒ වෙද්දී තමුන්ගේ යැපෙන්නන්ගේ චිත්තප්‍රීතිය වෙනුවෙන් ඒ චරිත කරලා තියෙන්නේ මුදල් සම්පාදනය කිරීම පමණයි.. තමුන්ගේ යැපෙන්නන් සන්තෝස කරන්න ඊට වඩා කොයිතරම් දේවල් කරන්න තිබ්බද කියල නවතිල්ලේ හිතන්න කාලය ලැබෙන දවසට ජීවිතේට රිවස් නැහැ දෙයියෝ ඉතුරු වෙලා තියෙන්නේ තට්ටේ විතරයි  කියන එක ප්‍රායෝගිකව වැටහිලා හමාරයි. ආන්න ඒ නිසයි ගොඩයා ඕනෑම යාළුවකුට කට පුරා කියන්නේ මනුස්සයෙකුට විකල්ප ආදායමක් තිබියයුතුයි සහ නිරන්තරයෙන් උත්සහ කලයුතුයි කියන කාරනාව. එහෙම උනාම තමා රැකියාව සහ ලොක්කා වන්දනාමාන කිරීමෙන් මිදිලා තමුන්ගේ යැපෙන්නන්ගේ සතුට වෙනුවෙන් බොහෝ දෑ කරන්න පුළුවන් නේදෝ කියල හිතන්නේ. ඊට අමතරව ඔය හෝල් සේල් ලොක්කන්ට කඩේ යන පොරවල් ගැන සහ රැකියාව ජීවිතේ කරගෙන සේවකයින්ට උඩ පැනලා තලන ලොක්කන් ගැන සුන්දර අනුකම්පාවක් දැනෙන්නෙ ඒ වගේ විකල්ප ආකල්ප තියන මිනිස්සුන්ට විතරයි . 

ලියන්න ගිහිපු පොස්ට් එක කලේ කඩාගෙන ගිහිං කියල දන්නේ උඩට ගිහින් කියවගෙන ආවාම. ඒත් ඉතින් ලියපු දේවල් ඔන්න ඔහේ තියෙද්දේ කියල ඔන්න දැන් ලියවෙන්නේ ඒ පොස්ට් එක තමා.. ඔන්න ඔය කියන කාලේ ගොඩයා රස්සාව කරන අතරේ ගොඩයාගේ වෑන් එකක් හෙවත් අර ගොඩයාගේ සුදු අයිය පොල් ගස් ගියපු වෑන් කොටේ ගොඩයගේ යාලුවෙක් හයර් දුවනවා කියමුකෝ. 

ඔන්න වැඩේ සිද්ද වෙන්නේ මෙහෙමයි. 

ගොඩයා උදේම අවධිවෙලා ලක ලැස්ති වෙලා සමුද්‍ර දේවියේ නැගීල කොළඹ එන්න පිටත් වෙන්න ඕනනේ.. උදේම කිවේ සමුද්‍ර දේවිය ඒ කාලේ අම්බලන්ගොඩ ස්ටේෂන් එකෙන් පිටත් වෙන්නේ හයයි විස්සට වගේ තමා මතක. ගොඩය හයයි විස්සට කෝච්චියේ නගින්න අවධි වෙන්නේ පහමාරට කියමුකෝ..පහමාර කිව්වට ඉතින් ඒ එලාර්ම් ඔරලෝසුවේ වෙලාව උනාට ගොඩයා ඇඳෙන් බහින්නේ බොහෝ දුරට තව හීන දෙකයි කාලක් විතර බලල තමා.. ඒ හීන ගාන අඩ ගානක් හෙවත් සම්පූර්ණ නොවෙන ගානක් වෙන්නේ අන්තිම හීනේ සම්පූර්නෙන් බලලා අහවර කරන්න කලින් ගොඩයාගේ මෑණියන් මැදට පැනලා ඒ ලස්සන සුන්දර හීන බොඳ කරලා දාන නිසා. එහෙම කාලවල් භාගවල් බලපු හීන සතියට අනිවාර්යෙන් පහක්. මාසෙට විස්සක්. ටෙක්නිකලි අවුරුද්දට දෙසීය හතළිහක්.. ඒත් රජයෙන් හිමි නිවාඩු හතලිස් පහයි, සතිය මැදට වැටෙන නිවාඩුයි අඩු කරාම හීන භාග දෙසීයට අඩු වෙන්න ඇති. ඒ මොකද කියනවනම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව සේවකයින්ට දෙන නිවාඩු හතළිස්පහ නොගෙන සිටීමෙන් ඔය චක්‍රලේඛ හදන නෝනා මහත්තුරු අමනාප උනොත් හෙම කියල ගොඩයා නිවාඩු හතලිස් පහට විදින්නේ අගෝස්තු වෙන්නත් කලින්. නිවාඩු හතලිස් පහ අහවර උනායින් පස්සේ ගොඩයා යනු රැකියාවට යන්න හෙන උනන්දු පොරක්.. ඒ වෙන කාරනාවක් නිසා නෙවෙයි.. ගොඩයාගේ දෙමාපිය දෙපොලම අවුරුද්ද මුල හිටන්ම ගොඩයාගේ නිවාඩු ගණන් හිලව් තබාගෙන ඉන්න හින්දා හිටං.. එතනින් එහා ආයේ කක්කල් කැස්ස, වසූරිය, පැපොල, සරම්ප වගේ භයානක රෝගයක් හැදුනත් ගොඩයා ගෙදර ඉන්නවා කියන්නේ උදේ හිටන් හවස් වෙනකනුත් ඊට සතියක් දෙකක් යනකනුත් කනක් ඇහිලා ඉන්නවා බොරු.. ආයේ ගොඩයා උදේට මලත් ඩේඩ් බොඩි එක හරි රස්සාවට යනවා අනිවා.. ආයේ නොගියොත් හෙම ඩේඩ් බොඩිය උනත් කනක් ඇහිලා ඉන්නවා බොරු..  

ඒත් සමහරක් දවස්වලට හීන කාලෙන් භාගෙන් අවධි වුනත් සමුද්‍ර දේවිය හරි වෙලාවට අම්බලංගොඩ දුම්රිය ස්ථානයට වාර්තා කරා කියන්නේ ගොඩයා කෝච්චියේ නගින එක තවත් හීනයක් විතරයි. සමුද්‍ර දේවිය නලාව හඬවන සද්දේ ගොඩයාගේ ගෙදරට ඇහෙන නිසා අම්බලන්ගොඩින් සමුද්‍ර දේවිය අල්ලන්න බැරි  දවසට ගොඩය කරන්නේ බැනුම් එක් කෝටි විසිපන්ලක්ෂයක් අහගෙන හරි පියාණන් වහන්සේගේ සහය පැතීම. අම්බලන්ගොඩින් සමුද්‍ර දේවිය පිටත්වෙන්න නලාව හඬවනකොටම මෝටාර් සයිකල් රාජයාට ගොඩවෙන ගොඩයා තමුන්ගේ පියාණන් වහන්සේවත් පටිපස්සේ ආසනයේ ඉන්දවගෙන සැර දාගෙන ඉගිල්ලෙන්නේ හෙමින් ගිහිං කන්දෙගොඩ ස්ටේෂන් එකෙන් කෝච්චිය අල්ලන්න බැරි හින්ද. ඒ වගේ වෙලාවට අපේ තඩියයි බතලයයි කුඩුපට්ටම් කරලා දාපු තාත්තගේ පිෂ්ටිය පිකප් වෙන්නේ ඉස්සරහ රෝදේ උස්සගෙන. ගියර් තුනකින් සමන්විත සුපර් කබ් ෆිෆ්ටිය පලවෙනි ගියර් එකේ උපරිම ආර් . පී . එම් එකක් හෙවත් විනාඩියට එන්ජිම කැරකෙන වට ගාන උපරිමේටම රේස් කරලා පිකප් කරගත්තේ නැති උනොත් ආයේ ඉතින් කෝච්චිය ඇල්ලිලි බොරු. ඇයි හත්ඉලව්වේ අච්චර බරසාර එම් එයිට් ඩීසල් එන්ජිමකින් අම්බලංගොඩ ස්ටේෂන් එකෙන් පිකප් වෙන සමුද්‍රදේවී යකඩ ගොඩ එක්ක රේස් යන්න තනි පිස්ටන් එකේ සුපර් කබ් ෆිෆ්ටි බයිසිකල් කටුවකින් ගේම ඉල්ලනවා කියන්නේ සෙල්ලම්ද මං අහන්නේ. ආන්න ඒ වෙලාවට ගොඩයා විසින් පදවන සුපර් කබ් පිෂ්ටිය තුන්වෙනි ගියර් එකට වැටෙනවා කියන්නේ ආයේ ඉතින් ලෝක මෝටර් සයිකල් ධාවන සුරයින් කැලේ. සියලුම හන්දි සහ වංගු ගොඩයා දන නමලා කනේ වැලි ගෑවෙන්න ගනිද්දී පස්සේ සීට් එකේ ඉන්න ගොඩයාගේ පියාණන් ගොඩයාට අමතන අමතිල්ල අහගෙන ඉන්න වෙනවම සතියක් දෙකක් නිවාඩු දාන්න වෙනවා කියමුකෝ. එව්වයේ අන්තර්ගතය සාරාංශයක් වශයෙන් ගත්කල ඉතින් රෑ දෙගොඩ හරිය වෙනකල් පිචර් බැලීම, රෑ තිස්සේ කොම්පියුටර් ගේම් ගැසීම, රස්තියාදුවේ යාම වගේ හොද වැඩවලට ලැබෙන ඇගයීම තමා. එව්වා ඉතින් මෙලෝ පන තියන පුතයෙකුට අහං ඉන්න පුළුවන් එව්වා නෙවෙයි ආයුබෝවන්ඩ. ගොඩයා ඉන්නේ සමුද්‍රදේවිය එක්ක හෙන ගේමක් ඉල්ලන ගමන් නිසාත් මාසෙට දෙතුන් වරක් සිද්දවෙන සුලභ ක්‍රියාකාරකමක් නිසාත් ගොඩයා ඇහුනා නෑහුනා ගානට මෝටර් ක්‍රොස් එක පදිනවා පැදිල්ලක් ෆිෂ්ටියේ එන්ජිම උණු වෙලා වැක්කෙරෙන්නම. ගොඩයා කන්දෙගොඩ ස්ටේෂන් එකට ලංවෙනකොට ගොඩයාට සමගාමී කෙටිදුර ධාවන ශුරයිනුත් මෝටර් ක්‍රොස් එකට දෙවැනි නෑ. සමහරු සපත්තු කරේ තියාන දුවන අතරේ කාන්තා පාර්ශවයත් සාරි කරට අරං දුවන දිවිල්ල අද මතක් වෙද්දී ගොඩයට හිතෙන්නේ  සුසන්තිකා විතරක් ඔලිම්පික් යන්න තේරුනේ රටේ ධාවන ශුරයින් ගැන නිසි අධ්‍යයනයක් සිදුවුනේ නැති නිසා කියලයි. උදේ හවස කෝච්චිවලට දුවන උදවිය අතරේ උසේන් බෝල්ට්ලා සුසන්තිකාලා දුවපු දිවිලිත් දිවිලිද අප්පා. ක්‍රීඩා අමාත්‍යංශය අනුග්‍රහයෙන් ස්ටේෂන් ආසන්නයේ CCTV ටිකක් හයිකරානම් ඔලිම්පික් පදක්කම් දෙතුන්සීයක් සිම්පල්.

ඔය කෝච්චියට දිවිලි අතරේ පලවෙනි තැන ගන්න කීප දෙනා අතරේ ඉන්නේ ගොඩයාගේ ලොකු අප්පච්චිගේ බාල පුතණ්ඩිය. මෑන්ස් කොච්චර දිවිලි සූරයාද කියනවානම් සපත්තු මේස් කමීස අතේ අරං තමා ගෙදරින් පිටත් වෙන්නේ. ඔය කියන අයියන්ඩි පදිංචිය කන්දෙගොඩ ස්ටේෂමට මීටර් දෙතුන්සීයක් දුරින් උනාට හැමදාම කෝච්චියට එන්නේ හන්ද්‍රඩ් මීටර්ස් ඉවෙන්ට් එක ලෙසටම කරගෙන තමා. ඒකට හේතුව ඒ කියන අයියන්ඩි ගොඩයා වගේ හය වෙනකල් හීන බලන නිසාවත් රෑ දෙගොඩ හරිය වෙනකල් නිදි වරණ නිසාවත් නෙවෙයි. මෑන්ස් උදේ නැගිටින්නේ හතරට කියමුකෝ.. සමුද්‍ර දේවිය හයයි තිහට ආවට උදේ හතරේ හිටන් අපේ අයියන්ඩි කරන්නේ නාන එක තමා. ඔව් ඔව් හත්ඉලව්වේ බාර්ත් රූම් එකට වෙලා උලනවා සබන් ගානවා ආයේ නානවා ආයේ කෑල්ලෙන් කෑල්ල සබන් ගානවා ආයේ උලනවා ආයේ නානවා ඉවරයක් නෑ යකඩෝ. ආන්න ඒ සුපිරිසිදු නෑම නිසා තමා හැමදාමත් සපත්තු කමීස කරේ තියාන කෝච්චියට විදින්නෙ. අපේ ලොකු අම්ම කියන්නෙම මූ කවද හරි මැරෙන්නේ දියවෙලා කියල. ඒ මොකද කියනවනම් උදේට වගේම රෑටත් අපේ එකා පැය දෙකක් නානවා කියහන්කෝ. ඉතින් ලොකු අම්ම කියන්නෙම දවසට පැය හතරක් වතුරේ ඉන්න එකා දියවෙනවා ඇරෙන්න වෙන මක් වෙනවද කියලයි. ඔන්න දැන් ඔය කියන අයියන්ඩි ඉන්නෙත් ගොඩයා ඉන්න රටේම තමා.. ඒත් ගොඩය ඉන්න නගරෙට වඩා හැතැක්ම දාහක් හමාරක් එහා නගරෙක. මාසෙකට දෙතුන් වතාවක් කෝල් දීල හෙම සැප දුක හොයද්දි අපේ නෑනන්ඩි අයිය බාර්ත් රූම් එකේ කිව්වොත් ගොඩයා ආයේ මලාට එදා කෝල් ගන්නේ නැහැ. මොකද ඌ බාර්ත් රූම් එකට ගියා කියන්නේ විසි තිස් දෙනෙකුට නාන්න යන වතුර පාවිච්චි කරලා සබන් කෑලි දෙකතුනක් ඉවර වෙන්නම ගාලා සරීර කුඩුවේ උඩු හම ගලෝල බිම දාල සබන් ගාල, ගලේ ගහල හෝදලා ආයේ ඇඳගෙන ආයෙත් නාල ආයෙත් සබන් ගාල පැය දෙකතුනක් දිය කෙලියේ යෙදෙනවා කියන එක සුප්‍රසිද්ධ කාරණයක් නිසා. 

ගොඩයා ඔය කලින් ලියපු පොස්ට් එකක හිටපු අර ගෝල්ෆේස් එක ළඟ ක්‍රෝටන් ගහක් උඩ මල පහ කරපු සෙට් එකේ යුරාජුත් එහෙම නෑම් කාරෙයෙක් තමා. ආයේ දන්නා කියන එකෙක් කුලියට කාමරයක් දෙන්නේ නැහැ මු කාමර කුලියට වඩා දෙතුන් ගුනේක වතුර නාන නිසා. යුරාජ් එක්ක සංගීත වැඩකට දුර ගිහින් හෝටල් කාමරේක නතරවුනා කියන්නේ යුරාජ් නැගිටින්න කලින් අවධිවෙලා බාර්ත්රූම් යන්න ඕන කාරණයක්. මොකද යුරාජ් ඉස්සෙල්ල බාර්ත්රූම් එකට රිංගගත්තොත් ආයේ ඉතින් එදාට හෝටලේ බ්‍රක්ඵස්ට් බුෆේ එකෙන් නොමිලේ කෑම කන එක හීනයක්. ඇත්තටම ලෝකේ නාන තරගයක් තිබ්බනම් ගොඩයා අනිවාර්යෙන් අතින් ගෙවල මුන් දෙන්නව යවනවා කප් එකයි ෆස්ට් රනර් අප් එකයි අරන් වරෙල්ල කියල. මොකද කියනවනම් එහෙම නාන්න පුළුවන් එවුන් බොහොම දුර්ලභයි. ඒ වගේම ලෝකේ කවද හරි වතුර අහවර උනොත් මේ කියවන අයයි මේ ලියන ගොඩයයි මැරෙන්නේ බොන්න වතුර නැතුව උනාට මුන් දෙන්න ඊට මාස ගානකට කලින් මැරෙනවා නාන්න වතුර නැතිවෙන හින්ද. 

ආයේ පඳුරු වටේ ගියා නෙව..ගොඩයාගේ වැඩිහිටියන් නිවාඩු ගැනීම ගැන නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්නේ නෝ පේ යාම හෙවත් වැටුප් රහිත නිවාඩු ලබාගැනීම යනු රාජ්‍ය සේවයේ භයානකම භයානකම භයානකම දඬුවම් වලට මුහුණ දෙන්න වෙන වරදක් නිසාලු. ඒත් ඔය කියන කෙහෙල් මල් නෝ පේ යාම යන වරදට දඬුවමක් වශයෙන් සිද්ද වෙන්නේ වාර්ෂික වැටුප් වර්ධයකය අහිමිවීම පමණක් වෙන නිසා ගොඩයාට ඕක ඔය කියන තරම් මහා ලොකු දඬුවමක් නෙවෙයි. ඇයි හත් ඉලව්වේ ඔය කියන වැටුප් වර්ධකය ගන්න ඔය හැටි කඩේ යන්න ඕනෙද??? දැන් ඔය කියන නෝ පේ එකක්වත් නොගෙන නිවාඩු හතලිස් පහෙන් විතරක් පිරිමහගෙන හිටිය උනාට ගොඩයාගේ එක්තරා ලොක්කෙක් අවුරුදු තුනක් ගොඩයට ඔය කියන වැටුප් වර්ධකේ දුන්නෙම නැහැ කියමුකෝ.. ඒ වෙන වරදක් නිසා නෙවෙයි.. ලොක්කට එහෙයි නොකියන නිසා.. ලොක්කගේ කාමරේ සැලුන් දොරෙන් ඇතුලට යද්දී දෙකට නැවිලා නොයන නිසා.. ලොක්කව ප්‍රසිද්දියේ විවේචනය කරන නිසා..  වැඩේ කියන්නේ හතරවෙනි අවුරුද්ද අවසානයේ වසර හතරකම වැටුප් වර්ධක සියල්ලම හිඟ මුදල් සමගම ගොඩයාට ගෙවන්න ආයතනයට සිද්දවුනේ කරපු කිසිම වරදක් නැතුවම ඒ වැටුප් වර්ධක නවතාගෙන හිටපු ලොක්කට පරාජය භාර දෙමින් උනාට එවුන් ලැජ්ජාවක් ගෑවිලාවත් නැති ජාතියක් කියමුකෝ. වැටුප් වර්ධකේ සුට්ට සුට්ට දෙනවා වගේද යකඩෝ අවුරුදු හතරක් එකතු කරලා දුන්නාම.. හරියට නිකම් ශනිදා වාසනාව අදුන වගේ නැද්ද හා... ආන්න එහෙම ඒ මුදල් ටික දෙන්න ඒ ලොකු තැන කරපු උදව්ව සුළුපටුද මං අහන්නේ..ආන්න ඒ මුදල් ටික ලැබුන ගමන් ගොඩයා නෝ පේ යන්න ගත්තේ සනත් ජයසූරිය පලවෙනි ඕවර පහළොවට ඇට්ටි හැලෙන්න ගහනවා වගේ.. ටිකක් නෙවෙයි.. නො පේ හැත්තෑ එකක් ප්ලස් නිවාඩු හතලිස් පහක්.. ඒ කියන්නේ නිවාඩු එකසිය දාසයක්.. අවුරුද්දක් ඇතුලත ... මදි නෑ නෙහ්.. ආන්න ඒ නිවාඩු එකසිය දාසයට පින් සිද්ද වෙන්න තමා අවුරුදු පහක් තිස්සේ "අනුප්‍රාප්තිකයකු නොමැතිව නිදහස් කල නොහැක" යන තේමාවෙන් ලොක්කා විසින් අත්සන් තබා තිබු ගොඩයාගේ ස්ථාන මාරුව සති දෙකෙන් ක්‍රියාත්මක වුනේ.. කොළඹට ස්ථාන මාරුවීම් එන්න ඕනෑතරම් පිරිස් සුදානම්ව හිටියත් මෙලෝ පන තියන එකෙක්වත් අවුරුදු පහක් පුරා ඒ කියන දෙපාර්තමේන්තුවට එන්න අකමැති වුනේ ඔය කියපු ලොක්කා විසින් ආයතනය වටා ගොඩ නැගු කීර්තිනාමයේ ආදිනවයට නේන්නං.. අන්න සම්මාන දෙන්න වටිනා මිනිස්සු.. 

ආයේ පඳුරු වටේ..

ඔන්න වෑන් හයර් කිරිල්ල කෙරෙන්නේ මෙහෙමයි.. ගොඩයා උදේට ටිකක් කලින් නැගිටලා වෑන් රථය පදවාගෙන නිශාන්තගේ නිවසටත් එතනින් නිශාන්ත ගොඩයාව දුම්රිය ස්ථානයට ඇරලවා යාමත් තමා කෙරෙන්නේ. එතැනින් එහා නිශාන්ත වෑන් රථය කොන්ඩයාගේ වෙළඳ සැල සහ නිශාන්තගේ වෙළද සැල අසල තබාගෙන පොඩි ප්‍රමාණයේ හයර් දිවීමත් හවසට නිශාන්ත විසින් වෑන් රථය ගොඩයාට දුම්රියට ගෙනවිත් දීමත් දිනපතා සිදුවුණා වූ ක්‍රියාවක්. ගනුදෙනු බේරුනේ ආදායමෙන් ඩීසල් මුදල් අඩුකොට තුනෙන් එකක් නිශාන්තටත් තුනෙන් දෙකක් ගොඩයාටත් හිමිවීමෙන්. නිශාන්තත් වැඩේ කරගෙන යන්නේ අමතර ආදායමක් විදිහට නිසා දෙන්නටම හවසට පොඩි ගතමනාවක් සෙට් උනා කියමුකෝ. හැබැයි හයර් කිව්වට ඔය වෑන් කටුවට වදින්නේ උපරිම දුර කරාපිටියට වගේ හයර් කෑල්ලක් තමා. එයින් දෙකක් දවසට ගියාම ඉතින් නිකම් තියන වාහනේට මාසෙට දහ පාලොස්දාහක ආදායමක් එනවා කියමුකෝ. නිශාන්තත් කරගෙන යන ගල් වැලි බිස්නස් එකට අමතරව කරන නිසා ලැබෙන ගානෙන් නිශාන්තත් සන්තෝසයි. 

ඔන්න දවසක් හවස නිශාන්ත ගොඩයා ගන්න ස්ටේෂන් එකට ඇවිල්ල කියපි කතරගම හයර් එකක් ආව කියල. වාහනේ නිතර කැඩෙන නැකතක එකක් නිසා ගොඩය ආසයි බයයි වෑන් කොටේ කතරගම යවන්න. මොකද කියනවනම් කතරගමට කිට්ටුවෙන් වාහනේ කොහේ හරි සෙත්තපෝච්චි වුනොත් හයර් එකේ ගාන වගේ තුන් හතර ගුණයක මුදලක් ගෙවල මාස ගානක් ගමට ඇදන් එන්න වෙන පරිප්පු නැවක් නිසා. ඒත් නිශාන්තය හයර් එකට ඇඩ්වාන්ස් අරගෙන නිසා ගොඩය අකමැත්ත පෙන්නුවේ නැහැ එහෙම කරන එක නිශාන්තගේ කීර්ති නාමයට හොඳ නැති වැඩක් නිසා. 

හයර් එකේ පොරොන්දුව හාරදාස් හාරසීයි.. ඒ කියන්නේ දවස් දෙකක ගාන.. මොකද හැමෝම කතරගම යන්නේ පලවෙනි දවසේ ගිහින් දෙවැනි දවසේ එන්නනේ. ඒත් නිශාන්තගේ සේවා ලාභියාගේ ඉල්ලීම වුනේ එකදවසින් කතරගම ගිහින් එන්න. නිශාන්තට එලවන්න පුලුවන්නම් යන එවුන්ට එක දවසින් ගිහින් එන්න ඕනෙනම් ඒ ගමනට අකුල් හෙලීම ගොඩයාගේ කාර්යක් නොවේ කියමුකෝ. ඔන්න නිශාන්තයා සෙනසුරාදාවක උදේ පාන්දර නඩය පටෝගෙන කතරගම යන්න පිටත්වුනා. ගොඩය ගොඩයාගේ වැඩක් බලාගෙන ගෙදරට වෙලා උන්න. ඒ කාලේ අතේ ගෙනියන සෙලියුලර් දුරකථන තිබ්බ උනාට එව්වා ගෙනියන්න වෙනම වාහනයක් ඕන.. ඒ කිව්වේ මොටෝරෝලා ත්‍රිපල් එයිට් එක හෙන සයිස් සිංහල ගඩොලක් විතර ඇති කියමුකෝ. ඒ හින්ද ගොඩය ගාවත් නිශාන්ත ගාවත් හෑන්ඩ් ෆෝන් නැත. ගමන ගිහිපු එකා ගෙදර එනකල් අහස දිහා බලාන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. ආවේ නැති උනොත් පහුවදා රේඩියෝ එකේ හදිසි අනතුරු සහ අවමංගල්‍ය දැන්වීම් වලට කනදීගෙන ඉන්න ඕන. ඔන්න රෑ දහය උනා.. ගොඩයාගේ ඇස්තමේන්තුවේ හැටියට වෑන් කොටේ රෑ දහය වෙද්දී ගෙදර එන්න ඕන.. ම්හ්.. මොන.. දහය එකොළහ උනා.. එකොළහ දොළහ උනා.. වෑන් කොටේ එන පාටක් නෑ.. ගොඩයත් දැන් ටිකක් පාරට හෙම බැහැල බලාන ඉන්නව දැන් එයි දැන් එයි කියල.. ඔන්න බොලේ රෑ එකට විතර ගොඩයාගේ ගෙවල් වලට එන පාරේ කන්ද උඩින් ලයිට් පාරක් වදිනවා.. පරිසරය නිසල නිසා සද්දෙන්ම දන්නවා මේ එන්නේ නිශාන්තය කියල.. ඔන්න නිශාන්තය ඇවිල්ල නැවැත්තුව..

මොකෝ බං රෑ වුනේ..

............................................
නිශාන්ත සද්දයක් නෑ..

මොකෝ බං උනේ...

........................................
ම්හ්.. නිශාන්තයා බලාගත්තු අත බලාන ඉන්නවා වාහනෙන් බැහැල..

මොකෝ බං ගල් ගිලල වගේ.. මොකද උනේ..

...........................................
ම්හ්.. නිශාන්ත ඔහේ බලාන ඉන්නවා..

යකෝ කියහන් මොකෙක් හරි හප්පුනද ...

නෑ...

එහෙනම් මොකෝ උඹ මේ ගල් ගිලල වගේ...

මාර ප්‍රශ්නයක් උනා බං...

මොකද්ද කියහන්කෝ ඉතින්..

සල්ලි ප්‍රශනයක් බං..

හරි බං ඉතින් සල්ලි ප්‍රශ්න නැත්තේ කාටද.. දැන් උඹට මොකක්ද වෙන්න ඕන..

මට නෙවෙයි බන්.. මේ....මේ...

මේ මේ ගගා කෙකර ගාන්නේ නැතුව කියහන්..

මූ මාව කෑවා බං...

කව්ද..

කතරගම ගියපු එකා...

ඇයි මොකද්ද ඌ උඹට කරේ..

හයර් එක බේරුවේ නැහැ බං හරියට.. ඕකව මම යටකරනවා පාරේදී අහුවුනොත් ..

දැන් පැහැදිලි සිංහලෙන් කියහන් මොකක්ද උනේ කියල..

ඌ මට දුන්නේ දෙදාස් දෙසීයයි..

ඒ මොකෝ බන්.. උඹ හයර් එක පොරොන්දු උනේ නැද්ද ඌ එක්ක..

පොරොන්දු උනා බං..

කොහොමද පොරොන්දු උනේ..

හාරදාස් හාරසීයයි..

එතකොට ඌ මොකද්ද උඹෙන් ඇහුවේ කියහන්..

ඌ ඇහුවේ කතරගම ගිහින් එන්න කීයක් ගන්නවද කියල..

ඉතින් උඹ මොකද කිව්වේ..

ඉතින් මම කිව්වා දවස් දෙකට හාරදාස් හාරසීයයි කියල..

ඊටපස්සේ 

ඌ ඇහුව එක දවසින් ගිහින් එන්න පුලුවනිද කියල..

ඉතින් මම කිව්වා ඔයාලට අමාරු නැත්තම් මට ප්‍රශනයක් නෑ කියල..

ඉතින් දැන් මොකද උනේ කියහන්..

ඌ ගිහින් ඇවිත් දෙදාස් දෙසීයක් දුන්න..

ඉතින් හරිනේ බං.. හක්... හක්..... හා.....

මං ඕකව මරනවා පාරේ අහුවුනොත්...

ඌ මරන්න දෙයක් නෑනේ බං.. උඹ දවස් දෙකට ගාන කිව්වා.. ඌ එක දවසෙන් ගිහින් එන්න ඇහුවා.. උඹ කැමතිවුනා .. ඉතින් ගාන හරි... හක්.. හක්.. හා... යමන් උඹ  දාල එන්න..

ඔන්න ඔහොමයි අපේ නිශාන්ත කතරගම හයර් එක ගිහින් ආවේ.. දවසක් තිස්සේ කිලෝමීටර් හාරසීයක් පන්සීයක්  වාහනේ එලවපු එකා හිස් අතින් ගෙදර බස්සන්න බැරි නිසා බලෙන්ම රුපියල් දාහක් සාකුවට දාල ගොඩයා විසින් නිශාන්තව ගෙදරට බැස්සුවා.  එන ගමනේ අම්බලන්ගොඩ බස්ටෑන්ඩ් එක ඉස්සරහ ඉන්දන පිරවුම් හලෙන් ඩීසල් ටැංකිය පිරෙව්වාම ගාන එක්දාස් තුන්සීයයි කිව්වා. ඒ කියන්නේ අරුන් කතගම වන්දනාවේ යවන්න ගොඩයා අතිනුත් සීයක් වියදම් කරලා. ආන්න එහෙමයි බිසිනොස් කෙරුවාව. එහෙම කියල ගොඩයා සැලෙන්නේ නැහැ.. ඒ මොකද කියනවනම් අටලෝ දහම නොදැන ව්‍යාපාර කෙරුවාව කරොත් පාඩු සිද්දවෙන තැන් වලදී හිතේ සැනසීම, ආතල් පහට ටී වී එක දැම්ම වගේ හීන බල බලා නිදාගන්න නින්ද, හිතවත්කම් සියල්ලම නැතිවෙන්න ඉඩ තියෙන හින්ද. 

ගොඩය මුලින් කිව්වා වගේ උත්සහ කිරීමයි විකල්ප ආදායම් සෙවීමයි හොඳින් පල දරලා අද වෙද්දී අපේ නිශාන්තයා ලොකු යෝගට් කර්මාන්තයක හිමිකාරයෙක්. ඩිස්කවුන්ට් මිලට වන්දනාවේ එහෙම යන්න ඕනෙනම් ගොඩයා මැදිහත් වෙලා නිශාන්තයව සම්භන්ද කරලා දෙන එක සුළු දෙයක්. ඒ වගේද අර හයර් එක ගියපු එකා.. ඌ ගල් පලන් මද කාපු වදුරන්ගෙන් බන අහල ජේතවනාරාමෙටත් ගල් ගහල ආපු එකෙක්. අපේ නිශාන්තයා මාස ගානක් ඌ පස්සෙන් වැටිලා දකින දකින තැන හිඟ මුදල ඉල්ලුවත් ඌ නෙවේ අද වෙනකම් සල්ලි දුන්නේ. හැබැයි ඌ කිව්වේ නෑ සල්ලි දෙන්න බෑ කියල.. ඌ කිව්වේ අද දෙන්නම් හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියල.  ගොඩයා ඔය ගනුදෙනුවට මැදිහත් නොවුනා වුනත් නිශාන්තයා නිරන්තරයෙන් ගොඩයා වෙත අප්ඩේට්ස් ගේන නිසා කතරගම හයර් එක ගැන යාවත්කාලීන වෙච්ච දැනුමක් ගොඩයටත් තිබ්බ. ඒ හාදය දන්නවා ගමන ගියේ ගොඩයාගේ වෑන් කොටේ කියල. අද උනත් ඒ හාදය පාරේ හම්බුනාම ගොඩයා දිහා බලන්නේ හරියට ගොඩයා උගේ වෑන් එකේ ණයට කතරගම ගිය ගානට. ඔන්න එතකොට ගොඩය ඌ දිහා නොබලා අහක බලාගෙන පාඩුවේ යනවා ඌට ලැජ්ජාවක් නැති උනාට ගොඩයට ලැජ්ජාව කියන එක යාන්තමට තියන නිසා.

අපේ අර නාන අයියන්ඩි කෝච්චියට දුවනවා කිව්වට ඒක එසේ මෙසේ දිවිල්ලක් නොවී විදිල්ලක් වෙන්නේ ඒක වෙනස්ම ආරේක දිවිල්ලක් නිසා.. මොකද කියනවනම් අපේ අයියන්ඩි කෝච්චියට දුවන්නේ බූරු පොලට පොලිසියෙන් පැන්නාම බූරු කාරයෝ දුවන්නැහේ.. බූරු කාරය සාමාන්යෙන් දුවන්නේ රෙදි කරට අරගෙන වැටවල් කඩාගෙන.. අපේ අයියන්ඩිත් එකෙන් වෙනස් වෙන්නේ අයියන්ඩි දුවන්නේ බූරු ගහල නොවෙන හින්ද. හැබැයි බූරු කාරයෝ වගේමයි.. ඇඳුම් වලින් භාගයක් අතේ.. සමහරවිට භාගෙටත් වඩා.. දිවිල්ලේ තියන අනික් බූරු ලක්ෂණය තමා අහස් දුරෙන් දුර මැනගෙන දිවීම. ඒ කියන්නේ ඇල්පිටි පාරේ ඉහත්තාවේ හිටන් බැලුවාම කන්දෙගොඩ රේල් ගේට්ටුවෙන් සමුද්‍ර දේවි කොළඹ දිහාට යන්න ස්ටේෂමට සේන්දුවෙනවාත් එක්කම තමා අපේ අයියන්ඩි ඇඳුම් ටිකත් කරේ අරන් උසේන් බෝල්ට්ටත් වඩා වැඩි වේගෙන් ඇල්පිටි පාරට සේන්දු වෙන්නේ . එතන හිටන් අපේ අයියන්ඩි දුර මනින්නේ ගූගල් මැප් එකේ අහසින් දුර මනිනවා වගේ. ඒ කියන්නේ රේල් ගේට්ටුව දිහාවෙන් සමුද්‍ර දේවි දැක්ක ගමන් අපේ අයියන්ඩි ඇල්පිටි පාරෙන් දකුණට විතැන් වෙලා අහල පහල තියන වතුපිටි මැද්දෙන් වැටවල් උඩින් කෙලින්ම දුවන්නේ රේල් පාර දිහාවට. එතැනදී අපේ අයියන්ඩිට වැදගත් වෙන්නේ තමුන්ගේ රෙදි කඩමාලු ටිකයි මුණ බලන්න පොලිෂ් කරපු සපත්තු කුට්ටමයි අතින් කටින් අරගෙන කෝච්චියේ කොතන හරි එල්ලෙන එක විතරයි. උදේට ඉස්කෝලේ යන්න ඇහැරිලා ගෙවතුවල පිළිකන්නේ දත් මදිමින් ඉන්න පුංචි එවුන් දත් මදිල්ල නවත්තල විනාඩියක් දෙකක් ගල්බීත වෙලා බලාන ඉන්නේ ඇත්තටම කව්රුහරි භාගෙට ඇඳගත්තු එකෙක් වත්ත මැදින් දිව්වද නැත්තම් හිතලුවක්ද කියල හරියට තෝරාගන්න බැරුව. මොකද කියනවනම් එහෙම වේගෙකින් දුවන්න පුළුවන් රෝඩ් රනර් ෂෝ එකේ පී පීක් ගාන කුරුල්ලට විතරයි. 

සිල්ලරට හයර් දුවන එක ඔය වගේ අල වෙන්න ගතපු නිසා අපේ නිශාන්තයා ඊළඟට හොයන ආපු විකල්ප හයර් එකයි ඊට පසු විස්තරෙයි පසුවට... මේකටම ලිව්වොත් දිග වැඩියි නෙව..

පොඩි එවුන්ටත් කියවන්න පුළුවන් වෙන කොමෙටුවක් ඉතින් එපා කියන්නේ නෑ....

Monday, May 22, 2017

රහසිගත බුදුරැස්




වෙසක් පෝයත් එක්ක අම්බලන්ගොඩයා කුඩා එකා සංදියේ වෙසක් සැමරූ හැටි ගැන පොස්ට් එකක් ලියන්න හිතුන නිසා වෙසක් තොරණේ විස්තරය පහත ලියවෙන පෝස්ටුවේ කෑල්ලෙන් කෑල්ල ලියවෙනවා කියමුකෝ. කෑල්ලෙන් කෑල්ල කියන්නේ දවසින් දවස ටිකෙන් ටික.

දවසේ වැඩ රාජකාරි කරන අතරේ බ්ලොග් ලියන්න ඕන නිසාම පාවිච්චි කරන ටැබ්ලට් කටුව බ්ලොග් ලියන්න හිතුන වෙලාවට ඔන් කරගැනීම පළමු අභියෝගය වෙන්නේ ඒ ටැබ්ලට් කටුව චාර්ජ් කරන්න මතක් වෙන්නේ මහ මග රස්තියාදු වෙන වෙලාවට බ්ලොග් ලියන්න මතක් වුනාමම නිසා. ඒ වෙලාවට ඉතින් ටැබ් රාජයා කාරුණිකව කියා හිටින්නේ ඔන් කරන්න තරම් විදුලියක් බැටරියේ ගබඩාවී නැත මෝඩ මූසලයෝ බොට මේක මහ මගදී ඔන් කරන්න ඕනෙනම් ගෙදරදී චාර්ජ් කරන්න තිබුනා නේද බූරුවෝ කියලයි. ඒත් ඉතින් බ්ලොග් ලියන්න හිතුනාම ලියන්නම ලියන්නම ලියන්නම ඕන නිසා ටැබ් රාජයා විනාඩියක් දෙකක් වාහනේ චාර්ජරේට අමුනලා ටැබා පනගන්න ගන්නවා  කියමුකෝ. ඒත් ඉතින් චජරේ කේබලේ අමුනලා තියනකම් විතරයි. අපිට ඉතින් ලංකාවේ වගේ උඩ යවපු වයිෆයි බැලුන් නැති නිසා සෙල් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ටිකක් ටැබා බබාට ඉල්ලාගැනීම ඊළඟට කල යුතුයි. ඒ වෙලාවට ෆෝන් එකත් ඉස්සරින්ද රෑ චාර්ජ් කරලා නැත්තම් ඉතින් ඊළඟට විසඳන්න වෙන්නේ උගතෝකෝටිකයේ මහ එක. කිකිලිද බිත්තරේද ඉස්සෙල්ල ආවේ කියන ප්‍රශ්නේ වගේම වාහනේ සිගරට් ලැයිටරේට අමුනලා තියන චාජර් එකෙන් ටැබ් එක චාර්ජ් කරනවාද එහෙමත් නැතිනම් ෆෝන් එක චාර්ජ් කරනවද කියන එක තෝරා ගැනීම උගතෝකෝටිකයට වඩා එහා ගිය ප්‍රශ්නයක් වෙන්නේ ජංගම දුරකතනයෙන් සපයන අන්තර් ජාල පහසුකම නැතුව ටැබාගෙන් සිංහල ලියන්න බැරිවීමත්, චාජරේට අමුනලා තියන වයර් කොටේ ගලෝල ජංගම මෙව්වා එකට අමුනපු ගමන් අමාරුවෙන් පනගත්තු ටැබා බබා හුචස් ගාල මැරිලා යන නිසාත්. ෆෝන් එකේ වයිෆයි හොට් ස්පොට් සක්‍රීය කරපු ගමන් ජංගම දුරකථන කොටේ බැටරිය බහින්න ගන්නේ හෝල් සෙල් කියමුකෝ. ඒ නිසා ටැබාගෙන් බ්ලොග් ලියද්දි ෆෝන් කටුව චාර්ජර් එකට ඇමිණිලා තිබීම අත්‍යවශ්‍ය අංගයක් වෙන්නේ ටැබාට වයිෆයි පොම්ප කරන ෆෝන් කටුව සජීවීව වාහනේ බැටරියෙන් බලය නොගත්තොත් වැඩි වෙලාවක් යන්න කලින් ෆෝන් මල්ලිත් ගොඩයාට මැද ඇඟිල්ල පෙන්නලා ටටා බායි කියන නිසා. එහෙම බැලුවාම බ්ලොග් ලිවිල්ලත් සෑහෙන්න සෑහෙන්න දුකක් විඳගෙන කරන රාජකාරියක්. මොකද කියනවනම් සෙල් ෆෝන් මල්ලි ටැබා බබාට ලෝභ නැතුව වයිෆයි දෙන්නේ නැති උනාමත් ගූගල් ආදාන මෙවලම් අවලමේ යන්න ගන්න නිසා. ඒ වෙලාවට ගූගලා ටයිප් කරන්නේ අම්බලන්ගොඩයට ටයිප් කරන්න ඕන වචනෙට වඩා හාත්පසින්ම වෙනස් වචන. එහෙම වෙලාවට දහ දොළොස් වතාවක් අවශ්‍ය වචනය ටයිප් කරන්න දඟලන ගොඩයා අන්තිමේ බැරි තැන වාක්‍ය වෙනස් කරගෙන ඒ ගිරිදුර්ග තරණය කරගන්නවා කියමුකෝ.


දැන් අම්බලංගොඩකතා කියවන පාඨක පිරිස අහන්න පුළුවනි ඇයි හත් ඉලව්වේ ඔච්චර දුක් විඳගෙන බ්ලොග් ලියන්න දඟලන්නේ ගෙදර ගිහින් නිස්කාන්සුවේ ලියන්න පුලුවනිනේ ගොයියෝ කියල. ඒක ටෙක්නිකලි තර්කානුකුල කතාවක් උනාට ගෙදර ගිහින් නිස්කාංසුවේ ඉන්න වෙලාවට ගොඩයා යනු හද්දා කම්මැලි සතා කියමුකෝ. බාලගිරි දෝසය කියන්නේ සෙල්ලම් දෝසයක් නෙවෙයි කියල අම්බලංගොඩයට හිතෙන්නේ බ්ලොග් ලිවිල්ලට හැමදාම බාලගිරි දෝසෙ ලබනා නිසා.  සෙල් ෆෝන් ටැබ් සහයෝගීතා ගිවිසුමට අනුකූලව දවල් කාලයේ බ්ලොග් ලිවිල්ලට කොහොමින් කොහොමින් හරි වචනෙන් වචනේ එකතුවෙලා පොස්ට් එක සම්පූර්ණ වෙන්න දවස් කීපයක් වගේම සති කීපයක් යන වෙලාවලුත් නැත්තේම නැහැ.


මෙතක් වෙලා පඳුරු තැලුවා වූ අම්බලංගොඩයා මේ සැරසෙන්නේ ගොඩයා හිච්චි එකා සංදියේ වෙසක් සැමරූ ආකාරය ගැන පෝස්ටුව ලියන්නටය. සිංහල අවුරුද්ද ගෙවී යනවාත් එක්කම උදා වන්නාවූ වෙසක් මංගල්‍යය ගොඩයා කුඩා එකා සංදියේ ජැන්ඩි පහට සමරූ උත්සවයක් වෙනවාය. ඒ මන්ද යත් සිංහල අවුරුද්දට වඩා වෙසක් උත්සවය කාලයට එලිපහලියේ සිදුවෙනා උත්සව කටයුතු  බහුල නිසාය. ගොඩයා කුඩා එකා සංදියේ හිටන්ම ඉන්ඩෝ ඇක්ටිවිටීස් වලට වඩා වැඩි උනන්දුවක් දැක්වුයේ අවුට්ඩෝ ඇක්ටිවිටීස් වලට නිසා වෙසක් උත්සවය යනු ගොඩයාට  සිතුසේ සමරන්නට ලැබෙනා සංස්කෘතික සහ ආගමික අංගයක් වෙනවාය. 

රූප පෙට්ටියේ සහ ගුවන් විදුලියේ  මාර්තු මාසයේ මුල හිටන්ම ගිරිය කඩාගෙන කෑ ගැසූ කොහා මාස එකොළහකට නිවාඩු යවා බෙග් මාස්ටර්ගේ ගීත ප්‍රචාරය වන්නට පටන් ගත් පමණින් ගොඩයාටද වෙසක් ඌශ්නය නාසයට දැනෙන්නට පටාන් ගන්නවාය. ඉන් ප්‍රමෝදයට පත්වන ගොඩයා පළමුව කරන්නේ ඉරටු කෑලි ටිකක් සහ වෙසක් කොලයක් ගෙන සරුන්ගෝල සාදන්නට පටාන් ගැනීමය. 

පළමුව නිවස ඉදිරිපිට පාරේ සරුන්ගෝලය ගුවන්ගත කරන්නට වෙර දරනා අම්බලන්ගොඩයා එම ව්‍යායාමය ව්‍යර්ථ වූ තැන නිවසේ බලධාරීන්ට නොදන්වාම සරුන්ගෝලය කරපින්නාගෙන කලුවඩුමුල්ල පිට්ටනියට සේන්දු වෙනවාය. කලුවඩුමුල්ල පිට්ටනිය මදක් උස් ස්ථානයක පිහිටන නිසා සරුන්ගෝලයක් ගුවන්ගත කිරීමට වැඩි අපහසුවක් නොමැති ස්ථානයක් බැවින් සරුන්ගෝල යවන්නන් සියල්ලෝම හවස් වෙද්දී පිට්ටනියට සේන්දු වීම සාමාන්‍ය දර්ශනයක්ය. ගොඩයාගේ සරුන්ගෝල සෑදීමේ හැකියාව ලොවටම පෙන්වීමට ලැබෙනා අවස්තාවක් බැවින් ගොඩයාද කොල්ලෙක් කුරුට්ටෙක් ලව්වා සරුන්ගෝල රාජයා පිට්ටනියේ ඉහත්තාවට යවා සුළඟක් හැමනතුරු ඈත ගස්මුදුන් දිහාවට ඇස් මානාගෙන සිටිනවාය.

පිට්ටනිය ආසන්නයේම තිබෙනා ශ්‍රී විජයාරාමයේ බෝධියේ බෝපත්  සිලි සිලි හඬින් සෙලවෙන්නට ගන්නා අල්ලපනලේ ඒ නාදයෙන් උද්දාමයට පත්වෙනා ගොඩයා සරුන්ගොලය ඇදගෙන දෙපයේ උපරිම වාරුවෙන් පිට්ටනිය හරහා විජයාරාමය දිහාවට දුවන්නට පටාන් ගන්නවාය. එතැනින් එහා ලෝකයාට ප්‍රදර්ශනය වන්නේ ගොඩයාගේ සරුන්ගෝල සෑදීමේ හැකියාවේ දිග පළල වන අතර පිට්ටනියේ සරුන්ගෝල යවනා කොල්ලන් කුරුට්ටන් හුරේ දාන්නට පටාන් ගන්නවාය. ඒ මන්ද යත් ගොඩයාගේ සරුන්ගෝලය කුරියා ගැසීමේ තරඟයකට සහභාගී වූවාක් මෙන් හිටු කියා කූරියා ගසන්නට පටන් ගන්නා නිසාය. සාමාන්‍ය සරුන්ගෝල සුළගත් සමග අහස දෙසට ගමන් කලද අම්බලංගොඩයගේ සරුන්ගෝලය නිරන්තරයෙන්ම ගමන් කරන්නේ  අර්ධ කවාකාරව පොලොව දෙසට පමණය. ගොඩයා එයින් පසුභට නොවන්නේ ගොඩයාට එය  බොහෝම හුරු පුරුදු සිද්දියක් වන නිසාය. ඒ ඇයිද යයි පැහැදිලි කරනවානම් ගොඩයා විසින් සෑදු සරුන්ගෝලයක් එතෙක් මෙතෙක් ඉතිහාසයට උඩ  ගිහිල්ලානම් නොමැති නිසාය. ගොඩයා ඩවුන් ටු එර්ත් වර්ගයේ පොරක් නිසා ගොඩයාගේ සරුන්ගෝලද හැමදාමත් ඩවුන් ටු එර්ත් විත් හොටය බිම ඇනී කුජීත වනවාය. සමහරක් සරුන්ගෝල උඩ යවන්නට සුලන් රැල්ලත් සමගම පන එපා කියා පිට්ටනියේ කෙලවර කරා දුවනා ගොඩයා කොල්ලන්ගේ කෑ ගැසිල්ලට පසුපස හැරී බලනාකල සරුන්ගෝලය බොහෝදුරක් ඇදී ඇවිත් තිබෙන්නේ බිමදිගේ මිස අහසේ නොවේය. 

එයින් පසුභට නොවෙනා ගොඩයා පිට්ටනියේ සිටිනා කොල්ලන් කුරුට්ටන්ගේ උපදෙස් අනුව සරුන්ගෝලය විව්ධාකාර වෙනස් කිරීම් වලට භාජනය කරමින් සරුන්ගෝලය උඩ යැවීමට දවස පුරාම උත්සහා කරනවාය. කෑමක් බීමක් ගෙදර යාමක් ගැන කිසිදු ගනිච්චියක් නොමැතිව කෙරෙනා සරුන්ගෝල යැවීම බොහෝ දුරට අවසන්වන්නේ ගොඩයා සොයා වැඩිහිටියෙක් පිට්ටනිය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව වෙනවාය. ගොඩයා සොයා පිට්ටනිය වෙත වාර්තා කරනා මවු දෙමවුපියන් කිසිදා හිස් අතින් ආ වගක් ගොඩයාට මතක නොමැතිය. ඒ මන්ද යත් පිට්ටනියට එන පාරේ දෙපස පඳුරුවල ගොඩයාට දුම් යන්නට තලන්නට හැකි කෙලින් කෝටු වර්ග ඕනෑතරම් තිබුනාවූ නිසාය. 

පාසල ඇරුන වේලාවේ පටන් ඇඳිරි වැටෙනා තුරුම සරුන්ගෝලය උඩ යවන්නට පිට්ටනියේ වේලෙන ගොඩයාට බහුතරයක් දින වලදී නිවසට ගිය වහා දිනාගත් බෝනස් ලකුණු ප්‍රමාණයට කෝටුපාරවල් හිමිවෙනවා අනිවාර්යය. ගොඩයාට අත්වන ඉරණම සරුන්ගෝල රාජයාටද අත්වන අතර එයද දෙකට තුනට කැඩී කුණුගොඩකට විසික් වෙනවාය. ඉර බසිනාතුරු සරුන්ගෝල යැවීමේ ආනිසංස දන්නා අම්බලන්ගොඩයා නිවසට ගොඩවන්නේ නූල් පන්දුව කොහේ හෝ ඇස නොගැටෙන මානයක හැන්ගීමෙන් අනතුරුව වන්නේ නූල් පන්දුව රාජසන්තකවීම යනු නැවත සරුන්ගෝල යැවීමට තිබෙනා අවස්තාවට සෑහෙන කාලයකට නැවතීමේ තිත තැබීමට සිදුවන සංතෑසියක්  නිසාය. පිට්ටනියට යන පාරේ පඳුරුවල කෝටුපාරට වඩා ගෙදර මිදුලේ පේර ගසෙන් කඩාගත් කෝටුපාරේ රස වැඩි වැඩි යයි අම්බලන්ගොඩයා හිතන්නේ තමුන්ගේ වත්තේ පිටියේ හැදුනාවූ ගහක කොලක කොළ අතු ඉති ගෙඩිවල රස ගුණ අනෙක් ඒවාට වඩා වැඩි වියයුතු යයි සිතෙනා නිසාය.

සරුන්ගෝල යැවීමෙන් සෑහීමකට පත් නොවෙනා ගොඩය ඊළඟට සැලසුම් සකස් කරන්නේ  වෙසක් දින කිහිපයේ ප්‍රදර්ශනය කිරීම  උදෙසා අලංකාර වෙසක් තොරණක් ඉදිකිරීම සඳහාය. සම වයසේ  මිතුරන් හා තරඟයට සිදුවන තොරන් ගැසිල්ලේ නිල නොවෙනා ජයග්‍රහණය හිමිවන්නේ ලොකුම තොරණ ඉදිකළ සාමාජිකයාට බැවින් සැම සියලුදෙනාම උත්සහ කරන්නේ තමුන් විසින් සාදනා වෙසක් තොරණ ලොකුම එක කරන්නටය. ගොඩයාද තමන් සතු ලයිට් වැල්, වයර් කැබලි, පරණ ලයිට් හෝල්ඩර්, ඇතුළු මෙකී නොකී සියලුම දෑ ගබඩා කර තිබෙනා පෙට්ටි වලින් එලියට ඇද ගජරාමෙට තොරණ ගසන්නට පටන් ගන්නවාය.

එකල ගමේ මිතුරුකැල විටෙක විරසක වීමද වෙටෙක අඹ යාළුවන් වීම්ද නිතර සිදුකලාවූ කටයුත්තක් නිසා තොරන් ගැසීමේ කටයුතු වැනි දෑ සඳහා සාමූහිකව සහභාගිවීම්ද තනි තනිව වැඩේ ගොඩදාගැනීම්ද වසරින් වසර වෙනස් ආකාරයක් ගන්නවාය. වෙසක් කාලය ලංවෙනා අල්ලපනල්ලේ ගමේ මිතුරුකැල බහුතරයක් වේලාවන්හීදී සාමූහික තෝරන් ගැසීම වෙනුවට සිදුකලේ තනි තනිව තෝරන් ගැසීමේ කටයුතු වූයේ එකිනෙකාගේ තොරන් ගැසීමේ පරිමාව සහ අපේක්ෂාව වෙනස් ආකාර ගත් ඒවා වීමය. එක් අයෙකුට තමන්ගේ උසට තොරණක් ඉදිකොට ඉටිපන්දම් කීපයක් දල්වා තොරණ එලිය කිරීමට උවමනා වනවිට ගොඩයාට උවමනා වන්නේ තොටළඟ තොරණ තරම් හෙන සයිස් තෝරන් රාජයෙක් ඉදිකිරීමටය. එම නිසා තොරණ ගැසීම සම්භන්ධව සිදුවන පළමුපෙළ සාකච්චා වට සියල්ලම එකඟතාවයක් නොමැතිව අසාර්ථකව අවසන් වෙනවාය. ඒ මන්ද යත් අම්බලංගොඩයා හිච්චි තොරන් ගැසීමේ සියලු සැලසුම් වලට එකෙන්ම උදැල්ල දමනා නිසාය. තොරන් වලට අමතරව හොල්මං ගුහා වැනි ගොන් වෙසක් වැඩසටහන් සඳහාද යෝජනා ඉදිරිපත් වන අතර එව්වා පළමු සාකච්චා වට වලින්ම ඉලියට විසික් වෙනවාය.

එක්තරා වෙසක් දවසක අපේ තඩියා ප්‍රමුක මිතුරු කැල හොල්මන් ගුහාවක් බලන්නට ගොසින් කැත සිද්දියක් වුනා ගොඩයාට මතකය. සමවයසේ මිතුරියකගේ බාල සහෝදරයකු ප්‍රමුඛ මිතුරු කැල විසින් අලංකෘතව ඉදිකරන ලද හොල්මන් ගුහාවක් බලන්නට යන්නට තඩියා ප්‍රමුඛ තුඩුවමුල්ල තරුණ කැල පිටත්ව යන්නේ සමවයස් මිතුරියගේ උදව් උපකාර ඇතිව ටිකට් නොගෙන හොල්මන් ගුහාවට රිංගා ගැනීමේ අභිමතාර්තයෙන්ය. බලාපොරොත්තු වූ ආකාරයෙන්ම මිතුරුයගේ නොමසුරු සහයෝගයෙන් හොල්මන් ගුහාව වෙත රිංගා ගන්නා පිරිස හොල්මං එකා එකා බැගින් නරඹන අතරේ එකා පස්සේ එකා ඉදිරියට ඇදෙනවාය. හොල්මන් ගුහාව හොල්මන් වලට අමතරව කළුවර ගුහාවක්ද බැවින් වැඩිමනක් එපිට මෙපිට පෙනෙන්නේ නැතිය. සියලුම හොල්මන් නරඹා අවසානයේ පාලු හුදෙකලා ස්ථානයක මෙන්න බොලේ කුඩා දරුවෙකු වඩාගත් මෝහිනී ආතෙල් පහට උකුළු මුකුළු කරමින් ඉන්නවාය. පිරිසේ ඉදිරියෙන්ම ගමන්ගත් ඉරාන් හොල්මන් ඉවරායි කියා සිතාගෙන චන්ඩි ස්වාරූපයෙන් අවසානය කරා ලංවන අල්ලපනල්ලේ මෙන්න බොලේ මෝහිනී එකවරම ඉරාන් ඉදිරියේ ප්‍රාදුර්භූත වී අනේ මගේ ළමයා චුට්ටකට ගන්න යයි ඉල්ලා හිටිනවාය. එකවරම සිදුවූ මොහිනීගේ ආගමනයෙන් එලෝ මෙලෝ නැතිවූ ඉරානයා මොහිනීගේ බෙල්ලෙන් අල්ලාගෙන බිම පෙරලාගෙන ගුටි අනින්නට පටාන් ගන්නවාය. තඩියා ප්‍රමුඛ අතපය දිග එවුන් ඉරානයා අහකට කර මොහිනීව ගුටි ප්‍රහාරයෙන් බේරාගත්තා වුවද මෙන්න බොලේ මෝහිනී බිම පෙරලී හොටු පෙරාගෙන අඬනවාය. ටිකට් නොමැතිව හොල්මන් ගුහාව ඇතුලට යාමට  මග පෑදු මිතුරිය නොවන්නට මොහිනීගේ වැඩිහිටියන් තඩියා ප්‍රමුඛ තුඩුවමුල්ල සෙට් එක පොලීසි ගෙනියනවා අනිවාර්යය. වැඩිහිටියන් විසින් නඩුව විසඳා මොහිනීගේ හොටු කඳුළු පිසදා නැවත  දරුවා අතට දී හොල්මන් ගුහාවේ ස්ථානගත කරනාතුරු හොල්මන් ගුහාවේ අනෙකුත් හොල්මන් හට මද විවේකයක්ද ලැබෙනවාය. ගුටි පූජාව දුරදිග ගොස් වැඩේ ලෙඩේ  වූවානම් පොලිස් පොතේ පැමිණිල්ල ලියවන්නේ දරුවකු වඩාගෙන සිටි මෝහිනීට අසාධාරණ ලෙස  පහරදීම සම්භන්ධයෙන්ය. එසේ වූවානම් සිරි ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෝහිනීට පහරදීම සම්භධයෙන් ඉරාන් ඉතිහාසයට එකතු වෙනවාය. ඉරාන්ට රටක නමක් දැමීම සම්භන්ධව ගොඩයා වෙත  කුතුහලයක් ඇතත් ඒ ගැන විමසන්නට ඉරාන්ගේ දෙමාපියන් ගොඩයාට කිසිදා හමුවී නැත. 



ගොඩයා කුඩා කාලයේ තොරන් බලන්නට එක්ක යනවා යනු ගොඩයාගේ වැඩිහිටියන්ට තොරණ අසල සෑහෙන වෙලාවක් ගතකරන්නට සිදුවන මෙව්වා ඒකකය. ඒ මන්ද යත් අම්බලන්ගොඩයා තොරණ නරඹන්නේ වෙනස්ම ආකාරයකින් නිසාය. තොරණේ ප්‍රදර්ශනය කෙරෙනා ජාතක කතාව, චිත්‍ර, ලයිට් නැරඹීම යනු ගොඩයා හිච්චි එකා සංදියේ පටන් මෙලෝ  වැඩකට නැති දෙයක් ගණයට වැටෙන්නක්ය. තොරණේ ඉදිරිපස විනාඩියක්වත් නොරැඳෙන ගොඩයා කෙලීන්ම යන්නේ තොරණේ පසුපස කොටස නැරඹීම සඳහාය. ඒ මන්ද යත් තොරණේ පසුපස නැරඹීම යනු ගොඩයාට සතුට විනෝදය කුතුහලය සියල්ලම ලැබෙනා කාරනාවක් නිසාය. තොරණේ ලයිට් නිවී නිවී දිලෙනා ගැජමැටික් සියල්ලම තිබෙන්නේ තොරණේ පසුපස බැවින් එම වයර් ලෝකය දිහා විමසිල්ලෙන් බලන් ඉඳීම තොරණේ ඉදිරිපස නරම්බනවාට වඩා ඇස පිනවන කටයුත්තක්ය. එය එසේ බැවින් තොරණක විදුලි ආලෝකය රටා මවන්නේ කෙසේදෝ කියා ගොඩයා හෝඩියේ පංතියේ හිටන්ම හොඳින් දන්නවාය.


 හොල්මන් ගුහාවේ සිද්දියෙන් සහ ගොඩයාගේ තොරන් බැලිල්ලෙන් කැලේ පැන්නාවූ වෙසක් පෝස්ටුවේ තොරණේ විස්තරේ නැවත මෙසේය. තොරණ ගැසීම සම්භන්ධව එකමග යා නොහැකි මිතුරන් දෙතුන් කොටසකට විසිර යන අතර තම තමුන්ගේ මිදුල්වල තම තමුන්ගේ පරිමාවට තෝරන් ඉදිකරන්නට තීරණය කරනවාය. එය එසේ වන්නේ වැඩිහිටියන්ගේ සෘජු මැදිහත්වීම නිසා වන අතර ගොඩයාගේ වැඩිහිටියන් කෙදිනකවත් එවන් සිල්ලර වැඩකටයුතු සඳහා මැදිහත් නොවන්නේ ගොඩයාගේ අවුට්ඩෝ අක්ටිවිටීස් සඳහා මැදිහත්වීම යනු වෙනත් වැඩක් කරගැනීමට කාලයක් ඉතුරු නොවෙනා කටයුත්තක් වන නිසා සහ ගොඩයාගේ සැලසුම් රුපියලෙන් දෙකෙන් ගොඩ දමන්නට පුළුවන් වර්ගයේ එව්වා නොවෙනා නිසාය. 

ඊළඟට සිදුවන්නේ අනෙකාගේ පරයා තමුන්ගේ තොරණ ලොකුම සහ අලංකාරම තොරණ බවට පත්කිරීමේ මෙහෙයුමය. චිත්‍ර ඇඳීම සම්භන්ධයෙන් අම්බලන්ගොඩයාගේ හැකියාව බින්දුවටත් අඩු අගයක් ගන්නා නිසා  විකල්පයක් වශයෙන් වෙළඳපොලේ විකුණන්නට තිබෙනා සත් සතිය ගෙනවිත් තොරණක් ආකාරයෙන් සකස් කරන්නට ගොඩයා තීරණය කරනවාය. ගොඩයාඥාති සහෝදරයකුද එවකට ගොඩයාගේ නිවසේ නැවතී සිටි නිසා ඔහුගේ සහයද ගොඩයාට නොමසුරුව ලැබෙනවාය. 


එවන් ආකාරයෙන් සකස්වෙන තොරණේ ඊළඟ ප්‍රශ්නය නම් විදුලි ආලෝකය සැකසීමේ කටයුත්තය. තොරණ ආලෝකමත්  ප්‍රමාණවත් තරම් විදුලි බල්බ , වයර් සහ හෝල්ඩර් ගොඩයා සතුව ඇතත් බුදු පිළිමයේ ශීර්ෂය වටා විහිදෙනා බුදුරැස් මාලාව සකස් කිරීමට ගොඩයාට ප්‍රතිපාදන නොමැතිය. ඒ සඳහා අවම වශයෙන් ටෝච් බල්බ හෝ එල් ඊ ඩී දෙතුන්සියයක්වත් අවශ්‍යවන අතර එම බල්බ විවිධාකාර රටා මවනා ආකාරයෙන් දල්වන්නට තවත් බොහෝ දෑ අවශ්‍ය වනවාය.

ඒවා සඳහා ප්‍රතිපාදන ඉල්ලා උද්ගෝෂණ කිරීමෙන් තොරණ පිටින් ගොඩයාද වත්තෙන් එලියට විසික්වීමේ අවදානමක් තිබෙනා නිසා ගොඩයාගේ ටිකිරි මොලය විකල්පයක් සොයා වෙහෙසෙන්නේ තරඟයට ඉදිවන තොරන් රාජයා අඩුපාඩුවෙන් නිමකිරීම ගොඩයාගේ කීර්තිනාමය කෙලෙසාදමන්නක් වන නිසාය. එවන් වෙහසකර සිතුවිලි අරගල රාශියකින් අනතුරුව ගොඩයා එක්තරා මසුරන් අදහසක් ක්‍රියාවට නගන්නේ බුදුරැස් මාලාව ඉදිකිරීම සඳහාය. අවශ්‍ය පරිමාණයට රවුමට සකස්වූ ගනකම කාර්ඩ් බෝඩයක අදාළ රටාවට ටෝච් බල්බයක් රින්ගවන්නට තරම් හිල් විදගන්නා ගොඩයා ඊළඟට සැරසෙන්නේ බුදුරැස් මාලාව සකසා නිමකිරීමටය. බුදුරැස් මාලාවේ  හිල් ප්‍රමාණයට අනුව අවශ්‍ය ටෝච් බල්බ ප්‍රමාණය පන්සියය ඉක්මවනවාය. ඉතින් කෝ යකඩෝ ටෝච් බල්බ් පන්සීයක් ගන්න සල්ලි...


වයිවාරන තිබෙනා සෙලොෆේන් කොළ කිහිපයක ආධාරයෙන් ගොඩයා ඊළඟට සැරසෙන්නේ බුදුරැස් මාලාවේ බල්බ සවි කරන්නටය. ඉතින් කෝ යකඩෝ බල්බ්.. 



බල්බ නොමැතිව බුදුරැස් මාලාව සකස් කරන්නට අවශ්‍ය වන්නේ එක ටෝච් බල්බයක් පමණය. පාට කොලය රැස්මාලාවේ සෑම සිදුරකින්ම ටෝච් බල්බය මගින් තල්ලු කර බල්බය නැවත ඉවතට  ඇදගත් කල බල්බය නොමැති සෙලොෆේන් කොලය බල්බය තිබෙනා ආකාරයෙන්ම ඉදිරියෙන් දිස්වෙනවාය. ඉන්පසු සිදු කරන්නේ සෙලොෆේන් කොලයේ පසුපස කොටස මැලියම් ස්වල්පයක් මගින් බුදුරැස් මාලාවට අලවා දැමීමය. එවන් ආකාරයෙන් අලංකෘතව සකස්වෙන බුදුරැස් මාලාව තොරණේ බුදු පිළිමයට පසුපසින් නියමාකාරයෙන් සවිවන අතර බල්බ නොමැති බොරු බුදුරැස් මාලාව පසුපසින් නොපෙනෙන සේ මුළු තොරනම වැසෙනා පරිදි ආවරණයක්ද ඉදිවනවාය. ඊළඟට තිබෙන්නේ තොරණ ප්‍රදර්ශනය කිරීම පමණය. දැන් කොහොමද බොරු බුදුරැස් මාලාවේ ලයිට් පත්තු කරන්නේ කියනා ප්‍රශ්නය පාඨක සැමට මතුවන අතර එයට විසඳුමක් අම්බලන්ගොඩයාගේ ටිකිරි මොලය ඇතුලේ තිබෙනවාය.

ඔයින් මෙයින් වෙසක් දිනයද උදා වනවාය. තරඟකාරී වෙසක් තොරන් ඉදිකරන්නන්ගේ හෙන්චයියන් නිරන්තරයෙන් ගොඩයාගේ නිවස ඉදිරිපසින් බොරු ගමන් බිමන් යන්නේ ගොඩයා තොරණ ඉදිකර තිබෙන්නේ  කෙසේදෝ යන්න ඔත්තු බැලීම සඳහාය. අනෙකුත් තරගකාරී තොරන් හිමියන්ගේ තොරන්වල බුදුරැස් මාලාවක් නොමති අතර ගොඩයාගේ තොරණේ තිබෙනා බුදුරැස් මාලාව දිහා චරපුරුෂයන් නිරන්තරයෙන් ඉරිසියාකාර බලුම්ද හෙලනවාය. සීතල යුද්දය ඉතාමත් උච්චතම අවස්තාවක තිබෙනා බැවින් ගොඩයා දහවල් කාලයේද තොරණ පෙනෙන නොපෙනෙන දුරකින් පුටුවක් තබාගෙන තොරණ දිහා ඇසගසාගෙන සිටින්නේ චරපුරුෂ සේවා කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්නේ කොයි මොහොතේදෝ යයි විශ්වාසයක් නොමැති නිසාය.


තොරන් ගසිල්ලේ කූටප්‍රාප්තිය් එළඹෙන්නේ අඳුර වැටුනායින් පසුව බැවින් ලොකු පොඩි තොරන් කරුවන් වෙසක් දිනය එළඹුණු  දා හිටං බලාන ඉන්නේ ඉර බසින්නේ කොයි වෙලාවේදෝ කියාය. නොඉවසිල්ලෙන් ගතවන දහවල් කාලයෙන් අනතුරුව වෙසක් තොරණේ විදුලි ආලෝකය දැල්වීමේ කටයුතු උත්සවාකාරයෙන් සිදුකරන්නේ සත්ගුණවත් අම්බලන්ගොඩයාම වන අතර ගොඩයාගේ තොරණ ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් විදුලි ආලෝකයෙන් දිදුලනවාය. 


වෙසක් බලන්නට වීදි සරන්නන් අම්බලන්ගොඩයාගේ තොරණ  ඉදිරියේ නැවතී තොරණ නරඹන අතර බුදුරැස් මාලාව අමුතුම ආකාරයෙන් රටා මවනවාය. තොරණ නරඹන්නට නවතිනා පිරිස තොරණ නරඹා අවසාන වනතුරු ගොඩයා සහ ගොඩයාගේ ඥාති සහෝදරයා තොරණ අසලින් අතුරුදහන්වන අතර තොරණ නරඹන්නට කිසිවෙකුත් නොමැතිනම් තොරණ ඉදිරියේ පෙනී හිටිනවාය. තරඟකාරී තොරන් කරුවන් බයිසිකල් කටු වලින් තොරණ ඉදිරිපසින් ඔබ මොබ ගමන් කරනා අතර ඒ යන අතරේ ගොඩයාගේ තොරන් රාජයා දිහාවට රබර් ඇහැ දානවාය. එලෙසින් ගතවන දින දෙකක් තිස්සේ තොරණ සුපුරුදු ආකාරයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවුර්තව පවතින අතර රාත්‍රී කාලවලදී ගොඩයා නිදාගන්නේ කාමරයේ ජනේලය විවුර්ත කරගෙනය. ඒ මන්දයත් කඩාකප්පල්කාරී සේවා කොයි වේලාවේ ගොඩයාගේ වත්තට පැන තොරන් රාජයා බිමට සමතලා කරාවිදෝ යන සැකය නිසාය.  දින දෙකක් අවසානයේ තොරණ ප්‍රදර්ශනය කරනා අවසාන දිනය වෙද්දී ගොඩයා රෑ තුනක් නිදි වරාගෙන ජනේලයෙන් තොරණ දිහා බලාන හිටලා ඇවිදින මල මිනියක් ගානය. ගොඩයා බෙල්ල ගියත් කඳ කෑල්ල ෆයිට් කරනා වර්ගයේ එකෙකු නිසා තුන්වන දිනයේද තොරණේ ප්‍රදර්ශන කටයුතු අසීරුවෙන් කරගෙන යන්නේ තරඟකාරී තොරන් සියල්ලම තුන්වන දිනයේද මහජන ප්‍රදර්ශනය සඳහා විවුර්තවන නිසාය. 


ගොඩයාට පක්ෂ බුද්ධි අංශ සේවා වාර්තා කරනා ආකාරයට අනෙකුත් තරගකාරී තොරන් හිමියන්ගේ පළමු කුතුහලය වන්නේ ගොඩයාගේ අරුම පුරුම බුදුරැස් මාලාව දැල්වෙන්නේ කෙසේදෝ යන්නලුය. තොරණේ පසුපස සම්පූර්ණයෙන් ආවරණය කර ඇති බැවින් බුදුරැස් මාලාවේ නිවැමුව සහ ක්‍රියාකාරිත්වය දැකගැනීමට නොහැකිවීම තවතවත් කුතුහලය අවුස්සන්නක් වීලුය. ගොඩයාගේ නිවස පිහිටා තිබෙන්නේ තුන්මන් හංදියක වුවත් තොරණ පිටුපසින් දර්ශනය වන පාරේ උඩහ සිට බැලුවද තොරණේ පසුපස කොටස නොපෙනීම අනෙකුත් තොරන් හිමියන් කුපිතකරවන්නක්ලුය. 


ඒ ආකාර වූ තොරන් තරඟයක අවසාන දවසේ රාත්‍රී අටට පමණ මෙන්න බොලේ අනෙක් තොරන් අයිතිකරුවන් කණ්ඩායමම ගොඩයාගේ තොරණ බලන්න අවිල්ලාය. ගොඩයා හනික ඥාති සහෝදරයා සමග තොරණ අසලින් අතරුදහන් වෙනවාය. ඒ මන්ද යත් ගොඩයා සහ ඥාති සහෝදරයා තොරණ පසුපස ආවරණය කර ඇති කොටසට නොයනතාක් කල් තොරණේ බුදුරැස් මාලාව ක්‍රියාත්මක වන්නේ නැති නිසාය.


සියලුම තොරන් හිමියන් කට අරගෙන ගොඩයාගේ බුදුරැස් මාලාව ක්‍රියාත්මක වන ආකාරය බලාන ඉන්නවාය. ඔවුනොවුන් එකිනෙකා සමග පවසනා දෑද තොරණ පිටුපස සිටිනා ගොඩයාට ඇසෙනවාය. තොරණ වටා ලනු ඇද ආරක්ෂාව තහවුරු කර තිබෙනා නිසා කිසිවෙකුටත් තොරණට ලන්වෙන්නටද නොහැකිවීම රහසිගත බුදුරැස් මාලාවේ රහස රැකගැනීමට වඩාත් උදව් වනවාය. 


අජෝව්... මෙන්න හොරේ අහුවුනා... 


හුටාය.. විරුද්ද පාර්ශවයේ චරපුරුෂ සේවයේ සොල්දාදුවෙක් ගොඩයාගේ තොරණේ ලනු වැටෙන් රිංගා පසුපස ආවරණය යටින්ද හොරාට රිංගා ඇතුලට ඇවිල්ලාය.. ඒ කියන්නේ ගොඩයාගේ රහසිගත බුදුරැස් මාලාවේ රහස මාධ්‍ය වෙතට නිකුත් වෙන්නට ඔන්න මෙන්නය. ගොඩයා කරමින් සිටි කර්තව්‍ය නවත්වා චරපුරුශයා වෙත පනින්නේ ගොදුරට පනිනා කොටියා වාගේය. චරපුරුශයා නැවත හැරී දුවන්නට පනින අල්ලපනල්ලේ ගොඩයාගේ ඥාති සහෝදරයා ඔහු පැමිණි මග අහුරා සිටිනවාය. ගොඩයා චරපුරුශයාගේ බෙල්ලෙන් අල්ලාගන්නට ඔන්න මෙන්න කියලා තිබියදී චරපුරුශයා තමුන් වෙත තිබෙනා එකම විකල්ප මාර්ගය භාවිතා කරමින් ශරීරයේ තිබෙනා උපරිම ශක්තියද යොදාගනිමින් සුසන්තිකා ජයසිංහටත් වඩා වේගයෙන් පැන දුවනවාය. එනම් ගොඩයාගේ තොරන් රාජයා මැදින්ය. සත් සතිය දෙබෑ කරමින් තොරණ මැදින් එලියට මතුවූ චරපුරුශයාගේ ආගමනයත් සමගම තොරණ නරඹමින් සිටි ගැටවු පිරිසද හිස් ලූ ලූ අත දුවන්නට පටාන් ගන්නවාය. තොරණ මැදින් දෙබෑවී තිබෙද්දී පසුපසින් දිවයාම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් නිසා ගොඩයාද අතේ තිබෙනා විදුලි පන්දමද රැගෙන තොරනේ ඉතිරි ටිකද දෙබෑ කරගෙන පාරට පැන චරපුරුශයා පසුපස හඹා යනවාය. එහෙත් චරපුරුශයා ගොඩයාට වඩා වේගවත්වූ නිසා ගොඩයාගේ දෑසට වැලිගසා අඳුරේ නොපෙනී යන්නට ඔහු සමත්වන අතර ගොඩයා පරාජය භාරගෙන ආපසු හැරී තොරණ ලඟට විත් බලනා කල තොරණේ තවත් පෙන්වන්නට දෙයක් ඉතුරුවී නොමැතිය. දින දෙකක් පුරා මහජන ප්‍රදර්ශනයට විවුර්ත වූ මහා තොරන් රාජයා පිටකොටුවේ බෝම්බයට හසුවුණා වාගේය. ආයේ දුකේ බෑය. තොරණ මැදින් කෙටිදුර ධාවන තරඟයක් ආරම්භ කල නිසා පැච් දමලා නැවත යතා තත්වයට පත් කලත් එය මහජන ප්‍රදර්ශනයට තැබීම ගොඩයාගේ කීර්ති නාමයට නුසුදුසුය. ඒ හෙයින් දින දෙකක් පුරා ගජරාමෙට මහජන ප්‍රදර්ශනයට විවුර්තවූ තොරන් රාජයා පැයක් හමාරක් ඇතුලත එතනින් ඉවත්වී කුණු ගොඩක ස්ථානගත වනවාය. තොරන් ගැසිල්ල එතැනින් ඉවරය. චරපුරුශයා දින කිහිපයක් ගොඩයා ඇස ගැටෙනා මානයේ ගැවසුනේ නම් නැතිය. 


පොස්ටුව කියවූ සැමගේම කුතුහලය අස්වසනු වස් රහසිගත බුදුරැස් මාලාවේ රහස නම් මේ ආකාරය. බලුප් නොමැති බුදුරැස් මාලාවේ බලුප් ආකාරයෙන් තිබෙනා සෙලෝෆෙන් කොටස් බලුප් ආකාරයෙන් දිදුලන්නේ ගොඩයා සහ ගොඩයාගේ ඥාති සහෝදරයා යන දෙදෙනා තොරණේ පසුපස හොඳින් ආවරණය කරන ලද කොටසේ පුටු දෙකක් උඩ නැගී බුදුරැස් මාලාව පිටුපසින් විදුලි පන්දම් දෙකක් රටාවට කරකවනා නිසාය. ඉදිරිපස කළුවර බැවින් බුදුරැස් මාලාවේ පසුපසින් වදිනා ටෝච් එලිය රැස් මාලාවේ හිල් අතරින් ඉදිරිපසට එන්නේ පාට පාට සෙලෝෆෙන් කොලවල පාටින් වර්ණ ගැන්වීලාය. ගොඩයා සහ ඥාති සහෝදරයා දෙදෙනාම ඉතාම සුක්ෂමව විවිධාකාර රටාවන් වලින් විදුලි පන්දම හසුරුවනා බැවින් ඉදිරිපසින් බැලුකල බුදුරැස් මාලාවේ රහස සොයාගනු සුම්මාය. චරපුරුෂ කොලුවා පසුපස ආවරණ යටින් රිංගා එනු වලක්වන්නට කිසිවෙකුත් එළියේ නොමැති වීම ගොඩයාට අවාසියට සිටි අතර එසේ නොවූවානම් රහසිගත බුදුරැස් මාලාව ගැන රහස අදවනතුරුද කව්රුවත් දන්නේ නොමැතිය.  


ඔන්න වෙසක් පෝස්ටුව පොසොන් එකට කලින් ලියල අහවර කරා.. කොමෙන්ටුවක් දානවනම් අගෙයි.. කුඩා දරුවන් කියවන බ්ලොග් අඩවියක් බැවින් කොමෙන්ටු දැමීමේදී ආචාරශීලී වෙනවනම් අගෙයි..

Sunday, May 7, 2017

කැටවල සිරා







මේ ලියවෙනා පොස්ටුව ලියවෙන්නේ මීට කලින් කිහිපවතාවක් අම්බලංගොඩයා විසින් වේදිකාවට ගොඩකලා වූ ඒ අසහාය වන් ඇන්ඩ් ඔන්ලි චරිතය වන අතිජාත මිත්‍ර සිරාව උක්තකොටගෙනම වන අතර සිරා මලාට මේවා නොකියවනා වග දන්නා නිසා සමා ගැන ලියනවාට වඩා සිරා ගැන ලිවීමේදී දැනෙනා නිදහස වැඩිය. සිරා යනු පුවත් මවනා චරිතයක් බැවින් සිරාගේ විස්තර බ්ලොග් පොස්ට් බර ගණනක් ලිවීමට තරම් එවුවා වුනත් වැඩිමනක් එව්වා ලියාපලකළකිරීම නොහොඹිනා බැවින් මේ ලියවෙනා විස්තර සිරාගේ අකලංක චරිතයට කැළලක් එකතුකරනා තොරතුරු නොවන වග ගොඩයාගේ අක්මාවට වැටහෙනවාය. 

සිරා යනු මනා ආර්ථික රාමුවක හැදී වැඩුනා වූද කිසිදා අගහිඟකමක් තිබුනාවූද පුද්ගලයකු නොවේය. ඒ හෙයින් සිරාට කිසිදා තම ජීවිතය අනාගතය වෙත පැදගෙන යාමට කිසිදු අමාරුකමක් තිබුනේද නැත. ඒ හින්දාදෝ සිරාට කෙදිනකවත් අනෙකාගේ අමාරුකමක් තේරුම් ගැනීමට ඕනෑකමක් තිබුනේද නැත. එය එසේද එසේත් නැතිනම් ඕනෑකමක් තිබුනේ නැතිද යන්න ගොඩයාට අද වෙනතුරුද තේරුම් ගැනීමට නොහැකිවූ කාරණයක්ය. කුඩා එකා සන්දියේ පටන්ම අම්බලන්ගොඩයාගේ ඉතාමත් ලඟ මිතුරෙකු වූ සිරා අද වෙද්දීද ඒ මිතුරුකම එසේම දරාගෙන සිටිනවාය. ඒ වාගේම කුඩාකල තිබු සියලූම දුර්වලකම් සිරාතුල අද වෙද්දීද තිබෙනවා වුවත් එව්වාට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට පුළුවන් වයසක නොවීම නිසා සිරා අද වෙද්දී යාලු මිත්‍රයින් අතරේ වෙනදාට වඩා නිදහසේ කාලය ගතකරනවා කීවොත් නිවැරදිය. 

සිරා කුඩා එකා සන්දියේ පටන් දවසේ පුවත් තම මවට පැවසීම කඩනොකල පුරුද්දක්ය. දවසේ සියලු දෑ නිමවා රූපවාහිනිය ඉදිරියේ අසුන්ගන්නා අල්ලපනල්ලේ සිරා තම මිතුරන්ගේ සියලූම අවරගණයේ මජර වැඩද, සියලූම රහස්ද, සියලූම පෙම් පුවත්ද තම මව සමග පවසා තබා මම හොඳ එකා වීම සිරා අඛණ්ඩව කරගෙන ගියාවූ කැත වැඩක්ය. සිරාගේ මවුතුමිය එදත් අදත් බොහෝම ගුණගරුක කාන්තාවක් වීම අප කාගේත් වාසියට හිටියේය. සිරාගේ මවුතුමිය වැටවල් අස්සෙන් කේලම් දොඩනා සහ දුරකතනයෙන් කේලම් දොඩනා කාන්තාවක් නොවුනා නිසා කිසිවකුගේ නෙවෙස් වලට අවරගණයේ ක්‍රියා ආරංචි නොවුනා වුවැත් සියල්ලෝගේම කිල්ලෝටවල තිබෙනා කුණුකන්දල් ගැන යාවත්කාලීන වූ දැනුමක් සිරාගේ මවුතුමිය වෙත වීය. 

තමුන්ගේ මුඛයෙන් පිටවෙනා වචන ගැන ඒ තරම් තැකීමක් නොකළ සිරා මිතුරන්ගේ රහස් තම මව සමග පවසන්නේ විනෝදාශයක් වශයෙන් වුවත් ඇයට මුහුණදීමේදී මිතුරන් විඳි අපහසුතාවය ගැන සිරා කවදාවත් තැකීමක් කලේ නොමැතිය. අද වෙද්දී සිරාගේ දවසේ පුවත් සාකච්චාවේ තම මවට අමතරව තවත් නව සාමාජිකාවක් සිරාගේ නිවසේ වාසය කරනාවූ අතර ඇය සිරාගේ බිරින්දෑය. වයස හතලිහ පසුකරනවා වුවද කුඩාකල පටන් සිරාගේ නිවසට ආගිය මිතුරන් සතියකට දෙකකට වරක් හෝ ඉසිඹුවක් ලබන වෙලාවේ සිරාගේ නිවසට ගොඩවීම අදද පුරුද්දක් වන අතර අදද සිරාගේ මවුතුමිය දකිද්දී දැනෙනා තැතිගැනීම අදත් එදා වාගෙමය. ඒ මන්ද යත් සිරා මව සමග පවසනා තොරතුරු අතර හයිලි ක්ලැසිෆයිඩ් සහ ටොප් සීක්‍රට් වර්ගීකරණයට අදාළ තොරතුරුද තිබෙනවා වග සැවොම දන්නා නිසාය. ඊටත් අමතරව සිරාගේ බිරින්දෑ තම ස්වාමියාගේ මිතුරන්ගේ පැටිකිරිය දන්නවා යන හැඟීමද සෑහෙන්න අපහසු සහගත සිතුවිල්ලක් වන්නේ සිරා තමුන් හැරුණකොට අනෙකුත් සියලූම මිතුරන් කළු චරිත බවට පරිවර්තනය කරන වග සැවොම සක්සුදක් සේ දන්නා නිසාය. සිරා මේ සියලූම දෑ මව සහ බිරින්දෑ සමග පවසන්නේ හුදෙක් විනෝදයක් ලැබීමේ අභිමතාර්ථයෙන් පමණක් වන නිසා පිසුනාවාචා වේරමණී යන සික්ෂා පදය හෙවත් කේලාම් කීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩවන්නේ නොමැති නමුත් එයින් අපහසුතාවයට පත්වන පිරිස ගැන සිරා කවදාවත් සිරාවට සිතුවා කියා අම්බලන්ගොඩයා උපකල්පනය කරන්නේ නැත.

සිරා වෙත තිබුනාවූ තවත් එක් දුවලකමක් නම් කෑමේ බීමේදී අනෙකා ගැන වැඩිමනක් සීරියස් නොහිතනා පුරුද්දය. කුඩාකල පටන්ම සිරා යනු ධන ධ්‍යාන්‍යයෙන් කිසිදු අඩුවක් පාඩුවක් නොතිබුනාවූ පවුලක උපන් දරුවකු වුවද සිරා කන්නට ගියකළ  වටේ පිටේ සිටිනා ඥාති මිත්‍රාදීන්ගේ පටි රෝල්වෙන්නටම කන එක ලෙසටම කනවාය. ඒ සුන්දර කෑම ගැන දන්නා හිත මිතුරන් සිරා සමග කොතන ගියද සිරා කෑම මේසයට වාඩිවූ කල සිටින්නේ සිරා අප සමග ආ එකෙකු නොවෙනා ගානටය. ඒ මන්ද යත් සිරා කෑම කද්දී ගෙදර එකාටවත් මාළු කට්ටක්වත් ඉතුරු කරන්නේ නැති නිසාය.

 එක්තරා දවසක  සිරා සමග අම්බලන්ගොඩයාටත් අපගේ හිත මිත්‍ර රංජිත් හටත් ලග්ගල යාමට සිදුවන්නේ ලග්ගල ආරණ්‍ය සේනාසනයේ විදුලි ආලෝක කටයුත්තක් මුලපිරීම උදෙසාය. ගල්දූව ආරණ්‍යයේ ස්වාමින්වහන්සේලා තිදෙනෙකුද වැඩම්මවමින් යායුතුවූ ගමන පෙරලා පැමිණිය යුතු වුයේ ලග්ගල ආරණ්‍ය සේනාසනයට  ගමන් ගන්නා ගිරි ශිඛර මාර්ගයේ විදුලිම්කනු සිටුවා විදුලි ආලෝකය සැපයීමෙන් අනතුරුවය. ස්වාමින්වහසේලාට නවාතැන් ලග්ගල ආරන්‍යයෙන් සැපයුණු අතර සිරාට සහ මිතුරන් දෙදෙන සඳහා නවාතැන් අනුග්‍රහය සැපයුනේ ලග්ගල කල්‍යානවංශ ස්වාමින්වහ්සේගේ ගිහි කල නිවසේ සහ ඥාති නිවෙස් වලය. කලාතුරකින් උදාවන පින් කටයුත්තක් බැවින් සියල්ලෝද අවශ්‍ය සියලු දෑ රංජිත්ගේ වෑන් රථයේ පටවාගෙන ලග්ගල යන්නට පිටත් වනවාය. ඒ යන ගමනේ පළමු නැවතුම්පොළ ජා ඇල ප්‍රදේශයේ නිවසක් වූ අතර එය අපගේ ස්වාමින්වහසේලා තිදෙනා සඳහා හීල දානය සැපයීම් වෙනුවෙන් වූ අතර  ලග්ගල විදුලි ආලෝක කටයුතු වෙනුවෙන් බරපැන දරනා සැදැහැවත් දායක නිවෙසක්ය. 

ස්වාන්මින්වහන්සේලා තුන් නම  දානය වළඳා අවසානයේ ස්වාමින් වහන්සේලා සමග පැමිණි අබිත්තයින් තුන් දෙනාටද හීල වළඳන්නට ආරාධනා ලැබෙනවාය. පිදුරුතලාගල කන්ද ගිලින්නට තරම් බඩගින්නක් තිබුනද එය  ආයාසයෙන් සඟවාගෙන  ශිෂ්ඨ සමාජයේ පිළිගත් ආචාරධර්මවලට හිසනමා මද පමණට ආහාර ගැනීම අම්බලන්ගොඩයාගේත් රංජියාගේත් සිරිත බැවින් ජා ඇල හිතවතුන්ගේ හීල දානය මද පමණට වළඳන්නට රන්ජිත් සහ ගොඩයා සමත් වනවාය. ඒ අතර වාරයේ සිරා කෑම උගුරෙන් පහලට යවන්නේ බැමිණිතියා සාගතය හෙට දවසේ ආරම්භවන බව උදෑසන ප්‍රවුර්ති වලට කියුවා සේය. ස්වාමින් වහන්සේලාට පිළියෙළ කළාවූ දානය බැවින් ආප්ප, ඉඳි ආප්ප, බත්, පාන්, ව්‍යංජන, සහ පිට්ටු වලින් සමන්විත වූ හීල දානය ජයටම සකස්වී තිබුණු නිසා ආප්පයකින් හීල වළඳන්නට පටන්ගත් සිරා බත්, පාන්,ඉඳි ආප්ප, පිට්ටුද හැකි උපරීම පමණින් උදරගත කරන්නට කිසිසේත්ම පසුභට වුයේ නැත. ඇඹරිල්ල කොතරම් සාර්ථකද යත් නිවැසියන් විසින් පිළියෙළ කළාවූ හීල දානය ගෙදර එවුන්ටවත් කන්නට කරපිංචා නැට්ටකුදු ඉතුරු නොවන්නට සිරා වගබලාගත් අතර කාපාලුවා නිවසට රැගෙන ආවේ ස්වාමින්වහන්සේලා නොවන්නට නිවැසියන් ගිනස් කමිටුව අමතා සීරාව ගිනස්ගත කරනවා අනිවාර්යය. එක මග ආ මිත්‍රයින් දෙදෙනෙකු වශයෙන් ගොඩයාටත් රංජියාටත් සීරාව කෑම මේසයේ තනිකර දමා නැගිටයාම ආචාරධර්ම වලට පටහැනි නිසාම සිරා වලඳා අහවරවනතුරු කට ඇරන් බලන් සිටින්නට සිදුවන්නේ සසර කල කරුමයකටය.

එලෙස අවසන් වූ හීල දානයට අනතුරුව සිරා ප්‍රමුඛ පිරිස පිටත්ව යන්නේ ලග්ගල බලාය. කඩුගන්නාව ප්‍රදේශයේ දායක නිවසක දවල් දානය පිළියෙළ කෙරෙනා ආරංචිය සිරාට කනට මී පැණි දමනා තරම් ආරංචියක් වුවත් ගොඩයාට සහ රංජියා  හට එය ඇඟේ රෝම කෙලින්වෙනා වූ ආරංචියක් වන්නේ එම නිවැසියන් හට  හත් අවුරුද්දක් කනට තිබෙනා දෑ සිරා අද දින දවාලට කා දමනා වග සක්සුදක් සේ දන්නා නිසාය. දකිනා දැකුමට කෙට්ටු සරීර කූඩුවක් හිමි සිරා, දුටු පමණින් ආගන්තුක සත්කාර දක්වන්නට සිතෙනා හැන්ඩ්සම් පෙනුමක් තිබෙනා පුද්ගලයකු බැවින් සියල්ලෝම සීරාව අවතක්සේරුවට ගන්නා නමුත් කෑම කා අවසන සිරා යනු කේශාන්තයේ පටන් පාදාන්තය දක්වා බෙන්ගාල බොක්ක තරම් ආමාශයක් හිමි සුවිශේෂී පුදලයකු වග සියල්ලෝම වටහාගන්නවාය. එහෙත් එය  වැටහෙනා විට සිරා පිඟන් ,කෝප්ප , කෑම මේසය සහ පුටු හය හැරෙන්නට අනෙකුත් සියලූම කෑම  වර්ග ආමාෂගතකොට හමාරය. ඒවාද ගිලින්නට  හැකි ප්‍රමාණයේ ඒවා වූවානම් මේස පුටු පිඟන් කෝප්ප වලටද දෙයියන්ගේම පිහිටය.

කිසිදු වෙනසක් නොමැතිවම කඩුගන්නාවේ නිවසියන්ට උදව්වක් වශයෙන් කෑම මේසයේ තිබූ සියල්ලම කා දමන්නට සිරා වගබලාගන්නේ ස්වාමින් වහන්සේලා දහවල් දානය වළඳා අවසානයේය. ඇඳිරි වැටෙන්නට කලින් ලග්ගලට ලඟාවිය යුතු නිසා දහවල් දානය වළඳා වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් සිර ප්‍රමුඛ පිරිස ලග්ගල බලා පිටත් වෙනවාය. ගොඩයා වර්තමානයේ වාසය කරනා රටේ සුප්‍රසිද්ධ ඉන්දියානු කෑම බුෆේ ක්‍රමයට විකිනේනා අවන්හලකට ගොඩයා සති අන්තයේ ගොඩවන සැම දිනකම ගොඩයාට සීරාව මතකයට නැගෙන්නේ  සිරා එහි නොසිටීම සම්භන්ධයෙන් හටගන්නා සතුටු සිතුවිල්ලක් සමගින්ය. සිරා වැනි එකෙකු එවන් අවන්හලක් ආසන්නයේ උන්නානම් ගොඩයාට සතියකට වරක්වත් යමක් ආහාරයට ගන්නට එම අවන්හල ඉතුරු වන්නේ නොමැතිය. ඒ මන්ද යත් සිරා වැනි එකෙකුට ෆ්ලැට් රේට් එකකට බුෆේ කන්නට දුන්නොත් අවන්හලේ අයිතිකාරයා  මාසෙන් දෙකෙන් හිඟන්නා වී අවන්හල වසාදමන නිසාය.


ලග්ගලට ළඟාවූ අනතුරුව ස්වාමින්වහන්සේලාට නවාතැන් ආරන්‍යයෙන් සැපයෙනා අතර අබිත්තයින් තිදෙනා හෙවත් ගොඩයා, රංජිත් සහ සිරාට නවාතැන් සැපයෙන්නේ ලග්ගල කල්‍යානවංශ ස්වාමින්වහන්සේගේ ඥාති නිවෙසකය. එම නිවසේ නිවසින් පිටත පිහිටි කාමරයක මිතුරන් තිදෙනාට නවාතැන් සැපයෙනා අතර රාත්‍රී ආහාරයද සැපයෙන්නේ එම නිවසෙන්ය. ස්වාමින් වහන්සේලා විකාලයේ භෝජනය නොකරනා බැවින් එය අබිත්තයින් වෙනුවෙන්ම සකස්වන සුවිශේෂී ආහාර වේලක් වනවාය. ආගන්තුක සත්කාරයට බෙහෙවින් කැමති නිවැසියන් ඇබිත්තයන් තිදෙනාට රාත්‍රී ආහාරයට ආරාධනා කරන්නේ ඉන් එකෙකු කෑම කෑමේ ප්‍රවීණයකු වග දන්නේ නොමැතිවය.

රාත්‍රී ආහාරයද පෙර පරිදිම වන අතර නිවැසියන්ට හතේ හත වදින්නටම සිරා ලෙසටම කනවාය. නිවසේ ගෘහණිය සහ ගැහැණු දරුවන් කුස්සියෙන් කෑම කාමරයටත් කෑම කාමරයෙන් කුස්සියටත් කෑම අදිනවා ඉවරයක් නොවෙනා කාරණයක් වූ අතර කුස්සියෙන් පුරවාගෙන පැමිණෙන ව්‍යංජන දීසි එකක් ගෙනෙන්නට අනික අහවර කරනා සිරා අඛණ්ඩව තම බඩජහරිකම එම නිවසියන්ටද ප්‍රදර්ශනය කරනවාය. මේසය මත හැමදෙනාටම කන්නට බත් බෙදා තිබෙනා ප්ලාස්ටික් බේසම වැනි භාජනයේ තිබෙනා බත් සහ එය වටේ බෙදා තිබෙනා ව්‍යංජන මල පෙරේතයෙකුට පුදනා ලද පෙරේත තටුවේ තැබුවා වැනිව සිරා සියල්ලම එක කටට ගිල දමනවාය. ඒ අතරේ පපඩම් භාජනය හිස්වී තිබෙනා දකින සිරා පපඩම් ඉල්ලනවාය..ගෘහණිය හනික කුස්සියට දුවගොස් නැවත පපඩම් බදිනා ශබ්දය කෑම කාමරයට අසෙනවාය. ගෘහණිය පපඩම් ස්වල්පයක් බැද කෑම කාමරයට රැගෙන එනා අලපනල්ලේ සිරා තවත් බඳුන් දෙක තුනක ව්‍යංජන වාෂ්ප කරලා දමාලාය. ගොඩයාද මිත්‍ර රංජිත්ද පමණට ආහාර ගෙන අවසන්කොට  සිරා රාත්‍රී ආහාරය අවසාන කරනා තුරු බලන් සිටිනවා නමුත් සිරා කරගෙන යන කර්තව්‍ය නවතනා ලෙසක් නොමැතිය. ඉවසීම එදත් අදත් කෙටි අප මිත්‍ර රංජිත් සිරා අමතන්නේ ඉන් අනතුරුවය..

ඔය ඇති යකෝ.. මේ ගෙදර මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරලා දැන් ඕක නවත්තපන්..

අනේ මේ.. උඹල වගේ මේ මිනිස්සු ලෝභ නැහැ බොලව්.. මේ මිනිස්සු බොහොම ආගන්තුක සත්කාර වලට කැමති මිනිස්සු.. ඒ නිසා බොරු නැතුව කාපන්..

මිනිහෝ කනවා කියල ඔහොම කන්න එපා යකෝ.. මේ ගෙදර ඉන්න පොඩි දරුවෝ තාම කාල නැහැ.. අපි කෑවාම මේ මිනිස්සුත් කන්න ඕන.. ඒ නිසා ඒ මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරහන්..

අනේ මේ බොරු නැතුව කාපං බාන්.. බෝලාගේ බොරුව වැඩි.. මේ කෑම හදන්නේ අපිට කන්න තමයි.. ඒ නිසා බොරු නැතුව කාපන්.. අනික මේ ගමේ කෑම අපිට නිතරම කන්න හම්බෙන්නේ නැහැ.. ඒ නිසා කාපන්..

යකෝ.. කනවා කියල ඔහොම කන්න හොඳ නැහැ.. මේ මිනිස්සු අපිට සලකන්නේ ස්වාමින්වහන්සේට සලකන විදිහට.. සමහරවිට මේ මිනිස්සු මේ කන්න උයන්න බඩු ගේන්නේ කඩෙන් ණයට වෙන්න පුළුවනි. ඒ නිසා මේ මිනිස්සු ගැන හිතල ඕක දැන් නවත්තපන්..

මිනිහෝ.... මේ හාල් මේ මිනිස්සුන්ගේ කුඹුරේ හාල්.. මේ එළවලු මේ මිනිස්සුන්ගේ එළවලු කොරටුවේ එළවලු.. මේ ඔක්කොම මේ මිනිස්සු තමන්ගේ වත්තේ පිටියේ හදාගන්න දේවල්..

ඈ බෝල බූරුවෝ.. එතකොට උඹ කියන්නේ මේ සැමන් බැදුමේ තියන සැමන් මාළු මේ ගෙදර මනුස්සය උන්දැගේ නැවෙන් මුහුදු ගිහින් මාළු අල්ලාගෙන ටින් කරගෙන ගෙනල්ල කියලද.. එතකොට මේ පපඩම් මේ මනුස්සයාගේ පපඩම් ෆැක්ටරියේ හදන පපඩම් කියලද.. එතකොට දැන් අපි මේ ගෙදරට ආවේ කළුවර වැටුනයින් පස්සේ.. එතකොට උඹ කොයි වේලාවේද මේ මිනිස්සුන්ගේ කුඹුරු දැක්කේ.. දැන් මේ එළවලු ගෙනාපු කොරටුව උඹ දැක්කද.. ගොන් කතා නොකිය ඔය කෑම දැන් නවත්තපන්.. 

විකාර නැතුව කාපං බං..

එසේ කියමින් තම ආහාර බුදීමේ මහා සංග්‍රාමය සිරා අහවර කලේ බත් බේසම් තුනක බත් තම අමාශය වෙත ගබඩා කිරීමෙන් අනතුරුවය. එඩ්වර්ඩ් ජයකොඩි කියනා ආකාරයෙන් දීසිය පුරවා දෝසි දමාල කුමුදුමතී හිනැහේවී කියා සිතන්නටවත් සිරා ගෘහණියට අවස්තාවක් දුන්නේ නැතිය. ඉන් අනතුරුව ගෘහණිය විසින් කෑම මේසය වෙත ගෙනවිත් තැබූ කෙසෙල් අවිරියෙන්ද ගෙඩි හත අටක් අනුකම්පා විරහිතව කා දැමු සිරා මේසයෙන් නැගිට්ටේ කට පුරා නිවැසියන්ට ස්තුති කරමින්ය..

අපූරු කෑම ටික.. අපිට ඉතින් මේ වගේ ගමේ කෑම නිතර කන්න ලැබෙන්නේ නැහැනේ..

සිරාගේ කෑමේ හපන්කමට ස්තුති වන්නට එම නිවැසියන්ගේ මුහුණ බලන්නට නොහැකියාව නිසාම රංජිත් සහ අම්බලන්ගොඩයා වෑන් රථයේ රැය පහන් කරන්නට ඉටාගන්නා අතර අරුණළු වැටුන වහා නිවසියන්ටත් සහ  නිවසේ කාමරයේ සුවසේ නිදනා සිරාටත් නොකියාම ආරණ්‍යය වෙත වාර්තා කරන්නට තීරණය කරනවාය. එය එසේම සිදුවූ අතර සිරා එම නිවසින් ආරණ්‍යය වෙත පැමිණෙන්නේ එම නිවසින් පාතරාසයද වලඳා අවසන වන අතර සිරා නිවසින් පිටවූ වහා නිවැසියන් සැනසුම් සුසුම් හෙලන්නට ඇතියයි සිතන්නට කරුණු කාරනා බොහෝය.

පසුදා දිනයම ගොඩයා , රන්ජිත් සහ සිරා එහි පැමිණි විදුලි ආලෝකය සැපයීමේ කර්තව්‍ය වෙනුවෙන් යොදවෙන අතර යකඩ කණු සිටුවා පොලොව යට බට එලා ඒ තුලින් වයර් ඇද යකඩ කණු වලට සවිකරන ලද විදුලි බුබුළු ආලෝකමත් කෙරෙනාවිට රාත්‍රී අට පමණ වීලාය. එම කටයුතු සිදුකරන අතරතුර ගම් වැසියන් විසින් රැගෙන එන සංග්‍රහ කටයුතු බඩපුරා භාරගන්නට සිරා කැමැත්තෙන්ම ඉදිරිපත්වන  අතර එවන් තමුන් දන්නා කියන වැඩ කටයුත්තකට හැරුණකොට නොදන්නා වෙදකම් කරන්නට ඉදිරිපත්වීම සිරාගේ පුරුද්ද නොවේය. එම නිසා විදුලි ආලෝක කටයුතු වලදී සිරා වැඩිමනක්ම කරන්නේ ගොඩයා හෝ රංජිත් කියනා දෙයක් කියනා ආකාරයෙන් ඉටුකිරීම පමණය. 

එදින රාත්‍රිය ආරණ්‍යයේ බණ මඩුවේ ගතකරන්නට මිතුරන් තිදෙනාටම සිදුවන්නේ ගොඩයා පසුදා හීල දානය පිළියෙළ කරන්නට භාරගත් නිසාය. ලග්ගල ප්‍රදේශය මදක් සීතල ප්‍රදේශයක් බැවින් සිරා ගොඩයාට බැනවදිමින් බන මඩුවේ බංකුවක් උඩ නිදන්නට වූ අතර පසුදා හීල දානයට අවශ්‍ය කළමනා සකස් කිරීම වෙනුවෙන් ගොඩයාට මුළු රාත්‍රියෙන් වැඩි කාලයක් නොනිදා පහන් කරන්නට සිදුවෙනවාය. ගමේ සිට එද්දේ හීල දානය වෙනුවෙන් ඕනෑම උදව්වක් සැපයීමට සූදානම් යයි කටමැත දෙඩවූ නිසා අලුයම හතර වෙද්දී සීරාව අවදි කරවන්නට ගොඩයා අමතක කරන්නේ නොමැතිය.

නැගිටපන්..

කරදර නොකර හිටහන් බාන්..

සීතල වතුර බාල්දියක් නාවන්න කලින් නැගිටහන්..

හරි බාන්.. නැගිටින්නම්.. එහෙනම් තේ එකක්වත් හදපන්කෝ..මල වදේ..

තෝ හිතුවද බුරුවො බොට තේ හදන්න මම උඹේ අප්පු කියල.. මගෙන් කුණුහරුප අහන්නේ නැතුව නැගිටලා ළූණු සුද්ද කරලා පොල් ටික ගාල දීපං..

මෙතෙන්ට ගෙනත් දීපන්..

සිරෝ.. මම මීට කලින් දැකල නැහැ නිදාගන්න ගමන් පොල් ගාන්න පුළුවන් හිරමනයක් මේ ලෝකේ තියෙනවා කියල.. මම බොට හිරමෙනෙයි පොල් ගෙඩියයි ගෙනල්ල දෙන්නම්.. නිදාගෙන බැරිනම් ඔලුවෙන් හිටගෙන හරි ගාපන්.. 

උඹේ තියන වදේ බන්.. උඹේ මේ හීල දානයක් බාරගත්තේ නැත්තම් අපි යසට කොහෙන් හරි කාල සැපට ඇඳක නිදාගන්නවනේ බන්..

සිරෝ.. උඹ මේ ගමන ආවේ බඩ පුරා කාල නිදාගන්න උනාට මම මේ ගමන අවේ පන්සලේ ලයිට් වැඩේ කරලා දීල දානේ දෙන්න ඕන නිසාමයි.. ඒ නිසා මට කියල  සීත වතුර බාල්දියක් නාවගන්න කලින් නැගිටලා පොල් ටික ගාල දීපන්..

එලෙසින් සවාදය අවසාන වෙද්දී රන්ජිත්ද නින්දෙන් අවදිවී ළූණු සුද්ද කරනවාය. සිරා නිදි කිරා වැටෙමින් හිරමන කොටය උඩ පොල් ගානවාය. ඒ සියල්ල අවසානයේ ලග්ගල ආරණ්‍යය භූමියේ පළමු වතාවට දානයක් පිළියෙළ කිරීමේ පිරිස වගට ගොඩයා ප්‍රමුක පිරිස ඉතිහාසගත වන අතර හීල දානය අවසානයේ ස්වාමින්වහසේලා සහ මිතරු පිරිස ගමරට බලා පිටත් වෙනවාය. 

ඒ එන ගමනේදී මහියංගනය ප්‍රදේශයේදී ගොඩ වැදුණු නිවසක ආගන්තුක සත්කාර වෙනුවෙන් ටීපෝව මත තැබූ කෙසෙල් ඇවිරිය අනුකම්පා විරහිතව කිහිලි ගන්වාගෙන සිරා වාහනයට ගොඩවෙනවාය. රංජිත් විසින් බලවත් පෙරැත්තයෙන් කෙසෙල් ඇවිරිය නැවත ටීපෝව මතින් තැබීමට උත්සහ කලත් සිරාගේ පිළිතුර වුයේ..

මේ මිනිස්සුන්ට මේ කෙසෙල් කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි බාන්.. මේ මිනිස්සුට කෙසෙල් ඕනෑතරම් තියෙනව.. අනිත් එක මේ මිනිස්සු ආගන්තුක සත්කාර වලට බොහොම ලැදි මිනිස්සු..

එතනින් එහා සිරාට හොඳ නරක කියාදීමේ පලක් නොමැති වූ නිසා ගමට පැමිණෙන තරුම නවතින කිසිදු නිවෙසකට වාහනයෙන් බැස නොයා සිටින්නට ගොඩයාත්, රන්ජිතුත් ඉටාගන්නවාය.

සිරා විසින් කන ලද සුපිරිම කෑම ගැන නොලියා පොස්ටුව අවසන් කිරීම සිරාට කරනාවූ අගෞරවයක් නිසා පොස්ටුව දිග වැඩි වුවත් එයද මෙහිම ලියා තබනවාය..


ගොඩයාගේ අතිජාත මිත්‍රයකු වන ප්‍රසන්නයා එදත් අදත් සංගීත ප්‍රසංග නැරඹීමට අතිමහත් රුචිකත්වයක් දක්වනා එකකු නිසා අහල පහලක සංගීත ප්‍රසංගයක් තිබේනම් එහි යාමට සතියක පමණ කලින් හිටං නාහෙන් අඬනවාය. එක්තරා දිනෙක ප්‍රසන්නයා සභාගත කල යෝජනාවක් ගොඩයාගේ අනුදැනුමක් නොමැතිවම සම්මතවී දුර බැහැරක සංගීත ප්‍රසංගයක් නැරඹීමට පිරිස සූදානම් වීලාය. සංගීත ප්‍රසංග නැරඹීමට යාම ගොඩගේ පුරුද්දක් නොවුනත් සත්කාරක ප්‍රවාහන දායකත්වය දැක්වීමට සිදුවන නිසා ගොඩයාද හරකා දක්කන නියාවෙන් සංගීත පාලුවන් පිරිස ප්‍රසංගය තිබෙන තැනකට බස්සවා ප්‍රසංගය නිමවනතුරු වාහනයට වී සැපට බුදියනවාය. එදින සංගීත ප්‍රසංගය පැවතියේ කුලියාපිටියේ වූ අතර එය සුප්‍රසිද්ධ ගුවන්විදුලි ආයතනයකින් පවත්වන්නක් බැවින් ප්‍රසන්නයා එහි යන්නට අඬන්නේ මාසයක හමාරක හිටන්ය. ප්‍රසංගය පැවැත්වෙන්නේ සිකුරාදා රාත්‍රියක බැවින් ගොඩයාට නිවාඩු  ගැනීමට නොහැකියාව පවසා ගමන මගාරින්නට  උත්සහා කලද ප්‍රසන්නයා ගොඩයාගේ රථය අම්බලන්ගොඩ සිට කොළඹට පදවාගෙන එන්නට ඉදිරිපත්වූ නිසා ගොඩයාගේ වෑයම සාර්ථක නොවෙනවාය. ප්‍රසන්නයා ඒ අකාරයෙන් තම ජීවිතයේ පළමු වතාවට රථයක් පදවාගෙන කොළඹ පමණි උත්කර්ෂවත් කතාව වෙනත් පෝස්ටුවකින් වෙනමම ලිවියයුතු රසවත් කතාවක් බැවින් එම සිද්දි මාලාව වෙනත් පොස්ටුවක්න් ලියවෙනවාය.


සැලසුමට අනුව සියල්ල සිදුවූ නිසා කුලියාපිටියට සැපත්වූ පිරිස සංගීත සංදර්ශන භූමියේ මිනිස් යායක් තුලින් නොපෙනී ගිය වහා ගොඩයා වෑන් රථයට වී නින්දට වැටෙනා අතර නැවත අවදිවන්නේ එළිවෙන් යාමයේ සංගීත සංදර්ශනය අහවර වූවායින් අනතුරුවය. පිරිස නිවෙස් බලා යන්නට සූදානම් අතර සිරා වෙනදාට වඩා වෙනස් ආකාරයකින් භූත දෙඩවීම ගැන වැඩි අවදානයක් යොමු නොවුයේ ගොඩයා හැරුණකොට සම්පූර්ණ නඩයම මදක් අනුමතවී සිටි නිසාය. ඉන් අනතුරුව කුලියාපිටියේ හිටන් අම්බලන්ගොඩ දක්වා ධාවනය වන වාහනයේ සියල්ලෝම සැපසේ නිදන්නෝ වූ අතර සිරා කිසිදු නිදිමතක් නොමැතිව නොනවත්වා කියනවාය. අගක් මුලක් නොමැති ආත-භූත දෙඩවීම අනෙක් මිත්‍රයින් හට වැඩිමනක් ගණනකට නොවුයේ ඔවුන්ද අඩ නින්දේ පසුවූ පිරිස බැවින්ය. 

ගොඩයා සිරාගේ ආත-භූත වලට ඔව්, නෑ, බෑ, වැනි කෙටි වචන වලින් පිළිතුරු දෙමින්ද එකඟ නොවීම බැරි තැන් වලදී හූමිටි තබමින් රථය පදවාගෙන එනවාය. සිරා සිටින්නේ ගොඩයාගේ රියදුරු අසුනට පසුපස ආසනයේ වන බැවින් ගොඩයාට සීරාව නොපෙනෙනා අතර රථයේ අවදිව සිටින්නේ ගොඩයා සහ සිරා පමණය. කොළඹ පසුකර රථය ගාලු පාරට දමද්දේ රථයේ සියල්ලෝම තදින් නින්දේ හුන් අතර සිරා නොනවත්වාම කියවීම කරගෙන යනවාය. යාන්තමට අරුනළු වැටීගෙන එන වෙලාව බැවින් ගොඩයා නිදිමත යන්නට කහට කෝප්පයක් බොන්නට කියා රථය නවත්වනවාය. නැවැත්වූ රථයේ අවදිව සිටින්නේ සිරා පමණක් බැවින් සිරාටද තේ කෝප්පයක් බොන්නට රථයෙන්  බැස එන්නට ආරාධනා කරමින් ගොඩයා රථයෙන් බැස ගියද සිරා තේ කඩය වෙත නොආ නිසා ගොඩයා නැවත රථය වෙත වාර්තා කරන්නේ සිරා නාවේ මන්ද යයි විපරම් කර බලන්නටය. හුටාය.. අනෙකුන් සැවොම සුව නින්දේ පසුවුවත් ගොඩයා රථයේ නොමැතිවත් සිරා පෙර පරිදිම තොර තෝංචියක් නොමැතිවම කියන්වනවාය. තව ටිකක් ලංවී බැලුකල සිරා කියවන්නේ තනිවම වග ගොඩයාට වැටහෙන්නට වැඩි වෙලාවක් ගතවන්නේ නොමැතිය. එයින් කලබලයට පත් ගොඩයා රථයේ නිදන සංගීත ලෝලීන් සියල්ලෝම අවදි කරවනා අතර සියල්ලෝම වටවී සිරාගේ කතාවට ඇහුම්කන් දෙනවාය. 

ඉන් අනතුරව අම්බලන්ගොඩ වෙත ධාවනය වන රථය ගිලන් රථයක ස්භාවයක් ගන්නා අතර සියල්ලෝම සිරාගේ කතාව නවත්වා සීරාව අවධි කරවන්නට උත්සහ කරනවාය. එහෙත් ඒ කිසිවක් නාවෙනා ගානට සිරා ඇස් පියාගෙන තම කතාව දිගටම කරගෙන යනවාය. එම තත්වය යටතේ සිරව නිවසට රැගෙන යාම සියල්ලන්ගේම හිස ගසා දැමෙනා වර්ගයේ සුවිසයිඩ් මිෂන් එකක් වන නිසා සිරා ප්‍රකුර්ති සිහියට පැමිණෙනා තුරු කළුතර කැලිඩෝ වෙරළේ කාලය ගත කරන්නට සැවොම එකඟ වෙනවාය. එම තීරණයට අනුව කැලිඩෝව වෙත රථය පැදවෙනවාය.

එදින සවස් භාගය වෙද්දී සිරා යම්තාක් දුරට ප්‍රකුර්ති සිහියට පැමිණෙන අතර සිදුවී ඇති සන්තෑසිය සිරාගෙන් අසාගන්නේ ඉන් අනතුරුවය..

මොකෝ බන් උඹට  උනේ..

මට...පිස්සුද බොලාට.. මට මුකුත් උනේ නැහැ..

එහෙනම් මෙච්චර වෙලා උඹ ඉවරයක් නැතුව කියෙව්වේ..

පිස්සුද බන්..

හරි.. දැන් කියහන් උඹ මොනවද අපි බීපුවට අමතරව අපිට හොරෙන් බිව්වේ..

මුකුත් බිව්වේ නැහැ බාන්..

එහෙනම් මොකෝ උඹට උනේ..

බිව්වේ නම් නෑ.. ඒත් පොඩි දෙයක් කෑවා..

මොනාද..

නම දන්නේ නැහැ බන්.. මාර්කට් එකේ එකෙක් ගෙනත් දුන්නේ සංගීත බලන ගමන් කෑවාම මාර ෆන් එකක් ගන්න පුළුවන් කියල..

කෝ දැන් උඹ කාපුවා..

මේ තියෙන්නේ..

සිරා සාක්කුවෙන් ඇද ඉටිකොළ පැකට්ටුවක් පිරිසට පෙන්වනවාය..

" කැටවල ශ්‍රීමත් මදන මොදකය"

හුටා.. 

මදන මොදක පැකට්ටුවෙන් හරි අඩකට වඩා සිරා කා දමලාය. හරියටම කියනවානම් ප්‍රමාණයෙන් විස්සක් තිබෙනා මදන මෝදක පැකට්ටුවෙන් මදන මෝදක දෙකක් ඉතුරු වන්නට අනෙකුත් මදන මෝදක දහ අටක් සිරා තනිවම ගිලලාය. එහෙත් කොහේදෝ වාසනාවකට වසර හතරකට එපිටදී කල් ඉකුත්වී තිබු මදන මෝදක පැකට්ටුවක් නිසා සිරා එතනින් බේරුනා නියා කල් ඉකුත් නොවූ මදන මෝදක පැකට්ටුවක් වූවානම් සිරා අංගොඩ රෝහලේ පර්මනන්ට් රෙසිඩන්ට් වන්නේ එදාය.