Sunday, August 7, 2016

වීරයාගේ කතා වස්තුව






වීරයා  අපගේ පාසලට පැමිණෙන්නේ අම්බලන්ගොඩ නගරයට ඉතා ඈත වන්නි හත්පත්තුවේ ගම්මානයක පාසලක ඉගෙනුම ලබා හය වසර ශිෂ්‍යත්වය සමත් වීමෙන් අනතුරුවය. දුටු දනන් වශීකරනසුලු පෙනුමක් හිමි වීරයා  අප කාගේත් ගජ මිතුරෙකු වුයේ ඕනෑම කර්තව්‍යකට උරදී කටයුතු කරනා සුපිරි ගනයේ මිතුරෙකු වූ නිසාය. වදුරන්ගෙන්  බන අසා ජේතවනාරාමයට ගල් ගසා පැමිණි, කට්ට කපටි කෛරාටික වෙට්ට පිත්තල වර්ගයේ එකෙකු වූ වීරයා කාට හෝ රැවටුනා  කියා එතෙක් මෙතෙක් ඉතිහාසයට අප අසා නොමැත. සහෝදරයින් හත් දෙනෙකුගෙන් සමන්විත පවුලක බඩපිස්සා වූ වීරයා කුඩා කල සිටම දස්කම් දැක්වුයේ ව්‍යාපාර අංශයටමය. 

උපතින්ම දුටු මන වශීකරනා පියකරු මුහුණක් හිමි මා මිත්‍රයා අපගේ සියලුම මිතුරන්ගේ නිවෙස්වල වැඩිහිටියන්ගේද සිත් දිනාගත් පුද්ගලයකු වශයෙන් හැඳින්විය හැකිය. වීරයා  කොයිතරම් අවංකත්වය ප්‍රදර්ශනය කරනවාද යත්, අපගේ වැඩිහිටියන් තමුන්ගේ දරුවාට වඩා වීරයාව විශ්වාස කරනා තැනට විශ්වාසය ගොඩනැගීමට  සමත් වුයේ කිසිදු ආයාසයකින් තොරවමය. මට මගේ පියාගෙන් මලාට රවුමක් යන්නට ඉල්ලාගත නොහැකි යතුරු පැදිය ගමට ගොහින් එන්නට ඉල්ලාගැනීම වීරයාට සිම්පල් වැඩක්ය. තඩියාට මලාට රවුමක් යන්නට ඉල්ලාගත නොහැකි තඩියාගේ පියාගේ යතුරු පැදිය ගමට ගිහින් එන්නට ඉල්ලාගැනීම වීරයාට  කජු කනවා වාගේ වැඩක්ය.  බඩ තඩියාගේ නිවසේ ස්තිරේටම පදිංචිව සිට පාසල් පැමිණි වීරයා  බඩ තඩියාගේ නිවසේ සාමාජික ලයිස්තුවේ සාමාජිකත්වය දැරුවේ බඩ තඩියා මහතාටත් වාඩා ඉහල ස්ථානයකය. 

යහළු මිත්‍ර ඕනෑම නිවසකට අනවසරයෙන් ඇතුළුවී කුස්සියට පැන බත්පතක් බෙදාගෙන කෑමට වීරයාට කාගෙන්වත් අවසර උවමනා වුයේ නැත්තේ තමුන්ගේ දරුවාටත් වඩා විශ්වාසයක් වැඩිහිටියන් වීරයා කෙරෙහි තබා තිබු නිසාය. එවන් දෑ වෙනුවෙන් තබා තිබු විශ්වාසයේ ගෞරවය වීරයාගෙන්  එම නිවැසියන්ට පෙරලා ලැබෙන්නේ මගුලක් මරණයක් දානයක් වැනි කටයුත්තකදීය. නිවසියන්ටත් වඩා බරක් කරට අරන් කරනා වර්ගයේ මිතුරෙකු වූ වීරයා මරණය, මගුල හෝ දානය ඉවරයක්ම වනතුරු තම බුද්ධිමය සහ ශ්‍රම දායකත්වය සපයන්නට දෙවරක් සිතන්නේ නොමැතිය. එවන් ආකාරයෙන් සීග්‍රයෙන් ලකුණු රැස්කරනා වර්ගයේ මිත්‍රයකු වූ වීරයාගේ ලකුණු මට්ටමට ලඟා වීමටවත් අපට කාටත්  එතෙක් මෙතෙක් හැකිවුයේ නම් නැති.


කුඩා වියේ පටන්ම මුදල් ඉපයීමට සහජ සමත්කමක් දැක්වූ වීරයා බංකොලොත් ව්‍යාපාර වලට නම් එතෙක් මෙතෙක් අත ගසා නොමැතිය. මිතුරෙකුගේ ඕනෑම බෙල්ල ගහලා යන කර්තව්‍යක්  වෙනුවෙන් ඉදිරිපත්වනා වර්ගයේ පපුව හොඳ මිතුරෙකු වන වීරයා අතින් පාඩු කරගත්තා නම් ඒ මිත්‍රත්වය සඳහා පමණමය. අද වෙද්දී නැතත් එකල නම් වීරයා ඕනෑම අවදානම් කාර්යක් වෙනුවෙන් ඉදිරිපත් වීමට දෙවරක් සිතන්නේ නැත. විද්‍යාලයේ කැඩෙට් භටයකු වීරයා එක වරක් පිට ගමකදී නොදන්නා නාඳුනන මල සිරුරක් ළිඳකින් ගොඩට ගැනීමට ලිඳට බැස්සේ එම ගමේ කිසිවෙකුත් එම කාර්ය වෙනුවෙන් ඉදිරිපත් වීමට අකමැතිවූ නිසාය. එවන් හොඳ හදවතක් තිබු වීරයා මිතුරන්ගේ පෙම් පලහිලව් වෙනුවෙන් වැඩිහිටියන්ට දෙසූ මුසාවාද කොයිතරම්ද යත් වීරයාගේ විශ්වාසය උකසට තබා තම මිතුරා බේරාගැනීමට ඉදිරිපතුවූ වාර ගණන් අනන්තය.

වීරයාට තිබු අපට නොතිබූ පහසුකම් වලින් කිහිපයක් නම් වීරයාගේ ගමත් අපගේ නගරයත් අතර ගනුදෙනුවන ව්‍යාපාර වෙනුවෙන් අතරමැදිව කටයුතු කිරීමේ පහසුකමයි. එක්තරා කාලයක අපගේ හිතාදර තඩියාට යම් මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන් වීරයා විසින් ඉදිරිපත් කල ව්‍යාපාර යෝජනාවලිය වුයේ කුරුඳු දර ඕඩරයක් ගෙන එය ලබා දී මුදල් ලබාගැනීමයි. අපගේ තඩියාගේ පෙම් පලහිලව්වට වැඩිහිටියන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා තම පෙම්වතියගේ උපන්දිනය වැනි විශේෂිත දින ලංවෙද්දි තඩියා හේබාන්නේ පෙම්වතියට යහමින් තෑග්ගක් රැගෙන දීමට මුදලක් දෙමාපියන්ගෙන් ලබාගැනීම උගහට බැවින්ය. එවන් අවස්තාවන්හිදී වීරයා දෙවියෙකු වන්නේ ණයට ගැනීමට හෝ වෙනයක් ක්‍රමයකින් හෝ එම මුදල් අවශ්‍යතාවය පියවා ගැනීමට හැකි මිහිපිට ඉන්නා  එකම දෙවියා වීරයා නිසාය. තඩියා විසින් මා සමග පැවසු පරිදි දර ගනුදෙනුවේ සිද්දිය මෙසේය..

ගම වටේ ඇවිද නගරය වටේ ඇවිද කුරුදු දර ඕඩරයක් සොයාගන්නේ තඩියා වන අතර අදාළ දිනයේ පැවැත්වෙන මංගල උත්සවයක් වෙනුවෙන් කුරුදු දර සැපයීම ඕඩරය බාර වන්නේ වීරයාටය. වීරයාගේ අම්මාගේ බාල සහෝදරයා ඉඩම් හිමි වෙළඳ ව්‍යාපාර හිමි පුද්ගලයකු නිසා වීරයා මාමාගෙන් ලෑන් මාස්ටරය ඉල්ලාගෙන එන්නේ යාලුවෙකුගේ වැඩකට උදව්වක් කරන්නට කියාය. වීරයා ලෑන අරන් යන්නේ දර ඕඩරයක් පැටවීමට බව මාමා දන්නේ නැතිලුය. මාමාගේ හිත හොඳ කමෙනුත් වීරයාගේ කපටි මොලයෙනුත් වාසි ලබන දර ඕඩරය ලෑනට පැටවෙන්නේ වීරයාගේ ගමට දුරින් පිහිටි ග්‍රාමයකින්ලුය. එසේ පැටවෙන දර ඕඩරය බාන්නේ කුලරත්න විද්‍යාලය අවට නිවසකටලුය. සත පනහකට මිලදී ගන්නා ලද දර කෝට්ටක් මගුල් ගෙදරට බාන්නේ රුපියක් දෙකකටලුය. අවශ්‍ය දර ප්‍රමාණය ලෑනට පටවාගත් වීරයා සහ තඩියා දැන් එන්නේ මගුල් ගෙදර වෙත දර ටික වහා විකුණා මුදල් අවශ්යතාවය සපුරාගැනීමේ පරම පිවිතුරු බලාපොරෝත්තුවෙන්ලුය. එහෙත් දෙදෙනාගේම නොදන්නාකමට ලෑන පුරවා පටවනා ලද දර ප්‍රමාණය රැගෙන ලෑන කුලරත්න විද්‍යාලය අසල කන්ද නගින්නේ නැතිලුය. පොල්වත්ත හන්දියට බටපොල පැත්තට වන්නට තිබෙනා හන්දියෙන් වමට හැරී කුලරත්න විද්‍යාලයට යන මාර්ගය එකල තාර දමා තිබුනේ නැතිලුය. වැසි සහිත දිනකට පසුදා වූ මේ කියනා දිනයේ පාර මඩ සහිත වූ බැවින් ඇතෙක් බරට දර ගොඩගසා තිබෙනා ලෑන කන්දේ මද දුරක් ගොස් ඉදිරිපස රෝද දෙක එක තැන කැරකෙමින් දඟලනවා විනා කන්ද නගින්නේම නැතිලුය. වීරයා දක්ෂ ලෑන් මාස්ටර් රියදුරෙකුගේ පෙනුමක් විද්‍යාමාන කරමින් හැන්ඩලය දැඩිව අල්ලාගෙන කන්ද තරණය කරන්නට යක්ස ගැම්මක් ගන්නවාලුය. අලියෙකුටත් මදක් විශාල ශරීරයක් හිමි තඩියා ලෑන පසුපසින් තල්ලු කරනවා වුවද ලෑන යන්නේ කන්දේ මගක් පමනලුය. එතනින් එහා ලෑන පොලොව හානවා විනා අඟලක්වත් හෙලවෙන්නේ නැතිලුය. 

අහලපහල නිවෙස්වල ඉන්න උදවියද, පාරේ යන එන්නාවූ උදවියද සාමුහිකව තල්ලුවක් දමා ලෑන කන්ද උඩට යවන්නට උත්සහ කලද ඇතෙක් බරට දර ගොඩගසා ඇති ලෑන කන්ද තරණය කරන්නේම නැතිලුය.

ඕක හරියන්නේ නැහැ කොල්ලනේ.. ඔය දර භාගයක් බාල ඉවරවෙලා උඩහට ගිහින් ඒ කොටහ උඩින් බාල ඇවිත් මේ ටික අරන් ගියානම් ඉවරනේ..

එහෙම කිව්වේ අහල පහලින් උදව්වට ආ වයසක උන්දෙක්ලුය..

අයියෝ මාමේ මේක බාල පටවන්න ආයේ පැයක් දෙකක් යනවනේ.. කොහොම හරි උඩට නග්ගන්න  බලමු..

වීරයාගේ රියදුරු කුසලතාවය සහ පණ්ඩිතකම ඒ වයසක උන්දෑට යටවුයේ නැතිලුය.. 

අපි ටික දුරක් පස්සට ගිහින් පුළුවන් තරම් වේගෙන් ඇවිත් කන්ද නග්ගමු.. එහෙම කිව්වේ වීරයාලුය..

නග්ගයි උඹේ... මම කියන්නේ  නෑ... ඇටෙන් පොත්තෙන් එන්න කලින් මුන්ගේ පණ්ඩිතකම..

තඩියාටත් උවමනා දර ටික විකුණා පන වන් පෙම්වතියට තෑග්ග අරන් දීමේ කාර්ය ඉටුකිරීමට බැවින් තඩියාට කන්ද මුදුනින් පෙනෙන්නේ තම පෙම්වතියගේ මුහුනමලුය.. ලෑන ඉගිලිලා ගියත් තඩියාට උවමනා දර ටික ඉක්මනින් විකුණා දමා මුදල් කොටහ ලබාගැනිමටලුය.

වීරයාගේ සැලසුම  " ද බ්‍රිජ් ඔෆ් ද රිවර් ක්වායි" චිත්‍රපටයේ දුම්රිය, අබලන් පාලම තරණය කළා සේ හැකි තරම් පසුපසට ගොස් ලෑනට  උපරිම ත්වරණයක් ලබාදී කන්ද තරණය කිරීමටලුය..

සැලසුමට අනුව වීරයා ලෑන හැකි පමණ පසුපසට ගත්තාලුය. දැන් තිබෙන්නේ ඉහත කී චිත්‍රපටයේ ආකාරයෙන් හැකි උපරිම වේගයෙන් පැමිණ කන්ද තරණය කිරීමලුය.. ඇතෙක් බරට දර පටවාගත් ලෑනක් මහා කඳු රාජයා තරණය කිරීමේ තරඟ ඉසව්ව නැරඹීමට ගමේ සිටිනා බහුතරයක් බාල මහලු තරුණ පිරිස් එක්රැස් වෙලාලුය. අවුරුදු උත්සවයේ ගම හරහා දුවන තරගය බලන්නට වටවන සෙනගක් වාගේ ගමෙන් භාගයක් ලෑන කන්ද නගින හැටි බලන්නට අවිල්ලාලුය. පාර දෙපැත්තේ තිබෙනා කඳු කොටසේ උඩට නැගගත් ගැහැණු උදවිය තම දරුවන්ගේ අත් වලින් අල්ලාගෙන ඔවුන්ගේ ආරක්ෂාව තරකරලාලුය. වැඩිහිටි පිරිමිද පාරෙන් මදක් ඉවතට වී සිටින්නේ තමුන්ගේ ආරක්ෂාව සලසාගැනීම අරමුනේන්මලුය.

කළු දුම් වලාවක් විදුවාගෙන මහා හඬක් නංවමින් කන්ද දෙසට ඉගිලෙන්නාවූ ලෑනේ රියදුරු අසුන අරා විරාජමාන වූ වීරයා ඉන්නේ දත් විකාගෙන හැන්ඩලය තදින් අල්ලාගෙන කන්ද දිහා ඇස් ලොකු කරමින් බලාගෙනලුය.. වීරයා කන්ද තරණය කිරීමේ තරඟ ඉසව්ව ඇරඹු වහා ගමේ උදවිය ජය ගෝෂා කරන්නට පටන් ගත්තාලුය. විදුලි වේගයෙන් පැමිණි ලෑන කන්ද මැද තිබෙනා වල ගොඩැලි වලින් උඩ විසික් වෙමින් මද දුරක් යනවාත් එක්කම වේගය සහ ගැස්සීම දරාගත නොහැකි වූ වීරයා අතින් ලෑනේ හන්ඩලය අත්හැරෙන්නේ සංසාර කරුමයකටලුය. එතෙක් වෙලා වීරයාගෙන් ගැහැට ලැබූ ලෑන නිදහසේ මද දුරක් ගොස් වීරයාවද ඉවතට විසික් කර දමා උඩු යටිකුරු වෙන්නටම කරණමක් ගසන්නේ වීරයාගේ මාමාගේ සාක්කුවට මොනර කොළ බොහෝ ගානක් පාඩු කරමින්ලුය. මඩ ගොඩක් වූ පාර මැද්දාවේ  උඩුකුරුඥ්ඥo වුනා වූ ලෑන, පසුපස පටවා තිබෙන දර වල බර නිසා නැවත කන්ද පාමුලටම මඩ කාගෙන රූටාගෙන යද්දී මඩ ගොඩේ පෙරලුනු වීරයාද ලෑන පසුපසින් කන්ද පහලට දිව ආවත් ලෑන නැවතුනේ කන්ද පාමුලටම අවිල්ලාලුය. ඒ අල්ලපනල්ලේ මහා කඳු තරණය නරඹමින් සිටි ජනී ජනයා හිස් ලුලූ අත දිවගියේ ලෑනේ එන්ජිම ඔලුව පහලට හිටිමින්ද කළු දුම් වලාවක් විහිදුවමින් මර හඬ තලන්නට වූ  නිසාලුය. මඩ නාගත් වීරයා කළුදුම් වලාව මැදින් ලෑන වෙත ලංවී එංජින් මෝල නිහඩ කල නිසා ගමේ එවුන් එකා දෙන්නා නැවතත් උඩුකුරුඥ්ඥo වූ ලෑන අසලට වාර්තා කළේලු.

සියල්ල අවසන ලෑන කෙලින් හිටුවා දර වලින් අඩක් බා දමා වාර දෙකකදී කන්ද තරණය කරන්නට වීරයාටත් තඩියාත් සිදුවුනිලු.. ඔලුව පහලට වන්නටම පෙරලුනු ලෑන නැවතත් එසේම ධාවනය කරන ලද කුසලයේ ආනිසංස වීරයාගේ මාමාට විඳගැනීමට සිදුවුයේ පෙරලීමෙන්ව ඉවතට ගලාගිය ලිහිසි තෙල් නැවත පුරවන්නේ නැතිව ලෑන ධාවනය කල නිසාලුය. බෑනාගේ කඳු තරණය කිරීමේ වික්‍රමයට පිංසිදුවන්නට වීරයාගේ මාමාට ලෑනේ එංජින් මෝල සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කරන්නට වුයෙලු.

ඊළඟට වෙදිකාවට් ගෙන එන්නේ රෝඩ් මාස්ටරයේ කථාවය.. මාමගේ ලෑනට කන කොකා හැඩවු වීරයා ඊළඟට ඇහැ ගැහුවේ මාමා විසින් අනර්ග අයුරින්ම නඩත්තු කරනා ලද මාමගේ ප්‍රාණ හා සමාන වූ හොන්ඩා සී ඩී වන් එයිටි ෆයිව් රෝඩ් මාස්ටර් යතුරු පැදියටය. ගාම්බීර ශබ්දයක් හිමි රෝඩ් මාස්ටරය, දුටු දන මන බඳිනා අනර්ග මෝටර් සයිකලයක් වන අතර ඒවා බොහොම විරල ගනයේ යතුරු පැදි විශේෂයක්ය. වීරයාගේ මාමාට වීරයාට වඩා උස මහත්වූ පුතුන් දෙදෙනෙකු සිටියත් ඔවුන්ටවත් අල්ලන්නට නොදෙනා රෝඩ් මාස්ටරය පැයකට දෙකකට නොව දිනකට දෙකකට වුවද ඉල්ලා ගැනීම වීරයාට කජු කනවා වාගේ වැඩක්ය. උපතින් උරුම වූ බේබි ෆේස් මුහුණත් බැනුම් ඇසුවාට ඇඟේ නොඇලෙන ගතියත් නිසා බැනුම් ලොරියක් අසා හෝ අවශ්‍යතාවය ඉෂ්ටකර ගැනීම වීරයාගේ සිරිතය.

වීරයා දිනෙන් දින මාමාගේ රෝඩ් මාස්ටරය උගේම කරගත් අතර වෙනදා ලංගම බස් රථයෙන් පැමිණි වීරයා රෝඩ් මාස්ටරයෙන් පැමිණීම අපට නුහුරු දර්ශනයක් වුයේ නැති. එකල වීරයාට රියදුරු බලපත්‍රයක් තිබුනාද නැතිද යන්න මාගේ මතකයේ හරි හැටි සඳහන්ව නැතත් වීරයායා රෝඩ් මාස්ටරයෙන් නොගිය තැනක්ද නැත්තේය. බඩ තඩියාගේ නිවසේ යාවජීව සාමාජිකත්වය දැරුවද එවන්ම සාමාජිකත්වයක් තඩියාගේ නිවසෙත් මාගේ නිවසෙත් (මාගේ කිව්වට තාත්තගේ යකඩෝ ) හිමිව තිබු වීරයා දින කිහිපයක් එක නිවසකත් තවත් දින කිහිපයක් තවත් නිවසකත් විසීම පුරුද්දක් ලෙස කරගෙන ගියා වූ අතර සමහරක් දිනවල නිවෙස් තුනේම වීරයාට රාත්‍රී බත් පත සුදානම්ව තිබුනත් වීරයායා නිවෙස් තුනෙන්ම අතුරුදන් වන දින නැතිවුනාම නොවේය.

මාගේ ඇඳ අසල සවිකර තිබුනා වූ දුරකතනයෙන් මහත් පල මහත් ආනිසංස නෙලාගත් පුද්ගලයෙකු ඇතිනම් ඒ වීරයා පමණක්මය. කලක පටන් දත කෑ පෙම් පලහිලව්වක් මාගේ දුරකතනයට පින්සිදුවන්නට සෙන්ටිමෙන්ටල් කරගත් වීරයා මල් කැඩීම ජයටම කරගෙන ගියේ මාගේ නිවසේ දුරකථනය පැය ගණන් කාර්යබහුල කරමිනි. මේ කියනා දිනවල මේ කියනා මාගේ දුරකථනය පැය ගණනින් කාර්යබහුල වන්නේ වීරයාගේ ජන්ගමයේ බැටරිය බැස තිබෙන්නාවූ කාල වෙලාවේදී පමණය. වත්තේ කොනක තිබෙනා ගල් තලාවක් උඩට වී ජංගම දුරකතනයේ බැටරිය බිමටම බසිනා තුරු මල් කඩනා වීරයා නැවත ජංගමයේ බැටරිය ආරෝපණය වනතුරු මාගේ නිවසේ දුරකතනයෙන් මල් කැඩීම අඛණ්ඩව කරගෙන ගියේය. මේ කියනා කාලයේ මාගේ වාහනයෙන් උපරිමයටම වැඩ ගත්තා වූ අයකු ඇතිනම් ඒ වීරයාමය. රෝඩ් මාස්ටරය මාගේ නිවසේ ගාල් කරනා වීරයා මාගේ රථය රැගෙන වාෂ්ප වන අතර නැවත නිවසට පැමිණි වහා කරන්නේ නැවතත් මල් ගසට ගොඩ වීමය.

ඉඳ හිටෙක දිනෙක උපන් ගමේ උපන් නිවසේ රැය පහන් කරනා වීරයා මාසයෙන් වැඩි කාලයක් ගත කලේ අප තිදෙනාගෙන් එකෙකුගේ නිවසේ වුවත් මේ කියනා දින වීරයා උපන් ගමේ උපන් නිවසේ රැය පහන් කල දිනයකි. උදේ පාන්දරක උදෑසන හය වෙන්නටත් ප්‍රථමයෙන් මාගේ යහන් ගබඩාවේ ජනේලයට තඩි බාන්නේ මොකාදැයි බලන්නට මා ඇහැරෙන්නේ මල අසූ හාරදාහට පැනලාය. සෙනසුරාදාවක් වූ දිනයේ මදක් සැනසිල්ලේ දහවල් වනතුරු නිදාගැනීමට ලැබෙන අල්ලපනල්ලේ උදේ පාන්දර නින්ද කඩන එකාව අමුවෙන් කෑවත් උයලා කෑවත් හිතට මදිය.

දොර ඇරපන්..... ඉක්මනට දොර ඇරපන්කෝ..

කව්ද බන් මේ උදේ පාන්දර දවස මුස්පේන්තු කරන්න හදන්නේ..

මම මම බන් .. වීරයා..

ඉතින් හත්වලාමේ දොර ඇරපන් කියල ජනේලෙට ගහල හරියනවද බන්.. ගිහින් දොරට ගහපියකෝ මගේ නින්ද කන්නේ නැතුව..

අනේ ඇවිත් දොර ඇරපන් මචං.. ඉක්මනට ඇරපන්කෝ..

ඉතින් හත් ඉලව්වේ ගිහින් දොරට ගහපන් මම කිව්වේ උඹ ඔය අමු කාල වගේ තඩි බාන්නේ මගේ කාමරේ ජනේලෙට යකෝ.. මට පාඩුවේ නිදාගන්න දීල දොරට ගහපන්.. නැත්තම් බෙල් එක ගහපන්.. අම්ම දොර අරියි..

අනේ බන් ඇවිත් දොර ඇරපන්කෝ..

ඇයි උඹ ඇවිත් ඉන්නේ ඇඳුම් නැතුවද.. මට නිදාගන්න දීල දොරට ගහපන් බන්.. නැත්තම් පිටිපස්සේ දොරට ගහපන්.. අම්ම කුස්සියේ ඇති..

මට අමාරුයි බන්.. දොර ඇරපන්කෝ..

අමාරුයි.. ඇයි උඹ බීලද  ඉන්නේ..

අනේ බන් විහිළු නොකර ඇරපන්කෝ දොර..

මොන මල කරදරයක්ද යකෝ.. හිටහන්  ඔහොම ටිකක් ජනේලේ කඩන්නේ නැතුව..

ඇඳෙන් අමාරුවෙන් නැගිටගත් මා දොර වෙත ගොස් දොර ඇරියේ වීරයාගේ කරදරයෙන් ගැලවෙනු බැරිම වූ නිසාය.. දොර විවුර්තකොට වීරයා දෙස බැලූ මාගේ නිදිමත කොහේ ගියාදැයි නැතුව ගියේ වීරයා උන් විලාසය අනුවය..

මොකෝ බන් උනේ..

වැටුන බන් වැටුනා.. අම්මෝ  ඉන්න බෑ..

කෝ බලන්න.. යකෝ අත පය ලෙලි ගිහිල්ලනේ.. තෝ මොන මගුලක් කරන්න ගිහින්ද මේක උනේ..

ලිස්සුව බන් ලිස්සුව..

යමන් කොහෙට හරි ගිහින් බෙහෙත් දාගන්න.. හිටහන් ඇඳුමක් දාගෙන එනකම්..

සාමාන්යෙන් සුදු පාටට හුරු සමක් සහිත වීරයා කළු කුමාරයා වාගේ වෙලාය.. වම් අතේ වැලමිටේ පටන් පහලට පට්ට ගිහිල්ලාය.. ඇඳන් ඉන්නා කොට කලිසමට පහලින් වම් කකුලේ දණහිස සිට පහලට පට්ට ගිහිල්ලාය.. පැළඳ සිටියා වූ හෙල්මටයට පින්සිදුවන්නට ඔලුවට හානියක් නැතිය. ඇඳුම් සියල්ල කඩමාලු වාගේය.. ඇඟ හැම තැනම කලුපාට වීලාය.. මුහුණ හරියටම කියනවානම් වෙස් මුහුණක් වාගේය..

උඹ කොහෙද බොල රිංගුවේ.. මේ තරම් කළුතෙල් නාන්න තෝ කෝච්චියක් යටවත් රිංගුවාද..

නෑ බන් නෑ.. ඩිපෝ හංදියට එහා වන්ගුවේ පාරේ කව්ද කළුතෙල් හලලා බන්.. බයිසිකලේ ලිස්සුව බන්..

දැන් කෝ බයිසිකලේ..

අන්න ගේට්ටුවෙන් එළියේ බන්.. යමන්කෝ ප්‍රශ්න අහන්නේ නැතුව..

හිටහන් ටිකක බයිසිල්කලේ බලනකම්..

මොකක්ද බන් මේ කරපු අපරාදේ.. බලහන් සයිලන්සර් දෙකම විනාසයි.. සිග්නල් ලයිට් කැඩිලා.. දැන් මාම තෝව කාවි..

අනේ යමන්කෝ කොහෙට හරි බේත් ටිකක් දාගන්න..

හිටහන් ටිකක.. දැන් බොට වැටුන තැන ඉඳන් මෙතනට එන්න පුළුවන් උනානම් මේක බලනකම්  හිටු..

ඕක කාටහරි හදන්න දාන්න ඕන බන්.. දැන් යමන් කොහෙට හරි බේත් ටිකක් දාගන්න..

මේ උදේ පාන්දර කොහේ යන්නද බන් ඉස්පිරිතෙලේට යනවා ඇරෙන්න.. පොල්වත්තටද බලපිටියටද යන්නේ කියහන්..

පිස්සුද යකෝ.. ඉස්පිරිතාලේ ගියොත් ලයිසන් හොයනවා රෝහල් පොලිසියෙන්.. ඒ නිසා වෙන තැනකට යමන්..

මේ උදේ පාන්දර කොහෙන්ද බන් ප්‍රයිවට් දොස්තරලා හොයන්නේ.. ඔන්න ඔහේ යමන් ඉසිපිරිතාලේ..

බෑ බෑ බෑ..මට බෑ..

ලේ පෙරාගෙන ඉන්නා කළු කුමාරයා වැඩි වෙලවාවක් නිවසේ තබාගතහොත් සැහෙන්න අවවාද අනුසාසනා අසන්නට වන්නට ඉඩ තිබෙනා බැවින් වාහනය පනගන්වා නිවැසියන්ගේ අවදානය වීරයා වෙත යොමු නොකරම වීරයාගේ මාමාගේ රෝඩ් මාස්ටරයෙන්ම ලෙඩාව පියතිලක දොස්තර මහතා වෙත රැගෙන යන්නට මා සමත් වෙන්නේ වීරයාගේ අනතුර ගොඩින් බේරාගන්නට උවමනා නිසාය.

වීරයා විසින් එසේ විනාස කර දමන්නට යෙදුනා වූ මාමාගේ රෝඩ් මාස්ටරයට අනතුරුව මාමාගෙන් වීරයාට වෙනත් වාහනයක්නම් අත තබන්නට ලබුනාදැයි සැක සහිතය. වීරයා ලෑනට කලාක් මෙන්ම රෝඩ් මාස්ටරයද  අලුත් වැඩියා කරගැනීමට සිදුවූයේද මාමාටමය.

ඉන් අනතුරුව වීරයා අත ගැසුවේ වීරයාගේම පොඩි අයියාගේ ඩොල්පින් වෑන් රථයට වන අතර එම සිදුවීම මෙසේය.. වීරයාගේ පොඩි අයියා විසුවේ කොළඹ නගරය ආසන්නයේ නුවර පාරේ පිහිටි ප්‍රධාන නගරයකය. වාහන සෑහෙන සංක්‍යාවක් හිමි ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා වූ පොඩි අයියාගේ ඩොල්පින් වෑන් රථයක් හොරෙන් පදවාගෙන කොළඹ සිට අම්බලන්ගොඩ පැමිණි වීරයා ගමේ කොල්ලන් කුරුට්ටන්ට වැඩ පෙන්වා නැවතත් කොළඹ යන අල්ලපනල්ලේ කටුබැද්ද ආසන්නයේදී ඉදිරියෙන් ගිය වාහනයේ පසුපස සිපගත්තේ පොඩි අයියාගේ වෑන් රථයට හා ඉදිරියෙන් ගිය වාහනයට බරපතල හානි කරමින්ලුය. අයියාට හොරෙන් පන්නාගත් රථයට සිදුවූ අලකලංචිය නිසා අගතියට පත් වීරයා රථය දන්නා හඳුනන නිවෙසක ගාල් කොට නෑසිය මිතුරන්ගෙන් වහන්වී ගියේ කොහේ හෝ රැකියාවක් කර වෑන් රථය අලුත්වැඩියා කරදෙන මුදල් සොයාගැනිමටලුය.. වීරයාගේ අතුරුදන් වීමෙන් කලබලයට පත් ඥාතීන් සාස්තර අසා අංජනම් යවා සති කිහිපයක් ලංකාව පුරා වීරයා සෙවුවත් වීරයා සොයාගැනීම උගහට වීලු. සති කිහිපයක අවෑමෙන් වීරයාගේ වැඩිමහල් සහෝදරිය වෙත ලැබුණු විශ්වාස කටයුතු ආරංචියක් පසුපස හඹා ගිය පවුලේ උදවියට වීරයා හමු වුයේ කොහේදෝ දුර ඈතක හාර්ඩ් වෙයාර් එකක් ළඟ ලොරියකින් සිමෙන්ති බාමින් සිටිනා අල්ලපනල්ලේලුය. සිමෙන්ති කොට්ටය කරේ තිබියදී අක්කාගෙන් වැදුනා වූ කනේ පාර දරාගත නොහැකිව සිමෙන්ති කොට්ටය බිම දැමු වීරයාව හාර්ඩ් වෙයාර් මුදලාලිගෙන් නිදහන් කර ගැනීමට සිමෙන්ති කොට්ටයේ මිලද ගෙවන්නට වූයේලු.

මේ සියලු අලකලංචි සිදුවුනා වූ මාගේ මිත්‍රයා අද වනවිට කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර දැන් දැන් ඉස්සර වාගේ නොවේය.එකල සුද්දන්ටත් අතින් වියදම් කර කොකා කොලා පොවනා වර්ගයේ එකෙකු වූ මා මිත්‍රයා අද වන විට රුපියලක් වියදම් කරන්නේ එම රුපියලෙන් දෙතුන් දහසක ලාබයක් තිබ්බෙනවානම් පමණක්ය. දුරකථන අමතුමක් දෙන්නේ වැඩක් තිබෙනවානම් පමණක්මය. උන්නාද  මලාද බලන්නටවත් නිකමට දුරකථන ඇමතුමක් නොදෙනා මා මිත්‍රයා අප දුරකථන ඇමතුමක් දුන්නට මලාට ආන්සර් කරන්නේද නැත. බැලුවොත් මාර බිසී බන් කියනා බොරු බිසියක් මවා පානා මා මිත්‍රයා ඊයේ පෙරේදාවක යක්කු ගස් නගිනා වෙලාවේ මාගේ ජංගමය නාද කරවන්නේ ඇයිදැයි කියා කුතුහලය නිසාම මා දුරකතනක ක්‍රියාත්මක කරනවාය..

මොකෝ බන් මේ නිදාගන්න දෙන්නේ නැත්තේ..

හෙහ්.. මම හිතුවේ උඹ නිදි නෑ කියල..

අනේ මේ මගෙන් මුකුත් නාහ කෙලින්ම කාරණේ කියහන්.. මොකෝ උඹ මගේ සැප දුක අහන්න කෝල් කරේ නැහැ කියල මම දන්නවනේ බන්..

අන්න යාළුවො.. ඒක තමයි යාළුකම කියන්නේ.. උඹ දන්නවා මම කෝල් කරන්නේ වැඩකට කියල..

දන්නවා නේන්නම්.. කෙටියෙන් කියහන්.. මම උදේ වැඩ..  දැන් මොකක්ද බොට වෙන්න ඕන..

උඹ දන්නවනේ බන් මම අලුත් බිස්නස් එකක් පටන් ගත්ත කියල..

හ්ම්.. ආරංචි උනා..

දැන් මොකද මගෙන් වෙන්න ඕන..

බිස්නස් එක ඇතුලෙම ගරාජ් එක පටන් ගන්න කියල හිතුවේ..බාස් කෙනෙක් ඕන.. උඹ දන්නවද _ _ _ කියන කෙනාව..

ඔව් මම දන්නවා..

දැන් බොට මොකද කෙරෙන්න ඕන..

නෑ ඌ ගන්න කියල බැලුවේ.. උඹ මොකද හිතන්නේ මෑන්ස් ගැන..

අලුත් වාහනයක් ගලවන්න දන්න ඔය පළාතේ ඉන්න හොඳම කෙනා තමයි මෑන්ස්.. සෑහෙන්න දැනුමක් තියෙන කෙනෙක්.. බය නැතුව වැඩේ බාරදියන්.. හැබැයි මට ෂුවර් නැහැ මෑන්ස් උඹ ගාව වැඩට එයිද කියල.. උඹ කීයක්ද පඩිය ඔෆර් කරේ..

තාම හිතුවේ නැහැ බන් ඒ ගැන..

මේකයි මචෝ කතාව.. උඹට විසි තිස් දාහට නම් මෑන්ස් වැඩට ගන්න බැරිවෙයි.. අඩුම තරමේ පනහක් ප්ලස් කොමිෂන් එකක් එක්ක නම් මෑන්ස් හිතල බලයි..

එහෙමද..

ඔව්.. බය නැතුව වැඩේ බාර දීපන්.. මගේ වාහන හදන්නෙත් මෑන්ස් තමයි..

වැඩේ දිගටම කරන යාවිද බන්..

උඹ ඌට රස්සාව උගන්නන්න නොයන තාක් කල් ඌ කරගෙන යාවි.. හැබැයි පුතේ උඹේ සල්ලි වලටනම් ඌ යටවෙන්නේ නෑ හරිනේ.. මම ඕනෙනම් මෑන්ස්ට කෝල් එකක් දෙන්නං..

හිටහන් තව ටිකක හිතන්න ඕන..

දැන් උඹ ඕක පටන් ගන්න යන්නේ ස්කෑනරයක් අරගෙනද..

හ්ම්.. ගත්ත..

කීයක් උනාද..

ලක්සෙයක් ලං උනා..

අනේ මේ ඔය ලක්සේ ස්කෑන් එකෙන් උඹට මහා ලොකු දෙයක් කරන්න බැහැ බන්.. අඩුම තරමේ වාහනයක් හරියට ස්කෑන් කරගන්න පුළුවන් ස්කෑනර් එකක ගන්න ලංකාවේ සල්ලි වලින් අඩුම ලක්ස හතක්වත් ඕන බන්..

නෑ..

නෑ නෙවෙයි ඔව්..

ලැප් එකකුයි කේබල් ටිකයි අරගෙන හොඳ සොෆ්ට්වෙයාර් එකක් සල්ලිවලට ගනින්.. ලක්ස දෙක තුනකින් වැඩේ කොම්ප්ලීට් වෙයි.. ඔය චයිනීස් කෑලි වලින් වැඩ කරලා මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ නැතුව හිටහන්..

බලමු..

හරි.. දැන් බොට මගෙන් කෙරෙන්න ඕන දේ උනානේ.. එහෙනම් මම නිදාගන්නවා.. පොඩි එවුන් දෙන්නයි වයිෆුයි සනීපෙන්ද.. දැන් උඹ ටවුන් එක කිට්ටුවනේ පදිංචිය..

ඔව් බන්.. ඒ උනාට දැන් ආයෙත් ගමේ ගෙදරට පදිංචියට යන්න බන් හිතන් ඉන්නේ..

ඒ මොකෝ.. උඹ දැන් ළමයි ඉස්කෝලේ දාන්නනේ ටවුමට ආවේ.. දැන් ඉතින් දෙවැනි දරුවත් දාගන්නකම් හිටහන් ඔහොම..

බෑ බන්.. අලුත් බිස්නස් එක නිසා ගෝලයින්ට කන්න දෙන්නම බර ගානක් දෙන්න වෙලා බන් ..

ගෝලයෝ කීයක් ඉන්නවද..

තිහක් විතර ඉන්නවා බන්..

ඉතින් මොකද බන්.. උඹ උන්ගෙන් හම්බු කරනවනේ..

ගමේ ගෙදරට පදිංචියට ගියාම වැඩ දෙකම කෙරෙනවනේ බන්..

චී චී වැඩේ කැතයි.. දැන් උඹ හදන්නේ අර අහිංසක ගෑනිට කියල ගෝලයෝ තිහකට වේල් අනූවකට කෑම උයවන්නද යකෝ..

ඕකනේ බොලා කලබල වෙනවා කියන්නේ.. මම හදන්නේ ගමේ ගෙදරට පදිංචියට ගිහින් වැඩට කව්රුහරි ගෑනු කෙනෙක්  අරගෙන වැඩ ටික කරවගන්න බන්.. එතකොට ළමයි දෙන්නත් බලාගන්නවා, වත්තේ පිටියේ වැඩ ටිකත් කෙරෙනවා, රෙදි ටිකත් හෙදෙනවා හොලයින්ගේ කෑම ප්‍රශ්නෙත් විසඳෙනව..

කීයක් පඩි දෙන්නද ඉතින් උඹ හිතන් ඉන්නේ..

මාසෙට පහළොවක් දෙනවා..

හිටහන් මම කතරගමට කෝල් එකක් දීල බලන්නම් කව්රුහරි ඉන්නවද කියල..

ඕන නෑ බන්.. ගම අවටින් හොයාගන්න පුළුවන් වෙයි..

ම්හ්.. හරියන්නේ නෑ.. ඔය වැඩේට කතරගමින්ම කව්රුහරි හොයන්න වෙනවා බන්..

ඇයි මොකටද බන් කතරගමින් ගෑනු ගේන්නේ.. මේ අපේ අවට ඉන්නේ ඕන තරම්.. උඹට පිස්සු..

මට පිස්සු නෑ බන්.. මම දන්න තරමින් අත් දෙකයි කකුල් දෙකයි තියන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වැඩියෙන් අත් පිහිටලා තියෙන්නේ කතරගම දෙවියන්ට විතරයි.. ඉතින් උඹ මේ කියන විදිහට දවසට කෑම අනූවක් උයල පාර්සල් බඳින්නැයි, උඹේ අක්කර දෙකක විතර ඉඩම අස්පස් කරන්නයි, අර ගේ තඩිය අස් කරන්නයි ළමයි බලන්නයි රෙදි හෝදන්නයි අත් දෙකේ කකුල් දෙකේ එකෙකුට පුළුවන් වෙන එකක් නෑ. ඒ නිසා ඔය වැඩේට හරියන කෙනෙක් ඉන්නවනම් ඉන්නේ කතරගමම තමා.. පොඩ්ඩක් හොයල බලන්නම් ඉතින්..

හී හී..

මොකද බොල හී හී ගාන්නේ .. මම කියන දේ බොරු කියලද දැන් උඹ කියන්නේ..

ඒකෙන් කමක් නෑ.. උඹ මේ කතාව බ්ලොග් එකේ ලියන්නේ නෑ නේ..

අපෝ නෑ... ලබන සතියේ වගේ බලහන්කො..

ඒ පිස්සුනම් කරන්න එපා බන්..

එහෙනම් මම තිබ්බ..මට නිදිමතයි..

අනේ බන් ලියන්න එපා හරිද..

බායි..

වීරයා මේ ලිපිය කියවා මාහට නඩු දාන්නට තනන්නට උත්සහ කරන්නේ නැත්තේ වීරයා යනු මාගේ අතිජාත මිත්‍රයාගේ නියම නම නොවෙනා නිසාය. ඊටත් අමතරව කියනවානම් වීරයාගෙන් මා හට පරණ නය ගනුදෙනුවක් පියවීමට ඇති නිසා එය මා වෙත නැවත ලබාදෙන තුරා වීරයාට මට එරහිව නඩු මගට බසින්නට නොහැකිය. දෙදහස් එක වසරේ  වීරයා ජපානය බලා යද්දී වීරයා ගුවන්තොටුපොළ වෙත රැගෙන ගියේ මාගේ වෑන් රථයෙන්ය. මල් කැඩීමට මාගේ නිවසේ දුරකථනය පැය ගණන් පාවිච්චි කළා වූ වීරයා , මල් කැඩූ අය සමග කාටත් හොරා ගමන් බිමන් යන්නටද යොදාගත් මාගේ වෑන් රථයෙන්ම ගුවන් තොටුපොළට ගොස් බැස්සු කල ගුවන් තොටේ පළමු පරීක්ෂණ කවුළුවෙන් ඇතුලට ගොස් මටත් බතලයාටත් ඇත වනා කී දී නම් මෙයයි..

ඒ මම උඹේ හයර් එක එවන්නම් හොඳේ..

එවකට අම්බලන්ගොඩ සිට ගුවන් තොටුපොළට කුලී ගාස්තුව රුපියක් එක්දහස් අටසියයක් බැවින් ඒ පොරොන්දු වූ මුදල අද වනතුරු වීරයා මා වත ලබා දී නොමැතිය. මාගේ ණය පියවා දමනතුරු වීරයාට මාගෙන් සමාවක්නම් නැතිය. සියට පහළොවක් යනු ගිනි පොලියක් වුවත් වීරයා ඇටෙන් පොත්තෙන් ආ දා පටන් ගමෙන් සියයට දහයට පොලියට ගත් මුදල්  නගරයේ පොලියට දුන්නේ සියයට පහළොවට බැවින් එම ගිනි පොලී අනුපාතයම වීරයාගේ ගිනුමටද ආදේශ කිරීම අසාධාරණ නොවෙයි සිතමි.. කවුරුන්දෙ හෝ පින්වතෙක් දෙදහස් එක වසරේ පටන් අද දක්වා ඉහත ණය මුදල වෙනුවෙන් වැල් පොලිය සාදා මෙහි කොමෙන්ට් කොටසේ පලකරන්නේනම් වීරයාට මා සමග අකමැත්තෙන් හෝ එකඟ වන්නට සිදුවනු ඇත.

43 comments:

  1. Replies
    1. පොළී මුදළාලි ප්ලේස් එක බුක් කරලා ගිහින් ගාන හදනවා වගෙයි.

      Delete
    2. ප්‍රසා මොකද මොකුත්ම නොලිය ගියේ?පන දාගෙන පොලිය හදනවද උබ?😂

      Delete
    3. ඔවු. මූට වීරයගෙන් කීයක් හරි අරන් දීල මටත් කොමිෂන් එකක් ගන්න පුලුවන්ද කියල බලනව. හැක්..

      Delete
    4. කොමෙන්ට් කරලා සම්මානේ ගත්තනම් මුල්ම කොමෙන්ට් එක දැමිය යුතු තමා.. රාජකාරිය අකුරටම ඉටුකිරීම ගැන ප්‍රසන්න මහතාට මාගේ බලවත් ප්‍රසාදය..

      Delete
    5. රසික කියන්න වගේ ප්‍රසන්න ගාන හදල දාල තියෙන්නේ ඔය අගේට..

      Delete
  2. Replies
    1. අම්බලන් මෙන්න මූ ගාන හදල.හැබයි මම හිතුවෙ මීටවඩා ලොකු ගානක් ඇතියි කියල.ඕක දැන්ම ඉල්ලන්න එපා තවටිකක් පහුවෙන්න දියන් 😈

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේක හරි අවුරුද්දට 15% ක් නං. මාසෙකට 15 ක් නං 16841 ක් එනව.

      Delete
    4. නයෝ උඹ ගණන් පන්ති ගියේ ගීතා නැන්දා ගාවටද...
      එක්කෝ වෙන්න බැහැ, වීරවංස මාම ගාවට වගේ...
      මාසෙකට පොළිය 15% ක් උනොත් ඒක කරුංක රවියට රටේ සල්ලි ඔක්කොම හුරලවත් දෙන්න බැරි ගාණක් බං...
      2001 ජනවාරි මුල රු.1,800/- ක් ණයට දුන්නා කියල හිතුවොත් වැල් පොලිය සමග ගිය මාසේ අන්තිම දක්වා මුළු මුදල රුපියල් ට්‍රිලියන 403.430 ක් වෙනවා...

      Delete
    5. හැක්.. හැක්.. එහෙනං අම්බලංගොඩය ට්‍රිලියන පතියෙක්.

      Delete
    6. යකඩෝ බොලා මේ හදල තියෙන්නේ අවුරුද්දේ පොලිය.. බොලා හිතන්නේ මම බැංකුවක් කියලද වාර්ෂික පොලියට නය දෙන්න.. වීරයා ඇටෙන් පොත්තෙන් ආපු දවසේ හිටන් පොලියට දුන්නේ මාසෙට සීයට පහළොවට.. ඉහින් මම උගෙන් පොලිය අයකරන්නෙත් ඒ ගනිතයටම
      තමයි..

      Delete
  3. හ හ හා....උබ එහෙනම් වීරයගේ පටි රෝල් කලා.පොස්ටුව කියවන උන් දිගටම උබ ලියපුව කියෙවුවනම් වීරයාගේ නම සොයාගන්න එක සිම්පල්.අනික උබ නොහිතා හරි ආරූඩ කර වීරයා නමේ අකුරු තුන එහාට මෙහාට කලානම් වීරයාගේ නම නිකන්ම එලියෙ.හැක් හැක්...
    උබ කියපු කතානම් සියයට සියයක් ඇත්ත.අපේ ගෙවල් වල උදවියත් එක්ක මූ දාන සෙල්ලම් අදටත් මට දාන්න බැහැ.උබ දන්නවනෙ උබලගෙ තාත්ත අපේ තාත්ත එක්ක අපෙ සනුහරේ එකෙක් විහිලු කරන්නෙ නෑ කියල මොටෝ බයිසිකල් කතාව කියවනකොටයි මට මතක් උනේ මූ දවසක් බයිසිකලේ ඉල්ලගෙන ටැන්කියේ තෙල් බල අපේ තාත්තට කියනව "අන්කල් මෙහෙම තෙල් අඩුවෙන් තියන්න හොද බැහැ ටැන්කියේ උඩ හරිය මලකඩ කනව" කියල.අපි ඕක කිව්වනම් කොහොමට හිටීද?හිහිහි ගාල හිනා උනා මිසක වචනයක් නෙවෙයි කිව්වෙ.හැබැයි දහස් කනන් හම්බුන යාලුවෝ අතරෙ අදටත් ඉන්න යාළුවෝ අල්පෙන් ඉන්න හොදම බොක්කක් තමයි වීරයා ❤

    ReplyDelete
    Replies
    1. වීරයා=රවියා?

      Delete
    2. ඉයන් මම ඕව දන්නැතෝ

      Delete
    3. වීරයාගේ හරි නම මමත් දන්නේ නැතෝ...

      Delete
  4. Replies
    1. මාසෙට 15% ගානේ හැදුවාම කමිට වැඩියි නේද..

      Delete
  5. වීරයනං රථ කන්නෙක් වගෙයි බලාගෙන ගියාම. වීරයගෙ මාම කාරයගෙ ලෑනයි, බයික්කෙයි දෙකටම කෙළෙව්වට පස්සෙත් මූට ආයෙ වාහනයක් දුන්නනං පොර නියම මාමන්ඩියෙක් තමයි.

    මමනං ටක්කෙටම කියන්නං උඹට අරූගෙ ණය ආපහු ගන්න හම්බ වෙන්නෙ නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. වීරයා දක්ෂයා බන්.. මාමගේ වෑන් එකත් එහෙ මෙහෙ දිව්වා..ඒකනම් හැප්පුවේ නැහැ හැබැයි.. වීරයාගේ ඩ්‍රයිවින් අවුලක් නැහැ.. ඔය වැටීම් තැලීම් සීරීම් ඔක්කොම උනේ දාසයේ දහ අටේ කාලෙනේ..

      Delete
  6. මුගේ නම රවීද? අපේ කැම්පස් එකෙත් හිටියා මේ නමම තිවෙන් එකෙක් බොලෑ අති අගනා පාසල් මෑණියන්ගෙන්ම ආපු.

    ReplyDelete
    Replies
    1. උඹල එක්ක හිටිය රවී කොයි අවුරුද්දේ උසස්පෙළ කරපු කෙනෙක්ද.. අපි උසස්පෙළ කරේ අනූ හයේ..

      Delete
  7. අපොයි ...මම හැමදාම කියනව වගේ උඹලව ගම බලල , කටුනායකින් බස්සන්නෙ නැතිව මත්තලින්ම බස්සන්න ඕනෙ.....

    ReplyDelete
    Replies
    1. වීරයා දෙතුන් වතාවක්ම බොලගේ ඔය කටුනායකින් ජපානය බලා ආව ගියා.. දැනුත් මාසෙකට විසි තිස් වතාවක් වීරයා කටුනායක එනවා.. ඒ නිසා පරෙස්සමෙන් හිටහල්ලා..

      Delete
  8. පොලියත් එක්කම පෝස්ට් එකෙන් දීල තියෙන්නෙ. මේ වෙද්දි ලාභයක් ගැන හිතන්නෙ නැතුවම කෝල් එකක් එන්න ඇති මං හිතන්නෙ :D

    ReplyDelete
    Replies
    1. තාම නම් කෝල් එක ආවේ නැහැ.. දැන් මෙතන ගණන් හිලව් එක්කම තියන නිසා තව කාලෙකට කෝල් එකක් දෙන්නේ නැහැ ඕකා..

      Delete
  9. වීරයා කියන එක එහෙමෙහෙ කලාම රවියා කියලයි හිතුනේ....

    වීරයා වාහනවලට මාරයෙක්නේ.....

    ReplyDelete
    Replies
    1. නිර්මාණි මමනම් ඕව දන්නෙ නෑ.අම්බලන්ගෙන්ම අහන්න.හික්ස්

      Delete
    2. මම මේකේ කොහෙවත් රවියෙක් ගැන ලියල නැතෝ.. බොලා අකුරු එහෙ මෙහෙ කරලා රවියගෙයි මගෙයි තියන යාළුකම නැති කරන්නයි ඔය තනන්නේ.. අපි අහුවෙයි ඔව්වට..

      Delete
  10. චඃ, ඔය යකා ඒ කාලේ LTTE කඳවුරකට ඇරියා නම් ප්‍රභාකරන්වත් අඬගහගෙන මේ පැත්තට එයි.

    ReplyDelete
    Replies
    1. වීචා මාමේ. මේ කොමෙන්ටුව තමයි සතියේ හොඳම කොමෙන්ටුව. 😂😂😂😂😂😂

      Delete
    2. wichaa

      +++++++++++++++++++++++++

      Delete
    3. wichaa

      +++++++++++++++++++++++++

      Delete
    4. විචා හරි..වීරයා සමග කොන්ඩයා දෙන්නම උතුරට යව්වනම් ප්‍රභාකරන්ව කරේ අත දාගෙන දකුණට අරන් එන්නේ..

      Delete
  11. වීරයා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "සොමි නාෂක" පොරක්. 😂😂😂

    ReplyDelete
    Replies
    1. වීරයා සත පහකට විශ්වාස කල නොහැකි පොරක් බන්.. හැබැයි යාළුකම කවදාවත් පාවල නොදීපු පොරක්..

      Delete
  12. වීරයා එළ කොල්ලෙක්නේ...

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක් නේන්නම්

      Delete
  13. ඉන්නවා ඉන්නවා ඔහොම ඩෑල්.. අපේ ගෙදර ඉඳන් බොක්කක් ඒ ලෙවල් කොලා.අදටත් ගස්ලබ්බට වඩා ගෙදර උදවියට විශ්වාස ඒ ඩෑල් එක.ඔන්න වැඩේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආන්න උඹට තේරෙනවා නේද අපිට වෙලා තියන දේ.. අදටත් අපිට වඩා තැන ඌට ...

      Delete