Tuesday, June 7, 2016

පැත්තෑයාගේ කරුමය..




මාතෘකාව පැත්තෑයකු උක්තකර දැම්මද ලියන්නට යන පෝස්ටුවේ තුන් කාලක්ම ලියවෙන්නේ අපගේ හිතාදර මිත්‍ර තඩියා ගැනය. තඩියා සහ පැත්තෑයා අතර තිබෙන සහ සම්භන්ධය කුමක්දැයි මෙම පොස්ටුව කියවනා මාගේ පාඨක සැමදෙනාටම පොස්ටුවේ අවසානයේ තේරුම් යනවා ඇත.

අපි සුරතලයට තඩියා කියා ඇමතුවද තඩියා හැඳින්වීමට නම්ගං බොහෝය. තඩියා බොහොම වැදගත් පවුලක වැඩිමහල් දරුවා වූ බැවින් තඩියාගෙ දෙමාපියන් තඩියාව හැඳින්වුයේ ලොකු පුතා යන ආමන්ත්‍රනයෙන්ය. තඩියාට බාල සහෝදරියක් සහ සහෝදරියක් උන්නාවූ බැවින් ඔවුන් බොහෝවිට තඩියාව ඇමතුයේ ලොකූ යන ආමන්ත්‍රනයෙනි. තඩියා පාසල් වයස පැමිණි වහා පාසල් ඇතුල් කල බැවින් පාසලට අතුල්වුදා පටන් තඩියාගේ උප්පැන්නයේ නම භාවිතයෙන් ඉවත්වූ අතර ගුරුවරුන් හැරුණකොට පාසල් මිතුරන් තඩියාව ඇමතීමට යොදාගත් ආමන්ත්‍රණය වුයේ "තඩියා" යන නාමයයි. එතෙක් අපූරුවට භාවිතයේ තිබු තඩියාගේ අලංකෘත උප්පැන්න නාමය සහ වාසගම එසේම තිබියදී පාසල් මිතුරන් අතර තඩියා, " තඩියා" ම වුයේ සරීරයේ තිබු සුවිසාල පරිමාව නිසාය. ගෙදරට එක නමක්ද පාසලට එක නමක්ද භාවිතා වූ තඩියාට ගමේ කොල්ලන් කුරුට්ටන් විසින් තබා තිබු නාමය මෙහිදී ලිවිය නොහැක්කේ එය තඩියාගේ ෆේස්බුක් මිතුරන් නොදන්නා නිසාය.

තඩියා ඇටෙන් පොත්තෙන් ආ දා පටන්ම සුපිරි රෝමියෝ කෙනෙකු වූ අතර  තඩියා ප්‍රේම සඹදතා ඇතිකරගත්තාවූ ගෑල්ලමයින් සියල්ලටම තඩියාගේ දෙමාපියන්ගේ සහ ඥාතීන්ගේ විරෝදය තදින්ම එල්ලවීය. එවන් ප්‍රේම වෘතාන්ත කොයිතරම් ඇසුවන් කිලිපොලා යන ඒවාද කියතොත් රහස් පරීක්ෂක වරුන් වැඩිම පිරිසකගේ අවදානයට ලක්වූ එකම ශ්‍රී ලාංකීය පෙම්වතා තඩියා වනවා ඇත. 

තඩියා කොයිතරම් සාර්ථක පෙම්වතෙක්ද කිවතොත් තඩියාගේ යහළුවන් කව්රුත් තඩියා නිවසේ නැති අල්ලපනල්ලේ තඩියාගෙ නිවස ඉදිරිපිටින්වත් ගමන් කරන්නේ නැත. දුරදිග නොබලා මග දිග නොබලා තඩියාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරනා තඩියාගෙ මිතුරන්ට පැයක් දෙකක් තම ගමන ප්‍රමාද කරවන්නට යෙදෙන්නේ තඩියාගෙ මෑණියන් ඔවුන්ව අල්ලාගෙන තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නාවූ බැවින්ය.

ආ කාලෙකින් මේ ළමය දැක්කෙ.. 

ආ ඇ ..ඇ...ඇන්ටි  කෝ චxx ඉන්නවද .. 

අකරතැබ්බයට ලක්වෙන මිතුරු තැන එසේ අසන්නේ තඩියා නිවසේ නැතිබව දැන දැනම වුවත් පෙර සසරේ කරන ලද කුසලයකටවත් තඩියා නිවසේ සිටියහොත් තඩියාගෙ මවගේ ප්‍රශ්න විචාරාත්මක+දුක් ගැනවිලි වැඩසටහනින් ගැලවෙන්නට පුළුවන් නිසාය. ගුරුවරියක වන තඩියාගේ මෑණියන්ගෙන් ගැලවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය.

අනේ ළමයෝ රෑට ගෙට එනවා උදේ පාන්දර යනවා.. කොහේ යනවද කියල දෙයියෝ තමයි දන්නේ..

ගඟ පැත්තට යන්න ඇති ඇන්ටි..

අනේ එයා යන ගඟ.. අර උරචක්කර මාලෙ බලන්න යන්න ඇති..

ඒ කිව්වේ ඇන්ටි..

ඔය ළමයි දන්නවනේ ඉතින්.. මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..

අනේ නෑ ඇන්ටි.. ඇයි මොකද වෙලා තියෙන්නේ..

අනේ ළමයෝ අපේ ලොකු ළමය මේ ගැලපෙන්නේ නැති ගෑණු ළමයෙක් එක්ක පැටලිලානේ..

නෑ .. වෙන්න බෑ..

ඔව් දරුවෝ ඔව්.. කොහෙත්ම අපේ පවුලට ගැලපෙන්නේ නැති නැට්ටුක්කාරියෙක්නේ..

ඇන්ටිලාට කව්රුහරි බොරුවක් කියල.. එහෙම දෙයක් අපි දන්නේ නැහැනේ..එහෙම එකක් තියනවනං අපි දන්නවනේ..

ඔය ළමයි දන්නේ නැති උනාට මේ ගමේ හැමෝම දන්නවා ළමයෝ.. අනේ පුතේ අපේ ලොකු ළමයට කියන්නකෝ ඔය සම්භන්දෙ නවත්තන්න කියල.. අපි කියන දෙයක් නම් තඹේකට අහන්නේ නැහැනේ මේ දරුවා..

හා ඇන්ටි මම කියන්නම්කො.. ඒත් මං හිතන්නේ නෑ එහෙම සම්භන්ධයක් ඇති කියල..

සමහරවිට ගෙදරට ආරංචි වෙයි කියල දැන් යාලුවන්ටත් කියන්නේ නැතුව ඇති..

එහෙම නෑ ඇන්ටි..

ඊයේ හවස එහේ හිටිය කිව්වා නේද රෑ වෙනකං.. ඊයේ රෑ ගෙට එද්දී රෑ දහයත් පහු මං හිතන්නේ.. ඇහුවාම කිව්වේ එහෙ ගියා කියල..

ආ..ඔ..ඔව්  ඇ..ඇන්ටි.. අප්...අපේ ග්..ගෙදර තමයි හිටියේ.. රෑට කාලත් තමයි ආවේ..

තඩියාගෙ නිවසේ ගේට්ටුව අසල තඩියාගේ මෑණියන්ගේ අත්අඩංගුවේ පසුවෙන අසරණයා ගැන අනුකම්පා සිතීදෝ තඩියාගේ නැසීගිය පියාණන් නිවසින් එලියට බසින්නේ සැක කරුවා නිදොස්කොට කෙසේ වෙතත් නිදහස් කර දැමීම පිණිසය..තඩියාගෙ පියාණන් පරීක්ෂණයට සහභාගී නොවන්නට මෑණියන්ගේ අත්අඩංගුවේ පසුවන මිතුරාට එතැනම අපාගත වන්නට සිදුවන්නේ ගල් පැලෙන බොරු දෙතුන්දාහක් දෙවරක් නොසිතාම කියා දැමීමට සිදුවන නිසාය.

ඔයාට පිස්සුද මුන්ගෙන් අපේ එකා ගැන ආරංචි අහන්න..

මේ ළමයි අපේ ලොකු ළමය වගේ මුරණ්ඩු ළමයි නෙවෙයි..

මුන් මේ සේරෝම දන්නවා .. මුන් තමයි ඔව්වට උදව් කරන්නේ.. ඔයාටත් පිස්සු..

අනේ අංකල් මමනං මේ කිසි දෙයක් දන්නේ නෑ..

අපෝයි ඔව්.. උඹල මල් වගේ අහිංසක එවුන්නේ.. 

මේ ළමයින්ට බනින්න එපා අනේ.. මේ ළමයි පලිද අපේ ලොකු ළමයගෙ වැරදි වලට..

ඒක තමයි මමත් කියන්නේ.. මුන් ඕව දැනගත්තත් අපිට කියන්නේ නෑ.. ඔයා මෙන්න මෙහෙ ගෙට ගිහින් වැඩක් බලාගන්නකෝ හොරාගෙ අම්මගෙන් පේන අහන්නේ නැතුව.. 

තඩියාගේ පියාණන්ට පිංසිදුවන්නට තඩියාගෙ මෑණියන්ගෙන් ගැලවෙන මිත්‍රයා මිටින් හල කුරුල්ලෙකු මෙන් පසු නොබලා එතනින් මාරුවන්නේ මතක තිබෙනා තුරාවට තඩියාගෙ නිවස ඉදිරිපිටින් කිසිදු ගමනක් නොයන්නට හොඳින් හිතේ ධාරණය කරගෙනමය.

තඩියාගෙ පෙම් පලහිලව් වලට පිං සිදුවන්නට තඩියාගෙ ගමේ උන් ෂර්ලොක් හෝම්සී ලා, ෂර්ලොක් හෝම්ස්ලා, ජේම්ස් බොන්ඩ්ලා, ජේම්ස් බොන්ඩිලා සෑහෙන්න කාර්යබහුල උදවිය වන්නේ තඩියාගෙ මෑණියන්ගේ රහස් පරීක්ෂණ කටයුතු වෙනුවෙන් වෙහෙසිය යුතු නිසාය. තඩියා ප්‍රමුඛ නඩය නිතර ගැවසෙනා ඥාණා ගේ බෝඩිම, බතලයාගේ නිවස, නාන තොටුපොල සහ හංදියේ කඩය අවට නිතර රහස් පරීක්ෂණ කටයුතු දියත්වූ අතර එම ස්ථාන කිහිපයෙන් එකක තඩියා සජීවීව දැකගන්නට සිටීම රහස් පරීක්ෂණ කටයුතු කුජීත ආකාරයෙන් අල කර දමන්නක් වෙනවාය. ෂර්ලොක් හෝම්සීලා සහ ජේම්ස් බොන්ඩිලා සජීවීවම වාර්ථාකරණය තඩියාගෙ මෑණියන් වෙත ලබාදුන් අතර එම ස්ථාන වල තඩියා පෙනෙන්නට නොසිටීම දුරස්ථ චරපුරුෂ සේවාවන් වෙත දුරකථන ඇමතුම් ගලායාමට පටන්ගැනීමක්ය. රහස් පරීක්ෂක වරුන්ට හොරෙන් තඩියා ගමෙන් එලියට අඩියක් තැබුවානම් ඒ බොහොමත්ම කලාතුරකින්ය.

තඩියා ගමෙන් අතුරුදන් වී පැය කාලක් යන්නට මත්තෙන්, වතුගෙදර හන්දිය සහ හීනටි පාර අවට ස්වෙච්ජා  චරපුර සේවාවන් සක්‍රීය වන අතර, ඔවුන්ගේ නියෝජිතයින් තඩියාගේ පෙම්වතියගේ නිවස අවට හොරගල් ඇහිලීමට පටන් ගැනීම සාමාන්‍ය රාජකාරියේ සභාවයි. තම දෙමාපියන්ගෙන් දහසින් බැඳි පියලි ලබමින් සේවාවන් සලසනා දුරස්ථ චරපුරුෂයින් වෙත තම හෘදයාංගම කෘතඥ භාවය ප්‍රකාශ කිරීමට තඩියා කිසිසේත්ම අමතක නොකළේය. තඩියා ප්‍රමුඛ මිත්‍ර සමාගමය රාත්‍රියක මළගෙදරක වැනි දෙයකට සහභාගී වූ දිනයක් ඇතිනම්, දුරස්ථ ස්වෙච්චා චරපුරුෂ සේවාවන් සපයන්නන්ගේ නිවෙස්වල වහලයේ උළු මතට ගල් වරුසා වැටීම වැළක්විය නොහැකි කටයුත්තක්ය.

විවිධාකාරයේ විනෝදාංශ තිබූ තඩියාගෙ ප්‍රියතම විනෝදාංශය වුයේ පිහිනීමය. පාසල් පිහිනුම් කණ්ඩායමේද තඩියාගේ සාමාජිකත්වය සුවිශේෂී ස්ථානයක් ගත් අතර පාසලේ වාර්ෂික මුහුදු පිහිනුම් තරඟයේදී තඩියා තරඟ කරුවකු වුවත් තඩියාට කවදාවත් පලවෙනි, දෙවැනි, තෙවැනි ස්ථාන වලට එන්නට නොහැකි වුයේ තඩියාගෙ කම්මැලිකම නිසාය. උදෑසන හයට පිහිනුම් පුහුණුවීමට යන තඩියා මාදම්පා ගඟේ පුහුණුවීම් පවත්වනා ස්ථානයෙන් ගඟට බසිනවා වුනාට තඩියා පිහිනන්නේ සැඟවී සිටින්නට තරම් පඳුරක් ගඟ අයිනේ හමුවනතුරු පමණක්ය. එතනින් පඳුර අස්සට පැනගන්නා තඩියා නැවත පඳුර අස්සෙන් එලියට එන්නේ පිහිනුම් කරුවන් සැතපුම් දෙක පිහිනා ආපසු එනවිටය. එසේ සැඟවී සිටිනා තඩියා පුහුණුකරුට හසුවූ අවස්ථාද නැත්තේම නැතිය.

පුනුවීම් වෙනුවෙන් උදෑසනට පිහිනන්නට කම්මැලි තඩියා සවස් කාලයේ පිහිනන්නට කවදාවත් කම්මැලි වුයේ නැති. සවස හතර පසුවනවිට ගඟට බසිනා තඩියා ප්‍රමුක මිතුරු කැල තරඟයට පිහිනා යන්නේ ගඟෙන් එගොඩ තිබෙනා ඉඩම් වල ඇති ගස් ගෙඩි පලදාව නෙලීම පිණිසය. එවන් සැන්දෑවන් වලදී අපද ඒම සත්කාරයට සහභාගී වූ අවස්ථා බොහෝය.

ගඟෙහි සම්පූර්ණ පළල මීටර එකසිය පනහකට වැඩි මිස අඩු නැති අතර තඩියා ප්‍රමුක තුඩුවමුල්ල තරුණ කැලට මීටර් එකසිය පනහ පිහිනීම කජු කනවා වාගේය. තඩියා සහ බතලයා ඇතුළු කුරා කුහුම්බියෙකුටවත් වරදක් නොකරනා පිහිනුම් ශූරයින් එගොඩ පිහිනන්නට පටන්ගත් කල මමද රවියාද ඒම බාරදූර කර්තව්‍ය සඳහා එක පයින් වතුරට බසින්නාවූ බූරුවන් දෙදෙනෙකුය. මා හට ඒ තරම් දුර පිහිනීමට හැකියාවක් නැතිද අතර මැදදී මදක් නැවතී මද විරාමයකින් අනතුරුව ඉතුරු ඩිංග පිහිනා යාමට යන්තම් සන්තම් හැකියාවක් තිබෙනවාය. ඒත් රවියාට එහෙම නොවේය. රවියා ඒම වීර වික්‍රමය කරන්නේ තුන්වෙනි පාර්ශවයක පිහිටාධාර ලබමින්ය. ඒම සේවාව සැපයීමට දායක වන අපගේ සේවා දායකයා වන්නේ සත්ගුණවත් තඩියා මහතාය.

ගං ඉවුරේ තිබෙනාවූ ශාකයක් වන දින් ගසකින් පිත්තක් ගලවාගන්නා තඩියා එය රැගෙන නැවත පිහිනා එන්නේ රවියාගේ ගංගා තරණය සඳහා සහයෝගය දෙනු පිණිසය.

ඉඳා.. කකුල් දෙක අස්සෙ ගහගෙන බැලන්ස් කරගෙන පීනපන්..

ඒ  .. එකපාරට එච්චර දුරක් පීනන්න බෑ බන්.. කකුල ගහන්න පුළුවන් තැන් පෙන්නහන්..

හරි  යමං.. මම පෙන්නන්නං..

පෝල් පිත්තේ පොල්ගසට සවිවන කෙලවර වැනි හැඩයක් ඇති දින් පිත්ත වතුරේ පාවෙනා වර්ගයේ එකක් වන බැවින් එය කකුල් දෙක මැද්දෙන් තබාගෙන පොල්පිති ඔලුව වැනි කොටස බෙල්ල යටට වනසේ තබාගත් කල වතුරේ නොගිලී සිටීමට යම් ආධාරකයක් සැපයෙන්නේය. පිහිනීම ගැන මෙලෝ මල දානයක් නොදන්නා රවියා කිසිම බයක් හැකක් නොමැතිවම අත පය හතරෙන්ම දියබුං ගසමින් පිහිනන්නට පටන්ගන්නවාය..

අම්මෝ අමාරුයි.. ටිකක් නවතින්න තැනක් හොයපන්..

තඩියා පිහිනීම නවත්වා දිය යට යමින් වැලි ගොඩැලි තිබෙනා තැනක් සොයාගන්නාතුරු රවියා දියබුං ගසමින් දිය මතුපිට නොගිලී හිටින්නට දත කනවාය.

ආ.. මෙතෙන්නට වරෙන්..

සුවර් එකට කකුල ගහන්න පුළුවන් නේද..

පුළුවන් යකෝ.. පුළුවන්.. බය නැතුව වර..

ඒ වීලු නං කරන්න එපා තඩියෝ..

මෙන්න මෙහෙ වරෙන් බන්..

රවියා තඩියා සිටිනා තැනට පිහිනා යන්නේ එතැන වැලි කන්දක් තිබෙනා බවට හොඳින්ම තහවුරු කරගැනීමෙන් පසුවය. එවන් තැනක මද විරාමයක් ලබාගන්න රවියා නැවත දින් පිත්ත කකුල් දෙක අස්සේ ගසාගෙන පිහිනන්නට පටන් ගන්නේ තඩියා ඊළඟ වැලි කන්ද සොයාගත්තාට පසුවය.

එවන් ආකාරයෙන් තඩියාගේත් දින් පිත්තේත් සහයෝගයෙන් එගොඩ පීනනා රවියාට  හිටපු ගමන් අකරතැබ්බ වෙන්නේ මෙසේය .

ආ  පීනගෙන වරෙන්.. මෙතන වැලි..

සුවර්ම නේද..

ඔව් බන් ඔව්.. වරෙන් පීනගෙන..

ඔන්න රවියා  පීනන්නට පටන් ගන්නවාය. තඩියා ඉන්නා වැලි කන්ද පාමුලට යන රවියා පිහිනීම නවත්වා දින් පිත්ත අතට ගෙන කකුල් දෙක බිම ගසනවාය..

කෝ..  හු...ග්ලබ්.... ග්ලබ්...ජබුං..ග්ලබ්..ගුඩුස්..ගුඩුස්.. ග්ල්බ්..

කකුල ගහපන් යකෝ බය නැතුව..

කෝ..හු... ග්ල්බ්...ග්ල්බ්...ග්ල්බ්...වැලි...ග්ල්බ්..කන්..ගුඩුස්...ග්ල්බ්..කන්දක්..

තඩියා විසින් තමුන්ගේ වරද තේරුම් ගන්නා අවස්ථාව වනවිට රවියා ගඟෙහි වතුර භාගයකට වඩා පානයකර  අවසන්ය. මිතුරෙකුට කිසිදා කපටිකමක් නොකරනා තඩියා රවියාට කපටිකමක් කර රවියා ගිල්ලවා දමන්නට හදනවා නොවේය. එය එසේ වන්නේ රවියාට වඩා අඟල් දහයක් දොළහක් උසින් වැඩි තඩියාට කකුල් ගැසීමට හැකි වැලි කන්දේ රවියා කකුල් ගැසූ කල රවියාගේ කොට ශරීරය ගං දිය මතුපිටින් නොපෙනී යන නිසාය. ග්ලබ් ග්ලබ් ගාමින් දියබුං ගසනා රවියා යටින් කිමිදෙනා තඩියා රවියාගේ කකුල් දෙකෙන් උඩට ඔසවා සිටින අල්ලපනල්ලේ රවියා තම ජීවිතාරක්ෂක උපකරණය නොහොත් දින් පිත්ත නැවත කකුල් දෙක මැදට ස්ථානගත කරගත් වහා රවියාගේ දියබුං ගැසිල්ල මදකට නතර වෙනවාය.

එසේ දනිපනි ගාමින් තඩියාගේ  පිහිටෙන් එගොඩහ පීනන මමත් රවියාත් එගොඩට ලඟා වනවිට බතලයා ප්‍රමුක නඩය එගොඩහ තිබෙනා කුරුම්බා ගස් පාලුකරන්නට පටන්ගෙන අවසන්ය. වැඩි සද්දයක් බද්දයක් නැතිව පටන් ගැනෙනා වතු පාලු කිරීමේ තරඟ ඉසව්ව අවසාන වන්නේ ඉඩමේ අයිතිකාර මහත්තයා එතුමාගේ නිවස පිළිකන්නෙන් එලියට ආ පසුවය. ඇති තරම් කුරුම්බා කා, මෙගොඩ සිටිනා උදවියටද රැගෙන ඒමට තරම් කුරුම්බාද බාගත් පසුව ඊළඟ කර්තව්‍ය වන්නේ වත්තේ අයිතිකරු ගෙයින් එලියට බසිනා තුරු කෑකෝ ගසා වත්ත දෙවනත් කිරීමය.

එම තරඟ ඉසව්ව ආසන්න වනවිට මම සහ රවියා ගඟේ මද දුරක් පිහිනා රැඳී සිටින්නේ අයිතිකාරයා කඩු කෙටිය රැගෙන එලවාගෙන එන විට ගඟට පැන පිහිනා බේරීමට තරම් අප දෙදෙනා පිහිනුම් ශුරයින් නොවෙනා නිසාය. වතු පාලු කිරීම එසේ අවසන් වන්නේ වත්තේ අයිතිකාරයා ඔහුගේ ගෘහස්ත ආරක්ෂක මෙවලම වන කඩුවද රැගෙන ගං ඉවුරට වැඩියායිං  පසුවය. කුරුම්බා කෑ ගස තිබෙන්නේ ගං ඉවුරට ආසන්නයේම නම් ගස මුදුනේ සිටිනා තඩියා ගසෙන් බසින්නේම නැත. අයිතිකරු ගස ආසන්නයට එනතුරු කෑකෝ ගසමින් ඔහුව අමන්දානන්දයට පත් කරනා තඩියා පොල්ගසේ මුදුනේ සිට කෙලින්ම පනින්නේ වතුරටය. අලියකු වතුරට වැටෙනා වැනි " ජබාo"  ශබ්දයෙන් වතුරට පතබෑවෙනා තඩියා එම වේගයෙන්ම අඩි විස්සක් තිහක් දිය යටින් ගොස් වතුරෙන් උඩට මතුවෙනා විට වත්තේ අයිතිකාරයා කඩුව ගුවනේ ලෙළදෙවමින් තඩියා ප්‍රමුඛ මිතුරු කැලට යුද්දය ප්‍රකාශ කරනවාය. 

ආපසු එන ගමනෙද රවියාගේ පිහිනුම් ඉසව්ව ගස් මාරුවෙන ක්‍රමයට සිදුවෙනා අතර තඩියාගේ පිහිටෙන් දින් පිත්තේ උදව්වෙන් රවියා මහා පිහිනුම් ශුරයකු ලෙස නිරුපද්‍රිතව මෙගොඩට සැපත් වෙනවාය. 

උසස්පෙළ විභාගයද කර ළඟටම පැමිණ තිබුවත් හවසට කෙරෙන්නාවූ දිය කෙලිය නොනවත්වා සිදුකල අතර අහලපහල වතු පාලු කිරීමද නොකඩවා සිදුවීය. තඩියා විශ්වාස කටයුතු පුත්‍රයකු නොවන නිසා දෙමාපියන්ගේ විශ්වාසය තහවුරු කරනු පිණිස සියලු සොමි නිමවා නිදාගැනීමට නිවසට යාමට තඩියා අමතක නොකළේය. බෝඩිමේ කුස්සියේ තැම්බෙන කාගේ හෝ වත්තකින් හොරෙන් කඩන ලද දෙල් ගෙඩියක්, කොස් ගෙඩියක් , අල බතලයකින් තමුන්ගේ කොටහ කොටාබානා තඩියා රාත්‍රී දහය පසුවනවිට බෝඩිමේ සගයින්ට සමුදී ගෙදර මාරු වෙනවාය. බතලයාගේ නිවාස පිහිටා තිබුනේ ඥානාගෙ බෝඩිමට අල්ලපු ඉඩමේ වන බැවින් බතලයාද බෝඩිමේ කුස්සියේ ආහාර වේලටද වගකියා ගෙදර මාරුවෙනවාය.

කතාවේ මාතෘකාවට උක්ත සිද්දිය වූ දිනයේද පිටු විස්සක තිහක පෙම් හසුනක් ලියා එය ආරක්ෂාකාරීව ඥානාගෙ මෙට්ටය යටට ස්ථානගත කල තඩියා සුදු පොල් දමා තැම්බූ දෙල් පිඟානකටද වගකියා ගෙදර ගියේ සියල්ලටම සුභ රාත්‍රියක් පැතීමෙන් අනතුරුවය. බතලයාද නිවසට ගිය අතර ඉතුරු සියල්ලෝ තම තමුන්ගේ නිදන ස්ථානවලට වී නින්දට වැටුනේ උදෑසන අවදිව පාසල් යායුතු නිසාය. 


ඩොග්..ඩොග්...ඩොග්..

ක්.. කව්ද..එසේ ඇසුවේ ඥානා වන අතර රෑ එකට දෙකට බෝඩිමේ දොරට එසේ තඩි බාන්නේ කව්දැයි කියා කුතුහලයෙන් හැමදෙනාම සැනින් අවදිවීය..

මම.. බන්.. මම  ... දොර  ඇරපන්..

බතලයා ...මොකෝ බන් මේ මල රෑ නිදාගන්න දෙන්නේ නැත්තේ.. 

මොකද කියල කියන්න ඇරපන් දොර.. 

ඥානා ඇඳෙන් පැන දොර විවුර්ත කල බැවින් බතලයා හොල්මනක් දැක්කා සේ බෝඩිම ඇතුලට ප්‍රාදුර්භූත වීය..

මොකෝ බන්..

අන්න  අරූව සතෙක් කාලලු.. ඇන්ටි කෝල් කරා.. යමල්ල ඉක්මනට ..

කව්ද බන් අරූ කියන්නේ..

තඩියා බන් තඩියා..

අනේ පලයන් බන් මේ යක්කු ගස්යන වෙලාවේ බොරු නොකිය..

බොරු නෙවෙයි යකුනේ.. ඇන්ටි කෝල් කරලා මටත් ඇහැරුනේ.. යමල්ල.. වෙදගෙදර අරන් යන්න වෙයි..

අනේ ඕකගේ බොරු වෙන්නැති බන්.. ගෙයි නිදාගන්න එකා කොහොමද බන් සත්තු කන්නේ..

ඒ මගුල් මම දන්නේ නෑ බන්.. බොල එනවද යන්න කියපන්..

හරි යමන් එහෙනම්..

බෝඩිමේ දොර වසා දැමු අප සැමගෙවල් කිහිපයකින් එහා තිබු තඩියාගේ නිවසට දුවගෙන ගියේ කතාව සත්‍යයක් යන්න විශ්වාසයෙන් තොරවය.. ඒත් තඩියාගේ නිවසට ගිහින් බැලුකල වැඩේ ඇත්තය. අහල පහල සියල්ලෝම අවදි වෙලාය. තඩියා කාමරයේ සිට මොර හතේ මොර දෙනවාය.

මොකෝ ඇන්ටි වෙලා තියෙන්නේ.,

අනේ මන්ද දරුවෝ..රෑ දහයට විතර ගෙට ඇවිත් බත් කාල නිදා ගන්නවා කියල කාමරේ දොර වහගත්ත..ඊට පස්සේ මේ විනාඩි දහයකට කලින් කෑගැහිල්ලට තමයි අපිත් ඇහැරුනේ..

අනේ අම්මේ.. මට ඉන්න බැරෝ..බුදු අම්මේ .. රිදෙනවෝ...

මොකෝ බන්.. මොකෝ උනේ..

කෑවා.. මාව  කෑවා.. මාව කෑවා...

හරි බන් හරි මොකාද උඹව කෑවේ..

මට පාඩුවේ ඉන්න දීල පලයල්ලා යකුනේ මෙතනින්..

තඩියා ඇඳේ මූනින් පෙරලී මොර දෙනවාය..

ඉතින් යමන් වෙද ගෙදර..

මට බෑ.. මට බෑ..මට බෑ... මට ඉන්න දීල පලයල්ලා..

කියන දේ අහන්න ලොකු ළමයා.. අපි යමු වෙද ගෙදර..

මට බෑ... මට බෑ... මට බෑ... මට ඉන්න දීපල්ලා...

කෝ හැරියන් බලන්න උඩි අතට.. මොකාද බලන්න උඹව කෑවේ..

පලයව් යකුනේ පලයව්..මට ඉන්න දීල පලයව්..

අනේ පුතේ අපි යමු වෙද ගෙදර..

මට බෑ... මට බෑ... මට බෑ...

එතෙක් සියල්ල ඉවසා වදාරා සිටි තඩියාගේ පියාණන් සිය විධායක බලතල සියතට ගත්තේ තඩියාගේ අදෝනාව අහල පහල උදවියගේද නින්දට භාදාවක් වන නිසා වන්නට ඇත..

කොල්ලනේ.. මෙන්න මේක උස්සල ගනිල්ලා වෙද ගෙදරට අරං යන්න..

මට බෑ.. මට බෑ..

බෑ කියල බෑ තඩියෝ...අල්ලපල්ලා..

අහල පහල තඩියාගේ ඥාති පිරිසද, හිත මිතුරු පිරිසද එකතුවී තඩියා කරට ගත් බැවින් තඩියා එතෙක් එල්ලකළ වෙදගෙදර යාමට ඇති අකමැත්ත හිතලුවක් පමණක්ම වීය. නිවාස කිහිපයකින් එපිට තිබු වෙදකමට යම් ප්‍රසිද්දියක් ඉසුලු නිවසක වෙත තඩියා ඔසවාගෙන යාමට අපට විනාඩි දෙක තුනක්වත් ගතවුයේ නැත.

මොකෝ පුතේ.. කාපු සතා දැක්කද..

ඔව් නැන්දේ.. ඔව්..

පැත්තෑයා කෑවේ නැන්දේ..

ඇඟිලි ගණන් කරමින් යම් සාස්තරයක් බැලු වෙදගෙදර නැන්දා ඔලුව වනා සහතික කලේ තඩියා කා ඇත්තේ පැත්තෑයකු වන බවයි..

හා.. ඔහොම ඉමුකො..

තඩියා පිළිකන්නේ වෙදකම් කරන පුටුව උඩ කෙඳිරි ගාද්දී වෙද නැන්දා නිවස තුලට ගොස් එලියට ආවේ බුලත් කොලයක් මතුරමිනි..වෙලාව අලුයම දෙක පමණ වී තිබුනාට ගමෙන් භාගයක් පමණ දැන් වෙදගෙදරට ඇවිල්ලාය.. තඩියා නොනවත්වා මොර දෙනවාය..

විනාඩි දහයක් පමණ බුලත් කොලයට මැතිරූ වෙද නැන්දා ප්‍රතිකර්මය අවසන් කළේය..

ආ පුතේ.. මේ බුලත් කොලේ සතා කාපු තැනට තියල තද කරගන්න..

අනේ බෑ නැන්දේ.. රිදෙනවා..

හරි පුතේ.. මේක තියල විනාඩි පහ යද්දී විස බහියි.. මේක තියන්නකෝ..

විස බහියිද..

ඔව් පුතේ ඔව්..

හා එහෙනම්..

වෙද නැන්දා කී අනාවැකිය සැබෑවක් කරමින් තඩියාගේ මොර ගෑම සිහින් කෙඳිරියක් දක්වා අඩුවූ අතර වෙද ගෙදර වටවී උන් සෙනග එකා දෙන්නා සිය නිවෙස් බලා යන්නට වීය..තවත් බුලත් කොළ කිහිපයක් මතුරා තඩියා අතට දුන් වෙද නැන්දා තඩියාට ගෙදර ගොස් නිදාගන්න ලෙස දැන්වූ බැවින් පැත්තෑයා කෑ ස්ථානයේ බුලත් කොළයෙන් වසාගෙන පයින් ඇවිදගෙන ගෙදර ඒමට තඩියා දක්ෂයකු වුයේය..

මේ පෝස්ටුව කියවන සියල්ලන් දැන් කුතුහලයෙන් පසුවන්නේ පැත්තෑයා කෑවේ තඩියාගේ ශරීරයේ කුමන ස්ථානයක්ද යන්න නොදන්නා නිසාය. පැත්තෑයාගේ කරුමයට කළුවරේ ඇස් නොපෙනෙන්නට වී ඇති අතර කළුවරේ ඔන්න ඔහේ ඕනෑම තැනකට විදිනවා කියා පැත්තෑයා විෂ දලය එන්නත් කර ඇත්තේ තඩියාගේ චූ කුරුල්ලාටය..හරිහමන් විදිහට රෝග නිරීක්ෂණය කර වෙදකමක් කළහැකි ස්ථානයක් නොවුවත් තැනට සුදුසු ආකාරයේ වෙදකම් අපේ සිංහල වෙද සාස්තරයේ තිබුණු නිසා වැඩේ ගොඩ ගියා විනා ඉස්පිරිතාලෙකට උස්සාගෙන ගියානම් ප්‍රති විෂ එන්නත් කරන්න වන්නේද සතා කෑ ස්ථානයටමය. එහෙම උනානම් තඩියා සුනේ සුන්ය. 


බුලත් කොලය පැත්තෑයා කෑ තැන තබාගෙන එක අතකින් බුලත් කොලයද අනිල් අතින් සරොම අල්ලාගෙන තඩියා කළුවරේ සෙනග පිරිවරා පෙරහැරින් ගෙදර ආ හැටි පාඨක සැම තම තමුන්ගේ චිත්ත සන්තාන වල මැවෙනා චිත්ත රූප ඇසුරෙන් පැහැදිලි කර ගනිත්වා..එකල ෆෝන් කැමරා ඩිජිටල් කැමරා තිබුනානම් පහුවදා එළිවෙද්දී පැත්තෑයා සහ තඩියා පිංතූරය බුකිගත වනවා අනිවාර්යය..

ඥානාගෙ බෝඩිමේ කතා 
http://ambalangodakatha.blogspot.com/2015/11/blog-post.html

44 comments:

  1. අයියෝ සල්ලි. මට මැවිලා පේනවා තඩියා ආපහු ගෙදර ආව හැටි
    කොහොසද ලොකු බාගෙට මරපු පත්තෑයෙන් ලිවුම් කවරෙකට දාලා කස්ටමර් කෙනෙකුට දුන්නොත්

    ReplyDelete
    Replies
    1. තඩියා කාපු පත්තෑයට තඩියට වඩා අමාරු වෙන්න ඇති බන්.. හෙහ්..

      Delete
  2. :D mama hithuwa ethana wenda athi kanda aththe kiyala. me hati yanda ba ba gaddi

    ReplyDelete
    Replies
    1. මොහොම දුර්ලභ චෑන්ස් එකක් වැදුනේ අපේ තඩියට ..හෙහ්..

      Delete
  3. Replies
    1. ස්තුතියි ඉයන්..

      Delete
  4. Replies
    1. +++++++++++++++++++++ ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  5. පත්තෑයා එතැනටම ගියේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඒකනම් සෑහෙන්න බීලා කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් රසික..

      Delete
  6. හැක් හැක්......තඩියා නොකියූ කොටසක් ඇතිබව විශ්වාසයි...

    ReplyDelete
    Replies
    1. ඔයා කීවාම තමයි මටත් ඒ ගැන පොඩි සැකයක් ආව..හොයලා බලන්න ඕන..

      Delete
  7. බතලයගෙ අහවල් එක දැක්කම පත්තෑයට ආතල් එකක් ගන්න හිතුනද දන්නෑ.
    මොනව උනත් නැන්ද සතා කාපු තැන බලන්න ඕන කිවුවනං තමයි විළිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි වෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. බතලයාගේ අහවල එක නෙමෙයි යකෝ පත්තෑයා කෑවේ, තඩියගේ එක...

      Delete
    2. ප්‍රසන්නට ටිකක් ලටපට වගේ නේද ලොකු පුතේ.. මනුස්සයෙකුට මේන් කියල පෙන්නන්න පුළුවන් තැනක් නෙවෙයිනේ පත්තෑය කෑවේ..

      Delete
    3. හරි හරි. ඔය නොකිව්වට බතලයගෙ විතරක් නෙමෙයි අම්බලංගොඩයගෙ එකත් පත්තෑයො කන්න ඇති කරල තියෙන වැඩවල හැටියට. හැක්..

      Delete
  8. පත්තැයා දුංකුඩු ගන්ඩ ගිහින්

    ReplyDelete
  9. 'දින් පිත්ත' අදමයි ඇහුවෙ..
    හෙහ් හෙහ්.. තඩියට වෙලා තියෙන්නෙ නම් තඩිම තඩි විනම්බෑසියක්ම තමයි.. හපෝයි
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දින් පිත්ත සමහර විට වෙනත් පැතිවල හඳුන්වනවා ඇත්තේ වෙනත් නමකින් ලබ්බෝ..

      Delete
  10. අනිවා තඩිය මොකක් හරි කුප්ප ගේමකට ඇන්ටර් වෙලා ඉන්න ඇත්තෙ
    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන් ඔව්ව.. එව්වා දන්නේ ඌම විතරයි..

      Delete
  11. පත්තෑයට හුස්ම හිර වෙන්න ඇති ඒ ඒරියල් එකට යද්දී, පණ බේර ගන්න වෙන්න ඇති හපා කන්න ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. උඹේ තර්කය නම් සෑහෙන්න දුරට සාර්ථකයි ලොකු පුතා..

      Delete
  12. තඩියගේ නම අර කියල තියෙන එකමද නැත්නං වෙන නමක්ද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ නමම තමයි හල්පේ අයියේ.

      Delete
  13. තඩියට ඔය තරම් ලිංගික ආකර්ශණයක් ලැබුනෙ කොහොමද කියලා මම කල්පනාකලේ

    ReplyDelete
    Replies
    1. දැන් කාල කාල තවත් තඩි උනාට තඩියා ඒ කාලේ හොඳ හැන්ඩ්සම් කොල්ලෙක් බන්. දැන්නම් තු විතරක් ..

      Delete
  14. අම්මප උබට ඇයි මේ කතාවම ලියන්න හිතුනෙ.හරි ලියුවයි කියහන්කො ඇයි හද්දෙයියනේ සොකියන් පේජේ එකට දැම්මේ.පටි රෝල්නෙ බන්.පැත්තෑයා කාපු මට උඹ ඇන්න එහෙනම්.හිටුකො උබේ පටිත් රෝල් කරන්නම් වෙලාවක

    ReplyDelete
    Replies
    1. මම උඹෙන් ඇහුව ලියන්නද කියල උඹ කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ ලියපන් කියල.. එතනින් එහා අනික් ලිපි ගිය පාරේම තමයි මේකත් යන්නේ මචං.. දැන් ඉතින් මුණ හංගගෙන හිටහන්..

      Delete
  15. පත්තෑයා කෑවට පස්සෙද තඩියා කියන්න ගත්තේ. නියම කතාවක්. මොකක්ද අර අතු ජාතිය, අර තාල වර්ගයට අයත් ගඟවල් අයිනේ වැවෙන ගස් ජාතියද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ ගස් ජාතිය තමයි ... පඳුරු පඳුරු වැවෙන්නේ..

      Delete
  16. පව් බං පත්තෑයා..... ඌ හිතන්ඩ ඇති කරෝල කෑල්ලක් කෑව කියලා....

    ReplyDelete
    Replies
    1. හෙහ්.. පත්තෑයාට ජීවිතේ නැතිකරගන්න හිතෙන්න ඇති බන්..

      Delete
  17. තඩියා කියන්නෙ අම්මට හුඩු පෙ***ඩු අය්යාද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ.. වෙන තඩියෙක්..

      Delete
    2. මම තිතුවෙත් පෙම්මා කියල

      Delete
  18. කෑවට පස්සේ පත්තෑයට එපාවෙන්න ඇති බන්....

    ReplyDelete
    Replies
    1. පත්තෑයාට ජීවිතේම එපාවෙන්න ඇති බන්.. කට බිම උලාගන්න හිතන්න ඇති..

      Delete
  19. ඒ පත්තෑයෑ මැරෙන්න ඇති නේ බං හැක් ;)

    ReplyDelete
  20. වේදනාව අඩුකලාට කමක්නෑ...ඉදිමුම නම් අඩුකරන්න එපෝ කිව්වලු !

    ReplyDelete
  21. අම්මෝ! හිනාව නවත්තගන්න විනාඩ් 10 විතර ගියා .
    පව් අසරණ තඩිය .
    නියමයි ගොඩයෝ !

    ReplyDelete
    Replies
    1. මොන පවු ද බන්.. හොඳ වැඩේ ඕකාට..

      Delete