Tuesday, March 1, 2016

බිග් මැච් සහ දිගබයිසිකල් සවාරිය





මාර්තු මාසය පටන්ගත්තාම ඉස්කෝලේ කාලේ දැනිච්චි බිග් මැච් උණුසුම පිටරටක හිටියත් දැනෙන්නට ගන්නේ අන්තර්ජාලයෙන් ඇහැ ගැටෙනා බිග්මැච් ළඟ එනවෝ කියනා නොයෙකුත් කයි කතන්දර නිසාය. එකලද මෙකලද බිග් මැච් යනු කොල්ලන්ට සිතුසේ විනෝදවීමට ලැබෙන්නාවූ කාලයක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැතිය. බිග් මැච් නම් ඉතින් ෆන් ලෝකයක්ය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය මා , "මම දම්සෝවේ" කියා උදම් ඇනුවාට මා සහ මාගේ සම පාසල් සගයින්  බහුතරයක් හෝඩියේ සිට පහ වසරට අකුරු කලේ දේවානන්ද විද්‍යාලයේ බැවින් පහ වසරට එනතුරු බිග්මැච් වෙනුවෙන් අප ජයගෝෂා කලේ දේවානන්ද විද්‍යාල වෙනුවෙන්ය. එකල අපි කළු සහ නිල් මිශ්‍ර කොඩියෙන් සැරසී පිට්ටනිය පුරා ජයගෝෂා කලේ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව අපගේ පාසැල වන දේවානන්ද විද්‍යාලය දිනවීම සඳහාය. 

ඇඩ්මිෂන් විභාගය සමත්වී අප ධර්මාශෝකයට එන්නේ ඉන් අනතුරුවය. යකෝ මුන් ධර්මාශෝකේ  කිව්වට මුන් ධර්මාශෝකෙට ඇවිත් තියෙන්නේ හය වසරෙන් නේ කියලා දැන් මේක කියවන එවුන් මට කින්ඩිය දමන්නට ඉඩ තියන නිසා මේ ටිකත් ලියන්නට උවමනාය. එකල මොකක්දෝ අපි නොදන්නා හේතුවක් මත ධර්මාශෝකයට හෝඩිය පන්තිය සඳහා ළමුන් ඇතුලත්කර ගත්තේ නැත. පාසල තුල හෝඩියේ සිට පහ වසර දක්වා ළමුන්ට උගන්නන්නට ඕනෑතරම් ඉඩ පහසුකම් තිබුනත් එම පන්ති නොපවත්වා සිටීමට බලධාරීන් තීරණය කර තිබුනේ කුමන හේතුවක් නිසාදැයි මම දන්නේ නැත. දන්නා කෙනෙක් ඉන්නවානම් කොමෙන්ටුවක් මගින් අපව දැනුවත් කරන්නේ නම් එලය. එය එසේ බැවින් මාගේ දෙවැනි පාසල වූ ධර්මාශෝක විද්‍යාලයට හයවසරේ සිට ළමයින් සැපයුයේ අවට තිබුනාවූ පාසල් වලින්ය. ඉහත කී ආකාරයෙන් මෙය ලියන්නා වූ මමද ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යභාවය ලැබුවේ ඒ අකාරයෙන්ය.

එතෙක් කාලයක් නිල් කළු කොඩියක් මසාගෙන බිග්මැච් බලන්නට ගිය මම හය වසරේ බිග්මැච් බලන්නට නිල් සුදු කොඩියක් රැගෙන යන්නේ දේවානන්ද විද්‍යාලයට එරෙහිව ධර්මාශෝක විද්‍යාලයට චියර් කරන්නටය. 

මාගේ විනෝදාංශ කටයුතු සඳහා අවම මුදල් ප්‍රමාණයක් යෙදවීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ තිබූ මාගේ පියාණන් එවන් විනෝද සමයන්හිදී නීති රීති දැඩි කිරීම සාමාන්‍ය කාරනාවක්ය.  අවශ්‍ය දිනයට මාස කිහිපයකට ප්‍රථමව උද්ගෝෂණ  වැඩවර්ජන පටන් නොගතහොත් අවශ්‍ය දිනයට අවශ්‍ය දේ නොලැබී යන වග අත්දැකීමෙන් දන්නා මම ජනවාරි මස අවසන් වෙනවාත් එක්කම නිල් සුදු කොඩි යෝජනාව රාත්‍රී කෑම මේසයට දමන්නේ ඊට කලින් ගෙදර අගමැති තනතුර හෙබවූ මාගේ ආදරණීය මෑණියන්ගේ නිර්දේශයෙන් අනතුරුවයි.

එක දිගට කෙරෙන්නාවූ වැඩවර්ජන උද්ගෝෂණ වලට එරෙහිව ගොස් රාජ්‍ය පාලනය අවුල් වන නිසාවෙන් අවසානයේ මා හට මාගේ ඉල්ලීම පරිදි අඩි පහක් උස අඩි තුනක් පළල නිල් සුදු කොඩියක් මසා දීමට ප්‍රතිපාදන වෙන් වන්නේ මාර්තු මාසයේ මුල් සතියේය.

කොඩිය මසාගන්නට කොයිතරම් උනන්දුවක් ආසාවක් තිබුනාද යත් උදෑසනක මවුතුමිය රාජකාරී කරනා කාර්යාලය වෙත යන මා  මවුතුමියව රෙදි කඩයකට බලහත්කාරයෙන් ඇදගෙන ගොස් කොඩියට අවශ්‍ය කරනා වූ රෙදි තොරන්නේය. එදාම හවස අම්මාට කන් කෙඳිරිගා සියලු වැඩ  පසුවට කල් දමා සාලයේ බිම එලූ රෙදි ඕනා ප්‍රමාණයට කපන්නට උදව් කරන්නේද මාය. අම්මා කොඩිය මසා දෙනතුරු අම්මාගේ සිංගර් මැසිම ලඟින් ඉඳගෙන හරි කෙලින් කොඩිය මහන්නට උදව් කරන්නේද මාය. කොඩිය මසා සියල්ල අවසන් වූ පසු ගෘහමූලික තනතුරේ විරාජමාන තාත්තාගෙන් ලැබෙන අවවාදය නම් මෙයයි..

ආයේ ඊළඟ අවුරුද්දේ කොඩි නෑ හොඳේ.. ඔය කොඩිය තමා තව කාලයක් පාවිච්චි කරන්න ඕන.. බිග්මැච් ඉවර උනාම කොඩිය හෝදලා අරන් තියන්න දෙන්න ඕන හොඳද..

හොඳයි තාත්තේ..

බිග් මැච් දවසද උදාවන්නේ සැමටම ප්‍රීතිය ගෙනදෙමිනි. එස්ලෝන් බටයකින් කොඩියට අවශ්‍ය කරනා වූ මිට මා වෙත සාදා දෙන්නේද තාත්තාය. දැන් මම තුමාද   මටත් වඩා උස තඩි කොඩියකුත් අරගෙන බිග් මැච් බලන්නට යනවාය. කොඩියත් පුළු පුළුවන් විදිහට ආරක්ෂා කරගෙන පලවෙනි දවසේ බිග්මැච් බලා ගෙදර එන මම දෙවැනි දවසේද බිග්මැච් නරඹා දවල් ආහාරය ගැනීමට ගෙදර එන්නේ මාගේ පන්ති සගයකු වන එන් සී  නොහොත් එන්. සී  ඉන්දිකයාවත් සමගය. කනවා බොනවාට වඩා හිත තිබෙන්නේ බිග් මැච් එකට නිසාවෙන් කෑවයින් නොකෑවයින් ඉන්දිකයාත් මමත් හනි හනිකට පිට්ටනියට දුවන්නේ හරියට බිග් මැච් ගසන්නේ අපි වාගෙය. ඒ අවාසනාවන්ත කුජීත සිද්දිය වෙන්නේ ඔය යන ගමනේදීය.

කලුවඩුමුල්ල පාරෙන් පිට්ටනියට යන්නට තියෙන ලඟම පාර කොලේජ් ලේන් එක  නොහොත් විද්‍යාල මාවත බැවින් ඉන්දිකයාත් මමත් පුළු පුළුවන් ඉක්මනින් පිට්ටනිය වෙත වාර්තා කරද්දී කොලේජ් ලේන් එකේදී අපේ ඉදිරියට හමුවෙන්නේ ට්‍රම්පට් පිඹිමින් බෙරගසමින් සිංදු කියාගෙන කොහේදෝ අවලම් ගමනක් යන ලොකු අයියලා සෙට් ඒකකය. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සන්ට ඉඩ නැති බැවින් ඉන්දිකයාත් මමත් පාරේ අයිනට වී ලොකු අයියලාට යන්නට ඉඩහසර සලසලා දුන්නත් කනමදයෙකුටත් වඩා පොඩ්ඩක් වැඩි වෙන්නට බී ගත්තු ලොකු අයියා කෙනෙක් එතනින් මා පසුකර යන්නේ හිස් අතින් නොවේය.. දහසක් උද්ගෝෂණ කර දිනාගත් මාගේ ආදරණීය විද්‍යාල දජයත් මාගෙන් උදුරාගෙනය. ඉන්දිකයා ඇස් දෙක එලියට පනින්නට ඔන්න මෙන්න වාගේ කට ඇරගෙන බලන් ඉන්නවාය. මමත් ඔලුව කසමින් බලන් ඉන්නවාය. නිකම් බලන් ඉන්නවට වඩා සාමකාමීව මාගේ කොඩිය නැවත ඉල්ලාගැනීමට මට ශුද්දවූ අයිතියක් ඇති නිසා මගෙන් කොඩි උදුරාගත් එකා පස්සෙන් ගොස් කොඩිය ඉල්ලාගන්නට මා තීරණය කරන්නේ වෙන කරන්නට දෙයක් නොමැති බැවින්ය.

අනේ අයියෙ මගේ කොඩිය දෙන්න අයියෙ..

කොඩිය.. කොහේ තියන කොඩියක්ද බොල..

අනේ අයියෙ ඔයාගේ අතේ තියෙන්නේ මගේ කොඩියනේ.. මට ඒක දෙන්න අයියෙ..

තෝ මගෙන් කනවද යනවද මෙතනින්..

අනේ අයියේ කොඩිය නැතුව ගෙදර යන්න බෑ අයියේ.. ඕක දෙන්නකෝ බුදු අයියෙ..

තෝ දැනගනින්  උස්සල පොළොවේ ගහන්න කලින් පල මෙතනින්..

අනේ අයියෙ..

මාගේ කොඩිය දරාගෙන සිටි එස්ලෝන් බටය කෑලි කෑලි වෙන්නට පොළොවේ ගැසූ කණමදයා ඊළඟ පහර අසරණ මට එල්ල කරන්නට ප්‍රථමයෙන් ඉන්දිකයා මාවත් ඇදගෙන පිට්ටනිය පැත්තට දුවන්නට නොවෙන්නට එදා මා ඇඩ්‍රස් නැතිවෙන්නටම කන්නට ඉඩ තිබුනා නේදැයි දැන් දැන් මට සිතේ.. ඇස් ගෙඩි දෙක දෘෂ්ටි ස්නායු සහ ඇසට ලේ ගලා එන්නාවූ නහර වලින් සරීරයට සම්භන්ධ වී නොතිබෙන්නට එදා ඉන්දිකයාගේ ඇස්ගෙඩි දෙක අහුලන් එන්නට අපිට පස්සෙන් පහු ඒ පැත්තේ ගාටන්නට වෙනවාය.

කොඩි රාජයා අහිමිවීමත් සමගම මාගේ ඔලුව පුරා සැරිසරන ප්‍රශ්නය නම් දැන් කොහොමද හත් දෙයියනේ කොඩිය නැතුව ගෙදර මන්ගච්චන්නේ කියන්නාවූ ප්‍රශ්නයයි. එදා බිග්මැච් දින්නාද , පැරදුනාද, ජය පරාජයෙන් තොරව අවසන් උනාද කියා මා දන්නේ නැත. මාගේ කොඩියට සොයමින් පිට්ටනිය පුරා කරක් ගැසූ මම බිග්මැච් අවසන් වී ගෙදර එන්නේ හිස් අතින්ය.. මාගේ කරුමයට ගේට්ටුවෙන් ඇතුල් වෙනවාත් එක්කම තාත්තා ඉස්තෝප්පුවේ ඉඳන් ඉරිදා දිවයින බලනවාය.. කන්නාඩි දෙකට උඩින් මා දිහා බැලූ තාත්තාට දින දෙකක් පුරා මා සමග යාවජීවව දුටු කොඩිය මිසින් බව තේරුම් යන්නට විනාඩියක්වත් ගියේ නැති..

කෝ කොඩිය..

යාලුවෙක් අරන් ගියා ..

යාලුවෙක් අරන් ගියා.. ඒ මොකටද..

බස් එකේ යන ගමන් වනාගෙන ගිහින් හෙට ඉස්කෝලෙට ගේන්නම් කිව්වා..

හෙට ගෙනාවම හෝදලා අරන් තියනව..

හා..

කොඩියේ කතාව එතනින් නිමා උනාට හෙට හෝදලා අරන් තියන්න කෝ යකෝ කොඩියක්.. එදා රෑ නම් නින්දක් නැති.. කොඩිය නැතිවීම සම්භන්ධයෙන් තාත්තාගෙන් බැනුමක් දෙකක් අසනවාට වඩා ලොකුම ප්‍රශ්නය නම් අහලගම් හතකවත් එකෙකුට බය නැති චන්ඩි කතා කියන්නාවූ මා වාගේ කීර්තියක් ඉසිලූ එකෙකුගේ  පශ්චාත් භාගයට පයින් ගසා බේබද්දෙක් කොඩිය උදුරා ගැනීමේ අවමානයෙන් ගැලවෙන එකය . මාසයක් උද්ගෝෂණ කරලා දිනාගත්තු අයිතිය දවස් දෙකක් ආරක්සා කරගන්න බැරිවීමේ ලැජ්ජාව එසේ මෙසේ එකක් නොවේය. කොඩිය මාගෙන් උදුරාගෙන ගිහින් කියන වග අහල පහල කොල්ලන් දැනගතහොත් ආයේ ජීවත් වෙලා පලක් නැතිය. අහල පහල එවුන් නම් කමක් නැතිය. ඥාති වරිගයා දැනගැනීම ඊටත් එහා ලැජ්ජාවක්ය.

තාත්තාගෙන් බේරෙන්නටත් අවමානයෙන් බේරෙන්නටත් වියයුතු දේ කොඩිය නැවත ස්ථාපිත කිරීම වන බැවින් ඒ සඳහා විවේක කාල දහයක් බඩගින්නේ ඉන්නට මට සිදුවන්නේ විකල්පයක් වශයෙනි. විවේකයේදී කෑමට ලැබෙන මුදල එකතු කර සහ යාන් හෑල්ලේ සුරංගයා පුංචි අම්මාගේ කඩයෙන්  සල්ලි ඇස්කොට් ගැසූ අකාරයෙන්ම අම්මා විසින් මාව කඩයට යවනා අවස්තාවන්හිදී ලබාගත් සුළු සුළු ලාභද එකතුකර අවසානයේදී හොරෙන් රෙදි කඩයකට රිංගන මා  රෙදි කැබලි දෙකක් මිලදී ගන්නේ සැලසුම් කල පරිදි අවමානයෙන් මිදීමේ ක්‍රියාන්විතය සඳහාය. එකල අප පාසල් ගියේ සවස් කාලයේ නිසාවෙන් උදය වරුවම මා ගෙදර තනියමය. අම්මගේ සිංගර් මැසිමද වැඩේට එවරෙඩී වාගේ ලෑස්තිය. දන්නා ශිල්ප සියල්ලම උපයෝගී කරගනිමින් සාර්ථකව කොඩිය මසා නිමකිරීමට මා සමත් වෙන්නේ අම්මා මැසුවාටත් වඩා අපූරුවටය. සති දෙකක් තිස්සේ දවසින්  දවස කල් ගිය යාලුවා කොඩිය ගෙනත් දෙන දිනය එළඹීමෙන් කොඩියේ සම්භන්ධ ලිපිගොනුව තාත්තා විසින් වසාදැමුනු නිසා  නිමාවට පත්වුවත් එයින් පසු කිසිම දවසක මම බිග් මැච් බලන්නට කොඩි නම් අරන් ගියේ නැත. 

කණමදයා කොඩිය මාගෙන් උදුරගන්නවා ඇසින් දුටු සාක්ෂිකරු වන එන්. සී. ඉන්දික නම් මාගේ මිත්‍රයා අද වනතුරු මේ සිද්දිය කා සමගවත් කීවේද නැත. 

පොස්ට් එක තවත් දිග වැඩි වුනත් තවත් බිග්මැච් සිද්දියක් ලියලාම දමන්න හිතුවේ  ඒක නොලියා  ඉතුරු කරගෙන අහවල් මගුලක් කරන්නද කියා හිතෙන නිසාවෙනි.

ඒ අපි දහතුන වසර කාලයේ නොහොත් 1996 වසරේ බිග් මැච් කාලයේ සිදුවූ සිද්දියකි. 

නුගේතුඩුවේ රංජිත් නොහොත් සුදුයකඩ වැඩ කරනා රංජිත් බිග් මැච් වෙනුවෙන් නිපදවූ පස්දෙනෙකුට ගමන් කරන්නට හැකි බයිසිකලය එම බිග්මැච් එකේ සුවිශේෂී ස්ථානයක් ගත් විශේෂාංගයක් උනේ කාගේවත් තල්ලුවකින් නොවේය. මාගේ අඹ යාලු බුද්ධිකයාගේ බයිසිකලයේත්, රංජිත්ගේ බයිසිකලයේත් ෆ්‍රේම් දෙක දිග අතට එකට තබා පෑස්සීමෙන් සහ තවත් යකඩ පෑස්සුම් වැඩ වලින් වැඩ දමා සෑදු බයිසිකලයේ පස්දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි වුනේය. රංජිත් බයිසිකලයේ සුක්කානම නොහොත් හැන්ඩ්ල් එක හැසිරවූ අතර බයිසිකලය පදින්නට පෙඩලයක් රියදුරාට තිබුනේ නැතිය. රංජිත්ගේ නිර්මාණය බිග්මැච් වෙනුවෙන්ම නිර්මාණය කෙරුණා එකක් නිසාවෙන් බයිසිකලයේ තිරිංග තද කිරීමේ පහසුකම තිබුනේ පසුපසම ආසනයේ ගමන්ගන්නා පුද්ගලයා හට පමණක්ය. එවකට අම්බලන්ගොඩ අලුත් බස්නැවතුම්පොල සදා නොතිබූ අතර මේ කියන්නාවූ දිග බයිසිකලය යූ ටර්න් එකක් ගැසීමට බස් නැවතුම්පොළ වටේ රවුමක් ගැසීමට තරම් දිගින් යුක්තය. බිග් මැච් දවස් දෙක පුරා ටවුමේ කරක් ගැසූ දිග බයිසිකලය දුටු ඕනෑම අයකු නැවතී බලන් ඉන්නේ මොකක්ද බොලේ මේ අරුම පුදුම බයිසිකලේ කියලාය. බයිසිකලයේ නිර්මාතෘ රංජියා කළු කෝට් බෑයකින් සැරසී සුක්කානම හසුරුවනවාය. මුණ පුරා දත් බෙහෙත් උලාගත් විසුළු පෙනුමක් ඇති එකෙක් පිටුප්පසම ආසනයේය. නානාප්‍රකාර වයිවාරන්න ඇඳුම් වලින් සැරසුණු තවත් තුන්දෙනෙක් මැද ආසන තුනේ වාඩිවෙලා බයිසිකලය පාගනවාය. 

දින දෙකක් පුරා ටවුම  සිසාරා වැඩ දැමු මේ අපූරු බයිසිකලයට ගොඩවීමට මට වාසනාවක් නැති වුයේ බිග්මැච් සොමිය ගැනීමට පන්ති සගයින් වෑන් රථයක් සූදානම් කරගෙන තිබුණු නිසාය. දින දෙකක් පුරාවටත් ඉරිදා සවස බිග් මැච් අවසන්වීමෙන් අනතුරුවත් ගාලු පාරේ පැයක් පමණත් ඇති වෙන්නට යකා නටන්නට ඉඩ ප්‍රස්තාව සලසා දෙන අම්බලන්ගොඩ පොලිසියේ ඉවසීම ඉරිදා සවස හය පමණ වනවිට අවසන්වෙන බැවින්, ඉන් අනතුරුව සියල්ලන්ම ගාලුපාරෙන් එලවාදමු පසු බිග්මැච් අවසන්ය. ඒත් එවකට ජනප්‍රියම පානය වූ බ්ලු ලේබල් ගඳ සරීරයෙන් පහව යනතුරු ගෙදර යනවා සුම්මාය. 

මේ කියනා වූ අපූරු බයිසිකලයට ගොඩවෙන්නට මට අවස්තාව ලැබෙන්නේ බිග්මැච් දවසට පසුව එන බෝනස් නිවාඩු දවස වන සඳුදා සවසය. එතෙක් දවසක් බයිසිකලයේ පයිලට් තනතුර දැරූ බයිසිකලයේ නිර්මාතෘ රංජිත් තමුන්ගේ සුදුයකඩ කර්මාන්තය සමග කාර්යබහුල වෙද්දී රංජියාට හොරෙන් බයිසිකලයේ රවුමක් යන්නට අපි පිටත් වෙන්නේ අපගේ හිතාදර මිතුරු බුද්ධිකයා රියදුරු වශයෙන් තාවකාලිකව අනුයුක්ත කරමිනි. බයිසිකලය නිර්මාණය කල පුද්ගලයා වශයෙන් රංජිත්, එහි ඇති අවදානම් සහගත තත්වය ගැන මනා අවබෝධයකින් බිග් මැච් දින දෙක පුරාම බයිසිකලය පැදවූ සාර්ථක රියදුරා වුවත් බුද්ධිකයාට එහි ඇති අවදානමක් දැනෙන්නෙ නැත.  බුද්ධික විසින් හැඩලය හසුරුවන අතර ඊට පසු ආසනයේ රන්ජියාය. මේ කියන රංජිත් සහ බයිසිකලයේ නිර්මාතෘ රංජිත් යනු දෙදෙනෙක්ය. මේ කියන්නාවූ රංජිත් නම් බෝඩිමේ විත්ති සහ ත්රිබල් ගේම් පොස්ට් එකේ RZ 125 මොටෝව පදිනා වූ මිත්‍රයායි.  ඊළඟට යටිලයාය.. ඊළඟට අජිත් පෙත්තාවඩුය, ඊළඟට මමය.. තුන්දෙනෙකුට බයිසිකලය පැදගෙන යන්නට පෙඩල් ඇති අතර ඉදිරිපස රියදුරා කරන්නේ හැඩලය හැරවීම පමණය. අවසානයේ සිටිනා මා හට පදින්නට පෙඩලයක් නොමැති අතර ඉදිරිපස එකා බ්රේක් ගහපියෝ කියා කෑ ගැසූ කල මට තිබෙන්නේ මාගේ කකුල් දෙක යටින් තිබෙන බ්රේක් පොල්ල දෑත බදා පුළුවන් වීරියෙන් උඩට ඇදීමය.

සාර්ථක ලෙස නගරයේ  අවට රවුම්  කිහිපයක් ගසා, වීදි සරණ ජනී ජනයා අමන්දානන්දයට පත්කළ අපි පොල්වත්ත පඥ්ඥාලෝක මාවත හෙවත් අපේ ගෙවල් පාරට පිවිසෙන්නේ අපගේ මිත්‍ර මංගලයාගේ ගෙවල් පැත්තේ යන්නටය. මෙම අරුම පුදුම බයිසිකලයේ වික්‍රමය දුටු සියලු දෙනා යන එන ගමන නවතා බලා සිටින්නේ දිගම දිග බයිසිකලයක නැගී මුන් පස්දෙනා මැරෙන්නට හදනවාද කියා හරියටම තහවුරු කරගන්නට වාගේය. බිග්මැච් දින දෙකේ ටවුම පැත්තේ හෝ පිට්ටනිය පැත්තේ ආ ගිය උදවියට දිග බයිසිකලය අරුමයක් නොවුනත් නිතර දකින්නට වන්නාවූ දර්ශනයක් නොවන බැවින් යන එන ගමන මදකට නතරකොට අපව නරඹනවාය. බුද්ධිකයා දෑතේ වාරුවෙන් සුක්කානම හසුරුවන අතර එංජින් අංශයේ උදවිය හෙවත් රන්ජියා, යටිලයා සහ පෙත්තා අම්මමෝ නැතුව පෙඩලය පාගනවාය. රියදුරු බුද්ධිකයා එදත් අදත් බ්රේක් හෙවත් තිරිංග සමග වැඩි ඇයි හොඳයියක් නැති නිසා මට තිබෙන්නේ පසුපසම ආසනයට වී ඔහේ බලා සිටින්නටය. බයිසිකලයේ පැවතී තවත් එක උපන් දෝෂයක් නම් තිරිංග ක්‍රියාත්මක කරන්නා වූ පසුපස ආසනයේ ඉන්නා එකාට හෙවත් මට අල්ලා ගන්නට හැඩලයක් නැති වීමය. බ්රේක් පොල්ලත් ෆ්‍රේම් එකේ යකඩ පොල්ලත් හැරුණකොට මට අල්ලාගන්නට වෙනත් කිසිම හවුහරණක් නොමැත.

පඥ්ඥාලෝක මාවතේ හෙවත් මාගේත් ගෙවල් පාරේ දෙතුන් වතාවක් එහාටත් මෙහාටත් දිග බයිසිකල් සෙල්ලම පෙන්වා මංගලයාගේ ගෙවල් පැත්තට යන්නට නැසීගිය අ.ම. කරුණාරත්න මහතාගේ  ගෙදර ඉස්සරහින් බයිසිකලය කලුවඩුමුල්ල දෙසට හරවාගත් රියදුරු බුද්ධිකයා එන්ජින් අංශයේ කම්කරුවන් සෙට් එකට ධාවනයට අණ දුන්නේ උපරිම එංජින් බලය යොදනා ලෙසටයි.

පැදපල්ලා ....

එන්ජින් අංශයේ එවුන් තුන්දෙනාට අවශ්‍ය වන්නේ ඒම විධානය පමණය. උපන්තේකට බයිසිකලය නිර්මාණය කළා වූ රංජිතයා නොපැදවූ වේගයකින් බයිසිකය දැන් කන්ද පහලට යනවා නොව විදිනවාය. මෙතෙක් තිබු සාමාන්‍ය ශබ්දය වෙනුවට ඇසෙන්නාවූ කට කට ශබ්දයක් ඇහෙන්නට වූ නිසා මම වැඩි සෞක්‍ය ආරක්ෂාව උදෙසා ෆ්‍රේම් එකේ යකඩ පොල්ල දෑත බාදා අල්ලාගත්තේ යන අපායකට අතපය හතර බේරාගෙන යා යුතු නිසාය.

රෝදේ ගියෝ.....බ්‍රේක් ගහපියෝ...................

බ්රේක් විධානය ඇසුණු වහා ක්‍රියාත්මක වූ මම බ්රේක් පොල්ල දෑත බදා හැකි වීරියෙන් ඉහලට අද්දද බයිසිකලයේ ඉස්සරහ රෝදය අපව දමා පැනලා යනු දැක්කා යන්තම් වාගේ මතකය. ගිය වේගයටම ඉස්සරහ පෝක් අත බිම ඇනුන නිසා  පසුපස ආසනයේ උන් අහිංසක මාවද අනික් උන් හතරදෙනාවද ඉහලටම ඔසවා තබමින් පාර දෙපස රැස්වී උන් සියලු දෙනාගේ ජය ගෝෂා මැද්දේ පාර මැද ලයිට් කනුව කෙලින් කරා වාගේ දිගබයිසිකලය කෙලින් වුයේ අසරණ අහිංසක අප ගැන තිබුණු කෙන්තියටම වාගේය. පළමුව බුද්ධිකයාත්, ඊළඟට යටිලයාත්, ඊළඟට රන්ජියාත් ඊළඟට පෙත්තාත් එක ගොඩේ එකා පිට එකා බයිසිකලයෙන් රූටා වැටෙද්දීත් අවසාන මොහොත දක්වාම බ්රේක් පොල්ලේ එල්ලී අහසේ උනත් බ්රේක් ගැසීමට උපරිම වීරිය යොදමින් උන් මම පෙත්තාගේ පිට මැද්දෑවට ලෑන්ඩ් වුනේ දිග බයිසිකල් ගමනේ අවසානය සනිටුහන් කරමිනි. ඊට තත්පරයකට පසු මහා බයිසිකල් රාජයා අප පස්දෙනාගේම ඇඟන් උඩට පතබෑවුනේ,  මෙච්චර වෙලාවක් මට දීපු වදේට තොපිට ඔහොම වෙලා මදියි කියන්නාක් වාගේය.



නිරීක්ෂණ..

බයිසිකලයේ ඉස්සරහ රෝදය මීටර් පනහක් විතර ඉදිරියට තනියම ගිහින් වැටක් අයිනේ පාර්ක් කරලාය.. රන්ජියා බළල් නැකතේ ඉපදිච්ච එකෙකු හේතුවෙන් කොයි විලාසයට උඩ විසික්වුනද කකුල් පහලට වැටෙනා ජාතියේ එකෙකු බැවින් එළියෙන් පේන තුවාලයක් නැත. ඇතුලෙන් තුවාල තුබුණත් රන්ජියාගේ තුවාල දවසින් දෙකෙන් හොඳ වෙනවාය.. යටිලයාගේ කෙට්ටු සරීරය බයිසිකල් ෆ්‍රේම් එකෙන් වෙන්කර හඳුනාගන්නට ගමේ එවුන්ට ටික වෙලාවක් ගතවුණු බැවින් බයිසිකල් ෆ්‍රේම් එකෙන් බේරා යටිලයා එළිය ගත වහා  උඩින් මත්තෙන් බැලූ කල තුවාල නොමැත.. සුළු සීරීම් ඇතත් එව්වා සැලකිය නොයුතු මනාය.. රන්ජියාට ටිකක් විතර අමාරු යටිලයාගේ කටු සරීරය ඇඟේ ඇනිලා වෙන්නට ඕනෑය.. කවදත් ජැන්ඩි පහට ඇඳලා කරලා නළු පෙනුමෙන් එන පෙත්තා වරසල් වී ඇත්තේ බයිසිකලයේ හැමිනෙමින් පහලට වැටුන නිසාය.. තුවාල නොමැත.. හතර දෙනෙකුගේ ඇඟ උඩට වැටුනා වූ මට දැනුනේ මෙට්ටයක් උඩට වැටුනා වූ බැවින් බයිසිකල් රාජයා පිට මැද්දෑවට සැපත්වූ අමාරුව අරුනකොට වෙනත් අමාරුවක් නැත..

රියදුරු තැන හැමවිටම වැඩි වශයෙන් අනතුරට ලක්වීමේ අවදානම සාක්ෂාත් කරමින් රියදුරාට පොලිසියෙන් ගහලා වාගේය. අනපේක්ෂිතව හතරදෙනෙකු පිට මැද්දෑවට ලෑන්ඩ් කල අමාරුවට නම් තෙල් බෙහෙත් ටිකකින් සුව කරගන්නට පුලුවනිය. කටක් ඇරලා කාටවත් කියන්නට බැරිවූ සිද්දිය  නම් අපේ රියදුරාගේ පිරිමිකම අන්දුරගන්නා ගැජට් එකට සහ ඊට අදාළ අංගෝපාංග සෙට් එක වැලේ වැල් නැතිවෙන්නම තුවාල වීමය. සතියක් දෙකක් ගොඩ වෙදකමෙන් තුවාල ටික සනීප කරගත්තු නිසා ඉසිපිරිතාලවල ඉන්න අසරණ නර්ස් නෝනලා නම් බයකරන්න උනේ නැති . අපේ රියදුරාට දැන් දරු දෙන්නෙක් ඉන්න නිසා තුවාල වෙච්චි ගැජට් සියල්ලම අවුලක් නැතුව වැඩ කරනවා කියලත් සහතික කරලම කියන්න පුළුවනි. 

දිග බයිසිකලයේ පස්චාත් මරණ පරීක්ෂණය මෙසේය.. 

නුපුහුණු ගොන් මෝල් රියදුරාගේ දක්ෂකමට වේගය සහ බර යන දෙකම සමපාත කරගනිමින් දරාගත නොහැකි වූ බයිසිකල් රාජයාගේ ඉස්සරහ පෝක් අතේ උඩ පැත්තේ යකඩ දත් දෙකම කැඩී වෙන්වී ගිය වහා ඉස්සරහ රෝදය අපව දමා පැනල ගිහින් තෙබෙන්නේය.. අපව දමා පැනල ගියා පැට්‍රෝල් ටික ටැංකියේ කියා නැසීගිය ගායක ඇන්ටන් ජෝන්ස් කියන්නට ඇත්තේ මෙවන් සිද්දියක් නිසා වන්නට අත. රෝදය ගියාට අපි උන්නේ වේගවත් ගමනක නිසා මැද රෝදයට බැලන්ස් වූ බයිසිකලයේ ඉස්සර පැත්ත බිම ඇනුන අල්ලපනල්ලේ තිරිංග නොහොත් බ්‍රේක් පහසුකම සපයා ඇති රෝදය හෙවත් අහිංසක මා වාඩිවී ඉන්නා ආසනය යට රෝදය පොළොවෙන් උඩට එසවෙන්නේ තරාදියක් වාගේය. එතනින් එහා බ්රේක් අල්ලන් උන්නාට බ්රේක් හඳේය..ඉන් තත්පර දසමයකට පසුව තාර පාරේ  ඇනී නවතින ඉස්සරහ පෝක් එක අපගේ වේගවත් ගමන ලයිට් ගියාසේ නවත්වා දමනවාය. එතනින් එහා වෙන දේ වටහාගන්නට සාමාන්‍යපෙළ විද්‍යාවේ බලය පාඩම ඉගෙනගන්නටවත් නිවුටන්ගේ නියමයන්වල චාලක ශක්තිය ගැන ඉගෙනගන්නටවත් උවමනාවක් නොමැති යයි මා සිතනවාය. 

දෙයියනේ කියලා බත් ඩිංගක් කන්නට පස්දෙනාගේම දත් සැට් එක ආරක්ෂා කර දුන්නාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට පින්සිද්ද වෙනවාය.


79 comments:

  1. නියමයි මැවිලා පේනවා අහසෙන් පියබලා ගිහින් දණ්ඩනමස්කාරය කරපු හැටි..

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. සුපර් මෑන්ස් ට කලින් අහසින් ගියේ අපි පස්දෙනා තමයි.. හැක්..

      Delete
  2. රියදුරාගේ ගැජට් සේරම වැඩ කරන එක ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. හපොයි බයිසිකල් වගේද ඒක වැඩ නොකර ගියානම්.. දෙයියෝ අපිව බේරුවා..

      Delete
  3. හොඳ වෙලාවට මේක ගෙදර ඉඳං බැලුවෙ... හි හි

    ReplyDelete
    Replies
    1. කන බොන දේවල් ඉස්පොල්ලේ හෙවත් පිට උගුරේ නොගියානම් ඒ මදැයි ඉතින්..

      Delete
  4. ඉල ඇදුන බන් පාන්දර.. උඹල අරන් තියන ආතල් දිහා බැලුවාම අපි කරලා තියෙන්නේ මොනාද කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ගත්තු ආතල් වලින් ලියන්න පුළුවන් එව්වා තියෙන්නේ භාගයකටත් අඩු ප්‍රමාණයක් බන්.. අනික්වා වැඩිහරියක් ප්‍රසිද්දියේ ලියන්න බැරි එව්ව..

      Delete
  5. බිග්මැච් යනවානං මචං ඔය වගේ වැඩක් වෙලා තිබිය යුතුමය..... බයිසිකල් පදිනවානං ඉතින් ඔය වගේ වැඩක් වෙලා තිබිය යුතුමය........ උඹට ඒ දෙකම වෙලා...

    ReplyDelete
    Replies
    1. එකෙම්ම වෙන්නෙ කොහොමද මෙතන දෙකෙම්ම නෙ.

      Delete
    2. බිග්මැච් ඒ කාලේ තරම් මේ කාලේ නැගල යන්නේ නැහැ වගේ බන්. ඒ කාලේ ජීවිත හරිම සරලයි. අද වෙද්දී බිග් මැච් එක බලන්න නොයන තරමට ළමයි, ආදිශිෂ්‍ය උදවිය කාර්යබහුල වෙලා. අපි කොයිතරම් හොඳද කියනවනම් බිග් මැච් ගිහින් එක වතාවක් සතියක්ම ඉස්කෝලෙත් තහනම් උනා කට්ටියකගේ... බයිසිකල් පලා වෙච්චි දේවල්නම් එමටයි.. අපේ ඔය කියන රියදුරා එක්ක බයිසිකලේක නැග්ග කියන්නේ බහිද්දී පස්ස පැත්තේ පාළුවක් අහිමිවී තිබීමේ සම්භාවිතාව හරිම වැඩියි.

      Delete
    3. මෙන්න මේකත් ඒ ජාතියේම වැඩක්. මේකේ මම ඇර අනිත් දෙන්නා ධර්මාශෝකේ ගිය පොරවල් දෙකක්

      ගුවන් කරනම්

      Delete
  6. බිග් මැච් වල ගත්ත ෆන් ගැන කුමන කතාද.මැච් එකට සති දෙක තුනකට කලින් පටන් ගන්නා වාහන සෙල්ලම උබට මටකඩ?කැන්ටරයක් කුලියට ගෙන පොලවල් ගානේ සල්ලි හිගාකමින් ඒ සල්ලි වලින් ආතල් ගනිමින් ගෙවුන ඒ අතීතය අයෙනම් මලට එන්නෙ නෑ බන්.බුද්දිකයගේ බයිසිකල් දැනුම මට හොදට මතකයි.ඕකා පෝරඹ කන්ද බහිනකොට ඉස්සරහ රෝදයේ හුලන් බලපු එකා නෙව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් සල්ලි එකතු කරන්න ගිහින් එක පාරක් ඉස්කෝලෙත් තහනම් උනා මතකද..

      Delete
  7. හිනාවෙලා පන නෑ යකෝ. හැක්..
    බයිසිකල් වලින්නං ඕන තරං වැටිල තියෙනව. ඒත් බරපතල දෙයක්නං වෙලා නෑ. උඹල ඔය තත්තෙං බේරිච්ච එක ලොකු දෙයක්.

    බිග් නං නැති උනත් තිබිච්ච මැච් වලදි අපි කලේ ලැබ් එකේ සන්සෙඩ් එක උඩට වෙලා පිට්ටනිය මැද්දට අහස් කූරු යැවුව එක තමයි.

    ReplyDelete
    Replies
    1. අපිත් ඇතිවෙන්න බයිසිකල් වලින් වැටිල තියෙනව බන්.. ඒත් මේ වෙච්චි දේ හැටියට මෙයින් බේරුනා හොඳටෝම ඇති.. විශේෂයෙන්ම අපේ මේ කියන රියදුරු තැන එක්ක බයිසිකලේක නැග්ග කියන්නේ නම් අතක පයක තුවාලයක් ශුවර්ම තමයි..

      උඹල ඔය කරයි කියන හපන්කම නම් ඉල කැඩෙන්න ගිටිකන සීන් එකක්නේ බන්.. මැච් ගහපු එවුන් ඉන්න ඇත්තේ බොලේ සිහියෙන් නෙවෙයි අහස් කූරු සිහියෙන්..

      Delete
  8. දෙවෙනි කතාව මරු බං. මතක් වෙන මතක් වෙන පාරට හිනා යනව. උඹෙ සුපුරුදු ශෛලියෙ උපරිම දක්ෂතාවය ඔප්පු කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්.. උඹේ ඉල්ලීම නිසාම තමයි නැවතත් මේ ශෛලියට මාරුවෙලා ලිව්වේ..

      Delete
  9. යකෝ ඔය කාලේදී කොඩියක් මැහුවා කියන්නේ දැන් ටේලර් සාප්පු හත අටක්ම දාගන්න පුළුවන් වෙන්න් එපැයි . අර බයිසිකල් ෆ්‍රේම් ඇඟ තියෙන එකා යාහතින් ඇතැයි සිතමි

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ මුංගෙ අම්මට ඒ මැසිමෙං වෙන කිසිම දෙයක් මහන්න හම්බ උනේ නෑයි කියල තමයි ලෝකයනං කියන්නෙ. හැක්..

      Delete
    2. ලෝකය කිව්වෙ විදානෙද?

      Delete
    3. ඉවාන්.. ඔය කියන කොඩිය මැහුවේ තනිකරම කීර්තිනාමය වෙනුවෙන්.. ඒ හින්ද ඒ කොඩිය මහන්න කලින් ඒ කැපිච්ච රෙදි වලින් පොඩි ටෙස්ට් රන් එකක් දාල බලලයි ෆයිනල් ෂූට් එකට ගියේ.. මම ඒ කාලේ ඉඳන්ම ටෙක්නිකල් වැඩ වලට සහජන්ම දක්ෂයි. ඒ නිසා ඒක මට ඒ තරම් ලොකු අභියෝගයක් උනේ නැහැ.

      Delete
    4. අඩේ ප්‍රසන්න උඹ හිතන් ඉන්න තරම් දෙයක් මම මැසිමට කරේ නැහැ බන්.. ඔය කියන සිංගර් මැසිම 1982 දි වගේ අපේ අම්මට ලැබුනේ නිකමට බේරෙන්න බැරිකමට වගේ ගත්තු සමූපකාර ලොතරැයියකින්. ඊයේ පෙරේදාවක් වෙනකම් වැඩක් ගන්නේ නැතුව තිබ්බ මැසිම අම්ම කාටදෝ නිකම් දීල දාල තිබ්බ. ඔය කාලේ තිබ්බ මහන මසින් ගැන ඉතින් අපේ අටමා වැඩි යමක් දන්නවා ඇති. මමනම් දන්නේ ශටල් කොක් එකේ නූල් ටික ඔතල දාගන්නයි උඩ නූල දාල මහන්නයි විතරයි. ඔය කියන මැසිමෙන් ඔය අවුරුදු විසිපහටම සිය වාරයක් මහල නැතුව ඇති.

      දැන් drakee කියන්නේ විදානය ලෝකයා කියලද.. අනේ මන්දා.. අපිනම් ඔව්ව නොදනී..

      Delete
    5. //දැන් drakee කියන්නේ විදානය ලෝකයා කියලද..//
      ඩ්‍රැකී නෙමෙයි ල‍ෝකයම තමයි කියන්නෙ. හැක්..

      http://drackey.blogspot.com/2016/03/blog-post.html?showComment=1456837207873#c4975384933967014487

      Delete
    6. ලෝකය කියන්නෙ ඌ විදානෙ කියල...!

      Delete
    7. තැන්කු ප්‍රසන්න ලින්ක් එකට

      මට තාම විඥ්ඥානය මෝරලා මදියි උඹලගේ මේ හරුප තේරුම්ගන්න drakiyo

      Delete
  10. හි හි ... හිනා වෙලාම බඩ රිදෙනවා. පිස්සු හැදෙයි නේ.... අර කොඩි මහපු එක නම් මරු. ඔයාගේ තාත්ත තමයි නියම! නීතිය නම් නීතිය !! හෙහ් හෙහ්... බයිසිකලේ නම් නියම වැඩේ. ඉතින් ඊටපස්සේ බයිසිකලේ යටිගම්පිටි ගියාද? අයිතිකාරයා මොකද කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට අපේ තාත්ත ඔයා හිතන තරම් නීති කාරයෙක් නෙවෙයි අනේ.. ඒත් එක පාරින් දෙයක් ඉල්ලලා ගන්න හරි අමාරුයි.. ටික දවසක් රිවස් එකේ ඉඳල බැරිම තැන තමයි අවසරය ලැබෙන්නේ..
      බයිසිකලේ හැදුවේ දෙන්නෙකුගේ බයිසිකල් ගලවල අරගෙන ෆ්‍රේම් දෙක එකට තියල පාස්සලයි. ඒ හින්ද කොහොමත් බයිසිකල් දෙක වෙන වෙනම හදාගන්න පසුව වෑල්ඩින් කපන්න තමයි සැපසුම වුනේ..ඒත් අනපේක්ෂිත අනතුරෙන් බයිසිකලේ ඉස්සරහ පෝක් එක අලුතෙන් දාන්න සිද්දවුනා. එයින් පස්සේ දිග බයිසිකලේ දෙකට කපලා ආයෙත් බයිසිකල් දෙකක් කළා වගේ මතකයි.ඇත්තම කියනවනම් ඔය බයිසිකලේට මොකද කරේ කියන එක ගැන හරි මතකයක් නැහැ.. ඒ බයිසිකල් දෙක හදන්න එක ෆ්‍රේම් එකක් දීපු එකා තමයි බයිසිකලේ පදවපු රියදුරා.. ඉතින් ඌට ඒ බයිසිකලේ ගැන 50% ක් අයිතිය තියෙන නිසා අනෙක් 50% අයිතිකාරයා මොනවා කිව්වාම අපිට මොකෝ..අපි සැලෙයි එව්වට..

      Delete
  11. මේක බලල මන් තනියෙන් හිකි හිකි ගාන කොට ඔපීසියේ වටේ ඉන්න එව්න් මගේ දිහා පිස්සෙක් දිහා බලනවා වගේ අප්පා බලන්නේ...මරු අනේ මේක
    අපොයි අර අපේ ඉස්කෝලේ දෙපැත්තේ තියන ආනන්ද නාලන්ද කියන කොලු ඉස්කෝල දෙක බිග් මැච් කාලෙට අසරණ අපේ කන් වලට නිදහසක් දෙන්නෙම නෑ නේ...

    ReplyDelete
    Replies
    1. සිදුවූ අපහසුතාවයට මාගේ බලවත් කනගාටුව.. බිග්මැච් එකේ ෆන් එක ගන්න නම් මිශ්‍ර පාසලකට යන්නම ඕන ගිම්මි.. එව්වට ඉතින් වාසනාව තියෙන්න ඕන..

      Delete
    2. ඔයාට කියන්න අනේ මට ඔය වාසනාව තිබිලම නෑ නේ.ශිෂත්වේ කරනකන් ගියෙත් බාලිකාවකට.6 ඉදන් ගියෙත් එහෙම එකකටමනේ අයිෂු...බිග් මැච් ෆන් නෑ අලෙ ඉතින් දුක තමා.

      Delete
    3. බාලිකාවියන්.. තක්සලා දොරෙන්.. ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්.. හැක්.. අපි යෝජනාවලියක් හදල පාර්ලිමේන්තුවට දාමු බාලිකාවියන්ටත් බිග් මැච් ගහන්න ක්‍රමවේදයක් හදන්න කියල.. එතකොට අනාගත බාලිකාවියන්ට පුළුවන් ට්‍රක් වල නැගල බීලා කරලා එහෙම විනෝද වෙන්න.. බාලිකාවියන් බිග් මැච් ගහන දවසට නගරය පුරා ඇඳිරි නීතිය දානවා .බීලා නැති වෙලාවටත් බීල වගේ වාහන එලවන බාලිකාවියන්, බිග් මැච් එකකට දෙකක් දාගෙන වාහනේක නැග්ගොත් වීදි සරණ ජනී ජනයාගේ සෞක්යට ඒ තරම් යහපත් නැහැ. ඒ හින්ද තමා තාමත් බාලිකාවියන්ට තාම බිග් මැච් වරම් ලැබුනේ නැත්තෙ..

      Delete
  12. හහ් හා... අම්බලං ආතල් කන් දෙකෙන් බේරෙනවා.. කොච්චර රසක් ගත්තත් ඒක දැනෙන්න ලියන්නත් හැමෝටම බෑ බං.. මේ බිග් මැච් කාලෙ අල්ලලා යන පෝස්ට් එක.කොඩි හොරු නම් ඉතින් ඕසෙට... බිග් මැච් කාලෙට ලොකුවටම කට්ට කන්නෙ මම හිතන්නෙ පොලොස් මාමලා.. උන්ට හූ කියන තරමක් හප්පේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බෝ... මගේ කොඩිය ගත්තු එකා අහුවුනොත් දනියි මම ඌට කරන දේ.. දැන් මටත් 40 ට ඔන්න මෙන්න එකේ කොඩිය ගත්තු එකා ඇත්තේ වල පයයි ගොඩ පයයි..

      බිග් මැච් කාලෙට තමා පොලිස් මාමිලගේ ඉවසීම උරගා බලන්නේ.. හැක්.. ඒත් අන්තිම දවසේ කළුවර වැටෙද්දී වේවැල් පාරක්, ඇල්බීසියා පොලු පාරක් දෙකක් වදිනවා කොල්ලන්ට හිටපු ගමන්..

      Delete
  13. අම්මෝ බං මාරකයක්නේ පැනල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් මාරකයක් තමයි බන්.. බයිසිකලේ කෙලින් වෙච්චි පාර මගේ ඔලුවට පොඩ්ඩක් උඩින් තමයි පාරෙ ලයිට් කණුවේ ලයිට් එක මිස් උනේ. ඉස්සරහින් වාහනයක් ආවනම් අපි අද වෙද්දී වලපල්ලේ..

      Delete
  14. man danna widihata kularathneta lamai ganna thamai 1-5 nawaththuwe

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි.. කුලරත්නෙට ඉස්සෙල්ලම ළමයි ගත්තේ 1986 දි. ධර්මාශෝකෙ හෝඩියට ළමයි ගන්න එක නවත්තල තියෙන්නේ 1981 වගේ ඉඳන්. වෙන මොකක් හරි හේතුවක් වෙන්න ඇති නේද..

      Delete
  15. අපිත් cycle parade ගිහිල්ලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දොස්තර මහත්තයා මේ පැත්තේ ආවට.. ඒ කියන්නේ දොස්තර මහත්තයලත් ඒ කාලේ බිග්මැච් එකට විනෝද වෙලා තියෙන හැඩයි..

      Delete
  16. මේ හදිසියේ ගොඩ වෙලා යන්න ආවේ.බාගයයි කියෙව්වේ.
    ඉතිරි ටිකත් කියවලම කොමන්ටුවක් කොටන්නම්

    ReplyDelete
    Replies
    1. භාගෙට කියවලා දාපු කමෙන්ට් එකට භාගයක් ස්තුතියි ඔන්න.. ඉතුරු භාග ස්තුතිය ඉතුරු කොමෙන්ට් භාගෙ දැම්මාම දෙන්නම් මනෝ..

      Delete
    2. හරි දැං ෆුල් රිප්ලයි දාපං

      Delete
    3. ඔන්න එහෙමනම් ඉතුරු භාගේත් ස්තුතියි මනෝ..

      Delete
  17. හැක හැක. ආතල් බේරෙනව දොරේ. ආයෙ කියල වැඩක් නෑ. මාවත් ඔය පුස් බයිසිකලෙන් යනකොට පොලවෙ ගහල තියෙයි කීප සැරයක්ම. දවසක් මටත් වඩා උස කානුවකටත් ගියානෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් ..ඒ කාලේ ඉතින් මාසෙකට දෙකකට සැරයක් තුවාලයක් නොවුනොත් නිකම් කෑවෙ නැහැ වගේ ..

      Delete
  18. මෙව්වා මේ විදිහට මෙව්වා වෙන්නේ නැත්නං ඔව්වා බිග් මැච් නොවන්නේය.

    1960 ගණන්වල අපි, කෑගල්ල ටවුම පුරා, විකාර ඇඳගෙන, බර කරත්තයකින් සංචාරය කලේ, රු 5 ක කරත්ත කුලිය, ඉතා අමාරුවෙන් හොයාගෙන.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කාලයට සාපේක්ෂව තිබ්බ වාහන වලින් පුළු පුළුවන් විදිහට කට්ටිය විනෝද වෙලා තියෙනව එහෙනම්. මොන තරම් වදයක් දෙන්න ඇතිද ඒ අසරණ ගොන්නුන්ට.. මොකෝ කෑගල්ල ටවුම කියන්නේ සමතලා භූමියක් නෙවෙයිනේ.. දැන් කාලේ වගේ ටයර් වලින් සද්දෙ එන්න පිකප් කරලා යන්න විදියක් තියෙන්න නැතුව ඇති නේද ඒ කාලේ.. දැන් කාලේ වගේම ඒ කාලෙත් වාහන කුලිය ගෙවන්න හොයද්දි හැට් කලෙක්ෂන් එකතු කරපු එකා පැදුරටත් නොකියා අතුරුදහන් වෙන seen එහෙමත් තිබ්බද විචාරක තුමා..

      Delete
  19. මතක් වෙන්නෙම ඒ කාලේ තමයි.මාත් බිග් මැච් එකක ඉස්සල්ලම අරක්කු බිවුවේ බ්ලූ ලේබල්.ඛෙත්තාරාමේ අස්සක තියන බාර් එකක. අතේ තියන විදිහට එපැයි බොන්න.හැබැයි දැන්නම් බ්ලූ ලේබල් නැද්ද කොහේද.දැක්කේ නෑ කාලෙකින්.
    අපේ කාලේ බයිසිකල් තිබ්බේ නෑ.තිබුනේ ට්‍රක් යන එක තමයි.

    උඹ බඩ කට්වෙන විදිහට ලියලා තියනවා.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. 1996 වෙද්දීත් ලාභම ජනප්‍රියම බ්‍රෑන්ඩ් එක බ්ලු ලේබල්.. හැබැයි පුතේ හොරෙන් බීල ගෙදර යනවානම් බොරු.. පට්ට ගඳයි.. අපිට ඉතින් බාර් වලට රිංගලා බොන්න විදිහක් තිබුනේ නැහැ බන්. එහෙම බිව්වා කියන්නේ පහුවදා වෙද්දී ඉස්කොලෙටත් ගෙවල් වලටත් ආරංචිය යනවා කියන එකයි.. ඒ හින්ද ඉතින් වාහනේම තියාගෙන තමයි පානය කරන්නේ.. තැන්කු මේ පැත්තේ ආවට..

      Delete
  20. දිග බයිසිකලේ කතාව ඉල ඇදෙන්න කොටලා තියෙනවා සහෝ... ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයාත්..

      Delete
  21. නියම කථාව
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්..

      Delete
  22. මම ඔය කාලෙ O/L කරනවා අය්යලාව දන්නෙ නැති උනාට bike එක මතකයි හොඳට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රංගන..දිග බයිසිකලේ ඇසින් දුටු සාක්ෂි කාරයෙක් විදිහට ඔයා කමෙන්ට් එක දාපු එක ගැන හුඟක් සන්තෝසයි..

      Delete
  23. ලස්සනම ලස්සන ළමා කාලෙ ලස්සනමද මන්දා. නමුත් ලස්සනටම ලියලා. අතීත මතක වලට රිංගන්න තරමටම = ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසමාලි.. ඒ ළමාකාලය ආයේ එන්නේ නැතිවුනාට ඒ ළමයි අපි ඇතුලේ තාම ජීවමානයි..

      Delete
  24. ඔයින් ගියා මදෑ .... ඒ කොඩිය සීන් එක මරැ මට මැවිලා පෙනුනා හොටු කොල්ලෙක් මොරෙක් පසු පස පින්සේන්දු වෙනවා හැක්....

    යකඩෝ ලොවිනා පොතෙත් පුන්නා ලිද ලග වැටිලා දත් දෙකක් ඉතිරි වෙන්න ඔක්කම දත් කැඩෙනවා පුදුමයි බොලාලගේ දත් සැට් බේරැන එක

    ReplyDelete
    Replies
    1. හොටු කොල්ලෙක් නේන්නම්...ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියල කියන්නේ ඒකට තමයි.. අඟල් දෙකක් උස නැති හොටු කොල්ලෙක් අඩි පහක් උස කොඩියක් අරන් යද්දී උදුරානොගෙන ඉඳීවිද බන්..

      අපේ සෙට් එකේ දත් ඇවිල්ල තියෙන්නේ පුදුම තරම් බලගතු නැකතක.. බයිසිකල් වලින් වැටුණු වටිලි වලටයි වලි වලට ගිහින් කාපු ගුටි වලටයි අනුව දත් මෙහෙම බේරිලා තියෙනව කියන්නේ අපේ දත් පනටත් වඩා හයියයි කියන එකයි.

      Delete
  25. එළ කතාව.බලාගෙන හිටියේ මෙි පෝස්ටුව එනකං. ලබන සතියෙ බිග් මැචි එක.තව පස්ට කතාවක් ඹින ඉක්මනටම.අයියත් දේවානන්දෙ කොල්ලෙක් එහෙනමි.ජයවෙිවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මම එක වසරේ ඉඳන් පහ වසරට වෙනකම් ඉගෙනගත්තේ දේවානන්දේ තමයි.. ඔයාගේ ඉල්ලීම හින්දම තමයි මේ පොස්ට් එක ලිව්වෙ. එහෙනම් ඔන්න බිග්මැච් එක සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කිව්වා.. මටනම් ඉස්කෝලේ දෙකෙන් කොයික දින්නත් අපි දිනුම්.. ජයවේවා..

      Delete
  26. http://www.lankadeepa.lk/index.php/articles/391552

    අපේ අම්බලන්ගොඩයට වෙච්ච දෙයක් දෙය්යනේ

    බීමතින් මහ රෑ සිය නිවසට යාමට යයි කියමින් පාර මැදට පැන වැනි වැනි පාරේ යන එන වාහනවලට අත දමමින් සිටි තරුණයෙකුට විඳින්නට සිදුවූ අපූරු දඬුවමක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.

    හේ කන පැලෙන්න බීවේය. අඩ අඳුරේ පටන්ගත් බීම මධ්‍යම රාත්‍රිය දක්වාද පැවතියේ ඔහු බීමට තිබූ කෑදරකම නිසාමය. හොඳටම රෑ බෝවී තිබිණ. හොඳටම වෙරිමතින් සිටි ඔහුට ගෙදර ගැන සිහිවූයේ මේ අතරවාරයේය. බිබී සිටි තැනින් නැගිට ගත් හේ සිය නිවසට යාමට පාරට පැමිණියේය. ඒ වන විට මගී ප්‍රවාහන සේවා බස්රථද දවසේ ගමන්වාර නිමාකොට තිබිණ.

    මේ නිසාම හේ පාර මැද වැනි වැනී තමන් යාමට අපේක්ෂා කළ අන්තයට ගමන් ගත් රථවාහනවලට අත දැම්මේය. ඒ කිසිම වාහනයක් ඔහු ඉදිරියේ නොනැවතුනේ මේ බේබදු තරුණයා රැගෙන යාමෙන් තමන්ට කරදරයක් වේ යැයි එම රථවල රියදුරන් සිතූ නිසා වන්නට ඇත. මේ අල්ලපනල්ලේ ඔහු යාමට සිටි අන්තයට යන ත්‍රීරෝද රථයක් පැමිණියේය. පාර මැද වැනි වැනී සිටි ඔහු පුරුද්දට මෙන් මේ ත්‍රිරෝද රථයටද අත දැම්මේය. මෙතෙක් වේලාවක් තමන්ගේ අත වැනීමට කිසිදු වාහනයක් නතර නොකළද මේ ත්‍රිරෝද රථය පමණක් ඔහුගේ සංඥාවට නැවැත්තුවේය.

    නැවැත්වූ ඒ ත්‍රිරෝද රථයේ සිටියේ තරුණ පිරිසකි. බීමතින් සිටි ඔහු “අනේ මචංලා මමත් ඉස්සරහට දාගෙන පලයල්ලා” යයි ඉල්ලුවේය. එහි සිටි තරුණයින් එවිට ““හරි හරි යමං මචං ඔබ අපි ඉස්සරහට නෙමෙයි හොඳම තැනට ගෙනියන්නම් නැගපං නැගපං” කියා කීවේය. වෙරිමරගාතේ ත්‍රිරෝදයට නැග ඔහු එහි සිටි තරුණයින්ගේ ඇඟ මතට කඩා වැටුණේය. “මචං මම අද කන පැලෙන්න බීව්වා. මේ කාලේ බොන්නෙ නැති බීම කවදද බොන්නේ නේද මචං” කීවේය. “ඔව්...ඔව් මචං මේ කාලෙ තමයි හොඳට බොන්න ඕන. බීල විතරක් මදි හොඳ බයිට් එකකුත් ගන්න ඕන. අපි මචං උඹට අපේ ගානේ බයිට් එක දෙන්නම්” යයි තරුණයෝ කීහ. “අන්න මිනිස්සු, අන්න යහළුවෝ නේද මචං” යයි ඔහු කීවේය. “අපි එහෙම තමයි සුදුසු අයට සුදුසු දේ දෙන මිනිස්සුනේ” යයි තරුණයෝ පෙරලා කීහ.

    ඔහු ත්‍රිරෝද රථය නතර කරන තැන කීව ද ත්‍රිරෝද රථය එය නතර නොකෙරුණු නිසා ඔහු ඒ ගැන තරුණයින්ගෙන් විමසීය.

    “ඇයි මචං උඹට අමතකද අපි කිව්වනේ අපේ ගානේ හොඳ බයිට් එකක් අරන් දෙනවා කියලා. ඒක අරන් දෙන්නයි යන්නේ”
    “හා... ඒකත් එහෙමද? උඹලා නම් යහළුවෝ නෙමෙයි දෙවියෝ. අන්න මිනිස්සු, අන්න යහළුවෝ” යයි කියමින් දොඩව දොඩවා පැමිණියේය. තමන් පැමිණි ත්‍රිරෝද රථය අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට හැරවෙනු දුටු ඔහු ඒ ගැන විමසීය.

    “කොහේද මචං මේ පොලිසියට යන්නේ” යැයි ඇසීය. “අපි අර දෙනවයි කිව්ව බයිට් එක දෙන්නනේ එක්ක යන්නේ” තරුණයින් කීවේය. වැඬේ වැරදුණු බව දැනගත් ඔහුගේ වෙරි හිඳී ගියේය. තමන් මේ පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරින් සමග බව ඔහුට ඒත්තු ගියේය. කරන්නට කියන්නට කිසිවක් නැති ඔහුට එදා රාත්‍රියේම පොලිස් කූඩුවේ ළඟින්නට සිදුවූයේය. ඔහු අත දමා ඇත්තේ ත්‍රිරෝද රථයකින් සිවිල් ඇඳුමෙන් වැටලීමකට ගොස් එන නිලධාරින් පිරිසකට ය.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්.. මම අම්බලන්ගොඩයා නම් ඉන්නේ ලංකාවේ නෙවෙයි නිසා ඕක උනේ මටනම් නෙවෙයි.. ස්තුතියි ඇනෝ මේ පැත්තේ ආවට..

      Delete
  27. මටත් ඔය වගේ අත්දැකීමක් තියෙන නිසා හොඳටම දැනුණා. ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලෙකට තුවාලයක් කර නොගත්තොත් අපේ ලොකු දෙන්නා පුදුම වෙනවා. අබේකෝන් දොස්තර මහත්තයා නොවෙන්න මම දැන් වෙන ලෝකෙක. බයිසිකලේක පස් දෙනෙක් යනවනම් රෝද පහක් වත් තියෙන්න ඕනේ. මම හිතෙන මවා ගත්ත එකට අනුව.

    ReplyDelete
    Replies
    1. නිවාඩු කාලෙට තුවාලයක් නැතිවුනා කියන්නේ නිවාඩුව ලැබුනේ නෑ නෑ වගේ නේද.. අපේ රංජිත් හදපු බයිසිකලේ රෝද තුනයි.. ඒ රෝද තුන එක පේලියට හෙවත් in line ක්‍රමයට තමයි තිබ්බේ. ඒ තිබ්බ විදිහේ විශේෂත්වය නිසා තමයි ඉස්සරහ රෝදේ ගැලවිලා ගිහිල්ලත් ඉතුරු රෝද දෙකෙන් බයිසිකලේ මීටර් දෙක තුනක් ඉස්සරහට යන්නේ. මැද තිබ්බ රෝදයට පිටිපස්සෙන් ඉන්න දෙන්නාගේ බරට වඩා මැද රෝදයෙන් ඉස්සරහ ඉන්න දෙන්නාගේ බර වැඩිවීම නිසා තමයි බයිසිකලේ හෙමින් සීරුවේ පහත්වෙලා පෝක් එක බිම ඇනෙන්නේ.. හරියටම මැද රෝදය උඩ වාඩි වෙලා ඉන්න කෙනාගේ බර මේ ඇක්සිඩන්ට් එකේදී අදාළ වෙන්නේ නැහැ..

      Delete
  28. බඩ පැල්ලෙන්න හිනා උනා යකෝ

    ReplyDelete
    Replies
    1. අපේ අප්පෝ උඹට අපිව මතක්වුනා එහෙනම් හුඟ කාලෙකට පස්සේ.. ස්තුතියි මචන් මේ පැත්තේ ආවට..

      Delete
  29. කොයි තරම් දිග වුනත් මොකෝ බං කතාව එල නම්..
    අර බයිසිකල් සීන් එක එහෙම වුන විදිය නම් මැවිලා පෙනුනා.. :D
    නියමයි සහෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලයියා..

      Delete
  30. පට්ට ආතල් කතාව...
    ඔය ලොකු එවුන් පොඩි එවුන්ට තග දාන එක මහ බලු වැඩක්...

    අර බයිසිකලේ සිද්ධිය මැවිලා පෙනුනා. උඹල අතක් පයක් කඩාගන්නේ නැතුව බේරුනා කියන එකම මදෑ...

    ReplyDelete
    Replies
    1. ලොකු එකා විසින් පොඩි එකා ගිලීමේ සම්ප්‍රධාය හැම තැනම සක්‍රීයයි බන්.. කොතන බැලුවත් වෙන්නේ පොඩි එකා ලොකු එකාගේ ගොදුරක් බවට පත්වෙන එක තමයි..

      ඒ කාලේ කරපු වැඩ වල හැටියට අත පය හතර මේ තත්වෙන් තියන එක ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕන බන්..

      Delete
  31. මම ඒ කාලෙ හතර වසරෙ. කලුවඩුමුල්ල හන්දියට වෙලා බස් එක එනක්ම් ඉද්දි මේ බයික් එක පාර පුරා එහෙට මෙහෙට කපන ගමන් පොල්වත්ත පිට්ටනිය පැත්තට පල්ලම් බහිනව කටින් බලන් හිටිය හැටි අද වගේ මතකයි. 5 දෙනෙක් නැගල ඉන්න බයික් එක බැලන්ස් කරේ කොහොමද හැබෑට?

    ReplyDelete
    Replies
    1. කලුවඩුමුල්ල හන්දිය කිව්වේ පුස්තකාලය තියෙන තැනද නැත්තම් කලුවඩුමුල්ල පන්සල ගාව හංදියද. එහෙම බැලුවාම අපි එක ගමේ නෙහ්.. පිටිපස්සේ ඉන්න එකා ඇරුනාම හැමෝම බයිසිකලේ පදින නිසා බැලන්ස් කිරිල්ල ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරවන්න තමයි අමාරු මැදින් රෝදයක් තියෙන නිසා.නිර්මාණය කරපු රංජිත් එතන තාක්ෂණික දෝෂයක් ඉතුරු කරලයි ඔය බයිසිකලේ හදලා තිබ්බේ. ඒ දෝෂය මගහැරෙන විදිහට ඕක හදන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඒ කාලේ කා ගාවවත් තිබ්බේ නැහැ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Reply එක දැක්කෙ දැන්. මුල සිට අගට බ්ලොග් එක ආයෙ කියවන ගමන්.
      මන් බයිසිකලේ දැක්කෙ මෙත්තානන්ද සර්ලගෙ ගේ ලග බස් හොල්ට් එකේදි. මමත් කුලරත්නෙ ඉදල ශිෂ්‍යත්වෙන් ධර්මාශෝකෙට ආව 98දි. ගම ගොඩහේන.
      බේකරිය ලගින් ඇතුල් පාරෙ හිටපු සමන් අන්කල්ගෙ(මාලතී මිස්) පුතා දැන් මගෙ අසල්වැසිය. එයාටත් මේ සිද්දි මතක ඇති. අය්ය ගැනත් විස්තරේ කියාවි ඇහුවොත්. :)
      මටනම් ඒ බයිසිකලේ බැලන්ස් කරන් පදින්න පුලුවන් බවක් පෙනුනෙම නෑ. ඒක නිසා ඕක මාරම මැජික් එකක් උනා මටනම්.

      Delete