Wednesday, September 18, 2019

වඳුරු කතා..





වඳුරා කිව්වාම ඉතින් වඳුරු කුලයට අයිති සත්තු බොහොමයක් ඉන්නවා උනත් වඳුරාට වඩා වඳුරු වැඩ කරන්න වඳුරාගේ  ලොකු අයියා වෙච්චි මිනිසා කියලයි ගොඩයාගෙ මතය. ඩාවින්ගෙ පරිනාම වාදයේ කියන විදිහට වඳුරාගෙන් මිනිසා පැවත එනවා කිව්වට ගොඩයා නම් ඔය කියන පරිනාම වාදය විශ්වාස කරන්නෙ නැහැ. ඩාවින්ගේ පරිනාම වාදය විශ්වාස නොකලත්, මිනිහා කියන සතා වඳුරා කියන සතාගෙ නෑයෙක් කියන්න නම් කරුනු කාරනා බොහොමයි රට තොට දිහා ටිකක් හොදින් විපරම් කරලා බැලුවාම. මොකද කියනවනම් කලිසම් සූට් ඇදලා ගජරාමෙට සැරසිලා ඒසී වාහන වලින් ගමන් ගිහින් මන්දිර වල වාසය කරාට බහුතරයක් මිනිස්සු හැසිරෙන්නෙ වඳුරන්ටත් අන්ත තාලෙට. ඔන්න ඔය ආකාරයෙන් බ්‍රන්ත ලොරි ටෝක්ස් එක්ක පෝස්ට් එක දිගටම ලියාගෙන ගියොත් ගොඩයා  දාර්ශනික ටෝක්ස් දීලා පොර වෙන්න හදනවා කියලා පාථකයන් හිතන්න බැරි නෑ . ඒ  පරිනාම වාදය ගැන, මිනිස්සු ගැන ලොරි ටෝක්ස් එතැනින් ඉවරයි. ඕන් එතැන් පටන් ලියැවෙන්නෙ ලියන්න ආපු වඳුරු කතා ටික.

ගොඩයාගෙ ලංකාවෙ ගෙදරින් දැන් කාලෙක හිටං පැමිනිලි ඉවරයක් නෑ වඳුරු කරදරයක් සම්භන්ධව. පැමිනිල්ල ගැන කෙටියෙන් කියනවනම් විස්සක තිහක විතර වඳුරු රැලක් ගම් වැදිලා කාලයක හිටන් එකම නාට්ටියක්ලු. ගහක කොලක ගෙඩියක්, මලක්, දල්ලක් එන්න දෙන්නෙ නෑලු මෑන්ස්ලා දිනකට දෙකකට වතාවක් විසිට් කරලා පලදාව නෙලනවාලු. වහලවල්, ටීවී ඇන්ටෙනා, ලයිට් වයර්, ටැලිෆෝන් වයර් ඇතුලු මෙකී නොකී එලියෙ තියෙන සෑම දේවල්ම වදුරන්ගේ දේපල බවට පත්වෙලාලු . ඕන් ඉතින් ගොඩයාටත් මේ පැමිනිල්ල අහගෙන ඉදලා බැරිම තැන ගොඩයා ලොක්කා වගේ කිව්ව අවුරුද්දට ලංකාවට ආවාම ප්‍රශ්නෙ ඉවරයක් කරලා දෙන්නම් කියලා. මොකද කියනවනම් ගොඩයා ලංකාවෙ රැකියාව කරද්දි ඔය වඳුරා කියන සතා එක්ක රාජකාරී වශයෙන්ම සම්භන්ධ වෙලා ඉදලා තියෙන නිසා ගොඩයාට පොඩි විස්වාසයක් තිබ්බ ටික දවසකට හරි වඳුරු රැල එලෝලා දෙන්න පුලුවන් වෙයි කියලා.

ඕන් ගොඩයා ලංකාවට ගියා කියමුකෝ.. අප්පට සිරි.. කිව්වට වඩා වැඩේ දරුනුයි.. කොටින්ම කියනවානම් වදුරන්ගෙ ඉඩම්වල අපි ගෙවල් හදපු ගානයි. වෙනත් විදිහකට කියනවනම්, උන්ගෙ ගේක අපි කුලියට ඉන්නවා වගේ කියහන්කෝ.. යකඩෝ සීට් වහල උඩ මුන් ටික දුවන්නෙ පනින්නෙ ගාලු පාරෙ බස් ලොරි යන ගානට. මුලු පලාතෙම තියෙන ගස්වල දලු, මල්, කොල, ගෙඩි කාලා අහවර වෙලා මෑන්ස්ලා ටික ගොඩයාගෙ තාප්පෙ උඩින් වාඩිවෙලා ඉන්නේ පොඩි බ්‍රේක් එකක් ගත්තා මචං කියන ගානට. ගහක ගෙඩියක් සතෙක් කඩන් කෑවට මක් වෙනවද ආයුබෝවන්ඩ ..  එක ගෙඩියක් කඩාගෙන කාලා මදි පාඩුවට බඩගින්නෙ වැඩි කමට තව ගෙඩියක් කඩන් කෑවත් මක් වෙනවද.. මොකෝ ඉතින් උන් උයා පිහාගෙන කන්න කියලද. ඒත් ඉතින් යකඩෝ එක ගෙඩියක් කඩලා එක කෑලක් කාලා ඒක බිමට දාලා තව ගෙඩියක් කඩාගෙන ඒකෙනුත් පොඩි කෑල්ලක් කාලා ඒකත් බිමට විසික්කා කරලා තවත් ගෙඩියක් කඩාගෙන ඒකෙනුත් පොඩි දත් පාරක් ගහලා විසික් කරලා ආයෙත් ගෙඩියක් කඩාගෙන කෑල්ලක් කාලා බිමට විසික් කරලා බිම ඉන්න අපි දිහාට විරිත්තනකොට ගොඩයාට හිතෙන්න දේ සිංහලෙන්ම මෙතන ලියන්න බෑ. ගහට නගලා වදුරු රැල පස්සෙ එලවන්න බැරි නිසා ගොඩයා වදුරු රැලේ මෑනියන්ලාටත්, මෑනියන්ලාගෙ මෑනියන්ලාටත් හිතෙන් සෙත් පතනවා වෙන කරන්න දෙයක් නැති නිසා. 

ඕන් ගොඩයා බහිනවා වදුරන් එලවීමේ මහා සංග්‍රාමයට. පවුලේ උදවියද අහල පහල උදවියද වටවෙලා කියහන්කෝ. කස්ටිය බලාන ඉන්නවා ගොඩයා වදුරන්ට බැස්ටිය දීලා වදුරු රැල බුදාම්මෝ කියාගෙන පැත්තෙවත් නොඉඳ පණ කඩාගෙන පැනලා දුවනකල්. වදුරු රැල ගොඩයාගෙ ගෙදරට අල්ලපු වත්තෙ මායිමේ තියෙන කොස් ගහක පොඩි ගෙට්ටුගෙදර් එකක් කියමුකෝ. වැඩි කලබලයක් නෑ කස්ටිය තැන තැන වාඩිවෙලා ඔලු බලනවා, පිට කහනවා, වලිග වලින් ඇදගන්නවා  එක විකාරයයි. ඕන් ගොඩයත් කලින්ම සූදානම් කරගෙන හිටපු රතිඤ්ඤා පෙට්ටිය එහෙම එලියට අරගෙන ඉටි පන්දමකුත් පත්තු කරගෙන වදුරන් එලවන්නයි සූදානම. වදුරු රැල කිසිම හාවක් හූවක් වැඩි කලබලයක් නෑ කොස් ගහට වෙලා පාඩුවේ එයාලගෙ වැඩ. ඕන් ගොඩයා පලවෙනි රතිඤ්ඤා කරල පත්තු කරලා කොස් ගහ දිහාට විසික් කරනවා.. වදුරු රැල බුදාම්මෝ කියාගෙන පන එපා කියාගෙන දුවන්න ගත්තද පිංවතුනි... නෑ හත් ඉලව්වෙ නෑ.. උන්ට මෙලෝ ගානක් නෑ. ඕන්  ගොඩයාට මල පයිනව.. ඇයි යකෝ ගෙදර අයිතිකාර මහත්තයා රට ඉදන් ඇවිල්ලා අහල පහල මිනිස්සුත් වට කරගෙන හෙන ලොක්ක වගේ රතිඤ්ඤා කරලක් පත්තු කරලා ඇඟට විසික් කරාම උන්ට වටිනවා නේද අඩුම තරමේ එහා ගහටවත් පයින්න. මොන.. උන්ට මෙලෝ ගානක් නෑ. ඔන්න ගොඩයා ගන්නව රතිඤ්ඤා කරල් පහක් විතර අතට. කොස් ගහට මෝටාර් ගහන්නැහේ රතිඤ්ඤා කරල් පහම රූන් රූන් ගාලා කොස් ගහ දිහාවට විසික් වෙනවා.. ඩෝං ඩෝං ගාගෙන වදුරන්ගෙ කන ගාව එව්ව පුපුරන්වා.. මෙන්න බොලේ වදුරු රැල පන එපා කියාගෙන දුවන්න පටන් ගති?   පී....ස්සුද් ආයුබෝවන්ඩ .. උන්ට මෙලෝ ගානක් නෑ.. උන් සැට් එක ගොඩයා දිහා බලාන ඉන්නවා කව්ද බන් මේ පිස්සු බුවා කියන  ගානට.. ඉතිං හත් ඉලව්වෙ ගොඩයා කියලා මැරෙන්නද.. රතිඤ්ඤා පෙට්ටියෙන් භාගයක් පත්තු කරලා උන් දිහාර විසික් කරලත් උන් උන්ගෙ වැඩ.. ගොඩයාට හති රතිඤ්ඤා උඩ විසික් කොරල.. අවසානයේ ගොඩයා ස්ව කැමැත්තෙන් පරාජය භාරගෙන වැඩේ අල්ලලා දානවා වදුරු රැලයි ගෙදර උදවියයි, අහලපහල උදවියයි ඉසරහා පිස්සෙක් ගානට වැටෙන්න බැරි නිසා. වදුරන් එලවීමේ ප්‍රොජෙක්ට් එක එතැනින් ඉවරයි. ඩාවින් කිව්වට මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් කියලා ගොඩයාගේ වඳුරන් එලවීමේ මෙහෙයුමෙන්ම කියන්න බැරිද ඒක එහෙම නෑ කියල. ඇයි හත් ඉලව්වේ ඔය සා රතිඥ්ඥා ගොඩක් පත්තු කරලා මනුස්සයෙකුගේ ඇඟට විසික් කරානම් මේ වෙද්දී ගොඩයාගේ තුන් මාසේ දානෙත් දීලා අනිවා. ඒත් වඳුරු රැල රතිඥ්ඥා ගැන දක්වපු ප්‍රතිචාරය අනුවම ඔප්පු වෙන්නේ නැද්ද වඳුරා සහ මිනිසා කියන්නේ එක පවුලේ එවුන් වෙන්න බෑ කියල.  

වඳුරන් එලවීමේ මෙහෙයුමත් අසාර්ථක වෙච්චි එකේ වන්ජීවී එකේ වැඩ කරන පරන මිත්‍රයෙක් අමතලා විකල්පයක් අහන්නත් ගොඩයා අමතක කරන්නෙ නෑ. ගොඩයාගේ බලවත් ඉල්ලීම පිට තඩියා වනජීවී මිත්‍රයා අමතලා පිහිටක් පැතුවත් එයත් නිශ්පල වෙනවා ප්‍රතිඵලයක් නැතුවම. වන්ජීවී මිත්‍රයාගෙ පිලිතුර උනේ ඕනෙනම් අලි වෙඩි දෙකක් ගෙනත් දෙන්නම් රජෝ දාලා බලහන් කියන එක. ගොඩයා ඒ වෙද්දී ලංකවෙන් පිටවෙලා නිසාත්, අලි වෙඩි සමග තඩියා එහි යවා වදුරු රැලට , ගෙදර උදවියට, අහල පහල අයට තඩියාටවත් නෝන්ඩි කරන්න බැරි නිසා ගොඩයා ඒ ඔප්ශන් එක පාවිච්චි කරන්න ගියේ නෑ.. මේ වෙද්දීත් වදුරු රැල දෙයියන්ගේ පිහිටෙන් කිසිම දුකක් කරදරයක් නැතුව සුවසේ වාසය කරනා අතර ඊයේ වෙද්දි තත්වය කියනවානම් වහලේ තැන් දෙකකින් දිය ඇල්ලක් වගේ ගේ ඇතුලට වතුර වැටෙනවාලු වහින වෙලාවට. ඒ කියන්නෙ වත්තේ පිටියේ පලදාව පරිභෝජනය කරන්න දුන්නට අමතරව ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු දෙකක සහ වඩු බාස් කෙනෙකුට සහ ගෝලයෙකුට දවසක පඩිය ඇතුලු බිලක් ගොඩයාට හෙටානිද්දා වෙද්දි ලැබීමට නියමිතයි.. ඊයෙ පෙරේදාවක ගොඩයා CCTV හරහා ගේදොර දිහාවට දිවැස් හෙලන අල්ලපනල්ලෙ මෙන්න බොලේ වඳුරු අප්පුහාමිලා  හත් අට දෙනෙක් ගොඩයාගෙ කාර් කටුව උඩ වාඩි වෙලා සැපේ ඉන්නවා කියහකෝ. ඒ වෙලාවෙනම් ගොඩයාට  වඳුරු රැලේ මෑණි වරුත්, ඩාවින්ගේ මෑණියනුත් මතක් උනා. ඇයි යකඩෝ වදුරු රැලක් නිසා මේ සා දුක් උහුලන්න පුලුවනිද මිනිස්සුන්ට.. එහෙව් කාපාලුවන්ගෙන් මිනිසා පැවත එනවා කිව්වම මල පනින්නේ නැද්ද හා..

ගොඩයා රාජකාරී වශයෙන්ම වදුරන් එක්ක සම්භන්ද වෙලා හිටපු කතාවත් ලියපු නිසා වදුරු කතා තව ටිකක් දුරට ලියලම පෝස්ට් එක ඉවරයක් කරනව. වඳුරු පවුලටම සම්භන්ධ නිසා වඳුරා කියලා කිව්වට ඔය කියන රාජකාරියට අනුයුක්ත උනේ රිලව් බිස්නස් එකක්. මතක් වෙච්චි වෙලාවෙ එව්ව ලියලා තැබීම ඇගට ගුනදායකයි ගොඩයාගේ අප්සැට් මෙමරියේ බැටරිය අවුල් නිසා.

අවුරුදු දෙකකට විතර වතාවක් ගොඩයාට සැට්වෙන අමතර රාජකාරියක් විදිහට තමා ඔයා කියන රිලව් බිස්නස් එක සැට් වෙන්නෙ. ඔය කියන ප්‍රොජෙක්ට් එක සැට් වෙන කාලෙට ගොඩයාගෙ කාර්‍යාලයේ ලියාපදිංචි වෙලා ඉන්න රිලව්  අල්ලන්ට ගොඩයා දැනුම් දෙනවා රිලවුන්  මෙන්න මේ ප්‍රමානයක් අවශ්‍යයි කියලා. එහෙම කිව්වාම කොන්ත්‍රාත් ක්‍රමයට රිලව්  අල්ලන්නන් වැඩේ පටාන් ගන්නවා පහුවදාම. ගොඩයාට තියෙන්නෙ ගෝල තැන ලව්වා රිලා කූඩු ටික පිලිවෙලක් කරලා තැබීම පමනයි. ඒ අතරේ වනජීවී කාර්‍යාලයෙන් ගොඩයා වෙත නිකුත් කෙරෙන බලපත්‍රය  සහ වදුරන් සිහි නැති කිරීමේ ඖශධ ලැහැස්ති පිට තබාගැනීම ගොඩයා සතු වගකීමක්.  දවල් දවසේ අල්ලන රිලවුන් හවස් වෙද්දි ලෑන්ඩ් මාස්ටර්යක හෝ කාර්‍යාල ලොරියක පටවලා කාර්‍යාලයට ආපු ගමන් කෑලි ගානට කෑශ් එවෙලේම ගෙවනවා ආයෙ ගොඩයා ලෝස් නෑ.  

රිලව් අල්ලන කොන්ත්‍රාත් කරුවන් රිලව් ඇල්ලිල්ල කරන්නේ තමුන්ගේ ගමේ රටේ නොවෙන මලාට ගමේ එවුන්ට ආරංචි නොවෙන කැලෑබද ප්‍රදේශයකට ගිහින්. ජීවත් වෙන ගමේ කොයිතරම් රිලව් හිටියත් ඔය කියන උදවිය ගමේ රිලව් අල්ලන්නේ නෑ. ඒකට හේතුව නිකමට හරි ගමේ එකෙක් දැක්කොත් මෑන්ස්ගේ පරම්පරාවම සුං නිසා. ඔය කියන කාරනාව තවදුරටත් පැහැදිලි කරනවානම් සීන් කෝන් එක මෙන්න මෙහෙමයි. උදාහරණයක් විදිහට කියමුකෝ රිලව් අල්ලන්නේ සුනිල් කියලා.. ඕන් සුනිල්ගේ ගමේ අහල පහල කෙනෙක් සුනිල් රිලව් අල්ලනවා කියල දැක්කොත් හෝ දැනගත්තොත් එදා හිටං සුනිල් සුං. ඒ කිව්වට වැඩි වෙනසක් නෑ.. උපන්දා හිටං නිකම්ම නිකං සුනිල් වෙච්චි සුනිල් එදා හිටං ගමේ එවුන්ට රිලා සුනිල් . එච්චරයි.. හැබැයි ඒ විතරක් නෙවෙයි.. සුනිල්ගේ අඹු දරුවන්ටත් ඒ ආනිසංසෙම තමයි. එදා හිටං "රිලා" + සුනිල්ගේ පුතා, "රිලා" + සුනිල්ගේ දුව, "රිලා" + සුනිල්ගේ ගෑනි, "රිලා" + සුනිල්ගේ අම්මා, "රිලා" + සුනිල්ගේ තාත්තා වගේ සුනිල්ගේ පරම්පරාවටම රිලා විශේශනේ එකතු කරන්න ගන්කාරයන් දෙපාරක් හිතන්නේ නෑ.   ඒ නිසා ඔය කියන රිලව් අල්ලන උදවිය වැඩේ කරන්නේ හෙවනල්ලටවත් නොදැනෙන්න තමා. ගොඩයලාත් රිලව් අල්ලන කස්ටියට වැඩිය ප්‍රෙෂර් එකක් දෙන්නේ නෑ මෑන්ස්ලා කොන්ත්‍රාත්තුව කරන්න බෑ කිව්වොත් වැඩේ කරගන්න මිනිස්සු හොයන්න සෑහෙන අමාරු නිසා.

ඕන් ඒ වගේ රිලව් අල්ලන කාලෙක මහ දවාලේ ගොඩයාගෙ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙනවා..

මහත්තයා මං..... අහවලා...

ආ ඔව් කියන්න..

මහත්තයා සතෙකුට තුවාල උනා.. ගන්න බෑ සතා සල් අඩේ අතුලේ ලේ ගලනව..  

මොකද උනේ..

සල් අඩේ යටින් මේ යකා රිංගන්න ගිහින් තුවාල කරගත්තා මහත්තයා..

දැන් මොකද කරන්න ඕන..

බේත් ටිකක් විදලා තමයි ගන්න වෙන්නේ මහත්තයා..

හරි.. එහෙනං අපි එන්නං.. එතකම් සතාට යන්න දෙන්න එපා..

තුවාල වෙච්චි සතෙක් ගොඩයාලාගේ ප්‍රොජෙක්ට් එකට වැඩක් නෑ. ඒත් තුවාල වෙච්ච සතෙක් තුවාල පිටින් කැලේට අතාරින එකත් සදාචාරාත්මක නෑ. ප්‍රතිකර්මයක් කරලා තුවාල හොඳ කරලා එපැයි ඉතින් සතා අතාරින්න. 

ඕන් ගොඩයා සහ ගෝල තැන රාජකාරී යතුරු පැදියේ නැගලා ඉගිලෙනවා අරුන්දෑලා රිලව් අල්ලන ඉසව්ව හොයාගෙන. ඒ යන්නේ හිස් අතින් නෙවෙයි. රිලා නයිදෙට සිහි නැති කරන්ට ඕනෑ කරන ඖෂදෙත් අරගෙන. ඕන් මේ පෝස්ටුව කියෝලා සත්තුන්ට සිහි නැති කරන ඖෂධ වර්ග ගැන ගොඩයාගෙන් අහන්න තියාගන්න බෑ. මොකද කියනවනම් ඔව්වයේ නම් ගම් මාත්‍රා මේකේ ලියලා කව්රුහරි අසමජ්ජතියෙක් ඔව්වා පාවිච්චි කරලා හිරේ විලංගුවේ වැටුනොත් ගොඩයාට ඔව්වට වග කියන්න බෑ.

ගොඩයාගේ රාජකාරි යතුරුපැදිය වෙච්චි යමහා RX 100 යන්තරේ පොලොව ඉරාගෙන යන්න දක්ෂයා නිසා පැය භාගෙන් ගොඩයා සහ ගෝල තැන රිලා කැචින් ලොකේෂන් එකේ. ඕන් ලං වෙලා බැලින්නම් තරුණ රිලා  නාම්බෙක් ලේ පෙරාගෙන සල් අඩේ ඇතුලේ ඉඳන් එලියට පැනගන්න ගේම ඉල්ලනවා. කොහොමින් කොහොම හරි රිලා හාමු සල් අඩේ අයිනට අරගෙන සිහිය නැති කරන බෙහෙත් ටික එන්නත් කරන්න ලැස්ති උනා කියමුකෝ. වැඩේ කියන්නේ හදිසියෙන් ආපු නිසා සිහි නැතිකරන ඖෂදේ ගෙනල්ල තියෙන්නේ තුන්කාලකට වඩා ඉවර වෙච්චි බෝතලයක් කියහන්කෝ..  ඔය කියන තද පාට කුප්පිය හොඳින් බැලුවේ නැති වුනොත් ඇතුල පේන්නේ නෑ. හදිසියට ෆ්‍රිජ් එකෙන් අරං බෙහෙත් පෙට්ටියට දාගෙන තියෙන්නේ යාන්තමට අඩිය විතරක් තියෙන බෝතලයක්. තුවාල වෙච්ච සතා තුවාල පිටින් කැලේට අතාරින්නත් බෑ. සිහි නැතිකරන ඖෂදේ ගේන්න ආපහු කාර්යාලයට යන්න පුළුවනි ඒත් රිලා නයිදේ දඟලන දඟලිල්ලට බේත් අරං ආපහු එනකං පණ පිටින් ඉඳියිද කියලත් සුවර් නෑ. ඒ අතරේ බෙහෙත විදලා සතා එලියට ගත්තට කාර්යාලයට සතාව අරං යන්න රාජකාරි වාහනෙත් නෑ. ඉතින් කියහන්කෝ දැන් මොකෑ කරන්නේ කියලා.. විකල්පයක් නැති තැනම ගොඩයා සහ ගෝල තැන තීරණය කරනවා ඖෂදේ අන්තිම බිංදුවටම විදලා සතා එලියට අරගෙන මොටෝවේ මැදින් තියාගෙන කාර්යාලයට අරගෙන යන්න..

ඕන් ගොඩයා ඖෂදේ රිලා මොටාට විදලා විනාඩි දෙක තුනක් යද්දී රිලා මල්ලි සැපට දොයි..  ගෝල් තැන කොහෙන්දෝ හොයාගෙන ආපු ගෝනි මල්ලක පරෙස්සමට රිලා මල්ලිව තියලා ගෝනියේ කට ලණුවකින් ගැට ගැහුවාම රිලා මොටා ට්‍රාන්සර් එකට රෙඩි.. හැබැයි ගොඩයාටයි ගෝල තැනටයි වැඩේ ෂුවර් නෑ. රිලා මල්ලිට මගදී සිහිය එන්නත් පුළුවනි ඔෆිසියට යනකල් සැපේ නිදියන්නත් පුළුවනි. වැඩිය කාලය නාස්ති කරන්න බැරි නිසා රිලා ගෝනිය ගොඩයාට සහ ගෝල තැනට මැදින් තියාගෙන ගොඩයාගේ රාජකාරි යතුරු පැදිය කාර්යාලය බලා ගුවන්ගත වෙනව..

ටික දුරක් ඔහොම ගියා කියමුකෝ.. මෙන්න බොලේ රිලා ගෝනිය ටිකෙන් ටික හෙලවෙනවා ගොඩයාගේ පිටට දැනෙනවා. ගොඩයා තමා මොටෝව පදින්නේ.. ගෝල තැනගේ උකුලේ තමා රිලා ගෝනිය සැපේ ඉන්නේ.. වැඩේ එන්න එන්නම හරි නෑ.. ගෝනිය දැන් ටිකෙන් ටික හොඳටෝම නොටෝරියස් කියහන්කෝ..ගොඩයාටත් පන  බයයි මේ යෝදයා මරු විකාරෙන් ගොඩයාගේ පිට හපයිද කියලා. ගෝල තැනත් පට්ට ගේමක් දෙනවා රිලා ගෝනිය බයිසිමොටෝවෙන් බිමට පතබෑ  නොවී තියාගන්න. මොන.. ගෝනිය දෙවනත් වෙන්න රිලා මල්ලි ඇතුලේ ඉඳන් එස්කේප් ප්ලෑන් එක එක්සිකියුට් කරනව. පවනට බඳු වේගයෙන් ගුවන්ගතවෙන මොටෝව මුගේ දැඟලිල්ලට කොයි ගිහින් නතර වෙයිද කියලා අන්ශුවර් වෙච්චි  ගොඩයා මොටෝව නවත්තනවා තුන්දෙනාගෙම ජීවිත බේරාගන්න ඕන නිසා. ඒ අස්සෙ ගොඩයා කල්පනාවක් නැතුව මොටෝව නවත්තලා තියෙන්නේ වන්දනා නඩයක් විවේක ගන්න නවත්තපු තැනක කියහන්කෝ. බයිසිමොටෝව නවත්තපු ගමන් ගෝල තැන විසින් බිම තියපු රිලා ගෝනිය මෙන්න යකෝ ඔබ මොබ පනිනවා.. 

අම්මේ... මාමල දෙන්නෙක් ගෝනියක් නටවන්න ගෙනල්ලෝ.. කීයක් හරි අරං එන්නෝ...

වන්දනා නඩේ හිටපු ඇච්චෙක් කෑ ගහපු කෑ ගැහිල්ලට වන්දනා නඩේම ඊළඟට රිලා ගෝනිය වටේ වටවීමට නියමිත නිසා ඔන්න ගෝල තැන නැවත රිලා ගෝනිය උස්සලා ගන්නවා ආයෙත් බයිසි මොටෝවට. ඇයි හත් ඉලව්වේ පුජා නගරවල ඔය සම්පලේ එක එකාකාර සෙල්ලම් පෙන්නලා මිනිස්සුන්ගේ අතේ තියෙන කීය හරි හුරගන්න ඒජන්තලා බහුල නිසා පැන පැන යන ගෝනියක් වටේ වන්දනාවේ ආපු මිනිස්සු වටවෙන එක අරුමයක් නෙවෙයිනේ. ඒ වගේද මිනිස්සු ඉස්සරහා හදිසියෙවත් ලේ පෙරාගෙන ඉන්න රිලා මොටා ගෝනියෙන් එලියට පැන්නොත් ගොඩයා සහ ගෝල තැනට මිනිස්සු මොනා නොකර ඉඳියිද.. ඒ කාලේ ස්මාර්ට් ෆෝන් නොතිබුන නිසා මිසක්, ස්මාර්ට් ෆෝන් තිබුනානම් ගොඩයා, ගෝලයා සහ උඩ පනින රිලා ගෝනිය ෆේස්බුකියේ පසිද්ධ වෙන්න යන්නේ විනාඩි දහයයි. එහෙම උනානං ඉතින් ගොඩයා පාරේ බැහැලා හමාරයි. ඇයි යකෝ ජැන්ඩියට ඇඳගෙන රස්සාවට යනවා කියලා ගිහින් මේ යකා කතරගම ගෝනි නටවනවා කියලා ගමේ එවුං නොකිය ඉඳියිද..

එතැන් පටන් නැවතත් කාර්යාලයට ගුවන්ගතවිමක් තමා. හැබැයි කලින්ට වඩා වෙනස්. ගොඩයා මොටෝව පදින්නේ හිටගෙන. ගෝල තැන රිලා ගෝනිය තදින් අල්ලාගෙන ඉන්නවා මොටෝවෙන් බිමට පනින්න බැරිවෙන්න. පාරේ තොටේ බලං ඉන්න එවුං හිතන්නේ කාල තෙල වැඩි වෙච්ච එවුන් දෙන්නෙක්  මොටෝ බයිසිකලයකින් වැලිගම යන්න හදනවා කියලා. එහෙව් අසීරු ගමනකින් අනතුරුව රිලා ගෝනිය සමග ගොඩයා, ගෝලයා, රිලා මොටා ඔෆිසියේ. එයින් පස්සේ ඉතින් රිලා මොටා කුඩුවේ.. විනාඩි කීපයකට  පස්සේ රිලා මොටා තද දම් පාටයි.. ඒ ගෝල තැන විසින් රිලා මොටාට නොමිලේ දෙන ජෙන්සන් වයලට් සත්කාරය නිසා..

ඔන්න ඔය ආකාරයෙන් සතියක් දෙකක් ගතවෙද්දී ගොඩයාලාගේ ඔෆිසියේ තියෙන රිලා කූඩු ටිකේ රිලා මොටව් විස්සක් තිහක් ඔන් බෝර්ඩ්. එතැන් පටන් රිලා මල්ලිලාට නංගිලාට කෑම ආයතනයේ වියදමෙන්. ආයේ ඉතින් මාස හයකට අවුරුද්දකට රිලා මල්ලිලාට හේන් වලට පැනලා  මෑ කරල්. වම්බටු, වට්ටක්කා, පැණි කොමඩු හොරෙන් කන්න ඕන නෑ.. ඒ වගේම ගෙවල්වල කුස්සි වලට හොරෙන් පැනලා බත් මුට්ටි, පොල් බෑ උස්සගෙන ගස් දිගේ දුහන්න ඕනත් නෑ.. තුන් වේලම ෆ්‍රෙෂ් කෑම නොමිලේ උදෑසන ෆ්‍රෙෂ් වෝටර් බාත් එකක්ද සමගින්..

ඔය කියන රිලා කූඩු තියෙන්නේ පේලි දෙකකට කියමුකෝ. එව්වා සිංගල් ඉන්න හදපුවා නිසා එක කූඩුවට එක්කෙනයි. කූඩු පේලි දෙක මැද්දෙන් අඩි තුනක විතර ඉඩක්. ඒ ඉඩ මැදින් තමයි ගෝල තැන ගිහින් රිලා සැට් එකට කෑම දෙන්නේ, නාවන්නේ, කවන්නේ, පොවන්නේ.. ඒ අතරේ හැමදාම උදේට රිලා සැට් එක නාවලා කුඩු යට රිලා මල සුද්ද කරලා ක්ලීන් එකට තියාගන්නෙත් ඔය මැදින් තියන අඩි තුන හතර මැදින් ගිහිල්ලා කියමුකෝ. 

රිලව් ඉන්න කාලෙට ගෝල තැනගේ උදෑසන පළමු රාජකාරිය රිලා කුඩු ටික ක්ලීන් කරලා , රිලා සැට් එක නාවලා කෑම දීම තමා. ගෝල තැන ඔය වැඩේට යන්නේ උදේ ඇහැරුණු ගමන්ම. ඒ කියන්නේ ජස්ට් සරම පිටිං.  සරම දෙකට නවාගන්න ගෝල තැන පළමුවෙන්ම කරන්නේ වතුර බටේ අරගෙන හොඳවයින් වතුර පාරක් අල්ලලා රිලා සැට් එක නාවන එක. නෑ බෑ කියන්න බෑ හැමදෙනාටම උදෑසන ස්නානය අනිවාර්යයි. ඊළඟට තමා කූඩු යට තියෙන අපද්‍රව්‍ය, කාලා ඉතුරු කරපු කෑම වගේ දේවල් ඉදලකින් එලියට තල්ලු කරන්නේ. ඒ අපද්‍රව්‍ය ටික සිමෙන්ති පොළවෙන් එලියට තල්ලු කරලා දාලා ආයෙත් වතුර පාරක් ඇල්ලුවාම කස්ටිය අලුත් දවසකට රෙඩි. ඊට පස්සේ තමා කෑම.. ආයේ ඉතින් දවසට තුන් හතර වතාවක් ෆ්‍රෙෂ් වෙජිටබල්ස් ඇන්ඩ් ෆ්‍රෙෂ් ෆෘට්ස් ඇති තරම්.. ආයේ එක එකාගේ හේන් වලට පැනලා දෙවැනි සිල් පදෙත් කඩාගෙන නෝන්ඩි වෙන්න දෙයක් නෑ..

ඕන් එක දවසක කූඩු ක්ලීන් කරන්න ගිය ගෝල තැන උදේ පාන්දරම ගිනි විසික් වෙන්න මල පැනලා රිලා සංහතියටම සිංහලෙන් අමතනවා ඇහිලා ගොඩයා හනික ඇඳෙන් පැනලා දුවනවා රිලා කූඩු දිහාවට. රාජකාරිය පටන් ගන්නේ උදෑසන අටට නිසා ගොඩයා ඔය කියන ක්ලීනින් සෙෂන් එක වෙද්දී ඉන්නේ තද නින්දේ. රාජකාරිය පටන් ගන්නේ උදේ අටට නිසාත්, ඉන්නේ නිල නිවාසයේ නිසාත් උදේ හයට අවදි වීමේ අවශ්‍යතාවයක් ගොඩයාට නෑ. ඒත් ඉතින් ගෝල තැන නම් උදේ හත වෙද්දී කූඩු ටික ක්ලීන් කරලා, රිලා සැට් එකට කෑමත් දීල ගොඩයාට කන්න බ්‍රෙක්ෆස්ට් එකත් හදලා අහවරයි. රිලා සැට් එක කොළඹ යවනකල් සති කිහිපයක් ගෝල තැනගේ දින චරියාව පටන් ගන්නේ ඕන් ඔහොම තමා..

ඔන්න ගොඩයා නිදි පැදුරෙන් ඇඳෙන් පැනලා දුවනවා රිලා කූඩු දිහාවට. බැලින්නම් වැඩි අවුලක් නෑ. රිලා සැට් එකම උවදුරක් නැතුව කූඩු ඇතුලේ සැපේ ඉන්නවා. ගෝල තැන දෙකට නැමීලා අමාරුවෙන් ඉන්නා අතරේ රිලා සැට් එක එක්ක ගේම.. බැලින්නම් සිද්දිය ඉතාමත් සෝචනීයයි.. අහසෙ තරු නාහෙ ගාව කැරකෙන තාලෙට වේදනාකාරීයි.. කන් දෙකෙන් දුම් දමන සුලුයි....

කූඩු පේලි මැදින් ගිහින් කූඩු සුද්ද කරනකොට යට ක්ලීන් කරන්න පහත් වෙනවනේ. අන්න ඒ වෙලාවට සුද්ද කරන කෙනාගෙ පස්ස පැත්ත අනික් කූඩු පේලියේ ගෑවෙන්න නොගෑවෙන්න තරම් ලං වෙන එක වලක්වන්න බෑ. අපේ ගෝල තැන එහෙම පහත් වෙලා කූඩු යට සුද්ද කරන අල්ලපනල්ලේ සරම දෙකට නවාගෙනනේ ඉන්නේ. පහත් වෙලා කූඩු යට ක්ලීන් කරන ගෝල තැනගේ දෙකට නමපු සරම ඇතුලෙන් අමුතු තාලේ ගෙඩියක් එල්ලෙනව දැකපු පිටිපස්සෙ පේලියේ හිටපු රිලා පැන්චි කුඩුවේ දැලෙන් අත එලියට දාලා අර කිව්ව ගෙඩියෙන් ඇදලා කියහන්කෝ.. කඩාගෙන කන්නම  අදින ඇදිල්ලක් නිසා ආයෙ දෙකක් නෑ අපේ ගෝල තැනට අම්මා, මුත්තා, කිරිකිත්තා, නත්තා, පනත්තා හිටං මතක් වෙලා.. 

වඳුරාගේ සිරිත දුටු දේ අතගෑමයි කියන්නේ නිකමට නෙවෙයිනේ ආයුබෝවන්ඩ.. කාලෙකින් ගෙඩියක් කඩන් කන්නත් චෑන්ස් එක ලැබුනේ නැති එකේ, රිලවිට ක්ෂණිකව හිතෙන්න ඇති අප්පට සිරි අමුතු ජාතියේ ගෙඩියක් යකෝ කියල.. 

-----------------------------------------------------

සල් අඩේ කියන රිලව් අල්ලන ගැජට් එක කොමෙන්ට් එකකින් ලියන්නම් ඒ ගැන දැනගන්නම ඕන කට්ටිය ඉන්නවනම්.. ආරංචියේ හැටියට රිලවි කඩාගන්න උත්සහ කරපු ගෙඩිය මදක් තුවාලයි.. ජැන්සන් වයලට් තියෙනකල් ඉතින් කොයි තුවාලෙටත් අපේ ගෝලයා යූස් කරන්නේ ජැන්සන් වයලට් පමණයි..  කැමති තාලේ දම් පාට ගෙඩියක් හිතෙන් මවාගත්තට ගොඩයාගේ අවුලක් නෑ..

37 comments:

  1. ඒ ගෙඩිය මට මැවිල පේනව 😂 උබේ අලුත් නම "රිලා ගොඩයා" කියල රෙගිස්ටර් කරනව 😋 අර වනජීවී එකේ එකා මොනාද කන්න දාන්න කිව්ව නේද.මං උබට කිව්වෙ.ඒක කරල බැලුවෙ නැද්ද?ඕන හරියන්නෙ නෑ අර රිලව් අල්ලන එකාට කීයක් හරි දීල සෙට් එකම අල්ලල යවපං කැලේකට.වදුරු මස් කන්නෙ නැති නිසා මසට ගන්නත් බෑ.නැත්නම් ඉතිං ඉබ්බො,තලගොයි,කොබෙයියො වගේ උන් නම් බඩට ගියා අගේට

    ReplyDelete
    Replies
    1. "රිලා ගොඩයගෙ" යාළුවා "රිලා තඩියා" හැටියට රෙජිස්ටර් කරනවා...

      Delete
    2. රීලා නෙතූ...හෙහෙහේ...කෝමද ඒක 😂😂😂

      Delete
    3. වනජීවී මිත්‍රයා කිව්වෙ මයියොක්කා ටිකක් තම්බලා භාගෙකට මිරිස් දාලා දෙන්න කියලා. මිරිස් කැවුනාම එන්නෙ නෑ කියලා තමා කිව්වෙ. මං ඉතින් ගෙදරට පනිවිඩේ දුන්නා..ඒත් වැඩේ කෙරුනේ නෑ.. කරපු පාඩු මදිවට තව මයියොක්කා තම්බලත් දීපන්කො..

      Delete
    4. රිලා කෑල්ල බොලා දෙන්නා පාවිච්චි කරාට කමක් නෑ මට කර්තෘ භාගය ගෙවහන් මතක ඇතුව..

      බොල තඩියෝ.. රිලා කියලා ලියනකොට රයන්නට උඩින් ඉස්පිල්ල පරෙස්සමට දාන්න ඕන. උඹ රයන්නට උඩින් ඉස්පිල්ලට ගැටේකුත් දාලායි නෙතූට රිලා කෑල්ල ලියලා තියෙන්නෙ.. අනේ මන්ද ඉතින් ඕවානම්.

      Delete
  2. බයිසිමොටොවේ හිටගෙන යද්දි රිලා මොටා ගෝනියෙන් අතදාලා ගොඩයාගේ ගෙඩියත් කඩාගන්න හැදුවානම්?
    ගොඩයා මොටද රිලව් අල්ලලා කොළඹ පැටෙව්වේ ?

    ReplyDelete
    Replies
    1. ගෝනියේ දාලා ගැටගහලා තියෙන නිසා වැඩි සෙල්ලමක් දාන්න බෑ. මං භයවුනේ මරු විකාරෙන් මගේ පිට හපයිද කියලා..

      රිලවුන්ට කොලඹ පෙන්නන්න අරං යන ප්‍රොජෙක්ට් එකක් කියලා හිතාගන්නකෝ..😂 එව්ව ඉතින් මහප්‍රාන නම් වලින් හැදින්වෙන පට්ට සුවිසාල ප්‍රොජෙක්ට්. වැඩි විස්තර මෙහිලා ලියන්න මට අවසර ගන්න වෙනව. හොර මගඩියක් නම් නෙවෙයි.

      Delete
  3. අවසානයේ ගෝල තැන වදුරැ කුනුහරැප කිවෙිය....

    ReplyDelete
    Replies
    1. වදුරු කුනුහරුප කියන්නෙ මක්කෙයි බං... ගෝලයා කිව්වෙ සුපිරි සිංහල එව්ව..

      Delete
  4. සල්අඩෙි ගැනත් පැහැදිලි කිරිමක් දමනු මැනවි..

    ReplyDelete
    Replies
    1. සල් අඩේ කියන්නෙ අඩියෙ පලල ලෑලි වලින් ෆ්‍රේම් එකක් ගහලා ඒකට දැලක් ගහලා හදාපු වැලි හලන එකක් වගේ එකක් බං.

      Delete
  5. අනේ මන්දා ගොඩයියේ ඔයා නං නොකරපු දෙයක් නෑ..ඒපාර වදුරොත් ඇල්ලුවලු... අවුරුදු සීයක විතර අත්දැකීම් තියෙන කෙනෙක් තමා මට පේන හැටියට නම් ඔයා.. ඒ වගේම ඔයාගේ ලීවීමේ ශෛලිය හරිම සජීවී....

    ReplyDelete
    Replies
    1. පුහ්...මහ ලොකුවට කියනව සියල්ලදත් කියල.නොදන්න දේවලුත් තියෙනවනෙහ් 😋

      Delete
    2. වදුරො හොදයි නෙතූ බහුතරයක් මිනිස්සුන්ට වඩා...

      Delete
  6. අපේ පැත්තේ ඉන්නේ රිලා රංචුවක්.. තාත්තා හදාගෙන ඉන්නේ හොඳ කැටපොලයක්.. එකට නම් බයයි රිලව්.. ඒ උනාට අපි දකිනකොට කරන්න ඕනි විනාසය කල්ල ඉවරයි.. පහුගිය අවුරුදු තුනකින් වගේ ගෙදර ගහකින් එක අලිපේර ගෙඩියක් කන්න වෙලා නෑ..

    අපේ පැත්තේ ඒ කියුවේ බදුල්ලේ සල්ලඩේ කියන්නේ වැලි හලන රයිසියට.. :) මම හිතන්නේ දැල් කුඩුවක් වගේ නිසා වෙන්නැති.. සල්ලඩේ ගැන ලියපන් හරි විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. ඕං කමියෝ සල් අඩේට ඔය නම කිව්වෙ ඇයි කියලා දන්නෙ අද තමා. ඒක වැලි හලන එකෙන් වෙනස් වෙන්නෙ ලෑලි ෆ්‍රේම් එක අඩිය පලල ලෑලි වලින් ගහපු එකෙන් විතරයි. ඕක පත්තක් උඩට හිටින්න කෝටුවක් ගහලා සල් අඩේ ඇතුලට කෑම ටිකක් දාලා බලන් හැංගිලා බලන් ඉන්න එක තමා කරන්නෙ. රිලාව ඇතුලට ගිහින් කන්න ගත්තාම අර කෝටුවේ ගැටගහලා තියෙන ලනුවෙන් අදිනවා. එතකොට මෑන්ස් අතුලෙ හිර වෙනවා. පිරුදු කාරයෝ සිහි නැති කරන්නෙ නැතුව අල්ලලා කූඩුවට දාගන්නව. කොන්ට්‍රෝල් කරන්නම බැරි තඩි එවුන් අහු උනාම ඉතින් බෙහෙත් පොඩ්ඩක් විදලා නිදි කරවලා තමා එලියට අරං කූඩුවට දාන්නෙ.

      ඔය කැටපෝල් වැඩේ සාර්තකයි තමා.. ඒත් බං මගේ හිත හයිය නෑ ගලකින් විදින්න. අපිට ගල් පාරක් වැදුනාම කොයි තරම් රිදෙනවද. ඒ නිසා මට දුකයි ඒ වඩේ කරන්න. මං ඔය රතිඤ්ඤා දැම්මා කියල ලොකුවට ලිව්වට මං එව්ව උන්ගෙ ඇගේ වදින්න දැමෙ නෑ බං. පුංචි පැටව්ත් ඉද්දි උන් හදිසියෙවත් පැටියෙක් ගහෙන් පතබෑවුනොත් කියලා මට දුකයි.

      Delete
  7. වහලෙ මුදුන් උලු කැටයක් ගානෙ ගලවනවා ඕකුං.

    ReplyDelete
    Replies
    1. ආයෙ දෙකක් නෑ දැන් භාගයක් ගලවලා තියෙන්නෙ. වැහි පීලි ටිකයි මුදුන් උලූ ටිකයි තමා පලමුව කාබාසිනියා කරන්නෙ.

      Delete
  8. අඩේ පොසන්න මාම නෑ තාම.කවුරු හරි ඌට කියපල්ලකො....

    ReplyDelete
    Replies
    1. පෙසන්නයා වැස්ස නිසා පොරොවගෙන බුදිලු..

      Delete
  9. ඒ මොකෝ බං රිලව් ඇල්ලුවේ....
    රිලව් කෝමත් මහ වල් ජාතිය හැක්

    ReplyDelete
    Replies
    1. ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකකට බං. රිලවුන්ගේ වල් වැඩ ගැන මං මේකෙ ලිව්වෙ නෑ සභ්‍ය නැති නිසා.. මිනිස්සු හොර රහසේ කරන එව්ව උන් ප්‍රසිද්ධියේ කරන එක තමා වෙනස.. උනුත් මිනිස්සු වගේම තමා . එකෙකුට කෙල්ලෙක් සෙට් වෙනවට අනික් පිරිමි සත්තු කැමති නෑ. රැලේ නායක වදුරා ඌගේ කෑලි ටික වෙන උන්ට සෙට් වෙයි කියන භයට ලොකු පිරිමි සත්තුන්ට රැලේ ඉන්න දෙන්නෙ නෑ. නිරන්තරයෙන් වලි.

      Delete
  10. ගොඩයා මල්ලී ආයෙමත් ලියන්න පටන්ගෙන.එල.රිලවුන් එලවා දැමීමට අත්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මය මෙන්න.ගෝරිල්ලකු ගේ වෙස් මුහුනක් මිලදී ගන්න.(චීනා අපිට එවපුඒවා වෙළඳපොලේ ඕනතරම්)එය පැළඳගෙන මුලු සිරුර ම වැහෙන පරිදි කලු රෙද්දක් පොරවාගෙන හෙමින් ගමනින් රිලවුන් ට පේන්න ඒ පැත්තට යන්න.මාස පහකට වැඩියි.ආසාවට රිලවෙක් දකින්න නෑ.(ගොඩයො පොටෝ එකක් එවාං����)මතක ඇතුව සිරුරේ කිසිම තැනක් පේන්න යන්න එපා.ප්‍රතිපල දන්වන්න

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ අයිඩියාස්.. වැඩේ කියන්නෙ මං ලංකාවෙ නැති නිසා අපේ තඩියා තමා යවන්න වෙන්නෙ.. ගෝරිල්ලෝ මූනක් හොයාගන්න එක වැඩි අමාරුවක් නැති වෙයි.. කලු රෙද්දක් විතරක් හොයාගත්තත් ඇති වැඩේට.. මොකද අපේ තඩියාගෙ මූනත් ගෝරිල්ලා මූනට වැඩි වෙනසක් නෑ.. (මාව කයි දැන් දුවන් ඇවිත් ).. ස්තුතියි ටෙක්නිකා..

      Delete
    2. ටොකන්න @#$%& එනව මෙතන මාව ගෝරිල්ලෙක් කරන්න.දුකායි දුකායි දුකායි...

      Delete
  11. යකෝ තවුසෙ කතරගම පැත්තෙ ඉන්න රිලවු ටික අල්ලල කොළඹ පැටෙවුවද?

    මොනව උණත් තව පොඩ්ඩෙං අර ගෝල බුවාගෙ පරම්පරාවම නැතිබංගස්තාන වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ වෙද්දී ඌ පරම්පරාව හදලා ඉවරයි. ඒ නිසා අවුලක් නෑ.

      Delete
  12. වඳුරු ප්‍රශ්නයක් අපිටත් තිබ්බා හැබැයි එයා රයිෆල් එකක් ගෙනාවා එම පස්සෙ කිසි අවුලක් නෑ
    දෙක තුනකට ප්‍රසිද්ධියේ තිබ්බා දැන් එකෙක්වත් ආවෙ නෑ
    අවුරුදු පහකට

    ReplyDelete
    Replies
    1. එයාර් රයිෆල් එකෙන් තිබ්බාම උන් මැරෙනවද බං.. මැරෙනවනම් ඒ වැඩේ හරියන්නේ නෑ..

      Delete
  13. උගේ අර රිලා සුනිල් කතාවනම් ඇත්තම ඇත්ත
    අපි පොඩි කාලේ දන්න පවුලක කොල්ලෙක් හිටියා පට්ටම කළු මුණ රවුම් එකෙක්

    ඌට නම දාලා තිබ්බේ චිම්පන්සියා කියලා

    මුළු ගමම ඒ ගෙදර දන්නේ චිම්පන්සියගේ ගෙදර නමින්
    පිටින් මිනිහෙක් ඇවිල්ලා ඒ ලග ගෙදරකට යන පාර ඇහුවත් , මිනිස්සු මග සලකුණකට ගත්තේ
    චිම්පන්සියලගේ ගෙදර

    මම දන්නේ නැහැ පහු කාලයකදී ඌට කසාදයක්වත් බදින්න පුළුවන් උනාද කියල

    ReplyDelete
    Replies
    1. ඔව්ව සහගහන පවු බන්. උන් කොයිතරං විඳවනවා ඇතිද ඔය නම් නිසා ..

      Delete
  14. පට්ටයි යකෝ...! උදෙම්ම ‌ෙලේ ටිකක් පිරිසිදු උනා...

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙන් බීපු ලේ ඉතින් පිරිසිදු කරගන්නත් විදිහක් තියෙන්නේ එපැයි බන්..

      Delete