Thursday, December 29, 2016

තිස්තුන්දාහෙන් උඩ කතා 1






අම්බලන්ගොඩයා බ්ලොග් ලිවිල්ල මදකට අමතක කර දමා විවේක සුවයෙන් පසුවූයේ කාර්යබහුලත්වයට වඩා කම්මැලිකම ඉහවහා ගියාවූ නිසාය. ඊටත් එහාට හේතු පහදනවානම්  රැකියාව අවසන්වී නිවසට ආ පමණින් කෑවායින් නොකෑවායින් අන්තර්ජාලගතවන පුරුද්ද අවසානය වන්නේ නිදි කිරා වැටෙමින් තනි ඇහෙන් බ්ලොග් දිහා බලා සිටීම් සහ බුකියේ ඉහල පහල යාමෙන් වන බැවින් මදකට ශරීර කූඩුවට විවේකයක් දිය යුතුයි යයි වැටහී ගිය නිසාය. එහෙත් ඒ සියල්ලටම වඩා ප්‍රභලම හේතුව නම් පළමුව සඳහන් කල හේතුව වන ඉහවහා ගියාවූ කම්මැලිකමය. කම්මැලිකම යනු එසේමෙසේ අසනීපයක් නොවන වග පාඨක සැම වටහාගතයුතු වන්නේ එය ඉහවහා ගිය කල ගෙදරක වැඩක් පලක් තියා රැකියාවක්වත් කිරීමට හිතක් පහල නොවී සිටීමට ඉඩ තිබෙනා නිසාය. එවන් කම්මැලි කාල වකවානුවක අම්බලන්ගොඩයා කිහිප වාරයක් නැරඹු ටීවී සීරීස් එකක් හෙවත් බ්‍රේකින් බෑඩ් නැරඹීමට නැවත වතාවක් වහ වැටී ඇති හේතුව නිසාත් බ්ලොග් ලිවිල්ලට බාලගිරි දෝසය බලපෑවේය. වෙනදාට බ්ලොග් අඩවියක් ඉදිරිපිට තනි ඇහෙන් නිදි කිරා වැටෙනා අම්බලන්ගොඩයා මේ දවස්වල රූපවාහිනිය ඉදිරිපිට තනි ඇහෙන් නිදි කිරා වැටෙමින් වෝල්ටර් වයිට් සහ ජෙසී පින්ක්මන් සමගින්  ක්‍රිස්ටල් මෙත් හදනවාය. ප්‍රිස්න්  බ්‍රේක් වලටත් බ්‍රේකින් බෑඩ් වලටත් ගහන්නට ටීවී සීරීස් එකක් අනාගතයේ හැදෙවිදැයි අවිනිශ්චිත සහගතය. වැල් වටාරම් වලින්  නිසා පහල චේදයෙන් බ්ලොග් පොස්ටුවට උක්ත පොස්ටුව පටාන් ගන්නවාය. ඉක්කොන්ට මෙය ලියා පළකර බ්‍රේකන් බෑඩ්  බලන්නට යා යුතුය. එය නරඹන්නේ තුන්වෙනි වතාවට වුවත් පළමුවර නැරඹු අවස්ථාවේ තිබුනා වූ ආශ්වාදය එලෙසම තුන් වෙනි වතාවේදීත් ලැබෙනවාය.


ගුවන් ගමන් කියූ පමණින් සමහරුන්ට නම් දැනෙන්නේ ආශ්වාදජනක හැගීමක් වුවත් අම්බලන්ගොඩයාට එය එසේ දැනෙන්නේ නැතිය. එයට හේතුව නම් අම්බලන්ගොඩයා ලංකාවට එන ගමන සුද්දාගේ බාසාවෙන් කියනවානම් හොරිබ්ල් ගමනක් නිසාය. එය එසේ වන්නේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටයට පය තැබීමට අම්බලන්ගොඩයා පැය විස්සකට ආසන්න  ගුවන් ගමනක යෙදිය යුතු නිසාය. එවන් හොරිබ්ල් ගුවන් ගමනක ගොඩයා ලබනාවූ එකම එක ආශ්වාදය පැය ගණනාවක් කන පැලෙන්නට නිදිදෙව්දුව වැළඳගන්නට පුළුවන් නිසාය. එවන් ආකාරයෙන් නිදිදෙව්දුව වැලඳගැනීමේ පළමු වාසි  සහගත  හැගීම වන්නේ  ගුවන් යානය ඇතුලේ අන්තර්ජාල පහසුකම් නොමැති වීමය. දෙවන ආශ්වාදය වන්නේ පොරෝනයෙන් ඔලුව එලියට දමා ඔරෝලොසුව දිහා බලා හිත නරක්කරගැනීමට කිසිසේත්ම හේතුවක් නොමැති වීමය. තුන්වෙනි හේතුව වන්නේ කෑම බීම සියල්ලම අත ළඟටම ගෙනවිත් දෙන්නාවූ නිසාය. සුට්ටන් ප්ලාස්ටික් භාජනයක ලැබෙනා සුට්ටන් ආහාරවේලක් වුවත්, එම ආහාර වේල අම්බලන්ගොඩයාගේ කුසගින්නේ අරික්කාලක්වත් අස්වසන්නට නොහැකි මට්ටමේ එකක් වුවත්, කිසියම් හෝ වැඩක් පලක් නොමැතිව ෂපාන් එකට නිදිදෙව්දුව වැලඳගෙන සිටිනා මොහොතක අත ළඟටම කෑම වේලක් ගෙනත් දෙනවා කියන්නේ සෑහෙන්න පින් සිදුවෙන කටයුත්තක්ය. ඒ සත්කාරය වෙනුවෙන් ගුවන් සේවිකා අක්කලාට නංගිලට සෑහෙන්න පිං  සිදුවෙනවාය. එවන් ආකාරයෙන් පිං වැඩෙනා රැකියාවල් ලැබෙන්නට  සෑහෙන්න කුසල් කර තිබෙන්නට ඕනෑ ඇතිය. 

අම්බලන්ගොඩයා ලංකාවට එන ගමනේදී ගොඩ වෙනා පළමු ගුවන් යානයේ මුළු පියාසර කාලය පැය  දහහතරක්ය. එම කාලය ඇතුලත ගුවන් සේවිකා අක්කලා නංගිලා අය්යලා මල්ලිලා තුන් හතර වතාවක් අම්බලන්ගොඩයා ඇතුළු ගුවන් මගීන් සැමටම කන්නට බොන්නට දෙනවාය . හැමදාමත් වගේ ගොඩයා ගුවන් යානයට ගොඩ වන්නේ රාත්‍රී කාලයේ බැවින් ගුවන් යානය ගුවන්ගත කරනා වෙලාව වෙද්දී ගුවන් යානයම ගිල දැමීමට තරම් ගොඩයාට බඩගිනිය. එහෙත් පයිලට් ගොයියා යානය ගුවන්ගත කල වහා ගුවන් සේවිකා අක්කලා කෑම දෙන්නේ නැතිය. යානය ගුවන් ගත කලයුතු උන්නතාංශය හෙවත් නියමිත උසට ළඟාවනතුරු අක්කලා බොරු බිසියක් මවාපාමින් යානයේ එහාටත් මෙහාත් දුවනවා විනා බොන්නට වතුර කෝප්පයක්වත් මලාට දෙන්නේ නැතිය. යානය ගුවන්ගත වී පැයක් එකහමාරක් ගතවනවිට ඕන්න යාන්තමට අක්කලා කෑම කරත්තය තල්ලු කරගෙන ආසනයෙන් ආසනයට කෑම බෙදනවාය. යානය පුරා විසිර යන්නාවූ කෑම සුවඳින් ඉස්මුරුත්තාවට පත්වූ කුසගින්න කොයිතරම්ද කියනවානම් ගුවන් සේවිකා අක්කා අදාළ කෑම ජුන්ඩ සහිත ප්ලාස්ටික් ඇසිරුම, ආසනය ඉදිරියේ තිබ්නාවූ ප්ලාස්ටික් ලෑල්ල උඩින් තැබූ කල අසූ හාරදාහට මල පනින්නේ තිබෙනා කුසගින්න නිවා දමන්නටනම් එවන් ආහාර වේල් හත අටකින්වත් බැරි නිසාය. ගුවන් සේවිකා අක්කා කලින් දන්නා හඳුනන කෙනෙක් වූවානම් කෑම සුට්ට ලෑල්ල උඩින් තැබූ වහා " මෙච්චරද යකෝ " කියා අසන්නට ගොඩයා දෙපාරක් හිතන්නේ නැතිය. 

එවන් වූ කටුක ගුවන් ගමනක් යාමේදී අල්ලපු ආසනයට මෙගා සයිස් හෙවත් අපගේ හිතාදර බඩ තඩියාගේ සයිස් පත සුද්දෙකු අසුන්ගත වුවහොත් සැපසේ නිදිදෙව්දුව වැළඳ ගැනීම කෙසේ වෙතත් සම්පූර්ණ ගුවන් කාලය පුරා අතපය හතර අකුලාගෙන වකුටුවී සිටින්නට සිද්දවෙනවාය. එවන් සංකීර්ණ වටපිටාවක් යටතේ බරක් සැහැල්ලු කිරීමට වැසිකිලියට යාම  යනු සුද්දාගේ බඩ උඩින් එහාට පැනීමට ඉනිමගක් අවශ්‍යවෙන වැඩක්ය. එවන් වේලාවන්හිදී   සුද්දාටද එවන් බරක් දැනෙනාතුරු අමාරුවෙන් ඉවසාගෙන සිටීම සුද්දගේ බඩ උඩින් පැන වැසිකිලි යනවාට  බෙහෙවින් ලාභාදායකය. හේතුව නම් සුද්දාගේ බඩ උඩින් රිංගන්නට ගොස් ඉදිරිපස ආසනයටත් සුද්දාගේ බඩටත් හිර වුවහොත් සුද්දාගේ ඇඟේම බර සැහැල්ලු වන්නට ඉඩ තිබෙනා නිසාය. 

මෙතෙක් වෙලා  පඳුරු තැලුවා වූ පොස්ටුවේ උක්තය ලියවෙන්නේ දැන්ය . ඕන්න අම්බලන්ගොඩයා එක්තරා අවුරුද්දක සිරි ලංකාගමනය අහවරකොට සුද්දන් උච්චාරණය කරන ආකාරයෙන් කියනවානම් "බණ්ඩා රනා යකා " ගුවන් තොටින් ආපසු එන්නට ගුවන් යානයට ගොඩ වන්නේය. ගොඩයාගේ පළමු නැවතුම මැදපෙරදිග රටක් වන නිසා එම ගුවන් කාලය පැය පහකට ආසන්න කාලයක්ය. 

ගුවන් යානයේ වැඩිමනක් මගීන් තම අඹු දරු ඥාති වරිගයා ගමරට දමා රැකියාව බලා පිටත්ව යන උදවිය බැවින් බහුතරයක් උදවියගේ මුහුණු මැලවුණු ආප්ප වාගේය . වැඩි කතාවක් බහක් නොමැතිය. ඒ නිසාවෙන් අල්ලපු  ආසනයේ ඉන්නා මගියාගෙන් කිසිදු කරදරයක් නැත්තේය. වැඩකරන්නේ කොහේදැයි අසන්නේ නැතිය. වීසා අවුරුදු කීයකට තිබේදැයි අසන්නේ නැතිය. ඒජන්සිය මොකක්දැයි අසන්නේ නැතිය. පඩි හොඳදැයි අසන්නේ නොමැතිය. එකමඩේෂන් හොඳදැයි අසන්නේ නොමැතිය. ඊට අමතරව ගුවන් යානය ගොඩබෑ පසු විසිල් ගසමින් අත්පුඩි ගසන්නේ නොමැතිය. ඒ නොමැති සියල්ලම මැදපෙරදිග සිට ලංකාව බලා යන ගමනේදී නම් අඩුවක් පාඩුවක් නොමැතිය. ගුවන් සේවිකා අක්කාගෙන් ලැබෙනා සුට්ටන් ආහාර  සලාකය ගිලදමා එක සීරුවට පැය හතරක් නිදිදෙව්දුව  වැළඳ ගන්නට අම්බලන්ගොඩයාට ඒ නිහඬතාවය වෙස්වලාගත් ආශිර්වාදයක් වැනිය. එවන් ආකාරයෙන් ගෙවීගෙන යන ගුවන් කාලය අවසානයේ ඊළඟට තිබෙන්නේ ඊළඟ ගුවන් යානය අදාළ ගේට්ටුව ලඟට ගාල්කරනතුරු ගුවන්තොටුපොළ ඇතුලේ රස්තියාදුවක් ගැසීමය.

මේ කියනා දවසේ අම්බලන්ගොඩයාගේ රස්තියාදුව කොතරම්ද යත් ගොඩයා අදාළ ගේට්ටුව අසලට වාර්තා කරනා වෙළාව වෙද්දී යානයේ මගීන් පටවා අවසාන වෙන්නට ඔන්න මෙන්නය. බණ්ඩා රනා යකා ගුවන් තොටින් ලැබුණු, ආසන  අංකය සහිත බෝර්ඩින් පාස් පත ගුවන් සේවිකා අක්කාට පෙන්වා අම්බලන්ගොඩයා දනිපනිගා ගුවන් යානයට ගොඩ නොවෙන්නට අම්බලන්ගොඩයාට වන්නේද ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකට වෙච්චි දේමය. ඒ කතාව අම්බලන්ගොඩයාට කීවේ සංගීත සාදයක් නිමවා මධුවිතක් තොලගානා අවස්තාවක ජනප්‍රිය ගායක ඩෙස්මන්ඩ් ද සිල්වාය.

පොස්ටුව දිග වැඩි වුනත් ඒ කතාවද සාරාංශයක් වශයෙන් ලියන්නටම ඔනෑ නිසා කතාව කෙටියෙන් මෙසේය. ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් විදේශ සංචාරයක් නිමවා ලංකාවට එන අල්ලපනල්ලේ ගොඩයාට වාගේම ට්‍රාන්සිට් එකක් සෙට් වෙලාලුය. ඊළඟ ගුවන් යානයට කාලවෙලාව බොහෝ බැවින් සංගීත කණ්ඩායම තීරු බදු රහිත වෙළඳසැල් අරා සංචාරයක් දියත් කොරලාලුය. කණ්ඩායම ෂොපින් සංචාරය නිමවා අදාළ ගේට්ටුවට පැත්තට විසිට් කරනා අවස්ථාවේ දුටු මස්කාන්ත දර්ශනයෙන් සංගීත කණ්ඩායමම පාශානභූත වූයේලුය. ඒ  මන්දයත් ඒ වෙද්දී ගුවන් යානය මගීන් පටවාගෙන ගුවන් ගතවන්නට රිවස් කරනවාලුය. දුටුවා වූ මනස්කාන්ත දර්ශනයෙන් අමන්දානන්දයට පත් සංගීත කණ්ඩායමේ ලොක්කා ගුවන්තොටුපොළ පර්යන්තයේ වීදුරුව අසලට දුවගොස් පයිලට් උන්නැහේට පොඩ්ඩක් ඉන්නයයි අත් දෙකෙන්ම සන් කරමින් වීදුරුවට තඩිබාමින් කෑගැසුවේලූය. එම  ශෝකජනක  දර්ශනයෙන් ප්‍රීතියටපත් ගුවන්තොටේ ජනීජනයා හිස්ලුලු අත දිවගොස් වහන් වූයේ අකරතැබ්බයක් වූ අයවලුන්ට මුහුණටම සිනාසී විනෝද වන්නට බැරි නිසාලුය.

නැවත වතාවක් පඳුරු තලා අවසන නැවතත් ගොඩයාගේ කතාවට අවතීරණ වෙනවාය. ගොඩයා ගුවන් යානයට ගොඩවී අදාළ ආසනයට සැපත්වෙන විට ගොඩයාගේ වින්ඩෝ සීට් එක හෙවත් ජනේලය අසල ආසනයට මෙහායින් අල්ලපු රටේ මාමි කෙනෙකුත් නැන්දී කෙනෙකුත් ලෑන්ඩ් කරලාය. මාමිගේ වයස හැටක් හැටපහක් වාගේය. නැන්දිගේ වයසද ඊට සමගාමීය. අම්බලන්ගොඩයාගේ සාගත මල්ල  ආසනය ඉහල ගමන් මලු රඳවනයේ අඩුක්කර තබා ගොඩයා බලාන ඉන්නේ ජනෙල් අසුනට පැනගැනීමට නැන්දිත් මාමිත් ඉඩහසර සලසා දෙනතුරුය.

මාමිත් නැන්දීත් ඔහේ බලාන ඉන්නම් වාලේ බලාන ඉන්නවාය. අම්බලන්ගොඩයාට අසුන්ගත වීමට අවස්තාවක් තබා අවස්තාවක් ලබාදෙන සෙයියාවකුදු නොමැත්තේය. ගුවන් සේවිකා අක්කලාද අම්බලන්ගොඩයා පෙරලාගෙන එහාටත් මෙහාටත් දුවනවාය. තව ජුන්ඩකින් යානය ගුවන්ගතවන වග දන්නා නිසා මාමි හෝ නැන්දී ඉඩදෙනතුරු බලා සිටින්නද නොහැකිය. තවත් විනාඩි කිහිපයක් එසේ කාලය මැරුවහොත් කලබලයෙන් එහා මෙහා දුවන ගුවන් සේවිකා අක්කා කෙනෙකු ගොඩයාව අදාළ ජනෙල් අසුනට තල්ලුකර දමා බඩ මැද්දෙන් ආසන පටිය පළඳනු අනිවාය. කරුණු එසේ වනබැවින් නැන්දාගේ සාරියද මාමිගේ වේට්ටියද පොඩි පට්ටම් කරගෙන ජනෙල් අසුනට ස්ථානගත වන්නට අම්බලන්ගොඩයා තීරණය කරන්නේ වෙන කරන්නට විකල්පයක් නොමැති නිසාය.

නන්දාගේ සාරියට වැඩි හානියක් නොමැති වුනත් මාමිගේ වේට්ටියනම් සෑහෙන දුරකට එහා මෙහා වී ඇතිවග දකිනා විට මාමිගේ වේට්ටියෙන් තුන්කාලක් අම්බලන්ගොඩයාගේ  ආසනයට ඇවිත් අවසානය. මාමි වේට්ටියේ දෙකොන දෑත බදා අල්ලාගෙන ගොඩයා දිහා කන්න වාගේ බලාගෙන විලි වසාගන්නට සෑහෙන ගේමක් දෙනවාය. නිකම් හරියට උයල කනවාද බැදලා කනවාද කියා තීරණය කරන්නට වාගෙය. හයේ හතරේ පොරක්වූ මාමිගේ මුනත්තහඩුව අබ ජුන්ඩක් දැමුවහොත් පුපුරන තරම්ය. අම්බලන්ගොඩයා  ආසනයෙන් මදක් එසවුණු සැනින් මාමි තම වේට්ටිය හනික ඇදගෙන තම විලිසංගය වසාගෙන ගොඩයා දිහා ඔරොවාගෙන බලා සිටිනවාය.  නන්දා ගොඩයා දිහා කන්නට වාගේ ඔරෝවාගෙන බලා සිටින්නේ ගොඩයා බලෙන් උන්දෑගේ මනුස්සයාගේ වේට්ටිය ගලොවගත්තා වාගේය. නැන්දා ගස්සා අහක බලාගත්තේ හරියට කුච් කුච් හොතාහේ චිත්තරපටියේ කාජොල් කෙලී සාරුක් කොලුවාට බොරුවට ගස්සනවා වාගේය. මදක් ආසනයෙන් එහා මෙහා වී ඉඩහසර සලසා දුන්නේනම් මාමිගේ වේට්ටිය එහා මෙහා වී අම්බලන්ගොඩයාගේ හිරිඔතප් බිඳෙන්නේ නොමැතිය.

(මේ ලියන්නට පටන්ගත් පොස්ටුව අම්බලන්ගොඩයා විසින් මිතුරෙකුට ලියනවාමයි යයි පොරොන්දු වුනේ මීට දින කිහිපයකට උඩදීය. එහෙත් කම්මැලිකමට පිංසිදුවන්නට ලියන්නට භාවිතා කරනා ටැබ්ලටයේ බැටරිය කලුරිය කරලා වග ගොඩයා දැනගන්නේ පොස්ටුව ලියන්නට පටාන් ගැනීමට හරිබරි ගැසී වාඩිවූ පසුය. කලුරිය කරනලද බැටරියට නැවත පණදීමට දින කිහිපයක් උත්සහකලද චාර්ජරය ගැලවූ සැනින් ටැබ්ලටය නොකියාම දිරාමාරු වෙනවාය. කරුණු එසේ වුවත්  දින තුනක් තිස්සේ දැඩි ලෙස අපහසු කාලගුණික තත්ත්වයන් යටතේ ලියාගෙන පැමිණි පොස්ටුව මෙසේ පළකරන්නට යෙදෙන්නේ වෙට්ටි මාමිගේ රසබර විස්තර ඊළඟ කොටසින් ලියනා අභිලාශයෙන්ය. මෙම පොස්ටුව අවසානය දක්වා ලියවීමට කාලය ගතහොත් ජනේරුවට කලින් මෙය පලකරන්නට වන්නේ නැතිය. එතෙක් අම්බලන්ගොඩ කතා කියවනා පාඨක සැමට ලබනා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙනා නව වසරක් වේවා යයි ප්‍රාර්ථනා කරනවාය. ලබනාවූ නව වසරේ සියලු පැතුම් ඉටුවන නව වසරක් වන්නට යයි ප්‍රාර්ථනා කරනවාය. ඊට අමතරව සෑම සියලුදෙනාටම දීර්ගායු ප්‍රාර්ථනා කරනවාය. වෙලාව් අලුයම දෙක පසුවී විනාඩි තිහකුත් වී ඇති බැවින් අම්බලන්ගොඩයා නිදාගන්නට යනවාය. බ්ලොග් පොස්ටුව ලියන්නට කාලය ගත් නිසා වෝල්ටර් වයිට් සහ ජෙසී පින්ක්මන් තරහවෙලා ඇතිදැයි සැක සහිතය. දින තුනකින් අනතුරුව හෝ පොරොන්දුවෙන් භාගයක් ඉටුකරන්නට හැකිවීම වෝල්ටර් වයිට් හා ජෙසී පින්ක්මන් තරහවෙනවාටත් වඩා සෑහෙන්න වටිනවාය.)


දෙවන කොටස 
http://ambalangodakatha.blogspot.com/2017/01/2.html



42 comments:

  1. යකෝ ඔය සීරීස් බල බල ඉන්නැතුව මේක ලියපිය.

    ReplyDelete
    Replies
    1. 2016 ඉවර වෙද්දී හිතුවේ කම්මැලිකම් අතැරලා දිගටම ලියනවා කියලයි.. බලමු නෙහ්

      Delete
  2. අනික ප්ලේන් වල යද්දි නිදාගෙන යන්න එපා බං. හදිස්‍සියෙවත් ඕක කඩා වැටිච්ච වෙලාවක මීඩියා කාරයෙක්වත් මොකක්ද උනේ කියල ඇහුවොත් බොලා දෙන උත්තරේ මොකක්ද.

    ReplyDelete
    Replies
    1. කඩන් වැටුනොත් අන්තිම තත්පරේ දක්වාම උත්සහ කරන්නේ නිදාගන්න තමා බන්.

      Delete
  3. අර ඉන්දියන් නැන්දිට තද වෙන්න ඇත්තෙ යකෝ මමවත් නොගලවන මගේ මනුස්සයගෙ රෙද්ද මේ වලවෙට්ටුව ගැලෙව්වනේ කියන විස්සෝපයෙන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... නැන්ද බයවෙන්න ඇත්තේ මේ අහිංසකයට නූල් බඳින්න වෙයිද කියල වෙන්ට ඇති.

      Delete
  4. එනිවේ, අම්බලංගොඩ වන බොලාටත් පවුලේ සැමටත් මේක කියෝන අනික් කට්ටියටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි පතනව.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කියල පතනවා. මේ අව්රුද්දෙත් සම්මානයක් ගන්න ලැබේවා කිහල ප්‍රාර්ථනා කරනා.

      Delete
  5. අපි අරාබිකරයේ ඉඳලා එද්දී නම් සිරි ලංකා එකේ ලස්සන කෙළි පැටික්කියෝ මාව ඔහොම බඩගින්නේ තිබ්බේ නැහැ...
    කෑම එකට අමතරව තව මොන මොනා හරි පැකට් එකක් දෙකකුත් දුන්නා කන්න...
    බොන්න උනත් එහෙමයි, බොන්න දෙන වෙලාව පහු උනාට පස්සේ ඉන්දියන් උන්ට දෙන්න බැහැ කියල කියන ගමන් හොරාට බියර් එකක් එහෙම ගෙනත් දීපු වෙලාවල් තිබ්බා...

    ඕකේ සාටර්ම සිද්ධිය උනේ එහෙන් සමු අරගෙන එන දවසේ...
    මගේ සීට් එක ගාවට සෙට් උනා කවුද මන්ද දන්නේ නැති එකෙක්, හැබැයි ඌත් එදා සෞදියට සමු දීල එන ගමන්...
    දෙන්නත් එක්ක හොඳට බිව්වා, අක්කලත් බොන්න දීල ඉවර උනාටත් පස්සේ අපිට බියර් එහෙම දුන්නා ඇති පදම්...
    අන්තිමට දෙන්නටම කබරයා...
    මහ රෑ නිසා ලයිට් නිමල අඩ අඳුරේ තිබ්බ නිසා ශේප්, දෙන්නත් එක්ක එකම ඩියුටි ෆ්‍රී කවරෙට ඔළු ඔබාගෙන කබරයා දැම්මේ...
    කටුනායකින් බහිද්දී හොඳ ගණන්, බාගෙට මැරිලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔය පැය පහට උඹල දෙන්න කාල බීලා කබරයත් දැම්ම කිව්වම හිතාගන්න පුළුවන් බොලා කොයිතරම් බීලද කිහල.

      Delete
  6. අයෙ එහට වෙන්න නොකියා අහවල් දේටයි ඔය වේට්ටි ගලවන්න ගියේ මං අහන්නෙ? ඇති උඹට සරාස් බරාස් ගාල බනින්න පටන් ගත්තෙ නෑ.ගමන පටන්ගන්නකොටම වාත ඩයල් එකක් සෙට් උනාම ඔක්කොම මුස්පේන්තුයි.. ඊලඟ එකෙන් බලමුකො ඒ ටික.හෙ හ්හෙ
    සුභ නව වසරක් වේවා මචෝ..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ෆ්ලයිට් එකේ ජනේලේ අරින්න පුළුවන් උනානම් වේට්ටිය ගලෝල විසික් කරනවා මට දීපු වදේට

      Delete
  7. බොග වගේද "Heisenberg" ?

    "Heisenberg" වගේද බොග?

    ReplyDelete
    Replies
    1. හයිසන්බර්ග් ඉතිහාසගත නමක් වෙයි නේද.

      Delete
  8. මගේ සහෝදරයෙක් වැඩ කරන්නේ ගුවනේ. මට මතක් වුනේ පොර වගේ උදවිය කන කට්ට ගැන.

    අම්බලන්ගොඩ සෙට් එකක් ලියන නිසා, උඹෙනුත් දායකත්වයක් ලැබෙන එක හොඳයි. "හැට්ටරයාගේ ටැට්ටරේ" බ්ලොග් එකට ගොඩවෙන්න. පොඩි තල්ලුවක් දෙන්න. ඒත් ලියන්න පුලුවන් එකෙක් මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. ගුවනේ රස්සාව කරන උදවිය සෑහෙන්න කට්ටක් කනවා ඇති රැකියාවේ ආචාරශීලී භාවය සහ ගුණාත්මකභාවය රැකගන්න. ඉවසීම කියන දේ උපරිමේටම පුහුණු කරපු උදවිය නොවෙන්න මල පනින එවුන් ඔය රස්සාව කරානම් හැම ගුවන් ගමනකදීම එකෙක් දෙන්නෙක් ගුවන් යානයෙන් පහලට තල්ලු කරනවා සිකුරුයි අරුණ මහත්මයා... මම දැක්ක ඔය කියන බ්ලොග් එක. නිදහස් වෙලාවක මුල හිටන්ම කියවන්න ඕන බුක් මාර්ක් කරගෙන ඉන්නවා තාම වෙලාවක් ලැබුනේ නැහැ. ඔබතුමාගේ කොමෙන්ටුව ගෞරවයක්....

      Delete
  9. ආතල්ම සිද්ධිය අර සංගීත කණ්ඩායමේ සිද්ධිය

    ReplyDelete
    Replies
    1. සංගීත කණ්ඩායම මොකක්ද කියල අහපු නැති එක ගැන මාගේ හදපිරි ප්‍රණාමය.

      Delete
  10. අහ් ඒ කියන්නේ අම්බලමා ලඟදි සිරිලංකාවට සැපත් ව ගොස් ඇති බවයි ...ශික් අහූවුනේ නෑනේ මේකව...හිටහන් ලබන සැරේ අල්ලගන්න ...“බන්ඩා රනා යකා“ගාව ඉන්නව මුර..හිටු

    ReplyDelete
    Replies
    1. අල්ලයි මානානේ කොක්කු.....හැක් .....

      හැබෑටම ලගදී ආවද නැද්ද කියල කියන්න පුලුවනිද මෙහෙම ඇනෝ ආවාම..

      Delete
    2. .....ඔන්න නම දැම්මා දැක්ක නේද? දැන් මතකද කව්ද කියලා ....

      Delete
    3. ඔයාගේ නම Five Dots ද Dot Five ද ? හෙහ්..

      Delete
  11. Replies
    1. ආ බොලාටත් මතක්වෙලා තියෙන්නේ මේ පැත්ත..

      Delete
  12. අම්බලන් එන්නේ කැනඩාව, ඇලස්කාව වගේ දිපන්කරෙක් ඉඳන් වෙන්නේ ඇති.
    //සුද්දන් උච්චාරණය කරන ආකාරයෙන් කියනවානම් "බණ්ඩා රනා යකා " // මේක නම් මමත් අහල තියනවා.
    කෑම කලින් ගෙන්න ගන්න උප්පරවැට්ටියක් කියන්නද? කෑම එක අලින් බුක් කරන්න ලෙඩක් මොකක් හරි දාල ? වෙජිටේරියන් නම් එපා. ඔය ලැක්ටෝස් ඉන්ටෝලරන්ස් , නෝ ෂුගර් වගේ එකක්. එතකොට ඉස්සෙල්ලම ගේනවා. ඊට පස්සේ ගුවන් සේවිකාව ට කෑම එක මේන් කෝස් අප්සෙට් කියල නොර්මල් එක ගෙන්න ගන්න. ඔන්න වැඩේ.

    ReplyDelete
    Replies
    1. මේ කියන දුරේ හැටියට නම් අම්බලන්ගොඩයා ඉන්න ඕනේ නිමියෝක් නුවර, බොස්ටන් නුවර කිට්ටුව හරි සියැටල් පැත්තේ හරි සීතලේ ගැහි ගැහි ටොරෙන්ටෝ පැත්තේ වෙන්න ඕනේ.

      Delete
    2. අජිත් මහත්මයාත් ඉන්නේ යුරෝපේ පත්ත්ර් නිසා ඔය "බණ්ඩා රනා යකා " කතාව ඕනෑතරම් ඇහිලා ඇති මයේ හිතේ...මම මාංශ භාවිතයක් නැති නිසා අජිත් මහත්මයා කියන සෙල්ලම කරන්න බයයි අන්තිමේ මුකුත්ම නැතුව බඩගින්නේ ඉන්න වෙයි කියල.

      Delete
    3. පාර දිගේ ටිකක් හරි. එත් ඉන්න නගරය නම් කියවුනේ නැහැ. නිව්යෝර්ක් නුවර නම් කාලයක් හිටිය. දැන් ඉන්නේ වෙනත් නගරෙක. උඹලාගේ බ්ලොගය පැත්තේ එන්න පාර මාර්ක් කරගෙන ඉන්නවා තාම වෙලාවක් ලැබුනේ නැහැ නෙව.

      Delete
    4. එහෙනම් මචෝ වඩාත් හොඳයි. වෙජිටේරියන් කිව්වහම හරි. කලින්ම වෙජි එකක් බුක් කලහම ඉස්සෙල්ලම ගෙනත් දෙනවා.

      Delete
    5. හෆොයි දැන් අවුරුදු ගානක් තිස්සේ ඉල්ලනේ ඕක තමා.. ඒත් දැන් දැන් ඒකත් ලැබෙන්නේ පරක්කු වෙලා නෙව

      Delete
  13. උඹ ඔය ප්ලේන් වල කට්ට කකා එන්නෙ නැතිව ඒරියා 51 එකට ගිහින් පීරිසියක නැගල තප්පර 5 න් ලංකාවට වරෙන්.

    ReplyDelete
    Replies
    1. වැඩේනම් ලේසියි තමා... එත් බන් ලංකාවට යවනවා කියල වෙනත් ග්‍රහ ලෝකෙකට යැව්වොත් එහෙම සුනේ සුං .

      Delete
  14. බ්‍රේකින් බෑඩ් නම් පට්ට, ප්‍රිසන් බ්‍රේක් එකත් වලල පට්ට. මම හැබැයි දෙතුන් පාරක් බලන්න කැමති නෑ මොනම කතාවක් වත්. තවත් අඹ ගස් තියෙන නිසා . ප්ලේන් වල නින්ද යන්නේ නෑ.. හැබැයි අම්බලගොඩ වගේ පැය 10-15 තාම ගිහින් නෑ.. අපි යන එන පැය තුන හමාරට මොන නින්දවල් ද.. මම ගෙදර තියෙන නොකියවපු පොත් කියවන්නේ ප්ලේන් එකේ යද්දී.

    කම්මැලිකම තරම් සැප ලෙඩක් මේ ලෝකේ කොහෙවත් නෑ බන්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. වෙන බලන්නත් ඒ වගේ එව්ව නැහැ පැතුම්. බ්ලඩ් ලයින් ටිකක් හොඳයි.. ඒත් එක දිගට බලන්න තරම් වදින්නේ නැහැ. ලෙවරේජ් සීරීස් එක බැලුව ඉවර වෙන්නම..

      Delete
  15. මාත් මෙත්ලැබ් එකක් දාන්න බං හිතං ඉන්නෙ.

    සුභ අලුත් අවුරුද්දක් පරක්කු වෙලා හරි...

    ReplyDelete
    Replies
    1. ඩූඩ්....උඹ මෙත් ලැබ්ස් ගැන අහලා තියනවද... මම කියන්නේ වෙනම මෙත් ලැබ්ස් ජාතියක් ගැන. මරු පොතක් තියෙනවා..ඩ්‍රග් රේඩ්ස් ගැන පොලිස් ඔෆිසර් කෙනෙක් ලියපු පොතක්.

      Delete
    2. එසේම වේවා ඩුඩ්.. දාපං දාපං ඉක්මනටම මෙත් ලැබ් එක.. අපි එන්නම් බීඩි මිටියක් දෙකක් අරගෙන උඹව බලන්න වැලිකඩ බෝඩිම පැත්තේ.. හෙහ්..

      Delete
    3. අරුණ මහත්මයා ඔය කියන පොතේ නම කියන්නකෝ අපිටත් හොයාගෙන කියවන්න..

      Delete
    4. අම්බ කතා.....මහත්මයා කෑල්ල කපලා දාපන් මචෝ.
      මෙන්න පොතේ නම. මම ඔය පලාත්වල ජීවත්වුනා.

      පොර මරු පොත් සෙට් එකක් ලියලා තියෙනවා. වේදිකා නාට්‍ය කලාවට ආදරේ නම් අයිටීඑන් එකේ ඉරිදා උදෙට යන "සොඳුරු ආඥාව" මැගසින් ප්‍රොග්‍රැම් එක බලපන්. වටිනවා. වේදිකාවට කැමති නම් පමණයි :D

      Delete
    5. ස්තුතියි පොතට.. ගරුකයුත්තන්ට ගරුකලයුතුයි අරුණ මහත්මයා.. ඒ ගැන හිතන්න එපා.. තාම නිකම්ම නම ලියන්න අමාරුයි.. පස්සේ බලමු..

      Delete