Friday, March 31, 2017

ඩයරි වාසනා ලොතරැයිය






සභාවෙන් අවසරයි.. අපි අද මේ රැස්වෙලා ඉන්නේ අපේ ඩයරි වාසනා ලොතරැයියේ හතරවෙනි දිනුම් ඇදීමේ උත්සවය ගැන කතා කරන්නයි.. පහුගිය  එව්වයේ පොඩි පොඩි කචල් බචල් තිබ්බට වැඩේ නැගල ගිය නිසා මේ වතාවෙත් අපි උපරිම ඉහලින් මේ උත්සවේ සංවිදානය කරන්නට ඕන.. ඉතින් එහෙමනං අපි අද මේක කොහොමද සංවිධානය වෙන්න ඕන කියල කතාකරමු ආයුබෝවන්ඩ ..

හොජයි ශබාපති තුමෝ ජැන්  අපි කොහෙජ මේක චියන්නේ.. එචකොට ශාම්මාන හජන්ඩ ඕඩර් එක ජෙන්න ඕන ප්‍රශිජ්ජ රච්චරන් බජු ශාප්පුවකටජ ..

බොට පිස්සුද උලමෝ... සම්මාන ටික කොහේ හරි වඩු මඩුවකට දීල හදෝපන්..  ප්ලේස් එකනම් ඉටිකිරිස් පහට  හයි ෆයි ප්ලේස්  එකක් වෙන්න ඕන.. ඔය දෙකයි පනහේ තැන්වල තිබ්බාම මීඩියා කාරයෝ වැඩිය ගණන් නෑ බොල ..

මීජියා කාරයෝ මක්කචෙයි හැබෑචම ..

අනේ ගොනෝ... අපිට ගහන්න ඕන බෝ වගේ එකෙක්  සංවිධායක මණ්ඩලේට දාගත්තට..

මං නැච්චම් කොරයි බෝල මෙව්ව .. ජැන් කියහන්කෝ සබාපචි චුමෝ හැබෑචම චම්මානෙට වජා ඕක චියන ප්ලේස් එච වැජගච් වෙන්නේ කොහොමෙයි චියල..

ඇයි ගොනෝ මීඩියා පොරවල් ඇවිල්ල බඩ පැලෙන්න කාල බීල වටේම පොටෝ අල්ලලා පත්තරවල, ටීවී වල දැම්මාමනේ අපේ ඩයිරි වාසනා පදනම රට පුරා ප්‍රසිද්ධ වෙන්නේ..

ඉචින් ශබාපචිචුමෝ ඩයරි ලියන එවුන්ච ශාම්මාන කොට චික ජෙන එකනේ වෙඥ්ඥ ඕන..

හපොයි මු වගේ ගොන් මැටි මෝඩ මී හරකෙක්.. අම්මපල්ල තෝව සංවිදායක මණ්ඩලේට යෝජනා කරපු එකා අහුවුනානම් මට.....වස්සෝ ...කෙහෙල්මල් ඩයිරි ලිවිල්ලෙන් අපිට ලැබෙන බිබික්කමක් නැහැ බූරුවෝ.. මෙතන කෙරෙන්න ඕන ඩයිරි  ලියන එවුන්ව ගොනාට අන්දලා අපේ ඩයිරි වාසනා පදනම ගොඩ දාගන්න එක.. 

ඒක මිසක්ක.. කවුජ බොලේ ඔව්ව ජන්නේ..

උඹ ටිකක් කටවහන් ඉන්නවද ආයුබෝවන්ඩ.. රැස්වීම පටන්ගත්ත විතරයි උඹේ මෙතන කෝටියක් ප්‍රශ්න අහන්න තියාගත්තම මොලේ  අවුල් වෙනවා බොළ .. ලේකම් තුමා.. ගමු බලන්න අපේ න්‍යාය පත්‍රය.. මොනවද අපිට  සාකච්චා කරන්න තියෙන්නේ.

අවසරයි සභාපති තුමා..

 හෝව් හෝව් හෝව්. ..ඔහොම නවත්වනවා ......ඔහොම නවත්වනවා...... අයිසේ අණ්ඩපාල ... බලනවා අපේ ලේඛම් මට ආමන්ත්‍රණය කරන විදිහ.. මෙන්න මේ වගේ ගරුසරු ඇතුව කතාකරන්න ඉගෙනගන්නවා මේ වගේ වැදගත් තැනකට ආවාම තේරුනාද ... හරි ... කියනවා ලේඛම් තුමා ...

අවසරයි සභාපති තුමා.. දැන් මෙතන කියවුනානේ මේක පවත්වන්න ඕන  හයි ෆයි තැනක කියල.. එතකොට අපි මේ පාර  කාටද ආරාධනා කරන්නේ ලොතරැයි දිනම් බෙදා දෙන්න..

එකා මෙහෙමයි සිද්දවෙන්න ඕන.. අපිට මේක පවත්වාගෙන යන්න මුදල් වියදම් කරන මහතැන්ලා සන්තෝස වෙන විදිහට තමා මේක සංවිධානය වෙන්න ඕන.. ඒ හින්ද ඒ මහතැන්ලාගේ හිතවත් ලොක්කෝ දෙතුන්දෙනෙක් ගෙන්නමු..

අවසරයි සභාපති තුමා.. එතකොට මේක සාහිත්‍ය පැත්තට ටිකක් බර නිසා රටේ ප්‍රසිද්ධ උගත් සාහිත්‍යවේදීන් කිහිප   දෙනෙක් ගෙන්නුවොත්  නරකද..

ඔන්න ඉතින් ලේඛම් උඹෙත් අණ්ඩපාලයගේ වගේ මොලේ නරක් වේගන එනවද  කොහෙද..

නෑ  මං මේ කිව්වේ ඉතීන් වාසනා ඇදෙන උදවියට ඒක වටිනාකම තියන දෑතකින් දුන්නොත්නේ සභාපති තුමෝ උන්ට ඒක වටින්නේ..

මං කිව්වේ මං කිව්වේ උඹත් මේ අන්ඩපාලය ආස්සරේ කොරල මොලේ නරක් කරගෙන කියල.. මේ මීමෝ.. මේ ලොතරැයි වාසනා තෑගී දෙන්න ඕන ඩයිරි වාසනා පදනම ප්‍රසිද්ද වෙන රටේ නමගිය අපේ පාර්ටියේ ලොක්කෝ කීපදෙනෙක් ලව්වා මිසක් කොහෙවත් යන හල්පාරුවෝ ලව්වා නෙවෙයි.. එහෙම උනාම තමා ඩයිරි වාසනාව ගැන රට පුරා ප්‍රසිද්ද වෙන්නේ.. ඒ වගේ ලොක්කෝ දෙතුන් දෙනෙක් මේකට ගෙන්නුවා කියන්නේ අපිට නොමිලේ මීඩියා ආවරණය ලැබෙනවා කියන එකයි.. 

අනේ මන්ද සභාපති තුමා කියන මෙලෝ මල හත්ඉලව්වක් මටනම් තේරෙන්නේ නැහැ..

මෝඩයෝ.. මීම ගෙන්නුවාම කිනිතුල්ලෝ වෙනම ගෙන්නන්න ඕන නැහැ.. මීමගේ පිටේම කිනිතුල්ලෝ එනවා.. අපේ පාර්ටියේ ලොක්කෝ දෙතුන්දෙනෙක් එනවා කියන්නේ උන් පස්සේ වැටිලා තුන් වේල හොයාගන්න එවුන් ආරාධනා නොකරම එනවා කියන එකයි..ඒ වගේම ඒ ලොක්කෝ සන්තෝස උනා කියන්නේ දන්නවනේ... උඹල අපි ගොඩ ..

ඕන් දැන් තේරුනා...

හ්ම්... දැන් අහනවා බලන්න මොනවද වෙන තියන ප්‍රශ්න..

වැදගත්ම ප්‍රශ්නේ තමා සභාපති තුමා අපි දැන් කොහොමද තෑගී දෙන ඩයරි ටික තෝරාගන්නේ.. සෑහෙන්න කියවන්න වෙයි නේද.. අපි මේ වැඩේ භාෂා විශාරද පොරවල් කීපයකට භාරදෙමුද සභාපති තුමා..

එහෙම කරාම කොහොමද උලමෝ අපිට ඕන එවුන්ට තෑගී ටික දෙන්නේ.. තුමුසෙට නම් මොලේ නරක් වෙලා..

ඉතින් අපිට පුලුවනිද ඕක තෝරන්න.. අපිට සුදුසුකම් නැහැනේ ඔය වැඩේට..


පී....ස්සුද ලේකම් තුමා.. ඕකට ඔය හැටි සුදුසුකම් ඕන නැහැ.. ඒත් කල්පනාවට ගන්න  තෑගී දෙන ඩයරි තෝරද්දී ටිකක් වැදගැම්මකට ඇති එවුන් ලියන එව්වා ටිකක් තෝරාගන්න.. 

 ඒ කිව්වේ සභාපති තුමා..

ඕකනේ කියන්නේ බොලාට මේක අඩියෙන් අඩිය කියල දෙන්න වෙලානේ මට.. 

මනුස්සයෝ.. ඔය ගෙවල් වලින් කාලා  බෝක්කු උඩ රස්තියාදු ගගහ ජීවිතේ මාවලස් කියල බුකියේ පින්තුර දාන එවුන්ට මේ ඩයරි වාසනා තෑගි දීල වැඩක් නැහැ තේරුනාද..

ආ තේරුනා තේරුනා.. මෙව්වා ඉතින් වැදගත් දෙවල් ලියන උදවියටනේ දෙන්න ඕන..

ආන්න..ආන්න.. ආයෙත් බොලා පොට වරද්දගන්නවා... මීමෝ.. මේවා දෙන්න  ඕන අපේ ඩයරි වාසනා පදනම ගැන ප්‍රසිද්දියක් ලබාදෙන්න පුළුවන් එවුන්ට..

ඒ කිව්වේ..

ඒ කිව්වේ මේකයි.. දැන් අපි ඔය තෑග්ග දුන්නාම උන් ඕක හතර අතේ පින්තුර ගහල බුකියෙයි ඇරෙහෙයි මෙහෙයි පොස්ට් කරනවනේ. තෑගි දෙන්න සුදුසුයි කියල අපි මේ තෑගි ටික වන්නි හත් පත්තුවේ එවුන්ටයි, රස්තියාදු කාරයින්ටයි බෙදල දුන්නොත් අපි ගැන ලෝකේ වටේ ප්‍රචාරය අරන් යන්නේ කව්ද බොලං. 

ඉතින්..

ඉතින් කියන්නේ මීමෝ අපි ඔව්ව ලොකු ලොකු තැන්වල ඉන්න උදවියට දුන්නාම උන් හරහා අපේ ඩයරි වාසනා පදනමට ප්‍රසිද්දියක් ලැබෙනවා.. ඔය බෝක්කු උඩ  රස්තියාදු ගහන එවුන්ටයි පොඩි පොඩි ජොබ් කටු කරන එවුන්ටයි ඕනෙනම් ඔය සැනසිලි තෑගී ටිකක් දීල දාහන්..

සභාපති තුමාගේ මොලේ තමා මොලේ.. එතකොට අපි දැන් කොහොමද මේ ඩයරි ටික තෝරන්නේ.. 

ඔය මොකක්හරි ලකුණු දෙන විදිහක් හදල තොරහන් හැබැයි අපිට ඕන එවුන් ටිකට ලොකු ලොකු තෑගි ටික යන විදිහට..ඒ වගේම තෑගි ගන්න දවසේ පැමිණීම වෙනුවෙන් ලකුණු දහයක් විස්සක් එකතු කරනවා කියල කියහන්.. එතකොට තමා  උස්සව සාලාව පිරෙන්න සෙනග එන්නේ..

එතකොට සභාපති තුමෝ සෙනග පැමිණීම වැඩි උනාම උන්ට  කන්න බොන්න දෙන්න තවත් වියදම් වෙනවනේ..

බූරුවෝ.. උන්ට කන්න බොන්න දෙන සොච්චම වගේද ඔය තෑගි දෙන්න එන ලොක්කො සෙනග දැක්කාම අපිට ලැබෙන  දේවල්..

ඒ මක්කයි ශාභාපචි චුමෝ 

අණ්ඩපාල ...මම තමන්ට එක පාරක් කිව්වා.. කටවහන් පැත්තකට වෙලා හිටහන්..උඹට ඒ පැහිච්චකම් වලිං වැඩක් නෑ...

හොඳයි ලේඛම්.. කියනවා බලන්න තව මොනාද තියන ප්‍රශ්න..

සභාපති තුමා මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි...  අදහසක් විතරයි.. දැන් හෙට අනිද්දා අපිට ටීවී වලිනුයි රේඩියෝ වලිනුයි කතාකරොත් අපිට යන්න වෙනවා නෙහ් ..

නැතුව නැතුව..

නරකද අපි පොඩ්ඩක් වැඩේ හැඩට තියෙන්නත් එක්ක ගෑල්ලමයෙක් මේකට ඔබාගත්තොත්..

අප්පච උජු.. වැජේ මාරු ලේචම් චුමා..

අණ්ඩපාල .. මම කිව්වා... කටවහන් හිටු.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... වැඩේනම් නරකම නැහැ ලේඛම් තුමා.. ඒත් අපි කාවද මේකට දාගන්නේ.... ගෑනු පරානයක් කිව්වමත් ඩයරි ලියන කෙනෙක් වැඩේට දාගෙන බැහැ ..

ඒ මොකෝ සභාපති තුමා..

මැට්ටෝ... අපි උන්ව ඔව්වට අරං ගියාම අපිට වඩා තැනක් උන්ට ලැබුනොත් අපි සුං ..

ඒකත් හැබෑව තමා..

ගෑල්ලමයෙක් හොයාගනින්.. හැබැයි අපිට වඩා අඩු සුදුසුකම් තියන කෙනෙක්.. ඔය දහ අට මායන් දන්න වත්ත වටේ නටපු අම්මණ්ඩිලා නම් පලාතක ගෙන්න එපා ඔන්න.. අන්තිමේ උන් අපේ වැඩේට වියදම් කරන ලොක්කෝ  එක්ක සෙට් උනොත් තෝත් සුන් මාත් සුං ඩයරි වාසනා පදනමත් සුං ..

ඒකත් හැබෑව තමා....ඒ උනාට සභාපති තුමා මීඩියා කාරයෝ අහන අපබ්‍රංස ප්‍රශ්න තේරුම් අරං හරියට උත්තර දෙන්න පුළුවන් ගැල්ලමයෙක් වෙන්ඩේපැයි නෙහ් ..

එහෙම දෙයක් නෑ ලේඛමෝ... උන් අහන ප්‍රශ්නෙටම උත්තර නොදුන්නට කමක් නැහැ.. ඒත් හැබැයි ප්‍රශ්නෙට බොහොම බැරෑරුම්ව උත්තර දෙන විදිහට වටේ කරකවල වචන දහයක් පහළොවක් අතරට ඩයරි වාසනා පදනම ගැනයි ඩයරි ලියවිල්ල ගැනයි තමා කියවෙන්න ඕන..උත්තරේ මොක දුන්නත් වැඩිපුර කියවෙන්න ඕන ඩයරි වාසනා පදනම ගැන තමා..


එහෙනං දැන් හරිනේ... වැඩේ ඉටිකිරිස් වගේ තියෙන්න ඕන ඔන්න.. 

හොඳයි සභාපති තුමා..

මේ.... ශබාපචි චුමෝ...

මොකෝ..

ශාභාපචි චුමාලච මෙව්වයින් ජහසින් බැජි පියලි ලැබෙන එචේ මාච් පොජි චෑල්ලක් ජෙකක් ලැයිං කොරගච්චට කමක් නැචෙයි ..

කරන දෙයක් කරගනිං අපිව බේරලා ඔන්න.. නේද ලේඛම් තුමා..

ශබාපචි චුමා ජන්න මගුලක් නෑ ..ලේචම් චුමයි මායි තරඟෙට ගෑල්ලම්යින්ච ෆේෂ් බුක් මැෂේජ් යවන්නේ..

කටවහන් ඉඳපන් අණ්ඩපාල .. මේ මුගේ ගල් පැලෙන බොරු සභාපති තුමා..

ඔඥ්ඥ ඔඥ්ඥ ඉචින් ලේචම් චුමා මජේ මල පන්නන්නයි හජන්නේ..

බොරු තමා.. උඹ බොරු හදල කියලා සභාපති තුමා මා එක්ක තරහ කරවන්නයි හදන්නේ..

අනේ පලයන් යාඥ්ඥ ලේචම් තුමා.. හරි.. උඹ ගිය වචාවේ ගෑල්ලමයින්ට ශාම්මාන  චියෙනවා ගඥ්ඥ එන්ඥ චියල ෆේෂ් බුක් මශේජ් යැව්වේ නැජ්ජ ... හා නැජ්ජ..

හරි හරි ඉතින්.. දෙතුන් දෙනෙකුට විතරයිනේ...ඉතින් උඹත් මට හොරෙන් ගෑල්ලමයින්ට ෆේස් බුක් මැසේජ් දාල පණිවිඩ දුන්නේ නැද්ද තෑගි තියෙනවා ගන්න එන්න කියල.. මුගේ විකාර සභාපති තුමා..

මේ.. බොලා මොනවා කරගත්තත් මට කමක් නෑ... හැබැයි මාවයි ඩයරි වාසනා පදනමයි බේරලා කරහන් ඕන දෙයක්..තේරුනාද..

තේරුනා සභාපති තුමා..

අණ්ඩපාල ... තේරෙනවද...

එක ජෙයක් චෙරෙන්නේ නෑ 

මොකක්ද..

මේ තෑගී ජීමෙන් අපිච ලැබෙන වාශීය මොකජ්ජ 

ඒ පැහිච්චකං වලින් උඹට ඇති වැඩක් නෑ ... උස්සවේ දවසට ඇතිවෙන්න කාල බීල විනෝද වෙයන්.. ඒ මැදෑ ...

ශබාපචි චුමා.. අපි ජැන් එජාට ජැන්ඩි පහච සූට් එකක් අඳින්න ඕන නෙහ් ..

බෑ ..බෑ ...බෑ .... බොලා තියන පරණම හම්පඩ වෙච්ච ඇඳුමක් ඇඳන් එන්න ඕන... 

ඒ මොචෝ ශබාචි චුමෝ...

කිව්වනේ අණ්ඩපාල ... ඒ පැහිච්චිකම් වලින් උඹට වැඩක් නෑ ... උස්සවේ දවසට ලොක්කෝ විතරයි කෝට් බෝට් ඇඳලා ඉන්න ඕන... තේරුනාද... එහෙම නේද ලේඛම් තුමා..

එහෙමයි එහෙමයි දේවයන් .... සොරි.... සභාපති තුමා...

කුජීචයි ශබාපචි චුමෝ... කුජීචයි...








Monday, March 20, 2017

වාදී ස්වර සංද්වනි 6






පළමු කොටස 


පස්වන කොටස 


විසල් පාන්දර ඇහැරුනේ දුරකථනය නාදවෙන හඬින්. වින්දනය විකුණමින් නිදිවරන රාත්‍රිය රුපියල් සත බවට හරවනා ව්‍යාපාරයක නිෂ්පාදන ශ්‍රමිකයකු වශයෙන් නින්ද ඉල්ලා හඬා වැටෙනා ඇස් දෙකට මනසට යම්තාක් විවේකයක් ලැබෙන උදෑසනට පැමිණෙන දුරකථන ඇමතුම් බොහොමයක් අකමැත්තෙන් වුනත් නොසලකා හරින්නට විසල්ට සිදුවුනා.  සංගීත කණ්ඩායමට පෙරදා රාත්‍රියද ඊට පෙර රාත්‍රීන් හා කිසිදු වෙනසක් නොමැතිව ගෙවීගිය රාත්‍රියක් වුවත් විසල්ට එය සුවිශේෂී රාත්‍රියක් වුයේ අනන්‍යාගේ ආගමනය නිසාවෙන්. විසල්ට එය සිහිනයක් වැනිවූ සිදුවීමක් වුවත් එම හමුවීම ආනන්දනීය ආකාරයෙන් විඳගන්නට කිසිසේත්ම හැකියාවක් තිබුනේ නැහැ. ඒ මන්ද යත් අනන්‍යා යනු විසල්ට කිසිසේත්ම ලංවිය නොහැකි මට්ටමේ ආර්ථික හා සමාජයීය රාමුවක හැදී වැඩෙනා පළමු පන්තියේ පුරවැසි දියණියක් වීම. එම නොගැලපීම විසින් පසුබෑමට ලක් කරනා විසල්ගේ චත්ත සන්තානය පරයා හදවතේ මෝදුවන හැඟීම් නිරන්තරයෙන්ම විසල්ගේ මතකයට ගෙන ආවේ අනන්‍යාම පමණයි. දුරකථන ඇමතුමේ ශබ්දයෙන් නින්දත් නොනින්දත් අතර දෝලනය වන විසල්ගේ සිතුවිලි දැහැන යලිත් බිඳිමින් දුරකථනය නැවතත් නාදවන වග විසල්ට ඇසුනා. නිදි ස්වරයෙන්ම දුරකථනය දිහා බැලු විසල් නැවතත් දුරකථනය පසෙකින් තබා නිදන්නට හැරුනෙ එම අංකය නොදන්නා දුරකථන අංකයකින් පැමිනෙන්නක් වූ නිසා. ඇහෙත් අනෙක් පසට හැරී නිදන්නට දුරකථනය විසල්ට අවස්තාවක් නොදීම නැවතත් නාද දෙන්නට වුනා. විසල් දුරකතනයේ අමතන බොත්තම ඔබමින් දුරකථනය කනට තබා ගත්තේ බොහොම අකමැත්තෙන්..

හෙලෝ..

................

හෙලෝ..

එතෙක් වෙලාවක් දුරකථනය නාදකරවූ කෙනා කිසිදු කතාවක් නොමැතිව සිටීම ගැන විසල්ට ඇතිවුනේ තරහවක්..

හෙලෝ.. ගොලුවෙක්ද හලෝ කෝල් එක ගත්තේ.. 

හී...හී...හී.. ගුඩ් මෝර්නින්...

අනන්‍යා ඔයා ...

හ්ම්... අප්පේ මෙයාගේ සැර.. මොකෝ ඒ ගමන සුදු නංගි කෑල්ල හැලිලද..

අනේ සොරි සුදු නංගි.. මම ඔයාගේ නම්බර් එක දැනගෙන හිටියේ නැහැනේ.. ඇත්තම කියනවනම් සුදු නංගි කියල කිව්වට මම කැමතිනම් ඔයාට අනන්‍යා කියල කතා කරන..

මේ හලෝ.. එතික්ස් ඉගෙනගන්නවා ගුඩ් මෝර්නින් කිව්වම ගුඩ් මෝර්නින් කියන්න..ඔන්න එහෙනම් මමත් ඔයාට නිකම්ම නිකම් අයිය කියල කතා කරනවා හරිද..

අනේ සෝ සොරි ඉතිං.. ඔන්න එහෙනම් ඔයාට ගුඩ්ම ගුඩ් මෝර්නින්.. මොක කියල කතා කරත් මම මම කව්ද කියල දන්න නිසා ප්‍රශ්නයක් නැහැ අනන්‍යා..

ඉතිං අනන්‍යා නංගි මම  හිතුවෙම කව්රුහරි නොදන්නා කෙනෙක් කෝල් කරනවා කියල මේ පාන්දර..

පාන්දර.. දැන් කොහෙද  අයියේ පාන්දර.. දැන් එකොළහටත් ලගයිනෙ..

ඇත්තද...අනේ සොරි වෙන්න ඕන..බෝඩිමට එද්දී උදේ හයයි.. ඉතිං ඔයාගේ කෝල් එකට තමා ඇහැරුනේ..

අනේ විසල් අයියේ මට සමාවෙන්න.. මම ඒ ගැන හිතුවේ නෑ..

කමක් නෑ  නංගි.. 

අනේ  අයියේ මට අමතකවුනා ඔයාල රෑට නිදි නෑ කියල..

ඒ අපේ රස්සාවේ හැටි අනන්‍යා නංගි.. අපි ඉතින් නිදිමරුවොත් තමා අපේ බඩ පිරෙන්නේ..

අනේ මට සමාවෙන්න  අයියේ.. මම ඔයාගේ නින්ද කැඩුව නේද..

නෑ නෑ කොහොමත් තව ටිකකින් ඇහැරෙනවානේ.. ඉතින් කියන්නකෝ.. ඊයේ රෑ ඔයාල පරෙස්සමට ගියා නේද..

අනේ අනේ.. අපි ගියාද නැද්ද කියලවත් හොයන්නේ නැතුව ඉඳල දැන් බොරුවට අහනව නේද..

අනේ නෑ නංගි.. මා ගාව ඔයාගෙවත් මාධවී මඩම්ගේවත් නම්බර් නැහැනේ.. හිතුනේ නැතුව නෙවෙයි..

මොනවද හිතුනේ එතකොට ..

හිතුන ඉතින්.. 

මොනාද..

හිතුන ඉතින් මේ මහ රෑ  නංගිලා පරෙස්සමට ගෙදර ගියාද කියල..

ඔය ඇත්තමද..

බොරු කිව්වම පවු සිද්දවෙනවා දන්නවනේ ..

හරි එහෙමනං කියන්නකෝ බලන්න අද හවස මොනවද වැඩ කියලා..

විශේෂ වැඩක් නැහැ අනන්‍යා .. අද අපිට වැඩ නැහැ.. ඒ හින්ද අද බෝඩිමට වෙලා ඉන්නවා ඉතින්..

හ්ම්.....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 

ඔයා මොකක්හරි කියන්න ගිහින් කිව්වේ නෑ

න්....නෑ...

වෙන්න බෑ.. කියන්නකෝ ඉතින්..

ම්ම්ම්ම්ම්ම්ම්ම්... එක්කෝ ඕන නෑ..

අනේ මන්ද.. ඔයාගේ කැමැත්තක්.. මට ඉතින් බලෙන් අහන්න බැහැනේ..

එහෙනම් මං කියන්නද .

හා කියන්නකෝ බලන්න..

ම්ම්ම්ම්ම්ම්ම්..  අයියට පුලුවනිද අද හවසට මාව මීට් වෙන්න එන්න..

බෑ කියන්නේ කොහොමද ඉතිං.. කීයටද කොහෙටද මම එන්න ඕන කියන්නකෝ.. අපිට ඉතින් සීතල කරපු වාහන නෑ හරිද .. ඒ  හින්ද බස් පාරක් ආසන්නයේ තියන තැනකට හරි ත්‍රී වීල් කටුවක් යන්න පුළුවන් තැනකට හරි  නම් මම එන්නං..

ඔය ඇත්තම නේද..

හ්ම්..

එහෙනම් මම තැනක් හිතල ඔයාට ටෙක්ස්ට් එකක් දැම්මට කමක් නැද්ද.. ඕ... මට අමතක වුනා.. සංගීත කාරයින්ට කෙල්ලන්ගෙන් ටෙක්ස්ට් එනවා ඇතිනේ ඕන තරම් නේද..

අපොයි ඔව් නේන්නම්.. දවසට දෙතුන්දාහක් එනවා.. හෙහ්..

හරි එහෙනම්.. මම ටෙක්ස්ට් එකක් එවනම්කො.. ඒකත් බලන්න අනික්වා බලන අතරේ එහෙමනම් හොඳේ..

මම බලන්නම්කෝ..

එහෙනං මම තියන්නම්කො..

හා  නංගි..

ආ මේ ඒක නෙවෙයි.. අර හිතේ ඉන්නවයි කියපු කෙනත් ටෙක්ස්ට් එවනවද ඔයාට..

තාමනම් එවල නෑ.. ඒත් අද හෙට එවයි මගේ හිතේ..

හැබෑට.. හිතේ ඇති.. ඔන්න එහෙනම් මම තිබ්බ.. මට සමාවෙලා තව ටිකක් නිදාගන්න එහෙමනම් විසල් අයිය..

හා එහෙනම්.. තෙරුවන් සරණයි අනන්‍යා..

තෙරුවන් සරණයි  අයියේ.. බායි...

හ්ම්..

මොකද බස්සා වගේ හ්ම් කියන්නේ.. බායි කිව්වම බායි කියන්නකෝ..

බායි කියන්නේ සමුගන්න මිනිස්සුන්ට  නංගි..

ඒ කියන්නේ ...

හෙහ්...... තෙරුවන් සරණයි  නංගි..

අනේ මන්ද.. තෙරුවන් සරණයි සුදු අයියේ..

විසන්දි වූ දුරකථනය දිහා විසල් බලා උන්නේ කිසිම හැඟීමක් නැතුව. වෙන්න යන්නේ කුමනාකාර සිදුවීමක් වුවත් එය සුභදායක සිදුවීමක් නොවන වග විසල්ගේ මනසට වැටහුනා. ඒත් ඒ සුභදායක නොවන සිදුවීම් සමුදාය වෙනුවෙන් තමාගේ හිතතුල තිබෙනා කැමැත්ත ඒ සියලුම හැගීම් පරයා නැගී සිටිමින් ඉන්නා වග විසල් නොදැන උන්නා නොවේ..

වෙනදට මේ බෝඩිම ඇතුලේ තිබ්බේ නිදාගැනීමේ සැනසීම විතරයි.. අද ඉඳන් ඒකත් නැතිවෙන හැඩයි..

චී චී ලජ්ජා නැද්ද බන් සහනෝ අනුන්ගේ කෝල් වලට ඇහුම්කන් දෙන්න..

දැන් එතකොට උඹ මට කියන්න උඹට කෝල් එකක් ආවාම මට ගිහින් බාත්රූම් එකේ බිම දිගෑදිලා නිදාගන්න කියලද.. එතකොට උඹ හිතන්නේ මගේ ඇඳට එහා පැත්තේ ඇඳේ ඉන්න එකා කුණු කෙල පිටින් මල් ගහේ දල්ලටම නැගල දල්ලේ ඉඳන්ම මල් කඩාගෙන කඩාගෙන බහිනකොට ඒ සද්දෙට ඇහැරෙන්නේ ඇතුව ඉන්න මම කන්දෙක ගලෝල තියල නිදි කියලද.. යකෝ මේක ප්‍රජාතත්‍රවාදී රටක්.. 

හරි දැන් මම මොකක්ද කරන්න කරන්න  උඹේ නින්ද කැඩුවට. සමාවෙලා ඉතින් මුල ඉඳන් බුදියහන් සහනෝ බොරු නැතුව..

මුල ඉඳන් නිදියනවාද නැද්ද කියල මම තීරණයක කරන්නං...දැන් ඉතිංඇහැරුණු එකේ ගිහින් කන්න මොනවහරි අරන් වරෙන්  හොඳ එකා වගේ..

අනේ  පල යන්න මගෙන් මුකුත් නාහ.. මම තව ටිකක් නිදියන්න මේ හදන්නේ..අනෙක මට බඩගිනිත් නෑ..

විසල් මචං .. උඹට මම ඕන ඔට්ටුවක් අල්ලන්නම්..  උඹට දැන් තියා අද රෑටත් නින්ද යන්නේ නෑ බලපන් බොරුද කියල..

 ඒ මොකෝ බං ..

බලහන්කො ට්‍රයි එකක් දීල නිදාගන්න පුළුවන් වෙයිද කියල.. උඹ දන්නවනේ දිවුල්ගනේගේ සිංදුවක තියෙනවා "ඔබ හමුවූ දා පටන්.. මා හදවත අවදියෙන් " කියල.. ආන්න ඒ අසනීපෙ තමා දැන් උඹටත් මේ හැදීල තියෙන්නේ..එව්වයේ රෝග ලක්ෂණ තමා රාත්‍රියට නින්ද නොයෑම, තනියම සිනහ යෑම, බඩගිනි නොවීම.. එයින් දෙකක්ම මේ දැන් උඹට තියෙනවා.. අද රෑ වෙද්දී තනියම සිනහ යාමේ රෝග ලක්ෂණයත් පෙන්නුම් කරයි බොහෝ දුරට..

දැන් උඹ කියන්නේ මට මක් වෙලා කියලද..

විසලෝ.. උඹ උගුරට හොරෙන් බෙහෙත් ගිලින්න හදන්න එපා බං.. මට දුකයි උඹ ගැන.. උඹට අද තියා හෙට අනිද්දාවත් බඩගිනි නොවෙන එකේ මම මූණ හෝදගෙන ගිහින් මොනාහරි කාල එන්නං.. දැන් ඉතින් ආයේ මටත් නින්ද යනේ නෑ.. උඹට හරි ගියා කියන්නේ ඒ සන්තෝසෙට මටත් නින්ද යන්නේ නැති වෙන හැඩයි..

ඉපදිලා නැති දරුවන්ට කේන්දර හදන්නේ නැතුව යන අහක ගිහිං මටත් මොනාහරි අරන් වරෙන්..

හ්ම්.. හිටහන් මම ලෑස්තිවෙලා එන්නං..

සහන් ඇඳෙන් නැගිට නාන කාමරයට යාමත් සමග බෝඩින් කාමරයේ පැවතියේ දැඩි නිහඬ බවක්. කල්පනා සාගරයක අතරමංව උන් විසල් අග සිට මුලටත් මුල සිට අගටත් අනන්‍යා හමුවූ මුල්දිනයේ පටන් සිදුවූ සියලු සිදුවීම් මෙනෙහි කරන්නට වුනා. අනන්‍යා වෙත හිතේ පවතින හැඟීම සහ හිත විසින් අපේක්ෂා කරනා සම්භන්ධය හුදෙක් මිත්‍රකමකට එහා දිවයන්නාවූ යමක් බැවින් එයින් ලැබුවාවූ සිතුවිලිවල සුන්දරත්වය එතුවක් කාලයකට විසල් විසින් විඳ තිබු අත්දැකීමක් නොවන වග විසල් දැන උන්නා. එහෙත් ඒ සියලූම සුන්දර සිතුවිලි අභිභවා ඉහලට නැගෙන්නාවු අනන්‍යාගේ පවුල් පසුබිම විසල් නැවතත් බිමටම ඇදදමන්නට සමත්වුනා. අදට යොදාගත් හමුවීම අවසානයේ කුමනාකාර දෙයක් සිදුවේදෝ යයි වටහාගත නොහැකිවුනත් සිදුවන ඕනෑම දෙයකට මුහුණදීමට අවසාන තීරණයක පිහිටා විසල් දුරකථනය අතට ගත්තේ අනන්‍යාගේ දුරකථන අංකය ජංගම දුරකතනයේ මතක ගබඩාවේ සදහටම සටහන් කිරීමට. ඒ සමගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩය පැමිණියේ එසේ දුරකතනයේ මතක ගබඩාවේ සනිටුහන් වූ "අනන්‍යා " ගේ අංකයෙන්..

" අයියේ .. හවස හතරට විතර ගල්කිස්සේ බීච් එකට එන්න පුලුවනිද "

"හා  නංගි. මම එන්නම්."

"ප්‍රොමිස් නේද "

"ප්‍රොමිස්  නංගි."

"එහෙනං විසල් අයිය නිදාගන්න දැන් "

"දැන් ආයේ නිදාගන්න ඕන නැහැ අනන්‍යා 

"මම හින්ද නින්ද නැතිවුනා නේද . ටෙක්ස්ට් කරන්න ඔයාගේ සල්ලි යනවා අයියේ. අපි හවස කතා කරමු."

"හා එහෙනම් .. ඔයාට තෙරුවන් සරණයි.."

"ඔයාටත් තෙරුවන් සරණයි "

හිතේ සන්තෝසේ සල්ලි වලට ගන්න බෑ අනන්‍යා... කියල කියන්න ඕනෑ වුනත් විසල් එහෙම නොලියාම දුරකථනය පසෙකින් තබා අරමුණක් නැති සිතුවිලි දැහැනකට සම වැදුනා..

****************

සුදු දුව කෝ ඔයා..

අනන්‍යා... දුව ඔයා කොහෙද..

මේ ඉන්නවා අම්මා.. මම බැල්කනියේ..

ඇයි ළමයෝ කතා කරාම ඉන්න තැනකින් කතා කරන්න බැරි..

තම මවුතුමිය විසින් තමුන්ව විමසමින් ඉහල මාලයට පැමිණෙන හඬ අනන්‍යාට දැනුනත් අනන්‍යා පසුවූයේ සොඳුරු කල්පනාවක .. ඒ නිසාවෙන් තම මවගේ නෝක්කාඩු ස්වරයට පිළිතුරු බැඳීමට උවමනාවක් අනන්‍යාට තිබුනේ නැහැ.  එතෙක් සැහැල්ලුවෙන් වගකීම් රහිතව දුවපැන ඇ
විද්දාවූ තමුන්ගේ තාරුණ්‍යය එතෙක් කිසි දිනෙක නොවිඳි වූ සොඳුරු හැගීමක් ඉවකරනා සුන්දරත්වය විඳින්නට අනන්‍යාට අවශ්‍ය වුනේ තනිකම පමණයි. 

මොකද ළමයෝ මේ තනියම ඉඳගෙන කරන්නේ..

මම ඔහේ හිටියා අම්මා..

අනේ මන්ද.. වෙනද ඔහොම නැහැනේ ඔයා.. මොකක් හරි අසනීපයක්වත්ද..

පිස්සුද අම්මා.. මම ඔන්න ඔහේ හිටිය ..

ඒක නෙවෙයි.. අද හවස ඔයා කොහෙවත් යන්නේ නැහැ හොඳද..

ඒ මොකෝ අම්මා.. මම මාධවීට පොරොන්දු වුනා අද පොත් වගයක් ගන්න යන්න එනවාමයි කියල..

නැහැ.. නැහැ.. මාධවීට කෝල් කරලා ඒ වැඩේ කැන්සල් කරන්න .. ඒ ගමන හෙට යන්න පුලුවනිනේ..

ඇයි අම්ම එහෙම කියන්නේ..

දැන් දවස් ගානක් ජෙනිෆර් ආන්ටි කෝල් කරා ඔයා බලන්න එන්න ඕන කියල.. කොහෙද ඉතින් ඔයා එක මොහොතක් ගෙදර නැහැනේ හවස් වරුවේ..

ඉතින් අම්මා මම වැරදි ගමන් බිමන් යන්නේ නැහැ කියල අම්ම දන්නවනේ..

කව්ද දරුවෝ කිව්වේ ඔයා වැරදි ගමන් බිමන් ගියා කියල.. ඒත් ඉතින් ජෙනිෆර් ආන්ටි මෙහෙ එන්න අහනවා රාජීව් ලංකාවට ඇවිත් ඉන්න නිසා.. ඉතින් මම අද හවස එන්න කිව්වා..

මොකක්..

ඔව්.. ඇයි..

අනන්‍යා තම මවගේ පුදුම සහගත බැල්මෙන් තම දෙනෙත මුදවාගත්තේ ටිකක් විතර අසීරුවෙන්.


ඇයි අම්මා මගෙන් නාහ එයාලට මෙහෙට ඉන්වයිට් කලේ.. මම අද හවස මාධවී එක්ක යන්නම ඕන..

නෑ..නෑ..නෑ.. ඔයා අද කොහෙවත් යන්නේ නැහැ.. ඔයාගේ අනාගත මදරින් ලෝ ඔයාව බලන්න එද්දී ඔයා එයාලව මගෑරලා යන එක වැරදියි සුදු දුව..

මගෑරලා යනවා නෙවෙයිනේ අම්මා.. මම මාධවීට පොරොන්දු වුනා.. මට බෑ පොරොන්දුව කඩන්න..

ඕක මහා ලොකු දෙයක්ද දුව.. ඉන්න මම මාධවී දුවට කෝල් කරලා කියන්නම් එයාටත් මෙහෙ එන්න කියල..

එප්..එපා...එපා... මම ඒක කරගන්නම්.. අම්මත් දාන ලෙඩ..

ඔන්න ආයේ කියන්න තියන්න එපා සුදු දුව.. අද හවස එයාල මෙහෙ එනවා හොඳේ..

හා..

තම මව කාමරයෙන් නික්ම යාමත් සමගන අනන්‍යා තම ඇඳ වෙත වැටුනේ හිස ගිනිගත් විලාසයෙන්. පැයකට හමාරකට කලින් යොදාගත් හමුවීමත්, එම හමුවීමට තම සිත තුල පවතිනා ඕනෑකමත් , විසල් නැවත දැකගැනීමට හා ඔහු හා දොඩමලු වීමට තිබෙනා අධික වූ කැමැත්තත් ඇසුරු සැනෙකින් අමතක කර දමන්නට හැකි පමණට වඩා වැඩි දුරක තම සිත ගමන් කර තිබෙනා වග අනන්‍යාට දැනෙන්නට වුනා. එහෙත් විසල්ගේ හමුවීමත් එයින් තමුන් ලබනා නිරාමිස සුවයත් , තම ආදරණීය මවගේ විධානයත් තම නිදහස් මනසේ අවුල් ජාලයක් නිර්මාණය කරමින් සිටිනා වග අනන්‍යාට නොදැනුනා නොවේ. තම එකම ගැලවුම් කරුවාද , තම කල්‍යාන මිතුරුයද වන මාධවීගේ දුරකථන අංකය අනන්‍යාගේ සිහින් ඇඟිලි තුඩු වලින් එබී ගියේ උද්ගත ප්‍රශ්නයට විසඳුමක් සෙවීමේ අභිලාෂයෙන්..

රත්තරනේ... මාව බෙරගනින් මාධවී..

ඇයි මොකෝ රාජීව් උඹව මේ අද මේ දැන් කසාද බඳින්න යනවද..

අනේ විහිල්ලු නෙවෙයි මාධවී.. මේක ලොකු ප්‍රශනයක්..

හරි කියහනෝ බලන්න මා ගාව විසඳුමක් තියෙනවද කියල බලන්න..

මම අද කෙනෙක් හමුවෙන්න යන්න දාගත්ත.. ඒ අස්සේ ජෙනිෆර් ආන්ටි රජීව් එක්ක මෙහෙ එනවලු අද හවස..

ආව් ආප්පා.. උඹ කාව හමුවෙන්නද අද මේ තකහනියේ ඇපොයින්මන්ට් එකක් දුන්නේ.. මට හිතාගන්න බෑ කෙල්ල ගිහින් තියන දුර..

ඔව් ඔව් එයා තමා.. මම උදේ කෝල් එකක් දුන්න..

අනේ අම්මේ දැන් මට කියන්නේ උඹ වෙනුවෙන් එයාව හම්බෙන්න යන්න කියලනේ.. සිම්පල් වැඩක්නේ බං අනන්‍යා.. මම ගිහින් කොල්ල එක්ක රවුමක් දාල එන්නම්.. කව්ද ඉතින් විසල් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක අතින් අල්ලන් රවුමක් යන්න ආස නැත්තේ නෙහ්..

මාධවී..... මගේ ඔලුව ගිනි අරන් තියන වෙලාවේ උඹ මේ ළඟක හිටියනම් දැනගනින් උඹට මම කරන දේ..

හරි දැන් මම මොකද කරන්න ඕන අනන්‍යා..

මමයි අද ඒ අහිංසකයාගේ නින්දත් නැති කරලා කෝල් කරලා මාව හම්බෙන්න එන්න කිව්වේ.. ජෙනිෆර් ආන්ටි නෙවෙයි කව්රු එනවා කිව්වත් මම අද එතනට යන්න ඕන.. මට මේ වෙලාවේ උදව්වට ඉන්නේ උඹ විතරයි.. මම මොකද මාධවී කරන්නේ..

අපි විසල්ට කෝල් කරලා වෙන දවසකට දාගමුද..

බෑ..බෑ..බෑ.. මමයි එයාට එන්න කිව්වේ.. මට එයාව බලන්න යන්නම ඕන..

හරි.. මට මේ ප්‍රශ්නෙට උත්තර දීපන් අනන්‍යා..

මොකක්ද..

උඹ දන්නවද උඹ මේ කරන්න හදන වැඩේ බරපතලකම..

ඔව්..

මම කියන්නේ ජෙනිෆර් ගෑනිව හම්බෙන්නේ ඉන්නේ නැතුව ගෙදරින් මාරුවෙන එක නෙවෙයි අනන්‍යා.. විසල් හම්බෙන්න යන එක ගැන ......උඹට පුලුවනිද ඉස්සරහට එන ප්‍රශ්න පත්තරේට උත්තර හොයන්න..

ඔව්.. මට පුළුවන්..

රෑ නිදි මරාගෙන උගුර වේලෙනකම් සිංදු කියල ජීවිතේ ගැටගහගන්න ඒ අහිංසක කොල්ලගේ හෙට දවසට උඹ වගකියනවා කියල උඹේ හිතට පොරොන්දු වෙන්න පුලුවනිද අනන්‍යා..


ඔව්..ඔව්..ඔව්.. මම පොරොන්දු වෙනවා මාධවී... මාව අඩවන්නේ නැතුව මට ගෙදරින් පැනගන්න විදිහක් හිතපන් මාධවී..

හොඳටම ෂුවර්ද..

ඔව් හොඳටෝම..

උඹට මේ තියන සැප සම්පත් ඔක්කොම නැතිවෙන්න පුළුවනි.. හොඳට හිතපන් අනන්‍යා.. උඹට බැරිනම් අද උඹේ අනාගත ඉන්ලෝ ජෙනිෆර්ව 
පිලිගනින්.. පුලුවනිනම් හොඳට හිතල තීරණයක් අරන් මට කියපන්.. උඹ මේ පනින්න හදන්නේ පීනන්න.. මැරෙන්න හරි එගොඩ පීනන්න පුලුවනිනම් විතරක් මට කියපන් අනන්‍යා.. උඹ මගක් ගිහින් ආයේ මෙගොඩ පීනනවානම් ප්ලීස් ඒ අහිංසක කොල්ලට පාඩුවේ ඉන්න දීපන්..

ප්‍රොමිස්..

මොකක්ද..

මම මැරුණත් විසල් දාල යන්නේ නැහැ.. 

හොඳට විශ්වාසද..

ඔව්.. සත්තයි.. මට කවදාවත් මෙහෙම දෙයක් දැනිල නැහැ මාධවී.. 

ඒ කියන්නේ උඹ විසල්ට ලව්..

ඔව්.. ලව් කියනවට වඩා ආදරෙයි කියන වචනේ එතනට ගැලපෙනවා මාධවී.. එතන තියෙන්නේ ලව් කියන වචනෙට වඩා එහා ගිය බැඳීමක්.. මම ඒ බැඳීමට ආසයි.. මම හිතනවා එක තමා කියල ආදරේ කියන්නේ..

මගේ අම්මෝ.. උඹ දැන් හෙන දාර්ශනිකයෙක් වෙලානේ..  හරි උඹ අද එතකොට විසල්ට  උඹේ හිතේ තියන දාර්ශනික හැගීම ගැන කියනවද..

ඔව්.. අද මම කියනවාමයි.. හිතේ තියන් හිටිය ඇති.. 

මගෙන් උණුසුම් සුභපැතුම් අනන්‍යා.. විසල් උඹට ආර්ථික අතින් නැතුව අනික් හැම පැත්තෙන්ම ගැලපෙනවා.. මට හරි සතුටුයි.. ඒත් බයයි මේකෙන් උඹට දුක් විඳින්න වෙයිද කියල ..... ආයේ හිතල හිතල හිතල තීරණයක් ගනින්.. මම උඹට ගෙදරින් පැනගන්න විදිහක් හිතන්නම්..

ෂුවර් නේද..

හ්ම්..

එහෙනම් මම තියනව..  හිතල මට කෝල් එකක් දියන්..

ඒ ගමන මොකෝ මේ හදිසිය..

නිකම් බන්..

හා හා.. දැන් ඉතින් කල්පනා ලොව මල්වනේ... සිහින රජදහනේ.. කිව්වලු.. ඔන්න මම තියනව එහෙනම්.. බායි..

බායි..

සංවාදය අවසන හිතේ තිබුනාවූ බර සැහැල්ලු වූ ස්භාවය අනන්‍යාට දැනුනා.. එසැනින්ම නැවතත් මනසට නැගුනා වූ ඒ සොඳුරු සිතුවිලි සමුදාය අනන්‍යා නැවත වරක් කල්පනා සාගරයක ගිල්වනු ලැබුවා. ඒ සාම සිතුවිල්ලක් තුලම සිටි සොඳුරු ආදරණීයයා විසල්ම පමණයි..

**************


කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි



කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටම වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගෙයි අගෙයි ඔබ මටම අගෙයි..

******************

ඊළඟ කොටසින් හමුවෙමු ..