Wednesday, August 23, 2023

සුවඳ සබන් ඇඟ ගාලා

 

සබන් කිව්වාම එක්තරා කාලෙක මට ඕනෑ එකක් සබන් සන්ලයිට් සහ බාර් සබන් ඇරුනාම... සන්ලයිට් කියන්නෙ රෙදි හෝදන්න ගාන සබන් ජාතියක් කියලා මම දන්නෙ ටීවී එකේ රේඩියෝ එකේ නිතර කියැවෙන නිසා... බාර් සබනුත් ඒ ජාතියේ රෙදි හෝදන එකක් කියලා මවු දෙමවුපියන් සූටි එකා සන්දියේ කියලා දීලා තියෙන නිසා එව්වත් ඉතිං අඟේ මූනෙ ගාන්න මං උත්සහ කරලා නෑ... ඉස්කෝලෙ යන කාලෙ ඉතිං මවු දෙමාපියන් ගෙනැල්ලා තියන සබන් කැටයක් ගානවා ඇරුනාම ඔව්වයෙ සුවඳ ගැන ලස්සන වෙන එව්ව ගැන මං කවදාවත් හිතලා නෑ... 

අපේ වත්තෙ ලිඳක් තිබ්බ නිසා ඒ කාලෙ අපි වතුර පාවිච්චි කරේ ලිඳෙන්... ගේ හදපු මුල් කාලෙ ඉඳන්ම ටැප් වතුර තිබ්බ උනාට අපි ලිඳ පාවිච්චි කරේ ඇයිද කියන්න අවස්ථා සම්භන්ධයක් ගොඩ නගාගන්න මට කල්පනාවක් නෑ ගේ හදලා පදිංචි වෙද්දි මට අවුරුදු හයක් වගේ නිසා... අපේ ගෙදර ටැප් වතුර තිබුනා කියලා මම ඉන්තේරුවෙන්ම කියන්නෙ අපේ ගෙදර ඇලුමීනියම්  වතුර කලයක් තිබුනට ඒකෙන් වතුර ගන්නවා මට උපන්තේකට මතක නෑ... ගෙදර ටැප් වතුර ගැන කියන්න වටේ ගියාට මට කියන්න ඕනවුනේ ගෙදර ලිඳේ නානකොට ගාපු සබන් ගැන... සති අන්තෙට තාත්ත මාව ලක්ස් ගාලා නාවලා ලිඳ අයිනෙ ගොඩපර ගහ මුල තිබ්බ ගල උඩින් තියනවා ... ඊට පස්සෙ තාත්ත එක්කො රෙදි හෝදනවා නැතිනම් නැත්තං ලොකු නංගිව නාවනව... මම ඉතිං නාපු සීතල යන්න ගල උඩ වාඩිවෙලා අව්වෙ ඉන්නකොට මගේ කොන්ඩෙ වේලිලා හුලඟට වැනෙන්න ගන්නව... ආං එතකොට මට හිතෙන්නෙම මගේ කොන්ඩෙ ගාමිණී ෆොන්සේකගෙ කොන්ඩෙ වගේමයි කියල... හිනා යනවා නේද බඩ අල්ල්ගෙන... ඒ සිතිවිල්ල මතක් වෙද්දි මටත් බඩාල්ලගෙන හිනා යනව මේ දැනුත්... 


සබන් ගැන කියද්දි ඊලඟට මතක් වෙන්නෙ මගේ ඉංදියානු ගමන.. ඉංදියාවෙ ලංකාවෙ සබන්වලට ප්ස්ට ඉල්ලුමක් තියෙනවා කිව්ව නිසා මමත් ලස් කෑලි දහයක් විතර බෑග් එකේ දාගෙන ගියා ගෙදරටත් නොකියාම ... ඉංදියා යන්න ඉස්සරින්දා මාව බලන්න ආපු අපේ චමිල වරුසවිතානයාගෙ මවු පියසීලි ආන්ටියි බතලයාගෙ මවු සුජාතා ආන්ටියි ගෙනැල්ලා දීපු තුවායයි ලස් කෑලි කීපයයිත් එහෙමම බෑග් එකේ දාගෙන ගියා ඉංදියන් කාරයෙකුට බර ගානකට විකුනන්න හිතාගෙන ... මං හිතන් ගියේ ලස් කෑලි දහය ලක්සෙකට දෙකකට විකුනලා ඒ සල්ලිවලින් හැමෝටම තෑගි ගේන්න... ඉංදියාවට ගිහිං බැලුවාම එහේ පෙට්ටි කඩවලට් ලස් තියෙනවා කියහංකෝ... හිටපු කාලෙට එකක් දෙකක් පාවිච්චි කරලා ඉතුරුවා ආයෙම මං ලංකාවට අරං ආව ඉතිං.. වෙන මක් කරන්නද... එහේ එවුන්ට ලංකාවෙන් ගෙනාව කියලා උන්ගේ කඩවලත් තියෙන ලස් කෑලි දෙන්න බෑනේ..

ගෙදරින් යැපීලා ඉවරවෙලා රස්සාවක් කරන්න කොලඹ යන්න එන්න ගත්තාම මට ගෙදර අය පාවිච්චි කරන සබන් හරි ගියේ නෑ...  උදේ හවා දූවිලි නාගෙන රුහුණු කුමාරියේ සමුද්‍රදේවියේ මේල් එකේ ගාලු කුමාරියේ කොලඹ යන එන මට රූප සුන්දරියන් ගාන සබන් ගාලා නාලා හරි යන්නෙ නෑ වගේ දැනෙන්න ගත්තා කියමුකෝ ... සන්ලයිට් සල් බාර් ඇරුනාම තියෙන අනික් සියලූම සබන් ජාති ට්‍රයි කරගෙන යද්දි හිත නැවතුනේ එයා ලඟ... හැමෝම කැමති නොවුනට ඉතිං හිත ගිය තැන මාලිගාවනේ... මගේ හිත නැවතුනේම ලයිෆ් බෝයි ගාව... එතැන හිටං ලංකාවෙන් පිටවෙන දවස වෙනකල් මම ගෑවෙ ලයිෆ් බෝයි... 

ඔයින් මෙයින් ලංකාවෙන් පිටවෙලා ඉද්දී ආයෙම සබන් ප්‍රශ්ණෙ ආව කියහංකො... රස්සාව විදිහට ෆීල්ඩ් සර්විස් ටෙක් කෙනෙක් උනාම දවසෙම ඉන්නෙ වාහනේ... දූවිලි වදිනවා තෙල් මජන් අත ගෑවෙනවා ඉවරයක් නෑ... ඉතිං එව්වා යවන්න සබන් කෑල්ලක් හොයාගනවා කියන්නේ  ලේසි වැඩක් නෙවෙයි... ගංගා බෝඩිමේ ඉද්දිත්, අසෝක බෝඩිමේ ඉද්දිත් සබන් කෑල්ල බේරගන්න එක තමා අමාරුම වැඩේ... සබන් කෑල්ලකට මම මලපෙරේත නෑ... ඒත් භාගෙට නාලා ඉවර වෙලා සබන් හොයද්දි සබන් කෑල්ල උරච්චි වෙන්නම ගාලා නේද යකෝ කියලා දකිද්දි එන කේන්තිය කියන්න වචන නෑ... භාගෙට නාලා ඉද්දි සබන් ගේන්න කඩේ යන්න විදිහකුත් නෑ ... අකමැති වැඩක් උනාට සබන් කෑල්ල කාමරේට ගේනවා ඇරුනාම වෙන විකල්පයක් නෑ කාමරවල ජීවත් වෙද්දි... සබන් කෑල්ලක්, ටූත් පේස්ට් එකක්, ශැම්පු එකක් මලාට ගේන්නෙ නැතුව අනුන්ගේ එව්වයෙන්ම යැපෙන ලංකාවෙ උන්දැලා බලාගන්න ඕනෙනම් පිටරටකට ඇවිත් කාමරයක් කුලියට ගන්න... එතකොට තමයි තේරෙන්නෙ මල පෙරේතයන් අතරේ ජීවත් වෙන්නනම් මල පෙරේතයෙක් වෙන්නම වෙනවා කියලා... එහෙම වෙන්න බැරිනම් වෙන්නේ තමුන්ගේ අන්ඩර් වෙයාර් එකත් වෙන එකෙක් ඇඳන් යනවා බලලා අන්ඩර් වෙයාර් එකත් නැතුව රස්සාවට යන්න ...

පිටරට ජීවිතේත් රටින් රටට සබන් විවිධයි... සබන් වෙනුවට බොඩි වොශ් පාවිච්චි කරන්නත් පුලුවන් තමයි... ඒත් බොඩිවොශ් දාලා නෑවාම ඇඟේ ලිස්සන ගතිය යවන්න අමතර පැය දෙකක්වත් නාන්න ඕන... එව්වා ඉතිං කරදර වැඩ... එව්ව ගාන නලු නිලියන් සබන් යවන්න කොච්චර වෙලා නානවාද කියලා මට අවභෝදයක් නෑ... රට ජීවිතේත් සබන් අටෝරාසියක් පාවිච්චි කරලා අවසානයේ හිත නැවතුනේ කොළ පාට ලස්සනම ලස්සන අයිරිශ් ස්ප්‍රින්ග් කියන සබන් කැටේ ලඟ ... එක පාරක් ගාලා නෑවා කියන්නෙ කුනු දූවිලි කොහේ ගියාද නෑ... අයිරිශ් ස්ප්‍රින්ග් හම්බුනත් හරි මට ආයෙ සබන් ප්‍රශ්ණ නෑ... දවසක් රට වටේ කරක් ගහලා ඇවිල්ලා නාන එක නාන්න එපැයි සුපිරියටම... අයිරිෂ් ස්ප්‍රින්ග් කියන්නේ මගේ  සබන් ලොවේ රජ කිරුල කිව්වොත් තමයි හරි..

ඕං එක්තරා දවසක අපේ කොම්පැණියෙ අලුත් ලොකේශන් එකක් විවෘත කරන්නෙ හෙටනම් අද අපේ මේන්ටනන්ස් ඔෆිස් එකේ මල ජංජාලයයි... ට්‍රෙඩ්මිල් එකක ඩ්‍රයිව් බෙල්ට් එකක් කී ගාලා කෑ ගහනවා ගාලා කියලා බ්‍රාන්ච් මැනේජර්ගෙන් කොම්ප්ලේන්... ලොකේශන් එක මගේ එකක් නිසා ෆයිනල් චෙකප් එක මගේ... දවස් දෙකකට කලින් මම ෆයිනල් චෙක්ප් එක කරද්දි මට් මේ ලෙඩේ මාට්ටු... මමත් දන්න සෙල්ලම් ඔක්කොම දාලා බෙල්ට් ඇජස් කරලා ඩ්‍රයි ලූබ් ස්ප්‍රේ කරලා සද්දෙ නවත්තන්න උත්සහා කරා ඒත් සද්දෙ නවතින්නෙම නෑ... අවසානයේ කොනක් වෙන්නම ගලවගෙන ගලවගෙන ගිහිං එකින් එක චෙක් කරලා බැලුවාම ඇජස්ටර් එකේ අලයින්මන්ට් එක අවුල්... අවුල එන්නෙ ෆැක්ටරි එකෙන් වැරදි අලයින්මන්ට් එකකට බ්‍රැකට් වෙල්ඩින් කරපු නිසා ... ඒත් ඕපනින් එකට දවස් දෙකක් තියෙද්දි ඒ වගේ ලෙඩකට ක්ශණික ප්‍රතිකර්ම කරන්න බෑ...  එකම විසඳුම තාවකාලිකව සද්දෙ නවත්තලා ඕපනින් එකෙන් පස්සෙ ට්‍රෙඩ් එක රිටර්න් / රිප්ලේස්මන්ට් එකට යන එක... මාත් ඉතිං දන්න සෙල්ලම් ඔක්කොම දාලා සද්දෙ අවම කරලා ආවට ඕපනින් එකට කලින් දවසේ බ්‍රාන්ච් මැනේජර්ගෙන් මගේ බොසාට කොම්ප්ලේන්...

ලොකේශන් එක මගේ ඒරියා එකේ එකක් නිසා බොසාගෙන් කැඳවීම කෙලින්ම මට...

ආං අලුත් ක්ලබ් එකේ ට්‍රෙඩ් එකක බෙල්ට් එකක් කෑගහනවලු... අද වැඩ ඔක්කොම පස්සට දාලා ඒක හදලා දාපන් අදම...

( බොසා කිව්වට ලංකාවෙ වගේ ලොකු සීන් නෑ... සර් බර් නෑ... ගැස්සිලි පිප්පිලි නෑ... ලංකාවෙ බොසාලට තියන අසනීප එකක්වත් නෑ.. කනවනම් කන්නෙත් බොනවානම් බොන්නෙත් එකටම තමා ... )

මට ඕක පෙරේදා අහුවුනා... හදන්න බැලුවා... ඇජස්ටර් එකේ බ්‍රැකට් එක වෙල්ඩ් වෙලා තියෙන්නෙ ඇදට... ඒකයි සද්දෙ එන්නෙ... රිප්ලේස් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ...

කොම්පැණියට ඉන්ෆෝම් කරාද...

ඔව්... ඔක්කොම විස්තර ඊමේල් කරා ... උඹව CC කරලා ඇත්තෙ...

සොරි... ඕපනින් එකට බිසී නිසා මට ඊමේල් ගොඩාක් මගෑරිලා තියෙන්නෙ... අපිට මොකක්ම හරි කරන්න වෙනව...

කරන්න දෙයක් නෑ... ඇජස්ටර් එක ලූස් කරොත් ස්ලිප් වෙනව... තද කරොත් සද්දෙ එනව... ඩ්‍රයි ලූබ් ගහනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ... ඩ්‍රයි ලූබ් ගැහුවත් වේලුන ගමන් සද්දේ එනවා විනාඩි පහක් දහයක් යද්දී..

ඩූඩ්... ඕපනින් එක දවසෙම ඕක කෑගහන එක අවුල්... මොකක්ම හරි කරන්න වෙනව...

බ්‍රේකර් එකෙන් ඕෆ් කරලා දාමු...

බෑ බෑ... ඒක හරි නෑ ඕපන් කරන දවසෙම එකක් අවුට් ඔෆ් සර්විස් යන එක...

මට විකල්පයක් එන්නෙ නෑ ඔලුවට... මමත් බොසා දිහා බලාන ඉන්නව... බොසා මම දිහා බලාන ඉන්නව... 

උඹ දන්නවද... ඉස්සරම කාලෙ අපිට ඩ්‍රයි ලූබ් තිබ්බෙ නෑ.. බෙල්ට් සද්ද කරද්දි අපි කරේ සබන් කෑල්ලක් අරගෙන බෙල්ට් එකේ ගාපු එක... එතකොට සද්දෙ නැති වෙනව... කඩවල තියෙනවා අයිරිශ් ස්ප්‍රින්ග් කියලා චීප්ම සබන් ජාතියක්... ඒක තමා මේ රටේ තියන චීප්ම බාලම සබන් ජාතිය... අන්න එයින් කෑල්ලක් අරගෙන ගිහිං බෙල්ට් එකේ ගාපං...

අයිරිශ් ස්ප්‍රින්ග්... ඒ මොන සබන් ජාතියන්ද... මමනම් අහලවත් දැකලාවත් නෑ... මාත් ඉතිං මලාට අයිරිශ් ස්ප්‍රින්ග් නොදන්න ගානට ටෝක දෙනව... මටත් ඉතිං සැකන්ඩ් වෙන්න බෑනෙ ...

හිටහංකෝ මම උඹට පෙන්නන්න... බොසා එයැයිගෙ කොම්පීතරේ ගූග්ල් කරලා මට අයිරිශ් ස්ප්‍රින්ග් සබන් කැටේ පෙන්නනව...

ආහ් මේකද... හරි මම හොයලා අරගෙන යන්නම්... මාත් ඉතිං අයිරිශ් ස්ප්‍රින්ග් දැක්කෙ එදාම වගේ ගානට ෆෝන්නෙකෙන් ෆොටෝ එකකුත් ගහගෙන ඔෆිස් එකෙන් එන්න එනව...

අවුරුදු ගානක් ගාපු සබන් කෑල්ල බාලම එක කියලා බාල්දු කරන්න බෑනෙ යාලු... මම ඉතිං පහුවදා ඕපනින් එක වෙලාවට විනාඩියකට කලින් අදාල ට්‍රෙඩ්මිල් එකේ හෑන්ඩ් රේල් එක උඩින් තුවායක් වනලා ටීවී එකේ ස්පෝර්ට් චැනල් එකකුත් දාලා කොන්සෝල් එකේ පෝස් බටන් එක ඔබලා ෆීල්ඩ් එකට ‍යනව... එතකොට ඉතිං ඒක දකින ඕනෑම එකෙක් හිතන්නෙ කවුරුහරි එකෙක් මේකෙ දුව දුවා ඉඳලා දොට්ට පිලට යන්න ගිහිං කියල... එතකොට කවුරුත් ඒ ට්‍රෙඩ්මිල් එක පාවිච්චි කරන්න එන්නෙ නෑ... පාවිච්චි නොකරනතාක් බෙල්ට් එක සද්ද කරන්නෙත් නෑ... සද්දෙ නොඑනතාක් මට කොම්ප්ලේන් එන්නෙ නෑ... 

මිකැනික්ස් ගැන අවුරුදු විසි හයක පලපුරුද්දෙන් මම දන්නවා අයිරිශ් ස්ප්‍රින්ග් ගාලා ඒකෙ සද්දෙ නැවත්තන්න බෑ... හිතට අල්ලපු එකම සබන් කැටේට බාලම ලාභම එක කිව්වම හිතට අමාරුයි තමා... ඒත් ලාභම බාලම කියලා කිව්වට මටනම් ඒකෙ බාල ගතියක් අදටත් දැනෙන්නෙ නෑ... හැමදාම උදේට බොසා සම්මුඛ වෙන නිසා බොසාට මගේ ලඟ අයිරිශ් ස්ප්‍රින්ග් සුවද ඇවිත් ඉරිසියාවට කියන්න ඇති කියලත් මගේ යටි හිත කියනවා ...  හත් අවුරුද්දක් නාලවත් සබන් යවන්න බැරි සබන් ජාති හොඳම සබන් වෙලා ඇඟේ තියන කුණු දූවිලි හොඳටම යන  සබන් ජාතිය බාලම එක  වෙන්නේ ඇයිද කියන්න මම දන්නේ නෑ ... අයිරිෂ් ස්ප්‍රින්ග් ගාලා නාලා ඔලුව වෙලුනාම දැනුත්ම මට ගොඩපර ගහ ළඟ ගල උඩ ඉන්න ෆීලින් එක දැනෙනව .. ඒත්  මගේ කොන්ඩෙ ගාමිණී ෆොන්සේකාගේ කොන්ඩෙ වගේ කියලා හිතෙන්නේ නෑ... මොකද කියනවනම් එහෙම හිතෙන්න තරම් කොණ්ඩයක් දැන් මගේ ඔලුවේ නෑ...

7 comments:

  1. කුණු දූවිලි සියල්ලම එක පාරක් ගෑවම යනවනං ඒ සබන් කැටේ බාලයි තමයි🤭🤭..ගොඩයා ගේ ස්ථානෝචිත ප්‍රඥාව නං ...👍👍

    ReplyDelete

  2. පොඩිකාලේ බේබි සබන් ඊට ටිකක් පස්සේ සදුන් සබන් බෝඩිම් වලදී බේබි සබන්, බැන්දට පස්සේ සන්ලයිටුත් ගැව ......

    ReplyDelete
  3. මට නම් ඉතින් ඔනි සබන් එකක්...😁

    ReplyDelete
  4. ගොඩයෝ උඹේ සොලූශන් එක නං රටක් වටි. උඹට තියෙන්නෙ අර මුස්පේන්තුවා වෙනුවට ඊලඟ චන්දෙට ඉල්ලන්න බොල

    ReplyDelete
  5. ඉස්සර ඔය ලයිෆ්බෝයි කියන එකත් බාලම සබං ජාතියක් විදියට තමයි සැලකුවෙ. ඒත් දැං ඒක පොෂ් වෙලා තියෙන හින්ද ඕන මනුස්සයෙකුට කැත නැතුව ගාන්න පුලුවං.

    ReplyDelete
  6. ඉස්සර ලයිෆ්බෝයි සුවඳ නෑ, එන්නෙ කෙමිකල් ගඳක්. ඒත් තෙල්, මජං හොඳට යනවා. ගාණ අඩු , මාකටින් නැති, ලොකු කැටේ නිසා බාලයි කියල මතයක් එන්න ඇති.

    ReplyDelete
  7. මට සුවඳ සබන් ගාන්න බැහැ එනිසා සුවඳ වැඩිය නැති පාම් ඔලිව් එක තමා පාවිච්චි කරන්නේ . අයිරිෂ් ස්ප්‍රින් අහලම නැහැ

    ReplyDelete