Sunday, June 22, 2025

ලකාගෙ ලම්පූරිය ( සොඳුරිය මට නොකියාම ගියා )


       
    ලකාගෙ ලම්පූරිය බලනවාමයි කියලා තීරණය කරේ පලවෙනි ට්‍රේලර් එක දැකපු දවසෙමයි. මං ඉතිං රට සහ පිටරට යාත්‍රිකයෙක් තැනට පත්වෙලා නිසාත් කොයි රටේ හිටියත් එක තැනක ඉන්න නැති ‍රාහු අඵලයක් දරන  සත්වයෙක් නිසාත් ලම්පූරිය කොහෙන් බලන්නද කියලා අදහසක් තිබ්බෙ නෑ..  ලකාගෙ ඇඩ්වටයිසින් ටීම එකත් ඇඩ් ගගහා බුකිය කලබ කලඹා මේක නොබලා ඉන්න එපා රජෝ මේක බලන්නම ඕන එකක් කියලා කුඩා මොලේටම ඉන්ජෙක්ට් කරපු නිසා ලම්පූරිය ඔලුවෙන් අයින් වුනේම නෑ.. ඔයිට කලිනුත් එලියට ආපු ගොඩාක් පිචැර්වල ට්‍රේලර් එක දුටු ගමන් මේකනම් බලනවාමයි කියලා හිතට සිග්නල් එක දුන්නත් එව්ව ඉතිං සතියෙන් සතිය එන දේශපාලන රැලි වගේ සතියෙන් අමතකවුනාට ලකා ලම්පූරිය අමතක වෙන්න දුන්නෙම නෑ..  කොහේ කොතැන බුකිය පෙරලුවත්, යූ බටේ කාල් ගෑවත් ලකාව කොතැනහරි සෙට් වෙලා ලම්පුරිය ගැන කියෝනවා කියහංකෝ.. එව්වත් ඉතිං වාහනේ එලවන අල්ලපනල්ලේ එකින් එක කන හරහා ඔලුවට වැටුන නිසා ලම්පූරිය ගෙදර ගෙනැල්ලා හරි බලන්න ඕන කියන තැනටම ඔලුව සකස්වුනා.. ඒ අතින් ලකාගෙ මාර්කටින් ස්ට්‍රැටර්ජිය සුපිරි..

    මගේ ප්ලෑන් එක වුනේ ලම්පූරිය ලංකාවෙන් අල්ලගන්න.. ඒත් ඉතිං හත්වලාමේ ලම්පූරිය තිර ගතවෙන්න දවස් දෙකකට කලින් මට ලංකාවෙන් පිටවෙන්න කරුණු කාරනා සකස්වුනා.. ලම්පූරියට වඩා බඩගෝස්තරේ වැදගත් නිසා මාත් ඉතිං ඔන්නොහේ ලංකාවෙන් එන්න ආව.. හැබැයි ඉතිං හිතේ කොනක ප්ලෑන් එක තිබ්බ.. ලකා කොහේදෝ තැනක ඇඩ්වර්ටයිස් කරලා තිබ්බා ලංකාවට කලින් කැනඩාවෙ ලම්පූරිය පෙන්වන කතාවක්.. මේක බලන්නම ඕන එකක් කියලා මොලේ ඇඟිල්ලෙන් ඇන ඇන කියන නිසා කැනඩාවෙ ඔන්ටාරියෝවලින් ලම්පූරියේ එල්ලෙන්න තමයි මම ප්ලෑන් එක ගැහුවෙ..  ඒත් ඉතිං කරුමෙක මහත කියන්නෙ ඕක පස්සෙ එලවපු හැම වෙලාවෙම කැනඩාවෙ ශෝස් ගැන ඇඩ්වටයිසින් ටාර්ගට් කරපු ඇල්ගොරිදම් එකට මාව අහුවුනේ නෑ.. 

    ඕං එක්තරා දවසක රෑක ටොරොන්ටෝ ඉන්න බප්පගෙ පුතන්ඩියා මට මැසේජ් එකක් එවනවා අපි දෙන්න අද ලම්පූරිය බැලුවා කියල.. මම ප්ලෑන් එක ගහගෙන හිටියේ උන් දෙන්න එක්කම ගිහින් ලම්පූරි බලන්න.. මූ මාව අන්දන්න බොරු කියනවා කියලා හිතන්නත් කලින් මේං මූ මට ලම්පූරිය බලන්න ගිහින් ගහපු කපල් ෆොටෝ එකෙකුත් එව්ව කියංකො.  මට මං එක්කම අසූ හාරදාහට මල පැන්නා මට ඒක මිස්වුනේ කොහොමද කියලා .. ටොරොන්ටෝවලින් ඕක බලනවා කියලාම හිතාගෙන ඉතිං අපේ කසින් බ්‍රදර්ගෙන් ඊලඟ දර්ශන වාර ගැන හොයලා බැලුවාම ඊලඟට තිබ්බ එව්වට එක්කො යන්න විදිහක් නෑ, එක්කො ටිකට් නෑ, එක්කෝ කිලෝමීටර් හත් අටසීයක දුරක් ගිහින් පිචර් එක බලල එන්න නිවාඩුවක් ඇරෙන්ජ් කරගන්න විදිහක් නෑ . කලින් ටිකට් එකක් අරගෙන වැඩේ ඇරේන්ජ් කරගන්න තිබ්බ චාන්ස් එක මිස්වුන නිසා මම ඉතිං ඔන්නොහේ හිතේ අමාරුවෙන් ලම්පූරිය ඇතෑරල දැම්ම..

    ඕං දවසක් හවසක ආයෙම අපේ ටොරොන්ටෝ කසින් බ්‍රදර් මැසේජ් එකක් දැම්මා ඇමෙරිකාවෙ පෙන්නන්න හදන්නෙ ඕං පුලුහංනං ගිහිං බලහං කියල.. ඒත් ඉතිං ලකාගෙ ඇඩ්වර්ටයිසින් ටීම් එක කොච්චර දක්ශද කියනවනම් ඒ ඇඩ් එකත් ඌ දැකලා එවනකල් මට ඇහැ ගැටුනෙ නෑ.. ඇඩ් එක බැලින්නම් දිනයක් වෙලාවක් ටිකට් ගන්න තැනක් මෙලෝ හත්ඉලව්වක් සඳහන් නෑ.. ඇඩ්වර්ටයිසින් ගෝඩ් ෆාදර්ලා කියාගන්නා ලකාලටත් ඉතිං ෆන්ඩමෙන්ටල් අමතක වෙලා වෙන්ටෑ කියලා මාත් ඉතිං වැඩේ ඇතෑරියේ නෑ.. කැනඩාවේ දර්ශනවාරවලට තිබ්බ දුරට වඩා ඇමෙරිකාවේ දර්ශනවාරවලට තිබ්බ දුර අඩු නිසා කෝල් පනහක් හැටක් ගහලා ඕං අන්තිමේ ටිකට් තියන තැනක් හොයාගෙන ඇමෙරිකාවෙන් ලම්පූරිය බලාගන්න වාසනාව මටත් උදාවුනා..

    මෙතැන් පටන් මේ පෝස්ට් එක ලකාට.. උඹලා ලම්පූරිය බැලුවෙ නැත්තං මෙතන ඉඳන් මේක කියවන්න එපා.. කොහෙන් හරි ඒක බලලා ඇවිත් ඊට පස්සෙ මේක කියවපන්..

ඉතිං මචං ලකා.. මචං කිව්වට සමාවෙයං.. බ්ලොග් කට්ටක් ලියන මං වගේ කබ්බෙක් ඔයයි වගේ පතාක යෝදයෙකුට මචං කියන්න වටින්නෙ නෑ.. ඒත් මචං මේක මට මචං නොකියා ලියාගෙන යන්න බෑ.. ඒකයි අවුල..

ඉතිං මචං ලකා.. කිව්වට තරහ වෙන්න එපා මචං.. උඹේ ස්ක්‍රිප්ට් එක පට්ට ප්‍රාථමිකයි..  Hulu, netflix, Amazon prime, Youtube කියන හතරෙන්ම ලෝක සිනමාව සහ ටීවී සීරීස් නරඹන එකෙක් විදිහට මට උඹේ ස්ක්‍රිප්ට් එක හොඳටෝම මදියි.. මම එහෙම කියන්නෙ කූඹියෝ ලිව්වෙත් උඹම නිසාත් කූඹියෝ එකේ තිබ්බ හීට් එක මේකෙ නැති නිසාත්.. කූඹියෝ ටීවී සීරීස් එකක් සහ පැය දෙකහමාරක ෆිල්ම් එකක් සංසදනය කරන එක සාධාරණ නැති වුනාට මචං ලකා පැය දෙකේ පිචැර්වලත් බලන් ඉන්න එකාව සීට් එකේ ගල්වෙන හීට් එකක් හදන්න සමත්වුන ස්ටෝරි ටෙලර්ස්ලා අපිට ඕනෑතරම් සිනමාව ඇතුලේ හමුවෙලා තියෙනව.. උඹත් ඔය හැම ඉන්ටවීව් එකේම කියන විදිහට ලෝක සිනමාව සහ ලෝක ටෙලි තිරය ඉතා සමීපව ඇසුරු කරන මනුස්සයෙක් විදිහට ලම්පූරි ස්ක්‍රිප්ට් එක මෝඩ චූන් එකක් කියලා කිව්වොත් ලොකුවට හිත රිද්දගන්න එපා.. පට්ට කට්ටක් කාලා ටිකට් එකක් අරං පට්ට දුරක් පට්ට පැය ගානක් ඩ්‍රයිව් කරලා ෆිල්ම් එක බලපු එකෙක් විදිහට මට ඒක කියන්න ලියන්න අයිතිය තියෙනවා කියලයි මගේ වැටහීම.. ලම්පූරි ස්ක්‍රිප්ට් එක මෝඩ චූන් එකක් නොවී සිරාම වැඩක් විදිහට කරගන්න උඹට කාලය සහ මුදල් දෙකම තිබිලත් මේ ස්ක්‍රිප්ට් එක වැඩිදියුණු කරන්න උඹ හෝ උඹේ කන්ඩායම උනන්දුවක් වෙලා නෑ කියලයි මගේ අදහස.. මම හිතන්නෙ උඹලා ෆිල්ම් එකක් කරනවා සහ ඒක පට්ට ස්ක්‍රිප්ට් එකක් කියලා උඹලාම අධි තක්සේරුවකට පත්වීම නිසා ඒක එහෙම වෙන්න ඇති කියලා හිතෙනව.. 

බ්‍රේකින් බෑඩ් සීරීස් එකම හතර වතාවක් බලපු එකෙක් විදිහට, බෙටර් කෝල් සෝල් දෙපාරක් බලපු එකෙක් විදිහට, ප්‍රිස්න් බ්‍රේක් හය වතාවක් බලපු එකෙක් විදිහට, වෝකින් ඩෙඩ් තුන් වතාවක් බලපු එකෙක් විදිහට, ද ලාස්ට් ශිප් හතර වතාවක් බලපු එකෙක් විදිහට, අටෝරාසියක් ක්‍රයිම් ත්‍රිලර් හොය හොයා ඇබ්බැහිවෙලා බලපු සහ බලන එකෙක් විදිහට ලෝක සිනමාවේ හෝ ලෝක ටෙලි තිරය නරඹද්දි දැනෙන ෆියර් එක වාලම්පූරිය ඇතුලෙ නෑ බං.. වෙන විදිහකට කියනවනම්, අරුං ටික කෝටිපති මුදලාලි කෙනෙකුගේ ලම්පූරියක්  උස්සලා ඒකට සැකකරුවන් වෙලා ඉද්දි උන්ට දැනෙන්න ඕන ජීවිත භිය ඒක බලන අපිට දැනෙන්න ඕන මචං.. ඒත් ඒ ෆීලින් එක අපිට ට්‍රාන්ෆර් වෙන්න තරමට ඒක ඇතුලට හීට් එක ගේන්න උඹ අසමත්වෙලා..

ලෝක සිනමාව පැත්තක තිබ්බත් රියල් ලයිෆ් එකේ අපි ගෙදරින් රුපියල් පහක් දහයක් උස්සලා ඒක මාට්ටු වෙන්න එනකොට තියන ෆීලින් එකවත්, ප්‍රින්සිපල් ඉස්කෝලෙට තාත්ත එක්ක එන්න කිව්වාම මාලු මාර්කට් එකෙන් දවසෙ කුලියට තාත්ත කෙනෙක් ගෙන්නලා ඌව ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඇතුලට දැම්මාම ඌ එලියට එනකල් අපිට දැනුන ෆීලින් එකවත් , අපේ එකෙක් කෝටිපති මුදලාලි කෙනෙකුගේ බාලවයස්කාර දුවෙක් අරං පැනලා මිසින්වුන කාලෙ අපේ සෙට් එකට පාරෙ තොටේ යද්දි දැනුන ෆීලින් එකවත් ( පාරක් අහගන්න වාහනයක් නැවැත්තුවත් චූ යන සයිස් බං) , තුවක්කුවක් තියෙන එකෙකුගේ වත්තකට රෑට පැනලා කුරුම්බයක් කඩාගෙන ඒ වත්තෙන් එලියට එනකල් අපිට දැනුන ෆීලින් එකවත් ,  කොමස් කරපු අපි මැත්ස් ක්ලාස් එකේ සිංදු කිය කියා ඉද්දි ෆිසික්ස් උගන්න ටීචර් ඇවිල්ලා ෆිසික්ස් උගන්නන්න ගත්තාම ඒ පීරියඩ් එක ඉවර වෙනකල් මැත්ස් කරන උන් ගානටම ඒ පංතියේ ඉද්දි අපිට දැනුන ෆීලින් එකවත් , එකම රුපියල් පනහා දෙකට ඉරලා කැන්ටිමේ කවුලු දෙකෙන් භාග භාග දීලා රුපියල් සීයක කෑම ගනිද්දි අපිට දැනුන ෆීලින් එකවත් ,  ලයිසන් ඉශුවරන්ස් නැති මෝටර් සයිකලේක තුන්දෙනෙක් දාගෙන යද්දි ඉස්සරහ පොලිසියෙන් ඉන්නව දැක්කාම අපිට දැනුන ෆීලින් එකවත් , යාලුවෙකුගෙ මාමගෙ වෑන් එකක් හොරෙන් අරගෙන ගිහිං පැදලා ඌ ඒකෙ පැත්තක් කුඩු වෙන්න ලොරියක හප්පගත්තාම අපිට දැනුන ෆීලින් එකවත් , රෑ දෙකට මොටර් සයිකලේ තනමල්විල ගිහිල්ලා  කතරගමට එද්දි තනමල්විලදීම පිටිපස්සෙ රෝදෙ හුලන් ගියාම මට දැනුන ෆීලින් එකවත් , හතලිස්දෙනෙක් මාතර ඉඳන් අම්බලන්ගොඩ එන්න ට්‍රේන් එකට ටිකට් ගන්න සල්ලි එකතු කරලා හැමෝටම භාගෙ ටිකට් අරගෙන ඉතුරු සල්ලි පිල්ලි ගිහිං ඉද්දි කෝච්චියට ටික්කො පැන්නාම අපිට දැනුන ෆීලින් එකවත් , එහෙම ලියනවනම් කලිසමේ මලපහවෙන සීන් කෝන් බොහෝමයක වගේ ඒ ඒ තැන්වල අපිට දැනුන ෆීලින් එක උඹේ ෆිල්ම් එක ඇතුලෙ නෑ මචං.. කූබියෝ නිර්මානකරුවන් විදිහට මම හිතන්නෙ ප්‍රේක්ශකයින් උඹෙන් ඔයිට වඩා ලොකූ යමක් බලාපොරොත්තු වුනා.. ඒ වගේම ඔයිට වඩා යමක් කරන්න හැකියාවත් උඹට තිබ්බා මචං.. ඒත් ඒක එතනට ඇවිත්  නෑ ලකා..

  ඒ වගේම Crime thriller එකක අවසානයේ තිබියයුතු  Climax එක ඒක ඇතුලෙ තිබ්බෙ නෑ මචං..  දුශ්ඨයා දිනුවත් වීරයා දිනුවත් පිචැර් එක්ක අවසානය කියන්නෙ ඒ ආනන්දය දිගේ බලන අපිට අඩුම තරමේ පැයක දෙකකවත් මානසික සොමියක් ගන්න අවස්ථාවක් ලැබිය යුතුයිනේ මචං.. ඒත් ඉතිං ඒකෙ එහෙම එකක් නෑ.... Crime thriller එකක අවසානයේ  ඔන් වෙන සොමිය දිගේ ගෙදර යන්න අවස්ථාව හිමිවියයුතු ප්‍රේක්ශකාගාරය එලියට ආවේ ඒ Climax එකෙන් නෙවෙයි කියලයි මගේ වැටහීම.. ප්‍රිමියර්වල වොයිස්කට් දීපු එවුන්ට‍යි, ඔසීවල ෆිල්ම් එක බලලා උඹෙනුයි නිශ්පාදකතුමාගෙනුයි ප්‍රශ්ණ අහපු කොල්ලො ටිකටයි  ඒ සොමිය ඔන්වුනේ කොහොමද කියන එක මට අදත් ප්‍රශ්ණයක්.. මට ඒ ඔසී ඉන්ටවීව් එක බැලුවාම ටිකක් විතර අවුලකුත් දැනුනා කියහංකෝ මගේ සොමි ලෙවල් එක අවුල් වෙලාදෝ කියලත්.. අන්තර්ජාතික නිර්මාණ ගත්තත්, ඉංදියාවෙන් බිහිවෙන නිරමාණ ගත්තත් Crime Thriller එකක් විදිහට වාලම්පූරිය තියෙන්නෙ සෑහෙන යටින් කියලයි මගේ කියැවීම.. Crime thriller එකක් ඇතුලෙ තියෙන්න ඕන හීට් එකත් ෆියර් එකත් ෆැන්ටසියත් Climax එකත් ඒක ඇතුලේ තිබුනේ ඉතා අවම මට්ටමක කියලයි මගේ කියැවීම..

ඊලඟ එක බං, ඒකට අර සීගිරි ගල ඔබ්බන්න මොකට ට්‍රයි කරාද කියලා ටික වෙලාවක් බලන් ඉද්දිම මට හිතුනෙ.. සිඩ්නියා ගමේ බයියෙක් කියන්න සීගිරි ගල සංඛේතයක් විදිහට පාවිච්චි කරා කියලා මට හිතෙනවා වුනාට සිනමාව ගැන පතාක යෝදයෝ වුන උඹලාගෙ කියැවීම ඊට වෙනස් වෙන්ටෑ.. ඒත් මචං උඹ ඒකට සීගිරිය එබ්බුවේ ඒ ගමේ බයිකම පෙන්නන්නම් ඒක සිම්බල් එකක් විදිහට අසාර්ථකයි.. වෙනත් විදිහකට කියනවනම් ඕක ලංකාවෙන් එලියට ගියාම ඒ ගල් තඩිය මොකක්ද කියලා නොදන්න එකෙක් කොහොමද ඒ සංඛේතය කියවාගන්නෙ මචං? මම කියන්නෙ උබට ඕකට ඔය ගල් ගෙඩිය නොදා වෙන විදිහකින් ඒක ප්‍රේක්ශකයාට දන්වන්න පුලුවන්කම තිබ්බා කියලයි.. ඒක ඉතිං නිර්මාණකරු විදිහට උඹේ අයිතිය නිසා ඒක ගැන ලොකුවට විවේචනය කරන්න මට අයිතියක් නෑ.. ඒත් ඕක ලංකාවෙන් එලියට ගිහිං සීගිරිය නොදන්න එවුන් ඕක බලද්දි උඹේ සංඛේතය උන්ට අහුවෙන්නෙ නෑ.. සිංහල කතා කරන ඒත් පිටරටවල ඉපදුන කොල්ලන්ට කෙල්ලන්ට එතන ගලක් තියෙනව ඒත් ඇයි ඒ ගල එතන තියෙන්නෙ කියලවත් දැනෙන්නෙ නෑ.. ඊයෙ පෙරේදාවක මිස් වර්ල්ඩ් වෙන්න ගිය කෙලි පොඩිත්ත අන්තර්ජාතික ස්ටේජ් එකක ධම්ම පදය කියද්දි ඒ ඕඩියන්ස් එකේ හිටපු එවුන්ට දැනුන අපබ්‍රංස හැඟීම තරම්වත් දෙයක් ඔය සීගිරි ගලෙන් ෆිල්ම් එක බලන උන්ට දැන්නෙ නෑ මචං.. කිව්වට ඉතිම් තරහ ගන්ට කාරි නෑ.. 

අනිත් කාරනාව බං ටිකක් බරපතල කාරනාවක් බං.. මේ ප්‍රශ්නේ උඹෙන්  සහ පොදුවේ පිචර් සහ ටෙලි හදන හැමෝගෙන්ම මම අහන ප්‍රශ්නයක්. ඇයි බං මේ හැම නාට්ටියකම හැම පිචැර් එකකම ඉන්න නලුවො ටිකම නැවත නැවතත් ගෙනැල්ල වෙනස් වෙනස් ඇඳුම් අන්දලා අපිට පෙන්නන්නෙ? උන් රඟපාන්න පට්ට දක්ශයි.. ඒත් බං අපි කොහොමද උන්ව වෙනස් විදිහට දකින්නෙ? අපි බලන බලන චැනල් එකේ එක එක නාට්ටිවල එක එක පිචැර්වල එක එක නම්වලින් උන් ටිකම ඉන්නව. ඉතිං කොහොමද බං අපි ෆිල්ම් හෝල් එක ඇතුලෙ අපේ ෆැන්ටසිය හදාගන්නෙ.. අපි කොහොමද ඉස්සරිදා බලපු හෝ සතියකට කලින් මාසෙකට කලින් බලපු පිචැර් එකේ නාට්ටියේ ඉන්න ඌව අමතක කරලා මේ ඉන්නෙ ඌ නෙවෙයි මේ ඉන්නෙ වෙන එකෙක් කියලා ෆැන්ටසිය හදාගන්නෙ? ෆිල්ම් හැදෙන්නෙ අපේ ෆැන්ටසිය පිනවන්නද එහෙමත් නැත්තම් නලුවන්ගෙ බඩගෝස්තරේ වෙනුවෙන්ද කියල හිතෙන්නෙ නැද්ද අපිට එතකොට?.. ලංකාවෙ නාට්ටියක් ගත්තත් ඉන්නෙ උන්මයි.. ෆිල්ම් එකක් ගත්තත් ඉන්නෙ උන්මයි.. රියැලිටි එකක් ගත්තත් උන්මයි.. සංගීත වැඩසටහනක් ගත්තත් උන්මයි... ඇයි බං ඒ? අපි බලන ප්‍රසිද්ධ අන්තර්ජාතික ටීවී ශෝස් ටිකක් අරං බලහංකො එකම නලුවා තව ටීවී ශෝ එකක දකින්නෙ ලැබෙන්නෙ කොයිතරම් විරලවද කියල..  ප්‍රසිද්ධ ටීවී ශෝස් ගත්තාම පලවෙනි දෙවැනි සීසන්වලින් පස්සෙ බොහෝමයක් ප්‍රසිද්ධ එව්වයෙ නිශ්පාදන කන්ඩායමේ ප්‍රධාන නලුව ඉන්නව.. ඉන් එහා හැදෙන සීසන්වල ලාභයෙන් කොටසක් ප්‍රධාන නලුවාට ගියාට උන් හැම චැනල් එකකම හැම පිචැර් එකකම පෙනී හිටින්නෙ නෑ.. ඒත් බං උඹලා එකම එලු පට්ටිය අපිට එකම ගමේ තැන තැන තියලා වෙන වෙන ඇඳුන් අන්දලා එක එක පාටින් පෙන්නනවනේ බං.. ඒකෙන් බලන එකාගෙ ෆැන්ටසිය කැඩෙනවා කියලා උඹලාට වැටහෙන්නෙ නැත්තේ ඇයි මචං.. ප්‍රසිද්ධ නැති නලු නිලියො නැතුව ෆිල්ම් එකක් නාට්ටියක් දුවන්න බෑ කියලා හිතනවනම නිකමට හිතපං මචං, උඹ ඉපදිලාද මන්දා ඒ කාලෙ.. සනත්, මාලනී, විජය, ගාමිනී, ජීවන්, සශී, සබීතා, අනෝජා, නදීකා, ගීතා, ඇතුලු මෙකී නොකී අපේ සිනමාව අරක්ගත්තු නලු නිලියන් එකෙක්වත් නැති "සිංහ පැටව්" පිචැර් එක ලංකාවෙ හෝල්වල පට්ටෙට දිව්ව මචං.. මට ඒ කාලෙ අවුරුදු දහයක්වත් නැද්ද මන්ද.. මමත් ඕක දෙපාරක් බැලුව අපේ ලොකු අම්මගෙ පුතාලා වෙච්චි අයියලා දෙන්නෙක් එක්ක ගිහිං.. ඒ දෙපාරෙම මට මතක විදිහට ශෝ එක හවුස් ෆුල්..

ඉතිං මචං.. අඩියෙන් අඩිය ලියන්න විවේචන තිබ්බත් ෆිල්ම් එක බලන්න ඉන්න එවුන්ගෙ ඕන් වෙන්න නියැමිත  සොමිය කඩන්න බැරි නිසා මේක මයික්‍රො සයිස් එකට විවේචනය කරලා බෑ.. මම බලාපොරොත්තු වුන දේ නැතත් උඹලා ලංකාවෙ සිනමා කර්මාන්තය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරමින් ඉන්න නිසා ඒකට අකුල් හෙලලා බෑ.. පැය දෙකහමාර ඇතුලේ කතාවේ ගලාගෙන යාම කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ.. වාලම්පූරිය බලපු මාව, ඉන්ටවල් එකක් නැතුවත් පැය දෙකහමාරක ෆැන්ටසියක අතරමං කරන්න ලකා උඹ අසමත්.. ඒ උබේ නොහැකියාව කියලා මම විශ්වාස කරන්නෙ නෑ.. මම හිතන්නෙ ඒ මේක ෆිල්ම් එකක් කරන්න උඹට තිබ්බ හදිසිය වෙන්න ඇති.. හැබැයි මචං , කතාව, තේමාව, ගලාගෙන යාම, ෆැන්ටසිය පැත්තකින් තිබ්බාම උබේ අධ්‍යක්ශ්ණය පට්ට.. ඒත් මචං ඇංජිම රත්තරනින් හදලා තිබ්බත් බොඩියයි ඇතුලයි ලස්සනට සැපට නැතිනම් මිනිස්සු ඒ බස් එකට නගින්නෙ නෑ..

Climax එකක් පැහැදිලි නැති නිසා හීන හතහමාරකට වඩා ගැලපෙන ටැග් ලයින් එක තමයි මම ඔය උඩම වරහන් ඇතුලෙ ලියල තියෙන්නෙ.. මම ඉතිං මහා ලොකු සිනමා විචාරකයෙක් නෙවෙයි නිසා මෙව්ව ලොකුවට ගන්න ඕන නෑ.. මට දැනුන දේ  ලිව්වෙ.. තරහ ගන්න කාරි නෑ ඉතිං.. හදාගන්නනේ මට්ටො කියන්නෙ.. ඊලඟ එක කරන්න කලින් මීට වඩා 100X හෝම්වර්ක් කරපං.. ආදරෙයි පැලෙන්න..

Sunday, September 22, 2024

චන්දරේ බාප්පෙ.. මම ඔට්ටුව පරාදයි..

 


     කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු කතාවක් ලියා පලකරන්න හොඳම සහ සුදුසුම දවස අද කියලා හිතුන නිසා සියලූම වැඩ කටයුතු පැත්තක දාල මේක ලියන්න පටන් ගත්තෙ.. 

චන්දරේ බාප්ප මට ඥාති වෙන්නෙ සෑහෙන්න දුරින්.. ඒක ලියන්න ගියොත් A4 පිටු දෙකක් විතර ලියන්න වෙනව ඒ නෑකම පහදන්න.. නෑකම ගැන කෙටියෙන් කියනවනම් චන්දරේ බප්පා කියන්නෙ මගේ තාත්තගෙ, නැසීගිය ලොකු අයියගෙ, වයිෆ්ගෙ, අම්මගෙ,  සහෝදරියකගෙ,  පුතෙක් කියලා තමයි මගේ වැටහීම..  සමහර විට ඔය මම ලියපු නෑකමේ අන්තිම පුරුක් දෙක පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුලුවනි මට ඒ ගැන ලොකු අවභෝධයක් නැති නිසා.. මගේ තාත්තගෙ අයියගෙ පුතාලට චන්දරේ බාප්පා මගේ වැටහීමේ හැටියටනම් විය යුත්තේ මාමා කියන නෑකම උනාට අපේ ලොකු තාත්තගෙ දරුවො උන්ගෙ චන්දරේ මාමාව චන්දරේ බාප්පා කියලා හැඳින්වූයේ ඇයි කියලා මම අදටත් නොදන්න දෙයක්.. අපේ ලොකු තාත්තගෙ දරුවන්ගේ ආමන්ත්‍රනයෙන්ම අපිටත් ඉතිං චන්දරේ බාප්ප හරිම ලඟ ආදරණීය චරිතයක්..

අපි පුංචි කාලෙ අපේ බාප්පලා අපිව සති අන්තයට මුහුදෙ නාන්න එක්කන් යද්දි චන්දරේ බාප්පත් අපි එක්ක මුහුදෙ නාන්න යන්න සෙට් උනා.. මම මේ කියන කාලය් 1985 සහ 1990 අතර කාලය කියලයි මට ලාවට මතක.. චන්දරේ බාප්පා හයේ හතරෙ උස මහත උත්තුංග දේහදාරී මනුස්සයා.. මූන පුරා රැවුලක් වවාගෙන කොයිවෙලාවෙත් හිනාවෙලා හිටපු මනුස්සයෙක් විදිහට චන්දරේ බාප්පා බොහොම ආදරණීය මනුස්සයෙක්.. පෙනුමෙන් බොහොම සැර පරුශ තද පෙනුමක් තිබුනට කතා බහේදි කිසීම සැරපරුශ ගතියක් නැති සුන්දර මනුස්සයෙක්.. චන්දරේ බාප්පා පාසල් ගුරුවරයෙක්.. මට පලමු වරට චන්දරේ බාප්පා මගේ ඇස්මානයට එන කාලය වෙද්දි චන්දරේ බාප්පා පාවිච්චි කරේ Honda DB 250 N වර්ගයේ තඩි මෝටර් සයිකලයක්.. මමත් හීං එකා සංදියේ හිටංම රථගාය තිබ්බ එකා නිසා චන්දරේ බාප්පගෙ CB 250 එකේ සද්දෙ මට ඈත හිටංම අඳුරගන්න පුලුවන් සද්දයක් ඒ කාලෙ.. අපේ ගමේ තිබුන ඒ ජාතියේ මෝටර් බයිසිකල් දෙකෙන් එකක් තමයි චන්දරේ බාප්පගෙ මෝටර් බයිසිකලේ.. 88/89 කාලෙ කලබල වලින් පස්සෙ චන්දරේ බාප්පා අපේ දර්ශනපථයෙන් නොපෙනී ගිහිං මට ආයෙම චන්දරේ බාප්පා සම්මුඛ වෙන්නෙ 2001-2005 කාලෙ මරදානෙ ඉඳන් මාතර යන රුහුණු කුමාරී දුම්රියේදි..

ඒ වෙද්දි චන්දරේ බාප්පා ඉගැන්නුවේ කොලඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ කියලයි මට මතක.. සතියට වරක් දෙවරක් මටත් රුහුනු කුමාරියේ ගෙදර යන්න චාන්ස් එක හම්බෙන වෙලාවට ඒ කෝච්චියේම දෙවැනි පංතියේ සීට් එකක චන්දරේ බාප්පත් ඉන්නව මම දකිනව.. සමහර වෙලාවට අපි දෙන්නම එක ලඟ සීට් එකේ වාඩිවෙලා එනව.. දෙන්නටම ඉතිං මරදානෙන්ම නින්ද යන නිසාත් ආයෙම ඇහැරෙන්නෙ අම්බලන්ගොඩ ලංවෙලා නිසාත් අපිට ඉතිං නෑකම පොලිශ් කරගන්න ලොකු වෙලාවක් නෑ.. ඒත් ඉතිං කතා කරන්න කියලා අපිට සුවිසේශී තොරතුරු තිබුනෙත් නෑ.. ආන්ඩුවෙන් ලැබෙන දෙවැනි පංතියේ සීසන් එකෙන් අපි දෙන්නම රුහුනු කුමාරියේ පැලෙන්න නිදා ගන්නව.. 1.30 ට ඉස්කෝලෙ ඇරිලා චන්දරේ බාප්පාට 3.50 ට මරදානෙන් රුහුනු කුමාරියේ නගින්නෙ නැතුව 2 ට කොටුවෙන් පිටත්වෙන ගාලු කුමාරියේ ගෙදර නොගියේ ඇයි කියලා මම චන්දරේ බාප්පගෙන් අහලා නෑ කවදාවත්.. 

 චන්දරේ බාප්පා ජවිපෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරලා නගර සභාවෙ සභිකයෙක් විදිහට තේරී පත්වුනේ කොයි අදුරුද්දෙද කියල මට හරිහැටි මතක නෑ.. රුහුනු කුමාරියේ හමුවෙනවට අමතරව මට ආයෙම චන්දරේ බාප්පව සමීපව ඇසුරු කරන්න ලැබෙන්නෙ අපේ කඩේදි.. 

මම කොමියුනිකේශන් එක පටන් ගන්නෙ 2001 අවුරුද්දෙ.. හවස වැඩට ගිහුං ආපු වෙලාවෙ ඉඳන් රෑ 10 වෙනකල් මම හිටියෙ කඩේ වැඩ එක්ක.. දවල් දවසේ වැඩට ඉන්න ලමයි දෙන්නට කරලා ඉවර කරගන්න බැරිවුන ටයිප් සෙටින්, ෆොටෝ කොපි, සියල්ලම අවසන් කරන්න වෙන්නෙ මට.. මැතිවරණ කාලවල චන්දරේ බාප්පලාගෙ බොහෝමයක් දේශපාලන කටයුතුවලට අදාල ෆොටෝ කොපි ගැහුවෙ අපේ කඩෙන්.. අනෙක් පක්ශ ක්‍රියාකාරීනුත් ෆොටෝකොපි ගැහුවෙ අපේ කඩෙන්.. චන්ද කාලෙට අපේ ෆොටෝකොපි බිස්නස් එක වෙනදට වඩා සරුයි..  කොපි ගහන වැඩ තියෙනකොට චන්දරේ බාප්ප කලින්ම මට කියනව පුතා අපිට කොපි ටිකක් ගහගන්න ඕන රෑ වෙලා එන්නම් කියල.. ලොකු ඕඩර් එකක් එක දිගට කොපි ගහනකොට කඩේට එන අනික් ගනුදෙනු කරුවන්ට රස්තියාදු වෙන්න වෙන නිසා මමත් කැමතිවුනේ චන්දරේ බාප්පලා කඩේ වහන්න ලංවෙලා එනවනම්..

සමහර දවස්වලට ඒ ෆොටෝකොපි ගැහිල්ල රෑ දොලහ පහුවෙනකලුත් ඇදෙන තරම් ලොකු වැඩ.. මමත් අපේ මුලු පවුලමත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ශයට යාවජීවව සහය දෙන සහ කතිරය ගහපු මිනිස්සු.. ඒක චන්දරේ බාප්පත් ඉතාමත් හොඳින්ම දැනගෙන හිටපු කාරනාවක්.. හැබැයි එහෙම කියලා අපිට චන්දෙ දෙන්න කියලා චන්දරේ බාප්පා කවදාවත් අපිට බලපෑමක් තියා ඉල්ලීමක්වත් කරලා නෑ.. ගහන්න ඕන ෆොටෝ කොපි මිටිය අරගෙන දෙතුන් දෙනෙක් එක්ක කඩේට එන චන්දරේ බාප්පා ඇතුලු කිහිපදෙනා සිගරට් එකක් තියා ප්ලේන්ටියක්වත් නොබී මම ෆොටෝකොපි ටික ගහල දෙනකම් පැය ගනන් කඩේ ඇතුලෙ හිටහෙන හිටිය.. වෙනත් දේශපාලන පක්ශවලට සම්භන්ධ උදවිය ෆොටෝ කොපි ගහල ලියපු නැති බිලක් ඉල්ලගෙන යද්දි චන්දරේ බාප්පලා කවදාවත් රුපියලක්වත් වැඩිපුර දාපු බිලක් ඉල්ලුවේ නෑ..

ඔය ෆොටෝ කොපි ගහන කාලය අතරතුරේ අපි විවිධ දේවල් කතා කරා.. හැබැයි කවදාවත් මගේ දේශපාලන මතය වෙනස් කරන්න චන්දරේ බාප්පා උත්සහ කරේ නෑ... මට තිබ්බෙ ජවිපෙ ගැන වෙනමම විවේචනයක්.. ජවිපෙ කවදාවත් බලයට එන්නෙ නෑ කියන කොන්ක්‍රීට් මතයක මම ඒ වෙද්දි හිටියෙ.

චන්දරේ බාප්පෙ.. දැං අවුරුදු ගානක් ට්‍රයි කරා තාම බලයක් ලැබුනෙ නෑනෙ ඔයාලට..

එහෙම කියලා අපි සැලෙන්නෙ නෑ පුතා.. අපි දිගටම ට්‍රයි කරනව..

ඔයාලා ඔය කියන මාක්ස්වාදී සමාජවාදී දේශපාලනය අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ චන්දරේ බාප්පෙ.. දැං ඕක ඇතෑරල ප්‍රධාන පක්ශෙකට ගිහිං රටට වැඩක් කරන්න.. අපරාදෙනේ මහන්සිය ඔයාලගෙ..
 
අපේ ප්‍රතිපත්ති එක්ක ප්‍රධාන පක්ශවල ප්‍රතිපත්ති එකට යන්නෙ නෑ පුතා.. ඒ නිසා අපි යන්නෙ අපේ පාරෙම තමයි..

ඉතිං බාප්පෙ මිනිස්සු ඔයාල කියන කතාව අහන්නෙ නෑනෙ.. ඔය සුලුතර චන්ද ටිකකින් ඔයාලට කවදාවත් රටේ බලයක් ලැබෙන්නෙ නෑ..

එහෙම වෙන්නෙ නෑ පුතා.. කවදාහරි මිනිස්සු අපි කියනදේ පිලිගන්නව..

මේ කපේනම් බාප්පෙ ඕක වෙන්නෙ නෑ..

ඒක වෙන්න පුලුවන් පුතා.. කාලය කොයි කාලෙද කියලා අපි දන්නෙ නෑ.. ඒත් කවදහරි අපි බලයට එනවාමයි..

ඒකනම් වෙන්නෙ නෑ බාප්පෙ.. මම ඕනෑම ඔට්ටුවක් අල්ලනව.. ජවිපෙට කවදාවත් රටේ පාලනයට එන්න වෙන්නෙ නෑ..

ඔට්ටු ඕන නෑ පුතා.. සමහරවිට අපි ජීවත්ව නැති වෙයි.. ඒත් කවදාහරි මේ රටේ මිනිස්සු අපි කියන කතාව පිලිගන්නව.. මිනිස්සු අපිට කවදාහරි ආන්ඩු බලයක් දෙනව පුතා..

මොනවද ඔට්ටු.. කවදාවත් නෑ..

ඔට්ටු ඕන නෑ පුතා.. මේ ක්‍රමය අසාධාරනයි කියලා අපි ආයෙ ආයෙම මිනිස්සුන්ට කියනව.. මිනිස්සු අපිට ඇහුමකන් දෙන දවසක් එනකම් අපි ඒක මිනිසුන්ට කියනව..

ඉතිං බාප්පෙ ඔයාලට ඕන මිනිස්සුන්ට සාධාරනයක් කරන්නනම් ඔයාලට බැරි ඇයි ප්‍රධාන පක්ශෙකට එකතුවෙලා චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යන්න.. ඒක ලේසියිනේ..

ඒක එහෙම වෙන්නෙ නෑ පුතා.. අපි වෙන පක්ශයක් එක්ක එකතුවෙලා යද්දි අපිට වැඩකරන්න වෙන්නෙ එයාලගෙ ඇජෙන්ඩා එකට.. එතනදි අපිට අපේ ප්‍රතිපත්ති පාවලා දෙන්න වෙනව.. අපිට එහෙම කරන්න බෑ පුතා..

මම ඕනම ඔට්ටුවක් අල්ලනව.. ඔයාලට කවදාවත් පාලන බලයක් ලැබෙන්නෙ නෑ..

ඔට්ටු ඕන නෑ පුතා.. සමහරවිට ඔයාට ඔයාගෙ ජීවිත කාලෙ ඇතුලතම ඒක දැකගන්න පුලුවන් වෙයි..

එතැනින් එහා මම ඒ සංවාදය ඉදිරියට අරන් ගියේ නෑ.. මට ඒ  වෙලාවෙ චන්දරේ බාප්පගෙ ප්‍රකාශය නිකම් විහිලුවක් වගේ උනා.. මම එයාලගෙ දේශපාලනය විවේචනය කරා කියලා චන්දරේ බාප්පට කවදාවත් මං එක්ක කේන්ති ගියේ නෑ.. ෆොටෝකොපි ටික ගහලා දෙනකල් එලිවෙනකල් හරි කඩේට වෙලා හිටගෙන ඉන්නවා වතුර එකක්වත් ඉල්ලන්නෙ නෑ..



කාලය ඒ විදිහට ගෙවී ගිහින් 2009 චන්දෙ කාලෙ (මතක විදිහට) එක්තරා රාත්‍රියකදී චන්දරේ බාප්පට දේශපාලන එදිරිවාදීන් පිරිසක් විසින් මහමගදී පහර දෙනව.. ඒ වෙද්දි චන්දරේ බාප්පා අම්බන්ගොඩ නගර සභාවෙ මන්ත්‍රී කෙනෙක් කියලයි මගේ මතකය.. ඒ පහරදීමෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කෙරෙන චන්දරේ බාප්පා ඒ පහරදීම් හේතුවෙන්ම රෝහලේදී මියයනව.. හෙවනැල්ලටවත් වරදක් නොකරපු, මහ පොලොවට කවදාවත් බරක් නොවුන, කවදාවත් කාටවත් හිත රිදෙන්න වචනයක් නොකියපු ඒ අහිංසක මනුස්සයාට එහෙම අපරාදයක් කරේ කොහොමද කියලා මට අදටත් අදහාගන්න බෑ.. ඒ ගැන මතක් වෙද්දි අදත් චන්දරේ බාප්පා කියන්නෙ මට වේදනාත්මක මතකයක්..

අද අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති විදිහට දිවුරුම් දෙනව.. අනුර කුමාර ජනාධිපති කියලා කියනකොට මට ඉස්සෙල්ලම ඔලුවට එන්නෙ චන්දරේ බාප්පව.  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය දිනුම් කියලා ඇහෙනකොටම මට මේ දැං කීව්වා වගේ චන්දරේ බාප්පගෙ කටහඬ මනසට එනව..

"ඔට්ටු ඕන නෑ.. සමහරවිට අපි ජීවත්ව නැති වෙයි.. ඒත් කවදාහරි මේ රටේ මිනිස්සු අපි කියන කතාව පිලිගන්නව.. මිනිස්සු අපිට කවදාහරි ආන්ඩු බලයක් දෙනව පුතා.."

එදා ඔයා මං එක්ක ඔට්ටුව ඇල්ලුවේ නැති උනාට අද මම ඒ ඔට්ටුව පරාදයි චන්දරේ බාප්පෙ.. ඔයාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

Saturday, September 21, 2024

සැප්තැම්බරයේ බලාපොරොත්තුව

 


ඒක 1994 දවසක්.. හරියටම දවස මතක නැති උනාට ගූගල්ගෙන් අහලා බැලුවාම දවස 1994 නොවැම්බර් 9. එදා තමයි මගේ ජීවිතේ පලවෙනි වතාවට චන්දෙ දාපු දවස.. අවුරුදු 17 ක කෲර පාලනයක් සහ ඇතිවෙන්න ලේ හැලුන කාල වකවානුවක් ඉවර වෙලා අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් ගෙනාපු දවස.. වෙනත් විදිහකින් කියනවනම් ඒක ගිනිගත් දේශයක නොවැම්බර්  බලාපොරොත්තුව.. එවකට වයස යාන්තමට දහ අටක් වෙච්ව ඇටෙන් පොත්තෙන් එන වයසෙ එවුන් විදිහට චන්දයක් කියන්නෙ අපිට වෙනමම අලුත්ම අත්දැකීමක්..


ජීවිතේ පලවෙනි වතාවට චන්දය දානවා කිව්වම ඒක අලුත්ම අලුත් ඇත්දැකීමක්.. උදේ පාන්දරම චන්දපොලට ගෙහුං රටේම අලුත් බලාපොරොත්තුව වෙච්චි සැටලයිට් එකට කතිරෙ ගහල ආවෙ හෙන වීරකමක් කරපු ගානට..
 අම්බලංගොඩ වටේම යාලු මිත්‍රයෝ හිටියට චන්දෙ දවසෙ රෑට සෙට් වෙන්නෙ වෙනමම සෙට් එකක්.. ඒ කාලෙ චන්දෙ දවසෙ රෑට අනිවාර්‍යෙන්ම ඇඳිරි නීතිය වැටෙන නිසා දුරවල්වල ඉන්න යාලු මිත්‍රයෝ එක්ක සෙට් වෙන්න යන්න විදිහක් නෑ.. එදාට ඉතිං එකම පිහිට ගමේ අහල පහල සෙට් එක විතරයි..

එදාට තමයි අපේ මංගලයයි මමයි ගජරාමෙට සෙට් වෙන දවස.. මංගලයි මමයි අසල් වැසියන්.. ඒ එක්කම එක ඉස්කෝලෙ එක පෙලේ.. එවකට අපි ඒ ලෙවල්.. මංගලයා රෑ වෙද්දි රතිඥ්ඥා පෙට්ටි දෙක තුනක් එහෙමත් සෙට් කරගෙන ලක ලෑස්ති වෙන්නෙ ගජරාමෙට චන්දෙ අහන්න.. අපේ ගෙදර ටීවී එකේ භාගයයි මංගලලාගෙ ගෙදර ටීවී එකේ භාගයයි.. ඔය අතරෙ මංගලයයි මමයි ගෙවල් දෙකෙන්ම අතුරුදහන්වෙන වෙලාවල් එමටයි..

සැටලයිට් ඇන්ටිට වාසිවෙන චන්ද ප්‍රථිපලයක් යද්දි සැටලයිට් එකට විරුද්ධ පිලේ ගෙදරක
මිදුලට රතිඥ්ඥා කරලක් පත්තු කරලා දාලා කරුවලේ පඳුරක් අස්සට වෙලා බලාගෙන ඉඳලා ගන්න සොමිය සල්ලිවලට ගන්න බෑ.. ගජරාමෙට බෝතල් පාර්ටිය දාගෙන චන්දෙ අහන ගෙවල්වල ඇරලා තියන ජනේලයකින් ගේ ඇතුලට රතිඤ්ඤාවක් දාලා පැනල දුහන එකට අපේ මංගලයා කප් ගහපු පොරක්.. මම ඉතිං ලොකු දිවිලි කාරයෙක් නෙවෙයි නිසා මම ඈතට වෙලා බලාගෙන ඉන්නව.. රතිඤ්ඤාව පත්තු උනාම බෝතල් පෙරලගෙන දුවන චන්ද දායකයන්, බීමතේ කියන සුන්දර වචන ඉතිං මෙලෝ වසනා එකෙකුට අහං ඉන්න පුලුවං එව්ව නෙවෙයි.. ඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාව නිසා පාරේ ගමන අවධානම්.. ඒ නිසා කොල්ලො කුරුට්ටො සියල්ලෝම එදා දවසට ගමන් පහසුව සලසා ගන්නෙ වැට මායිම් හරහා තමයි.. රටේ චන්දයක් තිබුනේ නැති ගානට සියලූම ලැයිට් නිවලා මසුරං පහට නිදාගන්න ගෙවල්වලටත් ඉතිං රතිඤ්ඤා ප්‍රහාරයෙන් ගැලවෙන්න බෑ..

රටේම අවුරුදු ගානක් තිස්සෙ බුර බුරා නැගුන ගිනි ජාලාවන් නිවෙන දවස එදා වෙච්චි රට පුරා මිනිස්සු චන්දය සැමරුවේ කාලෙකින් ආපු සිංහල අවුරුද්දක් විදිහට.. මංගලයයි මමයි ගමේ අනික් කොල්ලො කුරුට්ටො සෙට් එකයි රෑ දොගොඩ හරියෙ ගමේ ගෙයක් ගෙයක් ගානේ වැටවල් වලින් පැන පැන හීනියට රතිඤ්ඤා ආතල් එක ගන්නව.. සමහර ගෙවල්වල අඳුරු මිදුල් කොන්වල හීනියට සෙට්වෙන බෝතල් පාර්ටි දිහාවට අහස් කූරක් එහෙම යැව්වාම එතන ආතල් කෝටියයි.. අපේ ගෙවල්වල ඉන්න මවු දෙමවුපියන්ගෙ කෑලි නෑ.. දෙන දෙන චන්ද ප්‍රථිපල සැටලයිට් එක දිනුම් කියද්දි අපිටත් ඉතින් ෆුල් ආතල්.. කොහොමින් කොහොමහරි එලිවෙන්න තුන හතර වගේ වෙද්දි කොල්ලො කුරුට්ටො සෙට් එක කලුවඩුමුල්ල පිට්ටනිය දිහාවට ගාටනව.. පිට්ටනිය මැද්දෙ කව්දෝ එකෙක් තඩි ටයර් සෑයක් පත්තු කරලා අඩි පනහකට වැඩි මිසක් අඩු නැති උසට මහා විසාල ගිනිමැලයක් දැල්වෙනවා කියහංකෝ.. ඇයි එහෙම ගිනිමැලයක්ප ත්තු කරේ, කව්ද ඒක පත්තු කරේ කියලා කවුරුවත් දන්නෙ නැති උනාට ඒ අවට ගෙවල්වල අවදිවෙලා ඉන්න පිරිස පිට්ටනිය වටේ ඈතින්  වටවෙලා ගිනිමැලය දිහා බලන් ඉන්නව..  අවුරුදු කීපයකට කලියෙන් පාරවල් අයිනෙ ටයර් උඩ මල මිනී පිච්චෙනව දැකපු අපිට මහා විසාල ටයර් සෑයක් කියන්නෙ භය සංත්‍රාසය පිරුන දර්ශනයක්.. මමයි මංගලයයිත් පිට්ටනියෙ උඩහට වෙලා ගිනි මැලය දිහා බලන් ඉන්න අල්ල පනල්ලෙ මේං බොලේ එක පාරටම පොලිස් ජීප් එකක් මතුවුනා කියහංකෝ ග්‍රාමිණී විද්‍යාලය පැත්තෙන්.. ටයර් සෑයයි පොලිස් ජීප් එකයි කියන්නෙම මොලේ දිව්වෙ නැතත් ඇඟ දාලා කකුල් දෙක විතරක් හරි පැනලා දුවන සීන් එකක් නිසා මම මංගලයටවත් මංගලයා මටවත් කියලා ස්ථීර කරන්න කලින් අපි දෙන්නා එතැනින් පැනලා දුවන්න ගත්තා කියමුකෝ.. පිට්ටනිය වටේ වටවෙලා හිටපු පිරිසත් හිස් ලූලූ අත දුවන්න ගතපි..  ඇඳිරි නීතිය වෙලාවෙ පොලිස් ජීප් එකක් එක්ක පාර දිගේ රේස් දුවන එක වෙඩි කන්න වෙන වැඩක් නිසා මංගලයා සුපුරුදු ආකාරයෙන් වැට කඩොලු කඩාගෙන වතු උඩින් දුවන්න ගතපි.. මමත් ඉතිං පසු නොබලා මංගලයා පස්සෙන් ඔරේ රන්.. 

කලුවඩුමුල්ල පිට්ටනිය ලඟ තිබ්බ ඒ කාලෙ පරන තාලෙ ගෙදරක්.. ඒ ගෙදර මැද මිදුලක් එහෙම තිබ්බ ගම් උලු සෙවිලි කරපු පරන ඇන්ටික් මොඩල් එකේ ගෙදරක්.. දැං ඒ ගෙදර එතන තියනවද නැද්ද කියලා මම දන්නෙ නෑ අවුරුදු ගානකින් ඒ පැත්තට නොගිය නිසා.. පොලිස් ජීප් එක දැකපු මංගලයා  කොයිතරම් භය උනාද කියනවනම් පිට්ටනියට එද්දි ඒ වත්තෙ මායිමෙන් පැනලා ගේ අයිනෙන් ආපු එකා මේං අර ගේ මැද්දෙන් ගේ හරහා දිව්වා කියහංකො.. ඒ ගෙදර මිනිස්සුත් වටේටම ලයිට් දාගෙන දොරවල් එහෙමත් ඇරගෙන චන්ද ප්‍රථිපල බල බලා හිටියෙ.. එකපාරටම රෝඩ් රනර් ශෝ එකේ කුරුල්ලා ගේ මැද්දෙන් දිව්ව වගේ මංගලයා සිං ගාලා ගේ මැද්දෙන් ඇරපු ඇරිල්ලට ගෙදර මිනිස්සු මොකාද යකෝ ඒ කියන්නැහේ මංගලයා දිහා බලනකොටම මේ තව එකෙක් ඒ වේගෙන්ම ගේ මැද්දෙන් ඔරේ රන්.. මමත් ඒ හරියෙ වතුපිටි ගැන වැඩිමනක් දන්නෙ නෑ.. පොලිස් ජීප් එක ආපු නිසා පාරෙන් දුවන්නත් බෑ.. මංගලයා පස්සෙන් ඌ දුවන පාරෙ දුවනවා ඇරෙන්න මටත් වෙන විකල්පයක් නෑ.. මම හිතන්නෙ නෑ අපි දෙන්නම ඇරපු ඇරිල්ලට ඒ ගෙදර මිනිස්සුන්ට දිව්වෙ කව්ද කියලා අඳුරගන්න වෙලාවක් තිබුනා කියලා.. 

මැතිවර්ණයක්, අඳුරු රාත්‍රියක්, අඩි පනහක් විතර උසට ඇවිලෙන ටයර් සෑයක්, පොලිස් ජීප් එකක් කියන්නේ ඕනෑම අමු සොහොනක් මැද්දෙන් දෙපාරක් හිතන්නෙ නැතුව භය නැතුව පැනලා දුවන්න පුලුවන් වෙන පට්ට රෙසිපියක්.. ඒ තමයි 1994 වෙද්දි අපි අත්දැකලා තිබ්බ දේශපාලන වාතාවරණය.. ඒ නිසා තමයි 1994 ජනාධිපතිවරණය අපිට සෝමාලියාවට දාපු පාන් කෑල්ලක් ගානට සෙට් වෙන්නෙ..  හැබැයි අපේ ඒ බලාපොරොත්තු එදා පත්වුන සට්ලැයිට් ඇන්ටි ඉශ්ඨ කරේ නෑ.. අපි ඒ ගොඩගහපු බලාපොරොත්තු කිසිදු වටිනාකමක් නොලබාම කාලයාගෙ ඇවෑමෙන් නොසලකා හැරුන. වෙනත් විදිහකින් කියනවනම් නොවැම්බරයේ බලාපොරොත්තුව කූඨප්‍රාප්තියක් නොලබාම මියෑදුනා..

අදත් ඒ වගේම දවසක්.. 2024 සැප්තැම්බර් 21 කියන්නෙත් අපි බලාපොරොත්තු කප්පරක් ගොඩ ගහන දවසක්..  අපේ බලාපොරොත්තු ඉටු වේවිද නැද්ද කියලා හෙට දවසේ පත්වෙන ජනාධිපතිවරයා තීරණය කරාවි.. අපේ රටේ දෙකෝටි විසි ලක්ශයක කුඩු සංසාර වෙච්ච ජීවිතවල තිඹිරි ගෙයිම මැරිලා ගිය බලාපොරොත්තු , ඉශ්ඨ සිද්ද කරගන්න මාලිමාව අපිට හරි පාර පෙන්නාවිද? රටට ලෝකෙට ණය නැතුව කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන අභිමානවත් රටවැසියන් වෙන්න අනුර කුමාර අපේ මිනිස්සුන්ට අවස්ථාවක් හදලා දේවිද? 
 තැන තැන විසිරිච්ච ජීවිත එකලාසයක් කරගෙන සතුටින් ජීවත්වෙලා කාටවත් බරක් නොවී මැරීලා යන්න අනුර කුමාර අපිට අලුත් ජීවිතයක් හදලා දේවිද? අපි බලාගෙන ඉමු.. හරියටම අපි 1994 බලාගෙන උන්නා වගේම.. මේ තමයි අපේ පරම්පරාව අභිමානවත් ජීවිතයක් ගැන කප්පරක් බලාපොරොත්තු ගොඩ ගහන අවසාන අවස්ථාව.. ආයෙ අපේ ජීවිත කාලය ඇතුලත මේ අවස්ථාව උදා වෙන්නෙ නෑ.. අපි බලාගෙන ඉමු.. සැප්තැම්බරයේ ඔටුනු පලඳින අලුත්ම අලුත් බලාපොරොත්තුව දිහා සීරුවෙන්..  ❤️❤️❤️

Saturday, June 29, 2024

ආදර ගුණේ ..

      


                ගුණේ කිව්වම ලංකාවේ ප්‍රසිද්ධම ගුණේ හිටියෙ ලලයි ලිලයි ලයි ටෙලියෙ.. ඕක ඉතිං ටෙලිය නොබලන අය දන්නෙ නැති නිසා ඒ ගුණේ ගැන විසේසයෙන් යමක් කියනවනං, ගුණේ කියන්නෙ බල්ලෙක්.. වෙනත් විදිහකින් කියනවනං, ලලයි ලිලයි ලයි කියන ටෙලියේ චරිතයක් වෙන උදාර පෙලපතකින් පැවත එන පිස්සු ධනුශ්කයාගෙ බල්ලා තමයි ගුණේ.. ඊයෙ වෙනකල් ගුණේ ගැන මට විශේශයක් නොතිබුනේ මං ඉතිං බල්ලන්ට ලොකුවට නෙවෙයි කිසිසේත්ම ප්‍රිය නොකරන චරිතයක් නිසා.. ඒ ඉතිං වෙන විශේශ හේතුවක් හින්දා නෙවෙයි බල්ලන් දෙන්නෙක් විසින්  මගේ දකුනු කකුලෙත් පස්චාත් භාගයේ තැන් දෙකකුත් ලේ පනින්නම සපා කාලා තියන නිසා.. ඒත් ඊයෙ වෙද්දී  ලලයි ලිලයි ගුණේ මියගියා කියන ප්‍රවෘත්තිය රන්දික ගුනතිලකගේ ෆේස්බුක් පේජ් එකෙනුත් උමා අසේනිගේ ෆේස්බුක් පේජ් එකෙනුත් ශෙයාර් වෙච්ච පෝස්ට්  දෙකකම දැක්ක.. ඒක කියවන් යද්දි තමයි මට අපේ ගුණේව මතක්වුනේ..


මේ කියන කාලෙ මගේ වයස අවුරුදු හතක් හෝ අටක්. අපේ ගුණේ අපි අතරට එන්නෙ 1984 අවුරුද්දෙ කියලයි මගේ අප්සැට් මතකය කියන්නෙ.. එවකට අපේ තාත්තගෙ ලොකු මලයා පිටරටක රැකියාවක් කරලා ලංකාවට වැකේශන් ඇවිත් හිටපු කාලයක්.. අපි එයාට කිව්වෙ සුදු බාප්පා  කියල.. තාත්තා ඇතුලු අපේ තාත්තගෙ සහෝදර සහෝදරියන් පුංචි කාලේ ඉඳලම එයාව සුද්දා නමින් හඳුන්වපු නිසා අපිට එයා සුදු බාප්පා උනා... සුදු බාප්පගේ හමේ පාට දිහා බැලුවාම මට දැං හිතෙනව අපේ තාත්තගෙ පවුලෙ අය වර්ණ අන්දතාවයෙන් පෙලුනාවත්ද කියලත්..

 ඔය කියන කාලෙට සාපේක්ශව අපේ තාත්තගෙ පවුලේ බාලයා හෙවත් පුංචි බාප්ප ලඟ තිබ්බ මොරිස් මයිනර් එකක්.. එවකට අපේ තාත්තගෙ බාල මල්ලිලා දෙන්නමත්, ඒ කියන්නෙ සුදු බාප්පත්, පුංචි බාප්පත්, තාත්තගෙ බාල නංගිත් කියන තුන්දෙනාම තනිකඩයි.. සුදු බාප්පා එවකට විදේශ ශ්‍රමිකයෙක්.. පුංචි බාප්පා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ශකවරයෙක්.. නැන්දා රාජ්‍ය ආයතනයක ලිපිකාරිනියක්.. සුදු බාප්පට ඒ වෙද්දිත් වෙනමම ගෙයක් තිබ්බට එයත් ඇතුලු සේරෝම පදිංචිව හිටියෙ අපේ ආච්චිත් එක්කම මහ ගෙදර.. 

බොහොමයක් දවස්වලට උදේ පාන්දර හොඳින් ඇඳපැලඳගෙන පුංචි බාප්පගෙ මොරිස් මයිනර් එකේ නගින අපේ සුදු බාප්පා ආයෙම ගෙදර ආවෙ හවස් වෙලා.. රට රස්සාවල් කරලා ලංකාවට වැකේශන් යන දැං එවුන් වගේම ඒ කාලෙ එවුනුත් වැකේශන් එකේ වැඩිහරියක් කරේ යාලු මිත්‍රයෝ එක්ක රවුං ගහපු එක තමා.. සතිය පුරාම මට බප්පලා නැන්දලා ඇසුරේ ඉන්න අවසර නැත්ත සති අන්තෙට වගේ මටත් තාත්තගෙ මහ ගෙදර නයිටක් ගහන්න අවස්ථාවක් ලැබෙනව.. ඒ ඉතින් අපේ තාත්තගේ කැමැත්තෙන් නෙවෙයි.. සති අන්තේ දවසක උනත් මම මහගෙදර ගිහින් රස්තියාදු ගහනවට කැලේ කොලේ පනිනවට අපේ තාත්තා ලොකුවට කැමැත්තක් නෑ.. එකේ ප්‍රතිපලයක් විදිහට අදටත් තාත්තගේ ගමේ පාරවල් තොටවල් ගැන  මිනිස්සු ගැන තාත්තට වඩා යමක් මම දන්නවා..

 සිකුරාදා හවස් වෙද්දී බාප්පලා දෙන්නේගෙන් එක්කෙනෙක් හරි ලොකු තාත්තගේ පුතා රවී අයියා හරි ඇවිත් මාව මහගෙදර එක්ක යනවා උනාට  තාත්ත ඒ ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ..  ඉස්කෝලෙ නිවාඩු කාලෙට ඉතිං සතියක් හමාරක්  එක දිගට මහගෙදර බෝර්ඩ් වෙන්න චාන්ස් එක වදිනව.. තනිකඩ බාප්පලා දෙන්නෙකුයි තනිකඩ නැන්දා කෙනෙකුයි සහ තාත්තගෙ අනික් සහෝදරයන්ගෙ දරුවො ටිකයි රෑට මහ ගෙදරට සෙට් උනාම ඒක තනිකරම මගුල් සක්වලක්.. මහගෙදර ස්ථීර සාමාජිකයන් ගනන හතරදෙනෙක් උනාට සති අන්තෙ සිකුරාදා රෑ සෙනසුරාදා රෑ වෙද්දි මහගෙදර හෙඩ් කවුන්ට් එක අඩුම විස්සක් විසි පහක්වත් වෙනව.. චූටි නැන්දා ප්‍රමුඛ ඤාති අක්කලා එකතුවෙලා රෑට හදන රාත්‍රී ආහාරය හැමෝම එක්ක  එකට එකතුවෙලා කනකොට තියෙන්න දිව්‍යලෝක රසයක්.. ඒ කාලෙ ටීවී චැනලුත් තිබ්බෙ දෙකයි නිසා ටීවී එකේ පෙන්නන චිත්‍රපටියක් බලලා හෝ සුදු බාප්ප රටින් ගෙනාපු වීඩියෝ ඩෙක් එකෙන් හිංදි පිචැර් එකක් බලලා රෑ දෙගොඩ හරියක් වෙනකල් කයියක්  ගගහ ඉන්න එක වෙනමම ආතල් එකක්.. රෑ කයිවාරුව  අතරට චූටි නැන්දගෙන් රසකැවිල්ලක්, බැදපු රටකජු ටිකක්  සහ තේ කෝපි කවදාවත් වැරදුනේ නෑ..

ඔය වගේ ගතවෙච්ච කාලෙක අපේ සුදු බාප්පා  මොරිස් මයිනර් එකේ නැගලා කොහේදෝ හිතවතෙක් හමුවෙන්න ගිය අතර වාරෙක තමයි එයාට ගුණේ මුනගැහෙන්නෙ.. ගුනේගෙ අම්ම සුදු බාප්ප හමුවෙන්න ගිය මනුස්සයාගෙ ගෙදරට ඇවිත් තිබ්බෙ ගුනේවයි ගුනේගෙ මල්ලිවයි එක්ක.. ගුනේට එවකට අවුරුදු හතරයි.. ගුනේගෙ මල්ලිට අවුරුදු එකහමාරක් දෙකක් වෙන්න ඇති කියලයි අනුමානය.. 

ගුණේ කියන්නෙ අවුරුදු හතරක පුංචි හුරුබුහුටි කොලු ගැටයෙක් කිව්වම මේක කියවන අය දැං පොඩ්ඩක් විතර පැටලෙයි මේක පටන් ගත්තේ බල්ලෙක් උක්ත කරගෙන නිසා.. ගුණේගේ අම්ම ගුණේට දාල තිබ්බ නමට  "ගුණේ" කෑල්ලක් තිබ්බ නිසා මුළු නම වෙනුවට අපි ගුණේ කියන අකුරු දෙක පාවිච්චි කරා.. ගුණේගෙ අම්ම ඒ ගෙදරට ඇවිත් තිබුනෙ උදලු තලයක් විකුනගන්න.. ඒ වෙන මොකකටවත් නෙවෙයි දරුවො දෙන්නට කන්න යමක් අරගෙන දෙන්න.. එතැනදි ඇතිවෙච්ච කතාබහකින් අනතුරුව ගුණේගෙ අම්ම අපේ බාප්පට කියනවා ගුණේව එක්ක ගිහිං හදාගන්න කියල.. ගුණේව දැක්කම දැනිච්ව හිතේ අමාරුවටම අපේ බාප්ප හිටපු ඇඳුම පිටින්ම ගුණේව මයිනර් එකේ වාඩි කරගෙන ගෙදර අරං එනව..

සුදු බාප්ප කොහෙන්දෝ කොල්ලෙක් අරං හදාගන්න ගෙනැල්ලා කියන ආරංචිය අපේ ගෙදරටත් එනව.. එවකට හතර මායිමේ එකෙකුටවත් ටෙලිෆෝන් තිබ්බෙ නැති නිසා කවුරුහරි ඇවිත් කියනකල් හෝ ටෙලිග්‍රෑම් එකක් එවනකල් ඉතිං පනිවුඩයක් එන්න ක්‍රමයක් සාමාන්‍ය ජනසමාජයට තිබ්බෙ නෑ.. ඒත් වැදගත් ආරංචි, ඕපාදුපයක් තකහනියේ හරි ඇවිල්ලා කියන කකුල් දෙකෙන් ඇවිදින සමාජ මාධ්‍ය ඒ කාලෙත් තිබ්බ නිසා හැතැක්මක් දෙකක් දුරට ආරංචියක් එන්න ලොකු කාලයක් යන්නෙත් නෑ..

ගුණේ අපූරු කොලු පැටියෙක්.. කකුල් දෙක ටිකක් බකලයි.. ඔලුවෙ හැමතැනම හොරි දද කුෂ්ඨ වගේ තුවාල.. ඇඳන් හිටියෙ ඉරුන කිලිටි ඇඳුම්.. ගුණේගෙ තිබ්බ ගති ලක්ශන වලින් මම කැමතිම එක උනේ ගුනේගෙ මුඛරිකම.. කතාවට කිසීම ලැජ්ජාවක් භයක් නැති ගුණේ ඕනෑම කෙනෙක් අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙද්දි ෆිල්ටර් නෑ බ්‍රේක් නෑ.. ගුණේ දවසෙන් දෙකෙන් කොයිතරම් ප්‍රසිද්ධ උනාද කියනවනං, 2019 චන්දෙට කලින් කැලණියේ නයා බලන්න ආපු සෙනග වගේ සෙනගක් අහල පහලින් අපේ තාත්තගෙ මහ ගෙදරට එන්න පටන් ගත්ත.. එයින් භාගයක් ආවෙ ගුනේව බලලා යන්න.. තව පිරිසක් ආවෙ ආරංචිය ඇත්තද කියලා බලන්න.. මට අද හිතෙනවා ඒ ආපු සමහරු ආවෙ ගුණේට අපේ ඤාති වරිගයා කාගෙම හරි මුහුනුවර තියෙනවද බලන්න කියලාත්.. ඒ කලේ ඩී එන් ඒ ටේස්ට් තිබ්බනම් ඉතිං අපිට සිද්දවෙනවා ගුණේ අපේ කාගෙවත් දරුවෙක් නෙවෙයි කියලා ඕපදූප කාරයින්ට ඔප්පු කරන්න..😂😂😂 

ගුණේ අපේ තාත්තගෙ මහගෙදරට ඇවිත් දෙවැනි දවස වෙද්දි අපේ බාප්පලා නැන්දලා එකතු වෙලා ඉස්සෙල්ලම කරේ ගුණේව ගෲම් කරනන පටන් ගත්තු එක.. පලමුව ගුනේගෙ හොරි පිරුන ඔලුව තට්ටෙටම කෙස් බෑවුනා.. ඊට පස්සෙ නාවලා පිරිසිදු කරලා  තුවාලවලට බෙහෙත් එහෙමත් ගල්වලා අලුත් ඇඳුම් එහෙමත් අන්දලා ගත්තාම මේං යකෝ ගුණේ නිකම් හින්දි නලුවෙක් ගානට හැඩයි කියහංකො.. 

ඇඳන් හිටපු ඇඳුම පිටිං අරං ආපු ගුණේ සති දෙක යද්දි අපේ තාත්තගෙ මහගෙදර ස්ථීර සාමාජිකයෙක් උනා.. අරං එද්දි උප්පැනයක්වත් නොතිබුන ගුණේ පසුව ළඟ තිබ්බ  මොන්ටිසෝරියකට ඇතුලත්වුනා.. ඊට පස්සෙ ගමේ ඉස්කෝලෙ හෝඩියට ඇතුලත්වුනා.. ගුණේගෙ බකල කකුල් දෙක කෙලින් කරන්න අපේ ආච්චි කොයිතරම්නම් තෙල් ගාලා අතගාන්න ඇතිද.. අවුරුදු දෙකක් යද්දි ගුණේ සැපට හැදෙන අපූරු කොලු පැංචෙක්.. ගුණේ අපි කාටවත් පිටස්තරයෙක් උනේ නෑ.. සිංහල අවුරුද්දට අපිට අලුත් ඇඳුම් ලැබෙද්දි ගුනේටත් ඒ හා වටින මුදලටම අලුත් ඇඳුම් ලැබුන.. පිටින් ගෙනාපු කොල්ලෙක් කියන හැඟීම ගුණේට අතිවෙන්න කිසීම කෙනෙක් ඉඩ දුන්නෙ නෑ.. ගුනේට කොයිතරම් තැනක් අපේ පවුල ඇතුලේ ලැබුනාද කියනවනම්, අපේ බාප්පලා දෙන්නගෙම වෙඩින් වලදී  ගුනේටත් වෙඩින් හොම්කමින් වෙනුවෙන් වෙන වෙනමම අලුත් ඇඳුම් මැස්සුනා..  සුදු බාප්පා අරං ආපු දවසේ, සරොං කොටයක් ඇඳගෙන ඩෙඟ ඩෙඟ පරි රඹට කැකිරි කියලා උඩ පැනලා නටපු ගුණේ ටික කාලයක් යද්දී  අපේ මහගෙදර ආදරය රැකවරණය ඇතුලෙ අයි ඇම් අ ඩිස්කෝ ඩාන්සර් කියන තැනට පර්සනලි ඩිවලොප් උනා.. ඒත් ගුණේට පරවේණියෙන් ගෙනාපු එකම එක දෙයක් විතරක් අතෑරගන්න බැරිවුනා.. ඒ තමයි ඉඳහිට හැදෙන මීමැස්මොර රෝගය.. පුලුවන් හැම විදිහකටම ප්‍රතිකාර කරලත් ගුණේගේ අසනීපය සුව කරගන්න නැන්දලා බාප්පලාට බැරිවුනා.. ඉඳ හිටලා අසනීප වෙන එක ඇරුනාම ගුණේ ගතකරේ පට්ට සැපවත් සුපිරි ජීවිතයක්.. 

එහෙම අවුරුදු කීපයක් යද්දි තමයි ගුනේගෙ අම්ම ආයෙම ගුණේ හොයාගෙන මහගෙදරට පැමිනෙන්නෙ.. ඒ තමා ගුනේගෙ ජීවිතේ ටර්නිං පොයින්ට් එක.. ගුණේගෙ අම්මගෙ ඉල්ලීම උනේ ගුණේව ආපහු එයාට ඕන කියන එක.. ඒත් ඒ තරමට ආදරෙන් හදාගත්තු ගුණේව ලේසියෙන් අම්මට අතාරින්න අපේ නැන්දයි ආච්චියි බාප්පලා දෙන්නයි කැමති උනේ නෑ.. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි.. ඒ අම්මගෙ රැකවරණය යටතේ ගුණේට සුභ අනාගතයක් ලැබෙන්නෙ නෑ කියලා ඉන්තේරුවෙන්ම දන්න නිසා.. ඒත් ගුණේගෙ අම්මත් ඒ අම්මව එතනට පොලඹවපු ගැහැනු කෙනාත් ගුණේව අතාරින්න සූදානම් උනේ නෑ.. අවසානයේ ප්‍රශ්ණය පොලිසිය දක්වා දුර ගියා.. ඒක පොලිසියටත් විසඳන්න පුලුවන් පරිමාවේ ප්‍රශ්නයක් නොවුන නිසා ගුණේව අයිතිකරගැනීමේ ප්‍රශ්ණය උසාවිය දක්වාත් දුර ගියා.. 

නඩු වාර කීපයක් අවසානයේ සියලු සාක්ශි විමසපු නඩුකාරතුමා අවසානයේ ගුණේවත් විත්ති කූඩුවට නග්ගනව.. එතුමා ගුණේගෙන් අහනවා ඔයා ඉන්න කැමති අම්ම ලඟද අම්බලංගොඩ ආච්චි ලඟද කියලා.. ගුණේ එක පයින් උත්තර දෙනවා ආච්චි ලඟ කියලා.. ඒත් නීතියේදි හැඟීම් වලට වඩා මුල්තැන ලැබෙන්නෙ නීතියට නිසා  දරුවාගෙ අයිතිය අම්මට දිය යුතුයි කියලා උසාවියෙන් තීන්දුව ලැබෙනවා .. යන්න බෑ කියලා කෑ මොර දෙද්දි ඒ අම්ම ගුනේව බලහත්කාරයෙන් බස් එකක දාගෙන අරගෙන යනව.. එතැනින් එහා අපේ තාත්තගෙ මහ ගෙදර සතියක් හමාරක් බත් ඉදෙන්නෙ නෑ.. ගුණේව අහිමිවීමේ වේදනාව ඤ්ති හැමදෙනාත්, මහගෙදරත්, අසල්වැසියනුත් අමාරුවෙන් විඳගන්නව.. අවුරුදු කීපයක් අපි එක්ක කැලේ කොලේ දුව පැන ඇවිදපු, එකට ක්‍රිකට් ගහපු, එකට සාලෙ වාඩිවෙලා ටීවී බලපු, එකට කාපු බීපු ගුණේ පරිච්චේදය එතැනින් අවසන් වෙනව.. ඒක අදත් අපිට බොහොම වේදනාකාරී මතකයක්..🥲

කාලය ගත වෙනවා.. බප්පලා නැන්දලා හැමෝම විවාපත් වෙනව.. ආච්චිත් හෙමින් හෙමින් වියපත් වෙනව.. මහගෙදර ආච්චි විතරක් ඉතුරු වෙනව.. කාලයක් ගත වෙද්දි  ගුණේ කියන්නෙ අපෙන් වෙන්වෙලා ගිය පවුලේ සාමාජිකයෙක් ගානට සුන්දර සහ දුක්බර මතකයක් පමණක්ම වෙනව..  ඒ විදිහට අවුරුදු අටක් දහයක් වගේ කාලයක් ගත වෙනව.. ඕං ඔය අතර තමයි ඊලඟ වැදගත් සිදුවීම සිද්දවෙන්නෙ.. 

එදා  මහ ගෙදරට කව්දෝ අමුත්තෙක් ඇවිත් .. ඒ වෙද්දි මහගෙදරට ටෙලිෆෝන් අරගෙන.. අහලපහලත්, අපේ ගෙවල්වලත් ඒ වෙද්දි ටෙලිෆෝන් තියෙනව.. ආච්චිගෙ ඉල්ලීමකින් ඥාති වරිගයාගෙ හැම ගෙදරටම එන ටෙලිෆෝන් කෝල් එකකින් කියැවෙන්නෙ ඒ ආපු අමුත්තා ගැන.. තමයි අපේ ගුණේ.. කෑ ගහලා අඬද්දි අම්මා බස් එකක දාගෙන අරං ගිය අපේ පුංචි ගුණේ.. පරන මතකයෙන් අහම්බෙන් දැකපු මං සලකුනක් ඔස්සේ ගුනේ මහගෙදර හොයාගෙන ඇවිත්.. අපෙ අප්පේ එදා අපේ අච්චිට තිබ්බ සන්තෝසෙ.. එයා ගුනේව අතගානවා ඉවරයක් නෑ... එදාත් මහගෙදරට සුවිසේශී දවසක්.. ඥාති වරිගයාද, අහල පහල උදවිය පෝලිමේ එනවා ගුණේව බලන්න..  එදත් ගුණේ පලවෙනි වතාවෙ අරං ආපු දවසේ වගේමයි.. ගුණේගෙන් දාහක් ප්‍රශ්ණ අහනවා .. අතගානවා ඉවරයක් නෑ.. වෙනත් විදිහකින් කියනවනම් ගුණේ වටේ ආදරේ දෝරෙ ගලනව.. ගුනේට එවකට වයස දහ අටක් විස්සක් වගේ වෙන්න ඇති.. ඒත් ඉතිං තොල් කලුවෙලා.. ඇඳුම් අබලන් වෙලා.. බැලූ බැල්මටම ගුණේ ඒ වෙද්දි නාස්ති වෙච්ව කොල්ලෙක්.. ආයෙත් ගොඩ දාන්න පුලුවන් වෙනවට වඩා නොවෙනවට කැට තියලා කියන්න පුලුවන් පෙනුම ඒ වෙද්දි ගුණේට තිබ්බ..

උණු නිසා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක හිටපු ගුනේව බාප්පගෙ මැදිහත්වීමෙන් බාප්පගෙම ආයතනයේ තාවකාලික කම්කරු රැකියාවකට දාගන්න බාප්පට පුලුවන් වෙනව.. ඒත් ඒ වෙද්දිත්  ගුණේ ගැන විශ්වාසයක් තියන්න බෑ කියන ගති පුරුදු ගුණේ විසින් පෙන්නමින් ඉන්නව.. එක තැනක් අවංක කමෙන් රස්සාවක් කරගෙන ජීවිතේ ගොඩදාගන්න උවමනාවක් තිබ්බෙ නැති ගුණේ ටික දවසක් යද්දි  කරගෙන හිටපු රැකියාවෙන් පැදුරටත් හොරෙන් මාරුවෙනව.. ඒ පුංචි කාලය ඇතුලතත් ගුණේ වංචා සහ හොරකම් කීපයක සැකකරුවෙක්..

තැන තැන අහුවෙන රැකියාවක් කුලී වැඩ කරපු ගුනේ පස්සෙත් ඉඳ හිටෙක ආච්චි බලන්න මහගෙදරට එනව.. ගුණේ එන්නෙ ආච්චිගෙන් සල්ලි කොල  කීපයක් උන්ඩි කරගෙන යන්න කියලා ආචිත් දන්නවා උනාට අපේ ආච්චිත් ගුනේ ආපු හැම වෙලාවෙම ගුණේව හිස් අතින් යැව්වෙ නෑ.. ඒත් පස්සෙන් පහු ගුණේ ගැන ආරංචියක්වත් නැතුව යනව.. මීමැස්මොර රෝගය හැදීලා ලිඳක වැටිලා ගුණේ මියගියා කියන දූසමාන ආරංචියක් කොහෙන්දෝ  මගේ කනට වැටිලා තියෙනවා උනාට කවුරුවත් ඒක තහවුරු කරලාම කියපු එකක් නෙවෙයි.. ගුණේ අද ජීවත්ව ඉන්නවද නැද්ද කියලා අපි කවුරුත්ම දන්නෙ නෑ.. ඒත් ගුණේ ගැන මතක්වෙන හැම වෙලාවෙම අපි කාටත් තියෙන්නෙ වේදනාව පසුතැවීම ප්‍රමුඛ හැඟීමක්.. ගුණේට එයාගෙ ජීවිතේ හොඳ තැනකට ගෙනියන්න දෛවයෙන් අවස්ථාවක් ලැබුන.. ඒත් මොකක්දෝ කරුමයකට ගුණේට ඒ අවස්තාව හදලා දීපු එයාගේ අම්මම ඒකට හරස්වුනා.. එහෙම නොවුනානම් ගුණේ අද වෙද්දි හැකි උපරිමයෙන් අධ්‍යාපණය හදාරලා හොඳ රස්සාවක් කරගෙන පවුලක් පන්සලක් වෙච්ච ලොකු මහත්තයෙක්.. අපේ නැන්දා අදත් කියන්නේ ගුණේට තිබ්බ මතක ශක්තිය එක්ක ගුණේ දිගටම ඉස්කෝලේ ගියානම් ගුණේ හොඳ තැනකට යනවා කියලමයි..

අවුල් වෙච්ච ජීවිත සුභ දිශාවන්ට පැදගෙන යන්න මිනිස්සුන්ට කලාතුරකින් අවස්ථාවන් ලැබෙනව.. අවාසනාවන්ත විදිහට ගුණේට පලවෙනි අවස්ථාව ලැබිලත් අහිමි වෙනවා ගුණේ බාලවයස්කරුවෙක් නිසා.. සමහර අවස්ථාවන් ජීවිතේට දෙපාරක් එන්නෙ නෑ.. ඒත් ගුණේට ඒ විරල චාන්ස් එක දෙපාරක් ආවා උනාට පලවෙනි අවස්ථාව මගහැරුන වරදේම දිගුවක් විදිහට දෙවැනි අවස්ථාවත් ගුනේට මග හැරෙනව..  අද වෙද්දි ගුණේ ජීවත්ව ඉන්නවද එහෙම නැතිනම් මියගිහිංද කියලා අපි කවුරුත්ම හරිහැටි දන්නෙ නෑ..

ගුණේ, 
 පුංචි බාප්පගෙ වෙඩින් වීඩියෝ එකේ උඹ සුදු  ජාතික ඇඳුමක් ඇඳලා රට සෙරෙප්පු දෙකක් දාලා අදත් එදා වගේම ඉන්නව ඇති.. පවුලේ වෙඩින් වීඩියෝවල විනාඩි දෙක තුනකට වරක් කැමරාව ඉස්සරහින් ගිය චරිත තුන අතරේ උඹ එක්කෙනෙක්.. ඒක මතක් වෙද්දීනම් මට අදත් උඹ ගැන හිනා යනවා.. උඹ පුංචි එකා උනාට ඒ කාලෙත් කැමරාවෙන් පේන්න උඹ හරිම ආසයි .. මම උඹට කැට තියලා කියනවා, උබේ අම්ම එදා උඹව අපෙන් උදුරාගෙන අරං නොගියානම් උඹ අද ලොකු රස්සාවක් කරන ලොකු මහත්තයෙක්.. ඒක එහෙම උනේ උඹේම අවසනාවට වෙන්න ඇති කියල මම හිතනවා.  ඉන්න තැනක හෝ ඉන්න ලෝකෙක හොඳින් හිටපං ගුණේ.. උඹ එක්ක තියන මතකයන් අපේ හිත්වල එදා වගේම අදත් ආදරනීයයි අමරණීයයි.. 🥲🥲🥲