බෝඩිං කතා ගොඩක් තිබුනට එව්වා ලියනවානම් ගංගා බෝඩිම තමා පලවෙනි එක. මං ඕකෙ හිටියෙ 2011 අවුරුද්දෙ අන්තිම කාලෙ. පිටරටකට ආවාම පලවෙනි සහ දැවෙනම කාරනාව තමා නවාතැන. විවිධාකාරයේ නවතැන් තිබුනාට හිතට සහ සාක්කුවට ෆිට් වෙන එක්ක අහුවෙන්නෙ බොහොම කලාතුරකින්. එව්වයෙ නීති රීති වලට යටවෙලා ඉන්නවට වඩා පාරක් අයිනේ පේමන්ට් එකක නිදියනවා සැපයි කියලා හිතෙන වෙලාවලුත් නැත්තෙම නෑ.
කාමර ප්රශ්ණය උග්ර වෙලා දහ අතේ කාමර හොයද්දි තමා මට ගංගා බෝඩිම ගැන හෝඩුවාවක් එන්නෙ. ඕං දවසක කලින් ඕෆ් වෙලා ගංගා බෝඩිම හොයාගෙන යන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන. ලංකාවෙ ඉද්දි වැසිකිලියට ගියෙත් වාහනෙන් උනාට විදේශගත උනායින් පස්සෙ ඉතිං මං තුමා ආයෙත් කකුල් දෙකයම වැටුනා කියහංකෝ.. වැඩට යන්න ගතපු ෆුටාර් එක ඇරුනාම ඒ කාලෙ දුර යන ගමන් සියල්ලම මෙට්රො එකේ තමා යන්නෙ. මාසෙම යන්න පුලුවන් අන්ලිමිටඩ් කාර්ඩ් එකක් ගත්තාම දහස් වාරයක් එහේ මෙහේ ගියත් මෙට්රො මුදලාලිගෙන් අවුලක් නෑ. ඒත් මට එහෙම මෙට්රො කාර්ඩ් එකක් නෑ. වැඩට යන්න හැතැක්ම දෙකක් තියෙන නිසා මෙට්රො එකේ යනවනම් බස් එකක සහ කෝච්චියේ යායුතුයි. බස් එකේ ගිහිං කෝච්චියේ ඉතුරු ටික යන්න පැයක් අනිවාර්යයෙන්ම ගතවෙන්නෙ අතරමග පැය භාගයක් විතර රස්තියාදුවක් තියෙන නිසා. ඔය පැය භාගෙ ඉතුරු කරගන්න ඕන නිසා මං ෆුටාර් එකක් ගත්තු නිසා මට මෙට්රො කාර්ඩ් එකක් නෑ. ආං ඒ නිසා තමා මං අපේ ප්රසන්නයාගෙ මෙට්රො කාර්ඩ් එක ඉල්ලගෙන ගංගා බෝඩිම හොයාගෙන යන්නෙ. ප්රසන්නයා ලඟ තිබ්බෙ අන්ලිමිටඩ් මෙට්රො කාර්ඩ් එකක්. ප්රසන්නයාගෙ මෙට්රො කාර්ඩ් එක කාගෙත් සුන්දරී තත්වයේ එකක්. වැඩ කරන තැන කොයි එකා කොහේ ගියත් ප්රසන්නයාගෙ කාර්ඩ් එක ඉල්ලගෙන යන එක තමා කාගෙත් පුරුද්ද. ප්රසන්නයා ඕෆ් වෙන්නෙ රෑ දෙකට නිසා දවල් වැඩ කරන එවුන් වටේම ශොපින් ගිහින් ආතල් සියල්ල අරගෙන යක්කු ගස් යන වෙලාවට තමා ආයෙම කාර්ඩ් එක ගෙනැත් දෙන්නෙ. ප්රසන්නයා හිත හොඳ එකා. ඉල්ලුවොත් දෙයක් බෑ කියන්නෙ නෑ. අවුරුදු එකොලහක් තිස්සේ හමුවෙච්ව දහසක් පාස්පෝර්ට් යාලුවන්ගෙන් විශ්වාස කලහැකි එකම එකා ප්රසන්නයා විතරයි. පුද්ගලිකව මගෙන් කරගන්න යමක් නැතුව සැප දුක හොයන්න කෝල් එකක් දෙන එකම එකා ප්රසන්නයා විතරයි.
අදාල ඉස්ටේසමේ බැහැලා ලිපිනය හොයාගෙන ගියාම, ගංගා බෝඩිම කියන්න තරම් අවුලක් නෑ. බෝඩිම ෆුල් ඔප්ශන්.. කෑම, නෑම සහ ලෑම කියන තුනම ෆ්රී. ලෑම කියන්නේ ලගිනවා කියන අර්ථයට හෙවත් නිදාගන්න තැනක් කියන තේරුම කියලයි ගන්ට ඕන. සියල්ල ෆ්රී කිව්වට ෆ්රීම නෙවෙයි.. මාසෙට කුලිය හාරසීයයි ඕල් ඉන්ක්ලූඩඩ්.. කෑම දෙන තැන් ලැබෙන්නෙ බොහෝම කලාතුරකින්. කෑම නැතුවත් සාමාන්ය තැනක කාමරයක් පන්සීයක් වගේ ගානක් තමා කියන්නෙ. හාරසීයට කෑමත් දෙනවා කියන්නෙ එකෙන්ම වැඩේ ලාභයි. රූල්ස් ඇන්ඩ් ර්ර්ගියුලේශන් අනුව රෙදි සේදීම තහනම්. කෑම පිසීමත් තහනම්. කෑම දෙනවානම් මොන අහවල් එකටද බං උයන්නෙ. රෙදි ටික හෝදගන්න එක ප්රශ්ණයක් උනාටඒක ඒ හැටි අවුලක් නෑ කෝච්චියෙන් බැහැපු ගමන් එහා පැත්තෙ ලොන්ඩරිය. ඔක්කෝම ඇඳුම් ටික ලොන්ඩරියෙ නංකිට හවස වැඩට යන ගමන් දීලා ගියාම ඒ නංකි බර කිරලා ගාන කියනව. අදාල ගාන ගෙව්වාම පහුවදා වෙද්දි රෙදි ටික සෝදලා මැදලා නවලා පැක් කරලාම ලැබෙනව. බර කිරනවා කීවෙ මගේ නෙවෙයි.. හෝදන්න තියෙන රෙදිවල බර තමා කිරන්නෙ. උයන්න පිහන්න නෑ කියන්නෙ බොඩිමක ලැබෙන එක්ස්ට්රා ඔපශන් එකක් නිසා මංතුමා සුටුස් ගාලා බෝඩිමේ දිගටම බෝඩින් වෙන්න තීරණය කරනවා කියමුකෝ. වේකන්සිය තියෙන්නෙ එකම එක කාමරයක් සඳහා පමණයි. ඒ නිසා ඉක්මන් නොවුනොත් චෑන්ස් එක මිසින් වෙන නිසා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් නොකර කෙලින්ම මාසෙක කුලිය ගෙවන්න මං දෙපාරක් හිතන්නෙ නෑ.
සති දෙකකින් බෝඩිමට පදිංචියට එන්නයි ප්ලෑන් එක. එතෙක්කල් දුකට සැපට සිටි ෆුටාර් එක දෙන්න එකෙක් නෑ. පාරට විසික් කරලා දාලා එතෙක් පිහිටවුන යකඩ ගොඩට අගෞරවයක් කරන්නත් බෑ. ඒ නිසා මට සිද්ද වෙනවා ඔක්කොම වැඩ පැත්තකින් තියලා ෆුටාර් එක ගලවලා පැක් කරලා ලංකාවට පටවන්න. ඒකත් කරා කියමුකෝ. ඕං ඊට පස්සෙ තමා මගේ කියන අඩුම කුඩුම සියල්ලම පටවගෙන ගංගා බෝඩිමේ ස්ථීර පදිංචියට යන්නෙ.
මුල් දවසේ ගියේ වැඩ ඉවරවෙලා නිසා වැඩි විස්තරයක් හොයාගන්න විදිහක් නෑ. රෑට ඕෆ් උනාම ප්රසන්නයයි මමයි ලඟ තියෙන කඩේකින් මොනවා හරි බඩට දාගෙන කෝපි එකකුත් බීලා පොඩි කයියකුත් ගහලා තමා දෙපැත්තට යන්නෙ. එහෙම දෙපැත්තට යන්වා කිව්වට ප්රසන්නයා එතැනින් සබ්වේ එකට පහලට බහිද්දි මං ෆුටාර් එක පැදගෙන නවාතැනට එනව. අලුත් බෝඩිමේ පලවෙනි දවසෙත් ඒ වගේම දෙන්නා එක්ක ගාර්ලික් බ්රෙඩ් දෙක තුනක් ගිලලා කෝපි දෙකකුත් ගහලා සබ්වේ එකට බැහැලා දෙන්නගෙ කෝච්චි දෙක හොයාගෙන දෙපැත්තට යනව. කාලා ආපු නිසා බෝඩිමේ කෑම කෑමේ අවශ්යතාවයක් නෑ. අඩි අටේ අටේ කාමරේක තිබ්බ ඇඳට මගේ බෙඩ් ශීට් කොට්ට උර දාගෙන වොශ් එකකුත් දාගෙන කොල්ලා ශපාන් එකට දොයි. පහුවදා වැඩට ඉන්න තියෙන්නෙ හවස පහට.
උදේ නැගිටිනවා කිව්වට ඉතිං දවල් එකොලහෙන් මෙහා නැගිටිලි බොරු. නිදාගන්න යන්නෙම එලිවෙන්න හතරට විතර නිසා එකොලහට නැගිටින්නෙත් බොහොම අමාරුවෙන්. ඒක කරන්නෙත් ලංකාවෙ මිනිස්සු නිදාගන්න කලින් කෝල් එකක් දෙන්න ඕන නිසා. ඕං උදේ එකොලහට අවදි වෙලා කෝල් ගන්න එව්වත් අරගෙන බාතෲම් එකට පැනලා නාකියාගෙන තමා බඩට යමක් දාගන්න හොයන්නෙ. බෝඩිමේ රූල්ස් වලට අනුව කෑම තියෙන්නෙ ෆ්රිජ් එකේ. බත් නැතිනම් හාල් ටිකක් හෝදලා අරගෙන රයිස් කුකර් එකේ බතක් උයාගැනීම බෝඩිංකරුවන්ගේ රාජකාරියක්. ව්යාංජන සියල්ලම ෆ්රිජ් එකේ තියෙන නිසා එව්වා බෙදාගෙන මයික්රෝවේව් එකට දාගෙන කන්න තමා තියෙන්නෙ. බෝඩිං රූල්ස් වලට අනුව දහපාරක් බෙදාගෙන කෑවත් ඒකෙ අවුලක් නෑ. ප්රසන්නයාගෙ මෙට්රො කාර්ඩ් එක වගේ කෑම අන්ලිමිටඩ්.
නාකියාගෙන කිචන් එක පැත්තෙ රවුමක් ගහද්දි ඩයිනින් ටේබල් එක උඩ රයිස් කුකර් එකේ බත් එකක් රෙඩි. ෆ්රිජ් එක ඇරලා බැලුවාම තඩි කල්දේරම් තුනක ව්යාංජන තුනක්. එකක වම්බටු... අනෙකේ වට්ටක්කා.. අනෙකේ චිකන්.. ඒ කාලෙ මං තුමා මස් මාංශයෙන් තොර ජීවියෙක් නිසා කෑමට තියෙන්නෙ බතුයි බටුයි වට්ටක්කයි. අවුලක් නෑ. පලවෙනි දවස නිසා කෑවා කියමුකෝ. කෑම කොච්චර රසද කියනවානම් බල්ලෙකුට කටේ තියන්න බෑ. ලුණුයි වතුරයි දාලා තම්බලා හදපු තැම්බුම් හොද්දක් හා සමානයි ව්යාංජන.හවස වැඩට යද්දී රෑට කන්න බත් සුට්ටක් අරං යාම පුරුද්දක් උනාට දවල්ට කාපු මල ජරාව අරං යන්න බෑ බෑ වගේ නිසා ඕං ඔහේ හිස් අතින් යනවා කඩේකින් මොනාහරි බඩට දාගන්න බලාපොරොත්තුව. එදා දවස එතැනින් අවසානයි. සුපුරුදු විදිහයටම වැඩ අවසන් කරලා එලිවෙන්න හතරට විතර බෝඩිමේ. ඇහැරෙන්නෙ පහුවදා එකොලහට. පහුවදාත් උදේ කෝල් සියල්ල අවසන් වෙලා නාකියාගෙන කන්න කියලා ගිහිං බැලුවාම එදත් වම්බටු, වට්ටක්කා, චිකන්, සහ බත්. වෙජිටේරියන් මට බතුයි බටුයි වට්ටකයි විතරයි. ඊට පහුවදාත් එසේමයි. බතුයි, බටුයි, වට්ටකයි..එතකොට ඊට පහුවදා... ඒත් එහෙමම තමා කියහංකෝ.. පසුව ටිකක් හොයලා බැලින්නම් බෝඩිමේ කෑම හදන්නෙ සතියකට වතාවයි. කල්දේරම් තුනකට හැදෙන ව්යාංජන දෙකක් සහ චිකන් කරියක් සතියම වැලඳිය යුතුයිලු. කෑම එක්කම හාරසීයයි කිව්වට වැඩේ යන්නෙ සතියයම එකම කෑම ජාති තුනක් කියන ඔප්ශන් එක යටතේ කියලා දන්නවනම් පලාතක එන්නෙ නෑ. රූල්ස් වලට අනුව වෙනම කෑම උයන්නත් බෑ. රයිස් කුකර් එක පමණයි පාවිච්චි කිරීමට අවසර තිබෙන්නෙ.
දෙවැනි සතියේ දවසක දවාලේ කන්න බැලින්නම් බතුත් නෑ. මං උදේ නැගිටලා බාතෲම් එකට යද්දි අල්ලපු කාමරේ ටෝනියා බාතරූම් එකේ. ඌ එලියට එනකල් කිචන් එක පැත්තේ කැරකෙද්දි තමා දැක්කෙ බත් නෑ කියලා. රයිස් කුකර් එක හෝදලා හාල් කප් දෙකක් දාලා රයිස් කුකර් එක ගැහුවෙ වැඩිපුර බත් තියනවට වඩා කන කෙනෙකුට උනු උනුවේ බත් එකක් කන්න අඩුවෙන් තියන එක හොඳ නිසා. ටෝනියා බාතෲම් එකෙන් එලියට ආවාම මාත් බාතෲම් එකට රිංගලා නාකියාගෙන කාමරේට ගිහිල්ලා ඇඳුමකුත් දාගෙන කල්දේරම් බත කන්න කිචන් එක පැත්තේ ගියා කියමුකෝ.. පැය භාගෙකග කලින් ගහපු බත් එක අතුරුදහන්.. රයිස් කුකර් එකේ අඩියේ දංකුඩයක් පමණක් ඉතිරිව තිබේ කියහංකෝ. අල්ලපු කාමරේ අසල්වැසියා හෙවත් ටෝනියා බත් එකට ඇනකොන්ඩා ගහලා මාරු. ගංගා බෝඩිම ඒ වෙද්දිත් ඊයා තරමටම එපා වෙලා තිබුනෙ කෑම ප්රශ්ණය නිසා. එදාම වෙන බෝඩිමක් හොයාගෙන ගිය ගමන සාර්ථකවුන නිසා පහුවදාම ආයෙම කොට්ට මුට්ට ටික කර ගහගෙන මං තුමා අලුත් නවාතැනකට ආව. මාසෙකම කුලිය දුන්නට ගංගා බෝඩිමේ හිටියෙ සති දෙකයි. අස්වෙලා යද්දි ඉතුරු දෙසීය මාසෙකින් දෙන්නම් කිව්වට ගංගා බොඩිමේ හිමිකාරියට තාම මාසයක් ගතවුනේ නැතුවා අවුරුදු දහයකුත් ගතවෙලා...
අලුත් නවතැන ඉස්ටේසමේ ඉඳන් ටිකක් දුර පයින් යන එකක් උනාට එතැන ටික දවසක් ඉන්න අල්ලලා ගියා. එතැන කැමති විදිහට උයාගෙන කාලා කැමති විදිහට පාඩුවේ ජීවත් වෙන්න පුලුවන් එකක්. උඩ තට්ටුවක්ම කුලියට අරගෙන රූම්ස් තුනක හිටපු අපි තුන්දෙනෙක් කුලිය තුනට බෙදාගෙන හිටපු තැනක් නිසා එතැන ලොකු සීන් දාන්න ලෑන්ඩ්ලෝර්ඩ්ලා නෑ. ඒ නිසා එතැන කාලයක් අල්ලලා ගියා කරදරයක් නැතුව. ටෝනියා වගේ ඇනකොන්ඩලා හිටියෙත් නෑ එතැන. ඉස්ටේශමෙන් බැහැපු ගමන් ලොන්ඩරියකුත් තිබ්බ.. ඊට අල්ලලා පැය 24ම ඇරලා තියෙන බියර් අන්ඩ් වයින් ශොප් එකකුත් තිබ්බ. ඒ පහසුකම් ටික හොඳටෝම ඇති නෙව කාලයක් එතැන නවතින්න. එයාර්පෝර්ට් එක ලඟ නිසා විනාඩියක් ගානේ වහලෙ ගෑවී නොගෑවී ප්ලේන් යන එක පොඩ්ඩක් අවුල් උනා මුල් කාලෙ. රෑ දෙකට ඕෆ් වෙලා කෝච්චියෙන් බැහැලා සබ්වේ එකෙන් උඩට ඇවිත් බියර් ඇන්ඩ් වයින් ශොප් එකටත් ගොඩ වෙලා එන නිසා රෑ එලිවෙනකල් ප්ලේන් යන එක අවුලක් උනේ නෑ. නාලා කාලා ඇඳට වැටුනාම මාත් ඉතිං ප්ලේන් එකක් වගේ තමා තටු නැති උනාට..
මතක මංතීරුව දිගේ පරිප්පු සොයා. නියමයි, හොඳට රස වින්දා. සී.ටී මගෙත් අමරණීය ගායකයෙක්.
ReplyDeleteහ්ම්..පානදුරේ ඉස්පිරිතාලෙ ඉස්සරහ රෑ කඩේ නේද?...
කමෙන්ටුව වැරදි තැන. අවුලක් නෑ, මේ කතා ටිකත් , හෙමීට කියවගෙන යනවා.
Deleteදෙකා..යි. ඒකත් බැලුව, නියමයි.
Deleteමට නම් බෝඩිං වල අත්දැකීමකට කියල තියෙන්නෙ නානාගේ පෝඩිමේ විතරයි 😁
ReplyDeleteබෝඩිමි ඈක්කා....
ReplyDelete