Saturday, March 4, 2023

අම්පාර ගමන

 




කලින් පොස්ට් එකේ තිබ්බ පුස්තකාලේ වැඩේ කෙරෙමින් තිබුනට ගොඩයා ලංකාවට එද්දී ඒක ඕපන් කරන තැනට හදීල තිබුනේ නෑ.. ඒ නිසා ගොඩයාගේ ලංකාගමනය  ප්ලෑන් කරලා ලංකාවට ගිය ගමනක් නෙවෙයි. සති තුනක් නිවාඩු දාගෙන අතිං ලක්ස තුනක් විතර දීලා ටිකට් එකත් අරගෙන ලංකාවට ගිහිං ආයෙත් පීසීආර් වලටයි හෝටල් වලටයි ලක්ස ගානක් දීලා ලංකාවෙ හෝටලේක සති දෙකක් ලගා ගහන්න කාටද ආයුබෝවන්ඩ පිස්සු තියෙන්නෙ. ආං ඒ නිසා ගොඩයා කාලාන්තරයක් බලාගෙන හිටියෙ කොරන්ටීන් ගරානාව අහවර වෙනකල් ලංකාවට යන්න. ඕං කොහොමින් කොහොමහරි කොරන්ටීන් මරාලෙත් අහවර වෙලා ගොඩයා ලංකාවට සැපත්වුනා 2021 දෙසැම්බර් මාසෙ මැදට වගේ වෙන්න.

කොහේදෝ කරුමෙකට ඒ මාසෙම අපේ බතලයත් ලංකාවට වැකේශන් ඇවිත්ලු ඕන්.. අපේ ජීවනයත් රට රස්සාවට සමුදීලා එයැයිගෙම සංචාරක නිකේතනය බලාකියාගෙන ඉන්න ලංකාවට ගිය නිසා ඕං ඌත් ලංකාවෙ. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමයි අම්පාරෙ පුස්තකාලේ විවෘත කරන්න ලෑස්තියි කියන ආරංචිය එන්නේ. අම්පාරෙ පුස්තකාලෙ ඕපනින් එකට සංවිධායක මන්ඩලය විසින් බැච් එකට ඕපන් ඉන්විටේශන් එකක් දැම්මට කාටද ආයුබෝවන්ඩ තකහනියේ අම්පාරෙ දුහන්න ඉස්පාසුවක් තියෙන්නෙ. පුස්තකාලයක් විවෘත කරන එක පිට දාලා අම්පාරෙ ගිහිං රවුමක් ගහලා ආතල් එකක් අරං එන්න ආසා උනත් ගෙවල්වල ගෑනු ඔව්වට ඉඩ දෙයිද අප්පා.. ඕං ඒ වගේ වාතාවරණයක් යටතේ අපි එකතුවෙලා හදපු පුස්තකාල ගොඩනැගිල්ල දරුවන්ට බාරදෙන දිනේ ලංවුනා. කාට බැරි උනත් ගොඩයා එකෙන්ම අම්පාරෙ යන්නයි ලෑස්තියි. නාහේ ගාවට වැඩ නිසා යන එන වෙලාව ගැන කලින් තීරණයක් ගන්න තිබ්බ නොහැකියාව මිසක් අම්පාරෙ යනවා කියන එකනම් ඉතිං ඉස්තිරේටම ඉස්තිරයි. වැඩේ යෙදීලා තිබ්බේ දෙසැම්බර් දහතුන්වෙනිදාට නිසා අවසානයේ ගොඩයාගේ අම්පාරෙ යෑම තීරණය උනේ 12 වෙනිදා හවස පිටත්වෙන ආකාරයෙන්.  අම්පාර අභයපුරට අම්බලන්ගොඩ හිටං කිලෝමීටර තුනසිය ගානක්.

ඕපන් කරනවා කිව්වා දවසෙම හිතට දැනිච්ච ආතල් එකට ගොඩයා අනිවා එනවා කිව්වට දහ තුන්වෙනිදා ලං වෙද්දී ගොඩයා උන්නේ අම්පාරෙ යන්න පුළුවන් වාතාවරණයක නෙවෙයි. ගෙදර යස අපූරුවට තිබ්බ බාත්රූම් එකක් ටිකක් අලුත් කරන්න ඕන කියලා බාසෙක් අල්ලාගෙන වැඩේ පටන් ගත්තේ දවස් අටෙන් කරලා දෙනවා කියන පොරොන්දුව පිට උනාට වැඩේ සති හතරක් ආසන්නේටම ඇදුනා කියහන්කෝ. ඒ වැඩේ ඒ වෙද්දීත් සති තුනකට ආසන්න වෙන්න ඇදිලා තිබුන නිසා දවස් දකකට අම්පාර් යනවා කියන්න ලේසි පහසු කටයුත්තක් නෙවෙයි නෙව. ඒත් වගේද අනිවාර්යෙන් එනවාමයි කියලා දීපු පොරොන්දුව. ඉතිං කොහොමද නොගිහිං ඉන්නේ.. යන්න වෙන්නෙත් රෑ නිසා ගොඩයා ඕපන් ඉන්විටේෂන් එකක් දානවා තුන්දෙනෙකුට අම්පාරෙ යෑමට ගමන් පහසුකම් ඇත කියලා.. ජිම්බයි බතලයයි යෑමට ටිකක් විතර ඕකේ උනාට උන්නැහේලා දෙන්නගෙම ගමන තිබ්බේ වැට  උඩ. ගොඩයා නොගියොත් තඩියා යුද ප්‍රකාශ කරන්න නියමිත නිසා දහතුන එළිවෙන්න විනාඩි පහකට කලින් හරි ගොඩයා අම්පාරෙ අභයපුර සිටිය යුතුමයි.

අපේ තඩියා සහ නුවන්, තඩියගෙ වාහනේ කොම්පීතර කෑලි වගේකුත් පටෝගෙන දහවෙනිදා හවස් අතේ අම්පාර බලා මංගැච්චුවේ කොම්පීතර ටික ගොඩ දාන වැඩේ භාරගෙන තිබ්බ නිසා. තඩියා පානදුර හිටං හයිවේ එකෙන් ගාලු පැත්තට පැමිණෙද්දී නුවන් ගොයියවයි, උන්නැහේගේ කොම්පීතර කෑලි බෑලියි  ඔක්කොම පටෝගෙන ගොඩයාට සිද්දවෙනවා උන්දෑව කුරුඳුගහ හයිවේ එන්ට්‍රන්ස් එකටත් ඇරලවන්න. ගොඩයාගේ වාහනේ තිබ්බ බඩු ටිකයි නුවන් ගොයියවයි තඩියාගේ කාර් එකට පැටෙව්වාම උන්දැගේ කාර් එකේ පිටිපස්ස බිම ගෑවෙන්න ඔන්න මෙන්න. තඩියා හිපෝපොට්මස් වගේ  ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න නිසා ඉස්සරහ උඩ උඩ යන්න නෑ පස්සට කොච්චර බර පැටව්වත්. ඔන්න ඔය ආකාරයෙන් තමා උන් දෙන්න අම්පාර බලා පිටත් වෙන්නේ. 

ප්‍රධාන සංවිධායකතුමා හෙවත් රවී ඕපනින් එකට  කලින්දා අම්පාර බලා ගියේ තනියම නෙවෙයි තමුන්ගේ වයිපරෙත් එක්ක. හයිවේ එකේ දාලා අම්බලන්ගොඩ හිටං අම්පාරට යන්න ගතවෙන්නෙ පැය හත අටක් නිසා ඔය ගමන අලුයම් කාලයේ යන්න තිබුනත් දරුවන් දෙන්නත් ගෙදර දාලා වයිපරෙත් අරං කලිදා අම්පාරෙ ගියේ දඹුලුත් ගිහිං තලගොයිත් මරං එන වගේ වැඩකට කියලා තමා රට්ටු කියන්නෙ. රට්ටු කීවෙ සමසංවිධායකලා දෙන්නා. උන් දෙන්නා කීව කතාව ටිකක් විතර සාධාරනේට ගන්න පුලුහං වෙන්නෙ, අපේ ප්‍රධාන සංවිධායක තුමා රෑ නවතින්න තෝරාගන්නෙත් අරුන් දෙන්නා නැවතිලා හිටපු බජට් හෝටලේම නොවෙන වෙනත් සැප පහසු හෝටලේක නිසා. උන්නැහේ අතිං වියදං කරලා නවතින හෝටලේ උන්නැහේගෙම තීරණයක් නිසා එව්වට ඉතිං කාටත් මුකුත් කියන්න බෑ. කොරෝනා නිසා දරුවෝ දෙන්නා ගෙදර දාලා ආවා කීවාට අපේ සම සංවිධායකලා දෙන්නනම් ඉතිං ඒ ගැන කියන්නෙ කට කැඩිච්ව කැත කතාම තමා. සමහරවිට ඉරිසියාව වෙන්ටෑ...😜

වැඩ අධික වීමත්, නැවත හිටපු රට බලා යන්නට තියෙන්නෙ සතියකටත් අඩු කාලයකුත් නිසා ගොඩයාට ගමන් දෙකක් ඇරියස් ඒ  වෙද්දී. පලවෙනි එක තමා කතරගම කිරිවෙහෙර වැඳ පුදාගැනීම.. දෙවැනි එක තමා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වැඳ පුදාගැනීම..  ඒ වැඩ දෙක්ත් ඔලුවේ තියාගන තමා ගොඩයා අම්පාරෙ යන්ට ලැස්ති වෙන්නේ.


කොහොමින් කොහොම හරි ගොඩයයි බතලයයි, ජීවනයයි අම්බලන්ගොඩින් පිට වෙද්දී රෑ හතයි. බතලයා ආවේ තනියම නෙවෙයි කියහන්කෝ. බතලයාගේ වයිපරේගේ අක්කගේ පුතාන්ඩියත් බතලයත් එක්ක ආපි. බතලයා  යන්නේ කොහෙද කියල ෂුවර් නැති නිසා සැකේට එව්වාදෝ කියලා සැක සහිත උනත් කොලුවා අපි එක්ක ගියේ දෙබරවැවට විතරයි. කොල්ලා වැඩ කරන්නේ දෙබරවැව පුන්කලස තියන බැංකුවේ. මෑන්සුත් එදාම බෝඩිමට යන්න හිටපු නිසා දෙබරවැවෙන් බස්සගෙන යන්න එක්ක ආවා කියලා තමා බතලයා කීවේ. නිකං යන වාහනේ කොල්ලාව මගින්  බස්සගෙන යන එක මහ කජ්ජක් නොවෙන නිසා අපිට ඉතිං ඔකේ මහ ගානක් නෑ.. 

රෑ පානෙ අම්පාර ගමන සමහර තැන් ආනන්දන්දජනකයි.. සමහර තැන් ත්‍රාසජනකයි.. සමහර තැන් විනෝදජනකයි.. ආනන්දය, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි අම්පාර ගමනේ විස්තරය වෙනත් බ්ලොග් පොස්ටුවකින් ලියන්න ඕන. මොකද කියනවනම් එකේ විස්තර ගොඩයි. බතලයාගේ නෑනාගේ කොලුවවත් දෙබරවැවෙන් බස්සගෙන කතරගම කිරි වෙහෙරත් වැඳගෙන අපි සැට් එක අම්පාරට ලඟා වෙද්දී එළිවෙන්න තුනහමාරයි. අපේ තඩි එකාවයි නුවන් හාදයයි නැවතිලා ඉන්න හෝටලේට ගිහිං වදෙන් පොරෙන් උන් දෙන්නව ඇහැරවාගෙන හෝටලේ අයිතිකාරයාවත් ඇහැරවාගෙන තවත් කාමරයක් ඉල්ලගෙන අපි නින්දට වැටෙද්දී හතරහමාර පහු.

පුස්තකාලයේ ඕපනින් එක උදේ අටට. අම්පාරේ හිටං අභයපුරට තවත් කිලෝමීටර විස්සක විතර දුරක් තියන නිසා උදෑසනින් පිටත් වෙන්ටත් ඕනෙලු. කාමරේකට සල්ලි ගෙවලා පැය දෙකක් නිදාගෙන පාන්දර නැගිටලා ගෙස්ට් හවුස් එකේ අයිතිකාර අයියා හදලා දීපු සසම සස ටී එකත් බීලා අපිලා ලෑස්තිය අභයපුර යන්න. ලෝකෙ කොහේ ගියත් අම්බලන්ගොඩ එකෙකුයි මුස්ලිම් එකෙකුයි ඉන්නවා කියන කතාව ඇත්ත කියලා ගොඩයා කීප විඩක්ම අත්දැකලා තියෙන නිසා ගොඩයා ඒ ගැන ඒ තරම් පුදුමයක් නෑ. බැලුවාම ගෙස්ට්හවුස් එකේ අයිතිකාර අයියන්ඩිත් අම්බලන්ගොඩ ධර්මාශෝකෙට ගිය සීනියර් පොරක් කියහංකෝ. එයයිගේ සහ බිරින්දෑගෙ සත්කාර ඉතිං ඉස්තරම් . 

පාන්දරම වදෙන් පොරෙන් නැගිටලා නා කියාගෙන අපි යනවා අම්පරෙ හෙලබොජුන් එකට. උදේ හයාමාරට කොහොමද ආයුබෝවන්ඩ කන්නෙ. ගොඩයානම් කීවෙ කන්න බෑ උදේ වැඩියි කියලාමයි. ඒත් ඉතිං තඩියාගෙ වදේට වාහනෙන් නොබැහැ හරි නැති නිසා ඕං ගොඩයත් බැහැලා ගියා අකමැත්තෙන්. බැලුවාම යකඩෝ  ආං බ්‍රෙක්ෆස්ට් නම් බ්‍රෙක්ෆස්ට් . ලිපෙන් බාලා කෙලින්ම ටේබල් එකට ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි. පාං, බත්, කිරිබත්ද, කැවුම් කොකිස් අතිරසද, තොසෙ ඉඳි ආප්පද , ආප්ප පිට්ටුද , උඳුවැල්, හැලප, කෙසෙල්ද , මෙකී නොකී ගොඩාරියක් ජාති කියලා ලියලා නිම කරන්න බෑ. උදේ වැඩියි කීවට, බඩගින්නක් නෑ කීවට ගොඩයත් කිරිබත්ද තෝසෙද ආප්පද පිට්ටුද සියල්ලටම අඩු නැතුව වගකීවා ලංකාවෙන් පිට හිටපු මාස තිස් දෙකේ ඇරියස් එක කවර් වෙන්නම.. රවීගෙ බිරින්දෑ හිටි නිසා පොඩ්ඩක් වගේ මැනර්ස් ඉතුරු කලාට පස්දෙනා කාපු කෑමට හෙලබොජුන් විකුනන උදවියට ගනන් හදාගන්න බෑ . අපි ඔක්කොම කාපු දේවල් එකතු කරත් තඩියා කාපු දේවල් ඊට වැඩි පැත්තට තමා කවුන්ට් එක සෙට් උනේ කෑලි ගාන ගනන් හදද්දි. 

එහෙව් ආකාරයෙන් කාලා කොහොම ඩ්‍රයිව් කරන්නද .. ආයෙම ගෙස්ට් එකට ගිහිං නින්දක් දාපං කියලා හිත කිව්වට එහෙම බෑ අභයපුර විද්‍යාලයේ විදුහල්පතිතුමාත් , ගුරු මන්ඩලයත්, දරුවනුත්, දෙමාපියනුත් බලාන ඉන්නවනේ පුස්තකාලය විවෘත කරන අමුත්තෝ ටික එනකල්. 

අපිලා ඉතිං හිස් බිල්ඩිම උත්සවාකාරයෙන් ඉස්කෝලෙට බාරදීලා ආපහු ගම් රටවල් බලා ආව. ගොඩයානම් ජිම්බාවත් වදෙන් පොරෙන්  ඇදගෙන අම්පාරෙන් අනුරාධපුර ගියා. තඩියා නුවන් ගොයියවයි බතලයාවයි දාගෙන අම්බලන්ගොඩ ආවා. අපේ රවී මොකක්දෝ වාහනේ ඉන්ශුවරන්ස් ප්‍රශ්නයක් ගැන කියාගෙන ඉන්ශුවරන්ස් එකට යනවා කියලා අම්පාරෙ නැවතුනා.. රට්ටුනම් කීවෙ බිරින්දෑවත් ඇදගෙන ආයෙම හෝටලේ පැත්තෙ ගියා කියලාමයි. රට්ටු කීවෙ සමසංවිධායකලා මිසක් අපිලානම් නෙවෙයි. මේක කියවන උඹලා අපේ රවීට මේකෙ කොමෙන්ට් වලින් අසික්කිත කතා ලියනවා නෙවෙයි ඕං.

ගොඩයා ජිම්බාවත් ඇදගෙන අම්පාරෙන් පොලොන්නරුව හරහා අනුරාධපුරයට යන ගමනේ අතර මැද බතලයාගෙන් ආපු දුරකථන ඇමතුමකින් කියැවුනේ තඩියා විසින් පදවාගෙන යන කාර් එකට පියාජියෝ ත්‍රීවීලුත් ඉස්සර කරනවා කියලයි... වැඩිදුර විස්තර හොයලා බැලුවාම අම්පාර අභයපුර හිටං කොලඹ යන කාර් එක ඇතුලට තණමල්විල පැත්තෙන් හුලං පාරක් හමලා... කොහොමින් කොහොමහරි ගොඩයයි ජිම්බයි අනුරාධපුරයට එද්දි හවස හය වගේ වෙන්ටෑ... ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන රුවන්වැලි මහා සෑයත් වැඳ පුදාගෙන ඊලඟට ගොඩයයි ජිම්බයි යන්නෙ සාලියපුර ඉන්න ජිම්බාගෙ යාලුවෙක් හොයාගෙන... එහෙට යද්දි එහේ ලැයිට් නෑ කියහංකො... වදෙන් පොරෙන් ඒ ගෙදරින් ලැබුන සංග්‍රහ සත්කාරත් භුක්ති විඳලා ජිම්බාවා සහ ගොඩයා අනුරාධපුරයෙන් පිටත් වෙද්දි රෑ නවය පහු...

පුත්තලං පාර දුර උනාට දඹුල්ල පාරට වඩා ගමන ඉක්මන් නිසා ගොඩයා පුත්තලං පාරෙ එන්න පිටත් උනා... ජිම්බාව නම් මගක් එද්දි දොයියපතං... ගොඩයත් හැකි උපරිමයක් ඇවිත් ඇවිත් ඇවිත් බැරිම තැන පුත්තලම පහුවෙලා සූටි ඇලර්ට් එකක් දැම්ම... පැයක් හමාරක් දොයියලා අහවර වෙලා ආයෙමත් පැය දෙකක් වගේ ඇවිත් කටුනායකින් හයිවේ එකට දාලා ආයෙම නැවැත්තුවේ අලුත්ගම රෙස්ට් ඒරියා එකේ... ආං ඒ වෙලාවෙ තමා අනුරාධපුරයෙන් නින්දට වැටුන ජිම්බා ඇහරුනේ... රෙස්ට් ඒරියා එකෙන් නෙස්කැෆේ එකක් බීලා ආයෙම පිටත් වෙලා ජිම්බාව උන්නැහේගෙ හෝටලේට බස්සද්දි උදේ පහමාරයි... ටවුන් එකට ගිහිං පැස්ටොල් ටිකත් ෆුල් කරගෙන ගොඩයා ගෙදර එද්දි හය වගේ වෙන්ට ඇති... නා කියාගෙන ඇඳට වැටෙද්දි හයාමාරයි... 

හතහමාර වෙද්දි... බාත් රූම් එක විනාස කරපු බාස්ලා වැඩට ඇවිත්... එතැන් පටං ආයෙම හවස් වෙනකල් ඉතිං කඩේට පලයං චූං චෑං... උදේට කෑම චූං චෑං.... සිමෙන්ති ගෙනෙං චූං චෑං.... පයිප්ප ගෙනෙං චූං චෑං... ඇණ ඉවරයි චූං චෑං.... ග්‍රවුට් ගෙනෙං චූං චෑං.... කෑම ගෙනෙං චූං චෑං.... වැලි ඉවරයි චූං චෑං.... හවසට තේ චූං චෑං..  මේ විදිහ හොඳයිද චූං චෑං... අර විදිහ හොඳයිද චූං චෑං... ආයෙ ඉතිං දන්නවනේ ගෙදරක වැඩක් කරන්න ගියාම බාස්ලා දෙන වද තිස් දෙක... ඉතිං කොහේද ඇහැක් පියාගන්නෙ සනීපෙට... ගොඩයා ලංකාවට ගිය දවසෙ නෑවයින් පස්සෙ ඒ බාත් රූම් එකේ ආයෙ නාගන්න ලැබුනෙ ගොඩයා ලංකාවෙන් පිටත්වුන දවසෙව් රෑ තමා... දවස් අටෙන් හදලා දෙනවා කිව්ව බාත් රූම් එක සති හතරෙනුත් ඉවරයක් උනේ නෑ කියහංකෝ...

ඕං ඔහොමයි අපේ අම්පාරෙ ගමනේ සාරාංශය... පුස්ථකාලයේ සම සංවිධායකලා දෙන්නනම් කීවෙ අම්පාරෙ ගමනත් එක්ක අපේ ප්‍රධාන සංවිධායක තුමාගෙ ගෙදර ජනගහනය වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලාමයි... ගොඩයා ඉතිං අයිංසක එකා නිසා ඔව්වට මුකුත් හා හූ කියන්න ගියේ නෑ...

අම්පාර ගමනෙ ත්‍රාසජනක කෑලි ටික පසුව ලියන්නම් ... රෑ එකට දෙකට බුත්තල කැලේ මැද්දෙ අලි සෙල්ලම් නිසා පහුවදා උදේ  බතලයා වාඩිවෙලා හිටපු සීට් එක හෝදන්න උන කතාව ලියන්නම් අදහෙටම වීඩියෝත් එක්කම......



Thursday, January 5, 2023

නාකි විසේ

මං දිහා බලන මිනිස්සුන්ගෙ අනුමානයට අනුව මට වයස හැටක් වගේ පේනවා උනාට මට තාම හිතෙන්නෙ මට වයස දහ අටක් විස්සක් ගානට... මේක කියවන උඹලා මට කියාවි තවුසෙ වල්ම වල් නාකියෙක් කියල.. ඒ උනාට ගත වයසට ගියාට මිනිස්සුන්ගෙ හිත වයසට යන්නෙ නෑ... දැං උනත් ඇහැට කනට පේන ගෑනු පරානයක් දැක්කාම මට එලෝ මෙලෝ නැතුව ගිහිල්ල උන් හිටි තැන් අමතක වෙනව... එව්ව ඉතිං සොභාවික දේවල් කියලා දැං හැදෙන එවුන්ට තේරුං කරන්න බෑ... උං හිතන්නෙ හෑඟීම් දැනීම් තියෙන්නෙ උන්ට විතරයි කියල... හිත වයසට නොගිය පිරිමියෙක් විදිහට තාමත් මං තරුණයි කියලමයි මම හිතන්නෙ... උප්පැන්නෙ තියෙන උපන්දිනේ නිකම්ම නිකම් ඉලක්කම් ටිකක් විතරයි වයසට යන්න අකමැති මිනිස්සුන්ට... එව්ව ඉතිං අද කාලෙ එවුන්ට තේරෙන්නෙ නෑ... උං කියන්නෙම මම වල් නාකියෙක් කියල... පිට එවුන් විතරක්නම් මැදෑ... මගේම පුතාලා දෙන්නත් කියන්නෙ මට මදන විසේ කියල... එව්ව ඉතිං මගේ ඇඟේ ඇලෙනවා කියලයැ... 


පෙම් කුරුල්ලෝ සරා සිහින ලෝකේ..

සොඳුරි රූප නාරි ලතා කැන්දලා..

මුව පුරා හිනැහිලා.. තුරුලුවී නැලවිලා..

පෙම් කැදැල්ලේ ලැගුම් ගන්නවා...


පිණි ජම්බු ගෙඩිය වගේ ඇහැට කනට පේන ගෑනු දැක්කම මටත් තාම සිංදු කෑලි මතක්වෙනව... ඇම් ඇස්ලාගෙ ජෝතිලාගෙ සිංදු, දෙමල පිචැර්වල තියෙන සිංදු ඇරුනාම අලුතෙං එවුන් කියන රේඩියෝ එකේ ටීවි එකේ යන සිංදු මට මතක හිටින්නෙම නෑ... එව්වත් සිංදුද අප්පා ඉස්සර සිංදු එක්ක... ආං සිංදු...


අපේ ලොකු එකා ගෑනියෙක් ගෙනෙයි කියලා මං කීයවත් විස්සාස කරේ නෑ... ඌ මගේ එකෙක් උනාට උගේ ඉනෙන් පහලට නාඩි වෑටෙන ස්භාවයක් කවදාවත් පෙන්නුං කරලා තිබ්බෙ නෑ... මහපොලොව එක්ක හැප්පිලා කීය හරි හොයාගන්නවා ඇරුනාම ඌ ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බැලුවා කියලා මම හිතන්නෙ නෑ... තනිකඩ පිරිමිම තුන්දෙනෙක් ඉන්න ගෙදරකට ලොකු එකා පිණි ජම්බු ගෙඩියක් වගේ ගෑනියෙක් ගෙනාවම ඒ ගෙදර ඉන්න අනික් පිරිමි පරාණ කොයි සා අසරණ භාවයකට පත්වෙනවාද කියලා ලොකු එකාට තේරුමක් නෑ... ගෑනු සබ්ජැක්ට් එකේ වැඩි දැනුම් තේරුමක් ලොකු එකාට තියෙන්න ඇති කියලා මං හිතන්නෙත් නෑ... පුංචි කාලෙ ඉඳන්ම අම්මෙක්වත් නැතුව හැදුන එකෙක් කොහොමද ගෑනු ගැන දන්නෙ... 


දෙවැනි එකා ත්‍රී වීල් රස්සාව කරන එකා නිසා ඌ ගැන මගේ අදහස ලොකු එකාට වඩා වෙනස්... ඌ කරේ ඉතිං ගෑනු ආස්සරේ කරන්න ඕනෑතරං ඉඩකඩ තියෙන රස්සාවක් නිසා ඌට ගෑනු ගැන මං උගන්නන්න ඕන කියලා මං හිතන්නෙ නෑ... ඒත් ඉතිං ඌ තාම ඇටෙං පොත්තෙං ආපු එකා නිසා ගෑනුන්ගෙ මායං ගැන ඌ දන්නෙ නෑ කියලනම් මට හොඳටෝම සුවර්... හැබැයි ඌ ලොකු එකා වගේ, කුන්ඩවාල කරේ එල්ලගන්න තරම් මෝඩයෙක් නෙවෙයි කියලයි මගේ වැටහීම...


ලොකු එකාට වයස හතලිස් පහක් ලං වෙද්දි පොඩි එකාට තාම වය්ස විස්සක් වගේ ඇති කියලයි මගේ අනුමානය... තාත්ත උනාට මට ඕකුන්ගෙ වයස ගැන ඒ තරම් නිච්චියක් නෑ... 


ලොකු එකා ගෙනාපු ගෑනි සුද්දි... ඒකිට හැමෝම කිව්වෙ සුද්දි කියල.. ඒකිගෙ ඇත්ත නම මම තියා ලොකු එකාවත් දන්නවා කියලා මංනං හිතන්නෙ නෑ... සුද්දි පිණි ජම්බු ගෙඩියක් වගේ ලස්සනයි කියහංකො... ලොකු එකා ගෙනාපු ගෑනි නිසා ලොකු එකා ගෙදර ඉන්න වෙලාවට මං ඒකි දිහා කෙලිං බලන්නෙ නෑ... ලොකු එකාත් ඕක චාරිත්‍ර වාරිත්‍රෙට ගෙනාපු අඹුවක් නෙවෙයිකොට මං ඉතිං මක්කටෙයි ඒකිගෙ ඇඟ පසඟ දිහෑ කෙලිං බලන්න භය වෙන්නෙ... ඒත් ඉතිං ලොකු එකා ඉන්න වෙලාවට මං ඉන්නෙ සුද්දිව ගනන් නොගන්න ගානට.. එහෙම හිටියට සුද්දි දැක්කාම මටත් පෙම් සිතුවිලි පහල වෙන්නෙ නැත්තෙම නෑ ඉතිං..


කුරුල්ලන්ට ඉගිල්ලෙන්න කියාදෙන්න එපා එන්න පියාඹන්න අපිත් දන්නවා...

යාලු වෙන්න ජෝඩු වෙන්න සිනාසෙන්න පෙම් කරන්න මල්සරාව අපිත් දන්නවා...

ඔයා එයිද අද කොහේද මග බලාන ඉන්නවා..

දුකක් දෙන්න එපා පෙම් කුමාරී...

කුරුල්ලන්ට ඉගිල්ලෙන්න කියාදෙන්න එපා එන්න

මල් සරාව අපිත් දන්නවා...


වයස කියන්නෙ ඉලක්කම් ටිකක් විතරයි කියලා හිතෙන්නෙ නැද්ද සුද්දි ගැන මතක් වෙද්දි මට ඔලුවට එන සිංදු කෑලි දිහා බැලුවාම... හහ් හහ් හා...


ටවුමෙ ගෙස්ට් එකක ඉඳලා අපේ පොඩි එකා ආතල් එකට ත්‍රීවීල් එකේ දාගෙන ආපු සුද්දිව බඳින්න ඕනෙමයි කියලා ලොකු එකා පොලොවෙ හැපෙයි කියලා පොඩි එකා හීනෙන්වත් හිතන්න නැතුව ඇති මයෙ හිතේ... දෙන්නගෙං මොකා ගෙනාවත් ඉතිං ගෙදරට පිණි ජම්බු ගෙඩියක් වගේ ගෑනියෙක් ගෙනාපු එකට මමනං හිත යටිං සෑහෙන මනාපයි... ඒත් මං ඒක පෙන්නන්න ගියේ නෑ... ඒක පෙන්නුවොත් අපේ ලොකු එකා කීයටවත් දවල් දවසෙ සුද්දිව මා එක්ක තනියම දාල රස්සවට යන්නෙ නෑ...


සුද්දිව ගෙනාපු එක තනිකරම ලොකු එකාගෙයි පොඩි එකාගෙයි තනි කැමැත්තට උන කසාදයක්...උන්දෙන්නා අයියා මලෝ වෙච්චි, උන් දෙන්නා මාමා බෑනා වෙච්චි, උන් දෙන්නට හොඳනම් ආයෙ මගේ මොකෝ... ඒ කතාවට පොඩ්ඩක් මොලේ පැටලුනා නේද... ඔව් නේන්නම්...ඕක කොහොම ලිහුවත් උන් දෙන්නගෙ නෑකම අවුල් සහගතයි...


උන් දෙන්නගෙම අප්පොච්චි මං තමා... ඒකෙ ආයෙ දෙකක් නෑ... ලොකු එකාට නෑ කමට පොඩි එකා මල්ලි වෙනව... පොඩි එකාට නෑකමට ලොකු එකා තමුන්ගෙම අයිය... ඒත් පොඩි එකා පුංචි කාලෙ ඉඳන්ම ලොකු එකාට කතා කරන්නෙ මාම කියල.. ඒක එහෙම වෙන්නෙ උන් දෙන්නගෙ නෑකම අයියා මල්ලි මාමා බෑන සාම්පලේ එකක් නිසා මිසක් වයස පරතරේ නිසා නෙවෙයි... ඒක ඉතිං මේ වගේ පොඩියට ලියලා පාහැදිලි කරන්න පුලුවන් නෑකමක් නෙවෙයි... ඒක පැහැදිලි කරොත් මේක කියවන තවුසෙලා මට කියයි තෝනං තියන්න වටින්නේ නෑ වල් නාකියා කියල... හහ් හහ් හා.... උඹලා මොනවා කිව්වත් මං තාම තරුණයි...මං දන්නෙ එච්චරයි... 


ඒ විස්තර අස්සෙ මට මේ ඊයෙ පෙරේදාවක වෙච්ච කෑත වැඩක් කියන්න අමතකවුනා.. ලියන්නත් මොකද්ද වගේ උනාට ඕනොහේ ලියලා දානව... සුද්දිට පීල්ලෙ නාන්න බෑ කියලා නාහෙන් අඬපු නිසා ලොකු එකා එලියෙන් බාත් රූම් එකක් හැදුවා කියමුකෝ... ලොකු එකා නැති අල්ලපනල්ලෙ සුද්දි නාද්දි මම බාත් රූම් එකේ ග්‍රිල් එකට ඇහැ තියාගෙන සුද්දි

නාන දිහෑ බලන් ඉන්නවා සුද්දිට මාට්ටු කියහංකෝ... කලින් වතාවකත් මාට්ටු වෙන්න ගිහිං පොඩි එකාව මාට්ටු කරලා ශේප් උනා.. මේ වතාවෙනම් ඔන් ද ස්පොට් සුද්දිට මාට්ටු...


උඹලට මගෙයි, ලොකු එකාගෙයි, පොඩි එකා මනියගෙයි විස්තරේ හරියටම දැනගන්න ඕනෙනම්, ලොකු එකා ගෙස්ට් එකකින් ගෙනාපු පිණි ජම්බ්බු ගෙඩිය වගේ සුද්දි ගැන විස්තරේත් දැනගන්න ඕනෙනම්, ITN එකේ සති අන්තෙට විකාශය වෙන " එයා දැං බැඳලා" බලන්නම වෙනව...  ඒක වෙනස්ම එකක්...

Saturday, November 5, 2022

රෝමියෝ ජූලියට් මැරතන් වර්ෂන්...





 ඕං එක්තරා කාලෙක සිකුරාදා දවසක රෑ හතහමාරට  විතර මංතුමාගෙ ගෙදර ගේට්ටුව ලඟ වාහනයක් හෝර්න් කරනවා පලාතෙම නිවැසියන්ට භාධා කරගෙන. මංතුමා ඉතිං හවස් අතේ ගෙදර ඉන්නෙත් බොහොමත් කලාතුරකින් නිසා  ඒ හෝර්න් සද්දෙ නොසලකා හරිනවා ඒක මෙයැයිගෙ ගෙදරට වෙන්ට බෑ කියලා හිතාන.. ඒත් කියහංකෝ අර කිව්ව වාහනේ හෝර්න් සද්දෙ ඉවරයක් නෑ.. මංතුමා ඉතිං ගෙදර ඉන්නවනම් ලේසි පාසුවට කාමරෙන් එලියට නේන ඩෑල් එකක් නිසා ඔන්නොහේ කියව කියවා හිටපු සර්ලොක් හෝම්ස්ගෙ කතාන්දරයක් කියවාගෙන පාඩුවේ ඉන්නව.. 

අන්න xxxxxx ඇවිල්ලා හොයනව... එහෙම කියන්නෙ කාමරේ දොර රෙද්දෙන් ඇතුලට එබෙන අපේ ඩඩා..

ඕං ඉතිං මංතුමා පොත පැත්තකින් තියලා ලැසි ගමනින් යනවා ගේට්ටුව ලඟට.. ඇයි යකඩෝ එන එකෙකුට වාහනේ නවත්තලා ගෙදරට එන්න බැරිද මං අහන්නෙ.. ගේට්ටුව ලඟට ගිහිං බැලින්නම් ඩඩා කියපු කතාව ඇත්ත තමා.. ඒ ඇවිල්ලා තියෙන්නෙ අපේ  යාලුවෙක් කියහංකෝ... වැඩේ කියන්නෙ එයැයි ඉන්නෙ වාහනේ පැසෙන්ජර් සීට් එකේ... ඩ්‍රයිවින් සීට් එකේ මොකෙක්වත් නෑ... මංතුමා ඉතිං කල්පනා කරනවා මූ නයිට් රයිඩර් සොෆ්ට්වෙයාර් එකවත් වාහනේට දාගෙනදෝ කියලා... 

නැගපං... 

මොකක්...

නැගපං යකෝ...

කොහේ යන්නද කියහංකෝ...

නැගපං බූරුවෝ කිව්වාම අහලා...

නම කියලාම නගින්න කියපු නිසා ඉතිං මෙයැයිත් වාහනේ පිටිපස්සෙ දොරෙන් නගින්ට හදනකොටම...

කොහෙද යකෝ නගින්නෙ... නැගහං බූරුවෝ  ඩ්‍රයිවින් සීට් එකට... 

නම කියලාම කියන නිසා ඉතිං නගින්නෙ නැතුවත් බෑනෙ... 

ඕං ඉතිං මංතුමාත් හනික ඩ්‍රයිවින් සීට් එකට නැගලා දොර වහගන්නව.. ඒ කාලෙ සීට් බෙල්ට් දාන්නෙ නෑ... දැං කාලෙ වගේ නෙවෙයි ඒ කාලෙ ජීවිතවල වටිනාකම අඩු හින්දා වෙන්ටෑ සීට් බෙල්ට් දැමීම අනිවාර්‍ය නෑ...

යමං...

කොහෙද...

ඉක්මනට යකෝ... යමං...

එහෙම කිව්වම ඉතිං මංතුමාට තේරුම් යනවා මූ නයිට් රයිඩර් සොෆ්ට්වෙයාර් එක දාලා නැතිය මුගේ හදිසියට ඇවිත් ගේට්ටුව ලඟ නවත්තපු ගමන් ඩ්‍රැයිවින් සීට් එකෙන් අනෙකට පැනලාය කියලා.. එහෙම ඉතිං යමං කිව්වට යන්න බෑනෙ ආයුබෝවන්ඩ... අපායට ගියත් යන තැන දැනගෙන යන එක නෙව ආරක්ශාවට හොඳ... අනෙක මේ ඇඳන් ඉන්න සරම පිටිං කොහේ කියලා යන්නද... එහාගෙදර ඩයින කොටේ පෝස්ට් එකේ ලිව්ව සීන් එකට පස්සෙ මංතුමා බයයි හිටිගමන් ඇවිත් නැගපං කියන වාහනවල නගින්න. ඇයි හත් ඉලව්වෙ ඇඳන් ඉන්න ඇඳුම පිටින් කොයි ලෝකෙ යන්න කතාකරනවද කියලා කවුරු දන්නවද...

යන්න කලින් කියහං යන්නෙ කොහේද කියලා.. අඩුම තරමේ පර්ස් එකයි ෆෝන් එකයිවත් අරගෙන එනකල් හිටහං... මට එන්න වෙන්නෙ බස් එකේද කියලා කව්ද දන්නෙ...

නෑ නෑ යකෝ.. මාව Xxxxx ගෙ ගේ ලඟින් දාල වරෙන්..... පොඩි දුරයිනේ.... මාව දාලා වාහනේ අරං වරෙං... 

මොකක්... 

ඉක්මනට යමං යකෝ...

ඕං ඉතිං මන්තුමා  එයැයිගෙ වාහනේ ඉස්සරහට පදවාගෙන යනව... 

බොලාගෙ ලව් වලට උදව් කරන්න ගිහිං මගේ බෙල්ල ගහලා යනවා කොයිවෙලේ හරි... එක්කෝ ගෙදර එවුන් කැමති කරගනින්... නැත්තං තනි කැමැත්තට බැඳගනින්... 

උඹ පැහෙන්නෙ නැතුව යමන්කෝ... මං කියන තැනින් මාව බස්සලා වාහනේ අරං ඇවිත් උඹලාගෙ වත්තට දාලා ගේට්ටුව ලොක් කරපං...

යකෝ උඹව බස්සන්න යනවට වඩා නඩුවක්නේ මේ නඩු භාන්ඩෙ අපේ මිදුලෙ තිබිලා උඹලාගෙ අම්මට අහුවෙන එක... මෙව්වයින් මගේ බත් කාර්ඩ් එකටත් කෙලවෙනවා බං...

උඹට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑනෙ... මං කිව්වදේ කරහංකෝ... මං කෝල් එකක් දුන්නාම වාහෙන් ඇවිත් මාව ගනින්...

යාලු මිත්තරයෝ කිව්වාම ඉතිං බෙල්ල ගහලා ගියත් ඕනෑ උදව්වක් කරන එක මංතුමාගෙ ගතිය.. එයැයිලත් ඉතිං මෙයැයිට ඒ වගේම තමා... ඕං  ඒ කිව්ව විදිහට මංතුමා මේ ඇවිත් ඉන්න රෝමියෝව ජුලියට්ගෙ ගෙදර වැට මායිමෙන් බස්සලා ගෙදර එනව... මෙයැයිට කොච්චර උනත් වැඩේ ඇවුල් කියහංකෝ... අහල පහල ගවුම් අඳින කලිසම් අඳින CCTV සියල්ලම ජූලියට්ගේ ගෙදරට ෆෝකස් වෙලා තියෙන වාතාවරණයක් යටතේ ඒ වාහනේ ජූලියට්ගෙ ගෙදර වැට මායිමේ නවත්තලා රෝමියෝව බස්සලා ආයෙම අද්දන්නත් කලින් රෝමියෝගෙ ගෙදරට පනිවුඩේ යන එන සක්කරයගෙ පුතා වයිමාටවත් නවත්තන්න බෑ. ඒ යන පනිවුඩ යන්නෙ ඩ්‍රයිවින් සීට් එකේ හිටියේ මංතුමා කියන විශේශණයත් එක්කමයි කියන එකත් ඉතිං  ආයෙ අමුතුවෙන් හෝදන්න දෙයක් නෑ... රමා සීතා පලහිලව්ව කාලෙ හිටංම ලව් එකක් දැක්ක තැන කේලං කියන එවුන් ඉතිං ලංකාද්වීපයේ අඩුවක් නෑ. ඒ නිසා ඒ වගේ වාතාවරණයක් යටතේ තමුන්ගේ ආරක්ශාව තමුන් සලසාගැනීම හැරුනකොට වෙන විකල්පයක් නෑ... රෝමියෝ ජූලියට්ලා අඩ අඳුරේ රෝමාන්තික වෙලා ආදරයේ ඵල නෙලුවට එව්වයෙ ලෙලි ඇහිඳින්න වෙන්නෙ උදව් කරන එවුන්ට කියන එක ඉතිං  ආයෙ අමුතුවෙන්  ලියන්න කියන්න දෙයක් නෑ..

    මංතුමා ඉතිං කෝකටත් කියලා ගෙදර ඇවිත් ගෙට ගොඩවෙලා පර්ස් එකයි ෆෝන් එකයිත් අරගෙන රෝමියෝගෙ වාහනෙන්ම නැන්දලාගෙ ගෙදර යනවා... මොකද කියනවානම් රෝමියෝගෙ අස්ස කරත්තෙ මෙයැයිගෙ මිදුලේ තියාගන්න එක පට්ට නඩුවක් කියලා මංතුමාගෙ අක්මාව දන්නව... මං තුමාගෙයි රෝමියෝගෙයි යාලුකම් අද ඊයෙක එකක් නෙවෙයි නිසා, උන්නැහේගෙ අස්ස කරත්තෙ මිදුලෙ තියාගෙන ඉඳීමෙන් නගින්න වෙන නඩුව කුමනාකර එකක්ද කියලා මංතුමා දන්නෙ ඊට කලින් ඒ වගේම නඩු කීපයකට මංතුමා නැගලා තියෙන නිසා... රෝමියෝ ආදරයේ ඵල නෙලන්න වැට උඩින් පැන්නා කියලා උන්දෑගෙ ගෙදරට පනිවුඩේ ගිය හැටියේම ඉස්සෙල්ලම පොලිසියෙන් එන්නෙ මංතුමා හොයාගෙන කියනේක ආයෙ හෝදන්න දෙයක් නෑ...   උදව් කරන එක මංතුමාගෙ ගතිය උනාට  නඩුවට වග උත්තර බඳින්න යාම සරීර සෞක්‍යට ඒ තරම් ගුණදායක නෑ... එකම විකල්පය මංතුමා හොඳ බබා වගේ ගෙදර ඉන්න විදිහට මංතුමාගෙ වාහනේ පාරට පේන තැනකට වෙන්න වත්ත ඇතුලේ නවත්තලා රෝමියෝගෙ නඩු භාන්ඩයත් අරගෙන ගෙදරින් මාරුවීම විතරයි..

ඕං ඒ ආකාරයෙන් නැන්දලාගේ ගෙදර යන මංතුමා නැන්දලාගෙ ගෙදරින් බත් සුට්ටක් එහෙමත් කාලා නැන්දලගෙ ගෙදර කයියක් ගහගෙන ඉන්නව කියමුකෝ. නැන්දලාගෙ ගෙදර සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නෙ කතා සාගරයක්.. සතියෙ දවස් පහම රස්සාවල් කරන දෙවැනි පරම්පරාවෙ එවුන් පලවෙනි පරම්පරාව එක්ක සම්මුඛ වෙන්න සෙට් වෙන තැන තමයි නැන්දලාගෙ ගෙදර.. සිකුරාදා සෙනසුරාදා රෑ කියන්නෙ මෙයැයිගෙ පොඩි නැන්දා බුෆේ දාලා පරම්පරාවටම කන්න බොන්න දන්සැල දෙන දවස... ඩඩගෙ මහගෙදර වාසය කරන්නෙ නැන්දා නිසා ඒක ඉතිං උඩහමුල්ල ඩිපෝව වගේ කියහංකෝ... රට වටේම දුවන බස් රෑට උඩහමුල්ල ඩිපෝවට එන්නැහේ බහුතරයක් ඤාති වරිගයා සිකුරාදා සෙනසුරාදා රෑ නයිට් පාර්ක් ඉතිං නැන්දලාගෙ ගෙදර තමා.. කතා පෙට්ටි රෑ දෙක තුන වෙනකල් ඉතිං සක්‍රීයයි... කියන්න කතා එමටයි... අහන්න කතාත් එමටයි... 

ඕං රෑ දහයට විතර ජුලියට්ගෙ ගෙදර වැට ලඟින් බස්සපු රෝමියෝගෙන් කෝල් එකක් එනවා කියහංකෝ... ඒ කියන්නෙ ආදරයේ ඵල නෙලලා අවසානයි... දැං තියෙන්නෙ ලෙලි ඇහිඳින කෑල්ල .. ඕං ඉතිං මෙයැයිත් ෆෝන් එක ආන්සර් කරනව...

ඉක්මන්ට වරෙං... ඉක්මන්ට වරෙං... මාව ගනින්... ඉක්මනට වරෙං...

රෝමියෝ ගොයියා හති දාගෙන ෆෝන් එකෙන් බෙරිහං දෙනව...

ඉඳහං ඉතිං... විනාඩි පහක් දහයක් දියං මං එන්නං...

විනාඩියක්වත් මෙතැන ඉන්න බෑ යකෝ... මං උබලාගෙ ගෙවල්  පැත්තට දුවන්නද...

දුවන්නෙ මොකටද යකෝ... ඔහොම හිටහං....

ඉන්න බෑ යකෝ... අම්ම එනව මාව හොයාගෙන... කවද එකෙක් ගෙදරට කියල මං මෙහේ කියල..

මලා... 

ඔව් බං ඔව්... ඉක්මන්ට කියහං මං මොකද කරන්න ඕන...

ඕං බලහංකෝ... ගමන ගියේ එයයි... දැං මෙයැයිගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා... දැං දීපංකෝ උත්තර...

ඉක්මනට කියහංකෝ බූරුවෝ... මෙතන තව විනාඩියක්වත් ඉන්න බෑ... අම්ම ආවොත් මං සුං...

හරි එහෙනම් අහවල් පාරෙන් ඉස්සරහට වරෙං... මං එන්නං...

ඕං ඉතිං කියහංකෝ මේ නඩු එසේ මෙසේ එව්වා කියලද... යාන්තමට ශේප් එකේ තියාගෙන ඉන්න හොඳ ලමයා කාර්ඩ් එක කුඩු වෙනවනේ මෙව්වට කර තියන්න ගිහිං... දැං මේ ෆයිල් වෙන්න යන නඩුවේ හැටියට එයැයිගෙ වාහනේ ඩ්‍රයිව් කරගෙන එයැයි ගන්න යන එක   හරියටම කියනවනම්, ඉදිරියෙන් පොලිසියෙන් ඉන්න වග දැන දැනම හෙල්මට් නැතුව මෝටර් සයිකලයක් පැදගෙන යනවා වගේ වැඩක් ... මෙයැයිත් ඉතිං ටිකක් විතර ඒ වගේ වෙලාවට තමුන්ගෙ ආරක්ශාව ගැන සැලකිලිමත්... බූරු ගහලා පොලිසියට අහුවුනාට කමක් නෑ කියහංකෝ.. ඒත් බූරුපොලට එකෙක් බස්සන්න ගිහිල්ලා පොලිසියට අහුවෙන එක කොයිනම් අපරාදයක්ද...

මංතුමා රෝමියෝගෙ අස්ස කරත්තෙ එහෙමම නැන්දලාගෙ ගෙදර තියෙද්දි රෝමියෝව ගන්න යන්නෙ බාප්පගෙ ඩබල් කැබ් එකේ.. රෝමියෝගෙ අස්ස කරත්තෙ මුලු ගමම අන්දුනන එකේ, මංතුමාගෙ වාහනෙත් මුලු ගමම අඳුනන එකේ, ඒ වගේ ගමනක් යන්න ඕන මොකෙක්වත් අඳුරන්නෙ නැති වාහනේක. බාප්පත් සුන්දර සිකුරාදා රාත්‍රියක් ගතකරන්න නැන්දලහ ඇවිල්ලා හිටපු එකේ වාසිය මංතුමාට. 

මංතුමා බාප්පගෙ ඩබල් කැබ් එක අරගෙන එයායිට එන්න කිව්ව පාර තියන ඉසව්වට රෑ අඳුර කපාගෙන  ඉගිලෙනව... කොච්චර උනත් ඉතිං යාලුවෙක්නේ ආයුබෝවන්ඩ. බේරගන්න පුලුවන්කම තියෙද්දි සාටර් වෙන්න දෙන එක යුතු නෑනෙ... රෑ දහයට  විතර පාරවල් දෙබෑ කරගෙන අතුරු පාරවල් වලින් දාගෙන මෙයැයි යනවා මයිකල් ශූමාකර්ටත් වඩා වේගෙන්. රෝමියෝට අම්මා එන පාර මගෑරලා  එන්න කිව්ව පාර තනිකරම කන්දක්... බාප්පොච්චිගෙ ඩබල් කැබ් එක කන්ද පල්ලෙහාට යනවා නෙවෙයි විදිනවා කිව්වොත් තමා හරි... ටයර් සිරි සිරි ගාගෙන වන්ගුව කෙලින් කරනකොටම මේං අප්පේ අපේ රෝමියෝ කන්ද උඩට දෙනව රන් එකක් උසේන් බෝල්ට් කැලේ... උසේන් බෝල්ට් වගේ උනාට පොඩ්ඩක් වෙනස්... මොකද කියනවනම් රෝමියෝගෙ දිව බුරිය ගාවට ඇදිලා කියහංකෝ... සීන් එක මතක් වෙද්දි මේ ලියන වෙලාවෙත් ඉල ඇදෙන්න හිනා... 

ඉස්කෝලෙන් එලිය ආවයින් පස්සෙ මීටර් සීයක්වත් පයින් නොගිය කඳ බඩ මහත හාදයෙක් මීටර් සීයේ වේගෙන් කිලෝමීටර භාගයක් විතර කදු සහිත පාරක දුවනකොට දැනෙන ෆීලින්ග් එක විඳින්න එක්කො දුවලා බලන්න ඕන..නැත්තං ඒ වගේ එකෙක් දුවන්වා දකින්න ඕන... දර්ශණය මනස්කාන්තයි... කන්ද අංශක හතලිස්පහක විතර කෝනයක එකක් නිසා රෝමියෝගෙ දිව බිම ගෑවෙන්න ඔන්න මෙන්න... නයා පිඹින්නැහේ පිඹිනවා පිඹිල්ලක් ලෝකවාසී අනික් මිනිස්සුන්ට පාවිච්චියට ඔක්සිජන් බිඳක් ඉතිරි කරන පාටක් නෑ... ඉහේ හිටං පාදාන්තය දක්වාම දාඩියෙන් නෑවිලා... 

මෙයැයි ආපු වේගෙටම තද බ්‍රේක් පාරක් ගහලා ඩබල් කැබ් එක නැවැත්තුවාම රෝමියෝ ගොයියා ගල් ගැහිලා නැවතුනා බයෙන් බිරාන්ත වෙලා.. උන්නැහේ බලාපොරොත්තු වෙන්නෙ එයැයිගෙ වාහනේ හෝ මන්තුමාගේ වාහනේ  මිසක් ඩබල් කැබ් එකක් නෙවෙයිනේ ආයුබෝවන්ඩ. ඉතිං එයැයි හිතන්නෙම මං මාට්ටු මං මලා මං මලා මං මලා කියලාම තමා.. ඕං මංතුමා වීදුරුව පහත් කරලා නැගහං කිව්වම තමා රෝමියෝගෙ ලොකු වෙච්ච ඇස් දෙක ලාවට පුංචි වෙලා ඉහලට ගත්තු හුස්ම පහලට වැටෙන්න පටන් ගන්නෙ..... උන්දෑ ඉතිං ඩබල් කැබ් එකට නගිනවා නෙවෙයි දොර ඇරලා ඇතුලට පැනිනවා කිව්වොත් තමයි හරි...අපරාදෙ කියන්න බෑ හුස්ම වැටෙනවා නයා පිඹින්නැහේ.... කම්මැලි කඳක් වෙච්චි එයැයි ඉතිං කවදා දුවපු රේස්ද..

ව... ව..... වතුර.....

මොකක්...

 වතුර ටිකක්...

ඉතිං හොයපංකෝ වතුර.. බාප්පගෙ ඩබල් කැබ් එකේ සීට් යටට අත දාලා රවුමක් කැරකැව්වාම මොකක්දෝ බෝතලයක් අහුවුනා කියහංකෝ.. අපේ බාප්පගෙ ඩබල් කැබ් එකේ ඉතිං බුලත් නැට්ටක් දුංකොල කෑක්ලක් හොයාගත්තත් වතුර බොතලයක් තියෙනවට සුවර් කරන්න බෑ. තිබ්බත් කීවෙනි ශතවර්ශයේ පුරවපු වතුරද කියලා සුවර් එකකුත් නෑ... ඒ මොනවා උනත්, රෝමියෝ ගොයියා ඒ දූවිල්ලෙන් වැහුන මෙගා බෝතලේ තිබ්බ වතුර ඔක්කොම එක හුස්මට ගිලලා දැම්මා කියහංකෝ... කලුවරේ නිසා වතුර මොනපාටද කියලාවත් පේන්නෙ නෑ.. ඇහුනේ ගඩස් ගඩස් ගඩස් සද්දෙට අර වතුර බෝතලේ රෝමියෝගෙ ආමාශයට ගලන සද්දෙ විතරයි..

ඊලඟට ඊලඟ මිශන් එක... හදිසියට දිව්වට ආපහු යන්න වෙන්නෙ ජූලියට්ගෙ ගේ පහුකරගෙන... වාහනේ නාඳුනන එකක් උනත් හදිසියේවත් රෝමියෝගෙ මෑණියන්  එතැන ඉඳලා පාරට පැන්නොත් කියන භය ඉතිං සාධාරන බයක් නෙව.. රෝමියෝ ගොයියා එතැනින් එලියට ගෙනියන්න ක්‍රමයක් කල්පනා කර කරා වාහනේ ඇතුලේ ඔබ මොබ බලද්දි ඇහැට අහුවෙන්නෙ අපේ බාප්පොච්චිගෙ තුවායක්.. රෝමියෝගෙ ඔලුවට තුවාය දාලා ස්කාෆ් එකක් වගේ බැඳලා බාප්පොච්චිගෙ සන්ග්ලාස් දෙක දැම්මාම පෙනුම හරියටම කියනවනම් බොක්සර් බල්ලෙකුට ස්කාෆ් එකක් බැඳලා කන්නාඩි දෙකක් දැම්මා වගෙ තමා...  රෝමියෝ ජූලියට් එක්ක ආදරයේ ඵල නෙලන්න ගිහිං රෝමියෝගෙ මෑණියන්ට මාට්ටු වෙන එක වෙනම කතාවක්... ඕකෙ ලෙලි ඇහිඳින්න ගිහිං මංතුමා මාට්ටු උනොත් ඒක ආයෙ කවදාවත් රිවස් කරන්න බෑ... ඒ ගැනත් හිතාගෙන මං තුමා නැවතත් බාප්පොච්චිගෙ ඩබල් කැබ් රාජයා පන්නවනවා ජූලියට්ගේ නිවස පසුකරගෙන ටවුම දිහාවට... වැඩේ සෑහෙන රිස්කි උනාට සැකයේ වාසිය අපිට... පලවෙනි එක වාහනේ රෝමියෝගෙ පවුලේ කවුරුත්ම අඳුනන්නෙ නෑ... රෑ අඳුර නිසා ඉස්සරහින් වාහනයක් ආවෙ නැති උනොත් ඇතුල පේන්නෙත්  නෑ.. ඇතුල පෙනුනත් පෑසෙන්ජර් සීට් එකේ ඉන්නෙ උණ හැදිලා බේත්ගේන්න යන බොක්සර් බල්ලෙක් වගේ එකෙක් නිසා මංතුමා අඳුනගත්තත් පෑසෙන්ජර්ව අදුරගන්න බැරි නිසා ලොකු අවුලක් නෑ..

ජූලියට්ගෙ ගේ පහුකරන තැන ටිකක් විතර ඩේන්ජර් වංගුවක්... වංගුවක් උනාට චාන්ස් එකක් ගන්න බෑ... හැටේ වේගෙන් වංගුවෙන් ඉගිලුනේ ඩබල් කැබ් එකක් කියලා එතැන හිටපු උදවියට පෙනුනට වාහනේ ඇතුලෙ හිටියෙ කව්ද කියන එක හොයාගන්න කීයටවත් බෑ.. මොකද කියනවනම්, වාහනේ පදවපු මංතුමාටවත් බැරිවුනා ඒ වේගෙත් අඳුරත් එක්ක එතැන හිටිය උදවිය කව්ද කියලා අඳුනාගන්න... ආං ඒ විදිහට තමා රෝමියෝගෙ ආදරයේ ඵල නෙලිල්ල අහවර වෙන්න ගියේ...

උඹේ වාහනේ නැන්දලහ... එහෙට ගිහිං ඒක අරගෙන ගෙදර පල...

පීස්සු කතාකරන්න එපා යකෝ... දැම්ම ගෙදර යන්න බෑ...

හෑ... ඇයි උඹ ආයෙම ජූලියට් බලන්න යන්නද.. මටනම් බෑ... ත්‍රී වීල් එකක පල..

නෑ බං නෑ... මං හලාවත මලගෙදරක යනවා කියලා ගෙදරින් ආවෙ.. දැම්ම ගෙදර යන්න බෑ... 

ආං එතකොට තමා පිංවතුනි මංතුමාට වැටහුනේ ස්වේච්ඡාවෙන්ම මංතුමා ඇදගෙන නාලා කියල... ඒ කියන්නෙ එලිවෙනකල් නිදිමැරිල්ලක්.. 

 එතැනින් බාප්පගෙ ඩබල් කැබ් එක කෙලින්ම යන්නෙ හික්කඩුව ටවුමට... හික්කඩුවෙ රෑ කඩෙන් ආප්ප සමග ප්ලේන්ටී... අම්බන්ගොඩ ටවුමෙ රෑ කඩෙන් තේ බොන්න රිස්ක් එකක් ගන්න බෑ... වාහනේ ඇතුලෙ ඉන්න ස්කාෆ් එක පොරවපු බොක්සර් බලු පැකේජ් එක රෝමියෝගෙ පවුලේ කවුරු හරි දැක්කොත් මං තුමාගෙ කාර්ඩ් කුඩු.. හික්කඩුවෙ නවත්තලා රෑ කඩෙන් තේ බොද්දි තමා මංතුමාට මතක් වෙන්නෙ අපේ සත් ගුණවත් බතලයා..

ඊලඟට බාප්පගෙ ඩබල් කැබ් එක පැදවෙන්නෙ බතලයාගෙ ගෙදරට... ඒ වෙද්දී රෑ දොළහට ආසන්නයි... බතලයා නින්දෙන් ඇහැරවන්නත් කලියෙන් බාප්පගෙ කැබ් එක බතලයාගෙ වත්තට දාලා ගේට්ටුව වහලත් අහවරයි කියහංකෝ .... ඕං බතලයා එනවා දොර ඇරගෙන කබ කඩ කඩා.. 

මොකද කාලකන්නියෝ නිදාගන්න දෙන්නෙ නැත්තෙ...

බතලයාගෙ අජූත මූන දිහා කතාවක් නැතුව විනාඩියක් විතර බලාන හිටපු රෝමියෝ සහ මං තුමා පිම්මට දුවන්නෙ බතලෝත්තමයගෙ යහන් ගබඩාවට.. ඊලඟට පනින්නෙ ඇඳට...

උදේ හයට විතර ඇහැරෙද්දි බතලෝත්තමයා බෙඩ් ශීට් එකක් එලාගෙන ඇඳ පල්ලෙ බිම බුදි... රෝමියෝ සහ මංතුමා බතලයාට කටපුරා ස්තූති කරලා වාහනෙත් අරගෙන නැන්දලහ එනව... බතලයා රෑ තිස්සේ නින්ද යනකල් වගේම ඒ වෙලාවෙත්  දෙන්නටම සෑහෙන ස්තූති කරා ඉතිං කටපුරා සුද්ද සිංහලෙන්...

රෝමියෝගෙ කතා ඔය එකක් විතරයි... තව ලියන්න තියෙන එව්වා ඉදිරියට බලමු... මේක ලියන්නත් රෝමියෝගෙන් ඇපෘවල් ගන්න සීද්දවුනා... තාම ඉතිං ගෙදරට සහ බිරිඳට හරීම කීකරු ස්වාමියා නෙව... 

රෝමියෝ දැං විවාහකයි...  රෝමියෝ ජූලියට්ව මැරි කරලා දැං සෑහෙන කාලයක්... ඒ නිසා මේ පෝස්ට් දැං ලියැවුනාට කමක් නෑ කියලා හිතුවට එහෙම බෑ.. මොකද කියනවනම් රෝමියෝ මැරි කරේ ජූලියට්ව උනාට ඒ ජූලියට් නෙවෙයි වෙන ජූලියට් කෙනෙක්ව... මැරි කරපු ජූලියට්ගෙත් ඉතිං කියන්න වරදක් නෑ... පොඩි ප්‍රශ්ණෙකට තියෙන්නෙ ජූලියස් සීසර් වගේ වලියට බර  වෙච්චි එක විතරයි... රෝමියෝ මේ ජූලියට්ට කලින් තවත් ජූලියට් කෙනෙකුට  සුපිරියට ආලය කලා කියලා දැනගත්තොත් රෝමියෝ ජූලියට් කතාවෙ ගිනි අවි සහ ගිනි කෙලි වර්ශන් එකක්  අලුතෙන් ලියන්න වෙනව...

මේක කියවන මගේ හිතාදර මිත්‍රවරුණි... මේක කොමෙන්ට්වල නම් ගම් ලියලා මාව
අමාරුවේ දාන්න එපා ඕං ... එහෙම උනොත් රෝමියෝගෙ කතා ආයෙ ලියන්න අවසර ගන්න රෝමියෝ ඉතුරු වෙන්නෙත් නෑ ලියන මන් ඉතුරු වෙන්නෙත් නෑ...

Monday, June 27, 2022

දෙවැනි ශ්‍රේණිය

 


ඒ 2005 අවුරුද්දෙ එක්තරා මාසයක්. අවුරුදු ගානක් ලොකු පුටුවෙ හිටපු ලොක්කා අයින් වෙලා ඊලඟට අලුතෙන් ආපු ලොක්කා වැඩ භාරගත්තා පමණයි..  

Techinical officer grade 3 හිටපු මම grade 2 වෙන්න සියලූ සුදුසුකම් සපුරලා තිබුනත් කලින් හිටපු ලොක්කා මගේ ප්‍රොමෝශන් එක අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් මේසය උඩ තියාගෙන හිටියා අත්සන දාන්නෙ නැතුව. ප්‍රොමෝශන් එක නොදී ඉන්න හේතුවක් හොයාගන්න බැරි නිසා පාලන අංශයෙන් අත්සනට එවන උසස්වීම මේසය උඩ තබාගෙන කල්මැරීම තමා උන්නැහේට තිබ්බ එකම පලිගැනීමේ ක්‍රමවේදය. පලිගන්න ඉතිං හේතුව තමා එහෙයියෙක් නොවීම.. වෙනත් විදිහකට කියනවානම් පශ්චාත්භාගය උන්නැහේගේ පාවිච්චියට නොදීම...😂

මම රස්සාව කරේ ජීවත්වීම පිණිස මුදල් අවශ්‍යතාවයට පමණයි. ජීවත්වෙන්න රැකියාවක් කරන මිනිස්සු සහ රැකියාව කරන්න ජීවත්වෙන මිනිස්සු දෙවර්ගයක් ලංකාවෙ ඉන්නව. මම ජීවත්වෙන්න රැකියාව කරපු මනුස්ස පරාණයක්. එතැනින් එහා ආයතන ප්‍රධානියාට ගොට්ට ඇල්ලීම පත්වීමේ ලිපියේ ලියැවිලා තිබ්බ ඩියුටි ලිස්ට් එකේ නෑ. ඒ නිසා එව්ව මගේ පැත්තෙන් කෙරුනෙ නෑ. මිනිස්සු ගැන කේලම් කියලා කකුලෙන් ඇදලා බාල්දි පෙරලලා ගන්න වෙන්නෙත් එකම වැටුප වෙච්චි තුට්ටු දෙකේ වැඩ කරලා ජීවිතේට් පවු ගොඩගසාගැනීම ගොං වැඩක්. එහෙම නොවුනාම ඉතිං සිරිබර සිරි ලංකාවේ රාජ්‍ය ආයතනවල ලොකු එවුන් පොඩ්ඩක් අවුල්..

අලුත් ලොක්කා ආපු ගමන්ම ඉවර කරන්න තිබ්බ වැඩ ලිස්ට් එකේ මගේ grade 2 වැඩේ උඩින්ම කියහංකෝ. ඕං ලොක්කා මාව කැඳවනවා උන්නැහේගෙ කාර්‍යාලයට. මං තුමාත් භාගෙන ඇරිලා තියෙන සැලුන් දොරෙ ඇරගෙන ඇතුලට යනව..

ප්‍රොමෝශන් එක ඇවිත් තියෙනව ඔයාගෙ..

ඔව් සර් මම දන්නව.. ඕක ඇවිත් දැං අවුරුද්දකට වැඩියි... 

ඕං අලුත් ලොක්කා ගොලු වෙනව.. බැරෑරුම් විදිහට ප්‍රොමෝශන් කොලේ දිහා බලාන ඉන්නව.. මං දන්නෙ නෑ ඒකෙ තියෙන්නෙ මොනාද කියලා... හැබැයි ඒකෙ අවසානයට කරන්න තියෙන්නෙ "නිර්දේශ කරමි" " නිර්දේශ නොකරමි" කියන දෙකෙන් එකක් ලියලා ආපසු යැවීම පමණයි. නිර්දේශ නොකරමි ලිව්වොත් තියෙන ප්‍රශ්ණය තමා ඒකට හේතු දක්වන්න සමහරවිට උසාවියට යන්න වෙන්නත් ඉඩ තියෙනව. කලින් හිටපු ලොක්කා මට කලින් හිටපු කෙනෙකුට නිර්දේශ නොකරමි ලියලා උසාවි ගිහිං ලෙල්ලටම පීචං උනා හිටං. මොකද කියනවනම් උන්නැහේලාගෙ හිතේ තියෙන කුහකම් වලට නිර්දේශ නොකරමි කියලා ලිව්වට එව්වට හේතු කියන්න වෙන්නෙ උසාවියේදි.

ඕං ආයෙ අලුත් ලොක්කා මා දිහාවට බැල්ම දාලා මේං මෙහෙම කියනව..

මට ආරංචි විදිහට ඔයා උදේට පරක්කුවෙලා වැඩට එනවා සහ අනවශ්‍ය විදිහට නිවාඩු ගන්නවා. ඒ නිසයි මේක පරක්කු වෙන්න ඇත්තෙ.

සර්.. මම ගෙදරින් එන්නෙ උදේ 4.30 ට. ට්‍රේන් එක ලේට් උනොත් මට වෙලාවට එන්න බෑ. ඒත් මාසෙට දෙන්නෙ ට්‍රේන් ලේට් දෙකයි. ඒ දෙකත් දාලා ශෝර්ට් ලීව් දෙකත් දාලා මදි වෙන එව්වට ඉතිං හාෆ්ඩේ තමයි. උදේ ලේට් වෙන එවට හවස විනාඩි දහයක් වැඩිපුර ඉඳලා කවර් කරන්න දෙනවනම් ඕක ඔහොම වෙන්නෙ නෑ. අනිත් කාරනාව තමයි සර්... මම සහ මේකෙ ඉන්න කීපදෙනෙක් පරක්කු වෙන දවස්වලට විතරයි අවුරුදු තුනක් තිස්සෙ හරියටම 7.45 ට රතු ඉර වදින්නෙ..

ඕං අලුත් ලොක්කා එව්වට නැවතත් ගොලු වෙනව...

එක මාසයක් ඔයාට පුලුවනිද වෙලාවට වැඩට එන්න...

හැමෝටම එක විදිහට සලකලා රතු ඉරි වදිනවානම් පුලුවන්... මට විතරක් රතු ඉර වදිනවනම් බෑ...

හරි.. එහෙනම් ලබන සඳුදා ඉඳලා මාසයක් වෙලාවට ඇවිල්ලා පෙන්නනකෝ..

ඕං අලුත් ලොක්කගෙ අභියෝගය. අම්බලන්ගොඩ  කොල්ලෙකුට ඒ වගේ

චැලේන්ජ් එකක් සිම්පල්.. Grade 2 ලැබුනත් පඩිය වැඩි වෙන්නෙ ඒ කාලෙ හැටියට රුපියල් 550 යි. ජොබ් එකට පැරලලි බිස්නස් එකකුත් කරගෙන හිටිය මට ඔය 550 කජු කන්නත් මදි.. ඒත් ඒ වගේද චැලේන්ජ් එක.. ඒක අනිවාර්‍යයෙන්ම දිනන්නම ඕන එකක්..  එවකටත් කාර් කටුවක් තිබුනට කාර්මික නිලධාරී වැටුපෙන් දවස් විස්සක් කාර් එකට තෙල් ගහගෙන අම්බලන්ගොඩ හිටං කොලඹ යන්න එන්න හිතන්නවත් බෑ. පඩියට වඩා ගානක් අතින් දාලා තෙල් ගහගෙන රස්සාවට යන්න හිත හදාගන්නත් බෑ. 

එවකට මගේ ගෝල තැන පෙරේරා තමා ඊලඟ සැලසුමේ සහයකයා.. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාස කරලා චැලෙන්ජස් බාරගන්න බෑ. එව්වා ඉතිං යන එන වෙලාවල් දෙයියන්ටවත් කියන්න බෑ. අම්බලන්ගොඩ කොලඹ ac බස් සේවාවත් ඉතිං අවුලක්ම නෑ.. ඒත් ට්‍රැෆික් ප්‍රශ්ණෙ එක්ක උදේ 7.45 වෙද්දි රාජකාරියට වාර්ථාකිරීම ශුවර් නෑ.. සති හතරක්.. දවස් විස්සක් මං තුමා උදෑසන 7.45 වෙද්දි කාර්‍යාලයේ සිටිය යුතුයි.. එකම සහ අවසන් විකල්පය ඊලඟ සඳුදා සිට ක්‍රියාත්මකවීමට නියැමිතයි.. අනුග්‍රහය දුකට සැපට දෙකටම බොක්ක ගෝල තැන පෙරේරාගෙන්... මෙතැනින් උඩ ලියවුන දේවල් එවකට කාර්‍යාල සගයන් සියල්ලම දන්නවා උනත් මෙතැනින් එහා ලියැවෙන දේ සතරකන් මන්ත්‍රනයක්. 

ඊලඟ සඳුදා මංතුමා වැඩට එන්නෙ තඩි බෑග් එකක් උස්සගෙන. ඒකෙ නැත්තෙ නයි පොලොංගු විතරයි. මනුස්සයෙකුගේ සාමාන්‍ය ජීවිතයට අවශ්‍යවෙන සියලූමා දෑ එහි අඩංගුයි. උදේ අම්බලන්ගොඩින් පිටත්වෙන පලවෙනි ac බස් එකේ මං තුමා කොලඹ. කොයිතරම් ගෝල් ඔරියන්ට්ද කියනවනම් උදේ හයාමාර වෙද්දි ඔෆිස් එකේ. කොටින්ම කියනවානම් ඒ වෙද්දි ඔෆිස් එක ඇරලත් නෑ. උදේ 7.45 වෙද්දි පොතේ පලවෙනි අත්සන මංතුමාගෙ.. එදා හිටං සතියේ දවස් පහම මංතුමා නයිට් පාර්ක් ඔෆිස් එකේ.. පෙරේරා හවස ඕෆ්වෙලා යන්න කලියෙන් මංතුමාට ගෙනැත් දෙනවා රෑ කෑම එක. තේකොල සීනි හීටර් එහෙම වෙනම තියෙන නිසා රෑට තේ එකක් හෙම බොන එක ගැටලුවක් නෑ. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ගැන මෙහිලා ලියන්න බෑ. හැබැයි එව්වත් සැප පහසුවට සියල්ලම ලෑස්තියි. හවස 4.15 වෙද්දි පෙරේරා මගේ ඒරියා එක එලියෙන් වහලා ඕෆ් වෙලා ගෙදර යනව. වැඩකරන 40 ක් විතර අනෙක් උදවියත් හවස 4.15 වෙද්දි ඕෆ්. එතැනින් එහා තට්ටු තුනක බිල්ඩිම ඇතුලේ මං විතරයි. කිසිම යතුරක් මා ලඟ නෑ. ඒත් මගේ කාමරේ ඇතුලෙන් ඇරගෙන බාතෲම් එකට ගිහිං වොශ් එකක් එහෙම දාගෙන එන එක ප්‍රශ්ණය නෑ. ඕං ඒ විදිහට රෑ ගතකරලා උදේ හයට ඇහැරුනාම හතයි හතලිස් පහ වෙද්දි පොත අත්සන් කරන්න වෙලාව වැඩිත් එක්ක. ලොක්කා එන්නෙ 7.15 ට. ලොක්කා ප්‍රධාන දොර අරින සද්දෙ ඇහිලා විනාඩි දහයක් වගේ ඉඳලා පඩිපෙලෙන් පහලට බැස්සාම 7.45 වෙන්නත් කලින් කොල්ලා පොත අත්සන් කරනව... 

ලොක්කා හීනෙන්වත් හිතන්නෙ නෑ මූ රෑ හිටියේ ඔෆිස් එකේ කියල.  පොත අත්සන් කරලා ආයෙම මගේ වීදුරු කාමරේට ඇවිත් වාඩිවෙලා විනාඩි දහය යද්දි පෙරේරා මංතුමාට බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ප්‍රාදූර්භූත වෙනව. දවලටත් පෙරේරාම කෑම එකක් ගෙනැත් දෙනව. දැං මේක කියවන ඔයයිලා හිතන්න එපා මං පෙරේරාව කඩේ යවනවා කියලා. පෙරේරා උදේ සහ දවල් වේල් දෙකම කෑවෙ කඩෙන්. ඒ කාලා එන ගමනේ මටත් කෑම එක ගෙන්නගත්තා මිසක් මං කවදාවත් පෙරේරාව කඩේ යවලා නෑ. රෑක අසනීපයක් හෝ වෙනයම් අවුලක් උනොත් එක කෝල් එකෙන් පැය භාගෙන් පෙරේරා එනවා කියන එක ඉර හඳ පායනවටත් වඩා ශුවර්. පෙරේරගෙයි මං තුමාගෙයි එකතුවීම දෛවෝපගතයි. කලින් ලොක්කා මංතුමාට සහ පෙරේරාට දෙන්නාටම කෙලවීමේ අරමුණෙන් කරපු එකතුකිරීම් උනාට ඒ දෙක සෙට් උනේ ජාඩියට මූඩිය වගේ කීවොත් තමා හරි. අනික් කාර්මික නිලධාරීන්ට සහයකයන් දෙදෙනා බැගින් අනුයුක්ත කෙරුනාට මංතුමාට පෙරේරා පමණයි. පෙරේරාත් කොක්කට බර ඉතිහාසයක් තිබ්බ සේවකයෙක් නිසා ලොක්කාගෙ අභිප්‍රාය උනේ විසෙන් විස නැසීම. පෙරේරත් ලොක්කාව තඹේකට මායිම් නොකල සේවකයෙක් නිසාත් මංතුමාත් එසේම නිසා පෙරේරා සහ මම අතර යුද්ධයක් නිර්මාණය කර දෙදෙනාටම කෙලවීම අරමුණු උනත් එක දවසෙන්ම මම සහ පෙරේරා ශර්ලොක් හෝම්සුයි වොට්සනුයි ගානට සුපිරියට සෙට්. 

ඕං ඔය ආකාරයෙන් සති හතරක් ගතවෙලා ලොක්කගෙ කාමරේ සැලුන් දොරෙන් ඇතුලට ගිහිල්ලා ලොකු තැනට මතකර හිටිනවා මාසය සම්පූර්ණයි කියල..  ලොක්කත්

පැමිණීමේ ලේඛනය එහෙම බලලා මංතුමාගෙ ප්‍රමෝශන් එක අනුමත කරලා යවනවා ඉන් පස්සෙ. කලින් හිටපු ලොක්කා අවුරුද්දකට වැඩි කාලයක් මේසය උඩ තියාගෙන හිටපු නිසා හිඟ වැටුපකුත් එක්ක ඊලඟ මාසෙ හිටං මංතුමාට 550 කින් පඩි වැඩි වෙනව grade 2 තත්වයත් එක්කම. සයිඩ් එකෙන් බිස්නස් එකක් කරගෙන හිටිය නිසා වාහනයක් පාවිච්චි කරගෙන සැපවත් ජීතතයක් ගතකරගත්තා මිසක්, ආන්ඩුවේ පඩියකින් ජීවිතේ අමාරුයි. ලොක්කා අභියෝග කරපු නිසා ඒ වගේ වැඩක් කරා මිසක් grade 2 ගන්නවත් පඩිය 550 කින් වැඩි කරගන්නවත් ඒ කරපු කැපකිරීමේ ලාභයක් නෑ. ඕෆ්වෙලා ගිහිං කරපු බිස්නස් එකේ වැඩවලට ඉන්වෝල් වෙන්න බැරිවුන සති හතරක් නිසා ඒ සති හතර ආර්ථික අතින් සෑහෙන පාඩුයි.

කාලෙකට පස්සෙ ඒ රැකියාවට සමුදීලා ලංකාවෙන් පිටවෙලා මේ වෙද්දි  අවුරුදු දොලහක්. ලංකාවෙ රජයේ සේවයේ ඉද්දි නරකම සේවකයන්ගෙත් නරකම එකා කියන විරුදාවලිය ලබාගත්තු මටම ලංකාවෙන් පිටදි best employee award එක දෙපාරක් ලැබිලා තියෙනව. දියුනු රටවල රැකියාවෙදි ආයතන ප්‍රධානීන් විසින් සලකා බලන්නෙ සේවකයාගේ කැපවීම සහ දක්ශතාවය පමණයි. ලංකාවෙ ආයත ප්‍රධානීන් හොයන්නෙ ඒ දෙකම නොවෙන වෙනස්ම එකක්. ඒක නැතිනම් කොයිතරම් දක්ශ උනත් ඒ සේවකයන්ට කිසිදු ඇගයීමක් නෑ.

ලංකාවෙ දැං තියෙන වාතාවරණය එක්ක බැලුවාම කෝච්චිවල බස්වල තෙරපිලා රස්සාවට යනවට වඩා හොඳ නැද්ද මගේ විකල්ප ක්‍රමවේදය අනුගමනය කිරීම? මං අද වෙද්දි ලංකාවෙ රජයේ සේවයේ හිටියානම්, ඔෆිශියලිම ගිහිං ඔෆිස් එකේ පදිංචි වෙලා රස්සාව කරලා සති අන්තයේ ගෙදර යනවා අනිවාර්‍යෙන්ම ශුවර්.

එවකට මා එක්ක රස්සාවෙදි එකටම හිටපු මිත්‍රයා දැං මේක කියවලා හිතයි යකෝ මූ මාසයක් ඔෆිස් එකේ නිදාගත්තා මූ නිකමටවත් මට කීවෙ නෑ කියල... ඔව් යාලුවා... ඔයා වගේ අවංකයෙකුට ඒ වගේ දේවල් කියලා ඔයාව අමාරුවේ දාන්න බෑ. නිකමටහරි වැඩේ නෝන්ඩි වෙලා ලොක්කා ඔයාගෙන් ඇහුවොත් ඔයාට බොරු කියන්න බෑ. ලොක්කට බොරු කියන සබ්ජෙක්ට් එකේදි ඔයා පට්ට අවංක වැඩියි... තක්කඩි ඇන්දීම තකඩිකමෙන්ම කලයුතුයි. තක්ක්ඩින් සමග අවංකවෙලා බෑ. 

මට මේක ලියන්න හිතුනේ කෝච්චියේ වහලයේ නැගලා රස්සාවට යන මිනිස්සු දැකලා.. කෝච්චියේ එල්ලිලා ගිහිං ජීවිතේ අනතුරේ දාගන්න එපා මිනිසුනේ... රස්සාවත් කරගෙන ජීවිතෙත් බේරගන්න වික්ල්පයක් අනුගමනය කරන එක තමා ණුවනට හුරු.